2010 මහමැතිවරණයේ මැතිවරණ කොට්ඨාශ දෙකක (නාවලපිටිය සහ ත්‍රිකුණාමලය) හැර සෙසු ප්‍රතිපල ප්‍රකාශයට පත්වී හමාරය. මහනුවර දිස්ත්‍රික්කයෙන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමෙන්තු යන මන්ත්‍රීවරුන් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අප තවමත් නොදනිතත් මහ මැතිවරණයේ දිනූ සහ පැරදුනු සෙසු අපේක්ෂකයින් අප දනිමු. 20දා නාවලපිටිය හා ත්‍රිකුණාමලය ඡන්ද විමසීමෙන් පසුව එජනිසයට ආසන 143ත් 145ත් අතර ගණනකුත්, එජාපයට ආසන 59ක් හෝ 60කුත්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 14ක් හෝ 15කුත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ආසන 7කුත් හිමි වනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලකිය යුතු බහුතර බලයක් අත්පත් කරගෙන ඇති අතර අප ඔවුන්ට ඒ වෙනුවෙන් සුබ පතමු. මේ ජනවරමින් තම පුද්ගලික න්‍යායපත්‍රයන් මුදුන් පමුණුවා ගැනීම පසෙක තබා අප මාතෲභූමිය සැබැවින්ම ආසියාවේ ආශ්චර්ය කරන්නේ නම් පක්ෂ විපක්ෂ අප සැමට සතුටු වන්නට පුළුවන.
එක්සත් ජාතික පාක්ෂිකයින් ලෙස පරාජය පිළිගන්නා අතරම පරාජයෙන් උගෙන ගත යුතු දෑ උගත යුතුය. මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යන්නේ එජාපයේ පණිවුඩය ගමට ගොස් නැති බවයි. සිංහල බෞද්ධ බහුතරය එක්සත් ජාතික පක්ෂයෙන් තරමක් ඈත්වී ඇති ස්වරූපය පැහැදිලි ලෙසම පෙනී යයි. මේ තත්ත්වය වෙනස් වන්නට නම් පක්ෂයේ ක්‍රියාශීලීන් වඩාත් වැඩියෙන් ගමට යා යුතුය, එපමණක් නොව පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්තීන්ද ජනතාව හා බෙදා හදා ගත යුතුය. අද සිදුව ඇත්තේ බොහෝ දෙනෙක් එජාපයේ ප්‍රතිපත්තීන් නොදැන සිටීමයි. පක්ෂයට ගරහන විරුද්ධවාදීන් තබා ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින්වත් එජාපයේ ප්‍රතිපත්ති හරිහැටි නොදැනීම කණගාටුවට කරුණකි. මේ තත්ත්වය අකා මකා ගෙන මීළඟ මැතිවරණ සඳහා එජාපය ප්‍රතිසංවිධානය විය යුතුය යන්න සදාහරිතයේ අපේ හැඟීමයි. ඒ පිළිබඳව අපේ අදහස් උදහස් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය - සජිත් ප්‍රේමදාස
සෑම කළු වළාකුළකම රිදී රේඛාවක් ඇතැයි යන ප්‍රකාශය ඔබ කවුරුත් පාහේ අසා ඇතුවාට සැක නැත. මෙවර මැතිවරණ පරාජය සමානුපාතික ඡන්ද ඉතිහාසයේ දැවැන්තම පරාජය වුවත් එජාපයට සතුටු වන්නට එක් හේතුවක් ඇත. මෙවර එජාපයෙන් පාර්ලිමේන්තු වරම් දිනා ඇති බොහෝමයක් නවකයින්ය. දැනට ආසන 46කට තේරී පත්වන නම් අප දනිමු. ඒ අතුරින් 21ක්ම පාර්ලිමේන්තුවට නවකයින්ය. මහනුවරින්ද නවක එජාප මුහුණක්වත් පාර්ලිමේන්තු එනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. ජාතික ලැයිස්තුවෙන්ද එරාන් වික්‍රමරත්න හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන දෙපල පමණක් හෝ පාර්ලිමේන්තු එතැයි අපට අපේක්ෂා කළ හැකිය. ඒ අනුව එජාපයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 45%ක් 50%ක්ම නවකයින්ය. ඉන් සැලකිය යුතු පිරිසක් අවුරුදු 30ත් 40ත් අතර තම දිවියේ සිව්වන දශකය ගෙවන්නෝය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නවක මුහුණු බහුතරයක් දේශපාලන පෙළපත්වල උරුමක්කාරයන් වෙත්දී එජාපයේ නවක මුහුණු රැසක්ම අලුත් දේශපාලන රටාවක නිර්මාපකයන් වීම විශේෂ කරුණකි. 1989දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙවැනිම අන්ත පරාජයක් අත්විඳි අතර එහිදී ඔවුන් දිනා ගනු ලැබූ ආසන 65න් සැලකිය යුතු පිරිසක් තරුණ නවකයින්ට හිමිවිය. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, චමල් රාජපක්ෂ, මංගල සමරවීර, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න වැන්නවුන් කරලියට ආවේ 1989 මැතිවරණයෙනි. එනිසා මෙවර එජාපය ලද තරුණ පිරිස පාක්ෂිකයින් විසින් ගනු ලැබූ අනාගත ආයෝජනයක් ලෙස සලකමි.
ඒ නවකයින් ගොන්නට මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතය හිමිකරගත් දකුණු පළාත් විපක්ෂ නායක බුද්ධික පතිරණ, බදුල්ලේ වැඩිම මනාප දිනාගත් ඌව පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ගාල්ලේ දකුණු පළාත් සභා මන්ත්‍රී මනූෂ නානායක්කාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ, කළුතර සිරගෙදර සිරබත් කන පාලිත තෙවරප්පෙරුම හා අපේ සහෘද සිංහල බ්ලොග්කරුවකු වන අජිත් පී. පෙරේරා, කුරුණෑගල හිටපු නියෝජ්‍ය නගරාධිපති අශෝක් රන්ජන් අබේසිංහ හා නිල්වලා සමූහ ව්‍යාපාරයේ අධිපති නිල්වලා විජේසිංහ, ගම්පහින් රුවන් විජේවර්ධන, සබරගමු විපක්ෂනායක රන්ජන් රාමනායක, මධ්‍යම පළාත් විපක්ෂනායක වසන්ත අළුවිහාරේ, පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆෙස්ටස් පෙරේරා මැතිඳුන්ගේත් ලැරින් පෙරේරා මැතිණියගේත් පුතු වන නිරෝෂන් පෙරේරා, මාධ්‍යවේදී ජේ. ශ්‍රී රංගා, කල්මුණේ නගරාධිපති මොහොමඩ් හාරිස්, දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතාගේ බිරිඳ වන විජයකලා මහේෂ්වරන් මැතිණිය හා ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි අපට පෙන්වා දිය හැකිය. මොවුන් ඇතුළු තේරී පත්වූ සියළු එජාප මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක් අපි ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වෙමු.
බොහෝ දිස්ත්‍රික්කවල එජාප අපේක්ෂකයින් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රතිශතයද දිනා ගත්තේය. ඒ අතුරින් හම්බන්තොට රාජපක්ෂවරු ත්‍රිත්වයකට එදිරිව එජාපය මෙහෙයවූ සජිත් ප්‍රේමදාස මැතිතුමා පිට පිට සිව්වන වතාවටත් වාර්තාගත 89.69%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ප්‍රතිශතලාභියා බවට පත්විය. කොළඹ දිසාවේ වැඩිම මනාප ප්‍රතිශතයට රනිල් වික්‍රමසිංහ මහතා උරුමකම් කියද්දී, ගාල්ලෙන් ගයන්ත කරුණාතිලක, මාතරින් බුද්ධික පතිරණ, කුරුණෑගලින් දයාසිරි ජයසේකර, පුත්තලමින් පාලිත රංගේ බණ්ඩාර, මාතලෙන් වසන්ත අළුවිහාරේ, රත්නපුරයෙන් තලතා අතුකෝරාළ, දිගාමඩුල්ලෙන් මොහොමඩ් හාරිස්, මඩකළපුවෙන් බෂීර් සේගු ඩාවුඩ් හා වන්නියෙන් නූර්ඩීන් මෂූර් යන මන්ත්‍රීවරුන් ස්වකේය දිස්ත්‍රික්කයන්හී වැඩිම මනාප ප්‍රතිශත ලාභියා බවට පත්ව ඇත. ඇතැමුන් මනාප ක්‍රමයට දෙස්දෙවොල් තැබුවද ජනතා විශ්වාසය උරගා බලන හොඳ මිනුම් දණ්ඩක් ලෙස මනාප ක්‍රමය උපුටා දැක්විය හැකිය (ජනතාව පරිණත දේශපාලන බුද්ධියකින් මනාප භාවිතා කරන්නේ නම්). මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල සහ එහි දිනුම් පැරදුම් ගැන අප පසුව දිනෙකදී කතා කරමු. නමුත් මෙම ලිපියේ මා වෙසෙසින්ම සඳහන් කළ යුතුව ඇත්තේ ඉහත කී ජනප්‍රිය චරිත වලට එජාපය තුල ඔවුන්ට ලැබිය යුතු නිසි තැන ලබාදීම අනිවාර්යය වන බවයි.
කෙසේ වෙතත් තව වසර හයකට රටේ පාලන බලය භාරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුබ පතනමුත් ඔවුන් මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ආ සමාජ සහ ආර්ථික ප්‍රතිපත්තීන්වලට අපට එකඟ විය නොහැකිය. එබැවින් ඉදිරියටත් ඔවුන් එම මාවතේම ගමන් ගන්නේ නම් නිත්‍ය ලෙසින්ම රට වෙනුවෙන් එම මග වෙනස් කරන්නට එජාපය සැදී පැහැදී සිටිය යුතුමය.
සදාහරිත පාඨක ඔබ සැමට සාමය සතුට රජයන වාසනාවන්ත, සෞභාග්‍යමත් සුබම සුබ සිංහල හා හින්දු නව වසරක් වේවා…!!! 🙂
– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 බක් –