Posts Tagged ‘Patriotism’

දැන්වත් රට හදන්නනම්…!!!

Click here to get Sinhala Unicode

එක්සත් ජාතික පක්ෂය යනු ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂයයි. නමුත් බොහෝ සන්ධාන පාක්ෂිකයින්ට මේක ප්‍රශ්නයකි. ඔවුන් නිතරම අපෙන් අසන්නේ “ඇයි ඔයාලා තාම යූඇන්පී එකට ඡන්දෙ දෙන්නෙ” කියලාය.  සමහර දේශපාලනඥයන් තවත් පරතරයට ගොස් පවසන්නේ යූඇන්පියට ඡන්දය දෙන්නේ පිදුරු, තණකොළ අනුභව කරන අකෘතඥයන් බවයි. තවෙකෙක් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එතරම් වෙනසක් නැති බවයි. නමුත් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු නොවේ. එක්සත් ජාතික පක්ෂය යනු ඉතා ගැඹුරුතර මතවාදයකි, දර්ශනයකි, විශ්වාසයකි. එහි පදනම වනුයේ කවුරුන් නිවැරදිද යන්නට වඩා කවරක් නිවැරදිද යන චින්තනයයි. එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය ගැබ්ව ඇත්තේ මෙම දැවැන්ත මතවාදය, දර්ශනය මත පදනම්වය. බොහෝ දෙනා විරුද්ධ වෙන්නන් වාලේ එජාපයට විරුද්ධ වන්නේ එජාපයේ දර්ශනය පිළිබඳව අංශුමාත්‍රීය හෝ අදහසක් නැතිවය.

මොකද්ද ඒ දර්ශනය?? එක්සත් ජාතික පක්ෂය යනු සමාජ වගකීමකින් හෙබි විවෘත ආර්ථිකයක් (Socially Responsible Market Economy) කෙරේ විශ්වාසය තබන පක්ෂයකි. ලොව සංවෘත ආර්ථිකයකින් දියුණු වූ රටක් නොමැත, මෙය ප්‍රත්‍යක්ෂ යථාර්තයකි, වත්මන එජනිසය සමඟ සැරිසරන එස්.බී. දිසානායක මහතා මීට මාස කිහිපයකට පෙර පළ කෙරුණු තම ග්‍රන්ථයේදී මේ කාරණාව තවදුරටත් තහවුරු කළේ උදාහරණ සහිතවය. 70-77 සංවෘත ආර්ථිකයේ අත්දැකීම් අපේ ජ්‍යෙෂ්ඨ පරපුරෙන් අප අසා ඇත්තෙමු. විවෘත ආර්ථිකය යන්නෙන් සීමාරහිත ලෙස ආර්ථිකය විවෘත කිරීම අදහස් නොකෙරේ. ඉන් යම්කිසි පාලනයකින් යුක්තව ආර්ථිකය විවෘත කෙරෙන්නේ රටේ පාරිභෝගිකයින්ටත්, නිෂ්පාදකයින්ටත් යන දෙකොට්ඨාශයටම සෙත සැලසෙන පරිද්දෙනි. වෙසෙසින්ම එක්සත් ජාතික පක්ෂ චින්තනයේ මූලිකාංගයක් වන්නේ සහනශීලී බදු බරයි. ජනතාව කෙරේ අධික බදු පනවනවා වෙනුවට නිවැරදි ප්‍රතිපත්ති සහ කළමණාකරණය හරහා නව නිෂ්පාදන මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා දිරිගැන්වීම මෙහි විශේෂත්වයකි. බොහෝ දෙනෙක් කතා කරන සහනාධාර වෙනුවට එජාපය දිරිගන්වනුයේ අවස්ථාවන්ය, සමාජයේ එක් කොටසකට සහනාධාර දීම උදෙසා තවත් කොටසක් බදු බරින් පෙලෙනවා වෙනුවට ස්වකේය කුසලතාවන් අනුව දියුණු විය හැකි මාර්ගයක් කෙරේ යූඇන්පී අපි විශ්වාස කරමු. සැමට එක හා සමානව තම වෘත්තීන්ගේ නිරත වෙමින් නැගී සිටිය හැකි සමාජයක් යෝජනා කරන අප සමාජයේ අනේක විධ ගැටළුවලට මුහුණපාන දුප්පතුන්ගේ ප්‍රශ්නවලට එදා වේල පමණක් තහවුරු කෙරෙන පැලැස්තර විසඳුම් වෙනුවට දිගුකාලීන තිරසාර විසඳුම් කෙරේ විශ්වාසය තබමු. සංවර්ධනය වූ කලී භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනය පමණකැයි ඇතැමෙක් සිතුවද එජාපයේ අපි සිතන්නේ සංවර්ධනය යනු පාලම් බෝක්කු ඉදිකිරීමට එහා ගිය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූවක් බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය උදහස් නගන පරිදි කොපමණ පාලම්, බෝක්කු, පාරවල් පහුගිය වසර 6 තුළදී නිම කර තිබුණද 2009 අප රටේ අපනයන ප්‍රමාණය 2008ට වඩා 13%කින් පහළ බැස තිබුණි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති අගය කරන්නන්ට සිතන්නට යමකි, ඔය කියන සංවර්ධන ඇත්තටම සිදු වුණා නම් සන්ධානයේ දේශීය ආර්ථික ප්‍රතිපත්තිය හරහා මහ බැංකු වාර්තා අනුව එතරම් දරුණු ලෙස අපනයන ප්‍රමාණය පහළ බසින්නේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තීන් හැර අන් කවර හේතුවක් නිසාද??

