Archive for පෙබරවාරි, 2010

සන්ධාන පාක්ෂිකයින්ගේ කාරුණික අවධානය පිණිසයි!!!

2010 මහ මැතිවරණය අත ළඟය, රටේ ප්‍රධානතම දේශපාලනික ප්‍රවාහ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ දිස්ත්‍රික් 22ටම නාමයෝජනා භාරදී ඇත. පාර්ලිමේන්තු ආසන 225න් 200 ඉක්මවන ප්‍රමාණයක් මෙම පක්ෂ දෙක අතරේ බෙදී යනු ඇත. ඒ සඳහා එජාපයෙන් සහ එජනිසයෙන් අපේක්ෂක මහත්ම මහත්මීන් (සහ හිමිවරුන්) 262ක් බැගින් ඉදිරිපත්වී ඇත. ජනතා මනාපය මත මෙම අපේක්ෂකයින් අතුරින් කවුරුන් පාර්ලිමේන්තු යන්නේද, කවුරුන් නොයන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තුලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ප්‍රතිපත්ති, මතවාද සහ ජනතාව තම වරදාන වරප්‍රසාද උදෙසා පාව දුන් හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්ය. රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් දේශපාලනයේ නිරත වන කළු සුදු කරන්නත්, සුදු කළු කරන්නත් උත්සාහ දරණ මොවුන්ට මනාපයක් ලකුණු කරන්නේදැයි අප සන්ධාන ඡන්දදායකයන්ගෙන් අසමු. මක්නිසාදයත් ස්වකේය උදරාර්ථය උදෙසා මොවුන් යළිත් වරක් ඡන්දදායකයා පාවා දීමේ අවධානම පවතින නිසා  ශ්‍රීලනිප පාක්ෂිකයන් මනාප පළ කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. පහළ වීඩියෝව නරඹා ඔබට මේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වනු නොඅනුමානය.

එම වීඩියෝවේදී වැදි බණක් දේශනා කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි ඇමැතිවරු අද කතා කරන්නේ කොහොමද? මේ වීඩියෝවේ නැති ප්‍රතිපත්තිමය මහත්මා දේශපාලනය ගැන පම්පෝරි ගැසූ මිලින්ද මොරගොඩ වැන්නන් අද කර ඇත්තේ කුමක්ද? මේ දිව දෙකේ මහත්වරුන් උත්තරීතර සභාවේ ජනතා නියෝජනයට සුදුසුද?

පහත සඳහන්, එජාප ඡන්දදායකයාගේ අභිමතය පාවා දුන් අපේක්ෂක මහත්වරුන්ට මනාපය දීම නොදීම ඔබේ අයිතියකි. ඒ අයිතිය බුද්ධිමත්ව භාවිතා කරන්න.

කොළඹ දිස්ත්‍රික්කය
මිලින්ද මොරගොඩ
රෝහිත බෝගොල්ලාගම
බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
අසාත් සාලි
දුමින්ද සිල්වා
ධනසිරි අමරතුංග

කළුතර දිස්ත්‍රික්කය
මහින්ද සමරසිංහ
දොස්තර රාජිත සේනාරත්න

ගාලු දිස්ත්‍රික්කය
ලයනල් ප්‍රේමසිරි

මාතර දිස්ත්‍රික්කය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ජස්ටින් ගලප්පත්ති

කුරුණෑගල දිස්ත්‍රික්කය
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඉන්දික බණ්ඩාරනායක

පුත්තලම දිස්ත්‍රික්කය
නියෝමාල් පෙරේරා

මහනුවර දිස්ත්‍රික්කය
කෙහෙළිය රඹුක්වැල්ල
එස්.බී. දිසානායක
ෆයිසර් මුස්තාෆා

නුවර-එළිය දිස්ත්‍රික්කය
නවීන් දිසානායක

මාතලේ දිස්ත්‍රික්කය
නන්දිමිත්‍ර ඒකනායක

රත්නපුර දිස්ත්‍රික්කය
මහින්ද රත්නතිලක

කෑගල්ල දිස්ත්‍රික්කය
මනෝ විජයරත්න

අනුරාධපුර දිස්ත්‍රික්කය
ඩබ්.බී. ඒකනායක

පොළොන්නරුව දිස්ත්‍රික්කය
චන්ද්‍රසිරි ඒ. සූරියාරච්චි

දිගාමඩුලු දිස්ත්‍රික්කය
පී. දයාරත්න

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
සුසන්ත පුංචිනිලමේ

මේ අතර සෙසු දේශපාලන කරණම් කරුවන් අතුරින් හේමකුමාර නානායක්කාර මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වය නිසා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති අතර 1965දී මුල්වරට පාර්ලිමේන්තුවට ඇතුළු වූ ආර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතුමාද මෙවර තරඟ නොකරයි. හිටපු කතානායකවරයකු වන එම්.එච්. මොහොමඩ් මහතාද දේශපාලනයට සමුදී ඇති සේයාවකි. මහාචාර්ය ජී.ඇල්. පීරිස්, හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර සහ ඒ.එච්.එම්. අස්වර් ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

ප්‍රතිපත්ති විරහිත මහත්වරුන්ට පාඩමක් උගන්වා මීළඟ පාර්ලිමේන්තුවට යූඇන්පී, ශ්‍රී ලංකා භේදයෙන් තොරව ප්‍රතිපත්තිගරුක, බුද්ධිමත්, දක්ෂ, සැබෑ ජනතා සේවකයන් පත්කර යවීම ශ්‍රී ලාංකේය අප සැමගේම වගකීමකි. එම වගකීම නොපිරිහෙලා ඉටු කරලීමට අපි කැප වෙමු!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

මහින්ද මහත්තයාගේ නොබැඳි පිළිවෙත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්න කණ වැකුණු කළ බණ්ඩාරනායකවරු, රාජපක්ෂවරු, පංච මහා බලවේගය, මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියද සිහියට පැමිණේ. නමුත් වර්තමාන එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකක්ද??

කොහෙත්ම නැත. නොබැඳි පිළිවෙතෙහි මූලිකාංගය වන්නේ කිසිත් සතුරකු නැතිව ලෝකයේ සියළු රටවල් සමඟ මිතුදම් පැවැත්වීමයි. නොබැඳි සමුළුව පටන්ගන්නා කාලයේදී ලෝකය පාර්ශව දෙකකට බෙදී සිටියේ එක් කොට්ඨාශයක් ඇමෙරිකාව වටා ගොනු වෙද්දී අනෙක් කොට්ඨාශය සෝවියට් රුසියාව වටා ගොනු වෙමිනි. නමුත් ශ්‍රී ලංකාව මේ දෙපාර්ශවයටම එකතු නොවී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළාය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙහි පුරෝගාමියකු විය. 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් පසුව බලයට ආ එජාප ආණ්ඩුවද මෙවැනිම පියවරක් ඉදිරියට ගෙන යන ලදි. ඉස්ලාමීය ජනරජයක් වන පාකිස්ථානයත් ඉස්ලාම් ලෝකයේ දැඩි පිළිකුළට පාත්‍ර ඊශ්‍රායලයත් 80 දශකයේ ත්‍රස්තවාදයට විරුද්ධ සටනේ ප්‍රධාන හවුල්කරුවන් වන්නේ එවන් වටපිටාවක් යටතේය. එකිනෙකාට දැඩි ලෙස දෙස්දෙවොල් තියාගන්නා ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන්, ජේ.ආර්. දක්ෂ නායකයකු යැයි මාධ්‍යයට කියද්දී, කියුබාවේ ෆිඩෙල් කැස්ත්‍රෝ, ජේ.ආර්. ආසියාවේ පූර්වාදර්ශී නායකයකු ලෙස හඳුන්වන්නේ එවැනි වාතාවරණයක් තුලය.

මහ්මූද් අහමඩිනජාඩ් සහ හූගෝ චාවේස්

එහෙත් එදා නොබැඳි පිළිවෙත අප රටට හඳුන්වා දෙමින් දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේම අමු අමුවේ නොබැඳි ප්‍රතිපත්තිය උල්ලංඝණය වෙමින් පවතී. අද අපේ ජනාධිපතිතුමා හාදකම් පවත්වන්නේ රුසියාව, ඉරානය, ලිබියාව, මියැන්මාරය, වෙනිසුවේලාව වැනි රටවල රාජ්‍ය නායකයින් සමඟය. ශ්‍රී ලන්කන් ගුවන් යානා සංචිතයේ එයාර්බස් A340 යානයකින් තම විශාල අමාත්‍ය නඩය සමඟ එතුමා පියා සරන්නේ එහෙව් රටවලටය. ඔහු ජපානය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, කැනඩාව අමතක කර ඇත. දුරවබෝධය හෝ කිසියම් හේතුවක් නිසා පළුදු වී ඇති සම්බන්ධතා යළි සවිමත් කරන්නට උත්සාහ කරන්නේ නැත.

2001-2004 යූඇන්පී පාලන සමයේදී යුරෝපා හවුල සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව අප රටේ ඇඟළුම් නිශ්පාදන සඳහා 9.6%ක බදු සහනයක් යුරෝපා හවුලේ රටවල් වලින් හිමිවෙමින් තිබුණි. මේ ඔබ අප කවුරුත් අසා හුරුපුරුදු GSP+ බදු සහනයයි. අද වන විට අවම ලෙසින් මාස හයක් සඳහා අපේ ඇඟළුම් කර්මාන්තයට මෙම GSP+ සහනය අහිමිවී තිබේ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශව මේ සහන නැති වුවත් කමක් නැහැ කියද්දී, යුරෝපා ප්‍රජාවට ගරහද්දී, කොකා පෙන්වද්දී ආණ්ඩුවේම තවත් මහත්වරුන් යුරෝපා හවුල සමඟ සමථයකට පැමිණ මෙම සහනය යළි හිමි කරගැනීමට උත්සාහ දරයි. මෙවැනි දෙබිඩි පිළිවෙත්වලින් හානි වන්නේ රටේ ආර්ථිකයටයත් ජනතාවටත්ය. සැබැවින්ම GSP+ සහනය අපේ රටේ ඇඟළුම් කර්මාන්තයට මහත් අස්වැසිල්ලක් බව සනාථන සත්‍යයකි. රටේ රැකියා රාශියක් මෙම සහනය මත යැපෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉරානය යනු ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ප්‍රතිඥා දෙන රටකි, එහි ජනාධිපතිතුමාට ඉරාන වැසියන් තුලින්ම එල්ල වන්නේ මහත් අප්‍රසාදයකි, ලිබියාව එළිපිට ත්‍රස්තවාදයට සහය දුන් රටකි, මියැන්මාරය යනු මහ මග භීක්ෂූන් වහන්සේලා මරා දමන විපක්ෂය හිර අඩස්සියේ තියාගෙන සිටින ඉඩි අමීන් ස්වරූපයේ හමුදා පාලනයකි, වෙනිසුවේලාව ලෝකයටම අභියෝග කරන එරට පෞද්ගලික අංශය, ව්‍යවසාය අඩපණ කොට ජනතා අප්‍රසාදයාට පාත්‍ර රජයකි. මේ රටවල් සමඟ සබඳතා පැවැත්විය යුතු වුවත් මොවුන් සමඟ පමණක් ඇයිහොඳැයිකම් පවත්වන විට ලෝකය අප දෙස බලනුයේ වපර ඇසිනි. අවාසනාවට රජයේ නාලිකාවල හෝද හෝදා මඩේ දැමූ ඉඩි අමීන් ආකාරයේ පාලනයන් සමඟ මේ රජය වැඩි හිතවත්කම් පැවැත්වීම හාස්‍යජනකය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හීන වෙමින් යන මේ රටවල් සමඟ ඇඟෑළුම්කම් පෑම අපට එරෙහිව නැගෙන චෝදනාවලට තවත් උත්ප්‍රේරකයක් නොවන බව කාට නම් කිව හැකිද? බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව ප්‍රකට කියමනකි. මේ කියමන අප මුහුණ දෙන තත්ත්වය මනාව විස්තර කර දෙයි.

රට වෙනුවෙන් ලොවම දිනුවා යැයි පුරසාරම් දෙසන රෝහිත බෝගොල්ලාගම ගරු ඇමැතිතුමා බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ (Conservative Party) විපක්ෂ මන්ත්‍රීවරයකු වන ලියෑම් ෆොක්ස් මහතාට රාජ්‍ය සැලකිළි ලබාදෙමින් බ්‍රිතාන්‍ය රජයට කොකා පෙන්වන්නට සැරසුණි. එහෙත් අවසානයේදී ලියෑම් ෆොක්ස් කීවේද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජන ඇති බවත් සරත් ෆොන්සේකා සෙන්පතිතුමා අත්අඩංගුවට ගැනීම තමා සහ කන්සවේටිව් පක්ෂය හෙලා දකින බවත්ය. රට වෙනුවෙන් ලොවම දිනූ මැතිඳුන්ගේ උප්පරවැට්ටි අතේ පත්තු වෙමින් තිබීම රටට අසුබ තත්ත්වයකි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම සමස්ථ විදේශ සේවයම විහිළුවක් බවට පත් වෙමින් පවතී. මෙය කියන්නේ අප නොවේ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිව සිටි අප රටේ ගෞරවය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ රැකුමට ක්‍රියාකාරී වූ ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාත් වත්මන් විදෙස් ප්‍රතිපත්තිය වාර කිහිපයකදීම විවේචණය කළේය.

මෙහිදී අප රටේ ආයෝජනයන්ට දායක විය හැකි රටවල් සමඟ සහයෝගීතාවයක් ගොඩ නගා ගැනීම වැදගත්ය. දකුණු අප්‍රිකාව, සිංගප්පූරුව වැනි රටවල් තුන්වැනි ලෝකයේ සිට දියුණුවට පා තැබුවේ විදේශ ආයෝජන හරහාය. කවරෙකු කොහොම කීවත් අපේ රටේ ශීඝ්‍ර සංවර්ධනය උදෙසා විදේශ දායකත්වය අත්‍යවශ්‍යය. ඒ නිසා ලෝකයේ සෑම සියළු රටක් සමගම හොඳ සබඳතා පවත්වමින් අපේ දියුණුවට මග පාදා ගත යුතුය. ඉන් විදේශයන්ට ගැති වීම අදහස් නොකෙරෙණ බවද අවධාරණය කළ යුතුය.

විදේශ රටවල් අප සමඟ අපේ සුගතිය උදෙසා සබඳකම් පවත්වනුයේ කලාතුරකිනි. බොහෝ විට සෑම රටක්ම අප හා හිතවත්කම් පානුයේ තමන්ගේ කුමන හෝ න්‍යාය පත්‍රයක් මුදුන් පමුණුවා ගැනීමට විය හැකිය. ඉරානය, ලිබියාව, වෙනිසුවේලාව, රුසියාව, මියැන්මාරය වැනි රටවල් එසේ අපට සලකන්නේද එවැනිම පදනමක් තුල පිහිටාය. අප කළ යුත්තේ රටවල් කිහිපයක හිතවතුන් වී ඒ ඒ රටවල අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට රුකුලක් වනවා වෙනුවට සියළු රාජ්‍යයන් හා සමගි වී දෙපාර්ශවයන්ටම වාසි සහගත අයුරේ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමය. මේ බව සදාහරිත අපි මීට පෙර අවස්ථාවකදීද සාකච්ඡා කළා ඔබට මතක ඇති.

විජාතික බලවේග” සහ “ජාත්‍යන්තර කුමණ්ත්‍රණ” යන හුදු දේශපාලනික සටන්පාඨය පසෙකින් තබා බුද්ධිමත්ව, සමබරව, සැබෑ නොබැඳි ස්වරූපයෙන් රටේ විදේශ ප්‍රතිපත්තියක් ගොඩ නැගිය යුතුය. එසේ නොකළහොත් රටේ “සුබ අනාගතය” එතරම්ම සුබ නොවනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

සමානුපාතික ඡන්ද ක්‍රමය – රාමුවෙන් එහා සිතමු

සමානුපාතික ඡන්ද ක්‍රමය යනු කාගේත් අවධානය දිනාගත් විවාදාපන්න මාතෘකාවකි. බොහෝ දෙනා මේ ක්‍රමය වෙනස් කළ යුතු යැයි පවසති. බොහෝ පක්ෂ මේ ක්‍රමය වෙනස් කිරීමට ප්‍රතිඥා දෙති. සමහරුන් මින් විකෘතියන් නිර්මාණය වන බව පවසති. ඒත් සමානුපාතික ක්‍රමයේ වරද කිම?

1978 ව්‍යවස්ථාවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමට පෙර පැවැතියේ කේවල ක්‍රමයයි. මේ ක්‍රමය ජනතා අභිලාෂයන් අංශුමාත්‍රීයව හෝ පිළිබිඹු නොවෙන ක්‍රමයක් බව සනාථය. මේ බවට කදිම උදාහරණයක් වනුයේ 1977 මහ මැතිවරණයයි. එක්සත් ජාතික පක්ෂය 50.9%ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ ආසන 140ක් දිනාගනිමින් 5/6ක බහුතරයක් උරුම කරගනිද්දී 6.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් දිනාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් සමඟ විපක්ෂයේ දැවැන්තම පක්ෂය වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 29.7%ක ඡන්ද ප්‍රතිශතයක් තිබියදීත් දිනා ගනුයේ ආසන 8ක් පමණි. කේවල ක්‍රමය හරහා බහුතර ආණ්ඩු සාදන්නට පුළුවන් වුවත් ඉන් ජනතා අදහස් පිළිබිඹු වන්නේ නැත.

මගේ අදහස හැටියට කේවල ක්‍රමයේ නොහැකියාව පෙන්වීමට යෝග්‍යතම මැතිවරණය 1970 මහ මැතිවරණයයි. එහිදී 36.9%ක් ඡන්ද දිනා ආසන 91 දිනමින් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සමඟ 2/3ක බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන ශ්‍රීලනිපයට වඩා එජාපය ඡන්ද ලබා ගැනීම විශේෂත්වයකි. එජාපය එදා 37.9% ඡන්ද ලැබූවද ඔවුන් දිනන්නේ ආසන 17ක් පමණි. මෙය සාධාරණද? 1972 ශ්‍රීලනිපය ඉදිරිපත් කළ ජනරජ ව්‍යවස්ථාව 78දී නව ව්‍යවස්ථාවකින් ආදේශනය කෙරිණි. මෙහෙම එන හැම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොත් රටේ ස්ථාවරත්වයට හානි ගෙන දෙයි. අනෙක කේවල ක්‍රමයෙන් පහසුවෙන් 2/3 ඉක්මවන බලයන්ගෙන් යුත් ආණ්ඩු ගොඩ නැගීමට හැකි වීම හරහා විපක්ෂය දැඩි ලෙස මර්දනය කිරීමට මාවත සැකැසේ.

මේ අතර සමානුපාතික ක්‍රමයෙන් මීට වඩා සාධාරණව ජනතා අදහස් පිළිබිඹු වෙයි. දිස්ත්‍රික්කයක වලංගු ඡන්දයෙන් 5%කට වැඩි ප්‍රමාණයක් ගන්නා පක්ෂ වලට තම ඡන්ද වලට සමානුපාතිකව ආසන හිමිවන අතර දිස්ත්‍රික්කයක් දිනන පක්ෂයට ප්‍රසාද (බෝනස්) ආසනයක් ලැබෙන්නේ ආණ්ඩු බලය ශක්තිමත් කිරීමටය. 2004 මහ ඡන්දයේදී ඡන්ද 45.6%ක් ලබාගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105ක් දිනාගනී, එය ප්‍රතිශතයක් ලෙස පාර්ලිමේන්තු ආසනවලින් 46.66%කි. එජාපය එහිදී ඡන්ද 37.83% දිනාගනිමින් පාර්ලිමේන්තු ආසනවලින් ප්‍රතිශතාත්මකව 36.44%ක් වන ආසන 82ක් දිනා ගනී. මේ තත්ත්වය 100%ක් නිරවද්‍ය ලෙස ජනමතය නියෝජන නොකළද එය ප්‍රශස්ථ තත්ත්වයක් නොවන්නේද??

බොහෝ දෙනෙක් සමානුපාතික ක්‍රමයට දෙස්දෙවොල් තියන්නේ ඉන් ස්ථාවර ආණ්ඩු බිහි නොවන බව කියමිනි. නමුත් ඔවුන් කරන්නේ කොළය වසා ගැසීමකි. ස්ථාවර ආණ්ඩු බිහි නොවන්නේ සමානුපාතික ක්‍රමයේ වරදක් නිසා නොව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නොහැකියාව නිසාමය. ඇයි මම එහෙම කියන්නේ. උත්තරය සරලය, 2004 මහ ඡන්දයේදී උතුරු නැගෙනහිර ආසන 31න් එජාපය දිනන්නේ 2ක් පමණකි එජනිසය දිනන්නේ 4ක් පමණි. සෙසු ආසන 25 ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඊපීඩීපීය අතර බෙදී යයි. ප්‍රශ්නය ඇත්තේ අන්න එතැනය. උතුරු නැගෙනහිර ආසන 31න් ප්‍රධාන පක්ෂ දෙකට 10 බැගින්වත් දිනිය හැකි නම් බහුතරය පිළිබඳ ප්‍රශ්නයද විසැඳෙනු ඇත.

බොහෝ දෙනෙක්ට සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඇති අනෙක් ගැටළුව නම් මනාප ක්‍රමය සහ මනාප පොරයයි. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ මනාප ක්‍රමය නිසා මුදල් බලය සහ මැර බලය ඇති දේශපාලනඥයන් රජයන බවයි. එහි ඇත්තක් ඇත. නමුත් කේවල ක්‍රමයට ගියොත් මුදල් බලය සහ මැර බලය අඩු වෙයිද යන සාධාරණ ප්‍රශ්නය අපට ඇති වේ. එසේ වුවහොත් වෙනසක් සිදු නොවනු ඇත. මුදල් බලය ඇති කෙනා ආසනය පුරා සල්ලි බෙදමින් ඡන්ද එකතු කරනු ඇත, මැර බලය ඇති කෙනා ආසනය පුරා ප්‍රචණ්ඩත්වය වපුරුවනු ඇත. එහෙනම් මනාප ක්‍රමය ඉවත් කිරීමෙන් සිදුවෙන හොඳ කුමක්ද? මනාප ක්‍රමය ඉවත් කළහොත් එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවතින නොහොඳ නෝක්කාඩු අඩු වී යනු ඇත, ඇනකොටා ගැනීම් අඩු වනු ඇත. එහෙත් මේ නොහොඳ නෝක්කාඩු, මනාප ගැටුම් වලදී වැඩි වගකීම භාරගත යුතු වන්නේ අපේක්ෂකයින්, පක්ෂ නාමයෝජනා මණ්ඩල සහ ඡන්දදායකයින්ය. තම පක්ෂය තුලම ඇණ කොටාගන්නා උදවියට නොමිනේෂන් නොදීම පක්ෂවල වගකීමකි, ඊට අපේක්ෂකයින්ට කොන්දේසී පැනවිය හැකිය, නිවැරදි පරිදි තම මැතිවරණ සටන මෙහෙයවීම අපේක්ෂකයින් සතු යුතුකමකි, තම පක්ෂයේ සෙසු අපේක්ෂකයන්ට එදිරි නොවී මහත්මා ලෙස ඡන්දය මෙහෙයවා පාර්ලිමේන්තු ගිය ආදර්ශවත් මන්ත්‍රීවරුන්ද සිටිති., මුදල් බලයට, මැර බලයට යට නොවී මනාපය සලකුණු කිරීම ඡන්දදායකයා සතු වගකීමකි.

හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සලකමු. අපි මොහොතකට ඔහු බන්දුල ගුණවර්ධනට අකැමැති බවත් මංජු ශ්‍රී අරංගලට කැමැති බවත් සිතමු. නමුත් ඔහු ප්‍රබල එජාප විරෝධියකුද වෙයි. කේවල ක්‍රමයට ඡන්දයක් තුබුණි නම් මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මංමුලාවනු ඇත. ඔහුට තමන් කැමැති පක්ෂයේ අකමැති අපේක්ෂකයා දිනවනවාද නැතිනම් අකැමැති පක්ෂයේ කැමැති අපේක්ෂකයා දිනවනවාද යන ප්‍රශ්නයට මුහුණ පාන්නට සිද්ධ වෙයි. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ ඔහුට බුලත් කොළයට කතිරය ගසා කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකයින් 22ක් අතුරින් සුදුසු තිදෙනෙක් තෝරා ගැනීමේ වරම හිමිවෙයි. මෙය උක්ත තත්ත්වයට වඩා සුබවාදී නොවන්නේද?

තවද සමානුපාතික ක්‍රමය හරහා තම ආසනයේ සංවිධායකයින්ට පාඩමක් උගන්වන්නටද ජනතාවට පුළුවනි. 1994-2000 පොදුජන එක්සත් පෙරමුණු රජයේ පතාකයකු වූ කිංස්ලි ටී. වික්‍රමනායක මහතාගේ අසුන වූ කඩුවෙල 2000 මහ මැතිවරණයේදී පොදු පෙරමුණ ජයලබද්දී ඔහුට පාර්ලිමෙන්තු වරම් අහිමි වුවත් එවක කඩුවෙල එජාප සංවිධායකයා වූ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කඩුවෙල ආසනය පරාජය වුවද පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේය. කේවල ක්‍රමය තිබුණි නම් මෙවන් ප්‍රතිඵලයක් අපට බලාපොරොත්තු විය හැකිද?

අනෙක් අතට අපි තිස්සමහාරාම ආසනය සැලකුවහොත් එය පක්ෂ ත්‍රිත්වයක් දැඩි ලෙස ශක්තිමත් ප්‍රදේශයකි. එහි එජනිස අපේක්ෂකයා ඡන්ද 30,000 දිනා පළමුවැන්නා වෙද්දී එජාප අපේක්ෂකයා ඡන්ද 25,000ක් සහ ජවිපෙ අපේක්ෂකයා ඡන්ද 20,000 දිනා පරාජය වනු ඇත. ඡන්ද 30,000ක් පාර්ලිමේන්තුවේ නියෝජනය වෙද්දී ඡන්ද 45,000ක් පාර්ලිමේන්තුවේ කිසිවකු විසින් නියෝජනය නොකරනු ඇත.

මනාප ක්‍රමයට නගන තවත් එක් අවලාදයක් නම් ඉන් යම් ආසන වලට සෙත නොසැලසෙන බවයි. පළමුකොට කිව යුතු වන්නේ පාර්ලිමේන්තුව යනු ප්‍රතිපත්ති සම්පාදනය කේන්ද්‍ර කොට ගත් ආයතනයක් බවයි. බොහෝ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සාක්ෂාත් කිරීම පැවැරෙන්නේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලටය. කෙසේ වෙතත් මෙම සමානුපාතික ක්‍රමය තුල මුළු දිස්ත්‍රික්කයක්ම එක් මැතිවරණ කොට්ඨාශයක් ලා ගැනෙන බව මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතුය. ඒ අනුව එක් නිශ්චිත ප්‍රදේශයක් අරක් ගෙන සේවය කරනවා වෙනුවට දිස්ත්‍රික්කය පුරාවටම සේවය කිරීම ඔවුන්ගේ යුතුකමකි. එවැනි මන්ත්‍රීවරුන්ට ඡන්දය දීමද ජනතාවගේ යුතුකමකි. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට මනාප දෙද්දී තමන්ගේ පෞද්ගලික වාසීන් පසෙක ලා රටට සුදුසු මන්ත්‍රීවරු පත් කිරීම ඡන්දදායකයා සතු ප්‍රධාන වගකීමකි.

නමුත් ජාතික ලැයිස්තුව නම් වෙනස්කම්වලට භාජනය විය යුතුය. ජනතා තීන්දුවෙන් මිදීමේ මාධ්‍යයක් ලෙසත්, ජනවරමක් නැති හෙංචයියන් පාර්ලිමේන්තු එවීමේ ක්‍රමයක් ලෙසත් ජාතික ලැයිස්තුව භාවිතා වේ. ජාතික ලැයිස්තුවෙන් සැබැවින්ම සිදු වෙන්නට ඕනෑ විද්වතුන් පාර්ලිමේන්තු එවීමය, එනම් මහාචාර්ය ජී.ඇල්.පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, කේ.එන්. චොක්සි වැනි මහත්වරුන්ය. නමුත් අද වන විට ජාතික ලැයිස්තුවෙන් එම කර්තව්‍යය ඉටු වන්නේද, පහුගිය ආණ්ඩුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා වැන්නවුන්ය. එනිසා දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවල වැදගත්කම හඳුනාගෙන ඊට සුදුස්සන් පත් කළ යුතුය. නමුත් හවුල්කාර දේශපාලන පක්ෂවලට ජාතික ලැයිස්තුවේ පංගු වෙන්කිරීමටද ඔවුන්ට සිදුවී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. ජාතික ලැයිස්තුවට ලැබී ඇති ආසන 29 උවමනාවට වැඩිය යන්න මගේ මතයයි.

ඉතින් මාගේ පෞද්ගලික මතය අනුව මනාප ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීය, විශ්වසනීයය. ප්‍රශ්නය නම් අපේ ජනතාව එය වැරැදි ලෙස භාවිතා කිරීමයි. නමුත් අතීතයේදී මැර දේශපාලනයෙන් තොරව මන්ත්‍රීවරු ඡන්ද දිනා ඇත. පෝස්ටර් සංස්කෘතියට ගැති නොවූ කරු ජයසූරිය, මිලින්ද මොරගොඩ, මොහාන් ලාල් ග්‍රේරු, උදය ගම්මන්පිල ඡන්ද ඉහළින් දිනා ඇත, මැර බලයෙන්, මිල මුදලින් තොරව මන්ත්‍රීවරු ඉහළ මනාප දිනාදෙන ඇත. ඡන්දදායකයන් ලෙස ඔහේ අපේ මනාප ත්‍රිත්වය නාස්ති නොකර, කුමන පක්ෂයට ඡන්දය දුන්නත් මනාප තුන බුද්ධිමත්ව සටහන් කරන්නේ නම් තත්ත්වය සුබදායී වනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

යුදබිමටත්, පුදබිමටත්, දෙකටම ඉන්ද්‍රඛීලයක් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතිඳුන් – මේජර් ජෙනරාල් ජානක පෙරේරා

Click here to get Sinhala Unicode

දවස 2008 ඔක්තෝබර් 6 වනදාය, එවක විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයකු ලෙස දේශනයකට සහභාගී වෙමින් සිටි මට හද සසල කරවන පණිවුඩයක් ලැබුණේ මගේ හිතමිත්‍ර රාජා හරහාය. රටම ආදරය කළ උතුරු මැද පළාත් විපක්ෂ නායක, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා අනුරාධපුරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව රාජාට යම් මාධ්‍ය ජාලයකින් ලැබුණු කෙටි පණිවුඩයේ සඳහන් වූ පුවතයි. මේ දීර්ඝ ලියමන ලියැවෙන්නේ ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා සහ සොඳුරු මිනිසා වෙත ඇති ඉමහත් භක්ත්‍යාදරය නිසාමය.

මේජර් ජෙනරල් ජානක පෙරේරා

1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මහතා මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය. ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජානක පෙරේරා මහතා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි. ඒ අනුව 1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි. එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා සෙබලා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා  ලදි.

දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි. ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.

ත්‍රස්තවාදයට විරුද්ධ කොමාන්ඩෝ නිලධාරියකු සේ

අතිදක්ෂ කාර්යශූර නිලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි. මේ වනවිට 1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි. එදා පටන් කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කොමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය.

මායිම් ගම්මාන සුරැකි ගම්භාර දිව්‍යරාජයා

1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර මායිම් ගම්මානවල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තෝරා ගත්තේ අන් කවරකුවත් නොව එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.

ජීවිත අවදානම නොතකා සිය වගකීම භාරගත් ජානක පෙරේරා මැතිඳුන් ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය. ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.

අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ මායිම් ගම්මාන සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන මායිම් ගම්මානවලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය. නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය. ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ. මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ එතුමා කෙරේ ඔවුන් තුල පැවැති නොමඳ භක්තිය නිසාමය.

වඩමාරච්චි මෙහෙයුමට දායක වෙමින්

1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation)  සක්‍රීයව දායක වන ජානක පෙරේරා මහතාට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ. මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.

මේ සුවිශේෂී ඡායාරූපයේ වම් කෙළවරේ ඉන්නේ ජානක පෙරේරාය, අද කඳවුරු දෙකක නයි වෛරයෙන් පෙලෙන් ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාද මෙහි වෙති.

කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ. කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්ධද්වීපයට හෙළීය. එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව සුප්‍රකට ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි මහතා සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි. එහිදී ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත. එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.

ජවිපෙ කැරැල්ල මැඩලීමට

එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සුරුවිරුකම් පාමින් සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා ඉතා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි. තමන්ට ලැබෙන හෝඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර සහෝදරයා වලපනේ බංගලාවක ගම්ලත් නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය. ඊට අනුව වලපනේ වත්තට ගිය ජානක පෙරේරා අද යුද හමුදාවේ ඇතැම් නිලධාරීන් මෙන් රෝහණ විජේවීරව නින්දිත ලෙස කුදලාගෙන ආවේ නැත. ඔහු තමන්ව හඳුන්වා දී ගම්ලත් යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින් පෙනී සිටින්නා හා දොඩමළු විය. ගම්ලත්ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.

ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැනී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත. මේ සුවිශේෂී මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ. මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර සහෝදරයාගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත. මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි. විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.

පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය. කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි.

යාපන අර්ධද්වීපයට රිවිරැස පතිත වූ වගයි

1993දී යූඇන්පී ආණ්ඩුව යටතේ තොප්පිගලින් ස්වකේය ආරක්ෂාව වෙනුවෙන් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.

1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි. වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය. එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙහිදී යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය. ජයග්‍රහණයෙන් උද්දාමයට පත්විය යුතුව තිබූ ජානක පෙරේරා බොහොම උපේක්ෂාවෙන් මේ දෙස බැලීය. අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු

“අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේත් අපේ භූමියමනෙ”

කියා තෙපලා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරුතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක. ජානක පෙරේරාගේ අවංකත්වය ඔහුගේ හොඳට මෙන්ම නරකටද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති.

මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එයද අප ගෞරව පූර්වකව සිහිපත් කරමු.

යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.

වැලිඔය සංග්‍රාමික ආශ්චර්යය

වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය. මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට  සිදුවුණි.

ලංකා යුද ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.

එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට බුද්ධි තොරතුරු පිළිබඳ හොඳ ඉවක් ඇති බවත් බුද්ධි තොරතුරු රැස් කිරීමෙහිලා විශේෂ සුරුවිරුකම් පෑ බවත් ඉහත සඳහන් කළෙමි. මේ එක් මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි. ජානක පෙරේරා කළබල නොවී, කොහිවත් පලා නොයමින් කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.

එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා සූක්ෂම ලෙස ස්ථානගත කළේය. ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි. මෙහි විශේෂය නම් මේ මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 10කටත් අඩු ගණනක් වීමයි.

මේ විජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජයපැන් බීවේ, පම්පෝරි ගැහුවේ නැත. හමුදාව මහත් විජයග්‍රහණයකට මෙහෙයවූ ඔහුගෙන් දක්නට ලැබුණේ උපේක්ෂා සහගත ස්වභාවයකි. මිය ගිය කොටි සෙබලුන් ඉදිරියේ ඡායාරූපවලට පෙනී සිටීම පිළිකෙව් කළ ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ

“අවුරුදු 14 ළමුන් මරා සතුටු විය හැක්කේ මොන සොල්දාදුවාටද? මේත් මගේ රටේම මිනිස්සු, ඔයගොල්ලො තමුන්ගෙම මිනිස්සු මරණවද?”

කියාය. මේ කියමන සැබැවින්ම ඉතා ගැඹුරු අර්ථයකින් හෙබි ප්‍රකාශයක් නොවන්නේද? කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතැතිව හමුදාවට ඒ ආයුධයෙන් පහර දුන්නේද මේ රටේම පුරවැසියන්ය යන යාථාර්ථය ඔහු මැනැවින් අවබෝධ කරගෙන තිබූ සෙයකි.

වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගත්තේ වැලිඔය හරහාය. එම ගමන්මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කොටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි. ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත අහම්බයක්ද?

නොනවතින රැල්ලට නැවතීමේ තිත

වැලිඔයින් පසු 23වන, 51වන සහ 53වන සේනාංකාධිපතිධුර ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 1999 වන විට කොමාන්ඩෝ සහ විශේෂ කාර්යය බලකා වල සේනාංකාධිපතිවරයා ලෙසට පත්ව සිටියේය. මේ අතරවාරයේ වසර 2000 වන විට හමුදාව උතුරු යුද බිමේ පරාජයන් හමුවේ පරාජයන් ලබමින් මානසිකව ඇද වැටෙමින් පැවැතිණි. පුනරින්, කිලිනොච්චි, මුලතිව් හමුදා කඳවුරු කොටින් අත්පත් කරගෙන තුබූ අතර A9 මහාමාර්ගයේ බහුතර පාලනයද කොටි සන්තක විය. ඔයාදු අලෛහාල් (නොනවතින රැල්ල/Unceasing Waves) නමින් ප්‍රහාර මාලවක් දියත් කර තුබූ කොටි සංවිධානය කිසිදා හමුදාව අතින් ගිලිහී නොගිය, හසලක ගාමිණී වන් වීර සෙබලුන් දිවි දී රැකගත් අලිමංකඩ කඳවුරද ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනු ලැබූයේ එහි ජල සැපයුම ඇනහිටුවමිනි. අලිමංකඩ සමඟම හමුදා සොල්දාදුවන් රැසකගේ ජීවිතද අහිමිව ගිය අතර කොටි සංවිධානය යාපනය නගරය ඇතුළු සමස්ථ අර්ධද්වීපයම අත්පත් කරගැනීමේ තර්ජනය දැඩිව පැවැතුණි. යාපනයේ හමුදා මෙහෙයුම්වල කොඳු නාරටිය බඳු වූ පලාලි කඳවුරද දැඩි තර්ජනයකට මුහුණ පා තිබුණේ කොටින්ට බර අවි, යුද ටැංකි සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් (MBRL) රැසක් අලිමංකඩ බිඳ වැටීමත් සමඟ අත්පත්ව තිබූ හෙයිනි. මේ බර අවි නිසි ලෙස ස්ථානගත කිරීමේ අවස්ථාව කොටින්ට හිමි වුණි නම් පලාලි ගුවන්තොටින් ගුවන් යානා ගොඩබෑමට හෝ පිටත් කිරීමට නොහැකි වනු ඇත. හමුදා සෙබලුන් 1000කට අධික ප්‍රමාණයකට මරු කැඳවද්දී කොටි ත්‍රස්තයින් 35ක් පමණක් මරු වැළැඳගත් අලිමංකඩ ප්‍රහාරය යුද හමුදා ඉතිහාසයේ විශාලතම පරාජය ලෙස ඉතිහාසගතව ඇත.

අලිමංකඩ

හමුදා සෙබලුන් 40,000ක් පමණ ස්ථානගතව සිටි යාපන අර්ධද්වීපය මුළුමනින්ම රජයේ ග්‍රහණයෙන් ගිලිහී යෑමේ දැඩි අවදානමක් හට ගෙන තුබුණි. එම සෙබලුන් 40,000ට ඇති සැපයුම් මාර්ග (උදා – පලාලි) අහුරා ක්‍රමිකව හමුදාව අසරණ කර යාපන අර්ධද්වීපය දිනීම කොටින්ගේ උපක්‍රමය විය. මේ උපක්‍රමය සාර්ථක වීමේ සම්භාවිතාව කොතෙක්ව තිබුණිද යත් එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට නෞකා සපයන ලෙස ඉන්දීය රජයෙන් සහය ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා නාවුක හමුදා යාත්‍රා හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉක්මන් පසුබැසීමකට ප්‍රමාණවත් නොවුණු නිසා ඉන්දියාවෙන් කළ මෙම බැගෑපත් ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් බැරෑරුම් අඩියකට පත්විණි. යාපන අර්ධද්වීපයේ හමුදා සෙබලුන් 40,000කගේත් රාජ්‍ය පාලනයේත් අනාගතය තීරණය කෙරෙන හමුදා මෙහෙයුමට නායකත්වය සඳහා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේජර් ජෙනරාල්වරු දෙපලක් තෝරාගන්නා ලදි. ඉන් එක් අයෙකු වූයේ එවක සාමාන්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් (DGGS) සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය, අනෙකා එවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරායි. මෙහිදී ජානක පෙරේරා සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙසත් යාපනයේ ආරක්ෂක සේවා ආඥාපති ලෙස පත්වීම් ලත්තේය. යාපනයේ සිට ස්වාධීන රූපවාහිණි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ මේජර් ජෙනරල්තුමා එහිදී ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය රැක ගැනීමට සුදානම් බවත් හමුදාව හැරගිය සියළු දෙනාට තමන් හා එකතු වී අභීතව සටන් වදින ලෙසත් කළ අභීත ප්‍රකාශය පරාජිත මානසිකත්වයකින් ආලෝලනය වූ රටට අළුත් බලාපොරොත්තුවක් ගෙන දුනි. මේ සටනේදී කොටි සංවිධානයේ මෙහෙයුම් නායකයා වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් වීම විශේෂත්වයකි.

හනිකට හමුදා සැලසුම් කෙටුම්පත් කළ මේජර් ජෙනරාල්වරු යාපන අර්ධද්වීපයත් තම සෙබලුන්ගේ ජීවිතත් ආර්ක්ෂා කරගනු වස් දිවිහිමියෙන් කැපවිණි. වේගයෙන් යාපනය කරා ඇදෙමින් තිබූ කොටින්ට යාපන නගරයට කි.මි.45ක් නැගෙනහිරින් පිහිටි චාවකච්චේරියේදී දරුණු ලෙස පහරදෙමින් කොටි ගමන අඩාල කළද තර්ජනය දිගින් දිගටම පැවැතුණි. ඊටද කඩිනම් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ සියල්ලට අභීතව මුහුණ දෙමින් කොටින් මැඩපවත්වමින් වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමටත් යාපනයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙපල සමත්කම් පෑහ. රිවිකිරණ සහ කිණිහිරය නමින් යාපනය සුරැකීමේ පරමාර්ථයෙන් දියත් කෙරුණු මෙහෙයුම් සියල්ල මල්ඵල දරන්නට විය. යාපනය අර්ධද්වීපය රැක ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුම බොහෝ අගහිඟකම් මැද, අවාසි සහගත තත්ත්වයක, ජයගැනීම සුවිශේෂී සන්ධිස්ථානයකි, හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිංදුවට බැස තිබූ සහ කොටින්ගේ චිත්ත ධෛර්යය උපරිමයක්ව තුබූ මොහොතක මේ රණශූර මේජර් ජෙනරාල්වරුන් දෙපල දේශයට අත් කර දුන්නේ සැබෑ විජයග්‍රහණයකි.

අද සිදුව ඇත්තේ කුමක්ද? මේ මෙහෙයුම රට වෙනුවෙන් මෙහෙයවූ එක් මේජර් ජෙනරාල්වරයෙක් මිනිස් බෝම්බයකින් එළොව යවා ඇත, අනෙක් ජෙනරල්වරයා සිරගතව ඇත, එම මෙහෙයුමේදී කොටි ත්‍රස්තයින්ගේ මහ මොළකරුවකු වූ කරුණා අම්මාන් අද කැබිනට් ඇමැතිවරයකු ලෙස සුරසැප විඳියී. ඔබම ඔබේ හදවතට තට්ටු කර අහන්න මේ දේ හරිද කියල. ජාතික නිදහස් පෙරමුණේ, ජාතික හෙළ උරුමයේ මහා ලොකු ඊනියා දේශප්‍රේමීන්ට, සංවේදී කළාකාර බඩගෝස්තරවාදීන්ට මේවා සාධාරණීකරණය කළ හැකි වුවද බුද්ධිමත් කාට නම් මේවාට හුරේ දමත හැකිද??

අසාධාරණයකින් කෙළවර වූ හමුදා දිවිය

ජානක පෙරේරා හමුදා නිලධාරියකු ලෙස ඉතා පුළුල් දර්ශනයකින් සන්නද්ධව සිටියේය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ ඔහු දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි

“යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්‍රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරගන්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.”

මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි.

රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය, කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු ජානක පෙරේරාට රජය විසින් සැලකිය යුතුව තිබුණේ ජාතික වීරයකු ලෙසින්ය.

2000දී එතෙක් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීව සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කෙරිණි. හරිනම් හමුදාපතිවරයා ලෙස පත්වීමට ඔහු නියමව සිටියද චන්ද්‍රිකා ජනපතිනිය ඔහුට එම වරප්‍රසාදය ලබා නොදුන්නේ ජානක පෙරේරාගේ අසහාය පෞරුෂත්වය, බුද්ධිමත්කම, ජනප්‍රියත්වය හා සූක්ෂම ක්‍රියා පිළිවෙත තමන්ට තර්ජනයක් වනු ඇතැයි යන සැකයෙන් යැයි පැවසේ.

හමුදාපතිවීමේ සිහින දැකි ජානක පෙරේරා ඉච්ඡා භංගත්වයට පත්වෙමින් තම හමුදා දිවියට සමුදුන්නේය. හමුදාවෙන් නික්මෙන විට හේ රණවික්‍රම පදක්කම (RWP), රණශූර පදක්කම (RSP), විශිෂ්ට සේවා විභූෂණය (VSV), උත්තම සේවා පදක්කම (USP), පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම වැනි පදක්කම් රැසකින් ඔහුගේ වීරත්වයට පිදුම් ලෑයේය.

ලක්දිව බිහිවූ විශිෂ්ටතම දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායකයන් ජානක පෙරේරාට බෙහෙවින් ගරු කළ අතර කෙදිනක හෝ ජානක යුද හමුදාපති වනු දැකීම ඔහුගේ සිහිනයක් වූ බව කියැවේ. අවාසනාවකට ඒ කෘතහස්ත දේශපාලනඥයා රටේ රාජ්‍ය නායකත්වය මුවදොරට පැමිණි කළ එය අහිමි වූවා සේ ජානක පෙරේරාටද හමුදාපතිධුරය අසලටම විත් එය අහිමි වීම දෛවයේ සරදමක් විය හැකිය.

ජානක පෙරේරා මහතාගේ බිරිඳ වූයේ වජිරා පෙරේරා මහත්මියයි. ඇය ලංකා හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නිලධාරිනියන් 6 දෙනාගෙන් එක් අයෙකි. ජානක පෙරේරා සහ වජිරා පෙරේරා යුවලට දාව ජනුක්ෂි, ෂෙහාරා සහ අශංක නමින් දරුවන් තිදෙනෙකි. තම සැමියාට සෙවනැල්ලක් බඳු ගුණ නැණ බෙලෙන් යුතු  බිරියක් වූ වජිරා පෙරේරා මැතිණියත් ජානක පෙරේරා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරයෙන්ම සිය ජීවිත ගමනෙන් සමුගත්තාය.

රාජතාන්ත්‍රිකයකුගේ භූමිකාවට පණපොවමින්

ලැබෙන්නට තුබූ හමුදාපතිධුරය ජානක පෙරේරා මැතිඳුන්ට නොලැබුණ මුත් චන්ද්‍රිකා ජනපතිනියගේ ආණ්ඩුව ඔහුට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්ධුරය පිරිනමනුයේ තම පව් කමා කරගැනීමේ චේතනාවෙන් විය හැක. මෙහි විශේෂත්වය වනුයේ මීට පෙර හමුදාපතිධුරයට පහළ තනතුරකින් විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු කවරදාකවත් තානාපති තනතුරට පත්කර නොතිබීමයි. ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කැන්බරා නුවර ගත කළ සිව්වසර පුරා ඔහුට ඕස්ට්‍රේලියාවේ පදිංචි ද්‍රවිඩ ඩයැස්පෝරාවෙන් සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ නමුදු ඔහු ඒවාට නොසැලී මුහුණ දුන්නේය. එසේ චෝදනා නැගූ කිසිවකු නීතිමය වශයෙන් කටයුතු නොකළේ ඒවා හුදු අභූත චෝදනා පමණකැයි යන්න තහවුරු කරමිනි.

ජානක සහ වජිරා පෙරේරා යුවළ කැන්බරා නුවරදී

කැන්බරා නුවර සිව්වසක මෙහෙවරින් පසුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එතුමා 2005දී ජකර්තා නුවරදී වැඩ භාරගත්තේය. දෙරටේම තානාපතිවරයා ලෙස කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පැරදවීමට ජානක පෙරේරා මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඕස්ට්‍රේලියාවේ කොටින්ට මූල්‍යාධාර කරන සංවිධාන මැඩලීමට සහ කොටි හිතවාදී කණ්ඩායම් මෙල්ල කිරීමට එරට රජය සමඟ හවුලේ ක්‍රියාකළ ජානක පෙරේරා ඉන්දුනීසියාවේ ත්‍රස්ත කණ්ඩායම් සහ කොටි අතර ඇති ගනුදෙනු ගැන එරට රජය දැනුවත් කරමින් කොටි විරෝධී මානසිකත්වයක් ඉන්දුනීසියාවේ ගොඩ නැගීය. ඒ අතරම අග්නිදිග ආසියාව හරහා වැටී තුබූ එල්ටීටීඊ අවි සැපයුම් මාර්ග අඩපණ කිරීමටද ජානක පෙරේරා මැතිඳුන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේ සිය රාජතාන්ත්‍රිකභාවය මනාව විදහා දක්වමිනි.

2007 වසරේදී ජානක පෙරේරා සෙන්පතිඳුන් වසර හයක තානාපති සේවයට සමුදුන්නේය.

දේශපාලන රංගාවතරණය

අද අතිගරු ජනාධිපතිතුමාගේ කුණු සේදීමෙහිලා ප්‍රමුඛ කර්තව්‍යයක් කරන ජාතික හෙළ උරුමය 2005 ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ ඒ සඳහා තරඟ කිරීමට අපේක්ෂකයකු සෙවීය. එහිදී ඔවුන් එම ආරාධනය පිළිගැන්වූයේ එවක ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාටය. නමුත් ජානක පෙරේරා මැතිතුමා ජාතික හෙළ උරුමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ජානක පෙරේරා, එජාපයට එක්වූ තවත් රණවිරු දේශපාලනඥයකු වන රෝහණ ගමගේ සමඟ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකුගේ දුක සැප විමසමින්

දිගටම තානාපති සේවයේ නියුක්තව සිටි ජානක පෙරේරා මහතා යළි ලංකාවට ආ විට ජනාධිපතිතුමා ඔහුට ජනාධිපති උපදේශකධුරයක් සහ පාකිස්ථානය සඳහා වූ විශේෂ නියෝජිතධුරය යෝජනා කළ වග පුවත්පත් වාර්තා කර තිබුණි. ජානක පෙරේරා මැතිතුමා විසින් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළද යුද ක්‍රියාන්විතය සාර්ථක කරගනු වස් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ජානක පෙරේරා මහතා ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබුණි.

ජානක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට තීන්දු කරන්නේ එම පක්ෂයේ මතවාදයන් කෙරේ තුබූ විශ්වාසයත් සමඟය, ආර්ථිකය සහ ජාතික සමගිය පිළිබඳ එජාපයේ මතය සෑහෙන පමණ ජානක පෙරේරා මැතිඳුන්ගේ මතවාදයට සමාන වූ අතර එජාපය තුල මූලික ප්‍රතිපත්තීන්ට අනුගතව තම තමන්ට අනන්‍ය මතවාද දැරීමේ නිදහසද මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් විය. අනෙක් අතට ජානක පෙරේරා නම් වූ රණශූරයාගෙන් රටට අප්‍රමාණ ලෙස වැඩ ගත්තේ යූඇන්පී ආණ්ඩුවයි, ජානක පෙරේරා නම් වූ රණශූර මැණික බොහෝ දෙනා නොහැකි යයි පවසන වගකීම් කළ හැක්කකු ලෙසට ඔපමට්ටම් කළේද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එනිසා එජාපය කෙරේ ඔහුට ඇල්මක් තිබීමත් තමාට කෙණෙහිලිකම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන එතරම් පැහැදීමක් නොතිබීමත් පුදුමයක් නොවන්නේය. අනෙක් අතට 1993-94 වකවානුවේ නැගෙනහිර මුදාගනිමින් කොටින් හා සටන්වැදි යූඇන්පී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා කෙරේ ඔහු තුල විශ්වාසයක්ද තිබෙන්නට ඇත.

සැදැහැවත් බෞද්ධයකුද වූ ජානක පෙරේරා, හමුදා නිලධාරියකු ලෙස විශිෂ්ට සේවාවක් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන ගමන ඇරඹූ ජානක පෙරේරා මහතා 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැතිධුර අපේක්ෂකයා ලෙස තරඟ කරනු ලැබූයේ රජරට ජනතාව රජ කරවීමේ උත්තුංග අරමුණ පෙරදැරිවය. එදා හමුදා නිලධාරියකු ලෙස මායිම් ගම්මානවලට සිදු කළ සේවය මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් වූ අතර ඔහුගේ ප්‍රභාමත්, පෞරුෂවත් නායකත්වය සහ බුද්ධිය ජනතා ආකර්ෂණයටම හේතුකාරක විය.

උතුරේ යුද්ධය විකිණූ බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය 2008 අගෝස්තු 23දා පැවැති පළාත් සභා මැතිවරණය ජයගත්තද රජරට හදවත බඳු අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් 142,019ක් වූ ජනතාවගෙන් 81%ක් ඉක්මවූ ජනකායක්, එනම් 116,000කට අධික ජනකායක් මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයාට උත්තමාචාර දක්වන්නේ මැතිවරණ වංචා කිහිපයක් වාර්තා වෙද්දීය. මෙය උතුරු මැද ඡන්ද ඉතිහාසයේ ඕනෑම පක්ෂයකින් වාර්තා වූ වැඩිම මනාප ප්‍රමාණය ලෙසද ඉතිහාසයට එක් වෙයි. මේ අනුව මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වූ අතර ඔහු රජරට ජනතාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව දේශපාලනයේ නිරතවීමට අධිෂ්ඨාන කරගත්තේය. ඒ සඳහා අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් වූ පී. හැරිසන් මහතාගේත් චන්ද්‍රානී බණ්ඩාර මැතිණියගේත් නොමඳ සහය හිමිවිණි.

සැබෑ දේශප්‍රේමියකුගේ නික්ම යෑම

උතුරු මැද පළාත් මැතිවරණය පුරාවට දක්නට ලැබුණේ මඩගොහොරුවකි. බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් ජානක පෙරේරාට නොගැසූ මඩක් නැත. ඔවුන් ඔහුව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගැසුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. උතුරු මැද වේදිකාවේ මහා හඬක් නැගූ ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා වරෙක ප්‍රකාශ කර තිබුණේ සන්ධානයෙන් පළාත් සභාවට තරඟ කළ දෙපා අහිමි රණවිරුවකු වූ උපාලි මහතාට වඩා ජානක පෙරේරා මනාප ගත්තොත් ඇමැතිකමින් ඉල්ලා අස්වන බවයි. ජානක පෙරේරා මහතා උපාලි රණවරුවා ඇතුළු සෙසු සියළු අපේක්ෂකයින් පරයමින් උතුරු මැදින් වැඩිම මනාප දින්නේ ජානක පෙරේරා යුද්ධයට කරපු කජ්ජක් නැතැයි කියා ආණ්ඩුවේ වේදිකාවලත් රජයේ මාධ්‍යයේත් බෙරිහන් දෙද්දීය, ජනාධිපතිතුමා කිලිනොච්චිය පේන තෙක්මානයේ කියා පපුවට ගසා ගනිද්දීය. සැබැවින්ම රටට අද්විතීය අනභිභවණීය මෙහෙවරක් සිදු කළ ලක් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම රණශූරයාට මෙසේ අපහාස කිරීම කිසිඳු සැබෑ දේශප්‍රේමියකු අනුමත නොකරනු ඇත. එදා ජීවිත තර්ජන පෙන්වා සිය ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලද්දී ආණ්ඩුව කිව්වේ වැඩකට නැති හිටපු ජෙනරල් කෙනෙක්ට මොන ආරක්ෂාවක්ද කියලාය. බර්ටි ප්‍රේමලාල්ට දුසිම් ගණනින් ආරක්ෂකයින් සිටිද්දී රටට දිවිහිමියෙන් සේවය කළ ජානක පෙරේරාට ලබා දුන්නේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පමණි. වෙසෙසින්ම රටට ජීවිත පරදුවෙන් සේවය කළ, සන්ධාන නායකයින් දේශද්‍රෝහියකු යැයි හංවඩු ගැසූ ඒ අභීත යුගපුරුෂයා ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවල පෙරමුණ ගනිද්දී ඔහුට මඩ ගැසූ ඊනියා දේශප්‍රේමීන් ගැන තුට්ටුවකටවත් ප්‍රභාකරන් මායිම් කළේ නැත, ජාතිවාදය වපුරමින්, ජානක පෙරේරා වැනි සෙන්පතියන් ද්‍රෝහීන් කරමින් ජනතාව අතර වෛරය වපුරමින් කොටින්ගේ අවශ්‍යතාවය ඉටුකළ එම ඊනියා දේශප්‍රේමීන්ගේ මයිල් ගහකටවත් හානියක් කිරීමට ප්‍රභාකරන්ට උවමනාවක් නොතිබිණි.

එදා ප්‍රේමදාස ආණ්ඩුව ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට පාර කැපුවා සේ, චන්ද්‍රිකා ආණ්ඩුව ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ආදී ඝාතනයන්ට පාර කැපුවා සේ, ජානක පෙරේරා ඝාතනයටත් සන්ධාන ආණ්ඩුව පාර කැපුවා යැයි සාධාරණ සැකයක් ජනතාවගේ සිත් සතන් තුල රැව් පිළිරැව් දෙයි.

එදා මේජර් ජෙනරල් ජානක පෙරේරා මුහුණදුන් තත්ත්වයට අද දේශයේ තවත් අභීත රණවිරුවකු වූ ජෙනරල් සරත් ෆොන්සේකාට මුහුණදීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගතවය. නමුත් රටට ආදරය කරන මිනිසුන් ලෙස එදා ජානක පෙරේරාටත් රටටත් අත්වූ අභාග්‍යසම්පන්න ඉරණම සරත් ෆොන්සේකාට අත් නොවනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.

ජානක පෙරේරා රටහැර ඕස්ට්‍රේලියාවට යන බවට ආණ්ඩුව විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය මුසාවක් කරමින් දිගටම ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් අනුරාධපුරයෙන් එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරත වෙමින් ආණ්ඩුවේ වැරදි දේට විරුද්ධ වීමට තමන් ඉදිරිපත් වන බව ජානක පෙරේරා මැතිතුමා පවසා සිටියේය. ඒ අනුව මැතිවරණ අක්‍රමිකතා ගැන හඬ නගමින්, දොස්තර රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවස්නය ගිනි තැබීම ආදි විපක්ෂ මර්දනයට එරෙහි වෙමින් අනුරාධපුරයේ දේශපාලනයේ නියුක්ත වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා තම දේශපාලන කාර්යාලය මෙන්ම නිවස ලෙස අලුතෙන් නිවහනක් තෝරා ගත්තේය. එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවය වැටී තුබුණේ 2008 ඔක්තෝබර් 6වනදාටය.

ජානක පෙරේරාගේ දේහයට හමුදා ගෞරව පිරිණමමින්

ඊට දින කිහිපයකට පෙර පූර්ණ ආරක්ෂක සෝදිසියකට ලක් කර තිබුණු අනුරපුරයේදී උදෑසන 9 පහුවෙද්දී මහා ගිගුම් නාදයක් රැව් දුන්නේ ජානක පෙරේරා මැතිඳුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට මරු කැඳවමිනි. චින්තන ඥාණසේන, සුනිල් සේනානායක යන මන්ත්‍රීවරුන් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර ප්‍රබල එජාප ක්‍රියාකාරියකු මෙන්ම දක්ෂ වෛද්‍යවරයකුත් වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතා සහ එම මැතිණියත්, ජානක පෙරේරා මැතිඳුන්ගේ ආදර බිරිඳ වූ වජිරා පෙරේරා මැතිණියත් ඇතුළු විශාල පිරිසකට මරු කැඳවමිනි. පසුව කෙරුණු විමර්ශන වලදී හෙළිවූයේ බෝම්බකරු ආබාධිතයකු බවයි, පරීක්ෂණ කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

රටට අපරිමිත සේවයක් ඉටු කළ, තවත් ඉටු කළ හැකිව තුබූ ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයකු අප අතුරෙන් සමුගැනීම මුළුමහත් රටටම ඉමහත් පාඩුවකි. රටට ඉමහත් ලෙස ආදරය කළ මෙම අසහාය සෙන්පතිඳුන්ට සදාහරිත අපේ ප්‍රණාමය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිඳුනි, ඔබට නිවන් සැප.

සැබෑ ජාතික වීරයකු වන මේජර් ජනරාල් ජානක පෙරේරා නාමය අමරණීය වන්නේ ඔහුගේ නාමය ගස් ගල් වල කෙටි ඇති නිසා නොව මිනිස්සුන්ගේ හදවත් තුල කෙටුම්පත්ව ඇති නියාවෙනි…

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

H Niles Perera©, February 2010

යුක්තියේ යථාර්ථය…

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන අදට දින 3ක් ගෙවී හමාරය. ෆොන්සේකා මහතා කොළඹ නාවුක හමුදා කඳවුරක රඳවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා රටට දැනුම් දුන්නේය. නමුත් බොහෝ දෙනෙක් තුල මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන මර්දනයකැයි යන මතය පැතිරීමේ පදනම කිම??

එහි පදනම සරලය, අවි ආයුධ අතැතිව ශ්‍රී ලංකාව දෙකඩ කරනු වස් සටන් වැදි කරුණා, පිල්ලෙයාන් ඇතුළු හිටපු කොටි සාමාජිකයින් ත්‍රස්තවාදය රට පුරා වැපිරීය. ඉන් කරුණා කොටි මෙහෙයුම් රැසක ප්‍රධාන නියමුවා වෙමින් ශ්‍රී ලාංකේය සොල්දාදුවන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද සිය දහස් ගණනින් එළොව යැවීය. කොටි සංවිධානය පරදවා යුද්ධයට තිත තැබූ ජෙනරල් ෆොන්සේකා අද සිරගතව සිටිද්දී කර්නල් කරුණා කැබිනට් ඇමැතිවරයකු ලෙස සුර සැප විඳිමින් ඊළඟ මහ මැතිවරණය ගැන සුබ සිහින දකියි. මෙහි සාධාරණත්වය කිම??

පසුගිය සතියේ පුවත්පත් තුලින් අපට දකින්නට ලැබුණේ එස්.බී. දිසානායක මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලැබී ඇති බවත් පසුව ඔහු උඩුනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පදවියට පත් කර ඇති බවත්ය. පූර්ණ ජනාධිපති සමාව යනු කිමෙක්ද?? ඉන් අදහස් වන්නේ ජනාධිපති පූර්ණ සමාව ලබන තැනැත්තා මීට පෙර කළ ඇති සියළු වැරදිවලින් නිදොස් කොට නිදහස් කිරීමකි. ඒ අනුව මීට පෙර ඔහුට එරෙහිව ඔප්පුවී තුබූ චෝදනා, සහ ඔහු ලබා තුබූ දඬුවම් ශූන්‍ය කෙරෙන අතර මතුවට ඔහුගේ ෆයිල් එකේ එකී කරුණු අන්තර්ගත නොවනු ඇත. පසුගියදා වයඹ ඡන්ද මංකොල්ලය දියත් කළ හැටි ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කළ එස්.බී. දිසානායක මහතා සමෘධිය වැනි ව්‍යාපෘති හඳුන්වා දෙමින් අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට වඩා වැඩි සේවයක් රටට කර ඇතුවා වන්නට පිළිවන. එහෙත් එස්.බී. මහත්තයා ජෙනරල් ෆොන්සේකාට වඩා එහා රටට සේවයක් කර තිබේද? එස්.බී.ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබිය යුතු නම්, යම් වරදක් කර ඇත්නම් එවන් සමාවක් ෆොන්සේකාට අකැප මන්දැයි යන තර්කයට සමාන තර්කයක් මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබීමද සිතන්නට යමක් ඉතිරි කරයි. මහනායක හාමුදුරුවරුන් දෙපල වදාලේ උන්වහන්සේලා මේ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බවත් වරදක් කර ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කරන්නට සම්මත ක්‍රමයක් ඇති බවත්ය. උන්වහන්සේලා ජෙනරල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපි මගින් දැන්වීමටද බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

ඊයේ (10) දහවල් කොළඹ අළුත්කඩේ උසාවිය ළඟ ජෙනරල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමට රැස් වූ පිරිසට දාමරිකයින් ගල්මුල් වලින් පහර දෙන රූපරාමු ඔබ ටෙලිවිෂනයෙන් දකින්නට ඇත. එහිදී පොලිසියේ හැසිරීම ඔබේ නෙතඟ ගැටෙන්නට ඇත. දාමරිකයින් ගල්, මුල්, පොලු, මුගුරු වලින් පහරදෙන්නේ පොලිසිය අසල සිටය. මෙසේ උද්ඝෝෂකයින්ට චණ්ඩින් පහර දෙද්දී අත් දෙක බැඳගෙන එදෙස පොලිස් නිලධාරීහූ බලා සිටින දර්ශනය සැබැවින්ම ශෝකජනකය. පොලීසිය නීතිය ඉටු කරමින් එම ප්‍රහාරකයින් අත් අඩංගුවට ගන්නවා වෙනුවට කළේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් සහ අධිපීඩිත ජලප්‍රහාර එල්ල කිරීමයි. අද (11) අධිකරණය හමුවේ මේ සිද්ධිය විභාගයට ගැනුණු විට මහේස්ත්‍රාත්වරිය විසින් පොලීසියට දොස්මුරයක් පවත්වා අධිකරණයට අපහාස නොකර අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම මේ බව තහවුරු වේ.

අනෙක් අතට ප්‍රවෘත්ති වල වාර්තා වූ අන්දමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා ඇත්තේ ජෙනරල් ෆොන්සේකාට එරෙහි චෝදනා සම්පිණ්ඩණයට අදාල මූලික පියවර ගැනෙන බවයි. මින් කියැවෙන්නේ නිශ්චිත චෝදනා පත්‍රයක් තවමත් නැති බව නේද? චෝදන මොනවාදැයි ඇසූ විට එක එක උත්තර ලැබෙන්නේ එබැවිනි. තවද 11වන බ්‍රහස්පතින්දා ලංකාදීපයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා පවසන්නේ ජෙනරල් ෆොන්සේකා සිරබාරයට ගන්නේ දේශපාලන හේතු මතම නොවන බවයි. එම ප්‍රකාශය බළලා මල්ලෙන් පැනීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ඒ අනුව මේ ක්‍රියාව දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගැනීමකැයි සිතීම සාධාරණ නොවන්නේද??

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන පියසිරි විජේනායක මහතා කැබිනට් ඇමැතිවරයකු ලෙස සැප සම්පත් භුක්ති විඳිද්දී, කරුණා, පිල්ලෙයාන් නිරුපද්‍රිතව ආණ්ඩුවේ සුවිශාල ආරක්ෂක සේනාවලට උරුමකම් කියමින් සුරසැප විඳිද්දී, එස්.බී. ආණ්ඩුවට කරණම් ගැසූ විගස ඔහුට ජනාධිපති පූර්ණ සමාවක් පිරිනැමෙද්දී ජෙනරල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම නිර්දේශපාලනීක තීන්දුවක් වන්නේද???

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

අච්චාරුවක් වූ පාර්ලිමේන්තුවක නිමාව

ඊයේ, එනම් පෙබරවාරි 9දා මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ සයවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. මහා කැඳහැලියක්ව තුබූ එම පාර්ලිමේන්තුවේ කවුරුන් කුමන පැත්තේ සිටියේද යන්න කිවීම අතිශය ගැටළු සහගත දෙයක් විය. කොටින්ම කිව්වොත් එය ජනතා අභිලාෂයන් පිළිඹිබු නොකෙරුණු විකෘති පාර්ලිමේන්තුවකි. 2004 මහ මැතිවරණයෙන් ජනතාව මන්ත්‍රීවරු පත්කර එවුයේ මෙලෙසිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය                     105
එක්සත් ජාතික පක්ෂය                                  82
ඉලංකෛ තමිල් අරසු කච්චි (TNA)                   22
ජාතික හෙළ උරුමය                                     9
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය                             5
කඳුරට ජනතා පෙරමුණ                                 1
ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (EPDP)     1

එහෙත් එහෙව් ජනතා අභිලාෂයන් කිසි ලෙසකින්වත් පිළිඹිබු නොවූ පාර්ලිමේන්තුවකි මේ. 2005 වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙවැනි විශාලතම කොටස්කරුවා වූ ජනතා විමුක්ති පෙරමුණ සිය මන්ත්‍රීවරු 39 සමඟ ආණ්ඩුවෙන් ඉවත් වූයේය. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ අලියා යටතේ මහ ඡන්දයට තරඟ කළ ලංකා කම්කරු කොංග්‍රස් මන්ත්‍රීවරු 8ක් සහ නිකවැරටිය නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුවට එක්වී තිබූ අතර මුස්ලිම් කොංග්‍රසයේ පිරිසක්ද ආණ්ඩුවට පිම්මක් පැන තුබුණි.

කාලයාගේ අවෑමෙන් මෙම පටලැවිල්ල ඔඩුදිව්වා විනා ලෙහුණේ නම් නැත. ජවිපෙ දෙකඩ කරමින් විමල් වීරවංශ ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගනිමින් දුසිමක් සමඟ ආණ්ඩුවට එකතු වූ අතර නන්දන් ගුණතිලක පළමුව ජවිපෙ සමඟත්, පසුව ස්වාධීනවත්, ඉනික්බිති ජානිපෙ සමඟත් කටයුතු කර අවසානයේ ශ්‍රීලනිපයට එකතුවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට විශාල මෙහෙවරක් ඉටු කළ මංගල සමරවීර, ශ්‍රීපති සූරියාරච්චි සහ විජයදාස රාජපක්ෂ විපක්ෂයට ආහ. මේ පාර්ලිමේන්තුවේදී අපට පිමි දෙක තුන එකම මන්ත්‍රීවරයාගෙන් දැකගැනීමට අවස්ථා කිහිපයක් උදාවීම විශේෂත්වයකි. ඒ අනුව විමල් වීරවංශ ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරු, කරු ජයසූරිය, එඩ්වඩ් ගුණසේකර, එම්. සචිත්තානන්දන්, එම්.එස්. සෙල්ලසාමි, මයෝන් මුස්තාපා යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ පිමි  දෙකක් පනිද්දී අනුර බණ්ඩාරනායක සහ රණවීර පතිරණ වැනී මන්ත්‍රීවරු තුන්පිම්ම පැන්නේ ජනතාව මවිත කරවමිනි. සන්ධානය තුල සිටි උතුරු නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රීවරු පක්ෂ තුනකට බෙදී ගියද සන්ධානය තුල හවුල්කාර පක්ෂ ලෙස සිටියේය. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සෘජුව සහය දුන් මුත් හක්ගෙඩියෙන් මැතිසබයට අවුත් ස්වාධීනව කටයුතු කළ උඩුවේ ධම්මාලෝක හිමියෝ පළමුව එජාපයටත් පසුව ආණ්ඩුවටත් සහය දුන් අතර අවසනදී කියා සිටියේ උන්වහන්සේ දේශපාලනයෙන් ඉවත් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී කමින් ඉවත් නොවන්නේ තව කෙනෙක් ඒ තනතුරට ආවොත් අධික වියදමක් යන නිසා බවයි. ද්‍රවිඩ ජාතික සන්ධානයද භේද භින්න වී ගිය අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 26ක් අද ආණ්ඩුවේ ඇමැතිධුර වෙනුවෙන් පක්ෂය මාරු කර ඇත. මීට අමතරව පසුගිය මහ ඡන්දය අලියාගෙන් තරඟ කළ ලංකා කම්කරු කොංග්‍රස, මුස්ලිම් කොංග්‍රස, කඳුරට ජනතා පෙරමුණු මන්ත්‍රීවරු 13ක් ආණ්ඩුවට එක්කාසු වී ඇත.

මේ අතර පහුගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මිය යෑමද සුවිශේෂී සිද්ධියක් විය. එයිනුත් ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට නම් පහුගිය පාර්ලිමේන්තුව සුබදායී වූයේ නැත. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රීපති සූරියාරච්චි, අනුර බණ්ඩාරනායක, රෙජී රණතුංග වැනි ගම්පහ දිස්ත්‍රික් එජනිස මන්ත්‍රීවරු මිය ගියේ ගම්පහ මනාප ලැයිස්තුවේ පහළ සිටි අයට පාර්ලිමේන්තු දොරටු විවර කරමිනි. මේ අතර ප්‍රකට දමිළ දේශපාලනඥයන් තිදෙනකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර්, ටී. මහේෂ්වරන් සහ නඩරාජා රවිරාජ් කොළඹදී ඝාතනයට ලක්වූ අතර ජෝශප් පරරාජසිංහම්ද ඝාතනය කෙරුණි. 2004දී පුත්තලමින් වැඩිම මනාප දිනූ ද.මු.දසනායක මහතාද ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. මීට අමතරව කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ සහ නායක පී. චන්ද්‍රසේකරන් මැතිතුමාද අභාවප්‍රාප්ත විය.  දීර්ඝ කාලයක් ගිලන්ව සිටි අමරසිරි දොඩන්ගොඩ ඇමැතිතුමාද පසුගිය වසරේදී අභාවප්‍රාප්ත විය. එජාපයේ ප්‍රබලයකු වූ ඇලික් අලුවිහාරේ මහතා සහ එජාප කළුතර දිස්ත්‍රික් නායක සරත් රණවක යන මහත්වරුන්ද මිය ගිය අතර මහීපාල හේරත්, රෙජිනෝල්ඩ් කුරේ, එස්. අමරසිංහ, බෂීර් සේගු ඩාවුඩ්, ජනදාස පීරිස්, කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමියන්, ඕමල්පේ සෝභිත හිමියන් වැනි හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විවිධ හේතු මත සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්විය.

දැන් එළැඹෙන මහ මැතිවරණයෙන් ජනතාවට හිටපු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය ඇගැයීමට අවස්ථාව එළැඹේ. ඒ අනුව සිය දිස්ත්‍රික්කවල හිටපු මන්ත්‍රීවරු සිය අභිලාෂයන් ඉටු කළේද යන්න අගයා ඡන්දය දීමේ අවස්ථාව ජනතාවට ඇත. එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් කරණම් ගැසූ මන්ත්‍රීවරුන්ටද සුදුසු සැලකිල්ලක් දක්වන්නට ජනතාවට පුළුවන. එනිසා ඔබේ වටිනා ඡන්දය සහ මනාප ත්‍රිත්වය වඩාත් ඵලදායීව යොදා ගනිමින් ඔබේ සිතැඟි සහ අදහස් උදහස් නිරූපණය වන්නාවූ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් රටට තිරසාර සංවර්ධනයක් ගෙන දිය හැකි දක්ෂ, කාර්යශූර, උගත්, බුද්ධිමත්  මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, සර්වජන ඡන්ද බලය බුද්ධිමත්ව භාවිතා කරන්න.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

සුබ අනාගතයට ඉදිරි දැක්ම…!!!

ජනාධිපතිවරණය හමාර වී දෙසතියක් ගෙවී යෑමටත් පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මීළඟ ධුරකාලය සම්බන්ධව යම් අදහසක් ජනතාවට ලැබෙමින් පවතී.

ඊයේ රාත්‍රියේදී විපක්ෂයේ පොදු අපේක්ෂක, දේශයේ වීර සෙන්පති  ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව අත්අඩංගුවට ගන්නා ලද බව රටම දනී. විවිධ චෝදනා ගොනු කරමින්, විදේස් ගමන් තහනම් කරමින්, හමුදා නිලධාරීන් එහා මෙහා කරමින් ආණ්ඩුව යම් කලෙක සිට මීට අර ඇද්දේය, මේ අත්අඩංගුවට ගැනීම ගැන ගෝඨාභය රාජපක්ෂ සහ ලක්ෂමන් හුළුගල්ල වැනි මහත්වරුන්ද විටින් විට ඉඟි පළ කළේය. 1982 ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදු වූ “නැක්සලයිට්” සිද්ධියෙන්ද සිදු වූයේ මෙයමය. ජේ.ආර්. ජනාධිපතිතුමා මැතිවරණ ජයෙන් ඉක්බිතිව විපක්ෂය මැඩලන්නට ඉටා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ආරාජිකත්ව කුමන්ත්‍රණයක් (නැක්සලයිට් කුමන්ත්‍රණයක්) කෙළේ යැයි චෝදනා ගොනු කරමින් විජය කුමාරණතුංග ඇතුළු පිරිසක් අත්තනෝමතික ලෙස හිරබාරයට ගන්නා ලද අතර එය දඩමීමා කරගෙන පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීමට අර ඇද්දේය. අවසානයේ විජය ඇතුළු පිරිස චෝදනා රහිතව නිදොස් කොට නිදහස් කෙරුණි. 1982න් අවුරුදු 28කට පසුව දිගහැරෙන්නේ එකම ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජවනිකාවදැයි යන්න ජනතාව ඇසීම සාධාරණ නොවේද??

ආණ්ඩුව ජනවාරි 27න් පසු වැඩ ඇල්ලුවේ මාධ්‍යයට ගහලාය. ලංකා-ඊ-නිවුස් ලේඛක ප්‍රගීත් එක්නැලිගොඩ ගැන අදටත් කිසිඳු හෝඩුවාවක් නැත, ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත තවමත් සිරගතව ඇත. ලංකා පුවත්පත සීල් තැබූ නමුත් අධිකරණ තීන්දුවක් මත එම තීරණය වෙනස් කෙරුණි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට විශ්‍රාම යන ලෙස ආණ්ඩුවෙන් නියෝග නිකුත් කෙරිණි. විශේෂත්වය වන්නේ ඊට හේතුව ඔවුන් නිල ඇඳුම පැළැඳ දේශපාලනය කිරීම බව සඳහන් වීමයි, එතකොට රූපවාහිණියේ, ITN එකේ අලුයම සිට රෑ පහන් වන තුරු ආණ්ඩුවේ රෙදි ඇපිල්ලූ, ආණ්ඩුවට කඩේ ගිය හමුදා නිලධාරීන් කළේ දේශපාලනය නොවේද?? පුදුම සහගත කරුණ නම් මෙම නිලධරීන්ට උසස්වීම් පිරිනැමෙද්දී අනෙකුත් නිලධාරීන්ට හමුදා ඉතිහාසයේ වසර 18කට පසුව පළමු වරට හමුදාවෙන් විශ්‍රාම යන ලෙස රජයකින් නියෝග නිකුත් වීමයි.

එපමණක් නොව පොලිසියේ ස්ථාන මාරුවීම් රැසක් සිදු කර ඇති අතර රජයේ ආයතන රැසක, සේවකයින් රැසකට විශ්‍රාම යන්නට නියෝග දී ඇත. බොහෝ රජයේ ආයතන වල යූඇන්පී, ජේවීපී ක්‍රියාකාරීන්ට විවිධ අකටයුතුකම් සිදුවී තිබේ. මේ පොරොන්දු වූ සුබ අනාගතයද යන්න සැක සහිතය.

බුලත් කොළයට ඡන්දය දුන් ජනතාව ඡන්දය දුන්නේ මෙවැනි පාපයන්ට කරගහන්නට නොවන බව මගේ විශ්වාසයයි. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වුවද 82 ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව ජේ.ආර්. ප්‍රජාතන්ත්‍ර විරෝධීව ක්‍රියාකළ ආකාරය හෙළා දකිමු. දැන් දැන් රට ඇදී යන්නේ ඒ මාවතට බව හැඟීම සාධාරණය, එදා ඇත්ත පත්තරයට සීල් තැබුවා සේ අද ලංකා පත්තරයට සීල් තැබුවේය, එදා නැක්සලයිට් චෝදනා යටතේ විජය කුමාරණතුංග සිරභාරයට ගත් පරිදි අද ජෙනරල් ෆොන්සේකා සිරගත කොට ඇත. තත්ත්වය යහපත් වනු ඇතැයි අප එක්සිත්ව ප්‍රාර්ථනා කරමු. අසාධාරණයට, අයුක්තියට වැඩි ආයුෂ නැත, කවුරුන් නැතත් ලෝක ධර්මයා විසින් මීට පිළිතුරු සපයනු ඇත. අවසාන වශයෙන් අහන්නට ඇත්තේ ඉඩි අමීන්ව දිගින් දිගටම පෙන්වා අර ඇද්දේ මේකටද යන්නයි?? ඉන්දියන් සාගරයේ මුතුඇටය සේ ප්‍රචලිත අපේ මාතෲභූමිය පැසිස්ට්වාදී පාලනයක් කරා පා තැබීම කණගාටුවට කරුණක් නොවන්නේද??

නන්දා මාලිනී ගයන සුනිල් ආරියරත්නයන්ගේ පබැඳුමක කොටසකින් අපි මේ ලිපිය හමාර කරමු

අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නන්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්…..


– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

නොමළ අපි සදාහරිත

ජනපතිවරණයට පසු සදාහරිතය සටහන් පලමු ලිපිය මෙය නොවේ.නිලැස් පෙරේරා සොහොයුරා විසින් මින් පෙර සදාහරිතයට එක් ලිපියක් එක්කර ඇත.එහෙත් අවධාරනය කල යුතු තවත් කරුණු ඇත.පලමුව ජයග්‍රහණය සම්බන්ධව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අප සුබ පතන්නෙමු.එසේම උතුරු සහ උතුරු නැගෙනහිර ඡන්ද සම්බන්ධව ඉදිරි ලිපියකදී නුදුරේම ගැඹුරින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිමු.

දූෂණ අක්‍රමිකතා සම්බන්ධ සිද්ධි වාර්තා වුවද,ඔප්පු කිරීමට සාක්ශි ඇතුවා හෝ නැතුව මෙම ජනපතිවරණය දැන් අහවර වී ඇත.එහෙයින් Face Book සමාජ ජාලය තුල මෙන්ම ගෙයින් පිට,ගෙය තුල,මිතුරන් අතර පැවති ජනපතිවරණ යුද්ධයට තිත තැබීමට කල් එල්බ ඇත.එහෙත් තවමත් එම ජයග්‍රහනයේ කුල්මතින් මැත දොඩවන පිරිසක්ද ඇත.පෙර සිටම කිසිඳු ප්‍රතිපත්තියකට යටත් නොවී විවාද කල අප පාසල් පන්තියේ සගයෙකු දැන් උන්මාදයට පත්ව ඇත.මා ජනපති ජයග්‍රහනය සම්බන්ධව සුබ පැතූ කල්හී එතුමා,”කපන්න බැරි අත ඉඹිනවාද?”යැයි ප්‍රශ්න කරමින් සිද්ධිය අවුස්සන්නට තැත් කලේය.මා මින් පෙර කිසිදිනක අත කැපීමට ගොස් නැත.මා සිදුකලේ අත ප්‍රතික්ෂේප කිරීම පමනකි.එසේම මවිසින් දැන් එම අත ඉඹීමට යන්නේද නැත.නමුත් මා සහ සදාහරිතයේ අප එසේ කලේ නම් නුදුරු සුබ අනාගතයේදී මෙය ලක්දිව අති විශිෂ්ඨතම බ්ලොගය වනු නොඅනුමානය.තවත් මා සහෘදයෙකු පැවසුවේ “උඹලා මේ බ්ලොග් හදාගෙන වෙච්ච මහන්සිය අපි දන්නවා.දැන්වත් ඔය ගොන් වැඩ නවත්තපන්” යනුවෙනි.අප එතරම් මහන්සියක් මේ සඳහා වූයේ නැත.අප අපගේ වැඩ මෙනිසා පාඩු නොකර ගත්තෙමු.එහෙත් කොතරම් වැඩ මධ්‍යයේ හෝ එජාප ප්‍රතිපත්ති වලට අනුකූලව අප අපට දිය හැකි සහ අප බ්ලොගය සමග රැඳී සිටි පිරිසට දිය යුතු දෙය නොහොත් සත්‍යය නොවලහා ඉදිරිපත් කලෙමු.අප පක්ෂ බේදයකින් තොරව පැසසිය යුතු දේශපාලඥ්ඥයින් පැසසූයෙමු.අප පක්ෂ බේධයකින් තොරව ලාංකේය දේශපාලනය විවේචනය කලෙමු.මුල සිටම අප සමග අදහස් එක්කරමින් දේශපාලඥ්ඥයන් එක්විය.එයද අපට යම් සවියක් විය.

මෙම ලිපිය ජනපතිවරණය සම්බන්ධව ලිවීමකටත් වඩා ජනාධිපතිවරණයට පෙර සහ පසු නොයෙක් පාක්ෂිකයින්ගේ හැසිරීම් සම්බන්ධව ලිවීමක් යැයි කිවහොත් මා නිවැරදිය.තවත් වරක් මා මිතුරෙකු ජනපතිවරණයෙන් පසු Face Book සමාජජාල වෙබ් අඩවිය තුල නිරුත්තර වනු මා සියැසින් දුටිමි.එහෙත් එක් අවස්ථාවකදීවත් සදාහරිතයේ අප නිරුත්තර වූයේ නැත.මන්ද අප අපගේ ප්‍රතිපත්ති දැන කටයුතු කල හෙයිනි.තවත් සමහර මිතුරන් ජනපතිවරණ දින තෙක් මැදි පිළිවෙතක් අනුගමනය කර ජනපති ජයග්‍රහනයෙන් පසු සහ ඡන්දය දින තුලම තම තමන්ගේ ඡන්ද වැඩි පැත්තට පා කර හැරියෝය.මෙහිදී බ්ලොග්කරුවකු වන මා එක සහෘදයෙකු පැසසිය යුතුව ඇත.ඒ ඔහු ජනපතිවරණ සමය එළඹීමේ සිටම අවසානය තෙක් පක්ෂග්‍රාහී නොවී සාධාරණ දේශපාලන ප්‍රතිපත්ති තුල එල්බ සිටීම හේතුවෙනි.තවත් මා මිතුරන් නිවැසියන් සමගද විවාද කිරීමට ගොස් ප්‍රශ්න ඇතිකරගෙන තිබිණි.මෙවැනි තත්ව මත මෙම ඡන්දයෙන් ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් ජාතික සමගිය නම් බිඳ වැටුනු බව පසක් කල යුතුය.

ඡන්දය.මෙය අවසන්ව ඇත.සංවේදියයෝ තුටු වෙති.ප්‍රදීප් එක්නැළිගොඩ තවමත් අඳුරේය.සදාහරිත අපටද යම් සියුම් කාරියක් කල යුතුව ඇත.නිශ්චිත එල්ලයක් නොමැතිව එල්ල කල මඩ ශරීරයේ නොතැවරුනද පසුබිමේ ගෑවී ඇත.ඒවා සෝදා හැරිය යුතුය.සටහන මෙතෙකින් අවසන්ය.කරුණු අඩුවක් නොව කේන්තිය තීව්‍ර වීම නිසාවෙනි.අවසන කීමට දෙයක් ඇත.

අපද මිහිතලය සිප ගත්තද කැමරාව එදෙසට නොවීය.

– රචින්ත ජයවර්ධන, 2010 නවම්