Archive for the ‘Unseen Reality’ Category

යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය

නොබෝදා අවසන් වූ 2015 මහා මැතිවරණය පිළිබඳව ජනමාධ්‍යයේත් සමාජයේත් අස්සක් මුල්ලක් නෑර විශ්ලේෂණය වෙමින් පවතී. මෙම ලියමන මගින් මෙතෙක් සාකච්ඡාවට බඳුන් නොවූ කරුණු කිහිපයක් විශ්ලේෂණාත්මක දෘෂ්ඨියකින් හුවා දැක්වීම ලියුම්කරුගේ අපේක්ෂාවයි.

මෙම මහා මැතිවරණය විටෙක අතිශය භයංකර ස්වරූපයක් ගනු ලැබූයේ ඉතා අන්තරායකර අයුරින් ජාතිවාදය අඩු වැඩි වශයෙන් සිංහල, දමිළ සහ මුස්ලිම් දේශපාලකයින් විසින් යොදා ගත් නිසාවෙනි. නමුත් ජාතික සමගියට වින කරන එවන් අවස්ථාවාදී දේශපාලුවන් රැසකට අතුල් පහරක් ලබාදීමට උතුරේත් දකුණේත් ජනතාව පරිණත වීම සැබෑ දේශප්‍රේමීන්ට මහත් අස්වැසිල්ලකි.

එහිදී, යුද භීතියක් උලුප්පා දක්වමින් “දිනූ දේශය අනතුරේ” යමින් ආඩපාළි ගයමින් රටපුරා ගිය එජනිස “මහින්දවාදී” කඳවුර ජනතාව විසින් පරාජය කරන ලදි. එම ආණ්ඩුවේම සාමාජිකයින් උපුටා දක්වන පරිදි 2014 ඇමෙරිකානු CIA ඔත්තු සේවා වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන රජය කොටි ජාත්‍යන්තර ජාලය අඩපණ කිරීමට අපොහොසත් විය. එසේ අසමත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 17කම තැපැල් ඡන්දය පරාජයට පත්විය. ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් නිලධාරීන් රාශියක් තැපැල් ඡන්දදායකයින් වීම මතම සන්ධානයේ අවස්ථාවාදී දේශපාලකයින්ගේ මුසාව මොනවට පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාම කියන පරිදි ඔහු කුරුණෑගලට දේශපාලනිකව සංක්‍රමණය වූයේ ලංකාවේ වැඩිම රණවිරුවන් පිරිස එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් වීම නිසාය. එය එසේ වුවත් කුරුණෑගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය පවා සන්ධානය ඡන්ද 2,500කින් පමණ පරදී. විශාල රණවිරුවන් පිරිසක් සිටින අනුරාධපුර, මොණරාගල, මාතලේ, පොලොන්නරුව, මහනුවර, ගම්පහ, කෑගල්ල ආදී දිස්ත්‍රික් සියල්ලෙහිම තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් විද්‍යාමාන වෙනුයේ “මහින්ද සුළඟ” කළ දෝෂාරෝපණවල හරසුන්භාවයයි.

හොරොව්පොතාන ආසනයේ සිදු වූ කැබිතිගොල්ලෑව බස් බෝම්බය

එපමණකුදු නොව, යුද සමයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් අත්විඳි මායිම් ගම්මාන රැසක් පිහිටා ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාශය පවා එක්සත් ජාතික පක්ෂය 2001න් පසු ප්‍රථමවරට ජයග්‍රහණය කිරීම කැපී පෙනෙන කාරණාවකි. අදටත් මනුස්සකමින් පිරිපුන් සිත් කම්පා කරවන කැබිතිගොල්ලෑව බස් බෝම්බය ආදී ව්‍යසන සිදු වූයේ මෙකී හොරොව්පොතාන මැතිවරණ බලප්‍රදේශය තුලදී වීම අමතක නොකළ යුතුය. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලප්‍රදේශ වන මායිම් ගම්මාන රැසක් පිහිටි මැදවච්චිය, සේරුවිල වැනි ආසන පවා ඔවුන් ජයගත්තේ ඡන්ද 2,000ක් වැනි සුළු පරතරයකිනි. තවද කොටි උවදුරෙන් දැඩි ලෙස පීඩා විඳි දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේදී යුද භීතය නැවත අවුළුවමින් මැතිවරණ ව්‍යාපාරයක නිරත වූ, 19වන සංශෝධනයට විරුද්ධ වූ නිසා පාර්ලිමේන්තුවේ විශිෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් විරුදාවලි ලද, සරත් වීරසේකර මැතිතුමාව එජනිසයේ සිංහල ඡන්දදායකයන් විසින් පරාජයට පත්කිරීමද කැපී පෙනෙන සිදු වීමකි.

සන්ධානයෙන් ඔබ්බට ගොස් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ අන්තවාදී සිංහල බෞද්ධ ස්ථාවරයක සිට මැතිවරණයට මුහුණ දුන් බොදු ජන පෙරමුණට මුළු ශ්‍රී ලංකාවෙන්ම ලබා ගත හැකි වූයේ ඡන්ද 20,000ක් පමණි, එය ප්‍රතිශතයක් ලෙස රටේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 0.2%කටත් අඩුය. මෙකී කරුණුවලින් පෙනී යන්නේ අපේ සිංහල ජනතාව “යුද භීතය” යන තුරුම්පුව යොදා ගනිමින් හෝ ජාතිවාදිය අවුළුවමින් තවදුරටත් පටු දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගනු වස් හැසිරවිය නොහැකි බවයි! රණවිරුන් විශාල පිරිසක් අන්තර්ගතවන තැපැල් ඡන්දයේ ප්‍රතිඵලය විසින් උතුරේ හෝ නැගෙනහිර ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විශ්ලේෂණය කළ හැකිය.

ගජෙන් පොන්නම්බලම්

මෙම පණිවුඩය ලැබුණේ සිංහල ඡන්දදායකයින් අතුරින් පමණක් නොවේ. උතුරේ ද්‍රවිඩ ඡන්දදායකයින්ද අන්තවාදය ප්‍රතික්ෂේප කළෝය. දේශපාලනික වශයෙන් අපරණිත බොහෝ සිංහලයින් නොදනිතත්, ද්‍රවිඩ ජාතික සන්ධානය ට විරුද්ධව ඉතා අන්තවාදී මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය කණ්ඩායම් දෙකක් විය. ඉන් එකක් වූයේ ගජෙන් පොන්නම්බලම් නායකත්වය දුන් සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයයි. කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන රැසකගේ සහාය සහ මූල්‍යය දායකත්වය ලද ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය අතිශය ක්‍රියාශීලී එකක් වූ බව තතු දත්තෝ පවසති. ද්‍රවිඩ ජාතික සන්ධානය දකුණේ සිංහල දේශපාලනඥයන්ට දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පාවා දෙන බව පවසමින් දමිළ ඡන්දදායකයා හඹා ගිය සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය පාර්ලිමේන්තු ආසන කිහිපයක් දිනා ගනු ඇතැයි බොහෝ දේශපාලන විශ්ලේෂකයින් අනාවැකි පළ කළහ. නමුත් සිදු වූයේ කුමක්ද? සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයට කිසිඳු ආසනයක් හිමිවූයේ නැත. එපමණකුදු නොව යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයට වඩා වැඩි ඡන්ද 2,000ක් ලබා ගැනීමෙන් විද්‍යාමාන වූයේ යාපනයේ දමිළ ජනතාවට ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය වැනි අන්තවාදී පක්ෂයකට වඩා වටිනා බව නොවේද?

ඊට අමතරව හිටපු LTTE සාමාජිකයින් පිරිසක් ද්‍රවිඩ ජාතික සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලීමක් කළ බව ඔබට මතක ඇත. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුණු පසුව එකී කණ්ඩායම ස්වාධීනව යාපනය දිස්ත්‍රික්කයට “මකුළුවා” ලකුණ යටතේ තරඟ වැදුණි. ඔවුන්ටද කොටි ඩයැස්පෝරාවෙන් මූල්‍යමය සහය ලැබුණු බවට වාර්තා විය. අන්තවාදී ද්‍රවිඩ මතවාදයන් නියෝජනය කළ මෙම කණ්ඩායමද යාපනයෙන් ආසනයක් හෝ ජයගනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ අනුමාන කළහ. කෙසේ වෙතත් ඔවුන්ට අත්වූයේ අන්ත පරාජයකි. දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2,000ක්වත් දිනා ගැනීමට අපොහොසත් වූ ඔවුන්ට හිමිවූයේ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්දයෙන් 0.66%ක පමණි. ද්‍රවිඩ ජාතික සන්ධානය තුලදීද අතිශය අන්තවාදී ස්ථාවරයන් දැරූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයාව  ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. දෙමළ ප්‍රජාව තුල මධ්‍යස්ථ ස්ථාවරයන් දැරූ, ඒකීය රටක් තුල බලය බෙදීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වූ මුල්ම TNA දේශපාලනඥයකු වූ M.A. සුමන්තිරන් මහතා යාපනයෙන් පරාජය කිරීමට විශාල ලෙස ද්‍රවිඩ අන්තවාදී බලවේග පෙල ගැසුණි. අධිනීතීඥයකු වන හෙතෙම වැඩිමනත් කලක් කොළඹ ආශ්‍රිතව කටයුතු කළද යාපනයේ ජනතාව මඩ ප්‍රචාරවලට නොරැවටී සුමන්තිරන් මහතාව දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලයේ ඉහළ ස්ථානයක ඔසවා තබන ලදි.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී අපට පෙනී යන්නේ රටේ සිංහල සහ දමිළ ජනතාව විසින් ජාතිවාදය සහ යුද උන්මාදය පිළිකුළෙන් යුතුව අගෝස්තු 17දා ප්‍රතික්ෂේප කර ඇති බවයි. මෙතෙකින් නොනැවතී ජනවාර්ගික සංහිඳියාව ගොඩ නගා ගැනීම උදෙසා සියල්ලෝම පෙළ ගැසීම කාලීන අවශ්‍යතාවයකි. එකිනෙකාගේ භාෂාවන් උගෙන මෛත්‍රී සිත් පෙරදැරීව තමතමුන්ගේ ගැටළු නිරාකරණය කරගනිමින් සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා පා තැබීම කාගේත් වගකීමකි, යුතුකමකි. වාසනාවට කරුණ නම් යාපනයට තබා සීගිරියටවත් නොගිය ඊනියා දේශප්‍රේමීන් වෛරය වපුරුවමින්, යුද බිය ඇතිකරමින් රට අස්ථාවර කිරීමට දැරූ කාලකණ්ණි උත්සාහය (දැනට) නිරර්ථක කිරීමට සබුද්ධික ශ්‍රී ලාංකිකයන් සමත් වී තිබීමයි.

සිතන්නට යමක්….!!!

රටේ විශාලතම පළාත් දෙක පළාත්සභා මැතිවරණයකට පෙළ ගැසෙන මොහොතක වටපිටාවේ සිදුවන දෑ දැක දැක දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය නොහැකි හෙයින් මේ ලිපිය ලිවීමට පෙළඹුණෙමි. මේ ලිපිය හරහා රටක්, ලොවක් පෙරළන්නට නොහැකි බැව් මා ඉතසිතින්ම දනිමි. එහෙත් රැල්ලට හසුවී වැරදි මගක යන ඔබගෙන් එක් අයෙකුට හෝ සිතන්නට යමක් ලබා දුනහොත් එය මට සතුටට කරුණකි.

ජිනීවා විදුලි පුටු සංදර්ශනය

රටේ සියළුම ජනතාව කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජෙනරාල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රජයට හිමිවිය යුතු බව රටම පිළීගනී. නමුත් එකී භාරදූර කර්තව්‍යය නිමවී වසර 5ක් ගෙවුණු තැනදීත් ඒ විරෝධාරත්වය විකුණාගෙන ඡන්ද ගැරීමේ පහත් ක්‍රියාවට රජය ඇතුළු එහි පාර්ශවකරුවන් සම්මාදම් වෙමින් සිටියී. ඒ ජිනීවා විදුලි පුටුවක් මවා පාමිනි.

පළමුව ඔබ ප්‍රශ්න කළ යුත්තේ වසර මැද පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් ඡන්දය සහ වසර අග පැවැත්වීමට නියමිතව තුබූ දකුණු පළාත් ඡන්දය මාර්තුවට ගත්තේ කාගේ උවමනාවකටද යන්නයි? මාර්තු 27 ජිනීවා යෝජනාව ඉදිරිපත්වන බව දැන දැන මාර්තු 29 ඡන්දයට දින නියම කළේ ඇයි? රජය කියන්නේ ලෝකයට පෙනෙන්නට බුලත් කොළයට කතිරය ගසන්නට කියාය. ඒ තර්කයට අනුව අපේ පළාත් සභා දෙස බලා ඉන්නවා ඇර වෙනත් දෙයක් ඔබාමාට, කැමරන්ට, නවනීදන් පිල්ලේට කරන්නට නැත. ඔවුන්ට මේ ඡන්දය ගැන නිච්චියක්වත් නැතිවාට සැක නැත, මන්ද තමන්ගේ රටේ ඡන්ද, ණයබර, ක්‍රිමියාව යනාදී බොහෝ ප්‍රශ්න ඔවුන්ට අපේ රටේ පළාත් සභා දෙකකට වඩා වැදගත්ය. අනෙක් අතට, පහුගිය වසර 5 ඇතුළත පැවැත්වූ පළාත්සභ මැතිවරණ සියල්ලම පාහේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේය. ඒ නිකම් නොවේ, සියයට 60ක, 65ක – ඇතැම්විට 70%ක ඡන්ද ප්‍රතිශත වලිනි! එසේ නම් සන්ධානයේ තර්කය නිවැරදි නම් ඔය කියන බටහිර බලවේග නැට්ට අකුළාගෙන වෙනතක් බලාගෙන හුඟක් කල් ගත විය යුතු නොවන්නේද? එසේත් නොමැතිනම් පසුගිය වයඹ, මධ්‍යම ආදී මැතිවරණ පවතිද්දී එකී බලවේග මරනින්දේ සිටියේද?

මේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවක් ගෙනා පළමුවන අවස්ථාව නොවන්නේය. 1980 දශකයේදී ආජන්ටිනාව විසින් අපට එරෙහිව යෝජනාවක් ගොනු කළ විට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “අනේ මාව විදුලි පුටුවෙන් බේරගන්න” කියා විලාප දෙමින් ඡන්ද තිබ්බේ නැත. ඔහු ඒ.සී.එස්. හමීඩ් වන් අමාත්‍යවරුන්ගේ සහයෙන් රාජ්‍යතාන්ත්‍රිකව ජාත්‍යන්තර සහය ශ්‍රී ලංකාවට දිනා ගෙන අදාළ යෝජනාව පරාජය කළේය.

මානව හිමිකම් කවුන්සලය හමුවේ ගෙන ආ ඇති මෙම චෝදනා විජාතික බලවේග විසින් කුමන්ත්‍රණකාරී ලෙස රටේ අවාසනාවට ඔප්පු කරගත්තා යැයි මොහොතකට සිතමු – එය එසේ වුවත් ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති නිසා ඔවුනට අපේ රටවැසියන්ට එදිරිව දඬුවම් පැනවීමේ බලය නොමැත.

ජනමත විචාරණයක් තිබ්බ නම් නරකද?

පක්ෂ භේදයෙන් තොරව ඔබ අප කවුරුත් රටට අහිතක් වනවාට අකමැතිය. රජයට හෝ අපේ විරෝධාර හමුදාවන්ට යුද අපරාධ චෝදනා නැගෙනවාට අපි සැවොම විරුද්ධය. එසේ නම් මෙවන් මොහොතක රජයට කළ යුතුව තිබුණේ පළාත් ඡන්දයකට ගොස් ජනතාව පක්ෂවලට කඩා ඉසිරුවනවා වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම නොවන්නේද? එයින් රජය පවසන අන්දමට “ලංකාවට අත නොතබනු” යන පණිවුඩය අප කවුරුත් පාහේ එක සිතින් කියා පානු ඇත.

අනෙක් අතට පදනම් විරහිත යුද අපරාධ චෝදනාවලට අමතරව, මේ යෝජනාව තුළින් රතුපස්වල මිනීමැරුම, කටුනායක ඇඟලුම් සේවක ඝාතනය, හලාවත ධීවර ඝාතනය යනාදිය ගැනද සඳහන් කර ඇත. යුද අපරාධ චෝදනා නම් වූ පළිහ ඉදිරියට ගෙන හැර පාමින් රජය නොකියා කියන්නේ එකී ම්ලේච්ඡ ක්‍රියාද ජනතාවට සාධාරණීකරණය කරන්නට කියාද?

ඉහත කීවාක් මෙන් රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන ගෙවුණු වසර 5 තුල රජය විසින්ම ගෙන හැර දැක්වූ “උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන්” (LLRC) වාර්තාවේ නිර්දේශ මීට වඩා යුහුසුළුව ක්‍රියාවට නැගුවේ නම් මෙතරම් පීඩනයක් රජයට එල්ල නොවනු ඇත. ප්‍රශ්නය ඇත්තේ සන්ධානයේ මහජන සම්බන්ධතා සහ ප්‍රචාරණය ඉහළ අඩියක පැවැතියද ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ විදේශ සම්බන්ධතා ළදරු මට්ටමක පැවතීමයි.

දේශප්‍රේමයේ ඒකාධිකාරය

ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් රඟ දෙනුයේ ඔවුන් දේශප්‍රේමයේ ඒකාධිකාරී පේටන්ට් බලපත්‍රයේ හිමිකරුවන් විලෙසිනි. එය සැබැවින්ම එලෙසද? ලංකාවට කුඩු, එතනෝල් යනාදිය හොර පාරේ ගෙනෙද්දී ඔවුන් එකකුවත් කෑ මොර දෙන්නේද? ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් විවිධ නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා කළ විට ඔවුන් මුනිවත රකින්නේ රටට ආදරයටද? දේශප්‍රේමය කිසිවකුගේ තනි බූදලයක් නොවන්නේය. පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරව රටේ අභිවෘද්ධිය පතන සිංහල, දෙමළ, මුස්ලිම්, සන්ධාන, යූඇන්පී, ජේවීපී අප සියල්ලෝම දේශප්‍රේමීන් නොවේද?

අධිරාජ්‍යවාදය ඇත්තේ බටහිර පමණක්ද?

“අධිරාජ්‍යවාදය” යනු දේශපාලන වේදිකාවේ කාටත් හුරුපුරුදු වදනකි. වමේ දේශපාලන පක්ෂ “අධිරාජ්‍යවාදය” අල්ලා ගෙන පැය ගණන් කතා පවත්වති. අධිරාජ්‍ය විරෝධී සීතාම්බර සළුවෙන් සැරසී දේශප්‍රේමීන්ගේ ඡන්ද ගසා කන මොවුන් අධිරාජ්‍යවාදයේ එක් පැතිකඩක් පමණක් ගෙනහැර පෑම අතිශය ජුගුප්සාජනකය.

ඔවුන් නිවැරදිය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවල් තමුන්ගේ ආදිපත්‍යය ලොව පුරා පැතිරවීමට නොගන්නා උත්සහයක් නොමැති තරම්ය. නමුත් “නැගෙනහිර” අධිරාජ්‍යවාදය ගැන කිසිවකු හඬ නොනගන්නේ ඇයි? චීනය, ඉන්දියාව සහ රුසියාව අපේ රටට හොට දාන්නේ, රජයට උදව් කරන අයුරින් ගිණි පොළියට ණය දෙන්නේ අපට ආදරයටද?

අනෙක් අතට අපේ රටේ ආර්ථිකයේ අපනයනයන්ගෙන් 55%ක් රඳා පවතිනුයේ ඇමෙරිකාව සහ යුරෝපය මතය. එබැවින් රටට ධනය ගලා එන්නේ ඉහත කී බටහිර රටවලින් බවත් අපට අධික පොළීවලට ණය දී හිර කරන්නේ නැගෙනහිර රටවලින් බවත් අප මතක තබා ගත යුතුය.

යථාර්තය නම් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ උපක්‍රමික ලක්ෂයක පිහිටා තිබීම නිසා අපගේ ගුවන්, නාවුක හා භූමි අවකාශය ප්‍රදේශයේ බලයට මහත් වැදගත්කමක් ගැනීමයි. එහෙයින් පෙර අපර දෙදිග ලෝක බලවතුන් ලංකාවේ සිය අණසක පැතිරවීමට කැසකැවීම නොරහසකි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික අප නොබැඳි දේශයක් ලෙස කා සමඟත් සුහදව අපේ ස්වෛරීත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම අතිශය වැදගත්ය. වත්මන් රජය “බටහිර අධිරාජ්‍යවාදී” බිල්ලකු මවා පාමින් අද වනවිටත් අප “නැගෙනහිර සටකපට අධිරාජ්‍යවාදීන්ගේ” ඔඩොක්කුවට වට්ටවා හමාරය. ශ්‍රී ලංකාව චීනයට, ඉන්දියාවට කොපමණ ණයද? රුසියාව හිතුමතේ ස්වෛරී රාජ්‍යයක් වූ යුක්‍රේනයේ ක්‍රිමියාව නම් පළාත අත්තනෝමතිකව අල්ලා ගත්තා සේ ඉන්දියාවත් උතුරු නැගෙනහිර අල්ලා ගැනීමට කුරුමානම් නොඅල්ලන බවට ඇති සහතිකය කුමක්ද? මීට වසර දහයකට පෙර සහ අද සසඳද්දී ලංකාවේ සේවය කරන චීන සහ ඉන්දීය ජාතිකයන්ගේ ප්‍රමාණය වැඩි වී නැතිද? සිදු වී ඇත්තේ චීනය විසින් ඇමරිකාව ඇ.ඩො. ට්‍රිලියන (බිංදු 12ක්) ගණනක ණය උගුලකට හසු කරගත්තාක් මෙන් අපවද නරා වළකට ඇද දැමීමයි.

ඇමරිකානු විරෝධයේ සුලමුල

ඔබ මෙවර මැතිවරණය ගැන තවත් නොදන්නා කරුණක් ඇත. රටටම ඇසෙන්නට “ඇමරිකානු විරෝධය” ගැන කෑ මොර දෙන අයවලුන් ගැන ඔබ මොහොතක් සිතන්න. ඔවුන්ගෙන් බහුතරයක් ඇමෙරිකාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR – Permanent Residence) හිමිද? රටේ ප්‍රබල පක්ෂයක භාණ්ඩාගාරිකවරයකුගේ සිට ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන්ම දකුණේ මහ ඇමැතිකම අපේක්ෂා කරන කණ්ඩායම් නායකයා දක්වා කොපමණක් ඉහත ඝණයට අයත්ද? මේ “දේශප්‍රෙමීන්” බහුතරයකගේ දරුවන් ඉගෙනගන්නේ ඉන්දියාවේ, චීනයේ හෝ රුසියාවේද? නොඑසේනම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවලද? ඔච්චරටම ඇමෙරිකාවට විරුද්ධනම් ඒ රටේ පාස්පෝට් යළි භාර නොදෙන්නේ ඇයි? රටේ ප්‍රබල ඇමැතිධූර, රාජ්‍ය තනතුරු දරණ ඇතැම් මහත්වරුන් සිය සොහොයුරා රටේ රාජ්‍ය නායකයා වනතුරු සිටියේ කොහේද? ඔවුනට එසේ වුවත්, සාමාන්‍ය අපට නම් ඇත්තේ එක රටකි, ඒ ශ්‍රී ලංකාද්වීපය පමණි.

සංවර්ධනය නම් වූ සෙප්පඩ විජ්ජාව

මේ රජයෙන් පසුගිය පොදුජන එක්සත් පෙරමුණු රජයට වඩා විශාල සේවයක් රටට සිදු වී ඇති බැව් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනපතිනිය හැර අන් සියල්ලෝම පාහේ එකඟ වනු ඇත. නමුත් එය සැබෑ සංවර්ධනයක්ද යන්න ඔබ හිතට එකඟව ප්‍රශ්න කරන්න.

මහාමාර්ග සහ අධිවේගී මාර්ග ඉදිකිරීම ඉතා යහපත් කටයුත්තකි. එහෙත් කාපට් පාරට උඩින් කාපට් දමනවාට වඩා මේ රටේ ධනස්කන්ධය වැය විය යුතු ව්‍යාපෘති නොවේද? ගමේ කොන්ක්‍රීට් පාරේ සිට නගරයේ කාපට් පාර දක්වා වෙන මේ සංවර්ධනයට මුවාවෙන් කොපමණ ධනයක් රජයේ දේශපාලකයින් මංකොල්ල කනවා ඇතිද? මෙපමණක් නොව, රජය විසින් අමුඅමුවේ සිදු කරන මූල්‍ය වංචා ගැන කෝප් කමිටු (COPE) වාර්තාවල පැහැදිලිව සඳහන්ව ඇත. එහෙත් ඊට එරෙහිව බලධාරීන් ගෙන ඇති පියවර කවරේද?

පසුගිය මාසය තුල ජනාධිපතිතුමා ඇතුළු සන්ධානය විසින් දකුණු සහ බස්නාහිර පළාත්වල කාපට් මාර්ග, පාසල් ගොඩනැගිලි යනාදී භෞතික සම්පත් තොග වශයෙන් විවෘත කරමින් සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම පාහේ යොදා ගනිමින් උත්සහ පවත්වාගෙන යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ සැබෑ උවමනාව ජනතා සුබසිද්ධියට වඩා තම බලය රැකගැනීම බවයි. එසේ නොවන්නේ නම් රටේ සෙසු පළාත් 7 අමතක කර ඡන්ද කාලයට මේ සියල්ල කරන්නේ මන්ද?

පසුගිය කාල සීමාව තුල රජය ගොඩ නැගූ “සංවර්ධන” ව්‍යාපෘති කීයක් රටට ආදායම් උපද්දවයිද? ඉන් කීයක් දහස් සංඛ්‍යාත රැකියා සමුදායක් උපද්දවයිද? හම්බන්තොට කෝටි ප්‍රකෝටි ගණනක් වැය කර ගොඩ නැගූ සුවිසල් ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ පවත්වා ඇත්තේ ක්‍රිකට් තරඟ 5ක් පමණකි. හම්බන්තොටට යනෙන ඔබට සුපිරි මහාමාර්ග දැකගත හැකි වුවද, ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා බවක් දැකගත හැකිද?

මත්තලට ගුවන් සමාගම් බර ගණනක් පියාසර කරන බවට එහි විවෘත කිරීමේ උත්සවයට පෙර පාරම් බෑවද අද වනවිට ශ්‍රී ලන්කන්, මිහින් ලංකා සහ ගුවන්තොටුපල කාර්යමණ්ඩල සේවකයින් හැර වෙනත් කිසිඳු සාමාන්‍ය වැසියකු ගුවනින් මත්තලට නොපැමිණෙන තත්ත්වයක් උද්ගතව ඇත. වෙනකක් තියා අඩුම තරමේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම්වත් මත්තලට ආකර්ෂණය කරගැනීමට රජය අපොහොසත්ව ඇත. බලෙන් මෝටර් රථ ප්‍රවාහන නෞකා ගෙන්වා නොගන්නේ නම් හම්බන්තොට වරායටද අත්වන්නේ එම ඉරණමමය. සූක්ෂම කළමණාකරණයෙන් සහ උපක්‍රමික සැලසුම් තුලින් මෙවාට අනාගතයේදී පණගසා නැගිට්ටවිය හැකි වුවද රජයේ ඔතෑනි පිළිවෙත් හමුවේ දැයට සුදු අලි ව්‍යාපෘති දායාද වී ඇත. මේ රජයේ “සංවර්ධන සංදර්ශනයේ” එක් පැතිකඩක් පමණකි.

එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් සිදුකළ මහවැලිය, නිදහස් ආයෝජන හා වෙළඳ කලාප, ගම් උදාව, ඇඟලුම් කම්හල් යනාදී ව්‍යාපෘති හරහා රැකිය අවස්ථා ලක්ෂ ගණනින් ජනිත විය, එමඟින් රටේ භාණ්ඩාගාරයට මුදල් ගැලූ අතර ඒ මුදල් රටේ සුබසාධනයට යෙදවා ජනතාව මත පැටවෙන බදු බර අඩු කළ හැකි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සිදුකළ එවැනි සුවිසල් ව්‍යාපෘති කවරේද? වත්මන් රජය ආයෝජනය කරනුයේ කඩිනම් ආදායම් නොලැබෙන ව්‍යාපෘති වලටය, එයද ගිනි පොළියට ණය ගෙනය. 2005 සිට රටේ ණය බර දෙගුණ වී ඇත් බව ඔබට දැනටමත් දනී. 2004දී රු. 80,000කට ආසන්න අගයක් ගනු ලැබූ ඒක පුද්ගල ණය බර අද වනවිට රු. 350,000 ඉක්මවීමෙන් පෙනී යන්නේ නූපන් දරුවන් පවා චීනයට, ඉන්දියාවට, වාණිජ බැංකුවලට ණයකරුවන් කර හමාර බවය. එහෙව් වටපිටාවක් තුල මේ ණය සහ පුනරාවර්තන වියදම් පියවන්නට අධික බදු ගැසීම පුදුමයක්ද?

පසුගිය වසර 5 තුල ඔබේ ආදායම විශාල ලෙස වැඩි වී තිබේද? රජය විසින් නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ දියණුවක් ඔබ අත්දකින්නේද? ඉතින් ඔබ ඡන්දය දෙන්න ඕනෑ පාරවල් ටිකටද? මොහොතක් සිතන්න.

ඔබ විපක්ෂය සවිමත් කළ යුත්තේ ඇයි?

ඔබෙන් සමහරෙක් තවමත් ජනාධිපතිතුමා ඇතුළු රජයට සහය දක්වනවා ඇත. එසේ කිරීමේ පූර්ණ අයිතිය ඔබ සතුය, ඊට අප ගරුකරමු. එහෙව් ඔබගෙන්ද අප ඉල්ලා සිටින්නේ මේ ලිපියේ තිබෙන කාරණා මැදිහත් සිතින් සිතා බලන ලෙසය. එජාපය, ජවිපෙ ඇතුළු ලෝකයේ සියළුම දේශපාලන පක්ෂ අතීතයේදී වැරදි කර ඇත. නමුත් ඒ වැරදි අවබෝධ කරගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සත් සිතින් වෙර වැඩීම යහපත් ප්‍රවණතාවයක් නොවන්නේද?

ඔබෙන් ඇතැමෙක් රජයට විරුද්ධ වුවත් විපක්ෂයේ පක්ෂ ගැන කලකිරී ඡන්දය නොදී ඉන්නට සිතා සිටිනවා වන්නට පිළිවන. අපගේ සර්වජන ඡන්ද අයිතිය රටට වඩාත් සුදුසු පක්ෂය/අපේක්ෂකයින් (ඔබට උවමනා නම් අඩුවෙන්ම නරක ලෙසද අර්ථ ගන්වන්නට හැකිය) වෙනුවෙන් පළ කිරීම ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔබේ යුතුකමක්, වගකීමක් වන්නේය. ඔබ එම අවස්ථාව පැහැර හැරියොත් මේ රජය තවත් උදම් වනු ඇත. ඔවුන් මොන දේ කළත් ජනතාව තමන් සමඟම සිටින්නේය යන අධිමානසිකත්වය ඔවුන්ට ඔබ ලබා නොදිය යුතුය. මක්නිසාදයත් රතුපස්වල වන් තවත් නොමනාකම් වලට එය රුකුල් දෙන්නක් වන හෙයිනි. ඒ නිසා රජයේ ඡන්ද ප්‍රතිශතය අඩු කර ඔවුනට රතු එළියක් දල්වා සිතන්නට යමක් ලබාදීමට සුදුසුම කාලය මෙයයි. යුද ජයග්‍රහණයේ වීරත්වයට මුවාව දශක/පරම්පරා ගණනාවක් රජකම් කිරීම මෙම රජයේ මැති ඇමැතිවරුන්ගේ පැතුමයි (මනාප පොරයේ සිටින මන්ත්‍රී දූ පුතුන්, සොහොයුරු සොහොයුරියන් සිහි කැඳවන්න). ඔබ ඊට එකඟතාවය පළකරන්නේද?

ඉතින් විපක්ෂයේ ඔබට සහය දිය හැකි ප්‍රධාන බලවේග තුනකි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එකී බලවේග තුනයි. මේ තුනෙන් විශාලතම බලවේගය වන එක්සත් ජාතික පක්ෂය පිළිබඳව මේ ලිපියේ මීළඟ කොටසින් පුළුල්ව විස්තර කර ඇත. 1964දී පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී පක්ෂයකි, ඔබ ඔවුනගේ විප්ලවකාරී අදහස් පිළිගන්නේ නම් ඔවුන්ට ඡන්දය දීමේ ඉඩහසර ඇත. නමුත් මෑතදී ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දර්ශනය කුමක්ද යන්න අපට මහත් ප්‍රශ්නාර්ථයක් ගෙනෙයි. නිසැකයෙන්ම ජාතික වීරයකු වන ජනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු එම පක්ෂයේ, මෙම මැතිවරණය මුළුල්ලේම කොපමණ දෙදරීම් ඇතිවුණිද? අපේක්ෂකයින් එළිපිටම තම පක්ෂය විවේචණය කරන, පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති පක්ෂයකට ඔබ ඡන්දය දිය යුතුද? අප තුල ජනරාල් ෆොන්සේකා කෙරේ ඇති ගෞරවය නොදන්නා අපේක්ෂකයකු පළාත් සභාවට යවා දිය කරලිය යුතුද? තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය. ඔබ රජයට විරුද්ධ නම් නියත ලෙසින්ම පරදින ස්වාධීන කණ්ඩායමකට හෝ ඡන්දය දෙන්නේ නම් එය වටින්නේය.

අප එජාපයට සහය දෙන්නේ මන්ද?

මේ ප්‍රශ්නය වසර ගණනාවක් මුළුල්ලේ බොහෝ දෙනෙක් මගෙන් අසා ඇති වාර ගණන අනන්තය. “ඔච්චර පරදින එකේ ඇයි උඹල යූඇන්පී එකට ඡන්දෙ දෙන්නේ?”. එවිට මා ලබා දෙන පිළිතුර නම් වඩාත් වැදගත් වන්නේ “කවුද හරි, කවුද වැරදි යන්න සොයනවාට වඩා මොකක්ද හරි යන්න විමසීම බවයි”. තවත් ලෙසකින් කීවොත් එය ප්‍රතිපත්ති සම්බන්ධ වූ කාරණාවකි. අලියා ලකුණින් ඡන්දය ඉල්ලා පසුව තම ඡන්දදායකයා වරදාන වරප්‍රසාද ඉදිරියේ පාවා දුන් දේශපාලකයින්ටද මෙය සිතීමට යමකි.

එසේ නම් ඇයි අප එජාපයට සහය දෙන්නේ? 1946දී එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ ශ්‍රී ලාංකික ඔබ අප සැමගේ පක්ෂයක් විලෙසිනි. ජාති, ආගම්, කුල භේදයෙන් තොර වූ එජාපය එදා මෙදා තුර රටේ අස්සක් මුල්ලක් නෑර දිවි ගෙවන සෑම ජන කොට්ඨාශයකටම සේවය කර ඇත. එජාපයේ සමාජ ප්‍රතිපත්තිය වන්නේ “සම හැකියාවනට සම අවස්ථා” යන්නය! ඇතැම් පක්ෂ මෙන් රදළයින්ට පොල්කටු හැන්දෙන් බෙදා දුගියාට කන් හැන්දෙන් බෙදනවා වෙනුවට රටේ සමස්ථ ජනතාවටම දියුණුවට සම අවස්ථා විවර කරලීම එජාප ප්‍රතිපත්තියයි.

ඇතමුන්ගේ සම්මතයට අනුව හීන කුල යැයි කියන්නකු රටේ රාජ්‍ය නායකත්වයට පත් කළ එකම පක්ෂය වීමෙන්ම එජාපය යමෙකුගේ තරාතිරම, පසුබිමට වඩා රටේ ජනතාවගේ හැකියාවන් ඔස්සේ ඔවුනට දියුණු වීමට භේදයකින් තොරව දක්වා ඇති නායකත්වය ඔප්පු වන්නේය. සිරිලකට නිදහස් අධ්‍යාපනය, මහපොළ සහ නොමිලේ නිල ඇඳුම, පෙළ පොත් හඳුන්වා දෙමින් පැල්පතේ පුංචි දරුවාටත් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, දැහැමි කෝටිපතියකු වීමේ සිහිනයට පාර කැපුවේ එජාපයයි. ගමේ දරුවාට ජාතික පාසලේ පහස අහිමි කරමින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ පාපකර්මයට සන්ධානය පිඹුරුපත් සැකසුවේය. නිදහස් සෞඛ්‍යය සේවය ලබාදෙමින් බුදුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ කියැවෙන “ආරෝග්‍යා පරමා ලාභා” යන්න ලාංකිකයන්ට යථාර්තයක් බවට පත් කිරීමට වෙහෙස වූයේ එජාපයයි. භේදයකින් තොරව සියළු ලාංකිකයන්ට සුභසාධනය සැලසීමට ඇප කැප වූයේත් එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂය තම වර්ණය වශයෙන් හරිත පැහැය තෝරාගන්නේ කෘෂිකර්මය පදනම් කරගනිමිනි. සියවස් ගණනාවක විදේශීය පාලනයේන් වල් වැදුනු රජරටට ගංගා හරවා රට සහලින් ස්වයංපෝෂණය කළේ එජාපයයි. එජාපය එදා පටන් “ධනපති” ලේබලය ඇලවීමට වාමවාදී බලවේග උත්සුක වුවත් එජාපය යනු “මහන්සිවී වැඩ කරන” මිනිසුන්ගේ පක්ෂයයි. එහි ආර්ථික මතය නම් ජනතාවට ස්වශක්තියෙන් නැගිටීමට අවකාශ සලසා ව්‍යවසායකයින් රටේ ආර්ථික කොඳු නාරටිය බවට පත් කිරීමය. එජාපය වෙර දෙන්නේ ප්‍රබල මධ්‍යම පන්තියක් නිර්මාණය කරලීමට විනා, සන්ධානය මෙන් අධිසුඛෝපභොගී සුපිරි ධනවතුන් බහුතරයකට යට වුණු මැදි සහ දුප්පත් පන්තියක් බිහි කිරීමට නොවේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සපයනු වස් සුබසාධනය කෙරේ එජාපය වැඩි අවධානයක් යොමු කරයි. මීට කදිම උදාහරණයක් නම් එජාපයේ ජනසවිය සහ ශ්‍රීලනිපයේ සමෘද්ධිය සහ දිවිනැගුමයි. ජනසවියෙන් කළේ ගමේ ජනතාව ශ්‍රමදාන සහ පොදු වැඩ ඔස්සේ ගමේම අභිවෘද්ධියට යොදවා ගෙන ඔවුන්ට එකී දායකත්වය වෙනුවෙන් ආහාර යනාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමයි. නමුත් ශ්‍රීලනිපය කරන්නේ දිළිඳුකම මැඩලීමේ මුවාවෙන් බදු මුදල් දේශපාලන සහචරයන්ට කොන්දේසි විරහිතව “පිනට” බෙදා දීමයි.

එජාපයේ ප්‍රතිපත්තිය නම් බදු මුදල් අවම වශයෙන් අය කරගෙන රටට අවශ්‍යම ආයෝජන සිදු කරලිය යුතු බවයි. නමුත් අද රජය කරන්නේ බදු බර උපරිමයෙන් ජනතාව පිට පටවා කිසිඳු ආර්ථික ප්‍රතිලාභයකින් තොර ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, තෙල් සංස්ථාව යනාදී මකර කටවලට අපේ අහිංසක ජනතාවට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය අයිතිය වෙනුවෙන් යෙදවිය යුතු මුදල් දන්දීමයි. එජාපය එදා කළ රාජාංගනය, මහවැලිය, ගල් ඔය, මහපොළ, තරුණ සේවා සභාව වැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අදටත් භුක්ති විඳී. එහෙත් මෙම රජය ලොවට ණයවී කළ මත්තල, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති වලින් අපේ භාණ්ඩාගාරයට මුදල් ගෙනැවිත් ඇත්ද?

එජාපය සර්ව සාධාරණ, සර්ව සුභවාදී පක්ෂයක් යැයි අපි කිසි ලෙසකින් නොකියමු, එහෙත් රටේ ඇති දේශපාලන දර්ශන බහුතරය අතුරින් රටට වැඩියෙන්ම ගැලැපෙන මාවත එජාපයේ මාවත බව අපගේ අවංක මතයයි.

කළගුණ සලකමු…

පළමුව සෑහෙන කාලයකින් සදාහරිතයේ ලිපියක් පළ කිරීමට නොලැබීම ගැන අපේ කණගාටුව පළ කරමින්ම මේ ලිපිය අරඹන්නට සිතුවෙමි.  2010 මහ මැතිවරණය අහවර වී දැන් මාස 5ක් ගෙවෙන්නටත් ආසන්නය, මැතිවරණ ජයග්‍රහණයේ උණුසුම පහව යන්නටත් පෙර රටේ නීතිය දැඩි ලෙස පිරිහී යෑමේ තත්ත්වයක් උද්ගත වන වාතාවරණයක් රට තුල උද්ගත වී ඇත. මේ විමසුම ඒ ගැනය.

පසුගිය කාල සීමාව පුරා රජයේ පාර්ශවයන් විසින් අමු අමුවේ නීතිය උල්ලංඝනය කෙරුණි. වරෙක ඩෙංගු මඩින්නට නව ක්‍රමයක් සොයාගත් අමාත්‍යවරයකු සමෘද්ධි නිලධාරියකු ගස් බැන්දේ පොලිස් නිලධාරීන් අභිමුවදීය. තවත් විටෙක රජයේ ඇමැතිවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට පොලිසියට තරවටු කරමින් රැඟුම් රඟද්දී රජයේ ලොකු ලොක්කන් ඊට ඉනිම්ං බඳින්නට විය. එය එසේ වුවත් ගාල්ලේ උද්ඝෝෂණයකට එල්ල වූ විරෝධතා ගැන පැමිණිල්ලක් සටහන් කරන්නට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතඩංගුවට ගන්නේ තමන්ට තරවටු කරද්දී, තමන් අභිමුව නීතිය අතට ගනිද්දී මුනිවත රැකි පොලීසියම වීම විශේෂත්වයකි. මේ තත්ත්වය බුද්ධිමත් කවරකුට නම් අනුමත කළ හැකිද??

නමුත් ඊටත් වඩා දුක එළවනසුළු කාරණය එය නොවේ. රට ත්‍රස්තවාදී උවදුරෙන් ගලවා ගැනීමට දිවි හිමියෙන් සටන් මෙහෙයවූ ඒ උදාරතර වීරයා ඔහුගේ තනතුරින් පහ කර, පදක්කම් සියල්ල ඉවත් කර විශ්‍රාම වැටුපද අත්හිටුවීමයි. එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔබ අප කාගේත් ඡන්දය යැද්දේ “කළගුණ සළකමු” යන තේමා පාඨය මූලික කරගෙනය. අද එහෙව් සන්ධානය ජාතියේ විරුවකුට “කළගුණ සළකා” තිබේ. ඒ ඔහු ආණ්ඩුවේ එහෙයියෙකු වී ආණ්ඩුව කරන සෑම සියළු දේකටම හිස සැලීම ප්‍රතික්ෂේප කළ නිසාය, ඔහු රටේ සුබවාදී විශ්වාසනීය වෙනසක් උදෙසා පෙළ ගැසුණු නිසාය. හාස්‍යයට කරුණ නම් මරුවා හමුවේ වුවද රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ සරත් ෆොන්සේකා මැතිතුමාට එලෙස දේශපාලනික ලෙස අරියාදු කරද්දී කොටි සංවිධානයේ ප්‍රමුඛ සන්නද්ධ නායකයකුව සිටි කරුණා අම්මාන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස සියළු වරදාන වරප්‍රසාද සුඛ විහරණ ලැබීමය. එලෙසම වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අභාවයෙන් ඉක්බිති තමන් කොටි නායකයායැයි හඳුන්වා දුන් කේ.පී. සිරකරුවකු ලෙස වුවද පුවත්පත් සාකච්ඡා දෙමින් සැපවත් දිවියක් ගෙවීමය. එදා “කොටි හඬ නිහඬ කළා” යැයි පම්පෝරි ගසමින් කන්ද උඩරටින් ඡන්දය ඉල්ලූ රජයේ ඇමැතිවරු අද කේ.පී.ට සුදු හුණු ගාන කටින්ම ත්‍රස්තවාදය මෙල්ල කිරීමට මහඟු මෙහෙයක් කළ සරත් ෆොන්සේකා මැතිඳුන්ට අපහාස අවලාද නගන්නේ ඔවුන්ගේ නායකත්වයම වරෙක ජෙනරාල් ෆොන්සේකා ලොව විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙසත් ඕනෑම හමුදාවක් මෙහෙයවිය හැක්කකු ලෙසත් වර්ණනා කළ බව අමතක කරලමින්ද??

2010-08-17 ලංකාදීපයේ දාස හපුවලානගේ කාටූනය

ජෙනරාල් ෆොන්සේකාට එරෙහි පළමු යුද අධිකරණයෙන් ඔප්පු කරගත් එක් චෝදනාවක් නම් ඔහු හමුදා සාමාජිකයකුව සිටියදී දේශපාලනය කළාය යන්නයි. එසේ නම් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය මුළුල්ලේ එළිපිටම රූපවාහිණිය සහ ස්වාධීන රූපවාහිණිය ඔස්සේ ආණ්ඩුවට කඩේ ගිය, ආණ්ඩුවේ බැල මෙහෙවරකම් කළ, සන්ධානයට “පබ්ලිසිටි” දුන් හමුදා නිලධාරීන් සියල්ලටම විනය පරීක්ෂණ කැඳවා දඬුවම් දිය යුතු නොවේද?? නැත, අද රටේ නීතිය දෙයාකාරය, ඔබ ආණ්ඩුවේ ප්‍රබල සහායකයකු නම් නීතිය එක විදියකටත් විරුද්ධවාදියකු නම් තවත් විදියකටත් බලපායි. අවසානාව මෙයයි. ඉදිරියේදී පැවැත්වෙන යුදාධිකරණ තමාව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසා සිරගත කොට ඔහුගේ පාර්ලිමේන්තු අසුන පවා ඉවත් කරනු ඇතැයි යන්න තමාගේ විශවාසය බව ජෙනරාල් ෆොන්සේකා ප්‍රකාශ කළ බව වාර්තා විය. එය සැබෑවක් නොවේවා යන්න අපේ පරම පිවිතුරු පැතුම වුවද, සිදු වන්නට යන්නේ එය වග දේශපාලනය ගැන උනන්දු බොහෝ දෙනෙකුට ඒත්තු ගොස් හමාරය.

සයිමන් නවගත්තේගමයන් විසින් රචිත “සුභ සහ යස” නාට්‍යයේ තැනෙක යසලාලක තිස්ස රජු මෙසේ කියයි. “සෙබලුන් යුද්ධ කරති, එහි ගෞරවය රජුන් ලබති“. ඒ කියමන සර්ව කාලීනය, එදා රට වෙනුවෙන් දිවිපිදු, අත්පා කැප කළ රණවිරුවන්, යුදවීරයන් අමතක කොට තිබේ. ඒ වෙනුවට දේශපාලන අධිකාරියක් ඒ සියළු ගෞරවය වැළැඳගෙන වැජඹෙන්නට උත්සාහ දරයි. අවාසනාවට රටේ බහුතර ජනතාව මේ අසාධාරණය දෙස නිසොල්මනේ අමානුෂික ලෙස බලා සිටී. එය එසේ වුවත් ආණ්ඩුව ජෙනරල් ෆොන්සේකාගෙන් කුමන තනාන්තරය උදුරා ගත්තද කෙලෙහිගුණය ඇති ලක්වැසියන්ට සෑමදාටම ඔහු ජාතියේ වීර සෙන්පතිඳුන් වනු ඇත.

මේ රට යන මාවත භයංකරය, ඒ ගමන වෙනස් කරන්නට දියසෙන් කුමරකු වඩින තුරු රටට අදරැති ලක්වැසි අප බලා සිටී. එසේ නොමැතිනම් ලක්මවට දෙයියන්ගේ පිහිට පැතීම හැර අන් සරණක් නොවනු ඇත. මේ ලියමන සුප්‍රකට කියමනකින් හමාර කිරීමට කැමැත්තෙමි.

“ලොකුම ඛේදවාචකය නරක මිනිසුන් නරක ක්‍රියා කිරීම නොව හොඳ මිනිසුන් නිහඬව සිටීමය”

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නිකිනි

උපහාරය…

මීට වසරකට ඉහත සිදූවීම් මට හොඳින් මතකය. එදා සඳුදාවකි. උදෑසන සවන් වැකුණු පුවත අප සැමටම මහත් ප්‍රීතියක් දනවන්නක් විය. යුද්ධය හමාර වී ඇති බැව් ඒ පුවතයි. එම පුවත් එනවිට මා මගේ මිතුරන් හා සරසවියේ සිටි අතර සතර අතින් රතිඤ්ඤා හඬ ගිගුම් දෙන්නට විය. දේශන සියල්ල නැවැත්වුණු අතර “ගොඩ” කැන්ටිමට ගිය හැමෝටම කිරිබත් හා ලුණුමිරිස් සංග්‍රහ කරන්නට විය. සතුටින් ඉපිල ගිය අප රූපවාහිණියේ රූප රාමු මහත් ඕනෑකමින් නැරඹුවෙමු. දහවල් වෙද්දී ප්‍රභාකරන්ගේ මෘතශරීරය රූපවාහිණියේ පෙන්වන්නට විය. හතුරකුගේ මිනිය දෙස බලා වුවද සතුටු වීම නුසුදුසු වුවත් ප්‍රභාකරන්ගේ නිසල දේහය දැකීමෙන් අපි සැනසීමට පත්වූයේමු. අදට ඒ දිනයට වසරක් සපිරේ. මේ ලියමන ඒ නිමිත්තෙනි.

මේ සතිය රණවිරු උපහාර සතිය නමින් රජය විසින් නම් කරනු ලැබ තිබේ. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානය කර වසරක් සපිරීම සැබැවින්ම පක්ෂ පාට, ජාති, ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලාංකික අප සැමටම මහත් සන්තෝෂයට කාරණාවකි. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වන අප එහි කෘතවේදීත්වය අපේ රණවිරුවන්ට හදබැතින් පිරිනැමිය යුතුය. එය සතියකට පමණක් සීමා විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ කෙසේ වෙතත් ජාතික වීර දිනය එළැඹෙන, සංග්‍රාමික විජයග්‍රහණයේ වර්ෂපූර්ණය සැමරෙන රණවිරු සතියේදී ඉහත කී විජයග්‍රහණයේ ප්‍රමුඛයා සිරගතව සිටීම සැබැවින්ම කණගාටුවට කරුණකි.

රණවිරු උපහාර සතිය වන මෙම සතියේදී සැබැවින්ම උපහාර ලබන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි. උපහාර උළෙලේදී සිදුවන්නේ ජනතාව රණවිරුවන්ට උපහාර දක්වනවාට වඩා රණවිරුවන් පෙළපාලියේ ගොස් දේශපාලනඥයින්ට “සැලූට්” ගසා උපහාර දැක්වීම නොවන්නේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. එය එසේ කීමෙන් දේශපාලන නායකත්වය යුද ජයග්‍රහණයට දැක්වූ දායකත්වය අවතක්සේරු කිරීමක් අදහස් නොකරමි. එහෙත් සැබැවින්ම තම දිවි පරදුවට තබා යුද කළ සෙබළුන්ට උපහාර කිරීම මීට වඩා ප්‍රායෝගිකව සිදු විය යුතුය. ඔවුන්ගේ වේතනයන් හා ඔවුන්ගේ ප්‍රතිලාභයන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන අයුරින් ශක්තිමත් කර යුතුව ඇත. ඉපලෝගම වන් අසාර්ථක නිවාස ව්‍යාපෘතියකට වඩා ප්‍රායෝගික ලෙස ඔවුන්ගේ නිවාස, ඉඩකඩම් සහ වෙනත් ප්‍රශ්න විසඳිය යුතුව ඇත. රට වෙනුවෙන් දිවිපිදූ රණැවිරුවන්ගේ මාපියන්ට, දරුදැරියන්ට, බිරින්දෑවරුන්ට හිමිවන මරණ පාරිතෝෂිකය ආදීන් ඉහළ දැමිය යුතුය. එවන් පවුල්වල අනාගත සුබසිද්ධිය සැලසිය යුතුය.

ජෙනරල් ෆොන්සේකා

කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යුද ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ විජයග්‍රහණයේ වර්ෂපූර්ණය නිමිත්තෙන් නිදහස් කර ඔහුට ලබාදිය යුතු කෘතවේදීත්වය ලබාදෙනු ඇතැයි අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමු. මක්නිසාදයත් යුද්ධයේ නියමුවා සිරගතව සිටියදී යුද ජය සැමරීම ලැජ්ජාවට කාරණාවක් නිසා. මාධ්‍ය දිනය නිමිත්තෙන් තිස්සනායගම් මහතා නිදහස් කළා සේ රණවිරු සතිය නිමිත්තෙන් සරත් ෆොන්සේකා සෙන්පතිඳුන් නිදහස් කරන ලෙස අපි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු, එය මහින්ද රාජපක්ෂ මහතාටත්, රජයටත් රණවිරුවන්ට කළ හැකි උතුම්ම උපහාරයයි…!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ

ජාතික ලැයිස්තුවේ පලහිලව්ව…

මහ මැතිවරණය හමාරය, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 29 ඒ ඒ පක්ෂය ලබාගත් මුළු ඡන්ද ගොන්නට සමානුපාතිකව බෙදා වෙන්කර හමාරය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 17කුත්, එක්සත් ජාතික පක්ෂයට ආසන 9කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 2කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 1කුත් බැගින් බෙදී වෙන්වී හමාරය.

එහෙත් ඒ ඒ පක්ෂයන් තුල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරුණු ආකාරය පිළිබඳව සන්ධානගතව තරඟ කළ කුඩා දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී පවතී. මේ විරෝධය පිළිගත හැකිද? ඊට සාධාරණ පදනම්ක් පවතින්නේද? සන්ධානයත් එජාපයත් සුළු පක්ෂවලට අවම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගණනක් ලබාදීමට ගනු ලැබූ තීරණය අනුමත කළ හැකිද?

මගේ තර්කයට අනුව පිළිතුර අනුමත කළ හැකිය යන්නයි. මෙවර මහ ඡන්දයේ වලංගු ඡන්ද ප්‍රමාණය 8,033,693කි. ඒ අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට හිමිකම් කීමට දළ වශයෙන් ඡන්ද 277,024ක් පමණ ලබා ගත යුතුය. මස් රාත්තලම ඉල්ලන සුළු පක්ෂ ඡන්ද 277,024ක් සන්ධානයට හා යූඇන්පියට දිනා දී ඇතිද යන්න සැක සහිතය. කුසලානය 440,483ක් හා ද්‍රවිඩ ජාතික සන්ධානය 233,190ක් ලබා ගැනීමෙන් අදාල සැක සහිත ප්‍රශ්නයට දළ අදහසක් අපට සොයා ගන්නට පුළුවන.

එජාපයේ අලියා සලකුණ යටතේ තරඟ කළ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පී. දිගම්බරම්ගේ ජාතික කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය මෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු මන්ත්‍රීවරුන්ද ජාතික ලැයිස්තුවේ පංගු පේරු ඉල්ලුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හැර වෙනත් කිසිඳු පක්ෂයකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරිනමා නොමැත. එය සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා ගත්තේ එක් අපේක්ෂකයකු පමණි, සෑම දිස්ත්‍රික්කයකම ඔවුන්ගේ වැඩිම මනාපලාභී අපේක්ෂකයාගේ මනාප ගණන එකතු කිරීමෙන් යන්තම් 100,000 පන්නනවා විනා 277,000ට ලං විය නොහැක. නුවර එළිය දිස්ත්‍රික්කයේ වතුකම්කරු ඡන්දදායකයා ලංකා කම්කරු කොංග්‍රසයෙන් මුදවා ගන්නට අසමත් වූ මනාප 39,000ක් දිනා ගත් දිගම්බරම්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් ඉල්ලීම අසාධාරණය. ශ්‍රිලනිප ‘ම’ පාර්ශවයද එලෙසමය, ඔවුන්ගෙන්ද එජාපයේ ඡන්ද ගොන්නට 277,000ක් එකතු වූවා යැයි මංගල සමරවීර මහතාවත් තර්ක නොකරනු ඇත. අනික එජාප ඡන්දදායකයින්ද එම සෙසු පක්ෂවල අපේක්ෂකයින්ට මනාප දී ඇති බව වගකීමෙන් මට ලිවිය හැක්කේ එවැන්නන් කිහිප දෙනෙකුම මා හොඳින් හඳුනන බැවිනි.

මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට සැලකිය යුතු දායකත්වයක් හිමිවූ බව නිසැකය. මනාප ලැයිස්තු හරහා ආසන 6ක් දිනා ගැනීමෙන් එය මනාව පිළිබිඹු වෙයි. අනෙක් අතට නැගෙනහිර හා වන්නියේ එජාප ඡන්දවලින් බහුතරයක්ම එජාපයට ගෙනැත් දුන්නේ මුස්ලිම් කොංග්‍රසය බවද රහසක් නොවන්නේය. මුස්ලිම් කොංග්‍රසයට අනිවාර්යයෙන්ම ජාතික් ලැයිස්තුවෙන් ආසනයක් හිමිවිය යුතුය. නමුත් පවතින වාතාවරණය තුල නැගෙනහිරින් හා වන්නියෙන් මුස්ලිම් කොංග්‍රසය එජාපයට දිනා දුන් ඡන්ද ගොන්න නොවන්නට එජාපයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන්නේ ආසන 8ක් පමණි. තවත් ඡන්ද 4,000ක් එහා මෙහා වුණි නම් එජාපයේ ජාතික ලැයිස්තු නියෝජනය 8ට අඩු වී සන්ධානයේ නියෝජනය 18 දක්වා වැඩි වන්නට තිබුණි. එනිසා එජාපය ජාතික ලැයිස්තුව තෝර ඇති පිළිවෙළ හොඳය. එජාප සාමාජිකයන් 7කුත් මුස්ලිම් කොංග්‍රසයෙන් 2කුත් පත් කිරීම එකඟ විය හැකි තත්වයකි.

සන්ධානයේද ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂයට එක ආසනය බැගින් ජාතික ලැයිස්තුවෙන් ලබා දී ඇති අතර එහිද සාධාරණත්වයක් පෙනේ. සිදුව ඇත්තේ පදනම් විරහිත ලෙස සුළු පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකෙහි ඡන්දවලින් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ගන්නට උත්සහ දැරීමය. මෙය කණගාටුවට කරුණකි. 2004දී සිදු වූයේ මෙයයි. එජාපය ජාතික ලැයිස්තුවෙන් ආසන 11ක් දිනුවද ඉන් 7ක්ම හවුල්කාර පක්ෂවලට බිල්ලට දීමට සිදු වූයේ මේ බලපෑම් නිසාය. අද එය එසේ සිදු නොවීම සාධාරණත්වය අගයන කාගේත් සතුටට හේතුවකි.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු
තිස්ස අත්තනායක
ජෝශප් මයිකල් පෙරේරා
එරාන් වික්‍රමරත්න
ආචාර්ය හර්ෂ ද සිල්වා
අනෝමා ගමගේ
ආර්. යෝගරාජන්
ඩී.එම්. ස්වාමිනාදන්
එම්.ටී. හසන් අලී (මුස්ලිම් කොංග්‍රස්)
ඒ.එස්.එම්. අස්ලම් (මුස්ලිම් කොංග්‍රස්)

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

මනාපයේ අමනාපය

හෙට (20) නාවලපිටියේ 51,000ක පමණ පිරිසකුත් කුඹුරුපිටියේ 1,000ක පමණක පිරිසකුත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 2010 මහ මැතිවරණය සමාප්ත වනු ඇත. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුවට රටේ මහජනතාව වන ඔබ අප සැම තේරූ මන්ත්‍රීවරුන් 225දෙනා කවුරුන්දැයි 21දා වන විට අප නිත්‍ය වශයෙන් හඳුනාගනු ඇත. මේ මැතිවරණය කාගේත් කතාබහට ලක්වූ මනාප ක්‍රමය යටතේ පැවැති අතර මනාප යුද්ධයේ පෙරටුගාමීන් පවා කීවේ මනාප ක්‍රමය අනුව පවත්වන අවසාන මහ මැතිවරණය මෙය වනු ඇති බවයි. එය එසේ වනු ඇත්ද? එය එසේ වී නම් එය හොඳද??

ආචාර්ය සරත් අමුණුගම

මාගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් මනාප ක්‍රමය හොඳය එහෙත් වැරැද්ද අපි එය භාවිතා කරන විදියත් දේශපාලනඥයන් හැසිරෙන විදියත්ය. කෙටියෙන් කිවහොත් මෙය පුද්ගලයින්ගේ වරදක් මිස ක්‍රමයේ වරදක් නොවන බව මගේ මතයයි. එය එසේ වන්නේ කොහොමද? ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. නාවලපිටියේ පලහිලව්ව ගන්න, මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා කිසිත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවූ බව කියද්දී සරත් අමුණුගම, එස්.බී. දිසානායක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් කියන්නේ වෙනත් කතාවකි. තත්ත්වය කොතෙක් බරපතලද යන වග ලක්ෂ 500ක් ඉල්ලා අලුත්ගමගේ ඇමැතිතුමා අමුණුගම ඇමැතිතුමාට එන්තරවාසියක් යැවීමෙන්ම පිළිබිඹු වේ. මනාප ක්‍රමය පසෙකලා ආසන ක්‍රමයකට ගියහොත් මේ අය අතර තනතුරු තානාන්තර හෝ ප්‍රතිපත්ති උදෙසා ගැටුම් අවම වනු ඇතැයි කාට නම් සහතික විය හැකිද? අනෙක් අතට ආසනවල පක්ෂ සංවිධායකයන් වන්නට පක්ෂ තුල ඇතිවන්නාවු ප්‍රශ්න සමනය වනු ඇත්ද? 1977 තෙක් මැතිවරණවලදී පක්ෂයකින් නොමිනේෂන් නොලැබුණු විට ඒ අපේක්ෂකයින් මෙවර බදුල්ලේ එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර මහතා බදුල්ලෙන් කලාක් මෙන් ස්වාධීනව තරඟ කිරීම හරහා ඒ මත ගැටුම් එලෙසම පවතී. බොහෝ දෙනෙක් කෝකටත් තෛලය මෙන් මතුරන්නේ ඡන්ද ක්‍රමයත් ව්‍යවස්ථාවත් වෙනස් කළොතින් රටම සුර පුරයක් වනු ඇති බවයි. එය කෙතරම් හාස්‍යජනක ප්‍රකාශයක්ද?

අනෙක් අතට පසුගියදා හලාවතදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර අමානුෂික ලෙස පහරදීමද ක්‍රමයේ වැරැද්දක් කියා අපට ලඝු කර පැත්තකට වෙන්නට බැරිය. දේශපාලනයේ අද වනවිට නුසුදුස්සන් සිටීමේ වගකීම සින්නක්කර පිටින්ම අප පවරනුයේ මැතිවරණ ක්‍රමයටය. මේක වැරදිය. මෙහි වැරැද්ද භාරගන්නට උවමනා වන්නේ රටේ මහජනතාව වන අපමය. රටේ බොහෝ දෙනෙක් මනාප දෙන්නේ රැල්ලටය, පෝස්ටරයටය, කටවුට්වලටය, නොමිලේ බෙදන ඇස්කණ්ණාඩියටය, නැතිව දක්ෂයින් සහ දර්ශනයකින් හෙබි නායකයින්ට නොවේ. මිනිසුන් සාධාරණ හා අසාධාරණ මාර්ගවලින් මුදල් උපයන සල්ලිකාරයන්ට මනාප දෙමින් මේ ක්‍රමයෙන් වාසි සල්ලිකාරයන්ටැයි මැසිවිලි නැගීම විහිළුවකි.

පාලිත රංගේ බණ්ඩාර

අතිගරු ජනාධිපතිතුමා සන්ධාන පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ පිරිසිදු දක්ෂයන් පිරිසක් තමන්ට රට හදන්නට තෝරා දෙන්න කියාය. එම ප්‍රකාශයෙන්ම පිළිබිඹු වන්නේ මනාප ක්‍රමයේ වටිනාකම නොවේද? හිටපු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් දැනටමත් පරාජයට පත්වී ඇත්තේ මේ මනාප ක්‍රමය නිසාය. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ගේ කැමැත්තටය. උදාහරණයක් ලෙස රෝහිත බෝගොල්ලාගම අමාත්‍යතුමන් රට වෙනුවෙන් ලොවම දිනුවද කොළඹ පැරදිණි, පක්ෂ මාරු කළද ශීලාචාර දේශපාලනය ගැන කතාබහ කළ මිලින්ද මොරගොඩ මහතාටද අත්වූයේ එම ඉරණමමය. පහුවුණු සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ අන්දමට ආචාර්ය සරත් අමුණුගම මහතාද එම තත්ත්වයට මුහුණ දීමේ අවදානමින් පසුවෙයි. කවුරු කොහොම කීවත් මේවා ජනතාවගේ තීරණය. ජාතික ලැයිස්තුව දෙස බලන්න, ඉන් පාර්ලිමේන්තු එන පිරිස තේරීම කෙතරම් නම් උභතෝකෝටිකයක් වී ඇතිද, ඉන් බොහෝ විට පාර්ලිමේන්තු එන්නේ අදාල පක්ෂයේ නායකත්වයේ හෙංචයියන්ය, ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයන් ගැන තීරණ ගන්නට ජනතාවට බැරිය. උදාහරණයක් ලෙස එජාපයේ ජාතික ලැයිස්තු අපේක්ෂක රුක්මන් සේනානායක වැන්නවුන් තම දිස්ත්‍රික්කවලින් තරඟ කළෙහි නම් තත්ත්වය වෙනස් වන්නට පවා ඉඩ තිබුණි. එසේ නම් මනාප ක්‍රමය ඉවත් කිරීමෙන් සිදුවන්නේ ඒ ඒ පක්ෂයේ නායකත්වයන්ට ජනතා ඡන්දවලින් පාර්ලිමේන්තු යන්නේ කවරෙක්දැයි තේරීමේ මහඟු අවස්ථාව ලියා දීමය. ඉන් අද සිදුවී ඇතුවාක් මෙන් තුරුණු නියෝජනය දිරිගැන්වීම සිදු නොවනු ඇත. අපට උවමනා වන්නේ මෙයද??

පසුගියදා පැවැති ජනහඬ සංවාදයකදී බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මැරයන් සහ තක්කඩින් මැතිසබයට ජනතාව තෝරා ගැනීම ගැන තමන් කණගාටු වන බවයි. මෙම ප්‍රකාශයේ යටි අර්ථය වන්නේ පක්ෂ ලැයිස්තු සකසන විට ඒවා පිරිසිදුව හදන්නට උවමනා කොන්ද පක්ෂ නායකයින්ට නොමැති බවයි. ලැයිස්තුවලට මැරයින් එක්කාසු කර හොඳ කණ්ඩායමක් තෝරා දෙන්නැයි ඉල්ලන්නේ එනිසා විය යුතුය. එසේ නම් මහජන නියෝජිතයින් තෝරා ගැනීම පක්ෂ නායකයින්ට සින්නක්කර පැවරීම නුසුදුසුය. මක්නිසාදයත් මෙවැනි පාර්ලිමේන්තුවක්වත් ඉන් අපට නොලැබෙනු ඇත. අනෙක් අතට පැරණි කේවල ක්‍රමයේ දුර්වලතා අපි කලියෙන් ලිපියක ඔබට ගෙන හැර පෑවෙමු.

මොකක්ද එතකොට කෙරෙන්න ඕනෙ?? ඔබ එසේ අසනු ඇත. ඊට පිළිතුර ලෙස මා දකින්නේ අපි පළමුව මෙය ක්‍රමයේ වරදකට වඩා පුද්ගලයින්ගේ වරදක් බව තේරුම් ගත යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වේවා එක්සත් ජාතික පක්ෂය වේවා ඔවුන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල ඇතැම් අපේක්ෂකයින්ගේ අඩුපාඩු බොහෝය. කේවල ක්‍රමයක් තිබුණි නම් කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුට සුසිල් ප්‍රේමජයන්තට හෝ ඒ.එච්.එම්. ෆවුසිට ඡන්දය දෙන්නට බැරිය ඔහුට කළ හැකි එකම තේරීම බෝගොල්ලාගමය, තමන් කැමති හෝ අකමැති වෙන විකල්පයක් නැත. ඒ අනුව පැහැදිලි වන්නේ රාමුවෙන් නිමග්නව රට ගැන සිතා සුදුස්සන්ට (හෝ සාපෙක්ෂව සුදුස්සන්ට) මනාප භාවිතා කිරීමෙන් ඔබේ සැබෑ නියෝජනය උත්තරීතර සභාවේ තහවුරු කළ හැකිය යන්නයි. එහෙත් එජනිසය සතු බහුතරයත් සමඟ ආයේ කවරදාකවත් අපට අපි මනාප මන්ත්‍රීවරයකු පත් කරන්නට වරම් ලැබෙනු ඇත්ද යන්න සැක සහිතය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

සුබ අලුත් අවුරුද්දක්..!!??

බොහෝ දෙනෙක් කියනුයේ අද දශක ගණනාවකට පසු “එකම රටක් තුල එකට අවුරුද්දක් සමරන සුවිශේෂී අවස්ථාවක්” බවයි. එහෙත් එසේ කයිවාරු ගසන උදවියට අමතක වූ දෙයක් ඇත. එනම් එම තත්ත්වය ලක්වැසි දනන්ට උදා කළ අභීත සෙන්පතියා වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගතව ඇති බවයි.  ඒ සිරගත කිරීමට විරුද්ධව උපවාස කරන සංඝයා වහන්සේලා පවා කුදලාගෙන යන තත්ත්වයක් අද උද්ගතව ඇත. මේ තත්ත්වය ඛේදයක් නොවෙතැයි කාට නම් කිව හැකිද?? අපි අපි ගැනම ලැජ්ජා වනවා හැර කුමක් කරම්ද?

රියර් අද්මිරාල් සරත් වීරසේකර

පහුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයින් යුද්ධය සිල්ලරට වෙන්දේසි කළහ. එකෙකු ජනාධිපතිතුමා යුද ජයග්‍රහණයේ පණිවුඩය ආ දුරකථන ඇමැතුම පළමුව දුන්නේ තමුන්ට නිසා තමුන්ව දිනවන්න යැයි කිසිඳු හිරිකිතයකින් තොරව හඬ ලෑවේය. එහෙත් ඒ දුරකථනයේ ආ පණිවුඩය දෙන්නට තෙවරක් මරණීය තුවාල ලබමින් වීර හමුදාවෝ මෙහෙයවූ සෙන්පතිඳුන් සිරගෙදරය, ඔහු ද්‍රෝහියෙකි. ඒක හොඳය, යුද්ධය දිනූ බව හමුදාව කී විට රිසීවරයෙන් අසා සිටි කෙනා වීරයෙකි දේශප්‍රේමියෙකි. බුද්ධිමත් කාට නම් මේවා අනුමත කළ හැකිද? තවත් උදවිය කොටි හඬ නිහඬ කළේ තමන් යැයි වහසි බස් තෙපලති, නමුත් මේ සැමටම යුදබිමේ ජනරාල් ෆොන්සේකා කළ අමරණීය කාර්යභාරය අමතකව ඇත. ඒ තබා තමන්ගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කරමින් එහි වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා ගැනවත් එම පක්ෂයේ උදවිය කත නොකිරීම කණගාටුවට කරුණකි. ඒ තබා රටේ ජනතාව පමණක් නොව සන්ධාන පාක්ෂිකයන් ඇතැමෙක් ඔහු තරඟ කළ බව පවා නොදැනීමෙන් පිළිබිඹු වන්නේ අද දවස වන විට රටට යුද ජයග්‍රහණය ගෙන දුන් වීර සෙන්පතියන්ට අත් වී ඇති දුක්ඛදායක ඉරණමයි. අද අවාසනාවන්ත සත්‍යය වී ඇත්තේ ඔබ ආණ්ඩුව කියන ඕනෑම දේකට හුරේ දමන එහෙයියෙක් නම් ඔබ දේශප්‍රේමියකු වීමත් ඔබ ආණ්ඩුවේ වැරැදිවලට විරුද්ධව හඬ නගන්නකු නම් ඔබ දේශද්‍රෝහී පාපතරයකු වීමත්ය. එහිද දුක්ඛදායකම පුවත නම් යුද ජයග්‍රහණයට කැපවීම් කළ සන්ධානයේම රියර් අද්මිරාල් සරත් වීරසේකර වැනි විරුවන්ට වඩා කටින් බතල හිටවූ කට මැත දොඩවන වාචාලයින් දේශප්‍රේමීන් ලෙස ඉස්මතු වීම හා ඉස්මතු කිරීමය.

මේ අතර සමහරෙක් ජනරාල් ෆොන්සේකාගේ අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරති, විවිධාකාරයෙන් එතුමාට අපහාස උපහාස කරති. ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ කරුණා, පිල්ලෙයාන් වැන්නවුන් සුඛෝපභෝගී දිවි ගෙවද්දී සරත් ෆොන්සේකා හිරබත් කෑම අනුමත කළ හැකිද යන්නයි. සරත් ෆොන්සේකාට දූෂණ චෝදනා එල්ල වී ඇති බව සත්‍යය නමුත් ඔයට වඩා දූෂණ චෝදනා ඇත්තවුන් ආණ්ඩුවේ ලොකු නිලතලවල නැතිද?? ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? මේ සිරගත කිරීම දේශපාලනික සිරගත කිරීමක් නොවන්නේද??

ජනරාල් සරත් ෆොන්සේකා

අද අපි එකම රටක එකම අවුරුද්ද යැයි කියමින් බොහොම උජාරුවට කිරිබත්, කැවුම්, කොකිස් කා අවුරුදු කෑවද බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇතිවීමට හේතුකාරක වූ මූලබීජයන්ට පිළිතුරු සපයා නොමැති. යුද්ධ කරන විට ආණ්ඩුව කීවේ ආයුධ බිම තබන තුරු සාකච්ඡා නොකරන බවයි. දැන් ත්‍රස්තවාදීන් විනාශය, නිරායුධ ද්‍රවිඩ ජනතාව හා සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළුවලට පිළියම් යොදා තිරසාර සාමයක් උදකර ගත යුතුය. නැතිනම් නිවුණු ගිනිදැල් යළි දැල්වෙන්නට ඉඩකඩක් ඇත. එහෙත් ආණ්ඩුවට දමිළ ජනතාවගේ එහෙව් ප්‍රශ්න විසඳනු වස් කිසිත් උවමනාවක් ඇති බවක් නොපෙනේ, මක්නිසාදයත් යුද්ධය ජයගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ඒ ගැන පුංචි හෝ සඳහනක් නොකෙරෙන්නේ එනිසාය. අනෙක් අතට 2010 වර්ෂය උදා වන විට අපේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා සුබ පැතූ දේශීයත්වය හා හෙළ සංස්කෘතිය දිවි දෙවැනි කොට සුරකින අපේ ජනාධිපතිතුමා අපේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අපට කෙටි පණිවුඩයක් නොඑව්වේ මන්දැයි මට ප්‍රෙහේළිකාවකි.

මේ කියුම් කෙරුම් මැද්දේ අපි අපේ ලක්දෙරණටත් එහි වැසියෝ වන ඔබ අපි සැමටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

මහ ඡන්දයෙන් ඉක්බිති…

2010 මහමැතිවරණයේ මැතිවරණ කොට්ඨාශ දෙකක (නාවලපිටිය සහ ත්‍රිකුණාමලය) හැර සෙසු ප්‍රතිපල ප්‍රකාශයට පත්වී හමාරය. මහනුවර දිස්ත්‍රික්කයෙන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තු යන මන්ත්‍රීවරුන් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අප තවමත් නොදනිතත් මහ මැතිවරණයේ දිනූ සහ පැරදුනු සෙසු අපේක්ෂකයින් අප දනිමු. 20දා නාවලපිටිය හා ත්‍රිකුණාමලය ඡන්ද විමසීමෙන් පසුව එජනිසයට ආසන 143ත් 145ත් අතර ගණනකුත්, එජාපයට ආසන 59ක් හෝ 60කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 14ක් හෝ 15කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 7කුත් හිමි වනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකිය යුතු බහුතර බලයක් අත්පත් කරගෙන ඇති අතර අප ඔවුන්ට ඒ වෙනුවෙන් සුබ පතමු. මේ ජනවරමින් තම පුද්ගලික න්‍යායපත්‍රයන් මුදුන් පමුණුවා ගැනීම පසෙක තබා අප මාතෲභූමිය සැබැවින්ම ආසියාවේ ආශ්චර්ය කරන්නේ නම් පක්ෂ විපක්ෂ අප සැමට සතුටු වන්නට පුළුවන.

එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස පරාජය පිළිගන්නා අතරම පරාජයෙන් උගෙන ගත යුතු දෑ උගත යුතුය. මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යන්නේ එජාපයේ පණිවුඩය ගමට ගොස් නැති බවයි. සිංහල බෞද්ධ බහුතරය එක්සත් ජාතික පක්ෂයෙන් තරමක් ඈත්වී ඇති ස්වරූපය පැහැදිලි ලෙසම පෙනී යයි. මේ තත්ත්වය වෙනස් වන්නට නම් පක්ෂයේ ක්‍රියාශීලීන් වඩාත් වැඩියෙන් ගමට යා යුතුය, එපමණක් නොව පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්තීන්ද ජනතාව හා බෙදා හදා ගත යුතුය. අද සිදුව ඇත්තේ බොහෝ දෙනෙක් එජාපයේ ප්‍රතිපත්තීන් නොදැන සිටීමයි. පක්ෂයට ගරහන විරුද්ධවාදීන් තබා ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්වත් එජාපයේ ප්‍රතිපත්ති  හරිහැටි නොදැනීම කණගාටුවට කරුණකි. මේ තත්ත්වය අකා මකා ගෙන මීළඟ මැතිවරණ සඳහා එජාපය ප්‍රතිසංවිධානය විය යුතුය යන්න සදාහරිතයේ අපේ හැඟීමයි. ඒ පිළිබඳව අපේ අදහස් උදහස් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය - සජිත් ප්‍රේමදාස

සෑම කළු වළාකුළකම රිදී රේඛාවක් ඇතැයි යන ප්‍රකාශය ඔබ කවුරුත් පාහේ අසා ඇතුවාට සැක නැත. මෙවර මැතිවරණ පරාජය සමානුපාතික ඡන්ද ඉතිහාසයේ දැවැන්තම පරාජය වුවත් එජාපයට සතුටු වන්නට එක් හේතුවක් ඇත. මෙවර එජාපයෙන් පාර්ලිමේන්තු වරම් දිනා ඇති බොහෝමයක් නවකයින්ය. දැනට ආසන 46කට තේරී පත්වන නම් අප දනිමු. ඒ අතුරින් 21ක්ම පාර්ලිමේන්තුවට නවකයින්ය. මහනුවරින්ද නවක එජාප මුහුණක්වත් පාර්ලිමේන්තු එනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. ජාතික ලැයිස්තුවෙන්ද එරාන් වික්‍රමරත්න හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන දෙපල පමණක් හෝ පාර්ලිමේන්තු එතැයි අපට අපේක්ෂා කළ හැකිය. ඒ අනුව එජාපයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 45%ක් 50%ක්ම නවකයින්ය. ඉන් සැලකිය යුතු පිරිසක් අවුරුදු 30ත් 40ත් අතර තම දිවියේ සිව්වන දශකය ගෙවන්නෝය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නවක මුහුණු බහුතරයක් දේශපාලන පෙළපත්වල උරුමක්කාරයන් වෙත්දී එජාපයේ නවක මුහුණු රැසක්ම අලුත් දේශපාලන රටාවක නිර්මාපකයන් වීම විශේෂ කරුණකි. 1989දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙවැනිම අන්ත පරාජයක් අත්විඳි අතර එහිදී ඔවුන් දිනා ගනු ලැබූ ආසන 65න් සැලකිය යුතු පිරිසක් තරුණ නවකයින්ට හිමිවිය. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, චමල් රාජපක්ෂ, මංගල සමරවීර, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න වැන්නවුන් කරලියට ආවේ 1989 මැතිවරණයෙනි. එනිසා මෙවර එජාපය ලද තරුණ පිරිස පාක්ෂිකයින් විසින් ගනු ලැබූ අනාගත ආයෝජනයක් ලෙස සලකමි.

ඒ නවකයින් ගොන්නට මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතය හිමිකරගත් දකුණු පළාත් විපක්ෂ නායක බුද්ධික පතිරණ, බදුල්ලේ වැඩිම මනාප දිනාගත් ඌව පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ගාල්ලේ දකුණු පළාත් සභා මන්ත්‍රී මනූෂ නානායක්කාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ, කළුතර සිරගෙදර සිරබත් කන පාලිත තෙවරප්පෙරුම හා අපේ සහෘද සිංහල බ්ලොග්කරුවකු වන අජිත් පී. පෙරේරා, කුරුණෑගල හිටපු නියෝජ්‍ය නගරාධිපති අශෝක් රන්ජන් අබේසිංහ හා නිල්වලා සමූහ ව්‍යාපාරයේ අධිපති නිල්වලා විජේසිංහ, ගම්පහින් රුවන් විජේවර්ධන, සබරගමු විපක්ෂනායක රන්ජන් රාමනායක, මධ්‍යම පළාත් විපක්ෂනායක වසන්ත අළුවිහාරේ, පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆෙස්ටස් පෙරේරා මැතිඳුන්ගේත් ලැරින් පෙරේරා මැතිණියගේත් පුතු වන නිරෝෂන් පෙරේරා, මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා, කල්මුණේ නගරාධිපති මොහොමඩ් හාරිස්, දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතාගේ බිරිඳ වන විජයකලා මහේෂ්වරන් මැතිණිය හා ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි අපට පෙන්වා දිය හැකිය. මොවුන් ඇතුළු තේරී පත්වූ සියළු එජාප මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක් අපි ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙමු.

බොහෝ දිස්ත්‍රික්කවල එජාප අපේක්ෂකයින් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතයද දිනා ගත්තේය. ඒ අතුරින් හම්බන්තොට රාජපක්ෂවරු ත්‍රිත්වයකට එදිරිව එජාපය මෙහෙයවූ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිට පිට සිව්වන වතාවටත් වාර්තාගත 89.69%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතලාභියා බවට පත්විය. කොළඹ දිසාවේ වැඩිම මනාප ප්‍රතිශතයට රනිල් වික්‍රමසිංහ මහතා උරුමකම් කියද්දී, ගාල්ලෙන් ගයන්ත කරුණාතිලක, මාතරින් බුද්ධික පතිරණ, කුරුණෑගලින් දයාසිරි ජයසේකර, පුත්තලමින් පාලිත රංගේ බණ්ඩාර, මාතලෙන් වසන්ත අළුවිහාරේ, රත්නපුරයෙන් තලතා අතුකෝරාළ, දිගාමඩුල්ලෙන් මොහොමඩ් හාරිස්, මඩකළපුවෙන් බෂීර් සේගු ඩාවුඩ් හා වන්නියෙන් නූර්ඩීන් මෂූර් යන මන්ත්‍රීවරුන් ස්වකේය දිස්ත්‍රික්කයන්හී වැඩිම මනාප ප්‍රතිශත ලාභියා බවට පත්ව ඇත. ඇතැමුන් මනාප ක්‍රමයට දෙස්දෙවොල් තැබුවද ජනතා විශ්වාසය උරගා බලන හොඳ මිනුම් දණ්ඩක් ලෙස මනාප ක්‍රමය උපුටා දැක්විය හැකිය (ජනතාව පරිණත දේශපාලන බුද්ධියකින් මනාප භාවිතා කරන්නේ නම්). මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල සහ එහි දිනුම් පැරදුම් ගැන අප පසුව දිනෙකදී කතා කරමු. නමුත් මෙම ලිපියේ මා වෙසෙසින්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉහත කී ජනප්‍රිය චරිත වලට එජාපය තුල ඔවුන්ට ලැබිය යුතු නිසි තැන ලබාදීම අනිවාර්යය වන බවයි.

කෙසේ වෙතත් තව වසර හයකට රටේ පාලන බලය භාරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුබ පතනමුත් ඔවුන් මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ආ සමාජ සහ ආර්ථික ප්‍රතිපත්තීන්වලට අපට එකඟ විය නොහැකිය. එබැවින් ඉදිරියටත් ඔවුන් එම මාවතේම ගමන් ගන්නේ නම් නිත්‍ය ලෙසින්ම රට වෙනුවෙන් එම මග වෙනස් කරන්නට එජාපය සැදී පැහැදී සිටිය යුතුමය.

සදාහරිත පාඨක ඔබ සැමට සාමය සතුට රජයන වාසනාවන්ත, සෞභාග්‍යමත් සුබම සුබ සිංහල හා හින්දු නව වසරක් වේවා…!!! 🙂

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

සමාජවාදය, බෞද්ධාගම සහ අප්‍රේල් 8

ශ්‍රී ලංකාව සංවේදී මිනිසුන්ගේ දිවයිනකි. නමුත් විටෙක මෙම සංවේදීත්වය දෝරෙ ගලා රටට අහේනිය කැඳවයි. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ කියන අන්දමට ලංකාව සංවර්ධන මාවතේ පසුබැසීමට එක හේතුවක් වන්නේ අප අපේ සංවේදී හැඟීම සංවර්ධනයට බාධාවක් කර ගැනීමයි. ජාතිය, ආගම යනාදිය අවුස්සා ඡන්ද දිනන හැටි වාසි ලබන හැටි අපේ දේශපාලනඥයන් මනාව දනිති.

අද මහ මැතිවරණයත් සමඟ මෙවැන් දිගහැරුම් කිහිපයක් අපට දැකගත හැකිව තිබේ. සමාජවාදය කරපින්නා ගෙන දේශපාලනයට පිවිසි එකකු අද හන්දියක් හන්දියක් පාසා කටවුට් ගසමින් තාප්පයක් තාප්පයක් පාසා පෝස්ටර අලවමින් මෝටර් රථවල ස්ටිකර් අලවා ඒවා ප්‍රචාරණය සඳහා යොදා ගනිමින් ක්‍රියා කරන්නේ සමාජවාදියකුට ඔබින අයුරින්දැයි ප්‍රශ්නයක් බොහෝ දෙනෙකුට නැගී ඇත. කෝටි ගණනක වියදමින් මාළිගා තනන්නේ යැයි චෝදනාවක් එල්ල වී ඇති මොහු විමල් වීරවංශ මහතාය. සමාජවාදය ගැන නිතර දෙවේලේ කතා කරන මනාප පොරය හෙළා දකින් මව්බිමේ පංචායුධය නමින් කිරුළු පලන් එතුමාට මේ තරම් වියදම් කරන්නට මුදල් කොහින් ලැබුණිදැයි අපි නොඅසමු. නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුල බස් නැවතුමක් තබා පොදු වැසිකිළියක්වත් හදන්නට පියවරක් ගෙන නැති ඒ මහතා තම ග්‍රන්ථ රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමැතිව හිඳිනා අවධියේදී තැනුණු ජාතික තරුණ සේවා සභාවේදී එළිදැක්වීම කෙතරම් නම් හාස්‍යයට කරුණක්ද?? එදා ජවිපෙ සන්ධානයෙන් තරඟ කරද්දී පුවත්පත් පිටුවක් පුරා ඒ ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නොම්මර අප දුටු බව ඔබට මතක ඇති. නමුත් අද විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ඔහු හැරුණු කල්හී කිසිඳු අපේක්ෂකයකුට අඩුම තරමේ පුවත්පත් දැන්වීමක්වත් නොවැටෙන්නේ ඔහු සැබෑ සමාජවාදියකු ලෙස සාමුහික චින්තනයක සිටින නිසාද, නැත්නම් ආත්මාර්ථකාමී චින්තනයක සිටින නිසාද යන්න ජනතාව විසින්ම තීරණය කළ යුතුය. සමාජවාදී සළුපිළි පොරවාගෙන ධනවාදී දේශපාලනය කරන දේශපාලනඥයන් මෙරටට නවුම් අත්දැකීමක් නොවේ. සමාජවාදී දේශපාලනය ගැන උදම් අනමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල අධ්‍යාපනය ලද, ඒ රටවලට තම දූදරුවන් අධ්‍යාපනයට යැවූ වමේ දේශපාලනඥයන් අපේ රටේ ඉතිහාසය පුරා සුලභය. අවාසනාවට මොවුන්ගේ ලොමු ඩැහැ ගන්වන ප්‍රකාශවලට (එහෙත් යල්පැන ගිය) ජනතාව මුලා වීම කණගාටුවට කරුණකි. කටින් බතල හිටවනවා මිස සුළු හෝ ජනතා සේවයක් නොකරන මෙවන් ඊනියා දේශප්‍රෙමී සමාජවාදීන්ට විරුද්ධ වීම ජනතාව සතු යුතුකමකි.

අනෙක් පැත්තෙන් බුද්ධාගම වෙළෙඳ භාණ්ඩයක් කරගනිමින් ඡන්ද එකතු කර ගැනීමට යෙදවීම් බෞද්ධයන්ට මහත් කණගාටුවට හේතුවන කරුණකි. පසුගියදා මියැන්මාරයේ භික්ෂූන් වහන්සේලා මහ මග මරා දැමූ එහි ආඥාදායක පාලක තාන් ෂ්වේ ලංකාවට පැමිණි විට මුණිවත රැකි රජයේ කේවට්ටයින් ඒකෝන් නම් ගායකයා බුදුන්ට අපහස කළ නිසා ලක්දෙරණට ගෙන ඒමට දැඩි විරෝධය පෑහ. පසුව ඒකෝන් මෙරටට ගෙන ඒම පිටුපස සිටින්නේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ අචල සුරංග ජාගොඩ කැබිනට් ඇමැති පදවිය උසුලන සංචාරක අමාත්‍යාංශය බව අපට අසන්නට ලැබුණි. කෙසේ වෙතත් මෙයද දේශපාලනික ඇවිස්සීමක් විනා අන් කිසිවක් නොවන බව කිව යුතුය, ඔච්චර බුද්ධාගමට ආදරේ නම් ඉහත කීවාක් මෙන් තාන් ෂ්වේ ලක්දෙරණට එන විට මුනිවත රැක්කේ මන්ද?? අරලියගහ මන්දිරයේ “මතට තිත” මුවාවෙන් මත්පැන් සංග්‍රහය අනුමත කරන්නේ කොහොමද??

එදා බුදු රදුන්ට විවිධ උදවිය අපහාස උපහාස කරද්දී උන්වහන්සේ ඒවාට නොසැලී මුහුණ දුන් සේක. උන්වහන්සේ ඒ කිසිවකින් සැලුනේ, කම්පා වූයේ නැත, අනෙක් පැත්තට බුදු සසුනේ ප්‍රධාන දායකයන් වූ අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජතුමා, විශාඛා සිටු දියණිය වැන්නවුන් උන්වහන්සේට අපහස කරන විට බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණ කළ බව, ගල් මුල් වලින් පහර දුන් බව කොතැනකවත් ලියැවී ඇත්ද? බුදුන්ගේ අමා ධර්මය ශ්‍රද්ධාවෙන් සරණ ගොස් සසර නිමැවූ ඔවුන් අද අපේ ශ්‍රී ලාංකික “බෞද්ධයින්” හැසිරෙන අන්දමින් හැසිරෙන්නට ඇත්ද?? මෙය අප සැමට සිතන්නට යමකි, සිංහල බෞද්ධ අප එවැනි චරිතවලින් පාඩම් උගෙනිය යුතුය. එදා 2003 අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අකල් අපවත් වීම විකුණා පාර්ලිමේන්තුවේ ආසන 9ක් දිනා ගත් ජාතික හෙළ උරුමය කීවේ උන්වහන්සේලා ධර්ම රාජ්‍යයකට පාර කපන බවයි. රථවාහන පර්මිට් විකුණමින්, “බල්ලන්ට ලගින්නට” යැයි පවසා බෙන්ස් කාර් ගනිමින්, තැන තැන අසපු සදමින් ජාතික හෙළ උරුමය කර ඇත්තේ ධර්ම රාජ්‍යයට පාර කැපීමද? අද ජාතික හෙළ උරුමයෙන් ඡන්ද සටනේ ඉන්නේ එක් හිමිනමක් පමණි. අන් සියල්ලෝම ගිහියන්ය, ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසර හිතකාමී ලෙස පෝස්ටරවලින් තොරව ඡන්ද කරන්න යැයි කියද්දී ඔවුන්ගේම අපේක්ෂකයින් (ජාතික හෙළ උරුම) පෝස්ටර, සංගීත යනාදිය යොදවමින් ඡන්දය කරති. 2004දී ප්‍රධාන මාතෘකාවක්ව තිබූ අන්‍යාගමීකරණය වැළැක්වීමේ පනතවත් වසර 5ක් ආණ්ඩුවේ සිටි ජාතික හෙළ උරුමයට සම්මත කරගැනීමට නොහැකි වීමෙන්ම ඔවුන්ගේ දේශපාලන නිරුවත පෙනේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හිඳිමින් පනතක් ඉදිරිපත් කර සම්මත කරගන්ටවත් බැරි ඛාණ්ඩයකින් කුමන ඵලක්ද??

අපේ රටේ ජනතාව බුද්ධිමත් වන්නේ ඡන්දෙ කාලෙටය. ජනතාව බුද්ධිමත් බව ඕනෑම ඡන්ද අපේක්ෂකයෙක් කියන්නේ සතුටිනි. එහෙත් අපි ඇත්තටම බුද්ධිමත්ද? මෙවර අප සංවේදී නොවී රටේ අනාගතය ගැන සිතා, ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල පදනම් කරගෙන අපේ ඡන්දය භාවිතා කරන්නේ නම් රට හරිමගට වැටෙනු ඇත. ඒ තීරණය ගැනීමේ වගකීම ඔබ සතුයි.

චිරං ජයතු ලක් මවුණි..!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

2/3ක සිහිනය

රටේ දේශපාලන කතිකාව උණුසුම් වෙමින් පවතින මේ යුගයේ ප්‍රස්තුතය ලෙස ඉලිප්පෙමින් තිබෙණුයේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයයි. අද අප කතා කළ යුත්තේ 2/3ක් ගැන නොව ඉදිරියේ පත් කෙරෙන්නා වූ රජයක අනාගත ප්‍රතිපත්ති ගැන බව වටහා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් වීම අභාග්‍ය සම්පණ්ණ තත්ත්වයකි.

පළමුව 2/3ක බලයක් ගත හැකිද යන්න අපි විමසා බලමු. ආසන්නයේම පැවැති ජාතික මැතිවරණය වන 2010 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල අපි සැලකුවහොත් ඊට අනුව සන්ධානයට (ඊපීඩීපී, ටීඑම්වීපී ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ) හිමිවන්නේ ආසන 135 පමණි. මෙය 2/3ක් සඳහා අවශ්‍ය ආසන 150ට වඩා අඩු අගයකි. ජනාධිපතිවරණයේ තරම් මෙවර ඡන්ද ප්‍රකාශ වේ යැයි අපට අපේක්ෂා කළ නොහැකිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දේශපාලනඥයකු ලෙස කැමැති ඇතැමුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට අකමැතිය. ඒ අනුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රකාශ වෙන ඡන්ද සංඛ්‍යාව පහළ වැටෙනු ඇත. කවුරු කොහොම කීවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක් එහෙම ගහෙන් ගෙඩි එන්නා වාගේ ගන්නට බැරිය, එහෙම ගන්නට නම් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතයන් තව විශාල අගයන්ගෙන් ඉහළ යා යුතුය, ඊට ඔවුනෙගේ ඡන්ද ප්‍රමාණය මිලියනයකින් පමණ ඉහළ යා යුතුය නැත්නම් විපක්ෂයේ ඡන්ද මිලියනයකින් අඩු විය යුතුය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් තුනෙන් දෙකක් ඉල්ලන්නේ අහවල් එකකටද කියන ගැටළුව මතුවේ. පැවැති සන්ධාන ආණ්ඩුව ගිය ගමන අතිශයින්ම කණගාටුදායකය, යුද ජයග්‍රහණය හැරුණු කළ පසුගිය වසර 6 තුල රටට අත් වූ ජයග්‍රහණ ස්වල්පයකි. අපේ රටේ උතුම් දායාද දෙකක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට සිදුවී ඇති සෝචණීය තත්ත්වය රටේ පුංචි අතදරුවා පවා දනී. රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතී. 2008ට සාපේක්ෂව අපේ අපනයන ප්‍රමාණය 2009දී 13%කින් පහත බැස ඇත. රටේ නව රැකියා උපදින්නේ නැති තරම්ය. අපි වවමු – රට නගමු කියා පාරම් බෑවද වවපු වැවිල්ලක් නැත. සහල් පවා ආනයනය කරනුයේ පිටරටිනි, ඒකත් කිසිඳු සැලැස්මකින් තොරව වී ගොවියා අස්වනු නෙලද්දීය, ලක් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස කුකුල් බිත්තරත් පිටරටින් ආනයනයට ආණ්ඩුව සූදානම් වෙයි. වෙනකක් තියා රාජපක්ෂ පවුල සාඩම්බරයෙන් පළඳින සාටකයේ පැහැය එන කුරක්කන් පවා විශාල වශයෙන් පිටරටින් ගෙන්වන්නේ සන්ධානය පුරාජේරුවට හඬලෑ කෘෂි ආර්ථික මිථ්‍යාව පසක් කර දෙමිනි. GSP+ බදු සහනය අපට අහිමි වී ඇත. ඇමැති මණ්ඩලයේ බහුතරය තම තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේ පැවැත්ම පවා අමතක කොට තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය විලි ලැජ්ජාවක් නැතුව තුනෙන් දෙකක් ඉල්ලන්නේ මේ ගමන ඉදිරියටත් ගෙන යන්නටද??? මේ ගමන ඉදිරියට ගෙන යන්නට තුනෙන් දෙකක් තබා දෙකෙන් එකක්වත් දෙන්නට වටින්නේද??

කිසිසේත්ම නැත. අතිවිශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන මේ ආණ්ඩුව කියන්නේ ඊළඟ ඡන්දය දිනුවහොත් ඇමැති මඩුල්ල 35ට බස්සන බවයි. ඉතින් පාර්ලිමේන්තුව විසුරුවා ඇති මේ මොහොතේ එහෙම නොකිරීමෙන් පේන්නේ එම ප්‍රකාශය හුදු ජනප්‍රියවාදී ඡන්ද ගුණ්ඩුවක් බවයි. දිගින් දිගටම ජනතාව නොමඟ යවන මේ අකාර්යක්ෂම දුර්ධාන්ත පාලනයට තුනෙන් දෙකක් දුන්නොත් යසට තියේවි. වාසනාවට ඒ සන්ධාන සිහිනය නම් කිසි ලෙසකින් සැබෑ නොවනු ඇත. ඒ රටේ පිනටය.

අනෙක් අතට අපේ රටේ තුනෙන් දෙකේ බලයේ පූර්වාදර්ශයන් අතිශය ශෝකජනක ඒවාය. කවුරු කොහොම කීවත් තනි පක්ෂයකට 2/3ක් ගන්නට බැරි වීමත් අනුපාතිකව මන්ත්‍රීධූර බෙදී යෑමත් සමානුපාතික ක්‍රමයේ වෙසෙස් වටිනාකමකි. රටක ව්‍යවස්ථා සම්පාදනය, සංශෝධනය යනාදිය එකම පක්ෂයේ තනි උවමනාවට සිදු වන්නේ නම් එය කණගාටුවට කරුණකි. 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණට 2/3ක බලයක් ලැබුණි. නව ව්‍යවස්ථාවක් බිහි කරලමින් අන්තවාදී දේශපාලන ගමනකට මුල පිරූ සමගි පෙරමුණු ආණ්ඩුව විපක්ෂය දැඩි ලෙස මර්දනය කළේය. දැදිගම අතුරු මැතිවරණය වැනි මතභේදාත්මක සිද්ධි හරහා ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්නට තැත් කළේය. 1975දී විසුරුවන්නට තිබූ පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ සමාජවාදී නායකයින්ගේ ඉල්ලීම්ද නොතකමින් අත්තනෝමතික ලෙස 1977 දක්වා දීර්ඝ කරගත්තේ ජනතා පරමාධිපත්‍යයට වින කරවමිනි. 1977දී 5/6ක බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයද නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒකපාක්ෂික පාලනයක් ගෙන ගියේය. 1982දී සුප්‍රකට කලගෙඩි ලාම්පු සෙල්ලමින් පාර්ලිමේන්තු ධුරකාලය වසර හයකින් දීර්ඝ කර ගත්තේය. මේ රටේ ජනතාවට තවදුරටත් එවැනි ඒකපාක්ෂික යුගයක් අවශ්‍ය වන්නේද?? 2/3ක් ලබාදීම යනු ඒකාධිපති වියරුවකට අත වැනීමකි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අතැතිව ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම ආදී නොමනා ක්‍රියා සිදු කරන්නේ නම් හිතලුවකටවත් 2/3ක් ලැබුණහොත් රටට දෙයියන්ගේම පිහිටයි!! රටේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුවන්නට උවමනා පක්ෂ විපක්ෂ පොදු එකඟතාවයකිනි. රටේ පෙරගමනත් ව්‍යවස්ථා සංශෝධනයේ පිළිගත හැකි භාවයත් රඳන්නේ මෙවැනි බහුපාක්ෂික ක්‍රියාමාර්ගයක් උඩ මිස ඒකපාක්ෂික දේශපාලනික තීන්දු මත නොවන බව ජනතාව වටහා ගත යුතුය.

ජනතාව මේ යථාර්ථය වටහා ගෙන සිය වටිනා ඡන්දය ශක්තිමත් පාර්ලිමේන්තුවක් උදෙසා භාවිතා කළ යුතුය. ශක්තිමත් පාර්ලිමේන්තුවක් යනු රටේ විවිධ ජනතාවගේ විවිධාකාර මතවාද නියෝජනය කරන ජන හිතකාමී ප්‍රතිපත්තිගරුක මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවකි, නැතිව ප්‍රතිපක්ෂය තලා පෙලා, වහසි බස් දොඩන, මැරකම හොරකම ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් නොවේ. රට වෙනුවෙන් තමුන්ගේ වගකීමක් වන ඡන්දය භාවිතා නොකර සිටීමට සිතා සිටින උදවියට කියන්නට උවමනා වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට කියාය. වඩාත්ම සුදුසු පක්ෂය තෝරා බේරා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ යුතුකමකි, වගකීමකි. ඒ යුතුකම, වගකීම ඉටු කිරීමේදී ඉහත සඳහන් කරුණු පිළිබඳ සැලකිළිමත් වීම වැදගත්ය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –