මහින්ද මහත්තයාගේ නොබැඳි පිළිවෙත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්න කණ වැකුණු කළ බණ්ඩාරනායකවරු, රාජපක්ෂවරු, පංච මහා බලවේගය, මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියද සිහියට පැමිණේ. නමුත් වර්තමාන එක්සත් ජනතා නිදහස් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකක්ද??

කොහෙත්ම නැත. නොබැඳි පිළිවෙතෙහි මූලිකාංගය වන්නේ කිසිත් සතුරකු නැතිව ලෝකයේ සියළු රටවල් සමඟ මිතුදම් පැවැත්වීමයි. නොබැඳි සමුළුව පටන්ගන්නා කාලයේදී ලෝකය පාර්ශව දෙකකට බෙදී සිටියේ එක් කොට්ඨාශයක් ඇමෙරිකාව වටා ගොනු වෙද්දී අනෙක් කොට්ඨාශය සෝවියට් රුසියාව වටා ගොනු වෙමිනි. නමුත් ශ්‍රී ලංකාව මේ දෙපාර්ශවයටම එකතු නොවී මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළාය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙහි පුරෝගාමියකු විය. 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් පසුව බලයට ආ එජාප ආණ්ඩුවද මෙවැනිම පියවරක් ඉදිරියට ගෙන යන ලදි. ඉස්ලාමීය ජනරජයක් වන පාකිස්ථානයත් ඉස්ලාම් ලෝකයේ දැඩි පිළිකුළට පාත්‍ර ඊශ්‍රායලයත් 80 දශකයේ ත්‍රස්තවාදයට විරුද්ධ සටනේ ප්‍රධාන හවුල්කරුවන් වන්නේ එවන් වටපිටාවක් යටතේය. එකිනෙකාට දැඩි ලෙස දෙස්දෙවොල් තියාගන්නා ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන්, ජේ.ආර්. දක්ෂ නායකයකු යැයි මාධ්‍යයට කියද්දී, කියුබාවේ ෆිඩෙල් කැස්ත්‍රෝ, ජේ.ආර්. ආසියාවේ පූර්වාදර්ශී නායකයකු ලෙස හඳුන්වන්නේ එවැනි වාතාවරණයක් තුලය.

මහ්මූද් අහමඩිනජාඩ් සහ හූගෝ චාවේස්

එහෙත් එදා නොබැඳි පිළිවෙත අප රටට හඳුන්වා දෙමින් දෙස් විදෙස් ගෞරවයට පාත්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යටතේම අමු අමුවේ නොබැඳි ප්‍රතිපත්තිය උල්ලංඝණය වෙමින් පවතී. අද අපේ ජනාධිපතිතුමා හාදකම් පවත්වන්නේ රුසියාව, ඉරානය, ලිබියාව, මියැන්මාරය, වෙනිසුවේලාව වැනි රටවල රාජ්‍ය නායකයින් සමඟය. ශ්‍රී ලන්කන් ගුවන් යානා සංචිතයේ එයාර්බස් A340 යානයකින් තම විශාල අමාත්‍ය නඩය සමඟ එතුමා පියා සරන්නේ එහෙව් රටවලටය. ඔහු ජපානය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, කැනඩාව අමතක කර ඇත. දුරවබෝධය හෝ කිසියම් හේතුවක් නිසා පළුදු වී ඇති සම්බන්ධතා යළි සවිමත් කරන්නට උත්සාහ කරන්නේ නැත.

2001-2004 යූඇන්පී පාලන සමයේදී යුරෝපා හවුල සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව අප රටේ ඇඟළුම් නිශ්පාදන සඳහා 9.6%ක බදු සහනයක් යුරෝපා හවුලේ රටවල් වලින් හිමිවෙමින් තිබුණි. මේ ඔබ අප කවුරුත් අසා හුරුපුරුදු GSP+ බදු සහනයයි. අද වන විට අවම ලෙසින් මාස හයක් සඳහා අපේ ඇඟළුම් කර්මාන්තයට මෙම GSP+ සහනය අහිමිවී තිබේ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශව මේ සහන නැති වුවත් කමක් නැහැ කියද්දී, යුරෝපා ප්‍රජාවට ගරහද්දී, කොකා පෙන්වද්දී ආණ්ඩුවේම තවත් මහත්වරුන් යුරෝපා හවුල සමඟ සමථයකට පැමිණ මෙම සහනය යළි හිමි කරගැනීමට උත්සාහ දරයි. මෙවැනි දෙබිඩි පිළිවෙත්වලින් හානි වන්නේ රටේ ආර්ථිකයටයත් ජනතාවටත්ය. සැබැවින්ම GSP+ සහනය අපේ රටේ ඇඟළුම් කර්මාන්තයට මහත් අස්වැසිල්ලක් බව සනාථන සත්‍යයකි. රටේ රැකියා රාශියක් මෙම සහනය මත යැපෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉරානය යනු ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දැමීමට ප්‍රතිඥා දෙන රටකි, එහි ජනාධිපතිතුමාට ඉරාන වැසියන් තුලින්ම එල්ල වන්නේ මහත් අප්‍රසාදයකි, ලිබියාව එළිපිට ත්‍රස්තවාදයට සහය දුන් රටකි, මියැන්මාරය යනු මහ මග භීක්ෂූන් වහන්සේලා මරා දමන විපක්ෂය හිර අඩස්සියේ තියාගෙන සිටින ඉඩි අමීන් ස්වරූපයේ හමුදා පාලනයකි, වෙනිසුවේලාව ලෝකයටම අභියෝග කරන එරට පෞද්ගලික අංශය, ව්‍යවසාය අඩපණ කොට ජනතා අප්‍රසාදයාට පාත්‍ර රජයකි. මේ රටවල් සමඟ සබඳතා පැවැත්විය යුතු වුවත් මොවුන් සමඟ පමණක් ඇයිහොඳැයිකම් පවත්වන විට ලෝකය අප දෙස බලනුයේ වපර ඇසිනි. අවාසනාවට රජයේ නාලිකාවල හෝද හෝදා මඩේ දැමූ ඉඩි අමීන් ආකාරයේ පාලනයන් සමඟ මේ රජය වැඩි හිතවත්කම් පැවැත්වීම හාස්‍යජනකය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හීන වෙමින් යන මේ රටවල් සමඟ ඇඟෑළුම්කම් පෑම අපට එරෙහිව නැගෙන චෝදනාවලට තවත් උත්ප්‍රේරකයක් නොවන බව කාට නම් කිව හැකිද? බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව ප්‍රකට කියමනකි. මේ කියමන අප මුහුණ දෙන තත්ත්වය මනාව විස්තර කර දෙයි.

රට වෙනුවෙන් ලොවම දිනුවා යැයි පුරසාරම් දෙසන රෝහිත බෝගොල්ලාගම ගරු ඇමැතිතුමා බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ (Conservative Party) විපක්ෂ මන්ත්‍රීවරයකු වන ලියෑම් ෆොක්ස් මහතාට රාජ්‍ය සැලකිළි ලබාදෙමින් බ්‍රිතාන්‍ය රජයට කොකා පෙන්වන්නට සැරසුණි. එහෙත් අවසානයේදී ලියෑම් ෆොක්ස් කීවේද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජන ඇති බවත් සරත් ෆොන්සේකා සෙන්පතිතුමා අත්අඩංගුවට ගැනීම තමා සහ කන්සවේටිව් පක්ෂය හෙලා දකින බවත්ය. රට වෙනුවෙන් ලොවම දිනූ මැතිඳුන්ගේ උප්පරවැට්ටි අතේ පත්තු වෙමින් තිබීම රටට අසුබ තත්ත්වයකි. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය මෙන්ම සමස්ථ විදේශ සේවයම විහිළුවක් බවට පත් වෙමින් පවතී. මෙය කියන්නේ අප නොවේ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිව සිටි අප රටේ ගෞරවය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ රැකුමට ක්‍රියාකාරී වූ ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාත් වත්මන් විදෙස් ප්‍රතිපත්තිය වාර කිහිපයකදීම විවේචණය කළේය.

මෙහිදී අප රටේ ආයෝජනයන්ට දායක විය හැකි රටවල් සමඟ සහයෝගීතාවයක් ගොඩ නගා ගැනීම වැදගත්ය. දකුණු අප්‍රිකාව, සිංගප්පූරුව වැනි රටවල් තුන්වැනි ලෝකයේ සිට දියුණුවට පා තැබුවේ විදේශ ආයෝජන හරහාය. කවරෙකු කොහොම කීවත් අපේ රටේ ශීඝ්‍ර සංවර්ධනය උදෙසා විදේශ දායකත්වය අත්‍යවශ්‍යය. ඒ නිසා ලෝකයේ සෑම සියළු රටක් සමගම හොඳ සබඳතා පවත්වමින් අපේ දියුණුවට මග පාදා ගත යුතුය. ඉන් විදේශයන්ට ගැති වීම අදහස් නොකෙරෙණ බවද අවධාරණය කළ යුතුය.

විදේශ රටවල් අප සමඟ අපේ සුගතිය උදෙසා සබඳකම් පවත්වනුයේ කලාතුරකිනි. බොහෝ විට සෑම රටක්ම අප හා හිතවත්කම් පානුයේ තමන්ගේ කුමන හෝ න්‍යාය පත්‍රයක් මුදුන් පමුණුවා ගැනීමට විය හැකිය. ඉරානය, ලිබියාව, වෙනිසුවේලාව, රුසියාව, මියැන්මාරය වැනි රටවල් එසේ අපට සලකන්නේද එවැනිම පදනමක් තුල පිහිටාය. අප කළ යුත්තේ රටවල් කිහිපයක හිතවතුන් වී ඒ ඒ රටවල අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට රුකුලක් වනවා වෙනුවට සියළු රාජ්‍යයන් හා සමගි වී දෙපාර්ශවයන්ටම වාසි සහගත අයුරේ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමය. මේ බව සදාහරිත අපි මීට පෙර අවස්ථාවකදීද සාකච්ඡා කළා ඔබට මතක ඇති.

විජාතික බලවේග” සහ “ජාත්‍යන්තර කුමණ්ත්‍රණ” යන හුදු දේශපාලනික සටන්පාඨය පසෙකින් තබා බුද්ධිමත්ව, සමබරව, සැබෑ නොබැඳි ස්වරූපයෙන් රටේ විදේශ ප්‍රතිපත්තියක් ගොඩ නැගිය යුතුය. එසේ නොකළහොත් රටේ “සුබ අනාගතය” එතරම්ම සුබ නොවනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

6 responses to this post.

  1. Posted by එරංග on පෙබරවාරි 24, 2010 at 08:04

    කතාව ඇත්ත. අපිට දියුනු වෙන්න දෙපැත්තෙම support එක ඕනෙ!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by පුබුදු on පෙබරවාරි 25, 2010 at 23:45

    අපේ විදේශ ඇමති තුමා පාකිස්තානයට එරෙහිව අත ඉස්සුවෙත් විදේශ ප්‍රතිපත්තියේ වැරදි නිසා තමයි

    ඒත් මගේ මතය නම් අපිව කොන්දේසි දාල නටවන්න හදන බටහිර රටවල් වලට වඩා ඉදිරියෙදි බලවත්තු වෙන බ්‍රික් රටවල් එක්ක අපේ ගණුදෙනු වැඩිකරගන්න එක හොඳයි කියලා
    විශේශයෙන්ම රුසියාව,චීනය,බ්‍රසීලය,ඉන්දියාව වගේ
    මං අදහස් කලේ නොබැඳි ප්‍රතිපත්තිය බිඳ දැමීමක් නෙමෙයි
    කවුරු මඔනා කිවුවත් පහුගිය් ආණ්ඩු ඔක්කොම වගේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට නැම්මක් දැක්වූවා
    අන්න ඒ නැම්ම සමබර කරගන්නවා නම් හරි
    පොඩ්ඩක් රුසියාව චීනය පැත්තට වැඩි උනත් කමක් නෑ

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • මෙහෙම දෙයක් තියෙනවා… ඒ රටවල් බලවත්තු වෙන්න දශකයක් දෙකක්වත් අඩුම ලෙස ගත වේවි… අනික 1960-70 දශකවල බොහෝ දෙනෙක් හිතුවා වියට්නාමය, කාම්බූජියාව වගේ රටවල කොමියුනිස්ට් ජයග්‍රහණ නිසා සෝවියට් රුසියාව ශීත යුද්ධෙ දිනයි කියලා.. ඒක එහෙම වුණේ නැහැ… සියල්ල අවිනිශ්චිතයි…
      අනික ඒ රටවලටත් ඔවුන්ගේම සැඟවුණු අවශ්‍යතා තියෙන වග මතක් කර දෙන්නත් කැමතියි… බොහොම සිතූතියි ඔබේ අදහස් දැක්වීමට…

      ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by දිනෙරු on මාර්තු 1, 2010 at 19:13

    රුසියාව,වෙනිසියුලාව වැනි කොමියුනිස්ට් රට්ස්වල් සමග පමනක් සබදතා පැවැත්වීම නුසුදුසුය.ඔබේ මතය ම ද්ක්න අයුරින් නිවැරදියි.අනිත් එක මහින්දගෙ රටවල් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන,ලෝකෙ ලොක්කො වෙන්න හදන අය.ප්‍රජතන්ත්‍රවාදය උච්චාරනය කරන්න බැරි අපේ ජනපති කොහොමද ප්‍රජත්න්ත්‍රවාදී රටවල් එක්ක වැඩ කරන්නෙ.ඇමරිකාව එන්ගලන්තය ඔස්ට්‍රේලියව සුහදව තියගත යුතුයි ලොකෙ ඉස්සරහට යන්න.මට හිතෙන්නෙ රට දියුනු කරන්න ඕන නැති නිසයි මේ රටවල් එක්ක සෙට් වෙලා තියෙන්නෙ

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ස්තුතියි…. “ප්‍රජාචන්ත්‍රවාදය” නැති ඔය රටවල් එක්ක ගිහින් අපේ නම කැත වෙන එක විතරයි අන්තිමට වෙන්නෙ.. ඊට පස්සෙ අපිව වැටෙන්නෙත් ඒ ගොඩටමයි… ඒකයි දුක

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: