Archive for අගෝස්තු, 2009

මීළඟට ටයි පටියද? වාර විභාගද?

Click here to get Sinhala Unicode.

පසුගිය කාල වකවානුව පුරා මෙම රජය විසින් රටේ විවිධාකාර දේ සංස්කෘතිය ගෙන හැර පාමින් තහනම් කළහ. මෙසේ සෑම දෙයක්ම තහනම් කළහොත් සංස්ථිතිකමය වටපිටාවක ජනතාවට ආණ්ඩුවට බයේ ජීවත් වීමට සිදුවනු ඇත. මේ යන පාරේ ගියෝතින් අප රටත් ඉරානය, චීනය වැනි ජනතාවට යදම් යෙදූ රටක් බවට පරිවර්තනය වනු ඇත. රටේ ජනතාව රසවිඳින දේවල් රජයට හිතූ මනාපෙට වෙනස් කිරීමට යෑම බෙහෙවින් කණගාටුදායකය.

රජය මෙම ක්‍රියාන්විතය ඇරඹූයේ මතට තිත ව්‍යාපෘතිය හරහාය. මත්පැනින් බලයට පැමිණ මත්පැනින් ඡන්ද කරන දේශපාලකයින් මෙම ක්‍රියාන්විතයට උරදීම සුවිශේෂී කරුණකි. ඒ හරහා විවිධ නීති රෙගුලාසි රාශියක් ක්‍රියාවට නැංවිණි. මෙයින් මත්පැන් පරිභෝජනයේ සෑහෙන තරම් වෙන්සක් දක්නට ලැබී නොමැත. මෙම ක්‍රියාදාමය හරහා සිදුව ඇති අනිසි ප්‍රතිඵලයකි නීතිවිරෝධී මත්පැන් හෙවත් “කසිප්පු” මුදලාලිලා තර වීම. මත්පැන් බෝතලයක් මිලට ගැනීමට මිල මුදල් නැත්තවුන් එයට ආදේශකයක් ලෙස කසිප්පු බීමට ඇබ්බැහිව තිබේ. මෙය නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනයටත් වඩා බෙහෙවින් හානිකර තත්ත්වයකි. කිසිඳු ප්‍රමිතියකින් තොර කසිප්පු බෙහෙවින් අවදානම් සහගත පානයකි. අනෙක් අතට ආණ්ඩුවට බදු ගෙවන නීත්‍යානුකූල කර්මාන්තකරුවකු කඩා වැටෙද්දී නීතිය කඩ කරන කූට වෙළෙන්දෙකු නීතිවිරෝධීව ලාභ උපයයි. ආණ්ඩුව නීත්‍යානුකූල මත්පැන් සහ දුම්වැටි හරහා බදු වශයෙන් උපයන අධික ආදායමද බිඳ වැටීම තරමක ගැටළුවකි. යුද්ධයේ නිමාවත් සමඟ විශාල ප්‍රබෝදයක් අපේක්ෂිත සංචාරක කර්මාන්තයටද මතට තිත සෘජුව බලපායී. සුද්දන් ලංකාවට විත් මත්පැන් නොබී දුම්වැටී නොබී ඉඳිනු ඇත්ද? 2015 වන විට රටේම “මතට තිත” වුවහොත් අප ආර්ථිකයේ වැදගත් සාධකයක් වන සංචාරක කර්මාන්තයට මරු පහරක් වැදීම නොවැළැක්විය හැක. මත්පැන්, දුම්වැටි සහිත දර්ශන රූපවාහිණියේ නොපෙන්වීමද ගැටළුවකි. මිනිස්සුන්ට දැන් නිදහසේ රූපවාහිණියේ චිත්‍රපටයක් නැරඹීමේ වරමත් හෙළ උරුමයේ ඇත්තන් අහිමි කොට තිබේ. බොහෝ පැරණි සිංහල චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට මෙන්ම ඉන්දීය චිත්‍රපටවලද දර්ශන රැසක දුම්වැටි, මත්පැන් අන්තර්ගත වීම කරණ කොට ගෙන චිත්‍රපටයක බහුතර කාලය කොටු බැලීමක් බවට පත්ව තිබේ. මෙහි ඊටත් වඩා කණගාටුදායක පුවත නම් එසේ කොටු වැටෙන විට සෝඩා වෙළඳ දැන්වීම් තිරයේ දිස් වීමයි. යමක් කෙළින්ම කියනවා වෙනුවට වක්‍රවද කිව හැක. ඇතැම් විට සෘජුව කියන දේට වඩා වක්‍රව කියන දේ භයානක වී ඇත. වක්‍ර පණිවුඩයෙන් ඒ ගැන යම් කිසි කුතුහලයක් ළමයකු තුල හටගනී. නමුත් මත්ද්‍රව්‍ය භාවිතය කෙලින්ම දුටුවකුට ඇතැම් විට ඒ ගැන අප්‍රියයක් ඇති විය හැක, ඇතැම් විට ඒ ගැන වැඩිහිටියකුගෙන් විමසනු ඇත. මේ දෙකෙන් වඩාත් භයානක මොකද්ද?? දරු පරපුරට මේ ක්‍රියා වල හරි වැරැද්ද කියල දෙමින් ඔවුන් දැනුවත් කරනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ වාරණය හරහා දරුවන්ව යතාර්ථයෙන් මුවා කර බුද්ධිමතුන්ට විහිලු සැපයීමය.

රූපවාහිනියෙන් චිත්‍රපටයක් බලන්නට බැරි ජනතාවට චිත්‍රපටශාලාවකින්වත් චිත්‍රපටයක් නැරඹීමට තුබූ හැකියාවටත් ආණ්ඩුව බධා කරන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනමත් සමඟය. මේ රජය අපේ සංස්කෘතිය ගැන හාංකවිසයක්වත් නොදන්න ගානය. ආණ්ඩුව හිතන විදියට ශ්‍රී ලාංකිකයන්ට ලිංගිකත්වය, ශුංගාරය අකැපය. එදා හෙළ රජවරුන්ට අන්තඃපුර තිබූ බව මොවුන්ට අමතකය, එක ගේ කෑම අමතකය. හොඳ හෝ නරක වේවා ඒවාත් අපේම සංස්කෘතියේ කොටස්ය. ජනාධිපතිතුමාට පන්දම් අල්ලන කලාකරුවන්, රංගන ශිල්පීන්ද මේ තහනම පිළිබඳ මුනිවත රැකීම ගැටළු සහගතය. හෙළ උරුමයේ ස්ථවීරයන් වහන්සේලාට, උපාසක මහත්වරුන්ට අපේ ඉතිහාසයේ, සංස්කෘතියේ මේ පැතිකඩ අමතකය. මෙයත් අප ප්‍රෞඩ සංස්කෘතියේම අංගයන්ය. රජදවසත් එවැනි නම් අද මේ ආණ්ඩුව නටන්නට අර අඳින ජවනිකාව කුමක්ද? කවුරු කොහොම කීවද හෙළ රජදවස පටන් අපේ මුතුන් මිත්තන් මත්පැනින් සප්පායම් වූ වගද බැහැර කළ නොහැකිය.

මෑතක සිට ජංගම දුරකථනය නරක උපකරණයක් ලෙස හුවා දැක්වීමට රජය හා සම්බන්ධිත ඇතැම් කොටස් වෙර දරති. මේ වර්ෂය ඉංග්‍රීසි භාෂාවේ සහ තොරතුරු තාක්ෂණයේ වර්ෂය ලෙස නම් කරනු ලැබුවේද ආණ්ඩුවමය. ජංගම දුරකථනයද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේම මෙවලමකි. මෙවැනි උවාරණ අපයෝජනය කළ හැකි වුවද මේවා සැබැවින්ම මිනිසාට ප්‍රයෝජනවත් මෙවලම්ය. ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට අනිසි ලෙස භාවිතා කළ හැකිය. අභ්‍යාස පොතක් වුවද නොහොබිනා පරිදි යමෙකුට භාවිත කළ හැකිය, නමුත් ඊට විසඳුම අභ්‍යාස පොත තහනම් කිරීමද? කළ යුත්තේ ඒ ඒ භාණ්ඩයේ හොඳ නරක සහ ඒවා භාවිතා කළ යුතු ආකාරය ජනතාව සහ දරු පරපුර අතර දැනුවත් කිරීම මිස ඒවා තහනම් කිරීම නොවේ.

මේ ඔක්කෝටම සරිලන සංස්කෘතික ඇමැතිවරයකු අතිගරු ජනාධිපතිතුමා පත් කර ඇත්තේ අඳ ගොළු බිහිරකු පරිද්දෙනි. තම බලයට කෑදර නිසා මිනීමැරුම් නඩුවක ප්‍රධාන විත්තිකරුවකු වුවත් තම ඇමැති මණ්ඩලයට වද්ද ගන්නට තමා ලැජ්ජා නොවන බව ජනපතිතුමා පෙන්වා දෙයි. ඒකේත් භයානකම කාරණාව ඔහුට සංස්කෘතික ඇමැති පදවියම පිරි නැමීමයි. ජනතා විමුක්ති පෙරමුණෙන් මහා උජාරුවට “අපිට වරප්‍රසාද වරදාන එපා, අපිට සුඛෝපභෝගී වාහන, මන්දිර එපා” කියල මැත දෙඩවූ පියසිරි විජේනායකලා වගේ කස්ටියට මුල අමතකය. අද ඔහුගේ අධි සුඛෝපභෝගී රථයේ මාසික කුලිය රුපියල් දෙලක්ෂය පන්නයි. එහි මාසික ඉන්ධන පිරිවැය රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වේ. සමාජවදීන්, දේශප්‍රේමීන් යැයි තමන්ටම ලේබල් අලව ගන්නා මෙවැනි ජෝකර්ලා රටටම අවනම්බුවකි. මොහුගේ මාසික ඉන්ධන වියදම රුපියල් එක් ලක්ෂ පනස් දහසක් ලෙස ගතහොත්, ඔහුගේ රථය පෙට්‍රල් රථයක් යැයිද ලීටරයකට කිලෝමීටර් 6ක් දිවිය හැකියැයි සිතුවද ඔහු එම මාසය තුලදී කිලෝමීටර 7000ක් පමණ රථයේ ගමන් කර තිබිය යුතුය. අපේ පුංචි රටේ කිලෝමීටර 7000ක් මසක් තුල යන්න පුලුවන්ද? ඔහුගේ නායක විමල් වීරවංශ කියන මනුස්සයාව සිරිපාදෙ වන්දවන්න, සීගිරි නග්ගවන්න එක්ක ගියත් එවැනි ඉන්ධන පිරිවැයක් නොයනු ඇත. ඊයේ මාධ්‍යය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව මොහුගෙන් ප්‍රශ්න කළ විට තමා එම ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන බව ඔහු අවඥාවෙන් යුතුව ප්‍රකාශ කළේය. එම ඇමැති මණ්ඩලයේම අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමා සමඟ පවා මෙම තීන්දු තීරණ ගැනීමට පෙර සාකච්ඡා නොකළ බව එතුමා මැසිවිලි නැගීය. මෙවැනි ළමා මානසිකත්වයකින් හෙබි, නින්දිත, අමනෝඥ, ඔලුව උදුම්මාගත් ඇමැතිලා පත්කිරීම බෙහෙවින් ඛේදජනකය. එසේම එවැනි ජෝකර්ලා පාර්ලිමේන්තු නොයැවීමටද ජනතාව වග බලා ගත යුතුය. එළඹෙන මහ මැතිවරණයේදීවත් සන්ධාන පක්ෂිකයෝ ජාතික නිදහස් පෙරමුණු ගම්පහ දිස්ත්‍රික් නායකයාට පාඩමක් උගන්වතැයි අපි අපේක්ෂා කරමු.

මිනිසුන් යනු බුද්ධිමත් ජන කොට්ඨාශයකි. මිනිස්සු මොන දාම් ගැටයක් හෝ ගසා තම අරමුණ අත්පත් කර ගැනීමට වෙර දරයි. උසස් පෙළ 1st shy අසමත් තරුණයා 2nd shy කරයි. උසස් පෙළ 2nd shy අසමත් තරුණයා 3rd shy කරයි. මිනිසුන් බාධකවලට මුහුණ දෙන්නට සූදානම්ය. මැද පෙරදිග රටවල හොරුන්ට මිනීමරුවන්ට අතපය කැපීම, මරණ දඬුවම දීම ආදී දරුණු නීති ක්‍රියාත්මක වුවද ඒ රටවල අදටත් දරුණු අපරාධ සිදුවේ. බාධක, තහනම් ආදිය දමනවාට වඩා අප අවදානය යොමු කළ යුත්තේ ඒ ජනතාවගේ අරමුණ වෙනස් කිරීමටයි. තහනමට වඩා අප අවදානය යොමු කළ යුත්තේ ජනතාවගේ ආධ්‍යාත්මය, අධ්‍යාපනය සහ දැනුවත්කරණය නගා සිටුවීමටය. නීති දැමීම හරහා ජනතාව එක කොටුවකට සීමා කරනවා වෙනුවට අප උත්සුක විය යුත්තේ රීතීන් උද්දීපනයටය.

ආණ්ඩුව හිතන්නේ තමුන්ට අවාසි වන හැම දේම තහනම් කරහම හරි කියාය. පූජ්‍ය පක්ෂයේ ඇතැම් හිමිවරුන්ටත්, අපේ අති දක්ෂිණාංශික ජාතිවාදීන්ට, සංස්ථිතිකවාදීන්ටත් ගැලරියේ ඇතැමුන්ටත් බොළඳ ආතල් දීමට ආණ්ඩුව ක්‍රියා කිරීම කණගාටුදායකය. මෙහෙම ගියොත් මියුසියස් විදුහලේ සිසුවියගේ ජීවිතය බිළිගත් ටයි පටිය, ආණ්ඩුව දිගින් දිගටම අපකීර්තියට පත් කරන වාර විභාග පවා තහනම් වීමට ඉඩ ඇත. ආණ්ඩුවේ කාර්යභාරය වාරණය හරහා මිනිසුන්ගේ නිදහස සීමා කිරීම නොව ඒ ඒ ක්‍රියාවේ ආදීනව බුද්ධිගෝචරව ජනතාවට පහදා දීමය. විශේෂයෙන්ම මත්පැන්, දුම්වැටි ආදියේ ආදීනව පවසමින් පත්තර දැන්වීම් ටිකක් වත් දාන්නට ආණ්ඩුවට උවමනාවක් නැත. ජනතාවගේ නිදහසට බාධා නොකර නිසි අධ්‍යාපනයක් හරහා රටේ යහපත් සමාජයක් ඇති කර ගත හැකි බව රජය ඉක්මනින් අවබෝධ කරගත යුතුය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 නිකිණි

H Niles Perera©, August 2009

අපේ විභාග කොමසාරිස්

Click here to get Sinhala Unicode.

ලංකාවේ පාසල් අධ්‍යාපනය ක්‍රමක්‍රමයෙන් පිරිහෙන බව ඔබ අප කොයි කවුරුත් දනී. පළමු ශ්‍රේණියේ සිසුන් ඇතුල් කර ගන්නා තැන සිට උසස් පෙළ නිමවා ප්‍රතිඵල ලැබෙන තුරු පාසල් අධ්‍යාපනය මහා අවුල් ජාලාවක් වී හමාරය. එම අවුල් ජාලාවේ මූලිකාංගයන් බවට අක්‍රමවත් වාර විභාග, ළමා මානසිකත්වය නහඳුනන ගුරුවරුන්, දේශපාලනික පත්වීම්, ගුරුවරුන් උත්තර පත්‍ර සමීක්ෂණය වර්ජනය, ගුරු වැටුප් විෂමතා, විභාග ප්‍රතිඵලවල පමාව යනාදිය දැක්විය හැක. මේ සියල්ල ගැන කතා කරන්නට නම් බ්ලොග් සටහන් එකක් මදිය. නමුත් මම අද සැලකිල්ලට ගනුයේ අප රටේ විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සහ ඔහුගේ දෙපාර්තුමේන්තුව ගැනය..

පහුගිය සතියේ පැවැති උසස් පෙළ ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හයක් මාතර උපකාරක පංති ගුරුවරයකු විසින් විභාගයට පෙර තම සිසුන් අතරේ බෙදා හැර ඇති බව මාධ්‍යය වාර්තා කළේය. මෙහිදී විභාග කොමසාරිස්තුමා පවසා සිටියේ එවැනි දෙයක් කිසි ලෙසකින්වත් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බවත්ය. මෙය නඩුව අසන්නට පෙර තීන්දුව දෙනවා වැනිය. එවැන්නක් සිදුව නැති බව අපේ ගෞරවණීය විභාග කොමසාරිස්තුමාට විශ්වාස නම් මුදල් කන්දරාවක් වැය කරමින් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නේ මන්දැයි යන කාලීන ප්‍රශ්නය මගේ සිතට නැගේ. මීට අමතරව ප්‍රතිඵල නිකුත් කිරීමට දීර්ඝ කාලයක් වැය කිරීම, ඒවා නිසි ආකාරයෙන් කිරීමට නොහැකි වීම, සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර හුටපටය හරහා සිසුන්ටත් රටටත් කළ හානිය, 2005 රසායන විද්‍යා බහුවරණ උත්තර පත්‍ර සමීක්ෂණයේ වූ අඩුපාඩුකම් ආදී වශයෙන් කරුණු කාරණා රාශියක් ඔහුට එරෙහිව ගොනු කළ හැකිය.

මාගේ මතකයේ හැටියට මා සාමාන්‍ය පෙළ විභාගය ලියන සමයේ සිට විභාග කොමසාරිස්ධූරය හෙබවූ මේ මහතාගේ නායකත්වය යටතේ විභාග දෙපාර්තුමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජය “ඇනගෙන” ඇති වාර ගණන අප්‍රමාණය. එම කාල සීමාව තුල ව්‍යාකූලත්වයකින් තොරව නිමාවූ විභාගයක් ඇත්ද යන්න සැක සහිතය. සහෝදර ශිෂ්‍ය ප්‍රජාව එතුමා මෙනෙහි කළ ආකාරය අනුව එතුමාගේ දෙමාපියන් කෙරේ දැඩි අනුකම්පාවක් මට ජනිත විය. දරුවන්ට තියා ගුරුවරුන්ටවත් ජ්‍යාමිතිය බැරි යැයි වරක් කොලොප්පම් කල අනුර එදිරිසිංහ මහතාට මෙලෝ විභාගයක් හරියට තියාගන්නට බැරි බව එතුමා විසින්ම ක්‍රියාවෙන් ඔප්පු කරගෙන ඇත.

මෙවැනි අකාර්යයක්ෂම ඔලුව උදුම්මා ගත් රාජ්‍ය නිලධාරීන් මහ පුටු වල සිටින තාක් කල් රටක් වශයෙන් අපට යා හැකි දුර ගැන මට නම් ප්‍රශ්නාර්ථ රැසක් පැන නගී.

දැන් ඔබේ වාරයයි. ඔබේ අත්දැකීම් අනුව විභාග කොමසාරිස්තුමා සිය කාර්යය භාරය නිසි ආකාරයෙන් සිදු කරනවාද, නැද්ද යන්නට කරුණු දක්වා comment කරන්න. කරුණාකර ඔබේ අදහස් සැකෙවින් සහ සභා උචිත ආකාරයෙන් කැටි කොට දක්වන්න. මෙම බ්ලොග් ලිපියේ අරමුණ කාගේවත් චරිත ඝාතනය නොව සමාජයේ ඇති දැවෙන ප්‍රශ්නයක් ගැන කතිකාවක් ගොඩ නැගීම බවද සිහියේ තබාගන්න.

ස්තූතියි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 නිකිණි

H Niles Perera©, August 2009

අනේ අපේ පොලීසිය…

Click here to get Sinhala Unicode.

පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකා පොලීසිය සම්බ්න්ධයෙන් බෙහෙවින් දුක්බර පුවත් කිහිපයක් අපට අසන්නට ලැබුණි. නීතිය රැකීමට ඇති පොලීසිය නීතිය අතට ගැනීම බෙහෙවින් කණගාටුදායකය.

මීට සති දෙකකට පමණ එපිටදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නිපුන රාමනායක නැමැති සිසුවාට පහර දීමේ සිද්ධිය ගැන රටම දනී. කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුතු සහ භාර්යයාව විසින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය මත මෙම සිසුවාට බොහෝම අමානුෂික ලෙස වධහිංසා දී පහර දීම හිත් පිත් ඇති කාට නම් අනුමත කළ හැකිද?? එහෙත් මෙම අකටයුතුකම් මධ්‍යයේ නීතිය නිහඬ වී තිබේ. සිද්ධියට සම්බන්ධ යැයි කියන පොලිස් නිලධාරීන්ට ස්ථානමාරු දී තිබුණද අදටත් වාස් ගුණවර්ධනගේ පවුලේ අයවලුන් නිදැල්ලේය. මෙය නීතියද? මෙසේ පෞද්ගලික විරසකයක් පිරිමහා ගැනීමට පොලිස් බලය භවිතා කරන්නට ඉඩ දිය හැකිද? රජයටද වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන පරිදි කටයුතු කඩිනම් කිරීමේ වගකීමක් ඇත. ස්ථාන මාරු ලබා දීම ප්‍රමාණවත් දඬුවමක්ද? තරාතිරම නොබලා දඬුවම් දෙනවා යැයි මාධ්‍ය සාකච්ඡාවල පම්පෝරි ගහලා වැඩක් නැත. එය ප්‍රායෝගිකව එසේම සිදු විය යුතු නොවේද?

වාස් ගුණවර්ධන අද පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ. නමුත් තමාටත් තම පවුලටත් සිදුවූ අපවාදයෙන් ගැලවීමට මාන්නාරමෙන් බෝම්බ ලොරියක් ඇල්ලුවා යැයි මධ්‍යයට පවසමින් ඔහු රංගනයක නියැළුණු බවට විශ්වාස කිරීමට සාක්ෂි දිග හැරේ. ඒ මන්නාරම ප්‍රදේශය භාර කීර්තිමත් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී නිමල් ලෙව්කේ මැතිතුමා එවන් බෝම්බ ඇටවූ ලොරියක් මන්නාරමෙන් සොයා නොගත් බව සැල කිරීමත් සමඟය. එවැනි ලොරියක් මන්නාරමෙන් හමු නොවුණි නම් එතැනත් වාස් ගුණවර්ධන මහජනතාවගේ ඇස් වලට වැලි ගසමින් තවත් වරදකට මුල පුරා ඇත.

පෙරේදා අඟුලානේ සිදු වූ ඛේදවාචකය ගැනද රටම දනී ප්‍රදේශයේ නීතිය වෙනුවට අවනීතිය වැපිරවූ පොලිස් නිලධාරීන් විසින් තරුණයින් දෙදෙනෙකු මරණයට ලක් කරමින් මහා ගාලගෝට්ටියකට මුල පිරීය. මෙම අකටයුත්තට සම්බන්ධ නිලධාරීන් කිහිප පොලක් රිමාන්ඩ් භාරයට පමුණවීම නම් සතුටුදායකය. පාතාලය මර්ධනය කිරීමට රජය පොලීසියට ලබා දී ඇති අවස්ථාව පොලීසිය බොහෝ නින්දිත අයුරින් අපහරණය කරන බැව් නොරහසකි. එසේ නම් රජයට මෙම විනාශය වැළැක්වීමේ ප්‍රබල වගකීමක් ඇත.

නීතිය දඩමීමා කරගෙන තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට පොලීසියක් අවශ්‍යද? රටක සංවර්ධනයට, සාධාරණත්වයට අවශ්‍ය වන්නේ දූෂණයෙන් භීෂණයෙන් තොර පොලිස් දෙපාර්තමේන්තුවකි. එවන් පොලීසියක අවශ්‍යතාව වෙනදාටත් වඩා දැනෙන අද ජනතාව එවන් පොලීසියක් එන තුරු මග බලා සිටී. ජනතා අපේක්ෂාව ඉටු නොවුන හොත් හැමදාම නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය. පොලීසිය ශෝධනයේ වගකීම කෙරේ පොලිසීයේ අවංක නිලධාරීන්ගේත්, රජයේත්, මහජනතාව වන අපගේත් කාලීන අවධානය යොමු විය යුතුය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 නිකිණි

H Niles Perera©, August 2009