Archive for the ‘Economy’ Category

සිතන්නට යමක්….!!!

රටේ විශාලතම පළාත් දෙක පළාත්සභා මැතිවරණයකට පෙළ ගැසෙන මොහොතක වටපිටාවේ සිදුවන දෑ දැක දැක දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය නොහැකි හෙයින් මේ ලිපිය ලිවීමට පෙළඹුණෙමි. මේ ලිපිය හරහා රටක්, ලොවක් පෙරළන්නට නොහැකි බැව් මා ඉතසිතින්ම දනිමි. එහෙත් රැල්ලට හසුවී වැරදි මගක යන ඔබගෙන් එක් අයෙකුට හෝ සිතන්නට යමක් ලබා දුනහොත් එය මට සතුටට කරුණකි.

ජිනීවා විදුලි පුටු සංදර්ශනය

රටේ සියළුම ජනතාව කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජෙනරාල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රජයට හිමිවිය යුතු බව රටම පිළීගනී. නමුත් එකී භාරදූර කර්තව්‍යය නිමවී වසර 5ක් ගෙවුණු තැනදීත් ඒ විරෝධාරත්වය විකුණාගෙන ඡන්ද ගැරීමේ පහත් ක්‍රියාවට රජය ඇතුළු එහි පාර්ශවකරුවන් සම්මාදම් වෙමින් සිටියී. ඒ ජිනීවා විදුලි පුටුවක් මවා පාමිනි.

පළමුව ඔබ ප්‍රශ්න කළ යුත්තේ වසර මැද පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් ඡන්දය සහ වසර අග පැවැත්වීමට නියමිතව තුබූ දකුණු පළාත් ඡන්දය මාර්තුවට ගත්තේ කාගේ උවමනාවකටද යන්නයි? මාර්තු 27 ජිනීවා යෝජනාව ඉදිරිපත්වන බව දැන දැන මාර්තු 29 ඡන්දයට දින නියම කළේ ඇයි? රජය කියන්නේ ලෝකයට පෙනෙන්නට බුලත් කොළයට කතිරය ගසන්නට කියාය. ඒ තර්කයට අනුව අපේ පළාත් සභා දෙස බලා ඉන්නවා ඇර වෙනත් දෙයක් ඔබාමාට, කැමරන්ට, නවනීදන් පිල්ලේට කරන්නට නැත. ඔවුන්ට මේ ඡන්දය ගැන නිච්චියක්වත් නැතිවාට සැක නැත, මන්ද තමන්ගේ රටේ ඡන්ද, ණයබර, ක්‍රිමියාව යනාදී බොහෝ ප්‍රශ්න ඔවුන්ට අපේ රටේ පළාත් සභා දෙකකට වඩා වැදගත්ය. අනෙක් අතට, පහුගිය වසර 5 ඇතුළත පැවැත්වූ පළාත්සභ මැතිවරණ සියල්ලම පාහේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේය. ඒ නිකම් නොවේ, සියයට 60ක, 65ක – ඇතැම්විට 70%ක ඡන්ද ප්‍රතිශත වලිනි! එසේ නම් සන්ධානයේ තර්කය නිවැරදි නම් ඔය කියන බටහිර බලවේග නැට්ට අකුළාගෙන වෙනතක් බලාගෙන හුඟක් කල් ගත විය යුතු නොවන්නේද? එසේත් නොමැතිනම් පසුගිය වයඹ, මධ්‍යම ආදී මැතිවරණ පවතිද්දී එකී බලවේග මරනින්දේ සිටියේද?

මේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවක් ගෙනා පළමුවන අවස්ථාව නොවන්නේය. 1980 දශකයේදී ආජන්ටිනාව විසින් අපට එරෙහිව යෝජනාවක් ගොනු කළ විට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “අනේ මාව විදුලි පුටුවෙන් බේරගන්න” කියා විලාප දෙමින් ඡන්ද තිබ්බේ නැත. ඔහු ඒ.සී.එස්. හමීඩ් වන් අමාත්‍යවරුන්ගේ සහයෙන් රාජ්‍යතාන්ත්‍රිකව ජාත්‍යන්තර සහය ශ්‍රී ලංකාවට දිනා ගෙන අදාළ යෝජනාව පරාජය කළේය.

මානව හිමිකම් කවුන්සලය හමුවේ ගෙන ආ ඇති මෙම චෝදනා විජාතික බලවේග විසින් කුමන්ත්‍රණකාරී ලෙස රටේ අවාසනාවට ඔප්පු කරගත්තා යැයි මොහොතකට සිතමු – එය එසේ වුවත් ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති නිසා ඔවුනට අපේ රටවැසියන්ට එදිරිව දඬුවම් පැනවීමේ බලය නොමැත.

ජනමත විචාරණයක් තිබ්බ නම් නරකද?

පක්ෂ භේදයෙන් තොරව ඔබ අප කවුරුත් රටට අහිතක් වනවාට අකමැතිය. රජයට හෝ අපේ විරෝධාර හමුදාවන්ට යුද අපරාධ චෝදනා නැගෙනවාට අපි සැවොම විරුද්ධය. එසේ නම් මෙවන් මොහොතක රජයට කළ යුතුව තිබුණේ පළාත් ඡන්දයකට ගොස් ජනතාව පක්ෂවලට කඩා ඉසිරුවනවා වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම නොවන්නේද? එයින් රජය පවසන අන්දමට “ලංකාවට අත නොතබනු” යන පණිවුඩය අප කවුරුත් පාහේ එක සිතින් කියා පානු ඇත.

අනෙක් අතට පදනම් විරහිත යුද අපරාධ චෝදනාවලට අමතරව, මේ යෝජනාව තුළින් රතුපස්වල මිනීමැරුම, කටුනායක ඇඟලුම් සේවක ඝාතනය, හලාවත ධීවර ඝාතනය යනාදිය ගැනද සඳහන් කර ඇත. යුද අපරාධ චෝදනා නම් වූ පළිහ ඉදිරියට ගෙන හැර පාමින් රජය නොකියා කියන්නේ එකී ම්ලේච්ඡ ක්‍රියාද ජනතාවට සාධාරණීකරණය කරන්නට කියාද?

ඉහත කීවාක් මෙන් රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන ගෙවුණු වසර 5 තුල රජය විසින්ම ගෙන හැර දැක්වූ “උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන්” (LLRC) වාර්තාවේ නිර්දේශ මීට වඩා යුහුසුළුව ක්‍රියාවට නැගුවේ නම් මෙතරම් පීඩනයක් රජයට එල්ල නොවනු ඇත. ප්‍රශ්නය ඇත්තේ සන්ධානයේ මහජන සම්බන්ධතා සහ ප්‍රචාරණය ඉහළ අඩියක පැවැතියද ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ විදේශ සම්බන්ධතා ළදරු මට්ටමක පැවතීමයි.

දේශප්‍රේමයේ ඒකාධිකාරය

ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් රඟ දෙනුයේ ඔවුන් දේශප්‍රේමයේ ඒකාධිකාරී පේටන්ට් බලපත්‍රයේ හිමිකරුවන් විලෙසිනි. එය සැබැවින්ම එලෙසද? ලංකාවට කුඩු, එතනෝල් යනාදිය හොර පාරේ ගෙනෙද්දී ඔවුන් එකකුවත් කෑ මොර දෙන්නේද? ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් විවිධ නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා කළ විට ඔවුන් මුනිවත රකින්නේ රටට ආදරයටද? දේශප්‍රේමය කිසිවකුගේ තනි බූදලයක් නොවන්නේය. පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරව රටේ අභිවෘද්ධිය පතන සිංහල, දෙමළ, මුස්ලිම්, සන්ධාන, යූඇන්පී, ජේවීපී අප සියල්ලෝම දේශප්‍රේමීන් නොවේද?

අධිරාජ්‍යවාදය ඇත්තේ බටහිර පමණක්ද?

“අධිරාජ්‍යවාදය” යනු දේශපාලන වේදිකාවේ කාටත් හුරුපුරුදු වදනකි. වමේ දේශපාලන පක්ෂ “අධිරාජ්‍යවාදය” අල්ලා ගෙන පැය ගණන් කතා පවත්වති. අධිරාජ්‍ය විරෝධී සීතාම්බර සළුවෙන් සැරසී දේශප්‍රේමීන්ගේ ඡන්ද ගසා කන මොවුන් අධිරාජ්‍යවාදයේ එක් පැතිකඩක් පමණක් ගෙනහැර පෑම අතිශය ජුගුප්සාජනකය.

ඔවුන් නිවැරදිය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවල් තමුන්ගේ ආදිපත්‍යය ලොව පුරා පැතිරවීමට නොගන්නා උත්සහයක් නොමැති තරම්ය. නමුත් “නැගෙනහිර” අධිරාජ්‍යවාදය ගැන කිසිවකු හඬ නොනගන්නේ ඇයි? චීනය, ඉන්දියාව සහ රුසියාව අපේ රටට හොට දාන්නේ, රජයට උදව් කරන අයුරින් ගිණි පොළියට ණය දෙන්නේ අපට ආදරයටද?

අනෙක් අතට අපේ රටේ ආර්ථිකයේ අපනයනයන්ගෙන් 55%ක් රඳා පවතිනුයේ ඇමෙරිකාව සහ යුරෝපය මතය. එබැවින් රටට ධනය ගලා එන්නේ ඉහත කී බටහිර රටවලින් බවත් අපට අධික පොළීවලට ණය දී හිර කරන්නේ නැගෙනහිර රටවලින් බවත් අප මතක තබා ගත යුතුය.

යථාර්තය නම් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ උපක්‍රමික ලක්ෂයක පිහිටා තිබීම නිසා අපගේ ගුවන්, නාවුක හා භූමි අවකාශය ප්‍රදේශයේ බලයට මහත් වැදගත්කමක් ගැනීමයි. එහෙයින් පෙර අපර දෙදිග ලෝක බලවතුන් ලංකාවේ සිය අණසක පැතිරවීමට කැසකැවීම නොරහසකි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික අප නොබැඳි දේශයක් ලෙස කා සමඟත් සුහදව අපේ ස්වෛරීත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම අතිශය වැදගත්ය. වත්මන් රජය “බටහිර අධිරාජ්‍යවාදී” බිල්ලකු මවා පාමින් අද වනවිටත් අප “නැගෙනහිර සටකපට අධිරාජ්‍යවාදීන්ගේ” ඔඩොක්කුවට වට්ටවා හමාරය. ශ්‍රී ලංකාව චීනයට, ඉන්දියාවට කොපමණ ණයද? රුසියාව හිතුමතේ ස්වෛරී රාජ්‍යයක් වූ යුක්‍රේනයේ ක්‍රිමියාව නම් පළාත අත්තනෝමතිකව අල්ලා ගත්තා සේ ඉන්දියාවත් උතුරු නැගෙනහිර අල්ලා ගැනීමට කුරුමානම් නොඅල්ලන බවට ඇති සහතිකය කුමක්ද? මීට වසර දහයකට පෙර සහ අද සසඳද්දී ලංකාවේ සේවය කරන චීන සහ ඉන්දීය ජාතිකයන්ගේ ප්‍රමාණය වැඩි වී නැතිද? සිදු වී ඇත්තේ චීනය විසින් ඇමරිකාව ඇ.ඩො. ට්‍රිලියන (බිංදු 12ක්) ගණනක ණය උගුලකට හසු කරගත්තාක් මෙන් අපවද නරා වළකට ඇද දැමීමයි.

ඇමරිකානු විරෝධයේ සුලමුල

ඔබ මෙවර මැතිවරණය ගැන තවත් නොදන්නා කරුණක් ඇත. රටටම ඇසෙන්නට “ඇමරිකානු විරෝධය” ගැන කෑ මොර දෙන අයවලුන් ගැන ඔබ මොහොතක් සිතන්න. ඔවුන්ගෙන් බහුතරයක් ඇමෙරිකාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR – Permanent Residence) හිමිද? රටේ ප්‍රබල පක්ෂයක භාණ්ඩාගාරිකවරයකුගේ සිට ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන්ම දකුණේ මහ ඇමැතිකම අපේක්ෂා කරන කණ්ඩායම් නායකයා දක්වා කොපමණක් ඉහත ඝණයට අයත්ද? මේ “දේශප්‍රෙමීන්” බහුතරයකගේ දරුවන් ඉගෙනගන්නේ ඉන්දියාවේ, චීනයේ හෝ රුසියාවේද? නොඑසේනම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවලද? ඔච්චරටම ඇමෙරිකාවට විරුද්ධනම් ඒ රටේ පාස්පෝට් යළි භාර නොදෙන්නේ ඇයි? රටේ ප්‍රබල ඇමැතිධූර, රාජ්‍ය තනතුරු දරණ ඇතැම් මහත්වරුන් සිය සොහොයුරා රටේ රාජ්‍ය නායකයා වනතුරු සිටියේ කොහේද? ඔවුනට එසේ වුවත්, සාමාන්‍ය අපට නම් ඇත්තේ එක රටකි, ඒ ශ්‍රී ලංකාද්වීපය පමණි.

සංවර්ධනය නම් වූ සෙප්පඩ විජ්ජාව

මේ රජයෙන් පසුගිය පොදුජන එක්සත් පෙරමුණු රජයට වඩා විශාල සේවයක් රටට සිදු වී ඇති බැව් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනපතිනිය හැර අන් සියල්ලෝම පාහේ එකඟ වනු ඇත. නමුත් එය සැබෑ සංවර්ධනයක්ද යන්න ඔබ හිතට එකඟව ප්‍රශ්න කරන්න.

මහාමාර්ග සහ අධිවේගී මාර්ග ඉදිකිරීම ඉතා යහපත් කටයුත්තකි. එහෙත් කාපට් පාරට උඩින් කාපට් දමනවාට වඩා මේ රටේ ධනස්කන්ධය වැය විය යුතු ව්‍යාපෘති නොවේද? ගමේ කොන්ක්‍රීට් පාරේ සිට නගරයේ කාපට් පාර දක්වා වෙන මේ සංවර්ධනයට මුවාවෙන් කොපමණ ධනයක් රජයේ දේශපාලකයින් මංකොල්ල කනවා ඇතිද? මෙපමණක් නොව, රජය විසින් අමුඅමුවේ සිදු කරන මූල්‍ය වංචා ගැන කෝප් කමිටු (COPE) වාර්තාවල පැහැදිලිව සඳහන්ව ඇත. එහෙත් ඊට එරෙහිව බලධාරීන් ගෙන ඇති පියවර කවරේද?

පසුගිය මාසය තුල ජනාධිපතිතුමා ඇතුළු සන්ධානය විසින් දකුණු සහ බස්නාහිර පළාත්වල කාපට් මාර්ග, පාසල් ගොඩනැගිලි යනාදී භෞතික සම්පත් තොග වශයෙන් විවෘත කරමින් සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම පාහේ යොදා ගනිමින් උත්සහ පවත්වාගෙන යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ සැබෑ උවමනාව ජනතා සුබසිද්ධියට වඩා තම බලය රැකගැනීම බවයි. එසේ නොවන්නේ නම් රටේ සෙසු පළාත් 7 අමතක කර ඡන්ද කාලයට මේ සියල්ල කරන්නේ මන්ද?

පසුගිය කාල සීමාව තුල රජය ගොඩ නැගූ “සංවර්ධන” ව්‍යාපෘති කීයක් රටට ආදායම් උපද්දවයිද? ඉන් කීයක් දහස් සංඛ්‍යාත රැකියා සමුදායක් උපද්දවයිද? හම්බන්තොට කෝටි ප්‍රකෝටි ගණනක් වැය කර ගොඩ නැගූ සුවිසල් ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ පවත්වා ඇත්තේ ක්‍රිකට් තරඟ 5ක් පමණකි. හම්බන්තොටට යනෙන ඔබට සුපිරි මහාමාර්ග දැකගත හැකි වුවද, ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා බවක් දැකගත හැකිද?

මත්තලට ගුවන් සමාගම් බර ගණනක් පියාසර කරන බවට එහි විවෘත කිරීමේ උත්සවයට පෙර පාරම් බෑවද අද වනවිට ශ්‍රී ලන්කන්, මිහින් ලංකා සහ ගුවන්තොටුපල කාර්යමණ්ඩල සේවකයින් හැර වෙනත් කිසිඳු සාමාන්‍ය වැසියකු ගුවනින් මත්තලට නොපැමිණෙන තත්ත්වයක් උද්ගතව ඇත. වෙනකක් තියා අඩුම තරමේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම්වත් මත්තලට ආකර්ෂණය කරගැනීමට රජය අපොහොසත්ව ඇත. බලෙන් මෝටර් රථ ප්‍රවාහන නෞකා ගෙන්වා නොගන්නේ නම් හම්බන්තොට වරායටද අත්වන්නේ එම ඉරණමමය. සූක්ෂම කළමණාකරණයෙන් සහ උපක්‍රමික සැලසුම් තුලින් මෙවාට අනාගතයේදී පණගසා නැගිට්ටවිය හැකි වුවද රජයේ ඔතෑනි පිළිවෙත් හමුවේ දැයට සුදු අලි ව්‍යාපෘති දායාද වී ඇත. මේ රජයේ “සංවර්ධන සංදර්ශනයේ” එක් පැතිකඩක් පමණකි.

එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් සිදුකළ මහවැලිය, නිදහස් ආයෝජන හා වෙළඳ කලාප, ගම් උදාව, ඇඟලුම් කම්හල් යනාදී ව්‍යාපෘති හරහා රැකිය අවස්ථා ලක්ෂ ගණනින් ජනිත විය, එමඟින් රටේ භාණ්ඩාගාරයට මුදල් ගැලූ අතර ඒ මුදල් රටේ සුබසාධනයට යෙදවා ජනතාව මත පැටවෙන බදු බර අඩු කළ හැකි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සිදුකළ එවැනි සුවිසල් ව්‍යාපෘති කවරේද? වත්මන් රජය ආයෝජනය කරනුයේ කඩිනම් ආදායම් නොලැබෙන ව්‍යාපෘති වලටය, එයද ගිනි පොළියට ණය ගෙනය. 2005 සිට රටේ ණය බර දෙගුණ වී ඇත් බව ඔබට දැනටමත් දනී. 2004දී රු. 80,000කට ආසන්න අගයක් ගනු ලැබූ ඒක පුද්ගල ණය බර අද වනවිට රු. 350,000 ඉක්මවීමෙන් පෙනී යන්නේ නූපන් දරුවන් පවා චීනයට, ඉන්දියාවට, වාණිජ බැංකුවලට ණයකරුවන් කර හමාර බවය. එහෙව් වටපිටාවක් තුල මේ ණය සහ පුනරාවර්තන වියදම් පියවන්නට අධික බදු ගැසීම පුදුමයක්ද?

පසුගිය වසර 5 තුල ඔබේ ආදායම විශාල ලෙස වැඩි වී තිබේද? රජය විසින් නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ දියණුවක් ඔබ අත්දකින්නේද? ඉතින් ඔබ ඡන්දය දෙන්න ඕනෑ පාරවල් ටිකටද? මොහොතක් සිතන්න.

ඔබ විපක්ෂය සවිමත් කළ යුත්තේ ඇයි?

ඔබෙන් සමහරෙක් තවමත් ජනාධිපතිතුමා ඇතුළු රජයට සහය දක්වනවා ඇත. එසේ කිරීමේ පූර්ණ අයිතිය ඔබ සතුය, ඊට අප ගරුකරමු. එහෙව් ඔබගෙන්ද අප ඉල්ලා සිටින්නේ මේ ලිපියේ තිබෙන කාරණා මැදිහත් සිතින් සිතා බලන ලෙසය. එජාපය, ජවිපෙ ඇතුළු ලෝකයේ සියළුම දේශපාලන පක්ෂ අතීතයේදී වැරදි කර ඇත. නමුත් ඒ වැරදි අවබෝධ කරගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සත් සිතින් වෙර වැඩීම යහපත් ප්‍රවණතාවයක් නොවන්නේද?

ඔබෙන් ඇතැමෙක් රජයට විරුද්ධ වුවත් විපක්ෂයේ පක්ෂ ගැන කලකිරී ඡන්දය නොදී ඉන්නට සිතා සිටිනවා වන්නට පිළිවන. අපගේ සර්වජන ඡන්ද අයිතිය රටට වඩාත් සුදුසු පක්ෂය/අපේක්ෂකයින් (ඔබට උවමනා නම් අඩුවෙන්ම නරක ලෙසද අර්ථ ගන්වන්නට හැකිය) වෙනුවෙන් පළ කිරීම ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔබේ යුතුකමක්, වගකීමක් වන්නේය. ඔබ එම අවස්ථාව පැහැර හැරියොත් මේ රජය තවත් උදම් වනු ඇත. ඔවුන් මොන දේ කළත් ජනතාව තමන් සමඟම සිටින්නේය යන අධිමානසිකත්වය ඔවුන්ට ඔබ ලබා නොදිය යුතුය. මක්නිසාදයත් රතුපස්වල වන් තවත් නොමනාකම් වලට එය රුකුල් දෙන්නක් වන හෙයිනි. ඒ නිසා රජයේ ඡන්ද ප්‍රතිශතය අඩු කර ඔවුනට රතු එළියක් දල්වා සිතන්නට යමක් ලබාදීමට සුදුසුම කාලය මෙයයි. යුද ජයග්‍රහණයේ වීරත්වයට මුවාව දශක/පරම්පරා ගණනාවක් රජකම් කිරීම මෙම රජයේ මැති ඇමැතිවරුන්ගේ පැතුමයි (මනාප පොරයේ සිටින මන්ත්‍රී දූ පුතුන්, සොහොයුරු සොහොයුරියන් සිහි කැඳවන්න). ඔබ ඊට එකඟතාවය පළකරන්නේද?

ඉතින් විපක්ෂයේ ඔබට සහය දිය හැකි ප්‍රධාන බලවේග තුනකි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එකී බලවේග තුනයි. මේ තුනෙන් විශාලතම බලවේගය වන එක්සත් ජාතික පක්ෂය පිළිබඳව මේ ලිපියේ මීළඟ කොටසින් පුළුල්ව විස්තර කර ඇත. 1964දී පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී පක්ෂයකි, ඔබ ඔවුනගේ විප්ලවකාරී අදහස් පිළිගන්නේ නම් ඔවුන්ට ඡන්දය දීමේ ඉඩහසර ඇත. නමුත් මෑතදී ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දර්ශනය කුමක්ද යන්න අපට මහත් ප්‍රශ්නාර්ථයක් ගෙනෙයි. නිසැකයෙන්ම ජාතික වීරයකු වන ජනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු එම පක්ෂයේ, මෙම මැතිවරණය මුළුල්ලේම කොපමණ දෙදරීම් ඇතිවුණිද? අපේක්ෂකයින් එළිපිටම තම පක්ෂය විවේචණය කරන, පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති පක්ෂයකට ඔබ ඡන්දය දිය යුතුද? අප තුල ජනරාල් ෆොන්සේකා කෙරේ ඇති ගෞරවය නොදන්නා අපේක්ෂකයකු පළාත් සභාවට යවා දිය කරලිය යුතුද? තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය. ඔබ රජයට විරුද්ධ නම් නියත ලෙසින්ම පරදින ස්වාධීන කණ්ඩායමකට හෝ ඡන්දය දෙන්නේ නම් එය වටින්නේය.

අප එජාපයට සහය දෙන්නේ මන්ද?

මේ ප්‍රශ්නය වසර ගණනාවක් මුළුල්ලේ බොහෝ දෙනෙක් මගෙන් අසා ඇති වාර ගණන අනන්තය. “ඔච්චර පරදින එකේ ඇයි උඹල යූඇන්පී එකට ඡන්දෙ දෙන්නේ?”. එවිට මා ලබා දෙන පිළිතුර නම් වඩාත් වැදගත් වන්නේ “කවුද හරි, කවුද වැරදි යන්න සොයනවාට වඩා මොකක්ද හරි යන්න විමසීම බවයි”. තවත් ලෙසකින් කීවොත් එය ප්‍රතිපත්ති සම්බන්ධ වූ කාරණාවකි. අලියා ලකුණින් ඡන්දය ඉල්ලා පසුව තම ඡන්දදායකයා වරදාන වරප්‍රසාද ඉදිරියේ පාවා දුන් දේශපාලකයින්ටද මෙය සිතීමට යමකි.

එසේ නම් ඇයි අප එජාපයට සහය දෙන්නේ? 1946දී එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ ශ්‍රී ලාංකික ඔබ අප සැමගේ පක්ෂයක් විලෙසිනි. ජාති, ආගම්, කුල භේදයෙන් තොර වූ එජාපය එදා මෙදා තුර රටේ අස්සක් මුල්ලක් නෑර දිවි ගෙවන සෑම ජන කොට්ඨාශයකටම සේවය කර ඇත. එජාපයේ සමාජ ප්‍රතිපත්තිය වන්නේ “සම හැකියාවනට සම අවස්ථා” යන්නය! ඇතැම් පක්ෂ මෙන් රදළයින්ට පොල්කටු හැන්දෙන් බෙදා දුගියාට කන් හැන්දෙන් බෙදනවා වෙනුවට රටේ සමස්ථ ජනතාවටම දියුණුවට සම අවස්ථා විවර කරලීම එජාප ප්‍රතිපත්තියයි.

ඇතමුන්ගේ සම්මතයට අනුව හීන කුල යැයි කියන්නකු රටේ රාජ්‍ය නායකත්වයට පත් කළ එකම පක්ෂය වීමෙන්ම එජාපය යමෙකුගේ තරාතිරම, පසුබිමට වඩා රටේ ජනතාවගේ හැකියාවන් ඔස්සේ ඔවුනට දියුණු වීමට භේදයකින් තොරව දක්වා ඇති නායකත්වය ඔප්පු වන්නේය. සිරිලකට නිදහස් අධ්‍යාපනය, මහපොළ සහ නොමිලේ නිල ඇඳුම, පෙළ පොත් හඳුන්වා දෙමින් පැල්පතේ පුංචි දරුවාටත් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, දැහැමි කෝටිපතියකු වීමේ සිහිනයට පාර කැපුවේ එජාපයයි. ගමේ දරුවාට ජාතික පාසලේ පහස අහිමි කරමින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ පාපකර්මයට සන්ධානය පිඹුරුපත් සැකසුවේය. නිදහස් සෞඛ්‍යය සේවය ලබාදෙමින් බුදුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ කියැවෙන “ආරෝග්‍යා පරමා ලාභා” යන්න ලාංකිකයන්ට යථාර්තයක් බවට පත් කිරීමට වෙහෙස වූයේ එජාපයයි. භේදයකින් තොරව සියළු ලාංකිකයන්ට සුභසාධනය සැලසීමට ඇප කැප වූයේත් එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂය තම වර්ණය වශයෙන් හරිත පැහැය තෝරාගන්නේ කෘෂිකර්මය පදනම් කරගනිමිනි. සියවස් ගණනාවක විදේශීය පාලනයේන් වල් වැදුනු රජරටට ගංගා හරවා රට සහලින් ස්වයංපෝෂණය කළේ එජාපයයි. එජාපය එදා පටන් “ධනපති” ලේබලය ඇලවීමට වාමවාදී බලවේග උත්සුක වුවත් එජාපය යනු “මහන්සිවී වැඩ කරන” මිනිසුන්ගේ පක්ෂයයි. එහි ආර්ථික මතය නම් ජනතාවට ස්වශක්තියෙන් නැගිටීමට අවකාශ සලසා ව්‍යවසායකයින් රටේ ආර්ථික කොඳු නාරටිය බවට පත් කිරීමය. එජාපය වෙර දෙන්නේ ප්‍රබල මධ්‍යම පන්තියක් නිර්මාණය කරලීමට විනා, සන්ධානය මෙන් අධිසුඛෝපභොගී සුපිරි ධනවතුන් බහුතරයකට යට වුණු මැදි සහ දුප්පත් පන්තියක් බිහි කිරීමට නොවේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සපයනු වස් සුබසාධනය කෙරේ එජාපය වැඩි අවධානයක් යොමු කරයි. මීට කදිම උදාහරණයක් නම් එජාපයේ ජනසවිය සහ ශ්‍රීලනිපයේ සමෘද්ධිය සහ දිවිනැගුමයි. ජනසවියෙන් කළේ ගමේ ජනතාව ශ්‍රමදාන සහ පොදු වැඩ ඔස්සේ ගමේම අභිවෘද්ධියට යොදවා ගෙන ඔවුන්ට එකී දායකත්වය වෙනුවෙන් ආහාර යනාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමයි. නමුත් ශ්‍රීලනිපය කරන්නේ දිළිඳුකම මැඩලීමේ මුවාවෙන් බදු මුදල් දේශපාලන සහචරයන්ට කොන්දේසි විරහිතව “පිනට” බෙදා දීමයි.

එජාපයේ ප්‍රතිපත්තිය නම් බදු මුදල් අවම වශයෙන් අය කරගෙන රටට අවශ්‍යම ආයෝජන සිදු කරලිය යුතු බවයි. නමුත් අද රජය කරන්නේ බදු බර උපරිමයෙන් ජනතාව පිට පටවා කිසිඳු ආර්ථික ප්‍රතිලාභයකින් තොර ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, තෙල් සංස්ථාව යනාදී මකර කටවලට අපේ අහිංසක ජනතාවට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය අයිතිය වෙනුවෙන් යෙදවිය යුතු මුදල් දන්දීමයි. එජාපය එදා කළ රාජාංගනය, මහවැලිය, ගල් ඔය, මහපොළ, තරුණ සේවා සභාව වැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අදටත් භුක්ති විඳී. එහෙත් මෙම රජය ලොවට ණයවී කළ මත්තල, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති වලින් අපේ භාණ්ඩාගාරයට මුදල් ගෙනැවිත් ඇත්ද?

එජාපය සර්ව සාධාරණ, සර්ව සුභවාදී පක්ෂයක් යැයි අපි කිසි ලෙසකින් නොකියමු, එහෙත් රටේ ඇති දේශපාලන දර්ශන බහුතරය අතුරින් රටට වැඩියෙන්ම ගැලැපෙන මාවත එජාපයේ මාවත බව අපගේ අවංක මතයයි.

එලොව පොල්…

පසුගිය සති කීපයේ කාගේත් සිතෙහි තුබූ කාරණාවකි බඩුමිල, රටේ බඩුමිල අධික බව ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැත්තන් පවා පිළිගන්නා වටපිටාවක් තුල ඒ ගැන කතා කිරීම වටින්නේය. පොල් මිල අහස උසට නැගලාය, ගෙඩියක් රුපියල් 50ක් පමණ වන අතර රටේ පොල් වගාවට ප්‍රචලිත පොල් ත්‍රිකෝණයේත්, දකුණු පළාතේත් පොල් සෙවීම එලොව පොල් පෙනෙන්නක් බවට පත්ව ඇත. කලක් රටේ ප්‍රධාන අපනයන ත්‍රිත්වයෙන් එකක් වූ පොල් ඉන්දියාවේ කේරළයෙන් ගෙන්වන තරමටම මේ පොල් ප්‍රශ්නය ඔඩුදුවා ඇත. ලොකු ළුණු මිල අහස උසට නැග ඇත්තා සේම බිත්තර, කුකුල් මස් යනාදිය පවා රටින් ගෙන්වන තත්ත්වයක් රටේ උද්ගතවී තිබේ. කොටින්ම කියතොත් වත්මන් රජයේ සංකේතයක් බඳු කුරක්කන් පවා මෙරටට ආනයනය කරනුයේ ඉන්දියාවෙනි, කෙතරම් ඛෙදවාචකයක්ද? රටේ බඩුමිල අඩු යැයි, ජීවනබර අවම යැයි කාට නම් කටක් ඇර කිව හැකිද?

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ආයේ කෘෂි ආර්ථිකයකින් රට හදන්නටය, “අපි වවමු – රට නගමු” කියා පුරසාරම් දෙඩූ, දේශීය ආර්ථිකය ගැන පාරම් බෑ සන්ධාන ආණ්ඩුවට එය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමට නොහැකි වී ඇති බැව් සක්සුඳක් සේ පැහැදිලිය. 2010 මුලදී රටේ පරිභෝජනයට හාල් පිටරටින් ගෙනා ආණ්ඩුව දැන් පොල්, කුකුල් මස්, බිත්තර පවා ඉන්දියාවෙන් ආනයනය කරනුයේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක අතකින් සරිය, ඔවුන් දේශීය ආර්ථිකය සහ කෘෂි ආර්ථිකය නංවන්නට වෙර දරති, නමුත් ප්‍රශ්නය නම් ඒ ශ්‍රී ලංකාවේ නොව ඉන්දියාවේ වීමයි. 2004 පටන් බලයේ සිටින්නා වූ මේ ආණ්ඩුවට උවමනාවක් තිබුනේ නම් කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය කළමණාකරණය කරන්නට තිබුණි. කෘෂිකර්මාන්තයේ එන අස්වනු කළමණාකරණය, පසු අස්වනු කළමණාකරණය ක්‍රියාවට නංවා රටට අවැසි තරමින් අස්වනු ලැබෙන පරිදි ගොවීන් දිරිමත් කරන්නට ආණ්ඩුවට ඕනෑ තරම් අවස්ථාව තුබුණි. එහෙත් ඔවුන් එසේ කළේ නැති බව පැහැදිලිය, රටේ එළවළු නිෂ්පාදනයෙන් 30%ක් පමණ අපතේ යයි, කාලයකට ඇතැම් බෝග යහමින් වැවේ, ගොවීන්ට ඒවා හොඳ මිලකට විකුණාගන්නට බැරිව ලතවේ. තවත් කලෙකට බේතකටවත් ඇතැම් කෘෂි නිෂ්පාදන සොයා ගන්නට බැරිය. ආණ්ඩුව නංවනු ලබන නිදහසට කාරණාව නම් තමුන්ට කාලගුණය, ලෝක ආර්ථිකය යනාදිය සමඟ සටන් කළ නොහැකිය යන්නයි. එහෙත් “ප්ලග්” ගලවන්නට පොරොන්දු දුන් රජය විසින් කරනු ලබන එවන් ප්‍රකාශ පිළිගන්නට හැකිද?ජාත්‍යන්තරය, කාලගුණය, අතරමැදියා බිල්ලට දී සුදනන් වීමට තැනීම කෙතරම් සාධාරණද?

දැන් කළ යුත්තේ කුමක්ද? ආණ්ඩුව පිටරටින් පොල් ආනයන කරමින් කෘත්‍රිමව පොල් මිල වට්ටන්නට තැත් කරති, පොල් සංවර්ධනයට පත් කළ ඇමැතිතුමා ලොරි රථවලින් රටපුරා සිල්ලර වෙළඳාමේ නිරත වෙයි. එහෙත් සිදු විය යුතුව ඇත්තේ එයද? තාවකාලික පැලැස්තර වලින් සෙතක් අපේක්ෂා කළ හැකිද? පසුගිය වසර කීපය පුරාවට අපේ රටේ පොල් නිෂ්පාදිතය පහළ බැස ඇති වග රජයේ සංඛ්‍යාලේඛණ විසින්ම සනාථ කරයි. එසේ නම් ඊට හේතුභූත වූ කාරණා සොයා ගත යුතුව ඇත. රුපියල් 50ට පොල් විකිනෙද්දී පොල් වගාකරුවන් යම්කිසි ආදායමක් උපයද්දී, රුපියල් 30ට පොල් විකුණා ඔවුන්ද පොල් වගාවෙන් දුරස් කරන ජනප්‍රියවාදී හැඳිමිටේ දිග ප්‍රතිපත්තිවලින් සිදුවන හොඳක් නැත. කළ යුතුව ඇත්තේ පොල් වලට පාලන මිලක් දමා ගොවීන්ට පාඩු නොවන පරිදි පොල් මිල පාලනයත් හිඟය මගහැරවීමට රටින් පොල් ගෙන ඒමය, ඒවාට බද්දක් ගසා පාලන මිලට විකිණීමෙන් ලැබෙන ආදායම පහසුවෙන්ම පොල් කර්මාන්තය නගා සිටුවීමට යොදා ගත හැකි යැයි මට හැඟේ. වත්මන අහස උසට නැග ඇති මිල පහළ බැස්සවිම අවශ්‍යතාවක් බව සැබෑ වුවත් එය කළ යුත්තේ කෘත්‍රිම මිල වෙනසක් ඇති නොවන පරිද්දෙනි, දීර්ඝකාලීනව රටේ මේ තත්ත්වය ඇති නොවී අවශ්‍ය තරමට පොල් නිපදවෙන අයුරේ ප්‍රතිපත්ති ගෙන ඒම දැන්වත් කළ යුතුය, නැතිනම් ලබන වසරේදීද මෙම මැසිවිල්ල මෙලෙසම ඉලිප්පෙනු කාට නම් වැළැක්විය හැකිද? පොල් වලට පමණක් නොව ඕනෑම බෝගයකට තත්ත්වය එයයි. කිසිඳු ප්‍රතිපත්තියකින්, කළමණාකරණයකින්, දර්ශනයකින් තොරව රටක ආර්ථිකයකට නායකත්වය දිය නොහැකිය. රටේ ජනතාවගේ පපුවට දැනෙන්නට රෝම කූප කෙලින් වෙන්නට කතා කරන එක එකකි, නමුත් නිවැරදි ආර්ථික කළමණාකරණයක් හරහා ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකීම තවෙකකි. කෘෂි ආර්ථිකය, දේශීය ආර්ථිකය, “අපි වවමු – රට නගමු” යනාදිය හුදු අරුත් සුන් වදන් හා බෝඩ් ලෑලිවලට පමණක් සීමාව තිබීම කණගාටුවට කරුණකි.

වත්මන් රජය කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමට ප්‍රමුඛ වූ බව ඇත්තය, නමුත් එසේ වත්දී රජයේ ඇමැතිවරුන්ගෙන් අතිමහත් බහුතරය තම අමාත්‍යංශවල නිදිකිරුවේය, එසේ නොවූවානම් මෙවැන්නක් සිදුවන්නේද? අවාසනාවට දැන් පෙනෙන්නට තිබෙන තත්ත්වයේද වෙනසක් නැත. එහෙත් කැබිනෙට්ටුව 35කට සීමා කරන බවට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමා වත්මන කැබිනෙට්ටුව 60කට නංවා ජ්‍යේෂ්ඨ ඇමැතිවරු 10ක්ද පත්කර තිබේ, ඔවුන්වත් මේ ප්‍රශ්න විසඳන්නේ නම් යහපතකි. වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම යුද ජයග්‍රහණයෙන් ඉක්බිතිව “දැන් ඉතින් රට හදමු” කියා පවැසූ බව අප නැවැත මතක් කර දිය යුතුව තිබෙන්නේ යුද ජයෙන් අනතුරුව රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ, ක්‍රය ශක්තියේ ධනාත්මක වෙනසක් වී ඇතිද යන ප්‍රශ්නාර්ථය රාව ප්‍රතිරාව දෙන නිසාය. එකක් පැහැදිලිය, යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් රටක් තියුණු වන්නේ නැත, දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් එසේ යටිතල පහසුකම් අතින් ඉහල මට්ටමක හුන්නද එකී රටවල මිනිසුන් අසීරු ජීවන තත්ත්වයකට උරුමකම් කියති. එසේ නම් අපේ රටේ තිරසාර සංවර්ධනයකට රටේ නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාත් සුරක්ෂිත වන අන්දමින් තීන්දු තීරණ ගත යුතුව ඇත. අවසාන වශයෙන් එකක් මතක් කර දෙමි, යුද ජයග්‍රහණය විකුණමින් සන්ධාන ආණ්ඩුවට මියෙන තෙක් රජ කරන්නට නොහැකිය, එනිසා දැන්වත් වැඩ කරන්නේ නම් රටටත්, ඇමැතිවරුන්ටත්, පොදුජනතාවටත් යහපතකි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 උඳුවප්

“CEPA”, “IIFA” සහ ඉන්දියානුකරණය

පහුණු සතිඅන්තයේදී ඉන්දියාවේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලක් වන IIFA සම්මාන උළෙල ඇතුළු ඊට ඈඳුනු උත්සව කිහිපයක් මෙරටදී පැවැත්වුණි. ඉන්දියාවේ ප්‍රකට නළු නිළියන් කිහිප පලක් මෙන්ම ඉන්දීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක්ද මෙරටට පැමිණියහ. කටුනායක ගුවන්තොට, කොළඹට යා කරමින් සුඛෝපභෝගී දුම්රිය සේවයක් මේ නිමිත්තෙන් ආරම්භ කළ අතර අගනුවරද ශුද්ධ පවිත්‍ර කර වැඩිදියුණු කළ වග ආණ්ඩුවේ ලොකු ලොක්කන් කියති. ගෝලීයකරණයට ලක්වන ලෝකයේ මෙවැනි ජාත්‍යන්තර උළෙලවල් මෙරටදී පැවැත්වීම සැබැවින්ම හොඳය. IIFA උළෙලට සමගාමීව ඇතිවූ දෙස් විදෙස් අර්බුද බොහොමයක් අපට මාධ්‍යයෙන් අසන්නට ලැබුණත් මේ හරහා රටට යම් ධනාත්මක අවධානයක් ජාත්‍යන්තරයෙන් යොමු වූ බවට අප විශ්වාස කරමු. නමුත් සමාජයට පෙනෙන පැතිකඩ මෙය වුවත් සම්පූර්ණ රූපය ආණ්ඩුව හුවා දක්වන රූපයමද??

ජී.ඇල්.පීරිස් ඇමතිතුමා CEPA ගැන අදහස් දක්වමින්

ඒ පැත්තෙන් හින්දි සිනමාවට උමතුව සිටින ශ්‍රී ලාංකික ජනතාවට ජනප්‍රිය නළු නිළියන් පෙන්වන අතරේ මේ පැත්තෙන් CEPA (අවබෝධාත්මක ආර්ථික සහයෝගීතා ගිවිසුම) ගිවිසුම හරහා රජය ජනතාවගේ ඇස්වලට වැලි ගසන බව බොහෝ දේශීය ව්‍යවසායකයන්ගේ අදහසයි. සමහරෙක් කියනුයේ ලංකාවට IIFA ගෙන්න ගත්තේ CEPA ගිවිසුම අත්සන් කරන පොරොන්දුවෙන් බවයි. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් මේ දක්වා හෙළි වී නොමැති ගිවිසුම ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයට අවාසිදායකය යන්න පොදු පිළිගැනීමයි. ආණ්ඩු හිතෛෂී “දේශප්‍රේමී” ලේබල් තමා විසින්ම අලවා ගත්තවුන් කියන්නේ “මහින්ද මහත්තයා සීපා වලට අකමැති බවයි“. ඒත් ඊයේ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් මහතා කීවේ ජනාධිපතිතුමා සීපා ගිවිසුමට කැමැති බවත් ඊට ලක්වැසියන් කැමැති වනු ඇති බවත් ජනාධිපතිතුමා විශ්වාස කරන බවයි. එතකොට කාටද ජනාධිපතිතුමා බොරු කරන්නේ?? ආන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට පුළුවන් එතුමාටම පමණි.

මෑතදී ප්‍රකාශයට පත් කළ බදු සහනයන්ගෙන්ද ඉන්දියාවේ මරුටි වැනි සමාගම්වලට ඉලක්කගත සහන ලැබුණු බව ප්‍රත්‍යක්ෂය. මේ අතර CEPA හරහා සිදුවන්නෙ දෙරට අතර සේවා අංශයේ ආයෝජනයේ ඇති බාධාවන් ඉවත් කිරීමත් දෙරට අතර ආගමන විගමන තහංචි ලිහිල් කිරීමත්ය. වඩාත් පැහැදිලිව කියතොත් අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ, ප්‍රවාහන ආදී සේවා ක්ෂේත්‍රයන්ට අවුත් ආයෝජනය කරන්නට ඉන්දියානුවන්ට හැකි වනු ඇත. අපටද එසේ ඉන්දියාවට යා හැකි බව ඔවුන්ගේ තර්කයයි, නමුත් ප්‍රාග්ධනය දුලභ ලාංකිකයන්ට ප්‍රායෝගිකව ඉන්දියාවේ ආයෝජනය කර සේවා සපයන්නෙක් වෙන්නට පුළුවන්ද?? මල්ටිකෙම් ආයතනයේ ප්‍රධානියකු පසුගියදා ලංකාදීපයට ලියූ ලියමනක සඳහන් වූයේ අද ක්‍රියාත්මක ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම පරිදි ලාංකේය නිෂ්පාදන පවා ඉන්දියාවට අපනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර බවත් ඊට ඉන්දියානුවන් අකුල් හෙලන බවත්ය. CEPA ගිවිසුම හරහා ඉන්දියාවෙන් දොස්තරවරුන්ට මෙරටට අවුත් බෙහෙත් කරන්නට, ගුරුවරුන්ට මෙහෙ අවුත් උගන්වන්නට, බාබර්වරුන්ට සැලුන් දමන්නට මෙන්ම ටේලර්වරුන්ටද ඇඳුම් සාප්පු දාන්නට ඉඩ හිමිවනු ඇතැයි යන්න බොහො විශ්ලේශකයන්ගේ මතයද වෙයි. ලාභ මිලට සේවා සැපයීම හරහා ඔවුන්ගෙන් පාරිභෝගිකයාට ලාභයක් සැලසුණද දේශීය ව්‍යාපාරිකයාට ඔවුන් හා තරඟ කිරීම අපහසු වී මහමග උරුම වනු ඇත. යුරෝපයේද මෙවැනිම ගිවිසුම් හරහා සිදු වූයේ එවැන්නකි. ජර්මනිය, ප්‍රංශය වැනි රටවල විරැකියාව වැඩි වීමට මූලික හේතුවක් වූයේ නැගෙනහිර සහ දක්ෂිණ යුරෝපයෙන් අඩු වේතනයන් සඳහා සේවකයන් පැමිණීමය. ඇමරිකා එක්සත් ජනපදයේද නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් විරැකියාවෙන් පෙළෙන්නන් ගණන ඉහළ යෑමට විශාල බලපෑමක් සිදු වී තිබේ. එසේ නම් මේ වෑයම ලංකාව තුලට ඉන්දියානුවන් ගෙන්වා ගෙන අපේ සේවකයන්, ව්‍යාපාරිකයන් මහමගට ඇද දැමීමටද?? 70, 80 දශකවල ලංකාවේ දියුණුව නුරුස්සමින් බෙදුම්වාදයට පණදුන් පාර්ශවයන්ගෙන් එවැනි ආර්ථික උගුලක් බලාපොරොත්තු වෙන්නට නොහැකිද??

මෙම බ්ලොග් ලිපිය කියැවූ යමෙකුට අපි ජාත්‍යන්තර වෙළඳාමට විරුද්ධ යැයි සිතෙන්නට පුළුවන. එවැන්නක් නැත. ඕනෑම රටකට ජාත්‍යන්තර වෙළඳාම අතිශය වැදගත්ය නමුත් එය දෙපාර්ශවයටම වාසි සහගත අයුරින් සිදුවිය යුතුය. එය එසේ නොවන්නේ නම් එවන් ගිවිසුම්වලින් ඵලක් නැත. ඉන්දියානුවන් කියනා හැටියට CEPA ගිවිසුම සකස් කර අවසන්ය, නමුත් තවමත් අරලිය ගහ මැදුරේ සේප්පුවට ඒ ලියැවිලි සිරවී ඇති හැඩය. ජනතාවට ගිවිසුමේ හොඳ නරක දැක සාකච්ඡා කරන්නට CEPA ගිවිසුමේ අන්තර්ගතය ජනතාවට ඉක්මනින්ම හෙළි කරන්නේ නම් මැනවි.

කෙසේ නමුදු මේ සියල්ල මධ්‍යයේ හාස්‍යයට කරුණ නම් දේශප්‍රේමීන් යැයි පෙනී සිටින, අධිරාජ්‍යවිරෝධීන් යැයි කියාගන්නා ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ මේ සියල්ලටම “හුරේ” දමමින් මුනිවත රැකීමයි. වෙනදා තමන්ට වෙන සුළු දේටත් “අධිරාජ්‍යාවදී කුමන්ත්‍රණ” කියා රට දෙවනත් කරන කටවල් අද CEPA හමුවේ, ඉන්දියාවෙන් හා චීනයෙන් යැපීමේ ප්‍රතිපත්තිය හමුවේ නිහඬ වී ඇත්තේ ඔවුන්ගේ සැබෑ ස්වරූපය රටටම පසක් කර දෙමිනි. මේ යන පාරේ ගියෝතින් ආසියාවේ ආර්ථික අධිරාජ්‍යයන් ගොඩ නගන්නට වෙර දරණ චීනය සහ ඉන්දියාව උවමනාවට වඩා අප රටට අත පොවනු ඇත. විදේශයන්ගෙන් රට සංවර්ධනයට සහය ලබා ගනීමේ වරදක් නැතත් හැම දෙයකටම රටවල් දෙකක් මත යැපීම රටටත් ජනතාවටත් හිතකර නොවන්නේය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 පොසොන්

සන්ධානයේ ආර්ථික කෙරුවාව සහ තිත්ත ඇත්ත

Click here to get Sinhala Unicode.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පොරොන්දු දුන්නේ තමුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඔවුන් මෙසිරිලක ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කර අපේ ජනතාවට සුබ අනාගතයක් සලසන බවයි. එම ප්‍රතිඥාව ඉතා ආකර්ෂණීය එකක් වන නමුත් මෙය යථාර්ථයක් වනු ඇතිද යන්න අප කවුරුත් මහත් ඕනෑකමින් බලා සිටිමු.

පසුගිය වසරේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ පැවැති රණවිරු උපහාර රැලිය අමතමින් ජනාධිපතිතුමාද පවසා සිටියේ දැන් යුද්ධයට මුවාවී රටේ සංවර්ධන ක්‍රියාවලියෙන් සහ ආර්ථික ප්‍රගමණයෙන් බැහැර වීමට ආණ්ඩුවට අවකාශයක් නොමැති බවයි. මෙතෙක් කල් යුද්ධය පෙරැටු කැර ගනිමින් ආර්ථිකය කාබාසිනියා කළ සන්ධාන ආණ්ඩුවට මෙය ලේසි පහසු කාර්යයක් නොවනු ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආර්ථික භාවිතයේ පෙන්වා ඇති දුර්වලතාවය ආණ්ඩුව හමුවේ ඇති අභියෝගයේ තරම මැනැවින් විදහා දක්වයි. යුද්ධය නිමාවී එළැඹෙන සතියේදී වසරක් ගෙවී යනමුත් සුවිසාල ආර්ථික පරිවර්තනයක් අපේක්ෂිත පරිදි දැකගන්නට ලැබී නැත. මෙම ලිපියෙන් ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ සහ එහි අඩුපාඩු විශ්ලේෂණය කිරීමට අදහස් කරමි.

පසුගිය වසරේ රජයේ ආදායම රුපියල් කෝටි 72,000ක් වෙද්දී, ණය වාරික සහ පොලිය සඳහා පමණක් රජයට රුපියල් කෝටි 82,000ක් වැය කරන්නට සිදුවිය. ඒ අනුව අපේ රටේ ණය වියදම් පියවීමට තරම්වත් ආදායමක් රජය සතුව නැත. ඉන් ඔබ්බට යමින් රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, ප්‍රවාහනය ආදී කටයුතු සහ සේවක වැටුප් ගෙවීම් ආදී මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා රට තුල මුදල් ඉපැයෙන්නේ නැත. මේ සියල්ල සාක්ෂාත්කරගැන්මට පිටරට බැංකුවලින් ඉහළ පොලියට ණය පිට ණය ගැනීමට රජය පෙළඹ තිබෙන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙළට ආධාර දෙන සංවිධාන හෝ රටවල් ආධාර දීමට එතරම් කැමැත්තක් නොදක්වන නිසාය.

අනෙක් අතට රාජ්‍ය ආයතන බොහෝමයක් දුවනුයේ පාඩු පිටය. ඒවායේ මෙහෙයුම් අලාභයන් ඉතාමත්ම අධික වන අතර මේ අලාභයන් අවසානයේදී දරන්නට සිදුවන්නේ රටේ මහජනතාව වන අපටමය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු හෝ සමාජවාදියකු ලාභයට වඩා සේවය උතුම් යන තර්කය ඉදිරිපත් කරනු ඇත. එහි යම්කිසි ඇත්තක් තිබුණද එම රාජ්‍ය ආයතන මතුවටත් ජනතාවට සේවය කිරීමට නම් ඒවා මහා භාණ්ඩාගාරයටත් ජනතාවටත් බරක් නොවී ලාභ ඉපැයිය යුතුය. නැතිනම් අවසානයේදී මේ බර දැරීමට සිදුවන්නේ බදු ගෙවන්නන් වන අපටමය. 2009දී විට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 7.4ක් පාඩු ලභා ඇත. ලංකා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් 12.3ක අලාභයක් පසුගිය වසරේදී වාර්තා කරගත්තේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට නොදෙවෙනි රුපියල් බිලියන 12.2ක අලාභයක් 2009 වසරේදී වාර්තා කරගෙන තිබේ. එමිරේට්ස් සමාගමේ පාලනාධිකාරිය යටතේ පැවැති යුගයේ මධ්‍ය ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගමට හිමි ගෞරවය පිට පිට දිනාගත් එම ගුවන් සේවය අද මේ තරම් දුර්ධාන්ත තත්ත්වයකට පත්වූයේ කාගේ වරදින්ද යන වග සැබෑ ප්‍රශ්නයකි. තත්ත්වය එසේ තිබියදීත් එමිරේට්ස් සමාගම සතුව ඇති 43%ක කොටස් යළිත් මිලයට ගැනීම අපේ රට මතත් භාණ්ඩාගාරය මතත් අනවශ්‍ය බර පැටවීමක් නොවන්නේද? මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඔවුන්ට රජයෙන් පිරිනැමෙන සහනාධාර ඇතුළුව රුපියල් බිලියන 9.3ක අලාභයක් වාර්තා කරගෙන තිබෙන අතර රේල්ලුව රුපියල් බිලියන 4.8ක් පාඩු ලබා ඇත. මේ ප්‍රවාහන ආයතන දෙක ජනතාවට ඉතාමත් අස්වැසිල්ලක් වුවත් ඒවා තුල සිදුවන අක්‍රමිකතා සහ අයහපත් කළමණාකරණය මෙම සේවාවන්හී පරිහානියට හේතුවී තිබේ. සමස්ථයක් වශයෙන් ශ්‍රීලංගම සහ රේල්ලුව යන දෙකෙහිම සේවා තත්ත්වය පහළ බැස තිබෙන බව ඕනෑම මගියකු එක හඬින් පවසනු නොඅනුමානය. වෙනස් වන ලෝකය සමඟ වෙනස් වීමට අපොහොසත් වූ තැපැල් සේවය 2009දී රුපියල් බිලියන 2.4ක් පාඩු ලබා ඇති අතර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප්‍රධාන විධායක නිලධාරීව සිටි මිහින් ලංකා ගුවන් සමාගම මෙම වසරේ රුපියල් මිලියන 930ක් පාඩු ලබා තිබේ. මේ ආයතන සමූහය නිසා පමණක් ආණ්ඩුවට රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් පාඩු වී ඇති අතර මෙම තත්ත්වය ඉතා කණගාටුදායක වාතාවරණයකි.

මේ අතර පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ලබාගැනීමේදී රජය එකඟ වූ එක පොරොන්දුවක් නම් අයවැය හිඟය පසුගිය වසරේ 7% සීමාව තුලත් මේ වසරේ 5%ක අගයකත් පවත්වා ගන්නා බවයි. නමුත් දැනට නිකුතු වී ඇති වාර්තා අනුව පසුගිය වසරේ අයවැය හිඟය 11%ක් පමණ වන බවත් මේ වසරේදී එය 15.75% (2009 වසරට සාපේක්ෂව) දක්වා වැඩි වනු ඇති බවත්ය. මෙය ඉතාමත්ම ගැටළු සහගත තත්ත්වයකි. අනෙක් අතට රටේ වෙළඳ ශේෂයද ඉතා විශාල අගයකින් ඉහළ ගොස් ඇත. GSP+ සහනය අහිමි වීමත් සමඟ ඇඟලුම් අපනයන ප්‍රමාණය 18%කින් පහළ බැසීම ඊට එක් හේතුවක් වුවත් ආණ්ඩුව කියන්නෙ GSP+ තිබුණත් එකයි නැතත් එකයි කියලාය, එසේ පුරාජේරු දොඩවමින් ලොකු ලොක්කන් බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට යවති. 2010 පෙබරවාරි වන විට වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන 344ක් විය. අප රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. “අපි වවමු – රට නගමු” කියා රජය පුරාජේරු දෙඩුවද සාටකයේ පැහැය එන කුරුක්කන් ඇටයේ සිට සහල් ඇටය දක්වා පිටරටින් නිර්ලජ්ජිත ලෙස ආනයන කරන්නට රජය ක්‍රියා කරයි. ඇඹිලිපිටියේ කෙසෙල් ගොවියා, බිබිල දොඩම් ගොවියා අනේකවිධ දුක් කම්කටොළු විඳිද්දී පිටරටින් ගෙනෙන කෙසෙල්, නාරං මහමග අඩු මිලට අලෙවි වේ. ඉතින් එහෙව් වටපිටාවක කෘෂි ආර්ථික ගැන පම්පෝරි ගැසීමම විහිළුවකි. එක්සත් ජාතික පක්ෂය අවසන් වරට ආණ්ඩු කළ සමයේ රට සහලින් ස්වයංපෝෂිත වූ බව කවුරුත් දනිති, ඒ රටින් යම් කොටසක් කොටින්ගේ අණසකට යටත්ව තිබියදීය, නමුත් අද සමස්ථ රටම ආණ්ඩුවේ අණසක යටතේ පැවතියද අපට සහල් පරිභෝජනය සඳහා මියැන්මාරය වැනි රටවල් මත යැපීමට සිදුවීම කෙතරම් සෝචනීයද? ආණ්ඩුව කියන්නේ එකකි, කරන්නේ හාත්පස වෙනත් දෙයකි, දේශීය කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවා ගොඩ නගනවා යැයි මැත දොඩවන ආණ්ඩුවට රටේ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය නිසි පරිදි නිපද්දවා අනවශ්‍ය ආනයන සීමා කිරීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණකි. මේ අතර ඉන්දියාවට හිතකර වන අයුරුන් CEPA නමින් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමටද ආණ්ඩුව තුල තැතක් පවතී. ජාත්‍යන්තර වෙළඳාම හොඳ දෙයක් වුවත් එහි නියමිත නියාමනය නොමැති වීම උගහටය. මෙහෙව් තත්ත්වයක් තුල අපේ ව්‍යාපාරික ප්‍රජාවට අවිනිශ්චිතතාවයේ වියගහ උරුම වීම පුදුමයක් නොවේ.

කැබිනට් සංශෝධනය ගැන දාස හපුවලානගේ කාටූනය

යුද්ධය නැතිවීමත් සමඟ රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිවන බව නොඅනුමානය. ඒ අනුව සැලකිය මනා සංවර්ධනයක් සිදුවනු ඇතත් වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හරහා මීට වඩා තීව්‍ර සංවර්ධනයක් කරා පා තැබීමට අපට හැකියාව හිමිවනු ඇත. මහ බැංකුව මේ වසරට 6.5%ක වර්ධනයක් අපේක්ෂා කරන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අගය 5.5%ක් වනු ඇති බවත් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීම නිසා රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවනු ඇති බවත් පුරෝකථනය කර ඇත. කවුරුන් හරිද, කවුරුන් වැරදිද යන්න අපි නුදුරේදීම දැන ගනු ඇත.

මේ අතර පසුගිය මස සිදුවූ කැබිනට් ඔලුගෙඩි මාරුවෙන් ඉක්බිතිව එක් එක් ඇමැතිවරයා කියන්නේ තමුන්ගේ අමාත්‍යාංශය කලියෙන් දූෂිත බව හෝ යම් දොසක් ඇති බවයි. එසේ කියා ඔවුන් අලුත් දෑ කරන්නට ප්‍රතිඥා දෙති. වසර ගණනක් ඇමැති පදවි දැරූ අයවලුන්ගෙන් ක්ෂණිකව ආසියාවේ ආශ්චර්ය බලාපොරොත්තු විය හැකිද??

අද අපේ රටේ සමහරුන් පාලම්, බෝක්කු, කොන්ක්‍රීට් පාරවල්, ගුවන් පාලම්, අධිවේගී පාරවල්, වරායවල් පෙන්වා මෙන්න සංවර්ධනය කියා සතුටු වෙමින් ජනාධිපතිතුමාටත් රජයටත් සහය පල කරති, ආවඩති. ඔවුන්ගේ අවධානය දකුණු ඇමරිකානු රටවල් වෙත යොමු කරන්නේ නම් මැනවි. බ්‍රසීලය, ආජන්ටීනාව වැනි රටවල අතිවිශිෂ්ට ප්‍රවාහන පද්ධතියක් සහ යටිතල පහසුකම් පැවතියද ඒ රටවල් දියුණු නැත. ලොව පුළුල්තම පාරවල් ඇති ආජන්ටීනාව ආර්ථික වශයෙන් මීට වසර කිහිපයකට පෙර බිංදුවටම වැටුණි, බ්‍රසීලයේද පහසුකම් ඉහළ තත්ත්වයක් තිබුණද එහි වෙසෙන දුප්පත් ජනගහනය ඉතා ඉහළය. අපේ ශ්‍රී ලාංකික ඡන්දදායකයින් මේ කිසිවක් දන්නේ නැත, ඔවුන්ට මේවා උවමනාද නැත, ඔවුන් දේශපාලනික වශයෙන් පහසුවෙන්ම මුලා කර හැකිය, ගමේ පාරක් හැදූ පමණින් අපේක්ෂකයෝ පාර්ලිමේන්තු යවන මෙහෙව් රටේ, ඇඟට දනෙන්නට කතා කළ පමණින් මනාප දෙන මෙහෙව් රටේ සැබෑ සංවර්ධනය උදා කරගන්නට නම් ඡන්දදායකයින් සියල්ලෝම රාමුවෙන් පිට පැන බුද්ධිමත්ව රට ලෝකය දෙස බැලීම මැනවි. සංවර්ධනය යනු යටිතල පහසුකම්වල සංවර්ධනය පමණක්ම නොවන වග අප තේරුම් ගත යුතුය.

ඉඳින් මේ රට ආර්ථිකමය වශයෙන් ගමන් ගන්නා මග නිවැරදිද නැද්ද යන්න ගැටළු සහගතය. නිවැරදි නම් අප කාටත් සතුටු වන්නට පුළුවන නමුත් වැරැදි නම් කරන්නට දෙයක් නැත, මක්නිසාදයත් එය බහුතරයේ කැමැත්තත්, සැමගේ කරුමයක් වන හෙයිනි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ

ඔන්න පෙට්‍රලුත් (ඡන්දෙට) බැහැල (වැඩ)ලු…!!!

2009 දෙසැම්බර් 29දා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 15කින් අඩු කිරීමට ආණ්ඩුව තීරණය කරන ලදි. ඒ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් රු.130 සිට රු.115 දක්වාද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රු.148 සිට රු.133 දක්වාද පහත වැටුනි. සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස රජය විසින් වර්ගීකරණය කරන පෙට්‍රල් වල මිල පහත හෙලීමෙන් ඉහළ පැළැන්තියේ උදවිය මෙන්ම ගම්වල යතුරු පැදි හිමිකරුවන් ත්‍රීරෝද රථහිමියන් ආදී ජනතාවද වාසි ලබනු ඇත. එය සතුටට කරුණකි.

ඒත් ජනාධිපතිවරණයට දින 28ක් තිබියදී කඩිමුඩියේම පෙට්‍රල් මිල පහත හෙලීම තරමක් සැක සහිතය. රජය විශාල බදු ආදායමක් ඉපයූ පෙට්‍රල් මිල මීට පෙර පහළ නොදැම්මේ මන්දැයි යන සාධාරණ ප්‍රශ්නය මනසට නැගේ. විශේෂයෙන්ම 2008 අගදී පෙට්‍රල් මිල අඩු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා පෙට්‍රල් මිල රු. 100 දක්වා පහත හෙලන ලෙස රජයට නියෝග කළ බව අප ඔබට මතක් කර දෙනු කැමැත්තෙමු. එවිට ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක විදේශීය සමාගමක් වන ඉන්දියානු ඔයිල් සමාගම (ලංකා IOC) සිය පෙට්‍රල් මිල රු. 100 දක්වා අඩුකරද්දී අපේ රටේ ජනතා සම්පතක් වූ ඛණිජ තෙල් සංස්ථාව සහ ආණ්ඩුව කිසිත් නොඇසුනාක් මෙන් සිටිමින් පෙට්‍රල් මිල රු.127ම පවත්වා ගත්තේ අධිකරණ තීන්දුවටද ගරහමින් ජනතාවද අපහසුතාවයට පමුණුවමිනි. අනෙක් අතට රටේ ජනතාවට රුපියල් කෝටි 7700ක් අලාභ ගෙනදුන් දූෂිත හෙජින් ගණුදෙනුව හරහා කිහිප දෙනෙක්ට වාසි සැලසූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව මහජනයා ගැන අල්පමාත්‍රීයවවත් නොසැලකුවේ එපරිද්දෙනි. අද මිල අඩු කර ඇත්තේ එදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ මිලට වඩා රු.15කින් වැඩි මිලක් දක්වා පමණෙකි.

මේ මිල අඩු කිරීමේ තීරණයේ තවත් සැකමුසු කරුණක් වන්නේ මෙම මිල පහත හෙලීම ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් වැඩිවන අවධියක සිදු කිරීමයි. අද බොරතෙල් බැරලයක මිල වනුයේ අමෙරිකානු ඩොලර් 79කි. 2008 ඔක්තොම්බරයේදී බොරතෙල් බැරලයක් ඇ.ඩො.31කි, 2009 වසරේ අප්‍රේල්, මැයි මාස වනවිට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො.45ක පමණ අගයක් වාර්තා කරන ලදි. එදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදී පෙට්‍රල් මිල අඩුකරන්නට ආණ්ඩුවට ඇති නොවූ කැක්කුම අද ඇති වූයේ මන්දැයි යන්න සැබැවින්ම බුද්ධිමත් ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට සැපයිය හැකි එකම තාර්කික පිළිතුර එය ඡන්ද ගුණ්ඩුවක් බවය. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත වාරයක් ජනපතිධුරය සඳහා තේරී පත් වුවහොත් පෙට්‍රල් මිල වැඩි වනු ඇත. 2009 අප්‍රේල් මාසයේ බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් පසුව ගෑස් ඇතුළු බොහෝ භාණ්ඩවල මිල රජය ඉහල දැමූ ආකාරය අපි අමුතුවෙන් මතක් කර දිය යුතු නැතැයි සිතමි.

ලෝක තෙල් මිල උච්ඡාවචනය

මෙසේ නව සංශෝධනය යටතේ රු.115කට අලෙවි කෙරෙන පෙට්‍රල් ලීටරයක නිෂ්පාදන පිරිවැය, එනම් ඉරානයේ කාග් දූපතේ සිට මෙරටට ගෙනැවිත් සපුගස්කන්දෙන් පිරිපහදු කොට කොලොන්නාව හරහා බෙදා හැරිමට ලීටරයකට වැයවන මුදල රුපියල් 72ක් බව ඔබ දන්නවාද?? එහෙනම් ඉතිරි රුපියල් 43ම රජයේ බදු මුදල්ය. ආණ්ඩුවට ජනතාව ගැන කැක්කුමක් තිබුණි නම් පෙට්‍රල් මිල බොරතෙල් බැරලය ඩොලර් 30ට 40ට යද්දී අඩුකරන්නට පුලුවන්කම තිබුණි. එහෙත් එය එලෙස සිදු වූයේ නැත.

2005දීත් මෙවැනිම කැරට් අල පෙන්වා බලය ඩැහැගත් ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය වන මහින්ද චින්තනයේ මෙසේ පවසයි, “ලෝක වෙළඳපොලේ වැඩි වන ඉන්ධන වියදමේ බරින් අපගේ දිළිඳු ජනතාව හා රටේ ආර්ථිකය මුදාගැනීමත් බලශක්ති සැපයුම රට තුල ඉල්ලුමට සරිලන පරිදි ඉහළ නැංවීමත් මගේ ප්‍රධාන ඉලක්කයක් වනු ඇත“. තවදුරටත් එහිදී එතුමා කියා සිටියේ බස්, දුම්රිය සහ ත්‍රීරෝද රථ සේවාවලට සහන මිලට ඉන්ධන ලබාදෙන බවයි. එදා එසේ ජනතාව රැවටූ හෙතෙම අද ලෝක තෙල් මිල ඉහළ යද්දී මහජනතාව ගොනාට අන්දවන්නට දරණ තැත අපූරුය. එසේම සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ රටේ ජනතාවට සෞභාග්‍ය උදාවෙමින් පවතී. ෆොන්සේකා භීතිකාවෙන් කිලිපොලා ගිය ආණ්ඩුව පෙට්‍රල් මිල අඩු කළා සේම බඩු මිලද ලංකා සතොසේ පමණක් හෝ අඩු කරන ලදි, රණවිරුවන්ගේ දීමනා වැඩි කරන ලදි, බජට් පැක් හඳුන්වාදුන් අතර අවුරුදු ගාණක් බැරියර් දමා මහජනතාවට වසා තුබූ අරලියගහ මැදුර, මහනුවර සහ අනුරපුරේ ජනපති මැදුරු හිටිහැටියේම දන්සැල් බවට පත්කර තිබේ, සක්විති, ගෝල්ඩන් කී මුදල් වංචා වලින් පාඩු සිදුවූවන්ට වන්දි දීමට පවා පොරොන්දු දී ඇත. වෙනකක් තියා ජනාධිපතිතුමා රටේ හතරදිගභාගයටම අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ යවන තත්ත්වයට පත්ව ඇත්තේ ෆොන්සේකා මහතාගේ අපේක්ෂකත්වය විසිනි.  මේ තත්ත්වයට සරිලන පිළිතුරු රටේ අනාගතය ගැන සිතන බුද්ධිමත් මහජනතාව ජනවාරි 26දා ලබා දෙනු ඇතැයි අප අවංකව පතමු.

දැන් බැලුවම පෙට්‍රලුත් (ඡන්දෙට) බැහැල (වැඩ)…!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

H Niles Perera©, January 2010

මොනවද මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ???

Click here to get Sinhala Unicode

විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යනු අද රටේ වැඩියෙන්ම කතාවට ලක්වන සුවිශේෂී මාතෘකාවකි. බොහෝ දෙනෙක් ඒ ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරති. ඒත් ඇත්තටම මොකද්ද මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්නේ?? අපි පොඩ්ඩක් හොයල බලමු.

ජාත්‍යන්තර කුමන්ත්‍රණ භීතිකාවෙන් පෙලෙන විමල්

අපි අන්න එතැනින් කතාව අරඹමු. මගේ දැනුම් ප්‍රමාණයට අනුව මේ රටේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන වචනය වැඩිපුරම භාවිතා කරන්නේ, අපේ මහියංගණ ආසනයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීතුමාගේ වදනින් කීවොත්, ජනාධිපතිතුමාගේ ප්‍රධානතම සට්ටංරාලලා වන විමල් වීරවංශ සහෝදරයා (දැන් ආණ්ඩුවට මුක්කු ගැහුවට පස්සෙ ජේවීපී එකේ ඉද්දි වගේ සහෝදරය කිව්වට කමක් නැද්ද මන්දා) සහ ජාතික හෙළ උරුමයේ ජනාධිපතිතුමාගේ මධුවිත සංග්‍රහ අනුමත කරන එහෙත් මතට විරෝධී අපේ ස්වාමීන්වහන්සේලා සහ උපාසක උන්නැහේලාය. ඒත් මේ විජාතික බලවේග සහ කුමන්ත්‍රණ හරිහමං විදියට අර්ථකථනයට කිරීමට අදවනතුරුත් මේ සට්ටංරාලලාට නොහැකි වී තිබේ. අද පවතින තත්ත්වය අනුව කුඩා බිළිඳකු ආණ්ඩුවට එරෙහිව ඇඬුවොත් එය විජාතික බලවේගයකි, කවුරුන් හෝ එන්නත් කුප්පියක අපද්‍රව්‍යයක් පෙන්නුවොත් ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි, සූකර උණ පැතිරෙන්නේත් විජාතික බලවේගයක් නිසා යැයි ඔවුන් කීවොත් ඒකේද පුදුමයක් නැත, පසුගිය කාලයේ වාර විභාග අසාර්ථක වූයේත් විජාතික බලවේගයක් මත යැයි ඔවුන් කියනවාට සැක නැත. වරක් දෙවරක් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිතීඥ දයාසිරි ජයසේකර මහතා කීවාක් මෙන් තමන්ගේ බිරින්දෑතුමියට යම්කිසි ස්වභාවික දෙයක් සිදු වුවද එය විජාතික බලවේගයකැයි කියන මට්ටමට මේ උන්නැහේලා පත්ව ඇත. ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයට විරුද්ධ සෑම සියලු දෙයක්ම පෙනෙන්නේ විජාතික බලවේගයක් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විලෙසිනි.

මෙසේ විජාතික බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන උදම් අනන මහත්වරුන්ගේ, හාමුදුරුවරුන්ගේ තරම අමුතුවෙන් කිව යුතුද? මේ නඩයේ පුරෝගාමීන් රැසක් සුපිරි සුඛෝපභෝගී බංගලා පසුගිය කාලය පුරා  තදාසන්න ප්‍රදේශවල ඉදිකළේ කුමන විජාතික බලවේගයේ සහයෝගයකින්ද යන්න ප්‍රශ්නයකි. ඒ ගැන ඒ උදවිය කිසිඳු හැලහොල්මනක් නැතිව ඉන්නේ මොන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසාද?  රටට එතරම් ආදරය කරන්නේ නම් මහජන මුදලින් ගේදොර යාන වාහන ආරක්ෂකයින් පිරිවරා සිටින්නේ ඇයි? මේවාට උත්තර සැපයීම ඔවුන් සතු වගකීමකි.

චාවේස් ජනාධිපතිතුමා සමඟ

සැබෑ විජාතික බලවේගය, ජාත්‍යන්තර කුමන්ත්‍රණය, යනු වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එම ආණ්ඩුව දැන් යන අන්තවාදී ගමනට යොමු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යයක් කළ විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමය යන්න මගේ තර්කයයි. අද කවුරු කැමැති වූවත් නැතත් කලක් නොබැඳි රටක් ලෙස ලෝකයේ කාගේත් මිත්‍ර දේශයක් වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ එක් කොටසකට සීමා කර තිබේ. වත්මන් ආණ්ඩුව යන්නේ කා සමඟද? එක් පසෙකින් වෙනිසුවේලාව නම් වූ ඛණිජ තෙල් ඇතුළු සියලු සම්පත්වලින් ආඪ්‍ය දකුණු ඇමෙරිකානු ජනරජය වැරදි සමාජවාදී පිළිවෙත්වලින් පරිහානිය කරා මෙහෙයවන හූගෝ චාවේස්ය. මෑතකදී එරට පෞද්ගලික බැංකු සියල්ල රජයට පවරාගත් ඔහු රටේ පෞද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට එරෙහිව යුද ප්‍රකාශ කර සෑහෙන කල්ය, තවත් පසෙකින් මිලිටරි ජුන්ටාවකින් රට පාලනය කරන භීක්ෂූන් වහන්සේලා ඇතුළු අහිංසකයින් දහස් ගණනින් මහ මග මරා දැමූ, විපක්ෂ නායිකා අවුන්ග් සාං සූකී නිවාස අඩස්සියේ තබා ප්‍රජාතන්ත්‍රවාදය අහුරන මියැන්මාර ජනපති තාන් ෂ්වේය, අනෙක් අතින් ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඉරානය ආර්ථික අගාධය වෙත දක්කන, එරට ජනතාව අතරත් ජනප්‍රියත්වය හීන වෙමින් පවතින මහ්මූද් අහමඩිනජාඩ්ය. මේ ඇරෙන්නට අප සබඳකම් පවත්වනුයේ ලිබියාව, චීනය, ඉන්දියාව ආදී රටවල් සමඟය. සෙසු ලෝකයේ අප ස්වකැමැත්තෙන්ම කොන්වීමේ අවාසනාවන්ත ඉරණමට ආණ්ඩුව රට තල්ලු කර තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සංවර්ධිත සහ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකය අමතක කර තිබේ. ඔහු ලෝකයේ සාමාන්‍ය සම්මතයන්ට පහර ගසමින් ඉතා ආවේගශීලී පාලනයක් දියත් කරන අහමඩිනජාඩ්ලා, චාවේස්ලා, තාන් ෂ්වේලා එක්ක එක පෙලට සිටගනිමින් අප රටට නොබැඳි රටක් ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලබාදුන් කිතුගොස කෙලෙසා තිබේ. මේ හරහා ලෝකයේ සෙසු රටවල් අප රටට සහනාධාර දීම, උදව් උපකාර කිරීම අඩුකර තිබෙන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් හැටියට අප කිසිඳු රටකට ගැති විය යුතු නැත. නමුත් සැබෑ රාජතාන්ත්‍රිකභාවය යනු මිතුරා මෙන්ම සතුරා සමඟත් ඇඟෑලුම්කම් පෑමය, ඒ හරහා තම රටට අවැසි දේ ලබා ගැනීමය. 1977-1994 එක්සත් ජාතික පක්ෂ රජය මීට කදිම උපහැරණයකි, ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ ආණ්ඩු ප්‍රබල ලෙස විවෘත වෙළෙඳපොල ආර්ථික ක්‍රමය පිළිගත් අතර ධනවාදී සංකල්ප වලට ප්‍රමුඛත්වයක් දෙන ලදි. නුමුත් ඇමෙරිකාවේ රේගන්, බ්‍රිතාන්‍යයේ තැචර්, ජර්මනියේ කෝල් සමඟ මිතුදම් පවත්වන අතරදීම යූඇන්පී ආණ්ඩුව කියුබාව, චීනය ආදී වාමාංශික සමාජවාදී, සිය ප්‍රතිපත්තිවලට මුළුමනින්ම වෙනස් ප්‍රතිපත්ති ඇති රටවල් සමඟද ගණුදෙනු කළෝය. ජේ.ආර්. රේගන් එක්ක මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කද ඉතා කුලුපග විය. 1980 හමු වූ විට, සමාජවාදයේ මහා විරුවකු වූ කැස්ත්‍රෝ ජේ.ආර්. දක්ෂ නායකයකු බවත් ඔහු හරි මග යන බවටත් චරිත සහතිකයක් දුනි, එය එසේ වත්දී මෙරට විශාලතම සංවර්ධන ව්‍යායාමය වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපරයට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය, ජපානය ආදී ධනවාදී රටවල් ආධාර දුන්නේ ලෝක බැංකුව ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදීය. එකී යූඇන්පී ආණ්ඩුවේ ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, දේවනායගම්ලා, ලලිත්ලා, ගාමිණීලා මෙන්ම හමීඩ්ලාගෙන්ද රාජතාන්ත්‍රිකභාවය ගැන උගන්නට බොහෝ දේ වත්මන් රජයට ඇත. එසේම පහුගිය පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේදී මෙම නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් පුංචි ලංකාව ලෝකයේ සෑම රටක් සමඟම මිතුදම් ගොඩනගා දියුණුව කරා ගෙන යෑමට හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් ගත් උත්සාහයද අමතක නොකළ යුතුය. එහෙත් අද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව යන්නේ මොන පාරේද??

අහමඩිනජාඩ් සහ මහින්ද

අද සමස්ථ ලෝකයම විවෘත වෙළෙඳපොල ආර්ථිකය සමඟ අනුගතවී සිටින මේ මොහොතේ අපේ රාජ්‍ය නායකයා ඇඟෑලුම්කම් පාන්නේ ඊට අනුගත නොවී කොකා පෙන්වමින් යකා නටන පාර්ශව එක්කය. මීට දශක දෙකකට පමණ පෙර කොමියුනිස්ට්වාදයෙන් මිදුනු නැගෙනහිර යුරෝපය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් ලෝකය හා ගණුදෙනු කරමින් විවෘත වෙළෙඳපල ආර්ථිකයකින් අද්විතීය වේගයකින් සංවර්ධනය වෙද්දී, අසල්වැසි ඉන්දියාව විශාල ප්‍රගමනයක් අත්පත් කරගනිද්දී අප එම මතවාදයට විරුද්ධ රටවල් හා පෙළගැසෙමු, ඒ හරහා කුපිත වී ඇති රටවල් රටට ආධාර දීමට පසුබට වී තිබේ. මේ තිත්ත ඇත්තයි. මේ කියන දේශප්‍රේමී ආණ්ඩුවෙන් අවසාන වශයෙන් වී ඇත්තේ අප සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකය හමුවේ කොන් වීමය. කවුරුන් කෙසේ කීවත් මෙරට පෞද්ගලික ආයෝජකයින්ට සුදුසු වාතාවරණයක් නැත, බදු ඉතා අධිකය, විදෙස් ආයෝජකයෝ මෙරට ආයෝජනයට පසුබට වෙති. මේ සියල්ලටම ඉහත කී කාරණාව සෘජුව බලපායි. අපිට සහනාධාර එපා… යමෙක්ට කිව හැක, ඒක වැරදිය, ලංකාව මෙතෙක් කල් නිදහසින් පසු කිසිම විටෙක රජයක් ලෙස ආදායම් උපයා නැත, ආදායම් වියදම් පියවා ඇත්තේ එක් වර්ෂයකදී පමණි. ඉතින් ආදායමට වඩා වියදම වැඩි වන විට වියදම් පියවන්නට ණයගන්නට හෝ ආධාර පැතීමට නිරායාසයෙන්ම සිදුවේ.

ඉතින් ලෝකයාම පිළිගත් විවෘත ආර්ථිකයට පයින් ගසන, ලෝක සාමයට තර්ජනයක් කරන නායකයින් සමඟ පෙළට හිටගෙන අනෙක් ලෝක නායකයින්ට මඩ ගැසීම හරහා ලෝක මට්ටමින් අප රට කොන් කිරීමට මේ රජය සමත්කම් දක්වා තිබේ. ඒ හරහා රටේ ජනතාව වක්‍රාකාරයෙන් අපහසුතාවයට පත්කර තිබේ. අනෙක් අතට ලෝකයේ ඇතැමුන් අප රටට එල්ල කරන්නා වූ චෝදනාවලට සාර්ථකව පිළිතුරු දීමට අපොහොසත්වීම හරහා රටේ කීර්තිනාමය කෙලෙසීමේ පාපකර්මයට හවුල් වී තිබේ. එසේ කරමින් රටේ සංවර්ධනය අහුරා, ජනතාව ලෝකයාගෙන් ඈත් කර ජනතාවට අහිතකර සමාජවාදී පාලිත ආර්ථිකයක් සහිත පාලනයක් ගොඩ නැගීමට වෙර දැරීම අහමඩිනජාඩ්, චාවේස්, තාන් ෂ්වේ වැන්නන්ගේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට හසුවීමකි. එහෙනම් දැන් සෑබෑ විජාතික රූකඩ කවුද යන ප්‍රශ්නයට ඔබට පිළිතුරක් ලැබෙනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009

වියට්නාමයෙන් ආර්ථික පාඩමක්…

Click here to get Sinhala Unicode

ඔබ වියට්නාමය ගැන අසා ඇතුවාට සැක නැත. අග්නිදිග ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයකට උරුමකම් කියන වියට්නාමය ලෝ පුරා ප්‍රචලිතව ඇත්තේ 1960-70 දශකවල එරට පැවැති බිහිසුණු යුද්ධය නිසාය. අද බෙහෙවින්ම සාමකාමී රටක් බවට පත්වෙමින් පවතින වියට්නාමයේ ආර්ථිකය ගැන අපි පොඩ්ඩක් හැරී බලමු.

හෝ චී මින්

වියට්නාම ආර්ථිකය විමසා බැලීමට පෙර අප එරට පැවැති ගැටළු සහ පරිසරය ගැන මුලින් හැඳිනගැනීම යෝග්‍යයැයි සිතමි. 1941 වන විට ප්‍රංශ  සහ ජපන් පාලනය යටතේ පැවැති වියට්නාමය ලෝක යුද්ධයත් සමඟ ජපන් පාලනයට නතු වෙමින් තිබුණි මේ අතරතුර හෝ චී මින් (Ho Chi Minh) නම් වූ පුද්ගලයාගේ නායකත්වය යටතේ වියට් මින් නම් වූ කොමියුනිස්ට්වාදී සටන්කාමී සංවිධානයක් බිහිවිය. 1945 ජපානයේ බිඳ වැටීමත් සමඟ වියට්නාම ජනගහනයෙන් 10%කට මරු කැඳවූ යුද්ධයට තාවකාලික තිතක් තබමින් වියට් මින් සටන්කාමීන් හැනෝයි අගනුවර අත්පත්කරගෙන නිදහස ප්‍රකාශ කරන ලදි. මේ ගැන නොපැහැදුණු ප්‍රංශය අතිරේක භට පිරිස් වියට්නාමයට එව්වේ වියට් මින්  (Viet Minh) සටන්කාමීන් මර්දනය කිරීමටය. 1954 වනවිට රටේ උතුරු අර්ධය හෝ චී මින් මහතාගේ අන්සක යටතේත් දකුණු අර්ධය ප්‍රංශය සහ ප්‍රංශයට හිතවත් වියට්නාම හිටපු අධිරාජ්‍යයා වූ බාඕ ඩායි ඇතුළු වියට්නාම වැසියන් යටතේත් පැවැතිණි. එම වසරේ පැවැති ජිනීවා සම්මේලනය අනුව සටන් අත් හැරීමට දෙපාර්ශවය එකඟ විය. 1955 දකුණු වියට්නාමයේ පැවැති දූෂිත ජනමතවිචාරණයෙන් එරට ජනරජයක් බවට එරටේ නායකයා ලෙස බාඕ ඩායි වෙනුවට අගමැති නෝ ඩින් ජියෙම් (Ngo Dinh Diem) එරට ජනාධිපතිවරයා බවට පත්කරමිනි. 1954දී ජිනීවා නුවරදී කතිකා කරගෙන තිබුණේ 1956 ජුලි මසදී උතුරු සහ දකුණු යන වියට්නාමයන් දෙක එක්සත් කරනු වස් මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. එය එසේ වුවත් අග්‍රාමාත්‍ය නෝ ඩින් ජියෙම් මහතා යටතේ දකුණු වියට්නාමය මැතිවරණය වර්ජනය කළේ තම රට එම එකඟතාවයේ පාර්ශවකරුවන් නොවන බව පවසමිනි. එවක ඇමෙරිකානු ජනාධිපතිධුරය හෙබවූ ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂික හමුදා හිටලර්ට එරෙහිව ජයටැඹ කරා මෙහෙයවූ ජෙනරාල් ඩ්වයිට්  ඩී. අයිසන්හවර් මහතාගේ අදහස වූයේ එවර මැතිවරණයක් පැවැතුණි නම් 80%කට ආසන්න ප්‍රතිශතයක් හෝ චී මින් ප්‍රමුඛ කොමියුනිස්ට්වාදීන්ට හිමි වන බවයි. පවුල්වාදය කරපින්නාගත් නායකයකු වූ ජියෙම් දකුණු වියට්නාමයේ සිය බලය ශක්තිමත් කරනු වස් විපක්ෂ බලවේග අඩපණ කළේය. ඒකාධිපති පාලකයකු වූ ජියෙම් රට පුරා මැර බලය සහ භීතිය වැපිරවීය. රටේ අනාගතය උරගා බැලෙන ජනමතවිචාරණයකදී රටේ ඡන්දයෙන් 98.2%ක් ඔහුට හිමි වීමත් එරට අගනුවර වූ සයිගොන් නගරයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අභිබැවූ ඡන්ද ප්‍රමාණයක් ජියෙම්ට පක්ෂපාතව ප්‍රකාශ වී තිබුණි, එය ලියාපදිංචි ඡන්දයට සාපේක්ෂව 133%කි. දකුණු වියට්නාම ජනාධිපතිවරයා ලෙස එම ජනමතවිචාරණයේ “ජනමතයෙන්” තේරී පත් වූ ජියෙම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආඩපාලි කියවූ, කොමියුනිස්ට්වාදයට විරුද්ධ වූ, බෞද්ධයින්ට හිංසා පීඩා කළ, ධනවත් කතෝලිකයකු වීම එරට බහුතර දුප්පත් බෞද්ධ ජනතාවගේ කණස්සල්ලට හේතු විය.

නෝ ඩින් ජියෙම්

සාමකාමීව තම දේශප්‍රේමී, කොමියුනිස්ට් ව්‍යාපාරය මෙහෙයවන ලෙස උතුරු වියට්නාම නායක හෝ චී මින් දකුණු වියට්නාම් වැසියන්ට උපදෙස් දී තුබුණු නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ කොමියුනිස්ටවාදී වියට් මින් ක්‍රියාකාරීන් මෙන්ම ඇතැම් සාමාන්‍ය ජනතාවද අවි ආයුධ අතට ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු වියට්නාමය පුරා භීතිය වැපිරෙමින් තිබිණි, රාජ්‍ය නිලධාරීන් තැන තැන ඝාතනය කෙරුණි. මින් බොහෝමයක් අහිංසක රාජ්‍ය සේවකයන් විය. මෙම ත්‍රස්ත කණ්ඩායම්වල අභිප්‍රාය වූයේ ග්‍රාමීය ප්‍රදේශවල ජියෙම් පාලනය මුළුමනින්ම අඩපණ කර අපේ රටේ එල්ටීටීඊය කළාක් මෙන් භූමිය සහ එහි පාලනය අත්පත් කරගැනීමයි. 1959දී මෙම දකුණු වියට්නාම කොමියුනිස්ට කැරළිකරුවන්ට සහය දීමට උතුරු වියට්නාම රජය තීන්දුවක් ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස අවි ආයුධ මෙන්ම සොල්දාදුවන්ද සුප්‍රකට හෝ චී මින් සැපයුම් මාර්ගය (Ho Chi Ming Trail) ඔස්සේ දකුණු වියට්නාමයට එවින. 1960 වන විට කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම් “ජාතික විමුක්ති පෙරමුණ” නමින් සිය බල පරාක්‍රමය දකුණු වියට්නාමය පුරා විහිදුවීය. නමුත් බොහෝ දෙනා ඔවුන්ව හැඳිනගත්තේ වියට්කොං (Vietcong) ගරිල්ලන් යන කෙටි නාමයෙනි. දකුණු වියට්නාමයේම විශාල මහජන සහයක් ඇතිව වියට්කොං ගරිල්ලන් දකුණු වියට්නාම රජයට පහර පිට පහර දියත් කළහ. මේ අතර කොමියුනිස්ට්වාදය ලොව පුරා වැපිරවීමට තැත් කළ සෝවියට් රුසියාවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය පදනම් කරගත් ඇමෙරිකාවත් අතර වූ සීත යුද්ධයේ ප්‍රධාන සටන් පෙරමුණක් බවට වියට්නාමය ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අභිනව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි සහ උප-ජනපති ලින්ඩන් බී. ජොන්සන් දකුණු වියට්නාමයට සහය පළ කළහ. උප-ජනපති ජොන්සන් දකුණු වියට්නාම අගනුවර වූ සයිගොන් නගරයට ගොස් ජියෙම් රජයට සහය පළ කළේ එරට හමුදා ශක්තිමත් කිරීමට ඇමෙරිකානු සහය පොරොන්දු වෙමිනි. කොතෙකුත් යුද ආධාර, උපකරණ, අවි ආයුධ ලැබුණද දකුණු වියට්නාම හමුදාව බෙහෙවින් දූෂිත, නිසි නායකත්වයක් නොමැති දුර්වල හමුදාවක් විය. අවි ආයුධ ටික තිබුණි පලියට, දේශපාලන නායකත්වය තුබූ පලියට යුද්ධයක් සාර්ථකව මෙහෙයවිය නොහැකි බවට එය කදිම සාධකයකි. මේ අතර 1963 වෙසඟ සැමරීම සඳහා සැරසුණු බෞද්ධයන්ට අතිඋත්තම බෞද්ධ ධජය භාවිතා කිරීම ජියෙම් පාලනය විසින් තහනම් කෙරිණ, ඊට විරෝධය පෑ අහිංසක බොදුණුවන් නවයක් මහමග සාහසික ලෙස ජියෙම් රජයේ අනින් ඝාතනය කිරීමත්, එහි අග්‍රඵලයක් ලෙස ජියෙම්ගේ සොහොයුරකු මෙන්ම කතෝලික අගරදගුරුතුමකි වූ නෝ ඩින් න්‍යූගේ අනින් දකුණු වියට්නාමය පුරා පන්සල් රැසක් විනාශ කිරීමත් කරණ කොටගෙන බහුතර බෞද්ධ ජනතාව ජියෙම් පාලනය කෙරේ මහත් සේ කිපුණි. ජියෙම්ගේ ප්‍රධාන ජනාධිපති උපදේශකයා වූ න්‍යූ දකුණු වියට්නාමයේ රාජ්‍ය දේපල කොල්ලකමින්, රටවැසියන් බිය වද්දමින් රට අගාධයට ගෙන යෑමට ජියෙම්ට ප්‍රධාන සහයක් දුනි. දකුණු වියට්නාම ඒකාධිපති වියරුව කෙරේ නොපැහැදුනු ඇමෙරිකාවේ ආශිර්වාදය යටතේ දකුණු වියට්නාම හමුදා එරට පාලන බලය ඇල්ලූ අතර තවත් පියවරක් තබමින්  වියට්නාම හමුදාවෝ නෝ ඩිං ජියෙම් සහ නෝ ඩිං න්‍යූ ඝාතනය කරන ලදි. ඉනික්බිති පත්වූ හමුදා පාලනය බෙහෙවින් අස්ථාවර වූයේ එහි නායකයන්ගේ තුබූ දුර්වලකම් නිසාය. මේ අතර ජනාධිපති කෙනඩි දකුණු වියට්නාම සාමාන්‍ය ජනතාව දිනාගෙන වියට්කොං ගරිල්ලන් පැරදවීමට උත්සුක වෙද්දී ඇමෙරිකා හමුදා ප්‍රධානීන් වියට්නාමයේ සහ අසල්වැසි ලාඕසයේ ගැමියන් පුහුණුකර හමුදා සේනාංක ඇති කළේ 1964 එළැඹෙන්නට පෙර දකුණු වියට්නාම යුද්ධය ජය ගැනීමටය. මේ අතර 1964දී කෙනඩිගේ ඇවෑමෙන් ඇමෙරිකානු ජනපති පදවියට පත් ජනපති ජොන්සන් වියට්නාමයේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වලට අනුමැතිය ලබාදුනි. 1959දී ගරිල්ලන් 5000කින් ඇරඹි වියට්කොංවරු 1964 වන විට 100,000 දක්වා වැඩි වර්ධනය වී තුබූ අතර දකුණු වියට්නාම හමුදාව 850,000 දක්වා වර්ධනය වී තිබුණි. මේ අතර ඇමෙරිකාව උතුරු වියට්නාමයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ වියට්කොං හමුදාවන්ට ලැබෙන උතුරු වියට්නාම සහය වළකාලීමටත්, දකුණු වියට්නාම චිත්ත ධෛර්යය ඉහළ නැංවීමටත්ය. එහෙත් එම උත්සාහය උතුරු වියට්නාමයට කොපමණ හානියක් වුවත් මල් ඵල නොදැරුවේ සිය අඛණ්ඩ සහය වියට්කොංවරුන්ට ලබා දීම නිසාවෙනි. මේ අතරතුර දකුණු වියට්නාම හමුදාවල නොහැකියාව හමුවේ ඇමෙරිකානු භටපිරිස් භූමි සටන්ද ආරම්භ කළ අතර ඊට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පිලිපීනය, දකුණු කොරියාව සහ තායිලන්තය යන රටවල්ද සහය පළ කරන ලදි. කෙසේ වෙතත් 1967දී ගුවින් වැන් තියූ මහතා දකුණු වියට්නාම ජනපතිධුරයට ජනතා ඡන්දයෙන් පත්වීමත් සමඟ එරට හමුදාවෝ යළිත් සංග්‍රාමිකව ශක්තිමත් වීමට පටන්ගත්හ. කෙසේ වෙතත් 1968 ජනවාරියේදී වියට්කොං ගරිල්ලන් විසින් දකුණු වියට්නාමය පුරා දියත් කෙරුණු ටෙට් නම් වූ විශ්මයජනක ප්‍රහාරයත් සමඟ දෙපාර්ශවයම පසුබෑමකට ලක්විය. එම ප්‍රහාරය මගින් ඇමෙරිකානු ජනතාව තම හමුදාව සහ රජය ගැන අප්‍රසාද වෙද්දී වියට්කොං භටයින් රැසක් ජීවිතයෙන් වන්දි ගෙවීය. පැරණි වියට්නාම අගනුවර වූ ඓතිහාසික හියු නගරයේ නටබුන් වලින් 80%ක් පමණ මෙම ටෙට් මෙහෙයුම නිසා විනාශ වූ බව තතු දත්තෝ පවසති. මේ අනුව 1968 මැයි මසදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු වියට්නාමය අතර සාම සාකච්ඡා දියත් කෙරිණි.

1969දී ඇමෙරිකානු නව ජනපති රිචඩ් නික්සන් මහතා දකුණු වියට්නාම හමුදා ශක්තිමත් කරමින් ඇමෙරිකානු භටයින් වියට්නාමයෙන් ඉවත් කරගැනීමට පිඹුරුපත් සැකැසූ අතර ඊට වියට්නාමීකරණය (Vietnamization) නමින් නමක්ද ලබා දෙන ලදි. උතුරු වියට්නාමයේ ප්‍රධානතම ජාත්‍යන්තර ආධාරකරුවකු වූ චීනය සමඟද මිත්‍ර පිළිවෙතක් අනුගමනය කිරීමට නික්සන් උත්සුක විය. කෙසේමුත් 1969 සැප්තැම්බරයේ හැත්තෑනව වියැති හෝ චී මින් අභාවප්‍රප්ත විය. මේ අතරතුර කලක පටන් මේ සංග්‍රාමයේ කිසිඳු පක්ෂයක් නොගත්තත් සැලකිය යුතු වැදගත්කමක් ඉසිලූ කාම්බූජියාව සහ ලාඕසයද මෙම යුද්ධයේ සෘජු බලපෑමට 70 දශකයේ මුල භාගයේදී මුහුණ පෑ අතර එය එම රටවල් දෙකටම ඓතිහාසික ලෙස තම දෛවය සම්බන්ධිත තීරණාත්මක අවස්ථා වේ. මේ අතරවාරයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දකුණු වියට්නාමයෙන් සිය භට ඛණ්ඩ මුළුමනින්ම ඉවත් කරගන්නා ලද අතර ඇමෙරිකාවද ක්‍රමිකව සිය භට පිරිස් සියරටට කැඳවූහ. 1972දී ඇමෙරිකානු ජනාධිපති නික්සන්ගේ ජාතික ආරක්ෂක උප්දේශක හෙන්රි කිසින්ජර් හා උතුරු වියට්නාම විදේශ ඇමැති වූ ලේ ඩක් තෝ දෙපාර්ශව අතර සම්මුතියක් උදෙසා අඩිතාලම දැමීය. නික්සන් ජනපතිගේ පෙරැත්ත මත දකුණු වියට්නාමය 1973දී උතුරු වියට්නාමය සමඟ පැරීසියේදී සාම ගිවිසුමකට අත්සන් තැබුවේ දෙරට එක්සේසත් කර ජාතික මැතිවරණයක් පවත්වන පොරොන්දුව මතය. එම ගිවිසුමේ පුරෝගාමීන් වූ කිසින්ජර් හා තෝ 1973 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. කෙසේ වෙතත් නිහතමානි පුද්ගලයකු වූ ලේ ඩක් තෝ තමාට ලැබුණු ත්‍යාගය පිළිකෙව් කළේ සාමය තව උදාවී නැතැයි පවසමිනි. කාලයාගේ ඇවෑමෙන් ලේ ඩක් තෝගේ ප්‍රකාශය සත්‍යය බව පසක් විය. වියට්කොංවරු තම ක්‍රියාන්විත අත් නොහළ අතර 1975-76 වියළි සමයේදී සයිගොන් නුවර වටලා දකුණු වියට්නාමය ඇල්ලීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මේ අතර දකුණු වියට්නාමයද රහසිගතව සිය හමුදා ශක්තිමත් කරන ලදි. නික්සන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ එම ධුරයේ වැඩ භාරගත් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් මහතාට වියට්නාම මෙහෙයුම් සඳහා කිසිඳු සහයක් ඇමෙරිකානු මන්ත්‍රී මණ්ඩලයෙන් නොලැබිණි.  සෙබලුන් අතින්, අවි ආයුධ අතින්, තමන්ට වඩා ඉදිරියෙන් සිටි දකුණු වියට්නාමයට එරෙහිව ඇමෙරිකානු බෝම්බවලින් බැට කෑ උතුරු වියට්නාමය සිය අවසාන ප්‍රහාරය දියත් කළ අතර එහිදී සිදු කළ උපක්‍රමික පසුබැසීම්වලදී දකුණු වියට්නාම හමුදාව අන්ත පරාජයක් ලැබීය. ජෙනරාල් වැන් ටියෙන් ඩංගේ මෙහෙයවීම යටතේ හියු නගරය අත්පත් කරගත් උතුරු වියට්නාම හමුදාව සිය විජයග්‍රාහී හෝ චී මින් මෙහෙයුම දියත් කළේ සයිගොන් නගරය අත්පත් කර ගැනීමටය. සුවාන් ලොක් නගරය උතුරු වියට්නාම හමුදා අත්පත් කරගැනීමත් සමඟ දකුණු වියට්නාම ජනපති තියූ තම ධුරයෙන් ඉල්ලා අස්ව තායිවානයට පලා ගියේ රාජ්‍ය බලය හමුදාපති ජෙනරාල් ඩුවොං වැන් මින් යටතට පත් කරමිනි. අවසන උතුරු වියට්නාම භටයින් ලක්ෂයක් සයිගොන් නුවර වැටලූ අතර එවිට නගරය ආරක්ෂා කිරීමට ඉතිරිව උන්නේ දකුණු වියට්නාම භටයින් 30,000ක් පමණි. 1975 අප්‍රේල් 30දා සමස්ථ දකුණු වියට්නාමය යටත් කරගැනීමට උතුරු වියට්නාමය සමත්විය.

තමන්ට වඩා ප්‍රබල අවි ආයුධ තිබුණු, සෙබලුන් රැසක් සිටි දකුණු කොරියාව මෙන්ම ලෝක බලවතා වූ ඇමෙරිකාවද දණ ගැස්සවීමට උතුරු වියට්නාම ජනතාව හා කොමියුනිස්ට රජය සමත්විය. ලෝක යුද්ධ දෙකකදී සතුරන් සුණුවිසුණු කළ ඇමෙරිකාවේ සෙබළුන් 50,000 මරු තුරුලට යවමින් තම ජයග්‍රහණය අත්පත් කරගැනීමට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් නන්නත්තාර වී සිටි උතුරු වියට්නාමය සමත්විය. ජීවිත මිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් බිලිගත්, මිලියන 3ක් අබ්බගාත තත්ත්වයට පත් කළ වියට්නාම සංග්‍රාමය දිනුවේ හැම අතින්ම අවාසි සහගත තැනෙක හුන් කොමියුනිස්ට් උතුරු වියට්නාමයයි.

මේ ලියමනේ මාතෘකාව “වියට්නාමයෙන් ආර්ථික පාඩමක්..” යන්නයි. එහෙනම් මොන එකකටද මෙච්චර වෙලා වියට්නාම යුද්ධෙ ගැන කතා කළේ යැයි ඔබ කල්පනා කරනවා වන්නට පිළිවන. ඉහත මා විදහා දැක්වීමට උත්සුක වූයේ හිට්ලර්ගේ නට්සි හමුදාවටවත් දණ ගැස්සවීමට නොහැකිවූ ඇමෙරිකාව නම් සුපිරි බලවතා දණ ගැස්සූ, දිනන්නට නොහැකියයි කියූ යුද්ධය ජයගනිමින් උතුරු වියට්නාමය පෑ අද්විතීය පෙළහරයි. එහෙව් හපන්කමක් පෑ වියට්නාමයට එම සුවිශාල විජයග්‍රහණයෙන් පසුව සිදු වූයේ කුමක්දැයි අපි දැන් සොයා බලමු.

එක්සේසත් වියට්නාමය 1975 සිට 1986 දක්වා දරදඬු කොමියුනිස්ට් පාලනතන්ත්‍රයක් යටතේ පාලිත සංවෘත ආර්ථිකයක් යටතේ ක්‍රියාත්මක විය. පාක්ෂිකයන්ට සලාක ක්‍රමයට රජයේ රැකියා ලබා දුන් අතර ඔවුනට පඩි භාණ්ඩාගාරය දැරිය යුතු විය. බොහෝ රාජ්‍ය සේවකයන් කළ වැඩක් නැත. දරිද්‍රතාවය 70%ක් පමණ වූ අතර බොහෝ වියට්නාම වැසියන් දුගී කමින්, හාමතෙන් පෙළුණි. විරැකියාව ඉහළ අගයක තුබුණි. සංවෘත ආර්ථිකය තුල ජනතාවට දැඩි භාණ්ඩ හිඟයකට මුහුණ පෑමට සිදුවූ අතර සංවර්ධනය පෙනෙන මානයේවත් නොතිබුණි. කවුරුත් නොසිතූ පරිදි ලෝක බලවතා දණ ගැස්වූ වාමාංශික වියට්නාමයට වුණේ මොකක්ද? මේ සමාජවාදී ආර්ථිකයේ නොහැකියාව මිස අන් කවරක්වත් නොවේ.

1986දී වියට්නාමය “ඩොයි මොයි” යන මැයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුනි. එරට ඒකාධිපතිවාදී කොමියුනිස්ට් පාලනය එලෙසම තබා ගනිමින් ආර්ථිකය විවෘත වෙළෙඳපොල ක්‍රමයකට ඔවුන් අනුගත විය. ඒ අනුව පෞද්ගලික අංශය දැඩි ලෙස දිරි ගන්වනු ලැබූ අතර ව්‍යාපාර සඳහා වන බදු පහළ දමන ලදි. විදේශ ආයෝජන දිරිමත් කිරීමට වියට්නාමය උත්සුක වූ නමුත් මුලදී බටහිර රටවලින් ඒ සම්න්බන්ධව ශුභවාදී ප්‍රතිචාරයක් නොලැබිණි. නමුත් 1990 දශකය මුල වන විට විදේශ ආයෝජන වියට්නාමය ගලා ආ අතර එදා තමා අතින් අන්ත පරාජයකට ලක්වූ ඇමෙරිකාවේ ආර්ථික සහය පැතීමට වියට්නාමය නොපසුබට විය. අද වියට්නාමය අග්නිදිග ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයට උරුමකම් කියයි. අද එරට දුප්පත්කම 70% සිට 5% පමණ දක්වා පහළ බැස තිබේ. වියට්නාමයේ දැන් ආර්ථිකයේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ කුඩා සහ මධ්‍ය පරිමාණ ආර්ථිකයයි, එරට සංවර්ධන වේගය 7%ක පමණ අගයකත් උද්ධමනය ස්ථාවරවත් රඳවා ගැනීමට ඔවුන් සමර්ථ වී තිබේ. අග්නිදිග ආසියාවේ ආකර්ෂණීයම ආයෝජන මධ්‍යස්ථානයක් බවට අද වනවිට වියට්නාමය පරිවර්තනය වී තිබේ. අප වැරදි පිළිවෙත්, යුද්ධ, කළකෝලාහාල නිසා එකතැන පල් වෙද්දී වියට්නාමය තම සමාජවාදී ආර්ථික ව්‍යුහය ඉවත දමා වෙළෙඳපොල ආර්ථිකය ඔස්සේ සංවර්ධනය උදා කරගනිමින් සිටී.

හෝ චී මින් නගරය හෙවත් පැරණි සයිගොන් නුවර

එහෙව් වියට්නාමය ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල් සමඟ විවෘත වෙළෙඳපොල ආර්ථිකයක් ඔස්සේ දියුණු වෙද්දී අපේ රාජ්‍ය නායකත්වය ආර්ථික අගාධයට පිය මනින ඉරානය, කියුබාව, වෙනිසුවේලාව, මියැන්මාරය ඈ රටවල් සමඟ ඉදිරිය ගැන සිතයි. මේ රටවල උවමනාව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තම ගොඩ වැඩි කරගෙන කොකා පෙන්වීම මිසක් අන් කවරක්වත් නොවේ. සැබෑ විජාතික බලවේගයට, ජාත්‍යන්තර කුමන්ත්‍රණයට හසු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිස රජය යැයි මම කියන්නේ කිසිවකු සුගතියක් නොලත් සමාජවාදී, මැද මාවතේ ආර්ථිකයක, සෙසු වෙළෙඳපොල රටවලට පහර ගසමින් අප රට ආර්ථික අගාධයට රැගෙන යමින් සිටින නිසාය. ඔබ දැන් මගෙන් අහාවි “එහෙනම් අපි ඇමෙරිකාවට කඩේ යන්න ඔනෙද?” කියල. නැහැ, මම කියන්නේ ශ්‍රී ලංකාව සෑම රටක් සමඟම මිතුරුදම් පැවැතිය යුතු බවයි. 1977-94 එක්සත් ජාතික පක්ෂ රජය ඇමෙරිකාවේ රේගන් එක්ක මෙන්ම කියුබාවේ කැස්ත්‍රෝ එක්කද වැඩ කළේය. අප එක් පැත්තකට පක්ෂපාත නොවී ලොව සියලු රටවල් සමඟ අත්වැල් බඳගෙන බුද්ධිමත්ව අපේ ජය ලබාගත යුතුය. එදා 2004 යූඇන්පී ආණ්ඩුව ගෙදර යන විට රාජ්‍ය සේවය ලක්ෂ 6කි. අද එය ලක්ෂ 12 දක්වා වැඩිකර තිබේ. එය එසේ වුවත් ඔවුන්ගෙන් රටට සෙතක් වේද යන්න ප්‍රශනයකි. වරායේ, රේල්ලුවේ, ශ්‍රීලංගමයේ, ලංවීමේ, තෙල් සංස්ථාවේ එක් පුද්ගලයකුගේ වැඩේ කිරීමට සේවකයින් දුසිමක් විතර සිටීම සාධාරණද?? මීට කදිමතම උදාහරණය කොළඹ වරායයි. එහි රජයේ පර්යන්තය වන ජයා බහලුම් පර්යන්තය සේවකයින් 6000ක් යොදා ගනිමින් වාර්ෂිකව TEU ඒකක මිලියන 2ක් හසුරුවන විට ඊට අනෙක් පස පිහිටි SAGT හෙවත් දකුණු ආසියාතික පිවිසුම් පර්යන්තය නම් වූ දෙස් විදෙස් ආයෝජන වලින් ක්‍රියාත්මක පර්යන්තය සේවකයින් 620කගෙන් වාර්ෂිකව TEU ඒකක මිලියන 1.7ක් හසුරුවයි. මේ තිත්ත ඇත්තයි. මේ උදවියට පඩි ගෙවන්නේ අපි ආණ්ඩුවට ගෙවන අපේම බදු මුදලිනි. පෞද්ගලික අංශයේ කිසිඳු වර්ධනයක් නැත. බදු බර අහස උසටය. රටේ නිෂ්පාදකයින් තම නිෂපාදන වල වටිනාකම මෙන් තුනෙන් එකක් බදු ලෙස ආණ්ඩුවට ගෙවයි. රු. 257ට වරායට ගොඩ බාන කිරි පිටි කිලෝව වෙළෙඳපොලේ අලෙවි වන්නේ රු. 530කටය, එනම් දෙගුණය ඉක්මවූ මිලකටය, ජපානය නම් වූ සුපිරි ආර්ථිකයේ ජීවනාලිය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවයි. එරට ආර්ථිකයෙන් 98%ක්ම එම ක්ෂෙත්‍රයෙන් දායකත්වය ලබයි. නමුත් අද අප රටේ ව්‍යවසායකයන්ට ඇති සහන ප්‍රමාණවත්ද? නිශ්පාදන නොවන වාණිජ ව්‍යාපාර සඳහා අධික බදු මුදල් පනවයි, ඔවුන්ගෙන් අය කෙරෙන විදුලි මිල බෙහෙවින් වැඩි අගයක් ගනී. අයෝජන දිරිගැන්වීමට අවශ්‍ය වටපිටාව අහුරා ඇති අතර නීති රීති සහ රෙගුලාසි නව ආයෝජකයින්ට හිතකර නොවේ. රටේ ආදායම් ක්‍රමිකව බෙදී නොයන අතර ඉන් ප්‍රතිලාභ ලබන්නේ සීමිත පිරිසකි, සීමිත පිරිසකට සහනාධාර, වරප්‍රසාද දීමට සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම බදු මුදල් යෙදවීම සෝචණීයය.

පසුගියදා රාජපක්ෂලා රැකුමට ප්‍රතිඥා දුන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක එස්.බී. දිසානායක මහතා මීට මාස තුනකට පමණ පෙර සමාජවාදී, මැද මාවත මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් රචිත කෘති වලද සෘජුව පෙන්වා දී ඇත්තේ ලෝකයේ කිසිඳු රටක් අදාල ආර්ථික ක්‍රම හරහා සංවර්ධනය වී නොමැති බවයි. එතුමා විසින් රචිත “විමසා බලමු ආර්ථික මතවාද” ග්‍රන්ථයේ කියන පරිදි ලෝකයේ දියුණුම රටවල් 55 කිසිඳු විටෙක වෙළෙඳපොල විවෘත ආර්ථික ක්‍රමයෙන් බැහැර වී නැති අතර මහින්ද චින්තනයේ සහ වත්මන් ආණ්ඩුවේ ආර්ථික නොහැකියාව කදිම ලෙස උපුටා දක්වයි. ආණ්ඩු පක්ෂයට ලඟදී ගිය එස්.බී. දිසානායක මේ මහින්ද චින්තනයේ නොහැකියාව ගැන දීර්ඝ ලෙස එම පොතේ සඳහන් කර ඇත, එය ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද කියවා ඇතැයි මම සිතමි. එහි එස්.බී. ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය කාබාසිනියා කළ ආකාරයත්, ඉදිරියෙදී අසාර්ථක වන බවත්ය, එක්සත් ජාතික පක්ෂය ආර්ථික කළමණාකරණයේ සාර්ථක වූ බවත්ය, එය යථාර්තවාදී මෙන්ම ශාස්ත්‍රීය විමර්ශනයකි. එහෙම කියපු සුමනවීර බණ්ඩා දිසානායක ශ්‍රීලනිපයට ගියේ පියවි සිහියෙන්දැයි යන්න ප්‍රශ්නයකි.

ඉතින් යථාර්තය එයයි. සන්ධානය කියන්නේ යුද්ධය නිමා කළ තම ආණ්ඩුවට ආර්ථිකය හදන එකත් කජ්ජක්ද කියාය. එහෙත් වියට්නාමයෙන් ලැබෙන පණිවුඩය නම් ආර්ථිකයක් හදන්නට නිසි දැක්මක්, දර්ශනයක් තිබිය යුතු බවයි. එම දැක්ම තියෙන්නේ යූඇන්පියට බව නොරහසකි. අප අතීතය දෙස හැරී බැලුවහොත් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන යටතේ සැම විටම රටේ ආර්ථිකය පසුබා ඇත. 1970-77, 2001 මෙන්ම වත්මන් අවපාතයද ඊට නිදසුන්ය. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ ආර්ථිකය දියුණු වී ඇත. ඓතිහාසිකව එජාප ආණ්ඩු පෙරළණු ලැබූයේ සමාජීයීය ප්‍රශ්න උලුප්පා ගනිමින් මිස ආර්ථිකය උපුටා දක්වමින් නොවේ. එසේ නම් ලෝක ආර්ථිකය හමුවේ අතිඋතුම් ශ්‍රී ලංකා දේශය සංවර්ධනය කරා මෙහෙයවිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ, සෑම සමාජ ස්ථරයකටම සෙත සලසන, සමාජීයීය වගකීමකින් හෙබි වෙළෙඳපොල ආර්ථික පිළිවෙත් වලට මිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදි මාවතේ ආර්ථික පිළිවෙත් වලට නොවන බව සක්සුඳක් සේ සුපැහැදිලිය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009