Archive for මාර්තු, 2010

මහවැලියෙන් රටම එකලු කළ නරේන්ද්‍රයා – ගාමිණී දිසානායක

Click here to get Sinhala Unicode

අප රටේ නිදහසින් පසුව රටට ඉමහත් සේවයක් කළ එහෙත් රටේ අවාසනාවට රටේ රාජ්‍ය නායකත්වය අහිමි වූ සොඳුරු දේශපාලනඥයන් කිහිපයකි. ඉන් එක් අයකු වන ගාමිණී දිසානායක ශ්‍රීමතාණන්ගේ 68 වන ජන්ම දිනය පසුගියදාට යෙදිණි. මේ ඔහු මෙරටට කළ අමිල සේවය ගැන සිහි කැඳවීමකි.

================================================================

1942 මාර්තු මස 20වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පින්බර පුත් රුවන නමින් ලයනල් ගාමිණී දිසානායක නම් විය. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඇන්ඩෲ දිසානායකයන්ගේත්, සමරතුංග වෙලගෙදර කුමාරිහාමිගේත් දෙවැනි දරුවා ලෙස මෙලොව එළි දුටු ගාමිණීට එම නම යෝජනා කර ඇත්තේ එවක යතුරුගහලියැද්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ව වැඩ සිටි දිඹුල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. කුඩා කළ පටන් කොත්මලේ ගැමි පරිසරයේ පහස විඳිමින් හැදී වැඩුණු පුංචි ගාමිණී ගැමි ජීවන රටාව, සංස්කෘතිය සහ ආගමික වටිනාකම් මනාව උගත්තේය. පස්වසක් සපිරෙන කල්හී ලංකාවේ සුප්‍රකට තක්සලාවක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළු කිරීමට ගාමිණීගේ දෙමව්පියන් වග බලා ගත්තේ තම කුඩා දරුවා ගැන මහත්වූ අපේක්ෂාවන් පෙරදැරිවය. ත්‍රිත්ව විද්‍යාලයේදී ලයනල් යන නමින් ආමන්ත්‍රණයට ලක්වුණු ඔහුට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් මාස්වෙල ගම් පියැස්සෙන් සමුගන්නට සිදු විය. තම දෙමාපියන්ගේ දාරක ස්නේහයෙන් තාවකාලිකව හෝ වෙන්වීම ඕනෑම දරුවකුට සොව ගෙන දෙයි. කුඩා වියේදීම මහනුවර නේවාසිකාගාරගත වී කාලසටහනකට අනුව වැඩ කිරීමට සිදුවීම ක්‍රියාශීලී ගාමිණීට නොරිස්සුවේය. ගාමිණී පාසල් සමයේ පටන් පොතපත පරිශීලනයෙහිලා විශේෂ උනන්දුවක් දැක්වීය චරිතාපදාන, ඉතිහාසය යනාදී විෂයන් ඇසුරේ පන්නරය ලද හෙතෙම ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවන්ටද වෙසෙස් උනන්දුවක්, ආදරයක් පෙන්වීය. පාපැදි පැදීමටත් සුවිශේෂී ඇල්මක් පෙන්වූ ගාමිණී තම හිතාදර මිත්‍රයන් සමඟ පාසල් සමය කෙළිදෙළින් ගත කළ බව රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් රචිත ගාමිණී දිසානායක – යුග මෙහෙවරක කතාව කෘතියේ වැඩිදුරටත් සඳහන් වෙයි. ශිෂ්‍යයකු ලෙස සිය පෞර්ෂය හා නායකත්වය වැඩි වර්ධනය කරගනිමින් ඉදිරියටම පා නැගුවද ගාමිණී එස්.එස්.සී. විභාගයෙන් ප්‍රමාණවත් සම්මාන සමාර්ථ ප්‍රමාණයක් නොලද්දේය. කෙතරම් පොත්පත පරිශීලනය කළද විෂය භාහිර ක්‍රියා කෙරේ සිය අවධානය යොමු වූ ගාමිණීගේ අනාගත සාර්ථකත්වය උදෙසා සිය දෙමව්පියන් වටද්දර තිස්පනේ රජයේ විද්‍යාලයට ඇතුලත් කරනු ලැබීය. නැවතත් හුරුපුරුදු මාස්වෙල ගැමි පරිසරයට අනුගත වූ ගාමිණී විශිෂ්ට සාමාර්ථද සහිතව සම්මාන සාමාර්ථ අටක් ලබමින් එස්.එස්.සී. කඩඉම ජයගත්තේ කාගේත් සතුටට හේතුවක් වෙමිනි.

අධිනීතිඥ ගාමිණී දිසානායක

පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසුව ගාමිණී සිය තෘතියික අධ්‍යාපනය ගැන සිත යොමන්නට විය. ගාමිණී පළමුව වරලත් ගණකාධිකාරවරයකු වීම සඳහා එංගලන්තය බලා පිටත් වීමට අදිටන් කර ගත්තද ඔහුගේ අප්පච්චිට හදිසියේ වැළඳුණු හෘදයාබාධය නිසා පවුලේ වගකීම්වලින් කිසියම් ප්‍රමාණයක් දහහත් හැවිරිදී ගාමිණීගේ දෙවුර මත පැටවිණි. එංගලන්තයේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවද ගාමිණී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා ලියාපදිංචී වූයේ තම දෙමාපියන් සහ සොහොයුරු සොහොයුරියන් අතරේ ගැවසෙමින් සිය අධ්‍යයන කටයුතු පවත්වා ගෙන යන්නටය. පේරාදෙණියේ සිප් සතර හදාරණ අතරතුරදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතීඥයකු ලෙස සුදුසුකම් ලබනු වස් නීති විද්‍යාලයටද හේ ඇතුලත් වන්නට වග බලා ගත්තේය. කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ඇසුරේ නීතිය හදාරා 1966දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු ලෙස දිවුරුම් දුන් ගාමිණීට උවමනා වූයේ අපරාධ නඩු පිළිබඳ නීතීඥයකු වීමටය, නමුත් එවක සුප්‍රකට නීතීඥයකු වූ නෙවිල් සමරකෝන් මහතාගේ නීතීඥ සමාගමට බැඳුනු ගාමිණීට නිරායාසයෙන්ම සිවිල් නඩු ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරන්නට සිදු විය. ජ්‍යේෂ්ඨ නීතීවේදීන් ඇසුරේ පන්නරය ලබමින් කෙටි කලෙකින් සිය දැඩි කැපවීමට නමක් දිනාගත් ගාමිණී තම වෘත්තීය බොහෝ උතුම් කොට සැලකුවේ නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අනිවාර්යය අංගයකැයි ඔහු තුල තුබූ ප්‍රබල විශ්වාසය හේතුවෙන් විය යුතුය.

නුවරඑළියෙන් මැති සභයට

1965-1970 කාල පරාසය තුල රටේ ආණ්ඩු කළේ ඩඩ්ලි සේනානායක මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජයයි, රජය විසුරුවා හැරීමට දින කිහිපයකට මත්තෙන් හදීසියේම ඩඩ්ලි සේනානායක අගමැතිඳුන් මුණ ගැසීමට වුඩ්ලන්ඩ්ස් මන්දිරයට ගොඩ වූයේ නුවරඑළියේ එජාප ක්‍රියාකාරීන් පිරිසකි. එවක නුවරඑළිය මන්ත්‍රීවරයා වූ ඩොනල්ඩ් ජේ. රණවීර මහතාට දොස් කී නුවරඑළියේ නියෝජිතයන් අගමැතිතුමාගෙන් වෙනත් සුදුස්සකු එජාපයෙන් නුවරඑළියට ඉදිරිපත් කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියහ. සාවදානව පාක්ෂිකයන්ගේ අදහස් උදහස් වලට කන්දුන් අගමැතිතුමා නුවරඑළිය ආලෝකමත් කරන පහනක් එවන බවට පාක්ෂිකයන්ට ප්‍රතිඥා ලබාදී ඔවුනගේ සිත් සනසා පිටත් කර හැරියහ.

ඩඩ්ලි සමඟ

ඩඩ්ලිගේ සුමිතුරෙකු වූ හිටපු නුවරඑළිය මන්ත්‍රී ඇන්ඩෲ දිසානායක මැතිතුමා ඇමැතූ ඩඩ්ලි තමාට ගාමිණී හමුවන්නට උවමනා යැයි පැවසීය. ගාමිණී තුරුණු වියේ සිටම දේශපාලනයට පිවිසීමේ පිරිසිදු චේතනාවෙන් ඔදවත්ව තිබුණි. වරෙක ඇමෙරිකානු සෙනට් සභික රොබට් එෆ්. කෙනඩි මහතාට සිය සොහොයුරා වූ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මහතාගේ වියෝවට සොව පළ කර යැවූ ලිපියේදී මේ බව ගාමිණී සටහන් තැබූ අතර සෙනෙට් සභික රොබට් එෆ්. කෙනඩි ඔහුට සාර්ථක දේශපාලන ගමනකට ශුභාශීංෂණ එකතු කළේය. ඩඩ්ලි හා කතාබහින් පසුව ගාමිණී ඩඩිලිගේ යෝජනාවට එකඟ වෙමින් නුවර-එළිය අසුනේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩ භාර ගත්තේය. ගාමිණීගේ පියා නුවරඑළිය අසුනේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වුවද ගාමිණී ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට වඩා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති කෙරේ දැඩි විශ්වාසයක් පැවැතුණි. එවක එජාප නියෝජ්‍ය නායකයාව සිටි ජේ.ආර්. ජයවර්ධනයන්ගේ දැඩි විරෝධාවය මත නුවරඑළියෙන් මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ ගාමිණි නුවරඑළියේ ජාති, ආගම්, කුල භේද පසෙකලා සැබෑ ජනතා සේවකයකු ලෙස ජනතාව අතරට ගියේය. ගම්දනව් සිසාර ඇවිද මිනිසුන් හා කතා බහ කළ ගාමිණී කාගේත් ආදර ගෞරවයට පාත්‍ර විය. එවක එතරම්ම දක්ෂ කතිකයකු නොවුණද ගාමිණීගේ තේජවන්ත පෞර්ෂය සහ සුහදශීලීත්වය කාගේත් ආකර්ෂණයටම හේතුපාදක විය. වෙහෙසකර මැතිවරණ සටනකින් පසුව ගාමිණී දිසානයක නුවරඑළිය අසුන ජයගත්තේය. නමුත් එක්සත් ජාතික පක්ෂය ෂ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා දිවයින පුරා ඡන්ද ලබාගත්තද කේවල ඡන්ද ක්‍රමය නිසා සමස්ථ මැතිවරණය එජාපය පරාජය විය. එක්සත් ජාතික පක්ෂයෙන් 1970දී පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ මන්ත්‍රීවරුන් 17ක් පමණි. ඉන් එකම අභිනව මන්ත්‍රීවරයා වූයේ 28 හැවිරිදී ගාමිණී දිසානායකයන්ය. එක්සත් ජාතික පක්ෂයටත් එහි සාමාජිකයන්ටත් චෝදනා නොකර රට හදන්නටැයි යන මූලික පණිවුඩය අන්තර්ගතවූ සිය පළමු පාර්ලිමේන්තු කතාව හරහා ගාමිණී සිය දේශපාලන බුද්ධි මහිමය ප්‍රකට කළේය. එදා ඔහු කළ ප්‍රකාශය අදටත් වලංගුය. මේ වන විටත් ගාමිණී දිසානායක නුවරඑළිය අසුන ජයගැනීම අභියෝගයට ලක් කරමින් ඡන්ද පෙත්සමක් ගොනු වී තුබුණි. මැතිවරණ පෙත්සමට නිමිත්ත වූයේ ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ වේදිකාවේදී හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි හිමියන් විසින් ශ්‍රීලනිප අපේක්ෂක විලියම් ප්‍රනාන්දුට එරෙහිව කරන ලදැයි කියූ අපහාසාත්මක ප්‍රකාශයකි. පෙත්සම විභාගයට ගත් අධිකරණය 1971 දෙසැම්බරයේදී පෙත්සම්කරුගේ පාර්ශවයට සහනයක් ලබාදෙමින් ගාමිණීගේ මන්ත්‍රීධුරය අත්හිටුවීය, එම පුරප්පාඩුව පිරවීමට අතුරු මැතිවරණයක් 1972දී පවත්වන්නට නියමිත විණි. සමගි පෙරමුණු ආණ්ඩුවේ දෙවන්නා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නුවරඑළියේ පදිංචි වී ශ්‍රීලනිප මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙය වන්නට වූයේ තරුණ ගාමිණී ජාතික තලයේ දේශපාලනයට එන්නටත් පෙරම පරාජය කිරීමේ අදිටනිනි. එජාපයද තම සියළු වෙර වීර්යය ගාමිණී දිනවන්නට කැප කළේය. ඩඩ්ලි සේනානායකයන් රුපියල් ලක්ෂ 3ක් ගාමිණීගේ මැතිවරණ සටන සඳහා ලබා දුන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ නොසැලී මැතිවරණ ජය කරා නුවරඑළියේ සංවිධායක කටයුතු කරන්නටය.

අතුරු මැතිවරණ ජයෙන් පසු... ගාමිණී සමඟ මෙහි ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රත්, කරුණාසේන කොඩිතුවක්කුත් පෙනී සිටී

මේ වකවානුවේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෙරේ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන දෙපළ අතර පැවැති සීතල යුද්ධය හමුවේ දෙපළ සමඟම සුහදතාව වර්ධනය කරගන්නට ගාමිණී සමත්කම් පෑහ. කෙසේ වෙතත් 1973 සිංහල අවුරුදු දා බත් දුන් පියා යැයි විරුදාවලී ලද ඩඩ්ලි සේනානායක සදහටම ජනතාවගෙන් සමුගත්තේ ගාමිණී ඇතුළු සියළු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නෙතඟට කඳුලක් ජනිත කරවමිනි. ඩඩ්ලිගෙන් පසු එජාප නායකයා වූ ජේ.ආර්.ය. විපක්ෂය එවක දැඩි ලෙස මර්දනයට ලක්වෙමින් තුබූ අතර ගාමිණී එජාපය සමඟ ජනතාව වෙනුවෙන් සටන් වැදුණේය. 1973 සුප්‍රකට දැදිගම අතුරු මැතිවරණය ජයගැනීම එජාපයේ ප්‍රධාන උවමනාවක් විය. සමගි පෙරමුණු ආණ්ඩුව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් සිය අපේක්ෂකයා වූ ධර්මසිරි සේනානායක දිනවන්නට වෙර දරද්දී එජාපයේ අපේක්ෂක රුක්මන් සේනානායක දිනවන්නට ගාමිණී ඇතුළු එජාපය පියවර ගත්තේ ආණ්ඩුව අවුලෙන් අවුලට පත් කරමිනි. 1975දී කාලය නිමාවූ සමගි පෙරමුණු ආණ්ඩුව අත්තනෝමතික ලෙස ආණ්ඩු බලය 1977 දක්වා දීර්ඝ කරගත්තේ කිසිඳු හිරිකිතයකින් තොරවය. හාල් පොලු, මිරිස් පොලුවලින් පීඩාවට පත්ව සිටි රටේ අහිංසක ජනතාවට වෙනසක් ළඟා කරදීමේ උතුම් චේතනාව පෙරදැරිව ජේ.ආර්. විරෝධතා රැසක්ම දියත් කළ අතර පක්ෂයේ කෙමෙන් කෙමෙන් දිදුලන නායකයකු ලෙස නමක් දිනා ගනිමින් තිබූ ගාමිණීද එහි ප්‍රමුඛයකු විය. අවසානයේදී සමගි පෙරමුණ 1977 ජුලි 21දාට මහ මැතිවරණය නියම කරගත්තේය. මේ වනවිට සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂද ආණ්ඩුව හැර දමා ගොස් තිබුණි. 1977 මහ මැතිවරණයේ කටයුතු කිරීම සඳහා ආර්.ප්‍රේමදාසගේ නායකත්වයෙන් කමිටුවක් පත් කරන්නට ජේ.ආර්. තීන්දු කළේය. ඊට සාමාජිකයන් 10ක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන් පත් කරගත් අතර එහිදී වැඩිම ඡන්ද ලබාගත්තේ ගාමිණීය. ගාමිණීට අමතරව ඒ.සී.එස්.හමීඩ්, කේ. දේවනායගම්, රොනී ද මැල්, ලලිත් ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය, ඊ.එල්. සේනානායක, සිරිල් මැතිව් සහ ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන් එම කමිටුවට තේරී පත්විය. 1977 මහ මැතිවරණය ගාමිණී දිසානායකට කිසිඳු අභියෝගයක් නොවිණි. ඒ වන විට බහු ආසනයක් ලෙස නම් කොට තිබූ නුවරඑළිය-මස්කෙළිය අසුනින් පහසුවෙන්ම ජයගනිමින් ගාමිණී පාර්ලිමේන්තු ආයේ පක්ෂයේ ජාතික මැතිවරණ සංවිධාන වැඩටද විශාල සවියක් වෙමිනි.මේ අතර 1977 එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ “නිවහල් ධාර්මිෂ්ඨ සමාජයක්” යන්නේ ප්‍රධාන සම්පාදකයකු ලෙස ගාමිණී කැපී පෙනුණි. එක්සත් ජාතික පක්ෂය 50.9%ක ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියමින් පාර්ලිමේන්තුවේ ආසන 168න් 140ක් දිනා ගත්තේ ශ්‍රීලනිපය ආසන 8ට පල්ලම් බහිද්දීය. 1977 මහ ඡන්දයේ එජාප ජයට ගාමිණී දිසානායකයන්ගේ දායකත්වය ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

“මේ ඡන්ද ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන කථිකයින් තිදෙනෙක් සිටියහ. ජේ.ආර්. පළමුවැන්නාය. ඡන්ද ව්‍යාපාරයේ වඩාත්ම චතුර කථිකයා වූ ආර්. ප්‍රේමදාස දෙවැන්නාය. ප්‍රසන්න පෙනුමෙන් යුත් වූ බිණීමෙහි දක්ෂ, තරුණ ගාමිණී දිසානායක තුන්වැන්නාය. උඩරැටියෙකු වීම නිසා ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ සිත් ඇදගත හැකි වීම ඔහුට තිබූ අතිරේක වාසියකි. බණ්ඩාරනායක මහත්මිය සිය පක්ෂය තුල උඩරට කොටස් නියෝජනය කළ අයුරෙන්ම ගාමිණී දිසානායකගේ “උඩරට” උණුසුමෙන්ද නිසි ප්‍රයෝජන ගනු ලැබීය. මේ තිදෙන වඩාත් විශාල රැස්වීම් අමතමින් රට වටා ගියහ. සාමාන්‍යයෙන් ජේ.ආර්. ප්‍රදාන කථිකයා විය. ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී යත්ම ගාමිණී දිසානායකද ඔහුට එක් විය. සතියකට දෙකකට පසු ආර්. ප්‍රේමදාස ඔහුටම ආවේණික උද්‍යෝගයෙන් ඇතැම් ඡන්ද කොට්ඨාශවල රැස්වීම් අමතමින් ගිය අතර, ඉන් සතියකට දෙකකට පසු ජේ.ආර්. තනිව හෝ ගාමිණී දිසානායක කැටුව හෝ එම ස්ථානවලම රැස්වීම් අමතන්නට ගියේය කෙසේ වුවද ප්‍රධාන කථිකයා වූයේ ජේ.ආර්.ය. ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රථමවරට විශාලතම මෙන්ම, වඩාත්ම උද්‍යෝගීමත් ජනකායක් ඇද ගැනීමට ඔහු සමත් වූයේය”.

පෙර වැව් බැඳි රජ දරුවෝ ඔබගෙන් යළි පණ ලැබුවෝ

77 එක්සත් ජාතික පක්ෂ ජයත් සමඟ ගාමිණී කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තේරී පත්වීම නිරායාසයෙන්ම සිදු විණි. කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන්නට පෙර නුවරඑළියට හෙලිකොප්ටරයක් යවා ගාමිණී සහ ශ්‍රීමාව ජේ.ආර්. කොළඹට කැඳවීය. වැවිලිකරයේ දේශපාලනඥයකු වූ ගාමිණී අපේක්ෂා කළේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වන්නටය. නමුත් ජේ.ආර්.ගේ නිවහන වූ බ්‍රේමාර් මන්දිරයට ගිය විට ගාමිණීට දැන ගන්නට ලැබුණේ තමන් නව රජයේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස පත් කෙරෙන බවයි. ගාමිණී මේ අනපේක්ෂිත පුවතින් කණස්සල්ලට පත් වුවද පසුව ජේ.ආර්. රජයේ වැදගත්ම වගකීම වන කඩිනම් මහවැලිය තම දෙඋර මත වැටෙන බව පසක් වීමෙන් පසු සතුටට පත්විය. ජේ.ආර්. ඇතුළු 24 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ තුරුණුතම ඇමැතිවරයා ලෙස එදින සවස සුභ මොහොතින් ගාමිණී දිසානායකයන් දිවුරුම් දුන්නේය. එවිට ඔහුගේ වයස අවුරුදු 35ක් පමණි.

වික්ටෝරියා වේල්ල

ගාමිණී සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ සුවිශේෂී අන්දමිනි. අමාත්‍යාංශය මගින් එවූ සුවිසාල නිල රථය ප්‍රතික්ෂේප කළ හෙතෙම මුලින්ම ගියේ සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සේනානායක හමුවන්නටය. එහිදී තමා වැඩ භාරගන්න උත්සවයට දේශපාලනයේ ජ්‍යේෂ්ඨයකු මෙන්ම ප්‍රබල ප්‍රතිවාදියකු වූ මෛත්‍රීපාල සේනානායකට සහභාගී වන ලෙස ආරාධනා කරනුයේ ගාමිණීගේ සැබෑ මහත්මාභාවය පිළිබිඹු කරමිනි.

ජේ.ආර්. රජයේ භාරධූරතම වගකීමක් ගාමිණීගේ දෙඋර මත වැටී තිබුණි. වසර ගණනාවක පටන් ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනයක්ව පැවැති මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම  ගාමිණීගේ වගකීම විය. 1970දී ඩඩ්ලි රජය වසර 30ක ව්‍යාපෘතියක් ලෙස දියත් කළ මහවැලිය සමගි පෙරමුණු පාලන කාලයේදී එකතැන පල් විණි. අවුරුදු 30කට නියම වූ මහවැලිය, කඩිනම් මහවැලිය ලෙස අවුරුදු 6කින් නිම කිරීමේ අභියෝගය තුරුණු කැබිනට් ඇමැතිතුමා සතුටින් භාරගත්තේය. කෘෂිකර්මය, මහාමාර්ග, වාරිමාර්ග, විදුලිබලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ඉඩම් යනාදී සකලවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් මහවැලි මිටියාවත කේන්ද්‍රකොටගත් සශ්‍රීක එහෙත් ජනශූන්‍ය ප්‍රදේශ අස්වද්දා සරුසාර කෙත් බිම් නිර්මාණය කරමින් රටත් ජනතාවත් සුඛිත මුදිත කිරීම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ප්‍රධාන අභිප්‍රාය විය.

70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාකයකුද වූ මෛත්‍රීපාල සේනානායක මහතා පාර්ලිමේන්තුවේදී කීවේ ජේ.ආර්. ගාමිණීගේ ලණුවක් ගිල ඇති බවයි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කිසිලෙසකින්වත් වසර 6ක් 7ක් වැනි කෙටි කාලයක් ඇතුලත සමාප්ත කළ නොහැකි යැයි ඔහු දැඩි ලෙස ප්‍රකාශ කළේය. මෙයින් නොසැලුණු ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රාග්ධනය සොයන්නට උත්සුක වූහ. ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වූයේ ලෝක බැංකුවෙන් මේ සඳහා කිසියම් සහයෝගයක් ලබාගැනීමය. ලෝක බැංකුව විශාල ජනකායකට සෙත සැලසෙන රටේ විශාල භූමි ප්‍රදේශයක් අස්වැද්දෙන මෙම ව්‍යාපෘතියට කැමැති වුවත් තුන්වැනි ලෝකයේ රටක කිසි ලෙසකින්වත් මෙවන් ව්‍යාපෘතියක් වසර 6ක්, 7ක් ඇතුලත හමාර කළ නොහැකි යැයි තරයේ විශ්වාස කළෝය. මෙය කළ නොහැක්කකැයි දැඩි ලෙස විශ්වාස කළ ඔවුහූ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට ආධාර ලබා නොදීමට තීරණය කළෝය. වෙනත් ඇමැති කෙනෙකු නම් “ප්‍රතිපාදන නෑ”, “සල්ලි පාස් වුණේ නැහැ”, “මේක කරන්න බැහැ” කියා තම දෑත සෝදා ගෙන පැත්තකට වනු ඇත. එහෙත් ගාමිණී තවත් එක් ඇමැතිවරයකු නොවීය, ඔහු ලෝක බැංකු තීරණයෙන් නොසැලුණේය.

සාමාන්‍යයෙන් අමාත්‍යංශ ව්‍යාපෘතියක් සඳහා මුදල් සෙවීම අමාත්‍යාංශයේවත් ඇමැතිතුමාගේවත් වගකීම නොවන්නේය, සාමාන්‍යයෙන් එවන් ව්‍යාපෘති සඳහා මුදල් සැපැයීම භාණ්ඩාගාරයේ වගකීමයි. එම මුදල් කාර්යක්ෂමව විය පැහැදම් කර ව්‍යාපෘතිය සාර්ථකත්වයෙන් හමාර කිරීම ඇමැතිවරයා ඇතුළු අමාත්‍යාශයේ වගකීමයි. එහෙත් අද බොහෝ ඇමැතිවරුන් ව්‍යාපෘති සඳහා සල්ලි හොයන්නේ නැතුවා මෙන්ම භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදනද නැති නාස්ති කරයි. ගාමිණී දිසානායකයන් රටටම පූර්වාදර්ශයක් විය. ඔහුට භාණ්ඩාගාරයෙන් මහවැලිය සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස නොලැබෙන බව දැන ගත්විට ජේ.ආර්.ගේ අනුමැතිය සමඟ ලෝක ආර්ථික බලවතුන් හමුවට ගියෝය. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය ඈ රටවලට ගොස් මහවැලි ව්‍යාපෘතිය ගැන ද්වීපාක්ෂික සාකච්ඡා පැවැත්වූයේය. රට වෙනුවෙන් ලොවම දිනූ බවට පුරාජේරු නොගැසුවත් ඔහු ක්‍රියාවෙන් එය කළේය. ත්‍රිත්ව විද්‍යාලයෙන් ලත් පන්නරය සහ ඉංග්‍රීසී භාෂාවේ ව්‍යක්ථභාවය ඔහුට ද්වීපාර්ක්ශික සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා විශාල අස්වැසිල්ලක් වන්නට ඇත. (වරෙක බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණ මෙරට සංචාරය කළ විට ඇයගේ පරිවාරක ඇමැතිවරයා ලෙස ගාමිණී දිසානායකයන් පත් කරන්නේ මේ නිසාමය). ආධාර දෙන රටවල් මහවැලියට ආධාර දෙන්නට නිර්ලෝභීව නොපැකිල ඉදිරිපත් වන්නට විය. වරෙක වික්ටෝරියා ජලාශයට ආධාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතර ශීත  යුද්ධයක්ද හටගත්තේය. මේ සෑම සියළු සාකච්ඡාවන්ම සාර්ථකත්වයෙන් නිමා කරමින් ඒ ඒ රටවල හොඳහිත වර්ධනය කර ගනිමින් මහවැලියට අවශ්‍ය සහය ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමේ සුවිශේෂී රාජතාන්ත්‍රික භාවය ගාමිණී ඇතුළු ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම මැනැවින් පසක් කර සිටියේ ලොවටම ආදර්ශයක් සපයමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කොත්මලේ ජලාශයට සහ විදුලි බලාගාරයට ස්වීඩන් රජයත්, වික්ටෝරියා වේල්ල සහ විදුලි බලාගාරයට මහා බ්‍රිතාන්‍යයත්, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශ දෙකටත් විදුලිබලාගාර වලටත් ජර්මානු රජයත් ආධාර ලබාදුන්හ. මාදුරු ඔය ජලාශයට කැනඩාව ආධාර සැපයූවේය. අද ඇමැතිවරුන් මෙන් බැරිබැරියාවෙන් ඇඹරෙමින් දෝලාවෙන් කතා කියා ගමන පයින් නොගිය ගාමිණී දිසානායකයන් සිය කාර්යය ඉලක්කයන් නිරායාසයෙන්ම සපථ කරනු ලැබුවේ රට පමණක් නොව ලොවම විස්මයට පත් කරවමිනි. දේශදේශාන්තරවල ජනීජනයා ගාමිණීගේ හපන්කම් වල පවත අසා අපේ රටට ඊර්ෂ්‍යයා කරන්නට වූයේ “අනේ අපටත් මෙවැනි ඇමැති කෙනෙකු වීනම්” කියා සුසුම හළමිනි. වික්ටෝරියා වේල්ල නිම කිරීමේ උළෙලේදී ගාමිණී තෙපලූ වදන් මේ දස්කම විදහා පෑමට හොඳම ප්‍රකාශයයි.

“අපහසු යැයි කියූ දේ අප පහසුවෙන්ම නිම කළා. නොහැකි යැයි කියූ දේ ඉටු කරන්නයි අපේ වෑයම.”

