Posts Tagged ‘General Election’

යහපාලනය උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු – 2015 මහා මැතිවරණය

2015 මහ මැතිවරණය උදෙසා “යහපාලනය උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණ” විසින් අලියා ලකුණ යටතේ දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම නාමයෝජනා ලබාදෙනු ලැබිණි. ඒ අතුරින් කොළඹ, බදුල්ල, නුවර-එළිය, කළුතර වැනි දිස්ත්‍රික් කිහිපයකට අතිශය ශක්තිමත් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

යහපාලනය උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික ලැයිස්තුවේ සංඝයාවහන්සේ, ආචාර්ය, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, ජනාධිපති නීතීඥවරුන්, ව්‍යවසායකයින්, ව්‍යාපාර කළමණාකරුවන්, අලෙවිකරණ විශේෂඥයින්, වෘත්තිය සමිති ක්‍රියාධරයන්, හිටපු රාජ්‍ය සේවකයින් ඇතුළු ප්‍රවීණයින් රසකගෙන් සමන්විත වෙයි.

එක් එක් දිස්ත්‍රික්කය යටතේ යහපාලනය උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කෙරුණු නාමයෝජනා ලැයිස්තු පහතින් දක්වා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය

  • රවී කරුණානායක
  • ආචාර්ය විජයදාස රාජපක්ෂ
  • රනිල් වික්‍රමසිංහ
  • ආචාර්ය හර්ෂ ද සිල්වා
  • රෝසී සේනානායක
  • ඉරාන් වික්‍රමරත්න
  • සුජීව සේනසිංහ
  • මංජු ශ්‍රී අරංගල
  • නිරෝෂන් පාදුක්ක
  • එස්.එම්. මරික්කාර්
  • උපුල් ශාන්ත සන්නස්ගල
  • උදාර රත්නායක
  • ජයන්ත ද සිල්වා
  • සුනේත්‍රා රණසිංහ
  • ශ්‍රීනාත් පෙරේරා
  • ලෙනාඩ් කරුණාරත්න
  • මනෝ ගනේෂන්
  • එස්. කුහවර්ධන්
  • ෆෙරෝසා මුසම්මීල්
  • හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
  • පාඨලී චම්පික රණවක

ගම්පහ දිස්ත්‍රික්කය

  • ජෝන් අමරතුංග
  • ජෝශප් මයිකල් පෙරේරා
  • රුවන් විජයවර්ධන
  • රන්ජන් රාමනායක
  • අජිත් මාන්නප්පෙරුම
  • රෝස් ප්‍රනාන්දු
  • යූ. ජෝර්ජ් පෙරේරා
  • බෙවන් පෙරේරා
  • රොයිස් ප්‍රනාන්දු
  • හර්ෂණ රාජකරුණා
  • වෛද්‍ය කාවින්ද ජයවර්ධන
  • උදේන විජේරත්න
  • ප්‍රිශාන්ත ජයකොඩි
  • චන්ද්‍රසෝම සරණලාල්
  • එඩ්වඩ් ගුණසේකර
  • අසංග අබේගුණසේකර
  • එස්. සසිල්කුමාර්
  • මොහොමඩ් රහීම්
  • නිරෝෂා අතුකෝරළ
  • අර්ජුන රණතුංග
  • චතුර සේනාරත්න

කළුතර දිස්ත්‍රික්කය

  • අජිත් පී. පෙරේරා
  • පාලිත තෙවරප්පෙරුම
  • ලක්ෂ්මන් විජේමාන්න
  • පී.ඩී. අබේරත්න
  • ඉෆ්තිකාර් ජමීල්
  • ජගත් විතාන
  • ජයන්ත අබේවර්ධන
  • නන්දන ගුණතිලක
  • හේමන්ත වික්‍රමාඅරච්චි
  • එම්.එච්.එම්. අස්ලම්
  • කීර්ති කාරියවසම්
  • වෛද්‍ය රාජිත සේනාරත්න
  • නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

මහනුවර දිස්ත්‍රික්කය

  • ලක්ෂ්මන් කිරිඇල්ල
  • ඒ.එච්.එම්. හලීම්
  • රවුෆ් හකීම්
  • ලකී ජයවර්ධන
  • මයන්ත දිසානායක
  • චානක අයිලප්පෙරුම
  • පද්මලාල් ද අල්විස්
  • පී.බී. වරාවැව
  • ආර්.ජී. සමරනායක
  • හරීන්ද්‍ර දුනුවිල
  • ශාන්තිනී කෝන්ගහගේ
  • කේසර සේනානායක
  • සමන්ත අරුණ කුමාර
  • ආනන්ද අලුත්ගමගේ
  • එම්. වේලුකුමාර්

මාතලේ දිස්ත්‍රික්කය

  • වසන්ත අළුවිහාරේ
  • රංජිත් අළුවිහාරේ
  • ප්‍රියාන් විජේරත්න
  • එම්.එච්.එම්. ඊබ්‍රහීම්
  • රොහිණී කුමාරී විජේරත්න
  • මානෙල් කුමාරී විජේරත්න
  • සන්දනම් වීරසිංහ
  • උජිත් අනුරාධ

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • නවීන් දිසානායක
  • පී. දිගම්බරම්
  • කේ.කේ. පියදාස
  • එම්. උදයකුමාර්
  • ආර්. යෝගරාජන්
  • රේණුකා හේරත්
  • ජයලත් බණ්ඩාර දිසානායක
  • ප්‍රියන්ත බණ්ඩාර
  • පී. රාජදොරෙයි
  • එම්. තිලකරාජා
  • වී. රාධක්‍රිෂ්ණන්

ගාල්ල දිස්ත්‍රික්කය

  • වජිර අබේවර්ධන
  • ගයන්ත කරුණාතිලක
  • බන්දුලාල් බණ්ඩාරිගොඩ
  • විජයපාල හෙට්ටිආරච්චි
  • සුනිල් සේනානායක
  • ජයන්ත ජයවීර
  • අශෝක සෝමරත්න
  • ආනන්ද පද්මසිරි කාරියවසම්
  • ඩෙනට් පනියන්දූවගේ
  • ෆයාස් මොහොමඩ් ලතීෆ්
  • අජන්ත ද සොයිසා
  • චන්ද්‍රලාල් අබේගුණවර්ධන
  • සේනාධී ජයලාල් අතුකෝරළ

මාතර දිස්ත්‍රික්කය

  • මංගල සමරවීර
  • බුද්ධික පතිරණ
  • සාගල රත්නායක
  • ජස්ටින් ගලප්පත්ති
  • එච්.ආර්. විමලසිරි
  • ගයාන් සංජීව
  • චන්දන ප්‍රියන්ත
  • දේවප්‍රිය වනිගසේකර
  • ජනිත් වික්‍රමසිංහ
  • නීල් උපුල් වෙදආරච්චි
  • මොහොමඩ් නුස්කි

හම්බන්තොට දිස්ත්‍රික්කය

  • සජිත් ප්‍රේමදාස
  • දිලිප් වෙදආරච්චි
  • ආනන්ද කුලරත්න
  • ටී.ජී. සේනාරතන
  • ටී.වී.කේ. ගාමිණී
  • එස්.ඒ. සුජීවා
  • අතුල සේනාරත්න
  • එම්.එල්.ඒ. ගුණතිලක
  • සුජිත් මුතුකුමාරණ
  • මහින්ද පුෂ්පකුමාර පාතේගම

වන්නි දිස්ත්‍රික්කය

  • රිෂාඩ් බදියුදීන්
  • මොහොමඩ් එහියාන්
  • රෝහණ ගමගේ
  • වී. කමලනාදන්
  • කරුණාදාස පුංචි අප්පුහාමි
  • වී. ජන්ගන්
  • එස්.වයි. මාර්තු
  • අබුල් කසීම්

මඩකළපුව දිස්ත්‍රික්කය

  • අමීර් අලී
  • එස්. ගනේෂමූර්ති
  • ඒ. නියාස්
  • එම්.එල්. ලතීෆ්
  • ඒ. ජෙගන්
  • ඒ.ඒ. රූබි
  • ටී. ලෝගනාදන්
  • එස්. මාමගරාජා

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

  • දයා ගමගේ
  • පී. දයාරත්න
  • චන්ද්‍රදාස ගලප්පත්ති
  • මීරාසහීබ් රසාක්
  • එම්.සී.එම්. ෆයිසාල්
  • ඊබ්‍රහීම් මන්සූර්
  • මොහොමඩ් හාරිස්
  • විජේරත්න බණ්ඩා
  • ආදම් ලෙබ්බේ
  • පී. සුවර්ණරාජ්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

  • එම්.එස්. තවුෆීක්
  • ඒ.එම්.එම්. මහරූෆ්
  • වෛද්‍ය අරුණ සිරිසේන
  • සුනිල් ශාන්ත රණවීර
  • ඉම්රාන් මහරූෆ්
  • පී. කරුණාරත්න
  • කේ.එම්. සාහීර්

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • අකිල විරාජ් කාරියවසම්
  • එස්.බී. නාවින්න
  • ගාමිණී ජයවික්‍රම පෙරේරා
  • අශෝක් රන්ජන් අබේසිංහ
  • නලීන් බණ්ඩාර
  • ශ්‍යමල් සෙනරත්
  • ජේ.සී. අලවතුවල
  • ඉඳුනිල් තුෂාර
  • එම්.එස්. පෙරේරා
  • මොහාන් පෙරේරා
  • ටී.එම්.එම්.පී. තෙන්නකෝන්
  • ජගත් මංජුල යාපා
  • කුමාරදාස ගිරිබාව
  • අචිනි හේරත් ලොකුබණ්ඩාර
  • බන්දුල බණ්ඩාරනායක
  • අජිත් රෝහණ
  • එච්.එම්. ජයරත්න
  • එම්.එස්. සහබ්දීන්

පුත්තලම් දිස්ත්‍රික්කය

  • නිරෝෂන් පෙරේරා
  • පාලිත රංගේ බණ්ඩාර
  • සිසිර කුමාර අබේසේකර
  • හෙක්ටර් අප්පුහාම
  • අශෝක වඩිගමංගාව
  • අශෝක ප්‍රියන්ත
  • එම්.එන්.එම්. නස්මි
  • හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු
  • එම්.එච්.එම්. නවාවි
  • අබ්දුල් ෆයිරූස්
  • වී. කමලකන්නන්

අනුරාධපුර දිස්ත්‍රික්කය

  • චන්ද්‍රාණී බණ්ඩාර
  • පී. හැරිසන්
  • අනිල් රත්නායක
  • චන්දිම ගමගේ
  • ඩී.එම්. අමරතුංග
  • පී. සහීදු
  • මල්ලිකා කුමාරිහාමි
  • කරුණාරත්න හේරත්
  • නන්දන සංජීව සෙනෙවිරත්න
  • ප්‍රසන්න මහින්දරත්න
  • අනිල් ප්‍රියන්ත ගොඩේගම
  • කේ.ඩී. සංජීව

පොළොන්නරුව දිස්ත්‍රික්කය

  • වසන්ත සේනානායක
  • සිඩ්නි ජයරත්න
  • එම්.එම්. ඩොනල්ඩ්
  • එස්.එච්.එම්. අන්සාර්
  • නාලක කොලොන්නෙ
  • ගාමිණී නන්ද කුමාර
  • සුජිත් රත්නවීර
  • සනත් කුමාර කුලවර්ධන

බදුල්ල දිස්ත්‍රික්කය

  • හරීන් ප්‍රනාන්දු
  • රවී සමරවීර
  • උපාලි සමරවීර
  • ජයන්ත කන්නන්ගර
  • සෙනරත් ජයසූරිය
  • උපාලි සේනාරත්න
  • චමින්ද විජේසිරි
  • වඩිවෙල් සුරේෂ්
  • අබ්දුල් ලතීෆ්
  • අර්වින්ද් කුමාර්
  • ර.මු. රත්නායක

මොණරාගල දිස්ත්‍රික්කය

  • රංජිත් මද්දුම බණ්ඩාර
  • ආනන්ද කුමාරසිරි
  • සම්පත් ජයසූරිය
  • එච්.ඩබ්.එම්. ධර්මසේන
  • හරේන්ද්‍ර ධර්මදාස
  • කේ. සුමතිපාල
  • නිහාල් චන්ද්‍රසිරි
  • දුමිඳු රන්දුනු බණ්ඩාර

රත්නපුර දිස්ත්‍රික්කය

  • තලතා අතුකෝරළ
  • දුනේෂ් ගන්කන්ද
  • ඒ.ඒ. විජේතුංග
  • සිරිපාල කිරිඇල්ල
  • පියදාස අබේනායක
  • හේෂාන් විතානගේ
  • අචල සුරංග ජාගොඩ
  • ජයතිස්ස රණවීර
  • අජිත් කුමාර මැද්දේගම
  • සරත්චන්ද්‍ර රාමනායක
  • එම්. චන්ද්‍රකුමාර්
  • නිල්මිණි විජේසිංහ
  • කරුණාරත්න පරණවිතාන
  • සරත් සන්දනායක

කෑගල්ල දිස්ත්‍රික්කය

  • කබීර් හෂීම්
  • ඒ.ඩී. ප්‍රේමදාස චම්පිකා
  • වෛද්‍ය තුසිතා විජේමාන්න
  • රුක්මන් සේනානායක
  • සුජිත් සංජය පෙරේරා
  • සන්දිත් සමරසිංහ
  • ලිලාන් අමරකෝන්
  • රංජිත් පොල්ගම්පොළ
  • නිමල් ජයසිංහ
  • ඩබ්ලිව්. සෝමදාස
  • පෙරුමාල් රුමේෂ්
  • අජිත් කුමාර සෙනෙවිරත්න

ජාතික ලැයිස්තුව

  • මලික් සමරවික්‍රම
  • කරු ජයසූරිය
  • ඩී.එම්. ස්වාමිනාදන්
  • වෛද්‍ය අනෝමා ගමගේ
  • කේ. වේලායුදම්
  • හසන් අලී
  • මොහොමඩ් ජමීල්
  • අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ
  • ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
  • තිලක් මාරපන
  • මහාචාර්ය චන්ද්‍රජිත් අෂුබෝධ මාරසිංහ
  • නිශාම් කාරියප්පර්
  • එම්.කේ.ඩී.ඒ.එස්. ගුණවර්ධන
  • අසාත් සාලි
  • අර්වින් වීරක්කොඩි
  • රාජා උස්වැටකෙයියාව
  • ඩබ්ලිව්. ජයසිරි
  • සුරනිමල රාජපක්ෂ
  • වින්ස්ටන් පතිරාජ
  • සිරිනාල් ද මැල්
  • අරිසරත්නම් ශෂීදරන්
  • ෂහුල් හමීඩ්
  • ක්‍රිශාන්ත කුරේ
  • අබ්දුල් හෆීස්
  • මොහොමඩ් සල්මාන්
  • ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ
  • මොහොමඩ් නජා
  • කේ.වයි.පී. රාම්
  • පී.ජී. ගුණරත්න

ජාතික ලැයිස්තුවේ පලහිලව්ව…

මහ මැතිවරණය හමාරය, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 29 ඒ ඒ පක්ෂය ලබාගත් මුළු ඡන්ද ගොන්නට සමානුපාතිකව බෙදා වෙන්කර හමාරය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 17කුත්, එක්සත් ජාතික පක්ෂයට ආසන 9කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 2කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 1කුත් බැගින් බෙදී වෙන්වී හමාරය.

එහෙත් ඒ ඒ පක්ෂයන් තුල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරුණු ආකාරය පිළිබඳව සන්ධානගතව තරඟ කළ කුඩා දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී පවතී. මේ විරෝධය පිළිගත හැකිද? ඊට සාධාරණ පදනම්ක් පවතින්නේද? සන්ධානයත් එජාපයත් සුළු පක්ෂවලට අවම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගණනක් ලබාදීමට ගනු ලැබූ තීරණය අනුමත කළ හැකිද?

මගේ තර්කයට අනුව පිළිතුර අනුමත කළ හැකිය යන්නයි. මෙවර මහ ඡන්දයේ වලංගු ඡන්ද ප්‍රමාණය 8,033,693කි. ඒ අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට හිමිකම් කීමට දළ වශයෙන් ඡන්ද 277,024ක් පමණ ලබා ගත යුතුය. මස් රාත්තලම ඉල්ලන සුළු පක්ෂ ඡන්ද 277,024ක් සන්ධානයට හා යූඇන්පියට දිනා දී ඇතිද යන්න සැක සහිතය. කුසලානය 440,483ක් හා ද්‍රවිඩ ජාතික සන්ධානය 233,190ක් ලබා ගැනීමෙන් අදාල සැක සහිත ප්‍රශ්නයට දළ අදහසක් අපට සොයා ගන්නට පුළුවන.

එජාපයේ අලියා සලකුණ යටතේ තරඟ කළ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පී. දිගම්බරම්ගේ ජාතික කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය මෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු මන්ත්‍රීවරුන්ද ජාතික ලැයිස්තුවේ පංගු පේරු ඉල්ලුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හැර වෙනත් කිසිඳු පක්ෂයකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරිනමා නොමැත. එය සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා ගත්තේ එක් අපේක්ෂකයකු පමණි, සෑම දිස්ත්‍රික්කයකම ඔවුන්ගේ වැඩිම මනාපලාභී අපේක්ෂකයාගේ මනාප ගණන එකතු කිරීමෙන් යන්තම් 100,000 පන්නනවා විනා 277,000ට ලං විය නොහැක. නුවර එළිය දිස්ත්‍රික්කයේ වතුකම්කරු ඡන්දදායකයා ලංකා කම්කරු කොංග්‍රසයෙන් මුදවා ගන්නට අසමත් වූ මනාප 39,000ක් දිනා ගත් දිගම්බරම්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් ඉල්ලීම අසාධාරණය. ශ්‍රිලනිප ‘ම’ පාර්ශවයද එලෙසමය, ඔවුන්ගෙන්ද එජාපයේ ඡන්ද ගොන්නට 277,000ක් එකතු වූවා යැයි මංගල සමරවීර මහතාවත් තර්ක නොකරනු ඇත. අනික එජාප ඡන්දදායකයින්ද එම සෙසු පක්ෂවල අපේක්ෂකයින්ට මනාප දී ඇති බව වගකීමෙන් මට ලිවිය හැක්කේ එවැන්නන් කිහිප දෙනෙකුම මා හොඳින් හඳුනන බැවිනි.

මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට සැලකිය යුතු දායකත්වයක් හිමිවූ බව නිසැකය. මනාප ලැයිස්තු හරහා ආසන 6ක් දිනා ගැනීමෙන් එය මනාව පිළිබිඹු වෙයි. අනෙක් අතට නැගෙනහිර හා වන්නියේ එජාප ඡන්දවලින් බහුතරයක්ම එජාපයට ගෙනැත් දුන්නේ මුස්ලිම් කොංග්‍රසය බවද රහසක් නොවන්නේය. මුස්ලිම් කොංග්‍රසයට අනිවාර්යයෙන්ම ජාතික් ලැයිස්තුවෙන් ආසනයක් හිමිවිය යුතුය. නමුත් පවතින වාතාවරණය තුල නැගෙනහිරින් හා වන්නියෙන් මුස්ලිම් කොංග්‍රසය එජාපයට දිනා දුන් ඡන්ද ගොන්න නොවන්නට එජාපයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන්නේ ආසන 8ක් පමණි. තවත් ඡන්ද 4,000ක් එහා මෙහා වුණි නම් එජාපයේ ජාතික ලැයිස්තු නියෝජනය 8ට අඩු වී සන්ධානයේ නියෝජනය 18 දක්වා වැඩි වන්නට තිබුණි. එනිසා එජාපය ජාතික ලැයිස්තුව තෝර ඇති පිළිවෙළ හොඳය. එජාප සාමාජිකයන් 7කුත් මුස්ලිම් කොංග්‍රසයෙන් 2කුත් පත් කිරීම එකඟ විය හැකි තත්වයකි.

සන්ධානයේද ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂයට එක ආසනය බැගින් ජාතික ලැයිස්තුවෙන් ලබා දී ඇති අතර එහිද සාධාරණත්වයක් පෙනේ. සිදුව ඇත්තේ පදනම් විරහිත ලෙස සුළු පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකෙහි ඡන්දවලින් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ගන්නට උත්සහ දැරීමය. මෙය කණගාටුවට කරුණකි. 2004දී සිදු වූයේ මෙයයි. එජාපය ජාතික ලැයිස්තුවෙන් ආසන 11ක් දිනුවද ඉන් 7ක්ම හවුල්කාර පක්ෂවලට බිල්ලට දීමට සිදු වූයේ මේ බලපෑම් නිසාය. අද එය එසේ සිදු නොවීම සාධාරණත්වය අගයන කාගේත් සතුටට හේතුවකි.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු
තිස්ස අත්තනායක
ජෝශප් මයිකල් පෙරේරා
එරාන් වික්‍රමරත්න
ආචාර්ය හර්ෂ ද සිල්වා
අනෝමා ගමගේ
ආර්. යෝගරාජන්
ඩී.එම්. ස්වාමිනාදන්
එම්.ටී. හසන් අලී (මුස්ලිම් කොංග්‍රස්)
ඒ.එස්.එම්. අස්ලම් (මුස්ලිම් කොංග්‍රස්)

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

මනාපයේ අමනාපය

හෙට (20) නාවලපිටියේ 51,000ක පමණ පිරිසකුත් කුඹුරුපිටියේ 1,000ක පමණක පිරිසකුත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 2010 මහ මැතිවරණය සමාප්ත වනු ඇත. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුවට රටේ මහජනතාව වන ඔබ අප සැම තේරූ මන්ත්‍රීවරුන් 225දෙනා කවුරුන්දැයි 21දා වන විට අප නිත්‍ය වශයෙන් හඳුනාගනු ඇත. මේ මැතිවරණය කාගේත් කතාබහට ලක්වූ මනාප ක්‍රමය යටතේ පැවැති අතර මනාප යුද්ධයේ පෙරටුගාමීන් පවා කීවේ මනාප ක්‍රමය අනුව පවත්වන අවසාන මහ මැතිවරණය මෙය වනු ඇති බවයි. එය එසේ වනු ඇත්ද? එය එසේ වී නම් එය හොඳද??

ආචාර්ය සරත් අමුණුගම

මාගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් මනාප ක්‍රමය හොඳය එහෙත් වැරැද්ද අපි එය භාවිතා කරන විදියත් දේශපාලනඥයන් හැසිරෙන විදියත්ය. කෙටියෙන් කිවහොත් මෙය පුද්ගලයින්ගේ වරදක් මිස ක්‍රමයේ වරදක් නොවන බව මගේ මතයයි. එය එසේ වන්නේ කොහොමද? ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. නාවලපිටියේ පලහිලව්ව ගන්න, මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා කිසිත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවූ බව කියද්දී සරත් අමුණුගම, එස්.බී. දිසානායක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් කියන්නේ වෙනත් කතාවකි. තත්ත්වය කොතෙක් බරපතලද යන වග ලක්ෂ 500ක් ඉල්ලා අලුත්ගමගේ ඇමැතිතුමා අමුණුගම ඇමැතිතුමාට එන්තරවාසියක් යැවීමෙන්ම පිළිබිඹු වේ. මනාප ක්‍රමය පසෙකලා ආසන ක්‍රමයකට ගියහොත් මේ අය අතර තනතුරු තානාන්තර හෝ ප්‍රතිපත්ති උදෙසා ගැටුම් අවම වනු ඇතැයි කාට නම් සහතික විය හැකිද? අනෙක් අතට ආසනවල පක්ෂ සංවිධායකයන් වන්නට පක්ෂ තුල ඇතිවන්නාවු ප්‍රශ්න සමනය වනු ඇත්ද? 1977 තෙක් මැතිවරණවලදී පක්ෂයකින් නොමිනේෂන් නොලැබුණු විට ඒ අපේක්ෂකයින් මෙවර බදුල්ලේ එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර මහතා බදුල්ලෙන් කලාක් මෙන් ස්වාධීනව තරඟ කිරීම හරහා ඒ මත ගැටුම් එලෙසම පවතී. බොහෝ දෙනෙක් කෝකටත් තෛලය මෙන් මතුරන්නේ ඡන්ද ක්‍රමයත් ව්‍යවස්ථාවත් වෙනස් කළොතින් රටම සුර පුරයක් වනු ඇති බවයි. එය කෙතරම් හාස්‍යජනක ප්‍රකාශයක්ද?

අනෙක් අතට පසුගියදා හලාවතදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර අමානුෂික ලෙස පහරදීමද ක්‍රමයේ වැරැද්දක් කියා අපට ලඝු කර පැත්තකට වෙන්නට බැරිය. දේශපාලනයේ අද වනවිට නුසුදුස්සන් සිටීමේ වගකීම සින්නක්කර පිටින්ම අප පවරනුයේ මැතිවරණ ක්‍රමයටය. මේක වැරදිය. මෙහි වැරැද්ද භාරගන්නට උවමනා වන්නේ රටේ මහජනතාව වන අපමය. රටේ බොහෝ දෙනෙක් මනාප දෙන්නේ රැල්ලටය, පෝස්ටරයටය, කටවුට්වලටය, නොමිලේ බෙදන ඇස්කණ්ණාඩියටය, නැතිව දක්ෂයින් සහ දර්ශනයකින් හෙබි නායකයින්ට නොවේ. මිනිසුන් සාධාරණ හා අසාධාරණ මාර්ගවලින් මුදල් උපයන සල්ලිකාරයන්ට මනාප දෙමින් මේ ක්‍රමයෙන් වාසි සල්ලිකාරයන්ටැයි මැසිවිලි නැගීම විහිළුවකි.

පාලිත රංගේ බණ්ඩාර

අතිගරු ජනාධිපතිතුමා සන්ධාන පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ පිරිසිදු දක්ෂයන් පිරිසක් තමන්ට රට හදන්නට තෝරා දෙන්න කියාය. එම ප්‍රකාශයෙන්ම පිළිබිඹු වන්නේ මනාප ක්‍රමයේ වටිනාකම නොවේද? හිටපු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් දැනටමත් පරාජයට පත්වී ඇත්තේ මේ මනාප ක්‍රමය නිසාය. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ගේ කැමැත්තටය. උදාහරණයක් ලෙස රෝහිත බෝගොල්ලාගම අමාත්‍යතුමන් රට වෙනුවෙන් ලොවම දිනුවද කොළඹ පැරදිණි, පක්ෂ මාරු කළද ශීලාචාර දේශපාලනය ගැන කතාබහ කළ මිලින්ද මොරගොඩ මහතාටද අත්වූයේ එම ඉරණමමය. පහුවුණු සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ අන්දමට ආචාර්ය සරත් අමුණුගම මහතාද එම තත්ත්වයට මුහුණ දීමේ අවදානමින් පසුවෙයි. කවුරු කොහොම කීවත් මේවා ජනතාවගේ තීරණය. ජාතික ලැයිස්තුව දෙස බලන්න, ඉන් පාර්ලිමේන්තු එන පිරිස තේරීම කෙතරම් නම් උභතෝකෝටිකයක් වී ඇතිද, ඉන් බොහෝ විට පාර්ලිමේන්තු එන්නේ අදාල පක්ෂයේ නායකත්වයේ හෙංචයියන්ය, ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයන් ගැන තීරණ ගන්නට ජනතාවට බැරිය. උදාහරණයක් ලෙස එජාපයේ ජාතික ලැයිස්තු අපේක්ෂක රුක්මන් සේනානායක වැන්නවුන් තම දිස්ත්‍රික්කවලින් තරඟ කළෙහි නම් තත්ත්වය වෙනස් වන්නට පවා ඉඩ තිබුණි. එසේ නම් මනාප ක්‍රමය ඉවත් කිරීමෙන් සිදුවන්නේ ඒ ඒ පක්ෂයේ නායකත්වයන්ට ජනතා ඡන්දවලින් පාර්ලිමේන්තු යන්නේ කවරෙක්දැයි තේරීමේ මහඟු අවස්ථාව ලියා දීමය. ඉන් අද සිදුවී ඇතුවාක් මෙන් තුරුණු නියෝජනය දිරිගැන්වීම සිදු නොවනු ඇත. අපට උවමනා වන්නේ මෙයද??

පසුගියදා පැවැති ජනහඬ සංවාදයකදී බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මැරයන් සහ තක්කඩින් මැතිසබයට ජනතාව තෝරා ගැනීම ගැන තමන් කණගාටු වන බවයි. මෙම ප්‍රකාශයේ යටි අර්ථය වන්නේ පක්ෂ ලැයිස්තු සකසන විට ඒවා පිරිසිදුව හදන්නට උවමනා කොන්ද පක්ෂ නායකයින්ට නොමැති බවයි. ලැයිස්තුවලට මැරයින් එක්කාසු කර හොඳ කණ්ඩායමක් තෝරා දෙන්නැයි ඉල්ලන්නේ එනිසා විය යුතුය. එසේ නම් මහජන නියෝජිතයින් තෝරා ගැනීම පක්ෂ නායකයින්ට සින්නක්කර පැවරීම නුසුදුසුය. මක්නිසාදයත් මෙවැනි පාර්ලිමේන්තුවක්වත් ඉන් අපට නොලැබෙනු ඇත. අනෙක් අතට පැරණි කේවල ක්‍රමයේ දුර්වලතා අපි කලියෙන් ලිපියක ඔබට ගෙන හැර පෑවෙමු.

මොකක්ද එතකොට කෙරෙන්න ඕනෙ?? ඔබ එසේ අසනු ඇත. ඊට පිළිතුර ලෙස මා දකින්නේ අපි පළමුව මෙය ක්‍රමයේ වරදකට වඩා පුද්ගලයින්ගේ වරදක් බව තේරුම් ගත යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වේවා එක්සත් ජාතික පක්ෂය වේවා ඔවුන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල ඇතැම් අපේක්ෂකයින්ගේ අඩුපාඩු බොහෝය. කේවල ක්‍රමයක් තිබුණි නම් කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුට සුසිල් ප්‍රේමජයන්තට හෝ ඒ.එච්.එම්. ෆවුසිට ඡන්දය දෙන්නට බැරිය ඔහුට කළ හැකි එකම තේරීම බෝගොල්ලාගමය, තමන් කැමති හෝ අකමැති වෙන විකල්පයක් නැත. ඒ අනුව පැහැදිලි වන්නේ රාමුවෙන් නිමග්නව රට ගැන සිතා සුදුස්සන්ට (හෝ සාපෙක්ෂව සුදුස්සන්ට) මනාප භාවිතා කිරීමෙන් ඔබේ සැබෑ නියෝජනය උත්තරීතර සභාවේ තහවුරු කළ හැකිය යන්නයි. එහෙත් එජනිසය සතු බහුතරයත් සමඟ ආයේ කවරදාකවත් අපට අපි මනාප මන්ත්‍රීවරයකු පත් කරන්නට වරම් ලැබෙනු ඇත්ද යන්න සැක සහිතය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

මහ ඡන්දයෙන් ඉක්බිති…

2010 මහමැතිවරණයේ මැතිවරණ කොට්ඨාශ දෙකක (නාවලපිටිය සහ ත්‍රිකුණාමලය) හැර සෙසු ප්‍රතිපල ප්‍රකාශයට පත්වී හමාරය. මහනුවර දිස්ත්‍රික්කයෙන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තු යන මන්ත්‍රීවරුන් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අප තවමත් නොදනිතත් මහ මැතිවරණයේ දිනූ සහ පැරදුනු සෙසු අපේක්ෂකයින් අප දනිමු. 20දා නාවලපිටිය හා ත්‍රිකුණාමලය ඡන්ද විමසීමෙන් පසුව එජනිසයට ආසන 143ත් 145ත් අතර ගණනකුත්, එජාපයට ආසන 59ක් හෝ 60කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 14ක් හෝ 15කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 7කුත් හිමි වනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකිය යුතු බහුතර බලයක් අත්පත් කරගෙන ඇති අතර අප ඔවුන්ට ඒ වෙනුවෙන් සුබ පතමු. මේ ජනවරමින් තම පුද්ගලික න්‍යායපත්‍රයන් මුදුන් පමුණුවා ගැනීම පසෙක තබා අප මාතෲභූමිය සැබැවින්ම ආසියාවේ ආශ්චර්ය කරන්නේ නම් පක්ෂ විපක්ෂ අප සැමට සතුටු වන්නට පුළුවන.

එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස පරාජය පිළිගන්නා අතරම පරාජයෙන් උගෙන ගත යුතු දෑ උගත යුතුය. මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යන්නේ එජාපයේ පණිවුඩය ගමට ගොස් නැති බවයි. සිංහල බෞද්ධ බහුතරය එක්සත් ජාතික පක්ෂයෙන් තරමක් ඈත්වී ඇති ස්වරූපය පැහැදිලි ලෙසම පෙනී යයි. මේ තත්ත්වය වෙනස් වන්නට නම් පක්ෂයේ ක්‍රියාශීලීන් වඩාත් වැඩියෙන් ගමට යා යුතුය, එපමණක් නොව පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්තීන්ද ජනතාව හා බෙදා හදා ගත යුතුය. අද සිදුව ඇත්තේ බොහෝ දෙනෙක් එජාපයේ ප්‍රතිපත්තීන් නොදැන සිටීමයි. පක්ෂයට ගරහන විරුද්ධවාදීන් තබා ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්වත් එජාපයේ ප්‍රතිපත්ති  හරිහැටි නොදැනීම කණගාටුවට කරුණකි. මේ තත්ත්වය අකා මකා ගෙන මීළඟ මැතිවරණ සඳහා එජාපය ප්‍රතිසංවිධානය විය යුතුය යන්න සදාහරිතයේ අපේ හැඟීමයි. ඒ පිළිබඳව අපේ අදහස් උදහස් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය - සජිත් ප්‍රේමදාස

සෑම කළු වළාකුළකම රිදී රේඛාවක් ඇතැයි යන ප්‍රකාශය ඔබ කවුරුත් පාහේ අසා ඇතුවාට සැක නැත. මෙවර මැතිවරණ පරාජය සමානුපාතික ඡන්ද ඉතිහාසයේ දැවැන්තම පරාජය වුවත් එජාපයට සතුටු වන්නට එක් හේතුවක් ඇත. මෙවර එජාපයෙන් පාර්ලිමේන්තු වරම් දිනා ඇති බොහෝමයක් නවකයින්ය. දැනට ආසන 46කට තේරී පත්වන නම් අප දනිමු. ඒ අතුරින් 21ක්ම පාර්ලිමේන්තුවට නවකයින්ය. මහනුවරින්ද නවක එජාප මුහුණක්වත් පාර්ලිමේන්තු එනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. ජාතික ලැයිස්තුවෙන්ද එරාන් වික්‍රමරත්න හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන දෙපල පමණක් හෝ පාර්ලිමේන්තු එතැයි අපට අපේක්ෂා කළ හැකිය. ඒ අනුව එජාපයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 45%ක් 50%ක්ම නවකයින්ය. ඉන් සැලකිය යුතු පිරිසක් අවුරුදු 30ත් 40ත් අතර තම දිවියේ සිව්වන දශකය ගෙවන්නෝය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නවක මුහුණු බහුතරයක් දේශපාලන පෙළපත්වල උරුමක්කාරයන් වෙත්දී එජාපයේ නවක මුහුණු රැසක්ම අලුත් දේශපාලන රටාවක නිර්මාපකයන් වීම විශේෂ කරුණකි. 1989දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙවැනිම අන්ත පරාජයක් අත්විඳි අතර එහිදී ඔවුන් දිනා ගනු ලැබූ ආසන 65න් සැලකිය යුතු පිරිසක් තරුණ නවකයින්ට හිමිවිය. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, චමල් රාජපක්ෂ, මංගල සමරවීර, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න වැන්නවුන් කරලියට ආවේ 1989 මැතිවරණයෙනි. එනිසා මෙවර එජාපය ලද තරුණ පිරිස පාක්ෂිකයින් විසින් ගනු ලැබූ අනාගත ආයෝජනයක් ලෙස සලකමි.

ඒ නවකයින් ගොන්නට මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතය හිමිකරගත් දකුණු පළාත් විපක්ෂ නායක බුද්ධික පතිරණ, බදුල්ලේ වැඩිම මනාප දිනාගත් ඌව පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ගාල්ලේ දකුණු පළාත් සභා මන්ත්‍රී මනූෂ නානායක්කාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ, කළුතර සිරගෙදර සිරබත් කන පාලිත තෙවරප්පෙරුම හා අපේ සහෘද සිංහල බ්ලොග්කරුවකු වන අජිත් පී. පෙරේරා, කුරුණෑගල හිටපු නියෝජ්‍ය නගරාධිපති අශෝක් රන්ජන් අබේසිංහ හා නිල්වලා සමූහ ව්‍යාපාරයේ අධිපති නිල්වලා විජේසිංහ, ගම්පහින් රුවන් විජේවර්ධන, සබරගමු විපක්ෂනායක රන්ජන් රාමනායක, මධ්‍යම පළාත් විපක්ෂනායක වසන්ත අළුවිහාරේ, පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆෙස්ටස් පෙරේරා මැතිඳුන්ගේත් ලැරින් පෙරේරා මැතිණියගේත් පුතු වන නිරෝෂන් පෙරේරා, මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා, කල්මුණේ නගරාධිපති මොහොමඩ් හාරිස්, දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතාගේ බිරිඳ වන විජයකලා මහේෂ්වරන් මැතිණිය හා ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි අපට පෙන්වා දිය හැකිය. මොවුන් ඇතුළු තේරී පත්වූ සියළු එජාප මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක් අපි ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙමු.

බොහෝ දිස්ත්‍රික්කවල එජාප අපේක්ෂකයින් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතයද දිනා ගත්තේය. ඒ අතුරින් හම්බන්තොට රාජපක්ෂවරු ත්‍රිත්වයකට එදිරිව එජාපය මෙහෙයවූ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිට පිට සිව්වන වතාවටත් වාර්තාගත 89.69%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතලාභියා බවට පත්විය. කොළඹ දිසාවේ වැඩිම මනාප ප්‍රතිශතයට රනිල් වික්‍රමසිංහ මහතා උරුමකම් කියද්දී, ගාල්ලෙන් ගයන්ත කරුණාතිලක, මාතරින් බුද්ධික පතිරණ, කුරුණෑගලින් දයාසිරි ජයසේකර, පුත්තලමින් පාලිත රංගේ බණ්ඩාර, මාතලෙන් වසන්ත අළුවිහාරේ, රත්නපුරයෙන් තලතා අතුකෝරාළ, දිගාමඩුල්ලෙන් මොහොමඩ් හාරිස්, මඩකළපුවෙන් බෂීර් සේගු ඩාවුඩ් හා වන්නියෙන් නූර්ඩීන් මෂූර් යන මන්ත්‍රීවරුන් ස්වකේය දිස්ත්‍රික්කයන්හී වැඩිම මනාප ප්‍රතිශත ලාභියා බවට පත්ව ඇත. ඇතැමුන් මනාප ක්‍රමයට දෙස්දෙවොල් තැබුවද ජනතා විශ්වාසය උරගා බලන හොඳ මිනුම් දණ්ඩක් ලෙස මනාප ක්‍රමය උපුටා දැක්විය හැකිය (ජනතාව පරිණත දේශපාලන බුද්ධියකින් මනාප භාවිතා කරන්නේ නම්). මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල සහ එහි දිනුම් පැරදුම් ගැන අප පසුව දිනෙකදී කතා කරමු. නමුත් මෙම ලිපියේ මා වෙසෙසින්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉහත කී ජනප්‍රිය චරිත වලට එජාපය තුල ඔවුන්ට ලැබිය යුතු නිසි තැන ලබාදීම අනිවාර්යය වන බවයි.

කෙසේ වෙතත් තව වසර හයකට රටේ පාලන බලය භාරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුබ පතනමුත් ඔවුන් මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ආ සමාජ සහ ආර්ථික ප්‍රතිපත්තීන්වලට අපට එකඟ විය නොහැකිය. එබැවින් ඉදිරියටත් ඔවුන් එම මාවතේම ගමන් ගන්නේ නම් නිත්‍ය ලෙසින්ම රට වෙනුවෙන් එම මග වෙනස් කරන්නට එජාපය සැදී පැහැදී සිටිය යුතුමය.

සදාහරිත පාඨක ඔබ සැමට සාමය සතුට රජයන වාසනාවන්ත, සෞභාග්‍යමත් සුබම සුබ සිංහල හා හින්දු නව වසරක් වේවා…!!! 🙂

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

පාක්ෂිකයන්ගේ අඩුපාඩු

වත්මන් ආණ්ඩුවේ අසාධාරන ක්‍රියා පිළිවෙතද, දූෂණ සහ අක්‍රමිකතාද, අප විසින් විමසුවෙමු.අද ලිපියෙන් කතා කිරීමට බළාපොරොත්තු වන්නේ අපගේ,නොඑසේනම් එජාප පාක්ෂිකයින්ගේ අඩුපාඩු සම්බන්ධවය.එම අඩු පාඩු ඍජු ව සම්බන්ධ නොවුනත් වක්‍රව එජාපය සහ ලංකාවේ පක්ෂ දේශපාලනය තුල එජාපයේ පැවැත්මට බාධක එල්ල කරයි.

පලමු අඩුපාඩුව අනවශ්‍ය උන් හා තර්කයට යාමයි.ගමේ සිටින බල්ලෙකුට බඩේ අමාරුවක් හැදුනත් එයද එජාපයේ වැරැද්දයයි කෑගසමින් පොලෝ පස් කන්නන් හා තර්ක කොට සත්‍ය තේරුම් කිරීම අතිශය අනුවණකමකි.එවන් උන් හඩ්සන් ගේ ඇදේ ගිය උන් ලෙස සලකා වෙන වැඩක් බලාගන්න ලෙස කාරුණිකව ඉල්ලා සිටිය යුතුය.මන්ද ඔවුන් හා වාද කිරීමෙන් සිදුවන්න්නේ උන් චිත්තප්‍රීතියට පත්වීම පමණි.ඒ “අපටද දැන් තර්ක කල හැකිය” යන මාණසිකත්වයට සිත් වඩවාගෙනය.

එසේම යම් තර්කයක් සහිතව නො එසේනම් එකම බයිලාව සමග ඉදිරියට එන උන්ද ඇත.ඒ “අපි තමයි යුද්ධය ඉවර කලේ”.”අපි හින්දා තමයි අවුරුදු තිහකට පස්සේ දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි එකට වීවා බොන්නේ.” යනාදියයි.එහෙව් උන් සමගද කතා කිරීමෙන් පලක් නැත.එහෙත් එවන් උන්ගේන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් ඇත.
  1. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන්ද?
  2. “අපෙන් එකෙකි මේ මිනිසා” මාස තුනෙන් අමතක වී, “ජය ජයවේ”, “ආයුබෝ වේවා”, “නා මල” තුඩග තුඩග රැව් දෙන්නේ ඇයි?
එසේම තවද ඔවුන් කෙරේ අවධාරණය කල යුතු තවත් කරුණක් ඇත.එනම් “එල්ටීටිය” නම් හෝටලයෙන් “කරුණා” නමැති පරිප්පු හොද්ද ඉවත් කර, ඔය කියන වසර තිහේ යුද්ධය නිමා කිරීමේ මූලික අඩිතාලම දමා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවය.කෙසේ නමුත් ඔබ කොපමණ මෙවන් පැහැදිලි කිරීම් කලත් ඔවුන් සැලෙන්නේ නැත.එසේ වුවද මෙසේ නොකියාත් බැරිය.මන්දයත් මෙසේ ඉහ මොළ කරවී මඥ්ඥං වී සිටින්නේ අපේ සහෘද ජනයා බැවිනි.තවත් පිරිසක් ඇත.ඒ ඉතිහාසය විකුණන උන්ය.උන් උදාහරණ ගෙනෙන්නේ දුටු ගැමුණු සමයෙනි.ඔවැනි විකාර ප්‍රාණීන් හා ගණුදෙණු කිරීමට අප සූදානම් වී සිටිය යුතුය.

අනෙක් කරුණ නම් පක්ෂය කෙරෙහි පවතින ඇම්මයි.එය වැරදි ලෙස භාවිතා කරන පිරිසක් ඇත.උන්ට අනුව අපි Green Blood ය.සදාහරිතය තුල ඉන්නාවූ අපට එහෙව් ඇම්මක් නැත.අප පාක්ෂිකයින් වුවද මොවුන් වලිගය පාගාගෙන ඇත.කැපුවත් කොල යන්නෙහි සැබෑ අරුත “අප ලේ කොල පැහැතියි” නොව “අපව කපා දමන ලද මුත් අප කොල පැහැයෙන් වෙනස් නොවෙන බවය” නොහොත් අප පක්ෂය අත නොඇර යන බවය.ඔය කතාවෙන් රෝසි සේනානායක මහත්මියද වැඩේ වරද්දා ගත්තේය.ආචාර්‍‍ය මර්වින් සිල්වා මහතාගේ පිළිතුර අතිශය සාර්ථකය.එහෙනම් ඇත්තටම ලෙඩක් විය යුතුය.විරුද්ධ පාක්ශිකයින්ට ඔවැනි කොන් අල්ලාගෙන පහර ගසන්නට අප ඉඩ නොදිය යුතුය.අප ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුය.අන්තර්ජාලය තුල ඉමහත් ලෙස ප්‍රසිද්ධ මෙම කණ්ඩායම දැන්වත් තම වැරැද්ද සකසා ගනීවියැයි අප විස්වස් කරමු.
අනෙක් කරුණ නම් එජාපයද සර්ව සාධාරණ පක්ෂයක් නොවේ.අනෙක් පක්ෂ වල මෙන්ම දූෂණයට අත පෙවූ අපේක්ෂකයින්ද ඇත.එබැවින් ඔබගේ මනාපය මෙවර මැතිවරණයේදී පාවිච්චි කිරීමේදී සැළකිලිමත් විය යුතුය.සමහරුන් එජාපය හා බැඳී ඇත්තේ පවුල් පසුබිම අනුවය.තවත් සමහරෙක් දැඩි ලෙස තමන් විශ්වාස කරන දේශපාලනික දර්ශනය එජාප දර්ශන සේ සලකා එය හා බැඳී සිටියි.තවත් සමහරුන් තමන් ප්‍රියකරන දේශපාලනඥ්‍යයා සිටින පක්ෂය හේතුවෙන් ඒහා එක්ව සිටී.තවත් සමහරෙක් තමන් ප්‍රිය කරන දේශපාලන දර්ශනයට කිට්ටුවෙන්ම ගමන් කරන පක්ෂය හේතුවෙන් ඒ හා එක්ව සිටී.මෙනිසා ඔබ තීරණය නොහොත් මනාපය පක්ෂය වෙනුවෙන්ම පමණක් නොව පක්ෂය හා රට යන දෙතැන වෙනුවෙන්ම ගන්න ලෙස ලෙස ඉල්ලා සිටින් මම ලිපිය අහවර කරමි.
ඔබ සියල්ලන්ට ජයෙන් ජය වේවා!
– රචින්ත ජයවර්ධන, 2010 බක්

සමාජවාදය, බෞද්ධාගම සහ අප්‍රේල් 8

ශ්‍රී ලංකාව සංවේදී මිනිසුන්ගේ දිවයිනකි. නමුත් විටෙක මෙම සංවේදීත්වය දෝරෙ ගලා රටට අහේනිය කැඳවයි. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ කියන අන්දමට ලංකාව සංවර්ධන මාවතේ පසුබැසීමට එක හේතුවක් වන්නේ අප අපේ සංවේදී හැඟීම සංවර්ධනයට බාධාවක් කර ගැනීමයි. ජාතිය, ආගම යනාදිය අවුස්සා ඡන්ද දිනන හැටි වාසි ලබන හැටි අපේ දේශපාලනඥයන් මනාව දනිති.

අද මහ මැතිවරණයත් සමඟ මෙවැන් දිගහැරුම් කිහිපයක් අපට දැකගත හැකිව තිබේ. සමාජවාදය කරපින්නා ගෙන දේශපාලනයට පිවිසි එකකු අද හන්දියක් හන්දියක් පාසා කටවුට් ගසමින් තාප්පයක් තාප්පයක් පාසා පෝස්ටර අලවමින් මෝටර් රථවල ස්ටිකර් අලවා ඒවා ප්‍රචාරණය සඳහා යොදා ගනිමින් ක්‍රියා කරන්නේ සමාජවාදියකුට ඔබින අයුරින්දැයි ප්‍රශ්නයක් බොහෝ දෙනෙකුට නැගී ඇත. කෝටි ගණනක වියදමින් මාළිගා තනන්නේ යැයි චෝදනාවක් එල්ල වී ඇති මොහු විමල් වීරවංශ මහතාය. සමාජවාදය ගැන නිතර දෙවේලේ කතා කරන මනාප පොරය හෙළා දකින් මව්බිමේ පංචායුධය නමින් කිරුළු පලන් එතුමාට මේ තරම් වියදම් කරන්නට මුදල් කොහින් ලැබුණිදැයි අපි නොඅසමු. නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුල බස් නැවතුමක් තබා පොදු වැසිකිළියක්වත් හදන්නට පියවරක් ගෙන නැති ඒ මහතා තම ග්‍රන්ථ රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමැතිව හිඳිනා අවධියේදී තැනුණු ජාතික තරුණ සේවා සභාවේදී එළිදැක්වීම කෙතරම් නම් හාස්‍යයට කරුණක්ද?? එදා ජවිපෙ සන්ධානයෙන් තරඟ කරද්දී පුවත්පත් පිටුවක් පුරා ඒ ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නොම්මර අප දුටු බව ඔබට මතක ඇති. නමුත් අද විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ඔහු හැරුණු කල්හී කිසිඳු අපේක්ෂකයකුට අඩුම තරමේ පුවත්පත් දැන්වීමක්වත් නොවැටෙන්නේ ඔහු සැබෑ සමාජවාදියකු ලෙස සාමුහික චින්තනයක සිටින නිසාද, නැත්නම් ආත්මාර්ථකාමී චින්තනයක සිටින නිසාද යන්න ජනතාව විසින්ම තීරණය කළ යුතුය. සමාජවාදී සළුපිළි පොරවාගෙන ධනවාදී දේශපාලනය කරන දේශපාලනඥයන් මෙරටට නවුම් අත්දැකීමක් නොවේ. සමාජවාදී දේශපාලනය ගැන උදම් අනමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල අධ්‍යාපනය ලද, ඒ රටවලට තම දූදරුවන් අධ්‍යාපනයට යැවූ වමේ දේශපාලනඥයන් අපේ රටේ ඉතිහාසය පුරා සුලභය. අවාසනාවට මොවුන්ගේ ලොමු ඩැහැ ගන්වන ප්‍රකාශවලට (එහෙත් යල්පැන ගිය) ජනතාව මුලා වීම කණගාටුවට කරුණකි. කටින් බතල හිටවනවා මිස සුළු හෝ ජනතා සේවයක් නොකරන මෙවන් ඊනියා දේශප්‍රෙමී සමාජවාදීන්ට විරුද්ධ වීම ජනතාව සතු යුතුකමකි.

අනෙක් පැත්තෙන් බුද්ධාගම වෙළෙඳ භාණ්ඩයක් කරගනිමින් ඡන්ද එකතු කර ගැනීමට යෙදවීම් බෞද්ධයන්ට මහත් කණගාටුවට හේතුවන කරුණකි. පසුගියදා මියැන්මාරයේ භික්ෂූන් වහන්සේලා මහ මග මරා දැමූ එහි ආඥාදායක පාලක තාන් ෂ්වේ ලංකාවට පැමිණි විට මුණිවත රැකි රජයේ කේවට්ටයින් ඒකෝන් නම් ගායකයා බුදුන්ට අපහස කළ නිසා ලක්දෙරණට ගෙන ඒමට දැඩි විරෝධය පෑහ. පසුව ඒකෝන් මෙරටට ගෙන ඒම පිටුපස සිටින්නේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ අචල සුරංග ජාගොඩ කැබිනට් ඇමැති පදවිය උසුලන සංචාරක අමාත්‍යාංශය බව අපට අසන්නට ලැබුණි. කෙසේ වෙතත් මෙයද දේශපාලනික ඇවිස්සීමක් විනා අන් කිසිවක් නොවන බව කිව යුතුය, ඔච්චර බුද්ධාගමට ආදරේ නම් ඉහත කීවාක් මෙන් තාන් ෂ්වේ ලක්දෙරණට එන විට මුනිවත රැක්කේ මන්ද?? අරලියගහ මන්දිරයේ “මතට තිත” මුවාවෙන් මත්පැන් සංග්‍රහය අනුමත කරන්නේ කොහොමද??

එදා බුදු රදුන්ට විවිධ උදවිය අපහාස උපහාස කරද්දී උන්වහන්සේ ඒවාට නොසැලී මුහුණ දුන් සේක. උන්වහන්සේ ඒ කිසිවකින් සැලුනේ, කම්පා වූයේ නැත, අනෙක් පැත්තට බුදු සසුනේ ප්‍රධාන දායකයන් වූ අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජතුමා, විශාඛා සිටු දියණිය වැන්නවුන් උන්වහන්සේට අපහස කරන විට බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණ කළ බව, ගල් මුල් වලින් පහර දුන් බව කොතැනකවත් ලියැවී ඇත්ද? බුදුන්ගේ අමා ධර්මය ශ්‍රද්ධාවෙන් සරණ ගොස් සසර නිමැවූ ඔවුන් අද අපේ ශ්‍රී ලාංකික “බෞද්ධයින්” හැසිරෙන අන්දමින් හැසිරෙන්නට ඇත්ද?? මෙය අප සැමට සිතන්නට යමකි, සිංහල බෞද්ධ අප එවැනි චරිතවලින් පාඩම් උගෙනිය යුතුය. එදා 2003 අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අකල් අපවත් වීම විකුණා පාර්ලිමේන්තුවේ ආසන 9ක් දිනා ගත් ජාතික හෙළ උරුමය කීවේ උන්වහන්සේලා ධර්ම රාජ්‍යයකට පාර කපන බවයි. රථවාහන පර්මිට් විකුණමින්, “බල්ලන්ට ලගින්නට” යැයි පවසා බෙන්ස් කාර් ගනිමින්, තැන තැන අසපු සදමින් ජාතික හෙළ උරුමය කර ඇත්තේ ධර්ම රාජ්‍යයට පාර කැපීමද? අද ජාතික හෙළ උරුමයෙන් ඡන්ද සටනේ ඉන්නේ එක් හිමිනමක් පමණි. අන් සියල්ලෝම ගිහියන්ය, ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසර හිතකාමී ලෙස පෝස්ටරවලින් තොරව ඡන්ද කරන්න යැයි කියද්දී ඔවුන්ගේම අපේක්ෂකයින් (ජාතික හෙළ උරුම) පෝස්ටර, සංගීත යනාදිය යොදවමින් ඡන්දය කරති. 2004දී ප්‍රධාන මාතෘකාවක්ව තිබූ අන්‍යාගමීකරණය වැළැක්වීමේ පනතවත් වසර 5ක් ආණ්ඩුවේ සිටි ජාතික හෙළ උරුමයට සම්මත කරගැනීමට නොහැකි වීමෙන්ම ඔවුන්ගේ දේශපාලන නිරුවත පෙනේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හිඳිමින් පනතක් ඉදිරිපත් කර සම්මත කරගන්ටවත් බැරි ඛාණ්ඩයකින් කුමන ඵලක්ද??

අපේ රටේ ජනතාව බුද්ධිමත් වන්නේ ඡන්දෙ කාලෙටය. ජනතාව බුද්ධිමත් බව ඕනෑම ඡන්ද අපේක්ෂකයෙක් කියන්නේ සතුටිනි. එහෙත් අපි ඇත්තටම බුද්ධිමත්ද? මෙවර අප සංවේදී නොවී රටේ අනාගතය ගැන සිතා, ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල පදනම් කරගෙන අපේ ඡන්දය භාවිතා කරන්නේ නම් රට හරිමගට වැටෙනු ඇත. ඒ තීරණය ගැනීමේ වගකීම ඔබ සතුයි.

චිරං ජයතු ලක් මවුණි..!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

2/3ක සිහිනය

රටේ දේශපාලන කතිකාව උණුසුම් වෙමින් පවතින මේ යුගයේ ප්‍රස්තුතය ලෙස ඉලිප්පෙමින් තිබෙණුයේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයයි. අද අප කතා කළ යුත්තේ 2/3ක් ගැන නොව ඉදිරියේ පත් කෙරෙන්නා වූ රජයක අනාගත ප්‍රතිපත්ති ගැන බව වටහා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් වීම අභාග්‍ය සම්පණ්ණ තත්ත්වයකි.

පළමුව 2/3ක බලයක් ගත හැකිද යන්න අපි විමසා බලමු. ආසන්නයේම පැවැති ජාතික මැතිවරණය වන 2010 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල අපි සැලකුවහොත් ඊට අනුව සන්ධානයට (ඊපීඩීපී, ටීඑම්වීපී ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ) හිමිවන්නේ ආසන 135 පමණි. මෙය 2/3ක් සඳහා අවශ්‍ය ආසන 150ට වඩා අඩු අගයකි. ජනාධිපතිවරණයේ තරම් මෙවර ඡන්ද ප්‍රකාශ වේ යැයි අපට අපේක්ෂා කළ නොහැකිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දේශපාලනඥයකු ලෙස කැමැති ඇතැමුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට අකමැතිය. ඒ අනුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රකාශ වෙන ඡන්ද සංඛ්‍යාව පහළ වැටෙනු ඇත. කවුරු කොහොම කීවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක් එහෙම ගහෙන් ගෙඩි එන්නා වාගේ ගන්නට බැරිය, එහෙම ගන්නට නම් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතයන් තව විශාල අගයන්ගෙන් ඉහළ යා යුතුය, ඊට ඔවුනෙගේ ඡන්ද ප්‍රමාණය මිලියනයකින් පමණ ඉහළ යා යුතුය නැත්නම් විපක්ෂයේ ඡන්ද මිලියනයකින් අඩු විය යුතුය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් තුනෙන් දෙකක් ඉල්ලන්නේ අහවල් එකකටද කියන ගැටළුව මතුවේ. පැවැති සන්ධාන ආණ්ඩුව ගිය ගමන අතිශයින්ම කණගාටුදායකය, යුද ජයග්‍රහණය හැරුණු කළ පසුගිය වසර 6 තුල රටට අත් වූ ජයග්‍රහණ ස්වල්පයකි. අපේ රටේ උතුම් දායාද දෙකක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට සිදුවී ඇති සෝචණීය තත්ත්වය රටේ පුංචි අතදරුවා පවා දනී. රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතී. 2008ට සාපේක්ෂව අපේ අපනයන ප්‍රමාණය 2009දී 13%කින් පහත බැස ඇත. රටේ නව රැකියා උපදින්නේ නැති තරම්ය. අපි වවමු – රට නගමු කියා පාරම් බෑවද වවපු වැවිල්ලක් නැත. සහල් පවා ආනයනය කරනුයේ පිටරටිනි, ඒකත් කිසිඳු සැලැස්මකින් තොරව වී ගොවියා අස්වනු නෙලද්දීය, ලක් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස කුකුල් බිත්තරත් පිටරටින් ආනයනයට ආණ්ඩුව සූදානම් වෙයි. වෙනකක් තියා රාජපක්ෂ පවුල සාඩම්බරයෙන් පළඳින සාටකයේ පැහැය එන කුරක්කන් පවා විශාල වශයෙන් පිටරටින් ගෙන්වන්නේ සන්ධානය පුරාජේරුවට හඬලෑ කෘෂි ආර්ථික මිථ්‍යාව පසක් කර දෙමිනි. GSP+ බදු සහනය අපට අහිමි වී ඇත. ඇමැති මණ්ඩලයේ බහුතරය තම තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේ පැවැත්ම පවා අමතක කොට තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය විලි ලැජ්ජාවක් නැතුව තුනෙන් දෙකක් ඉල්ලන්නේ මේ ගමන ඉදිරියටත් ගෙන යන්නටද??? මේ ගමන ඉදිරියට ගෙන යන්නට තුනෙන් දෙකක් තබා දෙකෙන් එකක්වත් දෙන්නට වටින්නේද??

කිසිසේත්ම නැත. අතිවිශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන මේ ආණ්ඩුව කියන්නේ ඊළඟ ඡන්දය දිනුවහොත් ඇමැති මඩුල්ල 35ට බස්සන බවයි. ඉතින් පාර්ලිමේන්තුව විසුරුවා ඇති මේ මොහොතේ එහෙම නොකිරීමෙන් පේන්නේ එම ප්‍රකාශය හුදු ජනප්‍රියවාදී ඡන්ද ගුණ්ඩුවක් බවයි. දිගින් දිගටම ජනතාව නොමඟ යවන මේ අකාර්යක්ෂම දුර්ධාන්ත පාලනයට තුනෙන් දෙකක් දුන්නොත් යසට තියේවි. වාසනාවට ඒ සන්ධාන සිහිනය නම් කිසි ලෙසකින් සැබෑ නොවනු ඇත. ඒ රටේ පිනටය.

අනෙක් අතට අපේ රටේ තුනෙන් දෙකේ බලයේ පූර්වාදර්ශයන් අතිශය ශෝකජනක ඒවාය. කවුරු කොහොම කීවත් තනි පක්ෂයකට 2/3ක් ගන්නට බැරි වීමත් අනුපාතිකව මන්ත්‍රීධූර බෙදී යෑමත් සමානුපාතික ක්‍රමයේ වෙසෙස් වටිනාකමකි. රටක ව්‍යවස්ථා සම්පාදනය, සංශෝධනය යනාදිය එකම පක්ෂයේ තනි උවමනාවට සිදු වන්නේ නම් එය කණගාටුවට කරුණකි. 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණට 2/3ක බලයක් ලැබුණි. නව ව්‍යවස්ථාවක් බිහි කරලමින් අන්තවාදී දේශපාලන ගමනකට මුල පිරූ සමගි පෙරමුණු ආණ්ඩුව විපක්ෂය දැඩි ලෙස මර්දනය කළේය. දැදිගම අතුරු මැතිවරණය වැනි මතභේදාත්මක සිද්ධි හරහා ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්නට තැත් කළේය. 1975දී විසුරුවන්නට තිබූ පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ සමාජවාදී නායකයින්ගේ ඉල්ලීම්ද නොතකමින් අත්තනෝමතික ලෙස 1977 දක්වා දීර්ඝ කරගත්තේ ජනතා පරමාධිපත්‍යයට වින කරවමිනි. 1977දී 5/6ක බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයද නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒකපාක්ෂික පාලනයක් ගෙන ගියේය. 1982දී සුප්‍රකට කලගෙඩි ලාම්පු සෙල්ලමින් පාර්ලිමේන්තු ධුරකාලය වසර හයකින් දීර්ඝ කර ගත්තේය. මේ රටේ ජනතාවට තවදුරටත් එවැනි ඒකපාක්ෂික යුගයක් අවශ්‍ය වන්නේද?? 2/3ක් ලබාදීම යනු ඒකාධිපති වියරුවකට අත වැනීමකි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අතැතිව ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම ආදී නොමනා ක්‍රියා සිදු කරන්නේ නම් හිතලුවකටවත් 2/3ක් ලැබුණහොත් රටට දෙයියන්ගේම පිහිටයි!! රටේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුවන්නට උවමනා පක්ෂ විපක්ෂ පොදු එකඟතාවයකිනි. රටේ පෙරගමනත් ව්‍යවස්ථා සංශෝධනයේ පිළිගත හැකි භාවයත් රඳන්නේ මෙවැනි බහුපාක්ෂික ක්‍රියාමාර්ගයක් උඩ මිස ඒකපාක්ෂික දේශපාලනික තීන්දු මත නොවන බව ජනතාව වටහා ගත යුතුය.

ජනතාව මේ යථාර්ථය වටහා ගෙන සිය වටිනා ඡන්දය ශක්තිමත් පාර්ලිමේන්තුවක් උදෙසා භාවිතා කළ යුතුය. ශක්තිමත් පාර්ලිමේන්තුවක් යනු රටේ විවිධ ජනතාවගේ විවිධාකාර මතවාද නියෝජනය කරන ජන හිතකාමී ප්‍රතිපත්තිගරුක මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවකි, නැතිව ප්‍රතිපක්ෂය තලා පෙලා, වහසි බස් දොඩන, මැරකම හොරකම ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් නොවේ. රට වෙනුවෙන් තමුන්ගේ වගකීමක් වන ඡන්දය භාවිතා නොකර සිටීමට සිතා සිටින උදවියට කියන්නට උවමනා වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට කියාය. වඩාත්ම සුදුසු පක්ෂය තෝරා බේරා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ යුතුකමකි, වගකීමකි. ඒ යුතුකම, වගකීම ඉටු කිරීමේදී ඉහත සඳහන් කරුණු පිළිබඳ සැලකිළිමත් වීම වැදගත්ය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

පල්ලම් බැහීම

පසුගිය සතියේ ලංකාදීපයේ ගුරුදා විග්‍රහයට උපුල් ජෝශප් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මනරම් ලිපිය මෙලෙස අප අපේ බ්ලොග් අඩවියේ දිග හරිමු.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අප්‍රියෙල් 8 මහ ඡන්දයට පසු ජෙනරාල්ගේ ඩී.එන්.ඒ. එකයි රනිල්ගේ යූ.ඇන්.එෆ්. එකයි එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවනවා යැයි ජ.වි.පෙ ලාල් කාන්ත කියා තිබේ.

“මොන ආණ්ඩුද? මේ ආණ්ඩුව තුනෙන් දෙකක් අරන් තමයි පස්ස බලන්නේ…” සමහරු ලාල් කාන්තගේ ඒ කතාව අහලා එහෙම කියති.

“ඇත්තටම ආණ්ඩුවට තුනෙන් දෙකක් ගන්න පුළුවන්ද?” අද කවුරුත් කතා කරන්නේ ඒ ගැනය.

ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණය ජයගෙන මාස තුනක් යන්න කලින් මේ වගේම මහ ඡන්දයකට මුහුණ දුන්නේ කොහොම හරි තුනෙන් දෙකක් ගන්නවා යැයි හිතාගෙනය.

ඒ වෙලාවේ විපක්ෂය වූ ශ්‍රී.ල.නි.ප.ය හිටියේ අද එ.ජා.ප.ය ඉන්නා තැනටත් වඩා අන්ත අසරණ තැනකය. ජනාධිපතිවරණ පරාජය දරාගත නොහැකිව ශ්‍රී.ල.නි.ප. නායිකා බණ්ඩාරනායක මැතිනිය එළියට බැස්සේ නැත. මැතිනිය මහ මැතිවරණ රැස්වීම් අමතන්න යාම ප්‍රතික්ෂේප කළාය. අන්තිමේදී දිස්ත්‍රික්කයකට හරි රැස්වීමක් තියාගන්න ශ්‍රී.ල.නි.ප. සංවිධායකයෝ අනුර බණ්ඩාරනායකට කන්නලව් කළහ. ජ.වි.පෙ. භීෂණයට බයේ අනුර රැස්වීම්වලට ගියේත් තෝරා බේරා ගෙනය. ශ්‍රී.ල.නි.ප.යේ නායක මට්ටමේ ඡන්ද සටනක් තිබුණේ නැත. සංවිධායකයෝ තමන්ගේ සල්ලිවලින් කොළ කෑල්ලක් ගහලා බෙදලා ඡන්ද ව්‍යාපාරය ගෙන ගියෝය.

“ශ්‍රී.ල.නි.ප.ය ඡන්දෙට යන්නේ හොම්බෙන් අපි උත්සාහ කළොත් තුනෙන් දෙකක් ගන්න පුළුවන්…” ප්‍රේමදාසට ඔහුගේ අනුගාමිකයෝ කීහ. “ප්‍රේමදාස නොවේ ශක්‍රයා ආවත් මේ ක්‍රමයට තුනෙන් දෙකක් ගන්න බැහැ…”. මේ ඡන්ද ක්‍රමයට තුනෙන් දෙකක් ගන්නේ කොහොමද කියලා අහන්න වෝඩ් ප්ලේස්හී විශ්‍රාම සුවයෙන් සිටි ජේ.ආර්. හමුවෙන්න ආ ජේ.ආර්.ගේ අනුගාමිකයන්ට ජේ.ආර්. කපටි නරි හිනාව දමලා කීවේ ඒ කතාවය.

ඇත්තටම ජේ.ආර්. 1988 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුව තමාගේ අගමැති අතට යනවාටත් බයෙන්ය. මහ ඡන්දයෙන් ප්‍රේමදාසට තුනෙන් දෙකක් ගන්න බැරි බව ජේ.ආර්. දැන සිටියේය.

ප්‍රේමදාසත් එය නොදැන සිටියා නොවේ. ජනාධිපති වී අත්‍යවශ්‍ය පනත් කිහිපයක් සම්මත කර ගන්න තුනෙන් දෙකක් සහිත පාර්ලිමේන්තුව මාසයකට හෝ තියාගන්න ඔහුට අවශ්‍ය විය. ඒත් ජේ.ආර්. ප්‍රේමදාසට එක දවසකට හෝ තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුව ප්‍රයෝජනයට ගැනීමට ඉඩ නොතියා විසුරුවා හැරියේය.

ඒත් ජනාධිපතිවරණ පරාජයෙන් වැටිලා හිටපු වැටිල්ලෙන් ශ්‍රී.ල.නි.ප.ය ඉවර යැයි කියා හිතාගෙන ප්‍රේමදාස මහ ඡන්දයෙන් තුනෙන් දෙකක් ගන්න හීන දැක්කේය.

ඒ හීන හැබෑ වුණේ නම් නැත. ප්‍රේමදාසගේ ආණ්ඩුවට හම්බ වුණේ 125කි. රැස්වීමක්වත් තියාගන්න බැරිව හොම්බෙන් ඡන්දයට ගිය ශ්‍රී.ල.නි.ප.ය ආසන හැට ගණනක් ලබා ගත්තේය. ශ්‍රී.ල.නි.ප.ය ඒ ආසන ගණන ගත්තේ එක දිස්ත්‍රික්කයක්වත් දිනන්නේ නැතිවය.

“ප්‍රේමදාසටත් බැරි වුණා නම් මහින්ද කොහොම තුනෙන් දෙකක් ගන්නද…?” ගන්න බැරි වෙන හේතුවක් නිසා නොව විධායක ජනාධිපති බලය එක්ක පාර්ලිමේන්තු බලය බැලන්ස් කරන්න ජේ.ආර්. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ගත නොහැකි ලෙස ව්‍යවස්ථාව හදපු නිසාය.

“අපි මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා කියල ශ්‍රී.ල.නි.ප.ය දැන් කියාගෙන යනවා ඒ ගොල්ලෝ බලයට ඇවිත් යූ.ඇන්.පී. නායකයන්ගේත් ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා. ඒ අයට කවදාවත් ඒක කරන්න ලැබෙන්නේ නැහැ. මීට පස්සේ කවදාවත් කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ගන්න බැහැ…” මේ ජේ.ආර්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වලා දීලා කී කතාවය.

ජේ.ආර්.ගේ ඒ කතාවට අනුවත් මහින්දගේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ගන්න බැරි බව පැහැදිලිය.
තුනෙන් දෙකක් ගන්න බැරි වුණත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබාගත් පසු එ.ජා.ප.යෙන් හෝ සුළු ජාතික පක්ෂවලින් මන්ත්‍රීවරුන් කඩලා ගන්න පුළුවන් වේ යැයි ආණ්ඩුව හිතයි. එහෙම ගන්න නම් ඇමැතිකම් දෙන්න සිදුවේ. එවිට ඇමැති මණ්ඩලය 35ට අඩු කරනවා යැයි අද ආණ්ඩුව දෙන පොරොන්දුව ඉටු කරන්න බැරිය.

ඇමැති මණ්ඩලය අඩු කිරීම, ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න දුන් පොරොන්දුවකි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය මුදලෙහි ඉතිරි කොටස දීම නතර කර ඇත්තේ මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව අයි.එම්.එෆ්. එකට දුන්න පොරොන්දු ඉටු කරනවාද කියා බලන්නටය. ඇමැති මණ්ඩලය අඩු කරන්න ගියහොත් එ.ජා.ප.යෙන් මන්ත්‍රීවරුන් කඩා ගැනීම පහසු වන්නෙ නැත. සුළු ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බා ගැනීම ලෙහෙසි වන්නේත් නත. සන්ධානය ඇතුළේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිධූර අඩු කළොත් සන්ධානය ඇතුළෙන්ම අවුල් මතු වෙයි. මේ හැමටත් වඩා අයි.එම්.එෆ්. එකට දුන්න පොරොන්දු ඉටු කරන්න බදු වැඩි කරන විට බඩු මිල ඉහළ යයි.පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ වලට ආණ්ඩුව සපයන සහනාධාර කපන්න ගිය විට ඒ බර දරන්න වෙන්නේ ජනතාවටය. රාජ්‍ය සේවය කප්පාදු කොට රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම් නතර කරන්න ගිය විට රාජ්‍ය සේවය තුළ ප්‍රශ්න මතුවෙයි. මේවායින් රටේ අසහනය වැඩි වෙයි. ආණ්ඩු විරෝධය ඇවිස්සෙයි.

ඒත් ආණ්ඩුව හිතන්නේ අවුරුදු 7කට ජනාධිපතිකම ලියා ගෙන අවුරුදු 6 කට පාර්ලිමේන්තුවක් ලියා ගත්තාට පස්සේ ආණ්ඩුව ඇතුළේ අවුල් ඇති වුණත් රටේ අසහනය සහ ජනතාවගේ ආණ්ඩු විරෝධය වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ යැයි කියාය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉවර වෙන කන් අයි.එම්.එෆ්. යෝජනා ඉටු කරන්න ආණ්ඩුව කල් ගත්තේ ඒ නිසාය.

මේ රටේ බලයට පත් හැම ජනාධිපතිවරයකුම දෙවැනි නිල කාලය ලබා ගැනීමෙන් පසු හිතුවේ එහෙමය.

ජේ.ආර්. ජනාධිපති නිල කාලය අවසන් වීමට කලින් ජනාධිපතිවරණයට ගොස් ජනමත විචාරණයකින් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තව වසර 6කට දික්කර ගෙන දැන් ඉතින් සැනසීමේ ආණ්ඩු කළ හැකි යැයි සිතුවේය.

ඒත් දෙවැනි නිල කාලයට ජනාධිපතිවරණය දිනා අවුරුද්දක් යන්න කලින් 83 ජුලි කෝලාහලය පටන් ගත්තේය. උතුරේ යුද්ධය ආරම්භ විය. ජේ.ආර්.ගේ පළමු නිල කාලයේ තිබුණ ජනප්‍රියත්වය දෙවැනි නිල කාලයෙන් බින්දුවට බැස්සේය. පළමු කාලය අවසන් කරන විට පක්ෂයට නැතුව බැරිව හිටපු ජේ.ආර්. දෙවැනි නිල කාලය අවසන් කරන විට පක්ෂය 1988 ජනාධිපති ඡන්ද ව්‍යාපාරයට වැද්ද ගන්නත් බය විය. හේතුව ජේ.ආර්. ඒ තරමට ජනතාවට එපා වී සිටීමය. ජේ.ආර්.ගේ දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙක වූ 1987 සහ 1988 රට ආණ්ඩු කළේ ජ.වි.පෙ. තුණ්ඩු කෑල්ලය.

චන්ද්‍රිකාගේ දෙවැනි නිල කාලයත් එසේය. 1999 ජනාධිපතිවරණයෙන් දෙවැනි නිල කාලය ලබාගෙන ඇය 2000 මහ ඡන්දයකට ගියාය. 2000 ඇය පිහිටවපු ආණ්ඩුව අවුරුදු එකක්වත් තිබුණේ නැත. ඇමැති මණ්ඩලයේ වෙනස්කම් කරන්න ගොස් 2001දී ආණ්ඩුව වැටුණි. 2001 සිට 2004 දක්වා ඇය ජනාධිපතිධූරයේ හිටියේ කිසිම දෙයක් කරගන්න බැරිව අන්ත අසරණ වෙලාය. 2004දී ඇය යළි ආණ්ඩුව ගත්තත් රට ආණ්ඩු කළේ ජ.වි.පෙ.ට ඕනෑ විදිහටය. ඒත් 2004 සිට 2005 වන තෙක් අවුරුද්දක් පමණි.

එතැන් සිට ආණ්ඩුවේත් පක්ෂයේත් නායකයා ලෙස මතු වූයේ අගමැති මහින්දය.

ප්‍රේමදාස නම් ඔහුගේ පළමු නිල කාලයේ හතර වන අවුරුද්ද අවසන් වී පස් වන අවුරුද්ද ලබන විට හතර ගාතෙන් වැටුණි. පළමු නිල කාලයේ තුන්වැනි අවුරුද්දේ අග ආ දෝෂාභියෝගයෙන් ඔහු බේරුණත් පස්වන අවුරුද්ද ලබන කොට සිදුවූ ලලිත් ඝාතනයෙන් ඔහු බින්දුවටම වැටුණි.

ඇත්තටම 1977 සිට එක පිට එක ඡන්ද පැරදී විපක්ෂයට වෙලා සිටි ශ්‍රී.ල.නි.ප.යට පණ ආවේ ශ්‍රී.ල.නි.ප.ය ඉවර වෙයි කියලා හිතපු 1989 මහ මැතිවරණයෙන් පසු ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේය.

චන්ද්‍රිකා නායිකාවක් හැටියට මතු වුණේත් මහින්ද නායකයකු හැටියට මතුවුණේත් ඒ කාලයේය. එස්.බී., මංගල, අනුරුද්ධ, ජෙයරාජ්ලා හැදුණේ ඒ කාලයේය. කොටින්ම වසර 17කට පසු එ.ජා.ප. ආණ්ඩුව පෙරළන ශ්‍රී.ල.නි.ප. ටීම් එක එළියට ආවේ ඒ කාලයේය.

1994 සිට 2002-2003 ඇරෙන්න එක පිට එක ඡන්ද පැරදුණ එජාපයට මේ මහ ඡන්දය දිනන්න බැරි වුණත් අලුත් ටීම් එකක් හදා ගන්න පුළුවන් නම් ලාල් කාන්ත කියන ආණ්ඩුව හදන වැඩේ මේ මහ ඡන්දෙන් බැරි වුණත් තව අවුරුදු දෙක තුනකින් කර ගන්න අමාරු නොවනු ඇත.

මොකද මෙරට විධායක ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය කියවන විට දෙවැනි නිල කාලය කියන්නේ බහින කලාවටය. කන්දක් නැග්ගෝත් පල්ලමක් තියේ. මෙරට ජනාධිපතිවරුන් පළමු නිල කාලයේ නගින කන්දෙන් පල්ලම් බහින්නේ දෙවැනි නිල කාලයේය. මහින්දටත් ඒකම වේ දැයි තවම කියන්න කල් වැඩිය.

ලංකාදීප, 2010 මාර්තු මස 11වන බ්‍රහස්පතින්දා

– උපුල් ජෝශප් ප්‍රනාන්දු

දැන්වත් රට හදන්නනම්…!!!

Click here to get Sinhala Unicode

එක්සත් ජාතික පක්ෂය යනු ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂයයි. නමුත් බොහෝ සන්ධාන පාක්ෂිකයින්ට මේක ප්‍රශ්නයකි. ඔවුන් නිතරම අපෙන් අසන්නේ “ඇයි ඔයාලා තාම යූඇන්පී එකට ඡන්දෙ දෙන්නෙ” කියලාය.  සමහර දේශපාලනඥයන් තවත් පරතරයට ගොස් පවසන්නේ යූඇන්පියට ඡන්දය දෙන්නේ පිදුරු, තණකොළ අනුභව කරන අකෘතඥයන් බවයි. තවෙකෙක් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එතරම් වෙනසක් නැති බවයි. නමුත් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු නොවේ. එක්සත් ජාතික පක්ෂය යනු ඉතා ගැඹුරුතර මතවාදයකි, දර්ශනයකි, විශ්වාසයකි. එහි පදනම වනුයේ කවුරුන් නිවැරදිද යන්නට වඩා කවරක් නිවැරදිද යන චින්තනයයි. එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය ගැබ්ව ඇත්තේ මෙම දැවැන්ත මතවාදය, දර්ශනය මත පදනම්වය. බොහෝ දෙනා විරුද්ධ වෙන්නන් වාලේ එජාපයට විරුද්ධ වන්නේ එජාපයේ දර්ශනය පිළිබඳව අංශුමාත්‍රීය හෝ අදහසක් නැතිවය.

මොකද්ද ඒ දර්ශනය?? එක්සත් ජාතික පක්ෂය යනු සමාජ වගකීමකින් හෙබි විවෘත ආර්ථිකයක් (Socially Responsible Market Economy) කෙරේ විශ්වාසය තබන පක්ෂයකි. ලොව සංවෘත ආර්ථිකයකින් දියුණු වූ රටක් නොමැත, මෙය ප්‍රත්‍යක්ෂ යථාර්තයකි, වත්මන එජනිසය සමඟ සැරිසරන එස්.බී. දිසානායක මහතා මීට මාස කිහිපයකට පෙර පළ කෙරුණු තම ග්‍රන්ථයේදී මේ කාරණාව තවදුරටත් තහවුරු කළේ උදාහරණ සහිතවය. 70-77 සංවෘත ආර්ථිකයේ අත්දැකීම් අපේ ජ්‍යෙෂ්ඨ පරපුරෙන් අප අසා ඇත්තෙමු. විවෘත ආර්ථිකය යන්නෙන් සීමාරහිත ලෙස ආර්ථිකය විවෘත කිරීම අදහස් නොකෙරේ. ඉන් යම්කිසි පාලනයකින් යුක්තව ආර්ථිකය විවෘත කෙරෙන්නේ රටේ පාරිභෝගිකයින්ටත්, නිෂ්පාදකයින්ටත් යන දෙකොට්ඨාශයටම සෙත සැලසෙන පරිද්දෙනි. වෙසෙසින්ම එක්සත් ජාතික පක්ෂ චින්තනයේ මූලිකාංගයක් වන්නේ සහනශීලී බදු බරයි. ජනතාව කෙරේ අධික බදු පනවනවා වෙනුවට නිවැරදි ප්‍රතිපත්ති සහ කළමණාකරණය හරහා නව නිෂ්පාදන මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා දිරිගැන්වීම මෙහි විශේෂත්වයකි. බොහෝ දෙනෙක් කතා කරන සහනාධාර වෙනුවට එජාපය දිරිගන්වනුයේ අවස්ථාවන්ය, සමාජයේ එක් කොටසකට සහනාධාර දීම උදෙසා තවත් කොටසක් බදු බරින් පෙලෙනවා වෙනුවට ස්වකේය කුසලතාවන් අනුව දියුණු විය හැකි මාර්ගයක් කෙරේ යූඇන්පී අපි විශ්වාස කරමු. සැමට එක හා සමානව තම වෘත්තීන්ගේ නිරත වෙමින් නැගී සිටිය හැකි සමාජයක් යෝජනා කරන අප සමාජයේ අනේක විධ ගැටළුවලට මුහුණපාන දුප්පතුන්ගේ ප්‍රශ්නවලට එදා වේල පමණක් තහවුරු කෙරෙන පැලැස්තර විසඳුම් වෙනුවට දිගුකාලීන තිරසාර විසඳුම් කෙරේ විශ්වාසය තබමු. සංවර්ධනය වූ කලී භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනය පමණකැයි ඇතැමෙක් සිතුවද එජාපයේ අපි සිතන්නේ සංවර්ධනය යනු පාලම් බෝක්කු ඉදිකිරීමට එහා ගිය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූවක් බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය උදහස් නගන පරිදි කොපමණ පාලම්, බෝක්කු, පාරවල් පහුගිය වසර 6 තුළදී නිම කර තිබුණද 2009 අප රටේ අපනයන ප්‍රමාණය 2008ට වඩා 13%කින් පහළ බැස තිබුණි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති අගය කරන්නන්ට සිතන්නට යමකි, ඔය කියන සංවර්ධන ඇත්තටම සිදු වුණා නම් සන්ධානයේ දේශීය ආර්ථික ප්‍රතිපත්තිය හරහා මහ බැංකු වාර්තා අනුව එතරම් දරුණු ලෙස අපනයන ප්‍රමාණය පහළ බසින්නේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තීන් හැර අන් කවර හේතුවක් නිසාද??

අනෙක් අතට එජාපය විශ්වාස කරන විදේශ ප්‍රතිපත්තිය නම් ලොව සෙසු රටවල් සැමෙකක් සමඟම මිතුදම් පවත්වමින් ලෝකය සමඟ පෙර ගමන් යෑමයි. ලොව කොන් වූ රටක් ලෙස නැගී සිටීමේ ප්‍රායෝගික දුෂ්කරතාව එජාපය හොඳින් වටහා ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට සියළු ජනවර්ග සහ ආගම් නියෝජනය කෙරෙන සැබෑ ලෙසම එක්සත්වූත් ජාතිකවූත් පක්ෂයකි. 1946 සැප්තැම්බරයේ අපේ පක්ෂය ඇරැඹුණු දා පටන්ම අප ජනවාර්ගික සහයෝගීතාව අගය කළෙමු. සෑම ජනවර්ගයකටම තමන්ගේම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුක්තව අභීතව ජීවත්විය හැකි සමාජයක් ගැන යූඇන්පිය විශ්වාස කරයි. ඒ පදනම මත 1948දී මෙරටට නිදහස දිනා දීමට මූලික වූයේ එජාපයයි. ඇත්ත වශයෙන්ම එදා ඩී.ඇස්. සේනානායක ඇතුළු පතාකයින් යූඇන්පිය නිර්මාණය කරනුයේ ඒ පදනම මතිනි. බෞද්ධ දර්ශනය සුරැකුමට ප්‍රමුඛ ලෙස ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විශ්වාසය කළද අන් කිසිඳු ආගමකට අවැඩක්, අසාධාරණයක් නොවන පරිද්දෙන් කටයුතු කරමින් ජනතාවගේ ආගමික නිදහස තහවුරු කරලීම එජාපයේ මතවාදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට නුසුදුසු පක්ෂයකි. එකම රටක් තුල විධිමත් ලෙස බලය බෙදා හැරීම හරහා උතුරු, නැගෙනහිර පමණක් නොව සමස්ථ රටේම ජනතාවගේ සමාජ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සිදුවිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් සුදුස්සාට කිසිඳු භේදයකින් තොරව සුදුසු තැන ලැබෙන සමාජයක් ගොඩ නැගීම එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

එදා, 1990 දශකයේ මුල භාගයේදී තමාව කැබිනට් මණ්ඩලයෙන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා නෙරපූ විටදීද සිරිලක බිහිවූ කෘතහස්තම දේශපාලනඥයකු වූ ගාමිණි දිසානායක මැතිඳුන් පක්ෂය හැර නොයෑමට ගත් තීරණය වරෙක ඔහු ලංකාදීපයට කියා පෑවේ මෙපරිද්දෙනි

ප්‍ර : ඔබ කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එජාප කෘත්‍යාධීකාරී කමිටුවෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එජාප පාක්ෂිකයකු ලෙස රැඳී සිටින්නේ ඇයි?
පි : එජාපය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල් සහමුලින්ම මාගේ ඇතුලාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.

මේ අතර යූඇන්පියේ ප්‍රධාන ප්‍රතිවාදියා එදා පටන්ම රදළ කුලයේ වලව් පැලැන්තියේ අණසකට යටත්ව තිබුණද එක්සත් ජාතික පක්ෂය ඕනෑම තරාතිරමක පුද්ගලයකුට හිණිපෙත්තටම පා නැගිය හැකි වාතාවරණයකින් හෙබි පක්ෂයකි. කොළඹ දුප්පත් වෙළෙන්දෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ කන්ද-උඩරට, පිළිමතලාව ග්‍රාමයේ සමූපකාර පර්යේෂකවරයකු වූ ඩී.බී. විජේතුංග යන දෙපළ පක්ෂ නායකත්වයට මෙන්ම රටේ ජනාධිපතීත්වයට පත්වූයේ මෙම කරුණ සනාථ කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති රාමුව තුල ඒ ඒ සාමාජිකයාට අනන්‍ය මතයක් දැරීමේ නිදහස එහි පාක්ෂිකයන්ට හිමිවන්නේ පක්ෂයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික මූල බීජයන් කෙරේ අවධානය යොමු කරමිනි. මින් දේශපාලනික එහෙයියන් වෙනුවට තම වගකීම හැඳිනගත් පුද්ගලයින් බිහිවේ. එදා යූඇන්පිය හදීසි නීතියට පක්ෂ වෙද්දී මහේෂ්වරන් මන්ත්‍රීතුමා විරුද්ධ වෙද්දී පක්ෂය ඔහුව එජාපයෑන් නෙරපූවේ නැත, ළඟකදී කේ.එන්.චොක්සි මහතා පක්ෂය තුල සිටිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රශස්ථි ගැයූ නමුත් මෙවරත් ඔහුව එජාප ජාතික ලැයිස්තුවට එකතු කර ඇත්තේ එබැවිනි.

අතීතයේ පටන් එජාපය සිරිලක තුල යෝධ සංවර්ධන ව්‍යපෘති දියත් කර තිබේ ගල්ඔය, කඩිනම් මහවැලිය, කොළඹ බහලුම් වරාය, නිදහස් වෙළඳ කලාප, ලංකාවට අන්තර්ජාල සහ ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දීම, ජනසවිය යනාදිය මින් අතලොස්සක් පමණෙකි. පහුගිය රජය ඇරැඹූ සංවර්ධන යෝජනා ක්‍රම රැසකටද එකඟතා ගිවිසුම් අත්සන් කෙරුණේ පසුගිය එජාප රජය විසිනි (නමුත් ඒවා අඛණ්ඩව දියත් කිරීම ගැන අප එම රජයට කෘතඥ විය යුතුය ). මේ සියල්ල ජයගත හැකි වූයේ එජාපයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් මේ සංවර්ධන ඉලක්ක වලට අවැසි පරිසරය ගොඩ නගාලීමයි.

ලලිත් ඇතුලත්මුදලි මහතා වරෙක ඉතා බුද්ධිමත් ලෙස කළ ප්‍රකාශය එක්සත් ජාතික පාක්ෂිකයා හඳුන්වා දීමට කදිමයැයි මට හැඟේ.

“කවුද හරි කියා නොව කුමක්ද හරි කියා සිතන්න (What’s right, not who’s right)”

එක්සත් ජාතික පක්ෂය කොපමණ මැතිවරණ පරාජය වුවද එජාපයේ දැවැන්ත මතවාදී දර්ශනය කිසිදා පරාජය නොවනු ඇත. එය දිනෙන් දින දිදුලනු ඇත. මක්නිසාදයත් එක්සත් ජාතික පක්ෂය, තම දෑතේ දෙපයේ වීර්යයෙන් කාටත් අත නොපා නැගී සිටින දේශප්‍රේමී මිනිසුන්ගේ දේශපාලනික තීර්ථ යාත්‍රාව නිසාය.

දෙනෙත් හැර බලන්න. එජාපයේ ජීව ගුණය තේරුම් ගන්න. ඊට එකඟ වුවත් නැතත් රටේ සුබසිද්ධිය තකා මිනිසුන් විවේචණය කරන කලාවෙන් ඈත්ව ප්‍රතිපත්ති විවේචණය කරන කලාවට හැඩ ගැසෙන්න.

ඔබට, රටට ජයෙන් ජය…!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

ජානක තිස්සකුට්ටිආරච්චි මහතාට සිදුවූ අසාධාරණය හෙළා දකිමු…!!!

ජානක තිස්සකුට්ටිආරච්චි යනු ඌව පළාත් සභාවේ ලාබාලතම මන්ත්‍රීවරයාය. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩායමෙන් වැඩිම මනාප දිනාගත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතාගේ ඥාති පුත්‍රයෙකි. මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නියමිතව සිටි හෙතෙම ඒ සඳහා නාම යෝජනා අත්සන් කළද මොණරාගල එජාප පතාකයින් විසින් අතිශය පහත් අන්දමින් ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට ඔවුනගේ හිතෛෂියකු වන චමින්ද සේනක රත්නායක මහතාට නාමයෝජනා ලබා දී ඇත.

මෙම ක්‍රියාව මොණරාගල එජාප දැවැන්තයින් මෙම නවක දේශපාලනඥයා කෙටි කලක් තුල බිහි කරගත් ප්‍රතිරූපයට බියේ සිදු කරන ලද ලාමක ක්‍රියාවකි. එය අපි දැඩි ලෙස හෙළා දකින අතර මේ වන විටත් චූදිතයන්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ මෙන්ම අපරාධ පරීක්ෂණ අංශය විසින්ද පරීක්ෂණ දියත් කොට තිබේ. මේ පරීක්ෂණවලින් වැරදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවනු ඇතැයි අප උදක්ම අපේක්ෂා කරමු.

පහුගිය පළාත් සභා මැතිවරණයේ මොණරාගලින් සන්ධානය 81%ක්වූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිත්දී එජාපය හිමි වූ ඡන්ද 30,509න් 13,000ක් ඉක්මවූ මනාප ප්‍රමාණයක් දිනා ගත් තිස්සකුට්ටිආරච්චි තරුණ මන්ත්‍රීවරයා ඉතා ජවසම්පණ්ණ දේශපාලනඥයකු ලෙස ඉතා කෙටි කලකදී නමක් දිනා ගැනීමට සමත් වී ඇත.

මේ අසාධාරණය සදාහරිත අපි හෙළා දකින ගමන්ම මීට සම්බන්ධ පාර්ශව වලට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අතර අසාධාරණයට ලක්වූ ජානක තිස්සකුට්ටිආරච්චි තරුණ මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටු වනු වස් ඔහුව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සලකා බලන ලෙසත් බොහොම උවමනාවෙන් ඉල්ලා සිටින්නේ මේ අසාධාරණයට විරෝධතාවය ගොනු කරමිනි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –