එලොව පොල්…

පසුගිය සති කීපයේ කාගේත් සිතෙහි තුබූ කාරණාවකි බඩුමිල, රටේ බඩුමිල අධික බව ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැත්තන් පවා පිළිගන්නා වටපිටාවක් තුල ඒ ගැන කතා කිරීම වටින්නේය. පොල් මිල අහස උසට නැගලාය, ගෙඩියක් රුපියල් 50ක් පමණ වන අතර රටේ පොල් වගාවට ප්‍රචලිත පොල් ත්‍රිකෝණයේත්, දකුණු පළාතේත් පොල් සෙවීම එලොව පොල් පෙනෙන්නක් බවට පත්ව ඇත. කලක් රටේ ප්‍රධාන අපනයන ත්‍රිත්වයෙන් එකක් වූ පොල් ඉන්දියාවේ කේරළයෙන් ගෙන්වන තරමටම මේ පොල් ප්‍රශ්නය ඔඩුදුවා ඇත. ලොකු ළුණු මිල අහස උසට නැග ඇත්තා සේම බිත්තර, කුකුල් මස් යනාදිය පවා රටින් ගෙන්වන තත්ත්වයක් රටේ උද්ගතවී තිබේ. කොටින්ම කියතොත් වත්මන් රජයේ සංකේතයක් බඳු කුරක්කන් පවා මෙරටට ආනයනය කරනුයේ ඉන්දියාවෙනි, කෙතරම් ඛෙදවාචකයක්ද? රටේ බඩුමිල අඩු යැයි, ජීවනබර අවම යැයි කාට නම් කටක් ඇර කිව හැකිද?

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ආයේ කෘෂි ආර්ථිකයකින් රට හදන්නටය, “අපි වවමු – රට නගමු” කියා පුරසාරම් දෙඩූ, දේශීය ආර්ථිකය ගැන පාරම් බෑ සන්ධාන ආණ්ඩුවට එය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමට නොහැකි වී ඇති බැව් සක්සුඳක් සේ පැහැදිලිය. 2010 මුලදී රටේ පරිභෝජනයට හාල් පිටරටින් ගෙනා ආණ්ඩුව දැන් පොල්, කුකුල් මස්, බිත්තර පවා ඉන්දියාවෙන් ආනයනය කරනුයේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක අතකින් සරිය, ඔවුන් දේශීය ආර්ථිකය සහ කෘෂි ආර්ථිකය නංවන්නට වෙර දරති, නමුත් ප්‍රශ්නය නම් ඒ ශ්‍රී ලංකාවේ නොව ඉන්දියාවේ වීමයි. 2004 පටන් බලයේ සිටින්නා වූ මේ ආණ්ඩුවට උවමනාවක් තිබුනේ නම් කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය කළමණාකරණය කරන්නට තිබුණි. කෘෂිකර්මාන්තයේ එන අස්වනු කළමණාකරණය, පසු අස්වනු කළමණාකරණය ක්‍රියාවට නංවා රටට අවැසි තරමින් අස්වනු ලැබෙන පරිදි ගොවීන් දිරිමත් කරන්නට ආණ්ඩුවට ඕනෑ තරම් අවස්ථාව තුබුණි. එහෙත් ඔවුන් එසේ කළේ නැති බව පැහැදිලිය, රටේ එළවළු නිෂ්පාදනයෙන් 30%ක් පමණ අපතේ යයි, කාලයකට ඇතැම් බෝග යහමින් වැවේ, ගොවීන්ට ඒවා හොඳ මිලකට විකුණාගන්නට බැරිව ලතවේ. තවත් කලෙකට බේතකටවත් ඇතැම් කෘෂි නිෂ්පාදන සොයා ගන්නට බැරිය. ආණ්ඩුව නංවනු ලබන නිදහසට කාරණාව නම් තමුන්ට කාලගුණය, ලෝක ආර්ථිකය යනාදිය සමඟ සටන් කළ නොහැකිය යන්නයි. එහෙත් “ප්ලග්” ගලවන්නට පොරොන්දු දුන් රජය විසින් කරනු ලබන එවන් ප්‍රකාශ පිළිගන්නට හැකිද?ජාත්‍යන්තරය, කාලගුණය, අතරමැදියා බිල්ලට දී සුදනන් වීමට තැනීම කෙතරම් සාධාරණද?

දැන් කළ යුත්තේ කුමක්ද? ආණ්ඩුව පිටරටින් පොල් ආනයන කරමින් කෘත්‍රිමව පොල් මිල වට්ටන්නට තැත් කරති, පොල් සංවර්ධනයට පත් කළ ඇමැතිතුමා ලොරි රථවලින් රටපුරා සිල්ලර වෙළඳාමේ නිරත වෙයි. එහෙත් සිදු විය යුතුව ඇත්තේ එයද? තාවකාලික පැලැස්තර වලින් සෙතක් අපේක්ෂා කළ හැකිද? පසුගිය වසර කීපය පුරාවට අපේ රටේ පොල් නිෂ්පාදිතය පහළ බැස ඇති වග රජයේ සංඛ්‍යාලේඛණ විසින්ම සනාථ කරයි. එසේ නම් ඊට හේතුභූත වූ කාරණා සොයා ගත යුතුව ඇත. රුපියල් 50ට පොල් විකිනෙද්දී පොල් වගාකරුවන් යම්කිසි ආදායමක් උපයද්දී, රුපියල් 30ට පොල් විකුණා ඔවුන්ද පොල් වගාවෙන් දුරස් කරන ජනප්‍රියවාදී හැඳිමිටේ දිග ප්‍රතිපත්තිවලින් සිදුවන හොඳක් නැත. කළ යුතුව ඇත්තේ පොල් වලට පාලන මිලක් දමා ගොවීන්ට පාඩු නොවන පරිදි පොල් මිල පාලනයත් හිඟය මගහැරවීමට රටින් පොල් ගෙන ඒමය, ඒවාට බද්දක් ගසා පාලන මිලට විකිණීමෙන් ලැබෙන ආදායම පහසුවෙන්ම පොල් කර්මාන්තය නගා සිටුවීමට යොදා ගත හැකි යැයි මට හැඟේ. වත්මන අහස උසට නැග ඇති මිල පහළ බැස්සවිම අවශ්‍යතාවක් බව සැබෑ වුවත් එය කළ යුත්තේ කෘත්‍රිම මිල වෙනසක් ඇති නොවන පරිද්දෙනි, දීර්ඝකාලීනව රටේ මේ තත්ත්වය ඇති නොවී අවශ්‍ය තරමට පොල් නිපදවෙන අයුරේ ප්‍රතිපත්ති ගෙන ඒම දැන්වත් කළ යුතුය, නැතිනම් ලබන වසරේදීද මෙම මැසිවිල්ල මෙලෙසම ඉලිප්පෙනු කාට නම් වැළැක්විය හැකිද? පොල් වලට පමණක් නොව ඕනෑම බෝගයකට තත්ත්වය එයයි. කිසිඳු ප්‍රතිපත්තියකින්, කළමණාකරණයකින්, දර්ශනයකින් තොරව රටක ආර්ථිකයකට නායකත්වය දිය නොහැකිය. රටේ ජනතාවගේ පපුවට දැනෙන්නට රෝම කූප කෙලින් වෙන්නට කතා කරන එක එකකි, නමුත් නිවැරදි ආර්ථික කළමණාකරණයක් හරහා ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකීම තවෙකකි. කෘෂි ආර්ථිකය, දේශීය ආර්ථිකය, “අපි වවමු – රට නගමු” යනාදිය හුදු අරුත් සුන් වදන් හා බෝඩ් ලෑලිවලට පමණක් සීමාව තිබීම කණගාටුවට කරුණකි.

වත්මන් රජය කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමට ප්‍රමුඛ වූ බව ඇත්තය, නමුත් එසේ වත්දී රජයේ ඇමැතිවරුන්ගෙන් අතිමහත් බහුතරය තම අමාත්‍යංශවල නිදිකිරුවේය, එසේ නොවූවානම් මෙවැන්නක් සිදුවන්නේද? අවාසනාවට දැන් පෙනෙන්නට තිබෙන තත්ත්වයේද වෙනසක් නැත. එහෙත් කැබිනෙට්ටුව 35කට සීමා කරන බවට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමා වත්මන කැබිනෙට්ටුව 60කට නංවා ජ්‍යේෂ්ඨ ඇමැතිවරු 10ක්ද පත්කර තිබේ, ඔවුන්වත් මේ ප්‍රශ්න විසඳන්නේ නම් යහපතකි. වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම යුද ජයග්‍රහණයෙන් ඉක්බිතිව “දැන් ඉතින් රට හදමු” කියා පවැසූ බව අප නැවැත මතක් කර දිය යුතුව තිබෙන්නේ යුද ජයෙන් අනතුරුව රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ, ක්‍රය ශක්තියේ ධනාත්මක වෙනසක් වී ඇතිද යන ප්‍රශ්නාර්ථය රාව ප්‍රතිරාව දෙන නිසාය. එකක් පැහැදිලිය, යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් රටක් තියුණු වන්නේ නැත, දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් එසේ යටිතල පහසුකම් අතින් ඉහල මට්ටමක හුන්නද එකී රටවල මිනිසුන් අසීරු ජීවන තත්ත්වයකට උරුමකම් කියති. එසේ නම් අපේ රටේ තිරසාර සංවර්ධනයකට රටේ නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාත් සුරක්ෂිත වන අන්දමින් තීන්දු තීරණ ගත යුතුව ඇත. අවසාන වශයෙන් එකක් මතක් කර දෙමි, යුද ජයග්‍රහණය විකුණමින් සන්ධාන ආණ්ඩුවට මියෙන තෙක් රජ කරන්නට නොහැකිය, එනිසා දැන්වත් වැඩ කරන්නේ නම් රටටත්, ඇමැතිවරුන්ටත්, පොදුජනතාවටත් යහපතකි.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 උඳුවප්

6 responses to this post.

  1. Asiyawe Ascharya. Indiyan sagare amuthu ate wada oya.. 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by Hasitha Jayasooriya on දෙසැම්බර් 28, 2010 at 13:00

    විමල් ගොයිය තව ටික කාලෙකින් පොල් ත්‍රස්තවාදයක් ගැන කතා කරල.. පොල් වෙනුවට අහවල් එක පාවිච්චි කරන්න කියයිද දන්නෑ 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by පද්දා‍ on දෙසැම්බර් 28, 2010 at 14:16

    රුපියල් 50ට පොල් විකිනෙද්දී පොල් වගාකරුවන් යම්කිසි ආදායමක් උපයද්දී, රුපියල් 30ට පොල් විකුණා ඔවුන්ද පොල් වගාවෙන් දුරස් කරන ජනප්‍රියවාදී හැඳිමිටේ දිග ප්‍රතිපත්තිවලින් සිදුවන හොඳක් නැත. කළ යුතුව ඇත්තේ පොල් වලට පාලන මිලක් දමා ගොවීන්ට පාඩු නොවන පරිදි පොල් මිල පාලනයත් හිඟය මගහැරවීමට රටින් පොල් ගෙන ඒමය,

    කතාව ඒක නම්, පොල් මිල වැඩි යයි කෑගසමින් එ.ජා.ප.ය කරන විගඩම දැන්වත් නතර කළ යුතුයි. එක්කෝ පොල් 50ට දීම ගොවියා වෙනුවෙනැයි කියමින් ඉවසිය යුතුය. නැත්නම් රු. 30 ට දීම පාර්භෝගිකයා වෙනුවෙනැයි සිතා ඉවසිය යුතුය. දෙපැත්තටම කෑගැසීමෙන් පෙනෙන්නේ එ.ජා.ප. යේ මගඩි වාදී, අවස්ථාවාදී දේශපාලනයයි.

    සහතික පොල් මිළක් දැමූ විට පොල් ගොවියාට සහතික මිළක් ලැබෙතැයි අනිවාර්යයෙන් කියන්නේ කෙසේද? එසේ නම් පොල් මිළට ගන්නටත්, විකුණන්නටත් සහතික මිළක් තිබිය යුතුය. පොල් ගෙඩියේ තරම වෙනස් වන බව සදාහරීත නඩය දන්නේ නැති වුණාට අපි දනිමු. පොල් වල පාලන මිල නියම කල යුත්තේ ගෙඩියටද, කිලෝවටද, වට ප්‍රමාණයටද, තෙත් බරටද, මුඩ්ඩ ඇතිවද, නැතිවද ආදී කිසිම කාරණයක් ගැන සදාහරිත කතා නොකරයි, මන්ද පාලන මිල විහිළුව හෙළි වෙන නිසාය.

    ජානක බෝගොල්ලාගම කාට ආවැඩූ කෙනෙද යන්නත් අපි දනිමු. බෝගොල්ලාගම ෆැක්ටේරිය විසින් කපා දැමූ පොල් ගස් ගාණ කිය යුත්තේ ලක්ෂ ගණන් වලිනි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • අප ප්‍රතිපත්ති සම්පාදකයන් නොවෙමු, අපට පොල් මිලක් තීරණය කරන්නට නොහැකිය, ගොවියාට සාධාරණ මිලක් ලැබීම තහවුරු කරන්නටත් නොහැකිය. පොල් ගෙඩියක මිල තීරණය කරන්නේ කුමන නිර්ණායක මතදැයි කියන්නටත් නොහැකිය. නමුත් අපට මෙය කිව හැකිය, හිතූ මතේට පොල් මිල පහල බැස්වීමට විශාල ප්‍රමාණයන්ගෙන් පිටරටින් පොල් ගෙන ඒම හිතකර නොවන බව කිව හැකිය. අපේ තර්කය වනුයේ උවමනාවට වඩා පොල් මිල ඉහළ යාම හෝ පහළ යෑම රටට හිතකර නොවන බවත් එය විධිමත්ම නියාමනය කළ යුතු බවත්, එය රජයේ වගකීම වන බවත් අප මෙතැන්හිදී පෙන්වාදීමට උත්සුක වූවෙමු.

      අනෙක් අතට එජාපය යනු සදාහරිතයවත්, සදාහරිතය යනු එජාපයවත් නොවේ. එයද අප නැවතවරක් මෙනෙහි කර දෙමු. මන්ත්‍රීවරුන් පොල් මිල අඩු කරන්නටැයි කියනමුත් අපේ පුද්ගලික මතය මෙහි දිගහැර ඇති බවද කරුණාවෙන් සළකන්න.

      අවසාන වශයෙන් ඇසිය යුතුව ඇත්තේ ජානක බෝගොල්ලාගම මහතා නොබෝදා මිය යන තුරු වසර 6ක් පුරා ඉඩම් ව්‍යාපාර කළේ සන්ධාන රජයක් යටතේ බවත් ඔහුගේ හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ව්‍යාපාර රටේ පොල් ඵලදාව අඩුවන්නට හේතු වූයේ නම් එසේ වනවිට සන්ධාන ආණ්ඩුව කරබාගෙන සිටියේ ඇයිද යන්නයි.

      කෙසේ නමුත් ඔබේ කමෙන්ටුවට තුති පුදමි.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: