වීරියවන්තයින්ගේ පක්ෂය – එක්සත් ජාතික පක්ෂය

“උනුත් එකයි, මුනුත් එකයි”, “ඔයි කොයි දේශපාලන පක්ෂයත් එකයි” යනාදී කියමන් ලාංකේය සමාජයේ බහුලව ඔබට අසන්නට ලැබෙයි. නමුත් එකී ප්‍රකාශයන් යථාර්තයෙන් බෙහෙවින් දුරස්ථය.

එක්සත් ජාතික පක්ෂය යනු දැවැන්ත මතවාදී ප්‍රවාහයකි, බේදභින්නතා පසෙකලා රටේ එකිනෙකාට අනන්‍ය වූ ජනතාව එක පොදියට එක්සත් කරන්නාවූ ප්‍රතිපත්ති සමුදායකි, දේශපාලන දර්ශනයකි. පුද්ගලාභිවන්දනය පසෙකලා ප්‍රතිපත්ති පෙරදැරිව රට ගොඩ නැගිය යුතු මෙවන් සන්ධිස්ථානීය නිමේෂයක ඔබේ දේශපාලන මතවාදය ගලපා ගන්නට රුකුලක් ලබා දීම මෙම ලිපියේ අදිටනයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභවය

1946 සැප්තැම්බර් 6දා එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ ශ්‍රී ලාංකික ඔබ අප සැමගේ පක්ෂයක් විලෙසිනි. ජාති, ආගම්, කුල භේදයෙන් තොර වූ එජාපය එදා මෙදා තුර රටේ අස්සක් මුල්ලක් නෑර දිවි ගෙවන සෑම ජන කොට්ඨාශයකටම සේවය කර ඇත. පක්ෂයේ නම වූ “එක්සත් ජාතික පක්ෂය” යන්නෙන්ම එය අරුත් ගන්වයි. ලක්වාසී සියළු දෙනා එක්සත් කරමින් ජාතික නිදහස දිනා දීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් කිරීම එජාපයේ මුල්ම ජයග්‍රහණයකි. තැන තැන විසිරී සිටි ජාතික බලවේග එක පොදියකට එකතු පහදු කරගනිමින් සුදු අධිරාජ්‍යයවාදීන්ට එල්ල වෙමින් තුබුණු පීඩනය තීව්‍ර කරවීම එජාප නිර්මාතෲ ඩී.ඇස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ මෙහෙයවිමෙන් සාක්ෂාත්කර ගැනීම ශ්‍රී ලාංකේය ජාතියම ලත් විජයග්‍රහණයකි.

සමාජ දැක්ම – සම හැකියාවනට සම අවස්ථා

එජාපයේ සමාජ ප්‍රතිපත්තිය වන්නේ “සම හැකියාවනට සම අවස්ථා” යන්නය! ඇතැම් පක්ෂ මෙන් රදළයින්ට පොල්කටු හැන්දෙන් බෙදා දුගියාට කන් හැන්දෙන් බෙදනවා වෙනුවට රටේ සමස්ථ ජනතාවටම දියුණුවට සම අවස්ථා විවර කරලීම එජාප ප්‍රතිපත්තියයි. එහිදී ජාති, ආගම්, කුල භේද නොසලකා ශ්‍රී ලාංකේය සැවොම එක මවකගේ දරු කැළක් මෙන් සලකා සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම පක්ෂයේ ආදිකර්තෲවරුන්ගේ නිර්මල පැතුම විය. සුදොවුන්, බිම්බිසාර වන් රජවරුන්ගේ සිට සුනීත, සෝපාක, රජ්ජුමාලා වන් “කුල හීනයන්ටද” එකසේ දයාව කරුණාව පාමින් සමානාත්මතාවයේ වටිනාකම ලෝවාසි සැමට කියා දුන් බුදුරජාණන්වහන්සේගේ අදහස්වලින් එජාපයේ සමාජ මතය උකහා ගෙන ඇතැයි යමෙකුට තර්ක කළ හැකිය. උතුම් වූ බුදු දහමට රාජ්‍යය අනුග්‍රහය සහ ආරක්ෂාව ලබාදෙමින් ලක්වාසී සැමගේ ආගමික නිදහස තහවුරු කළ යුතු යැයු 1978 ව්‍යවස්ථාවේ ලෙස දෙවැනි පරිච්ඡේදයේ එජාපය අඩංගු කරලීමද මෙකී චින්තනයට මාහැඟි නිදර්ශනයකි.

නිදහස් ශ්‍රී ලංකාවේ රදළ උරුමයකින් තොරව රාජ්‍ය නායකත්වයට පිළිපන් දෙදෙනාම එම තනතුර ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂයේත් එහි ජීවනාලිය බඳු වූ පාක්ෂිකයාගේත් කැප වීමෙනි. රටේ පොදුජනතාව නියෝජනය කරන බැව් පවසන ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය සැමවිටම එහි රාජ්‍ය නායකත්ව අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ වලව් පැලැන්තියේ පුද්ගලයකු වීම සුවිශේෂීත්වයකි. සිරිලකට නිදහස් අධ්‍යාපනය, මහපොළ සහ නොමිලේ නිල ඇඳුම, පෙළ පොත් හඳුන්වා දෙමින් පැල්පතේ පුංචි දරුවාටත් වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, දැහැමි කෝටිපතියකු වීමේ සිහිනයට පාර කැපුවේ එජාපයයි. නිදහස් සෞඛ්‍යය සේවය ලබාදෙමින් බුදුන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ කියැවෙන “ආරෝග්‍යා පරමා ලාභා” යන්න ලාංකිකයන්ට යථාර්තයක් බවට පත් කිරීමට වෙහෙස වූයේ එජාපයයි.

එජාපය සහ කෘෂිකර්මාන්තය

එක්සත් ජාතික පක්ෂය තම වර්ණය වශයෙන් හරිත පැහැය තෝරාගන්නේ කෘෂිකර්මය පදනම් කරගනිමිනි. සියවස් ගණනාවක විදේශීය පාලනයෙන් වල් වැදුනු රජරටට ගංගා හරවා රට සහලින් ස්වයංපෝෂණය කළේ එජාපයයි. මින්නේරි, රාජාංගනය, ගල්ඔය, උඩවලවේ, මහවැලිය වැනි අදටත් රටට බත මෙන්ම විදුලියත් සපයන දැවැන්ත බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රම රටේ කරවූයේ එජාපයයි. බත් ප්‍රධාන ආහාර වේල වූ ශ්‍රී ලංකාව එජාපය වසර 30කින් නිම කිරීමට නියමිතව තුබූ මහවැලිය වසර 6කින් කඩිනම් මහවැලිය ලෙසින් නිම කරන තුරු සහලින් ස්වයංපෝෂිතව නොතිබූ බව පාඨක සමහරෙක්ට පුදුමය එළවනසුළු විය හැකිය.

කුඩා දිවයිනක් වුවත් ශ්‍රී ලංකාවට කෘෂිකාර්මික දියුණුව සාක්ෂාත් කරගැනීමේ විශාල විභවයක් පවතී. එමඟින් රටට ආනයනය කරන ආහාරපාන අවම කරගැනීමටත් අපනයන හරහා අලුත් මූල්‍යෝත්පාදනයටත් දොරටු විවර වෙයි. 1994 පටන් පැවැති ශ්‍රිලනිප ප්‍රමුඛ රජයන් අසමත් වූ මෙකී කර්තව්‍යය සපුරාලිය හැක්කේ අද්විතීය කෘෂි ඉතිහාසයකට උරුමකම් කියන එජාපයට පමණි. කෙසේ වෙතත් කෘෂිකර්මාන්තය රටේ මූලික ආදායම් උත්පාදන මාර්ගය බවට පත් කරගත නොහැකි බව එජාපයේ විශ්වාසයයි. ඉඩම්, තාක්ෂණය ආදී දෑ වලින් පොහොසත් අන්‍ය ජාතීන් සමඟ අපට උරෙනුර ගැටිය හක්කේ බෝග කිහිපයක් සඳහා පමණක් වුවත් හැකි තරම් දේශීය අවශ්‍යතාවයන් රට තුලින් සපුරා ගත යුතු බව එජාපයේ විශ්වාසයයි. වසර 10ක් කුරහන් සාටකයක් පැලැඳි රාජ්‍ය නායකයකු සිටියද කුරක්කන් ඉන්දියාවෙන් තොග පිටින් ආනයනය කරන රටක අප වෙසෙන බැව් බොහෝමයක් දෙනා නොදනිත්.

සමාජ වෙළෙඳපොළ අර්ථ ක්‍රමය සහ නූතන ලෝකයට අවැසි සංවර්ධනය

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික මතවාදය වනාහී සමාජ වෙළඳපල ආර්ථික ක්‍රමයයි. මෙහි විශේෂත්වය නම් තරඟකාරී වෙළඳපල ආර්ථිකයක් පවත්වා ගන්නා අතරේදීම සමාජ සුබසාධනය සහ ආරක්ෂණය කෙරෙහිද අවධානය යොමු කිරීමයි. මෙය උග්‍ර ධනවාදී ආර්ථික මතවාදයන්ට වෙනස්ය. මක්නිසාදයත් සමාජ වෙළඳපල ආර්ථික ක්‍රමයක් හරහා සමාජයේ ඌණ වරප්‍රසාදිත ජනතාවටද සාර්ථකත්වය ළඟා කරගැනීමට සමාන අවස්ථාවක් ලබාදීම මුලිකාංගයකි.

එජාපය වෙර දරන්නේ ප්‍රබල මධ්‍යම පන්තියක් නිර්මාණය කරලීමට විනා, පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මෙන් අධිසුඛෝපභොගී සුපිරි ධනවතුන් බහුතරයකට යට වුණු මැදි සහ දුප්පත් පන්තියක් බිහි කිරීමට නොවේ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සපයනු වස් සුබසාධනය කෙරේ එජාපය වැඩි අවධානයක් යොමු කරයි. මීට කදිම උදාහරණයක් නම් එජාපයේ ජනසවිය සහ ශ්‍රීලනිපයේ සමෘද්ධිය සහ දිවිනැගුමයි. ජනසවියෙන් කළේ ගමේ ජනතාව ශ්‍රමදාන සහ පොදු වැඩ ඔස්සේ ගමේම අභිවෘද්ධියට යොදවා ගෙන ඔවුන්ට එකී දායකත්වය වෙනුවෙන් වියළි ආහාර යනාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමයි. නමුත් ශ්‍රීලනිපය කළේ දිළිඳුකම මැඩලීමේ මුවාවෙන් බදු මුදල් දේශපාලන සහචරයන්ට කොන්දේසි විරහිතව “පිනට” බෙදා දීමයි. ඊටත් වඩා ගැටළුව නම් එකී ආධාර මුදල් ඒවා සැබැවින්ම අවශ්‍ය අයට කෙසේ වෙතත් සිය දේශපාලනික හිතවතුන් අතරේ බෙදා දීමයි.

එජාපය එදා පටන් “ධනපති” ලේබලය ඇලවීමට වාමවාදී බලවේග උත්සුක වුවත් එජාපය යනු “මහන්සිවී වැඩ කරන වීරියවන්තයින්ගේ පක්ෂයයි”. එහි ආර්ථික මතය නම් ජනතාවට ස්වශක්තියෙන් නැගිටීමට අවකාශ සලසා දේශීය ව්‍යවසායකයින් රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත් කිරීමය.

එජාපයේ ප්‍රතිපත්තිය නම් බදු මුදල් අවම වශයෙන් අය කරගෙන රටට අවශ්‍යම ආයෝජන සිදු කරලීමයි. නමුත් නිදහසින් පසු බිහිවූ සියළු ශ්‍රිලනිප ප්‍රමුඛ රජයන් කර ඇත්තේ බදු බර උපරිමයෙන් ජනතාව පිට පටවා කිසිඳු ආර්ථික ප්‍රතිලාභයකින් තොර ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, තෙල් සංස්ථාව යනාදී මකර කටවලට අපේ අහිංසක ජනතාවට අධ්‍යාපන අයිතිය, සෞඛ්‍යය අයිතිය වෙනුවෙන් යෙදවිය යුතු මුදල් පුදදීමයි. එජාපය එදා කළ රාජාංගනය, මහවැලිය, ගල්ඔය, මහපොළ, තරුණ සේවා සභාව, ගම්උදාව, කර්මාන්තශාලා 200, කටුනායක, කොග්ගල, බියගම ආදී අපනයන සැකැසුම් කලාප වැනි ව්‍යාපෘතිවල ප්‍රතිලාභ අදටත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විසින් සෘජුව හෝ වක්‍රව භුක්ති විඳීති. එහෙත් පසුගිය රජය ලොවට ණයවී කළ මත්තල, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති වලින් අපේ භාණ්ඩාගාරයට මුදල් ගෙනැවිත් ඇත්ද?

එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනුයේ දැනුම සහ නිෂ්පාදනය යන ස්ථම්භ ද්විත්වය මත පදනම් වූ ආර්ථික ක්‍රමවේදයකි. ලංකාවේ ප්‍රධානතම ඉපැයුම් මාර්ගයක් වන ඇඟැලුම් කර්මාන්තය ඇතුළු අපනයන වෙළඳපල ඉලක්කගත කරමාන්තවලින් අතිමහත් බහුතරයක් රටට හඳුන්වා දෙනු ලැබූයේ එජාපයයි. එතෙකින් නොනැවතී එකී කර්මාන්තවලට අවැසි වෙළඳපොලද එක්සත් ජාතික පක්ෂය විසින් සිය ජාත්‍යන්තර සබඳතා ඔස්සේ ගොඩ නගා දී තිබේ. නොබෝදා ශ්‍රී ලංකාවට යළිත් GSP+ සහනය දිනා ගැනීම ඊට කදිම නිදසුනකි. අනෙක් අතට ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දෙමින් විශ්ව ගම්මානයට මෙරට යා කළේත්, පසුකාලීනව BPO වර්ගයේ දැනුම කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ලංකාවට හඳුන්වා දුන්නේද එජාපයයි. ගොඩනැගීම් කර්මාන්තය වන් කෙටිකාලීන ක්ෂේත්‍රයක් වටා රටක සමස්ථ ආර්ථිකයම ගොඩනැගිය නොහැකි බැව් ලෝකයේ අපට වඩා විශාල රටවල් කිහිපයකම ආර්ථික කඩාවැටීම් වලින් උගත හැකි පාඩමකි.

එජාපයේ විදෙස් ප්‍රතිපත්තිය

එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය අතීතයේ පටන් කාගේත් කතාබහට ලක් වූවකි. එය බටහිර ගැති යැයි බොහෝ දෙනෙකු චෝදනා කරති. එහෙත් එය සත්‍යයක්ද?

යම් යම් කාල වකවානුවලදී අඩු ලුහුඬුකම් සිදු වුවත් එජාපයේ මතය නම් අප ජාත්‍යන්තරයේ මිතුරන් මිස සතුරන් ඇති කර නොගත යුතු බවයි. අප වන් කුඩා රටකට සතුරන් ඇති කරගැනීම නිසා සිදුවන ආදීනව පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විදහා දැක්වීය. එසේ නමුත් ඉන් අදහස් වන්නේ විදේශයන් අභිමුව දණින් වටීම නොවන බවද තේරුම් ගත යුතුය.

බුදු දහමේද සඳහන් වන පරිදි සතුරන් ඇති නොකර ගෙන මිතුරන් ගොඩ නගා ගැනීම සාර්ථකත්වයට මග පාදයි. එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් අතීතයේදී සිදු කළ දැවැන්ත සංවර්ධන යෝජනාක්‍රමවලට ලෝකයේ නන්දෙසින් ආධාර සහ සහන ණය ලැබීම මීට කදිම නිදසුනකි. විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජේ.ආර්. ජයවර්ධනයන් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝවේදී ජපානය වෙනුවෙන් කළ කථාවේ සිට මෑතදී නේපාල භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට ශ්‍රී ලංකා රජය ලබා දුන් සහයෝගය දක්වා එජාප රජයන් විසින් සිය විදෙස් ප්‍රතිපත්තිය හරහා ශ්‍රී ලංකාවට සද්භාවයෙන් සහයෝගය ලබා දෙන කලණ මිතුරන් කිහිප දෙනෙකු හොඩ නගා ගෙන ඇත.

පොදුවේ ජාත්‍යන්තරයේ කාටත් මිතුරකු ලෙස සැලකිය හැකි මිනිසත්කම් හා සමානාත්මතාවය රජයන රටක් බිහි කරවීම එජාප විදෙස් ප්‍රතිපත්තියයි. 2015දී බලයට ආ එජාප ප්‍රමුඛ රජය විසින් රටට ජාත්‍යන්තර වශයෙන් දිනාගත් විශ්වාසය සහ සහයෝගය මීට කදිම උපහැරණයකි. එකී විදේශ ප්‍රතිපත්තිය පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින්ගේ මාහැඟි පැසැසුමට ලක්වීමම ඊට කදිම සාක්ෂියකි. මෙලෙස ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව කෙරේ විශ්වාසය ගොඩ නැගීම හරහා විදෙස් ආයෝජන මෙරටට ගෙනවුත් ලක්ෂ සංඛ්‍යාත රැකිය අවස්ථා බිහිකරලමින්, ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදන සහ සේවා අපනයනය කොට ජාතික ආර්ථිකයට පණ පෙවීම එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයයි.

අපි එකිනෙකාට අවේණික සමාජ, ආර්ථික සහ දේශපාලනික මතවාද පවතී. මෑතකදී උපුල් ශාන්ත සන්නස්ගලයන් කීවාක් මෙන් යමෙකුට 100%ක් ගැලැපෙන දේශපාලන පක්ෂයක් කොහිවත් නැත. එසේනම් රටේ උන්නතිය උදෙසා තමුන්ට කිට්ටුතම මතවාදයක් නියෝජනය කරන පක්ෂයකට සහය දිය යුතුය, නැතහොත් තමුන්ටම කියා දේශපාලන පක්ෂයක් ගොඩ නගා ගත යුතුය! එක්සත් ජාතික පක්ෂය නම් දැවැන්ත දේශපාලනික ප්‍රවාහය අලලා ලියැවුණු මේ ලියමනින් අදාළ තීරණයට යම් අස්වැසිල්ලක් වන්නට ඇතැයි මගේ අවංක බලාපොරොත්තුවයි.

ඔබ මා ඇතුළු ලෝකයේ ඕනෑම පුද්ගලයකු හෝ ආයතනයක් මෙන් එජාපයද සර්වසම්පූර්ණ නැත. අතීතයේදී එජාපය අතින් දැවැන්ත වැරැදි සිදු වී නැතැයි කියමින් සුදු හුණු ගෑමට මට අවැසි නැත. නමුත් මාගේ පරිකල්පනයේ හැටියට නිදහස් ශ්‍රී ලංකාවට වැඩිම මෙහෙවරක් කළ පක්ෂයත් මතුවට එය අභිභවන මෙහෙවරක් කළ හැකි පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය පමණෙකි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂ චින්තනය අලලා ලියැවුණු ගීපද පෙළකින් මෙම ලිපියේ සමාප්තිය සනිටුහන් කරමි.

පුතේ දුවේ මේ අහන්න
නිවහල් දෙනෙතින් බලන්න
සුමග දිගේ පෙරට යන්න
යා යුතු මග පා තබන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: