Archive for ජනවාරි, 2010

සුබ අනාගතයට සුබ පැතුම්!!!

ජනාධිපතිවරණය හමාර වී ඇත, ප්‍රතිඵලය ගැන කුමන කතා බහ පැවැතියද එය නිල ප්‍රතිඵලය ලෙස මැතිවරණ කොමසාරිස්තුමා විසින් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අප එය පිළිගනිමු. ඊට අනුව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩි ඡන්ද ලක්ෂ 18කින් නැවැත වතාවක් ජනාධිපතිධුරයට තේරී පතිවී ඇත. එය ජනතාවගේ කැමැත්ත නම් අප එයට හිස නැමිය යුතු අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් එහි ඡන්ද්දායකයන්ටත් ඔවුන් ගොඩනැගීමට පොරොන්දු වූ සුබ අනාගතයට සුබ පැතිය යුතුය. එහෙයින් පොරොන්දු පරිදි ශ්‍රී ලංකාද්වීපය 3වන ලෝකයේ සිට 1වන ලෝකයට ගෙන යෑමට ජනාධිපතිතුමාට ආශිර්වාද කරන අප ඒ සඳහා රටේ සුබසිද්ධිය වෙනුවන් අවශ්‍ය දායකත්වය සැපයීමට සූදානම් බවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

ව්‍යවස්ථාප්‍රකාරව 2005 ජනාධිපතිවරණයෙන් ලත් ජනවරමින් 2010 නොවැම්බර් 19දා තෙක් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමේ වරප්‍රසාදය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිමිය. ඒ අනුව දෙවැනි ධුර කාලය සඳහා හෙතෙම 2010 නොවැම්බර 19දා දිවුරුම් දුන්නෝතින් 2016 නොවැම්බර් 19දා තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඔහුය. ඒ කාලය තුල ඔහු ඉටු කරන වගට ප්‍රතිඥා දුන් මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරනු ඇතැයි අප හුදක්ම අපේක්ෂා කරමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට 2005 ජනාධිපතිවරණයට ප්‍රකාරව 2011 නොවැම්බර් 19 තෙක් ජනාධිපතිධුරය දැරීමේ වරම තිබුණද ඔහු වසර දෙකක් පෙරාතුව ජනාධිපතිවරණය කැඳවමින් කීවේ තමන්ට උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේද ජනවරම අවශ්‍ය බවයි. එහෙත් මෙවර ප්‍රතිඵලයෙන් අපට ගම්‍ය වන්නේ වෙනත් පණිවුඩයකි. අම්පාර, කයිට්ස් සහ සේරුවිල හැරුණු කළ උතුරු සහ නැගෙනහිර සියළු මැතිවරණ බල ප්‍රදේශ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්වී ඇත. එහිදී අතිවිශාල බහුතරයකින් ජෙනරල් ෆොන්සේකා ජයගෙන ඇති අතර අවතැන් ජනතාවගේ ඡන්දය සැලකීමේදී ජනාධිපතිතුමා ප්‍රබල පසුබෑමක් ලබාගෙන ඇත. මේ ප්‍රතිඵලයෙන් රාව ප්‍රතිරාව නැංවෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී මහතා උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය යන ව්‍යාපෘතීන් විහිළුවක් යැයි කී ප්‍රකාශය නේද?

අපේ රටේ සමහරුන් නම් කියන්නේ උතුරු නැගෙනහිර ජෙනරල් ෆොන්සේකා ජය ලැබුවේ සම්බන්ධන් හා ගිවිසුමක් නිසා බවත් මැතිවරණ සිතියම බැලූ කළ ජෙනරල් ෆොන්සේකා ජයගෙන ඇත්තේ ඊළමේ බවත්ය. මෙවන් අමනොඥ ප්‍රකාශවලින් රටට සිදුවන්නේ දුගතියක් මිස සුගතියක් නොවේ. මෙවැනි පදනම් විරහිත ප්‍රකාශවලින් එකට එක්වූ ජාතිය දෙකඩ් වීමට පොහොර සැපයේ. මෙදා ජෙනරල් ෆොන්සේකා දිනූ නැගෙනහිරම මීට වසර කිහිපයකට පෙර පිල්ලෙයාන්ගේ නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ජයගත් බව මේ පදනම් විරහිත ප්‍රකාශ කරන ඊනියා දේශප්‍රේමීන්ට අමතකව තිබේ. එදා යූඇන්පිය දින්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පමණකි, මඩකළපුව සහ දිගාමඩුල්ල යන දෙදිසාවම දින්නේ එජනිසයයි.  එසේම පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයගත් මුලතීව් මැතිවරණ කොට්ඨාශය මෙවර ජයගත්තේ ජෙනරල් ෆොන්සේකාය. මැතිවරණ සිතියම ඊළාම් සිතියම කියා වෛරවාදී ප්‍රකාශ නිකුත් කරන උදවිය කියන්නේ නුවර එළිය, මහනුවර, මීගමුව, කොළඹ, පුත්තලම, පස්සර, ගාල්ල වැනි ප්‍රදේශත් ඊළමට අයත් බවද??

නමුත් පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාවේ NDTV රූපවාහිණී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ලබාදුන් පිළිතුර ප්‍රශංසනීයය. එහිදී ඔහු කීවේ උතුරු නැගෙනහිර වැසියන් තමන්ට විරුද්ධව ඡන්දය දුන්නද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්ද අයිතිය පිළි ගැනීම විශාල ජයග්‍රහණයක් බවයි, මේ ප්‍රකාශයට අපි එතුමාට ගෞරවය පුද කරන අතර මේ මතය මෙරට ජාතිවාදී ඊනියා දේශප්‍රේමී බලවේගවලටද අවධාරණය කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනුයේ අපට නැවත වතාවක් ජාතිවාදීව කුලල් කා ගැනීමට අවස්ථාවක් නොලැබිය යුතු නිසාය. අප සාමූහිකව ජාතිභේද පසෙකලා සංවර්ධන ගමනේ පා තැබිය යුතු නිසාය.

ශ්‍රී ලංකාව බහුවාර්ගික රටකි, දෙමළ මෙන්ම මුස්ලිම් ජනතාවද මේ රටේම පුරවැසියන්ය. මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ සිංහල බෞද්ධ ජනතාවගෙන් අතිමහත් බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහය දැක්වුවද දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව ඒ මතයේ නොඉන්නා බවයි. මෙය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිතීමට කරුණකි. එක එක චෝදනා එල්ල කරමින් වෛරය වපුරනවා වෙනුවට මීට මූලබීජය වූ හේතු සොයා ඊට පිළියම් යෙදීම කාලින අවශ්‍යතාවයක් වන අතර ජනාධිපතිතුමා ඒ ගැන අවධානය යොමු කරනු ඇතැයි අප අවංකව සිතමු.

එලෙසම නිල ප්‍රතිඵල අනුව 57.88%ක් ජනාධිපතිතුමාට සහය දෙද්දී රටේ ඡන්දදායකයන්ගෙන් 42.12%ක් ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කර ඇත. මින් කියැවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ පරිදි මේ දක්වා ජනාධිපතිතුමා ගෙන ආ වැඩ පිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුය යන්න නොවන බව මගේ හැඟීමයි. 42.12% ජනාධිපතිතුමාට විරුද්ධ වූයේ මන්දැයි ජනාධිපතිතුමා තේරුම්ගෙන එම ජනතාවගේ අභිලාෂයන්ද ඉෂ්ඨ සිද්ධ කරලීමට ජනාධිපතිතුමා වෙර වීරිය දැරිය යුතුය. ඒ අනුව ජනාධිපතිතුමාට සහය නොදුන් 42.12% සහ ඔහුට ඡන්දය දුන් ජනතාවට එකඟ විය හැකි කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් මැනවි. ඒ අනුව බදු බර පහත හෙලීම, දූෂණයට, පවුල්වාදයට තිත තැබීම, හොඳ මාධ්‍යය සංස්කෘතියක් බිහි කරලීම, ඇමැති මණ්ඩලය කප්පාදු කිරීම ආදී කරුණු ඉෂ්ට කළහොත් සැබැවින්ම පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකේය අප සැවොම දිනුම්ය. මහින්ද චින්තන ඉදිරි දැක්මේ එන යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව බදු බර පහත හෙලා පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් පක්ෂ භේදයෙන් තොරව අප සැමට මේ දේශය ගැන සාඩම්බර විය හැකිය. එවන් මාවතක ජනාධිපතිතුමා අවංකව පා තබන්නේ නම් ඊට හැකි පරිදි සහය සැපයීම පක්ෂ විපක්ෂ අපගේ යුතුකමයි. මෙහිදී “හැකි පරිදි සහය සැපයීම” යන්න වරදවා වටහා නොගත යුතුය, එහෙම කියලා අපි කියන්නේ ප්‍රතිපත්තීන් මත පදනම්ව  රටේ සුබසිද්ධිය වෙනුවෙන් හොඳ දේට හොඳයි කීමත් වැරදි දේ විවේචණයත්, අඩුපාඩු පෙන්වා දීමත් මිස සෑම සියළු කාරණාවකටම “එහෙයි” කීම නොවේ. අප ඒ කාර්යය සද්භාවයෙන් කළහොත් මේ රට වඩාත් සුන්දර දේශයක් වනු නොඅනුමානය.

අවසාන වශයෙන් කිව යුතු යමක් ඇත. ජෙනරල් සරත් ෆොන්සේකා යනු ජාතික වීරයකු බව පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව පිළිගත යුතු අතර ඔහුට කොටි ත්‍රස්තයින්ගේ අවශේෂ පාර්ශව වල තර්ජන එල්ල වන බව නොරහසකි. කුමන දේශපාලන එදිරිවාදීකම් පැවැතියද එතුමන්ගේ ආරක්ෂාව තහවුරු කරනු වස් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ජනාධිපතිතුමා ගනු ඇතැයි ලංකාවාසී අප අපේක්ෂා කරමු. කරුණා, පිල්ලෙයාන්, දේවානන්ද, වීරවංශ වැන්නවුන්ට විශාල ආරක්ෂාවක් ලබාදෙද්දී ජෙනරල් ෆොන්සේකාට පොලිස් කොස්තාපල්වරු 4ක් පමණක් ලබා දීම වැරදි පූර්වාදර්ශයක් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තමන් විසින්ම ජනතාව හමුවේ අවතක්සේරු කරනු ලබන වැරදි තීරණයකි. එනිසා මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිඳුන්ට සිදුවූ ඛේදනීය ඉරණම ජෙනරල් ෆොන්සේකාට අත්වීමට පෙර එතුමාගේ ආරක්ෂාව සපයා වෛරවාදී දේශපාලනයට විරාමයක් දීම ජනාධිපතිතුමා සතු වගකීමකි.

ශ්‍රී ලංකාවාසී ඔබ සැමට සුබ අනාගතයක් හරහා විශ්වාසනීය වෙනසක්….!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

සිතන්නට යමක්

තවත් සීමාකාරී අවස්ථාවකට ලඟාවෙමින් සිටින්නන් සමූහයක් ලෙස ජීවත් වන අපට, හෙට අපේ ලංකාවට රාජ්‍යය නායකයෙකු පත්කර ගැනීමේ මහා භාරධූර කාර්යක් පැවරී ඇත. මෙය වඩාත් නිවැරදි ලෙස ඉටුකිරීම ලාංකික අප සැමගේ වගකීම වන බව පුල පුලා පැවසීම මාගේ අරමුණ නොවන නමුත් මේ ගැනත් සිතා බලන්න…..

“බෙදීගොස් තිබූ රට එක් කිරීමේ ජාතික කාර්යය ඉටු කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසි දිනක රට පාවා දෙන්නේ නැත” යයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි පසුගිය 16 වෙනිදා ප්‍රකාශ කලේ ජනරාල්තුමා මහනාහිමියෝ බැහැදැකීමට ගිය අවස්ථාවකයි.

මල්වතු මහනායකහිමියෝ පවා සරත් ෆොන්සේකා කෙරෙහි පැහැදීමකින් කටයුතු කලද, ඇතැමුන් තවමත් කටකථා පතුරවමින් මඩ ව්‍යාපාර පවත්වාගෙන යමින් අභූත චෝදනා ඉදිරිපත් කිරීම ඔවුන්ගේ අස්ථාවර භාවය පෙන්නුම් කිරිමක් බැව් ඕනේම කෙනෙකුට හැඟි යන්නකි.

මෙලෙසම LTTE සංවිධාන ඝාතන ලැයිස්තුවල  නොසිටි විමල් වීරවංශ පසුගිය සමයේම පැවසුවේ, තුන් වරක්ම කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතන කිරීමට තැත් කරන ලද “ජෙනරල් සරත් ෆොන්සේකා” යනු දේශ ද්‍රොහියෙකු බවයි. මෙලෙස අර්ථ විරහිත ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාව මුලාකරමින් මොවුන් මේ කරන්නේ දේශප්‍රේමී කටයුත්තක්ද කියන වග සිතා බැලීම ඔබ සතු වගකීමකි…..

— සුදර්ශන ලක්මාල් මාරසිංහ – 2009 දුරුතු —

ඔන්න ඕකයි තත්ත්වෙ…..

කුමාර පාතාල කණ්ඩායමක සාමාජිකයෙකි. දවසක් තම පාතාල කණ්ඩායම් නායකයාගෙන් මිදීමට පොලිසියට භාරවෙන්නට සිතන කුමාර පොලිසියට ගොස් “මම අහවල් පාතාල සාමාජිකයා මම පොලිසියට භාරවෙනවා” කිව්වම ඔහුට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දී තරු පලන්දන්නේ නැත, පොලිස්පතිතුමාගේ නිවෙසේ පදිංචි කරගෙන ඔහුට නිවෙසේ උප-ගෘහමූලිකකම දෙන්නේ නැත.

කුමාරගෙ ගමේම පුෂ්පකුමාර තමන්ගේ දුප්පත්කම හින්ද, රස්සාවක් නැති හන්දා අල්ලපු වත්තෙ කෙහෙල් කැන හොරෙන් කැපලා මාට්ටු උනාම උසාවියෙන් මාසෙකට හිරේ දාන්න නියෝගයක් දෙනව. මේ මනුස්සය මේ තීන්දුව පිළිගන්න බැහැ කියල නිකං හිටියොත් මොකද වෙන්නේ?? ආණ්ඩුවෙ උන්නැහේලා නඩු තීන්දු පිළිගන්නෙ නැහැ කියල මේ මනුස්සය කිව්වොතින්…???

මේ අතර ඔය ගමේ උපාසක අම්මා කෙනෙක්ගෙ තුන්මාසෙ බණට වැඩපු හාමුදුරුනමක් බණක් දේශනා කළා, ඒකෙ උන්වහන්සෙ දේශනා කළේ පාපක්‍රියා කරපු අජාසත්ත කුමාරයගෙ තාත්තා වෙච්චි බිම්බිසාර රජ්ජුරුවන් එක්ක බුදු හාමුදුරුවන්ගෙ කොච්චර කිට්ටු ආශ්‍රයක් තිබ්බද කියල. අසපු වල වැඩ නොහිට ගමේ පන්සලේ වැඩ හිටියට මේ හාමුදුරුවො ආගම දහම් හොඳට දන්නවා, කාටවත් වෛර කරන්නෙ නැහැ. වෙන එකක් තියා හොරකම් කරල අහුවෙච්චි පුෂ්පකුමාරටත් උසාවි යන්න කලින් පිරිත් නූලක් ගැටගැහුවා.

මේ අතර මේ පුංචි ගමේ සිරිමල් නම් වූ කට වාචාල විකටයෙක් ඇත. ගමේ දේශපාලන නායකයන්ට කත් අදින ඔහු ලඟකදී සිට ගමෙන් බිහි වූ තෙවරක් යුදවිමේදී තුවාල ලද අභීත යුද සෙබලාට කඩ පිලේ, බෝක්කුවේ, පාරෙ තොටේදී ගරහයි. යුද්ධයකට තියා උණ්ඩයකටවත් මුහුණ දී නැති ඔහු තම ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා රැකගනු වස් නොයෙකුත් බොරු බේගල් අවලාද නගන්නේ ගමේ පූජිත නම් වූ වෙදමහත්මයා සමඟ එම සොල්දාදුවා ගමට ද්‍රෝහී වූ බව පවසමිනි. මේ අතර ප්‍රාදේශිය සභාවේ සභාපති උන්දෑ ගමේ ජනතාවගෙන් එකතු කළ සල්ලිවලින් තම නිල නිවෙසේ පාටි දමද්දී ගමේ කඩපිල්වල මුදලාලිලා දිවාරෑ පුරා ඔහුගේ ගුණම වයමින් අන් අයට අවලාද නගන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය.

මේ ගමේ කියන්නට තොරතුරු කොපමණ තිබුණද… අපි කතාව මෙතැනින් නවතමු…. මෙතැනින් එහාට කතාව වෙනස් කරනවාද නැද්ද යන තීරණය ගතයුත්තේ බුද්ධිමත් ඔබයි…!!! 🙂

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

සරත් ෆොන්සේකා සිංහාවලෝකනය……..

කොටස් හතරකින් දිගහැරෙන ජෙනරල් සරත් ෆොන්සේකාගේ ගමන්මග…

විශ්වාසනීය වෙනසක්…


කඩුව රත්තරං කියල බෙල්ල කපා ගන්නද…??

කළගුණ සලකමු – යුතුකම ඉටුකරමු” කියලා දැන් දැන් තැන තැන කියැවෙන්නේ මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති පුටුවේ වාඩි කරලීමටය. එහෙත් සේනාධිනායකයා ලෙස යුද්ධයට දායක වීම ඔහු නැවත ජනාධිපතිධුරයේ හිඳවීමට ප්‍රමාණවත් වන්නේද??

මොහොතක් සිතන්න…. ඔබට හෘදයාබාධයක් වැළැඳී හෘද රෝග විශේෂඥයකු ඔබව සුවපත් කළේ නම් ඔහුට කෘතගුණ පිදීම සැබැවින්ම ප්‍රශංසනීයය. එහෙම වුණත් ඔබට පිළිකාවක් වැළැඳුනොතින් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවටම යන්නේද???

මැතිවරණයක තීරක සාධකය විය යුත්තේ අතීතය නොව අනාගතයයි. තම ඡන්ද සටනේ ප්‍රධාන තේමාවම “සුබ අනාගතයක්“යැයි කියන එක්සත් ජනතා නිදහස් සන්ධානය කළගුණ සලකන්නැයි කීමම විහිළුවකි. එදා 1948 ශ්‍රී ලංකාවට නිදහස උරුම කරදීමේ ප්‍රමුඛ කාර්යභාරයේ නියැලුණු එක්සත් ජාතික පක්ෂයට එදා පටන් ජනතාව “කළගුණ” සලකන්නට ඡන්දය දුනි නම් කවරදාකවත් ආණ්ඩු පෙරලෙන්නේ නැහැ නේද?? ඡන්දයකදී අප අතීතයට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ වර්තමානයට සහ අනාගතයටය. දැන් යුද්ධය හමාරය කොටි සංවිධානය විනාශ වී ඇත. දැන් රට හමුවේ ඇත්තේ වෙනත් අභියෝගයන්ය, ඒ අභියෝගවලට මුහුණදීමෙහිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයෙන් පසුව අසාර්ථක වී ඇත.

දැන් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යා යුතුය. ඒ සඳහා ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කළ යුතුය, ජනතාවට දියුණුවෙන් දියුණුවට පා තැබීමට අතහිත දිය යුතුය, දූෂණය, භීෂණය මැඩලිය යුතුය, පවුල්වාදයට තිත තැබිය යුතුය. ජනාධිපතිතුමා තේරුම්ගත යුතු වූ සරල යථාර්ථය නම් පාරවල් පාලම් සෑදූ පමණින් රටක් සංවර්ධනය නොවන බවයි. ඒ සඳහා ජනතාවගේ ඵලදායීත්වය ඉහළ නංවා නිෂ්පාදනය සඳහා ඔවුනට දිරි දී බදු බර පහත හෙලීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගරු කරමින් රාජ්‍ය මාධ්‍යය නිදහස් කිරීමට අපොහොසත්, පෙට්‍රල් මිල පහත හෙලීමට අපොහොසත් ආණ්ඩුවක් තිබෙද්දී, ගමේ හොර පොල් කඩන මනුස්සයෙක්ට එරෙහිව නඩු කියන්නේ කොහොමද?? ආණ්ඩුව සුප්‍රීම් උසාවියේ නඩුතීන්දු පිළිනොගෙන නීතිය රකින ලෙස මහජනතාවගෙන් ඉල්ලමින් මහජනතාවට එරෙහිව නඩු තීන්දු ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කිරීම කොච්චර සාධාරණද? මැතිවරණ කොමසාරිස්තුමා සාධාරණ ඡන්දයකට දෙන නිර්ණායක පවා පිළිනොගනිමින් අත්තනෝමතිකව තම අපේක්ෂකයා පුම්බමින් සෙස්සන්ට මඩ ගසන මාධ්‍යය සදාචාරයක් අපට තවදුරටත් උවමනා කරන්නේද??

විශේෂයෙන්ම අද ඔහු යුද්ධ කරන්න ඡන්දය ඉල්ලු බව හුවා දක්වන්නට උත්සාහ කළත් මහින්ද චින්තනයේ පැහැදිලිව කියැවුණේ ප්‍රභාකරන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර විසඳුමක් ලබාගන්නා බවයි. එහෙත් අද ප්‍රභාකරන් ඝාතනයට ලක්ව ඇති විටෙක ඔහුගේ දෙමාපියන්ට රටේ වෛරය එල්ල කරමින් සරත් ෆොන්සේකාගේ ඡන්ද වැළැක්වීමේ නින්දිත උතසහයක එතුමා නිරතවී සිටී. බෞද්ධ ඉතිහාසයේ අජාසත්ත කුමාරයා කොපමණ පාපී ක්‍රියාවල නිරත වුවත් බිම්බිසාර රජතුමාව බුදුන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කළ බව ඔබ අප කවුරුත් දනිති. බිම්බිසාර රජතුමා බුදු රජාණන් වහන්සේගේ ප්‍රධානතම දායකයකුද වූ බවත් අපි සැවොම දනිමු. එහෙත් ජාතික හෙළ උරුමයේ ස්වාමීන්වහන්සේලාට, උපාසක උන්නැහේලාට මේවා අමතකය. කොටි සංවිධානය විනාශමුඛයට පත්ව තිබියදී කොටි බිල්ලෙක් මවා පාමින් තම ඡන්ද ගොඩ වැඩි කරගන්නට නිර්දය ලෙස ජාතිවාදය අවුස්සන, ජාතික සමගියට ගරහන ආණ්ඩුවක් අපට තවදුරටත් උවමනාද??

ඊයේ පෙරේදා මහනුවර ධර්මරාජ විද්‍යාලය විවෘත කෙරුණේ මහින්ද රාජපක්ෂ පිහිනුම තටාකය නමිනි, දියගම ක්‍රීඩාංගනයද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය විය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියද කලකට පෙර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කෙරිණ. මෙහෙම ගියොත් රටේ හැම සම්පතක්ම මහින්ද රාජපක්ෂ නමින් නම් වනු ඇත. එදා යුද්ධය නිමා වූ පසුව වරෙක චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ තවත් අවුරුදු 75කට මේ රටේ රාජ්‍ය නායකත්වය රාජපක්ෂවරයකු හොබවනු ඇති බවයි. මේ තත්ත්වයට අපි එකඟ විය යුතුද??

පසුගිය වසර 4 තුල මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කළ කී සමහර දෑ වලට අප පක්ෂ භේදයෙන් තොරව ස්තූතිවන්ත විය යුතු වුවත් අප සිතිය යුත්තේ ඔහුට “කෘතගුණ” දක්වා ඔහු සනසනවා වෙනුවට මව්බිම ගැනත් එහි මීළඟ අභියෝගත් ගැන සිතා විශ්වාසනීය වෙනසක් හරහා සුබ අනාගතයක් උදෙසා ඔබේ ඡන්දය භාවිතා කිරීමයි.

අවසාන වශයෙන් 1945දී මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදා වින්ස්ටන් චර්චිල්ගේ අග්‍රාමාත්‍යධුර කාලයේදී හිට්ලර්ගේ නට්සි පාලනය මුලිනුපුටා දමද්දී බ්‍රිතාන්‍ය ජනතාව ඊළඟ ඡන්දයෙන් අගමැති කළේ චර්චිල් නොව ක්ලෙමන්ට් ඇට්ලීවය. ඒ බ්‍රිතාන්‍ය වැසියන් චර්චිල්ට ගරු නොකළ නිසා නොව, ගරා වැටුනු රට හදන්නට සුදුස්සා ඇට්ලි යැයි ඔවුන් අවංකව සිතූ නිසාය. එදා කළගුණ සලකනවා යැයි කියා සුද්දන් චර්චිල්ට අගමැතිකම දුන්නානම් එරටේ ආර්ථික ගමන වෙනස් වන්නට තිබුණි. ඇතැම් විට චර්චිල් අගමැති වූවා නම් අප මාතෲභූමියට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් පවා නොලැබෙන්නට ඉඩ තිබුණි. මෙහිලා කිව යුතු වැදගත්ම කරුණ මෙයයි, ලෝක යුද්ධය අහවර වනතුරු ඇට්ලී, වින්ස්ටන් චර්චිල්ගේ ආණ්ඩුවේ උප-අගමැතිය. ඔහුගේ මතවාද චර්චිල්ගේ මතයට වෙනස් වුවද රට ගැන සිතා රුදුරු නටිසීන් පැරදවීමට ආණ්ඩුවට එක්වූ ඇට්ලි ප්‍රමුඛ කම්කරු පක්ෂය ලෝක යුද්ධයෙන් පසුව වෙනම මැතිවරණයට තරඟ කළේ එරටට එවක තිබූ ප්‍රශ්නය ආර්ථිකය මිසෙක යුද්ධය නොවන බව මනාව අවබෝධ කරගත් නිසාය.

ඒ සරල යථාර්ථය අපේ ජනතාවද වටහා ගනී නම් එය කොපමණ සුන්දරද???

එබැවින් මොහොතක් සිතන්න…. කළ හොඳ අපි අගයමු… ඒකෙ වැරැද්දක් නැත.. නමුත් කඩුව රත්තරං කියලා බෙල්ල කපාගන්නද??

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

සම්බන්ධන් සම්බන්ධයෙන්…

ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහ ටී.එන්.ඒ. නායක ආර්.සම්බන්ධන් මහතා අතර රට පාවා දෙන ගිවිසුමක් ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහායකයෝ පුන පුනා චෝදනා එල්ල කරති. ජෙනරල් ෆොන්සේකා මහතා මෙන්ම සම්බන්ධන් මහතාද එය ප්‍රතික්ෂේප කර ඇති අතර අපි පුල්ලි සහ තවත් තතු යන මැයෙන් මේ තත්ත්වය ගැන දීර්ඝ විශ්ලේෂණයක් කළ බව ඔබට මතක ඇත. එහිදී කරුණු කාරණා සමඟ අපි එළිකර සිටියේ ඊළම සහ කොටි යන වචන සමඟ සබඳතා පවත්වන්නේ ජෙනරල් ෆොන්සේකා නොව අතිගරු ජනාධිපතිතුමා බවයි. ඒ මක්නිසාදයත් ඩග්ලස් දේවානන්ද යනු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායකයා වෙත්දී සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් (TMVP) පක්ෂයේ නායකයා වීම නිසාය. ඉහත දමිළ බසින් පුලිහල් යැයි කියැවෙනුයේ කොටින්ට බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය. ඉතින් ඊළාම් හා කොටි නායකයන් රෙද්ද අස්සේ තියාගෙන අනුන්ට චෝදනා නැගීම හාස්‍යජනකය.

පසුගියදා ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් ලෙස සුපතල ඒෂියන් ට්‍රිබියූන් වෙබ් අඩවිය විසින් ඩග්ලස් දේවානන්ද සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර ඇතිවූ ගිවිසුම ගැන කරුණු කාරණා වර්තා කෙරුණු අතර එහිදී පළමුවැනි වගන්තියෙන් උතුරු නැගෙනහිර ස්වයං පාලන අයිතිය තහවුරු කරන බව පැවැසේ. මහින්ද මහත්තයා මේ ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකිරීම අතිශය වැදගත්ය. මීට අමතරව ඊපීඩීපී නිල වෙබ් අඩවියට යන ඔබට ඔවුන්ගේ ප්‍රතිපත්තීන් කියැවීමට අවකාශ ඇත. එහිදී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනය වැනි කරුණු ගැන සැබැවින්ම කතා කරනුයේ කව්රුන්දැයි ඔබට සියැසින්ම කියැවිය හැකිය. මීට අමතරව නාමල් රාජපක්ෂ මැතිතුමා කොටි සංවිධානයේ එමිල් කාන්තන් මහතා සමඟ එකට පෙනී සිටින ඡායාරූපයක්ද වෙබ් අඩවි ඇතුළු මාධ්‍යය ඔස්සේ විකාශය වන බව ආරංචි විය (www.lankatruth.com). තවත් දෙයක්, ටැමිල්නෙට් යනු කොටින්ටත් ඊළමටත් හිතවත් පාර්ශව තොරතුරු දැනගන්නා කේන්ද්‍රස්ථානය බව ඔබ අප කව්රුත් දනිමු, කොටි ඩයැස්පෝරාව විසින් පෝෂණය කරන ටැමිල්නෙට් වෙබ් අඩවිය නම් දෙමළ ජනතාවට මහින්ද සහ සරත් දෙදෙනාම හඳුන්වාදෙන්නේ කොටි සංවිධානය විනාශ කිරීමට මූලික වූ ජාතිවාදීන් ලෙසයි. ඉන් ඔබ්බට යන ටැමිල්නෙට් අඩවිය නව වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට ඡන්දය දෙන ලෙස ද්‍රවිඩ ජනතාවට පවසා සිටී. ඒත් ටී.එන්.ඒ. සංවිධානය සරත් ෆොන්සේකා වෙනුවට ජනාධිපතිතුමාට සහය දුන්නා නම් ඔවුන් දේශප්‍රේමීන් වන්නට තිබුණි. ටැමිල්නෙට් එකේත් ඩයැස්පෝරාවේත් මතයට එරෙහි වෙමින් ද්‍රවිඩ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහය පල කළේ ඔවුන් කොටි සංවිධානයේ පරාජයත් සමඟ තවදුරටත් කොටින්ට බයේ දේශපාලනය කිරීමට අනවශ්‍ය නිසාය.

උතුරු නැගෙනහිර දෙපළාත වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ ජනතා විමුක්ති පෙරමුණයි, එහි විත්තියට, එනම් දෙපළාත වෙන් නොකළ යුතු යැයි කරුණු දැක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවයි. දෙපළාත වෙන් කරන ලෙස තීන්දුව දුන්නේ සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලයි. මේ යථාර්ථය අපේ සමහරුන්ට අමතකවී තිබීම කණගාටුදායකය. එහෙනම් උතුරු-නැගෙනහිර වෙන් කිරීමේ ප්‍රධාන කොටස්කරුවන් ඉන්නේ ෆොන්සේකා කඳවුරේ මිසෙක රාජපක්ෂ කඳවුරේ නොවේ.

පසුගිය සෙනසුරාදා මල්වතු මහනායක හිමිපාණන් සරත් ෆොන්සේකා මැතිඳුන් බැහැ දුටු විට උන්වහන්සේ වදාලේ රට දැය සුරැකුමට දිවි දෙවැනි කොට සටන් වැදි ජෙනරාල්වරයා රට පාවා නොදෙන බව තමන්වහන්සේට විශ්වාස බවයි. එය මහා බලසම්පණ්න ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අතිගරු ජනාධිපතිතුමා තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨය බවට මේ කාරණාව පත්කරගනිමින් තිබෙන්නේ ජාතිවාදය අවුලමින් ජාතික සමගියට පහර ගසමින් බවට බොහෝ දෙනා චෝදනා කරන්නේ හේතු සහගතවය.

ජනාධිපතිතුමා සම්බන්ධන් ඇතුළු ටී.එන්.ඒ. නායකයන් සමඟ සාකච්ඡාවක...

මෙසේ ජෙනරල් ෆොන්සේකා නම් වූ අභීත රණවිරුවාට කොටි ලේබල් අලවන ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද? ජනාධිපතිවරණය ප්‍රකාශ කර සති කිහිපයකින් අවතැන් කඳවුරු වැසියන් නිදහස් කෙරිණි. A9 පාර මහජනතාවට පැය 24ම විවෘත කෙරිණි. මේවා ප්‍රශස්ත ක්‍රියාවන්ය.

එහෙත් ඉහත ඊපීඩීපී එකඟතාවය වන් තීන්දු තීරණද ජනපතිතුමා ගෙන ඇත. පසුගිය සතියේදී යාපනයේ රදගුරු අතිඋතුම් තෝමස් සෞන්දරනායගම් පියතුමාට ඔහු පැවසුවේ යාපන අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවයි. මින් නොනැවතුණු අතිගරු ජනාධිපතිතුමා හමුදා භාරයේ සිටි කොටි සැකකරුවන් 700කට නිදහස ලබාදුන්නේ ඔවුන් පුනුරුත්තාපනය කළේ යැයි පවසමිනි. එතැනින්ද නොනැවතුණු ජනපතිඳුන් ප්‍රංශ පුවත් සේවය සමඟ ප්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ හිතසුව පිණිස බලය බෙදීම පුළුල් කරන බවයි. මේ අතර මාස 8ක් පුරා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටි ටී.එන්.ඒ. මන්ත්‍රී එස්.කනගරත්නම් මහතා ජනාධිපතිතුමාට සහය දක්වන ලදැයි සැලවිය. ඔහුගේ පුතු තවමත් කොළඹට එල්ල වුණු හොටි ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අතඩංගුවේ පසුවෙයි. දැන් ආණ්ඩුවට උතුරු නැගෙනහිර දමිළ ජනතාවගෙන් සහය දක්වන්නේ කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු කොටි නායකයන්, දේවානන්ද වැනි සන්නද්ධව සිටි උදවිය සහ ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් භාරයේ සිටි අයය. යුද ක්‍රියාන්විතය පුරා ආණ්ඩුවට සහය පළ කළ වී. ආනන්දසංගරී මැතිතුමා වැනි ගරු ගාම්භීර නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය නොදක්වන්නේ මන්දැයි ඔබම සිතා බලන්න.

ජනාධිපතිතුමා දැන් කරමින් සිටින්නේ කුමක්ද? එක් පසෙකින් ජාතිවාදය අවුස්සමින්, රට බෙදන බිල්ලෙක් මවා පාමින් සිංහල ඡන්ද බිලී බාගන්නට වෙර දරද්දී අනෙක් පසින් සිංහල ජනතාවට මවා පාන රූපයේ සැබෑම විලෝමය උතුරේ දෙමළ ඡන්ද දිනාගැනීමට ක්‍රියාත්මක කර තිබෙන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. කවුරු කොහොම කිව්වද ජනතාවගේ ඇස්වලට වැලි ගසන මෙම ක්‍රියාව රැවටීමක්, මුලාවක් මෙන්ම පාවා දීමක් ලෙස යමෙක්ට අර්ථ ගැන්විය හැකිය. මේ මුලාවට හසුවී තවත් අවුරුදු හයකට රට දුරධාන්ත පාලනයකට ඇද ගෙන යන්නෙමුද? නැතිනම් වෙනසකට මුල පුරමුද?

සරත් ෆොන්සේකා මැතිතුමා මේ එල්ලවන සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. අනෙක් අතට තෙවරක් රට දැය වෙනුවෙන් රණවිරුවකු ලෙස මරණීය තුවාලයන්ට මුහුණ පෑ, දිවි හිමියෙන් දේශය රැකගත් මේ අද්විතීය ජාතික විරුවා රට පාවා දෙනු ඇතැයි සිහිනයකින්වත් සිතිය හැකිද??

එසේ නම් මෙය ෆොන්සේකා මැතිඳුන්ගේ ඡන්ද කැඩීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් පහත් ගණයේ උප්පරවැට්ටියක් බව පැහැදිලිය. මේ උප්පරවැට්ටියට ඔබේ නෑසියමිතුරන්ට, රටවැසියන්ට ගොදුරු වීමට ඉඩ නොදී යථාර්ථය පහදා දීම ඔබ සතු යුතුකමකි.

ජාතිවාදය, භීතිය වපුරමින් තම ඡන්ද ගොන්න වැඩි කරගැනීමට වෙරවෑයම් දරණ අවස්ථාවාදී නායකයන්ට පිළිතුරු දී රට නිවැරදි මාවතට ගෙන අලුත් දේශපාලන සම්ප්‍රදායක් ගොඩනැගීමේ වරම අප සතුය. එහෙයින් ලක්මෑණියන් වෙනුවෙන්  එම වරමින් උපරිම ප්‍රයෝජන ගැනීම අප සතු වගකීමකි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

ජෙනරාල් සහ ජන-රාලලාගේ සංවේදී, පළපුරුදු නායකත්වය……

ආණ්ඩුව නම් කියන්නේ මෙවර ජනාධිපතිවරණයට සිය පාර්ශවයෙන් තරඟ වදින්නේ පළපුරුදු, සංවේදී නායකයකු බවයි. ඇත්තටම ඒක එහෙමද??

ජනාධිපතවරණයට ඉදිරිපත්වන ජනාධිපතිතුමා කියන්නේ යුද්ධය දිනීමේ පුරෝගාමියා ඔහු බවයි. එය යම්තාක් දුරට සත්‍ය වුවද යුද ජයග්‍රහණය හැරුණු විට ජනාධිපතිතුමාගේ සංවේදී, පළපුරුදු නායකත්වය යටතේ අපි අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ අල්පය. ජයග්‍රහණ කෙසේ වෙතත් ලබාගෙන ඇති පරාජයන්හී වගකීම භාරගැනීමට එතුමා යුද ජයග්‍රහණයේ ගෞරවය ගන්නා වේගයෙන් ඉදිරිපත් වනු ඇත්ද?? ජනාධිපතිතුමා ඔච්චර අද්විතීය නායකයකු නම් යුද්ධයට සාපේක්ෂව බොහෝ ලෙහෙසි යැයි කියන අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර ගරා වැටී ඇත්තේ ඇයි?? එක්කෝ ඒ ඔහුගේ සංවේදී පළපුරුදු නායකත්වයේ වැරැද්දකි නැත්නම් ඔහු ඒ ගැන සිතාවත් නැත. අප ඒ ගැන මොහොතක් සිතා බලමු…!!

නිමල් සිරිපාල ද සිල්වා යනු සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යවරයා පමණක් නොවේ, ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාය, පාර්ලිමේන්තුවේ සභානායකතුමාය. ඔහුගේ නායකත්වයෙන් සෞඛ්‍යයට සිදුවී ඇති විපැත්තිය මුළු රටම දනී. රුබෙල්ලා එන්නත විදීමෙන් පසු පාසල් ශිෂ්‍යාවන් මියයෙති. රට පුරා රෝහල්වල උග්‍ර බෙහෙත් හිඟයක් ඇතිවී ඇති බව වෛද්‍යවරු පවසද්දී රටේ තියෙන බෙහෙත්ද ප්‍රමිතියකින් තොරය. එන්නත් කුප්පිවල ගුල්ලෝය, හිසකෙස් කැබලිය, වෙනත් අපද්‍රව්‍යය. රටට සූකර උණ ඇතුළු නොවීමට අවශ්‍ය සියළු පියවර ගන්නවා යැයි කී ඇමැතිතුමා සූකර උණින්, ඩෙංගු උණින් අපේ අහිංසක රටවැසියන් මියෙද්දී වගේ වගක් නැතිව ඔයිට වඩා වාහන අනතුරුවලින් මිය යනවා යැයි තෙපලමින් මුනිවත රකී. තමා සෞඛ්‍ය ඇමැති ලෙස කළ සේවයට ආඩම්බර වන බවද පවසයි. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට වග කිව යුත්තේ අපේ සංවේදී පළපුරුදු ජනනායකතුමාද, නැත්නම් ඇමතිතුමාද?? ඔබම සිතන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා ඊළඟ අගමැති වීමේ සිහිනයෙන් පෙළෙන බව ප්‍රසිද්ධ මතයකි. කලකට ඉහත ඔහු අපි වවමු – රට නගමු නමින් වගා ව්‍යාපාරයක් ආරම්භ කළේ රටට අවැසි කෘෂි නිෂ්පාදන රට තුලම නිෂ්පාදනය කිරීමටය. පරිප්පු, විදේශීය ඇපල්, මිදි, නාරං කන මිනිසුන්ට අපහස කළ එතුමා රටේ දොඩම්, නාරං සහ මිදි ගොවියන් දුෂ්කරතා විඳිද්දී ඔවුන් වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?? මගතොට තැන තැන විදේශයන්ගෙන ගෙන්වූ ප්‍රමිතියෙන් තොර පළතුරු ලාබෙට විකිණීම සිරිසේන මහත්තයාගේ අපි වවමු-රට නගමු විජාතිකව නිපදවූ වැඩ පිළිවෙළද? අද රටේ හාල් හිඟයක් ඇත්තේ මෙහි සාර්ථකත්වය නිසාද?? මේ රටේ මිනිස්සුරුපියල් 76 විජාතික බාස්මතී මෙන්ම අර්තාපල්, බොම්බයි ලූණු, අමු මිරිස් පමණක් නොව ජනාධිපතිතුමාගේ සාටකයේ එන කුරක්කන්ද විශාල වශයෙන් පරිභෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාගේ හපන්කම් නිසාද නැත්නම් ඔහුට අණදෙන ජනපතිඳුන්ගේ අණ නිසාද??? නැතිනම් වෙනයම් විජාතික බලවේගයක් නිසාද? සැබැවින්ම සාටකයේ පැහැය වූ කුරක්කන් අපේ හේන්වල වගා කරනවා වෙනුවට තොග පිටින් ඉන්දියාවෙන් ගෙන ඒමට ආණ්ඩුව සෘජුවම වග කිව යුතුය. මොන දේ සිදු නොවුණත් මහ ලේකම්තුමා පොළොන්නරුවෙ කොළ කොඩි දාන්නට නොදෙන බව කී බව මාධ්‍යයෙන් සැල විය.

සුසිල් ප්‍රේමජයන්ත යනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මෙන්ම අධ්‍යාපන ඇමැතිතුමාය. රටේ අධ්‍යාපනයට සිදුවී ඇති පරිහාණිය අමුතුවෙන් කිව යුතුද? පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා තැනෙහි සිට සමස්ථ අධ්‍යාපන පද්ධතියම බිඳවැටී ඇත. වාර විභාග ප්‍රශ්නපත්‍රවල කුණුහරුප මුද්‍රණය කෙරෙද්දී, ඒ සමඟ පිළිතුරු පත්‍රයත් ලබා දෙද්දී, සූකර උණ නිසා මධ්‍යම පළාතේ පාසල් වැසීමේදී කකුලෙන් ඇදීම වැනි ලැයිස්තුවක්ම ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ සුදුසුකම් ගොන්නට වැටේ. ජාතික මට්ටමේ විභාග වන සාමාන්‍ය පෙළේ ප්‍රශ්න පත්තරයක් හරියට හදවන්ට බැරි අධ්‍යාපන අමාත්‍යවරයකු අපට ඇත. උසස් පෙළ විභාග ප්‍රතිඵල 2007, 2008 වසර දෙකේදීම දුන්නේ බොහෝ ප්‍රමාදවය. පසුගිය සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර මිටියක් වෙලකින් හමුවූ අතර නැවත වරක් ප්‍රශ්නපත්‍රයක ගැටළුවක් ගැන හාහූවක් ඇත. මේ සියල්ල වෙන්නේ සංවේදී පළපුරුදු ජනනායක තුමාගේ අධීක්ෂණය යටතේද?? එසේත් නැතිනම් මේ ඇමැතිතුමාගේ හපන්කම්ද??

වෙළෙඳ හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධනයන් එදා කීවේ සක්කරයගෙ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්නට බැරි බවයි. ඒත් ජෙනරල් ෆොන්සේකා මැත්ඳුන්ගේ අපේක්ෂකත්වයත් සමඟ බඩු මිල අඩුවීමට පටන්ගත්තේ සංවේදී, පළපුරුදු නායකත්වයේ මහිමයෙන්ද?? රටේ වෙළෙඳුන්ට සාධාරණ වෙළඳාමක් කරන්නට බැරිව කඩවල් වැහෙන්නේ රටේ විශාල බඩු භාණ්ඩ හිඟයක් ඇත්තේ මේ පළපුරුදු, සංවේදී නායකත්වයේ මහිමයෙන්ද???

අපේ අලුත් පොලිස්පතිවරයා මහින්ද බාලසූරිය මහතාය. ඔහු තම ධුරයේ වැඩ භාරගත්තේ නීතිය හා සාමය රකිමින් පොලිස් සේවාව ගෞරවණීය සේවාවක් කරන බවට ප්‍රතිඥා දෙමිනි. එතුමාට පසුගියදා අතිගරු ජනාධිපතිතුමා නියෝග කළේ අනවසර පෝස්ටර බැනර ඉවත් කරන ලෙසයි. මගතොට යන එන ඔබ එම නියෝගය කොතෙක් දුරට ක්‍රියාත්මක වී ඇත්දැයි දනී. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුර්වල නායකත්වයද, නැත්නම් මහින්ද බාලසූරිය පොලිස්පතිතුමාගේ අකාර්යක්ෂමභාවයද?? පොලිස්පතිතුමාට එකක් කියා නොකඩවා නිල් බලකාය, ශ්‍රීලනිප ආසන සංවිධායකවරු වැන්නන් හරහා පෝස්ටර්, කටවුට් ඇලවීම පළපුරුදු, සංවේදී නායකත්වයද?? පොලීසියට රටේ නීතිය රැකීමට බැරිනම් එහි වගකීම පළපුරුදු, සංවේදී ජනනායකතුමාගේද, පොලිස්පතිතුමාගේද??

එදා 2009 සිංහල අළුත් අවුරුද්දට බෙලිඅත්ත් දක්වා දුම්රියෙන් යා හැකියැයි උජාරුවට කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මැතිඳුන් අද කියන්නේ 2012දී මෙරටට විදුලි දුම් රිය හඳුන්වා දෙන බවයි. 2009 සිංහල අවුරුද්ද ගෙවී 2010 සිංහල අවුරුද්දටත් කිට්ටු වී තිබුණද මාතරින් එහාට අඩියක්වත් දුම්රිය ධාවනය නොවීමට වගකිව යුත්තේ බොරු පොරොන්දු දුන් ඇමැතිතුමාද, සංවේදී, පළපුරුදු ජනනායකතුමාද??

මේ රටේ ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු අඛණ්ඩව වැරදි කරද්දී, මැර බලය මුදා හරිද්දී, මිනී මරද්දී ඒ ගැන කිසිත් පියවර නොගෙන සිටීම සංවේදී පළපුරුදු නායකත්වයද?? තංගල්ලේදී බස්වලට වෙඩි තබා අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයන් මියෙද්දී අර සංවේදීත්වය කොහේ ගියෙහිද?? තොරතෝන්චියක් නැතිව ආණ්ඩුවට එක්වන හැමෝටම ඇමැතිධුර, ජනාධිපති උපදේශකධූර පිරිනැමීම සංවේදී නායකත්වයද?? 2004දී අලියා ලකුණින් මහ මැතිවරණයට තරඟ කළ 40කට අධික ප්‍රමාණයක් ආණ්ඩුවට එක්වී ඇති අතර ඒ සැම දෙනාම අද ඇමැතිවරු ලෙස වරප්‍රසාද භුක්ති විඳිද්දී අපේ සාමාන්‍ය ජනතාව ජීවන අරගලයක නිරතව සිටින්නේ සංවේදී, පළපුරුදු නායකත්වය නිසාද??

යුද්ධයෙන් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ගේ සහයෙන් මේ රට මුදා ගැනීම හැරුණු කල අතිගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය අන් ක්ෂේත්‍රවල අසාර්ථකවී ඇත. යුද්ධයේදී යම් දේශපාලන නායකත්වයක් සැපයීමට අප කෘතවේදී විය යුතු වුවත් ඉදිරියට ඇත්තේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්නයි. මැයි 18දා සිට ඊට නායකත්වය දීමට පූර්ණකාලීනව අවස්ථාව ජනපතිඳුන්ට තිබුණ මුත් එය එසේ නොවිණි. ප්‍රභාකරන් සිය අවසාන ප්‍රාණ වායුව ගනිද්දී රුපියල් 70ට තුබූ සීනි කිලෝව අද රුපියල් 110 පමණ වී තිබීම ඊට කදිම නිදසුනකි. අප ශ්‍රී ලාංකිකයින් ලෙස අනාගතය ජයගැනීමට නම් අන් හැම ක්ෂේත්‍රයකම පාහේ අසාර්ථක වූ මේ රජය වෙනුවට ඒ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි රජයක් බිහි කරලිය යුතුය. සංවේදීයි, පළපුරුදුයි කියලා කියාගත්තද එම නායකයින් ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී නැත්නම් වෙන් කුමක් කරන්නද???

එසේනම් ප්‍රභාකරන්ගේ මරණයෙන් මාස අටකට පසුවත් ජනතාවගේ ප්‍රශ්න කෙරේ සිය පළපුරුද්ද, සංවේදීත්වය ඉලක්ක නොකළ, සිය ජනවරමේ වසර දෙකක් එහෙව් කර්තව්‍යයට ඉතිරිව තිබියදී ඊට පයින් ගසා තම බලය ගිලිහී නොයෑමට ප්‍රබල තැතක් දරණ මේ නායකත්වය වෙනුවට රටේ මිනිසුන් ගැන සිතන සංවේදී නව නායකත්වයක් ජනතාව අපේක්ෂා කරති.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

මැද පිටුව – නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නම්…!!!

Click here to get Sinhala Unicode

පසුගිය සතිඅන්ත පුවත්පත් ඔබ කියෙව්වාද? කියෙව්වානම් එම ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රධාන කොටසේ මැද පිටුව දෙසට ඔබේ නෙත යොමුවන්නට ඇත. පසුගිය සෙනසුරාදා සිරස නාලිකාවේ සටන වැඩසටහනේදී බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාද ජනතාවට ඇවිටිලි කළේ තමන් විසින් පළකරන ලද මෙම ද්විත්ව-පිටු දැන්වීම කියවා බලන ලෙසයි. නමුත් එහි ඇත්තේ කිමෙක්ද??

බොහෝ දෙනා අපේක්ෂා කළේ ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධ යැයි කියන අවි ගනුදෙනුව ගැන යමක් එහි සඳහන් වනු ඇති බවයි. නමුත් එහි සඳහන් වූයේ සරත් ෆොන්සේකාගේ බෑණනුවන් ඇමෙරිකාවේ ඔක්ලහෝමා ජනපදයේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ලිපි ලේඛණයි. එහි සරත් ෆොන්සේකා ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කරමින් හයිකෝප් සමාගමට දුරදක්න ආදී භාණ්ඩ සඳහා කොන්තරාත්තු දුන් බව මුද්‍රණය වී තිබුණද ඊට අදාල කිසිඳු ලිපි ලේඛණයක් අන්තර්ගත නොවිණි. මෙම ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම ගැන අදහස්ද මෙහි සඳහන් කර නැත. වැට් බදු වංචාව රුපියල් කෝටි 33000 ඉක්මවන බව අපි දනිමු, හෙජින් වංචාවේ පාඩුව රුපියල් කෝටි 7700ක් ඉක්මවන බවත් දනිමු, ශ්‍රී ලංකන්, මිහින් එයාර්, වරාය අධිකාරිය වන් ආයතනවල පාඩුවද රටේ ජනතාව දනිති. එහෙත් මේ වුණායැයි කියන ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම ඔය කියන දැන්වීමේ සඳහන් නොවේ. එහෙනම් ගම්මන්පිල ඇමැතිතුමා බොහොම උජාරුවෙන් පාරම්බෑ මෙම දැන්වීමේ ඇති එකම ගත යුත්ත ජෙනරල්තුමාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා හයිකෝප් නම් සමාගමක කොටස්කරුවකු ලෙස ඇමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බව පමණි.

දේශපාලනඥයකුගේ ඥාතියකු ව්‍යාපාරයක් කිරීම වරදක්ද? එසේ වන්නේ නම් රටේ දේශපාලනය කරන්නට ඉතිරිවන්නේ අතලොස්සකි. රටේ විශාල හාල් හිඟයක් ඇතිවී තිබියදී ඇමැතිධුර හොබවන “නිපුන” හාල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් ඇමැතිතුමා මෙන්ම ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට පක්ෂ භේදයෙන් තොරව රටේ බොහෝ දේශපාලනඥයන් එක්කෝ ව්‍යාපාරිකයෝය, නැතිනම් ව්‍යාපාරිකයකුට මොනයම් හෝ ඥාතීත්වයක් හොබවයි.

හරි! අපි හිතලුවකට, නිකම් විහිළුවට වගේ හිතමුකො ඔතනදි ජෙනරල්තුමා ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කළාය කියල, එතකොට ඒව වෙනකන් ඇස් කන් වහගෙන හිටපු ආණ්ඩුව මේකට වග කියන්න ඕනෙ නේද? අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂක ඇමැතිතුමා, එතුමගේ අමාත්‍යංශයට සම්බන්ධ ගනුදෙනුවකදි දූෂණයක් උනාය කියනවනම් ඒක වෙනකන් එතුමා උඩ බලං හිටියාද? සියළු අවි ගනුදෙනු ලංකා ලොජිස්ටික්ස් ආයතනය හරහා සිදුවිය යුතු යැයි කී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තය මේව දැක්කෙ නැද්ද? එහෙමත් නැත්තන් ඒ මහත්වරු දෙන්නගෙ ඇස්වලට වැලි ගහල හොරකම් කරන්න පුලුවන් තරම් මෝඩයො දෙන්නෙක්ද ඒ දෙන්නා?? ආරංචි පැතිර යන විදියට හමුදාවට අවි ආයුධ ගන්න ඕනෑම ලියැවිල්ලකට ආරක්ෂක ලේකම්තුමා අත්සන් කරන්න ඕනෙ. එහෙනම් මේකෙන් කියැවෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මේකට සම්බන්ධ බවයි. ඔතන බැරිවෙලාවත් අක්‍රමිකතාවක් වෙලා තියෙනවනම් අතිගරු ජනාධිපතිතුමත්, ආරක්ෂක ලේකම්තුමාත් වග කියන්න ඕනෑ නේද??

අනෙක් අතට අපි ජෙනරල් ෆොන්සේකා ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කර මහින්ද සහ ගෝඨාභය දෙසොහොයුරන් ගොනාට අන්දා හයිකෝප් එකට ගනුදෙනුව ලබා දුන්නා යැයි උපකල්පනය කරමු. එහෙම එතුමා කළා නම් ඒක වැරදි බව සැබෑය. නමුත් මේ ටිකත් කල්පනා කරන්න. අපේ රටේ සාමාන්‍ය මිනිසකු මෝටර් රථයක් ගත්විට, තමන්ට කරදරයක් වූ විට, අලුත් දේකට අත ගසන විට යන්නේ අන් කොහේවත් නොව අතිඋතුම් කතරගම පූජාභූමියටයි. ආගම් භේදයකින් තොරව ලක්දනන් වන්දනාමාන කරන කතරගම පුදබිම දේවාල පනතින් නිදහස් කර තම ඥාති පුත්‍රයාට ඌවේ මහ ඇමැති වීමට පාර කැපීම අර ඉහත අපි උපකල්පනය කළ ටෙන්ඩර් නීති උල්ලංඝණය කිරීමක් වාගේම වරදක් නොවේද?? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජීවිත කාලයම දිවි හිමියෙන් කඹුරපු මිනිස්සු එළියෙ ඉන්දැද්දී තම සොහොයුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එවීමද එවැනිම ක්‍රියාවක් නොවේද??? මේ ක්‍රියාවලීන් දෙකම රටේ සම්මත සදාචාරය අභිබවා යන ඥාති සංග්‍රහයන් නොවන්නේ යැයි කවරකුට නම් කිව හැකිද?? අපි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීම ප්‍රශ්න නොකරමු, මන්ද ඔහු හිටපු හමුදා නිලධාරියකු නිසා, නමුත් ඉහත නැගූ ප්‍රශ්න දෙකට අමතරව බොහෝ ප්‍රශ්න, ප්‍රශ්නාර්ථ අපේ ජනතාවට ඇත. අද දේශපාලන පළපුරුද්ද ගැන බෙහෙවින් සංවේදී කඳවුරේ තැනැත්තෙකු ඌවේ මුල් පුටුව මෙන්ම කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයද හොබවන්නේත්, වසර කීපයක් ශ්‍රීලනිපයේ සහ එජාපයේ දේශපාලනඥයන් සමඟ ක්‍රියා කර අත්දැකීම් ඇතත් ඔය කියන තාලයේ මහා විශාල දේශපාලන අත්දැකීම් නැති මහත්මයකු ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ටත් එහා ගිය තත්ත්වයක් උසුලණුයේ මේ ඥාති සංග්‍රහය නිසා නොවේදැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර බලන්න.

අනෙක් අතට පළාත් සභා නාමයෝජනා කමිටුවල සිටි සන්ධාන නායක නායිකාවෝ නොමිනේෂන් දුන්නේ ඔවුන්ගේ ඥාතීන්ටය, පුතුන්ට, සහෝදරයන්ට සහ නෝනලා මහත්වරුන්ටය. මෙයද ඥාති සංග්‍රහයක් බව ඔබ අප සැවොම දනී. රටේ සෑම පළාත් සභාවකම කිසිඳු සංවේදීත්වය සහ පළපුරුද්ද ගැන මැත දොඩවන එක්සත් ජනතා සන්ධාන ප්‍රබලයන්ගේ කිට්ටු ඥාතීන් බර ගණනක් ඇතුලත් කර වරිග සභාවක් කිරීමට සන්ධානය ක්‍රියා කරන්නේ තම පක්ෂයෙන් පළාත් සභාවකට ඉල්ලන්න මිනිස්සු නැති නිසාද එසේත් නැතිනම් ඥාති සංග්‍රහය නිසාද?

එහෙනම් යමෙක් සම්මතයට පටහැණිව ඥාති සංග්‍රහයේ නියැලීමට චෝදනා ලැබිය යුතු නම් ඒ චෝදනාව පළමුව එල්ල විය යුත්තේ අනෙක් අයට චෝදනා නගන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මිස ජෙනරාල් ෆොන්සේකාට නොවන බව බහුතරයේ අදහසයි. බොරු චෝදනා පටලවමින් තමන් නිර්දෝෂී වන්නට මේ උදවිය යත්න දරණ බව වියතුන් දන්නේ එබැවිනි.

නඩුත් හාමුදුරුවන්ගේය, බඩුත් හාමුදුරුවන්ගේ න්‍යාය යොදවමින් තමන්ට හිතවත් මාධ්‍යය හරහා මේ මිථ්‍යාව ජනසිත්සතන් තුල වැපිරීමට වෙර දරණ තැතට නියමිත පිළිතුර මෙරට බුද්ධිමත් දනන් දෙනු ඇත….!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

H Niles Perera©, January 2010

කරළියේ විත්ති සහ එස්.බී.

ඡන්දයේ උණුසුම වැඩිවීමත් සමගම අද වන විට මුලු ශ්‍රී ලංකාව පුරාම දේශපාලනය උණුසුම් මාතෘකවක් බවට පෙරලී හමාරය. වෙනදාටත් වඩා එය එසේ සිදු වී ඇත්තේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ පැමිණීමත් සමගමය. එදා වනවිට යුධ වීරයෙකුව සිටි ජෙනරල්වරයා අද වන විට දේශද්‍රෝහියෙකු බව ආණ්ඩුවේ සිටින කටින් බතල සිටුවන පුද්ගලයන් පවසයි. තමාගේ ජීවිතයට පවා තර්ජනයන් තිබියදී ඒවා කිසිවකටත් නොබියව මුහුණ දී යුද ජයග්‍රහණයක් වෙනුවෙන් කැපවූ නායකයාට රූපවහිනියෙන් කාඩ්බෝඩ් වීරයන් වන රංගන ශිල්පියන් කියන කතා හාස්‍ය දනවන සුලුය.

රටේ ජනතාව මත රදා පවතින ඔවුන් රට වෙනුවෙන් කැපවුනු නායකයාට යොදා ගන්නා වදන් පවා පිලිකුල් සහගතය. එයින් ඒ ඔවුන් පෙන්වීමට උත්සහ ගන්නේ ඔවුන්ගේ ඇති පහත් මානසිකත්වය හා නූගත්කම යැයි මම සිතමි. එසේම මහත්මා ගතිගුණ ගැන කතා කරන ඔවුන්, ඔවුන් කඩේ යන පත්තේ පවතින සදාරණත්වය, මහත්මා ගතිගුණ ගැන සිතා බලුවාද…?? එසේම දේශපලන සංවාද යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් නිවේදකයා ලෙස ගෙන දෙදෙනාම එක්ව වලන් පොඩිකිරීමේ සම්ප්‍රදාය ඔවුනට නොපෙනේද..?? එය යහපත් මාධ්‍යය සංස්කෘතියද…?? ඔවුන්ට අදාල දේ නොපෙනී අනුන්ගේ වරදි සෙවීමට යාම තවත් ඔවුන් කරනා රගපෑමක් බව මේ රටේ සිටිනා කුඩා දරුවාට පවා වටහේ.රටේ සුභ අනාගතයට අවශ්‍ය වන්නේ මෙයද….?? එය මේ සදාචාරය, පලපුරුද්දට, සංවේදීත්වයට ඔබිනවාද..?? කළාකරුවන් ලෙස එය ඔවුන් දැකිය යුතු නොවේද ….?? ප්‍රවෘත්ති විකෘති කිරීම, අසත්‍ය ප්‍රකාශ කිසිම පැකිලීමකින් තොරව සිදු කිරීම හරහා ඔවුන් රටේ ජනතාවගේ නිදහස් මාධ්‍යය විචාරණයට බාධා නොකරන්නේද…..?? ඔවුන් එසේනම් ඒ කතා කරන්නේ හදවතින්මදැයි යන ප්‍රශ්නය සැමටම වැටහේ. ඔවුන් තමන්ගේ වාසිය තකා රටේ අනාගතය පාවා නොදේද..??

එසේම තවත් මතිමතාන්තර රැසක් ද කරලියේ දැක ගත හැකිය. ඒ නම් පිල් මාරු සිදුවීමයි. මේ පිල් මාරු වූ පසුව ඔවුන්ගේ කතා විලාශයෙන්ද අපට ඔවුන්ගේ චරිතයන් මැනිය හැකිය. අනෙක් පසට ගොසින් තමා සිටි තැනට පහර දෙමින් පක්ෂය පාවා දෙන්නවුන්ද අද අපට දැක ගත හැක. එසේම පිල් මාරු වුවත් පක්ෂය පාවා නොදී පක්ෂය වෙනුවෙන් කතා කරන්නන් ද සිටී.

ඒ අතරින් එස්.බී මහතාගේ මාරුව පිලිඹද අදහසක් නොකියාම බැරිය ඒ ඔහුගේ මාරුවෙන් ඇති වූ ප්‍රතිපලය ගැනයි. එස්.බී දිසානායක යනු ඡන්ද මැශිමක් ලෙස අතීතයේ කීවත් අද වන විට මා සිතනුයේ ඔහු මඩ මැශිමක් බවට පත් වී ඇති බවයි. එසේම ඔහු හිටපු ජනපතිනියට බැන වැදී පිල් මාරු කල ආකාරය සැමට මතක ඇතුවාට සැක නැත. එදා ඔහු අධිකරණයට අපහාස කිරීමට දඩුවම් විදින අවදියේ ඔහු වෙනුවෙන් පෙනී සිටියේ එ.ජා.ප. ඡන්ද දායකයින්ය. ඒත් අද වන විට ඔහු තමා ලගින් සිටියවුන් හැරදමා මුදලට යටවී ඇත. ඔහුට ඡන්දය දුන් අප කිසිවෙකුත් ඔහුගෙන් ඒ දේ බලාපොරොත්තු වූයේ නැත. අනෙක ඔහු පවසන ආකාරයට ඔහුට යමක් නොලැබුනි නම් පක්ෂයේ අනෙක් පුද්ගලයන් හා ඡන්දදායකයින් කෙසේ නම් දේවල් කිව යුතුද ? එදා සිටි දේශද්‍රෝහී එස්.බී අද දේශප්‍රේමී එස්. බී. බවට පත්වී ඇත. හාස්‍යයට කරුණ නම් ඔහුත් අද දේශප්‍රේමී ලේබලය අලවන්නෙකු බවට පත්වීමයි. ඔහු මෙසේ ක්‍රියාකරන්නේ ලැජ්ජාව ඔහුට අලුත් දෙයක් නොවන නිසාදැයි නොසිතාම බැරිය.

එසේම ඔහු ප්‍රතිපත්ති ඇති අයෙකු නම් පක්ෂයෙ මොන අඩුපාඩුකම් තිබුනද පක්ෂය තුල සිටිය යුතු යයි මම සිතමි. එසේ ගොස් පක්ෂයට හොදටම මඩ ගසමින් රාජපක්ෂ පවුලට සේවය කරනවා කී ඔහු අද ජෙනරල්ගේ අඩුපාඩු තොරතොන්චියක් නැතිව පවසයි. මා දකින්නෙ එහිදී ඔහු කරන්නේ අනුන්ගේ පොල් කෙන්ද සොයමින් තමාගේ පොල් පරාලය සගවා ගැනීමට දරණ දැඩි උත්සහයකි. තම දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන ඔහුට ඡන්දය දුන් මධ්‍යම පලාත් ඡන්දදායකයින් ඔහු නිසා එක්සත් ජාතික පක්ෂය කිසිදාක හැර යන්නෙ නැත. ඒ වෙනුවට ඔහු නිසා ඡන්දය නොදුන් පාක්ෂිකයින් නැවතත් පක්ෂයට එකතු වී ඇත. මෙහිදී ඔහුට වැඩිම මනාප ගණනක් ගනීමට හැකි වූයේ එ.ජා.ප.ය නිසාය. එදා බන්දුල ගුණවර්ධන මහතා කියා සිටි පරිදි එ.ජා.ප.යෙන් ලීකොට කෑල්ලක් කපා ඉදිරිපත් කලත්, විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි බව සැවොම දන්න කරුණකි.

අනෙක් කරුණ නම් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු ජෙනරල්වරයාගේ අවිගනුදෙනු පිලිඹද අදහස් ප්‍රකාශ කරමින් සිටින විට එක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී පිලිතුරු රහිතව අසරණ වූ ආකාරයෙන් අපට පැහදිළි වන්නේ ඔහු කරුණු කාරණා නොමැතිව මඩ ගසන බවයි.

ඔහුගේ විමසා බලමු ආර්ථික මතවාද ග්‍රන්තයේ ඔහු කියන පරිදි මහින්ද චින්තනයට රට සංවර්ධනය කළ නොහැකි නම් එවන් දේ ඇති අය සමග එකතු වූයේ ඇයි දැයි අපට ප්‍රශ්නයක් මතුවේ. සත්‍යය නම් ඔහු තමාට ඡන්දය දුන් මිනිසුන් පාවා දී තම සුබසෙත සදහා වැඩ කටයුතු කරන බවයි. තමාගේ කර පිටින් ගෙන ගොස් පොදු අපේක්ෂකයා දිනවන බව කියා පසුව රාජපක්ෂ පවුලට සේවය කරනවා යයි කීමෙන් ඔහුගේ ස්වරූපය මොනවට පැහැදිළි වෙයි.

අවසානයේ මගේ අදහස නම් මේ ග්‍රහ මාරුව පොදු ජනතාවගේ සුබසිද්දිය උදෙසා ඔහුව දිනන පැත්තෙන් ඉවත් කිරීමට සිදුවී ඇති බවයි. ඇත්ත වශයෙන්ම මධ්‍යම පළාත් ඡන්දයේදී සිදුවූයේ යූ.එන්.පී. එකෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ඇමැති අපේක්ෂකයා එස්.බී. වුනු නිසා ඔහුට ඉතා විශාල යූ.එන්.පී ඡන්ද ප්‍රමානයක් ලැබීමයි. එය ඔහුට ඡන්දය දුන් පුද්ගලයකු ලෙස,  මධ්‍යම පළාතේ අප ඔහුට ඡන්දය ප්‍රකාශ කලේ පක්ෂය වෙනුවෙන් බව කිව යුතුය. එය ඒ ලෙස නොදැක්ක ඔහු සිතුවේ එය ඔහුට ලැබුනු ඡන්ද කියාය. එයින් ඔහුගේ ඉලක්කය වූයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටයි. ඔහුගේ මාරුව නිසා තවත් වැදගත් දෙයක් අපට ලබුනි, ඒ නම් පක්ෂය විකිනූ පුද්ගලයා රටේ ජනාධිපති කර රට විකුණන තැනට පත් නොකර සිටීමට අවස්ථාව ලැබීමයි. එය පාක්ෂිකයන්ගේ මෙන්ම මුලුරටේම වාසනාවකි.

මෙසේ කවුරුන් මොන කතා කීවත් බුද්ධිමත් ජනතාව හරි දේ හොදට හදුනන බව ඉතා පැහැදිලි කරුණකි. ඡන්ද ගුන්ඩු මොනවාද, ඇත්තට සිදු වන්නේ කුමක්ද , අනුන්ට ඇගීලි දික් කරන්නේ කර කියාගත දෙයක් නොමැතිව බවත් බොරු චෝදනා එල්ල කරන්නේ කවුරුන්ද යන්නත් ජනතාව හරියාකාරව තේරුම් ගෙන සිටී.

ඒ නිසා විශ්වාසනීය වෙනසක් මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත වනු ඇති බව මාගේ විශ්වාසයයි…….!!!

– සී.ආර්.බී. සෙනෙවිරත්න, 2009 ජනවාරි