Posts Tagged ‘Lies’

සුබ අලුත් අවුරුද්දක්..!!??

බොහෝ දෙනෙක් කියනුයේ අද දශක ගණනාවකට පසු “එකම රටක් තුල එකට අවුරුද්දක් සමරන සුවිශේෂී අවස්ථාවක්” බවයි. එහෙත් එසේ කයිවාරු ගසන උදවියට අමතක වූ දෙයක් ඇත. එනම් එම තත්ත්වය ලක්වැසි දනන්ට උදා කළ අභීත සෙන්පතියා වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගතව ඇති බවයි.  ඒ සිරගත කිරීමට විරුද්ධව උපවාස කරන සංඝයා වහන්සේලා පවා කුදලාගෙන යන තත්ත්වයක් අද උද්ගතව ඇත. මේ තත්ත්වය ඛේදයක් නොවෙතැයි කාට නම් කිව හැකිද?? අපි අපි ගැනම ලැජ්ජා වනවා හැර කුමක් කරම්ද?

රියර් අද්මිරාල් සරත් වීරසේකර

පහුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයින් යුද්ධය සිල්ලරට වෙන්දේසි කළහ. එකෙකු ජනාධිපතිතුමා යුද ජයග්‍රහණයේ පණිවුඩය ආ දුරකථන ඇමැතුම පළමුව දුන්නේ තමුන්ට නිසා තමුන්ව දිනවන්න යැයි කිසිඳු හිරිකිතයකින් තොරව හඬ ලෑවේය. එහෙත් ඒ දුරකථනයේ ආ පණිවුඩය දෙන්නට තෙවරක් මරණීය තුවාල ලබමින් වීර හමුදාවෝ මෙහෙයවූ සෙන්පතිඳුන් සිරගෙදරය, ඔහු ද්‍රෝහියෙකි. ඒක හොඳය, යුද්ධය දිනූ බව හමුදාව කී විට රිසීවරයෙන් අසා සිටි කෙනා වීරයෙකි දේශප්‍රේමියෙකි. බුද්ධිමත් කාට නම් මේවා අනුමත කළ හැකිද? තවත් උදවිය කොටි හඬ නිහඬ කළේ තමන් යැයි වහසි බස් තෙපලති, නමුත් මේ සැමටම යුදබිමේ ජනරාල් ෆොන්සේකා කළ අමරණීය කාර්යභාරය අමතකව ඇත. ඒ තබා තමන්ගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කරමින් එහි වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා ගැනවත් එම පක්ෂයේ උදවිය කත නොකිරීම කණගාටුවට කරුණකි. ඒ තබා රටේ ජනතාව පමණක් නොව සන්ධාන පාක්ෂිකයන් ඇතැමෙක් ඔහු තරඟ කළ බව පවා නොදැනීමෙන් පිළිබිඹු වන්නේ අද දවස වන විට රටට යුද ජයග්‍රහණය ගෙන දුන් වීර සෙන්පතියන්ට අත් වී ඇති දුක්ඛදායක ඉරණමයි. අද අවාසනාවන්ත සත්‍යය වී ඇත්තේ ඔබ ආණ්ඩුව කියන ඕනෑම දේකට හුරේ දමන එහෙයියෙක් නම් ඔබ දේශප්‍රේමියකු වීමත් ඔබ ආණ්ඩුවේ වැරැදිවලට විරුද්ධව හඬ නගන්නකු නම් ඔබ දේශද්‍රෝහී පාපතරයකු වීමත්ය. එහිද දුක්ඛදායකම පුවත නම් යුද ජයග්‍රහණයට කැපවීම් කළ සන්ධානයේම රියර් අද්මිරාල් සරත් වීරසේකර වැනි විරුවන්ට වඩා කටින් බතල හිටවූ කට මැත දොඩවන වාචාලයින් දේශප්‍රේමීන් ලෙස ඉස්මතු වීම හා ඉස්මතු කිරීමය.

මේ අතර සමහරෙක් ජනරාල් ෆොන්සේකාගේ අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරති, විවිධාකාරයෙන් එතුමාට අපහාස උපහාස කරති. ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ කරුණා, පිල්ලෙයාන් වැන්නවුන් සුඛෝපභෝගී දිවි ගෙවද්දී සරත් ෆොන්සේකා හිරබත් කෑම අනුමත කළ හැකිද යන්නයි. සරත් ෆොන්සේකාට දූෂණ චෝදනා එල්ල වී ඇති බව සත්‍යය නමුත් ඔයට වඩා දූෂණ චෝදනා ඇත්තවුන් ආණ්ඩුවේ ලොකු නිලතලවල නැතිද?? ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? මේ සිරගත කිරීම දේශපාලනික සිරගත කිරීමක් නොවන්නේද??

ජනරාල් සරත් ෆොන්සේකා

අද අපි එකම රටක එකම අවුරුද්ද යැයි කියමින් බොහොම උජාරුවට කිරිබත්, කැවුම්, කොකිස් කා අවුරුදු කෑවද බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇතිවීමට හේතුකාරක වූ මූලබීජයන්ට පිළිතුරු සපයා නොමැති. යුද්ධ කරන විට ආණ්ඩුව කීවේ ආයුධ බිම තබන තුරු සාකච්ඡා නොකරන බවයි. දැන් ත්‍රස්තවාදීන් විනාශය, නිරායුධ ද්‍රවිඩ ජනතාව හා සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළුවලට පිළියම් යොදා තිරසාර සාමයක් උදකර ගත යුතුය. නැතිනම් නිවුණු ගිනිදැල් යළි දැල්වෙන්නට ඉඩකඩක් ඇත. එහෙත් ආණ්ඩුවට දමිළ ජනතාවගේ එහෙව් ප්‍රශ්න විසඳනු වස් කිසිත් උවමනාවක් ඇති බවක් නොපෙනේ, මක්නිසාදයත් යුද්ධය ජයගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ඒ ගැන පුංචි හෝ සඳහනක් නොකෙරෙන්නේ එනිසාය. අනෙක් අතට 2010 වර්ෂය උදා වන විට අපේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා සුබ පැතූ දේශීයත්වය හා හෙළ සංස්කෘතිය දිවි දෙවැනි කොට සුරකින අපේ ජනාධිපතිතුමා අපේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අපට කෙටි පණිවුඩයක් නොඑව්වේ මන්දැයි මට ප්‍රෙහේළිකාවකි.

මේ කියුම් කෙරුම් මැද්දේ අපි අපේ ලක්දෙරණටත් එහි වැසියෝ වන ඔබ අපි සැමටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

සමාජවාදය, බෞද්ධාගම සහ අප්‍රේල් 8

ශ්‍රී ලංකාව සංවේදී මිනිසුන්ගේ දිවයිනකි. නමුත් විටෙක මෙම සංවේදීත්වය දෝරෙ ගලා රටට අහේනිය කැඳවයි. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ කියන අන්දමට ලංකාව සංවර්ධන මාවතේ පසුබැසීමට එක හේතුවක් වන්නේ අප අපේ සංවේදී හැඟීම සංවර්ධනයට බාධාවක් කර ගැනීමයි. ජාතිය, ආගම යනාදිය අවුස්සා ඡන්ද දිනන හැටි වාසි ලබන හැටි අපේ දේශපාලනඥයන් මනාව දනිති.

අද මහ මැතිවරණයත් සමඟ මෙවැන් දිගහැරුම් කිහිපයක් අපට දැකගත හැකිව තිබේ. සමාජවාදය කරපින්නා ගෙන දේශපාලනයට පිවිසි එකකු අද හන්දියක් හන්දියක් පාසා කටවුට් ගසමින් තාප්පයක් තාප්පයක් පාසා පෝස්ටර අලවමින් මෝටර් රථවල ස්ටිකර් අලවා ඒවා ප්‍රචාරණය සඳහා යොදා ගනිමින් ක්‍රියා කරන්නේ සමාජවාදියකුට ඔබින අයුරින්දැයි ප්‍රශ්නයක් බොහෝ දෙනෙකුට නැගී ඇත. කෝටි ගණනක වියදමින් මාළිගා තනන්නේ යැයි චෝදනාවක් එල්ල වී ඇති මොහු විමල් වීරවංශ මහතාය. සමාජවාදය ගැන නිතර දෙවේලේ කතා කරන මනාප පොරය හෙළා දකින් මව්බිමේ පංචායුධය නමින් කිරුළු පලන් එතුමාට මේ තරම් වියදම් කරන්නට මුදල් කොහින් ලැබුණිදැයි අපි නොඅසමු. නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුල බස් නැවතුමක් තබා පොදු වැසිකිළියක්වත් හදන්නට පියවරක් ගෙන නැති ඒ මහතා තම ග්‍රන්ථ රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමැතිව හිඳිනා අවධියේදී තැනුණු ජාතික තරුණ සේවා සභාවේදී එළිදැක්වීම කෙතරම් නම් හාස්‍යයට කරුණක්ද?? එදා ජවිපෙ සන්ධානයෙන් තරඟ කරද්දී පුවත්පත් පිටුවක් පුරා ඒ ඒ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නොම්මර අප දුටු බව ඔබට මතක ඇති. නමුත් අද විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ඔහු හැරුණු කල්හී කිසිඳු අපේක්ෂකයකුට අඩුම තරමේ පුවත්පත් දැන්වීමක්වත් නොවැටෙන්නේ ඔහු සැබෑ සමාජවාදියකු ලෙස සාමුහික චින්තනයක සිටින නිසාද, නැත්නම් ආත්මාර්ථකාමී චින්තනයක සිටින නිසාද යන්න ජනතාව විසින්ම තීරණය කළ යුතුය. සමාජවාදී සළුපිළි පොරවාගෙන ධනවාදී දේශපාලනය කරන දේශපාලනඥයන් මෙරටට නවුම් අත්දැකීමක් නොවේ. සමාජවාදී දේශපාලනය ගැන උදම් අනමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල අධ්‍යාපනය ලද, ඒ රටවලට තම දූදරුවන් අධ්‍යාපනයට යැවූ වමේ දේශපාලනඥයන් අපේ රටේ ඉතිහාසය පුරා සුලභය. අවාසනාවට මොවුන්ගේ ලොමු ඩැහැ ගන්වන ප්‍රකාශවලට (එහෙත් යල්පැන ගිය) ජනතාව මුලා වීම කණගාටුවට කරුණකි. කටින් බතල හිටවනවා මිස සුළු හෝ ජනතා සේවයක් නොකරන මෙවන් ඊනියා දේශප්‍රෙමී සමාජවාදීන්ට විරුද්ධ වීම ජනතාව සතු යුතුකමකි.

අනෙක් පැත්තෙන් බුද්ධාගම වෙළෙඳ භාණ්ඩයක් කරගනිමින් ඡන්ද එකතු කර ගැනීමට යෙදවීම් බෞද්ධයන්ට මහත් කණගාටුවට හේතුවන කරුණකි. පසුගියදා මියැන්මාරයේ භික්ෂූන් වහන්සේලා මහ මග මරා දැමූ එහි ආඥාදායක පාලක තාන් ෂ්වේ ලංකාවට පැමිණි විට මුණිවත රැකි රජයේ කේවට්ටයින් ඒකෝන් නම් ගායකයා බුදුන්ට අපහස කළ නිසා ලක්දෙරණට ගෙන ඒමට දැඩි විරෝධය පෑහ. පසුව ඒකෝන් මෙරටට ගෙන ඒම පිටුපස සිටින්නේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ අචල සුරංග ජාගොඩ කැබිනට් ඇමැති පදවිය උසුලන සංචාරක අමාත්‍යාංශය බව අපට අසන්නට ලැබුණි. කෙසේ වෙතත් මෙයද දේශපාලනික ඇවිස්සීමක් විනා අන් කිසිවක් නොවන බව කිව යුතුය, ඔච්චර බුද්ධාගමට ආදරේ නම් ඉහත කීවාක් මෙන් තාන් ෂ්වේ ලක්දෙරණට එන විට මුනිවත රැක්කේ මන්ද?? අරලියගහ මන්දිරයේ “මතට තිත” මුවාවෙන් මත්පැන් සංග්‍රහය අනුමත කරන්නේ කොහොමද??

එදා බුදු රදුන්ට විවිධ උදවිය අපහාස උපහාස කරද්දී උන්වහන්සේ ඒවාට නොසැලී මුහුණ දුන් සේක. උන්වහන්සේ ඒ කිසිවකින් සැලුනේ, කම්පා වූයේ නැත, අනෙක් පැත්තට බුදු සසුනේ ප්‍රධාන දායකයන් වූ අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජතුමා, විශාඛා සිටු දියණිය වැන්නවුන් උන්වහන්සේට අපහස කරන විට බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණ කළ බව, ගල් මුල් වලින් පහර දුන් බව කොතැනකවත් ලියැවී ඇත්ද? බුදුන්ගේ අමා ධර්මය ශ්‍රද්ධාවෙන් සරණ ගොස් සසර නිමැවූ ඔවුන් අද අපේ ශ්‍රී ලාංකික “බෞද්ධයින්” හැසිරෙන අන්දමින් හැසිරෙන්නට ඇත්ද?? මෙය අප සැමට සිතන්නට යමකි, සිංහල බෞද්ධ අප එවැනි චරිතවලින් පාඩම් උගෙනිය යුතුය. එදා 2003 අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අකල් අපවත් වීම විකුණා පාර්ලිමේන්තුවේ ආසන 9ක් දිනා ගත් ජාතික හෙළ උරුමය කීවේ උන්වහන්සේලා ධර්ම රාජ්‍යයකට පාර කපන බවයි. රථවාහන පර්මිට් විකුණමින්, “බල්ලන්ට ලගින්නට” යැයි පවසා බෙන්ස් කාර් ගනිමින්, තැන තැන අසපු සදමින් ජාතික හෙළ උරුමය කර ඇත්තේ ධර්ම රාජ්‍යයට පාර කැපීමද? අද ජාතික හෙළ උරුමයෙන් ඡන්ද සටනේ ඉන්නේ එක් හිමිනමක් පමණි. අන් සියල්ලෝම ගිහියන්ය, ඔවුන්ගෙන් ඇතැමෙක් පරිසර හිතකාමී ලෙස පෝස්ටරවලින් තොරව ඡන්ද කරන්න යැයි කියද්දී ඔවුන්ගේම අපේක්ෂකයින් (ජාතික හෙළ උරුම) පෝස්ටර, සංගීත යනාදිය යොදවමින් ඡන්දය කරති. 2004දී ප්‍රධාන මාතෘකාවක්ව තිබූ අන්‍යාගමීකරණය වැළැක්වීමේ පනතවත් වසර 5ක් ආණ්ඩුවේ සිටි ජාතික හෙළ උරුමයට සම්මත කරගැනීමට නොහැකි වීමෙන්ම ඔවුන්ගේ දේශපාලන නිරුවත පෙනේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හිඳිමින් පනතක් ඉදිරිපත් කර සම්මත කරගන්ටවත් බැරි ඛාණ්ඩයකින් කුමන ඵලක්ද??

අපේ රටේ ජනතාව බුද්ධිමත් වන්නේ ඡන්දෙ කාලෙටය. ජනතාව බුද්ධිමත් බව ඕනෑම ඡන්ද අපේක්ෂකයෙක් කියන්නේ සතුටිනි. එහෙත් අපි ඇත්තටම බුද්ධිමත්ද? මෙවර අප සංවේදී නොවී රටේ අනාගතය ගැන සිතා, ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල පදනම් කරගෙන අපේ ඡන්දය භාවිතා කරන්නේ නම් රට හරිමගට වැටෙනු ඇත. ඒ තීරණය ගැනීමේ වගකීම ඔබ සතුයි.

චිරං ජයතු ලක් මවුණි..!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

යුක්තියේ යථාර්ථය…

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන අදට දින 3ක් ගෙවී හමාරය. ෆොන්සේකා මහතා කොළඹ නාවුක හමුදා කඳවුරක රඳවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා රටට දැනුම් දුන්නේය. නමුත් බොහෝ දෙනෙක් තුල මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන මර්දනයකැයි යන මතය පැතිරීමේ පදනම කිම??

එහි පදනම සරලය, අවි ආයුධ අතැතිව ශ්‍රී ලංකාව දෙකඩ කරනු වස් සටන් වැදි කරුණා, පිල්ලෙයාන් ඇතුළු හිටපු කොටි සාමාජිකයින් ත්‍රස්තවාදය රට පුරා වැපිරීය. ඉන් කරුණා කොටි මෙහෙයුම් රැසක ප්‍රධාන නියමුවා වෙමින් ශ්‍රී ලාංකේය සොල්දාදුවන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද සිය දහස් ගණනින් එළොව යැවීය. කොටි සංවිධානය පරදවා යුද්ධයට තිත තැබූ ජෙනරල් ෆොන්සේකා අද සිරගතව සිටිද්දී කර්නල් කරුණා කැබිනට් ඇමැතිවරයකු ලෙස සුර සැප විඳිමින් ඊළඟ මහ මැතිවරණය ගැන සුබ සිහින දකියි. මෙහි සාධාරණත්වය කිම??

පසුගිය සතියේ පුවත්පත් තුලින් අපට දකින්නට ලැබුණේ එස්.බී. දිසානායක මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලැබී ඇති බවත් පසුව ඔහු උඩුනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පදවියට පත් කර ඇති බවත්ය. පූර්ණ ජනාධිපති සමාව යනු කිමෙක්ද?? ඉන් අදහස් වන්නේ ජනාධිපති පූර්ණ සමාව ලබන තැනැත්තා මීට පෙර කළ ඇති සියළු වැරදිවලින් නිදොස් කොට නිදහස් කිරීමකි. ඒ අනුව මීට පෙර ඔහුට එරෙහිව ඔප්පුවී තුබූ චෝදනා, සහ ඔහු ලබා තුබූ දඬුවම් ශූන්‍ය කෙරෙන අතර මතුවට ඔහුගේ ෆයිල් එකේ එකී කරුණු අන්තර්ගත නොවනු ඇත. පසුගියදා වයඹ ඡන්ද මංකොල්ලය දියත් කළ හැටි ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කළ එස්.බී. දිසානායක මහතා සමෘධිය වැනි ව්‍යාපෘති හඳුන්වා දෙමින් අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට වඩා වැඩි සේවයක් රටට කර ඇතුවා වන්නට පිළිවන. එහෙත් එස්.බී. මහත්තයා ජෙනරල් ෆොන්සේකාට වඩා එහා රටට සේවයක් කර තිබේද? එස්.බී.ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබිය යුතු නම්, යම් වරදක් කර ඇත්නම් එවන් සමාවක් ෆොන්සේකාට අකැප මන්දැයි යන තර්කයට සමාන තර්කයක් මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබීමද සිතන්නට යමක් ඉතිරි කරයි. මහනායක හාමුදුරුවරුන් දෙපල වදාලේ උන්වහන්සේලා මේ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බවත් වරදක් කර ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කරන්නට සම්මත ක්‍රමයක් ඇති බවත්ය. උන්වහන්සේලා ජෙනරල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපි මගින් දැන්වීමටද බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

ඊයේ (10) දහවල් කොළඹ අළුත්කඩේ උසාවිය ළඟ ජෙනරල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමට රැස් වූ පිරිසට දාමරිකයින් ගල්මුල් වලින් පහර දෙන රූපරාමු ඔබ ටෙලිවිෂනයෙන් දකින්නට ඇත. එහිදී පොලිසියේ හැසිරීම ඔබේ නෙතඟ ගැටෙන්නට ඇත. දාමරිකයින් ගල්, මුල්, පොලු, මුගුරු වලින් පහරදෙන්නේ පොලිසිය අසල සිටය. මෙසේ උද්ඝෝෂකයින්ට චණ්ඩින් පහර දෙද්දී අත් දෙක බැඳගෙන එදෙස පොලිස් නිලධාරීහූ බලා සිටින දර්ශනය සැබැවින්ම ශෝකජනකය. පොලීසිය නීතිය ඉටු කරමින් එම ප්‍රහාරකයින් අත් අඩංගුවට ගන්නවා වෙනුවට කළේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් සහ අධිපීඩිත ජලප්‍රහාර එල්ල කිරීමයි. අද (11) අධිකරණය හමුවේ මේ සිද්ධිය විභාගයට ගැනුණු විට මහේස්ත්‍රාත්වරිය විසින් පොලීසියට දොස්මුරයක් පවත්වා අධිකරණයට අපහාස නොකර අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම මේ බව තහවුරු වේ.

අනෙක් අතට ප්‍රවෘත්ති වල වාර්තා වූ අන්දමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා ඇත්තේ ජෙනරල් ෆොන්සේකාට එරෙහි චෝදනා සම්පිණ්ඩණයට අදාල මූලික පියවර ගැනෙන බවයි. මින් කියැවෙන්නේ නිශ්චිත චෝදනා පත්‍රයක් තවමත් නැති බව නේද? චෝදන මොනවාදැයි ඇසූ විට එක එක උත්තර ලැබෙන්නේ එබැවිනි. තවද 11වන බ්‍රහස්පතින්දා ලංකාදීපයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා පවසන්නේ ජෙනරල් ෆොන්සේකා සිරබාරයට ගන්නේ දේශපාලන හේතු මතම නොවන බවයි. එම ප්‍රකාශය බළලා මල්ලෙන් පැනීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ඒ අනුව මේ ක්‍රියාව දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගැනීමකැයි සිතීම සාධාරණ නොවන්නේද??

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන පියසිරි විජේනායක මහතා කැබිනට් ඇමැතිවරයකු ලෙස සැප සම්පත් භුක්ති විඳිද්දී, කරුණා, පිල්ලෙයාන් නිරුපද්‍රිතව ආණ්ඩුවේ සුවිශාල ආරක්ෂක සේනාවලට උරුමකම් කියමින් සුරසැප විඳිද්දී, එස්.බී. ආණ්ඩුවට කරණම් ගැසූ විගස ඔහුට ජනාධිපති පූර්ණ සමාවක් පිරිනැමෙද්දී ජෙනරල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම නිර්දේශපාලනීක තීන්දුවක් වන්නේද???

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

සම්බන්ධන් සම්බන්ධයෙන්…

ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහ ටී.එන්.ඒ. නායක ආර්.සම්බන්ධන් මහතා අතර රට පාවා දෙන ගිවිසුමක් ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහායකයෝ පුන පුනා චෝදනා එල්ල කරති. ජෙනරල් ෆොන්සේකා මහතා මෙන්ම සම්බන්ධන් මහතාද එය ප්‍රතික්ෂේප කර ඇති අතර අපි පුල්ලි සහ තවත් තතු යන මැයෙන් මේ තත්ත්වය ගැන දීර්ඝ විශ්ලේෂණයක් කළ බව ඔබට මතක ඇත. එහිදී කරුණු කාරණා සමඟ අපි එළිකර සිටියේ ඊළම සහ කොටි යන වචන සමඟ සබඳතා පවත්වන්නේ ජෙනරල් ෆොන්සේකා නොව අතිගරු ජනාධිපතිතුමා බවයි. ඒ මක්නිසාදයත් ඩග්ලස් දේවානන්ද යනු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායකයා වෙත්දී සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් (TMVP) පක්ෂයේ නායකයා වීම නිසාය. ඉහත දමිළ බසින් පුලිහල් යැයි කියැවෙනුයේ කොටින්ට බව වෙසෙසින්ම සඳහන් කළ යුතුය. ඉතින් ඊළාම් හා කොටි නායකයන් රෙද්ද අස්සේ තියාගෙන අනුන්ට චෝදනා නැගීම හාස්‍යජනකය.

පසුගියදා ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් ලෙස සුපතල ඒෂියන් ට්‍රිබියූන් වෙබ් අඩවිය විසින් ඩග්ලස් දේවානන්ද සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරු අතර ඇතිවූ ගිවිසුම ගැන කරුණු කාරණා වර්තා කෙරුණු අතර එහිදී පළමුවැනි වගන්තියෙන් උතුරු නැගෙනහිර ස්වයං පාලන අයිතිය තහවුරු කරන බව පැවැසේ. මහින්ද මහත්තයා මේ ගිවිසුමේ ඇත්ත නැත්ත හෙළිකිරීම අතිශය වැදගත්ය. මීට අමතරව ඊපීඩීපී නිල වෙබ් අඩවියට යන ඔබට ඔවුන්ගේ ප්‍රතිපත්තීන් කියැවීමට අවකාශ ඇත. එහිදී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීම, ස්වයං පාලනය වැනි කරුණු ගැන සැබැවින්ම කතා කරනුයේ කව්රුන්දැයි ඔබට සියැසින්ම කියැවිය හැකිය. මීට අමතරව නාමල් රාජපක්ෂ මැතිතුමා කොටි සංවිධානයේ එමිල් කාන්තන් මහතා සමඟ එකට පෙනී සිටින ඡායාරූපයක්ද වෙබ් අඩවි ඇතුළු මාධ්‍යය ඔස්සේ විකාශය වන බව ආරංචි විය (www.lankatruth.com). තවත් දෙයක්, ටැමිල්නෙට් යනු කොටින්ටත් ඊළමටත් හිතවත් පාර්ශව තොරතුරු දැනගන්නා කේන්ද්‍රස්ථානය බව ඔබ අප කව්රුත් දනිමු, කොටි ඩයැස්පෝරාව විසින් පෝෂණය කරන ටැමිල්නෙට් වෙබ් අඩවිය නම් දෙමළ ජනතාවට මහින්ද සහ සරත් දෙදෙනාම හඳුන්වාදෙන්නේ කොටි සංවිධානය විනාශ කිරීමට මූලික වූ ජාතිවාදීන් ලෙසයි. ඉන් ඔබ්බට යන ටැමිල්නෙට් අඩවිය නව වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට ඡන්දය දෙන ලෙස ද්‍රවිඩ ජනතාවට පවසා සිටී. ඒත් ටී.එන්.ඒ. සංවිධානය සරත් ෆොන්සේකා වෙනුවට ජනාධිපතිතුමාට සහය දුන්නා නම් ඔවුන් දේශප්‍රේමීන් වන්නට තිබුණි. ටැමිල්නෙට් එකේත් ඩයැස්පෝරාවේත් මතයට එරෙහි වෙමින් ද්‍රවිඩ ජාතික සන්ධානය සරත් ෆොන්සේකාට සහය පල කළේ ඔවුන් කොටි සංවිධානයේ පරාජයත් සමඟ තවදුරටත් කොටින්ට බයේ දේශපාලනය කිරීමට අනවශ්‍ය නිසාය.

උතුරු නැගෙනහිර දෙපළාත වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ ජනතා විමුක්ති පෙරමුණයි, එහි විත්තියට, එනම් දෙපළාත වෙන් නොකළ යුතු යැයි කරුණු දැක්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවයි. දෙපළාත වෙන් කරන ලෙස තීන්දුව දුන්නේ සරත් නන්ද සිල්වා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලයි. මේ යථාර්ථය අපේ සමහරුන්ට අමතකවී තිබීම කණගාටුදායකය. එහෙනම් උතුරු-නැගෙනහිර වෙන් කිරීමේ ප්‍රධාන කොටස්කරුවන් ඉන්නේ ෆොන්සේකා කඳවුරේ මිසෙක රාජපක්ෂ කඳවුරේ නොවේ.

පසුගිය සෙනසුරාදා මල්වතු මහනායක හිමිපාණන් සරත් ෆොන්සේකා මැතිඳුන් බැහැ දුටු විට උන්වහන්සේ වදාලේ රට දැය සුරැකුමට දිවි දෙවැනි කොට සටන් වැදි ජෙනරාල්වරයා රට පාවා නොදෙන බව තමන්වහන්සේට විශ්වාස බවයි. එය මහා බලසම්පණ්න ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් අතිගරු ජනාධිපතිතුමා තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන්පාඨය බවට මේ කාරණාව පත්කරගනිමින් තිබෙන්නේ ජාතිවාදය අවුලමින් ජාතික සමගියට පහර ගසමින් බවට බොහෝ දෙනා චෝදනා කරන්නේ හේතු සහගතවය.

ජනාධිපතිතුමා සම්බන්ධන් ඇතුළු ටී.එන්.ඒ. නායකයන් සමඟ සාකච්ඡාවක...

මෙසේ ජෙනරල් ෆොන්සේකා නම් වූ අභීත රණවිරුවාට කොටි ලේබල් අලවන ආණ්ඩුව කර ඇත්තේ කුමක්ද? ජනාධිපතිවරණය ප්‍රකාශ කර සති කිහිපයකින් අවතැන් කඳවුරු වැසියන් නිදහස් කෙරිණි. A9 පාර මහජනතාවට පැය 24ම විවෘත කෙරිණි. මේවා ප්‍රශස්ත ක්‍රියාවන්ය.

එහෙත් ඉහත ඊපීඩීපී එකඟතාවය වන් තීන්දු තීරණද ජනපතිතුමා ගෙන ඇත. පසුගිය සතියේදී යාපනයේ රදගුරු අතිඋතුම් තෝමස් සෞන්දරනායගම් පියතුමාට ඔහු පැවසුවේ යාපන අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවයි. මින් නොනැවතුණු අතිගරු ජනාධිපතිතුමා හමුදා භාරයේ සිටි කොටි සැකකරුවන් 700කට නිදහස ලබාදුන්නේ ඔවුන් පුනුරුත්තාපනය කළේ යැයි පවසමිනි. එතැනින්ද නොනැවතුණු ජනපතිඳුන් ප්‍රංශ පුවත් සේවය සමඟ ප්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ හිතසුව පිණිස බලය බෙදීම පුළුල් කරන බවයි. මේ අතර මාස 8ක් පුරා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටි ටී.එන්.ඒ. මන්ත්‍රී එස්.කනගරත්නම් මහතා ජනාධිපතිතුමාට සහය දක්වන ලදැයි සැලවිය. ඔහුගේ පුතු තවමත් කොළඹට එල්ල වුණු හොටි ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අතඩංගුවේ පසුවෙයි. දැන් ආණ්ඩුවට උතුරු නැගෙනහිර දමිළ ජනතාවගෙන් සහය දක්වන්නේ කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු කොටි නායකයන්, දේවානන්ද වැනි සන්නද්ධව සිටි උදවිය සහ ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවුම් භාරයේ සිටි අයය. යුද ක්‍රියාන්විතය පුරා ආණ්ඩුවට සහය පළ කළ වී. ආනන්දසංගරී මැතිතුමා වැනි ගරු ගාම්භීර නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය නොදක්වන්නේ මන්දැයි ඔබම සිතා බලන්න.

ජනාධිපතිතුමා දැන් කරමින් සිටින්නේ කුමක්ද? එක් පසෙකින් ජාතිවාදය අවුස්සමින්, රට බෙදන බිල්ලෙක් මවා පාමින් සිංහල ඡන්ද බිලී බාගන්නට වෙර දරද්දී අනෙක් පසින් සිංහල ජනතාවට මවා පාන රූපයේ සැබෑම විලෝමය උතුරේ දෙමළ ඡන්ද දිනාගැනීමට ක්‍රියාත්මක කර තිබෙන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. කවුරු කොහොම කිව්වද ජනතාවගේ ඇස්වලට වැලි ගසන මෙම ක්‍රියාව රැවටීමක්, මුලාවක් මෙන්ම පාවා දීමක් ලෙස යමෙක්ට අර්ථ ගැන්විය හැකිය. මේ මුලාවට හසුවී තවත් අවුරුදු හයකට රට දුරධාන්ත පාලනයකට ඇද ගෙන යන්නෙමුද? නැතිනම් වෙනසකට මුල පුරමුද?

සරත් ෆොන්සේකා මැතිතුමා මේ එල්ලවන සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. අනෙක් අතට තෙවරක් රට දැය වෙනුවෙන් රණවිරුවකු ලෙස මරණීය තුවාලයන්ට මුහුණ පෑ, දිවි හිමියෙන් දේශය රැකගත් මේ අද්විතීය ජාතික විරුවා රට පාවා දෙනු ඇතැයි සිහිනයකින්වත් සිතිය හැකිද??

එසේ නම් මෙය ෆොන්සේකා මැතිඳුන්ගේ ඡන්ද කැඩීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් පහත් ගණයේ උප්පරවැට්ටියක් බව පැහැදිලිය. මේ උප්පරවැට්ටියට ඔබේ නෑසියමිතුරන්ට, රටවැසියන්ට ගොදුරු වීමට ඉඩ නොදී යථාර්ථය පහදා දීම ඔබ සතු යුතුකමකි.

ජාතිවාදය, භීතිය වපුරමින් තම ඡන්ද ගොන්න වැඩි කරගැනීමට වෙරවෑයම් දරණ අවස්ථාවාදී නායකයන්ට පිළිතුරු දී රට නිවැරදි මාවතට ගෙන අලුත් දේශපාලන සම්ප්‍රදායක් ගොඩනැගීමේ වරම අප සතුය. එහෙයින් ලක්මෑණියන් වෙනුවෙන්  එම වරමින් උපරිම ප්‍රයෝජන ගැනීම අප සතු වගකීමකි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

ජෙනරාල් සහ ජන-රාලලාගේ සංවේදී, පළපුරුදු නායකත්වය……

ආණ්ඩුව නම් කියන්නේ මෙවර ජනාධිපතිවරණයට සිය පාර්ශවයෙන් තරඟ වදින්නේ පළපුරුදු, සංවේදී නායකයකු බවයි. ඇත්තටම ඒක එහෙමද??

ජනාධිපතවරණයට ඉදිරිපත්වන ජනාධිපතිතුමා කියන්නේ යුද්ධය දිනීමේ පුරෝගාමියා ඔහු බවයි. එය යම්තාක් දුරට සත්‍ය වුවද යුද ජයග්‍රහණය හැරුණු විට ජනාධිපතිතුමාගේ සංවේදී, පළපුරුදු නායකත්වය යටතේ අපි අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ අල්පය. ජයග්‍රහණ කෙසේ වෙතත් ලබාගෙන ඇති පරාජයන්හී වගකීම භාරගැනීමට එතුමා යුද ජයග්‍රහණයේ ගෞරවය ගන්නා වේගයෙන් ඉදිරිපත් වනු ඇත්ද?? ජනාධිපතිතුමා ඔච්චර අද්විතීය නායකයකු නම් යුද්ධයට සාපේක්ෂව බොහෝ ලෙහෙසි යැයි කියන අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම වැනි ක්ෂේත්‍ර ගරා වැටී ඇත්තේ ඇයි?? එක්කෝ ඒ ඔහුගේ සංවේදී පළපුරුදු නායකත්වයේ වැරැද්දකි නැත්නම් ඔහු ඒ ගැන සිතාවත් නැත. අප ඒ ගැන මොහොතක් සිතා බලමු…!!

නිමල් සිරිපාල ද සිල්වා යනු සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යවරයා පමණක් නොවේ, ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාය, පාර්ලිමේන්තුවේ සභානායකතුමාය. ඔහුගේ නායකත්වයෙන් සෞඛ්‍යයට සිදුවී ඇති විපැත්තිය මුළු රටම දනී. රුබෙල්ලා එන්නත විදීමෙන් පසු පාසල් ශිෂ්‍යාවන් මියයෙති. රට පුරා රෝහල්වල උග්‍ර බෙහෙත් හිඟයක් ඇතිවී ඇති බව වෛද්‍යවරු පවසද්දී රටේ තියෙන බෙහෙත්ද ප්‍රමිතියකින් තොරය. එන්නත් කුප්පිවල ගුල්ලෝය, හිසකෙස් කැබලිය, වෙනත් අපද්‍රව්‍යය. රටට සූකර උණ ඇතුළු නොවීමට අවශ්‍ය සියළු පියවර ගන්නවා යැයි කී ඇමැතිතුමා සූකර උණින්, ඩෙංගු උණින් අපේ අහිංසක රටවැසියන් මියෙද්දී වගේ වගක් නැතිව ඔයිට වඩා වාහන අනතුරුවලින් මිය යනවා යැයි තෙපලමින් මුනිවත රකී. තමා සෞඛ්‍ය ඇමැති ලෙස කළ සේවයට ආඩම්බර වන බවද පවසයි. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට වග කිව යුත්තේ අපේ සංවේදී පළපුරුදු ජනනායකතුමාද, නැත්නම් ඇමතිතුමාද?? ඔබම සිතන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා ඊළඟ අගමැති වීමේ සිහිනයෙන් පෙළෙන බව ප්‍රසිද්ධ මතයකි. කලකට ඉහත ඔහු අපි වවමු – රට නගමු නමින් වගා ව්‍යාපාරයක් ආරම්භ කළේ රටට අවැසි කෘෂි නිෂ්පාදන රට තුලම නිෂ්පාදනය කිරීමටය. පරිප්පු, විදේශීය ඇපල්, මිදි, නාරං කන මිනිසුන්ට අපහස කළ එතුමා රටේ දොඩම්, නාරං සහ මිදි ගොවියන් දුෂ්කරතා විඳිද්දී ඔවුන් වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද?? මගතොට තැන තැන විදේශයන්ගෙන ගෙන්වූ ප්‍රමිතියෙන් තොර පළතුරු ලාබෙට විකිණීම සිරිසේන මහත්තයාගේ අපි වවමු-රට නගමු විජාතිකව නිපදවූ වැඩ පිළිවෙළද? අද රටේ හාල් හිඟයක් ඇත්තේ මෙහි සාර්ථකත්වය නිසාද?? මේ රටේ මිනිස්සුරුපියල් 76 විජාතික බාස්මතී මෙන්ම අර්තාපල්, බොම්බයි ලූණු, අමු මිරිස් පමණක් නොව ජනාධිපතිතුමාගේ සාටකයේ එන කුරක්කන්ද විශාල වශයෙන් පරිභෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාගේ හපන්කම් නිසාද නැත්නම් ඔහුට අණදෙන ජනපතිඳුන්ගේ අණ නිසාද??? නැතිනම් වෙනයම් විජාතික බලවේගයක් නිසාද? සැබැවින්ම සාටකයේ පැහැය වූ කුරක්කන් අපේ හේන්වල වගා කරනවා වෙනුවට තොග පිටින් ඉන්දියාවෙන් ගෙන ඒමට ආණ්ඩුව සෘජුවම වග කිව යුතුය. මොන දේ සිදු නොවුණත් මහ ලේකම්තුමා පොළොන්නරුවෙ කොළ කොඩි දාන්නට නොදෙන බව කී බව මාධ්‍යයෙන් සැල විය.

සුසිල් ප්‍රේමජයන්ත යනු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මෙන්ම අධ්‍යාපන ඇමැතිතුමාය. රටේ අධ්‍යාපනයට සිදුවී ඇති පරිහාණිය අමුතුවෙන් කිව යුතුද? පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා තැනෙහි සිට සමස්ථ අධ්‍යාපන පද්ධතියම බිඳවැටී ඇත. වාර විභාග ප්‍රශ්නපත්‍රවල කුණුහරුප මුද්‍රණය කෙරෙද්දී, ඒ සමඟ පිළිතුරු පත්‍රයත් ලබා දෙද්දී, සූකර උණ නිසා මධ්‍යම පළාතේ පාසල් වැසීමේදී කකුලෙන් ඇදීම වැනි ලැයිස්තුවක්ම ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ සුදුසුකම් ගොන්නට වැටේ. ජාතික මට්ටමේ විභාග වන සාමාන්‍ය පෙළේ ප්‍රශ්න පත්තරයක් හරියට හදවන්ට බැරි අධ්‍යාපන අමාත්‍යවරයකු අපට ඇත. උසස් පෙළ විභාග ප්‍රතිඵල 2007, 2008 වසර දෙකේදීම දුන්නේ බොහෝ ප්‍රමාදවය. පසුගිය සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර මිටියක් වෙලකින් හමුවූ අතර නැවත වරක් ප්‍රශ්නපත්‍රයක ගැටළුවක් ගැන හාහූවක් ඇත. මේ සියල්ල වෙන්නේ සංවේදී පළපුරුදු ජනනායක තුමාගේ අධීක්ෂණය යටතේද?? එසේත් නැතිනම් මේ ඇමැතිතුමාගේ හපන්කම්ද??

වෙළෙඳ හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධනයන් එදා කීවේ සක්කරයගෙ පුතා වයිමා ආවත් බඩු මිල අඩු කරන්නට බැරි බවයි. ඒත් ජෙනරල් ෆොන්සේකා මැත්ඳුන්ගේ අපේක්ෂකත්වයත් සමඟ බඩු මිල අඩුවීමට පටන්ගත්තේ සංවේදී, පළපුරුදු නායකත්වයේ මහිමයෙන්ද?? රටේ වෙළෙඳුන්ට සාධාරණ වෙළඳාමක් කරන්නට බැරිව කඩවල් වැහෙන්නේ රටේ විශාල බඩු භාණ්ඩ හිඟයක් ඇත්තේ මේ පළපුරුදු, සංවේදී නායකත්වයේ මහිමයෙන්ද???

අපේ අලුත් පොලිස්පතිවරයා මහින්ද බාලසූරිය මහතාය. ඔහු තම ධුරයේ වැඩ භාරගත්තේ නීතිය හා සාමය රකිමින් පොලිස් සේවාව ගෞරවණීය සේවාවක් කරන බවට ප්‍රතිඥා දෙමිනි. එතුමාට පසුගියදා අතිගරු ජනාධිපතිතුමා නියෝග කළේ අනවසර පෝස්ටර බැනර ඉවත් කරන ලෙසයි. මගතොට යන එන ඔබ එම නියෝගය කොතෙක් දුරට ක්‍රියාත්මක වී ඇත්දැයි දනී. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුර්වල නායකත්වයද, නැත්නම් මහින්ද බාලසූරිය පොලිස්පතිතුමාගේ අකාර්යක්ෂමභාවයද?? පොලිස්පතිතුමාට එකක් කියා නොකඩවා නිල් බලකාය, ශ්‍රීලනිප ආසන සංවිධායකවරු වැන්නන් හරහා පෝස්ටර්, කටවුට් ඇලවීම පළපුරුදු, සංවේදී නායකත්වයද?? පොලීසියට රටේ නීතිය රැකීමට බැරිනම් එහි වගකීම පළපුරුදු, සංවේදී ජනනායකතුමාගේද, පොලිස්පතිතුමාගේද??

එදා 2009 සිංහල අළුත් අවුරුද්දට බෙලිඅත්ත් දක්වා දුම්රියෙන් යා හැකියැයි උජාරුවට කී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මැතිඳුන් අද කියන්නේ 2012දී මෙරටට විදුලි දුම් රිය හඳුන්වා දෙන බවයි. 2009 සිංහල අවුරුද්ද ගෙවී 2010 සිංහල අවුරුද්දටත් කිට්ටු වී තිබුණද මාතරින් එහාට අඩියක්වත් දුම්රිය ධාවනය නොවීමට වගකිව යුත්තේ බොරු පොරොන්දු දුන් ඇමැතිතුමාද, සංවේදී, පළපුරුදු ජනනායකතුමාද??

මේ රටේ ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු අඛණ්ඩව වැරදි කරද්දී, මැර බලය මුදා හරිද්දී, මිනී මරද්දී ඒ ගැන කිසිත් පියවර නොගෙන සිටීම සංවේදී පළපුරුදු නායකත්වයද?? තංගල්ලේදී බස්වලට වෙඩි තබා අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයන් මියෙද්දී අර සංවේදීත්වය කොහේ ගියෙහිද?? තොරතෝන්චියක් නැතිව ආණ්ඩුවට එක්වන හැමෝටම ඇමැතිධුර, ජනාධිපති උපදේශකධූර පිරිනැමීම සංවේදී නායකත්වයද?? 2004දී අලියා ලකුණින් මහ මැතිවරණයට තරඟ කළ 40කට අධික ප්‍රමාණයක් ආණ්ඩුවට එක්වී ඇති අතර ඒ සැම දෙනාම අද ඇමැතිවරු ලෙස වරප්‍රසාද භුක්ති විඳිද්දී අපේ සාමාන්‍ය ජනතාව ජීවන අරගලයක නිරතව සිටින්නේ සංවේදී, පළපුරුදු නායකත්වය නිසාද??

යුද්ධයෙන් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ගේ සහයෙන් මේ රට මුදා ගැනීම හැරුණු කල අතිගරු ජනාධිපතිතුමා ඇතුළු වත්මන් රජය අන් ක්ෂේත්‍රවල අසාර්ථකවී ඇත. යුද්ධයේදී යම් දේශපාලන නායකත්වයක් සැපයීමට අප කෘතවේදී විය යුතු වුවත් ඉදිරියට ඇත්තේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්නයි. මැයි 18දා සිට ඊට නායකත්වය දීමට පූර්ණකාලීනව අවස්ථාව ජනපතිඳුන්ට තිබුණ මුත් එය එසේ නොවිණි. ප්‍රභාකරන් සිය අවසාන ප්‍රාණ වායුව ගනිද්දී රුපියල් 70ට තුබූ සීනි කිලෝව අද රුපියල් 110 පමණ වී තිබීම ඊට කදිම නිදසුනකි. අප ශ්‍රී ලාංකිකයින් ලෙස අනාගතය ජයගැනීමට නම් අන් හැම ක්ෂේත්‍රයකම පාහේ අසාර්ථක වූ මේ රජය වෙනුවට ඒ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි රජයක් බිහි කරලිය යුතුය. සංවේදීයි, පළපුරුදුයි කියලා කියාගත්තද එම නායකයින් ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී නැත්නම් වෙන් කුමක් කරන්නද???

එසේනම් ප්‍රභාකරන්ගේ මරණයෙන් මාස අටකට පසුවත් ජනතාවගේ ප්‍රශ්න කෙරේ සිය පළපුරුද්ද, සංවේදීත්වය ඉලක්ක නොකළ, සිය ජනවරමේ වසර දෙකක් එහෙව් කර්තව්‍යයට ඉතිරිව තිබියදී ඊට පයින් ගසා තම බලය ගිලිහී නොයෑමට ප්‍රබල තැතක් දරණ මේ නායකත්වය වෙනුවට රටේ මිනිසුන් ගැන සිතන සංවේදී නව නායකත්වයක් ජනතාව අපේක්ෂා කරති.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

කරළියේ විත්ති සහ එස්.බී.

ඡන්දයේ උණුසුම වැඩිවීමත් සමගම අද වන විට මුලු ශ්‍රී ලංකාව පුරාම දේශපාලනය උණුසුම් මාතෘකවක් බවට පෙරලී හමාරය. වෙනදාටත් වඩා එය එසේ සිදු වී ඇත්තේ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ පැමිණීමත් සමගමය. එදා වනවිට යුධ වීරයෙකුව සිටි ජෙනරල්වරයා අද වන විට දේශද්‍රෝහියෙකු බව ආණ්ඩුවේ සිටින කටින් බතල සිටුවන පුද්ගලයන් පවසයි. තමාගේ ජීවිතයට පවා තර්ජනයන් තිබියදී ඒවා කිසිවකටත් නොබියව මුහුණ දී යුද ජයග්‍රහණයක් වෙනුවෙන් කැපවූ නායකයාට රූපවහිනියෙන් කාඩ්බෝඩ් වීරයන් වන රංගන ශිල්පියන් කියන කතා හාස්‍ය දනවන සුලුය.

රටේ ජනතාව මත රදා පවතින ඔවුන් රට වෙනුවෙන් කැපවුනු නායකයාට යොදා ගන්නා වදන් පවා පිලිකුල් සහගතය. එයින් ඒ ඔවුන් පෙන්වීමට උත්සහ ගන්නේ ඔවුන්ගේ ඇති පහත් මානසිකත්වය හා නූගත්කම යැයි මම සිතමි. එසේම මහත්මා ගතිගුණ ගැන කතා කරන ඔවුන්, ඔවුන් කඩේ යන පත්තේ පවතින සදාරණත්වය, මහත්මා ගතිගුණ ගැන සිතා බලුවාද…?? එසේම දේශපලන සංවාද යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් නිවේදකයා ලෙස ගෙන දෙදෙනාම එක්ව වලන් පොඩිකිරීමේ සම්ප්‍රදාය ඔවුනට නොපෙනේද..?? එය යහපත් මාධ්‍යය සංස්කෘතියද…?? ඔවුන්ට අදාල දේ නොපෙනී අනුන්ගේ වරදි සෙවීමට යාම තවත් ඔවුන් කරනා රගපෑමක් බව මේ රටේ සිටිනා කුඩා දරුවාට පවා වටහේ.රටේ සුභ අනාගතයට අවශ්‍ය වන්නේ මෙයද….?? එය මේ සදාචාරය, පලපුරුද්දට, සංවේදීත්වයට ඔබිනවාද..?? කළාකරුවන් ලෙස එය ඔවුන් දැකිය යුතු නොවේද ….?? ප්‍රවෘත්ති විකෘති කිරීම, අසත්‍ය ප්‍රකාශ කිසිම පැකිලීමකින් තොරව සිදු කිරීම හරහා ඔවුන් රටේ ජනතාවගේ නිදහස් මාධ්‍යය විචාරණයට බාධා නොකරන්නේද…..?? ඔවුන් එසේනම් ඒ කතා කරන්නේ හදවතින්මදැයි යන ප්‍රශ්නය සැමටම වැටහේ. ඔවුන් තමන්ගේ වාසිය තකා රටේ අනාගතය පාවා නොදේද..??

එසේම තවත් මතිමතාන්තර රැසක් ද කරලියේ දැක ගත හැකිය. ඒ නම් පිල් මාරු සිදුවීමයි. මේ පිල් මාරු වූ පසුව ඔවුන්ගේ කතා විලාශයෙන්ද අපට ඔවුන්ගේ චරිතයන් මැනිය හැකිය. අනෙක් පසට ගොසින් තමා සිටි තැනට පහර දෙමින් පක්ෂය පාවා දෙන්නවුන්ද අද අපට දැක ගත හැක. එසේම පිල් මාරු වුවත් පක්ෂය පාවා නොදී පක්ෂය වෙනුවෙන් කතා කරන්නන් ද සිටී.

ඒ අතරින් එස්.බී මහතාගේ මාරුව පිලිඹද අදහසක් නොකියාම බැරිය ඒ ඔහුගේ මාරුවෙන් ඇති වූ ප්‍රතිපලය ගැනයි. එස්.බී දිසානායක යනු ඡන්ද මැශිමක් ලෙස අතීතයේ කීවත් අද වන විට මා සිතනුයේ ඔහු මඩ මැශිමක් බවට පත් වී ඇති බවයි. එසේම ඔහු හිටපු ජනපතිනියට බැන වැදී පිල් මාරු කල ආකාරය සැමට මතක ඇතුවාට සැක නැත. එදා ඔහු අධිකරණයට අපහාස කිරීමට දඩුවම් විදින අවදියේ ඔහු වෙනුවෙන් පෙනී සිටියේ එ.ජා.ප. ඡන්ද දායකයින්ය. ඒත් අද වන විට ඔහු තමා ලගින් සිටියවුන් හැරදමා මුදලට යටවී ඇත. ඔහුට ඡන්දය දුන් අප කිසිවෙකුත් ඔහුගෙන් ඒ දේ බලාපොරොත්තු වූයේ නැත. අනෙක ඔහු පවසන ආකාරයට ඔහුට යමක් නොලැබුනි නම් පක්ෂයේ අනෙක් පුද්ගලයන් හා ඡන්දදායකයින් කෙසේ නම් දේවල් කිව යුතුද ? එදා සිටි දේශද්‍රෝහී එස්.බී අද දේශප්‍රේමී එස්. බී. බවට පත්වී ඇත. හාස්‍යයට කරුණ නම් ඔහුත් අද දේශප්‍රේමී ලේබලය අලවන්නෙකු බවට පත්වීමයි. ඔහු මෙසේ ක්‍රියාකරන්නේ ලැජ්ජාව ඔහුට අලුත් දෙයක් නොවන නිසාදැයි නොසිතාම බැරිය.

එසේම ඔහු ප්‍රතිපත්ති ඇති අයෙකු නම් පක්ෂයෙ මොන අඩුපාඩුකම් තිබුනද පක්ෂය තුල සිටිය යුතු යයි මම සිතමි. එසේ ගොස් පක්ෂයට හොදටම මඩ ගසමින් රාජපක්ෂ පවුලට සේවය කරනවා කී ඔහු අද ජෙනරල්ගේ අඩුපාඩු තොරතොන්චියක් නැතිව පවසයි. මා දකින්නෙ එහිදී ඔහු කරන්නේ අනුන්ගේ පොල් කෙන්ද සොයමින් තමාගේ පොල් පරාලය සගවා ගැනීමට දරණ දැඩි උත්සහයකි. තම දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන ඔහුට ඡන්දය දුන් මධ්‍යම පලාත් ඡන්දදායකයින් ඔහු නිසා එක්සත් ජාතික පක්ෂය කිසිදාක හැර යන්නෙ නැත. ඒ වෙනුවට ඔහු නිසා ඡන්දය නොදුන් පාක්ෂිකයින් නැවතත් පක්ෂයට එකතු වී ඇත. මෙහිදී ඔහුට වැඩිම මනාප ගණනක් ගනීමට හැකි වූයේ එ.ජා.ප.ය නිසාය. එදා බන්දුල ගුණවර්ධන මහතා කියා සිටි පරිදි එ.ජා.ප.යෙන් ලීකොට කෑල්ලක් කපා ඉදිරිපත් කලත්, විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකි බව සැවොම දන්න කරුණකි.

අනෙක් කරුණ නම් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු ජෙනරල්වරයාගේ අවිගනුදෙනු පිලිඹද අදහස් ප්‍රකාශ කරමින් සිටින විට එක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී පිලිතුරු රහිතව අසරණ වූ ආකාරයෙන් අපට පැහදිළි වන්නේ ඔහු කරුණු කාරණා නොමැතිව මඩ ගසන බවයි.

ඔහුගේ විමසා බලමු ආර්ථික මතවාද ග්‍රන්තයේ ඔහු කියන පරිදි මහින්ද චින්තනයට රට සංවර්ධනය කළ නොහැකි නම් එවන් දේ ඇති අය සමග එකතු වූයේ ඇයි දැයි අපට ප්‍රශ්නයක් මතුවේ. සත්‍යය නම් ඔහු තමාට ඡන්දය දුන් මිනිසුන් පාවා දී තම සුබසෙත සදහා වැඩ කටයුතු කරන බවයි. තමාගේ කර පිටින් ගෙන ගොස් පොදු අපේක්ෂකයා දිනවන බව කියා පසුව රාජපක්ෂ පවුලට සේවය කරනවා යයි කීමෙන් ඔහුගේ ස්වරූපය මොනවට පැහැදිළි වෙයි.

අවසානයේ මගේ අදහස නම් මේ ග්‍රහ මාරුව පොදු ජනතාවගේ සුබසිද්දිය උදෙසා ඔහුව දිනන පැත්තෙන් ඉවත් කිරීමට සිදුවී ඇති බවයි. ඇත්ත වශයෙන්ම මධ්‍යම පළාත් ඡන්දයේදී සිදුවූයේ යූ.එන්.පී. එකෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ඇමැති අපේක්ෂකයා එස්.බී. වුනු නිසා ඔහුට ඉතා විශාල යූ.එන්.පී ඡන්ද ප්‍රමානයක් ලැබීමයි. එය ඔහුට ඡන්දය දුන් පුද්ගලයකු ලෙස,  මධ්‍යම පළාතේ අප ඔහුට ඡන්දය ප්‍රකාශ කලේ පක්ෂය වෙනුවෙන් බව කිව යුතුය. එය ඒ ලෙස නොදැක්ක ඔහු සිතුවේ එය ඔහුට ලැබුනු ඡන්ද කියාය. එයින් ඔහුගේ ඉලක්කය වූයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටයි. ඔහුගේ මාරුව නිසා තවත් වැදගත් දෙයක් අපට ලබුනි, ඒ නම් පක්ෂය විකිනූ පුද්ගලයා රටේ ජනාධිපති කර රට විකුණන තැනට පත් නොකර සිටීමට අවස්ථාව ලැබීමයි. එය පාක්ෂිකයන්ගේ මෙන්ම මුලුරටේම වාසනාවකි.

මෙසේ කවුරුන් මොන කතා කීවත් බුද්ධිමත් ජනතාව හරි දේ හොදට හදුනන බව ඉතා පැහැදිලි කරුණකි. ඡන්ද ගුන්ඩු මොනවාද, ඇත්තට සිදු වන්නේ කුමක්ද , අනුන්ට ඇගීලි දික් කරන්නේ කර කියාගත දෙයක් නොමැතිව බවත් බොරු චෝදනා එල්ල කරන්නේ කවුරුන්ද යන්නත් ජනතාව හරියාකාරව තේරුම් ගෙන සිටී.

ඒ නිසා විශ්වාසනීය වෙනසක් මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත වනු ඇති බව මාගේ විශ්වාසයයි…….!!!

– සී.ආර්.බී. සෙනෙවිරත්න, 2009 ජනවාරි

පුල්ලි සහ තවත් තතු…

Click here to get Sinhala Unicode

දුරුතු මස සීතල තුරන් කරමින් රටේ දේශපාලන උණුසුම දිනෙන් දින වැඩි වර්ධනය වනුයේ එළැඹෙන 26දා ජනාධිපතිවරණයට සූදානමිනි. ඒ උණුසුම මැද රටේ කතා බහට ලක්වන කරුණු කාරණා කිහිපයක් ගැන අපි මඳකට විපරම් කරමු.

ඩග්ලස් දේවානන්ද

පසුගියදා ආර්. සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය ජෙනරාල් ෆොන්සේකාට සහය පල කළ අතර රජය එය තවත් මහා පාවාදීමකැයි හංවඩු ගැසීමට සැණෙකින් ඉදිරිපත් විය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ක්‍රියාකලාපය ගැන කාටත් පොදුවේ විවේචණ ඇත. නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය අපේක්ෂා කළ බව ලෝකයාම දනී. ඔවුන්ගේ සහය පතා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කළේ නම් එය ජනාධිපතිතුමා විසින් කරන ලද පාවාදීමකැයි කියනු ඇද්ද? නැත, එසේ ඔවුන් සහය පල කළා නම් කරුණා අම්මාන්, පිල්ලෙයාන්, ඩග්ලස් දේවානන්ද මෙන් සම්බන්ධන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානයද දේශප්‍රේමී බලවේගයක් ලෙස පූජෝපහාරයට ලක්වනු නොඅනුමානය. ද්‍රවිඩ ජාතික සන්ධානයේම සිවනාදන් කිෂෝර් වැනි මන්ත්‍රීවරු මහින්ද මහත්තයට සහය පළ කරති, එතකොට ඒගොල්ල කොටි නොවේද?? ආණ්ඩුව දිගින් දිගටම තමන් සමඟ සිටිනවුන් දේශප්‍රේමීන් ලෙසත්, තමන්ට ප්‍රතිපක්ෂ අයවලුන් දේශද්‍රෝහීන් ලෙසත් නම් කිරීම කණගාටුදායකය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහය පළ කරන ඩග්ලස් දේවානන්ද මහතා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයාය. ඊළාම් යනු ඊළාම්ය, TMVP හෙවත් තමිල් මක්කල් විඩුතලෛ පුලිහල් යන්න සිංහලයට හැරවූ විට එහි අදහස ද්‍රවිඩ ජනතා විමුක්ති කොටි යන්නයි, මෙහි පුලිහල් යනු කොටි කියන එකය, එහි නායකයා පිල්ලෙයාන්ය. ඉතින් ආණ්ඩුවේ දැක්මෙන් විශ්ලේෂණය කළහොත් ඊළම සහ කොටි අත්වැල් බඳගෙන ඉන්නේ ආණ්ඩුව සමඟය. ඒ තබා ඩග්ලස් දේවානන්ද මහතාගේ පක්ෂ වෙබ් අඩවියේ තමන් ස්වයං පාලන අයිතිය සහ උතුරු, නැගෙන්හිර දෙපළාත එක්කාසු කිරීම අපේක්ෂා කරන බව කෙලින්ම සඳහන් කර ඇත්තේ පැහැදිලි ඉංග්‍රීසියෙනි. එතකොට ජෙනරල් ෆොන්සේකාට ද්‍රවිඩ ජාතික සන්ධානය සහය පළ කරන විට ජෙනරල් ෆොන්සේකා රට පාව දෙන්නේ නම් ඒ නගන තර්කයේ විදියට අතිගරු ජනාධිපතිතුමා ඩග්ලස් දේවානන්ද මහතා සමඟ එක්කාසු වෙමින් කී පාරක් රට පාවා දී ඇත්ද??

එහෙත් අපි නම් කියන්නේ කරුණා, පිල්ලෙයාන්, සම්බන්ධන්, දේවානන්ද සියල්ලන්ටම මේ රටේ දේශපාලනය කිරීමට අයිතියක් ඇති බවයි. ඒ නිසා යමෙක් තමන්ට පක්ෂ වෙද්දී ඔහුට දේශප්‍රේමියකු ලෙස උපහාර පිදීමත් ප්‍රතිවාදීන්ට සහය දෙන විට මුන් කොටි, බෙදුම්වාදියො, දේශද්‍රෝහියෝ ලෙස හංවඩු ගැසීමත් වැරදිය. කරුණා, පිල්ලෙයාන්, දේවානන්ද වැනි අපේ ශ්‍රී ලාංකේය රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කළ අතීත ත්‍රස්තවාදීන් අද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඒම ප්‍රශංසනීය නම් සම්බන්ධන්ලා, ශිවගීතා ප්‍රභාකරන්ලා සරත් ෆොන්සේකාට සහය දීම වැරද්දක් වන්නේ මන්ද?

සම්බන්ධන්

අනෙක් අතට ඩග්ලස් දේවානන්ද මහතා සමඟ මහින්ද රාජපක්ෂ මැතිතුමා එකඟතා ගිවිසුමක් ගැහුවා යයි කටකතාවක් පැතිර යයි, එහි ඇත්ත නැත්ත නොදනිමු. එසේ නොදනින නියාවෙන් අපි ගොබල්ස් න්‍යාය යොදා ගනිමින් පටු වාසි තකා ඒකම පුන පුනා කීමට තරම් බංකොළොත් නොවෙමු. තව දෙයක් කිව යුතුය, වී. ආනන්දසංගරී යනු රටම හඳුනන, ගරු කරන වැදගත් දමිළ නායකයෙකි, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයාය. කිලිනොච්චිය කොටි ග්‍රහණයෙන් මුදාගත් විට බෙහෙවින් සතුටු වූ හෙතෙම යුද ක්‍රියාන්විතය පුරාවට රජයට සහය දුනි. එහෙත් අද උතුරු වසන්තය විහිළුවක් ලෙස හඳුන්වන ආනන්දසංගරී මහතාගේ මතයත් රජය පිය නගන මග වැරදි බවයි. යාපන අර්ධද්වීපයේ එකම පක්ෂය ඊපීඩීපී පක්ෂය නොවන බව රජය වටහා ගත යුතු අතර එම පක්ෂයට උතුරේ රිසි සේ ක්‍රියා කිරීමට දීමෙන් ආනන්දසංගරී මහතා වැනි දෙමළ වැසියන් තරහ කරගෙන තිබීම සෝචනීයය. මේ අතර සම්බන්ධන් තම ප්‍රකාශයේදී සුවිශේෂී ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ ද්‍රවිඩ නායකයකුට දැන් ජනපති විය නොහැකි බවත් ඔවුන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාට සහය දීමට කැමැති වුවත් ඔහු නොදිනන නිසා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් දමිළ ජනතාවට වැඩි සේවයක් කරනු ඇතැයි විශ්වාස කරන අපේක්ෂකයාට සහය දෙන බවයි.

මේ අතරවාරයේ මෙතුවක් යකා නැටූ රාජ්‍ය මාධ්‍යය අධීක්ෂණයට නිසි බලධරයකු මැතිවරණ කොමසාරිස්වරයා විසින් පත් කර තිබීම ඇගැයිය යුතුය. යූඇන්පී, ශ්‍රී ලංකා භේදයකින් තොරව රාජ්‍ය මාධ්‍යයේ පක්ෂපාතීත්වය පිළිකුල් කරන ලදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන/දිස්ත්‍රික් සංවිධායකවරු වන හඩ්සන් සමරසිංහ සහ සුදර්මන් රදළියගොඩ වැන්නන් සමඟ මාධ්‍යයක් සමබර නොවීම අහන්නට දෙයක්ද? ඒත් ආචාර්ය ආරියරත්න ඇතුගල වන් උගතකු යටතේ රූපවාහිණියේ ක්‍රියාකලාපය ආචාර්ය ඇතුගලයන්ට නම් කළු පැල්ලමකි. රටේ “සමබර” වචනය කටපුරා කිව හැකි නාලිකාවක් නැති බව ඔබ අප කවුරුත් දනිමු. නමුත් එහෙව් පලියට නාලිකාවක් 100%ක්ම අපේක්ෂකයකු වෙනුවෙන් කඩේ යයි නම් එය කණගාටුවට කරුණකි.

පසුගිය සති දෙක තුල ආණ්ඩුවට කඳුකරයේ මහා පසුබැසීම් කිහිපයකට මුහුණපෑමට සිදුවිය. වතුකරයේ ජනතාව අතර නොමඳ ආදරයට පාත්‍ර මුරුගන් සචිත්තානන්දන් සහ ආර්. යෝගරාජන් මහත්වරු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම ආණ්ඩුවටත් ලංකා කම්කරු කොංග්‍රසයටත් පහරක් විය. එහිදී එජාපය හා එක්වූ එම්. සචිත්තානන්දන් මහතා 2004 මහ මැතිවරණයේදී බදුලු දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් සුළුජාතික මන්ත්‍රීවරයා වූ අතර ඔහු දේශපාලන ලෝකයේ ප්‍රකට චරිතයක් වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලක්ෂ්මන් සෙනෙවිරත්නට වඩා මනාප ලද්දේය. පසුගිය 7දා කම්කරු කොංග්‍රසයේ ජ්‍යේෂ්ඨතමයකු වූ එම්.එස්. සෙල්ලසාමි මහතාද ජෙනරල් ෆොන්සේකා සමඟ එක්වූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ තොණ්ඩමන් ඇමැතිතුමා සහ මුත්තු සිවල්ංගම් ඇමැතිතුමා ඇතුළු කීපදෙනෙක් පමණක් පමණක් ආණ්ඩුවේ තනිකරමිනි. මේ අතර පසුගිය සතියේ කඳුරට ජනතා පෙරමුණේ නායක පී. චන්ද්‍රසේකරන් ඇමැතිතුමාගේ හදිසි අභාවය කඳුරටම ආලෝලනය කළේය. වතුකම්කරුවන් රැසකගේ කණස්සල්ලට හේතු වූ මෙම අනපේක්ෂිත වියෝව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කඳුරට ඡන්ද සටනට මරු පහරක් වනු ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

මේ අතර මැතිවරණ ප්‍රතිඵලය කුමක් වේදැයි කියා කසුකුසු තැන තැන පැතිරෙමින් තිබේ. රාජ්‍ය මාධ්‍යයේ සරණ පමණක් ලබන රට ලෝකය ගැන අවබෝධයක් නැති, ඩුබායි ගුවන්තොටේ ඡායාරූපයන් පෙන්වා මේ හම්බන්තොට ගුවන්තොට යැයි කී විට රැවටෙන මාදිලියේ ලිංමැඩියන් කියන්නේ මහින්ද මහත්තයා ලක්ෂ 25කින් දිනන බවයි, තවෙකෙක් ඡන්දය කරට කර යැයි කියද්දී එසේ කියන්නන්ට කෝචෝක් කරන්නේ මහින්ද මහා විජයග්‍රහණයක් ලබන බව උදම් අනමිනි. නමුත් පැහැදිලිවම තරඟය උණුසුම්ය, එහි දෙකක් නැත, නාගරිකව සහ සුළු ජාතිකයන් වෙසෙන ප්‍රදේශවල මෙන්ම කන්ද උඩරටත් සරත් ෆොන්සේකා ඉදිරියෙන් ඇති බවත්, දකුණ ඇතුළු ගම්බද ප්‍රදේශවල මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් ඇති බවත් ප්‍රකෘති මානසිකත්වයකින් මේ දෙස බලන උදවියගේ අවංක මතයයි.

ඉදිරි දින කිහිපය තුල රටේ මීළඟ වසර හයේ ඉරණම විසැඳෙනු ඇත. ඒ විසඳුම සුභවාදී එකකැයි අපි හුදක්ම පතන්නේ සංවර්ධිත, අභිමානවත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අවංක ආධ්‍යාශයෙන් යුතුවය.

සැරද ලක්මව්නි….!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

H Niles Perera©, January 2010

මඩ

සදාහරිතයේ අප ප්‍රතිපත්තියක් වශයෙන් මඩකරණයේ යෙදීම අනුමත නොකරන්නෙමු.මන්දයත්,එසේ වුවහොත් අනෙකුත් දේශපාලන මාධ්‍ය සහ අප අතර වෙනසක් ඇති නොවන බැවිනි.මෙහි මාතෘකාව මඩ වුවද,මෙය යටතේ ලියවෙන්නේ අනුනට මඩ ගැසීමකට නොව අනුන් ගසන ලද මඩ සේදීමකි.සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට තීරණය කල කාලයේ සිට මේ දක්වා එල්ල කල මඩ ප්‍රහාර වලින් හිතේ ඇඳුනු සමහරෙක් කාරණා සම්බන්ධව කතා කිරීමට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

  • මේ දිනවල වැඩිපුරම කතා බහට ලක් කෙරෙන්නක් වන්නේ දේශපාලනයට කලාකරුවන්ගේ සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් සිද්ධ කෙරෙන තාරුන්‍යයට හෙටක් සංවිධානය සංවිධානය ඔස්සේ ගෙන එන රූපවාහිනී වෙළඳ දැන්වීමයි.(මේ පිළිබඳ මෙම ලිපියට පෙර ලිපියේද දීර්ඝ ලෙස සඳහන් කොට ඇත.)එක්තරා සාදයකදී මේ පිළිබඳ සංවාදයක අප නිරත වුනු අතර එහිදී සන්ධානයේ පලාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු පැවසුවේ සංගක්කාරට “විවා” විකුනන්න හොඳනම් රවීන්ද්‍ර රන්දෙනිය ජනපතිගේ ගුණ කීවාම මොකද යන්නයි.මෙය මම ඔහුටද වටහා දුන් අතර,ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව වටහාගෙන හිඳිමු.සංගක්කාරගේ ශක්තිය වැඩිකරන විවා නොබී සිටියා කියා අපට සිදුවන කිසිඳු පාඩුවක් නැත.එසේම සංගක්කාරගේ කට වචනයට විවා බීවහොත් එහිද සිදුවන වැඩි වෙනසක් නැත.එහෙත් ජනාධිපතිවරනයකදී ජනතාවගේ තීරණය ස්ථීරවම රටේ අනාගතය තීරණය කරයි.එසේම ඔය ස්ටේජ් නගින දේශහිතෛෂී,දේශප්‍රේමී,දේශමාමක කළාකරුවන් පිරිස පොරපොල් පිටියේ උඩු පිලට වාසි විට උඩු පිලටද,යටි පිලට වාසි විට යටි පිලටද හෝයියා කියන ගමේ කොලු රොත්ත වැනිය.
  • තවද මේ දිනවල 154 බස් රථ සමහරෙක(වෙනත් බස් මාර්ග සම්බන්ධව මා ප්‍රකාශ නොකරන්නේ,ඒවායේ මා උදෑසන ගමන් නොකරන නිසාවෙනි.) සිටිFM හී හඩ්සන් සමග රට යන අත විකාශනය අනිවාරය කර ඇත.අවසන් සතියක කාලය තුලම හතර වතාවක් මම තරහෙන් පිපිරෙමින් මහ හයියෙන් දමා තිබූ එම මඩ ගොඩට සවන් දුනිමි.හඩ්සන් සමරසිංහ මහතා පිලිබඳවද මින් පෙර දෙවතාවක් අප සදාහරිතයේ ලිපි තුලින් සාකච්ඡා කරඇත.
  • අනෙකා නම් අන් කවරෙකුත් නොව මහින්ද අබේසුන්දරය.තාලෙට කියවෙන් වැකි ලියා සිඟිති ආතල් ගන්නා ඔහු,ලඟකදී ප්‍රකාශ කලේ සරත් ෆොන්සේකා මහතාගේ දත් කළුවී ඇත්තේ ගංජා ගහන බැවිනියිද,එවැන්නෙකුට රට බාරදෙන්නේ කෙසේද යන්නය.මා සරත් ෆොන්සේකා මහතා ගංජා ගසනවාද නැත්ද කියා නොදනිමි.එසේම මා විශ්වාස කරන ආකාරයට ගංජා ගැසීම වරදකි.තවද මෙය මහින්ද අබේසුන්දර මහතා දුටු දෙයක් නොවන බව මා තරයේ විශ්වාස කරන අතර,මෙය ඔහුට ඇතිවූ එක් සිතිවිල්ලක් පමණක් බව මා දනිමි.මන්ද මොහු සහ හඩ්සන් මහතා තමන්ට සිතෙන සියළු රජයට පක්ෂ නොහොත් රාජපක්ෂ සිතුවිල්ලක්ම විලි ලැජ්ජාවකින් තොරව එළියට දමති.එසේම ඔහුගේ ගොං මොළයට වටහා ගත යුතු තවත් කරුණක් ඇත.එනම් ලක්දිව මෙන්ම ලෝකවාසී ගංජා ලෝලීන් එක ලෙස ප්‍රිය කරනලොව පුරා තරුණයින් “මරිජුවානා”ඇති ප්‍රවණතාවය වැඩිකරන ප්‍රධානම සාධකයක් වන,සෑම පින්තූරයකම පාහේ කටේ ගංජා සුරුට්ටුවක් ඔබාගෙන සිටින “බොබ් මාලේ” යනු. . .ලෝකයාට වඩාත් මානුෂීය දේශපාලන ක්‍රමයක් හඳුන්වා දුන්නෙකි.එනම් දේශපාලනයට ගංජා බාධකයක් නොවන බවයි.එයින්ම මහින්ද අබේසුන්දරගේ තර්කය බිඳී යයි.
  • අවසන් කරුණ අප ඔබට සිතන්නට ඉතිරි කරන්නෙමු.සරත් ෆොන්සේකා මහතා සංවේදී නායකයෙකු නොවන්නේ ඔහු මව් බිමේ උස් නිදහස වෙනුවෙන් අවි සමග ගැටුනු නිසාද?

හිතන්න !

සදාහරිතයේ අප,ඔබට මේ ලබන්නාවූ 2010 වසර ඉතා සුබ සහ සෞභාග්‍යයෙන් පිරි වසරක් වේවායි පතමු !


– රචින්ත ජයවර්ධන ©,2009 උඳුවප් –

මහා පාවාදීම හෙවත් පිදුරු ගහේ පිහිට පැතීම

Click here to get Sinhala Unicode

මේ කතාන්දරයේ ආරම්භය සනිටුහන් වන්නේ 2009 දෙසැම්බර 13දාය. එදින පළවුණු එදා වනතුරු “කැලෑපත්තරයකැයි” ආණ්ඩුවේ මැති ඇමැතිවරු හංවඩු ගැසූ සන්ඩේ ලීඩර් පුවත්පතේ සුවිශේෂී වාර්තාවක් පළවිය. එහි සඳහන් වූයේ සුදු කොඩි ඔසවාගෙන භාරවීමට පැමිණි කොටි නායකයින් වෙඩි තබා මරාදමන ලෙසට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් වගක් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ වගයි. මේ ප්‍රකාශය හබන් කුකුළො කැකුණ තලන කොට ඌරන්ට රජ මගුල් කියන්නාක් මෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මහඟු මාධ්‍ය ගුණ්ඩුවක් බව එහි ප්‍රධානීන් තේරුම්ගෙන රට වටා මේ පුවත සැල කළේ ෆොන්සේකා රටත්, හමුදාවත් පාවාදුන් දේශද්‍රෝහියකු බව පවසමිනි, පෝස්ටර් ගසමිනි.

ඊට පහුවදාම ජෙනරල් සරත් ෆොන්සේකා තමන් එවැනි ප්‍රකාශයක් නොකළ වගත් තම ධුරකාලය තුල යුද හමුදාව තුල කුමන හෝ ජාත්‍යන්තර යුද නීතිය කඩකිරීමක් හෝ විනය කඩකිරීමක් සිදුවුණි නම් එය තමන් පෞද්ගලිකවම භාරගන්නා බව පවසා සිටියේය. එයින් නොනැවතුණු ඔහු වැඩිදුරටත් කීවේ යුද ක්‍රියාන්විතය පුරා කිසිඳු අවස්ථාවෙක යුද නීතීන් කඩ නොවුණු බව තමාට සහතික විය හැකි වගයි. දෙසැම්බර 20 නිකුතු වූ ලීඩර් පුවත්පතේ මේ සම්බන්ධ ජෙනරාල් ෆොන්සේකාගේ නිවැරදි කිරීම වාර්තා කර තිබුණි.

එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව මේ පාදාගත් පොටය අත හැරීමට අකමැති වූහ. මේ සම්බන්ධයෙන් නිවැරදි කිරීම කළ පසු එය සඳහන් කරනවා වෙනුවට කලක් “කැලෑපත්තරයකැයි” කී ලීඩර් පුවත්පතේ ලිපිය හෝද හෝදා මඩේ දැමීය, ඒ හරහා ජෙනරල් ෆොන්සේකාට පහරපිට පහර එල්ල කළේය. රට පුරා මේ ගැන මහත් ආන්දෝලනයක් ඇති කළේ ජෙනරාල් ෆොන්සේකා මේ සියළු ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ වග වසන් කරමිනි.

එහෙත් ආණ්ඩුවේ රාජතාන්ත්‍රික මහත්වරුන් විදේශයන්ට කීවේ තවත් යමකි. CNN නාලිකාවේ සම්මානනීය මාධ්‍යවේදිනී ක්‍රිස්ටියාන් අමන්පෝර් මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවේදී හිටපු විදේශ අමාත්‍යංශ ලේකම්, වත්මන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොණ මහතා කීවේ සරත් ෆොන්සේකා එම පුවත්පත් ලිපියේ ඇති කරුණු ප්‍රතික්ෂේප කර ඇති නිසා ප්‍රශ්නයක් නැති බවයි. පසුගියදා ෆිලිප් ඇල්ස්ටන් එවූ ලිපියට පිළිතුරු දැක්වූ මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම සාම මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානී මහාචාර්ය රජීව විජේසිංහ මහතාද කියා සිටියේ ජෙනරල් ෆොන්සේකා ප්‍රතික්ෂේප කර ඇති මේ පුවත්පත් ලිපිය ගැන තවදුරටත් කතා කිරීම නිෂ්ඵල බවයි. එහෙත් මෙරට තුල ෆොන්සේකාට මඩ ගසා තම ඡන්ද ගොඩ සවිමත් කරගැනීමට නින්දිත උත්සාහයක නිරතවන ආණ්ඩුව මේ පුවත්පත් ලියමන හෝද හෝදා මඩේ දමමින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇත්තේ රටට අවාසනාවන්ත ලෙසිනි. කොහොණ, විජේසිංහ වැනි උගත් මහත්වරු ෆොන්සේකා මහතාගේ නිවැරදි කිරීම ජාත්‍යන්තරයට පවසා තත්ත්වය සමනය කිරීමට උත්සාහ ගත්තද ආණ්ඩුවේ මැති ඇමැතිවරු කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්නාක් මෙන් මේ ප්‍රශ්නය දිවා රෑ පුරා කතා කිරීමය.

නමුත් මේ සිද්ධියෙන් බුද්ධිමතුන්ට බොහෝ දේ තේරුම් යන්නට ඇත. එකක් නම් තම බලය රැක ගැනීමට කරුණු විකෘති කරමින් රට අවදානමකට ලක් කිරීමට මේ රජය සූදානම් බවයි. දෙවැන්න නම් සරත් ෆොන්සේකා පසුපස විදේශ බලවේග නොමැති බවයි. ඔහුට විජාතික බලපෑමක් තිබුණි නම් ඇල්ස්ටන්ලා ලියුම් එවා ෆොන්සේකාට එරෙහිව මහජන භීතිකාවක් ගොඩ නැගීමට ආණ්ඩුවට හේතුකාරණා සපයයිද? ඡන්ද සමයේදී ඔහු දේශද්‍රෝහියකු ලෙස ආණ්ඩුවට උලුප්පා පෙන්වීමෙන් ඔහුගේ ජනපදනමට අභියෝග කළ හැකි ලියමනක් එවීමෙන් විජාතික බලවේග නම් කෝකටත් තෛලයේ ඇත්ත නැත්ත මැනැවින් දිගහැරේ. එසේ නම් ඔය විමල් වීරවංශලා, උඩුවේ හාමුදුරුවන් හා හෙළ උරුමය කියන තාලයේ විජාතික බලවේගයක් නොමැති බව සක්සුඳක් සේ පැහැදිලිය. එවැනි බලවේගයක් ෆොන්සේකා පිටුපස තිබුණි නම් එය ජනාධිපතිවරණයේ අවසානයේදී මේ ප්‍රශ්නය අවුස්සනවා මිස දැන් මේ ප්‍රශ්නය ඇදගන්නේ නැත. නමුත් ප්‍රතික්ෂේපිත ප්‍රකාශයක් ගැන මෙවන් ලියමනක් එවා ජනාධිපතිවරණයේදී රජයට වාසි සහගත තත්ත්වයක් උදා කිරීමට වාතාවරණය සැකසෙන්නේ රජය පිටුපස විජාතික බලවේග ඇත්දැයි ප්‍රශ්නාර්ථ ගොඩනගමිනි.

තෙවැනුව ආණ්ඩුව කියන්නේ සරත් ෆොන්සේකා මහතා මේජර් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදාව සහ රට පාවා දුන් බවයි. පාවා දීම යන්නෙන් නොකළ දේකට යමෙක්ට චෝදනා කිරීමට වඩා දෙයක් කියැවේ. පාවාදීම යනු යමෙකු කළ වැරැද්දක් සඟවා ආරක්ෂා කරනු වෙනුවට ඔහුට රැකවරණය නොදීමයි. නමුත් අප දන්නා තරමට හමුදාව අතින් වැරැද්දක් සිදුවී නොමැත, ඒත් ආණ්ඩුව පවසන්නේ පාවාදීමක් සිදුව ඇති වගයි. මොහොතකට සිතන්න ජෙනරල් ෆොන්සේකා එම ලිපියේ වාර්තාව පිළිකෙව් කරද්දී ආණ්ඩුව එය පාවාදීමකැයි කීමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්ඩුව චෝදනා කරන්නේ අපේ වීරවික්‍රමාන්විත හමුදාවෝ යුද අපරාධ කළ බවත් ඒ බව ජෙනරාල් සරත් ෆොන්සේකා හෙළි කළ බවත්ය.

අනෙක් අතට ආණ්ඩුවේ නොහැකියාවෙන් අහිමි කරගත් GSP+ බදු සහනයේ වැරැද්දද විපක්ෂය පිට දාන්නට ආණ්ඩුව සරසේ. සන්ඩේ ලීඩර් පත්තරයේ ලියමනද ඊට සාධකයකැයී කීම රජයේ අභිප්‍රායයි. නමුත් අපට GSP+ අහිමි වන්නට හේතුව අන් කවරක්වත් නොව ආණ්ඩුවේ නොහැකියාව සහ ඔතෑනී, අසාර්ථක විදේශ ප්‍රතිපත්තියයි. GSP+ ශ්‍රී ලංකාවට අහිමි කිරීමට යුරෝපා රටවල් තීන්දු ගත්තේ සන්ඩේ ලීඩර් පුවත්පත දෙසැම්බර 13 පුවත්පත නිකුතු කරන්නටත් පෙරාතුවය. GSP+ ප්‍රශ්නය පසුගිය වර්ෂයේදීත් දැඩි ලෙස සාකච්ඡා වූ බවට ඔබට මතක ඇතුවාට සැක නැත. එලෙසම ඔය බදු සහන නැතුව ශ්‍රී ලංකාවට ජීවත් විය හැකි යැයි ආණ්ඩුවේ ලොකු ලොක්කන් පුරාජේරු දොඩවනු ඔබට මතක ඇත. එදා එසේ කී උදවිය අද තම දේශපාලන වාසි තකා කියෙන්නේ හාත්පස වෙනස්ම කතාවකි.

මේ උභතෝකෝටිකයට විසඳුම අතිසරලය. සාමාන්‍ය සම්ප්‍රදායය අනුව පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී එම සාකච්ඡාව පටිගතකරනු ලැබේ. සම්මානනීය මාධ්‍යවේදිනී, සන්ඩේ ලීඩර් කර්තෲ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියද එසේ කළෙහි නම් එම හඬ පටයට සවන් දීමෙන් මේ චෝදනාවන්හී ඇත්ත නැත්ත හෙළි කර ගත හැකිය. රජය එසේත් නොකර, ජෙනරල් ෆොන්සේකාගේ නිවැරදි කිරීම තම මාධ්‍යය හරහා වාර්තා නොකරමින් ලෝකය හමුවේ අප රට හෑල්ලු වන පාපකර්මයට උඩගෙඩි දෙමින් සිටීයි. ඉහත කී කරුණු තේරුම යන බුද්ධිමත් ජනතාව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගනිත්වා!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009

මොනවද මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ???

Click here to get Sinhala Unicode

විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යනු අද රටේ වැඩියෙන්ම කතාවට ලක්වන සුවිශේෂී මාතෘකාවකි. බොහෝ දෙනෙක් ඒ ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරති. ඒත් ඇත්තටම මොකද්ද මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්නේ?? අපි පොඩ්ඩක් හොයල බලමු.

ජාත්‍යන්තර කුමන්ත්‍රණ භීතිකාවෙන් පෙලෙන විමල්

අපි අන්න එතැනින් කතාව අරඹමු. මගේ දැනුම් ප්‍රමාණයට අනුව මේ රටේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන වචනය වැඩිපුරම භාවිතා කරන්නේ, අපේ මහියංගණ ආසනයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීතුමාගේ වදනින් කීවොත්, ජනාධිපතිතුමාගේ ප්‍රධානතම සට්ටංරාලලා වන විමල් වීරවංශ සහෝදරයා (දැන් ආණ්ඩුවට මුක්කු ගැහුවට පස්සෙ ජේවීපී එකේ ඉද්දි වගේ සහෝදරය කිව්වට කමක් නැද්ද මන්දා) සහ ජාතික හෙළ උරුමයේ ජනාධිපතිතුමාගේ මධුවිත සංග්‍රහ අනුමත කරන එහෙත් මතට විරෝධී අපේ ස්වාමීන්වහන්සේලා සහ උපාසක උන්නැහේලාය. ඒත් මේ විජාතික බලවේග සහ කුමන්ත්‍රණ හරිහමං විදියට අර්ථකථනයට කිරීමට අදවනතුරුත් මේ සට්ටංරාලලාට නොහැකි වී තිබේ. අද පවතින තත්ත්වය අනුව කුඩා බිළිඳකු ආණ්ඩුවට එරෙහිව ඇඬුවොත් එය විජාතික බලවේගයකි, කවුරුන් හෝ එන්නත් කුප්පියක අපද්‍රව්‍යයක් පෙන්නුවොත් ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි, සූකර උණ පැතිරෙන්නේත් විජාතික බලවේගයක් නිසා යැයි ඔවුන් කීවොත් ඒකේද පුදුමයක් නැත, පසුගිය කාලයේ වාර විභාග අසාර්ථක වූයේත් විජාතික බලවේගයක් මත යැයි ඔවුන් කියනවාට සැක නැත. වරක් දෙවරක් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිතීඥ දයාසිරි ජයසේකර මහතා කීවාක් මෙන් තමන්ගේ බිරින්දෑතුමියට යම්කිසි ස්වභාවික දෙයක් සිදු වුවද එය විජාතික බලවේගයකැයි කියන මට්ටමට මේ උන්නැහේලා පත්ව ඇත. ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයට විරුද්ධ සෑම සියලු දෙයක්ම පෙනෙන්නේ විජාතික බලවේගයක් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විලෙසිනි.

මෙසේ විජාතික බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන උදම් අනන මහත්වරුන්ගේ, හාමුදුරුවරුන්ගේ තරම අමුතුවෙන් කිව යුතුද? මේ නඩයේ පුරෝගාමීන් රැසක් සුපිරි සුඛෝපභෝගී බංගලා පසුගිය කාලය පුරා  තදාසන්න ප්‍රදේශවල ඉදිකළේ කුමන විජාතික බලවේගයේ සහයෝගයකින්ද යන්න ප්‍රශ්නයකි. ඒ ගැන ඒ උදවිය කිසිඳු හැලහොල්මනක් නැතිව ඉන්නේ මොන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසාද?  රටට එතරම් ආදරය කරන්නේ නම් මහජන මුදලින් ගේදොර යාන වාහන ආරක්ෂකයින් පිරිවරා සිටින්නේ ඇයි? මේවාට උත්තර සැපයීම ඔවුන් සතු වගකීමකි.

චාවේස් ජනාධිපතිතුමා සමඟ

සැබෑ විජාතික බලවේගය, ජාත්‍යන්තර කුමන්ත්‍රණය, යනු වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එම ආණ්ඩුව දැන් යන අන්තවාදී ගමනට යොමු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යයක් කළ විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමය යන්න මගේ තර්කයයි. අද කවුරු කැමැති වූවත් නැතත් කලක් නොබැඳි රටක් ලෙස ලෝකයේ කාගේත් මිත්‍ර දේශයක් වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ එක් කොටසකට සීමා කර තිබේ. වත්මන් ආණ්ඩුව යන්නේ කා සමඟද? එක් පසෙකින් වෙනිසුවේලාව නම් වූ ඛණිජ තෙල් ඇතුළු සියලු සම්පත්වලින් ආඪ්‍ය දකුණු ඇමෙරිකානු ජනරජය වැරදි සමාජවාදී පිළිවෙත්වලින් පරිහානිය කරා මෙහෙයවන හූගෝ චාවේස්ය. මෑතකදී එරට පෞද්ගලික බැංකු සියල්ල රජයට පවරාගත් ඔහු රටේ පෞද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට එරෙහිව යුද ප්‍රකාශ කර සෑහෙන කල්ය, තවත් පසෙකින් මිලිටරි ජුන්ටාවකින් රට පාලනය කරන භීක්ෂූන් වහන්සේලා ඇතුළු අහිංසකයින් දහස් ගණනින් මහ මග මරා දැමූ, විපක්ෂ නායිකා අවුන්ග් සාං සූකී නිවාස අඩස්සියේ තබා ප්‍රජාතන්ත්‍රවාදය අහුරන මියැන්මාර ජනපති තාන් ෂ්වේය, අනෙක් අතින් ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඉරානය ආර්ථික අගාධය වෙත දක්කන, එරට ජනතාව අතරත් ජනප්‍රියත්වය හීන වෙමින් පවතින මහ්මූද් අහමඩිනජාඩ්ය. මේ ඇරෙන්නට අප සබඳකම් පවත්වනුයේ ලිබියාව, චීනය, ඉන්දියාව ආදී රටවල් සමඟය. සෙසු ලෝකයේ අප ස්වකැමැත්තෙන්ම කොන්වීමේ අවාසනාවන්ත ඉරණමට ආණ්ඩුව රට තල්ලු කර තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සංවර්ධිත සහ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකය අමතක කර තිබේ. ඔහු ලෝකයේ සාමාන්‍ය සම්මතයන්ට පහර ගසමින් ඉතා ආවේගශීලී පාලනයක් දියත් කරන අහමඩිනජාඩ්ලා, චාවේස්ලා, තාන් ෂ්වේලා එක්ක එක පෙලට සිටගනිමින් අප රටට නොබැඳි රටක් ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලබාදුන් කිතුගොස කෙලෙසා තිබේ. මේ හරහා ලෝකයේ සෙසු රටවල් අප රටට සහනාධාර දීම, උදව් උපකාර කිරීම අඩුකර තිබෙන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් හැටියට අප කිසිඳු රටකට ගැති විය යුතු නැත. නමුත් සැබෑ රාජතාන්ත්‍රිකභාවය යනු මිතුරා මෙන්ම සතුරා සමඟත් ඇඟෑලුම්කම් පෑමය, ඒ හරහා තම රටට අවැසි දේ ලබා ගැනීමය. 1977-1994 එක්සත් ජාතික පක්ෂ රජය මීට කදිම උපහැරණයකි, ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ ආණ්ඩු ප්‍රබල ලෙස විවෘත වෙළෙඳපොල ආර්ථික ක්‍රමය පිළිගත් අතර ධනවාදී සංකල්ප වලට ප්‍රමුඛත්වයක් දෙන ලදි. නුමුත් ඇමෙරිකාවේ රේගන්, බ්‍රිතාන්‍යයේ තැචර්, ජර්මනියේ කෝල් සමඟ මිතුදම් පවත්වන අතරදීම යූඇන්පී ආණ්ඩුව කියුබාව, චීනය ආදී වාමාංශික සමාජවාදී, සිය ප්‍රතිපත්තිවලට මුළුමනින්ම වෙනස් ප්‍රතිපත්ති ඇති රටවල් සමඟද ගණුදෙනු කළෝය. ජේ.ආර්. රේගන් එක්ක මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කද ඉතා කුලුපග විය. 1980 හමු වූ විට, සමාජවාදයේ මහා විරුවකු වූ කැස්ත්‍රෝ ජේ.ආර්. දක්ෂ නායකයකු බවත් ඔහු හරි මග යන බවටත් චරිත සහතිකයක් දුනි, එය එසේ වත්දී මෙරට විශාලතම සංවර්ධන ව්‍යායාමය වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපරයට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය, ජපානය ආදී ධනවාදී රටවල් ආධාර දුන්නේ ලෝක බැංකුව ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදීය. එකී යූඇන්පී ආණ්ඩුවේ ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, දේවනායගම්ලා, ලලිත්ලා, ගාමිණීලා මෙන්ම හමීඩ්ලාගෙන්ද රාජතාන්ත්‍රිකභාවය ගැන උගන්නට බොහෝ දේ වත්මන් රජයට ඇත. එසේම පහුගිය පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේදී මෙම නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් පුංචි ලංකාව ලෝකයේ සෑම රටක් සමඟම මිතුදම් ගොඩනගා දියුණුව කරා ගෙන යෑමට හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් ගත් උත්සාහයද අමතක නොකළ යුතුය. එහෙත් අද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව යන්නේ මොන පාරේද??

අහමඩිනජාඩ් සහ මහින්ද

අද සමස්ථ ලෝකයම විවෘත වෙළෙඳපොල ආර්ථිකය සමඟ අනුගතවී සිටින මේ මොහොතේ අපේ රාජ්‍ය නායකයා ඇඟෑලුම්කම් පාන්නේ ඊට අනුගත නොවී කොකා පෙන්වමින් යකා නටන පාර්ශව එක්කය. මීට දශක දෙකකට පමණ පෙර කොමියුනිස්ට්වාදයෙන් මිදුනු නැගෙනහිර යුරෝපය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් ලෝකය හා ගණුදෙනු කරමින් විවෘත වෙළෙඳපල ආර්ථිකයකින් අද්විතීය වේගයකින් සංවර්ධනය වෙද්දී, අසල්වැසි ඉන්දියාව විශාල ප්‍රගමනයක් අත්පත් කරගනිද්දී අප එම මතවාදයට විරුද්ධ රටවල් හා පෙළගැසෙමු, ඒ හරහා කුපිත වී ඇති රටවල් රටට ආධාර දීමට පසුබට වී තිබේ. මේ තිත්ත ඇත්තයි. මේ කියන දේශප්‍රේමී ආණ්ඩුවෙන් අවසාන වශයෙන් වී ඇත්තේ අප සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකය හමුවේ කොන් වීමය. කවුරුන් කෙසේ කීවත් මෙරට පෞද්ගලික ආයෝජකයින්ට සුදුසු වාතාවරණයක් නැත, බදු ඉතා අධිකය, විදෙස් ආයෝජකයෝ මෙරට ආයෝජනයට පසුබට වෙති. මේ සියල්ලටම ඉහත කී කාරණාව සෘජුව බලපායි. අපිට සහනාධාර එපා… යමෙක්ට කිව හැක, ඒක වැරදිය, ලංකාව මෙතෙක් කල් නිදහසින් පසු කිසිම විටෙක රජයක් ලෙස ආදායම් උපයා නැත, ආදායම් වියදම් පියවා ඇත්තේ එක් වර්ෂයකදී පමණි. ඉතින් ආදායමට වඩා වියදම වැඩි වන විට වියදම් පියවන්නට ණයගන්නට හෝ ආධාර පැතීමට නිරායාසයෙන්ම සිදුවේ.

ඉතින් ලෝකයාම පිළිගත් විවෘත ආර්ථිකයට පයින් ගසන, ලෝක සාමයට තර්ජනයක් කරන නායකයින් සමඟ පෙළට හිටගෙන අනෙක් ලෝක නායකයින්ට මඩ ගැසීම හරහා ලෝක මට්ටමින් අප රට කොන් කිරීමට මේ රජය සමත්කම් දක්වා තිබේ. ඒ හරහා රටේ ජනතාව වක්‍රාකාරයෙන් අපහසුතාවයට පත්කර තිබේ. අනෙක් අතට ලෝකයේ ඇතැමුන් අප රටට එල්ල කරන්නා වූ චෝදනාවලට සාර්ථකව පිළිතුරු දීමට අපොහොසත්වීම හරහා රටේ කීර්තිනාමය කෙලෙසීමේ පාපකර්මයට හවුල් වී තිබේ. එසේ කරමින් රටේ සංවර්ධනය අහුරා, ජනතාව ලෝකයාගෙන් ඈත් කර ජනතාවට අහිතකර සමාජවාදී පාලිත ආර්ථිකයක් සහිත පාලනයක් ගොඩ නැගීමට වෙර දැරීම අහමඩිනජාඩ්, චාවේස්, තාන් ෂ්වේ වැන්නන්ගේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට හසුවීමකි. එහෙනම් දැන් සෑබෑ විජාතික රූකඩ කවුද යන ප්‍රශ්නයට ඔබට පිළිතුරක් ලැබෙනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009