Posts Tagged ‘Felicitation’

දෙවරක් සිහසුන අහිමි වූ “මින්නේරි දෙවියෝ”

නිදහසින් පසු වල්වැදී, කැලෑ වී තුබූ රජරට අස්වද්දන්නට ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් පෙරට ආහ, ඩී.ඇස්., ඩඩ්ලි, ගාමිණී යන පතාකයින් අතර වසර 14කට ආසන්න කාලයක් අමාත්‍යවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායකධුරය ඉසිලූ සී.පී. ද සිල්වා ශ්‍රීමතාණන්ගේ නම අමතක කරන්නට අපට බැරිය. මේ සටහන ඔහුගේ මතකය සිහි ගන්වනු අරඹයාය.

සී.පී. ද සිල්වා

1912 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට දිනකට මත්තෙන් දකුණු ලක බලපිටියේ රන්දොඹේ ග්‍රාමයේ පින්වත් බිළිඳකු ජන්මලාභය ලැබීය. නමින් චාල්ස් පර්සිවල් ද සිල්වා නම් වූ ඔහුගේ පියා බලපිටිය අධිකරණයේ සුප්‍රකට නිතීඥවරයකු වූ සී.ආර්. ද සිල්වාය. කුඩා කළ පටන් සී.පී. යන මැයෙන් කවුරුත් දැන හැඳිනගත් මේ පුංචි දරුවා පළමුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුලත් කෙරිණි. කෙටි කලෙකින් දෙමාපියන් විසින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් කෙරුණු සී.පී. එහි දිදුලන ශිෂ්‍යයකු බවට පත් විය. අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර වැඩටත් ගජ රුසියකු වූ සී.පී. ශාන්ත තෝමස් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලැබීය. ගණිතය සහ විද්‍යාව විෂයන් කෙරේ වැඩි ආසාවක් දැක්වූ සී.පී.එකී විෂයන් සඳහා පිරිනැමෙන “ග්‍රෙගරි” සහ “මිලර්” සම්මානයන්ගෙන්ද පිදුම් ලත්තේය.

සරසවියෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදී ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමි කරගත් සී.පී. සිවිල් සේවයට යැවීමේ අරමුණින් සිය දෙමාපියන් එංගලන්තයට පිටත් කළේය. එහිදී සාර්ථකව අධ්‍යාපනය හමාර කළ සී.පී. 1935දී ලක්දිවට අවුත් සිවිල් සේවයට එකතුපහදු වූයේ ලක් ඉතිහාසයේ ලාබාලතම සිවිල් නිලධාරියකු ලෙස ඉතිහාසගත වෙමිනි. යාපනයේත්, පුත්තලමේත් කැඩට් නිලධාරියකු ලෙස පුහුණුව ලත් සී.පී. පසුව අනුරාධපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකෙහි රජයේ ඒජන්තවරයා ලෙස පුරා වසර 7ක් කටයුතු කළේය.

1935 සිවිල් සේවයට එක්වූ දා සිට 1972 අවසන් හුස්ම හෙලන තෙක්ම රජරට අස්වැද්දීම සී.පී.ගේ සිහිනය විය. ගාමිණී දිසානායකයන් එකලු කළ මහවැලි සිහිනයේ මුල් අයිතිකරුවා සී.පී. යැයි කීමේ වරදක් නැත්තේ ඔහු වසර 37ක් පුරා රජරට අස්වද්දන්නට ගත් වෙහෙස මහන්සිය නිසාමය. එපමණක් නොව මහවැලි මහා ව්‍යාපෘතිය පොල්ගොල්ල අමුණට මුල්ගල තබමින් අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකයන් ආරම්භ කරද්දී එක්සත් ජාතික පක්ෂ රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග සහ විදුලිබල ඇමැතිවරයා ලෙස තිරය පිටුපස සිටිමින් මහා මෙහෙවරක් කළේද සී.පී.මය.

මහත් දුෂ්කරතා මධ්‍යයේ වුව රජරට ජනතාවට සිවිල් සේවකයකු ලෙස සෙත සැලසීම සී.පී.ගේ ඒකායන පැතුම විය. ගිරිතලේ වැව් තාවුල්ලේ තානායමක සිට රාජකාරී කළ සී.පී. සතියකට වරක් ඇලහැර හරහා මාතලේට සිය විලිස් ජීප් රථය පදවාගෙන ආයේ රජරට කටුක දිවියට අවශ්‍ය අඩුමකුඩුම රැගෙන යන්නටය.  ඩී.ඇස්. සේනානායකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාව ඉන්දැද්දී එම අමාත්‍යාංශයේ සහකාර ලේකම්ධුරයක් ඉසිලූ සී.පී. 1946දී සහකාර ඉඩම් කොමසාරිස් තනතුරකට උසස් කෙරිණි. 1949දී සී.පී. තවත් රාජකාරී සන්ධිස්ථානයක් පසු කළේය, ඒ ඉඩම් සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමත් සමඟය. ඩී.ඇස්., ඩඩ්ලි යන කෘෂිකර්ම ඇමැතිවරු දෙපල යටතේම රජයේ සේවකයකු ලෙස රජරට අහිංසක ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මහත් පරිශ්‍රමයක් දැරූ සී.පී., මින්නේරි ජනපදය ප්‍රතිස්ථාපනය කිරීමෙහිලා පුරෝගාමී චරිතයක් විය. වෙසෙසින්ම මින්නේරි ව්‍යාපාරය හමුවේ තුබූ ප්‍රමුඛ අභියෝගයක් වූයේ ජානපදිකයින් මින්නේරි ජනපදය තුලම රඳවා තබා ගැනීමය. ඒ අභියෝගය ජයගැන්මට ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන් යෙදෙව්වේ තරුණ සී.පී. ද සිල්වාය, ඒ ඔහු උතුරු මැද පළාතේ රජයේ ඒජන්තවරයා ලෙස පත්කරමිනි. ඩී.ඇස්. සේනානායක සහ එවක ඉඩම් කොමසාරිස්ධුරය හෙබවූ වත්මන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මුත්තණුවන් වන සී.ඇල්. වික්‍රමසිංහ මහතා සී.පී. ද සිල්වා සමඟ නිතර කතිකා කළේ මින්නේරි ව්‍යාපාරය සාක්ෂාත් කිරීම උදෙසාය. ඩී.ඇස්., ඩඩ්ලි සහ සී.ඇල්. යන ත්‍රිත්වයේ පූර්ණ විශ්වාසය දිනාගත් සී.පී. මින්නේරි ජානපදිකයින්ගේ ජීවන තත්ත්වය අරුත් ගන්වනු වස් සිය උපරිම දායකත්වය ලබාදුන්නේය. පසුකාලීනව ඩී.ඇස්. සේනානායකයන් විසින් එකී දායකත්වය උදෙසා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී උපහාරයද පළ කර සිටියේය.

1946දී තවත් සුවිශේෂී රාජකාරීමය උසස් වීමක් සී.පී. ද සිල්වා මැතිඳුන්ට හිමිවිය, ඒ ඔහු අතිරේක ඉඩම් කොමසාරිස්ධුරයෙන් පිදුම් ලැබීමත් සමඟය. එකළ ලංකාවේ ආණ්ඩුක්‍රමය වෙනස් කරන්නට පත්කෙරුණු සොල්බරි කොමිසම ලක්දෙරණට අවුත් සංචාරය කළ එක් ඉසව්වක් වූයේ මින්නේරියයි. මින්නේරියේ සමූපකාර වාර්ෂික මහා සභා රැස්වීමකට සහභාගී වීමෙන් අමන්දානන්දයට පත්වූ සොල්බරි සාමිවරයා “ලංකාවේ කැලෑබදව මිනිස්සුන්ට මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීම් තියන්න පුළුවන් නම් මේ මිනිස්සුන්ට රටක් පාලනය කරන්න බැරි යැයි කියන්න පුළුවන් කාටද?” යන ප්‍රශ්නය විචාල බව අචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සී.පී. ද සිල්වා ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ උපහාර ලිපියේ කියැවේ.

1950 නිදහස් දවස දා සී.පී. ද සිල්වා සිවිල් සේවයෙන් ඉල්ලා අස්වූයේ කාගේත් දොම්නසට හේතුකාරකයක් වෙමිනි. ඉල්ලා අස්වීමෙන් ඉක්බිති හෙතෙම පුත්තලමේ තම වත්තේ වගා කටයුතුවල නිරත වෙමින් නිදහස් දිවියක් ගත කළ බව කියැවේ. දිනක් හිරු බසින යාමයේ තම කුඹුරේ අස්වැන්න ගොඩ ගසමින් තුබූ හෝරාවෙක අනපේක්ෂිත අමුත්තකු සී.පී. හමුවන්නට ආයේය. හේ නමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය, බණ්ඩාරනායක මහතාගේ මේ හදිසි සංචාරයට නිමිත්ත වූයේ සී.පී. ද සිල්වා ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කර ගැනීමය. බණ්ඩාරනායක මැතිඳුන්ගේ උත්සාහය මල්ඵල දැරීය. සී.පී. ද සිල්වා පොලොන්නරුව ආසනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට කැමැති වූවා පමණක් නොව තම උපන්ගම වූ බලපිටියේ මැතිවරණ සටනටත් සක්‍රීයව දායක වීමට එකඟ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණය වූ 1952 මහ මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතලොස්සකි, ඒ අතර පොළොන්නරුවේ සී.පී. ද සිල්වා ප්‍රමුඛයකු බවට පත්විය. කෙසේ වෙතත් 1956දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනිපය බලයට පත්වූ අතර ඒ සමඟ සී.පී. ද සිල්වා මැතිතුමා එම රජයේ සභානායක සහ ඉඩම් සහ වාරිමාර්ග ඇමැතිවරයා ලෙස පිදුම් ලැබුවේය. මෙහිදී සී.පී. ද සිල්වා මැතිතුමා ගැන කිව යුතු වැදගත් යමක් ඇත, එනම් ඔහු මාස දෙකේ විරාම ද්විත්වයක් හැරුණු කළ, පුරා වසර 14ක්ම (1956-1970) ඉඩම්, ඉඩම් සංවර්ධන, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යධුරයත්, සභානායකධුරයත් ඉසිලීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් දෙකක සහ එක්සත් ජාතික පක්ෂ රජයක එකී තනතුරු හෙතෙම හෙබවීම සුවිශේෂී කාරණයක් ලෙස සැලකිය හැකිය.

1959 අගෝස්තු 25දා කැබිනට් රැස්වීමේදී සී.පී. ද සිල්වාට සුවිශේෂී අත්දැකීමකට මුහුණපාන්නට සිදුවිය. අගමැති බණ්ඩාරනායකයන්ට පිළියෙළ කළ තිබූ කිරි වීදුරුව පානය කළ සී.පී. දරුණු ලෙස ගිලන් විය, එකළ එය එතරම් සැලකිල්ලට නොගත්තද පසුව එකී කිරි වීදුරුවට අගමැතිවරයා ඝාතනය කිරීමට වස යොදා තිබෙන්නට ඇතැයි සැකයක්ද මතුවිය. නමුත් අතිශය දෛවෝපගත ලෙස එම සිද්ධියෙන් මාසයක් ගෙවුණු තැන, එනම් 1959 සැප්තැම්බර් 26දා චීවරධාරියකු විසින් අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා වෙඩි තබා ඝාතනය කරන ලදි. ජ්‍යෙෂ්ඨත්වය අනුවෙ මීළඟට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නට තුබුනේ සී.පී. ද සිල්වා මහතාටය, නමුත් ගිලන්ව එංගලන්තයේ ලන්ඩන් නුවර ප්‍රතිකාර ලබමින් සිටි ඔහුට එම අවස්ථාව මගහැරී ගියේ ඔහුගේ අවාසනාවට වඩා රටේ ජනතාවගේ අවාසනාවට යැයි කීම යුක්තිසහගතය.

1960 මාර්තු මහ මැතිවරණය වනවිට සී.පී. ද සිල්වා පරිපූර්ණව සුවය ලබා නොසිටියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවීමේ බර කරට ගත්තේය. මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශ වූයේ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ එක්සත් ජාතික පක්ෂයට ආසන 50කුත්, සී.පී. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නීදහස් පක්ෂයට ආසන 46කුත් හිමි කර දෙමිනි. මන්ත්‍රණ සභාවේ විපක්ෂයේ සිටි බොහෝ පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නට සී.පී. ද සිල්වා ප්‍රමුඛ ශ්‍රිලනිපයට සහය දැක්වීමට දත කට මැදගෙන සිටියහ. නමුත් රාජාසන කතාව ඩඩ්ලි සේනානයක මැතිඳුන් පරාජයට පත්වීමත් සමඟම අග්‍රාණ්ඩුකාරවරයා අලුත් මැතිවරණයකට දින නියම කළේය. 1960 ජුලි මාසයට නියමිත වූ මෙම මහ මැතිවරණය ලාංකේය දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේත් හැරුම් ලක්ෂයක් වූවා යැයි කීම නිවැරදිය. නැවත වරක් ශ්‍රිලනිපය මෙහෙයවීමේ වරම තුබුනද සී.පී. ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂිකධුරය ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට ඔහු එම වගකීම බණ්ඩාරනායක මැතිතුමාගේ වැන්දඹුව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට පිරිනමන්නට මූලික විය. තමන්ගේ අතේ තුබූ අගමැති අපේක්ෂකත්වය පිළිකෙව් කළ සී.පී. සිරිමාවෝ බණ්ඩාරනායක රටේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්කරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි විය. දේශපාලනයට ආධුනිකයකු වූ සිරිමාවෝ මැතිණියගේ රජයේ සභානායකවරයා ලෙස ශ්‍රිලනිප රජයේ බොහෝ බර කරට ගෙන 1960-65 රජය මෙහෙයවීමේ ගෞරවය සී.පී. ද සිල්වා මැතිඳුන්ට හිමිවිය යුතුය.

දෙවරක්ම අගමැතිවීමේ හිනිපත්තට පැමිණි සී.පී. ද සිල්වා චාම් චරිතයකට උරුමකම් කීවේය. ජනප්‍රිය දේශපාලනය සහ ප්‍රසිද්ධිය හඹා නොයමින් රජරට ඇතුළු තුන් හෙළයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය. ඇමැතිවරයකු ලෙස රටේ බොහෝ ප්‍රදේශවල වාරි පද්ධති සහ කෘෂිකර්මය නගා සිටුවීමට අනූපමේය සේවාවක් කළ සී.පී. ද සිල්වාගේ දේශපාලන සාර්ථකත්වයට ප්‍රධාන බාධකයක්ද තිබුණි. ඒ ඔහුගේ කුලයයි, සලාගම කුලයට අයත් වූ සී.පී. අගමැති වනු දැකීමට ශ්‍රිලනිප පාක්ෂිකයන්ම සමහරක් කැමැති නොවූයේ සිංහල ජනසමාජයේ අදටත් පවතින කුල භේදය නිසාය.

සී.පී. ද සිල්වා අමාත්‍යවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වයද අමතක කළ නොහැකිය. කොළඹ රාජකීය විද්‍යාලය උදාහරණයක් කරගනිමින් පොළොන්නරුවේ රාජකීය මධ්‍ය විද්‍යාලය සියළු අංගෝපාංගයන්ගෙන් යුක්තව ඉදි කළ එතුමා මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිකිරීමෙහිලාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. කොළඹ ප්‍රකට පාඨශාලාවක් වන මහානාම විද්‍යාලය ඉදිකිරීමටද සී.පී. ද සිල්වා මැතිතුමා ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ. 1960-65 ශ්‍රිලනිප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට රජය තුල සිටම සී.පී. ද සිල්වා හඬ නැගුවේ තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙමිනි. සිරිමාවෝ මැතිණිය ඇතුළු එවක රජයේ වාමාංශික කොටස් ලේක් හවුස් ආයතනය ජනසතු කිරීමට ගෙනගිය ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දුටු සී.පී. රජය තුල තම මතය පරාජය වීමත් සමඟ කටුක තීරණයකට එළඹියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා විපක්ෂයේ අසුන් ගැනීමටය, ඒ තමන්ට හිමි ඇමැතිධුරය සහ සභානායක පදවියද අතැර දමමිනි. ඒ 1964 දෙසැම්බර් 3දාවකය. පසුකාලීනව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සී.පී. 1965 මහ මැතිවරණයට එජාපයෙන් මින්නේරිය අසුනට තරඟ කරමින් ජයගත්තේ 1965-70 ඩඩ්ලි සේනානායක රජයේද සභානායකවරයා බවට පත්වෙමිනි.

සී.පී. ද සිල්වා මැතිතුමා ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස මහත් වෙහෙස මහන්සියක් දැරුවේ රජරට සරුසාර කරන්නටය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා මෙදා තුල ලක්දෙරණේ බිහිවූ යෝධතම සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ජනිත විය. 1970දී ආරම්භ කිරීමට නියමිත වූ මෙම දැවැන්ත බහුකාර්යය ව්‍යාපෘතිය වසර 30ක් තුල අදියර 3කින් සමාප්ත කිරීම එතුමාගේ සිහිනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ඇතිව එජාපය මහවැලි සිහිනය සැබෑ කරන්නට උත්සුක වුවද බොහෝ ප්‍රතිවාදීන් කීවේ 1968 මුළු රාජ්‍ය ආදායමටත් වඩා වැඩි වියදමක්  අSතමේන්තුගත මහවැලි ව්‍යාපෘතිය දවල් සිහිනයක් කියාය. 1970දී පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ගැන තැකුවේ නැත. අවාසනාවකට 1977 පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගාමිණී දිසානායක මැතිඳුන්ගේ මෙහෙයවීම යටතේ මහවැලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත කරද්දී සී.පී. ද සිල්වා අප අතරින් සමු ගෙන කලක් ගතව ගොසිනි.

1970දී මහවැලි සංවර්ධන මණ්ඩලය ස්ථාපනය කරලීම උදෙසා පනතක් ගෙනෙමින් සී.පී. ද සිල්වා මෙසේ පවසා ඇත.

“රජරට වාසය කරමින් සේවය කළ සත්වස තුල පොළොන්නරුවේ සිට සැතපුම් 6ක් දුරින් වූ මනම්පිටිය පාලම මත හිඳ මහවැලිය මෝසම් සමයේ පිටාර ගලන විට දුප්පත් මිනිසුන් දුක් විඳිනුද යල කන්නයේ කුඹුරු කරන්නට, නාන්නට, බොන්නට වතුර පොදක් නැතිව දුක් විඳිනුද දුටුවෙමි, තෙත් කලාපයේ කඳු අතරින් ගලා එන මහවැලි නදියේ, මහවැලි ජලය වියළි කලාපයට හරවන්නේ කෙසේදැයි මම පැය ගණන් සිහින දැක්කෙමි”.

අවසන 1970දී සී.පී. ද සිල්වා මින්නේරි අසුන ඡන්ද 1000කට කිට්ටු ප්‍රමාණයකින් පරදිද්දී කඳුරට කොත්මලයෙන් බිහිවූ නුවර එළිය ජයගත් තරුණ දේශපාලනඥයා විසින් 1980 දශකයේදී සී.පී. ද සිල්වාගේ මහවැලි සිහිනය සැබෑ කළේය.

1970 මැතිවරණ පරාජයෙන් පසුව විවේකී දිවියක් ගත කළ සී.පී. කෙටි කලක් රෝගාතුරව හිඳ 1972 ඔක්තෝබර් 9දාවක දැයෙන් සමුගත්තේ රජරටින් බිහිවූ කිරුළු නොපළන් රජුන් ලෙසිනි. වසර 60ක් මුළුල්ලේ ලක්දෙරණ ආලෝකමත් කළ සී.පී.ගේ නාමය ලක්වැසි දනන් මුව වසර ගණනාවක් රැඳේවායි අප ඉතසිතින් පතමු.

මේ ලියමන 1964 දෙසැම්බර 3දා විපක්ෂයේ අසුන්ගත් සී.පී. ද සිල්වාගේ වදන් පෙළකින් අවසන් කරනු රිසියෙමි.

“මම අද මේ සියල්ල හැර දමන්නේ නිදහස් සමාජයක නිදහස් මිනිසකුව ජීවත් වීමටයි”

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වප්

පොදුජන විශ්වාසය දිනූ ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
=============================================================
අපට අපේ රටේ ඉතිහාසය බොහෝ දුරට දැනගන්නට ලැබෙන්නේ වංශ කතාවලිනි. අපේ ඉතිහාසය ගැන කියවන විට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, අපේ රට සමෘද්ධියට පත්වූ සෑම අවධියකම, ඒ යුගවල රට පාලනය කළ පාලකයන් හා ජනතාව අතර තිබූ අන්‍යෝන්‍ය විශ්වාසයයි. ඒ විශ්වාසය මවුබිමේ සමෘද්ධියට පදනම වූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.

කොළඹ අලුත්කඩේ සාන්ත බස්තියමෙන් ජනාධිපති පුටුවට ගිය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ දේශපාලන ගමනත්, විශ්වාසය පිළිබඳ කතාන්දරයක් ලෙස මම දකිමි.

නිදහසේ උදාවෙන් පසු ජනාධිපතිවීම දක්වා, මේ රටේ පළමු පුරවැසි තනතුරට පත්වූ සියලු දෙනාම පැමිණි පසුබිමට වඩා වෙනත් පසුබිමකින් ප්‍රේමදාස මැතිඳුන් ඒ ස්ථානයට ආවේය. ඒ සඳහා ශිෂ්‍ය අවධියේ පටන් ළමා සමාජ, අමද්‍යප සංගම්, සුචරිත ව්‍යාපාරය ආදී විවිධ ක්ෂේත්‍ර තුළ තම හැසිරීම තුළින් ජනතා විශ්වාසය ගොඩනගා ගන්නට ඔහු සමත්විය.

ඔහු මේ විශ්වාසය ගොඩනගා ගත්තේ හුදු වචනවලින්ම නොවේ ක්‍රියාවෙන්, හැසිරීමෙන්, දේශපාලනඥයකු වූ ඔහු, එදා සිටි සමකාලීන දේශපාලනඥයින්ට වඩා ඉදිරියෙන් යමක් කරන්නට උත්සාහ කළේය. ජනතාව ශක්තිමත් කරන්නට අවශ්‍ය දෑ යුහුසුළුව කර දෙන්නට ඔහු ක්‍රියාශීලී විය.

“හඬක් නගන්නට බැරි මිනිසුන්ගේ හඬ බවට” විශ්වාසය ගොඩනගා ගන්නට ඔහුට පුළුවන් විය.

“යටකළ මහ වගුරු බිමකි
එහි නැග එන නව නුවරකි”

මාළිගාවත්ත නව උදාව, ඔහු පිළිබඳ විශ්වාසය තවත් තහවුරු කරන්නක් විය.

“පූට්ටු ගෙවල් – පූට්ටු පාලම්” ඔහුගේ නිර්මාණශීලී ක්‍රියාකාරීත්වය පිළිබඳව, රටටම විශ්වාසය දනවන පණිවිඩයක් ලබා දුන්නේය.

නිවාස ඇමතිකම කරන විට මුදල් මදිවීම, ඔහු වැඩ කල් දැමීමට හේතුවක් කර ගත්තේ නැත. රු.7,500යෙන් නිවාස ලක්ෂය හදන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කළේය. දේශපාලනඥයෝ, නිලධාරීහූ ආරම්භයේදී මේ ගැන පුදුම වූහ. ඒත් ඔහු වැඩට බැස්සේය.

ජනතාවගේ සැඟවුණු ශක්තිය මේ වැඩපිළිවෙළ තුළින් ඔහු එළියට ගත්තේය. මිනිසුන්ගේ ආත්ම විශ්වාසය ඔහු මතුකර ගත්තේය. ගෙවල් හැදුවේ මිනිස්සුය. ආණ්ඩුව කළේ ඔවුන් දිරිගැන්වීමය. අත්තිවාරම දමා ඉවර වූ විට රු. 2,500ක් දුන්නේය. බිත්ති ඉස්සුවාම තවත් රු. 2,500ක් දුන්නේය. වහල දැමීමට ඉතුරු රු. 2,500ක් ලබාදුනි. නිවාස අධිකාරියේ නිලධාරීහූ අවශ්‍ය මග පෙන්වීමත්, උනන්දු කිරීමත් කළහ. බොහෝ දුරට ගමේ අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත්තේය. මේ දිරි ගැන්වීම් නිසා, රට පුරා ලෑලි ගෙවල්, පොල් අතු ගෙවල් වෙනස් වෙන්නට පටන් ගත්තේය.

ජනතාවගේ සැඟවුණු ශක්තිය එළියට ගන්නට විශ්වාසය දනවන අයුරින් කවියකු වූ ප්‍රේමදාස මැතිඳුන් ලිවූ කවියක් මගේ මතකයට එයි.
“දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි      පුතේ
සීගිරි ගලේ කව් ලිව්වේ නුඹයි           පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි   පුතේ
පැදුරේ මෙදා නිදියන්නෙත් නුඹයි    පුතේ”

ඊළඟට නිවාස දසලක්ෂයේ වැඩපිළිවෙළ ඔහු ප්‍රකාශයට පත් කළාම, ජනතාව එය විශ්වාස කළහ. මේ වැඩපිළිවෙළ ගැන මුලින් සැක කළ නිලධාරීන් පවා, පසුව විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ දායකත්වය දෙන්නට පටන් ගත්තේය. රටපුරාම දේශපාලනඥයන්, නිලධාරීන් සහ ජනතාව තම තමන්ගේ ප්‍රදේශවල  ආදර්ශ ගම්මාන, උදාකළ ගම්මාන, නාගරික පුරවර හදන්නට තරඟෙට ඉදිරිපත් වෙන්නට පටන් ගත්හ.

ඔහුගේ ආදර්ශ ගම්මානයන්, උදාකළ ගම්මානයන් විවෘත කරන විට එය හුදු නිවාස වැඩපිළිවෙළක් පමණක්ම වූයේ නැත. මාර්ග, ගෙවතු, විදුලිය, පානීය ජලය, ආගමික මධ්‍යස්ථාන ආදී වශයෙන් හැම අතකින්ම ජනතාව ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් ඒ සමඟ ක්‍රියාත්මක විය.

ගම ඉලක්ක කරගත් වැඩපිළිවෙළකට පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ඉලක්ක කරගෙන “ප්‍රාදේශීය ගම් උදාව” වැඩසටහන ඔහු පටන් ගත්තේය. ඒ සමගින් දස සති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. මාර්ග සතිය, කෘෂිකර්ම සතිය, අධ්‍යාපන සතිය, ක්‍රීඩා සතිය, සෞඛ්‍ය සතිය, නිවාස සතිය ආදී වශයෙනි.

“දිළිඳුකම පිටුදැකීම” අපේ දේශපාලන ශබ්ද කෝෂයට හඳුන්වා දුන්නේ ප්‍රේමදාස මතිතුමාය.

එතුමන්ගේ ජනසවිය වැඩපිළිවෙළත්, විශ්වාසය පදනම් කරගත් වැඩපිළිවෙළක් විය. අවුරුදු දෙකක කාලයකට රු. 2,500 බැගින් මාස්පතා ලබාදීම සහ අවුරුදු දෙකකින් පසු ඔවුන් රැකියා මාර්ගවලට යොමු කිරීම එහි ඉලක්කය විය. සුභසාධක මානසිකත්වයෙන් ඉවත්කර, තම ශක්තියෙන් ගොඩ ඒමට විශ්වාසය ලබාදීම එහි අරමුණ විය. ජනසවිය වැඩපිළිවෙළට පක්ෂභේද හෝ නිල්ධාරීවාදය තිබුණේ නැත. ඔවුන් තෝරා ගැනීම්, ක්‍රියාත්මක කිරීම්, සියල්ල සිදු කෙරුණේ ප්‍රජාවගේ මැදිහත්වීමෙන් සහ විනිවිද පෙනෙන අයුරිනි. මේ සියලු ක්‍රියාදාමයකට පසුබිම් වූ ප්‍රේමාදාසයන්ගේ දැක්ම අවබෝධ කරගත හැකි කවියක් ඔහුගේ “රස කවි සිතුවිලි” කවි පොතින් උපුටා දක්වනු කැමැත්තෙමි.
“මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව    මත
වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ               නැත
එම වස්තුවම රැකගන්නට යෙදවු                සිත
රන් මිණි මුතුද ඔවුනගෙ දහදියෙහි            ඇත”

“විශ්වාසා පරමා ඥාතී” බුදු වදනට අනුව යමින් එතුමාගේ සෑම ගම්උදා උත්සවයකදීම අනිවාර්ය ගීතය වූයේ විශ්වාසයේ ගීතයයි.
“මට ඔබ විශ්වාසයි
ඔබ මට විශ්වාසයි”

ගීතයකට වඩා ඔබ්බට ගිය දර්ශනයක් ඒ තුළින් ජනතාවට ඉදිරිපත් කෙරුණා. ඔහු ජනතා විඤ්ඤානය හොඳින් තේරුම් ගත් නායකයෙකු විය.

සාර්ථක නායකයකු ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු වේ. තමන් බලය දරන්නට සුදුසු බවටත්, තමන් දෙන තීරණ ගැනත්, තමන්ගේ හැසිරීම ගැනත්, තමන් තුළ ඇති නායකත්ව ගුණාංග ගැනත්, ජනතාව තුළ විශ්වාසය ඇති කරගත් නොහැකි නම්, වෙන කුමන සුදුසුකම් තිබුණද ඉන් පලක් නැත.

ඒ විශ්වාසය ශක්තිමත්ව ගොඩනගා ගත් නිසාම සාම්ප්‍රදායිකව රටේ නායකත්වය සඳහා තිබූ පංති සීමාවන් සහ කුල සීමාවන්, ඉතිහාසයේ ප්‍රථම වරට ජයගැන්මට ප්‍රේමදාස මැතිතුමන් සමත් විය. එතුමන් ශ්‍රී ලංකාවේ ජනපති ලෙස තේරී පත්වීම සැබවින්ම අපේ දේශපාලන ඉතිහාසයේ මහා විප්ලවයක් ලෙසින්ම හැඳින්වීම නිවැරදිය.

මේ ගමනේදී මතුවූ නින්දා, අපහාස, අවලාද කොතෙකුත් ඔහු විඳ දරා ගත්තේය. සතුරු බලවේග, මිත්‍ර බලවේග බවට පත්කර ගන්නට ඔහු පොහොසත් විය. දුර දැක්මෙන් හා කල්පනාකාරීව ඔහු පැමිණි ගමන, තමන්ගෙන් පසු එම ස්ථානයට පැමිණීමට අප සමාජයේ පුංචි මිනිසුනට දොර විවෘත කරදුන් ගමනක්ම විය.

1988දී ඔහුගේ ජනපති සටනේ ප්‍රධාන රැස්වීම් මාලාව ඇරඹුනේ මහනුවරිනි. එම මංගල රැස්වීමේ පටන්, සියලු ප්‍රධාන රැස්වීම්වල කතා පැවැත්වීම, එතුමා මට පවරා තිබුණි. එවකට දේශපාලනයේ කණිෂ්ඨයකු වූ මට, මේ අවස්ථාව ලබාදීම අනපේක්ෂිත වූවකි.

එම රැස්වීම් මාලාවේදී, මම එදා වසර 25කට පෙර (1963දී) ලින්කන් සිහිවටනය ඉදිරිපිට, මාටින් ලූතර් කිං පැවැත්වූ “I have a dream” හෙවත් “මට සිහිනයක් ඇත” කතාව සිහිපත් කළෙමි. ප්‍රේමදාස මැතිඳුන්ගේ ජනපති සටනට, අප අද දායක වන්නේ එවන් සිහිනයක් අපේ සිත්වල දරාගෙන බව මම එදා පැවසුවෙමි.

සැබැවින්ම ඔහුගේ ජනපති පදවි ප්‍රාපතිය සමඟ ඇරඹුණේ ඒ සිහින සැබෑවන ගමනකි.

සෑම දිනකම හිමිදිරියේ සුචරිතයේදී රටේ ඕනෑම පුරවැසියකුට ඔහු හමුවිය හැකිවිය. සෑම සති අන්තයකම රට පුරා යාමේදී, ජනහමුවලදී, ජනතාව තම දුක් ගැනවිලි ගැන සිය ගණනින් ලිපි ඔහුට බාර දෙති. ඒ ලොකු විශ්වාසයකිනි. පිළිතුරු සති දෙකක් ඇතුළත ලැබෙන බව ඔවුහූ විශ්වාසයෙන් දනිති. පුවත්පතක, කෙනෙකුගේ දුකක්, වේදනාවක් ඇස ගැටුනොත්, එතැනට නිලධාරීන් යැවිණ. විසඳුම් ලැබිණ. ඔහුගේ දේශපාලනය හෘදයාංගම වූ එකකි. ඔහුට එහිලා අරමුණක් තිබිණ. අධිෂ්ඨානයක් තිබිණ. පහත දැක්වෙන්නේ එය කවියෙන් එළි දැක්වුන අවස්ථාවකි.
“වැලි ඇටයයි පුතේ මහ කතරේ      බලය
දිය බිඳුවයි දුවේ සාගරයේ                බලය
මව්බිම දෙව් බිමක් කරගත හැකි     බලය
පොදුජන සැපත හැදුමයි අප සතු     බලය”

එතුමන්ගේ ජාත්‍යන්තර සබඳතාද, ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගැනිණ. අටවන නොබැඳි සමුළුවේදී ඔහු පැවැත්වූ කතාවක් මෙහිදී මගේ සිහියට නැගේ.

“නොබැඳි ව්‍යාපාරය අවුරුදු 25ක් පුරාම වර්ගවාදයේ ආදීනව ගැන ලෝකයාගේ අවධානය යොමුකර තිබේ. මිනිසුන්ගේ හමේ පාට, මිනිසුන්ගේ වටිනාකම මණින මිනුම් දණ්ඩක් ලෙස පිළිගන්නා අය අද ඉන්නවා නම් ඇත්තේ බොහොම ටික දෙනයි. අප්‍රිකාවේ සහෝදරයන්ට මේ වර්ගවාදී වෙනස්කම්වලින් මහත් සිත් වේදනාවක් ඇතිවී තිබේ. ඒ තත්ත්වය වෙනස් කරන්නට, ඔවුන් මේ හිරිහැරවලින් මුදවා ගන්නට උපකාර වන පියවර අප්‍රමාදව ගන්නැයි කියා සමස්ත ලෝක ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ අරගලයේදීත්, දුකේදීත්, අප ඔවුන් සමග සිටිනවා.”

ප්‍රේමදාස මැතිතුමන් යටත්විජිතවාදයට, වර්ගවාදයට, විරුද්ධව පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියක සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඔහු අවධියෙන් හා ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු ප්‍රශ්නයේදීත්, පලස්තීනය පිළිබඳ ප්‍රශ්නයේදීත්, යටත්විජිත පාලනයට සහ වර්ගවාදී වෙනස්කම්වලය එරෙහිව, ඒ රටවල් ජනතාව කරන සාධාරණ අරගලයන් සඳහා ඔහු ක්‍රියාශීලීව සහයෝගය දුන්නේය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය “මධ්‍යස්ථව බලා ඉඳීම නොව නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන් ක්‍රියාශීලී වීම” බව පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හුදු ඡන්ද පැවැත්වීම පමණක්ම නොවන බව ඇදහූ ප්‍රේමදාස මැතිතුමන්, ඒ අයගේ ජීවිතවලට බලපාන තීරණ ගැන්ම, දේශපාලනඥයින්ට පමණක් බාර නොදී ඒ සඳහා ජනතාව සහභාගී කර ගන්නට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තේය. පක්ෂ භේදයෙන් තොරව තෝරාගන්නා ග්‍රාමෝදය මණ්ඩල, ප්‍රජාව මගින් දිළිඳු බව හඳුනා ගත්තේය. ජනසවිය ක්‍රමය, ගම් පහළොස්දහස (15000) සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ සඳහා හොඳ නිදසුන් වේ.

වරෙක මේ පිළිබඳව එතුමන් කළ ප්‍රකාශයන් මෙහිලා දක්වනු කැමැත්තෙමි.

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කරල තියන විදියට, හුදෙක් ඡන්ද පැවැත්වීම යයි මම අදහස් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම එහි අවම අභිප්‍රාය තමයි ඡන්ද පැවැත්වීම. ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන්නට නම් ජනතාවගෙන් හැකිතරම් විශාල සංඛ්‍යාවකට අපි අවස්ථාව ලබා දෙන්නට ඕනෑ. ඒ අයගේ ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ කටයුත්තට සහභාගී වන්නට, ගම් දනව්වල සිටින නිහඳ ජනතාවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල විධිවිධානවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට බැහැ. ඒ සඳහා මනා අවබෝධයක් ඇති ජනතාවක්ද සිටින්නට ඕනෑ.”

අපේ දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ මෙන්ම අපේ පාලකයන් ප්‍රේමදාස චින්තනය නිවැරදිව කියවිය යුතුව ඇත. අගතිගාමී නොවී, උපේක්ෂාවෙන් ඒ දෙස හැරී බැලිය යුතුව ඇත. මේ ඒ සඳහා සුදුසුම වකවානුවක් යයි මම සිතන්නෙමි.

ජනතාවට ආදරය කළ, පෙරලා ජනතාව ආදරය කළ ඒ පොදු ජනතා නායකයාණන්ගේ ප්‍රකාශ ඇතුළත් “ප්‍රේමදාස චින්තනය” පොතේ පෙරවදනට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලියූ සඳහනක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

“ඔහුගේ චින්තනයේ මූලික අංග අඩංගුවන මෙම පොත, කටුක ඉදිරි අරගල මාවතේ අපේ නිරන්තර සහායකයා හා මග පෙන්වන්නා වනු ඇත. එම දාර්ශනික දේශපාලනඥයාගේ චින්තනයේ ගැඹුරු බව හා සමකළ හැක්කේ, ඔහු ජනතාවට දැක්වූ කරුණාවේ අව්‍යාජත්වය පමණි.”

මේ “”කරුණාවේ අව්‍යාජත්වය” ප්‍රේමදාසයන්ගේ කවියකින් එළිදැක්වුණු අයුරු උපුටා දක්වා මම ලිපිය සමාප්ත කරනු කැමැත්තෙමි.
“මහජනයාට යුතුකම් ඉටු          කරන්නට
පසුබට නොවෙමි මා සිටියත් පියුම්      පිට
ඔවුනගෙ දෙපා යට ඔවුනට පෙනෙන්නට
දූවිලි පොදක් වී තුටුවෙමි       තැළෙන්නට”

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර්,

උපුටාගැනීම – ලංකාදීප, 2010 මැයි මස 1වනදා, 8වන පිටුව

ලලිත් ඇතුලත්මුදලි 17වන ගුණානුස්මරණය

අපේ මාතෘභූමියට නොමැකෙන සේවයක් ඉටුකරමින් රටට අභිමානයක් ගෙන දුන් ඒ කෘතහස්ත දේශපාලනඥයා, ලලිත් විලියම් ඇතුලත්මුදලි සාහසික තුවක්කුකරුවකුගේ උණ්ඩයට ගොදුරුව දැයෙන් සමුගෙන අදට වසර 17ක් ගෙවී යයි.

ඒ සොඳුරු මිනිසාගේ අකල් වියෝවෙන් අදටත් පාඩු විඳින අප ඔහුගේ නොමැකෙන මතකයට අපේ කෘතවේදීත්වය පිරිනමමු. දැයට මහඟු මෙහෙවරක් කළ මෙම ප්‍රාඥයා අලලා ඔහුගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් පසුගිය නොවැම්බරයේ “සදාහරිතයේ” පළවූ ලිපිය කියවන ලෙස ඔබට ආරාධනය කර සිටිමු.

පිවිසෙන්න : https://sadaharita.wordpress.com/2009/11/29/lalith_wa/

මහවැලියෙන් රටම එකලු කළ නරේන්ද්‍රයා – ගාමිණී දිසානායක

Click here to get Sinhala Unicode

අප රටේ නිදහසින් පසුව රටට ඉමහත් සේවයක් කළ එහෙත් රටේ අවාසනාවට රටේ රාජ්‍ය නායකත්වය අහිමි වූ සොඳුරු දේශපාලනඥයන් කිහිපයකි. ඉන් එක් අයකු වන ගාමිණී දිසානායක ශ්‍රීමතාණන්ගේ 68 වන ජන්ම දිනය පසුගියදාට යෙදිණි. මේ ඔහු මෙරටට කළ අමිල සේවය ගැන සිහි කැඳවීමකි.

================================================================

1942 මාර්තු මස 20වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පින්බර පුත් රුවන නමින් ලයනල් ගාමිණී දිසානායක නම් විය. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඇන්ඩෲ දිසානායකයන්ගේත්, සමරතුංග වෙලගෙදර කුමාරිහාමිගේත් දෙවැනි දරුවා ලෙස මෙලොව එළි දුටු ගාමිණීට එම නම යෝජනා කර ඇත්තේ එවක යතුරුගහලියැද්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ව වැඩ සිටි දිඹුල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. කුඩා කළ පටන් කොත්මලේ ගැමි පරිසරයේ පහස විඳිමින් හැදී වැඩුණු පුංචි ගාමිණී ගැමි ජීවන රටාව, සංස්කෘතිය සහ ආගමික වටිනාකම් මනාව උගත්තේය. පස්වසක් සපිරෙන කල්හී ලංකාවේ සුප්‍රකට තක්සලාවක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළු කිරීමට ගාමිණීගේ දෙමව්පියන් වග බලා ගත්තේ තම කුඩා දරුවා ගැන මහත්වූ අපේක්ෂාවන් පෙරදැරිවය. ත්‍රිත්ව විද්‍යාලයේදී ලයනල් යන නමින් ආමන්ත්‍රණයට ලක්වුණු ඔහුට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් මාස්වෙල ගම් පියැස්සෙන් සමුගන්නට සිදු විය. තම දෙමාපියන්ගේ දාරක ස්නේහයෙන් තාවකාලිකව හෝ වෙන්වීම ඕනෑම දරුවකුට සොව ගෙන දෙයි. කුඩා වියේදීම මහනුවර නේවාසිකාගාරගත වී කාලසටහනකට අනුව වැඩ කිරීමට සිදුවීම ක්‍රියාශීලී ගාමිණීට නොරිස්සුවේය. ගාමිණී පාසල් සමයේ පටන් පොතපත පරිශීලනයෙහිලා විශේෂ උනන්දුවක් දැක්වීය චරිතාපදාන, ඉතිහාසය යනාදී විෂයන් ඇසුරේ පන්නරය ලද හෙතෙම ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවන්ටද වෙසෙස් උනන්දුවක්, ආදරයක් පෙන්වීය. පාපැදි පැදීමටත් සුවිශේෂී ඇල්මක් පෙන්වූ ගාමිණී තම හිතාදර මිත්‍රයන් සමඟ පාසල් සමය කෙළිදෙළින් ගත කළ බව රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් රචිත ගාමිණී දිසානායක – යුග මෙහෙවරක කතාව කෘතියේ වැඩිදුරටත් සඳහන් වෙයි. ශිෂ්‍යයකු ලෙස සිය පෞර්ෂය හා නායකත්වය වැඩි වර්ධනය කරගනිමින් ඉදිරියටම පා නැගුවද ගාමිණී එස්.එස්.සී. විභාගයෙන් ප්‍රමාණවත් සම්මාන සමාර්ථ ප්‍රමාණයක් නොලද්දේය. කෙතරම් පොත්පත පරිශීලනය කළද විෂය භාහිර ක්‍රියා කෙරේ සිය අවධානය යොමු වූ ගාමිණීගේ අනාගත සාර්ථකත්වය උදෙසා සිය දෙමව්පියන් වටද්දර තිස්පනේ රජයේ විද්‍යාලයට ඇතුලත් කරනු ලැබීය. නැවතත් හුරුපුරුදු මාස්වෙල ගැමි පරිසරයට අනුගත වූ ගාමිණී විශිෂ්ට සාමාර්ථද සහිතව සම්මාන සාමාර්ථ අටක් ලබමින් එස්.එස්.සී. කඩඉම ජයගත්තේ කාගේත් සතුටට හේතුවක් වෙමිනි.

අධිනීතිඥ ගාමිණී දිසානායක

පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසුව ගාමිණී සිය තෘතියික අධ්‍යාපනය ගැන සිත යොමන්නට විය. ගාමිණී පළමුව වරලත් ගණකාධිකාරවරයකු වීම සඳහා එංගලන්තය බලා පිටත් වීමට අදිටන් කර ගත්තද ඔහුගේ අප්පච්චිට හදිසියේ වැළඳුණු හෘදයාබාධය නිසා පවුලේ වගකීම්වලින් කිසියම් ප්‍රමාණයක් දහහත් හැවිරිදී ගාමිණීගේ දෙවුර මත පැටවිණි. එංගලන්තයේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවද ගාමිණී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා ලියාපදිංචී වූයේ තම දෙමාපියන් සහ සොහොයුරු සොහොයුරියන් අතරේ ගැවසෙමින් සිය අධ්‍යයන කටයුතු පවත්වා ගෙන යන්නටය. පේරාදෙණියේ සිප් සතර හදාරණ අතරතුරදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතීඥයකු ලෙස සුදුසුකම් ලබනු වස් නීති විද්‍යාලයටද හේ ඇතුලත් වන්නට වග බලා ගත්තේය. කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල ඇසුරේ නීතිය හදාරා 1966දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු ලෙස දිවුරුම් දුන් ගාමිණීට උවමනා වූයේ අපරාධ නඩු පිළිබඳ නීතීඥයකු වීමටය, නමුත් එවක සුප්‍රකට නීතීඥයකු වූ නෙවිල් සමරකෝන් මහතාගේ නීතීඥ සමාගමට බැඳුනු ගාමිණීට නිරායාසයෙන්ම සිවිල් නඩු ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරන්නට සිදු විය. ජ්‍යේෂ්ඨ නීතීවේදීන් ඇසුරේ පන්නරය ලබමින් කෙටි කලෙකින් සිය දැඩි කැපවීමට නමක් දිනාගත් ගාමිණී තම වෘත්තීය බොහෝ උතුම් කොට සැලකුවේ නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අනිවාර්යය අංගයකැයි ඔහු තුල තුබූ ප්‍රබල විශ්වාසය හේතුවෙන් විය යුතුය.

නුවරඑළියෙන් මැති සභයට

1965-1970 කාල පරාසය තුල රටේ ආණ්ඩු කළේ ඩඩ්ලි සේනානායක මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජයයි, රජය විසුරුවා හැරීමට දින කිහිපයකට මත්තෙන් හදීසියේම ඩඩ්ලි සේනානායක අගමැතිඳුන් මුණ ගැසීමට වුඩ්ලන්ඩ්ස් මන්දිරයට ගොඩ වූයේ නුවරඑළියේ එජාප ක්‍රියාකාරීන් පිරිසකි. එවක නුවරඑළිය මන්ත්‍රීවරයා වූ ඩොනල්ඩ් ජේ. රණවීර මහතාට දොස් කී නුවරඑළියේ නියෝජිතයන් අගමැතිතුමාගෙන් වෙනත් සුදුස්සකු එජාපයෙන් නුවරඑළියට ඉදිරිපත් කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියහ. සාවදානව පාක්ෂිකයන්ගේ අදහස් උදහස් වලට කන්දුන් අගමැතිතුමා නුවරඑළිය ආලෝකමත් කරන පහනක් එවන බවට පාක්ෂිකයන්ට ප්‍රතිඥා ලබාදී ඔවුනගේ සිත් සනසා පිටත් කර හැරියහ.

ඩඩ්ලි සමඟ

ඩඩ්ලිගේ සුමිතුරෙකු වූ හිටපු නුවරඑළිය මන්ත්‍රී ඇන්ඩෲ දිසානායක මැතිතුමා ඇමැතූ ඩඩ්ලි තමාට ගාමිණී හමුවන්නට උවමනා යැයි පැවසීය. ගාමිණී තුරුණු වියේ සිටම දේශපාලනයට පිවිසීමේ පිරිසිදු චේතනාවෙන් ඔදවත්ව තිබුණි. වරෙක ඇමෙරිකානු සෙනට් සභික රොබට් එෆ්. කෙනඩි මහතාට සිය සොහොයුරා වූ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි මහතාගේ වියෝවට සොව පළ කර යැවූ ලිපියේදී මේ බව ගාමිණී සටහන් තැබූ අතර සෙනෙට් සභික රොබට් එෆ්. කෙනඩි ඔහුට සාර්ථක දේශපාලන ගමනකට ශුභාශීංෂණ එකතු කළේය. ඩඩ්ලි හා කතාබහින් පසුව ගාමිණී ඩඩිලිගේ යෝජනාවට එකඟ වෙමින් නුවර-එළිය අසුනේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස වැඩ භාර ගත්තේය. ගාමිණීගේ පියා නුවරඑළිය අසුනේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා මෙන්ම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වුවද ගාමිණී ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට වඩා එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති කෙරේ දැඩි විශ්වාසයක් පැවැතුණි. එවක එජාප නියෝජ්‍ය නායකයාව සිටි ජේ.ආර්. ජයවර්ධනයන්ගේ දැඩි විරෝධාවය මත නුවරඑළියෙන් මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ ගාමිණි නුවරඑළියේ ජාති, ආගම්, කුල භේද පසෙකලා සැබෑ ජනතා සේවකයකු ලෙස ජනතාව අතරට ගියේය. ගම්දනව් සිසාර ඇවිද මිනිසුන් හා කතා බහ කළ ගාමිණී කාගේත් ආදර ගෞරවයට පාත්‍ර විය. එවක එතරම්ම දක්ෂ කතිකයකු නොවුණද ගාමිණීගේ තේජවන්ත පෞර්ෂය සහ සුහදශීලීත්වය කාගේත් ආකර්ෂණයටම හේතුපාදක විය. වෙහෙසකර මැතිවරණ සටනකින් පසුව ගාමිණී දිසානයක නුවරඑළිය අසුන ජයගත්තේය. නමුත් එක්සත් ජාතික පක්ෂය ෂ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා දිවයින පුරා ඡන්ද ලබාගත්තද කේවල ඡන්ද ක්‍රමය නිසා සමස්ථ මැතිවරණය එජාපය පරාජය විය. එක්සත් ජාතික පක්ෂයෙන් 1970දී පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ මන්ත්‍රීවරුන් 17ක් පමණි. ඉන් එකම අභිනව මන්ත්‍රීවරයා වූයේ 28 හැවිරිදී ගාමිණී දිසානායකයන්ය. එක්සත් ජාතික පක්ෂයටත් එහි සාමාජිකයන්ටත් චෝදනා නොකර රට හදන්නටැයි යන මූලික පණිවුඩය අන්තර්ගතවූ සිය පළමු පාර්ලිමේන්තු කතාව හරහා ගාමිණී සිය දේශපාලන බුද්ධි මහිමය ප්‍රකට කළේය. එදා ඔහු කළ ප්‍රකාශය අදටත් වලංගුය. මේ වන විටත් ගාමිණී දිසානායක නුවරඑළිය අසුන ජයගැනීම අභියෝගයට ලක් කරමින් ඡන්ද පෙත්සමක් ගොනු වී තුබුණි. මැතිවරණ පෙත්සමට නිමිත්ත වූයේ ගාමිණී දිසානායක මහතාගේ මැතිවරණ වේදිකාවේදී හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි හිමියන් විසින් ශ්‍රීලනිප අපේක්ෂක විලියම් ප්‍රනාන්දුට එරෙහිව කරන ලදැයි කියූ අපහාසාත්මක ප්‍රකාශයකි. පෙත්සම විභාගයට ගත් අධිකරණය 1971 දෙසැම්බරයේදී පෙත්සම්කරුගේ පාර්ශවයට සහනයක් ලබාදෙමින් ගාමිණීගේ මන්ත්‍රීධුරය අත්හිටුවීය, එම පුරප්පාඩුව පිරවීමට අතුරු මැතිවරණයක් 1972දී පවත්වන්නට නියමිත විණි. සමගි පෙරමුණු ආණ්ඩුවේ දෙවන්නා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නුවරඑළියේ පදිංචි වී ශ්‍රීලනිප මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙය වන්නට වූයේ තරුණ ගාමිණී ජාතික තලයේ දේශපාලනයට එන්නටත් පෙරම පරාජය කිරීමේ අදිටනිනි. එජාපයද තම සියළු වෙර වීර්යය ගාමිණී දිනවන්නට කැප කළේය. ඩඩ්ලි සේනානායකයන් රුපියල් ලක්ෂ 3ක් ගාමිණීගේ මැතිවරණ සටන සඳහා ලබා දුන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ නොසැලී මැතිවරණ ජය කරා නුවරඑළියේ සංවිධායක කටයුතු කරන්නටය.

අතුරු මැතිවරණ ජයෙන් පසු... ගාමිණී සමඟ මෙහි ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රත්, කරුණාසේන කොඩිතුවක්කුත් පෙනී සිටී

මේ වකවානුවේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෙරේ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන දෙපළ අතර පැවැති සීතල යුද්ධය හමුවේ දෙපළ සමඟම සුහදතාව වර්ධනය කරගන්නට ගාමිණී සමත්කම් පෑහ. කෙසේ වෙතත් 1973 සිංහල අවුරුදු දා බත් දුන් පියා යැයි විරුදාවලී ලද ඩඩ්ලි සේනානායක සදහටම ජනතාවගෙන් සමුගත්තේ ගාමිණී ඇතුළු සියළු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ නෙතඟට කඳුලක් ජනිත කරවමිනි. ඩඩ්ලිගෙන් පසු එජාප නායකයා වූ ජේ.ආර්.ය. විපක්ෂය එවක දැඩි ලෙස මර්දනයට ලක්වෙමින් තුබූ අතර ගාමිණී එජාපය සමඟ ජනතාව වෙනුවෙන් සටන් වැදුණේය. 1973 සුප්‍රකට දැදිගම අතුරු මැතිවරණය ජයගැනීම එජාපයේ ප්‍රධාන උවමනාවක් විය. සමගි පෙරමුණු ආණ්ඩුව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් සිය අපේක්ෂකයා වූ ධර්මසිරි සේනානායක දිනවන්නට වෙර දරද්දී එජාපයේ අපේක්ෂක රුක්මන් සේනානායක දිනවන්නට ගාමිණී ඇතුළු එජාපය පියවර ගත්තේ ආණ්ඩුව අවුලෙන් අවුලට පත් කරමිනි. 1975දී කාලය නිමාවූ සමගි පෙරමුණු ආණ්ඩුව අත්තනෝමතික ලෙස ආණ්ඩු බලය 1977 දක්වා දීර්ඝ කරගත්තේ කිසිඳු හිරිකිතයකින් තොරවය. හාල් පොලු, මිරිස් පොලුවලින් පීඩාවට පත්ව සිටි රටේ අහිංසක ජනතාවට වෙනසක් ළඟා කරදීමේ උතුම් චේතනාව පෙරදැරිව ජේ.ආර්. විරෝධතා රැසක්ම දියත් කළ අතර පක්ෂයේ කෙමෙන් කෙමෙන් දිදුලන නායකයකු ලෙස නමක් දිනා ගනිමින් තිබූ ගාමිණීද එහි ප්‍රමුඛයකු විය. අවසානයේදී සමගි පෙරමුණ 1977 ජුලි 21දාට මහ මැතිවරණය නියම කරගත්තේය. මේ වනවිට සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂද ආණ්ඩුව හැර දමා ගොස් තිබුණි. 1977 මහ මැතිවරණයේ කටයුතු කිරීම සඳහා ආර්.ප්‍රේමදාසගේ නායකත්වයෙන් කමිටුවක් පත් කරන්නට ජේ.ආර්. තීන්දු කළේය. ඊට සාමාජිකයන් 10ක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන් පත් කරගත් අතර එහිදී වැඩිම ඡන්ද ලබාගත්තේ ගාමිණීය. ගාමිණීට අමතරව ඒ.සී.එස්.හමීඩ්, කේ. දේවනායගම්, රොනී ද මැල්, ලලිත් ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය, ඊ.එල්. සේනානායක, සිරිල් මැතිව් සහ ඊ.එල්.බී. හුරුල්ලේ යන මහත්වරුන් එම කමිටුවට තේරී පත්විය. 1977 මහ මැතිවරණය ගාමිණී දිසානායකට කිසිඳු අභියෝගයක් නොවිණි. ඒ වන විට බහු ආසනයක් ලෙස නම් කොට තිබූ නුවරඑළිය-මස්කෙළිය අසුනින් පහසුවෙන්ම ජයගනිමින් ගාමිණී පාර්ලිමේන්තු ආයේ පක්ෂයේ ජාතික මැතිවරණ සංවිධාන වැඩටද විශාල සවියක් වෙමිනි.මේ අතර 1977 එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ “නිවහල් ධාර්මිෂ්ඨ සමාජයක්” යන්නේ ප්‍රධාන සම්පාදකයකු ලෙස ගාමිණී කැපී පෙනුණි. එක්සත් ජාතික පක්ෂය 50.9%ක ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියමින් පාර්ලිමේන්තුවේ ආසන 168න් 140ක් දිනා ගත්තේ ශ්‍රීලනිපය ආසන 8ට පල්ලම් බහිද්දීය. 1977 මහ ඡන්දයේ එජාප ජයට ගාමිණී දිසානායකයන්ගේ දායකත්වය ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

“මේ ඡන්ද ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන කථිකයින් තිදෙනෙක් සිටියහ. ජේ.ආර්. පළමුවැන්නාය. ඡන්ද ව්‍යාපාරයේ වඩාත්ම චතුර කථිකයා වූ ආර්. ප්‍රේමදාස දෙවැන්නාය. ප්‍රසන්න පෙනුමෙන් යුත් වූ බිණීමෙහි දක්ෂ, තරුණ ගාමිණී දිසානායක තුන්වැන්නාය. උඩරැටියෙකු වීම නිසා ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ සිත් ඇදගත හැකි වීම ඔහුට තිබූ අතිරේක වාසියකි. බණ්ඩාරනායක මහත්මිය සිය පක්ෂය තුල උඩරට කොටස් නියෝජනය කළ අයුරෙන්ම ගාමිණී දිසානායකගේ “උඩරට” උණුසුමෙන්ද නිසි ප්‍රයෝජන ගනු ලැබීය. මේ තිදෙන වඩාත් විශාල රැස්වීම් අමතමින් රට වටා ගියහ. සාමාන්‍යයෙන් ජේ.ආර්. ප්‍රදාන කථිකයා විය. ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී යත්ම ගාමිණී දිසානායකද ඔහුට එක් විය. සතියකට දෙකකට පසු ආර්. ප්‍රේමදාස ඔහුටම ආවේණික උද්‍යෝගයෙන් ඇතැම් ඡන්ද කොට්ඨාශවල රැස්වීම් අමතමින් ගිය අතර, ඉන් සතියකට දෙකකට පසු ජේ.ආර්. තනිව හෝ ගාමිණී දිසානායක කැටුව හෝ එම ස්ථානවලම රැස්වීම් අමතන්නට ගියේය කෙසේ වුවද ප්‍රධාන කථිකයා වූයේ ජේ.ආර්.ය. ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රථමවරට විශාලතම මෙන්ම, වඩාත්ම උද්‍යෝගීමත් ජනකායක් ඇද ගැනීමට ඔහු සමත් වූයේය”.

පෙර වැව් බැඳි රජ දරුවෝ ඔබගෙන් යළි පණ ලැබුවෝ

77 එක්සත් ජාතික පක්ෂ ජයත් සමඟ ගාමිණී කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තේරී පත්වීම නිරායාසයෙන්ම සිදු විණි. කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන්නට පෙර නුවරඑළියට හෙලිකොප්ටරයක් යවා ගාමිණී සහ ශ්‍රීමාව ජේ.ආර්. කොළඹට කැඳවීය. වැවිලිකරයේ දේශපාලනඥයකු වූ ගාමිණී අපේක්ෂා කළේ වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වන්නටය. නමුත් ජේ.ආර්.ගේ නිවහන වූ බ්‍රේමාර් මන්දිරයට ගිය විට ගාමිණීට දැන ගන්නට ලැබුණේ තමන් නව රජයේ වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස පත් කෙරෙන බවයි. ගාමිණී මේ අනපේක්ෂිත පුවතින් කණස්සල්ලට පත් වුවද පසුව ජේ.ආර්. රජයේ වැදගත්ම වගකීම වන කඩිනම් මහවැලිය තම දෙඋර මත වැටෙන බව පසක් වීමෙන් පසු සතුටට පත්විය. ජේ.ආර්. ඇතුළු 24 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයේ තුරුණුතම ඇමැතිවරයා ලෙස එදින සවස සුභ මොහොතින් ගාමිණී දිසානායකයන් දිවුරුම් දුන්නේය. එවිට ඔහුගේ වයස අවුරුදු 35ක් පමණි.

වික්ටෝරියා වේල්ල

ගාමිණී සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත්තේ සුවිශේෂී අන්දමිනි. අමාත්‍යාංශය මගින් එවූ සුවිසාල නිල රථය ප්‍රතික්ෂේප කළ හෙතෙම මුලින්ම ගියේ සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සේනානායක හමුවන්නටය. එහිදී තමා වැඩ භාරගන්න උත්සවයට දේශපාලනයේ ජ්‍යේෂ්ඨයකු මෙන්ම ප්‍රබල ප්‍රතිවාදියකු වූ මෛත්‍රීපාල සේනානායකට සහභාගී වන ලෙස ආරාධනා කරනුයේ ගාමිණීගේ සැබෑ මහත්මාභාවය පිළිබිඹු කරමිනි.

ජේ.ආර්. රජයේ භාරධූරතම වගකීමක් ගාමිණීගේ දෙඋර මත වැටී තිබුණි. වසර ගණනාවක පටන් ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනයක්ව පැවැති මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම  ගාමිණීගේ වගකීම විය. 1970දී ඩඩ්ලි රජය වසර 30ක ව්‍යාපෘතියක් ලෙස දියත් කළ මහවැලිය සමගි පෙරමුණු පාලන කාලයේදී එකතැන පල් විණි. අවුරුදු 30කට නියම වූ මහවැලිය, කඩිනම් මහවැලිය ලෙස අවුරුදු 6කින් නිම කිරීමේ අභියෝගය තුරුණු කැබිනට් ඇමැතිතුමා සතුටින් භාරගත්තේය. කෘෂිකර්මය, මහාමාර්ග, වාරිමාර්ග, විදුලිබලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, ඉඩම් යනාදී සකලවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් මහවැලි මිටියාවත කේන්ද්‍රකොටගත් සශ්‍රීක එහෙත් ජනශූන්‍ය ප්‍රදේශ අස්වද්දා සරුසාර කෙත් බිම් නිර්මාණය කරමින් රටත් ජනතාවත් සුඛිත මුදිත කිරීම මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ප්‍රධාන අභිප්‍රාය විය.

70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ වාරිමාර්ග ඇමැතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාකයකුද වූ මෛත්‍රීපාල සේනානායක මහතා පාර්ලිමේන්තුවේදී කීවේ ජේ.ආර්. ගාමිණීගේ ලණුවක් ගිල ඇති බවයි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කිසිලෙසකින්වත් වසර 6ක් 7ක් වැනි කෙටි කාලයක් ඇතුලත සමාප්ත කළ නොහැකි යැයි ඔහු දැඩි ලෙස ප්‍රකාශ කළේය. මෙයින් නොසැලුණු ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රාග්ධනය සොයන්නට උත්සුක වූහ. ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වූයේ ලෝක බැංකුවෙන් මේ සඳහා කිසියම් සහයෝගයක් ලබාගැනීමය. ලෝක බැංකුව විශාල ජනකායකට සෙත සැලසෙන රටේ විශාල භූමි ප්‍රදේශයක් අස්වැද්දෙන මෙම ව්‍යාපෘතියට කැමැති වුවත් තුන්වැනි ලෝකයේ රටක කිසි ලෙසකින්වත් මෙවන් ව්‍යාපෘතියක් වසර 6ක්, 7ක් ඇතුලත හමාර කළ නොහැකි යැයි තරයේ විශ්වාස කළෝය. මෙය කළ නොහැක්කකැයි දැඩි ලෙස විශ්වාස කළ ඔවුහූ මහවැලි සංවර්ධන ව්‍යාපාරයට ආධාර ලබා නොදීමට තීරණය කළෝය. වෙනත් ඇමැති කෙනෙකු නම් “ප්‍රතිපාදන නෑ”, “සල්ලි පාස් වුණේ නැහැ”, “මේක කරන්න බැහැ” කියා තම දෑත සෝදා ගෙන පැත්තකට වනු ඇත. එහෙත් ගාමිණී තවත් එක් ඇමැතිවරයකු නොවීය, ඔහු ලෝක බැංකු තීරණයෙන් නොසැලුණේය.

සාමාන්‍යයෙන් අමාත්‍යංශ ව්‍යාපෘතියක් සඳහා මුදල් සෙවීම අමාත්‍යාංශයේවත් ඇමැතිතුමාගේවත් වගකීම නොවන්නේය, සාමාන්‍යයෙන් එවන් ව්‍යාපෘති සඳහා මුදල් සැපැයීම භාණ්ඩාගාරයේ වගකීමයි. එම මුදල් කාර්යක්ෂමව විය පැහැදම් කර ව්‍යාපෘතිය සාර්ථකත්වයෙන් හමාර කිරීම ඇමැතිවරයා ඇතුළු අමාත්‍යාශයේ වගකීමයි. එහෙත් අද බොහෝ ඇමැතිවරුන් ව්‍යාපෘති සඳහා සල්ලි හොයන්නේ නැතුවා මෙන්ම භාණ්ඩාගාරයෙන් ලැබෙන ප්‍රතිපාදනද නැති නාස්ති කරයි. ගාමිණී දිසානායකයන් රටටම පූර්වාදර්ශයක් විය. ඔහුට භාණ්ඩාගාරයෙන් මහවැලිය සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස නොලැබෙන බව දැන ගත්විට ජේ.ආර්.ගේ අනුමැතිය සමඟ ලෝක ආර්ථික බලවතුන් හමුවට ගියෝය. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය ඈ රටවලට ගොස් මහවැලි ව්‍යාපෘතිය ගැන ද්වීපාක්ෂික සාකච්ඡා පැවැත්වූයේය. රට වෙනුවෙන් ලොවම දිනූ බවට පුරාජේරු නොගැසුවත් ඔහු ක්‍රියාවෙන් එය කළේය. ත්‍රිත්ව විද්‍යාලයෙන් ලත් පන්නරය සහ ඉංග්‍රීසී භාෂාවේ ව්‍යක්ථභාවය ඔහුට ද්වීපාර්ක්ශික සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා විශාල අස්වැසිල්ලක් වන්නට ඇත. (වරෙක බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණ මෙරට සංචාරය කළ විට ඇයගේ පරිවාරක ඇමැතිවරයා ලෙස ගාමිණී දිසානායකයන් පත් කරන්නේ මේ නිසාමය). ආධාර දෙන රටවල් මහවැලියට ආධාර දෙන්නට නිර්ලෝභීව නොපැකිල ඉදිරිපත් වන්නට විය. වරෙක වික්ටෝරියා ජලාශයට ආධාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතර ශීත  යුද්ධයක්ද හටගත්තේය. මේ සෑම සියළු සාකච්ඡාවන්ම සාර්ථකත්වයෙන් නිමා කරමින් ඒ ඒ රටවල හොඳහිත වර්ධනය කර ගනිමින් මහවැලියට අවශ්‍ය සහය ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමේ සුවිශේෂී රාජතාන්ත්‍රික භාවය ගාමිණී ඇතුළු ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම මැනැවින් පසක් කර සිටියේ ලොවටම ආදර්ශයක් සපයමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කොත්මලේ ජලාශයට සහ විදුලි බලාගාරයට ස්වීඩන් රජයත්, වික්ටෝරියා වේල්ල සහ විදුලි බලාගාරයට මහා බ්‍රිතාන්‍යයත්, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශ දෙකටත් විදුලිබලාගාර වලටත් ජර්මානු රජයත් ආධාර ලබාදුන්හ. මාදුරු ඔය ජලාශයට කැනඩාව ආධාර සැපයූවේය. අද ඇමැතිවරුන් මෙන් බැරිබැරියාවෙන් ඇඹරෙමින් දෝලාවෙන් කතා කියා ගමන පයින් නොගිය ගාමිණී දිසානායකයන් සිය කාර්යය ඉලක්කයන් නිරායාසයෙන්ම සපථ කරනු ලැබුවේ රට පමණක් නොව ලොවම විස්මයට පත් කරවමිනි. දේශදේශාන්තරවල ජනීජනයා ගාමිණීගේ හපන්කම් වල පවත අසා අපේ රටට ඊර්ෂ්‍යයා කරන්නට වූයේ “අනේ අපටත් මෙවැනි ඇමැති කෙනෙකු වීනම්” කියා සුසුම හළමිනි. වික්ටෝරියා වේල්ල නිම කිරීමේ උළෙලේදී ගාමිණී තෙපලූ වදන් මේ දස්කම විදහා පෑමට හොඳම ප්‍රකාශයයි.

“අපහසු යැයි කියූ දේ අප පහසුවෙන්ම නිම කළා. නොහැකි යැයි කියූ දේ ඉටු කරන්නයි අපේ වෑයම.”

ලංකාවේ මෑතකාලීන ඉතිහාසයේදී දියත් කෙරුණු සුවිශාලතම බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය වූ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා මහවැලි නදිය ආශ්‍රය කරගත් ප්‍රදේශ පමණක් නොව දිවයිනේ බොහෝ ග්‍රාමීය, දුෂ්කර ප්‍රදේශ සංවර්දනය කෙරිණි. දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල වැනි ප්‍රදේශ බිංදුවෙන්ම පටන්ගෙන නිමකරමින් මහවැලියෙන් නැගෙනහිර ජනාවාසකරණය සිදු කරන ලදි. අම්පාර, දිඹුලාගල, ගිරාඳුරුකෝට්ටේ, මනම්පිටිය වැනි ප්‍රදේශද මහවැලිය නිසා සුවිශාල පණක් ලැබීය. දිවයින පුරා දුප්පත් ගොවීන් තෝරා ගෙන ඔවුන්ට ස්වර්ණභූමි ඔප්පු හරහා මහවැලි ඉඩම් ප්‍රදානය කරමින් මහවැලි භූමීන් ජනපදකරණයට ලක් කළ ගාමිණී දිසානායකයන් ඒ ප්‍රදේශවල වාරි තක්ෂණයෙන් නතර නොවී මංමාවත්, පාසල්, රෝහල් යනාදියද තනා දුන්නේය. මහවැලි ජනපදිකයින්ගේ දියුණුව උදෙසා ඇති කෙරුණු මහවැලි කේන්ද්‍රය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොනිල ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍යය සංදර්ශන වේදිකාව බවට පත්ව තිබීම අතිශයින්ම සෝචණීයය. අද එසේ වුවත් එදා මහවැලි සංවර්ධන අධිකාරිය සහ මහවැලි කේන්ද්‍රය කේන්ද්‍ර කොටගෙන මහවැලි ජානපදිකයින්ගේ ජීවන තත්ත්වය නංවා ලනු වස් සුවිශේෂී ව්‍යාපෘති දියත් කෙරිණ. මහවැලි ක්‍රීඩ උළෙල, මහවැලි මහ ගොවියා තේරීම යනාදී උත්සව හරහා මහවැලි ජානපදිකයින් තුල තරඟකාරීත්වය සහ අධ්‍යාත්මය හදන්නට ගාමිණී වග බලා ගත්තේය. ගාමිණී මහවැලි ජානපදිකයින්ගේ දුක සැප කවදත් සොයා බැලීය, මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්නවලට කන් දුන්නේය, ජනතාවගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්නයක් කර ගත්තේය. අමාත්‍යාංශයේ සුළු සේවකයාගේ සිට සියල්ලන් හා ගාමිණී කුළුපඟ විය, මිනිසුන්ට ආදරය කළ ගාමිණී නිරායාසයෙන්ම මිනිසුන්ගේ ආදරයටද පාත්‍ර විණි. අදටත් මහවැලි ජානපදිකයින් රැසකගේ නිවෙසේ බුදු කුටියට පසෙකින් ගාමිණී දිසානයාකයන්ගේ ඡායාරූපයක් එල්ලා ජනතාව ඔහුට මල් පහන් දල්වන්නේ එබැවිනි. මින්නේරි ජලාශය ඉදිකරවා පෙර රජ දවස හෙළ වාරි කලාවට ආඩම්බරයක් ගෙන දෙමින් රජරට කෙත්වතු අස්වැද්දූ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් ලෙස පුද පූජාවට ලක්වූයේ යම්සේද 20වන සියවසේදී රජරට අස්වද්දා රට බත බුලතින් සරු කළ ගාමිණී දිසානායකයන්ද මහවැලි දෙවියන් ලෙස පුද පූජාවට ලක්වීම පුදුමයක් නොවනු ඇත.

දේශීය ආයෝජන රුපියල් මිලියන 2500කුත් විදේශ ආයෝජන රුපියල් මිලියන 2260කුත් යොදා ඉදිකෙරුණු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයෙන් අස්වැද්දූ අම්පාර සහ පොලොන්නරුව දෙදිස්ත්‍රික්කයන් අද වන විටත් ලංකාවේ වැඩිම වී ප්‍රමාණයක් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයන් දෙකය. මහවැලි ජලවිදුලි බලාගාර රටේ විදුලි ඉල්ලුමෙන් සුවිශාල පංගුවකට දායක වන අතර සෘජු සහ වක්‍ර රැකියා මිලියන ගණනක් ඇති කරන ලද මහවැලිය අදටත් රටේ අභිමානයක් ලෙස දිදුලන්නේ එදා මෙදා තුර රටේ දියත් කෙරුණු කිසිඳු සංවර්ධන යෝජනා ක්‍රමයකින් මහවැලියෙන් වූ සෙත ජනතාවට අත් නොවූ නිසාය. වගා නොකළ ඉඩම් අක්කර 650,000ක් සහ වගා කළ ඉඩම් අක්කර 250,000ක් සශ්‍රීක කළ මහවැලි ව්‍යාපාරයෙන් ආගරපතනින් ඇරඹ කි.මි.335ක් ගලා බැස ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනා මහවැලි ගං කොමළිය හෙළ ආර්ථිකයේත් කෘෂිකර්මයේත් කශේරුකාවක් බවට පත්කර ගත්තා යැයි කිවහොත් එය නිවැරදිය. 1990 දශකය වන විට මහවැලිය සඳහා වැය වූ සියළු මුදල් ව්‍යාපෘතියේ ප්‍රතිලාභයන්ගෙන් හිලව් කර තිබූ අතර ණය ගෙවීම්ද සම්පූර්ණ කර තිබුණේ රටට බරක් නොවූ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය විද්‍යාමාන කරමිනි.

අයුක්තියට විරුද්ධව

ගාමිණී කවදත් තම හෘදසාක්ෂියට අවනතව දේශපාලනය කළේය. 1970 පටන් තම්න්වා තෝරා පත් කරගත් නුවර-එළියේ ජනතාවට අධික වගකීම් හමුවේ වුවත්  කැපවීමෙන් සේවය කළ ගාමිණී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අසාධාරණකම්වලට විරුද්ධ වූයේ අද ඇමැති පදවි හොබවන එහෙයියන්ට කදිම ආදර්ශයක් වෙමිනි. උදාහරණයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 1982 ජනමතවිචාරණය වැනි තීරණාත්මක මංසන්ධි වලදී කැබිනට් අමාත්‍යවරයකු සහ ආණ්ඩුවේ පතාකයකු ලෙස සිය අවංක අදහස් උදහස් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපැවැත්ම සහ සංවර්ධනය වෙනුවෙන් ප්‍රකාශ කළ බව ප්‍රකට කරුණකි. දේශපාලනික හේතූන් මත විපක්ෂය මෙල්ල කරන විපක්ෂ දේශපාලනඥයන් හිරේ යවන වත්මන් ආණ්ඩුවේ එම ක්‍රියා වීරත්වයෙන් මාධ්‍යය හමුවේ තබන ඒවාට සුදු හුණු ගාණ වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන්ට ගාමිණී කදිම පූර්වාදර්ශයකි.

මතවාදීව මුළු හදවතින්ම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ගාමිණී දිසානායක කිසි විටෙකත් ප්‍රතිපාක්ෂිකයන්ට හිරිහැර කරන්නට උත්සුක වූයේ නැත. වෙනත් මතවාදීන්ට ඔවුන්ගේ දේශපාලනය රිසි සේ කරන්නට ඉඩ දිය යුතුය යන්න ඔහුගේ දෘඪ විශ්වාසය විය. එලෙසින්ම ගාමිණී තුල කිසි විටෙකත් පක්ෂ භේදයක් තිබුණේද නැත. මෙයා යූඇන්පී, මෙයා ශ්‍රී ලංකා කියා වර්ණ කණ්ණාඩියෙන් මිනිසුන් දෙස බලනවා වෙනුවට මිනිසත්කමින් මිනිසුන් දෙස බැලීමටත් සේවය කිරීමටත් ගාමිණී කැප වූයේ අදටත් ප්‍රබල ලෙස ශේෂව පවතින ද්වේශ සහගත පක්ෂ දේශපාලනයට අභියෝග කරමිනි.

දිසානායක කැදැල්ල

දිසානායක කැදැල්ල - වරුණි, ගාමිණී, ශ්‍රීමා, නවීන් සහ මයන්ත

ඕනෑම සාර්ථක මිනිසකු පිටුපස ශ්‍රේෂ්ඨ කාන්තාවක් සිටින බව ප්‍රකට කියමනකි. ගාමිණීට සෙවණැල්ලක් වූ, මහත් ආශිර්වාදයක් වූ ඇය ශ්‍රීමා දිසානායකයි. ගාමිණීට ශ්‍රීමා මුණ ගැසෙන්නේ දෙදෙනාම නීතිය හදාරන යුගයේදීය. 1968 මාර්තුවේදී ගාමිණී සහ ශ්‍රීමා දෙපල අතිනත ගන්නා අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා නවීන් දිසානායකයි, ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතර සිය පියා තම දේශපාලන මහගෙදර ලෙස සැලකූ පක්ෂයත් පාක්ෂිකයාත් මහජන නියෝජිතයකු ලෙස හැර දමා ශ්‍රීලනිපයට එකතු වී ඇත, දෙවැන්නිය දියණියකි ඇය නමින් වරුණි දිසානායක වන්නීය, තුන්වැන්නා, එනම් කනිටු පුතු මයන්ත මේ ලිපිය ලියන විට තම පියා අවසන් වරට නියෝජනය කළ මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකි. ගාමිණීගේ දේශපාලන ගමන්මග පුරාවට සෙවණැල්ල මෙන් දුකේදීත් සැපේදීත් ලඟ සිටිමින් දිරිය දුන් ශ්‍රීම දිසානායක මැතිණියට මෙහිලා සුවිශේෂී උපහාරයක් කලගුණ දන්නා අප විසින් පිරිනැමිය යුතුය යන්න මගේ අවංක හැඟීමයි.

ගාමිණී සහ ශ්‍රීමා අතිනත ගත්දා

හොරකම, මැරකම දේශපාලනයේ රජයන යුගයක ඉන් නිමග්නව දේශපාලනය කළ සහ කරන දිසානායක පවුල රටටම ආදර්ශයකි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉටු දෙවියා

ලංකාව ලෝ සුපතලව ඇති එක් ක්ෂේත්‍රයක් ලෙස අපේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දිය හැකිය. ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන සියළු ක්‍රිකට් ශෛලියන්ගෙන් විස්මිත දස්කම් පානා ශ්‍රී ලංකාවට එම තත්ත්වය ළඟා කර දීමට සුවිශාලම සේවාවක් කළ තැනැත්තා ගාමිණී දිසානායකයන් යැයි කීම නිවැරදිය. ත්‍රිත්ව විද්‍යාල සමයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සුරුවිරුකම් පෑ ගාමිණී තුල මහත්වරුන්ගේ ක්‍රීඩාව කෙරේ තුබූ නොතිත් ආශාව ඔහුගේ වියෝව වන තුරුම අචලව තිබුණි. හෙළ ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂීම ජයග්‍රහණය වූ 1996 ලෝක කුසලාන ජය සියැසින් දැක බලා ගැනීමට පෙර හෙතෙම අප අතරින් සමුගැනීම සැබැවින්ම මහත් වූ ඛේදයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධුරයට තේරී පත්වූ ගාමිණීගේ ඒකායන අරමුණ වූයේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිනාදී අපේ මව්බිම ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ පතාකයකු බවට පත් කිරීමය. 1981 ඕස්ට්‍රේලියාවට ගිය මොහොතක ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාව පෞද්ගලිකව මුණ ගැසුණු ගාමිණී ලංකාවේ ක්‍රිකට් හදන්නට ඔහුගේ සහය දිනාගත්තේ තීරණාත්මක ලෙසය. විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ පුහුණු කඳවුරු පැවැත්වූ මෙම අත්දැකීම් බහුල හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලංකාවේ ජාතික ක්‍රිකට් පිලේ සංවර්ධනයට මහත් ආශිර්වාදයක් විය.

සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතා විසින් රචිත “ගාමිණී දිසානායක ක්‍රිකට් වංශ කතාව” නම් වූ නිබන්ධනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල්යේ සභාපති ලෙස 1981-1989 දක්වා එතුමා ගත කළ කාලය ලක් ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස ඔහු හඳුන්වා දෙයි. වැඩිශුරටත් අදහස් දක්වන ඈපාසිංහ මහතා තම ලිපියේ මෙසේද සඳහන් කරයි.

“ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා දීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට එතුමාගෙන් සිදු වුණු උපරිම සේවාවයි. ඔහුගේ විචක්ෂණ බුද්ධි මහිමය, පෞරුෂය, ව්‍යක්තභාවය, ක්‍රියාශූරත්වය හා දූරදර්ශී ප්‍රඥාව නිසා ශ්‍රී ලංකාවට එම වාසනාව උදා විය.

ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේදී එතුමා කළ දේශනයට නියෝජිතයෝ වශී වූහ. එම සාරගර්භ දේශනයට ඇහුම්කන් දුන් නියෝජිතයින් හට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කර තබන්නට කිසි සේත් නොහැකි විය. මුහුදේ රළ මෙන් අලුත්වෙමින් නැඟුණු එකී ක්‍රිකට් හඬ හා උද්දාමය ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ රැව් පිළිරැව් දෙමින් අහස් කුසට විහිදුණේ සියලුම නියෝජිතයන් තම වසඟයට පත් කරමිනි. වහාම නැගී සිටි පාකිස්ථානයේ නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ටෙස්ට් වරම් ලබා දිය යුතු යැයි යෝජනා ස්ථිර කළහ. මෙම අමිල සේවය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින තාක් කල් ගාමිණී දිසානායක නාමය ඒ සමඟම සුසංයෝජනයෙන් පවතිනු ඇත.”

1996 ලෝක කුසලාන කිරුළ දිනූ මොහොත

ඩී.ඇස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ශ්‍රීමත් ජෝන් කොතලාවල, පී. සරවනමුත්තු, ටිරෝන් ප්‍රනාන්දු, රොබට් සේනානායක, තිලංග සුමතිපාල, ආනා පුංචිහේවා වනි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සභාපතීත්වයට පත්වූ සුප්‍රකට චරිත අතරින් ගාමිණී දිසානායකයන්ගේ යුගය ස්වර්ණමය යුගය යැයි කීම කෙතරම් ගෞරවයක්ද. ගාමිණී ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයේ කළේ පක්ෂ භේදයකින් නොවේ. අර්ජුන රණතුංග ගාමිණීගේ ප්‍රතිපක්ෂයේ ප්‍රතිවාදී දේශපාලනඥයකුගේ පුතකු වුවද ගාමිණී කවදාවත් අර්ජුනට කැපුවේ නැත. අර්ජුනගේ දස්කම් විස්කම් ඔහු මැනැවින් වටහාගෙන අර්ජුනට ජයග්‍රහණය සඳහා පාර කැපුවේය. ඉහත කී ඈපාසිංහ මහතාගේ ලිපියේ මෙසේද සඳහන් වේ.

“1980 ගණන්වල මැද භාගයේදී ගාමිණී දිසානායක මැතිතුමාත් මමත් ලෝඩ්ස් පිටියේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත තරඟයක් නැරඹුවෙමු, එදින එතුමා මා සමඟ කී අනාවැකියක් අකුරටම සැබෑ විය. “ප්‍රේමසර ඔබට මං අද කිව්වා කියලා මතක තියා ගන්න. කවදා හරි ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන එන්නේ අර්ජුනයි කියලා””

1994දී රුදුරු ත්‍රස්ත ප්‍රහාරයකින් දැයෙන් සමුගන්නා විටදී ගාමිණී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දෙවනි වරටත් තේරී පත්ව හුන්නේය. මේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඔහු ගැන තබූ සටහනක බිඳකි.

“මගේ නායකත්වය යටතේ 1996 වසරේ ලෝක කුසලානය දිනා ගන්නා විට එතුමා අප අතරින් සමුගෙනය. එය පෞද්ගලිකව මා හටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩවටත් වදුණු පහරකි. කෙසේ වුවද එදා අප කණ්ඩායම දිනාගත් ලෝක කුසලානය රැගෙන ගාමිණී දිසානායක මැතිනිය හමුවීමට මා ගියේ ලෝක කුසලානය දිනා ගැනීමේ මාර්ගය අපට සාදා දුන් එම අමරණීය පුද්ගලයාට මාගේ කෘතවේදී උපහාරය පිදීමටය. ජීවත්ව සිටියේ නම් කොතරම් සතුටක් හා වින්දනයක් එතුමා ලබා ගන්නවාද? මෙම වීරෝදාර ජන නායකයා අපට අහිමි විය”

නමුත් ගාමිණී දිසානායකයන් පිළිබඳ විශාල අරුතක් අර්ජුනගේ පහත වචන දෙකේ ගැබව ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

“ගාමිණී දිසානායකයන් අපට ආඩම්බර විය හැකි බුද්ධිමතෙකි. ඒ හැමටත් වඩා අනාගතය දුටු මහා ප්‍රාඥයෙකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එතුමා තරම් සේවයක් ඉටු කළ පුද්ගලයෙක් නොමැත.”

ඉන්දු-ලංකා ගිවිසුම

ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් එක්ව සාමය දිනාගත්තද සිංහල හා දෙමළ ජාතීන් අතර සාමකාමී සංහිඳියාව කෙමෙන් කෙමෙන් බිඳ වැටෙන්නට විය. නිදහසත් සමඟ 50-50ක අසාධාරණ නියෝජනයක් ඉල්ලමින් ජී.ජී. පොන්නම්බලම් දෙමළ ජාතිකවාදී සටනට උර දුන්නේය. සාධාරණ යැයි සැලකිය හැකි ඉල්ලීම් ඉල්ලු බහුතර දෙමළ ප්‍රජාවගේ උවමනා එපාකම් පසෙකලා සිංහල ජනතාවගේ ඡන්ද ගොන්න බලාගෙන ජනප්‍රියවාදී තීන්දු තීරණ රට කළ ආණ්ඩු ගැනීම නිසා නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරොවෙන් නොව විදුලි කියතකින් කැපිය යුතු තැනකට ඇදී ආයේය. ජනවාර්ගික විවිධත්වයකින් හෙබි ප්‍රදේශයක් නියෝජනය කළ ගාමිණී තුල රටේ සියළු ජනවර්ග අතර අවිශ්වාසය දුරලා එකමුතුව නැගී සිටින්නට දර්ශනයක් වැඩපිළිවෙළක් තිබුණේය.

රජීව් ගාන්ධි සමඟ

1983 කලබලයත් සමඟ දැඩි ලෙස කම්පාවට පත්වූ ගාමිණී ගැටුමට විකල්පයක් සෙවීය. 1987දී දියත් වූ වඩමාරච්චි විමුක්ති මෙහෙයුමත් සමඟ එල්ටීටීඊ සංවිධානය විදුලි වේගයෙන් පසු බාන්නට වූ නමුත් ඉන්දියාව මෙහෙයුමට අත පොවන්නට විණි. යාපන අර්ධද්වීපයට ඉන්දියාවෙන් එවූ නැව් හරවා යැවුණද බැංගලෝරයෙන් මිරාජ් ප්‍රහාරක යානා හතරක් වට කරගෙන ගුවන්ගත කෙරුණු ඇන්ටනොෆ් යානා ද්වයය වියළි ආහාර ලංකාවේ භූමි ප්‍රදේශයට හෙළීම වැළැක්වීමට හැකියාව නොලැබිණි. ඉන්දියාවේ සුප්‍රකට ජනමාධ්‍යවේදියකු වන එම්.ආර්. නාරායන් ස්වාමි මහතා විසින් රචිත “ලංකා කොටි” ග්‍රන්ථයේ ලියැවී ඇති පරිදි යම් හෙයකින් ඉන්දීය ගුවන්යානා වලට ලක් ආරක්ෂක අංශ පහර දුනි නම් ලංකාව ආක්‍රමණය කරන්නට ඉන්දීය රජය තම හමුදා සීරුවෙන් තබා සිට ඇත. මේ තත්ත්වය උඩ රජයට ඉන්දීය ගැටළුව නිරාකරණය කර ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කරනු වෙනුවට අන් විකල්පයක් නොවීය. ආණ්ඩුව වෙනුවෙන් මෙම සාකච්ඡා වලට දායක වූ ප්‍රධානතම ඇමැතිවරයා වූයේ ගාමිණී දිසානායකයන්ය. ජනතාව අතර ජනප්‍රිය නොවූවද රට වෙනුවෙන් හරි දේ කරන්නට ගාමිණී තීන්දු ගත්තේ නිවැරදි නායකත්ව ගුණ පෙන්වමිනි. සැබෑ නායකයා ජනප්‍රිය දේ නොව හරි දේ කළ යුතු බව කියමනක් ඇමෙරිකානු දේශපාලනඥයකු වන හවර්ඩ් ඩීන් මහතා කියා ඇත. ගාමිණී කළේද එයමය. ශ්‍රීලනිපය, ජවිපෙ ඉන්දියානු විරෝධයක් රට තුල අවුලද්දී එජාපයේ පතාකයින් පවා ඊට අනුගත වෙද්දී ගාමිණී දිසානායකයන් තම රාජතාන්ත්‍රිකත්වය උපයෝගී කරගෙන කොටියාත් ඉන්දියාවත් විරසක කරවීමටත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමටත් ඉන්දු-ලංකා ගිවිසුමට සහය ලබාදුණි. ජේ.ආර්. සහ රජීව් ගාන්ධි අත්සන් කළ ගිවිසුමට ප්‍රභාකරන් විරෝධතාව ගොනු කළ අතර ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට අවුත් කොටින් හා සටන් කළහ. අවසන ප්‍රේමදාස ඉන්දීය සාම සාධක හමුදාව පිටමං කරන විට ඉන්දීය සෙබලුන් 1000ක් පමණ ලක්දෙරණ තුල කොටින් සමඟ සටනින් මරු දැක තිබුණි. අවසන ඉන්දු ලංකා ගිවිසුම ඌරගේ මාළු ඌරාගේ පිට මත තබා කැපීමක්ය යන අදහස මගේ සිතට නැගෙන්නේ ලක් හමුදාව විමුක්ති මෙහෙයුමින් කොටින් විනාශ කිරීම වැළකූ ඉන්දියාවටම කොටින් හා යුද්ධ කිරීමට සිදු වීමත් සමඟය. අවසන ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ජීවිතය පවා කොටින් විසින් බිලි ගනු ලැබුවේ ඉන්දු-ලංකා ගිවිසුම කරණ කොට ගෙනය යන්න බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණකි. එවක ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙන්ම ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රධාන භූමිකාවක් රඟපෑ ජේ.එන්. ඩික්සිත් මහතා තම “කොළඹ භූමිකාව” නම් පොතේ සඳහන් කරනුයේ ගාමිණී දිසානායකයන් කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද්දේද ඔහු කොටින්ට පාරාවලල්ලක් වූ ඉන්දු-ලංකා ගිවිසුම ගෙන ඒමෙහිලා සිදු කළ කාර්යභාරය බවයි. එලෙසම එදා ගාමිණී දිසානායකයන්ගේ මැදිහත්වීමෙන් අත්සන් තැබූ 13වන සංශෝධනයට එහා ගිය දේශපාලන විසඳුමක් ජනවාර්ගික ගැටළුවට ලබාදිය යුතු බව අද බොහෝ දෙනාගේ මතයයි. එදා එකී සංශෝධනයට විරුද්ධව කෑ මොර දුන් වත්මන් ජනාධිපති සහ ශ්‍රීලනිපය පවා අද 13වන සංශෝධනය එවන් විසඳුමකට හොඳ පදනමකැයි පිළිගැනීමෙන්ම එද ඔහු දැරූ ස්ථාවරය සාධාරණීකරණය වේ.

උඩරටින් අගමැති?

1988 ජනාධිපතිවරණය එළඹීමත් සමඟ එහි තරඟකාරීත්වය පිළිබඳ විවිධ ප්‍රශ්න මතු වීය. අවසානයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එවක අග්‍රාමාත්‍යවරයාව සිටි ආර්.ප්‍රේමදාස මහතා තෝරාගැනිණි. ප්‍රේමදාසයන්ගේ නම යෝජනා කළේ ගාමිණී දිසානායක ඇමැතිතුමාය, ස්ථීර කළේ ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාය. 77-88 ආණ්ඩුවේ පමණක් නොව ලක් ඉතිහාසයේම රටට අසමසම සේවාවක් කළ ජාතියේ පිනට උපන් අමාත්‍යවරුන් දෙපල වූ ගාමිණී සහ ලලිත් දෙපලම අගමැති වීමේ සිහිනයෙන් පසු විය. ලංකා ඉතිහාසයේ කවර රාජ්‍ය නායකයකු හෝ පක්ෂ නායකයකු සිතු නොකළ ආකාරයෙන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය තුල වසර ගණනක් පක්ෂයටත් රටටත් නායකත්වය දීමට දෙවන පෙළක් බිහි කළේ තම තුන් කල් දක්නා නුවන උපයෝගී කර ගනිමිනි. ජේ.ආර්. ගාමිණී සහ ලලිත් කෙරේ මහත් බලාපොරොත්තු තබා සිටි අතර ඒ දෙපලම ඇමැතිවරුන් ලෙස ඒ බලාපොරොත්තු උපරිමයෙන්ම ඉටුකළහ. දැන් ඔවුන්ට අගමැති වන්නට අවස්ථාව උදා වී තිබුණි. පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨත්වයෙන් ගාමිණී ලලිත්ට වඩා තරමක් ඉදිරියෙන් සිටියද වයසින් සහ උගත්කමින් ලලිත් ගාමිණීට වඩා තරමක් ඉස්සරහින් සිටියේය. දෙදෙනාටම අගමැතිකම ඉල්ලීමට සාධාරණ හේතූන් තිබුණි. එහෙත් අගමැති වන්නට නම් යූඇන්පී ජනාධිපතිවරයකු පත්විය යුතුය. 1988 ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රේමදාස මහත්තයාට ප්‍රබල අභියෝගයක් වූ අතර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂක ඔසී අබේගුණසේකරයන්ද ශක්තිමත් මෙන්ම තීරණාත්මක තුන්වැනි අපේක්ෂකයකු විය. ලලිත් සහ ගාමිණී ආර්. ප්‍රේමදාස දිනවීමට ගතත් සිතත් වෙහෙසා ගමින් ගමට ගොස් වැඩ කළේ ජේවීපී කලබල මධ්‍යයේය. ඉතා අඩු ඡන්දදායකයින් පිරිසක් මේ නිසාම ඡන්දය ප්‍රකාෂ කළ අතර ආර්. ප්‍රේමදාස අගමැතිතුමා 50.43%ක ජනවරමක් ලබමින් ජනාධිපතිධූරයට තේරී පත් වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සතුටට හේතු වෙමිනි.

ඒ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ අතර ජවිපෙ ත්‍රස්තවාදය නිසා 1989 මහ ඡන්දය මොන පක්ෂයේත් අපේක්ෂකයින්ට අභියෝගයක් විය. එවක පැවැති එජාප රැල්ල සමඟ 2/3ක සිහිනයක් සහිතව ඇතැම් යූඇන්පීකාරයින් ඡන්ද සටනට එකතුපහදු විය. ලලිත්ගේත්, ගාමිණීගේත් සිහිනය වූයේ අගමැතිකමයි. සමානුපාතික ඡන්ද ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැති පළමු මහමැතිවරණයට ගාමිණී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එජාප කණ්ඩායම මෙහෙය වූයේය. එහිදී ගාමිණී නුවරඑළියෙන් මනාප ඡන්ද 73,790ක් ලබමින් 67.17%ක මනාප ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මනාප ප්‍රතිශතය අනුව දිවයිනේම පළමුවැන්නා වෙද්දී කොළඹින් 62.86%ක මනාප ප්‍රතිශතයක් ලද ලලිත් මනාප ඡන්ද 235,447ක් ලබමින් ලංකාවේ වැඩිම මනාප ලාභියා බවට පත්වුණි. එහෙත් ඒ වනවිටත් වයඹ පළාතේ ආණ්ඩුකාරවරයාව සිටි ඩී.බී. විජේතුංග අගමැති කිරීමට ප්‍රේමදාස ලකලැහැස්ති වී තිබුණි. මේ කිසිත් නොදත් ගාමිණී, ලලිත් සහ ඔවුන්ගේ ආධාරකරුවන් දෑස් දල්වා සිටියේ තමන්ට ප්‍රදේශයට අගමැතිකම ලැබෙයි කියාය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන එජාපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයකින් අගමැතිවරයාව තෝරා ගත යුතුව තිබුණද ජනාධිපති ප්‍රේමදාස අත්තනෝමතික ලෙස තමන්ට අභියෝගයක් වන, තමන්ට වඩා තුරුණු, උගතකු බුද්ධිමතකු අගමැති වනවාට බයේ තම හෙංචයියන්ගේ කූට උපදෙස් පරිදි ඩී.බී.ට අගමැතිකම ලබාදුණි. උඩරට ගාමිණී අපේක්ෂා කළ අගමැතිකම එලෙස උඩරැටියකු වූ ඩී.බී. විජේතුංගට හිමි විය. මින් ගාමිණී සහ ලලිත් කලකිරීමට පත්වුවද ඔවුන් පක්ෂයත් රටත් වෙනුවෙන් දිගින් දිටම ක්‍රියාත්මක වූයේ තමන්ට වූ අසාධාරණය මොහොතකට හෝ අමතක කරලමිනි. අවසන ගාමිණී 1977 අපේක්ෂා කළ වැවිලි කර්මාන්ත ඇමැතිධූරය ඔහුට පිරිනැමිණි, නමුත් ඒ වන විට ජාතික මට්ටමේ සේවාවක් කර තිබූ ගාමිණී ඊට එහා ගිය වගකීමක් බලාපොරොත්තු වීම සාධාරණය.

වැවිලි කර්මාන්තයට අරුණෝදය

වැවිලි කර්මාන්ත ඇමැතිධූරයට තේරී පත්වූ ගාමිණී වැවිලි ක්ෂේත්‍රයේ අභියෝගයන් මැනැවින් තෝරා ගත්තේය. එකී අභියෝගයන්ට විසඳුම්ද සෙවූ ගාමිණී කෙටි කලෙකින් වැවිලි ක්ෂේත්‍රය නංවාලීමට වැඩපිළිවෙළක් දියත් කළේය. එහි එක් අදහසක් වූයේ “සිංහල ගෙවත්ත” යන සංකල්පයයි. ඉන් අදහස් වනුයේ කවුරු කවුරුත් තම තමන් සතු කුඩා භූමි භාගයන් තුල එළවළු, පළතුරු, ගම්මිරිස් යනදී භවභෝග වගා කිරීමයි. එතෙක් තේ, පොල් සහ රබර් කේන්ද්‍රීයව පැවැති වැවිලි ආර්ථිකයට මෙය නැවුම් මුහුණුවරක් විය. ඒ අනුව කොකෝවා, බතල, එළවළු, පළතුරු යනාදිය වගා කිරීමට දිරි දුන් අතර ගාමිණී දිසානායකයන් විසින් වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ජාතික වැවිලි කළමණාකරණ ආයතනය සහ වැවිලි පර්යේෂණ ආයතනය පිහිටවනු ලැබීය. ඒ වන විට අක්‍රීයව පැවැති තේ කර්මාන්තශාලා බේකරි බවට නවීකරණය කළ අතර පාඩු ලබන තේ කර්මාන්තශාල එලෙස වෙනත් ලාභදායි කටයුත්තකට යොදවා පර්ෂද තේ කර්මාන්තශාලා ක්‍රමයක් එතුමා විසින් ස්ථාපනය කරන ලදි. ජනසතුකරණය තුලින් තරඟකාරීත්වයෙන් පසුබැස තිබූ තේ කර්මාන්තයට නව ජීවනාලියක් දීම අසීරු කාර්යභාරයක් බවට පත්වුවද අසීරු දේ සාර්ථකව නිමවා පුරුදු ගාමිණී නොබියව තම කාර්යාවලිය ඉදිරියට ගෙන ගියේය.

නුවරඑළියේ එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද මුල සිටම ගාමිණීට ද්‍රවිඩ වතු කම්කරු ජනතාව සමඟ එකතුවී වැඩ කරනන්ට පන්නරය ලැබුණි. “ලයිම්” සංස්කෘතියට විරුද්ධ වූ ගාමිණී වතු කම්කරුවන් උදෙසා නිවාස ඉදිකරදී ඔවුන්ගේ ජීවන තත්ත්වය අධ්‍යාපනය, සෞඛ්‍යය යනාදිය තුලින් උසස් කර යුතුය යන මතයේ පසු විය. ගාමිණීගේ අදහස වූයේ

“අප තේ පඳුරු වෙනුවෙන් ජීවත් වෙනවා වෙනුවට තේ පඳුරු අප වෙනුවෙන් ජීවත් විය යුතුය”

යන්නයි.

එහෙත් හදීසියේම 1990 කැබිනට් සංශෝධනයෙන් ගාමිණී දිසානායක කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හරින ලදි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ද එතුමාව ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් නෙරපා හැරීමට ආසන්නතම හේතුව ඇතැම් විට ජවිපෙ කැරැල්ල මර්දනය කළ ආකාරය ගැන ඔහු තුල තිබූ විරෝධය විය හැකිය, එසේත් නැත්නම් ඔහු නායකත්වයට අභියෝගයක් වන්නේ යැයි ජනාධිපතිතුමා තුල තිබූ හුඹස් භීතිය විය හැකිය, එය නිවැරදිව දන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු ස්වල්ප පිරිසක් පමණෙකි. මේ සිද්ධි දාමයෙන් ගාමිණී මහත් කණස්සල්ලට පත් වූ අතර ඔහු ආණ්ඩු පක්ෂයේ පසු පෙල මන්ත්‍රීවරයකු බවට පතිවූයේ පක්ෂ විපක්ෂ කාගේත් කණගාටුවට හේතු වෙමිනි. මේ සියල්ල එසේ සිදු වුවත් ගාමිණී විපක්ෂයට නොගියේය. වරෙක ඔහු ලංකාදීපය හා සංවාදයකදී මෙසේ කිවේ ඔහුගේ සැබෑ එජාප මතවාදය අචලය යන්න පසක් කරලමිනි.

ප්‍ර : ඔබ කැබිනෙට්ටුවෙන් නෙරපා තිබියදීත්, වත්මන් එජාප කෘත්‍යාධීකාරී කමිටුවෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉවත දමා තිබියදීත් තවදුරටත් එජාප පාක්ෂිකයකු ලෙස රැඳී සිටින්නේ ඇයි?
පි : එජාපය කෙරෙහි මගේ පවතින ආකල්පය තවත් අයගේ ක්‍රියාවන් මත රැඳී පවතින්නක් නොවේ. එය කිසිවිටකත් මට කරන ලද්දක් මත රැඳෙන්නක් නොවේ. ඒ සියල්ල් සහමුලින්ම මාගේ ඇතුලාන්තයේ බැඳීම් සහ මා නියෝජනය කරන ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් මත රැඳී පවතින්නක්.

කේම්බ්‍රිජ් දර්ශනශූරීයා

ආණ්ඩුවෙන් පැති ගැන්වීම ගැන කලකිරුණද ගාමිණී කෑ මොර දෙන්නට ගියේ නැත, ශාප කළේ නැත, බීමතකු වූවේද නැත ඔහු මෙම සිද්ධිය අවස්ථාවක් කර ගත්තේය. ඉගැනුමට වූ ආශාව සංසිඳුවා ගන්නට මේ විරාමය හේ මගක් කර ගත්තේය. ඒ අනුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දර්ශනශූරී (MPhil) උපාධියක් වෙනුවෙන් තම අවධානය යොමු කරන්නට විය. කේම්බ්‍රිජ් පුස්තකාලයේ පොත්වලත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ ඇසුරේත් ශිල්ප උගත් ගාමිණී තම ජීවන අත්දැකීම් එකතුපහදු කරගෙන දකුණු ආසියාවේ දේශපාලනය සහ විදේශ ප්‍රතිපත්ති පාදක කොටගෙන සිය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරන ලදි.

දෝෂාභියෝගය

ජනාධිපති ප්‍රේමදාසගේ අත්තනෝමතික, ඒකාධිපති, වියරු පාලනය වැඩි වර්ධනය වීමත් සමඟ පක්ෂය තුලින්ම ඔහුට එදිරිව අභියෝගයක් එල්ල වන්නට පටන් ගත්තේය. ඉතා සූක්ෂම ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 37ක් එකතු කරගනිමින් ගාමිණී දිසානායකගේත්, ලලිත් ඇතුලත්මුදලිගේත්, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රගේත් නායකත්වයෙන් දෝෂාභියෝගය සම්පාදනය කරන ලදි. විපක්ෂ පක්ෂවලත් කතානායක එම්.එච්. මොහොමඩ්ගේත් සහය ඇතුව යෝජනාව සම්මත කරගැනීම ගාමිණීගේත්, ලලිත්ගේත් අරමුණ විය. එහෙත් බලය ඇති පදම් තිබූ ප්‍රේමදාස ජනාධිපතිතුමා දෝෂාභියෝගයට පක්ෂ මන්ත්‍රීවරුන් සූක්ෂම ලෙස නිහඬ කරමින් කතානායකතුමාවද තම පැත්තට ගනිමින් දෝෂාභියෝග උගුලෙන් ගැලවිණි. ඉන් නොනැවති ප්‍රේමදාස ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජී.ඇම්.ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා යන අට දෙනා මන්ත්‍රීධුරයෙන් මෙන්ම පක්ෂයෙන්ද නෙරපා හරිනු ලැබිණි. මේ නෙරපුම වැළැක්වීමට ගෙන ගිය නීතිමය පියවරයන්ද ව්‍යර්ථව ගියේය.

රාජාලියා සහ මධ්‍යම පළාත් සභාව

ලලිත් සහ ගාමිණී මාධ්‍යය හමුවකදී, ලක්ෂ්මන් සෙනෙවිරත්න පසෙකින් දැකගත හැකිය

තම දේශපාලන මහගෙදර වූ එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරුන්ට විකල්ප් තුනක් විය. එකක් දේශපාලනයෙන් සමුගෙන වෙන දෙයක් බලා සිටීමය, දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෑමය, තුන්වැන්න අලුත් පක්ෂයක් තැනීමය. ජනතා සේවය අගය කළ ප්‍රේමදාසගේ වියරු පාලනය පිළිකෙව් කළ මොවුහූ දේශපාලනයට සමුදීමට කැමැති නොවීය, අනෙක් අතට තම අදහස් උදහස් වලට හාත්පසින්ම වෙනස් ශ්‍රීලනිපයට යන්නටද ඔවුන් හීනෙන්වත් නොසිතූහ. එකම විකල්පය වූයේ එජාප ප්‍රතිපත්ති පෙරදැරි කරගෙන අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමය. එම පක්ෂය “ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ” නම් විය, එහි ඡන්ද සලකුණ රාජාලියා වූ අතර කොළ සහ කහ එහි වර්ණයන් විය. කොළ පැහැයෙන් යූඇන්පී මතවාදයත් කහ පැහැයෙන් නිදහස් මතධාරීනුත් නියෝජනය විය. පක්ෂයේ නායකත්වය මුලදී හිස්ව පැවැතියද 1993 පළාත් සභා මැතිවරණයට මත්තෙන් පක්ෂ නායකයා ලෙස ලලිත් ඇතුලත්මුදලිත්, නියෝජ්‍ය නායකයා ලෙස ගාමිණී දිසානායකත්, මහලේකම් ලෙස ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රත් පත් කෙරිණ. පක්ෂ නායකත්වය වසර දෙකෙන් දෙකට මාරු වීමේ ක්‍රමයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුලත් කැර තිබුණි.

කෙටි කලෙකින් රාජාලියා වටා විශාල පිරිසක් ඒකරාශී වන්නට විය. ප්‍රේමදාස කෙරේ නොපැහැදුණු යූඇන්පීකාරයන්, උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් මෙන්ම තරුණයින්ද මේ අතර ප්‍රමුඛත්වයක් ගත්තේය. 1993 පළාත් සභා මැතිවරණයේදී ගාමිණී මහනුවරින් මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. ගාමිණීගේ ප්‍රියාදර බිරිඳ වන ශ්‍රීමා දිසානායක නුවරඑළියෙන් තරඟ කළාය. මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී අවාසනාවන්ත ඝාතන දෙකක් සිදුවීම කම්පාවට කරුණක් විය. අප්‍රේල් 23දා කිරුළපනදී ලලිත් ඇතුලත්මුදලි ඝාතනය කරන ලද අතර මැයි පළමුවැනිදා ආමර් වීදියේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කෙරිණි. මේ ඝාතන දෙක ලාංකේය දේශපාලනයේ ඉදිරි දශක ගණනාවකට බලපෑ බව කවුරුත් පිළිගනු ඇත. මේ සියළු තත්ත්වයන් හමුවේ 1993 මැයි මස පැවැති පළාත් සභා මැතිවරණයෙන් දිවයින පුර රාජාලියා විසින් 16%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මහත් විපර්යාසයක් සිදු කරනු ලැබීය.

විපක්ෂනායක

1994 ලං වීමත් සමඟ ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ මෙහෙයවීම යටතේ ගාමිණී ඇතුළු රාජාලියා පිලේ පිරිස යූඇන්පියට ගැනීමට කටයුතු දියත් කෙරිණි. දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව ගාමිණී දිසානායක ඇතුළු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රට භාර දී තම දේශපාලන මහගෙදරට යළි සේන්දු වන්නට තීරණය කළහ. එම්.එච්. අමීන් මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වෙමින් ගාමිණී දිසානායකයන්ට යළි පාර්ලිමේන්තු වරම් විවර කළ අතර 1994 මැයි 19දා ගාමිණී නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. ගාමිණී එහිදී මෙසේ ප්‍රකාශ කර සිටියේය

“අපි එදා සටන් කළේ එජාපය තුල වූ ආඥාදායකත්වයට එරෙහිවයි. එදා සිට අපට ඒ සඳහා විකල්ප පක්ෂ තිබුණේ නෑ. ඒ නිසා අපි රාජාලියා බිහි කළා. ඒ ගමනේදී අපට නොයෙකුත් බාධකයන්ට මුහුණ පෑමට සිදුවුණා. ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කරනු ලැබුවා. නමුත් ඒ මහතා බලාපොරොත්තු වූ අරමුණ ඉටුකරදීමට අපි ඉදිරියටද කටයුතු කරනවා. අලියත්, රාජාලියාත් එක්වීම තුළින් එජාපය සුපිරි එජාපයක් කිරීමට හැකි වෙනවා ඒ සඳහා අප කැපවීමෙන් කටයුතු කළ යුතුයි. 21වන සියවසේ පරපුර වෙනුවෙන් අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා අපි සංවිධානාත්නකව කටයුතු කරමු.”

1994 මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ගාමිණී දිසානායක මහතා දිස්ත්‍රික්කයේ එදා මෙදා තුර වාර්තා වී ඇති වැඩිම මනාප සංඛ්‍යාව වන 198,207ක් (65.67%ක මනප ප්‍රතිශතයක්) ලබාගනිමින් පාර්ලිමේන්තු ආයේය. එජාපයට ආසන 94ක් පමණක් හිමි වීම නිසා ඔවුනට විපක්ෂයට වන්නට සිදුවූ අතර ගාමිණී සහ රනිල් වික්‍රමසිංහ අතර විපක්ෂ නායකත්වය උදෙසා සටනක්ද ඇති විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මේ සඳහා පැවැත්වූ අතර වැඩි ඡන්ද දෙකකින් (45ට 43ක් ලෙස දෙදෙනා අතර ඡන්ද බෙදී ගොස් තිබුණී) ගාමිණී දිසානායක මහතා විපක්ෂනායකවරයා ලෙස තෝරා ගැනිණි. ඒ අනුව හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා බවටද පත්විය. ඩී.බී. විජේතුංග මහතා 1994 ජනාධිපතිවරණයට තරඟ නොකිරීමට තීරණය කිරීමත් සමඟම ගාමිණී දිසානායකයන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූරාපේක්ෂකයා බවට පත්වුණි. මේ තේරී පත් වීමත් සමඟ පොදුජන එක්සත් පෙරමුණු රජය සහ ඔවුන්ට හිතවත් මාධ්‍යය ගාමිණී දිසානායකට මඩ ගසමින්, දූෂණ චෝදනා එල්ල කරමින් ඔහුගෙන් එල්ල වන අභියෝගයට බයේ යකා නටන්නට විණි. මෙසේ කුමනාකාරයේ චෝදනා එල්ල කළද ගාමිණී දිසානායකයන්ට වෛර කළ ප්‍රේමදාස රජයත්, චන්ද්‍රිකා රජයත් දෙකම මේ එකඳු චෝදනාවක් ඔප්පු කරන්නට අපොහොසත් වීම කාගේත් දැන ගැනීම පිණිස සටහන් තබන්නේ මේ උතුම් නායකයාට කරන සාධාරණයකැයි සිතමිනි.

එකම රටක්, එකම ජාතියක්, එකම ජනාධිපති!!!

එකම රටක්, එකම ජාතියක්, එකම ජනාධිපති යන්න ගාමිණීගේ ජනාධිපතිවරණ සටන් පාඨය බවට පත්විය. එජාපයටත් ගාමිණීටත් අවාසි සහගත තත්ත්වයක් මත සටන පටන් ගැනුණද එන්න එන්නම ගාමිණී – චන්ද්‍රිකා ද්වන්ද්ව සටන උණුසුම් වන්නට විය. ගාමිණීගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වේගවත් වූ අතර ගම් නියම් ගම් සිසාර ඡන්දදායකයන් ඔහු වටා රොද බැඳ ගන්නට විය. ජනතා හදගැස්ම හඳුනන, උගත්, බුද්ධිමත්, වඩක් කර ඇති, කාරුණික මිනිසකු ජනපති කරලීමට දහස් ගණනින් ජනතාව එක් රොක් වන්නට විය. එක ඡන්දයකින් හෝ ජනාධිපතිවරණය ජයගැනීම ගාමිණීගේ ඒකායන පැතුම වූ අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් දිවිහිමියෙන් කැප වන්නට විය. බොහෝ දෙනා තුල ගාමිණී දිනනු ඇතැයි යන දෘඪ විශ්වාසය තිබිණි. ගාමිණී දිසානායක මහතා මියෙන තෙක් නොපළ වූ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බිඳක් මා මෙහිදී උපුටා දක්වමි.

“උමතු දේශපාලන ලෝකයේ සිට වසර 24කට පසු මා තුළ බලකාමය නැතැයි කිවහොත් සාවද්‍ය වනු ඇත. සංවර්ධනාත්මක බලකාමය උදාර ධර්මතාවක් වෙයි. එය සාර්ථකත්වයට ජවය සපයන අභ්‍යන්තර ශක්තියක් වෙයි.

ජනාධිපතීත්වයෙහි පවත්නා කීර්තිමත්භාවය නිසා හෝ බලයෙහි විභූතිය නිසා හෝ මම එය නොසොයමි. ස්වකීය තනතුරෙහි සදාචාරාත්මක අධිකාරියෙහි මුද්‍රාව තබන්නට අසමත් වූ ඒ මඟ ගිය බොහෝ ජනාධිපතිවරුන්ගේ සහ අග්මැතිවරුන්ගේ ජීවිතවල ශුන්‍යභාවය මම දැක ඇත්තෙමි.

මා ජනාධිපතීත්වය සොයන්නේ වෙනසක් කිරීමටත්, අපේ දේශපාලනයේ භූමිකා දර්ශනය හා වාතාවරණය වෙනස් කරන නව ආකාරයක නායකත්වයක් සම්පාදනය කරන්නටත්, අපේ දේශපාලන පක්ෂ අතර අව්‍යාජ සුසංවාදයක් නිර්මාණය කිරීමටත් අතිශයින්ම අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට පුරෝගාමීත්වය සැපැයීමටත් අපගේ දේශය නව දේශපාලන රටාවක් කරා, එනම් ප්‍රතිපත්තීමය දේශපාලනයක් කරා මෙහෙයැවීමටත්ය. මා මේ සියල්ල කරන්නේ ශ්‍රී ලංකාවෙහි මානුෂික අභිවෘද්ධිය සඳහාය”.

ගාමිණී දිසානායකයන්ගේ ඇවෑමෙන් අවුරුදු 16ක් ගෙවී යමින් පවතින මුත් ප්‍රතිපත්තිමය දේශපාලනය රට තුල දැකිය හැක්කේ කලාතුරකින් වීම කණගාටුවට කරුණකි.

කෙසේ වෙතත් 1994 ඔක්තෝබරයේ රාත්‍රියෙකදී මේ සියළු සිහින බොඳව ගියේය. 1994 ඔක්තෝබර් 23දා තම කිට්ටුම දේශපාලනික හිතවතා වූ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර සමඟ හෙලිකොප්ටරයෙන් තොටළඟට ගොඩබා වේදිකාවට ගොඩ වනවිට ඔසී අබේගුණසේකර, කරුණාසේන කොඩිතුවක්කු, වීරසිංහ මල්ලිමාරච්චි, ගාමිණී විජේසේකර, ක්‍රිස්ටි පෙරේරා වැනි දේශපාලනඥයන් වේදිකාගතව සිටි අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතා ගොස් තිබුණි. මධ්‍යම රාත්‍රියවත්ම පැය ගණනක් තොටළඟ නැවත ගාමිණීගේ හඬ අසන්නට බලා සිටි දනන් ගාමිණී ඇමතුවේය. ඒ ඔහුගේ අවසාන කතාව යැයි මරාගෙන මැරෙන බෝම්බකාරිය හැර අන් කිසිවකු දැන නොසිටින්නට ඇත. 24දා අලුයම එළැඹෙද්දී සභාවේ වැඩ අවසන් කිරීමට මත්තෙන් හෙළ ජාතික අභිමානේ ගීය වැයෙද්දී මරාගෙන මැරෙන බෝම්බකාරිය රටක් වටින රටම ආදරය කළ රත්තරං නායකයකු වූ ගාමිණී දිසානායක ඇතුළු දක්ෂ දේශපාලනඥයක් කිහිප දෙනෙකුම අපෙන් උදුරා ගත්තේ කාගේ නෙතටත් කඳුලක් කැඳවමිනි.

ප්‍රේමසර ඈපාසිංහයන්ගේ පහත කවිය ගාමිණීගේ ගුණ සිව්පදයකට කැටි කොට ඇති ආකාරය අපූරුය, ලිලිපිය සමාප්තියට එය කදිමයැයි සිතමි.

මැදමහනුවර දළදා හිමි තිබෙන            තුරා
මහවැලි ගඟේ දිය පහළට ගලන           තුරා
ගොවිබිම් පළබරව කෙත්වතු පිරෙන    තුරා
සිරිලක ක්‍රිකට් ක්‍රීඩා පවතිනා                 තුරා
ගාමිණී දිසානායක නාමය අමරණීයයි

ගාමිණී දිසානායක වන් පුතුණුවරු යළි මෙදියත පහළ වන තුරු ලක්මව බලා හිඳියි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

යුදබිමටත්, පුදබිමටත්, දෙකටම ඉන්ද්‍රඛීලයක් වූ ශ්‍රේෂ්ඨ සෙන්පතිඳුන් – මේජර් ජෙනරාල් ජානක පෙරේරා

Click here to get Sinhala Unicode

දවස 2008 ඔක්තෝබර් 6 වනදාය, එවක විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයකු ලෙස දේශනයකට සහභාගී වෙමින් සිටි මට හද සසල කරවන පණිවුඩයක් ලැබුණේ මගේ හිතමිත්‍ර රාජා හරහාය. රටම ආදරය කළ උතුරු මැද පළාත් විපක්ෂ නායක, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා අනුරාධපුරදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව රාජාට යම් මාධ්‍ය ජාලයකින් ලැබුණු කෙටි පණිවුඩයේ සඳහන් වූ පුවතයි. මේ දීර්ඝ ලියමන ලියැවෙන්නේ ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා සහ සොඳුරු මිනිසා වෙත ඇති ඉමහත් භක්ත්‍යාදරය නිසාමය.

මේජර් ජෙනරල් ජානක පෙරේරා

1946 පෙබරවාරි 1දා මෙලොව එළිය දුටු ජානක පෙරේරා මහතා මරදානේ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හැදෑරීය. ඉගෙනීමෙහිලා දක්ෂයකු වූ ජානක පෙරේරා මහතා කලා අංශයෙන් උසස් පෙළ සමත්වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා උපාධිය හැදෑරීමට වරම් ලැබුණද විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස ඔහුගේ සිත වඩාත් ඇදී යන්නේ විශ්වවිද්‍යාල දිවියට නොව හමුදා දිවියටයි. ඒ අනුව 1966දී තම විශ්වවිද්‍යාල දිවියට තිත තියන ජානක පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එකතු වන්නේ කැඩෙට් නිලධාරියකු ලෙසයි. එංගලන්තයේ සුප්‍රකට සෑන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් (Royal Military Academy of Sandhurst) සිය පුහුණුව ලබන ජානක පෙරේරා සෙබලා දෙවන ලුතිනන්වරයකු ලෙස පළමුවන ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායට අනුයුක්ත කෙරිණි. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අධ්‍යයනයන් සම්බන්ධ රාජකීය කොලීජියෙන් (Royal College of Defence studies) මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා විද්‍යාපීඨයෙන් ඔහු ශිල්ප තර කරගන්නා  ලදි.

දෙවන ලුතිනන් ජානක පෙරේරා පළමුවරට හමුදා නිලධාරියකු ලෙස රණවිරුකම් පානුයේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමටයි. ඉන් වසර දෙකක ඇවෑමෙන් කපිතාන්වරයකු ලෙස උසස් වීමක් ලැබීමට තරම් 27 හැවිරිදී ජානක පෙරේරා භාග්‍යවන්තයකු විය.

ත්‍රස්තවාදයට විරුද්ධ කොමාන්ඩෝ නිලධාරියකු සේ

අතිදක්ෂ කාර්යශූර නිලධාරියකු ලෙස පෙඳෙන් පෙඳ හමුදාවේ හිණිපෙත්තට ඇදී යන ජානක පෙරේරා 1983 ඇරැඹෙන ඊළාම් යුද්ධයේදී දැඩි ලෙස ක්‍රියාකාරී වනුයේ ජ්‍යේෂ්ඨ හමුදා නායකත්වයේත් දේශපාලන යාන්ත්‍රණයේත් නොමසුරු ඇගැයීමට පාත්‍ර වෙමිනි. මේ වනවිට 1980දී ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමට නිර්මාණය වූ කොමාන්ඩෝ බලකායට අනුයුක්ත වී සිටි ජානක පෙරේරා ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සෙන්පතියකු බවට පත්වෙමින් තිබුණි. එදා පටන් කොටි ත්‍රස්තවාදීන්ට මහත් හිසරදයක්වූ කොමාන්ඩෝ බලකාය එතරම් සවිබල සම්පන්න බලකායක් කිරීමෙහිලා ජානක පෙරේරාගෙන් ලැබුණු මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය.

මායිම් ගම්මාන සුරැකි ගම්භාර දිව්‍යරාජයා

1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමූල ඝාතනයන් හරහා මායිම් ගම්මානවල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර මායිම් ගම්මානවල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතැර ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තුබුණි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තෝරා ගත්තේ අන් කවරකුවත් නොව එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.

ජීවිත අවදානම නොතකා සිය වගකීම භාරගත් ජානක පෙරේරා මැතිඳුන් ගම්බිම්වල ආරක්ෂාව සහ තම භට පිරිස් කළමණාකරණය දෙකක් නොව එකක් බව මනාව වටහා ගත්තේය. හමුදා කූඩාරමක දිවි ගෙවමින් ප්‍රදේශය ගැන සොයා බැලූ ජානක වැව් ප්‍රතිසංස්කරණය කරමින්, මංමාවත් පිළිසකර කරමින්, යුද හමුදා ජෙනරේටර් යොදා රෝහලට විදුලිය සපයමින් ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීය. ශ්‍රමදාන සංවිධානය කරමින් මේ කටයුතු වලට ප්‍රදේශවසීන්ගේ සහය දිනාගත් තුරුණු ලුතිනන් කර්නල්වරයා සෑම සති අන්තයකම ප්‍රදේශයට කොළඹින් විශේෂඥ වෛද්‍යවරුන්, බේත්හේත් ගෙන්වා වෛද්‍ය සායන සංවිධානය කළේ ප්‍රදේශවසීන්ගේ නිරෝගීකම වැදගත් සාධකයක් බව අවබෝධ කරගනිමිනි.

අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ මායිම් ගම්මාන සුරකිමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුද බිය නිසා පා නොතබන මායිම් ගම්මානවලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශවල අසරණ ජනතාවට ඔහු පිළිසරණක් විය. නිතර දෙවේලේ ජනතාව අතරට යමින් බිය සැක දුරු කළ ජානක ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කූඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය. ජානක පෙරේරා නිතරම මායිම් ගම්මානවල ජනතාවට “මගේ මිනිස්සු” කියා අමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තුබූ භක්ත්‍යාදරය මනාව පිළිඹිබු වේ. මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව “ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබූයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යයට පාර පෙන්වූ එතුමා කෙරේ ඔවුන් තුල පැවැති නොමඳ භක්තිය නිසාමය.

වඩමාරච්චි මෙහෙයුමට දායක වෙමින්

1987 සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුමට (Operation Liberation)  සක්‍රීයව දායක වන ජානක පෙරේරා මහතාට එහිදී ඩෙන්සිල් කොබ්බෑකඩුව ආදී ශූරවීර රණනායකයන් සෙවනේ හමුදා පන්නරය හිමිවේ. මේ වනවිට ත්‍රස්තවාදයට එරෙහිව වූ සටනේ දිගින් දිගටම වීර විකුම් පෑ ජානක පෙරේරා කර්නල් නිලය දක්වා උසස් කර තිබුණි.

මේ සුවිශේෂී ඡායාරූපයේ වම් කෙළවරේ ඉන්නේ ජානක පෙරේරාය, අද කඳවුරු දෙකක නයි වෛරයෙන් පෙලෙන් ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකාද මෙහි වෙති.

කෙටි කාලයක් තුල යාපන අර්ධද්වීපය දෙවනත් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චි ප්‍රදේශයට කොටු කිරීමට වීර හමුදාවෝ සමත් වුවත් ඉන්දියාව මැදිහත්වීමෙන් කොටින් දිවි ගලවා ගත්හ. කොටින්ට ආහාර, පාන, සහ ආයුධ සපයමින් ඉන්දියාවේ රාමේෂ්වරන් වරායෙන් එවූ නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් හරවා යැවුණු කළ ඉන්දියාවේ බැංගලෝරයෙන් පිටත් කෙරුණු ඇන්ටනොව් 32 යාන දෙකකින් ආහාර පාන, ලාම්පු තෙල් ආදිය යාපන අර්ධද්වීපයට හෙළීය. එම ඇන්ටනොව් 32 යානා දෙකට පරිවාර ලෙස මිරාජ් ප්‍රහාරක යානා එවුණු අතර ශ්‍රී ලංකා හමුදා එම යානාවලට පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට පමණක් නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට ඉන්දියාව සූදානම්ව සිටි බව සුප්‍රකට ඉන්දීය ලේඛක එම්.ආර්. නාරායන් ස්වාමි මහතා සිය ලංකා කොටි ග්‍රන්ථයේ සඳහන් කරයි. එහිදී ඔහු කියන පරිදි ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා මෙන්ම මෙහෙයුම් අණදෙන නිලධාරී නලීන් සෙනෙවිරත්න යන සියල්ල අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු ඉන්දීය ආරක්ෂක අංශ සූදානම් කර තිබී ඇත. එහෙව් වාතාවරණයක් තුල රටේ පැවැත්ම උදෙසා අකමැත්තෙන් වුව පසුබැසීම හැර අන් විකල්පයක් නොවීය.

ජවිපෙ කැරැල්ල මැඩලීමට

එවක කැපීපෙනෙන තරුණ හමුදා නිලධාරියකු ලෙස සුරුවිරුකම් පාමින් සිටි ජානක පෙරේරා 88-89 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල මැඩලීමේ අභියෝගයට යෙදවීමට රජය තීන්දු කළහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අල්ලා ගැනීමේ භාරධූර කර්තව්‍ය ජානක පෙරේරාට පැවරිණි. ජානක පෙරේරා ඉතා බුද්ධිමත්, සූක්ෂම නිලධාරියකු වූ අතර ඔහුට බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ සහජ හැකියාවක් තිබුණි. තමන්ට ලැබෙන හෝඩුවාවන් ඔස්සේ රෝහණ විජේවීර සහෝදරයා වලපනේ බංගලාවක ගම්ලත් නම් වූ වතු අධිකාරීවරයකු ලෙස වෙස් වලාගෙන සිටින බවට කර්නල් ජානක පෙරේරාට ඒත්තු ගියේය. ඊට අනුව වලපනේ වත්තට ගිය ජානක පෙරේරා අද යුද හමුදාවේ ඇතැම් නිලධාරීන් මෙන් රෝහණ විජේවීරව නින්දිත ලෙස කුදලාගෙන ආවේ නැත. ඔහු තමන්ව හඳුන්වා දී ගම්ලත් යනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර සමඟ සතුටු සාමීචියකට පුල්පන්නේය, මේ සතුටු සාමීචය අස්සේ ඉතා සූක්ෂම ලෙස ප්‍රශ්න නගමින් ජානක පෙරේරා සෑහෙන වේලාවක් ගම්ලත් නමින් පෙනී සිටින්නා හා දොඩමළු විය. ගම්ලත්ගෙන් විජේවීර ගැනත් ජවිපෙ ගැනත් ඇසූ විට ඔහු ඉතා දක්ෂ ලෙස ඒ ගැන කිසිවක් නොදත් බව අඟවමින් රඟපෑ නමුත් ජානක පෙරේරාට මේ රෝහණ විජේවීරමයි යන විශ්වාසය ඇති වෙමින් තිබුණි. උණුසුම් තේ කෝප්පයක් රස විඳීමෙන් පසු ගම්ලත්ට ඔහුගේ ආගන්තුක සත්කාරවලට ස්තූති කර ආපසු නික්මීමට අවසර පතා දොරකඩ දක්වා සාමාන්‍ය ගමනින් කර්නල්වරයා ගමන් කළේය.

ඕනෑම කෙනෙකු කොච්චර දක්ෂ ලෙස බොරුවක් රඟදැක්වුවද එය කරන්නේ විශාල ආතතියකිනි, එම බොරුවෙන් අත් මිදුණු කළ එකී ආතතිය පහව ගොස් එම පුද්ගලයා සැහැල්ලු වන්නේය. විජේවීර සහෝදරයාද තමන් අසුවේදෝ යන ආතතියෙන් පෙළෙමින් ගම්ලත් චරිතය රඟපාන්නට ඇත, නමුත් කර්නල් ජානක පෙරේරා නික්ම යන විට ඔහුට විශාල සහනයක් දැනී අරක් ගෙන සිටි ගම්ලත් චරිතයෙන් ඉබේටම අත්මිදෙන්නට ඇත. මේ සුවිශේෂී මානව හැසිරීම් රටාව අවබෝධ කරගෙන සිටි ජානක පෙරේරා දොරකඩදී එකවරම ආපසු හැරී “ඇත්ත කියනවා… උඹ නේද රෝහණ විජේවීර??” කියා දැඩි විශ්වාසයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බව කියැවේ. මේ හදීසි හැසිරීමෙන් තිගැස්සුණු රෝහණ විජේවීර සහෝදරයාගේ මුහුණේ අංග ලක්ෂණ වලින් ගම්ලත් චරිතය පුස්සක් බවත් ඔහු සැබැවින්ම රෝහණ විජේවීර බවත් ජානක පෙරේරාට වැටහෙන්නට ඇත. මේ අනුව තමා රෝහණ විජේවීර ලෙස පිළිගත් වතු අධිකාරීවරයා කර්නල් ජානක පෙරේරා විසින් අත්අඩංගුවට ගත්තේ තමන් කරන්නේ තම රාජකාරිය බව සිහිපත් කරදෙමිනි. විජේවීර ජානක පෙරේරාගෙන් තම බිරිඳට සහ දරුවන්ට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලීමක් කළ බව වාර්තා වන අතර එම ඉල්ලීම ඉටු කිරීමට ජානක පෙරේරා ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර කැටුව කොළඹ ආ ජානක පෙරේරා ඔහුව අදාල නිලධාරීන්ට භාර දී තම රාජකාරිය ඉටු කළේය.

පසුව රෝහණ විජේවීර කෲර ලෙස ඝාතනය වූ අතර ඊට ජානක පෙරේරා සම්බන්ධ යැයි චෝදනා එල්ල වුවද පසුකාලීනව ජානක පෙරේරා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කළේ ඔහුගේ රාජකාරිය බවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තේය. කෙසේ වෙතත් රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමේ පිළිවෙතින් ඔප් නැංවෙන්නේ ජානක පෙරේරා තුල මිනිස් හැසිරීම් රටාව කෙරේ තුබූ අවබෝධයත් ඔහුගේ බුද්ධිමත්භාවය සහ සංවේදීභාවයයි.

යාපන අර්ධද්වීපයට රිවිරැස පතිත වූ වගයි

1993දී යූඇන්පී ආණ්ඩුව යටතේ තොප්පිගලින් ස්වකේය ආරක්ෂාව වෙනුවෙන් හමුදාව දියත් කළ මෙහෙයුම අඛණ්ඩව ගෙන යෑමට රජය උත්සුක වූ අතර මේ ක්‍රියාන්විතයේ ප්‍රධාන නියමුවකු ලෙස බ්‍රිගේඩියර් ජානක පෙරේරා කැපී පෙනුණි. තොප්පිගල කැලයෙන් ඇරැඹි මෙම මෙහෙයුම කෙටි කලෙකින් මුළු නැගෙනහිරම කොටි ග්‍රහණයෙන් නිදහස් කරගනිමින් අවසාන කරගැනීමට ජානක ඇතුළු හමුදාව හපන්කම් පෑහ.

1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී රිවිරැස මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් රඟදක්වන ලදි. වසර ගණනකින් පසුව යාපනය නගරය රජයේ පාලනයට නතු කල රිවිරැස මෙහෙයුම 90 දශකයේ බලවේගය, ජයසිකුරු වැනි මෙහෙයුම් අතුරින් සුවිශේෂීත්වයක් ඉසිලීය. එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙහිදී යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේගකර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53වන සේනාංකය සමත්විය. ජයග්‍රහණයෙන් උද්දාමයට පත්විය යුතුව තිබූ ජානක පෙරේරා බොහොම උපේක්ෂාවෙන් මේ දෙස බැලීය. අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු

“අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේත් අපේ භූමියමනෙ”

කියා තෙපලා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරුතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක. ජානක පෙරේරාගේ අවංකත්වය ඔහුගේ හොඳට මෙන්ම නරකටද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති.

මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද වරලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් චිරුතිව් දූපතේ සිට කොටි බෝට්ටි සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැපකිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එයද අප ගෞරව පූර්වකව සිහිපත් කරමු.

යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනාගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ අකුණු පහර මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වූවාට සැක නැත.

වැලිඔය සංග්‍රාමික ආශ්චර්යය

වැලිඔය ආඥාපතිව සිටියදී මුහුදු කොටින් විසින් කෝකිලායි, කොක්කුතුඩුවායි ප්‍රදේශ ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයද සාර්ථක ලෙස ජයගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ හමුදාවෝ සමත් වූයේ අනේකවිධ අගහිඟකම්, දුෂ්කරතා මැදය. මුහුදු කොටින් 300ක් පමණ මරු තුරුලට යැවූ මෙම සටනේදී කොටින් මළ සිරුරු 200ක් පමණ සටන් බිමේ දමා ගොස් තිබිණි. ඒ සියල්ල රතු කුරුසයට භාරදෙමින් ඔහු තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේය. නමුත් ඊටත් වඩා එහා ගිය අභියෝගයකට නුදුරේදීම මුහුණදීමට ජානක පෙරේරාට  සිදුවුණි.

ලංකා යුද ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී ප්‍රහාරයක නියමුවා ලෙස ජානක පෙරේරා ඉතිහාස ගතවේ. එක රැයකින් කොටි ත්‍රස්තවාදීන් 500කට අධික පිරිසක් මරු තුරුලට යැවූ එම සටනින් මළ සිරුරු 503ක් සොයා ගැනුණු අතර එය ලක් යුද ඉතිහාසයේ එක් රැයකදී වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කර දැමූ සටන ලෙස වාර්තා වී ඇත.

එවක වැලිඔය ආඥාපතිවරයාව සිටි ජානක පෙරේරාට බුද්ධි තොරතුරු පිළිබඳ හොඳ ඉවක් ඇති බවත් බුද්ධි තොරතුරු රැස් කිරීමෙහිලා විශේෂ සුරුවිරුකම් පෑ බවත් ඉහත සඳහන් කළෙමි. මේ එක් මූලාශ්‍රයකින් වැලිඔය හමුදා කඳවුරට ප්‍රහාරයක් නොබෝ දිනෙකින් එල්ල කිරීමට කොටි සංවිධානය සූදානම් වන බව තහවුරු වී තිබුණි. ජානක පෙරේරා කළබල නොවී, කොහිවත් පලා නොයමින් කඳවුරේ සෙබලුන් හා සුපුරුදු පරිදි කල් ගෙවීය. නිවාඩු ඉල්ලා තුබූ සොල්දාදුවන්ට නිවාඩු ලබාදෙමින් තමාට කොටි ප්‍රහාරය ගැන කිසිඳු හෝඩුවාවක් ලැබී නැතැයි හඟවමින් කොටින් ඇන්දවීම ජානක පෙරේරාගේ අරමුණ විය.

එල්ටීටීඊ ප්‍රහාරය එල්ල වීමට නියමිතව තුබූ දිනයේ රාත්‍රී ජාමය වනවිට ජානක පෙරේරා තම සොල්දාදුවන් හෙමෙන්සීරුවේ වැලිඔය කඳවුරෙන් ඉවත් කර කඳවුර වටා කැලයේ ඉතා සූක්ෂම ලෙස ස්ථානගත කළේය. ශ්‍රී ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ විශ්මයට කඳවුර අතැර දමා තිබුණි. සිදුවන්නේ කිමෙක්දැයි අදහා ගැනීමටත් පෙර සිව්දෙස කැලයෙන් කොටින්ට එල්ල වූයේ දැඩි ප්‍රහාරයකි. රැය පහන්වන තුරු ඇවිලුණු දරුණු සටන් නිමා වූයේ කොටි මළසිරුරු 503ක් එම භූමියට පතිත කරවමිනි. මෙහි විශේෂය නම් මේ මුළු සටන පුරාම ජීවිතක්ෂයට පත්වූයේ හමුදා භටයින් 10කටත් අඩු ගණනක් වීමයි.

මේ විජයග්‍රහණයෙන් අනතුරුව ජානක පෙරේරා ජයපැන් බීවේ, පම්පෝරි ගැහුවේ නැත. හමුදාව මහත් විජයග්‍රහණයකට මෙහෙයවූ ඔහුගෙන් දක්නට ලැබුණේ උපේක්ෂා සහගත ස්වභාවයකි. මිය ගිය කොටි සෙබලුන් ඉදිරියේ ඡායාරූපවලට පෙනී සිටීම පිළිකෙව් කළ ජානක පෙරේරා ජනමාධ්‍යවේදීන්ට පැවසූයේ

“අවුරුදු 14 ළමුන් මරා සතුටු විය හැක්කේ මොන සොල්දාදුවාටද? මේත් මගේ රටේම මිනිස්සු, ඔයගොල්ලො තමුන්ගෙම මිනිස්සු මරණවද?”

කියාය. මේ කියමන සැබැවින්ම ඉතා ගැඹුරු අර්ථයකින් හෙබි ප්‍රකාශයක් නොවන්නේද? කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ අතැතිව හමුදාවට ඒ ආයුධයෙන් පහර දුන්නේද මේ රටේම පුරවැසියන්ය යන යාථාර්ථය ඔහු මැනැවින් අවබෝධ කරගෙන තිබූ සෙයකි.

වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගත්තේ වැලිඔය හරහාය. එම ගමන්මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කොටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි. ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත අහම්බයක්ද?

නොනවතින රැල්ලට නැවතීමේ තිත

වැලිඔයින් පසු 23වන, 51වන සහ 53වන සේනාංකාධිපතිධුර ඉසිලූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 1999 වන විට කොමාන්ඩෝ සහ විශේෂ කාර්යය බලකා වල සේනාංකාධිපතිවරයා ලෙසට පත්ව සිටියේය. මේ අතරවාරයේ වසර 2000 වන විට හමුදාව උතුරු යුද බිමේ පරාජයන් හමුවේ පරාජයන් ලබමින් මානසිකව ඇද වැටෙමින් පැවැතිණි. පුනරින්, කිලිනොච්චි, මුලතිව් හමුදා කඳවුරු කොටින් අත්පත් කරගෙන තුබූ අතර A9 මහාමාර්ගයේ බහුතර පාලනයද කොටි සන්තක විය. ඔයාදු අලෛහාල් (නොනවතින රැල්ල/Unceasing Waves) නමින් ප්‍රහාර මාලවක් දියත් කර තුබූ කොටි සංවිධානය කිසිදා හමුදාව අතින් ගිලිහී නොගිය, හසලක ගාමිණී වන් වීර සෙබලුන් දිවි දී රැකගත් අලිමංකඩ කඳවුරද ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගනු ලැබූයේ එහි ජල සැපයුම ඇනහිටුවමිනි. අලිමංකඩ සමඟම හමුදා සොල්දාදුවන් රැසකගේ ජීවිතද අහිමිව ගිය අතර කොටි සංවිධානය යාපනය නගරය ඇතුළු සමස්ථ අර්ධද්වීපයම අත්පත් කරගැනීමේ තර්ජනය දැඩිව පැවැතුණි. යාපනයේ හමුදා මෙහෙයුම්වල කොඳු නාරටිය බඳු වූ පලාලි කඳවුරද දැඩි තර්ජනයකට මුහුණ පා තිබුණේ කොටින්ට බර අවි, යුද ටැංකි සහ මල්ටි බැරල් රොකට් ලෝන්චර් (MBRL) රැසක් අලිමංකඩ බිඳ වැටීමත් සමඟ අත්පත්ව තිබූ හෙයිනි. මේ බර අවි නිසි ලෙස ස්ථානගත කිරීමේ අවස්ථාව කොටින්ට හිමි වුණි නම් පලාලි ගුවන්තොටින් ගුවන් යානා ගොඩබෑමට හෝ පිටත් කිරීමට නොහැකි වනු ඇත. හමුදා සෙබලුන් 1000කට අධික ප්‍රමාණයකට මරු කැඳවද්දී කොටි ත්‍රස්තයින් 35ක් පමණක් මරු වැළැඳගත් අලිමංකඩ ප්‍රහාරය යුද හමුදා ඉතිහාසයේ විශාලතම පරාජය ලෙස ඉතිහාසගතව ඇත.

අලිමංකඩ

හමුදා සෙබලුන් 40,000ක් පමණ ස්ථානගතව සිටි යාපන අර්ධද්වීපය මුළුමනින්ම රජයේ ග්‍රහණයෙන් ගිලිහී යෑමේ දැඩි අවදානමක් හට ගෙන තුබුණි. එම සෙබලුන් 40,000ට ඇති සැපයුම් මාර්ග (උදා – පලාලි) අහුරා ක්‍රමිකව හමුදාව අසරණ කර යාපන අර්ධද්වීපය දිනීම කොටින්ගේ උපක්‍රමය විය. මේ උපක්‍රමය සාර්ථක වීමේ සම්භාවිතාව කොතෙක්ව තිබුණිද යත් එවක ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට නෞකා සපයන ලෙස ඉන්දීය රජයෙන් සහය ඉල්ලා සිටියාය. ශ්‍රී ලංකා නාවුක හමුදා යාත්‍රා හමුදා සෙබලුන් යාපන අර්ධද්වීපයෙන් ඉක්මන් පසුබැසීමකට ප්‍රමාණවත් නොවුණු නිසා ඉන්දියාවෙන් කළ මෙම බැගෑපත් ඉල්ලීම එරට රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් බැරෑරුම් අඩියකට පත්විණි. යාපන අර්ධද්වීපයේ හමුදා සෙබලුන් 40,000කගේත් රාජ්‍ය පාලනයේත් අනාගතය තීරණය කෙරෙන හමුදා මෙහෙයුමට නායකත්වය සඳහා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන මේජර් ජෙනරාල්වරු දෙපලක් තෝරාගන්නා ලදි. ඉන් එක් අයෙකු වූයේ එවක සාමාන්‍ය මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල් (DGGS) සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාය, අනෙකා එවක හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ජානක පෙරේරායි. මෙහිදී ජානක පෙරේරා සමස්ථ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙසත් යාපනයේ ආරක්ෂක සේවා ආඥාපති ලෙස පත්වීම් ලත්තේය. යාපනයේ සිට ස්වාධීන රූපවාහිණි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ මේජර් ජෙනරල්තුමා එහිදී ඕනෑම පරිත්‍යාගයක් කොට යාපනය රැක ගැනීමට සුදානම් බවත් හමුදාව හැරගිය සියළු දෙනාට තමන් හා එකතු වී අභීතව සටන් වදින ලෙසත් කළ අභීත ප්‍රකාශය පරාජිත මානසිකත්වයකින් ආලෝලනය වූ රටට අළුත් බලාපොරොත්තුවක් ගෙන දුනි. මේ සටනේදී කොටි සංවිධානයේ මෙහෙයුම් නායකයා වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් වීම විශේෂත්වයකි.

හනිකට හමුදා සැලසුම් කෙටුම්පත් කළ මේජර් ජෙනරාල්වරු යාපන අර්ධද්වීපයත් තම සෙබලුන්ගේ ජීවිතත් ආර්ක්ෂා කරගනු වස් දිවිහිමියෙන් කැපවිණි. වේගයෙන් යාපනය කරා ඇදෙමින් තිබූ කොටින්ට යාපන නගරයට කි.මි.45ක් නැගෙනහිරින් පිහිටි චාවකච්චේරියේදී දරුණු ලෙස පහරදෙමින් කොටි ගමන අඩාල කළද තර්ජනය දිගින් දිගටම පැවැතුණි. ඊටද කඩිනම් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒ සියල්ලට අභීතව මුහුණ දෙමින් කොටින් මැඩපවත්වමින් වටිනා ජීවිත රැසක් ආරක්ෂා කිරීමටත් යාපනයේ රජයේ පාලනය තහවුරු කිරීමටත් ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙපල සමත්කම් පෑහ. රිවිකිරණ සහ කිණිහිරය නමින් යාපනය සුරැකීමේ පරමාර්ථයෙන් දියත් කෙරුණු මෙහෙයුම් සියල්ල මල්ඵල දරන්නට විය. යාපනය අර්ධද්වීපය රැක ගැනීම සඳහා දියත් කෙරුණු මෙහෙයුම බොහෝ අගහිඟකම් මැද, අවාසි සහගත තත්ත්වයක, ජයගැනීම සුවිශේෂී සන්ධිස්ථානයකි, හමුදා සෙබලුන්ගේ චිත්ත ධෛර්යය බිංදුවට බැස තිබූ සහ කොටින්ගේ චිත්ත ධෛර්යය උපරිමයක්ව තුබූ මොහොතක මේ රණශූර මේජර් ජෙනරාල්වරුන් දෙපල දේශයට අත් කර දුන්නේ සැබෑ විජයග්‍රහණයකි.

අද සිදුව ඇත්තේ කුමක්ද? මේ මෙහෙයුම රට වෙනුවෙන් මෙහෙයවූ එක් මේජර් ජෙනරාල්වරයෙක් මිනිස් බෝම්බයකින් එළොව යවා ඇත, අනෙක් ජෙනරල්වරයා සිරගතව ඇත, එම මෙහෙයුමේදී කොටි ත්‍රස්තයින්ගේ මහ මොළකරුවකු වූ කරුණා අම්මාන් අද කැබිනට් ඇමැතිවරයකු ලෙස සුරසැප විඳියී. ඔබම ඔබේ හදවතට තට්ටු කර අහන්න මේ දේ හරිද කියල. ජාතික නිදහස් පෙරමුණේ, ජාතික හෙළ උරුමයේ මහා ලොකු ඊනියා දේශප්‍රේමීන්ට, සංවේදී කළාකාර බඩගෝස්තරවාදීන්ට මේවා සාධාරණීකරණය කළ හැකි වුවද බුද්ධිමත් කාට නම් මේවාට හුරේ දමත හැකිද??

අසාධාරණයකින් කෙළවර වූ හමුදා දිවිය

ජානක පෙරේරා හමුදා නිලධාරියකු ලෙස ඉතා පුළුල් දර්ශනයකින් සන්නද්ධව සිටියේය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ ඔහු දෙමළ තරුණයින් හමුදාවට බඳවා ගත යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය. ඔහු ඒ ගැන පවසා ඇත්තේ මෙපරිද්දෙනි

“යුද්ධයේ සැබෑ පරමාර්ථය වෙන්න ඕනෙ දෙමළ මිනිස්සුන්ව කොටි ග්‍රහණයෙන් ගලවන එක, ඒක එහෙම වෙන්නනම් දෙමළ මිනිස්සුන්වත් මේ හමුදාවේ කොටස්කාරයො කරගන්ට ඕනෙ, උතුර අල්ලගෙන ඒක සිංහල සෙබලුන්ගෙ පාලනය යටතේ තිබ්බොත් ඒ මිනිස්සු අපිව විශ්වාස කරන්නෙ නැහැනෙ.”

මේ තර්කය ඔහු සාධාරණීකරණය කළේ 1945 මිත්‍ර පාක්ෂික හමුදා නට්සි හමුදා පරදා ලෝක යුද්ධය නිමා කිරීමට ප්‍රංශයේ නෝමැන්ඩියට ගොඩ බසින විට පෙරටුව ගමන්ගත්තේ ජෙනරාල් ඩි ගෝල්ගේ නායකත්වයෙන් යුත් ප්‍රංශ හමුදා බව උපුටමිනි. ජානක පෙරේරා තමන්ගේ අදහස්වලට අනුව මේ යුද්ධයට දුටු විසඳුම නම් බහුතර සිංහල ජනතාවගේ සිතුම් පැතුම් සමඟ සුළුජනයාගේ සිතුම් පැතුම් සංතුලනය කළ යුතු බවයි.

රට වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තද පොදුජන එක්සත් පෙරමුණු රජයෙන් ජානක පෙරේරාට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය, කළ නොහැකියැයි හැඟෙන මෙහෙයුම් සඳහා යොදා ගැනුණු ජානක පෙරේරාට රජය විසින් සැලකිය යුතුව තිබුණේ ජාතික වීරයකු ලෙසින්ය.

2000දී එතෙක් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීව සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කෙරිණි. හරිනම් හමුදාපතිවරයා ලෙස පත්වීමට ඔහු නියමව සිටියද චන්ද්‍රිකා ජනපතිනිය ඔහුට එම වරප්‍රසාදය ලබා නොදුන්නේ ජානක පෙරේරාගේ අසහාය පෞරුෂත්වය, බුද්ධිමත්කම, ජනප්‍රියත්වය හා සූක්ෂම ක්‍රියා පිළිවෙත තමන්ට තර්ජනයක් වනු ඇතැයි යන සැකයෙන් යැයි පැවසේ.

හමුදාපතිවීමේ සිහින දැකි ජානක පෙරේරා ඉච්ඡා භංගත්වයට පත්වෙමින් තම හමුදා දිවියට සමුදුන්නේය. හමුදාවෙන් නික්මෙන විට හේ රණවික්‍රම පදක්කම (RWP), රණශූර පදක්කම (RSP), විශිෂ්ට සේවා විභූෂණය (VSV), උත්තම සේවා පදක්කම (USP), පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම වැනි පදක්කම් රැසකින් ඔහුගේ වීරත්වයට පිදුම් ලෑයේය.

ලක්දිව බිහිවූ විශිෂ්ටතම දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායකයන් ජානක පෙරේරාට බෙහෙවින් ගරු කළ අතර කෙදිනක හෝ ජානක යුද හමුදාපති වනු දැකීම ඔහුගේ සිහිනයක් වූ බව කියැවේ. අවාසනාවකට ඒ කෘතහස්ත දේශපාලනඥයා රටේ රාජ්‍ය නායකත්වය මුවදොරට පැමිණි කළ එය අහිමි වූවා සේ ජානක පෙරේරාටද හමුදාපතිධුරය අසලටම විත් එය අහිමි වීම දෛවයේ සරදමක් විය හැකිය.

ජානක පෙරේරා මහතාගේ බිරිඳ වූයේ වජිරා පෙරේරා මහත්මියයි. ඇය ලංකා හමුදා ඉතිහාසයේ පළමු කාන්තා නිලධාරිනියන් 6 දෙනාගෙන් එක් අයෙකි. ජානක පෙරේරා සහ වජිරා පෙරේරා යුවලට දාව ජනුක්ෂි, ෂෙහාරා සහ අශංක නමින් දරුවන් තිදෙනෙකි. තම සැමියාට සෙවනැල්ලක් බඳු ගුණ නැණ බෙලෙන් යුතු  බිරියක් වූ වජිරා පෙරේරා මැතිණියත් ජානක පෙරේරා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන් බෝම්බ ප්‍රහාරයෙන්ම සිය ජීවිත ගමනෙන් සමුගත්තාය.

රාජතාන්ත්‍රිකයකුගේ භූමිකාවට පණපොවමින්

ලැබෙන්නට තුබූ හමුදාපතිධුරය ජානක පෙරේරා මැතිඳුන්ට නොලැබුණ මුත් චන්ද්‍රිකා ජනපතිනියගේ ආණ්ඩුව ඔහුට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්ධුරය පිරිනමනුයේ තම පව් කමා කරගැනීමේ චේතනාවෙන් විය හැක. මෙහි විශේෂත්වය වනුයේ මීට පෙර හමුදාපතිධුරයට පහළ තනතුරකින් විශ්‍රාම ගිය හමුදා නිලධාරියකු කවරදාකවත් තානාපති තනතුරට පත්කර නොතිබීමයි. ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කැන්බරා නුවර ගත කළ සිව්වසර පුරා ඔහුට ඕස්ට්‍රේලියාවේ පදිංචි ද්‍රවිඩ ඩයැස්පෝරාවෙන් සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ නමුදු ඔහු ඒවාට නොසැලී මුහුණ දුන්නේය. එසේ චෝදනා නැගූ කිසිවකු නීතිමය වශයෙන් කටයුතු නොකළේ ඒවා හුදු අභූත චෝදනා පමණකැයි යන්න තහවුරු කරමිනි.

ජානක සහ වජිරා පෙරේරා යුවළ කැන්බරා නුවරදී

කැන්බරා නුවර සිව්වසක මෙහෙවරින් පසුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එතුමා 2005දී ජකර්තා නුවරදී වැඩ භාරගත්තේය. දෙරටේම තානාපතිවරයා ලෙස කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පැරදවීමට ජානක පෙරේරා මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඕස්ට්‍රේලියාවේ කොටින්ට මූල්‍යාධාර කරන සංවිධාන මැඩලීමට සහ කොටි හිතවාදී කණ්ඩායම් මෙල්ල කිරීමට එරට රජය සමඟ හවුලේ ක්‍රියාකළ ජානක පෙරේරා ඉන්දුනීසියාවේ ත්‍රස්ත කණ්ඩායම් සහ කොටි අතර ඇති ගනුදෙනු ගැන එරට රජය දැනුවත් කරමින් කොටි විරෝධී මානසිකත්වයක් ඉන්දුනීසියාවේ ගොඩ නැගීය. ඒ අතරම අග්නිදිග ආසියාව හරහා වැටී තුබූ එල්ටීටීඊ අවි සැපයුම් මාර්ග අඩපණ කිරීමටද ජානක පෙරේරා මැතිඳුන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේ සිය රාජතාන්ත්‍රිකභාවය මනාව විදහා දක්වමිනි.

2007 වසරේදී ජානක පෙරේරා සෙන්පතිඳුන් වසර හයක තානාපති සේවයට සමුදුන්නේය.

දේශපාලන රංගාවතරණය

අද අතිගරු ජනාධිපතිතුමාගේ කුණු සේදීමෙහිලා ප්‍රමුඛ කර්තව්‍යයක් කරන ජාතික හෙළ උරුමය 2005 ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ ඒ සඳහා තරඟ කිරීමට අපේක්ෂකයකු සෙවීය. එහිදී ඔවුන් එම ආරාධනය පිළිගැන්වූයේ එවක ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාටය. නමුත් ජානක පෙරේරා මැතිතුමා ජාතික හෙළ උරුමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ජානක පෙරේරා, එජාපයට එක්වූ තවත් රණවිරු දේශපාලනඥයකු වන රෝහණ ගමගේ සමඟ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකුගේ දුක සැප විමසමින්

දිගටම තානාපති සේවයේ නියුක්තව සිටි ජානක පෙරේරා මහතා යළි ලංකාවට ආ විට ජනාධිපතිතුමා ඔහුට ජනාධිපති උපදේශකධුරයක් සහ පාකිස්ථානය සඳහා වූ විශේෂ නියෝජිතධුරය යෝජනා කළ වග පුවත්පත් වාර්තා කර තිබුණි. ජානක පෙරේරා මැතිතුමා විසින් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළද යුද ක්‍රියාන්විතය සාර්ථක කරගනු වස් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ජානක පෙරේරා මහතා ජනාධිපතිතුමාට පොරොන්දු වී තිබුණි.

ජානක පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට තීන්දු කරන්නේ එම පක්ෂයේ මතවාදයන් කෙරේ තුබූ විශ්වාසයත් සමඟය, ආර්ථිකය සහ ජාතික සමගිය පිළිබඳ එජාපයේ මතය සෑහෙන පමණ ජානක පෙරේරා මැතිඳුන්ගේ මතවාදයට සමාන වූ අතර එජාපය තුල මූලික ප්‍රතිපත්තීන්ට අනුගතව තම තමන්ට අනන්‍ය මතවාද දැරීමේ නිදහසද මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් විය. අනෙක් අතට ජානක පෙරේරා නම් වූ රණශූරයාගෙන් රටට අප්‍රමාණ ලෙස වැඩ ගත්තේ යූඇන්පී ආණ්ඩුවයි, ජානක පෙරේරා නම් වූ රණශූර මැණික බොහෝ දෙනා නොහැකි යයි පවසන වගකීම් කළ හැක්කකු ලෙසට ඔපමට්ටම් කළේද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. එනිසා එජාපය කෙරේ ඔහුට ඇල්මක් තිබීමත් තමාට කෙණෙහිලිකම් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන එතරම් පැහැදීමක් නොතිබීමත් පුදුමයක් නොවන්නේය. අනෙක් අතට 1993-94 වකවානුවේ නැගෙනහිර මුදාගනිමින් කොටින් හා සටන්වැදි යූඇන්පී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා කෙරේ ඔහු තුල විශ්වාසයක්ද තිබෙන්නට ඇත.

සැදැහැවත් බෞද්ධයකුද වූ ජානක පෙරේරා, හමුදා නිලධාරියකු ලෙස විශිෂ්ට සේවාවක් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන ගමන ඇරඹූ ජානක පෙරේරා මහතා 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැතිධුර අපේක්ෂකයා ලෙස තරඟ කරනු ලැබූයේ රජරට ජනතාව රජ කරවීමේ උත්තුංග අරමුණ පෙරදැරිවය. එදා හමුදා නිලධාරියකු ලෙස මායිම් ගම්මානවලට සිදු කළ සේවය මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට මහත් අස්වැසිල්ලක් වූ අතර ඔහුගේ ප්‍රභාමත්, පෞරුෂවත් නායකත්වය සහ බුද්ධිය ජනතා ආකර්ෂණයටම හේතුකාරක විය.

උතුරේ යුද්ධය විකිණූ බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය 2008 අගෝස්තු 23දා පැවැති පළාත් සභා මැතිවරණය ජයගත්තද රජරට හදවත බඳු අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන් 142,019ක් වූ ජනතාවගෙන් 81%ක් ඉක්මවූ ජනකායක්, එනම් 116,000කට අධික ජනකායක් මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයාට උත්තමාචාර දක්වන්නේ මැතිවරණ වංචා කිහිපයක් වාර්තා වෙද්දීය. මෙය උතුරු මැද ඡන්ද ඉතිහාසයේ ඕනෑම පක්ෂයකින් වාර්තා වූ වැඩිම මනාප ප්‍රමාණය ලෙසද ඉතිහාසයට එක් වෙයි. මේ අනුව මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත්වූ අතර ඔහු රජරට ජනතාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව දේශපාලනයේ නිරතවීමට අධිෂ්ඨාන කරගත්තේය. ඒ සඳහා අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් වූ පී. හැරිසන් මහතාගේත් චන්ද්‍රානී බණ්ඩාර මැතිණියගේත් නොමඳ සහය හිමිවිණි.

සැබෑ දේශප්‍රේමියකුගේ නික්ම යෑම

උතුරු මැද පළාත් මැතිවරණය පුරාවට දක්නට ලැබුණේ මඩගොහොරුවකි. බර්ටි ප්‍රේමලාල් දිසානායක ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් ජානක පෙරේරාට නොගැසූ මඩක් නැත. ඔවුන් ඔහුව දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගැසුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. උතුරු මැද වේදිකාවේ මහා හඬක් නැගූ ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා වරෙක ප්‍රකාශ කර තිබුණේ සන්ධානයෙන් පළාත් සභාවට තරඟ කළ දෙපා අහිමි රණවිරුවකු වූ උපාලි මහතාට වඩා ජානක පෙරේරා මනාප ගත්තොත් ඇමැතිකමින් ඉල්ලා අස්වන බවයි. ජානක පෙරේරා මහතා උපාලි රණවරුවා ඇතුළු සෙසු සියළු අපේක්ෂකයින් පරයමින් උතුරු මැදින් වැඩිම මනාප දින්නේ ජානක පෙරේරා යුද්ධයට කරපු කජ්ජක් නැතැයි කියා ආණ්ඩුවේ වේදිකාවලත් රජයේ මාධ්‍යයේත් බෙරිහන් දෙද්දීය, ජනාධිපතිතුමා කිලිනොච්චිය පේන තෙක්මානයේ කියා පපුවට ගසා ගනිද්දීය. සැබැවින්ම රටට අද්විතීය අනභිභවණීය මෙහෙවරක් සිදු කළ ලක් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම රණශූරයාට මෙසේ අපහාස කිරීම කිසිඳු සැබෑ දේශප්‍රේමියකු අනුමත නොකරනු ඇත. එදා ජීවිත තර්ජන පෙන්වා සිය ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලද්දී ආණ්ඩුව කිව්වේ වැඩකට නැති හිටපු ජෙනරල් කෙනෙක්ට මොන ආරක්ෂාවක්ද කියලාය. බර්ටි ප්‍රේමලාල්ට දුසිම් ගණනින් ආරක්ෂකයින් සිටිද්දී රටට දිවිහිමියෙන් සේවය කළ ජානක පෙරේරාට ලබා දුන්නේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පමණි. වෙසෙසින්ම රටට ජීවිත පරදුවෙන් සේවය කළ, සන්ධාන නායකයින් දේශද්‍රෝහියකු යැයි හංවඩු ගැසූ ඒ අභීත යුගපුරුෂයා ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්තුවල පෙරමුණ ගනිද්දී ඔහුට මඩ ගැසූ ඊනියා දේශප්‍රේමීන් ගැන තුට්ටුවකටවත් ප්‍රභාකරන් මායිම් කළේ නැත, ජාතිවාදය වපුරමින්, ජානක පෙරේරා වැනි සෙන්පතියන් ද්‍රෝහීන් කරමින් ජනතාව අතර වෛරය වපුරමින් කොටින්ගේ අවශ්‍යතාවය ඉටුකළ එම ඊනියා දේශප්‍රේමීන්ගේ මයිල් ගහකටවත් හානියක් කිරීමට ප්‍රභාකරන්ට උවමනාවක් නොතිබිණි.

එදා ප්‍රේමදාස ආණ්ඩුව ලලිත් ඇතුලත්මුදලි ඝාතනයට පාර කැපුවා සේ, චන්ද්‍රිකා ආණ්ඩුව ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ආදී ඝාතනයන්ට පාර කැපුවා සේ, ජානක පෙරේරා ඝාතනයටත් සන්ධාන ආණ්ඩුව පාර කැපුවා යැයි සාධාරණ සැකයක් ජනතාවගේ සිත් සතන් තුල රැව් පිළිරැව් දෙයි.

එදා මේජර් ජෙනරල් ජානක පෙරේරා මුහුණදුන් තත්ත්වයට අද දේශයේ තවත් අභීත රණවිරුවකු වූ ජෙනරල් සරත් ෆොන්සේකාට මුහුණදීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගතවය. නමුත් රටට ආදරය කරන මිනිසුන් ලෙස එදා ජානක පෙරේරාටත් රටටත් අත්වූ අභාග්‍යසම්පන්න ඉරණම සරත් ෆොන්සේකාට අත් නොවනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.

ජානක පෙරේරා රටහැර ඕස්ට්‍රේලියාවට යන බවට ආණ්ඩුව විසින් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය මුසාවක් කරමින් දිගටම ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් අනුරාධපුරයෙන් එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරත වෙමින් ආණ්ඩුවේ වැරදි දේට විරුද්ධ වීමට තමන් ඉදිරිපත් වන බව ජානක පෙරේරා මැතිතුමා පවසා සිටියේය. ඒ අනුව මැතිවරණ අක්‍රමිකතා ගැන හඬ නගමින්, දොස්තර රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවස්නය ගිනි තැබීම ආදි විපක්ෂ මර්දනයට එරෙහි වෙමින් අනුරාධපුරයේ දේශපාලනයේ නියුක්ත වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා තම දේශපාලන කාර්යාලය මෙන්ම නිවස ලෙස අලුතෙන් නිවහනක් තෝරා ගත්තේය. එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවය වැටී තුබුණේ 2008 ඔක්තෝබර් 6වනදාටය.

ජානක පෙරේරාගේ දේහයට හමුදා ගෞරව පිරිණමමින්

ඊට දින කිහිපයකට පෙර පූර්ණ ආරක්ෂක සෝදිසියකට ලක් කර තිබුණු අනුරපුරයේදී උදෑසන 9 පහුවෙද්දී මහා ගිගුම් නාදයක් රැව් දුන්නේ ජානක පෙරේරා මැතිඳුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට මරු කැඳවමිනි. චින්තන ඥාණසේන, සුනිල් සේනානායක යන මන්ත්‍රීවරුන් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර ප්‍රබල එජාප ක්‍රියාකාරියකු මෙන්ම දක්ෂ වෛද්‍යවරයකුත් වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතා සහ එම මැතිණියත්, ජානක පෙරේරා මැතිඳුන්ගේ ආදර බිරිඳ වූ වජිරා පෙරේරා මැතිණියත් ඇතුළු විශාල පිරිසකට මරු කැඳවමිනි. පසුව කෙරුණු විමර්ශන වලදී හෙළිවූයේ බෝම්බකරු ආබාධිතයකු බවයි, පරීක්ෂණ කටයුතු තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

රටට අපරිමිත සේවයක් ඉටු කළ, තවත් ඉටු කළ හැකිව තුබූ ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයකු අප අතුරෙන් සමුගැනීම මුළුමහත් රටටම ඉමහත් පාඩුවකි. රටට ඉමහත් ලෙස ආදරය කළ මෙම අසහාය සෙන්පතිඳුන්ට සදාහරිත අපේ ප්‍රණාමය. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මැතිඳුනි, ඔබට නිවන් සැප.

සැබෑ ජාතික වීරයකු වන මේජර් ජනරාල් ජානක පෙරේරා නාමය අමරණීය වන්නේ ඔහුගේ නාමය ගස් ගල් වල කෙටි ඇති නිසා නොව මිනිස්සුන්ගේ හදවත් තුල කෙටුම්පත්ව ඇති නියාවෙනි…

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

H Niles Perera©, February 2010

වසර දෙකකට පෙර දැයෙන් සමුගත් මහේෂ්වරන්…

මීට වසර දෙකකට පෙර, එනම් 2008 ජනවාරි පළමුවැනිදා කොළඹ කොටහේනේ හින්දු කෝවිලක ආගමික වතාවත්වල නියැලෙමින් සිටියදී ත්‍රස්තයකුගේ වෙඩි පහරින් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා ජීවතක්ෂයට පත්විය. මේ ඔහු ගැන කෙරෙන්නා වූ සංක්ෂිප්ත සටහනකි.

1960 වර්ෂයේ යාපනයේදී කරෙයිනගර්වලදී මෙලොව එළිය දකින ත්‍යාගරාජා මහේෂ්වරන් තම පාසල් අධ්‍යාපනය හදාරනුයේ යාපනයේ  සුප්‍රකට පාසලක් වූ ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. පසුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඒ මහතා යාපනයේ දක්ෂ ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගනිමින් දියුණුවෙන් දියුණුවට පා තබයි. යාපනයේ සාම්ප්‍රදායික දමිළ දේශපාලනඥයන්ට අභියෝග කරමින් මහේෂ්වරන් සිය දේශපාලන ගමන සඳහා තෝරා ගනුයේ TULF, EPDP, TELO, PLOTE, ACTC වැනි ද්‍රවිඩ දේශපාලන පක්ෂයක් නොව රටේ සෑම තරාතිරමකම දිරිය, ස්වශක්තියෙන් නැගී සිටින පොදුජනතාවගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයයි. ඒ අනුව 2000 වසරේ පැවැති මහ මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට අවතීර්ණ වන මහේෂ්වරන් 2001දී නැවත වරක් යාපනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. එහිදී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජයේ හින්දු කටයුතු පිළිබඳ කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස හෙතෙම පත්විය. හින්දු ආගමික කටයුතු ඇමැතිවරයා ලෙස සිය ආගම නගා සිටුවීමටත් යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයටත් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ මහේෂ්වරන් ඇමැතිතුමා චතුර කථිකයකු ලෙස එක්සත් ජාතික පක්ෂ පණිවුඩය ජනතාව අතරට ගෙන ගියේය. මහේෂ්වරන් දමිළ මෙන්ම සිංහල සහ ඉංග්‍රීසි යන දෙබසින්ද චතුර කථිකයකු වූ නිසා ඔහු උතුරේ පණිවුඩය සිංහල ජනතාව කරා ගෙන යන්නටද සමත්කම් පෑයේය. එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස පක්ෂයටත් නායකත්වයටත් බෙහෙවින් ගරු කළද මහේෂ්වරන් නිතරම තම ඡන්දදායකයා වෙනුවෙන් පෙනී සිටියේය. ඒ අනුව පක්ෂයේ පොදු තීරණයට විරුද්ධ වෙමින් මහේෂ්වරන් ඇමැතිතුමා හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන්නේය.

2004 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ නොකරන ලෙස කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් මහේෂ්වරන්ට තර්ජනය කරන ලදි. මීට අමතරව ඩග්ලස් දේවානන්ද මහතාගේ සංවිධානයෙන්ද ඔහුට තර්ජන එල්ල විය. එහෙත් පක්ෂයත් සිය ඡන්දදායකයාත් පාවා දීමට නොකැමැති වූ මහේෂ්වරන් කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් තරඟ බිමට පිවිසියේය. එහිදී තාඩන පීඩන රැසකට මුහුණ දුන් මහේෂවරන් ඉලක්ක කරගෙන කොළඹදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ එම මැතිවරණයේ සිය අවසාන ප්‍රචාරණ රැලිවලට සහභාගී වෙමින් සිටියදීය. ඔහුගේ හිස පසා කරගෙන ගිය එම උණ්ඩයට මොළය මග හැරුණේ හාස්කමකිනි. 2004 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු වරම් හිමි කරගත් මහේෂ්වරන් දිගින් දිගටම සිය ඡන්දදායකයා වෙනුවෙන් පෙනී සිටියේ ඇතැමුන්ගේ මඩ ප්‍රහාර, තර්ජන, ගර්ජන හමුවේය. ඇතැමුන් මහේෂ්වරන්ට කොටි ලේබල් පවා ඇලවූයේ ඔහුට එල්ටීටීඊය ඇතුළු දමිළ සන්නද්ධ පිරිස් වලින් තුබූ තර්ජනය ගැන හාංකවිසයක්වත් නොදන්නා තාලෙටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සැම හා සුහදව කටයුතු කළ මහේෂ්වරන් මහතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද කුළුපඟ මිත්‍රයකු වූ අතර ඔහු ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ අන්‍යාගමීකරණයට විරෝධී පනත ජයග්‍රහණය කරවීමට ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලා සමඟ ඉතා කැපවී ක්‍රියා කළේය.

එහෙත් උතුරේ සාමාන්‍ය ජනතාවට සන්නද්ධ පිරිස්වලින් එල්ල වන තර්ජන හමුවේ නොසැලී එම ජනතාව වෙනුවෙන් පෙනී සිටි මහේෂ්වරන්ට කොටි සංවිධානයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ උතුරුකරයේ ප්‍රබල පාර්ශවකරුවකුගේද අප්‍රසාදය යොමු වූ අතර හේ ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළට ආයේය. මේ අතරතුරදී ශක්ති නාලිකාවේ ජේ. ශ්‍රී රංගා සමඟ තමා සහභාගී වූ අවසාන රූපවාහිණී විකාශයේදී යාපන අර්ධද්වීපයේ ද්‍රවිඩ ජනතාවට එරෙහිව කටයුතු මෙහෙයවන නීති විරෝධී සන්නද්ධ/ත්‍රස්ත කණ්ඩායම් ගැන සාකච්ඡා කළ මහේෂ්වරන් ඒ පිළිබඳ තොරතුරු ලොවට හෙළි කරන බවට ඉඟි පල කළේය. මෙම රූපවාහිණී සංවාදය මහේෂවරන් මහතාට අත්වූ ඉරණමේ ආසන්නතම හේතුව යැයිද තර්කයක් ගොඩ නැගී ඇත. ඒ අනුව කිසියම් හේතුවක් මත අධිකරණ නියෝගවලට පවා එරෙහි වෙමින් මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව කප්පාදු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේ උදාවත් සමඟ කොටහේනේ හින්දු කෝවිලක ශිව දෙවියන් යැදීමට ගිය මහේෂ්වරන් මන්ත්‍රීවරයා දේවාලයේදී වෙඩි තබා ඝාතනය කරන ලදි. එහිදී එතුමාට බරපතල තුවාල සිදු වූ අතර ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට වෛද්‍යවරුන් ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබූ අතර ඔහු ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයාගේ ආරක්ෂකයකු බව පසුව අනාවරණය විය. එහෙත් රජය මෙය කොටි සංවිධානය කළ ඝාතනයකැයි කරුණු දැක්වීය, කොටි වේවා ඊපීඩීපී වේවා මෙම කුරිරු ඝාතනය රටට මහත් පාඩුවක් ගෙන දුන්නේය.

ඒ කෙසේ වෙතත් රටේ සියලු ජනවර්ග අතර සමගිය ගොඩ නැගීමට ප්‍රයත්න දැරූ මනුස්සකම හැඳිනූ, එකම ශ්‍රී ලංකාවක් තුල සාමකාමී සහජීවනය අපේක්ෂා කළ කෘතහස්ත දේශපාලනඥයකු එසේ 2008 ජනවාරි 1දාවක කුරිරු වෙඩික්කරුවකුගේ උණ්ඩයෙන් දෙවියන් හමුවට යැවිණ. මහේෂ්වරන් වන් දමිළ නායකයන් අප රටට සහ එහි සාමූහික ඉදිරි ගමනට ඇවැසි යැයි අපේ හැඟීමයි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු