Archive for ජූනි, 2009

අහෝ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය…!!!

Click here to get Sinhala Unicode.

ලෝකයේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය දක්වා නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන්නේ ශ්‍රී ලංකාව සහ චිලී රාජ්‍යය පමණි. එසේ නිදහස් අධ්‍යාපනයක් සැපයෙන ශ්‍රී ලංකාව තුල විශ්වවිද්‍යාල 15කට ආසන්න ප්‍රමාණයක් පවතී. මේ අතුරින් ඌව වෙල්ලස්ස, සබරගමුව, රජරට, වයඹ, යාපනය, නැගෙනහිර, අග්නිදිග යන විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීම කෙරේ මහා විශාල තරඟයක් නොපවතී. සියල්ලන්ම පාහේ මූලික වශයෙන් උත්සුක වනුයේ මොරටුව, පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල හතරටත් ඊට අමතරව කැළණි සහ රුහුණු සරසවිවලටත් ඇතුල් වීමටය. එවැනි විශ්වවිද්‍යාල තුලද විවිධාකාර ගැටළු මතුවීම හරහාත් රැකියා විරහිත උපාධිධාරීන් බිහිවීම හරහාත් ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය දෙස ලක්වැසියන් බලනුයේ වපර ඇසකිනි. විශ්වවිද්‍යාල හා සම්බන්ධිත යථා තත්ත්වය පසක් කරලීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස මා සතු යුතුකමකැයි මා සිතමි.

අද වනවිට කැළණි සරසවිය සිසු ගැටුමක් නිසා වසා දමා තිබේ, රුහුණු සරසවියේ නොබෝදා විශාල ගැටුමක් හට ගැනුණි. සරසවි පද්ධතිය පුරාම විවිධ ගැටුම් සහ වර්ජන පහුගිය කාලය පුරාම සුළභ සිද්ධියක් විය. මේ තුලින් ජනතාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මොළේ කළඳක් නැති මැටිමෝල්ලුන් යන මතයක් ඇතිවේ. මෙය 100%ක්ම නිරවද්‍ය නොවේ. බොහෝ විශ්වවිද්‍යාල ගැටුම් පිටුපස සාමාන්‍ය ජනතාව නොදකින ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන හස්තය ක්‍රියාත්මකය. ජවිපෙ දේශපාලන යාන්ත්‍රණයේ තිඹිරි ගෙදර විශ්වවිද්‍යාලයයි. ඔවුහූ සිය චීන මාක්ස්වාදී අදහස් පැලපදියම් කරනුයේ විශ්වවිද්‍යාල හරහාය. නවකවදය ඊට කදිම තෝතැන්නක් කරගන්නට ජවිපෙ වග බලා ගන්නේ විවිධ දේශපාලනික මොළ සේදීම් දියත් කරමිනි. අවාසනාවකට මොරටු විශ්වවිද්‍යාලය හැරුණු කල අන් සියළු සරසවි තුල ජවිපෙ බූවල්ලා ක්‍රියාත්මකය. කොළඹ වෛද්‍ය පීඨය, මොරටු ඉංජිනේරු පීඨය වැනි පීඨ කීපයක් හැරුණු කළ බොහෝ පීඨවල බල අධිකාරිය හොබවන්නේ ජවිපේ විසිනි.

අද දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙමින් සිටින ජවිපෙ නැගිටින්නට තතනනුයේ විශ්වවිද්‍යාල තුල අළු යට ගිනි අවුලවමිණි. පසුගිය කාලය පුරා මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයින් ප්‍රදේශවාදය හරහා භේදබින්න කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක විය. විවිධ කණගාටුදායක සිදුවීම හටගත්තද මෙම ප්‍රදේශවාදය පැරදවීමට මොරටුවේ ඉංජිනේරු පීඨ සිසුන් සමත් කම් පෑහ. පසුගිය කාලය පුරා කැළණියේ ස්වාධීන බල අධිකාරියක් පිහිට වූ විද්‍යා පීඨය සහ ජවිපෙට පක්ෂපාත කලා පීඨය අතර ගැටුමක් ගොඩනැගීමටද, වෛද්‍ය පීඨ වල විවිධ අර්බුද සෑදීමටත්, ජපුර සරසවියේ එදා එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමියකු වූ ජවිපෙම බෝම්බ ගසා ඝාතනය කිරීමට වරක් උත්සාහ දැරූ ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ගේ සංකල්පයක් මත බිහි වූ මහපොළ බෙදා දීම අලලා මහා ගාලගෝට්ටියක් නිමැවීය.

සරසවි සිසුන් මේවාට අසු වීමට තරම් මෝඩද? කොහෙත්ම නැත. මෙම ක්‍රියාවලට සහභාගී වන වැඩි දෙනා ඒවාට සම්මාදම් වනුයේ එක්කෝ තම ජ්‍යෙෂ්ඨයන් කෙරේ බියෙනි, නැත්නම් තම සඟයන් තුල කොන් වේය යන බියෙනි, එසේත් නැත්නම් විවිධ තර්ජන ගර්ජන හමුවේය. අසරණභාවයට පත්වන අහිංසක සිසුන් රැසකට තම හෘදසාක්ෂියට පටහැණිව ක්‍රියා කිරීමට සිදුවේ. ඔවුන් බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් අසරණ වන්නාහ. ඇතැමුන් මෙම තෙල සැදැහැ සිතින් ජීර්ණය කරගෙන ජවිපෙ චින්තනයට අනුගත වන්නාහ. ඇතැමෙක් මෙම අකටයුතුකම්වලට ප්‍රතිරෝධය පාමින් නැගී සිටින්නාහ. විශේෂයෙන් මොරටු සරසවිය තුල ඇතිකිරීමට දැරූ තත්ත්වය ශිෂ්‍යයින්ගේ බුද්ධිමත්කමින් කල්යැල් ගොස් හෝ සමනය කරගත හැකි විය. ඉස්සර සැමදා පාහේ වසා තබන ජයවර්ධනපුර සරසවිය අද එදා තුබූ සෝචනීය තත්ත්වයෙන් අත්මිදී තිබීම බෙහෙවින් සතුටුදායකය. මර ඇඳේ දඟලන ජවිපෙ විශ්වවිද්‍යාල හරහා පණ ගසා නැගිටීමට යත්න දරමින් සිටින බව සක් සුදක් සේ පැහැදිලිය. වෙසෙසින්ම ජවිපෙ මෙම සරසවි ප්‍රශ්න පිටුපස ඇති බව පසක් වන්නේ ඔවුන් චන්ද්‍රිකා සමඟ පරිවාසයේ සිටි විට හෝ සන්ධාන ආණ්ඩුවේ සිටි විට සරසවිය බෙහෙවින් සාමකාමී ආයතන වූ හෙයිනි.

සරසවි තුල ජවිපෙ මෙම කැලෑ පාලනය දුරලන්නේ කෙසේද? පළමුකොටම සරසවිවල ආචාර්ය මණ්ඩලයට පරිපාලනය හරහා සිසු අවශ්‍යතා ඉටු කිරීමටත් මෙවැනි ගැටළු ඇතිනොවීමට වගා බලා ගැනීමටත් කටයුතු යෙදිය හැකිය. විශේෂයෙන්ම සිසුන් හා සහජීවනයෙන් විශ්වවිද්‍යාලය තුල පාලනය ගෙන යෑම වැදගත්ය. සිසුන්ටද මෙම මෝඩ ක්‍රියාවලට සහභාගී නොවී සිය අධ්‍යයන කටයුතු වලට ප්‍රමුඛත්වය දෙමින් සරසවි සමය විනෝදයෙන් කල් ගෙවීමට පුළුවන් බව අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන්ම තමා කුමන දේශපාලනික ස්ථාවරය දැරූවද සරසවිය තුල දේශපාලනයෙන් බැහැර වීම නුවනට හුරුය.

මේ සියල්ලටම වඩා රජය සතු වගකීමක් ඇත. අද බිහිවන උපාධිධාරීන් අතුරින් සැලකිය මනා කොටසකට රැකිය වෙළඳපොලක් නොමැත. පෞද්ගලික අංශය කලා, වාණිජ අංශවල උපාධිධාරීන් ගැන විශේෂයෙන්ම දක්වන්නේ නොකමැත්තකි. මොරටුව, කොළඹ හැරුණු කළ සෑම සරසවියකම පහේම කුමන හෝ පීඨයක විරැකියා ප්‍රශ්නය පවතී. මෙසේ පෞද්ගලික අංශය උපාධිධාරීන්ට නොකැමැති වීමට ප්‍රධාන හේතු දෙකකි. එකක් සිසුන්ගේ ඇති හණමිටි සමාජවාදී අදහස්ය, අනෙක ඔවුන් සතුව රැකියා වෙළඳපල සඳහා අවශ්‍ය කුසලතාවන් නොපැවතීමයි. දුර්වල පාඨමාලා වල විෂයමාල නවීකරණය කරලීමේ වගකීමෙන් රජයට මිදිය නොහැකිය. විශේෂයෙන්ම මොරටු සරසවිය සහ කොළඹ හා පේරාදෙණියේ ඇතැම් පීඨවල ගෙන යන විධික්‍රම ආණ්ඩුවට අසාර්ථක පාඨමාලා සඳහා හඳුන්වා දිය හැකිය. පේරාදෙණියේ පරිපූරක වෛද්‍ය සේවා උපාධි පාඨමාලා, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ඈ අසාර්ථක උපාධි පාඨමාලා හරහා රටට සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නම් නොවන බව රජය ඉඳුරාම අවබෝධ කරගත යුතුය. අද වන විට ආණ්ඩුව කරනුයේ පෞද්ගලික අංශය සිය අවශ්‍යතා සඳහා බඳවාගෙන හමාර වූ පසු ඉතිරි වන්නා වූ අකාර්යක්ෂම, අනුන්ගෙන් යැපීමේ ආකල්ප වලින් සපිරුණු අදක්ෂයින් රජයට බඳවාගෙන ඔවුනට රාජ්‍යය භාණ්ඩාගාරයේ ජනතා මුදල්වලින් පිනට පඩි නඩි දී “අයිස් ගැහීමට” මග පෑදීමය. මෙයද කළ නොයුත්තකි. අද වන විට ලංකාව තම ශ්‍රම බලකායෙන් රජයේ සේවයේ විශාල ප්‍රතිශතයක් සිටින රටවලින් එකකි. මෙය රටට මහත් බරක් මිස වාසියක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ නම් රටට නැණවතුන් බිහිකරන සරසවි වල්බිහිවී එක එකාගේ ඕනා එපාකම් ඉෂ්ටකරගන්නා කෝළම් මඩුවක් වීමට ඉඩ නොදී ඒවා රටේ උන්නතිය උදෙසා බලගැන්විය යුතුය. ඒ සඳහා අප සෑම සියළු දෙනාටම විශාල වගකීමක් පැවරෙන බවද සුපැහැදිලිය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

ලාංකේය මාධ්‍යය භාවිතය නොහොත් තෙල ගැසීම

Click here to get Sinhala Unicode.

ජනමාධ්‍යය සහ මාධ්‍යය නිදහස වත්මන් සමාජයේ ප්‍රධාන මාතෘකාවක් වී හමාරය. අද රටේ පිරිහෙමින් පවතින්නේ මාධ්‍යය නිදහස පමණක්ද? නැත. අද අප රටේ මාධ්‍යය සංස්කෘතියද එන්න එන්නම අගාධයට යන ශෝකජනක වාතාවරණයක් උද්ගත වී තිබේ. අද මාධ්‍යය දේශපාලනීකරණය වී ඇත. සෑම මාධ්‍යය නාලිකාවක්ම කුමන හෝ යටි අරමුණක් පෙරදැරිව ක්‍රියාත්මක වෙයි. එය වරෙක තම නාලිකාවේ ප්‍රසිද්ධිය උදෙසාද වරෙක දේශපාලනික කඩේ යෑමක් වශයෙන්ද ක්‍රියාවට නැගෙන අපූරුව මැදහත් සිතින් බලන සියල්ලන්ටම පෙනී යනු නොඅනුමානය. විශේෂයෙන්ම තම නාලිකාවේ ප්‍රසිද්ධිය උදෙසා ඕනෑම දෙයක් කිරීමට බොහෝ මාධ්‍යය චැනල සූදානම්ය. සාවද්‍ය තොරතුරු ප්‍රකාශය කිරීම මේ අතර ප්‍රමුඛත්වය ගනී.

මෙහි ප්‍රතිඵලය මාධ්‍යය කියන ඕනෑම දෙයක් එලෙසම පිලිගන්නා දැනුමක් තේරුමක් නැති අමනයන් පිරිසක් රටේ බිහිවීමයි. අද රටේ තරුණයින්ටත් ළමා පරපුරටත් යුද්ධය යනු සතුටට කාරණාවක් යැයි යන වැරැදි මතය සමාජගත කර තිබේ. පහුගිය දිනවල උතුරේ යුද්ධයට අමතරව මාධ්‍යය යුද්ධයක් පැවැතුණි. ඒ වෙන එකකට නොව රටේ ජන්ප්‍රියම ප්‍රවෘත්ති ප්‍රකාශකයා වීමටය. යුද්ධය ගැන විනාඩි 15-20 මොනවා හරි කියවා ජනතා ආකර්ෂණය දිනීම ඔවුන්ගේ අරමුණ විය. අද යුද පුවත් නොමැතිව ප්‍රවෘත්ති විකාශයන් වල් වැදෙමින් පවතී. යුද ක්‍රියාන්විතය පුරාවටම විශේෂයෙන්ම රජයේ මාධ්‍යය ප්‍රමුඛ තවත් චැනල සහ පුවත්පත් රාශියක් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේ කොටි ලේබල් අලවමිනි. අද තරුණ පෙලත් ළමා පෙලත් තුල එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය ගැන ඇත්තේ එලෙස මාධ්‍යය විසින් කෘතීමව මැවූ ප්‍රතිරූපයයි. අද ජනතාවට ප්‍රතිපත්තියක්, මතවාදයක් නොමැත. ඔවුන් ඉබාගතේ යති. ආර්ථිකය ගැනවත් සමාජ සංවර්ධනය ගැනවත් ඔවුනට අදහසක් නැත. බොහෝ දෙනා පසුගිය පළාත් සභා මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන්නෙ ප්‍රතිපත්ති පිළිබඳව අදහසක් ඇතිව ඊට පක්ෂවද? එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ගැන අදහසක් ඇතිව ඊට විරුද්ධවද?

මොරටු විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේ මාගේ සහෘදයකු පසුගිය පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන්නේ එහි ප්‍රතිපත්ති ගැන කිසිඳු අවබෝධයක් නැතිවය. ඔහුගෙන් සන්ධානයට ඡන්දය දීමට හේතුව විමසූ විට කීවේ “යුද්ධය දිනන්න මහින්දගෙ මොරාල් අප් කරන්න දුන්නු බවයි”. පළාත් සභා, පළාත් පාලන ආයතන පවතින්නේ කාගේවත් “මොරාල් අප්” කරන්නට, පක්ෂයේ ලොක්කන් විකුනාගෙන පොඩ්ඩන්ට ඡන්ද දිනන්නට නොව ග්‍රාමීය සහ පළාත්බද සංවර්ධනය ඉහල නැංවීමට බව අධ්‍යාපනයක් ඇත්තවුන් පවා තේරුම් නොගැනීම දුක්බරය. ඉහත කී මිත්‍රයා මනාප සලකුණු කර ඇත්තේ ඡන්ද පලට යන අතරමගදී දුටු පෝස්ටර නරඹාය. තමා මනාපය දුන් අපේක්ෂකයන්ගේ නම්වත් හරියට හේ නොදනී. රටට අත්වන දුක්බර ඉරණම මෙයින් පිළිබිඹු නොවන්නේද? අද ඉගෙනීමෙන් පරතරයට යන්නන්ටවත් රට ගැන සැබෑ දැක්මක්, කැක්කුමක් නැති ගානය.

අද වන විට රටේ ජනතාව මාධ්‍යය කියන ඕනෑම දෙයක් පිළිගනිති. ඒවායේ ඇත්ත නැත්ත ගැන ජනතාව නොසොයති. ඔවුනට ඒ ඒ දේශපාලන පක්ෂයේ මතවාදය ගැන වැඩි අවබෝධයක් නැත. ඔවුනට ප්‍රතිපත්තිමය කරුණු කාරණා ගැන හොඳ අවබෝධයක් නොමැත. මෙය බොහෝ දුක්ඛදායක තත්ත්වයකි. විශේෂයෙන්ම මනාප ක්‍රමය භාවිතයේදී ජනතාව රට හා ප්‍රතිපත්ති පසෙකලා නුසුදුස්සන්ට මනාපය පළ කිරීම සෝචනීය මෙන්ම දේශද්‍රෝහී ක්‍රියාවකි. ජනප්‍රියත්වය, ධනය, බලය යනාදියට තම රටේ මතු අනාගතය සහ ප්‍රතිපත්තීන් පාවා දීමට තරම් අද ඇතැම් ශ්‍රී ලාංකිකයෝ අමන වී හමාරය. නමුත් මෙම ක්‍රියාවලියේ පාඩුව එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නෙ එම පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. එයින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද ගොඩ සන්ධානකාරයෝ සිහින දකින අන්දමට එන්න එන්න අඩු නොවන බවය. ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂය ප්‍රතිපත්තිමය හේතු කාරණා මත එසේ තම ඡන්ද පදනම තබා ගනිද්දී ශ්‍රීලනිපයට ඇති ඔවුන්වත් නොදකින යථාර්ථය කුමක්ද? සරලයි. මේ වකවානුවේ යුද ජයග්‍රහණයෙන් සහ මාධ්‍යයෙන් මුසපත් වී සන්ධානයට ඡන්දය දෙන්නවුන් යම් හෙයකින් හෙට රටේ තත්ත්වය අනෙක් පැත්ත හැරී ආණ්ඩු විරෝදී රැල්ලක් ගොඩ නැගුනොත් ආණ්ඩුවට පිටු පානු නොඅනුමානය. අද අප සමාජය තුල බිහි වන්නේ අවංකව රටට ආදරය කරන ජනතාවකට වඩා රැල්ලට ගහගෙන යන බාහිර බලපෑම් වලට තම අදහස් උදහස් පාවා දෙන අවස්ථාවාදී පරපුරක් වීම ඊට හේතුවයි.

එනිසා රටේ ඇතිවිය යුත්තේ ජාත්‍යාලය අවුස්සන සමිප්‍රදායයක් නොව රට ගැන සැබෑ ආදරයක් ගොඩ නැගෙන අවබෝධාත්මක ප්‍රතිපත්තීමය දේශපාලනයකට ඉඩ හසර විවර කර දෙන ආකල්ප වලින් සන්නද්ධ වූ යුගයකි. රටේ අනාගතය ගැන සංවේදී නිද්‍රාශීලී නොවන බුද්ධිමතුන්ගේ යුගයකි.

පසුගිය කාලය පුරා රටේ මාධ්‍ය අයිතීන් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි උදවිය කොටි හිතවාදීන්, දේශද්‍රෝහීන් ලෙස ඇතැමුන් සිදු කරනු ලැබූ හංවඩු ගැසීම ලාංකේය ජන සමාජය වෙලාගෙන ඇත. අද ජිනීවා මානව හිමිකම් කමිටුවේ ලංකාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන සුනන්ද දේශප්‍රිය මෙන්ම එදා ප්‍රේමදාස පාලන සමයේදී ජිනීව මානව හිමිකම් කමිටුවේදී මහින්ද රාජපක්ෂයන්ද ශ්‍රී ලංකාද්වීපයට එරෙහිව කරුණු ගොනු කළ බව බොහෝ දෙනෙක් නොදනිති. එසේ එතැනින් නොනැවතුණු මහින්ද සංවර්ධිත රටවලට කොන්දේසි සහිතව මිස ලංකාණ්ඩුවට ආධාර නොදෙන ලෙස බලපෑම් කළේය. මෙය දේශමාමකත්වයද? දේශමාමකත්වය තීරණය වනුයේ ක්‍රියාවෙන් සහ අරමුණින් මිස පුද්ගලිකත්වයෙන් නොවන බව මහා ලොකු දේශප්‍රේමීන් ලෙස තමන් තමන්ටම ලේබල් අලව ගන්නා පණ්ඩිතයින් තේරුම් ගත යුතුය. විටෙක රටට ද්‍රෝහි වන්නකු විටෙක රටට මහත් සුගතියක් අත් කරලිය හැක. විටෙක රටට සුගතියක් ගෙනෙන්නෙකු තවත් විටෙක රටට විනාසයක් අත් කරලිය හැකිය.එදා මහින්දව දේශද්‍රෝහියකු ලෙස කොන් කර පහර දුන්නේ නම්, මරා දැම්මේ නම් අද රට කුමන දිශානතියක පවතිණු ඇත්ද?

එනිසා ලාංකේය ජන සමාජය තමන් හිසට අනෙකුන් පැටවූ පටු දේශපාලනික මතවාදයන්ගෙන් බැහැරව පුළුල් දෘෂ්ඨිකෝණයකින් රට දෙසත් දේශපාලනය දෙසත් බැලීම කාලීන අවශ්‍යතාවයකි. විවිධ දේශපාලන පක්ෂ සහ පුද්ගල චරිත කෙරේ ඇති සත්‍යය කරුණු විමසා බලා මිස නිගමන වලට එලඹිය නොයුතුය. බාහිර බලපෑම්වලට නතු නොවී බුද්ධියෙන් විමසා තමුන්ගේම මතවාදයක් ශ්‍රී ලාංකේය අප සැම ගොඩ නගා ගත යුතුය. රටක් හැටියට අපගේ ප්‍රගමනයට එය රුකුලක් වනු නිසැකය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

කාට කියන්නද මේවා ?

Watch this..

ලසන්ත මළවුන් අතරය..අප මරුවන් සමගය..

ශ්‍රී ලංකාවේ දේශපාලන විසඳුම කෙබඳු වේද?

Click here to get Sinhala Unicode.

2009 මැයි 19දා උත්තරීතර පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා සිය රාජාසන කතාවේදී කීවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ලංකාවටම ආවේණික දේශපාලන විසඳුමක් ලබා දෙන බවයි. එය රටක් වශයෙන් අප සැමටම සතුටට කරුණකි. එවැනි විසඳුමක් හරහා මෙරට නැවත වරක් ත්‍රස්තවාදයටත් බෙදුම්වාදයටත් හිස එස්වීමට නොහැකි වාතාවරණයක් ගොඩ නගා ගත හැකිය. නමුත් වත්මන් රජයේ හවුල්කාර පාර්ශව සැලකිල්ලට ගැනීමේදී අපට පෙනී යන්නේ දේශපාලන විසඳුමක් ගෙන ඒම එතරම් පහසු කාර්යයක් නොවනු ඇති වගයි. ඇයි ඒ? ඊට හේතුව අන් කිසිවක්වත් නොවේ ආණ්ඩුවේම සංයුතියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය බෙදීමට කැමැත්ත පළ කළද ආණ්ඩුවේ පාර්ශවකරුවන්වන මහජන එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැන්නන් පළාත් සභා ක්‍රමයට පවා විරුද්ධ වීමයි.

රජයේ පළමු වගකීම වනුයේ උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාවට සහන සලසා ඔවුන්ව යළිත් තම ගම්බිම් වල පදිංචි කරවීමයි. දෙවැනුව එම දෙපළාත සංවර්ධනය කිරීමේ භරධූර වගකීමද රජයට දැරීමට සිදුවේ. එය එසේ නොවුන්හොත් දමිළ ජනතාව ලංකාණ්ඩුවට විරුද්ධ වෙමින් නැවත ආයුධ අතට ගැනීමට පවා යොමු වන්නට ඉඩකඩ ඇත. මෙම කර්තව්‍යයට සමගාමීව සියලු ජන කොටස් වලට පිලිගත හැකි දේශපාලන විසඳුම්ක් සැකසීමේ වගකීමද රජයට පැවරේ. එදා යූඇන්පිය ඉන්දු-ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන විට මහමගට බැස ඊට දැඩි විරෝධතාවය පළ කළ මහින්ද ඇතුළු ශ්‍රීලනිපය අද රටේ පවතින ජනවාර්ගික ගැටළුවට හොඳම විසඳුම පළාත් සභා ක්‍රමය ඇතුළු 13වන සංශෝධනය බවට පිලිගැනීම ප්‍රශංසනීයය. නමුත් එදා එය මෙරටට හඳුන්වා දෙන විටදී පටු දේශපාලන අරමුණු පෙරදැරිව ඊට විරුද්ධ වනවා වෙනුවට රට ගැන අවංකව සිතා ඊට එකඟ වුණි නම් තත්ත්වය් කොපමණ වෙනස් වන්නට තිබුණිද?

ත්‍රස්තවාදය අප මුලිනුපුටා දැමුවද ත්‍රස්තවාදයේ මූල බීජය වූ අසමානතා සහ විෂමතා අකා මකා දැමිය යුතුය යන්න බුද්ධිමත් සැවොම පිලිගනිති. බෞද්ධාගමේ කියැවෙන්නේද ඵලය නැසීමට හේතුව නැසිය යුතුය යන්න නොවේද? එසේ නම් කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ දේශපාලනිකමය බලය බෙදීමක් ලබා දීමය. අතීතය පුරා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ සම්බන්ධව පටු දේශපාලන දෘෂ්ඨිකෝණයකින් කටයුතු කර ඇත. නමුත් 1977න් පසුව එක්සත් ජාතික පක්ෂයත් මෑතක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බලය බෙදීම ප්‍රතිපත්තිමය වශයෙන් පිලිගෙන තිබේ. එදා මෙරට ඔඩුදුවමින් පැවැති බෙදුම්වාදය දුරලීමට එක්සත් ජාතික පක්ෂ රජය විසින් 13වන සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “පළා බබා අපට එපා” කියා කොටුවේ බෝධිය අභියස වාඩි වී උද්ඝෝශණ කරන්නට වූ බව මම ඉහත කීවෙමි.. එපමණක් නොව පළමු පළාත් සභා මැතිවරණ මාලාවට තරඟ කිරීමට පවා ශ්‍රීලනිපය ඉදිරිපත් වූයේ නැත. එදා එලෙස තිරසාර විසඳුමකට මුල පිරූ රජයේ යෝජනා පිළිකෙව් කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයින් වසර 20කට පසුව අද මෙම ගැටළුවට හොඳම විසඳුම 13වන සංශෝධනයටත් ඔබ්බෙන් ගිය විසඳුමක් (13 ප්ලස්) යැයි පැවසීම සැබැවින්ම දෛවෝපගත සිද්ධියක් නොවේද?

නමුත් රටේ සුබ සිද්ධිය අරඹයා දේශපාලන එදිරිවාදිකම් අත්හැරිය යුතුය. අතීතයේ අප අතින් සිදු වූ ප්‍රමාද දෝෂයන් හරිගස්සවා ගැනීමට දැන් කාලය එලඹ ඇත. රටේ කිසිඳු ජනමතයක් නොමැති විමල් වීරවංශගේ ජානිපෙට ජවිපෙන් කඩාගෙන ආ මන්ත්‍රීවරුන් 11ක් සිටිති. විමල් කොච්චර කෙකර ගෑව්ද ඔහුගේ හිසට පළඳන ඔටුන්න කවරාකාරදැයි මහජනතාව පහුගිය පළාත් සභ මැතිවරණ වලදී පෙන්වීය. වයඹ සහ මධ්‍යම පළාත් වලට සන්ධාන්යේ බුලත් කොළය යටතේ විමල්ගේ ඔටුනුකරයින් 10ක් ඉදිරිපත් වුවත් ඉන් 9ක්ම පරාද විය. බස්නාහිරදී අපේක්ෂක්යින් 6ක් අතුරින් 4ක් පරාජයට පත්වුයේ ජානිපෙ සැබෑ නිරුවත හෙළි කරමිනි. ඒ සා සුවිශාල ජයක් ලද බුලත් කොළයෙන් දෙදෙනකු පමණක් තේරීපත් වීම ලැජ්ජා සහගතය. ඔවුන්ගෙන් එකකු ජනප්‍රිය නළුවකුත් අනෙකා දොස්තරවරයකු වීමෙනුත් පෙනී යන්නේ ඔවුන් දෙදෙනාගේ ජය සැබැවින්ම පක්ෂයේ ජයක් නොව පෞද්ගලික ජයග්‍රහණයක් යන වග නොවේද? ආණ්ඩුව තුලම ඉඳගෙන ආණ්ඩුවේ වැදගත් ඇමැතිවරයකු වන මහාචාර්යය තිස්ස විතාරණට දොස් පරොස් කීම කොපමණ කාලකන්නිකම්ක්ද? එතුමාගේ සභාපතීත්වෙයෙන් සර්වපාක්ෂික කමිටුවක් පිහිට වූයේ විමල් වීරවංශ අදහන ජනාධිපතිතුමාම නොවේද? එදා පාර්ලිමේන්තුවේ බලය බෙදීම ගැන ජනපති සඳහන් කරද්දී විමල් වීරවංශ නිදාගෙන සිටියාවත්ද? මක්නිසාදයත් මොහු මේ පහර ගසන්නේ තිස්ස විතාරණ මහාචාර්යයතුමාටත්, ජනාධිපතිතුමාටත් පමණක් නොව ලාංකේය බුද්ධිමත් ජන ප්‍රජාවටමය.මීට අමතරව තනි පක්ෂයක් ලෙස කිසිඳු පදනමක් නැති සිංහල අන්තවාදී ජාතික හෙළ උරුමයත්, දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත්, එදා විජේවීර යටතේ බලය බෙදීමට එකඟව දැඩි ලෙස හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණත් මෙවැනි දේශපාලන විසඳුමකට අකුල් හෙලති.

එහෙත් මෙම විසඳුම නැතිවම බැරිය. රටේ සියලු ජන කොටස්වලට බියක් සැකක් නැතිව කරදරයක් හිරිහැරයක් නැතිව ජීවත් වීමේ අයිතිය තිබිය යුතුය. අද දෙමල කතාකරන මිනිහට තමන්ගේ වැඩක් පලක් කරගැනීමට සිංහල උවමනාය. දෙමල භාෂාව රාජ්‍ය භාෂාවක් වන යුගයක එය එසේ විය යුතුද? අද තණමල්විල හේන් ගොවියාත්, දෙහිඅත්තකණ්ඩියේ වී ගොවියාත්, වැලිමඩ අල ගොවියාත්, චාවකච්චේරියේ මිරිස් ගොවියාත්, බිබිලේ දොඩම් ගොවියාත්, කල්පිටියේ ධීවර කාර්මිකයාත් රජයේ වැඩ කටයුතු කරගැනීමට දහස් ගව් දුර ගෙවා මුදල්, කාලය හා ශ්‍රමය වියදම් කරගෙන කොළඹ ආ යුතුය. මෙය සාධාරණද? මෙය වෙනස් විය යුතුය. විශේෂයෙන්ම මෙම පළාත් සභා ක්‍රමය උතුරට නැගෙනහිරට පමණක් බල නොපාන ලෙස ජේ.ආර්. ජයවර්ධන ජනපතිඳුන් සැකසුවේ මෙහි ප්‍රතිලාභ සමස්ථ ශ්‍රී ලාංකේය ජන සමාජයටම අත් විඳීමට හැකි වන පරිද්දෙනි. අපට ඕනෑ කරන්නේ දෙපළාතකට දෙයාකාරයෙන් නොසලකන එවන් සාධාරණ විසඳුමකි. විශේෂයෙන්ම පළාත් සභා “සුදු අලින්” යැයි පුන පුනා හුවා දක්වන ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මීට විරෝධය පළ කිරීම මට නම් මහත් උභතෝකෝටිකයකි. පළාත් සභා ඔවුන් කියන පරිදි සුදු අලින් නම් ඊට විරුද්ධ වන්නේ කවර කෙංගෙඩියකටඩ? ඉන් රට දෙකඩ වන්නේ කෙසේද? එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, මෙම ප්‍රධාන පක්ෂ දෙකම රට බෙදීමට ඉඩ නොතබන බව මොළයක් ඇත්තෝ හොඳින් දනිති. මහාචාර්යය තිස්ස විතාරණලාට, ඩිව් ගුණ්සේකරලාටද එවැනි උවමනාවක්, කැසිල්ලක් ඇතැයි කීමට ඇති සාක්ෂී මොනවාද?

විසඳුම 13වන සංශෝධනයම බලාත්මක කිරීමද, 13වන සංශෝධනයෙන් ඔබ්බට යන 13+ විසඳුමක්ද යන්න මහින්ද රාජපක්ෂ රජයත් සර්ව පාක්ෂික කමිටුවත් තීරණය කළ යුතුය. බොහෝ දෙනෙක් තුල 13වන සංශෝධනයේ එන පොලිස් බලතල ගැන කුකුසක් පවතී. නමුත් 17වන සංශෝධනයට අනුව  පොලිස් කොමිසම හරහා පළාත් සභා වල පොලීසි නියාමනය කෙරෙන බැවින් ඒ ගැනද අනියත බියක් නොතිබිය යුතුය.

මේ කෙසේ වෙතත් විසඳුම රටේ බහුතර ජනතාවකට පිලිගත හැකි සාධාරණ විසඳුමක් විය යුතුය. ඒ සඳහා මහින්දට කවුරු සහාය නොදුන්නද එක්සත් ජාතික පක්ෂය සහය දෙනු ඇත. එම සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුව දැන ගත් යුතුය. එජාපයටත් එහි නායකත්වයටත් විරුද්ධව මඩ ගැසීමත් එජාපයේ ක්‍රියාකලාපයන් හෑල්ලුවට ලක් කිරීමත් ආණ්ඩුව නැවැත්විය යුතුය. විශේෂයෙන්ම අද වන විට ජනමා‍ධ්‍යය අයුතු ලෙස යොදා ගනිමින් එජාපය සහ එහි නායකත්වය ගැන සම්පූර්ණයෙන්ම වැරදි මතවාදයක් ජනතාවට කාවද්දමින් එක්සත් ජාතික පක්ෂය සහ එහි සාමජිකයා කෙරෙහි ජනතාව තුල වෛරයක් නිර්මණය කිරීමේ පිළිකුල් සහගත උත්සාහයක ආණ්ඩුව නියැලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලනික ලෙස අඳබාල තරුණ සහ ළමා පරපුරක් බිහිවෙමින් පවතී, ඔවුන්ට දේශපාලන දර්ශනයක් නැත. මාධ්‍ය ඔස්සේ ඇහෙන දකින දෙයින් දේශපාලන අදහස් ගොඩ නගා ගන්නා මොවුන් තම මතයට විරුද්ධ මත දරන්නන් දේශද්‍රෝහීන් ලෙස හුවා දැක්වීමට රජය වෙහෙසේ. මෙම අවස්ථවාදී නින්දිත ක්‍රියාව වළකා අලුත් වෛරවාදයෙන් තොර මහත්මා දේශපාලනයකට ආණ්ඩුව පිය මැනිය යුතුය. මෙම ප්‍රශ්නය මෙතැනින්ම අවසන් කළ යුතුය. මෙම ගැටළුව විසඳීමට කල් නොමැරිය යුතුය. එසේ කල්මැරීම අප අපටම ශාප කරගැනීමකි, අපේ රටේත්, අපේත් අනාගතය වනසා ගැනීමකි. එබැවින් ප්‍රධාන පක්ෂ දෙක එකතු පහදු වී රටේ උන්නතිය සඳහා දේශපාලන විසඳුමක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුය යන්න මගේ අවංක හැඟීමයි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

Sadaharita : Recommended Reading & Viewing

Click here to get Sinhala Unicode.

පසුගිය බ්‍රහස්පතින්දා (11) ලංකාදීප පුවත්පතේ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහයෙන් මහින්ද රාජපක්ෂ මහතා 90 දශකයෙදී ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහී මානව හිමිකම් කමිටුවට ගිය හැටිත්, මෙරටට කොන්දේසි විරහිතව ආධාර නොදෙන ලෙස විදේශයන්ට බලපෑම් කළ ආකාරයත් සඳහන් කර ඇත. මෙය කියවිය යුතුම ලිපියකැයි මා සිතමි.

තවද එම පුවත්පතේම රජවීදිය අතිරේකයේ යුද සැමරුම් සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් එජාප මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා දැක්වූ අදහස්ද පළ විය. එයද ආකර්ෂණීය ලිපියකි.

පසුගිය බ්‍රහස්පතින්දා Max ටෙලිවිෂනය සහ Max රේඩියෝව ඔස්සේ රට හමුවේ ඇති ඉදිරි අභියෝග සහ එජාපයේ ඉදිරි කාර්යයභාරය සම්බන්ධවූ කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකරයන් හා පැවැති සංවාදය අද (13) සවස 1.30ට Max ටෙලිවිෂනයෙන් නැවත විකාශය වේ.

මාධ්‍ය තර්ජන

A must listen call record.This reveals the truth.

http://lankanewsweb.com/news/2009_06_04_004.html

ලක් ධජයට නිසි ගරුසරු..

Click here to get Sinhala Unicode.

පසුගිය වකවානුව පුරා අප රටේ ත්‍රස්තවාදය පැරදවීමත් සමඟ රටේ උත්සව සිරියක් දක්නට ලැබුණි. මෙම විජයග්‍රහණය ඉහළින් සැමරීමට ජනතාව උත්සුක විය. විශේෂයෙන්ම රතිඤ්ඤා පත්තු කරමින් දන්සැල් පවත්වමින් ජනතාව තම සතුට බෙදා ගත්හ. මීට සමගාමීව සිව් දෙස ජාතික කොඩි ලෙල දුන්නේ රටටම අභිමානවත් සිරියක් කැන්දමිනි. ඉන් පිළියන්දල නගරය මුදුනේ ප්‍රෞඩත්වයෙන් ලෙල දුන් අඩි 30ක් දිග අඩි 15 පළල ධජය මුල් තැනක් ගත්තේය. නමුත් මගේ මේ අරමුණ පිළියන්දල ජාතික ධජය ගැන වැයීමවත් අප ජාතික ධජයේ ඇති විශිෂ්ටත්වය ගැන කතිකා කිරීමවත් නොවේ.

මගේ අරමුණ ජාතික ධජයට අප ජනතාව කර ඇති වින්නැහියක් ගැන කීමටය. විජයග්‍රහණයෙන් පසුව එසැවුණු කොඩි දැන් ජනතාව නොසලකා හැර ඇත. ඒවා අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරාපත්වීම දක්නට ලැබීම දුක ගෙනදෙන සුළුය. ඇතැම් ජාතික ධජ තම කොඩි ගසේ එතී ඇඹරී ගොස් තිබීමද මම දුටුවෙමි. මාගේ මිතුරකු පැවසූ අන්දමට යම් ස්ථානවල සිංහ ධජය මහමගත්, පදික වේදිකාවේත් පමණක් නොව කාණු පල්ලේද දක්නට ලැබී ඇත. මෙය අතිශයින්ම ඛේදනීය තත්වයක් නොවේද? අප ශ්‍රී ලංකා දීපයේ සාඩම්බර සංඛේතයක් වන ජාතික ධජයට මෙවැනි සැලකීමක් රිසිද?

පසුගියදා ත්‍රස්තවාදයේ නිමාවත් සමඟ ජනාධිපතිතුමා ජෝර්දානයේ සිට ලක් දෙරණට ගොඩ බැස ගුවන් තොටුපලේ තාර තට්ටුව නමස්කාර කිරීම මාධ්‍යයටත් රටේ ඇතැම් ජනතාවටත් විජ්ජාවක් විය. නමුත් මෙම නමස්කාරය කළේ අවංක සිතින්ද නැතහොත් තම දේශපාලන ගොඩ වැඩි කරගැනීමේ පටු අරමුණින්ද යන වග බුද්ධිමත් සැවොම පක්ෂ භේදයෙන් තොරව ප්‍රශ්න කරති. මෙම ක්‍රියාව උත්තරීත එකකැයි විවිධ පාර්ශව වලින් අදහස් මතු වෙද්දී මාධ්‍යය මෙය උලුප්පා පෙන්වද්දී කාටත් නෙත නොගැටුණු මීටත් වඩා ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් මහින්ද විසින් සිදු කරනු මම දුටිමි. එදා මහින්ද පිළිගෙන ලකුණු දාගැනීමට රොත්ත බුරුත්ත පිටින්ම ගුවන් තොටට පැමිණ සිටි ඇමැති මණ්ඩලයේ සිටි සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන ලහිලහියේවුත් ජනාධිපතිවරයාට සිංහ ධජයක් පොරවන්නට වෙර වෑයම් දැරුවේ හින්දු පූජකයකු ආශිර්වාද වස්ත්‍රයක් පොරවන විලෙසිනි. නමුත් ජනාධිපතිතුමා හනෙකට ජාතික ධජය එතැනින් ඉවත් කළේ එය ජාතික කොඩියට නොගැලපෙන ක්‍රියාවක් දැන්ගෙන විය යුතුය. අවාසනාවට ලංකේය ජනතාව ලොව දකින්නට පුරුදු වී ඇත්තේ ජනමාධ්‍යයේ නෙතින් මිස තම දෙනෙතින් නොවේ. අදා මාධ්‍යය ඔස්සේ අසන්නට ලැබෙන ඕනෑම කතාවක් එක් සිතින් කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව පිළිගන්නට ජනතාව සූදානම් වීම දුක්ඛදායකය. මෙවැනි හොඳ දේ ජනතාව නොදකින්නේ මන්ද?

මෙම ලියමනෙන් මා අපේ පාඨකයන්ට කීමට උත්සුක වුණේ ජාතික ධජයක් එසවීම පමණක් සරි නොවන වගයි. කොඩියක් එසවූ විට ඊට නිසි බුහුමන් දැක්විය යුතුය. එපමණක් නොව ඔසවා තබන කොඩියක් හොඳින් නඩත්තු කළ යුතුය. එනම් කොඩි ගසේ ඇඹරී වෙලී තිබීමට ඉඩ දීම, වේලී, මැලවී යෑමට ඉඩ දීම නොකළ යුතුය. තවද ලක් ධජයක් නැංවූ කළ එය සුදුසු විට ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමේ වගකීමද අප සතුය. නැතහොත් අපේ රටේ ශ්‍රෙෂ්ඨ ජාතික කොඩිය මහමග, කාණු පල්ලේ තිබීම අප කෙසේ වළකා ගනිමුද? එමනිසා අපගේ ජාතික ප්‍රෞඩත්වය විදහා පාන ජාතික ධජය එසවීම පමණක් නොසරිය. එසවූ ඒ අභිමානය ආරක්ෂා කිරීමට උර දී ආටෝපයට, පුරාජේරුවට, රැල්ලට “දේශප්‍රේමියකු” නොවී, සැබෑ දෙශප්‍රේමියකු වන ලෙස අප ඔබෙන් උදක්ම ඉල්ලමු.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

මාධ්‍යවේදී පෝද්දල ජයන්තට එරෙහි ප්‍රහාරයට විරෝධය

පෝද්දල ජයන්ත
පෝද්දල ජයන්ත

Click here to get Sinhala Unicode.

ඊයේ (1) ලේක් හවුස් මධ්‍යවේදී පෝද්දල ජයන්තට එරෙහිව ඇඹුල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අමානුෂික මැර ප්‍රහාරය සදාහරිතයේ අපි පිළිකුලෙන් යුතුව දැඩි ලෙස හෙළා දකිමු. මෙය රටේ මාධ්‍යය නිදහසට සහ අදහස් ප්‍රකාශනයේ අයිතියට එල්ල කරන ලද මරු පහරකි. රූපවාහිණියේ යකා නැටූ ඈයින් ආරක්ෂා කරනවා වෙනුවට දිගින් දිගටම සිදු වෙමින් පවතින මෙවැනි නින්දිත ක්‍රියා වලට වගකිවයුත්තන් සොයා නිසි නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස අප රජයෙන් මහත් ඕනෑකමින් ඉල්ලමු.

අමරසිරි දොඩන්ගොඩ මැතිතුමාට නිවන් සුව…

අමරසිරි දොඩන්ගොඩ

අමරසිරි දොඩන්ගොඩ

Click here to get Sinhala Unicode.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ අමරසිරි දොඩන්ගොඩ මහතා අභාවප්‍රප්ත වී ඇත. මිය යන විට සැට අට වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව පසුවිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ඒ මහතා ශ්‍රීලනිපයේ ලාංකේය විශ්වවිද්‍යාල උපාධියක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතලොස්ස අතුරින් ප්‍රමුඛස්ථානය හෙබවීය. 70 දශකයේ සිටම අඛන්ඩව වාමාංශික දේශපාලනයේ නියැලුණු ඒ මහතා 1983දී පාර්ලිමේන්තුවට තේරී පත්විය. එතුමා කලක් දකුණු පළාත් මහ ඇමැති පදවියද උසුලා ඇත.

ප්‍රතිපක්ෂය නියෝජනය කළද මතවාදී දේශපාලනයක් කළ කෘතහස්ත, දූෂණයට, මැර බලයට එරෙහිව නැගී සිටි දේශපාලකයකුගේ වියෝව රටට පාඩුවකි. දොඩන්ගොඩ මහතා වැනි ගෞරවාන්විත ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මතුවටත් බිහි වනු ඇතැයි අපි අවංකවම පතමු.