Archive for the ‘Videos’ Category

සන්ධාන පාක්ෂිකයින්ගේ කාරුණික අවධානය පිණිසයි!!!

2010 මහ මැතිවරණය අත ළඟය, රටේ ප්‍රධානතම දේශපාලනික ප්‍රවාහ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ දිස්ත්‍රික් 22ටම නාමයෝජනා භාරදී ඇත. පාර්ලිමේන්තු ආසන 225න් 200 ඉක්මවන ප්‍රමාණයක් මෙම පක්ෂ දෙක අතරේ බෙදී යනු ඇත. ඒ සඳහා එජාපයෙන් සහ එජනිසයෙන් අපේක්ෂක මහත්ම මහත්මීන් (සහ හිමිවරුන්) 262ක් බැගින් ඉදිරිපත්වී ඇත. ජනතා මනාපය මත මෙම අපේක්ෂකයින් අතුරින් කවුරුන් පාර්ලිමේන්තු යන්නේද, කවුරුන් නොයන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තුලින් ඉදිරිපත් වන අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ප්‍රතිපත්ති, මතවාද සහ ජනතාව තම වරදාන වරප්‍රසාද උදෙසා පාව දුන් හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන්ය. රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් දේශපාලනයේ නිරත වන කළු සුදු කරන්නත්, සුදු කළු කරන්නත් උත්සාහ දරණ මොවුන්ට මනාපයක් ලකුණු කරන්නේදැයි අප සන්ධාන ඡන්දදායකයන්ගෙන් අසමු. මක්නිසාදයත් ස්වකේය උදරාර්ථය උදෙසා මොවුන් යළිත් වරක් ඡන්දදායකයා පාවා දීමේ අවධානම පවතින නිසා  ශ්‍රීලනිප පාක්ෂිකයන් මනාප පළ කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුතුය. පහළ වීඩියෝව නරඹා ඔබට මේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වනු නොඅනුමානය.

එම වීඩියෝවේදී වැදි බණක් දේශනා කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි ඇමැතිවරු අද කතා කරන්නේ කොහොමද? මේ වීඩියෝවේ නැති ප්‍රතිපත්තිමය මහත්මා දේශපාලනය ගැන පම්පෝරි ගැසූ මිලින්ද මොරගොඩ වැන්නන් අද කර ඇත්තේ කුමක්ද? මේ දිව දෙකේ මහත්වරුන් උත්තරීතර සභාවේ ජනතා නියෝජනයට සුදුසුද?

පහත සඳහන්, එජාප ඡන්දදායකයාගේ අභිමතය පාවා දුන් අපේක්ෂක මහත්වරුන්ට මනාපය දීම නොදීම ඔබේ අයිතියකි. ඒ අයිතිය බුද්ධිමත්ව භාවිතා කරන්න.

කොළඹ දිස්ත්‍රික්කය
මිලින්ද මොරගොඩ
රෝහිත බෝගොල්ලාගම
බන්දුල ගුණවර්ධන
ගාමිණී ලොකුගේ
අසාත් සාලි
දුමින්ද සිල්වා
ධනසිරි අමරතුංග

කළුතර දිස්ත්‍රික්කය
මහින්ද සමරසිංහ
දොස්තර රාජිත සේනාරත්න

ගාලු දිස්ත්‍රික්කය
ලයනල් ප්‍රේමසිරි

මාතර දිස්ත්‍රික්කය
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ජස්ටින් ගලප්පත්ති

කුරුණෑගල දිස්ත්‍රික්කය
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඉන්දික බණ්ඩාරනායක

පුත්තලම දිස්ත්‍රික්කය
නියෝමාල් පෙරේරා

මහනුවර දිස්ත්‍රික්කය
කෙහෙළිය රඹුක්වැල්ල
එස්.බී. දිසානායක
ෆයිසර් මුස්තාෆා

නුවර-එළිය දිස්ත්‍රික්කය
නවීන් දිසානායක

මාතලේ දිස්ත්‍රික්කය
නන්දිමිත්‍ර ඒකනායක

රත්නපුර දිස්ත්‍රික්කය
මහින්ද රත්නතිලක

කෑගල්ල දිස්ත්‍රික්කය
මනෝ විජයරත්න

අනුරාධපුර දිස්ත්‍රික්කය
ඩබ්.බී. ඒකනායක

පොළොන්නරුව දිස්ත්‍රික්කය
චන්ද්‍රසිරි ඒ. සූරියාරච්චි

දිගාමඩුලු දිස්ත්‍රික්කය
පී. දයාරත්න

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය
සුසන්ත පුංචිනිලමේ

මේ අතර සෙසු දේශපාලන කරණම් කරුවන් අතුරින් හේමකුමාර නානායක්කාර මහතා අයහපත් සෞඛ්‍යය තත්ත්වය නිසා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති අතර 1965දී මුල්වරට පාර්ලිමේන්තුවට ඇතුළු වූ ආර්.එම්. ධර්මදාස බණ්ඩා මැතිතුමාද මෙවර තරඟ නොකරයි. හිටපු කතානායකවරයකු වන එම්.එච්. මොහොමඩ් මහතාද දේශපාලනයට සමුදී ඇති සේයාවකි. මහාචාර්ය ජී.ඇල්. පීරිස්, හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර සහ ඒ.එච්.එම්. අස්වර් ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

ප්‍රතිපත්ති විරහිත මහත්වරුන්ට පාඩමක් උගන්වා මීළඟ පාර්ලිමේන්තුවට යූඇන්පී, ශ්‍රී ලංකා භේදයෙන් තොරව ප්‍රතිපත්තිගරුක, බුද්ධිමත්, දක්ෂ, සැබෑ ජනතා සේවකයන් පත්කර යවීම ශ්‍රී ලාංකේය අප සැමගේම වගකීමකි. එම වගකීම නොපිරිහෙලා ඉටු කරලීමට අපි කැප වෙමු!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

යුක්තියේ යථාර්ථය…

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන අදට දින 3ක් ගෙවී හමාරය. ෆොන්සේකා මහතා කොළඹ නාවුක හමුදා කඳවුරක රඳවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා රටට දැනුම් දුන්නේය. නමුත් බොහෝ දෙනෙක් තුල මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන මර්දනයකැයි යන මතය පැතිරීමේ පදනම කිම??

එහි පදනම සරලය, අවි ආයුධ අතැතිව ශ්‍රී ලංකාව දෙකඩ කරනු වස් සටන් වැදි කරුණා, පිල්ලෙයාන් ඇතුළු හිටපු කොටි සාමාජිකයින් ත්‍රස්තවාදය රට පුරා වැපිරීය. ඉන් කරුණා කොටි මෙහෙයුම් රැසක ප්‍රධාන නියමුවා වෙමින් ශ්‍රී ලාංකේය සොල්දාදුවන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද සිය දහස් ගණනින් එළොව යැවීය. කොටි සංවිධානය පරදවා යුද්ධයට තිත තැබූ ජෙනරල් ෆොන්සේකා අද සිරගතව සිටිද්දී කර්නල් කරුණා කැබිනට් ඇමැතිවරයකු ලෙස සුර සැප විඳිමින් ඊළඟ මහ මැතිවරණය ගැන සුබ සිහින දකියි. මෙහි සාධාරණත්වය කිම??

පසුගිය සතියේ පුවත්පත් තුලින් අපට දකින්නට ලැබුණේ එස්.බී. දිසානායක මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලැබී ඇති බවත් පසුව ඔහු උඩුනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පදවියට පත් කර ඇති බවත්ය. පූර්ණ ජනාධිපති සමාව යනු කිමෙක්ද?? ඉන් අදහස් වන්නේ ජනාධිපති පූර්ණ සමාව ලබන තැනැත්තා මීට පෙර කළ ඇති සියළු වැරදිවලින් නිදොස් කොට නිදහස් කිරීමකි. ඒ අනුව මීට පෙර ඔහුට එරෙහිව ඔප්පුවී තුබූ චෝදනා, සහ ඔහු ලබා තුබූ දඬුවම් ශූන්‍ය කෙරෙන අතර මතුවට ඔහුගේ ෆයිල් එකේ එකී කරුණු අන්තර්ගත නොවනු ඇත. පසුගියදා වයඹ ඡන්ද මංකොල්ලය දියත් කළ හැටි ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කළ එස්.බී. දිසානායක මහතා සමෘධිය වැනි ව්‍යාපෘති හඳුන්වා දෙමින් අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට වඩා වැඩි සේවයක් රටට කර ඇතුවා වන්නට පිළිවන. එහෙත් එස්.බී. මහත්තයා ජෙනරල් ෆොන්සේකාට වඩා එහා රටට සේවයක් කර තිබේද? එස්.බී.ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබිය යුතු නම්, යම් වරදක් කර ඇත්නම් එවන් සමාවක් ෆොන්සේකාට අකැප මන්දැයි යන තර්කයට සමාන තර්කයක් මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබීමද සිතන්නට යමක් ඉතිරි කරයි. මහනායක හාමුදුරුවරුන් දෙපල වදාලේ උන්වහන්සේලා මේ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බවත් වරදක් කර ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කරන්නට සම්මත ක්‍රමයක් ඇති බවත්ය. උන්වහන්සේලා ජෙනරල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපි මගින් දැන්වීමටද බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

ඊයේ (10) දහවල් කොළඹ අළුත්කඩේ උසාවිය ළඟ ජෙනරල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමට රැස් වූ පිරිසට දාමරිකයින් ගල්මුල් වලින් පහර දෙන රූපරාමු ඔබ ටෙලිවිෂනයෙන් දකින්නට ඇත. එහිදී පොලිසියේ හැසිරීම ඔබේ නෙතඟ ගැටෙන්නට ඇත. දාමරිකයින් ගල්, මුල්, පොලු, මුගුරු වලින් පහරදෙන්නේ පොලිසිය අසල සිටය. මෙසේ උද්ඝෝෂකයින්ට චණ්ඩින් පහර දෙද්දී අත් දෙක බැඳගෙන එදෙස පොලිස් නිලධාරීහූ බලා සිටින දර්ශනය සැබැවින්ම ශෝකජනකය. පොලීසිය නීතිය ඉටු කරමින් එම ප්‍රහාරකයින් අත් අඩංගුවට ගන්නවා වෙනුවට කළේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් සහ අධිපීඩිත ජලප්‍රහාර එල්ල කිරීමයි. අද (11) අධිකරණය හමුවේ මේ සිද්ධිය විභාගයට ගැනුණු විට මහේස්ත්‍රාත්වරිය විසින් පොලීසියට දොස්මුරයක් පවත්වා අධිකරණයට අපහාස නොකර අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම මේ බව තහවුරු වේ.

අනෙක් අතට ප්‍රවෘත්ති වල වාර්තා වූ අන්දමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා ඇත්තේ ජෙනරල් ෆොන්සේකාට එරෙහි චෝදනා සම්පිණ්ඩණයට අදාල මූලික පියවර ගැනෙන බවයි. මින් කියැවෙන්නේ නිශ්චිත චෝදනා පත්‍රයක් තවමත් නැති බව නේද? චෝදන මොනවාදැයි ඇසූ විට එක එක උත්තර ලැබෙන්නේ එබැවිනි. තවද 11වන බ්‍රහස්පතින්දා ලංකාදීපයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා පවසන්නේ ජෙනරල් ෆොන්සේකා සිරබාරයට ගන්නේ දේශපාලන හේතු මතම නොවන බවයි. එම ප්‍රකාශය බළලා මල්ලෙන් පැනීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ඒ අනුව මේ ක්‍රියාව දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගැනීමකැයි සිතීම සාධාරණ නොවන්නේද??

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන පියසිරි විජේනායක මහතා කැබිනට් ඇමැතිවරයකු ලෙස සැප සම්පත් භුක්ති විඳිද්දී, කරුණා, පිල්ලෙයාන් නිරුපද්‍රිතව ආණ්ඩුවේ සුවිශාල ආරක්ෂක සේනාවලට උරුමකම් කියමින් සුරසැප විඳිද්දී, එස්.බී. ආණ්ඩුවට කරණම් ගැසූ විගස ඔහුට ජනාධිපති පූර්ණ සමාවක් පිරිනැමෙද්දී ජෙනරල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම නිර්දේශපාලනීක තීන්දුවක් වන්නේද???

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

සරත් ෆොන්සේකා සිංහාවලෝකනය……..

කොටස් හතරකින් දිගහැරෙන ජෙනරල් සරත් ෆොන්සේකාගේ ගමන්මග…

විශ්වාසනීය වෙනසක්…


කරළියේ විත්ති සහ එස්.බී.

ඡන්දයේ උණුසුම වැඩිවීමත් සමගම අද වන විට මුලු ශ්‍රී ලංකාව පුරාම දේශපාලනය උණුසුම් මාතෘකවක් බවට පෙරලී හමාරය. වෙනදාටත් වඩා එය එසේ සිදු වී ඇත්තේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ පැමිණීමත් සමගමය. එදා වනවිට යුධ වීරයෙකුව සිටි ජෙනරල්වරයා අද වන විට දේශද්‍රෝහියෙකු බව ආණ්ඩුවේ සිටින කටින් බතල සිටුවන පුද්ගලයන් පවසයි. තමාගේ ජීවිතයට පවා තර්ජනයන් තිබියදී ඒවා කිසිවකටත් නොබියව මුහුණ දී යුද ජයග්‍රහණයක් වෙනුවෙන් කැපවූ නායකයාට රූපවහිනියෙන් කාඩ්බෝඩ් වීරයන් වන රංගන ශිල්පියන් කියන කතා හාස්‍ය දනවන සුලුය.

රටේ ජනතාව මත රදා පවතින ඔවුන් රට වෙනුවෙන් කැපවුනු නායකයාට යොදා ගන්නා වදන් පවා පිලිකුල් සහගතය. එයින් ඒ ඔවුන් පෙන්වීමට උත්සහ ගන්නේ ඔවුන්ගේ ඇති පහත් මානසිකත්වය හා නූගත්කම යැයි මම සිතමි. එසේම මහත්මා ගතිගුණ ගැන කතා කරන ඔවුන්, ඔවුන් කඩේ යන පත්තේ පවතින සදාරණත්වය, මහත්මා ගතිගුණ ගැන සිතා බලුවාද…?? එසේම දේශපලන සංවාද යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් නිවේදකයා ලෙස ගෙන දෙදෙනාම එක්ව වලන් පොඩිකිරීමේ සම්ප්‍රදාය ඔවුනට නොපෙනේද..?? එය යහපත් මාධ්‍යය සංස්කෘතියද…?? ඔවුන්ට අදාල දේ නොපෙනී අනුන්ගේ වරදි සෙවීමට යාම තවත් ඔවුන් කරනා රගපෑමක් බව මේ රටේ සිටිනා කුඩා දරුවාට පවා වටහේ.රටේ සුභ අනාගතයට අවශ්‍ය වන්නේ මෙයද….?? එය මේ සදාචාරය, පලපුරුද්දට, සංවේදීත්වයට ඔබිනවාද..?? කළාකරුවන් ලෙස එය ඔවුන් දැකිය යුතු නොවේද ….?? ප්‍රවෘත්ති විකෘති කිරීම, අසත්‍ය ප්‍රකාශ කිසිම පැකිලීමකින් තොරව සිදු කිරීම හරහා ඔවුන් රටේ ජනතාවගේ නිදහස් මාධ්‍යය විචාරණයට බාධා නොකරන්නේද…..?? ඔවුන් එසේනම් ඒ කතා කරන්නේ හදවතින්මදැයි යන ප්‍රශ්නය සැමටම වැටහේ. ඔවුන් තමන්ගේ වාසිය තකා රටේ අනාගතය පාවා නොදේද..??

එසේම තවත් මතිමතාන්තර රැසක් ද කරලියේ දැක ගත හැකිය. ඒ නම් පිල් මාරු සිදුවීමයි. මේ පිල් මාරු වූ පසුව ඔවුන්ගේ කතා විලාශයෙන්ද අපට ඔවුන්ගේ චරිතයන් මැනිය හැකිය. අනෙක් පසට ගොසින් තමා සිටි තැනට පහර දෙමින් පක්ෂය පාවා දෙන්නවුන්ද අද අපට දැක ගත හැක. එසේම පිල් මාරු වුවත් පක්ෂය පාවා නොදී පක්ෂය වෙනුවෙන් කතා කරන්නන් ද සිටී.

ඒ අතරින් එස්.බී මහතාගේ මාරුව පිලිඹද අදහසක් නොකියාම බැරිය ඒ ඔහුගේ මාරුවෙන් ඇති වූ ප්‍රතිපලය ගැනයි. එස්.බී දිසානායක යනු ඡන්ද මැශිමක් ලෙස අතීතයේ කීවත් අද වන විට මා සිතනුයේ ඔහු මඩ මැශිමක් බවට පත් වී ඇති බවයි. එසේම ඔහු හිටපු ජනපතිනියට බැන වැදී පිල් මාරු කල ආකාරය සැමට මතක ඇතුවාට සැක නැත. එදා ඔහු අධිකරණයට අපහාස කිරීමට දඩුවම් විදින අවදියේ ඔහු වෙනුවෙන් පෙනී සිටියේ එ.ජා.ප. ඡන්ද දායකයින්ය. ඒත් අද වන විට ඔහු තමා ලගින් සිටියවුන් හැරදමා මුදලට යටවී ඇත. ඔහුට ඡන්දය දුන් අප කිසිවෙකුත් ඔහුගෙන් ඒ දේ බලාපොරොත්තු වූයේ නැත. අනෙක ඔහු පවසන ආකාරයට ඔහුට යමක් නොලැබුනි නම් පක්ෂයේ අනෙක් පුද්ගලයන් හා ඡන්දදායකයින් කෙසේ නම් දේවල් කිව යුතුද ? එදා සිටි දේශද්‍රෝහී එස්.බී අද දේශප්‍රේමී එස්. බී. බවට පත්වී ඇත. හාස්‍යයට කරුණ නම් ඔහුත් අද දේශප්‍රේමී ලේබලය අලවන්නෙකු බවට පත්වීමයි. ඔහු මෙසේ ක්‍රියාකරන්නේ ලැජ්ජාව ඔහුට අලුත් දෙයක් නොවන නිසාදැයි නොසිතාම බැරිය.

එසේම ඔහු ප්‍රතිපත්ති ඇති අයෙකු නම් පක්ෂයෙ මොන අඩුපාඩුකම් තිබුනද පක්ෂය තුල සිටිය යුතු යයි මම සිතමි. එසේ ගොස් පක්ෂයට හොදටම මඩ ගසමින් රාජපක්ෂ පවුලට සේවය කරනවා කී ඔහු අද ජෙනරල්ගේ අඩුපාඩු තොරතොන්චියක් නැතිව පවසයි. මා දකින්නෙ එහිදී ඔහු කරන්නේ අනුන්ගේ පොල් කෙන්ද සොයමින් තමාගේ පොල් පරාලය සගවා ගැනීමට දරණ දැඩි උත්සහයකි. තම දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන ඔහුට ඡන්දය දුන් මධ්‍යම පලාත් ඡන්දදායකයින් ඔහු නිසා එක්සත් ජාතික පක්ෂය කිසිදාක හැර යන්නෙ නැත. ඒ වෙනුවට ඔහු නිසා ඡන්දය නොදුන් පාක්ෂිකයින් නැවතත් පක්ෂයට එකතු වී ඇත. මෙහිදී ඔහුට වැඩිම මනාප ගණනක් ගනීමට හැකි වූයේ එ.ජා.ප.ය නිසාය. එදා බන්දුල ගුණවර්ධන මහතා කියා සිටි පරිදි එ.ජා.ප.යෙන් ලීකොට කෑල්ලක් කපා ඉදිරිපත් කලත්, විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි බව සැවොම දන්න කරුණකි.

අනෙක් කරුණ නම් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු ජෙනරල්වරයාගේ අවිගනුදෙනු පිලිඹද අදහස් ප්‍රකාශ කරමින් සිටින විට එක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී පිලිතුරු රහිතව අසරණ වූ ආකාරයෙන් අපට පැහදිළි වන්නේ ඔහු කරුණු කාරණා නොමැතිව මඩ ගසන බවයි.

ඔහුගේ විමසා බලමු ආර්ථික මතවාද ග්‍රන්තයේ ඔහු කියන පරිදි මහින්ද චින්තනයට රට සංවර්ධනය කළ නොහැකි නම් එවන් දේ ඇති අය සමග එකතු වූයේ ඇයි දැයි අපට ප්‍රශ්නයක් මතුවේ. සත්‍යය නම් ඔහු තමාට ඡන්දය දුන් මිනිසුන් පාවා දී තම සුබසෙත සදහා වැඩ කටයුතු කරන බවයි. තමාගේ කර පිටින් ගෙන ගොස් පොදු අපේක්ෂකයා දිනවන බව කියා පසුව රාජපක්ෂ පවුලට සේවය කරනවා යයි කීමෙන් ඔහුගේ ස්වරූපය මොනවට පැහැදිළි වෙයි.

අවසානයේ මගේ අදහස නම් මේ ග්‍රහ මාරුව පොදු ජනතාවගේ සුබසිද්දිය උදෙසා ඔහුව දිනන පැත්තෙන් ඉවත් කිරීමට සිදුවී ඇති බවයි. ඇත්ත වශයෙන්ම මධ්‍යම පළාත් ඡන්දයේදී සිදුවූයේ යූ.එන්.පී. එකෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ඇමැති අපේක්ෂකයා එස්.බී. වුනු නිසා ඔහුට ඉතා විශාල යූ.එන්.පී ඡන්ද ප්‍රමානයක් ලැබීමයි. එය ඔහුට ඡන්දය දුන් පුද්ගලයකු ලෙස,  මධ්‍යම පළාතේ අප ඔහුට ඡන්දය ප්‍රකාශ කලේ පක්ෂය වෙනුවෙන් බව කිව යුතුය. එය ඒ ලෙස නොදැක්ක ඔහු සිතුවේ එය ඔහුට ලැබුනු ඡන්ද කියාය. එයින් ඔහුගේ ඉලක්කය වූයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටයි. ඔහුගේ මාරුව නිසා තවත් වැදගත් දෙයක් අපට ලබුනි, ඒ නම් පක්ෂය විකිනූ පුද්ගලයා රටේ ජනාධිපති කර රට විකුණන තැනට පත් නොකර සිටීමට අවස්ථාව ලැබීමයි. එය පාක්ෂිකයන්ගේ මෙන්ම මුලුරටේම වාසනාවකි.

මෙසේ කවුරුන් මොන කතා කීවත් බුද්ධිමත් ජනතාව හරි දේ හොදට හදුනන බව ඉතා පැහැදිලි කරුණකි. ඡන්ද ගුන්ඩු මොනවාද, ඇත්තට සිදු වන්නේ කුමක්ද , අනුන්ට ඇගීලි දික් කරන්නේ කර කියාගත දෙයක් නොමැතිව බවත් බොරු චෝදනා එල්ල කරන්නේ කවුරුන්ද යන්නත් ජනතාව හරියාකාරව තේරුම් ගෙන සිටී.

ඒ නිසා විශ්වාසනීය වෙනසක් මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත වනු ඇති බව මාගේ විශ්වාසයයි…….!!!

– සී.ආර්.බී. සෙනෙවිරත්න, 2009 ජනවාරි

මතට තිතද…?? තිතට මතද…??

ජාතික හෙළ උරුමය යනු වත්මන වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දැඩි ලෙස ආදරය කරන හෙළ උරුමයේ අපේ හාමුදුරුවරු සහ උපාසක මහත්වරු කරන කියන දෑ හරි අපූරුය.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී පුරාවිද්‍යා චක්‍රවර්තී, පාර්ලිමේන්තු මන්ත්‍රී අතිපූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්ථවීරයන් වහන්සේ මතට තිත ගැන අදහස් දැක්වීය. එහිදී මත්පැන් පානය දැඩ ලෙස පිළිකෙව් කරමින් සරත් ෆොන්සේකා ජෙනරාල්තුමා බේබදු රටක් බිහි කරන්නට යන බවට බිල්ලෙක් මවා පෑ සේක. ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයේ පවත්වන සාද වලදී “අමුත්තන්ට (ඡන්දදායකයන්ට)” මහජන මුදලින් බියර්, වයින් ආදී මත්පැන් වලින් සංග්‍රහ කිරීම උන්වහන්සේ සාධාරණීකරණය කිරීමට ගත් අසාර්ථක උත්සහයයි මේ.

මේකද මේ හෙළ උරුමයේ ස්වාමීන් වහන්සේලා කතා කරන “මතට තිත”. එහෙනම් සන්ධාන මන්ත්‍රීවරු මත්පැනින් ඡන්ද කිරීම, මුදල් ඉපැයීම උන්වහන්සේලා අනුමත කරන සේයාවකි. “අනේ සාදු” කියනවා හැර මහජනතාව වෙන කුමක් කියන්නද?? සමහරුන් “හෙළ උරුමය-අපේ කරුමය” කියන්නේ මේ නිසා යැයි දැන් පැහැදිලිය. හෙළ උරුමයේ අතේ ඇඟිලි ගාණට සිටින ස්වාමීන්වහන්සේලාට සහ උපාසක ඇත්තන්ට වෙනත් දරුණු චෝදනාද කලක පටන් එල්ලවෙමින් පවතී. ඒවායේ සත්‍ය අසත්‍යතාව නුදුරේදීම හෙළි වනු ඇතැයි අප ඉතසිතින් පතමු.

නිරුවත – ලැජ්ජා නැතිකමට වඩා දෙයක් තිබේද??

අද තම බඩගෝස්තරය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කඩේ යන, යූඇන්පියට අවලාද නගන “එක්සත් ජාතික පක්ෂ” පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එදා කී රස කතා….

ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවන්නට මොන පක්ෂයේ වුවද මෙවැනි දිව දෙකේ නියෝජිතයන් පාර්ලිමේන්තු නොයැවීමට වග බලාගන්නා ලෙස රටට අදරැති තැනැත්තන්ගෙන් බැගෑපත්ව ඉල්ලමු.

YouTube වෙබ් අඩවියට මෙම වීඩියෝ පටය එක් කළ චමිල දාබරේ සොයුරාට සදාහරිත අපේ තුතිය…