රටේ විශාලතම පළාත් දෙක පළාත්සභා මැතිවරණයකට පෙළ ගැසෙන මොහොතක වටපිටාවේ සිදුවන දෑ දැක දැක දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය නොහැකි හෙයින් මේ ලිපිය ලිවීමට පෙළඹුණෙමි. මේ ලිපිය හරහා රටක්, ලොවක් පෙරළන්නට නොහැකි බැව් මා ඉතසිතින්ම දනිමි. එහෙත් රැල්ලට හසුවී වැරදි මගක යන ඔබගෙන් එක් අයෙකුට හෝ සිතන්නට යමක් ලබා දුනහොත් එය මට සතුටට කරුණකි.
ජිනීවා විදුලි පුටු සංදර්ශනය
රටේ සියළුම ජනතාව කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජෙනරාල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ආරක්ෂක ලේකම්තුමා ඇතුළු රජයට හිමිවිය යුතු බව රටම පිළීගනී. නමුත් එකී භාරදූර කර්තව්‍යය නිමවී වසර 5ක් ගෙවුණු තැනදීත් ඒ විරෝධාරත්වය විකුණාගෙන ඡන්ද ගැරීමේ පහත් ක්‍රියාවට රජය ඇතුළු එහි පාර්ශවකරුවන් සම්මාදම් වෙමින් සිටියී. ඒ ජිනීවා විදුලි පුටුවක් මවා පාමිනි.
පළමුව ඔබ ප්‍රශ්න කළ යුත්තේ වසර මැද පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් ඡන්දය සහ වසර අග පැවැත්වීමට නියමිතව තුබූ දකුණු පළාත් ඡන්දය මාර්තුවට ගත්තේ කාගේ උවමනාවකටද යන්නයි? මාර්තු 27 ජිනීවා යෝජනාව ඉදිරිපත්වන බව දැන දැන මාර්තු 29 ඡන්දයට දින නියම කළේ ඇයි? රජය කියන්නේ ලෝකයට පෙනෙන්නට බුලත් කොළයට කතිරය ගසන්නට කියාය. ඒ තර්කයට අනුව අපේ පළාත් සභා දෙස බලා ඉන්නවා ඇර වෙනත් දෙයක් ඔබාමාට, කැමරන්ට, නවනීදන් පිල්ලේට කරන්නට නැත. ඔවුන්ට මේ ඡන්දය ගැන නිච්චියක්වත් නැතිවාට සැක නැත, මන්ද තමන්ගේ රටේ ඡන්ද, ණයබර, ක්‍රිමියාව යනාදී බොහෝ ප්‍රශ්න ඔවුන්ට අපේ රටේ පළාත් සභා දෙකකට වඩා වැදගත්ය. අනෙක් අතට, පහුගිය වසර 5 ඇතුළත පැවැත්වූ පළාත්සභ මැතිවරණ සියල්ලම පාහේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේය. ඒ නිකම් නොවේ, සියයට 60ක, 65ක – ඇතැම්විට 70%ක ඡන්ද ප්‍රතිශත වලිනි! එසේ නම් සන්ධානයේ තර්කය නිවැරදි නම් ඔය කියන බටහිර බලවේග නැට්ට අකුළාගෙන වෙනතක් බලාගෙන හුඟක් කල් ගත විය යුතු නොවන්නේද? එසේත් නොමැතිනම් පසුගිය වයඹ, මධ්‍යම ආදී මැතිවරණ පවතිද්දී එකී බලවේග මරනින්දේ සිටියේද?
මේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවක් ගෙනා පළමුවන අවස්ථාව නොවන්නේය. 1980 දශකයේදී ආජන්ටිනාව විසින් අපට එරෙහිව යෝජනාවක් ගොනු කළ විට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “අනේ මාව විදුලි පුටුවෙන් බේරගන්න” කියා විලාප දෙමින් ඡන්ද තිබ්බේ නැත. ඔහු ඒ.සී.එස්. හමීඩ් වන් අමාත්‍යවරුන්ගේ සහයෙන් රාජ්‍යතාන්ත්‍රිකව ජාත්‍යන්තර සහය ශ්‍රී ලංකාවට දිනා ගෙන අදාළ යෝජනාව පරාජය කළේය.
මානව හිමිකම් කවුන්සලය හමුවේ ගෙන ආ ඇති මෙම චෝදනා විජාතික බලවේග විසින් කුමන්ත්‍රණකාරී ලෙස රටේ අවාසනාවට ඔප්පු කරගත්තා යැයි මොහොතකට සිතමු – එය එසේ වුවත් ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැති නිසා ඔවුනට අපේ රටවැසියන්ට එදිරිව දඬුවම් පැනවීමේ බලය නොමැත.
ජනමත විචාරණයක් තිබ්බ නම් නරකද?
පක්ෂ භේදයෙන් තොරව ඔබ අප කවුරුත් රටට අහිතක් වනවාට අකමැතිය. රජයට හෝ අපේ විරෝධාර හමුදාවන්ට යුද අපරාධ චෝදනා නැගෙනවාට අපි සැවොම විරුද්ධය. එසේ නම් මෙවන් මොහොතක රජයට කළ යුතුව තිබුණේ පළාත් ඡන්දයකට ගොස් ජනතාව පක්ෂවලට කඩා ඉසිරුවනවා වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීම නොවන්නේද? එයින් රජය පවසන අන්දමට “ලංකාවට අත නොතබනු” යන පණිවුඩය අප කවුරුත් පාහේ එක සිතින් කියා පානු ඇත.
අනෙක් අතට පදනම් විරහිත යුද අපරාධ චෝදනාවලට අමතරව, මේ යෝජනාව තුළින් රතුපස්වල මිනීමැරුම, කටුනායක ඇඟලුම් සේවක ඝාතනය, හලාවත ධීවර ඝාතනය යනාදිය ගැනද සඳහන් කර ඇත. යුද අපරාධ චෝදනා නම් වූ පළිහ ඉදිරියට ගෙන හැර පාමින් රජය නොකියා කියන්නේ එකී ම්ලේච්ඡ ක්‍රියාද ජනතාවට සාධාරණීකරණය කරන්නට කියාද?
ඉහත කීවාක් මෙන් රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන ගෙවුණු වසර 5 තුල රජය විසින්ම ගෙන හැර දැක්වූ “උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන්” (LLRC) වාර්තාවේ නිර්දේශ මීට වඩා යුහුසුළුව ක්‍රියාවට නැගුවේ නම් මෙතරම් පීඩනයක් රජයට එල්ල නොවනු ඇත. ප්‍රශ්නය ඇත්තේ සන්ධානයේ මහජන සම්බන්ධතා සහ ප්‍රචාරණය ඉහළ අඩියක පැවැතියද ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ විදේශ සම්බන්ධතා ළදරු මට්ටමක පැවතීමයි.
දේශප්‍රේමයේ ඒකාධිකාරය
ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කොටස් රඟ දෙනුයේ ඔවුන් දේශප්‍රේමයේ ඒකාධිකාරී පේටන්ට් බලපත්‍රයේ හිමිකරුවන් විලෙසිනි. එය සැබැවින්ම එලෙසද? ලංකාවට කුඩු, එතනෝල් යනාදිය හොර පාරේ ගෙනෙද්දී ඔවුන් එකකුවත් කෑ මොර දෙන්නේද? ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් විවිධ නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා කළ විට ඔවුන් මුනිවත රකින්නේ රටට ආදරයටද? දේශප්‍රේමය කිසිවකුගේ තනි බූදලයක් නොවන්නේය. පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවකින් තොරව රටේ අභිවෘද්ධිය පතන සිංහල, දෙමළ, මුස්ලිම්, සන්ධාන, යූඇන්පී, ජේවීපී අප සියල්ලෝම දේශප්‍රේමීන් නොවේද?
අධිරාජ්‍යවාදය ඇත්තේ බටහිර පමණක්ද?
“අධිරාජ්‍යවාදය” යනු දේශපාලන වේදිකාවේ කාටත් හුරුපුරුදු වදනකි. වමේ දේශපාලන පක්ෂ “අධිරාජ්‍යවාදය” අල්ලා ගෙන පැය ගණන් කතා පවත්වති. අධිරාජ්‍ය විරෝධී සීතාම්බර සළුවෙන් සැරසී දේශප්‍රේමීන්ගේ ඡන්ද ගසා කන මොවුන් අධිරාජ්‍යවාදයේ එක් පැතිකඩක් පමණක් ගෙනහැර පෑම අතිශය ජුගුප්සාජනකය.
ඔවුන් නිවැරදිය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවල් තමුන්ගේ ආදිපත්‍යය ලොව පුරා පැතිරවීමට නොගන්නා උත්සහයක් නොමැති තරම්ය. නමුත් “නැගෙනහිර” අධිරාජ්‍යවාදය ගැන කිසිවකු හඬ නොනගන්නේ ඇයි? චීනය, ඉන්දියාව සහ රුසියාව අපේ රටට හොට දාන්නේ, රජයට උදව් කරන අයුරින් ගිණි පොළියට ණය දෙන්නේ අපට ආදරයටද?
අනෙක් අතට අපේ රටේ ආර්ථිකයේ අපනයනයන්ගෙන් 55%ක් රඳා පවතිනුයේ ඇමෙරිකාව සහ යුරෝපය මතය. එබැවින් රටට ධනය ගලා එන්නේ ඉහත කී බටහිර රටවලින් බවත් අපට අධික පොළීවලට ණය දී හිර කරන්නේ නැගෙනහිර රටවලින් බවත් අප මතක තබා ගත යුතුය.
යථාර්තය නම් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ උපක්‍රමික ලක්ෂයක පිහිටා තිබීම නිසා අපගේ ගුවන්, නාවුක හා භූමි අවකාශය ප්‍රදේශයේ බලයට මහත් වැදගත්කමක් ගැනීමයි. එහෙයින් පෙර අපර දෙදිග ලෝක බලවතුන් ලංකාවේ සිය අණසක පැතිරවීමට කැසකැවීම නොරහසකි.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික අප නොබැඳි දේශයක් ලෙස කා සමඟත් සුහදව අපේ ස්වෛරීත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම අතිශය වැදගත්ය. වත්මන් රජය “බටහිර අධිරාජ්‍යවාදී” බිල්ලකු මවා පාමින් අද වනවිටත් අප “නැගෙනහිර සටකපට අධිරාජ්‍යවාදීන්ගේ” ඔඩොක්කුවට වට්ටවා හමාරය. ශ්‍රී ලංකාව චීනයට, ඉන්දියාවට කොපමණ ණයද? රුසියාව හිතුමතේ ස්වෛරී රාජ්‍යයක් වූ යුක්‍රේනයේ ක්‍රිමියාව නම් පළාත අත්තනෝමතිකව අල්ලා ගත්තා සේ ඉන්දියාවත් උතුරු නැගෙනහිර අල්ලා ගැනීමට කුරුමානම් නොඅල්ලන බවට ඇති සහතිකය කුමක්ද? මීට වසර දහයකට පෙර සහ අද සසඳද්දී ලංකාවේ සේවය කරන චීන සහ ඉන්දීය ජාතිකයන්ගේ ප්‍රමාණය වැඩි වී නැතිද? සිදු වී ඇත්තේ චීනය විසින් ඇමරිකාව ඇ.ඩො. ට්‍රිලියන (බිංදු 12ක්) ගණනක ණය උගුලකට හසු කරගත්තාක් මෙන් අපවද නරා වළකට ඇද දැමීමයි.
ඇමරිකානු විරෝධයේ සුලමුල
ඔබ මෙවර මැතිවරණය ගැන තවත් නොදන්නා කරුණක් ඇත. රටටම ඇසෙන්නට “ඇමරිකානු විරෝධය” ගැන කෑ මොර දෙන අයවලුන් ගැන ඔබ මොහොතක් සිතන්න. ඔවුන්ගෙන් බහුතරයක් ඇමෙරිකාවේ පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය (PR – Permanent Residence) හිමිද? රටේ ප්‍රබල පක්ෂයක භාණ්ඩාගාරිකවරයකුගේ සිට ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන්ම දකුණේ මහ ඇමැතිකම අපේක්ෂා කරන කණ්ඩායම් නායකයා දක්වා කොපමණක් ඉහත ඝණයට අයත්ද? මේ “දේශප්‍රෙමීන්” බහුතරයකගේ දරුවන් ඉගෙනගන්නේ ඉන්දියාවේ, චීනයේ හෝ රුසියාවේද? නොඑසේනම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවලද? ඔච්චරටම ඇමෙරිකාවට විරුද්ධනම් ඒ රටේ පාස්පෝට් යළි භාර නොදෙන්නේ ඇයි? රටේ ප්‍රබල ඇමැතිධූර, රාජ්‍ය තනතුරු දරණ ඇතැම් මහත්වරුන් සිය සොහොයුරා රටේ රාජ්‍ය නායකයා වනතුරු සිටියේ කොහේද? ඔවුනට එසේ වුවත්, සාමාන්‍ය අපට නම් ඇත්තේ එක රටකි, ඒ ශ්‍රී ලංකාද්වීපය පමණි.
සංවර්ධනය නම් වූ සෙප්පඩ විජ්ජාව
මේ රජයෙන් පසුගිය පොදුජන එක්සත් පෙරමුණු රජයට වඩා විශාල සේවයක් රටට සිදු වී ඇති බැව් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනපතිනිය හැර අන් සියල්ලෝම පාහේ එකඟ වනු ඇත. නමුත් එය සැබෑ සංවර්ධනයක්ද යන්න ඔබ හිතට එකඟව ප්‍රශ්න කරන්න.
මහාමාර්ග සහ අධිවේගී මාර්ග ඉදිකිරීම ඉතා යහපත් කටයුත්තකි. එහෙත් කාපට් පාරට උඩින් කාපට් දමනවාට වඩා මේ රටේ ධනස්කන්ධය වැය විය යුතු ව්‍යාපෘති නොවේද? ගමේ කොන්ක්‍රීට් පාරේ සිට නගරයේ කාපට් පාර දක්වා වෙන මේ සංවර්ධනයට මුවාවෙන් කොපමණ ධනයක් රජයේ දේශපාලකයින් මංකොල්ල කනවා ඇතිද? මෙපමණක් නොව, රජය විසින් අමුඅමුවේ සිදු කරන මූල්‍ය වංචා ගැන කෝප් කමිටු (COPE) වාර්තාවල පැහැදිලිව සඳහන්ව ඇත. එහෙත් ඊට එරෙහිව බලධාරීන් ගෙන ඇති පියවර කවරේද?
පසුගිය මාසය තුල ජනාධිපතිතුමා ඇතුළු සන්ධානය විසින් දකුණු සහ බස්නාහිර පළාත්වල කාපට් මාර්ග, පාසල් ගොඩනැගිලි යනාදී භෞතික සම්පත් තොග වශයෙන් විවෘත කරමින් සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම පාහේ යොදා ගනිමින් උත්සහ පවත්වාගෙන යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ රජයේ සැබෑ උවමනාව ජනතා සුබසිද්ධියට වඩා තම බලය රැකගැනීම බවයි. එසේ නොවන්නේ නම් රටේ සෙසු පළාත් 7 අමතක කර ඡන්ද කාලයට මේ සියල්ල කරන්නේ මන්ද?
පසුගිය කාල සීමාව තුල රජය ගොඩ නැගූ “සංවර්ධන” ව්‍යාපෘති කීයක් රටට ආදායම් උපද්දවයිද? ඉන් කීයක් දහස් සංඛ්‍යාත රැකියා සමුදායක් උපද්දවයිද? හම්බන්තොට කෝටි ප්‍රකෝටි ගණනක් වැය කර ගොඩ නැගූ සුවිසල් ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ පවත්වා ඇත්තේ ක්‍රිකට් තරඟ 5ක් පමණකි. හම්බන්තොටට යනෙන ඔබට සුපිරි මහාමාර්ග දැකගත හැකි වුවද, ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා බවක් දැකගත හැකිද?
මත්තලට ගුවන් සමාගම් බර ගණනක් පියාසර කරන බවට එහි විවෘත කිරීමේ උත්සවයට පෙර පාරම් බෑවද අද වනවිට ශ්‍රී ලන්කන්, මිහින් ලංකා සහ ගුවන්තොටුපල කාර්යමණ්ඩල සේවකයින් හැර වෙනත් කිසිඳු සාමාන්‍ය වැසියකු ගුවනින් මත්තලට නොපැමිණෙන තත්ත්වයක් උද්ගතව ඇත. වෙනකක් තියා අඩුම තරමේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම්වත් මත්තලට ආකර්ෂණය කරගැනීමට රජය අපොහොසත්ව ඇත. බලෙන් මෝටර් රථ ප්‍රවාහන නෞකා ගෙන්වා නොගන්නේ නම් හම්බන්තොට වරායටද අත්වන්නේ එම ඉරණමමය. සූක්ෂම කළමණාකරණයෙන් සහ උපක්‍රමික සැලසුම් තුලින් මෙවාට අනාගතයේදී පණගසා නැගිට්ටවිය හැකි වුවද රජයේ ඔතෑනි පිළිවෙත් හමුවේ දැයට සුදු අලි ව්‍යාපෘති දායාද වී ඇත. මේ රජයේ “සංවර්ධන සංදර්ශනයේ” එක් පැතිකඩක් පමණකි.
එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් සිදුකළ මහවැලිය, නිදහස් ආයෝජන හා වෙළඳ කලාප, ගම් උදාව, ඇඟලුම් කම්හල් යනාදී ව්‍යාපෘති හරහා රැකිය අවස්ථා ලක්ෂ ගණනින් ජනිත විය, එමඟින් රටේ භාණ්ඩාගාරයට මුදල් ගැලූ අතර ඒ මුදල් රටේ සුබසාධනයට යෙදවා ජනතාව මත පැටවෙන බදු බර අඩු කළ හැකි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සිදුකළ එවැනි සුවිසල් ව්‍යාපෘති කවරේද? වත්මන් රජය ආයෝජනය කරනුයේ කඩිනම් ආදායම් නොලැබෙන ව්‍යාපෘති වලටය, එයද ගිනි පොළියට ණය ගෙනය. 2005 සිට රටේ ණය බර දෙගුණ වී ඇත් බව ඔබට දැනටමත් දනී. 2004දී රු. 80,000කට ආසන්න අගයක් ගනු ලැබූ ඒක පුද්ගල ණය බර අද වනවිට රු. 350,000 ඉක්මවීමෙන් පෙනී යන්නේ නූපන් දරුවන් පවා චීනයට, ඉන්දියාවට, වාණිජ බැංකුවලට ණයකරුවන් කර හමාර බවය. එහෙව් වටපිටාවක් තුල මේ ණය සහ පුනරාවර්තන වියදම් පියවන්නට අධික බදු ගැසීම පුදුමයක්ද?
පසුගිය වසර 5 තුල ඔබේ ආදායම විශාල ලෙස වැඩි වී තිබේද? රජය විසින් නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ දියණුවක් ඔබ අත්දකින්නේද? ඉතින් ඔබ ඡන්දය දෙන්න ඕනෑ පාරවල් ටිකටද? මොහොතක් සිතන්න.
ඔබ විපක්ෂය සවිමත් කළ යුත්තේ ඇයි?
ඔබෙන් සමහරෙක් තවමත් ජනාධිපතිතුමා ඇතුළු රජයට සහය දක්වනවා ඇත. එසේ කිරීමේ පූර්ණ අයිතිය ඔබ සතුය, ඊට අප ගරුකරමු. එහෙව් ඔබගෙන්ද අප ඉල්ලා සිටින්නේ මේ ලිපියේ තිබෙන කාරණා මැදිහත් සිතින් සිතා බලන ලෙසය. එජාපය, ජවිපෙ ඇතුළු ලෝකයේ සියළුම දේශපාලන පක්ෂ අතීතයේදී වැරදි කර ඇත. නමුත් ඒ වැරදි අවබෝධ කරගෙන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සත් සිතින් වෙර වැඩීම යහපත් ප්‍රවණතාවයක් නොවන්නේද?
ඔබෙන් ඇතැමෙක් රජයට විරුද්ධ වුවත් විපක්ෂයේ පක්ෂ ගැන කලකිරී ඡන්දය නොදී ඉන්නට සිතා සිටිනවා වන්නට පිළිවන. අපගේ සර්වජන ඡන්ද අයිතිය රටට වඩාත් සුදුසු පක්ෂය/අපේක්ෂකයින් (ඔබට උවමනා නම් අඩුවෙන්ම නරක ලෙසද අර්ථ ගන්වන්නට හැකිය) වෙනුවෙන් පළ කිරීම ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඔබේ යුතුකමක්, වගකීමක් වන්නේය. ඔබ එම අවස්ථාව පැහැර හැරියොත් මේ රජය තවත් උදම් වනු ඇත. ඔවුන් මොන දේ කළත් ජනතාව තමන් සමඟම සිටින්නේය යන අධිමානසිකත්වය ඔවුන්ට ඔබ ලබා නොදිය යුතුය. මක්නිසාදයත් රතුපස්වල වන් තවත් නොමනාකම් වලට එය රුකුල් දෙන්නක් වන හෙයිනි. ඒ නිසා රජයේ ඡන්ද ප්‍රතිශතය අඩු කර ඔවුනට රතු එළියක් දල්වා සිතන්නට යමක් ලබාදීමට සුදුසුම කාලය මෙයයි. යුද ජයග්‍රහණයේ වීරත්වයට මුවාව දශක/පරම්පරා ගණනාවක් රජකම් කිරීම මෙම රජයේ මැති ඇමැතිවරුන්ගේ පැතුමයි (මනාප පොරයේ සිටින මන්ත්‍රී දූ පුතුන්, සොහොයුරු සොහොයුරියන් සිහි කැඳවන්න). ඔබ ඊට එකඟතාවය පළකරන්නේද?
ඉතින් විපක්ෂයේ ඔබට සහය දිය හැකි ප්‍රධාන බලවේග තුනකි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එකී බලවේග තුනයි. මේ තුනෙන් විශාලතම බලවේගය වන එක්සත් ජාතික පක්ෂය පිළිබඳව මේ ලිපියේ මීළඟ කොටසින් පුළුල්ව විස්තර කර ඇත. 1964දී පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී පක්ෂයකි, ඔබ ඔවුනගේ විප්ලවකාරී අදහස් පිළිගන්නේ නම් ඔවුන්ට ඡන්දය දීමේ ඉඩහසර ඇත. නමුත් මෑතදී ගොඩනැගූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දර්ශනය කුමක්ද යන්න අපට මහත් ප්‍රශ්නාර්ථයක් ගෙනෙයි. නිසැකයෙන්ම ජාතික වීරයකු වන ජනරාල් සරත් ෆොන්සේකා මැතිඳුන් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු එම පක්ෂයේ, මෙම මැතිවරණය මුළුල්ලේම කොපමණ දෙදරීම් ඇතිවුණිද? අපේක්ෂකයින් එළිපිටම තම පක්ෂය විවේචණය කරන, පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති පක්ෂයකට ඔබ ඡන්දය දිය යුතුද? අප තුල ජනරාල් ෆොන්සේකා කෙරේ ඇති ගෞරවය නොදන්නා අපේක්ෂකයකු පළාත් සභාවට යවා දිය කරලිය යුතුද? තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය. ඔබ රජයට විරුද්ධ නම් නියත ලෙසින්ම පරදින ස්වාධීන කණ්ඩායමකට හෝ ඡන්දය දෙන්නේ නම් එය වටින්නේය.
අප එජාපයට සහය දෙන්නේ මන්ද?
මේ ප්‍රශ්නය වසර ගණනාවක් මුළුල්ලේ බොහෝ දෙනෙක් මගෙන් අසා ඇති වාර ගණන අනන්තය. “ඔච්චර පරදින එකේ ඇයි උඹල යූඇන්පී එකට ඡන්දෙ දෙන්නේ?”. එවිට මා ලබා දෙන පිළිතුර නම් වඩාත් වැදගත් වන්නේ “කවුද හරි, කවුද වැරදි යන්න සොයනවාට වඩා මොකක්ද හරි යන්න විමසීම බවයි”. තවත් ලෙසකින් කීවොත් එය ප්‍රතිපත්ති සම්බන්ධ වූ කාරණාවකි. අලියා ලකුණින් ඡන්දය ඉල්ලා පසුව තම ඡන්දදායකයා වරදාන වරප්‍රසාද ඉදිරියේ පාවා දුන් දේශපාලකයින්ටද මෙය සිතීමට යමකි.
එසේ නම් ඇයි අප එජාපයට සහය දෙන්නේ? 1946දී එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ ශ්‍රී ලාංකික ඔබ අප සැමගේ පක්ෂයක් විලෙසිනි. ජාති, ආගම්, කුල භේදයෙන් තොර වූ එජාපය එදා මෙදා තුර රටේ අස්සක් මුල්ලක් නෑර දිවි ගෙවන සෑම ජන කොට්ඨාශයකටම සේවය කර ඇත. එජාපයේ සමාජ ප්‍රතිපත්තිය වන්නේ “සම හැකියාවනට සම අවස්ථා” යන්නය! ඇතැම් පක්ෂ මෙන් රදළයින්ට පොල්කටු හැන්දෙන් බෙදා දුගියාට කන් හැන්දෙන් බෙදනවා වෙනුවට රටේ සමස්ථ ජනතාවටම දියුණුවට සම අවස්ථා විවර කරලීම එජාප ප්‍රතිපත්තියයි.
ඇතමුන්ගේ සම්මතයට අනුව හීන කුල යැයි කියන්නකු රටේ රාජ්‍ය නායකත්වයට පත් කළ එකම පක්ෂය වීමෙන්ම එජාපය යමෙකුගේ තරාතිරම, පසුබිමට වඩා රටේ ජනතාවගේ හැකියාවන් ඔස්සේ ඔවුනට දියුණු වීමට භේදයකින් තොරව දක්වා ඇති නායකත්වය ඔප්පු වන්නේය. සිරිලකට නිදහස් අධ්‍යාපනය, මහපොළ සහ නොමිලේ නිල ඇඳුම, පෙළ පොත් හඳුන්වා දෙමින් පැල්පතේ පුංචි දරුවාටත් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, දැහැමි කෝටිපතියකු වීමේ සිහිනයට පාර කැපුවේ එජාපයයි. ගමේ දරුවාට ජාතික පාසලේ පහස අහිමි කරමින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ පාපකර්මයට සන්ධානය පිඹුරුපත් සැකසුවේය. නිදහස් සෞඛ්‍යය සේවය ලබාදෙමින් බුදුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ කියැවෙන “ආරෝග්‍යා පරමා ලාභා” යන්න ලාංකිකයන්ට යථාර්තයක් බවට පත් කිරීමට වෙහෙස වූයේ එජාපයයි. භේදයකින් තොරව සියළු ලාංකිකයන්ට සුභසාධනය සැලසීමට ඇප කැප වූයේත් එක්සත් ජාතික පක්ෂයයි.
එක්සත් ජාතික පක්ෂය තම වර්ණය වශයෙන් හරිත පැහැය තෝරාගන්නේ කෘෂිකර්මය පදනම් කරගනිමිනි. සියවස් ගණනාවක විදේශීය පාලනයේන් වල් වැදුනු රජරටට ගංගා හරවා රට සහලින් ස්වයංපෝෂණය කළේ එජාපයයි. එජාපය එදා පටන් “ධනපති” ලේබලය ඇලවීමට වාමවාදී බලවේග උත්සුක වුවත් එජාපය යනු “මහන්සිවී වැඩ කරන” මිනිසුන්ගේ පක්ෂයයි. එහි ආර්ථික මතය නම් ජනතාවට ස්වශක්තියෙන් නැගිටීමට අවකාශ සලසා ව්‍යවසායකයින් රටේ ආර්ථික කොඳු නාරටිය බවට පත් කිරීමය. එජාපය වෙර දෙන්නේ ප්‍රබල මධ්‍යම පන්තියක් නිර්මාණය කරලීමට විනා, සන්ධානය මෙන් අධිසුඛෝපභොගී සුපිරි ධනවතුන් බහුතරයකට යට වුණු මැදි සහ දුප්පත් පන්තියක් බිහි කිරීමට නොවේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සපයනු වස් සුබසාධනය කෙරේ එජාපය වැඩි අවධානයක් යොමු කරයි. මීට කදිම උදාහරණයක් නම් එජාපයේ ජනසවිය සහ ශ්‍රීලනිපයේ සමෘද්ධිය සහ දිවිනැගුමයි. ජනසවියෙන් කළේ ගමේ ජනතාව ශ්‍රමදාන සහ පොදු වැඩ ඔස්සේ ගමේම අභිවෘද්ධියට යොදවා ගෙන ඔවුන්ට එකී දායකත්වය වෙනුවෙන් ආහාර යනාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමයි. නමුත් ශ්‍රීලනිපය කරන්නේ දිළිඳුකම මැඩලීමේ මුවාවෙන් බදු මුදල් දේශපාලන සහචරයන්ට කොන්දේසි විරහිතව “පිනට” බෙදා දීමයි.
එජාපයේ ප්‍රතිපත්තිය නම් බදු මුදල් අවම වශයෙන් අය කරගෙන රටට අවශ්‍යම ආයෝජන සිදු කරලිය යුතු බවයි. නමුත් අද රජය කරන්නේ බදු බර උපරිමයෙන් ජනතාව පිට පටවා කිසිඳු ආර්ථික ප්‍රතිලාභයකින් තොර ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, තෙල් සංස්ථාව යනාදී මකර කටවලට අපේ අහිංසක ජනතාවට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය අයිතිය වෙනුවෙන් යෙදවිය යුතු මුදල් දන්දීමයි. එජාපය එදා කළ රාජාංගනය, මහවැලිය, ගල් ඔය, මහපොළ, තරුණ සේවා සභාව වැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අදටත් භුක්ති විඳී. එහෙත් මෙම රජය ලොවට ණයවී කළ මත්තල, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති වලින් අපේ භාණ්ඩාගාරයට මුදල් ගෙනැවිත් ඇත්ද?
එජාපය සර්ව සාධාරණ, සර්ව සුභවාදී පක්ෂයක් යැයි අපි කිසි ලෙසකින් නොකියමු, එහෙත් රටේ ඇති දේශපාලන දර්ශන බහුතරය අතුරින් රටට වැඩියෙන්ම ගැලැපෙන මාවත එජාපයේ මාවත බව අපගේ අවංක මතයයි.