අනෙක් අතට එජාපය විශ්වාස කරන විදේශ ප්‍රතිපත්තිය නම් ලොව සෙසු රටවල් සැමෙකක් සමඟම මිතුදම් පවත්වමින් ලෝකය සමඟ පෙර ගමන් යෑමයි. ලොව කොන් වූ රටක් ලෙස නැගී සිටීමේ ප්‍රායෝගික දුෂ්කරතාව එජාපය හොඳින් වටහා ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට සියළු ජනවර්ග සහ ආගම් නියෝජනය කෙරෙන සැබෑ ලෙසම එක්සත්වූත් ජාතිකවූත් පක්ෂයකි. 1946 සැප්තැම්බරයේ අපේ පක්ෂය ඇරැඹුණු දා පටන්ම අප ජනවාර්ගික සහයෝගීතාව අගය කළෙමු. සෑම ජනවර්ගයකටම තමන්ගේම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුක්තව අභීතව ජීවත්විය හැකි සමාජයක් ගැන යූඇන්පිය විශ්වාස කරයි. ඒ පදනම මත 1948දී මෙරටට නිදහස දිනා දීමට මූලික වූයේ එජාපයයි. ඇත්ත වශයෙන්ම එදා ඩී.ඇස්. සේනානායක ඇතුළු පතාකයින් යූඇන්පිය නිර්මාණය කරනුයේ ඒ පදනම මතිනි. බෞද්ධ දර්ශනය සුරැකුමට ප්‍රමුඛ ලෙස ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විශ්වාසය කළද අන් කිසිඳු ආගමකට අවැඩක්, අසාධාරණයක් නොවන පරිද්දෙන් කටයුතු කරමින් ජනතාවගේ ආගමික නිදහස තහවුරු කරලීම එජාපයේ මතවාදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට නුසුදුසු පක්ෂයකි. එකම රටක් තුල විධිමත් ලෙස බලය බෙදා හැරීම හරහා උතුරු, නැගෙනහිර පමණක් නොව සමස්ථ රටේම ජනතාවගේ සමාජ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සිදුවිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් සුදුස්සාට කිසිඳු භේදයකින් තොරව සුදුසු තැන ලැබෙන සමාජයක් ගොඩ නැගීම එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

එදා, 1990 දශකයේ මුල භාගයේදී තමාව කැබිනට් මණ්ඩලයෙන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා නෙරපූ විටදීද සිරිලක බිහිවූ කෘතහස්තම දේශපාලනඥයකු වූ ගාමිණි දිසානායක මැතිඳුන් පක්ෂය හැර නොයෑමට ගත් තීරණය වරෙක ඔහු ලංකාදීපයට කියා පෑවේ මෙපරිද්දෙනි

ප්‍ර : ඔබ කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එජාප කෘත්‍යාධීකාරී කමිටුවෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එජාප පාක්ෂිකයකු ලෙස රැඳී සිටින්නේ ඇයි?
පි : එජාපය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල් සහමුලින්ම මාගේ ඇතුලාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.

මේ අතර යූඇන්පියේ ප්‍රධාන ප්‍රතිවාදියා එදා පටන්ම රදළ කුලයේ වලව් පැලැන්තියේ අණසකට යටත්ව තිබුණද එක්සත් ජාතික පක්ෂය ඕනෑම තරාතිරමක පුද්ගලයකුට හිණිපෙත්තටම පා නැගිය හැකි වාතාවරණයකින් හෙබි පක්ෂයකි. කොළඹ දුප්පත් වෙළෙන්දෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ කන්ද-උඩරට, පිළිමතලාව ග්‍රාමයේ සමූපකාර පර්යේෂකවරයකු වූ ඩී.බී. විජේතුංග යන දෙපළ පක්ෂ නායකත්වයට මෙන්ම රටේ ජනාධිපතීත්වයට පත්වූයේ මෙම කරුණ සනාථ කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති රාමුව තුල ඒ ඒ සාමාජිකයාට අනන්‍ය මතයක් දැරීමේ නිදහස එහි පාක්ෂිකයන්ට හිමිවන්නේ පක්ෂයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික මූල බීජයන් කෙරේ අවධානය යොමු කරමිනි. මින් දේශපාලනික එහෙයියන් වෙනුවට තම වගකීම හැඳිනගත් පුද්ගලයින් බිහිවේ. එදා යූඇන්පිය හදීසි නීතියට පක්ෂ වෙද්දී මහේෂ්වරන් මන්ත්‍රීතුමා විරුද්ධ වෙද්දී පක්ෂය ඔහුව එජාපයෑන් නෙරපූවේ නැත, ළඟකදී කේ.එන්.චොක්සි මහතා පක්ෂය තුල සිටිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රශස්ථි ගැයූ නමුත් මෙවරත් ඔහුව එජාප ජාතික ලැයිස්තුවට එකතු කර ඇත්තේ එබැවිනි.

අතීතයේ පටන් එජාපය සිරිලක තුල යෝධ සංවර්ධන ව්‍යපෘති දියත් කර තිබේ ගල්ඔය, කඩිනම් මහවැලිය, කොළඹ බහලුම් වරාය, නිදහස් වෙළඳ කලාප, ලංකාවට අන්තර්ජාල සහ ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දීම, ජනසවිය යනාදිය මින් අතලොස්සක් පමණෙකි. පහුගිය රජය ඇරැඹූ සංවර්ධන යෝජනා ක්‍රම රැසකටද එකඟතා ගිවිසුම් අත්සන් කෙරුණේ පසුගිය එජාප රජය විසිනි (නමුත් ඒවා අඛණ්ඩව දියත් කිරීම ගැන අප එම රජයට කෘතඥ විය යුතුය ). මේ සියල්ල ජයගත හැකි වූයේ එජාපයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් මේ සංවර්ධන ඉලක්ක වලට අවැසි පරිසරය ගොඩ නගාලීමයි.

ලලිත් ඇතුලත්මුදලි මහතා වරෙක ඉතා බුද්ධිමත් ලෙස කළ ප්‍රකාශය එක්සත් ජාතික පාක්ෂිකයා හඳුන්වා දීමට කදිමයැයි මට හැඟේ.

“කවුද හරි කියා නොව කුමක්ද හරි කියා සිතන්න (What’s right, not who’s right)”

එක්සත් ජාතික පක්ෂය කොපමණ මැතිවරණ පරාජය වුවද එජාපයේ දැවැන්ත මතවාදී දර්ශනය කිසිදා පරාජය නොවනු ඇත. එය දිනෙන් දින දිදුලනු ඇත. මක්නිසාදයත් එක්සත් ජාතික පක්ෂය, තම දෑතේ දෙපයේ වීර්යයෙන් කාටත් අත නොපා නැගී සිටින දේශප්‍රේමී මිනිසුන්ගේ දේශපාලනික තීර්ථ යාත්‍රාව නිසාය.

දෙනෙත් හැර බලන්න. එජාපයේ ජීව ගුණය තේරුම් ගන්න. ඊට එකඟ වුවත් නැතත් රටේ සුබසිද්ධිය තකා මිනිසුන් විවේචණය කරන කලාවෙන් ඈත්ව ප්‍රතිපත්ති විවේචණය කරන කලාවට හැඩ ගැසෙන්න.

ඔබට, රටට ජයෙන් ජය…!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

සිතන්නට යමක්

තවත් සීමාකාරී අවස්ථාවකට ලඟාවෙමින් සිටින්නන් සමූහයක් ලෙස ජීවත් වන අපට, හෙට අපේ ලංකාවට රාජ්‍යය නායකයෙකු පත්කර ගැනීමේ මහා භාරධූර කාර්යක් පැවරී ඇත. මෙය වඩාත් නිවැරදි ලෙස ඉටුකිරීම ලාංකික අප සැමගේ වගකීම වන බව පුල පුලා පැවසීම මාගේ අරමුණ නොවන නමුත් මේ ගැනත් සිතා බලන්න…..

“බෙදීගොස් තිබූ රට එක් කිරීමේ ජාතික කාර්යය ඉටු කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසි දිනක රට පාවා දෙන්නේ නැත” යයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි පසුගිය 16 වෙනිදා ප්‍රකාශ කලේ ජනරාල්තුමා මහනාහිමියෝ බැහැදැකීමට ගිය අවස්ථාවකයි.

මල්වතු මහනායකහිමියෝ පවා සරත් ෆොන්සේකා කෙරෙහි පැහැදීමකින් කටයුතු කලද, ඇතැමුන් තවමත් කටකථා පතුරවමින් මඩ ව්‍යාපාර පවත්වාගෙන යමින් අභූත චෝදනා ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අස්ථාවර භාවය පෙන්නුම් කිරිමක් බැව් ඕනේම කෙනෙකුට හැඟි යන්නකි.

මෙලෙසම LTTE සංවිධාන ඝාතන ලැයිස්තුවල  නොසිටි විමල් වීරවංශ පසුගිය සමයේම පැවසුවේ, තුන් වරක්ම කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතන කිරීමට තැත් කරන ලද “ජෙනරල් සරත් ෆොන්සේකා” යනු දේශ ද්‍රොහියෙකු බවයි. මෙලෙස අර්ථ විරහිත ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාව මුලාකරමින් මොවුන් මේ කරන්නේ දේශප්‍රේමී කටයුත්තක්ද කියන වග සිතා බැලීම ඔබ සතු වගකීමකි…..

— සුදර්ශන ලක්මාල් මාරසිංහ – 2009 දුරුතු —

සම්බන්ධන් සම්බන්ධයෙන්…

ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහ ටී.එන්.ඒ. නායක ආර්.සම්බන්ධන් මහතා අතර රට පාවා දෙන ගිවිසුමක් ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහායකයෝ පුන පුනා චෝදනා එල්ල කරති. ජෙනරල් ෆොන්සේකා මහතා මෙන්ම සම්බන්ධන් මහතාද එය ප්‍රතික්ෂේප කර ඇති අතර අපි පුල්ලි සහ තවත් තතු යන මැයෙන් මේ තත්ත්වය ගැන දීර්ඝ විශ්ලේෂණයක් කළ බව ඔබට මතක ඇත. එහිදී කරුණු කාරණා සමඟ අපි එළිකර සිටියේ ඊළම සහ කොටි යන වචන සමඟ සබඳතා පවත්වන්නේ ජෙනරල් ෆොන්සේකා නොව අතිගරු ජනාධිපතිතුමා බවයි. ඒ මක්නිසාදයත් ඩග්ලස් දේවානන්ද යනු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායකයා වෙත්දී සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් (TMVP) පක්ෂයේ නායකයා වීම නිසාය. ඉහත දමිළ බසින් පුලිහල් යැයි කියැවෙනුයේ කොටින්ට බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය. ඉතින් ඊළාම් හා කොටි නායකයන් රෙද්ද අස්සේ තියාගෙන අනුන්ට චෝදනා නැගීම හාස්‍යජනකය.

පසුගියදා ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් ලෙස සුපතල ඒෂියන් ට්‍රිබියූන් වෙබ් අඩවිය විසින් ඩග්ලස් දේවානන්ද සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර ඇතිවූ ගිවිසුම ගැන කරුණු කාරණා වර්තා කෙරුණු අතර එහිදී පළමුවැනි වගන්තියෙන් උතුරු නැගෙනහිර ස්වයං පාලන අයිතිය තහවුරු කරන බව පැවැසේ. මහින්ද මහත්තයා මේ ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකිරීම අතිශය වැදගත්ය. මීට අමතරව ඊපීඩීපී නිල වෙබ් අඩවියට යන ඔබට ඔවුන්ගේ ප්‍රතිපත්තීන් කියැවීමට අවකාශ ඇත. එහිදී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනය වැනි කරුණු ගැන සැබැවින්ම කතා කරනුයේ කව්රුන්දැයි ඔබට සියැසින්ම කියැවිය හැකිය. මීට අමතරව නාමල් රාජපක්ෂ මැතිතුමා කොටි සංවිධානයේ එමිල් කාන්තන් මහතා සමඟ එකට පෙනී සිටින ඡායාරූපයක්ද වෙබ් අඩවි ඇතුළු මාධ්‍යය ඔස්සේ විකාශය වන බව ආරංචි විය (www.lankatruth.com). තවත් දෙයක්, ටැමිල්නෙට් යනු කොටින්ටත් ඊළමටත් හිතවත් පාර්ශව තොරතුරු දැනගන්නා කේන්ද්‍රස්ථානය බව ඔබ අප කව්රුත් දනිමු, කොටි ඩයැස්පෝරාව විසින් පෝෂණය කරන ටැමිල්නෙට් වෙබ් අඩවිය නම් දෙමළ ජනතාවට මහින්ද සහ සරත් දෙදෙනාම හඳුන්වාදෙන්නේ කොටි සංවිධානය විනාශ කිරීමට මූලික වූ ජාතිවාදීන් ලෙසයි. ඉන් ඔබ්බට යන ටැමිල්නෙට් අඩවිය නව වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට ඡන්දය දෙන ලෙස ද්‍රවිඩ ජනතාවට පවසා සිටී. ඒත් ටී.එන්.ඒ. සංවිධානය සරත් ෆොන්සේකා වෙනුවට ජනාධිපතිතුමාට සහය දුන්නා නම් ඔවුන් දේශප්‍රේමීන් වන්නට තිබුණි. ටැමිල්නෙට් එකේත් ඩයැස්පෝරාවේත් මතයට එරෙහි වෙමින් ද්‍රවිඩ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහය පල කළේ ඔවුන් කොටි සංවිධානයේ පරාජයත් සමඟ තවදුරටත් කොටින්ට බයේ දේශපාලනය කිරීමට අනවශ්‍ය නිසාය.

උතුරු නැගෙනහිර දෙපළාත වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ ජනතා විමුක්ති පෙරමුණයි, එහි විත්තියට, එනම් දෙපළාත වෙන් නොකළ යුතු යැයි කරුණු දැක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවයි. දෙපළාත වෙන් කරන ලෙස තීන්දුව දුන්නේ සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලයි. මේ යථාර්ථය අපේ සමහරුන්ට අමතකවී තිබීම කණගාටුදායකය. එහෙනම් උතුරු-නැගෙනහිර වෙන් කිරීමේ ප්‍රධාන කොටස්කරුවන් ඉන්නේ ෆොන්සේකා කඳවුරේ මිසෙක රාජපක්ෂ කඳවුරේ නොවේ.

පසුගිය සෙනසුරාදා මල්වතු මහනායක හිමිපාණන් සරත් ෆොන්සේකා මැතිඳුන් බැහැ දුටු විට උන්වහන්සේ වදාලේ රට දැය සුරැකුමට දිවි දෙවැනි කොට සටන් වැදි ජෙනරාල්වරයා රට පාවා නොදෙන බව තමන්වහන්සේට විශ්වාස බවයි. එය මහා බලසම්පණ්න ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අතිගරු ජනාධිපතිතුමා තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨය බවට මේ කාරණාව පත්කරගනිමින් තිබෙන්නේ ජාතිවාදය අවුලමින් ජාතික සමගියට පහර ගසමින් බවට බොහෝ දෙනා චෝදනා කරන්නේ හේතු සහගතවය.

ජනාධිපතිතුමා සම්බන්ධන් ඇතුළු ටී.එන්.ඒ. නායකයන් සමඟ සාකච්ඡාවක...

මෙසේ ජෙනරල් ෆොන්සේකා නම් වූ අභීත රණවිරුවාට කොටි ලේබල් අලවන ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද? ජනාධිපතිවරණය ප්‍රකාශ කර සති කිහිපයකින් අවතැන් කඳවුරු වැසියන් නිදහස් කෙරිණි. A9 පාර මහජනතාවට පැය 24ම විවෘත කෙරිණි. මේවා ප්‍රශස්ත ක්‍රියාවන්ය.

එහෙත් ඉහත ඊපීඩීපී එකඟතාවය වන් තීන්දු තීරණද ජනපතිතුමා ගෙන ඇත. පසුගිය සතියේදී යාපනයේ රදගුරු අතිඋතුම් තෝමස් සෞන්දරනායගම් පියතුමාට ඔහු පැවසුවේ යාපන අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවයි. මින් නොනැවතුණු අතිගරු ජනාධිපතිතුමා හමුදා භාරයේ සිටි කොටි සැකකරුවන් 700කට නිදහස ලබාදුන්නේ ඔවුන් පුනුරුත්තාපනය කළේ යැයි පවසමිනි. එතැනින්ද නොනැවතුණු ජනපතිඳුන් ප්‍රංශ පුවත් සේවය සමඟ ප්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ හිතසුව පිණිස බලය බෙදීම පුළුල් කරන බවයි. මේ අතර මාස 8ක් පුරා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටි ටී.එන්.ඒ. මන්ත්‍රී එස්.කනගරත්නම් මහතා ජනාධිපතිතුමාට සහය දක්වන ලදැයි සැලවිය. ඔහුගේ පුතු තවමත් කොළඹට එල්ල වුණු හොටි ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අතඩංගුවේ පසුවෙයි. දැන් ආණ්ඩුවට උතුරු නැගෙනහිර දමිළ ජනතාවගෙන් සහය දක්වන්නේ කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු කොටි නායකයන්, දේවානන්ද වැනි සන්නද්ධව සිටි උදවිය සහ ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් භාරයේ සිටි අයය. යුද ක්‍රියාන්විතය පුරා ආණ්ඩුවට සහය පළ කළ වී. ආනන්දසංගරී මැතිතුමා වැනි ගරු ගාම්භීර නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය නොදක්වන්නේ මන්දැයි ඔබම සිතා බලන්න.

ජනාධිපතිතුමා දැන් කරමින් සිටින්නේ කුමක්ද? එක් පසෙකින් ජාතිවාදය අවුස්සමින්, රට බෙදන බිල්ලෙක් මවා පාමින් සිංහල ඡන්ද බිලී බාගන්නට වෙර දරද්දී අනෙක් පසින් සිංහල ජනතාවට මවා පාන රූපයේ සැබෑම විලෝමය උතුරේ දෙමළ ඡන්ද දිනාගැනීමට ක්‍රියාත්මක කර තිබෙන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. කවුරු කොහොම කිව්වද ජනතාවගේ ඇස්වලට වැලි ගසන මෙම ක්‍රියාව රැවටීමක්, මුලාවක් මෙන්ම පාවා දීමක් ලෙස යමෙක්ට අර්ථ ගැන්විය හැකිය. මේ මුලාවට හසුවී තවත් අවුරුදු හයකට රට දුරධාන්ත පාලනයකට ඇද ගෙන යන්නෙමුද? නැතිනම් වෙනසකට මුල පුරමුද?

සරත් ෆොන්සේකා මැතිතුමා මේ එල්ලවන සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. අනෙක් අතට තෙවරක් රට දැය වෙනුවෙන් රණවිරුවකු ලෙස මරණීය තුවාලයන්ට මුහුණ පෑ, දිවි හිමියෙන් දේශය රැකගත් මේ අද්විතීය ජාතික විරුවා රට පාවා දෙනු ඇතැයි සිහිනයකින්වත් සිතිය හැකිද??

එසේ නම් මෙය ෆොන්සේකා මැතිඳුන්ගේ ඡන්ද කැඩීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් පහත් ගණයේ උප්පරවැට්ටියක් බව පැහැදිලිය. මේ උප්පරවැට්ටියට ඔබේ නෑසියමිතුරන්ට, රටවැසියන්ට ගොදුරු වීමට ඉඩ නොදී යථාර්ථය පහදා දීම ඔබ සතු යුතුකමකි.

ජාතිවාදය, භීතිය වපුරමින් තම ඡන්ද ගොන්න වැඩි කරගැනීමට වෙරවෑයම් දරණ අවස්ථාවාදී නායකයන්ට පිළිතුරු දී රට නිවැරදි මාවතට ගෙන අලුත් දේශපාලන සම්ප්‍රදායක් ගොඩනැගීමේ වරම අප සතුය. එහෙයින් ලක්මෑණියන් වෙනුවෙන්  එම වරමින් උපරිම ප්‍රයෝජන ගැනීම අප සතු වගකීමකි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

සැබෑ දේශප්‍රේමය සහ සැබෑ දේශද්‍රෝහය…

Click here to get Sinhala Unicode

මේ සීතල උඳුවප් මාසයයි, එහෙත් දේශපාලන පොරපිටිය නම් ගිනියම් වෙමින් පවතින්නේ එළැඹෙන මැතිවරණ නියාවෙනි. මැතිවරණයේ ප්‍රධානතම විවාදය බවට දැන් දැන් පත්වෙමින් පවතින්නේ දේශප්‍රේමය සහ දේශද්‍රෝහය යන්නයි. තමන් දේශප්‍රේමීන් ලෙස ආරෝපණය කරගනිමින් අනෙකා දේශද්‍රෝහීන් යැයි හංවඩු ගැසීමේ කලාව දේශපාලනයට අද ඊයේ නාවද මෙම අසික්ඛිත ක්‍රියාවේ උච්ඡතම අවස්ථාවට අප පැමිණ ඇතැයි මට හැඟේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග, උගුල් යනාදියත් දැන් දැන් කරළියේ නිතර නිතර ඇසෙන වදන් බවට පත්ව තිබේ. මේ ලියමනේ අරමුණ නම් මෙසේ කෙරෙන්නා වූ ප්‍රකාශ පිළිබඳ යම් තරමක හෝ විශ්ලේෂණයක් කිරීමයි. පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා පවසා සිටි පරිදි ආණ්ඩුවට පක්ෂ සියල්ලෝම දේශප්‍රේමීන් බවටත් විපක්ෂ සියල්ලෝම දේශද්‍රෝහීන් බවටත් හංවඩු ගසමින් පවතී. ඒ අනුව එදා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් මහ මැතිවරණයට තරඟ කර ආණ්ඩුවේ ඇමැතිධුර දරණ ඇමැතිවරු දේශප්‍රේමීන් බවටත් ඔවුන්ට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයෝ දේශද්‍රෝහීන් බවටත් පත්ව තිබේ.

අද ආණ්ඩුවට විරුද්ධව මැස්සෙක් පියෑඹුවත් එය විජාතික බලවේගයක් මත සිදුවූ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. ආණ්ඩුවට අහිතකර හැම දෙයක්ම වෙන්නේ විජාතික බලවේග නිසාය. ආණ්ඩුවට විරුද්ධ සියල්ලන්ම දේශද්‍රෝහීන්ය යන හාස්‍යජනක මතයේ ආණ්ඩුවත්, ඊට හිතවත් ජනමාධ්‍යයත් කටයුතු කරයි.

  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැගෙනහිර කොළඹ ආසනයේ සංවිධායකයා මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මුල්පෙළේ හොරනෑවක් වන හඩ්සන් සමරසිංහ ප්‍රසිද්ධියේ ගුවන් විදුලියෙන් කිහිප වරක්ම ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයට තරඟ නොකළොත් තමා දණ ගසාගෙන ගුවන් විදුලි සංස්ථාවෙන් ඉවත්ව යන බවයි. එහෙත් අදටත් අපේ රටේ මහජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින හඩ්සන් උන්නැහේ දිනපතා ගුවන් විදුලිය ඔස්සේ සිය මූසල කටහඬ අවදි කර අසැබි ලෙස මිනිසුන්ට බැණ වදින්නේ රටේ සමාජ සම්මතයන්ට පහර ගසමිනි. රටට ඉමහත් මෙහෙයක් කළ ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන්ට හිරිකිතයකින් තොරව පහර ගසන්නේ තම සැබෑ ස්වරූපය පෙන්වමිනි. හඩ්සන්ගේ දෙමාපියන්ට, දරුමල්ලන්ට අපි දීර්ඝායූ පතමු. මෙවැන්නන් වගකිවයුතු නිලතල දරන්නේ දේශප්‍රේමීන් නිසාද??
  • වරෙක හඩ්සන් කියා සිටියේ යුද්ධයේ අවසාන අඩිය වනවිට ජෙනරාල් ෆොන්සේකා චීනයේ සිටි වගයි. එවිට අතිගරු ජනාධිපතිතුමා ජෝර්දානයේ සිටි බවද මතක් කර දීමට කැමැත්තෙමි. යුද්ධය අවසනදී පිටරට සිටීම දේශද්‍රෝහී ක්‍රියාවක් නම් ජනාධිපතිතුමා දේශද්‍රෝහියකු බවද අපේ හඩ්සන් මහත්තයා මේ නොකියා කියන්නේ??
  • 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක මන්ත්‍රී හිමියන් වැඩකටයුතු කළා ඔබට මතක ඇත. අද උන්වහන්සේට ඒ බව අමතක වී ඇති සේයාවකි, සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ප්‍රශ්න කරන උන්වහන්සේ විජාතික බලවේගයක් යැයි චෝදනා කරන්නේ මීට වර්ෂ 4කට පෙර තමා සහය දැක්වූ පාර්ශවයට නොවෙතැයි මම සිතමි. මක්නිසාදයත් එය එසේ නම් උන්වහන්සේද දේශද්‍රෝහියකු, බොරුකාරයකු වන නිසාය.
  • 2004 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා සලකුණින් තරඟ කර පාර්ලිමේන්තු අවුත් අද ආණ්ඩු පක්ෂයේ සුර සැප විඳිමින් ප්‍රතිපත්ති සහ ඡන්දදායකයා පාවාදී ඇමැතිධුර දරණ මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා, කෙහෙළිය, රාජිත, හේමකුමාර, බන්දුල, ලොකුගේ, මනෝ විජයරත්න ආදී මහත්වරු එදා තමා සිටි පක්ෂයටත් හිස මුදුනින් අගය කළ නායකයාටත් අවලාද නැගීම විජාතික බලවේග සහ දේශද්‍රෝහී ලේබල් ඇලවීම කෙතරම් සාධාරණද??? ඔවුන් එදා දේශද්‍රෝහීන් බවද ඔවුන් කියන්නේ??? මේවා ඔක්කොම තමන්ගේ දේශපාලන වාසියට කියන කතා බව අමුතුවෙන් කිව යුතු නැත. එදා සිරස ඔස්සේ විසිහතර පැයම මහත්මා දේශපාලනය සහ යහපාලනය ගැන මැත දෙඩවූ මිලින්ද මොරගොඩ උගත් මහතාගේ ප්‍රතිපත්ති සහ පක්ෂය පාවා දීමේ මහත්මාකමට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව පිළිතුරු දෙනු ඇතැයි සිතමි. යූඇන්පියේ ඉන්නතාක් සටන් විරාම ගිවිසුම අගය කළ ඔවුහූ යූඇන්පිය හැර ගිය විගසම සටන් විරාමය මහා පාවාදීමක් ලෙස සැලකුවේ මන්දැයි සිතන්න…. මේ දේශප්‍රේමයද, බලකාමයද???
  • සක්කරයගෙ පුතා වයිමටවත් අඩු කරන්නට බැරි යැයි කී බඩුවල මිල සමූපකාරවල සහ ජනමාධ්‍යයේ පමණක් හෝ ඡන්දයක් අත ළඟ අඩු වෙන්නේ කඩිමුඩියේම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට ජනතාව ගැන අනුකම්පා සිතුණු නිසාද, ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව ආණ්ඩුව කියන්නේත්, අවතැන් ජනතාවට සැරිසැරීමේ නිදහස දෙන්නේත් ඇයි?? දැරිය නොහැකි බදු බරක් ජනතාව මත පටවා ඇත්තේ ආණ්ඩුවේ දේශප්‍රේමය නිසාද??? රු.257කට වරායට ගොඩබාන කිරිපිටි කිලෝව වෙළඳපලේ රු.530කට ඇලෙවි වෙන්නේ ඇයි?? අඩු මිලට දිය හැකි පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදන මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට අලෙවි වන්නේ ඇයි???
  • අපි වවමු රට නගමු කීවත් අදටත් අපේ රටේ විකිණෙන්නේ රට අලය, ඉන්දියාවේ ලූණු සහ මිරිස්ය, පිටරටවල ඇපල්, නාරං සහ මිදිය. මේකද ඔය කියන දේශීය කෘෂි ආර්ථිකේ?? මේවා හුදු සටන්පාඨවලට පමණක් සීමාව ඇත.
  • එන්න එන්නම රාජ්‍ය ව්‍යවසාය පිරිහෙන්නේ, කවදාවත් පාඩු නොලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ රේල්ලුව, ශ්‍රීලංගම, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව, මිහින් ලංකා මෙන්ම ගරු ගාම්භීර ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් එන්න එන්නම පාඩු ලබන්නේ ඇයි?? එසේ පාඩු ලැබීම දේශප්‍රේමී ක්‍රියාවක්ද???
  • කිසිඳු පෙර සොයා බැලීමකින් තොරව මහජන මුදල් අධික ලෙස නාස්ති කරමින් පූර්ව සැලසුමකින් තොරව හම්බන්තොට එක් ගුවන් තොටුපලකට මුල්ගල් තබා අවුරුදු 4ක් යන්නටත් පෙර එම ව්‍යාපෘතිය අතැර තවත් කෝටි ගණනක් වියපැහැදම් කර තවත් මුල්ගලක් වෙනත් තැනක තැබීම යහපාලනයද???
  • කෘතහස්ත ලේඛයකු වන දොස්තර ගුණදාස අමරසේකර පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක තප්පුලෑවේ “දූෂණ ගැන අහන්න එපා ඕයි…!!” කියාය. ඔය උජාරුවෙන් කෙපර බාන දේශප්‍රේමය මේකද?? රටේ දේපල කාබාසිනියා කරද්දී කරබාගෙන පටු වාසි තකා ඒවාට උඩ ගෙඩි දීම දේශප්‍රේමයද??
  • පළාත් සභාවට බුලත් කොළයෙන් තරඟ කර සභිකයකු පත් කරගන්නට වත් බැරි බංකොළොත් දේශපාලන පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණට අද තම පක්ෂ මහලේකම්වත් පක්ෂයේ රඳවා ගත නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. එහෙව් පක්ෂයේ නායක විමල් වීරවංශ උන්නැහේ අද දේශපාලනය සහ දේශප්‍රේමය ගැන රටට ටියුෂන් දෙන්නට පටන්ගෙන තිබේ. සීගිරිය දැක නැති, සිරිපාදය වැඳ නැති කෙනෙකුන් දේශප්‍රේමය සහ සංස්කෘතිය ගැන මැත දෙඩවීම බෙහෙවින්ම හාස්‍යජනකය. වෙනත් උදවියට කඩේ යනවායැයි කෙපරබාමින් තමන් කරන ක්‍රියාව දැඩි ලෙස අමතක කිරීමට විමල් උන්නැහේ සමත්කම් පා තිබේ. එදා ජානිපෙ බිහි කරමින් මිහින් ලංකා දූෂණය ගැන මහ ඉහළින් හඬ නැගූ, බලය බෙදීමට විරුද්ධ වූ විමල් අද කතා කරන්නේ ඒ ගැන හාංකවිසියක් නොදන්නා තාලෙටයි. මේකද දේශප්‍රේමය?? එදා ශ්‍රේෂ්ඨ රණවිරුවකුයැයි උදම් ඇනූ සරත් ෆොන්සේකාගේ බුද්ධි මට්ටමද ප්‍රශ්න කරන නින්දිත තත්ත්වයට ජානිපෙ අද පත්ව ඇත. අනාදිමත් කාලයක සිට ඇමැති මණ්ඩලය වැඩි යැයි, රටට බරක් යැයි කෙකර ගෑ විමල් ඇතුළු ජානිපෙම පසුගිය සතියේ තවත් ඇමැතිධුරයක් භාරගනිමින් අචල සුරංග ජාගොඩ ඇමැතිවරයකු කරමින් ඇමැති මණ්ඩලය තවදුරටත් ප්‍රසාරණය කරමින් රටේ මහජනතාවට බරක් වන සුදු අලියකු වීම කෙතරම් යුක්ති සහගතද??

