Archive for ඔක්තෝබර්, 2010

දෙවරක් සිහසුන අහිමි වූ “මින්නේරි දෙවියෝ”

නිදහසින් පසු වල්වැදී, කැලෑ වී තුබූ රජරට අස්වද්දන්නට ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් පෙරට ආහ, ඩී.ඇස්., ඩඩ්ලි, ගාමිණී යන පතාකයින් අතර වසර 14කට ආසන්න කාලයක් අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායකධුරය ඉසිලූ සී.පී. ද සිල්වා ශ්‍රීමතාණන්ගේ නම අමතක කරන්නට අපට බැරිය. මේ සටහන ඔහුගේ මතකය සිහි ගන්වනු අරඹයාය.

සී.පී. ද සිල්වා

1912 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට දිනකට මත්තෙන් දකුණු ලක බලපිටියේ රන්දොඹේ ග්‍රාමයේ පින්වත් බිළිඳකු ජන්මලාභය ලැබීය. නමින් චාල්ස් පර්සිවල් ද සිල්වා නම් වූ ඔහුගේ පියා බලපිටිය අධිකරණයේ සුප්‍රකට නිතීඥවරයකු වූ සී.ආර්. ද සිල්වාය. කුඩා කළ පටන් සී.පී. යන මැයෙන් කවුරුත් දැන හැඳිනගත් මේ පුංචි දරුවා පළමුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුලත් කෙරිණි. කෙටි කලෙකින් දෙමාපියන් විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් කෙරුණු සී.පී. එහි දිදුලන ශිෂ්‍යයකු බවට පත් විය. අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර වැඩටත් ගජ රුසියකු වූ සී.පී. ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලැබීය. ගණිතය සහ විද්‍යාව විෂයන් කෙරේ වැඩි ආසාවක් දැක්වූ සී.පී.එකී විෂයන් සඳහා පිරිනැමෙන “ග්‍රෙගරි” සහ “මිලර්” සම්මානයන්ගෙන්ද පිදුම් ලත්තේය.

සරසවියෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි කරගත් සී.පී. සිවිල් සේවයට යැවීමේ අරමුණින් සිය දෙමාපියන් එංගලන්තයට පිටත් කළේය. එහිදී සාර්ථකව අධ්‍යාපනය හමාර කළ සී.පී. 1935දී ලක්දිවට අවුත් සිවිල් සේවයට එකතුපහදු වූයේ ලක් ඉතිහාසයේ ලාබාලතම සිවිල් නිලධාරියකු ලෙස ඉතිහාසගත වෙමිනි. යාපනයේත්, පුත්තලමේත් කැඩට් නිලධාරියකු ලෙස පුහුණුව ලත් සී.පී. පසුව අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකෙහි රජයේ ඒජන්තවරයා ලෙස පුරා වසර 7ක් කටයුතු කළේය.

1935 සිවිල් සේවයට එක්වූ දා සිට 1972 අවසන් හුස්ම හෙලන තෙක්ම රජරට අස්වැද්දීම සී.පී.ගේ සිහිනය විය. ගාමිණී දිසානායකයන් එකලු කළ මහවැලි සිහිනයේ මුල් අයිතිකරුවා සී.පී. යැයි කීමේ වරදක් නැත්තේ ඔහු වසර 37ක් පුරා රජරට අස්වද්දන්නට ගත් වෙහෙස මහන්සිය නිසාමය. එපමණක් නොව මහවැලි මහා ව්‍යාපෘතිය පොල්ගොල්ල අමුණට මුල්ගල තබමින් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකයන් ආරම්භ කරද්දී එක්සත් ජාතික පක්ෂ රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග සහ විදුලිබල ඇමැතිවරයා ලෙස තිරය පිටුපස සිටිමින් මහා මෙහෙවරක් කළේද සී.පී.මය.

මහත් දුෂ්කරතා මධ්‍යයේ වුව රජරට ජනතාවට සිවිල් සේවකයකු ලෙස සෙත සැලසීම සී.පී.ගේ ඒකායන පැතුම විය. ගිරිතලේ වැව් තාවුල්ලේ තානායමක සිට රාජකාරී කළ සී.පී. සතියකට වරක් ඇලහැර හරහා මාතලේට සිය විලිස් ජීප් රථය පදවාගෙන ආයේ රජරට කටුක දිවියට අවශ්‍ය අඩුමකුඩුම රැගෙන යන්නටය.  ඩී.ඇස්. සේනානායකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාව ඉන්දැද්දී එම අමාත්‍යාංශයේ සහකාර ලේකම්ධුරයක් ඉසිලූ සී.පී. 1946දී සහකාර ඉඩම් කොමසාරිස් තනතුරකට උසස් කෙරිණි. 1949දී සී.පී. තවත් රාජකාරී සන්ධිස්ථානයක් පසු කළේය, ඒ ඉඩම් සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමත් සමඟය. ඩී.ඇස්., ඩඩ්ලි යන කෘෂිකර්ම ඇමැතිවරු දෙපල යටතේම රජයේ සේවකයකු ලෙස රජරට අහිංසක ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මහත් පරිශ්‍රමයක් දැරූ සී.පී., මින්නේරි ජනපදය ප්‍රතිස්ථාපනය කිරීමෙහිලා පුරෝගාමී චරිතයක් විය. වෙසෙසින්ම මින්නේරි ව්‍යාපාරය හමුවේ තුබූ ප්‍රමුඛ අභියෝගයක් වූයේ ජානපදිකයින් මින්නේරි ජනපදය තුලම රඳවා තබා ගැනීමය. ඒ අභියෝගය ජයගැන්මට ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන් යෙදෙව්වේ තරුණ සී.පී. ද සිල්වාය, ඒ ඔහු උතුරු මැද පළාතේ රජයේ ඒජන්තවරයා ලෙස පත්කරමිනි. ඩී.ඇස්. සේනානායක සහ එවක ඉඩම් කොමසාරිස්ධුරය හෙබවූ වත්මන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මුත්තණුවන් වන සී.ඇල්. වික්‍රමසිංහ මහතා සී.පී. ද සිල්වා සමඟ නිතර කතිකා කළේ මින්නේරි ව්‍යාපාරය සාක්ෂාත් කිරීම උදෙසාය. ඩී.ඇස්., ඩඩ්ලි සහ සී.ඇල්. යන ත්‍රිත්වයේ පූර්ණ විශ්වාසය දිනාගත් සී.පී. මින්නේරි ජානපදිකයින්ගේ ජීවන තත්ත්වය අරුත් ගන්වනු වස් සිය උපරිම දායකත්වය ලබාදුන්නේය. පසුකාලීනව ඩී.ඇස්. සේනානායකයන් විසින් එකී දායකත්වය උදෙසා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී උපහාරයද පළ කර සිටියේය.

1946දී තවත් සුවිශේෂී රාජකාරීමය උසස් වීමක් සී.පී. ද සිල්වා මැතිඳුන්ට හිමිවිය, ඒ ඔහු අතිරේක ඉඩම් කොමසාරිස්ධුරයෙන් පිදුම් ලැබීමත් සමඟය. එකළ ලංකාවේ ආණ්ඩුක්‍රමය වෙනස් කරන්නට පත්කෙරුණු සොල්බරි කොමිසම ලක්දෙරණට අවුත් සංචාරය කළ එක් ඉසව්වක් වූයේ මින්නේරියයි. මින්නේරියේ සමූපකාර වාර්ෂික මහා සභා රැස්වීමකට සහභාගී වීමෙන් අමන්දානන්දයට පත්වූ සොල්බරි සාමිවරයා “ලංකාවේ කැලෑබදව මිනිස්සුන්ට මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීම් තියන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට රටක් පාලනය කරන්න බැරි යැයි කියන්න පුළුවන් කාටද?” යන ප්‍රශ්නය විචාල බව අචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සී.පී. ද සිල්වා ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ උපහාර ලිපියේ කියැවේ.

1950 නිදහස් දවස දා සී.පී. ද සිල්වා සිවිල් සේවයෙන් ඉල්ලා අස්වූයේ කාගේත් දොම්නසට හේතුකාරකයක් වෙමිනි. ඉල්ලා අස්වීමෙන් ඉක්බිති හෙතෙම පුත්තලමේ තම වත්තේ වගා කටයුතුවල නිරත වෙමින් නිදහස් දිවියක් ගත කළ බව කියැවේ. දිනක් හිරු බසින යාමයේ තම කුඹුරේ අස්වැන්න ගොඩ ගසමින් තුබූ හෝරාවෙක අනපේක්ෂිත අමුත්තකු සී.පී. හමුවන්නට ආයේය. හේ නමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය, බණ්ඩාරනායක මහතාගේ මේ හදිසි සංචාරයට නිමිත්ත වූයේ සී.පී. ද සිල්වා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කර ගැනීමය. බණ්ඩාරනායක මැතිඳුන්ගේ උත්සාහය මල්ඵල දැරීය. සී.පී. ද සිල්වා පොලොන්නරුව ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට කැමැති වූවා පමණක් නොව තම උපන්ගම වූ බලපිටියේ මැතිවරණ සටනටත් සක්‍රීයව දායක වීමට එකඟ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණය වූ 1952 මහ මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතලොස්සකි, ඒ අතර පොළොන්නරුවේ සී.පී. ද සිල්වා ප්‍රමුඛයකු බවට පත්විය. කෙසේ වෙතත් 1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනිපය බලයට පත්වූ අතර ඒ සමඟ සී.පී. ද සිල්වා මැතිතුමා එම රජයේ සභානායක සහ ඉඩම් සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස පිදුම් ලැබුවේය. මෙහිදී සී.පී. ද සිල්වා මැතිතුමා ගැන කිව යුතු වැදගත් යමක් ඇත, එනම් ඔහු මාස දෙකේ විරාම ද්විත්වයක් හැරුණු කළ, පුරා වසර 14ක්ම (1956-1970) ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යධුරයත්, සභානායකධුරයත් ඉසිලීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් දෙකක සහ එක්සත් ජාතික පක්ෂ රජයක එකී තනතුරු හෙතෙම හෙබවීම සුවිශේෂී කාරණයක් ලෙස සැලකිය හැකිය.

1959 අගෝස්තු 25දා කැබිනට් රැස්වීමේදී සී.පී. ද සිල්වාට සුවිශේෂී අත්දැකීමකට මුහුණපාන්නට සිදුවිය. අගමැති බණ්ඩාරනායකයන්ට පිළියෙළ කළ තිබූ කිරි වීදුරුව පානය කළ සී.පී. දරුණු ලෙස ගිලන් විය, එකළ එය එතරම් සැලකිල්ලට නොගත්තද පසුව එකී කිරි වීදුරුවට අගමැතිවරයා ඝාතනය කිරීමට වස යොදා තිබෙන්නට ඇතැයි සැකයක්ද මතුවිය. නමුත් අතිශය දෛවෝපගත ලෙස එම සිද්ධියෙන් මාසයක් ගෙවුණු තැන, එනම් 1959 සැප්තැම්බර් 26දා චීවරධාරියකු විසින් අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කරන ලදි. ජ්‍යෙෂ්ඨත්වය අනුවෙ මීළඟට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නට තුබුනේ සී.පී. ද සිල්වා මහතාටය, නමුත් ගිලන්ව එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රතිකාර ලබමින් සිටි ඔහුට එම අවස්ථාව මගහැරී ගියේ ඔහුගේ අවාසනාවට වඩා රටේ ජනතාවගේ අවාසනාවට යැයි කීම යුක්තිසහගතය.

1960 මාර්තු මහ මැතිවරණය වනවිට සී.පී. ද සිල්වා පරිපූර්ණව සුවය ලබා නොසිටියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමේ බර කරට ගත්තේය. මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශ වූයේ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ එක්සත් ජාතික පක්ෂයට ආසන 50කුත්, සී.පී. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නීදහස් පක්ෂයට ආසන 46කුත් හිමි කර දෙමිනි. මන්ත්‍රණ සභාවේ විපක්ෂයේ සිටි බොහෝ පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නට සී.පී. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රිලනිපයට සහය දැක්වීමට දත කට මැදගෙන සිටියහ. නමුත් රාජාසන කතාව ඩඩ්ලි සේනානයක මැතිඳුන් පරාජයට පත්වීමත් සමඟම අග්‍රාණ්ඩුකාරවරයා අලුත් මැතිවරණයකට දින නියම කළේය. 1960 ජුලි මාසයට නියමිත වූ මෙම මහ මැතිවරණය ලාංකේය දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේත් හැරුම් ලක්ෂයක් වූවා යැයි කීම නිවැරදිය. නැවත වරක් ශ්‍රිලනිපය මෙහෙයවීමේ වරම තුබුනද සී.පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂිකධුරය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු එම වගකීම බණ්ඩාරනායක මැතිතුමාගේ වැන්දඹුව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පිරිනමන්නට මූලික විය. තමන්ගේ අතේ තුබූ අගමැති අපේක්ෂකත්වය පිළිකෙව් කළ සී.පී. සිරිමාවෝ බණ්ඩාරනායක රටේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්කරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. දේශපාලනයට ආධුනිකයකු වූ සිරිමාවෝ මැතිණියගේ රජයේ සභානායකවරයා ලෙස ශ්‍රිලනිප රජයේ බොහෝ බර කරට ගෙන 1960-65 රජය මෙහෙයවීමේ ගෞරවය සී.පී. ද සිල්වා මැතිඳුන්ට හිමිවිය යුතුය.

දෙවරක්ම අගමැතිවීමේ හිනිපත්තට පැමිණි සී.පී. ද සිල්වා චාම් චරිතයකට උරුමකම් කීවේය. ජනප්‍රිය දේශපාලනය සහ ප්‍රසිද්ධිය හඹා නොයමින් රජරට ඇතුළු තුන් හෙළයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය. ඇමැතිවරයකු ලෙස රටේ බොහෝ ප්‍රදේශවල වාරි පද්ධති සහ කෘෂිකර්මය නගා සිටුවීමට අනූපමේය සේවාවක් කළ සී.පී. ද සිල්වාගේ දේශපාලන සාර්ථකත්වයට ප්‍රධාන බාධකයක්ද තිබුණි. ඒ ඔහුගේ කුලයයි, සලාගම කුලයට අයත් වූ සී.පී. අගමැති වනු දැකීමට ශ්‍රිලනිප පාක්ෂිකයන්ම සමහරක් කැමැති නොවූයේ සිංහල ජනසමාජයේ අදටත් පවතින කුල භේදය නිසාය.

සී.පී. ද සිල්වා අමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වයද අමතක කළ නොහැකිය. කොළඹ රාජකීය විද්‍යාලය උදාහරණයක් කරගනිමින් පොළොන්නරුවේ රාජකීය මධ්‍ය විද්‍යාලය සියළු අංගෝපාංගයන්ගෙන් යුක්තව ඉදි කළ එතුමා මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිකිරීමෙහිලාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. කොළඹ ප්‍රකට පාඨශාලාවක් වන මහානාම විද්‍යාලය ඉදිකිරීමටද සී.පී. ද සිල්වා මැතිතුමා ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ. 1960-65 ශ්‍රිලනිප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට රජය තුල සිටම සී.පී. ද සිල්වා හඬ නැගුවේ තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙමිනි. සිරිමාවෝ මැතිණිය ඇතුළු එවක රජයේ වාමාංශික කොටස් ලේක් හවුස් ආයතනය ජනසතු කිරීමට ගෙනගිය ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දුටු සී.පී. රජය තුල තම මතය පරාජය වීමත් සමඟ කටුක තීරණයකට එළඹියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා විපක්ෂයේ අසුන් ගැනීමටය, ඒ තමන්ට හිමි ඇමැතිධුරය සහ සභානායක පදවියද අතැර දමමිනි. ඒ 1964 දෙසැම්බර් 3දාවකය. පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සී.පී. 1965 මහ මැතිවරණයට එජාපයෙන් මින්නේරිය අසුනට තරඟ කරමින් ජයගත්තේ 1965-70 ඩඩ්ලි සේනානායක රජයේද සභානායකවරයා බවට පත්වෙමිනි.

සී.පී. ද සිල්වා මැතිතුමා ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස මහත් වෙහෙස මහන්සියක් දැරුවේ රජරට සරුසාර කරන්නටය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා මෙදා තුල ලක්දෙරණේ බිහිවූ යෝධතම සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ජනිත විය. 1970දී ආරම්භ කිරීමට නියමිත වූ මෙම දැවැන්ත බහුකාර්යය ව්‍යාපෘතිය වසර 30ක් තුල අදියර 3කින් සමාප්ත කිරීම එතුමාගේ සිහිනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ඇතිව එජාපය මහවැලි සිහිනය සැබෑ කරන්නට උත්සුක වුවද බොහෝ ප්‍රතිවාදීන් කීවේ 1968 මුළු රාජ්‍ය ආදායමටත් වඩා වැඩි වියදමක්  අSතමේන්තුගත මහවැලි ව්‍යාපෘතිය දවල් සිහිනයක් කියාය. 1970දී පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ගැන තැකුවේ නැත. අවාසනාවකට 1977 පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගාමිණී දිසානායක මැතිඳුන්ගේ මෙහෙයවීම යටතේ මහවැලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත කරද්දී සී.පී. ද සිල්වා අප අතරින් සමු ගෙන කලක් ගතව ගොසිනි.

1970දී මහවැලි සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කරලීම උදෙසා පනතක් ගෙනෙමින් සී.පී. ද සිල්වා මෙසේ පවසා ඇත.

“රජරට වාසය කරමින් සේවය කළ සත්වස තුල පොළොන්නරුවේ සිට සැතපුම් 6ක් දුරින් වූ මනම්පිටිය පාලම මත හිඳ මහවැලිය මෝසම් සමයේ පිටාර ගලන විට දුප්පත් මිනිසුන් දුක් විඳිනුද යල කන්නයේ කුඹුරු කරන්නට, නාන්නට, බොන්නට වතුර පොදක් නැතිව දුක් විඳිනුද දුටුවෙමි, තෙත් කලාපයේ කඳු අතරින් ගලා එන මහවැලි නදියේ, මහවැලි ජලය වියළි කලාපයට හරවන්නේ කෙසේදැයි මම පැය ගණන් සිහින දැක්කෙමි”.

අවසන 1970දී සී.පී. ද සිල්වා මින්නේරි අසුන ඡන්ද 1000කට කිට්ටු ප්‍රමාණයකින් පරදිද්දී කඳුරට කොත්මලයෙන් බිහිවූ නුවර එළිය ජයගත් තරුණ දේශපාලනඥයා විසින් 1980 දශකයේදී සී.පී. ද සිල්වාගේ මහවැලි සිහිනය සැබෑ කළේය.

1970 මැතිවරණ පරාජයෙන් පසුව විවේකී දිවියක් ගත කළ සී.පී. කෙටි කලක් රෝගාතුරව හිඳ 1972 ඔක්තෝබර් 9දාවක දැයෙන් සමුගත්තේ රජරටින් බිහිවූ කිරුළු නොපළන් රජුන් ලෙසිනි. වසර 60ක් මුළුල්ලේ ලක්දෙරණ ආලෝකමත් කළ සී.පී.ගේ නාමය ලක්වැසි දනන් මුව වසර ගණනාවක් රැඳේවායි අප ඉතසිතින් පතමු.

මේ ලියමන 1964 දෙසැම්බර 3දා විපක්ෂයේ අසුන්ගත් සී.පී. ද සිල්වාගේ වදන් පෙළකින් අවසන් කරනු රිසියෙමි.

“මම අද මේ සියල්ල හැර දමන්නේ නිදහස් සමාජයක නිදහස් මිනිසකුව ජීවත් වීමටයි”

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වප්

Advertisements

ගාමිණී දිසානායක සොළොස්වස් ගුණසමරුව..!!

ලක්දෙරණ එළිය කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයකු වූ ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කෘතහස්ත දේශපාලනඥයන් කීප දෙනෙක් දැයෙන් සමුගෙන අදට වසර 16ක් සපිරේ. රටට මහවැලිය දායාද කරමින් අනූපමේය සේවයක් ඉෂ්ට කළ ගාමිණී දිසානායකයන් එදා මරාගෙන මැරෙන බෝම්බකාරියක බිලි නොගත්තා නම් අද අප වෙසෙන්නේ කෙතරම් වෙනස් රටක විය හැකිද?? එහෙත් සිදුවූ දෙය වළක්වන්නට නොහැක, නමුත් රටට ඉමහත් සේවාවක් ඉටු කළ ආදර්ශමත් දේශපාලනඥයකුට කෘතගුණ සැලකීම අගනේය. එය ගාමිණී දිසානායකයන් වන් උත්තුංග පුතුණුවන් ලක් දේශපාලනයට දායාද වන්නට ඌණපූරකයක් වේවායි සැදැහැ සිතින් පතමු.
නායකයාණෙනි. ඔබට නිවන් සුව..!!!

ගාමිණී දිසානායක අලලා පබැදුනු අපේ සදාහරිත මතකයන් ආවර්ජනා කරන්නට ඔබට ආදරයෙන් ආරාධනා කරමි.

ගාමිණී දිසානායකයන් ගැන 2010 මාර්තුවේදී අප විසින් ලියැවුණු ලිපිය

https://sadaharita.wordpress.com/2010/03/20/gd/

ගාමිණී දිසානායකයන්ගේ අවසාන හෝරා කීපය ගැන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ලියූ ලිපිය

https://sadaharita.wordpress.com/2009/11/07/thotalanga/

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වප්

H Niles Perera©, October 2010