Click here to get Sinhala Unicode.
පසුගිය කාල වකවානුව පුරා රටේ දේශපාලනයේ ඇති අප්‍රසන්න ස්වභාවයන් කිහිප වරකදීම කැපී පෙනුණි.

නන්දිමිත්‍ර
ඉන් පළමුවැන්න ඇලික් අළුවිහාරේ මහතාගේ අභාවයෙන් හිස් වූ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අසුනට වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහතා පත්වීමයි. නීත්‍යානුකූලව එම අසුන 2004 මහ මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික් එජාප මනාප ප්‍රතිඵල මත නන්දිමිත්‍ර ඒකනායකට හිමි විය යුතු වුවත් එම අසුන පක්ෂ මාරුවක් කළ ඇත්තකු කිසිඳු හිරිකිතයකින් තොරව භාර ගැනීමේ හොඳ නරක ඔබම තීරණය කරන්න. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකේය ජනතාව මේ දිහා අඳ ගොළු බිහිරි දනන් සේ බලා සිටීම දුක්ඛදායකය. අප රටේ පළමුව තමා කැමැති පක්ෂයට ඡන්දය දී පසුව මනාපය සටහන් කිරීමෙන් පෙනෙන්නේ පුද්ගලයාට වඩා පක්ෂය වැදගත් බව නොවේද?
කෙසේ වෙතත් එදා යූඇන්පියේ ප්‍රබලයන් වූ මහින්දට “සුනාමි හොරා” යැයි අපහාස කළ ඇතැම් උදවිය අද රජයට ගොස් මහින්දට හුරේ දමමින් රනිල්ට බණින අයුරත් එදා එජාපය වැනසීමට මාන බැලූ මංගලගේ ක්‍රියාකලාපයත් දකිද්දී මට නම් ඇති වන්නේ පිළිකුලකි. කවරකු වුවත් එක් පක්ෂයක් නියෝජනය කරමින් ඡන්ද ඉල්ලා තම පටු අරමුණු අරඹයා තවෙකකට හේත්තුවී වැඩ කිරීම මහත් ඛේදයකි. මෙම අසාධාරණයට එරෙහිව නැගී සිට අපෙන් උදුරාගත් මාතලේ මන්ත්‍රීධුරය යළි අත්පත් කරගැනීම අප පක්ෂය සතු යුතුකමකි. එලෙසම මීළඟ ඡන්දවලදී කුමන පක්ෂයක වුවත් ප්‍රතිපත්ති නැති පක්ෂ පාවා දෙන දේශපාලුවන් පිළිකෙව් කිරීමේ වගකීම ජනතාව වන අප සතුය.
දෙවැනි විහිළුව කතානායකතුමාගේ පුතා ගැනයි. කතානයක පුත් උදිත ලොකුබණ්ඩාර මහතා පසුගිය බදාදා (27) එක්සත් ජාතික පක්ෂයේ හපුතලේ මැතිවරණ කොට්ඨාශයේ නව සංවිධායකවරයා වශයෙන් තෝරා ගැනුණි. ඒ පණිවුඩයේ උණුසුම පහව යෑමටත් පෙර බ්‍රහස්පතින්දා (28) ජනපතිතුමා විසින් උදිත ලොකුබණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුළු දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කරනු ලැබීම හාස්‍යයට කරුණකි. මේ මහා නාටකය මැද උදිත ලොකුබණ්ඩාර නිහඬව සිටීම කණගාටුදායකය. එක්කෝ හේ ශ්‍රීලනිපයට යා යුතුය, නැතහොත් එජාපයේ සිටිය යුතුය. යමෙක්ට දෙපොළක දේශපාලනය කළ නොහැක. විශේෂයෙන් පැය 24ම ධර්මය කථා කරන අප ආදරණීය කතානායකතුමා මේ ගැන කිසිත් හැල හොල්මනක් නැතිව සිටිමින් තම පුතනුවන්ගෙ දෙබිඩි පිළිවෙතට උඩගෙඩි දීම කණස්සල්ලට කරුණකි.
තෙවැනුව ජාතික නිදහස් පෙරමුණ රජයේ අමාත්‍යධූර දෙකක් භාර ගැනීමට තීරණය කිරීම හාස්‍යජනකය. එදා කැබිනට් මණ්ඩලය කප්පාදු කළ යුතු යැයි ආඩපාළි කියූ වීරවංශ ප්‍රමුඛ “ඔටුනුවංශලා” අද කිසිඳු හිරිකිතයකින් තොරව අමාත්‍යධූර භාර ගන්නට යන්නේ කිසිත් නොදත් බිළින්දන් විලෙසිනි. මේ සමඟ අප රටේ ඇමැති මණ්ඩලය මගේ මතකය නිවැරදි නම් 112 දක්වා ඉහළ යනු ඇත. මෙය ලෝක වාර්තාවකි. විශේෂයෙන්ම කිසිඳු ජනබලයක් නොමැති දියාරු “ත්‍රීවීලර්” පක්ෂයකට ආණ්ඩුව ස්ථාවරව තියෙද්දී පවා ඇමැතිධූර පිරිනැමීම මගින් ආණ්ඩුවේ යටි අරමුණු මැනැවින් විදහා දැක්වේ.
මරු පෙනි පෙනී ප්‍රභාකරන් සහ තම රුදුරු ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ රැඳෙමින් මරු වැළැඳගත් ම්ලෙච්ඡ කොටි නායකයෝ ඒ අතින් නම් අපේ අවස්ථාවාදී වංක දේශපාලුවන්ට ආදර්ශයකි. එම ප්‍රතිපත්තිය මහා මිනීමරු ත්‍රස්තවාදී ප්‍රතිපත්තියක් බව සැබෑවක් වූ නමුත් ඔවුන් මරු හමුවේ පවා ප්‍රතිපත්තිගරුක විය. එහෙත් අප ඇතැම් දේශපාලකයින් එම ත්‍රස්ත නායකයින් තරම්වත් ප්‍රතිපත්තිගරුක නොවීම මහත් ව්‍යසනයකි.
සිව්වැනි කරුණ නම් මනුෂීය මෙහෙයුම් වලදී ජීවිතක්ෂයට පත්වූයේ යැයි ආණ්ඩුව ප්‍රකාශ කළ කොටි දේශපාලන අංශ නායිකා තමිළිනී වව්නියාවේ අවතැන් කඳවුරක ජීවග්‍රහයෙන් හමුවීමේ පුවතයි. මේ හරහා පොට්ටු අම්මාන් ඇතුළු සිරුරු හමු නොවුනු කොටි නායක නායිකාවෝ සැබැවින්ම මරු වැළැඳ ගත්තාද යන සැකය ඉස්මතු වෙයි. වාසනාවට ප්‍රභාකරන්, සුසේ, චාල්ස් ඇන්තනී වැන්නන්ගේ සිරුරු හමුවී තිබේ. නමුත් මෙම සිද්ධියෙන් පෙනී යන්නේ ආණ්ඩුව තම දේශපාලන වාසි තකා නිශ්චිතව නොදත් කරුණු පවා ප්‍රකාශයට පත් කරන බවයි. මෙය කණගාටුවට කරුණකි. මෙමඟින් ආණ්ඩුවේ ප්‍රකාශ ගැන රටේ අවිශ්වාසයක් ගොඩ නැගේ. පොට්ටු අම්මාන් ඇතුළු සිරුරු හමු නොවූ කොටි නායකකාරකාදීන්ගේ මරණයන්ද ඉක්මනින් තහවුරු වී මෙම අවිශ්වාසය බිඳ වැටෙනු ඇතැයි අප අවංකව ප්‍රාර්ථනා කරමු.
– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 වෙසඟ –
H Niles Perera©, May 2009