සමානුපාතික ඡන්ද ක්‍රමය – රාමුවෙන් එහා සිතමු

සමානුපාතික ඡන්ද ක්‍රමය යනු කාගේත් අවධානය දිනාගත් විවාදාපන්න මාතෘකාවකි. බොහෝ දෙනා මේ ක්‍රමය වෙනස් කළ යුතු යැයි පවසති. බොහෝ පක්ෂ මේ ක්‍රමය වෙනස් කිරීමට ප්‍රතිඥා දෙති. සමහරුන් මින් විකෘතියන් නිර්මාණය වන බව පවසති. ඒත් සමානුපාතික ක්‍රමයේ වරද කිම?

1978 ව්‍යවස්ථාවෙන් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමට පෙර පැවැතියේ කේවල ක්‍රමයයි. මේ ක්‍රමය ජනතා අභිලාෂයන් අංශුමාත්‍රීයව හෝ පිළිබිඹු නොවෙන ක්‍රමයක් බව සනාථය. මේ බවට කදිම උදාහරණයක් වනුයේ 1977 මහ මැතිවරණයයි. එක්සත් ජාතික පක්ෂය 50.9%ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ ආසන 140ක් දිනාගනිමින් 5/6ක බහුතරයක් උරුම කරගනිද්දී 6.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් දිනාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් සමඟ විපක්ෂයේ දැවැන්තම පක්ෂය වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 29.7%ක ඡන්ද ප්‍රතිශතයක් තිබියදීත් දිනා ගනුයේ ආසන 8ක් පමණි. කේවල ක්‍රමය හරහා බහුතර ආණ්ඩු සාදන්නට පුළුවන් වුවත් ඉන් ජනතා අදහස් පිළිබිඹු වන්නේ නැත.

මගේ අදහස හැටියට කේවල ක්‍රමයේ නොහැකියාව පෙන්වීමට යෝග්‍යතම මැතිවරණය 1970 මහ මැතිවරණයයි. එහිදී 36.9%ක් ඡන්ද දිනා ආසන 91 දිනමින් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සමඟ 2/3ක බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන ශ්‍රීලනිපයට වඩා එජාපය ඡන්ද ලබා ගැනීම විශේෂත්වයකි. එජාපය එදා 37.9% ඡන්ද ලැබූවද ඔවුන් දිනන්නේ ආසන 17ක් පමණි. මෙය සාධාරණද? 1972 ශ්‍රීලනිපය ඉදිරිපත් කළ ජනරජ ව්‍යවස්ථාව 78දී නව ව්‍යවස්ථාවකින් ආදේශනය කෙරිණි. මෙහෙම එන හැම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොත් රටේ ස්ථාවරත්වයට හානි ගෙන දෙයි. අනෙක කේවල ක්‍රමයෙන් පහසුවෙන් 2/3 ඉක්මවන බලයන්ගෙන් යුත් ආණ්ඩු ගොඩ නැගීමට හැකි වීම හරහා විපක්ෂය දැඩි ලෙස මර්දනය කිරීමට මාවත සැකැසේ.

මේ අතර සමානුපාතික ක්‍රමයෙන් මීට වඩා සාධාරණව ජනතා අදහස් පිළිබිඹු වෙයි. දිස්ත්‍රික්කයක වලංගු ඡන්දයෙන් 5%කට වැඩි ප්‍රමාණයක් ගන්නා පක්ෂ වලට තම ඡන්ද වලට සමානුපාතිකව ආසන හිමිවන අතර දිස්ත්‍රික්කයක් දිනන පක්ෂයට ප්‍රසාද (බෝනස්) ආසනයක් ලැබෙන්නේ ආණ්ඩු බලය ශක්තිමත් කිරීමටය. 2004 මහ ඡන්දයේදී ඡන්ද 45.6%ක් ලබාගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105ක් දිනාගනී, එය ප්‍රතිශතයක් ලෙස පාර්ලිමේන්තු ආසනවලින් 46.66%කි. එජාපය එහිදී ඡන්ද 37.83% දිනාගනිමින් පාර්ලිමේන්තු ආසනවලින් ප්‍රතිශතාත්මකව 36.44%ක් වන ආසන 82ක් දිනා ගනී. මේ තත්ත්වය 100%ක් නිරවද්‍ය ලෙස ජනමතය නියෝජන නොකළද එය ප්‍රශස්ථ තත්ත්වයක් නොවන්නේද??

බොහෝ දෙනෙක් සමානුපාතික ක්‍රමයට දෙස්දෙවොල් තියන්නේ ඉන් ස්ථාවර ආණ්ඩු බිහි නොවන බව කියමිනි. නමුත් ඔවුන් කරන්නේ කොළය වසා ගැසීමකි. ස්ථාවර ආණ්ඩු බිහි නොවන්නේ සමානුපාතික ක්‍රමයේ වරදක් නිසා නොව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නොහැකියාව නිසාමය. ඇයි මම එහෙම කියන්නේ. උත්තරය සරලය, 2004 මහ ඡන්දයේදී උතුරු නැගෙනහිර ආසන 31න් එජාපය දිනන්නේ 2ක් පමණකි එජනිසය දිනන්නේ 4ක් පමණි. සෙසු ආසන 25 ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ඊපීඩීපීය අතර බෙදී යයි. ප්‍රශ්නය ඇත්තේ අන්න එතැනය. උතුරු නැගෙනහිර ආසන 31න් ප්‍රධාන පක්ෂ දෙකට 10 බැගින්වත් දිනිය හැකි නම් බහුතරය පිළිබඳ ප්‍රශ්නයද විසැඳෙනු ඇත.

බොහෝ දෙනෙක්ට සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඇති අනෙක් ගැටළුව නම් මනාප ක්‍රමය සහ මනාප පොරයයි. බොහෝ දෙනෙක් තර්ක කරන්නේ මනාප ක්‍රමය නිසා මුදල් බලය සහ මැර බලය ඇති දේශපාලනඥයන් රජයන බවයි. එහි ඇත්තක් ඇත. නමුත් කේවල ක්‍රමයට ගියොත් මුදල් බලය සහ මැර බලය අඩු වෙයිද යන සාධාරණ ප්‍රශ්නය අපට ඇති වේ. එසේ වුවහොත් වෙනසක් සිදු නොවනු ඇත. මුදල් බලය ඇති කෙනා ආසනය පුරා සල්ලි බෙදමින් ඡන්ද එකතු කරනු ඇත, මැර බලය ඇති කෙනා ආසනය පුරා ප්‍රචණ්ඩත්වය වපුරුවනු ඇත. එහෙනම් මනාප ක්‍රමය ඉවත් කිරීමෙන් සිදුවෙන හොඳ කුමක්ද? මනාප ක්‍රමය ඉවත් කළහොත් එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවතින නොහොඳ නෝක්කාඩු අඩු වී යනු ඇත, ඇනකොටා ගැනීම් අඩු වනු ඇත. එහෙත් මේ නොහොඳ නෝක්කාඩු, මනාප ගැටුම් වලදී වැඩි වගකීම භාරගත යුතු වන්නේ අපේක්ෂකයින්, පක්ෂ නාමයෝජනා මණ්ඩල සහ ඡන්දදායකයින්ය. තම පක්ෂය තුලම ඇණ කොටාගන්නා උදවියට නොමිනේෂන් නොදීම පක්ෂවල වගකීමකි, ඊට අපේක්ෂකයින්ට කොන්දේසී පැනවිය හැකිය, නිවැරදි පරිදි තම මැතිවරණ සටන මෙහෙයවීම අපේක්ෂකයින් සතු යුතුකමකි, තම පක්ෂයේ සෙසු අපේක්ෂකයන්ට එදිරි නොවී මහත්මා ලෙස ඡන්දය මෙහෙයවා පාර්ලිමේන්තු ගිය ආදර්ශවත් මන්ත්‍රීවරුන්ද සිටිති., මුදල් බලයට, මැර බලයට යට නොවී මනාපය සලකුණු කිරීම ඡන්දදායකයා සතු වගකීමකි.

හෝමාගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සලකමු. අපි මොහොතකට ඔහු බන්දුල ගුණවර්ධනට අකැමැති බවත් මංජු ශ්‍රී අරංගලට කැමැති බවත් සිතමු. නමුත් ඔහු ප්‍රබල එජාප විරෝධියකුද වෙයි. කේවල ක්‍රමයට ඡන්දයක් තුබුණි නම් මෙම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මංමුලාවනු ඇත. ඔහුට තමන් කැමැති පක්ෂයේ අකමැති අපේක්ෂකයා දිනවනවාද නැතිනම් අකැමැති පක්ෂයේ කැමැති අපේක්ෂකයා දිනවනවාද යන ප්‍රශ්නයට මුහුණ පාන්නට සිද්ධ වෙයි. නමුත් සමානුපාතික ක්‍රමය යටතේ ඔහුට බුලත් කොළයට කතිරය ගසා කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂකයින් 22ක් අතුරින් සුදුසු තිදෙනෙක් තෝරා ගැනීමේ වරම හිමිවෙයි. මෙය උක්ත තත්ත්වයට වඩා සුබවාදී නොවන්නේද?

තවද සමානුපාතික ක්‍රමය හරහා තම ආසනයේ සංවිධායකයින්ට පාඩමක් උගන්වන්නටද ජනතාවට පුළුවනි. 1994-2000 පොදුජන එක්සත් පෙරමුණු රජයේ පතාකයකු වූ කිංස්ලි ටී. වික්‍රමනායක මහතාගේ අසුන වූ කඩුවෙල 2000 මහ මැතිවරණයේදී පොදු පෙරමුණ ජයලබද්දී ඔහුට පාර්ලිමෙන්තු වරම් අහිමි වුවත් එවක කඩුවෙල එජාප සංවිධායකයා වූ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කඩුවෙල ආසනය පරාජය වුවද පාර්ලිමේන්තු වරම් දිනා ගත්තේය. කේවල ක්‍රමය තිබුණි නම් මෙවන් ප්‍රතිඵලයක් අපට බලාපොරොත්තු විය හැකිද?

අනෙක් අතට අපි තිස්සමහාරාම ආසනය සැලකුවහොත් එය පක්ෂ ත්‍රිත්වයක් දැඩි ලෙස ශක්තිමත් ප්‍රදේශයකි. එහි එජනිස අපේක්ෂකයා ඡන්ද 30,000 දිනා පළමුවැන්නා වෙද්දී එජාප අපේක්ෂකයා ඡන්ද 25,000ක් සහ ජවිපෙ අපේක්ෂකයා ඡන්ද 20,000 දිනා පරාජය වනු ඇත. ඡන්ද 30,000ක් පාර්ලිමේන්තුවේ නියෝජනය වෙද්දී ඡන්ද 45,000ක් පාර්ලිමේන්තුවේ කිසිවකු විසින් නියෝජනය නොකරනු ඇත.

මනාප ක්‍රමයට නගන තවත් එක් අවලාදයක් නම් ඉන් යම් ආසන වලට සෙත නොසැලසෙන බවයි. පළමුකොට කිව යුතු වන්නේ පාර්ලිමේන්තුව යනු ප්‍රතිපත්ති සම්පාදනය කේන්ද්‍ර කොට ගත් ආයතනයක් බවයි. බොහෝ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සාක්ෂාත් කිරීම පැවැරෙන්නේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලටය. කෙසේ වෙතත් මෙම සමානුපාතික ක්‍රමය තුල මුළු දිස්ත්‍රික්කයක්ම එක් මැතිවරණ කොට්ඨාශයක් ලා ගැනෙන බව මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතුය. ඒ අනුව එක් නිශ්චිත ප්‍රදේශයක් අරක් ගෙන සේවය කරනවා වෙනුවට දිස්ත්‍රික්කය පුරාවටම සේවය කිරීම ඔවුන්ගේ යුතුකමකි. එවැනි මන්ත්‍රීවරුන්ට ඡන්දය දීමද ජනතාවගේ යුතුකමකි. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට මනාප දෙද්දී තමන්ගේ පෞද්ගලික වාසීන් පසෙක ලා රටට සුදුසු මන්ත්‍රීවරු පත් කිරීම ඡන්දදායකයා සතු ප්‍රධාන වගකීමකි.

නමුත් ජාතික ලැයිස්තුව නම් වෙනස්කම්වලට භාජනය විය යුතුය. ජනතා තීන්දුවෙන් මිදීමේ මාධ්‍යයක් ලෙසත්, ජනවරමක් නැති හෙංචයියන් පාර්ලිමේන්තු එවීමේ ක්‍රමයක් ලෙසත් ජාතික ලැයිස්තුව භාවිතා වේ. ජාතික ලැයිස්තුවෙන් සැබැවින්ම සිදු වෙන්නට ඕනෑ විද්වතුන් පාර්ලිමේන්තු එවීමය, එනම් මහාචාර්ය ජී.ඇල්.පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු, කේ.එන්. චොක්සි වැනි මහත්වරුන්ය. නමුත් අද වන විට ජාතික ලැයිස්තුවෙන් එම කර්තව්‍යය ඉටු වන්නේද, පහුගිය ආණ්ඩුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ ආචාර්ය මර්වින් සිල්වා ඇමැතිතුමා වැන්නවුන්ය. එනිසා දේශපාලන පක්ෂ ජාතික ලැයිස්තුවල වැදගත්කම හඳුනාගෙන ඊට සුදුස්සන් පත් කළ යුතුය. නමුත් හවුල්කාර දේශපාලන පක්ෂවලට ජාතික ලැයිස්තුවේ පංගු වෙන්කිරීමටද ඔවුන්ට සිදුවී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. ජාතික ලැයිස්තුවට ලැබී ඇති ආසන 29 උවමනාවට වැඩිය යන්න මගේ මතයයි.

ඉතින් මාගේ පෞද්ගලික මතය අනුව මනාප ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය ඉතා ප්‍රජාතන්ත්‍රවාදීය, විශ්වසනීයය. ප්‍රශ්නය නම් අපේ ජනතාව එය වැරැදි ලෙස භාවිතා කිරීමයි. නමුත් අතීතයේදී මැර දේශපාලනයෙන් තොරව මන්ත්‍රීවරු ඡන්ද දිනා ඇත. පෝස්ටර් සංස්කෘතියට ගැති නොවූ කරු ජයසූරිය, මිලින්ද මොරගොඩ, මොහාන් ලාල් ග්‍රේරු, උදය ගම්මන්පිල ඡන්ද ඉහළින් දිනා ඇත, මැර බලයෙන්, මිල මුදලින් තොරව මන්ත්‍රීවරු ඉහළ මනාප දිනාදෙන ඇත. ඡන්දදායකයන් ලෙස ඔහේ අපේ මනාප ත්‍රිත්වය නාස්ති නොකර, කුමන පක්ෂයට ඡන්දය දුන්නත් මනාප තුන බුද්ධිමත්ව සටහන් කරන්නේ නම් තත්ත්වය සුබදායී වනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම්

5 responses to this post.

  1. සමානුපාතික ක්‍රමය is good…………better than others
    sulu jathinge niyojanayk sidhuviimata thiyena ekama kramayayi……..
    kevala krameyedi mea thathvaya ithamath barapathalayi…
    dhemala haa muslim niyojanayak tharamata pramanavath jandha nomethikama ovun thava duratath asarana viimak sidhuveyi.
    jadhi aagam bedha nosalaka siyalu denama srilankikayan lesa salakana maanasikathvayata enna puluvan kamak ape rate praDhaana paksha valata neha…ethakan me සමානුපාතික ක්‍රමය better to tomarrow srilanka…….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by ඇනියා on පෙබරවාරි 24, 2010 at 20:01

    ඒකනම් ඇත්ත ඔය බොරුවට කෑගහන අය කැමති පරන මෝඩ ක්‍රමයට ද දන්නෙ නා

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by පුබුදු on පෙබරවාරි 25, 2010 at 23:57

    සමානුපාතික හා කේවල ක්‍රමය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වඩාත් පලදායී නැද්ද??

    මනාප පොරය නැති
    සෑම ජන කොටසකගේම අයිතිය ආරක්ශා වෙන ක්‍රමයක්..

    මන්ත්‍රී ආසන 160ක් ආසන අනුව බෙදෙනවා
    ඉතුරු ආසන ටික සමානුපාත ක්‍රමය අනුව බෙදෙනවා

    එතකොට බොහෝ විට දිනන පක්ශයට ආසන 120ක් විතර ලබා ගන්න පුලුවන්

    2004දි හෙල උරුමය ආසන 9ක් ගනිද්දි
    ඊට් වඩා අඩුවෙන් ඡන්ද ගත්ත දෙමළ සන්ධානය ආසන 22ක් ගත්ත
    එහෙම උනේ ඒවගේ ජනගහනයට අනුපාතිකව ආසන වෙන් කරලා නැති නිසා
    මේ පාරවත් ඒව වෙනස් වෙයිද??

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ඇත්ත… පුබුදු ඒකට හේතුව උතුරු-නැගෙනහිර හරිහමං සංගණනයක් තියලා නැති එක… ඒ නිසා ඒ ප්‍රදේශවලට ආසන බෙදෙන්නෙ ඇත්ත ජනගහණය පාදක කරගන්නවා වෙනුවට උපකල්පන මත… ඇත්තටම යුද්ධෙ ඉවර වුණ ගමන්ම දීපව්‍යාප්ත සංගණනයක් කළා නම් හොඳයි… අනික ඒ කාලෙ යුද්ධය නිසා සෑහෙන දෙනෙක්ට ඡන්දය ප්‍රකාශ කරන්න ලැබුණේ නැහැ…

      මෙහෙමයි… ඔය සමානුපාතික හා කේවල ක්‍රමය මිශ්‍ර වෙච්චි ක්‍රමයකත් මම ඉහත කියපු ප්‍රශ්න එනවා නේද… ආසනයේ තමන්ගෙ පක්ෂෙ අපේක්ෂකයාට අකැමැතිව හරි ඡන්ද දෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා… ඇත්තටම මම නම් කියන්නෙ මනාප ක්‍රමය ඉතා හොඳයි.. ඒක අතිශය ප්‍රජාතන්ත්‍රවාදී… නමුත් අවාසනාවට අපේ මිනිස්සු ඒක භාවිතා කරන විදියයි වැරදි.. අපේක්ෂකයො මරාගන්නවා, ඡන්දදායකයො ප්‍රතිපත්ති, මතවාද, දක්ෂතා ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පෝස්ටර, කටවුට්වලට මනාපෙ දෙනවා…!!

      තව දෙයක්…. 2/3ක බහුතරයක් ආණ්ඩුවක් ගන්නවා කියන්නෙ බොහොම භයානක තත්ත්වයක්… 1970 ඉඳන් 1989 වෙන්කන් තිබ්බ සමගි පෙරමුණු සහ යූඇන්පී ආණ්ඩුවල කෙරුවාවෙන් 2/3 බලයක තියෙන ආදීනව තේරුම් ගත්ත හැකි.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  4. […] හා නොහැකියාවන් මනාප ක්‍රමය මත පටවා  පැරණි කේවල ක්‍රමයට ඉදිරි පලාත් පාලන මැතිවරණය […]

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: