18 සන්නිය

18වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී මහා ඉහළින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 161කුත් විපක්ෂව ඡන්ද 17කුත් ලැබුණි. එහෙත් එකී 18වන සංශෝධනය පාර්ලිමේන්තුවේ තකහනියේම සභාගත කළේ රට ගැන කැක්කුමකින්ද, ඉන් අපේ රටේ ජනතාවට ඇතිවන සුබසෙත කවරේද?? ආණ්ඩුවේ වහසි බස් වලට රැවැටෙනු වෙනුවට අප විමසා බැලිය යුත්තේ මෙයයි.

ශ්‍රීලනිප ප්‍රබලයන්ගේ කැමැත්ත (රත්නසිරි දෙස නෙතු යොමන්න)

මුලින්ම මේ 18වන සංශෝධනයෙන් වෙන්නේ කුමක්ද යන්න තෝරා බේරාගෙන සිටිය යුතුය. එහි මූලික වෙනස්කම වන්නේ ජනාධිපතිවරයකුට එම ධූරය දෙවරකට වඩා ඉසිලීම වළකමින් තුබූ තහංචිය ඉවත් කිරීමය. ඒ අනුව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත නැවැතත් ජනාධිපතිධූරයට තරඟ කිරීමේ අවකාශය හිමි වේ. ඒ අනුව ඔහුට මියෙන තෙක්ම ජනාධිපති පුටුවේ රැඳී සිටීමට වුව අවකාශය හිමි වනු ඇත. “ඉතින් ඒකේ වැරැද්ද කුමක්ද?” යමෙක් අසන්නට පිළිවන, “ඒකෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙන එක නේද?, මොකෝ මහින්ද මහත්තයා මිනිස්සුන්ගෙ ඡන්දෙන්නෙ දිගටම ඉන්න යන්නෙ” ඒ තවත් පසෙකින් නැගෙන තර්කයකි. බැලූ බැල්මට මෙහි ඇත්තක් ඇතැයි යමෙකුට කිව හැකිය. නමුත් එය සැබැවින්ම එසේද? ලෝකයේ විධායක ජනාධිපති ක්‍රමයක් සහිත සංවර්ධිත රාජ්‍යය සියල්ලේම ජනාධිපතිවරුන්ට ධුර සීමාවක් (term limitations) පනවා තිබේ. සිරිලක ධුර කාලය දික් කරගන්නට බලධරයින් උත්සුක වෙද්දී ඇමරිකාවේ සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභිකයින්ගේ පවා ධුරකාලය සීමා කෙරෙන පනතක් කෙටුම්පත් කෙරෙමින් පවතින වග ඔබ සමහර විට දන්නවාත් ඇත. ඊට හේතුව රටේ නායකත්වය පිරිහීම වැළැක්වීමය, බොහෝ අවස්ථාවලදී බලකාමයෙන් මන්මත් වී යන දේශපාලනඥයින් තම බලය රැකගැනීමට නොකරනා දෙයක් නොමැත. එය ලක්වැසි අපට අරුමයක් නොවේ, බලයේ ඇත්තවුන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍යය, ආරක්ෂක අංශ සිය පෞද්ගලික බූදලය මෙන් පරිහරණය කරමින් සිය බලය රැකගැනීමට ගෙන ගිය ක්‍රියාවලීන් අප හොඳාකාරව දැක ඇත. එබැවින් මේ සංශෝධනය හරහා සිදුවන්නේ බලකාමය ඇත්තකු තව තවත් ඊට අලවා තබමින් රට වලපල්ලට යැවීමය. “ඒක කොහොමද එහෙම වෙන්නෙ?” ඒ ඔබේ මීළඟ ප්‍රශ්නය විය හැකිය. ඊට පිළිතුර සොයන්නට අපිට සහෝදර සංවර්ධනය වෙමින් පවතින රටවල්වල උදාහරණ කීපයක් සෑහේ. අප්‍රිකාවේ බොහෝ රටවල ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් වන අතර ඒ රටවල් බොහෝමයක ධූර සීමවක් පනවා නොමැත. අප්‍රිකාවේ බොහෝ රටවල්වල ආඥාදායකයින් බිහිවී ඇති බව නොරහසකි, ඇතැම් විට ජනතා සහයෙන් ආඥාදායක ජනාධිපතිවරයා පන්නනන්නට නායකත්වය දෙන්නා ඊටත් වඩා දරුණු ආඥාදායකයකු වූ අවස්ථා අප්‍රිකාවේ බහුලය. රාජ්‍ය විරෝධී කැරළි, කුමන්ත්‍රණ ආදිය නිසාම අප්‍රිකාවේ රටවල් වල මිනිසුන් පීඩා විඳිති. තම රටේ “මියෙන තෙක්” ජනපතිගේ වරදාන, වරප්‍රසාද, රාජකීය ඌෂ්ණය වෙනුවෙන් ඒ රටවල මිනිසුන් නොමැරී මැරෙති. සිම්බාබ්වේ දේශයේ රොබට් මුගාබේ නම් ආඥාදායක ජනාධිපතිවරයා මීට කදිම නිදසුනකි, 1987 බලයට ආ ඔහු බලය රැකගන්නේ ඡන්දවලිනි, ඒවා අතිශය දූෂිතය, මුගාබේ බලයේ සිටීමෙන් සිම්බාබ්වේ වැසියන්ට වූ සෙත කුමක්ද?? ඔහු එන්න එන්නම දුර්දාන්තවාදී පාලකයකු වෙමින් රාජ්‍ය ත්‍රස්තවාදය රට පුරා මුදා හරිමින් රට කාබාසිනියා කළේ සිය බලය රැකුමටය. ඔහුගේ බලකාමය නිසා සිම්බාබ්වේ දේශය ලොව ඉහළතම උද්දමනයට උරුමකම් කියයි. ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශය මෙන් වනු ඇතැයි මම නොකියමි, නමුත් 18වන සංශෝධනයෙන් මේ පියවර තැබුවේ ඒ දෙසට නොවෙතැයි කාට නම් හිතට එකඟව කිව හැකිද??

2010 සැප්තැම්බර් 5දා ලක්බිම පුවත්පතේ දර්ශන කරුණාතිලකගේ කාටූනය

අනෙක් පැත්තට “තරුණ පරපුරට වගකීම් දෙන්න ඕනෑ” කියන්නේ ජනාධිපතිතුමාමය, ඉතින් ඉදිරියේ රටට නායකත්වය දෙන්නට සිටින තරුණ නායකයින්ට වල කැපීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ධුර වාර ගණන දීර්ඝ කරගැනීම කෙතරම් අවංක ක්‍රියාවක්ද කියා ඔබම සිතා බලන්න. එලෙසම ‘මහින්ද චින්තන – ඉදිරි දැක්ම’ ඔබට සිහි කැඳවීම මගේ යුතුකමකි, එහිදී අතිගරු ජනාධිපතිතුමා ජනතාවට ප්‍රතිඥා දෙනුයේ විධායක ජනාධිපතිධූරය භාරකාර තනතුරක් බවට පත්කරන බවයි. එහි පිටු අංක 53හි උපුටගැනීම මෙසේය.

ඔය කියනා අයුරේ කිසිඳු බලතල වෙනස් කිරීමක් මේ සංශෝධනය හරහා කර නැත. උවමනාව තිබුණි නම් ඡන්ද 161ක් ඇති ආණ්ඩුවට එකී සියළු වෙනස්කම් එකවර සිදු කළ හැකිව තිබුණි. සිදුවී ඇත්තේ එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 224ක (එවක ඇමැතිවරයකුව සිටි ජනාධිපතිතුමා ඇතුළු) මනාපය පරිදි සම්මත වූ 17වන සංශෝධනය හරහා කප්පාදු කැර ගැනුනු බලතල යළි ලබාදී විධායක ජනාධිපති කියන්නා වූ තනතුර තවදුරටත් ශක්තිමත් කිරීම පමණෙකි. විධායක ජනපති තනතුර අද වන විට රජකමට නොදෙවැනි වන්නේ යැයි යමෙකු කිවහොත් එහි වරදක් නොහේ. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණය තමන්ගේ හෙංචයියන්ගෙන් පුරවා ගත හැකි, සිය දේශපාලන බලරාගය මුදුන් පමුණුවා ගත හැකි සංශෝධනයක් සම්මත වීම ලක්වැසි අපට අහිතකරය. විශේෂයෙන්ම විධායක ජනාධිපතිධූරය අඛණ්ඩව විවේචනය කරමින් බලයේ රැඳෙමින් විධායක අගමැතිකම් ගැන කියැවූ උදවිය ඊට පක්ෂ වීම හාස්‍යජනකය.

අනෙක් පැත්තට ගත්විට අපේ ලක්දෙරණට කලක පටන් විදේශයන්ගෙන් විවිධ මානව හිමිකම් චෝදනා බලපෑම් එල්ලවන බව නොරහසකි. නමුත් සැර බාල වී ගෙන එද්දී මේ සංශෝධනය හරහා නැවතත් විදේශිකයන්ට බලපෑම් කිරීමට මාර්ගයක් නිර්මාණය කරදෙන්නට ආණ්ඩුව සමර්ථ වී ඇත. එක අතකින් ආණ්ඩුවේ පැවැත්ම රඳන්නේ “විජාතික බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ” මත පදනම්වය. ඒ කෙසේ වෙතත් මෙය විදේශ බලපෑම්වලට පවා අත වැනීමකි, එබැවින් එය රටට මහත් වූ පිළිලයක්මයැ.

2010 සැප්තැම්බර 7දා ලංකාදීපයේ දාස හපුවලානගේ සුවාරිස් කාටූනය

එහෙත් ලක්වැසි ජනතාවට ඇත්තාවූ ලොකුම ප්‍රශ්නය මෙයද? 18වන සංශෝධනය හරහා ගමේ රටේ සාමාන්‍ය ජනතාවට අත්වන සෙත නම් කිම. මීට වඩා දැවෙන ප්‍රශ්න මිහිපිට විසඳන්නට තිබියදී මෙවන් සංශෝධනයක් ගෙන ඒම ජුජුප්සාජනකය. ව්‍යවස්ථාවේ සිදුවිය යුතු ප්‍රධානතම වෙනස්කම මේකද?? මීට වඩා රටේ ජනතාවට බලපාන, රටේ අනාගතයට හේතුකාරක වන බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමය යනාදී දෑ තිබියදීත් ඒවා නොසලකාහැරීම කණගාටුවට කරුණකි. ලක්දෙරණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණවිරුවන්ගේ මැදිහත්වීමෙන් කුරිරු ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම මුදවා ගෙන මාස 16ක් පමණ ගතවී තිබුණද ඒ කාලය තුල රාජ්‍ය මාධ්‍යය සහ දේශපාලනික වේදිකා තුල රඟ දැක්වූ ජවනිකා වලට සාපේක්ෂව රටේ සංවර්ධනයක් වී ඇතිද යන්න ගැටළු සහගතය. වෙසෙසින්ම යුද්ධයෙන් තොර රටක මීට එහා ගිය සංවර්ධනයක් මහජනතාව අපේක්ෂා කළෝය.

නමුත් අවාසනාව නම් එය නොවේ. එදා විධායක ජනාධිපතිධූරය නිර්දය ලෙස විවේචනය කළ පැරණි “වමේ” පක්ෂ අද මීට පක්ෂ වීමත්, එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දයෙන් මැතිසබයට ආ මන්ත්‍රීවරුන් මෙම අනිසි ක්‍රියාවන්ට උඩගෙඩි දීමත්ය. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ නිද්‍රාශීලීව සිටීමත් ජ්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මර්දනය කිරීමත් මත නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ටම උරුම වන තත්ත්වයක් උද්ගතව ඇත. බොහෝ දෙනෙක්ට නොතේරුන්ද මෙය රටේ අවාසනාවකි. එහෙත් එහෙව් අවාසනාව භාරගන්නවා වෙනුවට් සැඩ පහර මැදින් වුවද රට වෙනුවෙන්, සත්‍යය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන්, අප විශ්වාස කරන්නාවූ ප්‍රතිපත්ති වෙනුවෙන් උඩුගං බලා පිහිනීම අප සතු යුතුකමකි, වගකීමකි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බිනර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: