2/3ක සිහිනය

රටේ දේශපාලන කතිකාව උණුසුම් වෙමින් පවතින මේ යුගයේ ප්‍රස්තුතය ලෙස ඉලිප්පෙමින් තිබෙණුයේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයයි. අද අප කතා කළ යුත්තේ 2/3ක් ගැන නොව ඉදිරියේ පත් කෙරෙන්නා වූ රජයක අනාගත ප්‍රතිපත්ති ගැන බව වටහා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් වීම අභාග්‍ය සම්පණ්ණ තත්ත්වයකි.

පළමුව 2/3ක බලයක් ගත හැකිද යන්න අපි විමසා බලමු. ආසන්නයේම පැවැති ජාතික මැතිවරණය වන 2010 ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල අපි සැලකුවහොත් ඊට අනුව සන්ධානයට (ඊපීඩීපී, ටීඑම්වීපී ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ) හිමිවන්නේ ආසන 135 පමණි. මෙය 2/3ක් සඳහා අවශ්‍ය ආසන 150ට වඩා අඩු අගයකි. ජනාධිපතිවරණයේ තරම් මෙවර ඡන්ද ප්‍රකාශ වේ යැයි අපට අපේක්ෂා කළ නොහැකිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දේශපාලනඥයකු ලෙස කැමැති ඇතැමුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට අකමැතිය. ඒ අනුව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රකාශ වෙන ඡන්ද සංඛ්‍යාව පහළ වැටෙනු ඇත. කවුරු කොහොම කීවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක් එහෙම ගහෙන් ගෙඩි එන්නා වාගේ ගන්නට බැරිය, එහෙම ගන්නට නම් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතයන් තව විශාල අගයන්ගෙන් ඉහළ යා යුතුය, ඊට ඔවුනෙගේ ඡන්ද ප්‍රමාණය මිලියනයකින් පමණ ඉහළ යා යුතුය නැත්නම් විපක්ෂයේ ඡන්ද මිලියනයකින් අඩු විය යුතුය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් තුනෙන් දෙකක් ඉල්ලන්නේ අහවල් එකකටද කියන ගැටළුව මතුවේ. පැවැති සන්ධාන ආණ්ඩුව ගිය ගමන අතිශයින්ම කණගාටුදායකය, යුද ජයග්‍රහණය හැරුණු කළ පසුගිය වසර 6 තුල රටට අත් වූ ජයග්‍රහණ ස්වල්පයකි. අපේ රටේ උතුම් දායාද දෙකක් වන නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට සිදුවී ඇති සෝචණීය තත්ත්වය රටේ පුංචි අතදරුවා පවා දනී. රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතී. 2008ට සාපේක්ෂව අපේ අපනයන ප්‍රමාණය 2009දී 13%කින් පහත බැස ඇත. රටේ නව රැකියා උපදින්නේ නැති තරම්ය. අපි වවමු – රට නගමු කියා පාරම් බෑවද වවපු වැවිල්ලක් නැත. සහල් පවා ආනයනය කරනුයේ පිටරටිනි, ඒකත් කිසිඳු සැලැස්මකින් තොරව වී ගොවියා අස්වනු නෙලද්දීය, ලක් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස කුකුල් බිත්තරත් පිටරටින් ආනයනයට ආණ්ඩුව සූදානම් වෙයි. වෙනකක් තියා රාජපක්ෂ පවුල සාඩම්බරයෙන් පළඳින සාටකයේ පැහැය එන කුරක්කන් පවා විශාල වශයෙන් පිටරටින් ගෙන්වන්නේ සන්ධානය පුරාජේරුවට හඬලෑ කෘෂි ආර්ථික මිථ්‍යාව පසක් කර දෙමිනි. GSP+ බදු සහනය අපට අහිමි වී ඇත. ඇමැති මණ්ඩලයේ බහුතරය තම තමන්ගේ සුඛ විහරණය සඳහා ජනතාවගේ පැවැත්ම පවා අමතක කොට තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය විලි ලැජ්ජාවක් නැතුව තුනෙන් දෙකක් ඉල්ලන්නේ මේ ගමන ඉදිරියටත් ගෙන යන්නටද??? මේ ගමන ඉදිරියට ගෙන යන්නට තුනෙන් දෙකක් තබා දෙකෙන් එකක්වත් දෙන්නට වටින්නේද??

කිසිසේත්ම නැත. අතිවිශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන මේ ආණ්ඩුව කියන්නේ ඊළඟ ඡන්දය දිනුවහොත් ඇමැති මඩුල්ල 35ට බස්සන බවයි. ඉතින් පාර්ලිමේන්තුව විසුරුවා ඇති මේ මොහොතේ එහෙම නොකිරීමෙන් පේන්නේ එම ප්‍රකාශය හුදු ජනප්‍රියවාදී ඡන්ද ගුණ්ඩුවක් බවයි. දිගින් දිගටම ජනතාව නොමඟ යවන මේ අකාර්යක්ෂම දුර්ධාන්ත පාලනයට තුනෙන් දෙකක් දුන්නොත් යසට තියේවි. වාසනාවට ඒ සන්ධාන සිහිනය නම් කිසි ලෙසකින් සැබෑ නොවනු ඇත. ඒ රටේ පිනටය.

අනෙක් අතට අපේ රටේ තුනෙන් දෙකේ බලයේ පූර්වාදර්ශයන් අතිශය ශෝකජනක ඒවාය. කවුරු කොහොම කීවත් තනි පක්ෂයකට 2/3ක් ගන්නට බැරි වීමත් අනුපාතිකව මන්ත්‍රීධූර බෙදී යෑමත් සමානුපාතික ක්‍රමයේ වෙසෙස් වටිනාකමකි. රටක ව්‍යවස්ථා සම්පාදනය, සංශෝධනය යනාදිය එකම පක්ෂයේ තනි උවමනාවට සිදු වන්නේ නම් එය කණගාටුවට කරුණකි. 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමගි පෙරමුණට 2/3ක බලයක් ලැබුණි. නව ව්‍යවස්ථාවක් බිහි කරලමින් අන්තවාදී දේශපාලන ගමනකට මුල පිරූ සමගි පෙරමුණු ආණ්ඩුව විපක්ෂය දැඩි ලෙස මර්දනය කළේය. දැදිගම අතුරු මැතිවරණය වැනි මතභේදාත්මක සිද්ධි හරහා ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්නට තැත් කළේය. 1975දී විසුරුවන්නට තිබූ පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ සමාජවාදී නායකයින්ගේ ඉල්ලීම්ද නොතකමින් අත්තනෝමතික ලෙස 1977 දක්වා දීර්ඝ කරගත්තේ ජනතා පරමාධිපත්‍යයට වින කරවමිනි. 1977දී 5/6ක බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයද නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඒකපාක්ෂික පාලනයක් ගෙන ගියේය. 1982දී සුප්‍රකට කලගෙඩි ලාම්පු සෙල්ලමින් පාර්ලිමේන්තු ධුරකාලය වසර හයකින් දීර්ඝ කර ගත්තේය. මේ රටේ ජනතාවට තවදුරටත් එවැනි ඒකපාක්ෂික යුගයක් අවශ්‍ය වන්නේද?? 2/3ක් ලබාදීම යනු ඒකාධිපති වියරුවකට අත වැනීමකි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අතැතිව ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම ආදී නොමනා ක්‍රියා සිදු කරන්නේ නම් හිතලුවකටවත් 2/3ක් ලැබුණහොත් රටට දෙයියන්ගේම පිහිටයි!! රටේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුවන්නට උවමනා පක්ෂ විපක්ෂ පොදු එකඟතාවයකිනි. රටේ පෙරගමනත් ව්‍යවස්ථා සංශෝධනයේ පිළිගත හැකි භාවයත් රඳන්නේ මෙවැනි බහුපාක්ෂික ක්‍රියාමාර්ගයක් උඩ මිස ඒකපාක්ෂික දේශපාලනික තීන්දු මත නොවන බව ජනතාව වටහා ගත යුතුය.

ජනතාව මේ යථාර්ථය වටහා ගෙන සිය වටිනා ඡන්දය ශක්තිමත් පාර්ලිමේන්තුවක් උදෙසා භාවිතා කළ යුතුය. ශක්තිමත් පාර්ලිමේන්තුවක් යනු රටේ විවිධ ජනතාවගේ විවිධාකාර මතවාද නියෝජනය කරන ජන හිතකාමී ප්‍රතිපත්තිගරුක මන්ත්‍රීවරුන් සිටින පාර්ලිමේන්තුවකි, නැතිව ප්‍රතිපක්ෂය තලා පෙලා, වහසි බස් දොඩන, මැරකම හොරකම ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් නොවේ. රට වෙනුවෙන් තමුන්ගේ වගකීමක් වන ඡන්දය භාවිතා නොකර සිටීමට සිතා සිටින උදවියට කියන්නට උවමනා වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට කියාය. වඩාත්ම සුදුසු පක්ෂය තෝරා බේරා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ යුතුකමකි, වගකීමකි. ඒ යුතුකම, වගකීම ඉටු කිරීමේදී ඉහත සඳහන් කරුණු පිළිබඳ සැලකිළිමත් වීම වැදගත්ය.

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 මැදින් –

4 responses to this post.

  1. “වාසනාවට ඒ සන්ධාන සිහිනය නම් කිසි ලෙසකින් සැබෑ නොවනු ඇත. ඒ රටේ පිනටය.”

    මේ පිං දේශයට දැන් ඔය කියන තරන් පිනක් නෑ බං.මෙහෙව් කාළකන්ණි ඉන්නකන්.ඔය ඔක්කොම ලියුමක් අත්සන් කරන තරන් දුරකින් තියෙන්නේ!
    එළ ලිපියක්!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by පුබුදු on මාර්තු 21, 2010 at 09:26

    අපි හිතමු සන්ධානය 120ක් 125ක් මන්ත්‍රී ධූර ගත්තා කියලා
    ඉතුරු 25 හදාගන්න එක අරයට ටොයිස් ගේමක්නෙ
    ඒ නිසා එවන් පුද්ගලයො ඉන්න රටෙ සිහින,වෙන්න බැරි දෙවල් කියල දෙයක් නෑ

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ඔව්… වෙන්න බැහැ කියල දෙයක් නැති වුණාට ඔය කියන විදියෙ දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව බොහොම සීමිතයි..!!! මොකෝ දැන් යූඇන්පියෙන් ඉල්ලන අපේක්ෂකයින්ගේ දින රහිත ඉල්ලා අස්වීම් ලිපි පවා තියෙන නිසා ඕක අතිශය අමාරු වේවි

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: