Archive for ජූලි, 2009

සමාව අයදිමු සහ සංවේගය පතමු!!!

මොරටුව විශ්වවිද්‍යාලයේ පවතින අධික වැඩ රාජකාරි හේතුවෙනුත්,නවක සිසු කණ්ඩායමක් පැමිනීම හේතුවෙනුත්,ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනයේ විභාග කටයුතු සහ අමානුශික Lecture Schedules හේතුවෙනුත්,තවද මා විසින් තවත් අලුත් බ්ලොගක් ආරම්භ කිරීම හේතුවෙනුත් ගතවූ මසක පමණ කාලය තුල කිසිඳු ළිපියක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඒ පිළිබඳ සොයුරු නිලැස් සහ මා පාඨක ඔබගෙන් සමාව අයදිමු.

තවද ඉදිරි මස මුල් සතිය අවසානයේදී පමණ නිලැස් ට විවේකයක් ලැබේයැයි සිතෙන අතර ඉන්පසු අපගේ බ්ලොග් කෙරුවාව පුරුදු පරිදි කරගෙන යාමට අධිෂ්ඨාන කර ඇත.මාහට තවද මසක පමණ කාලයක් විභාග කෙරුවාව ඉතිරිව ඇති අතර එය අධ්‍යාපනයට කැපකිරීමට සිතා සිටිමි.පැමිණි තුන් මසක කාළය මෙන්ම ඉදිරියටද ඔබ යෝජනා,විවේචන සහ ගුණ දොස් සමඟින් අප සමග සිටීයැයි අප අපේක්ෂා කරමු.
සංවේගජනක ප්‍රවෘත්තිය නම් එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් නායක ආදි නාලන්දීය සරත් රණවක මහතා ජූලි 25 දින අප අතරින් වියෝවී ඇති වගයි.

දේශපාලනිකව හොඳ ඉදිරියක් පතනා අතර ළඟදීම ළිපියකින් හමුවන බළාපොරොත්තුවෙන් නවතිමි.ජය වේවා !!!

දැන් එකසිය කීයද???

Click here to get Sinhala Unicode.

නොබෝදා අප රටේ ඇමැති මණ්ඩලය තවත් විශාලනය කරන ලද්දේ විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ දෙදෙනෙකුට අමාත්‍යධූර පිරිනමමිනි. එහි වඩාත් හාස්‍යජනක කාරණාව වූයේ එදා අමාත්‍ය මණ්ඩලය වැඩී, එය කප්පාදු කළ යුතුයි යනුවෙන් මැසිවිලි නැගූ ජානිපෙම අවස්ථාවාදී ලෙස ඇමැති තනතුරු භාරගැනීමයි. මෙම වටපිටාව තුල ජානිපෙ තුල 13වන සංශෝධනය කෙරේ තුබූ විරෝධයේ යම් කිසි අඩුවක් ඇතිවන ලකුණු පහළ වීම මත ඇතැමුන් මෙය ජනාධිපතිතුමා විසින් ජානිපෙ 13වන සංශෝධනයට එකඟ කරගන්නට දුන් සන්තෝසමක් ලෙසද අර්ථ ගන්වති.

නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු - පියසිරි විජේනායක

නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරු - පියසිරි විජේනායක

කෙසේ වෙතත් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ කණගාටුදායක කරුණු රැසක් දැකිය හැකිය. එක්සත් ජාතික පක්ෂයත් තම ඡන්දදායකයාත් පාවා දුන් අවස්ථාවාදී ප්‍රෝඩාකාරයකු වුවත් මිලින්ද මොරගොඩ මෙම රජයේ යම්කිසි වැඩක් කළ ඇමැතිවරු අතලොස්සෙන් එකෙකි. වෙසෙසින්ම සංචාරක ඇමැති ලෙස රටේ අපහසු කාලච්ඡේදයක සංචාරක කර්මාන්තය නගා සිටුවා රටට විදෙස් විණිමය ගෙන ඒමට එතුමා සැලකිය මනා වෙහෙසක් උසුලනු දක්නට ලැබුණි.. Sri Lanka – small miracle යන මැයෙන් විදේශික සංචාරකයන් මෙරටට අද්දවා ගැනීමටත්, නරඹමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා දේශීය සංචාරක කර්මාන්තය නගා සිටුවීමටත් එතුමා උනන්දු විය. විශේෂයෙන්ම යුද්ධය නිසා විදෙස් සංචාරකයන් රටට ඒමට අකැමැති යුගයක සංචාරක ක්ෂේත්‍රය කඩා වැඩීමට ඉඩ නොදී කර්මාන්තය ආරක්ෂා කරදීම සඳහා ඔහුගෙන් යම් කාර්යයභාරයක් සිදුව ඇතැයි ආරංචි ලැබේ. යුද්ධය නිමාවූ මේ මොහොතේ අපට සීඝ්‍රවම විදේශ මුදල් ඉපැයිය හැක්කේ සංචාරක කර්මාන්තය හරහා වන අතර අප රටේ ශ්‍රී විභූතිය නිසා මෙම කර්මාන්තයේ වර්ධනය සාර්ථක කළමණාකරණයක් සහ වෙළඳකරණයක් හරහා දෙගුණ තෙගුණ කිරීමට මොරගොඩ ඇමැතිතුමාට හැකියාව තිබුණි.

නමුත් අද සිදුවී ඇත්තේ කුමක්ද? නීතීඥයකු නොවන මිලින්ද මොරගොඩට තමන්ගේ දැනුම් පථයට මුළුමනින්ම පරිභාහිර අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යධූරය ලබාදුන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි. පෙරළා අනෙක් අතට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය පිළිබඳව නඩුවේ ප්‍රධාන චූදිතයෙක් වන්නේද මිලින්ද මොරගොඩ මහතාමය. එහෙව් ඔහුට අධිකරණ අමාත්‍යාංශය පැවරීම “නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ” යන සුප්‍රකට සිංහල කියමන සිහි කැඳවයි. එදා මහත් ලෙස අඬබෙර ගසා “මහත්මා දේශපාලනය” ගැන වැදි බණ තෙපලූ මිලින්ද මොරගොඩට ඉදිරියේදී ජනතා අධිකරණය දෙන තීන්දුව කුමක්දැයි අප ඉවසිල්ලෙන් යුතුව බලා සිටිමු.

ඊටත් අමතරව ඊනියා දේශප්‍රේමී, කළමණාකරණය ගැන හසරක් නොදත්, විවෘත ආර්ථික ක්‍රමයට විරුද්ධ ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක සහෝදරයාට සංචාරක ඇමැතිකම පිරිනැමීම ගැටළු සහගතය. රටේ යුද්ධයේ නිමාවත් සමඟ ප්‍රථමයෙන්ම ගොඩ නැගිය හැකි කර්මාන්තය සංචාරක කර්මාන්තය බව නොරහසකි. ලක්ෂ 4ක වාර්ෂික සංචාරකයන් ප්‍රමාණය මිලියනය දක්වා ඉක්මනින් වර්ධනය කරගැනීම සංචාරක අමාත්‍යාංශයේ දැක්මයි. නමුත් අමාත්‍යධුරයක් දරා නැති, කළමණාකරණය, සංචාරක කර්මාන්තය යනාදිය ගැන හසරක් නොදත් නන්දන ගුණතිලක මෙම භාරධූර කර්තව්‍ය ඉසිලීමෙහිලා කොපමණ සාර්ථකවේද යන්න සැක සහිතය. මෙය සංචාරක කර්මාන්තයේ පසුබෑමකට හේතුකාරකයක් වනු ඇතැයි යන මතය බැහැර කළ හැක්කේ ඉදිරි කාල පරාසයේදී නන්දන ගුණතිලක වැඩ පෙන්නුවොත් පමණකි.

අනෙක් සංවේගදායක ප්‍රවෘත්තිය නම් සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් නොවන ඇමැතිධූරය, ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරු නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන චූදිතයාව සිටින, ඇප මත නිදහස ලබා සිටින පියසිරි විජේනායක සහෝදරයාට පිරිනැමීමයි. මිනීමැරුම් චෝදනා නොමැති සංස්කෘතික කටයුතු විෂය සඳහා උචිත මන්ත්‍රීවරයෙක් සන්ධානයේ ඇත්තේම නැද්ද? නැත්නම් මෙවැනි මිනීමැරුමකට ප්‍රධාන සැකකරුව මසක් පමණ නීතියට කට්ටි පනිමින් ජනතාවගේ ඇසට වැලි ගසමින් හුන් පුද්ගලයකුට සංස්කෘතික ඇමැති පදවිය දෙන්නේ මන්ද? රටට අවශ්‍ය වන්නේ නීතියෙන් කට්ටි පනින එවන් සංස්කෘතියක්ද?

ඉතින් මහින්ද මේ යන මග හරිද? අන්ධ භක්තිකයන් කුමක් කීවත් මෙම පත්කිරීම්වලින් අනාගතය පිළිබඳවත් රටේ ඉදිරි දේශපාලන ගමන් මග පිලිබඳවත් ප්‍රශ්නාර්ථ රැසක් මතු කරයි. රටක් දියුණු වන්නට සාර්ථක ඇමැති මණ්ඩලයක් අවශ්‍යය. ඒ ඒ විෂය සඳහා තතු දත් දක්ෂයෝ පත් කළ යුතුය. අමාත්‍යධුර වූ කලී දේශපාලනික දොලපිදේනි නොවිය යුතුය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 ඇසළ

H Niles Perera©, July 2009