    3දා ලංකාදීපයේ දාස හපුවලාන මහතාගේ කදිම කාටූනයක්...!!!

  • විමල් වීරවංශ ජවිපෙන් අහන්නේ ඔවුන් 1989දී මර්දනය කළ එජාපයට සහය දක්වන්නේ රෙදි ඇඳගෙනද කියාය. එජාපය සහ ජවිපෙ අතර කිසිඳු එකඟතාවක් නොමැත. යූඇන්පිය සහ ජවිපෙ තෙලුයි වතුරයි මෙන් දේශපාලනිකව අන්ත දෙකක ක්‍රියාත්මක වේ. සිදුව ඇත්තේ රටේ උන්නතිය වෙනුවෙන් පොදු අපේක්ෂකයකු වෙනුවෙන් පක්ෂ දෙකම සහය දැක්වීමයි. එසේ ප්‍රශ්න අසන විමල්ගෙන් අපි අහන්නේ 1971දී ජවිපෙ මර්දනය කළ ශ්‍රීලනිපයේ වරදාන දැරීම කෙතරම් සාධාරණද කියාය. එදා ජවිපෙ කැරල්ළෙන් බැට කෑ එක් පාර්ශවයක් වන ශ්‍රීලනිපය අද ඔබව තම සන්ධානය තුල රඳවාගෙන සිටීමට ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.
  • විමල් කියන විදියට මහින්ද චින්තනයේ එන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයගතහොත් ඔහුගේ දෙවැනි ධුරකාලයේ අවසාන භාගයේදීය. මේ අපේ ජනාධිපතිතුමා සැරසෙන්නේ චන්ද්‍රිකා ජනපතිනිය මෙන් සදහටම රජවන්නටද??? මේක දේශප්‍රේමයද, බලලෝභයද???
  • ආණ්ඩුවේ උදවිය එක්සත් ජාතික පෙරමුණට විජාතික, දේශද්‍රෝහී නඩය යන හංවඩුව ගසන්නට වෙර දරයි. නමුත් කරුණා අම්මාන්, ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන් වැනි ශ්‍රී ලංකාවට එරෙහිව ආයුධ අතට ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලුණු උදවිය එක්සත් ජාතික පෙරමුණ තුල නැත. එදා ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලෙමින් ඊළමක් ඉල්ලූ උදවිය අද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීම බෙහෙවින්ම ප්‍රශංසනීයය. නමුත් දළදා මාළිගාවට බෝම්බ ගැසූ, අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළ එවන් උදවියට දේශප්‍රේමී ලේබලය අලවා අන් අයට දේශද්‍රෝහී හංවඩුව ගැසීම කෙතරම් සාධාරණද??
  • මියැන්මාරයේ හමුදා පාලක, භික්ෂූන් වහන්සේලා මහ මග මරා දමන, රටවැසියන්ට විපක්ෂයට වද දෙන ජෙනරාල් තාන් ෂ්වේ මහතා මෙරටට මහත් හරසරින් විරුවකු ලෙස පිළිගනිද්දී අපේ රටේ යුද ක්‍රියාන්විතය ජයගන්නට නායකත්වය දුන්, ඉන්දීය රජයේ නිලධාරීන් විසින් ලොව විශිෂ්ඨතම හමුදාපතිවරයා ලෙස ගෞරවයට පාත්‍ර ජෙනරාල් සරත් ෆොන්සේකාට දේශද්‍රෝහියකු යන හංවඩුව ගැසීම කෙතරම් සාධාරණද??
  • අද මානව හිමිකම් කමිටු කෙරේ වපර ඇසින් බලන, ඔවුන්ට දේශද්‍රෝහී, විජාතික ලේබලය අලවන මහින්දගේ ආණ්ඩුව 90 දශකයේ මුල භාගයේදී මහින්ද ලංකාවේ මානව හිමිකම් කඩවීම් ඇතුළු ලිපි ගොණු සමඟ ජිනීවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමට යෑම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකනවාද යන්නත් ප්‍රශ්නයකි.

එක්සත් ජාතික පෙරමුණේද සැලකිය යුතු අඩුපාඩු තිබේ. මෙහිදී ආණ්ඩුව සිදු කරන්නේ අනුන්ගේ ඇහේ ඉරට්ට දකිමින් තමන්ගේ ඇහේ පොල් පරාලය අමතක කිරීමය. ජනාධිපතිවරණයේ අවශ්‍යතාව රටේ අනාගතය තීන්දු කිරීම මිස කවුද දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා යන වග තේරීම නොවේ. ඒ නිසා ආණ්ඩුව තම ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් රටේ අනාගතය ගැන කථිකා කරනවා වෙනුවට දේශද්‍රෝහී, විජාතික, ජාත්‍යන්තර බලවේග කුමණ්ත්‍රණ ලේබල් ඇලවීම නවතා දැමීම රටේ ශීඝ්‍රයෙන් වැපිරෙන වෛරය සන්සිඳුවීමටත් රට යහපත් ගමනකට ගෙන ඒමටත් හේතුකාරක වනු ඇත.

යමෙක් දේශද්‍රෝහියෙක්ද දේශප්‍රේමියෙක්ද කියා තීරණය වන්නේ ඔහුගේ චේතනාවෙනි. රට ගැන ආදරයෙන් ක්‍රියා කරන කෙනා දේශප්‍රේමියෙකි, වැරදි තීරණයක් වුවද රට ගැන ආදරයෙන් ගන්නේ නම් හේ දේශප්‍රේමියෙකි, නිවැරදි තීරණයක් වුවද රට ගැන නොව වෙනත් චේතනාවක් පෙරදැරිව ගන්නා කෙනා දේශද්‍රෝහියෙකි. නැතුව දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා තීරණය කිරීමේ පේටන්ට් අයිතිය කවරෙක්ටවත් හිමි නැත. ඒ සමගම තවත් යමක් කිව යුතුය එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා දෙපැත්තේම දේශප්‍රේමීන් මෙන්ම දේශද්‍රෝහීන්ද සිටිති, ඉන් දේශද්‍රෝහීන් ගණන ඉතා අල්පය. නැතිව රටේ අනාගත දරු පරපුරේ ආඩම්බර භාරකාර තාත්තා හෙවත් මහින්ද ජනපතිඳුන් පවසන අන්දමට ආණ්ඩුවට පක්ෂ සියල්ල රටට ආදරය කරන අයත් ආණ්ඩුවට විපක්ෂ සියල්ල රටට ද්‍රෝහී අයත් නොවේ. මෙහිදී ආණ්ඩුව සහ ශ්‍රී ලංකාව යන දෙක පටලා නොගත යුතුය, ආණ්ඩුව යනු අප උත්තම ශ්‍රී ලංකාව නොවන්නේය. රට දෙවනත් වෙන්න කෑ මොර දුන් පලියට දේශප්‍රේමියකු වන්නේද නැත, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධි ඉන්දියාවට විමුක්තිය ගෙන දුන්නේ රට වටා කෑ මොර දෙමින් නොව අවිහිංසාවාදයේ පණිවුඩය රට පුරා වපුරමිනි.

කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හෝ පවතී. එනිසා එකිනෙකාට දේශද්‍රෝහී ලේබල් අලවමින් ඊනියා දේශප්‍රේමියකු වනවා වෙනුවට එකිනෙකාට මඩ නොගසා ප්‍රතිපත්ති ගැනත් රටේ අනාගතය ගැනත් අවදානය යොමු කිරීම මැනවැයි මම යෝජනා කරමි.

එසේම සරත් ෆොන්සේකා යටතේ හමුදා පාලනයක් ඇති වේ යැයි යන අස්ථිර බිය ගැනද යමක් කිව යුතුය. ජෙනරල් ෆොන්සේකාට එදා නන්දිකඩාල් කලපුව වටලන විට සේනාංකයක් එවා අරලිය ගහ මැදුර වටයා හමුදා පාලනයකට යන්නට ඕනෑ තරම් ඉඩ හසර තිබුණි. එහෙත් ඔහු පතන්නේ මිලිටරි ආණ්ඩුවක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකි. හේ ජනාධිපතිවරණයට ඔබේ ඡන්දය ඉල්ලන්නේ ඒ නිසාය.

දෑස් හැර එකිනෙකාට චෝදනා නගන සාම්ප්‍රදායික මඩ දේශපාලනයෙන් එපිට බලන්න…. රටේ මතු අනාගතය ගැන සිතා ඔබේ ඡන්දය භාවිතා කරන්න…. රටට ඔබින අලුත් දේශපාලන සංස්කෘතියක් සාදන්නට ඔබේ සහයෝගය ලබා දෙන්න…

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009