ලංකාවේ මෑතකාලීන ඉතිහාසයේදී දියත් කෙරුණු සුවිශාලතම බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා මහවැලි නදිය ආශ්‍රය කරගත් ප්‍රදේශ පමණක් නොව දිවයිනේ බොහෝ ග්‍රාමීය, දුෂ්කර ප්‍රදේශ සංවර්දනය කෙරිණි. දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල වැනි ප්‍රදේශ බිංදුවෙන්ම පටන්ගෙන නිමකරමින් මහවැලියෙන් නැගෙනහිර ජනාවාසකරණය සිදු කරන ලදි. අම්පාර, දිඹුලාගල, ගිරාඳුරුකෝට්ටේ, මනම්පිටිය වැනි ප්‍රදේශද මහවැලිය නිසා සුවිශාල පණක් ලැබීය. දිවයින පුරා දුප්පත් ගොවීන් තෝරා ගෙන ඔවුන්ට ස්වර්ණභූමි ඔප්පු හරහා මහවැලි ඉඩම් ප්‍රදානය කරමින් මහවැලි භූමීන් ජනපදකරණයට ලක් කළ ගාමිණී දිසානායකයන් ඒ ප්‍රදේශවල වාරි තක්ෂණයෙන් නතර නොවී මංමාවත්, පාසල්, රෝහල් යනාදියද තනා දුන්නේය. මහවැලි ජනපදිකයින්ගේ දියුණුව උදෙසා ඇති කෙරුණු මහවැලි කේන්ද්‍රය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොනිල ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍යය සංදර්ශන වේදිකාව බවට පත්ව තිබීම අතිශයින්ම සෝචණීයය. අද එසේ වුවත් එදා මහවැලි සංවර්ධන අධිකාරිය සහ මහවැලි කේන්ද්‍රය කේන්ද්‍ර කොටගෙන මහවැලි ජානපදිකයින්ගේ ජීවන තත්ත්වය නංවා ලනු වස් සුවිශේෂී ව්‍යාපෘති දියත් කෙරිණ. මහවැලි ක්‍රීඩ උළෙල, මහවැලි මහ ගොවියා තේරීම යනාදී උත්සව හරහා මහවැලි ජානපදිකයින් තුල තරඟකාරීත්වය සහ අධ්‍යාත්මය හදන්නට ගාමිණී වග බලා ගත්තේය. ගාමිණී මහවැලි ජානපදිකයින්ගේ දුක සැප කවදත් සොයා බැලීය, මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්නවලට කන් දුන්නේය, ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්නයක් කර ගත්තේය. අමාත්‍යාංශයේ සුළු සේවකයාගේ සිට සියල්ලන් හා ගාමිණී කුළුපඟ විය, මිනිසුන්ට ආදරය කළ ගාමිණී නිරායාසයෙන්ම මිනිසුන්ගේ ආදරයටද පාත්‍ර විණි. අදටත් මහවැලි ජානපදිකයින් රැසකගේ නිවෙසේ බුදු කුටියට පසෙකින් ගාමිණී දිසානයාකයන්ගේ ඡායාරූපයක් එල්ලා ජනතාව ඔහුට මල් පහන් දල්වන්නේ එබැවිනි. මින්නේරි ජලාශය ඉදිකරවා පෙර රජ දවස හෙළ වාරි කලාවට ආඩම්බරයක් ගෙන දෙමින් රජරට කෙත්වතු අස්වැද්දූ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් ලෙස පුද පූජාවට ලක්වූයේ යම්සේද 20වන සියවසේදී රජරට අස්වද්දා රට බත බුලතින් සරු කළ ගාමිණී දිසානායකයන්ද මහවැලි දෙවියන් ලෙස පුද පූජාවට ලක්වීම පුදුමයක් නොවනු ඇත.

දේශීය ආයෝජන රුපියල් මිලියන 2500කුත් විදේශ ආයෝජන රුපියල් මිලියන 2260කුත් යොදා ඉදිකෙරුණු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයෙන් අස්වැද්දූ අම්පාර සහ පොලොන්නරුව දෙදිස්ත්‍රික්කයන් අද වන විටත් ලංකාවේ වැඩිම වී ප්‍රමාණයක් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන් දෙකය. මහවැලි ජලවිදුලි බලාගාර රටේ විදුලි ඉල්ලුමෙන් සුවිශාල පංගුවකට දායක වන අතර සෘජු සහ වක්‍ර රැකියා මිලියන ගණනක් ඇති කරන ලද මහවැලිය අදටත් රටේ අභිමානයක් ලෙස දිදුලන්නේ එදා මෙදා තුර රටේ දියත් කෙරුණු කිසිඳු සංවර්ධන යෝජනා ක්‍රමයකින් මහවැලියෙන් වූ සෙත ජනතාවට අත් නොවූ නිසාය. වගා නොකළ ඉඩම් අක්කර 650,000ක් සහ වගා කළ ඉඩම් අක්කර 250,000ක් සශ්‍රීක කළ මහවැලි ව්‍යාපාරයෙන් ආගරපතනින් ඇරඹ කි.මි.335ක් ගලා බැස ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනා මහවැලි ගං කොමළිය හෙළ ආර්ථිකයේත් කෘෂිකර්මයේත් කශේරුකාවක් බවට පත්කර ගත්තා යැයි කිවහොත් එය නිවැරදිය. 1990 දශකය වන විට මහවැලිය සඳහා වැය වූ සියළු මුදල් ව්‍යාපෘතියේ ප්‍රතිලාභයන්ගෙන් හිලව් කර තිබූ අතර ණය ගෙවීම්ද සම්පූර්ණ කර තිබුණේ රටට බරක් නොවූ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය විද්‍යාමාන කරමිනි.

අයුක්තියට විරුද්ධව

ගාමිණී කවදත් තම හෘදසාක්ෂියට අවනතව දේශපාලනය කළේය. 1970 පටන් තම්න්වා තෝරා පත් කරගත් නුවර-එළියේ ජනතාවට අධික වගකීම් හමුවේ වුවත්  කැපවීමෙන් සේවය කළ ගාමිණී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අසාධාරණකම්වලට විරුද්ධ වූයේ අද ඇමැති පදවි හොබවන එහෙයියන්ට කදිම ආදර්ශයක් වෙමිනි. උදාහරණයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 1982 ජනමතවිචාරණය වැනි තීරණාත්මක මංසන්ධි වලදී කැබිනට් අමාත්‍යවරයකු සහ ආණ්ඩුවේ පතාකයකු ලෙස සිය අවංක අදහස් උදහස් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපැවැත්ම සහ සංවර්ධනය වෙනුවෙන් ප්‍රකාශ කළ බව ප්‍රකට කරුණකි. දේශපාලනික හේතූන් මත විපක්ෂය මෙල්ල කරන විපක්ෂ දේශපාලනඥයන් හිරේ යවන වත්මන් ආණ්ඩුවේ එම ක්‍රියා වීරත්වයෙන් මාධ්‍යය හමුවේ තබන ඒවාට සුදු හුණු ගාණ වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ට ගාමිණී කදිම පූර්වාදර්ශයකි.

මතවාදීව මුළු හදවතින්ම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ගාමිණී දිසානායක කිසි විටෙකත් ප්‍රතිපාක්ෂිකයන්ට හිරිහැර කරන්නට උත්සුක වූයේ නැත. වෙනත් මතවාදීන්ට ඔවුන්ගේ දේශපාලනය රිසි සේ කරන්නට ඉඩ දිය යුතුය යන්න ඔහුගේ දෘඪ විශ්වාසය විය. එලෙසින්ම ගාමිණී තුල කිසි විටෙකත් පක්ෂ භේදයක් තිබුණේද නැත. මෙයා යූඇන්පී, මෙයා ශ්‍රී ලංකා කියා වර්ණ කණ්ණාඩියෙන් මිනිසුන් දෙස බලනවා වෙනුවට මිනිසත්කමින් මිනිසුන් දෙස බැලීමටත් සේවය කිරීමටත් ගාමිණී කැප වූයේ අදටත් ප්‍රබල ලෙස ශේෂව පවතින ද්වේශ සහගත පක්ෂ දේශපාලනයට අභියෝග කරමිනි.

දිසානායක කැදැල්ල

දිසානායක කැදැල්ල - වරුණි, ගාමිණී, ශ්‍රීමා, නවීන් සහ මයන්ත

ඕනෑම සාර්ථක මිනිසකු පිටුපස ශ්‍රේෂ්ඨ කාන්තාවක් සිටින බව ප්‍රකට කියමනකි. ගාමිණීට සෙවණැල්ලක් වූ, මහත් ආශිර්වාදයක් වූ ඇය ශ්‍රීමා දිසානායකයි. ගාමිණීට ශ්‍රීමා මුණ ගැසෙන්නේ දෙදෙනාම නීතිය හදාරන යුගයේදීය. 1968 මාර්තුවේදී ගාමිණී සහ ශ්‍රීමා දෙපල අතිනත ගන්නා අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා නවීන් දිසානායකයි, ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතර සිය පියා තම දේශපාලන මහගෙදර ලෙස සැලකූ පක්ෂයත් පාක්ෂිකයාත් මහජන නියෝජිතයකු ලෙස හැර දමා ශ්‍රීලනිපයට එකතු වී ඇත, දෙවැන්නිය දියණියකි ඇය නමින් වරුණි දිසානායක වන්නීය, තුන්වැන්නා, එනම් කනිටු පුතු මයන්ත මේ ලිපිය ලියන විට තම පියා අවසන් වරට නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකි. ගාමිණීගේ දේශපාලන ගමන්මග පුරාවට සෙවණැල්ල මෙන් දුකේදීත් සැපේදීත් ලඟ සිටිමින් දිරිය දුන් ශ්‍රීම දිසානායක මැතිණියට මෙහිලා සුවිශේෂී උපහාරයක් කලගුණ දන්නා අප විසින් පිරිනැමිය යුතුය යන්න මගේ අවංක හැඟීමයි.

ගාමිණී සහ ශ්‍රීමා අතිනත ගත්දා

හොරකම, මැරකම දේශපාලනයේ රජයන යුගයක ඉන් නිමග්නව දේශපාලනය කළ සහ කරන දිසානායක පවුල රටටම ආදර්ශයකි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉටු දෙවියා

ලංකාව ලෝ සුපතලව ඇති එක් ක්ෂේත්‍රයක් ලෙස අපේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දිය හැකිය. ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන සියළු ක්‍රිකට් ශෛලියන්ගෙන් විස්මිත දස්කම් පානා ශ්‍රී ලංකාවට එම තත්ත්වය ළඟා කර දීමට සුවිශාලම සේවාවක් කළ තැනැත්තා ගාමිණී දිසානායකයන් යැයි කීම නිවැරදිය. ත්‍රිත්ව විද්‍යාල සමයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සුරුවිරුකම් පෑ ගාමිණී තුල මහත්වරුන්ගේ ක්‍රීඩාව කෙරේ තුබූ නොතිත් ආශාව ඔහුගේ වියෝව වන තුරුම අචලව තිබුණි. හෙළ ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂීම ජයග්‍රහණය වූ 1996 ලෝක කුසලාන ජය සියැසින් දැක බලා ගැනීමට පෙර හෙතෙම අප අතරින් සමුගැනීම සැබැවින්ම මහත් වූ ඛේදයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධුරයට තේරී පත්වූ ගාමිණීගේ ඒකායන අරමුණ වූයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිනාදී අපේ මව්බිම ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ පතාකයකු බවට පත් කිරීමය. 1981 ඕස්ට්‍රේලියාවට ගිය මොහොතක ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාව පෞද්ගලිකව මුණ ගැසුණු ගාමිණී ලංකාවේ ක්‍රිකට් හදන්නට ඔහුගේ සහය දිනාගත්තේ තීරණාත්මක ලෙසය. විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කඳවුරු පැවැත්වූ මෙම අත්දැකීම් බහුල හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවේ ජාතික ක්‍රිකට් පිලේ සංවර්ධනයට මහත් ආශිර්වාදයක් විය.

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා විසින් රචිත “ගාමිණී දිසානායක ක්‍රිකට් වංශ කතාව” නම් වූ නිබන්ධනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල්යේ සභාපති ලෙස 1981-1989 දක්වා එතුමා ගත කළ කාලය ලක් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස ඔහු හඳුන්වා දෙයි. වැඩිශුරටත් අදහස් දක්වන ඈපාසිංහ මහතා තම ලිපියේ මෙසේද සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා දීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට එතුමාගෙන් සිදු වුණු උපරිම සේවාවයි. ඔහුගේ විචක්ෂණ බුද්ධි මහිමය, පෞරුෂය, ව්‍යක්තභාවය, ක්‍රියාශූරත්වය හා දූරදර්ශී ප්‍රඥාව නිසා ශ්‍රී ලංකාවට එම වාසනාව උදා විය.

ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේදී එතුමා කළ දේශනයට නියෝජිතයෝ වශී වූහ. එම සාරගර්භ දේශනයට ඇහුම්කන් දුන් නියෝජිතයින් හට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කර තබන්නට කිසි සේත් නොහැකි විය. මුහුදේ රළ මෙන් අලුත්වෙමින් නැඟුණු එකී ක්‍රිකට් හඬ හා උද්දාමය ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ රැව් පිළිරැව් දෙමින් අහස් කුසට විහිදුණේ සියලුම නියෝජිතයන් තම වසඟයට පත් කරමිනි. වහාම නැගී සිටි පාකිස්ථානයේ නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ටෙස්ට් වරම් ලබා දිය යුතු යැයි යෝජනා ස්ථිර කළහ. මෙම අමිල සේවය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තාක් කල් ගාමිණී දිසානායක නාමය ඒ සමඟම සුසංයෝජනයෙන් පවතිනු ඇත.”

1996 ලෝක කුසලාන කිරුළ දිනූ මොහොත

ඩී.ඇස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ශ්‍රීමත් ජෝන් කොතලාවල, පී. සරවනමුත්තු, ටිරෝන් ප්‍රනාන්දු, රොබට් සේනානායක, තිලංග සුමතිපාල, ආනා පුංචිහේවා වනි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සභාපතීත්වයට පත්වූ සුප්‍රකට චරිත අතරින් ගාමිණී දිසානායකයන්ගේ යුගය ස්වර්ණමය යුගය යැයි කීම කෙතරම් ගෞරවයක්ද. ගාමිණී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයේ කළේ පක්ෂ භේදයකින් නොවේ. අර්ජුන රණතුංග ගාමිණීගේ ප්‍රතිපක්ෂයේ ප්‍රතිවාදී දේශපාලනඥයකුගේ පුතකු වුවද ගාමිණී කවදාවත් අර්ජුනට කැපුවේ නැත. අර්ජුනගේ දස්කම් විස්කම් ඔහු මැනැවින් වටහාගෙන අර්ජුනට ජයග්‍රහණය සඳහා පාර කැපුවේය. ඉහත කී ඈපාසිංහ මහතාගේ ලිපියේ මෙසේද සඳහන් වේ.

“1980 ගණන්වල මැද භාගයේදී ගාමිණී දිසානායක මැතිතුමාත් මමත් ලෝඩ්ස් පිටියේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත තරඟයක් නැරඹුවෙමු, එදින එතුමා මා සමඟ කී අනාවැකියක් අකුරටම සැබෑ විය. “ප්‍රේමසර ඔබට මං අද කිව්වා කියලා මතක තියා ගන්න. කවදා හරි ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන එන්නේ අර්ජුනයි කියලා””

1994දී රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකින් දැයෙන් සමුගන්නා විටදී ගාමිණී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දෙවනි වරටත් තේරී පත්ව හුන්නේය. මේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඔහු ගැන තබූ සටහනක බිඳකි.

“මගේ නායකත්වය යටතේ 1996 වසරේ ලෝක කුසලානය දිනා ගන්නා විට එතුමා අප අතරින් සමුගෙනය. එය පෞද්ගලිකව මා හටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩවටත් වදුණු පහරකි. කෙසේ වුවද එදා අප කණ්ඩායම දිනාගත් ලෝක කුසලානය රැගෙන ගාමිණී දිසානායක මැතිනිය හමුවීමට මා ගියේ ලෝක කුසලානය දිනා ගැනීමේ මාර්ගය අපට සාදා දුන් එම අමරණීය පුද්ගලයාට මාගේ කෘතවේදී උපහාරය පිදීමටය. ජීවත්ව සිටියේ නම් කොතරම් සතුටක් හා වින්දනයක් එතුමා ලබා ගන්නවාද? මෙම වීරෝදාර ජන නායකයා අපට අහිමි විය”

නමුත් ගාමිණී දිසානායකයන් පිළිබඳ විශාල අරුතක් අර්ජුනගේ පහත වචන දෙකේ ගැබව ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

“ගාමිණී දිසානායකයන් අපට ආඩම්බර විය හැකි බුද්ධිමතෙකි. ඒ හැමටත් වඩා අනාගතය දුටු මහා ප්‍රාඥයෙකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එතුමා තරම් සේවයක් ඉටු කළ පුද්ගලයෙක් නොමැත.”

ඉන්දු-ලංකා ගිවිසුම

ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් එක්ව සාමය දිනාගත්තද සිංහල හා දෙමළ ජාතීන් අතර සාමකාමී සංහිඳියාව කෙමෙන් කෙමෙන් බිඳ වැටෙන්නට විය. නිදහසත් සමඟ 50-50ක අසාධාරණ නියෝජනයක් ඉල්ලමින් ජී.ජී. පොන්නම්බලම් දෙමළ ජාතිකවාදී සටනට උර දුන්නේය. සාධාරණ යැයි සැලකිය හැකි ඉල්ලීම් ඉල්ලු බහුතර දෙමළ ප්‍රජාවගේ උවමනා එපාකම් පසෙකලා සිංහල ජනතාවගේ ඡන්ද ගොන්න බලාගෙන ජනප්‍රියවාදී තීන්දු තීරණ රට කළ ආණ්ඩු ගැනීම නිසා නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරොවෙන් නොව විදුලි කියතකින් කැපිය යුතු තැනකට ඇදී ආයේය. ජනවාර්ගික විවිධත්වයකින් හෙබි ප්‍රදේශයක් නියෝජනය කළ ගාමිණී තුල රටේ සියළු ජනවර්ග අතර අවිශ්වාසය දුරලා එකමුතුව නැගී සිටින්නට දර්ශනයක් වැඩපිළිවෙළක් තිබුණේය.

රජීව් ගාන්ධි සමඟ

1983 කලබලයත් සමඟ දැඩි ලෙස කම්පාවට පත්වූ ගාමිණී ගැටුමට විකල්පයක් සෙවීය. 1987දී දියත් වූ වඩමාරච්චි විමුක්ති මෙහෙයුමත් සමඟ එල්ටීටීඊ සංවිධානය විදුලි වේගයෙන් පසු බාන්නට වූ නමුත් ඉන්දියාව මෙහෙයුමට අත පොවන්නට විණි. යාපන අර්ධද්වීපයට ඉන්දියාවෙන් එවූ නැව් හරවා යැවුණද බැංගලෝරයෙන් මිරාජ් ප්‍රහාරක යානා හතරක් වට කරගෙන ගුවන්ගත කෙරුණු ඇන්ටනොෆ් යානා ද්වයය වියළි ආහාර ලංකාවේ භූමි ප්‍රදේශයට හෙළීම වැළැක්වීමට හැකියාව නොලැබිණි. ඉන්දියාවේ සුප්‍රකට ජනමාධ්‍යවේදියකු වන එම්.ආර්. නාරායන් ස්වාමි මහතා විසින් රචිත “ලංකා කොටි” ග්‍රන්ථයේ ලියැවී ඇති පරිදි යම් හෙයකින් ඉන්දීය ගුවන්යානා වලට ලක් ආරක්ෂක අංශ පහර දුනි නම් ලංකාව ආක්‍රමණය කරන්නට ඉන්දීය රජය තම හමුදා සීරුවෙන් තබා සිට ඇත. මේ තත්ත්වය උඩ රජයට ඉන්දීය ගැටළුව නිරාකරණය කර ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කරනු වෙනුවට අන් විකල්පයක් නොවීය. ආණ්ඩුව වෙනුවෙන් මෙම සාකච්ඡා වලට දායක වූ ප්‍රධානතම ඇමැතිවරයා වූයේ ගාමිණී දිසානායකයන්ය. ජනතාව අතර ජනප්‍රිය නොවූවද රට වෙනුවෙන් හරි දේ කරන්නට ගාමිණී තීන්දු ගත්තේ නිවැරදි නායකත්ව ගුණ පෙන්වමිනි. සැබෑ නායකයා ජනප්‍රිය දේ නොව හරි දේ කළ යුතු බව කියමනක් ඇමෙරිකානු දේශපාලනඥයකු වන හවර්ඩ් ඩීන් මහතා කියා ඇත. ගාමිණී කළේද එයමය. ශ්‍රීලනිපය, ජවිපෙ ඉන්දියානු විරෝධයක් රට තුල අවුලද්දී එජාපයේ පතාකයින් පවා ඊට අනුගත වෙද්දී ගාමිණී දිසානායකයන් තම රාජතාන්ත්‍රිකත්වය උපයෝගී කරගෙන කොටියාත් ඉන්දියාවත් විරසක කරවීමටත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමටත් ඉන්දු-ලංකා ගිවිසුමට සහය ලබාදුණි. ජේ.ආර්. සහ රජීව් ගාන්ධි අත්සන් කළ ගිවිසුමට ප්‍රභාකරන් විරෝධතාව ගොනු කළ අතර ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට අවුත් කොටින් හා සටන් කළහ. අවසන ප්‍රේමදාස ඉන්දීය සාම සාධක හමුදාව පිටමං කරන විට ඉන්දීය සෙබලුන් 1000ක් පමණ ලක්දෙරණ තුල කොටින් සමඟ සටනින් මරු දැක තිබුණි. අවසන ඉන්දු ලංකා ගිවිසුම ඌරගේ මාළු ඌරාගේ පිට මත තබා කැපීමක්ය යන අදහස මගේ සිතට නැගෙන්නේ ලක් හමුදාව විමුක්ති මෙහෙයුමින් කොටින් විනාශ කිරීම වැළකූ ඉන්දියාවටම කොටින් හා යුද්ධ කිරීමට සිදු වීමත් සමඟය. අවසන ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ජීවිතය පවා කොටින් විසින් බිලි ගනු ලැබුවේ ඉන්දු-ලංකා ගිවිසුම කරණ කොට ගෙනය යන්න බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණකි. එවක ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙන්ම ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රධාන භූමිකාවක් රඟපෑ ජේ.එන්. ඩික්සිත් මහතා තම “කොළඹ භූමිකාව” නම් පොතේ සඳහන් කරනුයේ ගාමිණී දිසානායකයන් කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද්දේද ඔහු කොටින්ට පාරාවලල්ලක් වූ ඉන්දු-ලංකා ගිවිසුම ගෙන ඒමෙහිලා සිදු කළ කාර්යභාරය බවයි. එලෙසම එදා ගාමිණී දිසානායකයන්ගේ මැදිහත්වීමෙන් අත්සන් තැබූ 13වන සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුමක් ජනවාර්ගික ගැටළුවට ලබාදිය යුතු බව අද බොහෝ දෙනාගේ මතයයි. එදා එකී සංශෝධනයට විරුද්ධව කෑ මොර දුන් වත්මන් ජනාධිපති සහ ශ්‍රීලනිපය පවා අද 13වන සංශෝධනය එවන් විසඳුමකට හොඳ පදනමකැයි පිළිගැනීමෙන්ම එද ඔහු දැරූ ස්ථාවරය සාධාරණීකරණය වේ.

උඩරටින් අගමැති?

1988 ජනාධිපතිවරණය එළඹීමත් සමඟ එහි තරඟකාරීත්වය පිළිබඳ විවිධ ප්‍රශ්න මතු වීය. අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එවක අග්‍රාමාත්‍යවරයාව සිටි ආර්.ප්‍රේමදාස මහතා තෝරාගැනිණි. ප්‍රේමදාසයන්ගේ නම යෝජනා කළේ ගාමිණී දිසානායක ඇමැතිතුමාය, ස්ථීර කළේ ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාය. 77-88 ආණ්ඩුවේ පමණක් නොව ලක් ඉතිහාසයේම රටට අසමසම සේවාවක් කළ ජාතියේ පිනට උපන් අමාත්‍යවරුන් දෙපල වූ ගාමිණී සහ ලලිත් දෙපලම අගමැති වීමේ සිහිනයෙන් පසු විය. ලංකා ඉතිහාසයේ කවර රාජ්‍ය නායකයකු හෝ පක්ෂ නායකයකු සිතු නොකළ ආකාරයෙන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය තුල වසර ගණනක් පක්ෂයටත් රටටත් නායකත්වය දීමට දෙවන පෙළක් බිහි කළේ තම තුන් කල් දක්නා නුවන උපයෝගී කර ගනිමිනි. ජේ.ආර්. ගාමිණී සහ ලලිත් කෙරේ මහත් බලාපොරොත්තු තබා සිටි අතර ඒ දෙපලම ඇමැතිවරුන් ලෙස ඒ බලාපොරොත්තු උපරිමයෙන්ම ඉටුකළහ. දැන් ඔවුන්ට අගමැති වන්නට අවස්ථාව උදා වී තිබුණි. පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨත්වයෙන් ගාමිණී ලලිත්ට වඩා තරමක් ඉදිරියෙන් සිටියද වයසින් සහ උගත්කමින් ලලිත් ගාමිණීට වඩා තරමක් ඉස්සරහින් සිටියේය. දෙදෙනාටම අගමැතිකම ඉල්ලීමට සාධාරණ හේතූන් තිබුණි. එහෙත් අගමැති වන්නට නම් යූඇන්පී ජනාධිපතිවරයකු පත්විය යුතුය. 1988 ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රේමදාස මහත්තයාට ප්‍රබල අභියෝගයක් වූ අතර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂක ඔසී අබේගුණසේකරයන්ද ශක්තිමත් මෙන්ම තීරණාත්මක තුන්වැනි අපේක්ෂකයකු විය. ලලිත් සහ ගාමිණී ආර්. ප්‍රේමදාස දිනවීමට ගතත් සිතත් වෙහෙසා ගමින් ගමට ගොස් වැඩ කළේ ජේවීපී කලබල මධ්‍යයේය. ඉතා අඩු ඡන්දදායකයින් පිරිසක් මේ නිසාම ඡන්දය ප්‍රකාෂ කළ අතර ආර්. ප්‍රේමදාස අගමැතිතුමා 50.43%ක ජනවරමක් ලබමින් ජනාධිපතිධූරයට තේරී පත් වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සතුටට හේතු වෙමිනි.

ඒ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ අතර ජවිපෙ ත්‍රස්තවාදය නිසා 1989 මහ ඡන්දය මොන පක්ෂයේත් අපේක්ෂකයින්ට අභියෝගයක් විය. එවක පැවැති එජාප රැල්ල සමඟ 2/3ක සිහිනයක් සහිතව ඇතැම් යූඇන්පීකාරයින් ඡන්ද සටනට එකතුපහදු විය. ලලිත්ගේත්, ගාමිණීගේත් සිහිනය වූයේ අගමැතිකමයි. සමානුපාතික ඡන්ද ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැති පළමු මහමැතිවරණයට ගාමිණී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එජාප කණ්ඩායම මෙහෙය වූයේය. එහිදී ගාමිණී නුවරඑළියෙන් මනාප ඡන්ද 73,790ක් ලබමින් 67.17%ක මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මනාප ප්‍රතිශතය අනුව දිවයිනේම පළමුවැන්නා වෙද්දී කොළඹින් 62.86%ක මනාප ප්‍රතිශතයක් ලද ලලිත් මනාප ඡන්ද 235,447ක් ලබමින් ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත්වුණි. එහෙත් ඒ වනවිටත් වයඹ පළාතේ ආණ්ඩුකාරවරයාව සිටි ඩී.බී. විජේතුංග අගමැති කිරීමට ප්‍රේමදාස ලකලැහැස්ති වී තිබුණි. මේ කිසිත් නොදත් ගාමිණී, ලලිත් සහ ඔවුන්ගේ ආධාරකරුවන් දෑස් දල්වා සිටියේ තමන්ට ප්‍රදේශයට අගමැතිකම ලැබෙයි කියාය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන එජාපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයකින් අගමැතිවරයාව තෝරා ගත යුතුව තිබුණද ජනාධිපති ප්‍රේමදාස අත්තනෝමතික ලෙස තමන්ට අභියෝගයක් වන, තමන්ට වඩා තුරුණු, උගතකු බුද්ධිමතකු අගමැති වනවාට බයේ තම හෙංචයියන්ගේ කූට උපදෙස් පරිදි ඩී.බී.ට අගමැතිකම ලබාදුණි. උඩරට ගාමිණී අපේක්ෂා කළ අගමැතිකම එලෙස උඩරැටියකු වූ ඩී.බී. විජේතුංගට හිමි විය. මින් ගාමිණී සහ ලලිත් කලකිරීමට පත්වුවද ඔවුන් පක්ෂයත් රටත් වෙනුවෙන් දිගින් දිටම ක්‍රියාත්මක වූයේ තමන්ට වූ අසාධාරණය මොහොතකට හෝ අමතක කරලමිනි. අවසන ගාමිණී 1977 අපේක්ෂා කළ වැවිලි කර්මාන්ත ඇමැතිධූරය ඔහුට පිරිනැමිණි, නමුත් ඒ වන විට ජාතික මට්ටමේ සේවාවක් කර තිබූ ගාමිණී ඊට එහා ගිය වගකීමක් බලාපොරොත්තු වීම සාධාරණය.

වැවිලි කර්මාන්තයට අරුණෝදය

වැවිලි කර්මාන්ත ඇමැතිධූරයට තේරී පත්වූ ගාමිණී වැවිලි ක්ෂේත්‍රයේ අභියෝගයන් මැනැවින් තෝරා ගත්තේය. එකී අභියෝගයන්ට විසඳුම්ද සෙවූ ගාමිණී කෙටි කලෙකින් වැවිලි ක්ෂේත්‍රය නංවාලීමට වැඩපිළිවෙළක් දියත් කළේය. එහි එක් අදහසක් වූයේ “සිංහල ගෙවත්ත” යන සංකල්පයයි. ඉන් අදහස් වනුයේ කවුරු කවුරුත් තම තමන් සතු කුඩා භූමි භාගයන් තුල එළවළු, පළතුරු, ගම්මිරිස් යනදී භවභෝග වගා කිරීමයි. එතෙක් තේ, පොල් සහ රබර් කේන්ද්‍රීයව පැවැති වැවිලි ආර්ථිකයට මෙය නැවුම් මුහුණුවරක් විය. ඒ අනුව කොකෝවා, බතල, එළවළු, පළතුරු යනාදිය වගා කිරීමට දිරි දුන් අතර ගාමිණී දිසානායකයන් විසින් වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ජාතික වැවිලි කළමණාකරණ ආයතනය සහ වැවිලි පර්යේෂණ ආයතනය පිහිටවනු ලැබීය. ඒ වන විට අක්‍රීයව පැවැති තේ කර්මාන්තශාලා බේකරි බවට නවීකරණය කළ අතර පාඩු ලබන තේ කර්මාන්තශාල එලෙස වෙනත් ලාභදායි කටයුත්තකට යොදවා පර්ෂද තේ කර්මාන්තශාලා ක්‍රමයක් එතුමා විසින් ස්ථාපනය කරන ලදි. ජනසතුකරණය තුලින් තරඟකාරීත්වයෙන් පසුබැස තිබූ තේ කර්මාන්තයට නව ජීවනාලියක් දීම අසීරු කාර්යභාරයක් බවට පත්වුවද අසීරු දේ සාර්ථකව නිමවා පුරුදු ගාමිණී නොබියව තම කාර්යාවලිය ඉදිරියට ගෙන ගියේය.

නුවරඑළියේ එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද මුල සිටම ගාමිණීට ද්‍රවිඩ වතු කම්කරු ජනතාව සමඟ එකතුවී වැඩ කරනන්ට පන්නරය ලැබුණි. “ලයිම්” සංස්කෘතියට විරුද්ධ වූ ගාමිණී වතු කම්කරුවන් උදෙසා නිවාස ඉදිකරදී ඔවුන්ගේ ජීවන තත්ත්වය අධ්‍යාපනය, සෞඛ්‍යය යනාදිය තුලින් උසස් කර යුතුය යන මතයේ පසු විය. ගාමිණීගේ අදහස වූයේ

“අප තේ පඳුරු වෙනුවෙන් ජීවත් වෙනවා වෙනුවට තේ පඳුරු අප වෙනුවෙන් ජීවත් විය යුතුය”

යන්නයි.

එහෙත් හදීසියේම 1990 කැබිනට් සංශෝධනයෙන් ගාමිණී දිසානායක කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හරින ලදි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ද එතුමාව ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් නෙරපා හැරීමට ආසන්නතම හේතුව ඇතැම් විට ජවිපෙ කැරැල්ල මර්දනය කළ ආකාරය ගැන ඔහු තුල තිබූ විරෝධය විය හැකිය, එසේත් නැත්නම් ඔහු නායකත්වයට අභියෝගයක් වන්නේ යැයි ජනාධිපතිතුමා තුල තිබූ හුඹස් භීතිය විය හැකිය, එය නිවැරදිව දන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු ස්වල්ප පිරිසක් පමණෙකි. මේ සිද්ධි දාමයෙන් ගාමිණී මහත් කණස්සල්ලට පත් වූ අතර ඔහු ආණ්ඩු පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරයකු බවට පතිවූයේ පක්ෂ විපක්ෂ කාගේත් කණගාටුවට හේතු වෙමිනි. මේ සියල්ල එසේ සිදු වුවත් ගාමිණී විපක්ෂයට නොගියේය. වරෙක ඔහු ලංකාදීපය හා සංවාදයකදී මෙසේ කිවේ ඔහුගේ සැබෑ එජාප මතවාදය අචලය යන්න පසක් කරලමිනි.

ප්‍ර : ඔබ කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එජාප කෘත්‍යාධීකාරී කමිටුවෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එජාප පාක්ෂිකයකු ලෙස රැඳී සිටින්නේ ඇයි?
පි : එජාපය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල් සහමුලින්ම මාගේ ඇතුලාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.

කේම්බ්‍රිජ් දර්ශනශූරීයා

ආණ්ඩුවෙන් පැති ගැන්වීම ගැන කලකිරුණද ගාමිණී කෑ මොර දෙන්නට ගියේ නැත, ශාප කළේ නැත, බීමතකු වූවේද නැත ඔහු මෙම සිද්ධිය අවස්ථාවක් කර ගත්තේය. ඉගැනුමට වූ ආශාව සංසිඳුවා ගන්නට මේ විරාමය හේ මගක් කර ගත්තේය. ඒ අනුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දර්ශනශූරී (MPhil) උපාධියක් වෙනුවෙන් තම අවධානය යොමු කරන්නට විය. කේම්බ්‍රිජ් පුස්තකාලයේ පොත්වලත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ ඇසුරේත් ශිල්ප උගත් ගාමිණී තම ජීවන අත්දැකීම් එකතුපහදු කරගෙන දකුණු ආසියාවේ දේශපාලනය සහ විදේශ ප්‍රතිපත්ති පාදක කොටගෙන සිය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරන ලදි.

දෝෂාභියෝගය

ජනාධිපති ප්‍රේමදාසගේ අත්තනෝමතික, ඒකාධිපති, වියරු පාලනය වැඩි වර්ධනය වීමත් සමඟ පක්ෂය තුලින්ම ඔහුට එදිරිව අභියෝගයක් එල්ල වන්නට පටන් ගත්තේය. ඉතා සූක්ෂම ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 37ක් එකතු කරගනිමින් ගාමිණී දිසානායකගේත්, ලලිත් ඇතුලත්මුදලිගේත්, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රගේත් නායකත්වයෙන් දෝෂාභියෝගය සම්පාදනය කරන ලදි. විපක්ෂ පක්ෂවලත් කතානායක එම්.එච්. මොහොමඩ්ගේත් සහය ඇතුව යෝජනාව සම්මත කරගැනීම ගාමිණීගේත්, ලලිත්ගේත් අරමුණ විය. එහෙත් බලය ඇති පදම් තිබූ ප්‍රේමදාස ජනාධිපතිතුමා දෝෂාභියෝගයට පක්ෂ මන්ත්‍රීවරුන් සූක්ෂම ලෙස නිහඬ කරමින් කතානායකතුමාවද තම පැත්තට ගනිමින් දෝෂාභියෝග උගුලෙන් ගැලවිණි. ඉන් නොනැවති ප්‍රේමදාස ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජී.ඇම්.ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා යන අට දෙනා මන්ත්‍රීධුරයෙන් මෙන්ම පක්ෂයෙන්ද නෙරපා හරිනු ලැබිණි. මේ නෙරපුම වැළැක්වීමට ගෙන ගිය නීතිමය පියවරයන්ද ව්‍යර්ථව ගියේය.

රාජාලියා සහ මධ්‍යම පළාත් සභාව

ලලිත් සහ ගාමිණී මාධ්‍යය හමුවකදී, ලක්ෂ්මන් සෙනෙවිරත්න පසෙකින් දැකගත හැකිය

තම දේශපාලන මහගෙදර වූ එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරුන්ට විකල්ප් තුනක් විය. එකක් දේශපාලනයෙන් සමුගෙන වෙන දෙයක් බලා සිටීමය, දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෑමය, තුන්වැන්න අලුත් පක්ෂයක් තැනීමය. ජනතා සේවය අගය කළ ප්‍රේමදාසගේ වියරු පාලනය පිළිකෙව් කළ මොවුහූ දේශපාලනයට සමුදීමට කැමැති නොවීය, අනෙක් අතට තම අදහස් උදහස් වලට හාත්පසින්ම වෙනස් ශ්‍රීලනිපයට යන්නටද ඔවුන් හීනෙන්වත් නොසිතූහ. එකම විකල්පය වූයේ එජාප ප්‍රතිපත්ති පෙරදැරි කරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමය. එම පක්ෂය “ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ” නම් විය, එහි ඡන්ද සලකුණ රාජාලියා වූ අතර කොළ සහ කහ එහි වර්ණයන් විය. කොළ පැහැයෙන් යූඇන්පී මතවාදයත් කහ පැහැයෙන් නිදහස් මතධාරීනුත් නියෝජනය විය. පක්ෂයේ නායකත්වය මුලදී හිස්ව පැවැතියද 1993 පළාත් සභා මැතිවරණයට මත්තෙන් පක්ෂ නායකයා ලෙස ලලිත් ඇතුලත්මුදලිත්, නියෝජ්‍ය නායකයා ලෙස ගාමිණී දිසානායකත්, මහලේකම් ලෙස ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රත් පත් කෙරිණ. පක්ෂ නායකත්වය වසර දෙකෙන් දෙකට මාරු වීමේ ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කැර තිබුණි.

කෙටි කලෙකින් රාජාලියා වටා විශාල පිරිසක් ඒකරාශී වන්නට විය. ප්‍රේමදාස කෙරේ නොපැහැදුණු යූඇන්පීකාරයන්, උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් මෙන්ම තරුණයින්ද මේ අතර ප්‍රමුඛත්වයක් ගත්තේය. 1993 පළාත් සභා මැතිවරණයේදී ගාමිණී මහනුවරින් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. ගාමිණීගේ ප්‍රියාදර බිරිඳ වන ශ්‍රීමා දිසානායක නුවරඑළියෙන් තරඟ කළාය. මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී අවාසනාවන්ත ඝාතන දෙකක් සිදුවීම කම්පාවට කරුණක් විය. අප්‍රේල් 23දා කිරුළපනදී ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කරන ලද අතර මැයි පළමුවැනිදා ආමර් වීදියේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කෙරිණි. මේ ඝාතන දෙක ලාංකේය දේශපාලනයේ ඉදිරි දශක ගණනාවකට බලපෑ බව කවුරුත් පිළිගනු ඇත. මේ සියළු තත්ත්වයන් හමුවේ 1993 මැයි මස පැවැති පළාත් සභා මැතිවරණයෙන් දිවයින පුර රාජාලියා විසින් 16%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහත් විපර්යාසයක් සිදු කරනු ලැබීය.

විපක්ෂනායක

1994 ලං වීමත් සමඟ ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ මෙහෙයවීම යටතේ ගාමිණී ඇතුළු රාජාලියා පිලේ පිරිස යූඇන්පියට ගැනීමට කටයුතු දියත් කෙරිණි. දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ගාමිණී දිසානායක ඇතුළු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රට භාර දී තම දේශපාලන මහගෙදරට යළි සේන්දු වන්නට තීරණය කළහ. එම්.එච්. අමීන් මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වෙමින් ගාමිණී දිසානායකයන්ට යළි පාර්ලිමේන්තු වරම් විවර කළ අතර 1994 මැයි 19දා ගාමිණී නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ගාමිණී එහිදී මෙසේ ප්‍රකාශ කර සිටියේය

“අපි එදා සටන් කළේ එජාපය තුල වූ ආඥාදායකත්වයට එරෙහිවයි. එදා සිට අපට ඒ සඳහා විකල්ප පක්ෂ තිබුණේ නෑ. ඒ නිසා අපි රාජාලියා බිහි කළා. ඒ ගමනේදී අපට නොයෙකුත් බාධකයන්ට මුහුණ පෑමට සිදුවුණා. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කරනු ලැබුවා. නමුත් ඒ මහතා බලාපොරොත්තු වූ අරමුණ ඉටුකරදීමට අපි ඉදිරියටද කටයුතු කරනවා. අලියත්, රාජාලියාත් එක්වීම තුළින් එජාපය සුපිරි එජාපයක් කිරීමට හැකි වෙනවා ඒ සඳහා අප කැපවීමෙන් කටයුතු කළ යුතුයි. 21වන සියවසේ පරපුර වෙනුවෙන් අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා අපි සංවිධානාත්නකව කටයුතු කරමු.”

1994 මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ගාමිණී දිසානායක මහතා දිස්ත්‍රික්කයේ එදා මෙදා තුර වාර්තා වී ඇති වැඩිම මනාප සංඛ්‍යාව වන 198,207ක් (65.67%ක මනප ප්‍රතිශතයක්) ලබාගනිමින් පාර්ලිමේන්තු ආයේය. එජාපයට ආසන 94ක් පමණක් හිමි වීම නිසා ඔවුනට විපක්ෂයට වන්නට සිදුවූ අතර ගාමිණී සහ රනිල් වික්‍රමසිංහ අතර විපක්ෂ නායකත්වය උදෙසා සටනක්ද ඇති විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මේ සඳහා පැවැත්වූ අතර වැඩි ඡන්ද දෙකකින් (45ට 43ක් ලෙස දෙදෙනා අතර ඡන්ද බෙදී ගොස් තිබුණී) ගාමිණී දිසානායක මහතා විපක්ෂනායකවරයා ලෙස තෝරා ගැනිණි. ඒ අනුව හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවටද පත්විය. ඩී.බී. විජේතුංග මහතා 1994 ජනාධිපතිවරණයට තරඟ නොකිරීමට තීරණය කිරීමත් සමඟම ගාමිණී දිසානායකයන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූරාපේක්ෂකයා බවට පත්වුණි. මේ තේරී පත් වීමත් සමඟ පොදුජන එක්සත් පෙරමුණු රජය සහ ඔවුන්ට හිතවත් මාධ්‍යය ගාමිණී දිසානායකට මඩ ගසමින්, දූෂණ චෝදනා එල්ල කරමින් ඔහුගෙන් එල්ල වන අභියෝගයට බයේ යකා නටන්නට විණි. මෙසේ කුමනාකාරයේ චෝදනා එල්ල කළද ගාමිණී දිසානායකයන්ට වෛර කළ ප්‍රේමදාස රජයත්, චන්ද්‍රිකා රජයත් දෙකම මේ එකඳු චෝදනාවක් ඔප්පු කරන්නට අපොහොසත් වීම කාගේත් දැන ගැනීම පිණිස සටහන් තබන්නේ මේ උතුම් නායකයාට කරන සාධාරණයකැයි සිතමිනි.

එකම රටක්, එකම ජාතියක්, එකම ජනාධිපති!!!

එකම රටක්, එකම ජාතියක්, එකම ජනාධිපති යන්න ගාමිණීගේ ජනාධිපතිවරණ සටන් පාඨය බවට පත්විය. එජාපයටත් ගාමිණීටත් අවාසි සහගත තත්ත්වයක් මත සටන පටන් ගැනුණද එන්න එන්නම ගාමිණී – චන්ද්‍රිකා ද්වන්ද්ව සටන උණුසුම් වන්නට විය. ගාමිණීගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වේගවත් වූ අතර ගම් නියම් ගම් සිසාර ඡන්දදායකයන් ඔහු වටා රොද බැඳ ගන්නට විය. ජනතා හදගැස්ම හඳුනන, උගත්, බුද්ධිමත්, වඩක් කර ඇති, කාරුණික මිනිසකු ජනපති කරලීමට දහස් ගණනින් ජනතාව එක් රොක් වන්නට විය. එක ඡන්දයකින් හෝ ජනාධිපතිවරණය ජයගැනීම ගාමිණීගේ ඒකායන පැතුම වූ අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් දිවිහිමියෙන් කැප වන්නට විය. බොහෝ දෙනා තුල ගාමිණී දිනනු ඇතැයි යන දෘඪ විශ්වාසය තිබිණි. ගාමිණී දිසානායක මහතා මියෙන තෙක් නොපළ වූ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බිඳක් මා මෙහිදී උපුටා දක්වමි.

“උමතු දේශපාලන ලෝකයේ සිට වසර 24කට පසු මා තුළ බලකාමය නැතැයි කිවහොත් සාවද්‍ය වනු ඇත. සංවර්ධනාත්මක බලකාමය උදාර ධර්මතාවක් වෙයි. එය සාර්ථකත්වයට ජවය සපයන අභ්‍යන්තර ශක්තියක් වෙයි.

ජනාධිපතීත්වයෙහි පවත්නා කීර්තිමත්භාවය නිසා හෝ බලයෙහි විභූතිය නිසා හෝ මම එය නොසොයමි. ස්වකීය තනතුරෙහි සදාචාරාත්මක අධිකාරියෙහි මුද්‍රාව තබන්නට අසමත් වූ ඒ මඟ ගිය බොහෝ ජනාධිපතිවරුන්ගේ සහ අග්මැතිවරුන්ගේ ජීවිතවල ශුන්‍යභාවය මම දැක ඇත්තෙමි.

මා ජනාධිපතීත්වය සොයන්නේ වෙනසක් කිරීමටත්, අපේ දේශපාලනයේ භූමිකා දර්ශනය හා වාතාවරණය වෙනස් කරන නව ආකාරයක නායකත්වයක් සම්පාදනය කරන්නටත්, අපේ දේශපාලන පක්ෂ අතර අව්‍යාජ සුසංවාදයක් නිර්මාණය කිරීමටත් අතිශයින්ම අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට පුරෝගාමීත්වය සැපැයීමටත් අපගේ දේශය නව දේශපාලන රටාවක් කරා, එනම් ප්‍රතිපත්තීමය දේශපාලනයක් කරා මෙහෙයැවීමටත්ය. මා මේ සියල්ල කරන්නේ ශ්‍රී ලංකාවෙහි මානුෂික අභිවෘද්ධිය සඳහාය”.

ගාමිණී දිසානායකයන්ගේ ඇවෑමෙන් අවුරුදු 16ක් ගෙවී යමින් පවතින මුත් ප්‍රතිපත්තිමය දේශපාලනය රට තුල දැකිය හැක්කේ කලාතුරකින් වීම කණගාටුවට කරුණකි.

කෙසේ වෙතත් 1994 ඔක්තෝබරයේ රාත්‍රියෙකදී මේ සියළු සිහින බොඳව ගියේය. 1994 ඔක්තෝබර් 23දා තම කිට්ටුම දේශපාලනික හිතවතා වූ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර සමඟ හෙලිකොප්ටරයෙන් තොටළඟට ගොඩබා වේදිකාවට ගොඩ වනවිට ඔසී අබේගුණසේකර, කරුණාසේන කොඩිතුවක්කු, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිණී විජේසේකර, ක්‍රිස්ටි පෙරේරා වැනි දේශපාලනඥයන් වේදිකාගතව සිටි අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතා ගොස් තිබුණි. මධ්‍යම රාත්‍රියවත්ම පැය ගණනක් තොටළඟ නැවත ගාමිණීගේ හඬ අසන්නට බලා සිටි දනන් ගාමිණී ඇමතුවේය. ඒ ඔහුගේ අවසාන කතාව යැයි මරාගෙන මැරෙන බෝම්බකාරිය හැර අන් කිසිවකු දැන නොසිටින්නට ඇත. 24දා අලුයම එළැඹෙද්දී සභාවේ වැඩ අවසන් කිරීමට මත්තෙන් හෙළ ජාතික අභිමානේ ගීය වැයෙද්දී මරාගෙන මැරෙන බෝම්බකාරිය රටක් වටින රටම ආදරය කළ රත්තරං නායකයකු වූ ගාමිණී දිසානායක ඇතුළු දක්ෂ දේශපාලනඥයක් කිහිප දෙනෙකුම අපෙන් උදුරා ගත්තේ කාගේ නෙතටත් කඳුලක් කැඳවමිනි.

ප්‍රේමසර ඈපාසිංහයන්ගේ පහත කවිය ගාමිණීගේ ගුණ සිව්පදයකට කැටි කොට ඇති ආකාරය අපූරුය, ලිලිපිය සමාප්තියට එය කදිමයැයි සිතමි.

මැදමහනුවර දළදා හිමි තිබෙන            තුරා
මහවැලි ගඟේ දිය පහළට ගලන           තුරා
ගොවිබිම් පළබරව කෙත්වතු පිරෙන    තුරා
සිරිලක ක්‍රිකට් ක්‍රීඩා පවතිනා                 තුරා
ගාමිණී දිසානායක නාමය අමරණීයයි

ගාමිණී දිසානායක වන් පුතුණුවරු යළි මෙදියත පහළ වන තුරු ලක්මව බලා හිඳියි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

2/3ක සිහිනය

රටේ දේශපාලන කතිකාව උණුසුම් වෙමින් පවතින මේ යුගයේ ප්‍රස්තුතය ලෙස ඉලිප්පෙමින් තිබෙණුයේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයයි. අද අප කතා කළ යුත්තේ 2/3ක් ගැන නොව ඉදිරියේ පත් කෙරෙන්නා වූ රජයක අනාගත ප්‍රතිපත්ති ගැන බව වටහා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් වීම අභාග්‍ය සම්පණ්ණ තත්ත්වයකි.

පළමුව 2/3ක බලයක් ගත හැකිද යන්න අපි විමසා බලමු. ආසන්නයේම පැවැති ජාතික මැතිවරණය වන 2010 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල අපි සැලකුවහොත් ඊට අනුව සන්ධානයට (ඊපීඩීපී, ටීඑම්වීපී ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ) හිමිවන්නේ ආසන 135 පමණි. මෙය 2/3ක් සඳහා අවශ්‍ය ආසන 150ට වඩා අඩු අගයකි. ජනාධිපතිවරණයේ තරම් මෙවර ඡන්ද ප්‍රකාශ වේ යැයි අපට අපේක්ෂා කළ නොහැකිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දේශපාලනඥයකු ලෙස කැමැති ඇතැමුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට අකමැතිය. ඒ අනුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රකාශ වෙන ඡන්ද සංඛ්‍යාව පහළ වැටෙනු ඇත. කවුරු කොහොම කීවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක් එහෙම ගහෙන් ගෙඩි එන්නා වාගේ ගන්නට බැරිය, එහෙම ගන්නට නම් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතයන් තව විශාල අගයන්ගෙන් ඉහළ යා යුතුය, ඊට ඔවුනෙගේ ඡන්ද ප්‍රමාණය මිලියනයකින් පමණ ඉහළ යා යුතුය නැත්නම් විපක්ෂයේ ඡන්ද මිලියනයකින් අඩු විය යුතුය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් තුනෙන් දෙකක් ඉල්ලන්නේ අහවල් එකකටද කියන ගැටළුව මතුවේ. පැවැති සන්ධාන ආණ්ඩුව ගිය ගමන අතිශයින්ම කණගාටුදායකය, යුද ජයග්‍රහණය හැරුණු කළ පසුගිය වසර 6 තුල රටට අත් වූ ජයග්‍රහණ ස්වල්පයකි. අපේ රටේ උතුම් දායාද දෙකක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට සිදුවී ඇති සෝචණීය තත්ත්වය රටේ පුංචි අතදරුවා පවා දනී. රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතී. 2008ට සාපේක්ෂව අපේ අපනයන ප්‍රමාණය 2009දී 13%කින් පහත බැස ඇත. රටේ නව රැකියා උපදින්නේ නැති තරම්ය. අපි වවමු – රට නගමු කියා පාරම් බෑවද වවපු වැවිල්ලක් නැත. සහල් පවා ආනයනය කරනුයේ පිටරටිනි, ඒකත් කිසිඳු සැලැස්මකින් තොරව වී ගොවියා අස්වනු නෙලද්දීය, ලක් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස කුකුල් බිත්තරත් පිටරටින් ආනයනයට ආණ්ඩුව සූදානම් වෙයි. වෙනකක් තියා රාජපක්ෂ පවුල සාඩම්බරයෙන් පළඳින සාටකයේ පැහැය එන කුරක්කන් පවා විශාල වශයෙන් පිටරටින් ගෙන්වන්නේ සන්ධානය පුරාජේරුවට හඬලෑ කෘෂි ආර්ථික මිථ්‍යාව පසක් කර දෙමිනි. GSP+ බදු සහනය අපට අහිමි වී ඇත. ඇමැති මණ්ඩලයේ බහුතරය තම තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේ පැවැත්ම පවා අමතක කොට තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය විලි ලැජ්ජාවක් නැතුව තුනෙන් දෙකක් ඉල්ලන්නේ මේ ගමන ඉදිරියටත් ගෙන යන්නටද??? මේ ගමන ඉදිරියට ගෙන යන්නට තුනෙන් දෙකක් තබා දෙකෙන් එකක්වත් දෙන්නට වටින්නේද??

කිසිසේත්ම නැත. අතිවිශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන මේ ආණ්ඩුව කියන්නේ ඊළඟ ඡන්දය දිනුවහොත් ඇමැති මඩුල්ල 35ට බස්සන බවයි. ඉතින් පාර්ලිමේන්තුව විසුරුවා ඇති මේ මොහොතේ එහෙම නොකිරීමෙන් පේන්නේ එම ප්‍රකාශය හුදු ජනප්‍රියවාදී ඡන්ද ගුණ්ඩුවක් බවයි. දිගින් දිගටම ජනතාව නොමඟ යවන මේ අකාර්යක්ෂම දුර්ධාන්ත පාලනයට තුනෙන් දෙකක් දුන්නොත් යසට තියේවි. වාසනාවට ඒ සන්ධාන සිහිනය නම් කිසි ලෙසකින් සැබෑ නොවනු ඇත. ඒ රටේ පිනටය.

අනෙක් අතට අපේ රටේ තුනෙන් දෙකේ බලයේ පූර්වාදර්ශයන් අතිශය ශෝකජනක ඒවාය. කවුරු කොහොම කීවත් තනි පක්ෂයකට 2/3ක් ගන්නට බැරි වීමත් අනුපාතිකව මන්ත්‍රීධූර බෙදී යෑමත් සමානුපාතික ක්‍රමයේ වෙසෙස් වටිනාකමකි. රටක ව්‍යවස්ථා සම්පාදනය, සංශෝධනය යනාදිය එකම පක්ෂයේ තනි උවමනාවට සිදු වන්නේ නම් එය කණගාටුවට කරුණකි. 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණට 2/3ක බලයක් ලැබුණි. නව ව්‍යවස්ථාවක් බිහි කරලමින් අන්තවාදී දේශපාලන ගමනකට මුල පිරූ සමගි පෙරමුණු ආණ්ඩුව විපක්ෂය දැඩි ලෙස මර්දනය කළේය. දැදිගම අතුරු මැතිවරණය වැනි මතභේදාත්මක සිද්ධි හරහා ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්නට තැත් කළේය. 1975දී විසුරුවන්නට තිබූ පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ සමාජවාදී නායකයින්ගේ ඉල්ලීම්ද නොතකමින් අත්තනෝමතික ලෙස 1977 දක්වා දීර්ඝ කරගත්තේ ජනතා පරමාධිපත්‍යයට වින කරවමිනි. 1977දී 5/6ක බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයද නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒකපාක්ෂික පාලනයක් ගෙන ගියේය. 1982දී සුප්‍රකට කලගෙඩි ලාම්පු සෙල්ලමින් පාර්ලිමේන්තු ධුරකාලය වසර හයකින් දීර්ඝ කර ගත්තේය. මේ රටේ ජනතාවට තවදුරටත් එවැනි ඒකපාක්ෂික යුගයක් අවශ්‍ය වන්නේද?? 2/3ක් ලබාදීම යනු ඒකාධිපති වියරුවකට අත වැනීමකි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අතැතිව ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම ආදී නොමනා ක්‍රියා සිදු කරන්නේ නම් හිතලුවකටවත් 2/3ක් ලැබුණහොත් රටට දෙයියන්ගේම පිහිටයි!! රටේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුවන්නට උවමනා පක්ෂ විපක්ෂ පොදු එකඟතාවයකිනි. රටේ පෙරගමනත් ව්‍යවස්ථා සංශෝධනයේ පිළිගත හැකි භාවයත් රඳන්නේ මෙවැනි බහුපාක්ෂික ක්‍රියාමාර්ගයක් උඩ මිස ඒකපාක්ෂික දේශපාලනික තීන්දු මත නොවන බව ජනතාව වටහා ගත යුතුය.

ජනතාව මේ යථාර්ථය වටහා ගෙන සිය වටිනා ඡන්දය ශක්තිමත් පාර්ලිමේන්තුවක් උදෙසා භාවිතා කළ යුතුය. ශක්තිමත් පාර්ලිමේන්තුවක් යනු රටේ විවිධ ජනතාවගේ විවිධාකාර මතවාද නියෝජනය කරන ජන හිතකාමී ප්‍රතිපත්තිගරුක මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවකි, නැතිව ප්‍රතිපක්ෂය තලා පෙලා, වහසි බස් දොඩන, මැරකම හොරකම ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් නොවේ. රට වෙනුවෙන් තමුන්ගේ වගකීමක් වන ඡන්දය භාවිතා නොකර සිටීමට සිතා සිටින උදවියට කියන්නට උවමනා වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට කියාය. වඩාත්ම සුදුසු පක්ෂය තෝරා බේරා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ යුතුකමකි, වගකීමකි. ඒ යුතුකම, වගකීම ඉටු කිරීමේදී ඉහත සඳහන් කරුණු පිළිබඳ සැලකිළිමත් වීම වැදගත්ය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

පල්ලම් බැහීම

පසුගිය සතියේ ලංකාදීපයේ ගුරුදා විග්‍රහයට උපුල් ජෝශප් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මනරම් ලිපිය මෙලෙස අප අපේ බ්ලොග් අඩවියේ දිග හරිමු.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

අප්‍රියෙල් 8 මහ ඡන්දයට පසු ජෙනරාල්ගේ ඩී.එන්.ඒ. එකයි රනිල්ගේ යූ.ඇන්.එෆ්. එකයි එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවනවා යැයි ජ.වි.පෙ ලාල් කාන්ත කියා තිබේ.

“මොන ආණ්ඩුද? මේ ආණ්ඩුව තුනෙන් දෙකක් අරන් තමයි පස්ස බලන්නේ…” සමහරු ලාල් කාන්තගේ ඒ කතාව අහලා එහෙම කියති.

“ඇත්තටම ආණ්ඩුවට තුනෙන් දෙකක් ගන්න පුළුවන්ද?” අද කවුරුත් කතා කරන්නේ ඒ ගැනය.

ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණය ජයගෙන මාස තුනක් යන්න කලින් මේ වගේම මහ ඡන්දයකට මුහුණ දුන්නේ කොහොම හරි තුනෙන් දෙකක් ගන්නවා යැයි හිතාගෙනය.

ඒ වෙලාවේ විපක්ෂය වූ ශ්‍රී.ල.නි.ප.ය හිටියේ අද එ.ජා.ප.ය ඉන්නා තැනටත් වඩා අන්ත අසරණ තැනකය. ජනාධිපතිවරණ පරාජය දරාගත නොහැකිව ශ්‍රී.ල.නි.ප. නායිකා බණ්ඩාරනායක මැතිනිය එළියට බැස්සේ නැත. මැතිනිය මහ මැතිවරණ රැස්වීම් අමතන්න යාම ප්‍රතික්ෂේප කළාය. අන්තිමේදී දිස්ත්‍රික්කයකට හරි රැස්වීමක් තියාගන්න ශ්‍රී.ල.නි.ප. සංවිධායකයෝ අනුර බණ්ඩාරනායකට කන්නලව් කළහ. ජ.වි.පෙ. භීෂණයට බයේ අනුර රැස්වීම්වලට ගියේත් තෝරා බේරා ගෙනය. ශ්‍රී.ල.නි.ප.යේ නායක මට්ටමේ ඡන්ද සටනක් තිබුණේ නැත. සංවිධායකයෝ තමන්ගේ සල්ලිවලින් කොළ කෑල්ලක් ගහලා බෙදලා ඡන්ද ව්‍යාපාරය ගෙන ගියෝය.

“ශ්‍රී.ල.නි.ප.ය ඡන්දෙට යන්නේ හොම්බෙන් අපි උත්සාහ කළොත් තුනෙන් දෙකක් ගන්න පුළුවන්…” ප්‍රේමදාසට ඔහුගේ අනුගාමිකයෝ කීහ. “ප්‍රේමදාස නොවේ ශක්‍රයා ආවත් මේ ක්‍රමයට තුනෙන් දෙකක් ගන්න බැහැ…”. මේ ඡන්ද ක්‍රමයට තුනෙන් දෙකක් ගන්නේ කොහොමද කියලා අහන්න වෝඩ් ප්ලේස්හී විශ්‍රාම සුවයෙන් සිටි ජේ.ආර්. හමුවෙන්න ආ ජේ.ආර්.ගේ අනුගාමිකයන්ට ජේ.ආර්. කපටි නරි හිනාව දමලා කීවේ ඒ කතාවය.

ඇත්තටම ජේ.ආර්. 1988 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දීම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුව තමාගේ අගමැති අතට යනවාටත් බයෙන්ය. මහ ඡන්දයෙන් ප්‍රේමදාසට තුනෙන් දෙකක් ගන්න බැරි බව ජේ.ආර්. දැන සිටියේය.

ප්‍රේමදාසත් එය නොදැන සිටියා නොවේ. ජනාධිපති වී අත්‍යවශ්‍ය පනත් කිහිපයක් සම්මත කර ගන්න තුනෙන් දෙකක් සහිත පාර්ලිමේන්තුව මාසයකට හෝ තියාගන්න ඔහුට අවශ්‍ය විය. ඒත් ජේ.ආර්. ප්‍රේමදාසට එක දවසකට හෝ තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුව ප්‍රයෝජනයට ගැනීමට ඉඩ නොතියා විසුරුවා හැරියේය.

ඒත් ජනාධිපතිවරණ පරාජයෙන් වැටිලා හිටපු වැටිල්ලෙන් ශ්‍රී.ල.නි.ප.ය ඉවර යැයි කියා හිතාගෙන ප්‍රේමදාස මහ ඡන්දයෙන් තුනෙන් දෙකක් ගන්න හීන දැක්කේය.

ඒ හීන හැබෑ වුණේ නම් නැත. ප්‍රේමදාසගේ ආණ්ඩුවට හම්බ වුණේ 125කි. රැස්වීමක්වත් තියාගන්න බැරිව හොම්බෙන් ඡන්දයට ගිය ශ්‍රී.ල.නි.ප.ය ආසන හැට ගණනක් ලබා ගත්තේය. ශ්‍රී.ල.නි.ප.ය ඒ ආසන ගණන ගත්තේ එක දිස්ත්‍රික්කයක්වත් දිනන්නේ නැතිවය.

“ප්‍රේමදාසටත් බැරි වුණා නම් මහින්ද කොහොම තුනෙන් දෙකක් ගන්නද…?” ගන්න බැරි වෙන හේතුවක් නිසා නොව විධායක ජනාධිපති බලය එක්ක පාර්ලිමේන්තු බලය බැලන්ස් කරන්න ජේ.ආර්. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ගත නොහැකි ලෙස ව්‍යවස්ථාව හදපු නිසාය.

“අපි මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා කියල ශ්‍රී.ල.නි.ප.ය දැන් කියාගෙන යනවා ඒ ගොල්ලෝ බලයට ඇවිත් යූ.ඇන්.පී. නායකයන්ගේත් ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා. ඒ අයට කවදාවත් ඒක කරන්න ලැබෙන්නේ නැහැ. මීට පස්සේ කවදාවත් කිසිම පක්ෂයකට තුනෙන් දෙකක් ගන්න බැහැ…” මේ ජේ.ආර්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වලා දීලා කී කතාවය.

ජේ.ආර්.ගේ ඒ කතාවට අනුවත් මහින්දගේ ආණ්ඩුවට තුනෙන් දෙකක් ගන්න බැරි බව පැහැදිලිය.
තුනෙන් දෙකක් ගන්න බැරි වුණත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබාගත් පසු එ.ජා.ප.යෙන් හෝ සුළු ජාතික පක්ෂවලින් මන්ත්‍රීවරුන් කඩලා ගන්න පුළුවන් වේ යැයි ආණ්ඩුව හිතයි. එහෙම ගන්න නම් ඇමැතිකම් දෙන්න සිදුවේ. එවිට ඇමැති මණ්ඩලය 35ට අඩු කරනවා යැයි අද ආණ්ඩුව දෙන පොරොන්දුව ඉටු කරන්න බැරිය.

ඇමැති මණ්ඩලය අඩු කිරීම, ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න දුන් පොරොන්දුවකි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය මුදලෙහි ඉතිරි කොටස දීම නතර කර ඇත්තේ මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව අයි.එම්.එෆ්. එකට දුන්න පොරොන්දු ඉටු කරනවාද කියා බලන්නටය. ඇමැති මණ්ඩලය අඩු කරන්න ගියහොත් එ.ජා.ප.යෙන් මන්ත්‍රීවරුන් කඩා ගැනීම පහසු වන්නෙ නැත. සුළු ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බා ගැනීම ලෙහෙසි වන්නේත් නත. සන්ධානය ඇතුළේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිධූර අඩු කළොත් සන්ධානය ඇතුළෙන්ම අවුල් මතු වෙයි. මේ හැමටත් වඩා අයි.එම්.එෆ්. එකට දුන්න පොරොන්දු ඉටු කරන්න බදු වැඩි කරන විට බඩු මිල ඉහළ යයි.පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ වලට ආණ්ඩුව සපයන සහනාධාර කපන්න ගිය විට ඒ බර දරන්න වෙන්නේ ජනතාවටය. රාජ්‍ය සේවය කප්පාදු කොට රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම් නතර කරන්න ගිය විට රාජ්‍ය සේවය තුළ ප්‍රශ්න මතුවෙයි. මේවායින් රටේ අසහනය වැඩි වෙයි. ආණ්ඩු විරෝධය ඇවිස්සෙයි.

ඒත් ආණ්ඩුව හිතන්නේ අවුරුදු 7කට ජනාධිපතිකම ලියා ගෙන අවුරුදු 6 කට පාර්ලිමේන්තුවක් ලියා ගත්තාට පස්සේ ආණ්ඩුව ඇතුළේ අවුල් ඇති වුණත් රටේ අසහනය සහ ජනතාවගේ ආණ්ඩු විරෝධය වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ යැයි කියාය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉවර වෙන කන් අයි.එම්.එෆ්. යෝජනා ඉටු කරන්න ආණ්ඩුව කල් ගත්තේ ඒ නිසාය.

මේ රටේ බලයට පත් හැම ජනාධිපතිවරයකුම දෙවැනි නිල කාලය ලබා ගැනීමෙන් පසු හිතුවේ එහෙමය.

ජේ.ආර්. ජනාධිපති නිල කාලය අවසන් වීමට කලින් ජනාධිපතිවරණයට ගොස් ජනමත විචාරණයකින් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තව වසර 6කට දික්කර ගෙන දැන් ඉතින් සැනසීමේ ආණ්ඩු කළ හැකි යැයි සිතුවේය.

ඒත් දෙවැනි නිල කාලයට ජනාධිපතිවරණය දිනා අවුරුද්දක් යන්න කලින් 83 ජුලි කෝලාහලය පටන් ගත්තේය. උතුරේ යුද්ධය ආරම්භ විය. ජේ.ආර්.ගේ පළමු නිල කාලයේ තිබුණ ජනප්‍රියත්වය දෙවැනි නිල කාලයෙන් බින්දුවට බැස්සේය. පළමු කාලය අවසන් කරන විට පක්ෂයට නැතුව බැරිව හිටපු ජේ.ආර්. දෙවැනි නිල කාලය අවසන් කරන විට පක්ෂය 1988 ජනාධිපති ඡන්ද ව්‍යාපාරයට වැද්ද ගන්නත් බය විය. හේතුව ජේ.ආර්. ඒ තරමට ජනතාවට එපා වී සිටීමය. ජේ.ආර්.ගේ දෙවැනි නිල කාලයේ අන්තිම අවුරුදු දෙක වූ 1987 සහ 1988 රට ආණ්ඩු කළේ ජ.වි.පෙ. තුණ්ඩු කෑල්ලය.

චන්ද්‍රිකාගේ දෙවැනි නිල කාලයත් එසේය. 1999 ජනාධිපතිවරණයෙන් දෙවැනි නිල කාලය ලබාගෙන ඇය 2000 මහ ඡන්දයකට ගියාය. 2000 ඇය පිහිටවපු ආණ්ඩුව අවුරුදු එකක්වත් තිබුණේ නැත. ඇමැති මණ්ඩලයේ වෙනස්කම් කරන්න ගොස් 2001දී ආණ්ඩුව වැටුණි. 2001 සිට 2004 දක්වා ඇය ජනාධිපතිධූරයේ හිටියේ කිසිම දෙයක් කරගන්න බැරිව අන්ත අසරණ වෙලාය. 2004දී ඇය යළි ආණ්ඩුව ගත්තත් රට ආණ්ඩු කළේ ජ.වි.පෙ.ට ඕනෑ විදිහටය. ඒත් 2004 සිට 2005 වන තෙක් අවුරුද්දක් පමණි.

එතැන් සිට ආණ්ඩුවේත් පක්ෂයේත් නායකයා ලෙස මතු වූයේ අගමැති මහින්දය.

ප්‍රේමදාස නම් ඔහුගේ පළමු නිල කාලයේ හතර වන අවුරුද්ද අවසන් වී පස් වන අවුරුද්ද ලබන විට හතර ගාතෙන් වැටුණි. පළමු නිල කාලයේ තුන්වැනි අවුරුද්දේ අග ආ දෝෂාභියෝගයෙන් ඔහු බේරුණත් පස්වන අවුරුද්ද ලබන කොට සිදුවූ ලලිත් ඝාතනයෙන් ඔහු බින්දුවටම වැටුණි.

ඇත්තටම 1977 සිට එක පිට එක ඡන්ද පැරදී විපක්ෂයට වෙලා සිටි ශ්‍රී.ල.නි.ප.යට පණ ආවේ ශ්‍රී.ල.නි.ප.ය ඉවර වෙයි කියලා හිතපු 1989 මහ මැතිවරණයෙන් පසු ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේය.

චන්ද්‍රිකා නායිකාවක් හැටියට මතු වුණේත් මහින්ද නායකයකු හැටියට මතුවුණේත් ඒ කාලයේය. එස්.බී., මංගල, අනුරුද්ධ, ජෙයරාජ්ලා හැදුණේ ඒ කාලයේය. කොටින්ම වසර 17කට පසු එ.ජා.ප. ආණ්ඩුව පෙරළන ශ්‍රී.ල.නි.ප. ටීම් එක එළියට ආවේ ඒ කාලයේය.

1994 සිට 2002-2003 ඇරෙන්න එක පිට එක ඡන්ද පැරදුණ එජාපයට මේ මහ ඡන්දය දිනන්න බැරි වුණත් අලුත් ටීම් එකක් හදා ගන්න පුළුවන් නම් ලාල් කාන්ත කියන ආණ්ඩුව හදන වැඩේ මේ මහ ඡන්දෙන් බැරි වුණත් තව අවුරුදු දෙක තුනකින් කර ගන්න අමාරු නොවනු ඇත.

මොකද මෙරට විධායක ජනාධිපතිවරුන්ගේ ඉතිහාසය කියවන විට දෙවැනි නිල කාලය කියන්නේ බහින කලාවටය. කන්දක් නැග්ගෝත් පල්ලමක් තියේ. මෙරට ජනාධිපතිවරුන් පළමු නිල කාලයේ නගින කන්දෙන් පල්ලම් බහින්නේ දෙවැනි නිල කාලයේය. මහින්දටත් ඒකම වේ දැයි තවම කියන්න කල් වැඩිය.

ලංකාදීප, 2010 මාර්තු මස 11වන බ්‍රහස්පතින්දා

– උපුල් ජෝශප් ප්‍රනාන්දු

දැන්වත් රට හදන්නනම්…!!!

Click here to get Sinhala Unicode

එක්සත් ජාතික පක්ෂය යනු ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂයයි. නමුත් බොහෝ සන්ධාන පාක්ෂිකයින්ට මේක ප්‍රශ්නයකි. ඔවුන් නිතරම අපෙන් අසන්නේ “ඇයි ඔයාලා තාම යූඇන්පී එකට ඡන්දෙ දෙන්නෙ” කියලාය.  සමහර දේශපාලනඥයන් තවත් පරතරයට ගොස් පවසන්නේ යූඇන්පියට ඡන්දය දෙන්නේ පිදුරු, තණකොළ අනුභව කරන අකෘතඥයන් බවයි. තවෙකෙක් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එතරම් වෙනසක් නැති බවයි. නමුත් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු නොවේ. එක්සත් ජාතික පක්ෂය යනු ඉතා ගැඹුරුතර මතවාදයකි, දර්ශනයකි, විශ්වාසයකි. එහි පදනම වනුයේ කවුරුන් නිවැරදිද යන්නට වඩා කවරක් නිවැරදිද යන චින්තනයයි. එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය ගැබ්ව ඇත්තේ මෙම දැවැන්ත මතවාදය, දර්ශනය මත පදනම්වය. බොහෝ දෙනා විරුද්ධ වෙන්නන් වාලේ එජාපයට විරුද්ධ වන්නේ එජාපයේ දර්ශනය පිළිබඳව අංශුමාත්‍රීය හෝ අදහසක් නැතිවය.

මොකද්ද ඒ දර්ශනය?? එක්සත් ජාතික පක්ෂය යනු සමාජ වගකීමකින් හෙබි විවෘත ආර්ථිකයක් (Socially Responsible Market Economy) කෙරේ විශ්වාසය තබන පක්ෂයකි. ලොව සංවෘත ආර්ථිකයකින් දියුණු වූ රටක් නොමැත, මෙය ප්‍රත්‍යක්ෂ යථාර්තයකි, වත්මන එජනිසය සමඟ සැරිසරන එස්.බී. දිසානායක මහතා මීට මාස කිහිපයකට පෙර පළ කෙරුණු තම ග්‍රන්ථයේදී මේ කාරණාව තවදුරටත් තහවුරු කළේ උදාහරණ සහිතවය. 70-77 සංවෘත ආර්ථිකයේ අත්දැකීම් අපේ ජ්‍යෙෂ්ඨ පරපුරෙන් අප අසා ඇත්තෙමු. විවෘත ආර්ථිකය යන්නෙන් සීමාරහිත ලෙස ආර්ථිකය විවෘත කිරීම අදහස් නොකෙරේ. ඉන් යම්කිසි පාලනයකින් යුක්තව ආර්ථිකය විවෘත කෙරෙන්නේ රටේ පාරිභෝගිකයින්ටත්, නිෂ්පාදකයින්ටත් යන දෙකොට්ඨාශයටම සෙත සැලසෙන පරිද්දෙනි. වෙසෙසින්ම එක්සත් ජාතික පක්ෂ චින්තනයේ මූලිකාංගයක් වන්නේ සහනශීලී බදු බරයි. ජනතාව කෙරේ අධික බදු පනවනවා වෙනුවට නිවැරදි ප්‍රතිපත්ති සහ කළමණාකරණය හරහා නව නිෂ්පාදන මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා දිරිගැන්වීම මෙහි විශේෂත්වයකි. බොහෝ දෙනෙක් කතා කරන සහනාධාර වෙනුවට එජාපය දිරිගන්වනුයේ අවස්ථාවන්ය, සමාජයේ එක් කොටසකට සහනාධාර දීම උදෙසා තවත් කොටසක් බදු බරින් පෙලෙනවා වෙනුවට ස්වකේය කුසලතාවන් අනුව දියුණු විය හැකි මාර්ගයක් කෙරේ යූඇන්පී අපි විශ්වාස කරමු. සැමට එක හා සමානව තම වෘත්තීන්ගේ නිරත වෙමින් නැගී සිටිය හැකි සමාජයක් යෝජනා කරන අප සමාජයේ අනේක විධ ගැටළුවලට මුහුණපාන දුප්පතුන්ගේ ප්‍රශ්නවලට එදා වේල පමණක් තහවුරු කෙරෙන පැලැස්තර විසඳුම් වෙනුවට දිගුකාලීන තිරසාර විසඳුම් කෙරේ විශ්වාසය තබමු. සංවර්ධනය වූ කලී භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනය පමණකැයි ඇතැමෙක් සිතුවද එජාපයේ අපි සිතන්නේ සංවර්ධනය යනු පාලම් බෝක්කු ඉදිකිරීමට එහා ගිය නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූවක් බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය උදහස් නගන පරිදි කොපමණ පාලම්, බෝක්කු, පාරවල් පහුගිය වසර 6 තුළදී නිම කර තිබුණද 2009 අප රටේ අපනයන ප්‍රමාණය 2008ට වඩා 13%කින් පහළ බැස තිබුණි. මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති අගය කරන්නන්ට සිතන්නට යමකි, ඔය කියන සංවර්ධන ඇත්තටම සිදු වුණා නම් සන්ධානයේ දේශීය ආර්ථික ප්‍රතිපත්තිය හරහා මහ බැංකු වාර්තා අනුව එතරම් දරුණු ලෙස අපනයන ප්‍රමාණය පහළ බසින්නේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තීන් හැර අන් කවර හේතුවක් නිසාද??

අනෙක් අතට එජාපය විශ්වාස කරන විදේශ ප්‍රතිපත්තිය නම් ලොව සෙසු රටවල් සැමෙකක් සමඟම මිතුදම් පවත්වමින් ලෝකය සමඟ පෙර ගමන් යෑමයි. ලොව කොන් වූ රටක් ලෙස නැගී සිටීමේ ප්‍රායෝගික දුෂ්කරතාව එජාපය හොඳින් වටහා ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට සියළු ජනවර්ග සහ ආගම් නියෝජනය කෙරෙන සැබෑ ලෙසම එක්සත්වූත් ජාතිකවූත් පක්ෂයකි. 1946 සැප්තැම්බරයේ අපේ පක්ෂය ඇරැඹුණු දා පටන්ම අප ජනවාර්ගික සහයෝගීතාව අගය කළෙමු. සෑම ජනවර්ගයකටම තමන්ගේම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුක්තව අභීතව ජීවත්විය හැකි සමාජයක් ගැන යූඇන්පිය විශ්වාස කරයි. ඒ පදනම මත 1948දී මෙරටට නිදහස දිනා දීමට මූලික වූයේ එජාපයයි. ඇත්ත වශයෙන්ම එදා ඩී.ඇස්. සේනානායක ඇතුළු පතාකයින් යූඇන්පිය නිර්මාණය කරනුයේ ඒ පදනම මතිනි. බෞද්ධ දර්ශනය සුරැකුමට ප්‍රමුඛ ලෙස ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විශ්වාසය කළද අන් කිසිඳු ආගමකට අවැඩක්, අසාධාරණයක් නොවන පරිද්දෙන් කටයුතු කරමින් ජනතාවගේ ආගමික නිදහස තහවුරු කරලීම එජාපයේ මතවාදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට නුසුදුසු පක්ෂයකි. එකම රටක් තුල විධිමත් ලෙස බලය බෙදා හැරීම හරහා උතුරු, නැගෙනහිර පමණක් නොව සමස්ථ රටේම ජනතාවගේ සමාජ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සිදුවිය යුතුය යන්න එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් සුදුස්සාට කිසිඳු භේදයකින් තොරව සුදුසු තැන ලැබෙන සමාජයක් ගොඩ නැගීම එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

එදා, 1990 දශකයේ මුල භාගයේදී තමාව කැබිනට් මණ්ඩලයෙන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා නෙරපූ විටදීද සිරිලක බිහිවූ කෘතහස්තම දේශපාලනඥයකු වූ ගාමිණි දිසානායක මැතිඳුන් පක්ෂය හැර නොයෑමට ගත් තීරණය වරෙක ඔහු ලංකාදීපයට කියා පෑවේ මෙපරිද්දෙනි

ප්‍ර : ඔබ කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එජාප කෘත්‍යාධීකාරී කමිටුවෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එජාප පාක්ෂිකයකු ලෙස රැඳී සිටින්නේ ඇයි?
පි : එජාපය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල් සහමුලින්ම මාගේ ඇතුලාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.

මේ අතර යූඇන්පියේ ප්‍රධාන ප්‍රතිවාදියා එදා පටන්ම රදළ කුලයේ වලව් පැලැන්තියේ අණසකට යටත්ව තිබුණද එක්සත් ජාතික පක්ෂය ඕනෑම තරාතිරමක පුද්ගලයකුට හිණිපෙත්තටම පා නැගිය හැකි වාතාවරණයකින් හෙබි පක්ෂයකි. කොළඹ දුප්පත් වෙළෙන්දෙකු වූ රණසිංහ ප්‍රේමදාස සහ කන්ද-උඩරට, පිළිමතලාව ග්‍රාමයේ සමූපකාර පර්යේෂකවරයකු වූ ඩී.බී. විජේතුංග යන දෙපළ පක්ෂ නායකත්වයට මෙන්ම රටේ ජනාධිපතීත්වයට පත්වූයේ මෙම කරුණ සනාථ කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති රාමුව තුල ඒ ඒ සාමාජිකයාට අනන්‍ය මතයක් දැරීමේ නිදහස එහි පාක්ෂිකයන්ට හිමිවන්නේ පක්ෂයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික මූල බීජයන් කෙරේ අවධානය යොමු කරමිනි. මින් දේශපාලනික එහෙයියන් වෙනුවට තම වගකීම හැඳිනගත් පුද්ගලයින් බිහිවේ. එදා යූඇන්පිය හදීසි නීතියට පක්ෂ වෙද්දී මහේෂ්වරන් මන්ත්‍රීතුමා විරුද්ධ වෙද්දී පක්ෂය ඔහුව එජාපයෑන් නෙරපූවේ නැත, ළඟකදී කේ.එන්.චොක්සි මහතා පක්ෂය තුල සිටිමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ප්‍රශස්ථි ගැයූ නමුත් මෙවරත් ඔහුව එජාප ජාතික ලැයිස්තුවට එකතු කර ඇත්තේ එබැවිනි.

අතීතයේ පටන් එජාපය සිරිලක තුල යෝධ සංවර්ධන ව්‍යපෘති දියත් කර තිබේ ගල්ඔය, කඩිනම් මහවැලිය, කොළඹ බහලුම් වරාය, නිදහස් වෙළඳ කලාප, ලංකාවට අන්තර්ජාල සහ ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දීම, ජනසවිය යනාදිය මින් අතලොස්සක් පමණෙකි. පහුගිය රජය ඇරැඹූ සංවර්ධන යෝජනා ක්‍රම රැසකටද එකඟතා ගිවිසුම් අත්සන් කෙරුණේ පසුගිය එජාප රජය විසිනි (නමුත් ඒවා අඛණ්ඩව දියත් කිරීම ගැන අප එම රජයට කෘතඥ විය යුතුය ). මේ සියල්ල ජයගත හැකි වූයේ එජාපයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් මේ සංවර්ධන ඉලක්ක වලට අවැසි පරිසරය ගොඩ නගාලීමයි.

ලලිත් ඇතුලත්මුදලි මහතා වරෙක ඉතා බුද්ධිමත් ලෙස කළ ප්‍රකාශය එක්සත් ජාතික පාක්ෂිකයා හඳුන්වා දීමට කදිමයැයි මට හැඟේ.

“කවුද හරි කියා නොව කුමක්ද හරි කියා සිතන්න (What’s right, not who’s right)”

එක්සත් ජාතික පක්ෂය කොපමණ මැතිවරණ පරාජය වුවද එජාපයේ දැවැන්ත මතවාදී දර්ශනය කිසිදා පරාජය නොවනු ඇත. එය දිනෙන් දින දිදුලනු ඇත. මක්නිසාදයත් එක්සත් ජාතික පක්ෂය, තම දෑතේ දෙපයේ වීර්යයෙන් කාටත් අත නොපා නැගී සිටින දේශප්‍රේමී මිනිසුන්ගේ දේශපාලනික තීර්ථ යාත්‍රාව නිසාය.

දෙනෙත් හැර බලන්න. එජාපයේ ජීව ගුණය තේරුම් ගන්න. ඊට එකඟ වුවත් නැතත් රටේ සුබසිද්ධිය තකා මිනිසුන් විවේචණය කරන කලාවෙන් ඈත්ව ප්‍රතිපත්ති විවේචණය කරන කලාවට හැඩ ගැසෙන්න.

ඔබට, රටට ජයෙන් ජය…!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

ජානක තිස්සකුට්ටිආරච්චි මහතාට සිදුවූ අසාධාරණය හෙළා දකිමු…!!!

ජානක තිස්සකුට්ටිආරච්චි යනු ඌව පළාත් සභාවේ ලාබාලතම මන්ත්‍රීවරයාය. පසුගිය ඌව පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කණ්ඩායමෙන් වැඩිම මනාප දිනාගත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතාගේ ඥාති පුත්‍රයෙකි. මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නියමිතව සිටි හෙතෙම ඒ සඳහා නාම යෝජනා අත්සන් කළද මොණරාගල එජාප පතාකයින් විසින් අතිශය පහත් අන්දමින් ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට ඔවුනගේ හිතෛෂියකු වන චමින්ද සේනක රත්නායක මහතාට නාමයෝජනා ලබා දී ඇත.

මෙම ක්‍රියාව මොණරාගල එජාප දැවැන්තයින් මෙම නවක දේශපාලනඥයා කෙටි කලක් තුල බිහි කරගත් ප්‍රතිරූපයට බියේ සිදු කරන ලද ලාමක ක්‍රියාවකි. එය අපි දැඩි ලෙස හෙළා දකින අතර මේ වන විටත් චූදිතයන්ට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ මෙන්ම අපරාධ පරීක්ෂණ අංශය විසින්ද පරීක්ෂණ දියත් කොට තිබේ. මේ පරීක්ෂණවලින් වැරදිකරුවන්ට නිසි දඬුවම් පමුණුවනු ඇතැයි අප උදක්ම අපේක්ෂා කරමු.

පහුගිය පළාත් සභා මැතිවරණයේ මොණරාගලින් සන්ධානය 81%ක්වූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිත්දී එජාපය හිමි වූ ඡන්ද 30,509න් 13,000ක් ඉක්මවූ මනාප ප්‍රමාණයක් දිනා ගත් තිස්සකුට්ටිආරච්චි තරුණ මන්ත්‍රීවරයා ඉතා ජවසම්පණ්ණ දේශපාලනඥයකු ලෙස ඉතා කෙටි කලකදී නමක් දිනා ගැනීමට සමත් වී ඇත.

මේ අසාධාරණය සදාහරිත අපි හෙළා දකින ගමන්ම මීට සම්බන්ධ පාර්ශව වලට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින අතර අසාධාරණයට ලක්වූ ජානක තිස්සකුට්ටිආරච්චි තරුණ මන්ත්‍රීවරයාට සාධාරණයක් ඉටු වනු වස් ඔහුව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සලකා බලන ලෙසත් බොහොම උවමනාවෙන් ඉල්ලා සිටින්නේ මේ අසාධාරණයට විරෝධතාවය ගොනු කරමිනි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –