යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය

නොබෝදා අවසන් වූ 2015 මහා මැතිවරණය පිළිබඳව ජනමාධ්‍යයේත් සමාජයේත් අස්සක් මුල්ලක් නෑර විශ්ලේෂණය වෙමින් පවතී. මෙම ලියමන මගින් මෙතෙක් සාකච්ඡාවට බඳුන් නොවූ කරුණු කිහිපයක් විශ්ලේෂණාත්මක දෘෂ්ඨියකින් හුවා දැක්වීම ලියුම්කරුගේ අපේක්ෂාවයි.

මෙම මහා මැතිවරණය විටෙක අතිශය භයංකර ස්වරූපයක් ගනු ලැබූයේ ඉතා අන්තරායකර අයුරින් ජාතිවාදය අඩු වැඩි වශයෙන් සිංහල, දමිළ සහ මුස්ලිම් දේශපාලකයින් විසින් යොදා ගත් නිසාවෙනි. නමුත් ජාතික සමගියට වින කරන එවන් අවස්ථාවාදී දේශපාලුවන් රැසකට අතුල් පහරක් ලබාදීමට උතුරේත් දකුණේත් ජනතාව පරිණත වීම සැබෑ දේශප්‍රේමීන්ට මහත් අස්වැසිල්ලකි.

එහිදී, යුද භීතියක් උලුප්පා දක්වමින් “දිනූ දේශය අනතුරේ” යමින් ආඩපාළි ගයමින් රටපුරා ගිය එජනිස “මහින්දවාදී” කඳවුර ජනතාව විසින් පරාජය කරන ලදි. එම ආණ්ඩුවේම සාමාජිකයින් උපුටා දක්වන පරිදි 2014 ඇමෙරිකානු CIA ඔත්තු සේවා වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන රජය කොටි ජාත්‍යන්තර ජාලය අඩපණ කිරීමට අපොහොසත් විය. එසේ අසමත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 17කම තැපැල් ඡන්දය පරාජයට පත්විය. ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහ පොලිස් නිලධාරීන් රාශියක් තැපැල් ඡන්දදායකයින් වීම මතම සන්ධානයේ අවස්ථාවාදී දේශපාලකයින්ගේ මුසාව මොනවට පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාම කියන පරිදි ඔහු කුරුණෑගලට දේශපාලනිකව සංක්‍රමණය වූයේ ලංකාවේ වැඩිම රණවිරුවන් පිරිස එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් වීම නිසාය. එය එසේ වුවත් කුරුණෑගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය පවා සන්ධානය ඡන්ද 2,500කින් පමණ පරදී. විශාල රණවිරුවන් පිරිසක් සිටින අනුරාධපුර, මොණරාගල, මාතලේ, පොලොන්නරුව, මහනුවර, ගම්පහ, කෑගල්ල ආදී දිස්ත්‍රික් සියල්ලෙහිම තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් විද්‍යාමාන වෙනුයේ “මහින්ද සුළඟ” කළ දෝෂාරෝපණවල හරසුන්භාවයයි.

හොරොව්පොතාන ආසනයේ සිදු වූ කැබිතිගොල්ලෑව බස් බෝම්බය

එපමණකුදු නොව, යුද සමයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් අත්විඳි මායිම් ගම්මාන රැසක් පිහිටා ඇති අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාශය පවා එක්සත් ජාතික පක්ෂය 2001න් පසු ප්‍රථමවරට ජයග්‍රහණය කිරීම කැපී පෙනෙන කාරණාවකි. අදටත් මනුස්සකමින් පිරිපුන් සිත් කම්පා කරවන කැබිතිගොල්ලෑව බස් බෝම්බය ආදී ව්‍යසන සිදු වූයේ මෙකී හොරොව්පොතාන මැතිවරණ බලප්‍රදේශය තුලදී වීම අමතක නොකළ යුතුය. සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලප්‍රදේශ වන මායිම් ගම්මාන රැසක් පිහිටි මැදවච්චිය, සේරුවිල වැනි ආසන පවා ඔවුන් ජයගත්තේ ඡන්ද 2,000ක් වැනි සුළු පරතරයකිනි. තවද කොටි උවදුරෙන් දැඩි ලෙස පීඩා විඳි දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේදී යුද භීතය නැවත අවුළුවමින් මැතිවරණ ව්‍යාපාරයක නිරත වූ, 19වන සංශෝධනයට විරුද්ධ වූ නිසා පාර්ලිමේන්තුවේ විශිෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගෙන් විරුදාවලි ලද, සරත් වීරසේකර මැතිතුමාව එජනිසයේ සිංහල ඡන්දදායකයන් විසින් පරාජයට පත්කිරීමද කැපී පෙනෙන සිදු වීමකි.

සන්ධානයෙන් ඔබ්බට ගොස් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ අන්තවාදී සිංහල බෞද්ධ ස්ථාවරයක සිට මැතිවරණයට මුහුණ දුන් බොදු ජන පෙරමුණට මුළු ශ්‍රී ලංකාවෙන්ම ලබා ගත හැකි වූයේ ඡන්ද 20,000ක් පමණි, එය ප්‍රතිශතයක් ලෙස රටේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 0.2%කටත් අඩුය. මෙකී කරුණුවලින් පෙනී යන්නේ අපේ සිංහල ජනතාව “යුද භීතය” යන තුරුම්පුව යොදා ගනිමින් හෝ ජාතිවාදිය අවුළුවමින් තවදුරටත් පටු දේශපාලනික අරමුණු සාක්ෂාත් කරගනු වස් හැසිරවිය නොහැකි බවයි! රණවිරුන් විශාල පිරිසක් අන්තර්ගතවන තැපැල් ඡන්දයේ ප්‍රතිඵලය විසින් උතුරේ හෝ නැගෙනහිර ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විශ්ලේෂණය කළ හැකිය.

ගජෙන් පොන්නම්බලම්

මෙම පණිවුඩය ලැබුණේ සිංහල ඡන්දදායකයින් අතුරින් පමණක් නොවේ. උතුරේ ද්‍රවිඩ ඡන්දදායකයින්ද අන්තවාදය ප්‍රතික්ෂේප කළෝය. දේශපාලනික වශයෙන් අපරණිත බොහෝ සිංහලයින් නොදනිතත්, ද්‍රවිඩ ජාතික සන්ධානය ට විරුද්ධව ඉතා අන්තවාදී මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගිය කණ්ඩායම් දෙකක් විය. ඉන් එකක් වූයේ ගජෙන් පොන්නම්බලම් නායකත්වය දුන් සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයයි. කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන රැසකගේ සහාය සහ මූල්‍යය දායකත්වය ලද ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය අතිශය ක්‍රියාශීලී එකක් වූ බව තතු දත්තෝ පවසති. ද්‍රවිඩ ජාතික සන්ධානය දකුණේ සිංහල දේශපාලනඥයන්ට දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පාවා දෙන බව පවසමින් දමිළ ඡන්දදායකයා හඹා ගිය සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය පාර්ලිමේන්තු ආසන කිහිපයක් දිනා ගනු ඇතැයි බොහෝ දේශපාලන විශ්ලේෂකයින් අනාවැකි පළ කළහ. නමුත් සිදු වූයේ කුමක්ද? සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයට කිසිඳු ආසනයක් හිමිවූයේ නැත. එපමණකුදු නොව යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසයට වඩා වැඩි ඡන්ද 2,000ක් ලබා ගැනීමෙන් විද්‍යාමාන වූයේ යාපනයේ දමිළ ජනතාවට ඒකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය, සමස්ථ ලංකා ද්‍රවිඩ කොංග්‍රසය වැනි අන්තවාදී පක්ෂයකට වඩා වටිනා බව නොවේද?

ඊට අමතරව හිටපු LTTE සාමාජිකයින් පිරිසක් ද්‍රවිඩ ජාතික සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලීමක් කළ බව ඔබට මතක ඇත. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුණු පසුව එකී කණ්ඩායම ස්වාධීනව යාපනය දිස්ත්‍රික්කයට “මකුළුවා” ලකුණ යටතේ තරඟ වැදුණි. ඔවුන්ටද කොටි ඩයැස්පෝරාවෙන් මූල්‍යමය සහය ලැබුණු බවට වාර්තා විය. අන්තවාදී ද්‍රවිඩ මතවාදයන් නියෝජනය කළ මෙම කණ්ඩායමද යාපනයෙන් ආසනයක් හෝ ජයගනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ අනුමාන කළහ. කෙසේ වෙතත් ඔවුන්ට අත්වූයේ අන්ත පරාජයකි. දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2,000ක්වත් දිනා ගැනීමට අපොහොසත් වූ ඔවුන්ට හිමිවූයේ දිස්ත්‍රික්කයේ වලංගු ඡන්දයෙන් 0.66%ක පමණි. ද්‍රවිඩ ජාතික සන්ධානය තුලදීද අතිශය අන්තවාදී ස්ථාවරයන් දැරූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයාව  ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. දෙමළ ප්‍රජාව තුල මධ්‍යස්ථ ස්ථාවරයන් දැරූ, ඒකීය රටක් තුල බලය බෙදීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වූ මුල්ම TNA දේශපාලනඥයකු වූ M.A. සුමන්තිරන් මහතා යාපනයෙන් පරාජය කිරීමට විශාල ලෙස ද්‍රවිඩ අන්තවාදී බලවේග පෙල ගැසුණි. අධිනීතීඥයකු වන හෙතෙම වැඩිමනත් කලක් කොළඹ ආශ්‍රිතව කටයුතු කළද යාපනයේ ජනතාව මඩ ප්‍රචාරවලට නොරැවටී සුමන්තිරන් මහතාව දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලයේ ඉහළ ස්ථානයක ඔසවා තබන ලදි.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී අපට පෙනී යන්නේ රටේ සිංහල සහ දමිළ ජනතාව විසින් ජාතිවාදය සහ යුද උන්මාදය පිළිකුළෙන් යුතුව අගෝස්තු 17දා ප්‍රතික්ෂේප කර ඇති බවයි. මෙතෙකින් නොනැවතී ජනවාර්ගික සංහිඳියාව ගොඩ නගා ගැනීම උදෙසා සියල්ලෝම පෙළ ගැසීම කාලීන අවශ්‍යතාවයකි. එකිනෙකාගේ භාෂාවන් උගෙන මෛත්‍රී සිත් පෙරදැරීව තමතමුන්ගේ ගැටළු නිරාකරණය කරගනිමින් සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා පා තැබීම කාගේත් වගකීමකි, යුතුකමකි. වාසනාවට කරුණ නම් යාපනයට තබා සීගිරියටවත් නොගිය ඊනියා දේශප්‍රේමීන් වෛරය වපුරුවමින්, යුද බිය ඇතිකරමින් රට අස්ථාවර කිරීමට දැරූ කාලකණ්ණි උත්සාහය (දැනට) නිරර්ථක කිරීමට සබුද්ධික ශ්‍රී ලාංකිකයන් සමත් වී තිබීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: