Archive for අප්‍රේල් 21st, 2010

ජාතික ලැයිස්තුවේ පලහිලව්ව…

මහ මැතිවරණය හමාරය, ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 29 ඒ ඒ පක්ෂය ලබාගත් මුළු ඡන්ද ගොන්නට සමානුපාතිකව බෙදා වෙන්කර හමාරය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 17කුත්, එක්සත් ජාතික පක්ෂයට ආසන 9කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 2කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 1කුත් බැගින් බෙදී වෙන්වී හමාරය.

එහෙත් ඒ ඒ පක්ෂයන් තුල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරුණු ආකාරය පිළිබඳව සන්ධානගතව තරඟ කළ කුඩා දේශපාලන පක්ෂවල විරෝධය එල්ල වී පවතී. මේ විරෝධය පිළිගත හැකිද? ඊට සාධාරණ පදනම්ක් පවතින්නේද? සන්ධානයත් එජාපයත් සුළු පක්ෂවලට අවම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගණනක් ලබාදීමට ගනු ලැබූ තීරණය අනුමත කළ හැකිද?

මගේ තර්කයට අනුව පිළිතුර අනුමත කළ හැකිය යන්නයි. මෙවර මහ ඡන්දයේ වලංගු ඡන්ද ප්‍රමාණය 8,033,693කි. ඒ අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකට හිමිකම් කීමට දළ වශයෙන් ඡන්ද 277,024ක් පමණ ලබා ගත යුතුය. මස් රාත්තලම ඉල්ලන සුළු පක්ෂ ඡන්ද 277,024ක් සන්ධානයට හා යූඇන්පියට දිනා දී ඇතිද යන්න සැක සහිතය. කුසලානය 440,483ක් හා ද්‍රවිඩ ජාතික සන්ධානය 233,190ක් ලබා ගැනීමෙන් අදාල සැක සහිත ප්‍රශ්නයට දළ අදහසක් අපට සොයා ගන්නට පුළුවන.

එජාපයේ අලියා සලකුණ යටතේ තරඟ කළ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පී. දිගම්බරම්ගේ ජාතික කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවය මෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු මන්ත්‍රීවරුන්ද ජාතික ලැයිස්තුවේ පංගු පේරු ඉල්ලුවේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවලින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හැර වෙනත් කිසිඳු පක්ෂයකට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිරිනමා නොමැත. එය සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා ගත්තේ එක් අපේක්ෂකයකු පමණි, සෑම දිස්ත්‍රික්කයකම ඔවුන්ගේ වැඩිම මනාපලාභී අපේක්ෂකයාගේ මනාප ගණන එකතු කිරීමෙන් යන්තම් 100,000 පන්නනවා විනා 277,000ට ලං විය නොහැක. නුවර එළිය දිස්ත්‍රික්කයේ වතුකම්කරු ඡන්දදායකයා ලංකා කම්කරු කොංග්‍රසයෙන් මුදවා ගන්නට අසමත් වූ මනාප 39,000ක් දිනා ගත් දිගම්බරම්ද ජාතික ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් ඉල්ලීම අසාධාරණය. ශ්‍රිලනිප ‘ම’ පාර්ශවයද එලෙසමය, ඔවුන්ගෙන්ද එජාපයේ ඡන්ද ගොන්නට 277,000ක් එකතු වූවා යැයි මංගල සමරවීර මහතාවත් තර්ක නොකරනු ඇත. අනික එජාප ඡන්දදායකයින්ද එම සෙසු පක්ෂවල අපේක්ෂකයින්ට මනාප දී ඇති බව වගකීමෙන් මට ලිවිය හැක්කේ එවැන්නන් කිහිප දෙනෙකුම මා හොඳින් හඳුනන බැවිනි.

මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට සැලකිය යුතු දායකත්වයක් හිමිවූ බව නිසැකය. මනාප ලැයිස්තු හරහා ආසන 6ක් දිනා ගැනීමෙන් එය මනාව පිළිබිඹු වෙයි. අනෙක් අතට නැගෙනහිර හා වන්නියේ එජාප ඡන්දවලින් බහුතරයක්ම එජාපයට ගෙනැත් දුන්නේ මුස්ලිම් කොංග්‍රසය බවද රහසක් නොවන්නේය. මුස්ලිම් කොංග්‍රසයට අනිවාර්යයෙන්ම ජාතික් ලැයිස්තුවෙන් ආසනයක් හිමිවිය යුතුය. නමුත් පවතින වාතාවරණය තුල නැගෙනහිරින් හා වන්නියෙන් මුස්ලිම් කොංග්‍රසය එජාපයට දිනා දුන් ඡන්ද ගොන්න නොවන්නට එජාපයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන්නේ ආසන 8ක් පමණි. තවත් ඡන්ද 4,000ක් එහා මෙහා වුණි නම් එජාපයේ ජාතික ලැයිස්තු නියෝජනය 8ට අඩු වී සන්ධානයේ නියෝජනය 18 දක්වා වැඩි වන්නට තිබුණි. එනිසා එජාපය ජාතික ලැයිස්තුව තෝර ඇති පිළිවෙළ හොඳය. එජාප සාමාජිකයන් 7කුත් මුස්ලිම් කොංග්‍රසයෙන් 2කුත් පත් කිරීම එකඟ විය හැකි තත්වයකි.

සන්ධානයේද ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂයට එක ආසනය බැගින් ජාතික ලැයිස්තුවෙන් ලබා දී ඇති අතර එහිද සාධාරණත්වයක් පෙනේ. සිදුව ඇත්තේ පදනම් විරහිත ලෙස සුළු පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකෙහි ඡන්දවලින් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ගන්නට උත්සහ දැරීමය. මෙය කණගාටුවට කරුණකි. 2004දී සිදු වූයේ මෙයයි. එජාපය ජාතික ලැයිස්තුවෙන් ආසන 11ක් දිනුවද ඉන් 7ක්ම හවුල්කාර පක්ෂවලට බිල්ලට දීමට සිදු වූයේ මේ බලපෑම් නිසාය. අද එය එසේ සිදු නොවීම සාධාරණත්වය අගයන කාගේත් සතුටට හේතුවකි.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු
තිස්ස අත්තනායක
ජෝශප් මයිකල් පෙරේරා
එරාන් වික්‍රමරත්න
ආචාර්ය හර්ෂ ද සිල්වා
අනෝමා ගමගේ
ආර්. යෝගරාජන්
ඩී.එම්. ස්වාමිනාදන්
එම්.ටී. හසන් අලී (මුස්ලිම් කොංග්‍රස්)
ඒ.එස්.එම්. අස්ලම් (මුස්ලිම් කොංග්‍රස්)

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක්