උපහාරය…

මීට වසරකට ඉහත සිදූවීම් මට හොඳින් මතකය. එදා සඳුදාවකි. උදෑසන සවන් වැකුණු පුවත අප සැමටම මහත් ප්‍රීතියක් දනවන්නක් විය. යුද්ධය හමාර වී ඇති බැව් ඒ පුවතයි. එම පුවත් එනවිට මා මගේ මිතුරන් හා සරසවියේ සිටි අතර සතර අතින් රතිඤ්ඤා හඬ ගිගුම් දෙන්නට විය. දේශන සියල්ල නැවැත්වුණු අතර “ගොඩ” කැන්ටිමට ගිය හැමෝටම කිරිබත් හා ලුණුමිරිස් සංග්‍රහ කරන්නට විය. සතුටින් ඉපිල ගිය අප රූපවාහිණියේ රූප රාමු මහත් ඕනෑකමින් නැරඹුවෙමු. දහවල් වෙද්දී ප්‍රභාකරන්ගේ මෘතශරීරය රූපවාහිණියේ පෙන්වන්නට විය. හතුරකුගේ මිනිය දෙස බලා වුවද සතුටු වීම නුසුදුසු වුවත් ප්‍රභාකරන්ගේ නිසල දේහය දැකීමෙන් අපි සැනසීමට පත්වූයේමු. අදට ඒ දිනයට වසරක් සපිරේ. මේ ලියමන ඒ නිමිත්තෙනි.

මේ සතිය රණවිරු උපහාර සතිය නමින් රජය විසින් නම් කරනු ලැබ තිබේ. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානය කර වසරක් සපිරීම සැබැවින්ම පක්ෂ පාට, ජාති, ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලාංකික අප සැමටම මහත් සන්තෝෂයට කාරණාවකි. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වන අප එහි කෘතවේදීත්වය අපේ රණවිරුවන්ට හදබැතින් පිරිනැමිය යුතුය. එය සතියකට පමණක් සීමා විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ කෙසේ වෙතත් ජාතික වීර දිනය එළැඹෙන, සංග්‍රාමික විජයග්‍රහණයේ වර්ෂපූර්ණය සැමරෙන රණවිරු සතියේදී ඉහත කී විජයග්‍රහණයේ ප්‍රමුඛයා සිරගතව සිටීම සැබැවින්ම කණගාටුවට කරුණකි.

රණවිරු උපහාර සතිය වන මෙම සතියේදී සැබැවින්ම උපහාර ලබන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි. උපහාර උළෙලේදී සිදුවන්නේ ජනතාව රණවිරුවන්ට උපහාර දක්වනවාට වඩා රණවිරුවන් පෙළපාලියේ ගොස් දේශපාලනඥයින්ට “සැලූට්” ගසා උපහාර දැක්වීම නොවන්නේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. එය එසේ කීමෙන් දේශපාලන නායකත්වය යුද ජයග්‍රහණයට දැක්වූ දායකත්වය අවතක්සේරු කිරීමක් අදහස් නොකරමි. එහෙත් සැබැවින්ම තම දිවි පරදුවට තබා යුද කළ සෙබළුන්ට උපහාර කිරීම මීට වඩා ප්‍රායෝගිකව සිදු විය යුතුය. ඔවුන්ගේ වේතනයන් හා ඔවුන්ගේ ප්‍රතිලාභයන් සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන අයුරින් ශක්තිමත් කර යුතුව ඇත. ඉපලෝගම වන් අසාර්ථක නිවාස ව්‍යාපෘතියකට වඩා ප්‍රායෝගික ලෙස ඔවුන්ගේ නිවාස, ඉඩකඩම් සහ වෙනත් ප්‍රශ්න විසඳිය යුතුව ඇත. රට වෙනුවෙන් දිවිපිදූ රණැවිරුවන්ගේ මාපියන්ට, දරුදැරියන්ට, බිරින්දෑවරුන්ට හිමිවන මරණ පාරිතෝෂිකය ආදීන් ඉහළ දැමිය යුතුය. එවන් පවුල්වල අනාගත සුබසිද්ධිය සැලසිය යුතුය.

ජෙනරල් ෆොන්සේකා

කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව යුද ජයග්‍රහණය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ විජයග්‍රහණයේ වර්ෂපූර්ණය නිමිත්තෙන් නිදහස් කර ඔහුට ලබාදිය යුතු කෘතවේදීත්වය ලබාදෙනු ඇතැයි අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරමු. මක්නිසාදයත් යුද්ධයේ නියමුවා සිරගතව සිටියදී යුද ජය සැමරීම ලැජ්ජාවට කාරණාවක් නිසා. මාධ්‍ය දිනය නිමිත්තෙන් තිස්සනායගම් මහතා නිදහස් කළා සේ රණවිරු සතිය නිමිත්තෙන් සරත් ෆොන්සේකා සෙන්පතිඳුන් නිදහස් කරන ලෙස අපි ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු, එය මහින්ද රාජපක්ෂ මහතාටත්, රජයටත් රණවිරුවන්ට කළ හැකි උතුම්ම උපහාරයයි…!!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ

සන්ධානයේ ආර්ථික කෙරුවාව සහ තිත්ත ඇත්ත

Click here to get Sinhala Unicode.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පොරොන්දු දුන්නේ තමුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඔවුන් මෙසිරිලක ආසියාවේ ආශ්චර්ය බවට පරිවර්තනය කර අපේ ජනතාවට සුබ අනාගතයක් සලසන බවයි. එම ප්‍රතිඥාව ඉතා ආකර්ෂණීය එකක් වන නමුත් මෙය යථාර්ථයක් වනු ඇතිද යන්න අප කවුරුත් මහත් ඕනෑකමින් බලා සිටිමු.

පසුගිය වසරේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ පැවැති රණවිරු උපහාර රැලිය අමතමින් ජනාධිපතිතුමාද පවසා සිටියේ දැන් යුද්ධයට මුවාවී රටේ සංවර්ධන ක්‍රියාවලියෙන් සහ ආර්ථික ප්‍රගමණයෙන් බැහැර වීමට ආණ්ඩුවට අවකාශයක් නොමැති බවයි. මෙතෙක් කල් යුද්ධය පෙරැටු කැර ගනිමින් ආර්ථිකය කාබාසිනියා කළ සන්ධාන ආණ්ඩුවට මෙය ලේසි පහසු කාර්යයක් නොවනු ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආර්ථික භාවිතයේ පෙන්වා ඇති දුර්වලතාවය ආණ්ඩුව හමුවේ ඇති අභියෝගයේ තරම මැනැවින් විදහා දක්වයි. යුද්ධය නිමාවී එළැඹෙන සතියේදී වසරක් ගෙවී යනමුත් සුවිසාල ආර්ථික පරිවර්තනයක් අපේක්ෂිත පරිදි දැකගන්නට ලැබී නැත. මෙම ලිපියෙන් ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ සහ එහි අඩුපාඩු විශ්ලේෂණය කිරීමට අදහස් කරමි.

පසුගිය වසරේ රජයේ ආදායම රුපියල් කෝටි 72,000ක් වෙද්දී, ණය වාරික සහ පොලිය සඳහා පමණක් රජයට රුපියල් කෝටි 82,000ක් වැය කරන්නට සිදුවිය. ඒ අනුව අපේ රටේ ණය වියදම් පියවීමට තරම්වත් ආදායමක් රජය සතුව නැත. ඉන් ඔබ්බට යමින් රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, ප්‍රවාහනය ආදී කටයුතු සහ සේවක වැටුප් ගෙවීම් ආදී මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා රට තුල මුදල් ඉපැයෙන්නේ නැත. මේ සියල්ල සාක්ෂාත්කරගැන්මට පිටරට බැංකුවලින් ඉහළ පොලියට ණය පිට ණය ගැනීමට රජය පෙළඹ තිබෙන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙළට ආධාර දෙන සංවිධාන හෝ රටවල් ආධාර දීමට එතරම් කැමැත්තක් නොදක්වන නිසාය.

අනෙක් අතට රාජ්‍ය ආයතන බොහෝමයක් දුවනුයේ පාඩු පිටය. ඒවායේ මෙහෙයුම් අලාභයන් ඉතාමත්ම අධික වන අතර මේ අලාභයන් අවසානයේදී දරන්නට සිදුවන්නේ රටේ මහජනතාව වන අපටමය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු හෝ සමාජවාදියකු ලාභයට වඩා සේවය උතුම් යන තර්කය ඉදිරිපත් කරනු ඇත. එහි යම්කිසි ඇත්තක් තිබුණද එම රාජ්‍ය ආයතන මතුවටත් ජනතාවට සේවය කිරීමට නම් ඒවා මහා භාණ්ඩාගාරයටත් ජනතාවටත් බරක් නොවී ලාභ ඉපැයිය යුතුය. නැතිනම් අවසානයේදී මේ බර දැරීමට සිදුවන්නේ බදු ගෙවන්නන් වන අපටමය. 2009දී විට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 7.4ක් පාඩු ලභා ඇත. ලංකා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් 12.3ක අලාභයක් පසුගිය වසරේදී වාර්තා කරගත්තේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට නොදෙවෙනි රුපියල් බිලියන 12.2ක අලාභයක් 2009 වසරේදී වාර්තා කරගෙන තිබේ. එමිරේට්ස් සමාගමේ පාලනාධිකාරිය යටතේ පැවැති යුගයේ මධ්‍ය ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගමට හිමි ගෞරවය පිට පිට දිනාගත් එම ගුවන් සේවය අද මේ තරම් දුර්ධාන්ත තත්ත්වයකට පත්වූයේ කාගේ වරදින්ද යන වග සැබෑ ප්‍රශ්නයකි. තත්ත්වය එසේ තිබියදීත් එමිරේට්ස් සමාගම සතුව ඇති 43%ක කොටස් යළිත් මිලයට ගැනීම අපේ රට මතත් භාණ්ඩාගාරය මතත් අනවශ්‍ය බර පැටවීමක් නොවන්නේද? මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඔවුන්ට රජයෙන් පිරිනැමෙන සහනාධාර ඇතුළුව රුපියල් බිලියන 9.3ක අලාභයක් වාර්තා කරගෙන තිබෙන අතර රේල්ලුව රුපියල් බිලියන 4.8ක් පාඩු ලබා ඇත. මේ ප්‍රවාහන ආයතන දෙක ජනතාවට ඉතාමත් අස්වැසිල්ලක් වුවත් ඒවා තුල සිදුවන අක්‍රමිකතා සහ අයහපත් කළමණාකරණය මෙම සේවාවන්හී පරිහානියට හේතුවී තිබේ. සමස්ථයක් වශයෙන් ශ්‍රීලංගම සහ රේල්ලුව යන දෙකෙහිම සේවා තත්ත්වය පහළ බැස තිබෙන බව ඕනෑම මගියකු එක හඬින් පවසනු නොඅනුමානය. වෙනස් වන ලෝකය සමඟ වෙනස් වීමට අපොහොසත් වූ තැපැල් සේවය 2009දී රුපියල් බිලියන 2.4ක් පාඩු ලබා ඇති අතර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප්‍රධාන විධායක නිලධාරීව සිටි මිහින් ලංකා ගුවන් සමාගම මෙම වසරේ රුපියල් මිලියන 930ක් පාඩු ලබා තිබේ. මේ ආයතන සමූහය නිසා පමණක් ආණ්ඩුවට රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් පාඩු වී ඇති අතර මෙම තත්ත්වය ඉතා කණගාටුදායක වාතාවරණයකි.

මේ අතර පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ලබාගැනීමේදී රජය එකඟ වූ එක පොරොන්දුවක් නම් අයවැය හිඟය පසුගිය වසරේ 7% සීමාව තුලත් මේ වසරේ 5%ක අගයකත් පවත්වා ගන්නා බවයි. නමුත් දැනට නිකුතු වී ඇති වාර්තා අනුව පසුගිය වසරේ අයවැය හිඟය 11%ක් පමණ වන බවත් මේ වසරේදී එය 15.75% (2009 වසරට සාපේක්ෂව) දක්වා වැඩි වනු ඇති බවත්ය. මෙය ඉතාමත්ම ගැටළු සහගත තත්ත්වයකි. අනෙක් අතට රටේ වෙළඳ ශේෂයද ඉතා විශාල අගයකින් ඉහළ ගොස් ඇත. GSP+ සහනය අහිමි වීමත් සමඟ ඇඟලුම් අපනයන ප්‍රමාණය 18%කින් පහළ බැසීම ඊට එක් හේතුවක් වුවත් ආණ්ඩුව කියන්නෙ GSP+ තිබුණත් එකයි නැතත් එකයි කියලාය, එසේ පුරාජේරු දොඩවමින් ලොකු ලොක්කන් බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට යවති. 2010 පෙබරවාරි වන විට වෙළඳ ශේෂය ඇමරිකානු ඩොලර් මිලියන 344ක් විය. අප රටට ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. “අපි වවමු – රට නගමු” කියා රජය පුරාජේරු දෙඩුවද සාටකයේ පැහැය එන කුරුක්කන් ඇටයේ සිට සහල් ඇටය දක්වා පිටරටින් නිර්ලජ්ජිත ලෙස ආනයන කරන්නට රජය ක්‍රියා කරයි. ඇඹිලිපිටියේ කෙසෙල් ගොවියා, බිබිල දොඩම් ගොවියා අනේකවිධ දුක් කම්කටොළු විඳිද්දී පිටරටින් ගෙනෙන කෙසෙල්, නාරං මහමග අඩු මිලට අලෙවි වේ. ඉතින් එහෙව් වටපිටාවක කෘෂි ආර්ථික ගැන පම්පෝරි ගැසීමම විහිළුවකි. එක්සත් ජාතික පක්ෂය අවසන් වරට ආණ්ඩු කළ සමයේ රට සහලින් ස්වයංපෝෂිත වූ බව කවුරුත් දනිති, ඒ රටින් යම් කොටසක් කොටින්ගේ අණසකට යටත්ව තිබියදීය, නමුත් අද සමස්ථ රටම ආණ්ඩුවේ අණසක යටතේ පැවතියද අපට සහල් පරිභෝජනය සඳහා මියැන්මාරය වැනි රටවල් මත යැපීමට සිදුවීම කෙතරම් සෝචනීයද? ආණ්ඩුව කියන්නේ එකකි, කරන්නේ හාත්පස වෙනත් දෙයකි, දේශීය කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවා ගොඩ නගනවා යැයි මැත දොඩවන ආණ්ඩුවට රටේ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය නිසි පරිදි නිපද්දවා අනවශ්‍ය ආනයන සීමා කිරීමට නොහැකි වීම ලැජ්ජාවට කරුණකි. මේ අතර ඉන්දියාවට හිතකර වන අයුරුන් CEPA නමින් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමටද ආණ්ඩුව තුල තැතක් පවතී. ජාත්‍යන්තර වෙළඳාම හොඳ දෙයක් වුවත් එහි නියමිත නියාමනය නොමැති වීම උගහටය. මෙහෙව් තත්ත්වයක් තුල අපේ ව්‍යාපාරික ප්‍රජාවට අවිනිශ්චිතතාවයේ වියගහ උරුම වීම පුදුමයක් නොවේ.

කැබිනට් සංශෝධනය ගැන දාස හපුවලානගේ කාටූනය

යුද්ධය නැතිවීමත් සමඟ රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිවන බව නොඅනුමානය. ඒ අනුව සැලකිය මනා සංවර්ධනයක් සිදුවනු ඇතත් වර්තමාන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හරහා මීට වඩා තීව්‍ර සංවර්ධනයක් කරා පා තැබීමට අපට හැකියාව හිමිවනු ඇත. මහ බැංකුව මේ වසරට 6.5%ක වර්ධනයක් අපේක්ෂා කරන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අගය 5.5%ක් වනු ඇති බවත් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීම නිසා රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවනු ඇති බවත් පුරෝකථනය කර ඇත. කවුරුන් හරිද, කවුරුන් වැරදිද යන්න අපි නුදුරේදීම දැන ගනු ඇත.

මේ අතර පසුගිය මස සිදුවූ කැබිනට් ඔලුගෙඩි මාරුවෙන් ඉක්බිතිව එක් එක් ඇමැතිවරයා කියන්නේ තමුන්ගේ අමාත්‍යාංශය කලියෙන් දූෂිත බව හෝ යම් දොසක් ඇති බවයි. එසේ කියා ඔවුන් අලුත් දෑ කරන්නට ප්‍රතිඥා දෙති. වසර ගණනක් ඇමැති පදවි දැරූ අයවලුන්ගෙන් ක්ෂණිකව ආසියාවේ ආශ්චර්ය බලාපොරොත්තු විය හැකිද??

අද අපේ රටේ සමහරුන් පාලම්, බෝක්කු, කොන්ක්‍රීට් පාරවල්, ගුවන් පාලම්, අධිවේගී පාරවල්, වරායවල් පෙන්වා මෙන්න සංවර්ධනය කියා සතුටු වෙමින් ජනාධිපතිතුමාටත් රජයටත් සහය පල කරති, ආවඩති. ඔවුන්ගේ අවධානය දකුණු ඇමරිකානු රටවල් වෙත යොමු කරන්නේ නම් මැනවි. බ්‍රසීලය, ආජන්ටීනාව වැනි රටවල අතිවිශිෂ්ට ප්‍රවාහන පද්ධතියක් සහ යටිතල පහසුකම් පැවතියද ඒ රටවල් දියුණු නැත. ලොව පුළුල්තම පාරවල් ඇති ආජන්ටීනාව ආර්ථික වශයෙන් මීට වසර කිහිපයකට පෙර බිංදුවටම වැටුණි, බ්‍රසීලයේද පහසුකම් ඉහළ තත්ත්වයක් තිබුණද එහි වෙසෙන දුප්පත් ජනගහනය ඉතා ඉහළය. අපේ ශ්‍රී ලාංකික ඡන්දදායකයින් මේ කිසිවක් දන්නේ නැත, ඔවුන්ට මේවා උවමනාද නැත, ඔවුන් දේශපාලනික වශයෙන් පහසුවෙන්ම මුලා කර හැකිය, ගමේ පාරක් හැදූ පමණින් අපේක්ෂකයෝ පාර්ලිමේන්තු යවන මෙහෙව් රටේ, ඇඟට දනෙන්නට කතා කළ පමණින් මනාප දෙන මෙහෙව් රටේ සැබෑ සංවර්ධනය උදා කරගන්නට නම් ඡන්දදායකයින් සියල්ලෝම රාමුවෙන් පිට පැන බුද්ධිමත්ව රට ලෝකය දෙස බැලීම මැනවි. සංවර්ධනය යනු යටිතල පහසුකම්වල සංවර්ධනය පමණක්ම නොවන වග අප තේරුම් ගත යුතුය.

ඉඳින් මේ රට ආර්ථිකමය වශයෙන් ගමන් ගන්නා මග නිවැරදිද නැද්ද යන්න ගැටළු සහගතය. නිවැරදි නම් අප කාටත් සතුටු වන්නට පුළුවන නමුත් වැරැදි නම් කරන්නට දෙයක් නැත, මක්නිසාදයත් එය බහුතරයේ කැමැත්තත්, සැමගේ කරුමයක් වන හෙයිනි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 වෙසඟ

පොදුජන විශ්වාසය දිනූ ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
=============================================================
අපට අපේ රටේ ඉතිහාසය බොහෝ දුරට දැනගන්නට ලැබෙන්නේ වංශ කතාවලිනි. අපේ ඉතිහාසය ගැන කියවන විට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, අපේ රට සමෘද්ධියට පත්වූ සෑම අවධියකම, ඒ යුගවල රට පාලනය කළ පාලකයන් හා ජනතාව අතර තිබූ අන්‍යෝන්‍ය විශ්වාසයයි. ඒ විශ්වාසය මවුබිමේ සමෘද්ධියට පදනම වූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.

කොළඹ අලුත්කඩේ සාන්ත බස්තියමෙන් ජනාධිපති පුටුවට ගිය ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ දේශපාලන ගමනත්, විශ්වාසය පිළිබඳ කතාන්දරයක් ලෙස මම දකිමි.

නිදහසේ උදාවෙන් පසු ජනාධිපතිවීම දක්වා, මේ රටේ පළමු පුරවැසි තනතුරට පත්වූ සියලු දෙනාම පැමිණි පසුබිමට වඩා වෙනත් පසුබිමකින් ප්‍රේමදාස මැතිඳුන් ඒ ස්ථානයට ආවේය. ඒ සඳහා ශිෂ්‍ය අවධියේ පටන් ළමා සමාජ, අමද්‍යප සංගම්, සුචරිත ව්‍යාපාරය ආදී විවිධ ක්ෂේත්‍ර තුළ තම හැසිරීම තුළින් ජනතා විශ්වාසය ගොඩනගා ගන්නට ඔහු සමත්විය.

ඔහු මේ විශ්වාසය ගොඩනගා ගත්තේ හුදු වචනවලින්ම නොවේ ක්‍රියාවෙන්, හැසිරීමෙන්, දේශපාලනඥයකු වූ ඔහු, එදා සිටි සමකාලීන දේශපාලනඥයින්ට වඩා ඉදිරියෙන් යමක් කරන්නට උත්සාහ කළේය. ජනතාව ශක්තිමත් කරන්නට අවශ්‍ය දෑ යුහුසුළුව කර දෙන්නට ඔහු ක්‍රියාශීලී විය.

“හඬක් නගන්නට බැරි මිනිසුන්ගේ හඬ බවට” විශ්වාසය ගොඩනගා ගන්නට ඔහුට පුළුවන් විය.

“යටකළ මහ වගුරු බිමකි
එහි නැග එන නව නුවරකි”

මාළිගාවත්ත නව උදාව, ඔහු පිළිබඳ විශ්වාසය තවත් තහවුරු කරන්නක් විය.

“පූට්ටු ගෙවල් – පූට්ටු පාලම්” ඔහුගේ නිර්මාණශීලී ක්‍රියාකාරීත්වය පිළිබඳව, රටටම විශ්වාසය දනවන පණිවිඩයක් ලබා දුන්නේය.

නිවාස ඇමතිකම කරන විට මුදල් මදිවීම, ඔහු වැඩ කල් දැමීමට හේතුවක් කර ගත්තේ නැත. රු.7,500යෙන් නිවාස ලක්ෂය හදන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කළේය. දේශපාලනඥයෝ, නිලධාරීහූ ආරම්භයේදී මේ ගැන පුදුම වූහ. ඒත් ඔහු වැඩට බැස්සේය.

ජනතාවගේ සැඟවුණු ශක්තිය මේ වැඩපිළිවෙළ තුළින් ඔහු එළියට ගත්තේය. මිනිසුන්ගේ ආත්ම විශ්වාසය ඔහු මතුකර ගත්තේය. ගෙවල් හැදුවේ මිනිස්සුය. ආණ්ඩුව කළේ ඔවුන් දිරිගැන්වීමය. අත්තිවාරම දමා ඉවර වූ විට රු. 2,500ක් දුන්නේය. බිත්ති ඉස්සුවාම තවත් රු. 2,500ක් දුන්නේය. වහල දැමීමට ඉතුරු රු. 2,500ක් ලබාදුනි. නිවාස අධිකාරියේ නිලධාරීහූ අවශ්‍ය මග පෙන්වීමත්, උනන්දු කිරීමත් කළහ. බොහෝ දුරට ගමේ අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගත්තේය. මේ දිරි ගැන්වීම් නිසා, රට පුරා ලෑලි ගෙවල්, පොල් අතු ගෙවල් වෙනස් වෙන්නට පටන් ගත්තේය.

ජනතාවගේ සැඟවුණු ශක්තිය එළියට ගන්නට විශ්වාසය දනවන අයුරින් කවියකු වූ ප්‍රේමදාස මැතිඳුන් ලිවූ කවියක් මගේ මතකයට එයි.
“දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි      පුතේ
සීගිරි ගලේ කව් ලිව්වේ නුඹයි           පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි   පුතේ
පැදුරේ මෙදා නිදියන්නෙත් නුඹයි    පුතේ”

ඊළඟට නිවාස දසලක්ෂයේ වැඩපිළිවෙළ ඔහු ප්‍රකාශයට පත් කළාම, ජනතාව එය විශ්වාස කළහ. මේ වැඩපිළිවෙළ ගැන මුලින් සැක කළ නිලධාරීන් පවා, පසුව විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ දායකත්වය දෙන්නට පටන් ගත්තේය. රටපුරාම දේශපාලනඥයන්, නිලධාරීන් සහ ජනතාව තම තමන්ගේ ප්‍රදේශවල  ආදර්ශ ගම්මාන, උදාකළ ගම්මාන, නාගරික පුරවර හදන්නට තරඟෙට ඉදිරිපත් වෙන්නට පටන් ගත්හ.

ඔහුගේ ආදර්ශ ගම්මානයන්, උදාකළ ගම්මානයන් විවෘත කරන විට එය හුදු නිවාස වැඩපිළිවෙළක් පමණක්ම වූයේ නැත. මාර්ග, ගෙවතු, විදුලිය, පානීය ජලය, ආගමික මධ්‍යස්ථාන ආදී වශයෙන් හැම අතකින්ම ජනතාව ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් ඒ සමඟ ක්‍රියාත්මක විය.

ගම ඉලක්ක කරගත් වැඩපිළිවෙළකට පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ඉලක්ක කරගෙන “ප්‍රාදේශීය ගම් උදාව” වැඩසටහන ඔහු පටන් ගත්තේය. ඒ සමගින් දස සති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. මාර්ග සතිය, කෘෂිකර්ම සතිය, අධ්‍යාපන සතිය, ක්‍රීඩා සතිය, සෞඛ්‍ය සතිය, නිවාස සතිය ආදී වශයෙනි.

“දිළිඳුකම පිටුදැකීම” අපේ දේශපාලන ශබ්ද කෝෂයට හඳුන්වා දුන්නේ ප්‍රේමදාස මතිතුමාය.

එතුමන්ගේ ජනසවිය වැඩපිළිවෙළත්, විශ්වාසය පදනම් කරගත් වැඩපිළිවෙළක් විය. අවුරුදු දෙකක කාලයකට රු. 2,500 බැගින් මාස්පතා ලබාදීම සහ අවුරුදු දෙකකින් පසු ඔවුන් රැකියා මාර්ගවලට යොමු කිරීම එහි ඉලක්කය විය. සුභසාධක මානසිකත්වයෙන් ඉවත්කර, තම ශක්තියෙන් ගොඩ ඒමට විශ්වාසය ලබාදීම එහි අරමුණ විය. ජනසවිය වැඩපිළිවෙළට පක්ෂභේද හෝ නිල්ධාරීවාදය තිබුණේ නැත. ඔවුන් තෝරා ගැනීම්, ක්‍රියාත්මක කිරීම්, සියල්ල සිදු කෙරුණේ ප්‍රජාවගේ මැදිහත්වීමෙන් සහ විනිවිද පෙනෙන අයුරිනි. මේ සියලු ක්‍රියාදාමයකට පසුබිම් වූ ප්‍රේමාදාසයන්ගේ දැක්ම අවබෝධ කරගත හැකි කවියක් ඔහුගේ “රස කවි සිතුවිලි” කවි පොතින් උපුටා දක්වනු කැමැත්තෙමි.
“මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව    මත
වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ               නැත
එම වස්තුවම රැකගන්නට යෙදවු                සිත
රන් මිණි මුතුද ඔවුනගෙ දහදියෙහි            ඇත”

“විශ්වාසා පරමා ඥාතී” බුදු වදනට අනුව යමින් එතුමාගේ සෑම ගම්උදා උත්සවයකදීම අනිවාර්ය ගීතය වූයේ විශ්වාසයේ ගීතයයි.
“මට ඔබ විශ්වාසයි
ඔබ මට විශ්වාසයි”

ගීතයකට වඩා ඔබ්බට ගිය දර්ශනයක් ඒ තුළින් ජනතාවට ඉදිරිපත් කෙරුණා. ඔහු ජනතා විඤ්ඤානය හොඳින් තේරුම් ගත් නායකයෙකු විය.

සාර්ථක නායකයකු ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු වේ. තමන් බලය දරන්නට සුදුසු බවටත්, තමන් දෙන තීරණ ගැනත්, තමන්ගේ හැසිරීම ගැනත්, තමන් තුළ ඇති නායකත්ව ගුණාංග ගැනත්, ජනතාව තුළ විශ්වාසය ඇති කරගත් නොහැකි නම්, වෙන කුමන සුදුසුකම් තිබුණද ඉන් පලක් නැත.

ඒ විශ්වාසය ශක්තිමත්ව ගොඩනගා ගත් නිසාම සාම්ප්‍රදායිකව රටේ නායකත්වය සඳහා තිබූ පංති සීමාවන් සහ කුල සීමාවන්, ඉතිහාසයේ ප්‍රථම වරට ජයගැන්මට ප්‍රේමදාස මැතිතුමන් සමත් විය. එතුමන් ශ්‍රී ලංකාවේ ජනපති ලෙස තේරී පත්වීම සැබවින්ම අපේ දේශපාලන ඉතිහාසයේ මහා විප්ලවයක් ලෙසින්ම හැඳින්වීම නිවැරදිය.

මේ ගමනේදී මතුවූ නින්දා, අපහාස, අවලාද කොතෙකුත් ඔහු විඳ දරා ගත්තේය. සතුරු බලවේග, මිත්‍ර බලවේග බවට පත්කර ගන්නට ඔහු පොහොසත් විය. දුර දැක්මෙන් හා කල්පනාකාරීව ඔහු පැමිණි ගමන, තමන්ගෙන් පසු එම ස්ථානයට පැමිණීමට අප සමාජයේ පුංචි මිනිසුනට දොර විවෘත කරදුන් ගමනක්ම විය.

1988දී ඔහුගේ ජනපති සටනේ ප්‍රධාන රැස්වීම් මාලාව ඇරඹුනේ මහනුවරිනි. එම මංගල රැස්වීමේ පටන්, සියලු ප්‍රධාන රැස්වීම්වල කතා පැවැත්වීම, එතුමා මට පවරා තිබුණි. එවකට දේශපාලනයේ කණිෂ්ඨයකු වූ මට, මේ අවස්ථාව ලබාදීම අනපේක්ෂිත වූවකි.

එම රැස්වීම් මාලාවේදී, මම එදා වසර 25කට පෙර (1963දී) ලින්කන් සිහිවටනය ඉදිරිපිට, මාටින් ලූතර් කිං පැවැත්වූ “I have a dream” හෙවත් “මට සිහිනයක් ඇත” කතාව සිහිපත් කළෙමි. ප්‍රේමදාස මැතිඳුන්ගේ ජනපති සටනට, අප අද දායක වන්නේ එවන් සිහිනයක් අපේ සිත්වල දරාගෙන බව මම එදා පැවසුවෙමි.

සැබැවින්ම ඔහුගේ ජනපති පදවි ප්‍රාපතිය සමඟ ඇරඹුණේ ඒ සිහින සැබෑවන ගමනකි.

සෑම දිනකම හිමිදිරියේ සුචරිතයේදී රටේ ඕනෑම පුරවැසියකුට ඔහු හමුවිය හැකිවිය. සෑම සති අන්තයකම රට පුරා යාමේදී, ජනහමුවලදී, ජනතාව තම දුක් ගැනවිලි ගැන සිය ගණනින් ලිපි ඔහුට බාර දෙති. ඒ ලොකු විශ්වාසයකිනි. පිළිතුරු සති දෙකක් ඇතුළත ලැබෙන බව ඔවුහූ විශ්වාසයෙන් දනිති. පුවත්පතක, කෙනෙකුගේ දුකක්, වේදනාවක් ඇස ගැටුනොත්, එතැනට නිලධාරීන් යැවිණ. විසඳුම් ලැබිණ. ඔහුගේ දේශපාලනය හෘදයාංගම වූ එකකි. ඔහුට එහිලා අරමුණක් තිබිණ. අධිෂ්ඨානයක් තිබිණ. පහත දැක්වෙන්නේ එය කවියෙන් එළි දැක්වුන අවස්ථාවකි.
“වැලි ඇටයයි පුතේ මහ කතරේ      බලය
දිය බිඳුවයි දුවේ සාගරයේ                බලය
මව්බිම දෙව් බිමක් කරගත හැකි     බලය
පොදුජන සැපත හැදුමයි අප සතු     බලය”

එතුමන්ගේ ජාත්‍යන්තර සබඳතාද, ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගැනිණ. අටවන නොබැඳි සමුළුවේදී ඔහු පැවැත්වූ කතාවක් මෙහිදී මගේ සිහියට නැගේ.

“නොබැඳි ව්‍යාපාරය අවුරුදු 25ක් පුරාම වර්ගවාදයේ ආදීනව ගැන ලෝකයාගේ අවධානය යොමුකර තිබේ. මිනිසුන්ගේ හමේ පාට, මිනිසුන්ගේ වටිනාකම මණින මිනුම් දණ්ඩක් ලෙස පිළිගන්නා අය අද ඉන්නවා නම් ඇත්තේ බොහොම ටික දෙනයි. අප්‍රිකාවේ සහෝදරයන්ට මේ වර්ගවාදී වෙනස්කම්වලින් මහත් සිත් වේදනාවක් ඇතිවී තිබේ. ඒ තත්ත්වය වෙනස් කරන්නට, ඔවුන් මේ හිරිහැරවලින් මුදවා ගන්නට උපකාර වන පියවර අප්‍රමාදව ගන්නැයි කියා සමස්ත ලෝක ප්‍රජාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ අරගලයේදීත්, දුකේදීත්, අප ඔවුන් සමග සිටිනවා.”

ප්‍රේමදාස මැතිතුමන් යටත්විජිතවාදයට, වර්ගවාදයට, විරුද්ධව පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියක සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවලදී ඔහු අවධියෙන් හා ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු ප්‍රශ්නයේදීත්, පලස්තීනය පිළිබඳ ප්‍රශ්නයේදීත්, යටත්විජිත පාලනයට සහ වර්ගවාදී වෙනස්කම්වලය එරෙහිව, ඒ රටවල් ජනතාව කරන සාධාරණ අරගලයන් සඳහා ඔහු ක්‍රියාශීලීව සහයෝගය දුන්නේය. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය “මධ්‍යස්ථව බලා ඉඳීම නොව නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන් ක්‍රියාශීලී වීම” බව පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හුදු ඡන්ද පැවැත්වීම පමණක්ම නොවන බව ඇදහූ ප්‍රේමදාස මැතිතුමන්, ඒ අයගේ ජීවිතවලට බලපාන තීරණ ගැන්ම, දේශපාලනඥයින්ට පමණක් බාර නොදී ඒ සඳහා ජනතාව සහභාගී කර ගන්නට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත්තේය. පක්ෂ භේදයෙන් තොරව තෝරාගන්නා ග්‍රාමෝදය මණ්ඩල, ප්‍රජාව මගින් දිළිඳු බව හඳුනා ගත්තේය. ජනසවිය ක්‍රමය, ගම් පහළොස්දහස (15000) සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ සඳහා හොඳ නිදසුන් වේ.

වරෙක මේ පිළිබඳව එතුමන් කළ ප්‍රකාශයන් මෙහිලා දක්වනු කැමැත්තෙමි.

“ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කරල තියන විදියට, හුදෙක් ඡන්ද පැවැත්වීම යයි මම අදහස් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම එහි අවම අභිප්‍රාය තමයි ඡන්ද පැවැත්වීම. ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන්නට නම් ජනතාවගෙන් හැකිතරම් විශාල සංඛ්‍යාවකට අපි අවස්ථාව ලබා දෙන්නට ඕනෑ. ඒ අයගේ ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ කටයුත්තට සහභාගී වන්නට, ගම් දනව්වල සිටින නිහඳ ජනතාවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල විධිවිධානවලින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට බැහැ. ඒ සඳහා මනා අවබෝධයක් ඇති ජනතාවක්ද සිටින්නට ඕනෑ.”

අපේ දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ මෙන්ම අපේ පාලකයන් ප්‍රේමදාස චින්තනය නිවැරදිව කියවිය යුතුව ඇත. අගතිගාමී නොවී, උපේක්ෂාවෙන් ඒ දෙස හැරී බැලිය යුතුව ඇත. මේ ඒ සඳහා සුදුසුම වකවානුවක් යයි මම සිතන්නෙමි.

ජනතාවට ආදරය කළ, පෙරලා ජනතාව ආදරය කළ ඒ පොදු ජනතා නායකයාණන්ගේ ප්‍රකාශ ඇතුළත් “ප්‍රේමදාස චින්තනය” පොතේ පෙරවදනට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලියූ සඳහනක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

“ඔහුගේ චින්තනයේ මූලික අංග අඩංගුවන මෙම පොත, කටුක ඉදිරි අරගල මාවතේ අපේ නිරන්තර සහායකයා හා මග පෙන්වන්නා වනු ඇත. එම දාර්ශනික දේශපාලනඥයාගේ චින්තනයේ ගැඹුරු බව හා සමකළ හැක්කේ, ඔහු ජනතාවට දැක්වූ කරුණාවේ අව්‍යාජත්වය පමණි.”

මේ “”කරුණාවේ අව්‍යාජත්වය” ප්‍රේමදාසයන්ගේ කවියකින් එළිදැක්වුණු අයුරු උපුටා දක්වා මම ලිපිය සමාප්ත කරනු කැමැත්තෙමි.
“මහජනයාට යුතුකම් ඉටු          කරන්නට
පසුබට නොවෙමි මා සිටියත් පියුම්      පිට
ඔවුනගෙ දෙපා යට ඔවුනට පෙනෙන්නට
දූවිලි පොදක් වී තුටුවෙමි       තැළෙන්නට”

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර්,

උපුටාගැනීම – ලංකාදීප, 2010 මැයි මස 1වනදා, 8වන පිටුව

පළමු වසර සැමරීම…..

ලොග් සංස්කෘතියෙන් ඔබ්බට පිය නැඟිමට ආරම්භ කරන ලද https://sadaharita.wordpress.com බ්ලොග් අඩවියේ ප්‍රථම වසර සැමරුම යන ප්‍රීතිමත් මොහොත ඔබ වෙතට ළඟා කර දීමට ලැබීම ගැන ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමි. ඒ වෙන අන් කවරෙකු නිසාවත් නොව අප දයාබර පාඨක ඔබ නිසාමය……..

මෙම අඩවිය වසරක් තුල පාඨකයින් 11,000ක් පමණ ආකර්ෂණය කරගැනීමෙන් පෙනී යන්නේ සදාහරිත බ්ලොග් අඩවිය අද වනවිට තරමක ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති අතර ඒ උදෙසා දායක වූ සිංහල බ්ලොග් කියවනය, ලාංකේය සිතුවිලි වැනි සින්ඩිකෙටයන්ටත්, facebook වෙබ් අඩවියටත්, පක්ෂ විපක්ෂ පාඨක සියලු දෙනාටත් අපේ ගෞරව පූර්වක ප්‍රණාමය පිරිනැමේ…
එනම් සෑම දෙනාගේම අදහස් වලට ගරුකරමින් සැමවිට මහත්මා දේශපාලනය සඳහා ගනු ලබන මේ ප්‍රයත්නය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව අප සංඛයාලේඛන වලට අනුව මැනවින් පැහැදිලි වේ….

2009 අප්‍රියෙල් මස 26 දින බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වීමත් සමඟ, https://sadaharita.wordpress.com/ යන වෙබ් ලිපිනය යටතේ “තවත් එක් බ්ලොග් අඩවියක්” ලෙස ඇරඹුනු අප “තවත් එක් බ්ලොග් අඩවියක්” යන රාමුවට කොටු නොවී උඩුගම් බලා පිහිනීම ඇරඹීමම එක්තරා ආකාරයක අභියෝගයක් විය. මෙහිදී අප “සෙමින් පහලට ඇදෙන දියරැල්” වලට අමතරව “චණ්ඩ දිය පහරවල්” වලටද මුහුණ දුන් අතර ඒ සෑමවිටම අප සමග සිටි/සිටින ඔබ සියලුදෙනා හට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෙලෙස ඇරඹුනු සදාහරිතයේ මූලික අරමුණ වූයේ එක්සත් ජාතික පක්ෂ දර්ශනය සහ ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑමයි. විශේෂයෙන්ම තුරුණු පිරිස් තුල එජාපය සහ එහි ප්‍රතිපත්ති සම්බන්ධව පැවතුණු වැරදි වැටහීම් දුරලා සත්‍ය තත්ත්වය පසක් කරලීමත් කාලීන තොරතුරු පාඨකයන් හට නිවරැදි ලෙසම ඉදිරිපත් කිරීමත් යන උතුම් අභිලාශ පෙරදැරිව මහත්මා දේශපාලනයක් උදෙසා මෙතෙක් ආ ගමනේ පසුගිය වසර සලකන විට ඉමහත් සාර්ථක බවක් පෙනී යන බවක් ඔබ හට ප්‍රකාශ කරන්නෙ ඉමහත් සතුටිනි.

එනම් පසුගිය වසරක කාලය තුල අපි විසින් පලකළ  ලිපි 81ක් සඳහා අද වෙනවිට Comments 332ක් ලැබී ඇතිබව ඔබ හට දැනුම් දෙන්නේ සතුටිනි…
තවද වැදගත්ම කාරණයනම් අප විසින් කිසි විටක Comments මකාදැමීමක් සිදු නොකල බවයි,(නමුත් ඇතැම් විටක මතුවන අදහස් වල පවතින ස්වරුප මාධ්‍යය විසින් ප්‍රකාශ කිරිමෙදී ඇතිවන සදාචාරත්ම ගැටලු නිසාවෙන් ඒවා විටක සංශෝදනය කිරීමට සිදුවිය …..)

ඉදිරියටත් පාඨක සැම සමඟ හෘදයාංගමව අපේ අදහස් උදහස් බෙදා හදා ගැනීමට සදාහරිත කණ්ඩායම සූදානම්ව සිටින්නේ සැම හා එක්ව යහපත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සොඳුරු බලාපොරොත්තුවෙනි… ඒ ගමනට ඔබ සෑම සියලු දෙනාගේම ආශිර්වාදය සහ සහයෝගය අපට මහත් ධෛර්යයක් වනු නොඅනුමානය…

අප සමග රැඳි සිටි/සිටින ඔබ සැමවෙත නැවත වරක් ආචාර කරන අතරම මතුවටත් ඔබේ අවංක අදහස් උදහස් අප හා බෙදාහදා ගනිමින් අපට දිරි දෙන ලෙස සතුටින් ඉල්ලා සිටිමි…

ස්තුතියි………

ඔබ සැමට ජයෙන් ජය…!! 🙂


ලලිත් ඇතුලත්මුදලි 17වන ගුණානුස්මරණය

අපේ මාතෘභූමියට නොමැකෙන සේවයක් ඉටුකරමින් රටට අභිමානයක් ගෙන දුන් ඒ කෘතහස්ත දේශපාලනඥයා, ලලිත් විලියම් ඇතුලත්මුදලි සාහසික තුවක්කුකරුවකුගේ උණ්ඩයට ගොදුරුව දැයෙන් සමුගෙන අදට වසර 17ක් ගෙවී යයි.

ඒ සොඳුරු මිනිසාගේ අකල් වියෝවෙන් අදටත් පාඩු විඳින අප ඔහුගේ නොමැකෙන මතකයට අපේ කෘතවේදීත්වය පිරිනමමු. දැයට මහඟු මෙහෙවරක් කළ මෙම ප්‍රාඥයා අලලා ඔහුගේ ජන්ම සංවත්සරය නිමිත්තෙන් පසුගිය නොවැම්බරයේ “සදාහරිතයේ” පළවූ ලිපිය කියවන ලෙස ඔබට ආරාධනය කර සිටිමු.

පිවිසෙන්න : https://sadaharita.wordpress.com/2009/11/29/lalith_wa/

ජාතික ලැයිස්තුවේ පලහිලව්ව…

මහ මැතිවරණය හමාරය, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 29 ඒ ඒ පක්ෂය ලබාගත් මුළු ඡන්ද ගොන්නට සමානුපාතිකව බෙදා වෙන්කර හමාරය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 17කුත්, එක්සත් ජාතික පක්ෂයට ආසන 9කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 2කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 1කුත් බැගින් බෙදී වෙන්වී හමාරය.

එහෙත් ඒ ඒ පක්ෂයන් තුල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරුණු ආකාරය පිළිබඳව සන්ධානගතව තරඟ කළ කුඩා දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී පවතී. මේ විරෝධය පිළිගත හැකිද? ඊට සාධාරණ පදනම්ක් පවතින්නේද? සන්ධානයත් එජාපයත් සුළු පක්ෂවලට අවම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගණනක් ලබාදීමට ගනු ලැබූ තීරණය අනුමත කළ හැකිද?

මගේ තර්කයට අනුව පිළිතුර අනුමත කළ හැකිය යන්නයි. මෙවර මහ ඡන්දයේ වලංගු ඡන්ද ප්‍රමාණය 8,033,693කි. ඒ අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට හිමිකම් කීමට දළ වශයෙන් ඡන්ද 277,024ක් පමණ ලබා ගත යුතුය. මස් රාත්තලම ඉල්ලන සුළු පක්ෂ ඡන්ද 277,024ක් සන්ධානයට හා යූඇන්පියට දිනා දී ඇතිද යන්න සැක සහිතය. කුසලානය 440,483ක් හා ද්‍රවිඩ ජාතික සන්ධානය 233,190ක් ලබා ගැනීමෙන් අදාල සැක සහිත ප්‍රශ්නයට දළ අදහසක් අපට සොයා ගන්නට පුළුවන.

එජාපයේ අලියා සලකුණ යටතේ තරඟ කළ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පී. දිගම්බරම්ගේ ජාතික කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය මෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු මන්ත්‍රීවරුන්ද ජාතික ලැයිස්තුවේ පංගු පේරු ඉල්ලුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හැර වෙනත් කිසිඳු පක්ෂයකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරිනමා නොමැත. එය සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා ගත්තේ එක් අපේක්ෂකයකු පමණි, සෑම දිස්ත්‍රික්කයකම ඔවුන්ගේ වැඩිම මනාපලාභී අපේක්ෂකයාගේ මනාප ගණන එකතු කිරීමෙන් යන්තම් 100,000 පන්නනවා විනා 277,000ට ලං විය නොහැක. නුවර එළිය දිස්ත්‍රික්කයේ වතුකම්කරු ඡන්දදායකයා ලංකා කම්කරු කොංග්‍රසයෙන් මුදවා ගන්නට අසමත් වූ මනාප 39,000ක් දිනා ගත් දිගම්බරම්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් ඉල්ලීම අසාධාරණය. ශ්‍රිලනිප ‘ම’ පාර්ශවයද එලෙසමය, ඔවුන්ගෙන්ද එජාපයේ ඡන්ද ගොන්නට 277,000ක් එකතු වූවා යැයි මංගල සමරවීර මහතාවත් තර්ක නොකරනු ඇත. අනික එජාප ඡන්දදායකයින්ද එම සෙසු පක්ෂවල අපේක්ෂකයින්ට මනාප දී ඇති බව වගකීමෙන් මට ලිවිය හැක්කේ එවැන්නන් කිහිප දෙනෙකුම මා හොඳින් හඳුනන බැවිනි.

මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට සැලකිය යුතු දායකත්වයක් හිමිවූ බව නිසැකය. මනාප ලැයිස්තු හරහා ආසන 6ක් දිනා ගැනීමෙන් එය මනාව පිළිබිඹු වෙයි. අනෙක් අතට නැගෙනහිර හා වන්නියේ එජාප ඡන්දවලින් බහුතරයක්ම එජාපයට ගෙනැත් දුන්නේ මුස්ලිම් කොංග්‍රසය බවද රහසක් නොවන්නේය. මුස්ලිම් කොංග්‍රසයට අනිවාර්යයෙන්ම ජාතික් ලැයිස්තුවෙන් ආසනයක් හිමිවිය යුතුය. නමුත් පවතින වාතාවරණය තුල නැගෙනහිරින් හා වන්නියෙන් මුස්ලිම් කොංග්‍රසය එජාපයට දිනා දුන් ඡන්ද ගොන්න නොවන්නට එජාපයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන්නේ ආසන 8ක් පමණි. තවත් ඡන්ද 4,000ක් එහා මෙහා වුණි නම් එජාපයේ ජාතික ලැයිස්තු නියෝජනය 8ට අඩු වී සන්ධානයේ නියෝජනය 18 දක්වා වැඩි වන්නට තිබුණි. එනිසා එජාපය ජාතික ලැයිස්තුව තෝර ඇති පිළිවෙළ හොඳය. එජාප සාමාජිකයන් 7කුත් මුස්ලිම් කොංග්‍රසයෙන් 2කුත් පත් කිරීම එකඟ විය හැකි තත්වයකි.

සන්ධානයේද ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂයට එක ආසනය බැගින් ජාතික ලැයිස්තුවෙන් ලබා දී ඇති අතර එහිද සාධාරණත්වයක් පෙනේ. සිදුව ඇත්තේ පදනම් විරහිත ලෙස සුළු පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකෙහි ඡන්දවලින් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ගන්නට උත්සහ දැරීමය. මෙය කණගාටුවට කරුණකි. 2004දී සිදු වූයේ මෙයයි. එජාපය ජාතික ලැයිස්තුවෙන් ආසන 11ක් දිනුවද ඉන් 7ක්ම හවුල්කාර පක්ෂවලට බිල්ලට දීමට සිදු වූයේ මේ බලපෑම් නිසාය. අද එය එසේ සිදු නොවීම සාධාරණත්වය අගයන කාගේත් සතුටට හේතුවකි.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු
තිස්ස අත්තනායක
ජෝශප් මයිකල් පෙරේරා
එරාන් වික්‍රමරත්න
ආචාර්ය හර්ෂ ද සිල්වා
අනෝමා ගමගේ
ආර්. යෝගරාජන්
ඩී.එම්. ස්වාමිනාදන්
එම්.ටී. හසන් අලී (මුස්ලිම් කොංග්‍රස්)
ඒ.එස්.එම්. අස්ලම් (මුස්ලිම් කොංග්‍රස්)

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

මනාපයේ අමනාපය

හෙට (20) නාවලපිටියේ 51,000ක පමණ පිරිසකුත් කුඹුරුපිටියේ 1,000ක පමණක පිරිසකුත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 2010 මහ මැතිවරණය සමාප්ත වනු ඇත. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුවට රටේ මහජනතාව වන ඔබ අප සැම තේරූ මන්ත්‍රීවරුන් 225දෙනා කවුරුන්දැයි 21දා වන විට අප නිත්‍ය වශයෙන් හඳුනාගනු ඇත. මේ මැතිවරණය කාගේත් කතාබහට ලක්වූ මනාප ක්‍රමය යටතේ පැවැති අතර මනාප යුද්ධයේ පෙරටුගාමීන් පවා කීවේ මනාප ක්‍රමය අනුව පවත්වන අවසාන මහ මැතිවරණය මෙය වනු ඇති බවයි. එය එසේ වනු ඇත්ද? එය එසේ වී නම් එය හොඳද??

ආචාර්ය සරත් අමුණුගම

මාගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් මනාප ක්‍රමය හොඳය එහෙත් වැරැද්ද අපි එය භාවිතා කරන විදියත් දේශපාලනඥයන් හැසිරෙන විදියත්ය. කෙටියෙන් කිවහොත් මෙය පුද්ගලයින්ගේ වරදක් මිස ක්‍රමයේ වරදක් නොවන බව මගේ මතයයි. එය එසේ වන්නේ කොහොමද? ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. නාවලපිටියේ පලහිලව්ව ගන්න, මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා කිසිත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවූ බව කියද්දී සරත් අමුණුගම, එස්.බී. දිසානායක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන් කියන්නේ වෙනත් කතාවකි. තත්ත්වය කොතෙක් බරපතලද යන වග ලක්ෂ 500ක් ඉල්ලා අලුත්ගමගේ ඇමැතිතුමා අමුණුගම ඇමැතිතුමාට එන්තරවාසියක් යැවීමෙන්ම පිළිබිඹු වේ. මනාප ක්‍රමය පසෙකලා ආසන ක්‍රමයකට ගියහොත් මේ අය අතර තනතුරු තානාන්තර හෝ ප්‍රතිපත්ති උදෙසා ගැටුම් අවම වනු ඇතැයි කාට නම් සහතික විය හැකිද? අනෙක් අතට ආසනවල පක්ෂ සංවිධායකයන් වන්නට පක්ෂ තුල ඇතිවන්නාවු ප්‍රශ්න සමනය වනු ඇත්ද? 1977 තෙක් මැතිවරණවලදී පක්ෂයකින් නොමිනේෂන් නොලැබුණු විට ඒ අපේක්ෂකයින් මෙවර බදුල්ලේ එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර මහතා බදුල්ලෙන් කලාක් මෙන් ස්වාධීනව තරඟ කිරීම හරහා ඒ මත ගැටුම් එලෙසම පවතී. බොහෝ දෙනෙක් කෝකටත් තෛලය මෙන් මතුරන්නේ ඡන්ද ක්‍රමයත් ව්‍යවස්ථාවත් වෙනස් කළොතින් රටම සුර පුරයක් වනු ඇති බවයි. එය කෙතරම් හාස්‍යජනක ප්‍රකාශයක්ද?

අනෙක් අතට පසුගියදා හලාවතදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර අමානුෂික ලෙස පහරදීමද ක්‍රමයේ වැරැද්දක් කියා අපට ලඝු කර පැත්තකට වෙන්නට බැරිය. දේශපාලනයේ අද වනවිට නුසුදුස්සන් සිටීමේ වගකීම සින්නක්කර පිටින්ම අප පවරනුයේ මැතිවරණ ක්‍රමයටය. මේක වැරදිය. මෙහි වැරැද්ද භාරගන්නට උවමනා වන්නේ රටේ මහජනතාව වන අපමය. රටේ බොහෝ දෙනෙක් මනාප දෙන්නේ රැල්ලටය, පෝස්ටරයටය, කටවුට්වලටය, නොමිලේ බෙදන ඇස්කණ්ණාඩියටය, නැතිව දක්ෂයින් සහ දර්ශනයකින් හෙබි නායකයින්ට නොවේ. මිනිසුන් සාධාරණ හා අසාධාරණ මාර්ගවලින් මුදල් උපයන සල්ලිකාරයන්ට මනාප දෙමින් මේ ක්‍රමයෙන් වාසි සල්ලිකාරයන්ටැයි මැසිවිලි නැගීම විහිළුවකි.

පාලිත රංගේ බණ්ඩාර

අතිගරු ජනාධිපතිතුමා සන්ධාන පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ පිරිසිදු දක්ෂයන් පිරිසක් තමන්ට රට හදන්නට තෝරා දෙන්න කියාය. එම ප්‍රකාශයෙන්ම පිළිබිඹු වන්නේ මනාප ක්‍රමයේ වටිනාකම නොවේද? හිටපු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් දැනටමත් පරාජයට පත්වී ඇත්තේ මේ මනාප ක්‍රමය නිසාය. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන්ගේ කැමැත්තටය. උදාහරණයක් ලෙස රෝහිත බෝගොල්ලාගම අමාත්‍යතුමන් රට වෙනුවෙන් ලොවම දිනුවද කොළඹ පැරදිණි, පක්ෂ මාරු කළද ශීලාචාර දේශපාලනය ගැන කතාබහ කළ මිලින්ද මොරගොඩ මහතාටද අත්වූයේ එම ඉරණමමය. පහුවුණු සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ අන්දමට ආචාර්ය සරත් අමුණුගම මහතාද එම තත්ත්වයට මුහුණ දීමේ අවදානමින් පසුවෙයි. කවුරු කොහොම කීවත් මේවා ජනතාවගේ තීරණය. ජාතික ලැයිස්තුව දෙස බලන්න, ඉන් පාර්ලිමේන්තු එන පිරිස තේරීම කෙතරම් නම් උභතෝකෝටිකයක් වී ඇතිද, ඉන් බොහෝ විට පාර්ලිමේන්තු එන්නේ අදාල පක්ෂයේ නායකත්වයේ හෙංචයියන්ය, ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයන් ගැන තීරණ ගන්නට ජනතාවට බැරිය. උදාහරණයක් ලෙස එජාපයේ ජාතික ලැයිස්තු අපේක්ෂක රුක්මන් සේනානායක වැන්නවුන් තම දිස්ත්‍රික්කවලින් තරඟ කළෙහි නම් තත්ත්වය වෙනස් වන්නට පවා ඉඩ තිබුණි. එසේ නම් මනාප ක්‍රමය ඉවත් කිරීමෙන් සිදුවන්නේ ඒ ඒ පක්ෂයේ නායකත්වයන්ට ජනතා ඡන්දවලින් පාර්ලිමේන්තු යන්නේ කවරෙක්දැයි තේරීමේ මහඟු අවස්ථාව ලියා දීමය. ඉන් අද සිදුවී ඇතුවාක් මෙන් තුරුණු නියෝජනය දිරිගැන්වීම සිදු නොවනු ඇත. අපට උවමනා වන්නේ මෙයද??

පසුගියදා පැවැති ජනහඬ සංවාදයකදී බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මැරයන් සහ තක්කඩින් මැතිසබයට ජනතාව තෝරා ගැනීම ගැන තමන් කණගාටු වන බවයි. මෙම ප්‍රකාශයේ යටි අර්ථය වන්නේ පක්ෂ ලැයිස්තු සකසන විට ඒවා පිරිසිදුව හදන්නට උවමනා කොන්ද පක්ෂ නායකයින්ට නොමැති බවයි. ලැයිස්තුවලට මැරයින් එක්කාසු කර හොඳ කණ්ඩායමක් තෝරා දෙන්නැයි ඉල්ලන්නේ එනිසා විය යුතුය. එසේ නම් මහජන නියෝජිතයින් තෝරා ගැනීම පක්ෂ නායකයින්ට සින්නක්කර පැවරීම නුසුදුසුය. මක්නිසාදයත් මෙවැනි පාර්ලිමේන්තුවක්වත් ඉන් අපට නොලැබෙනු ඇත. අනෙක් අතට පැරණි කේවල ක්‍රමයේ දුර්වලතා අපි කලියෙන් ලිපියක ඔබට ගෙන හැර පෑවෙමු.

මොකක්ද එතකොට කෙරෙන්න ඕනෙ?? ඔබ එසේ අසනු ඇත. ඊට පිළිතුර ලෙස මා දකින්නේ අපි පළමුව මෙය ක්‍රමයේ වරදකට වඩා පුද්ගලයින්ගේ වරදක් බව තේරුම් ගත යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය වේවා එක්සත් ජාතික පක්ෂය වේවා ඔවුන් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවල ඇතැම් අපේක්ෂකයින්ගේ අඩුපාඩු බොහෝය. කේවල ක්‍රමයක් තිබුණි නම් කෝට්ටේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකුට සුසිල් ප්‍රේමජයන්තට හෝ ඒ.එච්.එම්. ෆවුසිට ඡන්දය දෙන්නට බැරිය ඔහුට කළ හැකි එකම තේරීම බෝගොල්ලාගමය, තමන් කැමති හෝ අකමැති වෙන විකල්පයක් නැත. ඒ අනුව පැහැදිලි වන්නේ රාමුවෙන් නිමග්නව රට ගැන සිතා සුදුස්සන්ට (හෝ සාපෙක්ෂව සුදුස්සන්ට) මනාප භාවිතා කිරීමෙන් ඔබේ සැබෑ නියෝජනය උත්තරීතර සභාවේ තහවුරු කළ හැකිය යන්නයි. එහෙත් එජනිසය සතු බහුතරයත් සමඟ ආයේ කවරදාකවත් අපට අපි මනාප මන්ත්‍රීවරයකු පත් කරන්නට වරම් ලැබෙනු ඇත්ද යන්න සැක සහිතය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

සුබ අලුත් අවුරුද්දක්..!!??

බොහෝ දෙනෙක් කියනුයේ අද දශක ගණනාවකට පසු “එකම රටක් තුල එකට අවුරුද්දක් සමරන සුවිශේෂී අවස්ථාවක්” බවයි. එහෙත් එසේ කයිවාරු ගසන උදවියට අමතක වූ දෙයක් ඇත. එනම් එම තත්ත්වය ලක්වැසි දනන්ට උදා කළ අභීත සෙන්පතියා වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගතව ඇති බවයි.  ඒ සිරගත කිරීමට විරුද්ධව උපවාස කරන සංඝයා වහන්සේලා පවා කුදලාගෙන යන තත්ත්වයක් අද උද්ගතව ඇත. මේ තත්ත්වය ඛේදයක් නොවෙතැයි කාට නම් කිව හැකිද?? අපි අපි ගැනම ලැජ්ජා වනවා හැර කුමක් කරම්ද?

රියර් අද්මිරාල් සරත් වීරසේකර

පහුගිය මහ මැතිවරණයේදී ආණ්ඩුවේ අපේක්ෂකයින් යුද්ධය සිල්ලරට වෙන්දේසි කළහ. එකෙකු ජනාධිපතිතුමා යුද ජයග්‍රහණයේ පණිවුඩය ආ දුරකථන ඇමැතුම පළමුව දුන්නේ තමුන්ට නිසා තමුන්ව දිනවන්න යැයි කිසිඳු හිරිකිතයකින් තොරව හඬ ලෑවේය. එහෙත් ඒ දුරකථනයේ ආ පණිවුඩය දෙන්නට තෙවරක් මරණීය තුවාල ලබමින් වීර හමුදාවෝ මෙහෙයවූ සෙන්පතිඳුන් සිරගෙදරය, ඔහු ද්‍රෝහියෙකි. ඒක හොඳය, යුද්ධය දිනූ බව හමුදාව කී විට රිසීවරයෙන් අසා සිටි කෙනා වීරයෙකි දේශප්‍රේමියෙකි. බුද්ධිමත් කාට නම් මේවා අනුමත කළ හැකිද? තවත් උදවිය කොටි හඬ නිහඬ කළේ තමන් යැයි වහසි බස් තෙපලති, නමුත් මේ සැමටම යුදබිමේ ජනරාල් ෆොන්සේකා කළ අමරණීය කාර්යභාරය අමතකව ඇත. ඒ තබා තමන්ගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කරමින් එහි වැඩිම මනාප ලාභියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා ගැනවත් එම පක්ෂයේ උදවිය කත නොකිරීම කණගාටුවට කරුණකි. ඒ තබා රටේ ජනතාව පමණක් නොව සන්ධාන පාක්ෂිකයන් ඇතැමෙක් ඔහු තරඟ කළ බව පවා නොදැනීමෙන් පිළිබිඹු වන්නේ අද දවස වන විට රටට යුද ජයග්‍රහණය ගෙන දුන් වීර සෙන්පතියන්ට අත් වී ඇති දුක්ඛදායක ඉරණමයි. අද අවාසනාවන්ත සත්‍යය වී ඇත්තේ ඔබ ආණ්ඩුව කියන ඕනෑම දේකට හුරේ දමන එහෙයියෙක් නම් ඔබ දේශප්‍රේමියකු වීමත් ඔබ ආණ්ඩුවේ වැරැදිවලට විරුද්ධව හඬ නගන්නකු නම් ඔබ දේශද්‍රෝහී පාපතරයකු වීමත්ය. එහිද දුක්ඛදායකම පුවත නම් යුද ජයග්‍රහණයට කැපවීම් කළ සන්ධානයේම රියර් අද්මිරාල් සරත් වීරසේකර වැනි විරුවන්ට වඩා කටින් බතල හිටවූ කට මැත දොඩවන වාචාලයින් දේශප්‍රේමීන් ලෙස ඉස්මතු වීම හා ඉස්මතු කිරීමය.

මේ අතර සමහරෙක් ජනරාල් ෆොන්සේකාගේ අත් අඩංගුවට ගැනීම සාධාරණීකරණය කරති, විවිධාකාරයෙන් එතුමාට අපහාස උපහාස කරති. ඔවුන්ගෙන් අසන්නට ඇත්තේ කරුණා, පිල්ලෙයාන් වැන්නවුන් සුඛෝපභෝගී දිවි ගෙවද්දී සරත් ෆොන්සේකා හිරබත් කෑම අනුමත කළ හැකිද යන්නයි. සරත් ෆොන්සේකාට දූෂණ චෝදනා එල්ල වී ඇති බව සත්‍යය නමුත් ඔයට වඩා දූෂණ චෝදනා ඇත්තවුන් ආණ්ඩුවේ ලොකු නිලතලවල නැතිද?? ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? මේ සිරගත කිරීම දේශපාලනික සිරගත කිරීමක් නොවන්නේද??

ජනරාල් සරත් ෆොන්සේකා

අද අපි එකම රටක එකම අවුරුද්ද යැයි කියමින් බොහොම උජාරුවට කිරිබත්, කැවුම්, කොකිස් කා අවුරුදු කෑවද බෙදුම්වාදී ත්‍රස්තවාදය ඇතිවීමට හේතුකාරක වූ මූලබීජයන්ට පිළිතුරු සපයා නොමැති. යුද්ධ කරන විට ආණ්ඩුව කීවේ ආයුධ බිම තබන තුරු සාකච්ඡා නොකරන බවයි. දැන් ත්‍රස්තවාදීන් විනාශය, නිරායුධ ද්‍රවිඩ ජනතාව හා සාකච්ඡා කර ඔවුන්ගේ ගැටළුවලට පිළියම් යොදා තිරසාර සාමයක් උදකර ගත යුතුය. නැතිනම් නිවුණු ගිනිදැල් යළි දැල්වෙන්නට ඉඩකඩක් ඇත. එහෙත් ආණ්ඩුවට දමිළ ජනතාවගේ එහෙව් ප්‍රශ්න විසඳනු වස් කිසිත් උවමනාවක් ඇති බවක් නොපෙනේ, මක්නිසාදයත් යුද්ධය ජයගෙන අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවී ඇතත් ඒ ගැන පුංචි හෝ සඳහනක් නොකෙරෙන්නේ එනිසාය. අනෙක් අතට 2010 වර්ෂය උදා වන විට අපේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා සුබ පැතූ දේශීයත්වය හා හෙළ සංස්කෘතිය දිවි දෙවැනි කොට සුරකින අපේ ජනාධිපතිතුමා අපේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අපට කෙටි පණිවුඩයක් නොඑව්වේ මන්දැයි මට ප්‍රෙහේළිකාවකි.

මේ කියුම් කෙරුම් මැද්දේ අපි අපේ ලක්දෙරණටත් එහි වැසියෝ වන ඔබ අපි සැමටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු!!

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

මහ ඡන්දයෙන් ඉක්බිති…

2010 මහමැතිවරණයේ මැතිවරණ කොට්ඨාශ දෙකක (නාවලපිටිය සහ ත්‍රිකුණාමලය) හැර සෙසු ප්‍රතිපල ප්‍රකාශයට පත්වී හමාරය. මහනුවර දිස්ත්‍රික්කයෙන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තු යන මන්ත්‍රීවරුන් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අප තවමත් නොදනිතත් මහ මැතිවරණයේ දිනූ සහ පැරදුනු සෙසු අපේක්ෂකයින් අප දනිමු. 20දා නාවලපිටිය හා ත්‍රිකුණාමලය ඡන්ද විමසීමෙන් පසුව එජනිසයට ආසන 143ත් 145ත් අතර ගණනකුත්, එජාපයට ආසන 59ක් හෝ 60කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 14ක් හෝ 15කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 7කුත් හිමි වනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකිය යුතු බහුතර බලයක් අත්පත් කරගෙන ඇති අතර අප ඔවුන්ට ඒ වෙනුවෙන් සුබ පතමු. මේ ජනවරමින් තම පුද්ගලික න්‍යායපත්‍රයන් මුදුන් පමුණුවා ගැනීම පසෙක තබා අප මාතෲභූමිය සැබැවින්ම ආසියාවේ ආශ්චර්ය කරන්නේ නම් පක්ෂ විපක්ෂ අප සැමට සතුටු වන්නට පුළුවන.

එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස පරාජය පිළිගන්නා අතරම පරාජයෙන් උගෙන ගත යුතු දෑ උගත යුතුය. මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යන්නේ එජාපයේ පණිවුඩය ගමට ගොස් නැති බවයි. සිංහල බෞද්ධ බහුතරය එක්සත් ජාතික පක්ෂයෙන් තරමක් ඈත්වී ඇති ස්වරූපය පැහැදිලි ලෙසම පෙනී යයි. මේ තත්ත්වය වෙනස් වන්නට නම් පක්ෂයේ ක්‍රියාශීලීන් වඩාත් වැඩියෙන් ගමට යා යුතුය, එපමණක් නොව පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්තීන්ද ජනතාව හා බෙදා හදා ගත යුතුය. අද සිදුව ඇත්තේ බොහෝ දෙනෙක් එජාපයේ ප්‍රතිපත්තීන් නොදැන සිටීමයි. පක්ෂයට ගරහන විරුද්ධවාදීන් තබා ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්වත් එජාපයේ ප්‍රතිපත්ති  හරිහැටි නොදැනීම කණගාටුවට කරුණකි. මේ තත්ත්වය අකා මකා ගෙන මීළඟ මැතිවරණ සඳහා එජාපය ප්‍රතිසංවිධානය විය යුතුය යන්න සදාහරිතයේ අපේ හැඟීමයි. ඒ පිළිබඳව අපේ අදහස් උදහස් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය - සජිත් ප්‍රේමදාස

සෑම කළු වළාකුළකම රිදී රේඛාවක් ඇතැයි යන ප්‍රකාශය ඔබ කවුරුත් පාහේ අසා ඇතුවාට සැක නැත. මෙවර මැතිවරණ පරාජය සමානුපාතික ඡන්ද ඉතිහාසයේ දැවැන්තම පරාජය වුවත් එජාපයට සතුටු වන්නට එක් හේතුවක් ඇත. මෙවර එජාපයෙන් පාර්ලිමේන්තු වරම් දිනා ඇති බොහෝමයක් නවකයින්ය. දැනට ආසන 46කට තේරී පත්වන නම් අප දනිමු. ඒ අතුරින් 21ක්ම පාර්ලිමේන්තුවට නවකයින්ය. මහනුවරින්ද නවක එජාප මුහුණක්වත් පාර්ලිමේන්තු එනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. ජාතික ලැයිස්තුවෙන්ද එරාන් වික්‍රමරත්න හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන දෙපල පමණක් හෝ පාර්ලිමේන්තු එතැයි අපට අපේක්ෂා කළ හැකිය. ඒ අනුව එජාපයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 45%ක් 50%ක්ම නවකයින්ය. ඉන් සැලකිය යුතු පිරිසක් අවුරුදු 30ත් 40ත් අතර තම දිවියේ සිව්වන දශකය ගෙවන්නෝය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නවක මුහුණු බහුතරයක් දේශපාලන පෙළපත්වල උරුමක්කාරයන් වෙත්දී එජාපයේ නවක මුහුණු රැසක්ම අලුත් දේශපාලන රටාවක නිර්මාපකයන් වීම විශේෂ කරුණකි. 1989දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙවැනිම අන්ත පරාජයක් අත්විඳි අතර එහිදී ඔවුන් දිනා ගනු ලැබූ ආසන 65න් සැලකිය යුතු පිරිසක් තරුණ නවකයින්ට හිමිවිය. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, චමල් රාජපක්ෂ, මංගල සමරවීර, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න වැන්නවුන් කරලියට ආවේ 1989 මැතිවරණයෙනි. එනිසා මෙවර එජාපය ලද තරුණ පිරිස පාක්ෂිකයින් විසින් ගනු ලැබූ අනාගත ආයෝජනයක් ලෙස සලකමි.

ඒ නවකයින් ගොන්නට මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතය හිමිකරගත් දකුණු පළාත් විපක්ෂ නායක බුද්ධික පතිරණ, බදුල්ලේ වැඩිම මනාප දිනාගත් ඌව පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ගාල්ලේ දකුණු පළාත් සභා මන්ත්‍රී මනූෂ නානායක්කාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ, කළුතර සිරගෙදර සිරබත් කන පාලිත තෙවරප්පෙරුම හා අපේ සහෘද සිංහල බ්ලොග්කරුවකු වන අජිත් පී. පෙරේරා, කුරුණෑගල හිටපු නියෝජ්‍ය නගරාධිපති අශෝක් රන්ජන් අබේසිංහ හා නිල්වලා සමූහ ව්‍යාපාරයේ අධිපති නිල්වලා විජේසිංහ, ගම්පහින් රුවන් විජේවර්ධන, සබරගමු විපක්ෂනායක රන්ජන් රාමනායක, මධ්‍යම පළාත් විපක්ෂනායක වසන්ත අළුවිහාරේ, පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆෙස්ටස් පෙරේරා මැතිඳුන්ගේත් ලැරින් පෙරේරා මැතිණියගේත් පුතු වන නිරෝෂන් පෙරේරා, මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා, කල්මුණේ නගරාධිපති මොහොමඩ් හාරිස්, දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතාගේ බිරිඳ වන විජයකලා මහේෂ්වරන් මැතිණිය හා ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි අපට පෙන්වා දිය හැකිය. මොවුන් ඇතුළු තේරී පත්වූ සියළු එජාප මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක් අපි ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙමු.

බොහෝ දිස්ත්‍රික්කවල එජාප අපේක්ෂකයින් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතයද දිනා ගත්තේය. ඒ අතුරින් හම්බන්තොට රාජපක්ෂවරු ත්‍රිත්වයකට එදිරිව එජාපය මෙහෙයවූ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිට පිට සිව්වන වතාවටත් වාර්තාගත 89.69%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතලාභියා බවට පත්විය. කොළඹ දිසාවේ වැඩිම මනාප ප්‍රතිශතයට රනිල් වික්‍රමසිංහ මහතා උරුමකම් කියද්දී, ගාල්ලෙන් ගයන්ත කරුණාතිලක, මාතරින් බුද්ධික පතිරණ, කුරුණෑගලින් දයාසිරි ජයසේකර, පුත්තලමින් පාලිත රංගේ බණ්ඩාර, මාතලෙන් වසන්ත අළුවිහාරේ, රත්නපුරයෙන් තලතා අතුකෝරාළ, දිගාමඩුල්ලෙන් මොහොමඩ් හාරිස්, මඩකළපුවෙන් බෂීර් සේගු ඩාවුඩ් හා වන්නියෙන් නූර්ඩීන් මෂූර් යන මන්ත්‍රීවරුන් ස්වකේය දිස්ත්‍රික්කයන්හී වැඩිම මනාප ප්‍රතිශත ලාභියා බවට පත්ව ඇත. ඇතැමුන් මනාප ක්‍රමයට දෙස්දෙවොල් තැබුවද ජනතා විශ්වාසය උරගා බලන හොඳ මිනුම් දණ්ඩක් ලෙස මනාප ක්‍රමය උපුටා දැක්විය හැකිය (ජනතාව පරිණත දේශපාලන බුද්ධියකින් මනාප භාවිතා කරන්නේ නම්). මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල සහ එහි දිනුම් පැරදුම් ගැන අප පසුව දිනෙකදී කතා කරමු. නමුත් මෙම ලිපියේ මා වෙසෙසින්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉහත කී ජනප්‍රිය චරිත වලට එජාපය තුල ඔවුන්ට ලැබිය යුතු නිසි තැන ලබාදීම අනිවාර්යය වන බවයි.

කෙසේ වෙතත් තව වසර හයකට රටේ පාලන බලය භාරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුබ පතනමුත් ඔවුන් මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ආ සමාජ සහ ආර්ථික ප්‍රතිපත්තීන්වලට අපට එකඟ විය නොහැකිය. එබැවින් ඉදිරියටත් ඔවුන් එම මාවතේම ගමන් ගන්නේ නම් නිත්‍ය ලෙසින්ම රට වෙනුවෙන් එම මග වෙනස් කරන්නට එජාපය සැදී පැහැදී සිටිය යුතුමය.

සදාහරිත පාඨක ඔබ සැමට සාමය සතුට රජයන වාසනාවන්ත, සෞභාග්‍යමත් සුබම සුබ සිංහල හා හින්දු නව වසරක් වේවා…!!! 🙂

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්

විද්‍යාපීඨ, තරුණ සේවා සභාව, වෙළඳ කලාප, අන්තර්ජාලය, ජංගම දුරකථන දැයට දායාද කළ රනිල්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 1949 මාර්තු මස 24 වැනිදා එස්මන්ඩ් සහ නාලිනි වික්‍රමසිංහ යුවලට දාව මෙලොව එලිය දිටීය. රනිල් වික්‍රමසිංහ එම පවුලේ දෙවැනි දරුවායි.

රනිල් සුවිශේෂී දේශපාලන පරිසරයකින් පවතීගෙන එයි. ජේ.ආර්. ගේ ලගම නෑයකු ද වන ඔහුගේ සීයා වන්නේ ඩී.ආර් විජේවර්ධනයි. අද ඔහුට පැල් බැදගෙන උපහාස කරන හා අවඤ්ඤාවට ලක් කරන ලේක් හවුස් ආයතනයේ නිර්මතෘ වන්නේද ඔහුගේ මව් පාර්ශවයේ මුත්තා වන ඩී.ආර්. විජේවර්ධනයි.

බුදු දහමට ඉතාමත් ලැදි පවුලකින් පැවත එන රනිල් ගේ මව බුදු දහමට තදින්ම බැදීසිටි තැනැත්තියක වූවාය, ඇය කැලණිය රජමහා විහාරයේ ප්‍රධාන දායිකාවක වූ අතර එම විහාරස්ථානයේ බොහෝ සංවර්ධන කටයුතු පිටිපස සිටි අයෝමය ශක්තිය ඇයයි. ඒ අභාශය ඇතිව පන්සල මූලික කරගෙන හැදී වැඩුනු රනිල් තම අත් පොත තැබුවේ කැළණිය රජමහා විහාරයෙනි, කොල්ලුපිටියේ වජිරාරාමය සහ හුනුපිටියේ ගංගාරාමයද ඔහුගේ ළමා වියේ කාලය ගෙවුනු තැන් විය.

මේ වන විට දෙවරක් අග්‍රාමාත්‍ය දූරය හොබවා ඇති ඔහු එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුනේ නායකත්වය හොබවයි.

රනිල් වික්‍රමසිංහ යන නම ඇසූ විට ඔබට මතක් වන්නේ කුමක්ද ?? අනිවාර්යයෙනිම ජාතික රූපවාහිනියේ විකාශය වන පසුබිම විශේෂාංගය විය හැක. මහින්ද අබේසුන්දර නැමැති පුද්ගලයා නොකඩවා 365 දවස පුරාවටම ඔහුට බැන වදියි. සමහරෙකුට සිතෙන්නට පුලුවන් මෙසේ ඔහුට බැන වදින්නේ ඇයි? ඇත්තටම ඔහු නිකම්ම නිකම් නිකමෙක්ද..??

මෙවන් අදහස් ඔබහට ලබා දෙන්නේ වැඩක් කිරීමට නොමැති බොරු ජාති ආලකම් පෙන්වා තමාගේ මල්ල පුරවා ගන්නා පුත්ගලයන්ය. එවන් පුත්ගලයන් කරන්නේ සැබැවින්ම වැඩක් කල හැකි රනිල් වැනි නායකයින්ගේ වැඩ වලට හරස් වීමයි.

අනෙක් කරුන නම් රනිල් යනු මොඩ, කේලාම් කියන අයෙකු යයි ජාතික නාලිකාව හා නමට ස්වාධීන වන ස්වාධීන නාළිකා මගින් පහර දීමයි. එසේ කියන්නේ ඇයි දැය් විමසන කල්හි අපට පෙනී යන්නේ ඔහුට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම ඔවුන් ආවඩන නායකයින්ට නොතිබීම පිළිබඳව ඔවුන් ඔහුට ඊර්ෂ්‍යාවට කියනා බවක්ය. එසේම එයින් මෙයද පැහදිලි වේ. එනම් රනිල් යනු ලොවම පිලිගන්නා පුද්ගලයකු බව ඔවුන් පිළිගන්නා බවයි. එසේ නම් අපට අවැසි වන්නේ ඔහු වනි ලොව පිලිගත් නායකයෙකු නොවෙද?

මා හට ඔහුගේ දූරදර්ශීභාවය පිළිඹඳ දෙයක් මෙහිදී මතක් වේ. ඒ ඔහු ජංගම දුරකතනය මෙරටට හදුන්වා දීමයි. ඉතා තියුනු හා පූර්න සොයාබැලීමකින් පසුව එතුමා එවකට පාර්ලිමේන්තුවට, කර්මාන්ත සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ ඇමැති ලෙස ජංගම දුරකතනය පිලිබද කියා ඇත. ඔහු කියා සිටියේ මෙය තව ටික කලකින් අපේ රටේ පොල් කඩන මිනිහා ලගටත් එන බවය. එහිදී ඔහුට ලැබුනේ හොද ප්‍රතිචාර නම් නොවේ. ඔහුව කාටූන් වල අන්දවා සමච්චලයට ගන්න ලදි. නමුත් අද තත්වය කුමක්ද. එදා ඔහු කී දේ අද සැබෑවක් නොවෙද? එයට එදා සිට කටයුතු කලානම් අද අපි මීට වඩා දියුනු වන්නට තිබුනා නේද?? එදා සරදම ඔහුට සරදම් කල අයට පෙරලා පැමින නැද්ද. මේවා පෙන්වා දෙන්නේ ඔහුගේ විචක්ශනශීලී බුද්ධියයි.

මේ රටේ අධ්‍යාපනය නගා සිටුවීමට ඔහු ගෙන ඇති ක්‍රිය මාර්ග මොනවාද ?? මෙය ඇසූ විට ඔහුට බන්නින අය ඔහු නිසා ලද දේවල් වලින්ම ඔහුට පහර ගසනා බවක් දක්නට ලැබේ. නිසි ක්‍රම වේදයක් නොමැතිව දේශපාලන තක්සේරුව මත ගුරුවරුන් අතුලු කරගන්නා ක්‍රමයට තිත තබා සුදුස්සාට සුදුසු තැන දීමට කටයුතු කිරීම මා දකින්නේ ඉතා මහගු කාර්ය බාරයක් ලෙසිනි. එම ක්‍රියාන්විතයේදී රනිල් වික්‍රමසිංහයන්ට තම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතුරින්ම ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වන්නේ මෙමගින් දේශපාලනීකරණය වූ අධ්‍යාපන පද්ධතියට එමඟින් සිදු වූ බලපෑම විදහා දක්වමිනි. ඒ සදහා ඔහු තරග විභාග ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. මීට අමතරව විද්‍යාපීඨ මගින් ගුරුවරුන් පුහුනු කිරීම ඇරඹූයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාය. මෙවන් අනගි කාර්‍යයන් ඔහු මෙරටට දායාද කර ඇත. එසේම අන්තර්ජාලය මෙරටට හඳුන්වා දීමටද ඔහු විශාල සේවයක් කර ඇත. අපගේ යහපත උදෙසා ඒ ගත් පියවරයන් කොතෙකුත් බුද්ධිමතුන් ලංකාවට බිහි කරන්නට ඇත්ද..??

ඔහු මේවා තැනින් තැන කියකියා යන්නේ නැත. ඔහුට අවශ්‍ය වැඩ පමනකි. මේ දේ මම කලා මේ දේ මම කලා යනුවෙන් ඔහු අඬබෙර ගසන්නේ, කෑ මොර දෙන්නේ නැත. නියම බුද්ධිමත් නායකයානම් ඔහුයි.

ඥාතී පරිසරය

මා පෙර සඳහන් කල පරිදි ඔහුගේ පියතුමන් වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහයි. විශ්ව විද්‍යාල අවදියේ සමාජවාදී අදහස් දැරූ ඔහු පසුව එයින් ඈත් විය. අනතුරුව ලේක් හවුස් ආයතනයේ සභාපතිකමද ඔහු දැරීය. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ වන්නේද ඔහුගේ මවගේ පියා වන ඩී.ආර් විජේවර්ධනයි. එසේම ශ්‍රී ල්ංකාවේ සිටි සුවිශේෂී ජනාධිපතිවරයකු වන ජේ. ආර් ජයවර්ධන මහතාද ඔහුගේ ලඟම ඥාතියෙකි. ඔහුගේ පිය පාර්ශවයේ සීයා වන සී.ඊ. වික්‍රමසිංහ ලංකාවේ ප්‍රථම ස්වදේශික ඉඩම් කොමසාරිස්වරයා වූ අතර ඩී.ඇස්. සේනානායක මහතාගේ රජරට සංවර්ධන ව්‍යාපාරයන්හී ප්‍රමුඛ නියමුවෙකු විය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අයියා වන ශාන් වික්‍රමසිංහ TNL ආයතනයේ හිමිකරුවා වන අතර නැගණිය වන ශානිකා වික්‍රමසිංහ මහත්මිය නීතීඥවරියකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රියාදර බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරියකි.

අධ්‍යාපනය

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හදාල ඔහුගේ සමවයසේ සගයන් වූයේ හිටපු අග්‍රාමාත්‍ය වරයකුවන එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරනායක මහතාගේ පුත් අනුර බන්ඩාරනායක හා සමාජවාදී නායකයකු වන පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන දිනේශ් ගුණවර්ධනයි. පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විධ්‍යාල ඉගෙනුමට වරම් ලද ඔහු ලංකා විශ්වවිධ්‍යාලය හෙවත් වර්තමානයේ හඳුන්වන පරිදි කොළඹ විශ්ව විද්‍යාලයයි. මෙතුවක් සිටි ජනාධිපතිවරු හා අග්‍රාමාත්‍යවරන් අතරින් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයක උපාධියක් හිමි එකම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.

තම සගයන්ට විශ්ව විද්‍යාල වරම් නැතිව පිටරට විශ්ව විද්‍යාල වෙත යද්දී ඔහුටත් ඉතා උසස් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගනීමට අවස්තාව තිබියදී ලංකාවේ එකට ඔහු ඇතුලු වූයේ දේශීයත්වය අගය කල නිසාය. වෙසෙසින්ම දේශීයත්වය, සමාජවාදය, ජාත්‍යාලය ගැන පුරසාරම් දොඩවන උදවිය බටහිර රටවලින් උපාධි ලබාගත්තද රනිල් වික්‍රමසිංහ අපේ රටේ අපේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු වීම සුවිශේෂී කරුණකි.

උපාධියෙන් පසුව නීති විද්‍යාලයෙන් විහාග සම්පූර්න කල ඔහු 1972 වර්ශයේ නීතීඥයෙකු ලෙස ඔහු වෘතිය පටන් ගත්තේය.

සිතන්න ඔහු තමා ඒ එකම පුද්ගලයා බව පවසා තිබෙනවාද ?… රට පුරා අඩබෙර ගසමින් ගොස් තිබේද ??… සැබෑ උගත්කම එය නොවේද ?…

දේශපාලනයට පිවිසීම

1970 දී කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක වශයෙන් එ.ජා.ප යට බැඳුනු රනිල් අනතුරුව පිළිවෙලින් එහි මුල් තනතුරුවලට ගමන් කලේය. පසුව කැලණිය සහ බියගම ලෙස දෙකඩ කරන ලද පැරණි කැලණිය ආසනයේ, බියගම ආසනය එජාපය විසින් ඔහුට භාර දීමෙන් අනතුරුව 1977 දී පැවති මහමැතිවරනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඔහුට වරම් ලැබිණි.

ලාබාලතම කැබිනට් ඇමතිවරයා ලෙස

1977 දී බලයට පත්වුනු ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ ආන්ඩුවේ සිටි ලාබාලතම පුද්ගලයා වූයේ රනිල් වික්‍රමසිංහයි. විදේශ කටයුතු පිළිඹඳව නියෝජ්‍ය අමාත්‍ය දූරය ඔහුට බාරවිනි. එහිදී හේ තම කර්තව්‍ය මැනැවින් ඉටු කලේය. ආයෝජන කලාප වලට විදේශ අයෝජකයින් ගෙන්වා ගැනීම හා නව තාක්ෂනය මෙරටට හඳුන්වාදීම ඔහු කල ඉතා මහඟු කාර්යයන්ය.

පසුව හෙතෙම තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්කෙරිනි. එහිදී ඔහු ලාංකික තාරුන්‍යයේ නොමැකෙන කර්තව්‍යයක් ඉටු කලේය. ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කරමින් රටේ තරුණ පරම්පරාවට ඉතා වටිනා ආයතනයක් බිහි කළේය. තරුණ පරම්පරාවට අවශ්‍ය වෘතීය පුහුණු හා දැනුම ලබා දීමේ තෝතැන්නක් වූ එතැන පහස ලැබූ තරුණයන් අද ඉහල පෙලේ ගායකයන් හා වෘතීකයන් වෙති. බෙල්වුඩ් කලා නිකේතනය බිහි කරමින් කලාකරුවන්ට තෝතැන්නක් නිමැවූ රනිල් වික්‍රමසිංහ මහරගම ඉදිකළ ජාතික තරුණ සේවා සභාව තුල ආණ්ඩුවේ මහත්ම මහත්මීන් රැස්වීම් පවත්වා රනිල් වික්‍රමසිංහයන්ටම බැණ වැදීම හාස්‍යයට කරුණක් නොවන්නේද?

රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති ලෙස කළ සේවයෙන් බිඳක් ඉහත මා සඳහන් කළෙමි. විශේෂයෙන්ම ගුරු පුහුණුව සඳහා විද්‍යාපීඨ සහ ජාතික අධ්‍යාපන ආයතන පිහිටුවීම, රටපුරා පාසල් පිහිටුවීම, නොමිලේ පෙළපොත් බෙදා දීම පුළුල් කිරීම යනාදිය එතුමා ඇමතිව සිටියදී කළ කී දෑය.

අග්‍රාමාත්‍ය ධූරයන් (1993-1994)

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති යටතේ කර්මාන්ත කටයුතු පිළිඹඳ අමාත්‍යවරයා ලෙස පත් වුනු රනිල් ශ්‍රී ලාංකීය කර්මාන්ත නගාසිටුවීම උදෙසා කල මෙහෙය අතිමහත්ය. කර්මාන්ත ඇමති පදවියට අමතරව ඔහු 1989 පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සභානායකවරයා මෙන්ම කැබිනට් ප්‍රකාශකවරයාද විය. බියගම විශේෂ කර්මාන්ත පුරය ආරම්භ කල ඔහු එම ප්‍රදේශයේ පැවැති ප්‍රශ්න ගනනාවකටම පිළිතුරු සැපයීය. රටේ ආර්ථිකය නගා සිටුවීමට ඔහු ගත් එම පියවරින් අතිමහත් සේවයක් ලාංකිකයනට අත් විණි. එපමණක්ද නොව මෙරටට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටද ඔහු කලේ ඉමහත් සේවයකි. එහෙත් අවාසනාවකට අද අපේ ජනතාවට ඒ මෙහෙවර අමතකව ඇත.

ලංකාවට ජංගම දුරකථන තාක්ෂණය හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වය යටතේය. කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ ඇමැති ලෙස 1991දී ප්‍රදර්ශනය හරහා තොරතුරු තාක්ෂණය ලක්දිව ප්‍රචලිත කිරීමට එතුමා පියවර ගත්තේ විපක්ෂයේ දහසකුත් අවලාද චෝදනා මැදය. ඔවුන් කීවේ තොරතුරු තාක්ෂණයට වඩා බෙහෙවින් වැදගත් දේ මෙරට ඇති බවයි. එයින් නොසැලුණු රනිල් වික්‍රමසිංහ මහතා රට තුල තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීමට කැපවූ අතර අන්තර්ජාලය ලොවට හඳුන්වාදී වසරක් ඇතුලත මොරටුව සරසවියත් එකතුව මෙරටට අන්තර්ජාලය හඳුන්වා දෙන ලද්දේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අන්තර්ජාල පහසුකම් ඇති පළමු රට බවටත් ආසියාවේ අන්තර්ජාලයට එක්වූ ප්‍රමුඛ රටක් බවටත් පත් කරමිනි. අද තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාට අවලාද නගන බොහෝ දෙනෙක් මේ යථාර්ථය නොදනිති.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව පක්ශයේ ප්‍රබලයන් වූ ලලිත් හා ගාමිණී එක්ව විශ්වාස භංගයක් ගෙන එන මොහොතේ පක්ශයේ අනාගතය උදෙස ඔහු ගත් ක්‍රියාමාර්ග ඉතාමත් අගනේය. අන් පක්ශ සහයෝගය දෙන මුවවෙන් එජාපය බංකොලොත් කිරීමට සැරසෙන බව ඔහු කල් තියාම දැන ගෙන පක්ශයේ අනාගතය උදෙසා බුද්ධිමත්ව කටයුතු කලේය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අභාවයෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ඔහු රටේ ආර්ථික දියුනුව උදෙසා අනගි සේවයක් කළේය. ඔහු පාලන සමයේ මෙරට ආර්ථික අතින් ඉතා විශාල දියුනුවක් ලැබුවේය. එසේම ව්‍යාපරද ඒ වකවානුව තුල දියුනුවට පත්විය.

ජනපතිගේ ඝාතනය සිදු වූ වේලාවේ රටේ කලබල ඇති නොවන ලෙස එතුමා කටයුතු කළ ආකාරයත් අගනේය. ජනපති අභාවය පිළිඹඳ පුවත මුළින්ම ලැබුනේ පක්ෂ කාර්යාලයටයි. ඒ වන විට තවත් රැළියකට සහභාගී වෙමින් සිටි අගමැති ඩී.බී විජේතුංග මහතා මේ පිළිඹඳ දැන සිටියේ නැත. ඔහුගේත් ජීවිතය අනතුරේ බව දැනගත් රනිල් ඔහු වහාම ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර ඔහුගේ පමිනීමෙන් පසුව ජනපති අභාව පුවත රටට හෙලිකලේය.

ඔහුට එම අවස්තාවේ ජනපති වීමටද අවස්තාව තිබිනි නමුත් ඔහු එසේ නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කලේය. කඩිනමින්ම ඩී.බී විජේතුංග මහතාව ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට සලස්වා රාජ්‍යයේ ස්ථාවරත්වය රැක ගැනීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමි විය යුතුය. අනෙක් අතට 1994 මහ මැතිවරණය පරාජය වී පැය 24ක් ඇතුලත අරලියගහ මන්දිරයෙන් ඉවත් වී තම නිවසට ගොස් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ආණ්ඩුව පිහිටුවා අරලියගහ මැදුරට එන්නට එතුමා අවකාශ විවර කළේ මහත්මා ලීලාවෙනි. ඔහුගේ බල ලෝභයක් නොමැතිබව එයින් මොනවට පැහැදිළි වෙයි.

1993-1994 කාලය තුල රටේ ආර්ථිකය දරුණු අර්බුදවලට මුහුණ පෑවේය. මේ ප්‍රශ්න අතුරින් රට මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉවහල් විය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී සිටින් සමයේදී දරුණු යුද්ධයක් මෙහෙයවන්නට ඔහුට සිදුවිණි. විධායක ජනාධිපති ක්‍රමය තුල බිහිවූ ක්‍රියාශීලීම අග්‍රාමාත‍යවරයා ලෙස විශේෂයෙන්ම නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම් වලට එතුමා අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කළ අතර හමුදාවේ වීර සෙබළුන්ගේ කැපවීම හා අධිෂ්ඨානය මත නැගෙනහිර මුළුමනින්ම කොටි ග්‍රහණයෙන් මුදවා ගෙන පළාත පුරා පළාත් පාලන ඡන්දයද පවත්වන ලදි. එදා රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය හැර යන විට නැගෙනහිර මෙන්ම පුනරීන්, අලිමංකඩ, කිලිනොච්චි සහ මුලතීව් යන සියළු ප්‍රදේශ රජයේ පාලනයට නතු වී තිබුණි. නමුත් 2001දී යළි එජාපය බලයට එන විට එකී භූමි ප්‍රදේශයෙන් අතිමහත් බහුතරය කොටි ග්‍රහණයට නතුව තුබූ අතර අළුතින් රජයේ අණසකට නතුව තිබුණේ යාපනය අර්ධද්වීපයේ කොටසක් පමණි.

ගාමිණී දිසානායක සමඟ

ගාමිණී දිසානායකයන්ගේ එක්සත් ජාතික පක්ෂ පුනරාගමනයත් සමඟ විපක්ෂනායකකමට 1994දී තරඟයක් ඇති වූ අතර එජාප මන්ත්‍රීවරුන් එහි ඡන්දදායකයින් විය රනිල් වික්‍රමසිංහ එහිදී ඡන්ද දෙකකින් පරාජයට පත්වුවද ගාමිණී දිසානායක මහතාටත් පක්ෂයටත් ශක්තියක් විය. 1994 ඔක්තෝබරයේ අඳුරු රැයක තොටළඟදී ගාමිණී දිසානායක මහතා ඝාතනය ලක්කෙරෙන වේදිකාවේ සිටද රනිල ජනතාව ඇමැතීය. ගාමිණීගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජනාධිපති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ගන්නට අවකාශ තිබුණද හේ එය ශ්‍රීමා දිසානායක මහත්මියට ලබා දුන්නේය. ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් විපක්ෂනායකයා ලෙසත් එතුමා තේරී පත්විය.

2001 – 2004

චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය යටතේ පැවති මහමැතිවරණයේ දී ආසන109 ක් ලබාගනිමින් ජයග්‍රහණය කල එජාපය නව රජයක් පිහිටුවීය. එහි අග්‍රාමාත්‍යවරයා වූ රනිල් තමාගේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. විරුද්ධ පක්ෂ ජනපති කෙනෙකුන් සමඟ ආණ්ඩුවක් පිහිට වූ ඔහු එවකට පැවති ආර්තික පරිහාණිය දුරලීමට කටයුතු කළේය.

2001-2004 ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් සිටියේ 40ක් පමණි. එක්සත් ජාතික පක්ෂය 2001දී භාරගත්තේ දුර්භාග්‍යයට පත්වූ ආණ්ඩුවකි. ආර්ථික වර්ධන වේගය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ අගයක් ගෙන තිබූ අතර භාණ්ඩාගාරය හිස්ව තිබුණි. හමුදාවේත් රටේත් චිත්ත ශක්තිය බිඳ වැටී තිබුණේ අලිමංකඩ, මුලතීව්, කිලිනොච්චි පරාජයන් සමඟය. හමුදාව යාපනය අර්ධද්වීපය තුල සිරවී සිටි අතර මේ වනවිට කටුනායක ගුවන් තොටුපළට කොටි පහරදී විනාශ කර තිබීම නිසා විදේශ රජයන් අපට එරෙහිව දැඩි සංචාරක සම්බාධක පනවා තිබුණි. වරායට එන නැව්වලින් රක්ෂණ අධිභාරයක් ගත් නිසා හා පොදු පෙරමුණේ වැරදි බදු පිළිවෙත නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබුණි. ගුවන් සමාගම් කොළඹට ඒම ප්‍රතික්ෂේප කළ අතර විදේශිකයන්ද මෙරටට ඒමට බිය විය. රට පුරා දවසින් අඩක් පමණ විදුලිය ඇණ හිටුවීමක්ද මෙකල සිදු කෙරුණි. අද එජාපයට සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දොස් කියන අයට මේවා අමතකය. 2001දී රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ අන්තයටම පිරිහුණු රටකි. එම රට සංවර්ධනය ඔහුගේ එකම ඉලක්කය විය.

යාපන සංචාරයක

චන්ද්‍රිකා රජය සම්පාදනය කළ සටන් විරාම ගිවිසුම සංශෝධනය කර අත්සන් නොකළේ නම් උතුරේ ලාංකේය සෙබළුන්ට මහත් ඛෙදවාචකයකට මුහුණ පාන්නට සිදු වෙයි. ශ්‍රී ලංකා යුද හමුදාව 1997දී නිකුත් කළ 50 වැනි සංවත්සර පුස්තකයේ රනිල් වික්‍රමසිංහයන්ගෙන් හමුදාවට සිදු වූ අතිමහත් සේවය ඉතා ගෞරව පූර්වකව පැහැදිලි කරන්නේ පොදු පෙරමුණු ආණ්ඩුවක් රට පාලනය කරද්දීය. සටන් විරාමය සියයට සියයක්ම රජයට වාසි නොවුණත් එකල රට තුල පැවැති දුර්දාන්ත තත්ත්වය උඩ වෙනත් විකල්පයක් නොවීය. රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව, ඇමෙරිකාව ආදී රටවල් සමඟ සබඳතා තර කර ගනිමින් කොටින්ගේ ජාත්‍යන්තර ජාලය බිඳ වට්ටන්නට කටයුතු කරන අතරම හමුදාවට ඒ රටවලින් නවීන යුදෝපකරණ ලබා ගත බව අද ආණ්ඩුවේ උණින් දොඩවන “දේශප්‍රේමීන්” නොදනිති. ජාත්‍යන්තරයේ කොටි කොන් කිරීම නිසාම 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාද කිරීමට කොටි තීන්දු කළහ.

ආර්ථිකයට පණ දීම අසීරු කාර්යයක් විය. අද සන්ධානය උදම් අනන්නේ ලක්ෂ 6ක්වූ රාජ්‍ය සේවය ඔවුන් ලක්ෂ 12කට වර්ධනය කළ බවයි. නමුත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව අපි දනිමු. රනිල් වික්‍රමසිංහ මහතාද රටටත් බදු ගෙවන ජනතාවටත් බරක් වූ රාජ්‍ය සේවයේ අනවශ්‍ය වියදම් කපා හැරියේය. උවමනාවට වඩා සේවකයන් සිටි අංශවල ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීමෙන් ලක්ෂ 8ක රාජ්‍ය සේවය ලක්ෂ 6ට අඩු කළේය. රටේ උන්නතිය ගැන සිතා එක්සත් ජාතික පාක්ෂිකයන්ටවත් රජයේ රැකියා දීමෙන් වැළකී සිටියේ රටේ ආර්ථිකයට එවැන්නකට ඔරොත්තු දිය නොහැකි තත්ත්වයක් නොතිබූ නිසාය. කෙසේ වෙතත් පෞද්ගලික ව්‍යවසාය දිරිගන්වමින් රැකියා උත්පාදනයට එතුමා ප්‍රමුඛ එජාප රජය ක්‍රියාශීලී විය.

ජනතාව සමඟ කතාබහක

රටේ ආර්ථිකය ගොඩ ගැනීමට “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ආරම්භ කළ අතර අද මේ රජය ක්‍රියාත්මක කරන බොහෝ ව්‍යාපෘති එහි කොටස්ය. උදාහරණයක් ලෙස කොළඹ දකුණු වරාය, හම්බන්තොට වරාය, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය යනාදිය මේ “යළි පුබුදමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතියේ අංගයන්ය. එදා සීගිරිය, සිංහරාජය විකුණනවා යැයි පදනම් විරහිත අවලාද නැගූ උදවිය අද සංචාරකයන් එම ස්ථානවලය ආකර්ෂණය කරගැනීම උදෙසා එවැනිම ව්‍යාපෘති කිරීම දෛවයේ සරදමක් නොවන්නේද??

ලෝකය හා එකිනෙක යන යථාර්තවාදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරනා ඔහු විදේශ සහයෝගය හා විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම මගින් ආර්තිකය ගොඩනැගීමේ පිළිවෙතක් කෙරෙහි විශ්වාස කරයි. ඔහුගේ පාලන සමයන් තුලදී ඔහු විශාල ප්‍රමාණ වශයෙන් විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගනීමට කටයුතු කළේය. “යළි පුබුදමු ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක ප්‍රජාව ඇමරිකානු ඩොලර් බිලියන 45ක ණය ආධාර පොරොන්දු වී තිබුණි. 2004 එජාප රජය යටතේ නිදහසින් පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂණය කළේය. අද දේශීය හා කෘෂි ආර්ථික ගැන බෙරිහං දෙන උදවියට මේවා කදිම පාඩම්ය.

එසේම රජයේ ආයතන වලට දේශපාළන අනියුක්ත කිරීම් වලට විරුද්ධ වූ ඔහු තම පාලන සමයන් තුලදී එසේ කිරීම් නවත්වන ලදි.

ඔහු 2002 පාලන සමයතුලදී ඔහුගේ ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් එවකට -1.5% ක් ව පැවති දළ ජාතික නිශ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය. එසේම එය ඊළඟ අවුරුදු වළදී 5.9% ක් හා 5.4% මට්ටමකට ඔහු එය පත් කළේය. එසේම ඔහු පාලන සමය තුළදී උද්දමනය 10% කට පහළින් තබා ගැනීමට සමත් විය. එය 2%, 3% වැනි සාමාන්‍ය අගයක් ගැනීම නිසා මහජනතාවට ජීවන බරක් නොදැනිණි.

2004දී ඔහු විදේශගතව සිටිද්දී ඇමැති තනතුරු තුනක් පවරාගත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. ඒ වනවිට එල්ටීටීඊය සමඟ සාම කතා බිඳ වැටී තිබුණද එජාපයට කොටි ලේබල් අලවා, රනිල් වික්‍රමසිංහ කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ආහ. නමුත් කොටින්ගේ පරාජයට පාර කපමින් එල්ටීටීඊය දෙකඩ කරමින් ලෝක ප්‍රවණතාව කොටින්ට විරුද්ධව හරවමින් රනිල් වික්‍රමසිංහ ගෙන ගිය වැඩපිළිවෙළ ජනතාව තේරුම් නොගත්හ. එදා රනිල් වික්‍රමසිංහ මහතා කරුණා අම්මාන්ව කොටින්ගෙන් කඩාගැනීම ගැන ආණ්ඩුවේ හොරණෑවක් වන Daily News පුවත්පතේ පළවූ ලිපිය කියවන්න. එදා සන්ධානය කීවේ කුමක්ද? 2005දී කොටි ලේබල් ඔහුට ඇලවෙද්දී, රාජ්‍ය මාධ්‍යය තුච්ඡ ලෙස එතුමාට පහර ගසද්දී කොටින් උතුරේ ඡන්ද වළක්වද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද එක් ලක්ෂ අසූදහසකින් පරාජයට පත්විය.

බොහෝ දෙනෙක් පළාත් පාලන ඡන්ද පවා රනිල් වික්‍රමසිංහගේ පරාජයන් ගොන්නට දමා බොළඳ තෘප්තියක් විඳිතත් රට වෙනුවෙන් සිදුවිය යුතු පරිදි නිවැරදි නමුත් ජනප්‍රිය නොවූ තීරණ ගනිමින් ජයේත් පැරදුමේත් නොසැලී හිඳිමින් ප්‍රතිපත්ති රකිමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෞරවය හිමිවේ.

ඔහු අද ඉදිරිපත් කර ඇති වැඩ පිලිවෙළ දෙස බලන්න… රටේ දියුනුවට එය හොඳ විසඳුම් සපයනවා නොවේද…?? ඔහුගේ එම ක්‍රියා පිළිවෙළින් මෙරට ආර්ථික මෙන්ම සාමාජීයවද දියුනු කිරීමට හැකි බව මාගේ විශ්වාසයයි.

ඔහු කියාසිටින්නේ ඔහුට අවශ්‍ය අවුරුදු 5ක් පමණක් බවයි.රනිල් යනු කරන දෙයකියනා නායකයෙකි. ඔහු රට දියුනු කිරීමට ඉල්ලා සිටින වරම ලබා දීමට රටේ ජනතාව බුද්ධිමත් වේවා !!!!!!!!!!!!!!!!

– සී.ආර්.බී. සෙනෙවිරත්න සහ හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 අප්‍රේල්