දැන්වත් රට හදන්නනම්…!!!

Click here to get Sinhala Unicode

එක්සත් ජාතික පක්ෂය යනු ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂයයි. නමුත් බොහෝ සන්ධාන පාක්ෂිකයින්ට මේක ප්‍රශ්නයකි. ඔවුන් නිතරම අපෙන් අසන්නේ “ඇයි ඔයාලා තාම යූඇන්පී එකට ඡන්දෙ දෙන්නෙ” කියලාය.  සමහර දේශපාලනඥයන් තවත් පරතරයට ගොස් පවසන්නේ යූඇන්පියට ඡන්දය දෙන්නේ පිදුරු, තණකොළ අනුභව කරන අකෘතඥයන් බවයි. තවෙකෙක් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එතරම් වෙනසක් නැති බවයි. නමුත් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු නොවේ. එක්සත් ජාතික පක්ෂය යනු ඉතා ගැඹුරුතර මතවාදයකි, දර්ශනයකි, විශ්වාසයකි. එහි පදනම වනුයේ කවුරුන් නිවැරදිද යන්නට වඩා කවරක් නිවැරදිද යන චින්තනයයි. එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය ගැබ්ව ඇත්තේ මෙම දැවැන්ත මතවාදය, දර්ශනය මත පදනම්වය. බොහෝ දෙනා විරුද්ධ වෙන්නන් වාලේ එජාපයට විරුද්ධ වන්නේ එජාපයේ දර්ශනය පිළිබඳව අංශුමාත්‍රීය හෝ අදහසක් නැතිවය.

මොකද්ද ඒ දර්ශනය?? එක්සත් ජාතික පක්ෂය යනු සමාජ වගකීමකින් හෙබි විවෘත ආර්ථිකයක් (Socially Responsible Market Economy) කෙරේ විශ්වාසය තබන පක්ෂයකි. ලොව සංවෘත ආර්ථිකයකින් දියුණු වූ රටක් නොමැත, මෙය ප්‍රත්‍යක්ෂ යථාර්තයකි, වත්මන එජනිසය සමඟ සැරිසරන එස්.බී. දිසානායක මහතා මීට මාස කිහිපයකට පෙර පළ කෙරුණු තම ග්‍රන්ථයේදී මේ කාරණාව තවදුරටත් තහවුරු කළේ උදාහරණ සහිතවය. 70-77 සංවෘත ආර්ථිකයේ අත්දැකීම් අපේ ජ්‍යෙෂ්ඨ පරපුරෙන් අප අසා ඇත්තෙමු. විවෘත ආර්ථිකය යන්නෙන් සීමාරහිත ලෙස ආර්ථිකය විවෘත කිරීම අදහස් නොකෙරේ. ඉන් යම්කිසි පාලනයකින් යුක්තව ආර්ථිකය විවෘත කෙරෙන්නේ රටේ පාරිභෝගිකයින්ටත්, නිෂ්පාදකයින්ටත් යන දෙකොට්ඨාශයටම සෙත සැලසෙන පරිද්දෙනි. වෙසෙසින්ම එක්සත් ජාතික පක්ෂ චින්තනයේ මූලිකාංගයක් වන්නේ සහනශීලී බදු බරයි. ජනතාව කෙරේ අධික බදු පනවනවා වෙනුවට නිවැරදි ප්‍රතිපත්ති සහ කළමණාකරණය හරහා නව නිෂ්පාදන මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා දිරිගැන්වීම මෙහි විශේෂත්වයකි. බොහෝ දෙනෙක් කතා කරන සහනාධාර වෙනුවට එජාපය දිරිගන්වනුයේ අවස්ථාවන්ය, සමාජයේ එක් කොටසකට සහනාධාර දීම උදෙසා තවත් කොටසක් බදු බරින් පෙලෙනවා වෙනුවට ස්වකේය කුසලතාවන් අනුව දියුණු විය හැකි මාර්ගයක් කෙරේ යූඇන්පී අපි විශ්වාස කරමු. සැමට එක හා සමානව තම වෘත්තීන්ගේ නිරත වෙමින් නැගී සිටිය හැකි සමාජයක් යෝජනා කරන අප සමාජයේ අනේක විධ ගැටළුවලට මුහුණපාන දුප්පතුන්ගේ ප්‍රශ්නවලට එදා වේල පමණක් තහවුරු කෙරෙන පැලැස්තර විසඳුම් වෙනුවට දිගුකාලීන තිරසාර විසඳුම් කෙරේ විශ්වාසය තබමු. සංවර්ධනය වූ කලී භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනය පමණකැයි ඇතැමෙක් සිතුවද එජාපයේ අපි සිතන්නේ සංවර්ධනය යනු පාලම් බෝක්කු ඉදිකිරීමට එහා ගිය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූවක් බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය උදහස් නගන පරිදි කොපමණ පාලම්, බෝක්කු, පාරවල් පහුගිය වසර 6 තුළදී නිම කර තිබුණද 2009 අප රටේ අපනයන ප්‍රමාණය 2008ට වඩා 13%කින් පහළ බැස තිබුණි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති අගය කරන්නන්ට සිතන්නට යමකි, ඔය කියන සංවර්ධන ඇත්තටම සිදු වුණා නම් සන්ධානයේ දේශීය ආර්ථික ප්‍රතිපත්තිය හරහා මහ බැංකු වාර්තා අනුව එතරම් දරුණු ලෙස අපනයන ප්‍රමාණය පහළ බසින්නේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තීන් හැර අන් කවර හේතුවක් නිසාද??

අනෙක් අතට එජාපය විශ්වාස කරන විදේශ ප්‍රතිපත්තිය නම් ලොව සෙසු රටවල් සැමෙකක් සමඟම මිතුදම් පවත්වමින් ලෝකය සමඟ පෙර ගමන් යෑමයි. ලොව කොන් වූ රටක් ලෙස නැගී සිටීමේ ප්‍රායෝගික දුෂ්කරතාව එජාපය හොඳින් වටහා ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට සියළු ජනවර්ග සහ ආගම් නියෝජනය කෙරෙන සැබෑ ලෙසම එක්සත්වූත් ජාතිකවූත් පක්ෂයකි. 1946 සැප්තැම්බරයේ අපේ පක්ෂය ඇරැඹුණු දා පටන්ම අප ජනවාර්ගික සහයෝගීතාව අගය කළෙමු. සෑම ජනවර්ගයකටම තමන්ගේම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුක්තව අභීතව ජීවත්විය හැකි සමාජයක් ගැන යූඇන්පිය විශ්වාස කරයි. ඒ පදනම මත 1948දී මෙරටට නිදහස දිනා දීමට මූලික වූයේ එජාපයයි. ඇත්ත වශයෙන්ම එදා ඩී.ඇස්. සේනානායක ඇතුළු පතාකයින් යූඇන්පිය නිර්මාණය කරනුයේ ඒ පදනම මතිනි. බෞද්ධ දර්ශනය සුරැකුමට ප්‍රමුඛ ලෙස ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විශ්වාසය කළද අන් කිසිඳු ආගමකට අවැඩක්, අසාධාරණයක් නොවන පරිද්දෙන් කටයුතු කරමින් ජනතාවගේ ආගමික නිදහස තහවුරු කරලීම එජාපයේ මතවාදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට නුසුදුසු පක්ෂයකි. එකම රටක් තුල විධිමත් ලෙස බලය බෙදා හැරීම හරහා උතුරු, නැගෙනහිර පමණක් නොව සමස්ථ රටේම ජනතාවගේ සමාජ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සිදුවිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් සුදුස්සාට කිසිඳු භේදයකින් තොරව සුදුසු තැන ලැබෙන සමාජයක් ගොඩ නැගීම එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

එදා, 1990 දශකයේ මුල භාගයේදී තමාව කැබිනට් මණ්ඩලයෙන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා නෙරපූ විටදීද සිරිලක බිහිවූ කෘතහස්තම දේශපාලනඥයකු වූ ගාමිණි දිසානායක මැතිඳුන් පක්ෂය හැර නොයෑමට ගත් තීරණය වරෙක ඔහු ලංකාදීපයට කියා පෑවේ මෙපරිද්දෙනි

ප්‍ර : ඔබ කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එජාප කෘත්‍යාධීකාරී කමිටුවෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එජාප පාක්ෂිකයකු ලෙස රැඳී සිටින්නේ ඇයි?
පි : එජාපය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල් සහමුලින්ම මාගේ ඇතුලාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.

මේ අතර යූඇන්පියේ ප්‍රධාන ප්‍රතිවාදියා එදා පටන්ම රදළ කුලයේ වලව් පැලැන්තියේ අණසකට යටත්ව තිබුණද එක්සත් ජාතික පක්ෂය ඕනෑම තරාතිරමක පුද්ගලයකුට හිණිපෙත්තටම පා නැගිය හැකි වාතාවරණයකින් හෙබි පක්ෂයකි. කොළඹ දුප්පත් වෙළෙන්දෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ කන්ද-උඩරට, පිළිමතලාව ග්‍රාමයේ සමූපකාර පර්යේෂකවරයකු වූ ඩී.බී. විජේතුංග යන දෙපළ පක්ෂ නායකත්වයට මෙන්ම රටේ ජනාධිපතීත්වයට පත්වූයේ මෙම කරුණ සනාථ කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති රාමුව තුල ඒ ඒ සාමාජිකයාට අනන්‍ය මතයක් දැරීමේ නිදහස එහි පාක්ෂිකයන්ට හිමිවන්නේ පක්ෂයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික මූල බීජයන් කෙරේ අවධානය යොමු කරමිනි. මින් දේශපාලනික එහෙයියන් වෙනුවට තම වගකීම හැඳිනගත් පුද්ගලයින් බිහිවේ. එදා යූඇන්පිය හදීසි නීතියට පක්ෂ වෙද්දී මහේෂ්වරන් මන්ත්‍රීතුමා විරුද්ධ වෙද්දී පක්ෂය ඔහුව එජාපයෑන් නෙරපූවේ නැත, ළඟකදී කේ.එන්.චොක්සි මහතා පක්ෂය තුල සිටිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රශස්ථි ගැයූ නමුත් මෙවරත් ඔහුව එජාප ජාතික ලැයිස්තුවට එකතු කර ඇත්තේ එබැවිනි.

අතීතයේ පටන් එජාපය සිරිලක තුල යෝධ සංවර්ධන ව්‍යපෘති දියත් කර තිබේ ගල්ඔය, කඩිනම් මහවැලිය, කොළඹ බහලුම් වරාය, නිදහස් වෙළඳ කලාප, ලංකාවට අන්තර්ජාල සහ ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දීම, ජනසවිය යනාදිය මින් අතලොස්සක් පමණෙකි. පහුගිය රජය ඇරැඹූ සංවර්ධන යෝජනා ක්‍රම රැසකටද එකඟතා ගිවිසුම් අත්සන් කෙරුණේ පසුගිය එජාප රජය විසිනි (නමුත් ඒවා අඛණ්ඩව දියත් කිරීම ගැන අප එම රජයට කෘතඥ විය යුතුය ). මේ සියල්ල ජයගත හැකි වූයේ එජාපයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් මේ සංවර්ධන ඉලක්ක වලට අවැසි පරිසරය ගොඩ නගාලීමයි.

ලලිත් ඇතුලත්මුදලි මහතා වරෙක ඉතා බුද්ධිමත් ලෙස කළ ප්‍රකාශය එක්සත් ජාතික පාක්ෂිකයා හඳුන්වා දීමට කදිමයැයි මට හැඟේ.

“කවුද හරි කියා නොව කුමක්ද හරි කියා සිතන්න (What’s right, not who’s right)”

එක්සත් ජාතික පක්ෂය කොපමණ මැතිවරණ පරාජය වුවද එජාපයේ දැවැන්ත මතවාදී දර්ශනය කිසිදා පරාජය නොවනු ඇත. එය දිනෙන් දින දිදුලනු ඇත. මක්නිසාදයත් එක්සත් ජාතික පක්ෂය, තම දෑතේ දෙපයේ වීර්යයෙන් කාටත් අත නොපා නැගී සිටින දේශප්‍රේමී මිනිසුන්ගේ දේශපාලනික තීර්ථ යාත්‍රාව නිසාය.

දෙනෙත් හැර බලන්න. එජාපයේ ජීව ගුණය තේරුම් ගන්න. ඊට එකඟ වුවත් නැතත් රටේ සුබසිද්ධිය තකා මිනිසුන් විවේචණය කරන කලාවෙන් ඈත්ව ප්‍රතිපත්ති විවේචණය කරන කලාවට හැඩ ගැසෙන්න.

ඔබට, රටට ජයෙන් ජය…!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

9 responses to this post.

  1. අඩෝ මැක්සා.. ඇ‍ඬෙනව කියවනකොට..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. පැහැදිලිවම කීමට ඇත්තේ මෙවැනි විශිෂ්ඨ ඝනයේ ලිපියක් දැකීමට ඇත්තේ කලාතුරකින් බවයි. එමෙන්ම මෙහි ඇති කරුණු පිලිබඳ සංවාදයකට පැමිනීමට හැකියාවක් ඇත්තෙක් සිංහල බ්ලොග් අවකාශයේ සිටීද යන්න නම් ගැටළුවකි. (විරුද්ධව මත දැරීමට )

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. ජාතික සමගිය ගැන කියවද්දී මතක් උනේ. පසුගිය ජනාධිපතිවරනයේදී සුළු ජාතීන් බහුතරයක් ජීවත් වන ආසන අති බහුතරයකින් (කයිට්ස්, වෙන්නප්පුව , වත්තල හැර ) ප්‍රතික්ශේප වුනු (මුස්ලිම් 98%) මහේන්ද්‍ර රාජපක්ශ නම් වූ සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වූ පුද්ගලයා නැවත මේ රටේ ජාතික ගොඩනැගීම තරම් විහිලුවක් තවත් නෑ. මේ සඳහා ඔහුගේ කැපවීම කෙතරම්ද කිව්වොත් දමිළ ජනයා ලක්ෂයකට වැඩි පිරිසක් ජීවත් වෙන ගම්පහ දිස්ත්‍රික්කයට දමිළ අපේක්ශකයෝ එක්කෙනෙක්වත් නෑ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. හැමෝටම බොහොම ස්තූතියි…. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Posted by පුබුදු on මාර්තු 8, 2010 at 13:19

    පට්ට නිලෝ
    විශේෂයෙන්ම ගාමිණී දිසානායක ලලිත් ඇතුලත්මුදලි ගැන කියපු දේවල් ගොඩක් සංවේදී..
    ගාමිණී දිසානායක මහතා නොසිටින්න අපිට ටෙස්ට් වරම් ලබාගන්න තව බොහෝ කල් ඉන්න වෙනවා…

    එජාප පාක්ශිකයෙක් නොවුනත් මෙය කියවන්න හොඳ ලිපියක්…
    වත්මන් පරාජ වලට හේතු ගැන නම් මට මෙතන කියන්න ඉඩ මදි..

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. ‍අනේමන්ද
    දැන් මේ ර‍ටේ රට ගැන හිතන දේශපාලකයන් කව්රැත් නැති නිසා ඉතිහාසය ගැන කීමෙන් පලක් නෑ නේද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • එහෙම හිතන එක වැරදී… දෙපැත්තෙම රට ගැන හිතන දේශපාලනඥයො සුළු වශයෙන් හෝ ඉන්නවා… අනික් දේ ඔබ කියන විදියට වෙන දේවල් දිහා බලාගෙන නිවට ලීලාවෙන් ඕන දෙයක් වුණු දෙන් කියලා ඉන්න එක නෙවෙයි අපෙන් අපේ රට වෙනුවෙන් වෙන්න ඕනෙ යුතුකම…

      ප්‍රති-පිළිතුරු සැපයීම

පුබුදු වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න