යුක්තියේ යථාර්ථය…

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන අදට දින 3ක් ගෙවී හමාරය. ෆොන්සේකා මහතා කොළඹ නාවුක හමුදා කඳවුරක රඳවා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා රටට දැනුම් දුන්නේය. නමුත් බොහෝ දෙනෙක් තුල මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන මර්දනයකැයි යන මතය පැතිරීමේ පදනම කිම??

එහි පදනම සරලය, අවි ආයුධ අතැතිව ශ්‍රී ලංකාව දෙකඩ කරනු වස් සටන් වැදි කරුණා, පිල්ලෙයාන් ඇතුළු හිටපු කොටි සාමාජිකයින් ත්‍රස්තවාදය රට පුරා වැපිරීය. ඉන් කරුණා කොටි මෙහෙයුම් රැසක ප්‍රධාන නියමුවා වෙමින් ශ්‍රී ලාංකේය සොල්දාදුවන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද සිය දහස් ගණනින් එළොව යැවීය. කොටි සංවිධානය පරදවා යුද්ධයට තිත තැබූ ජෙනරල් ෆොන්සේකා අද සිරගතව සිටිද්දී කර්නල් කරුණා කැබිනට් ඇමැතිවරයකු ලෙස සුර සැප විඳිමින් ඊළඟ මහ මැතිවරණය ගැන සුබ සිහින දකියි. මෙහි සාධාරණත්වය කිම??

පසුගිය සතියේ පුවත්පත් තුලින් අපට දකින්නට ලැබුණේ එස්.බී. දිසානායක මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලැබී ඇති බවත් පසුව ඔහු උඩුනුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පදවියට පත් කර ඇති බවත්ය. පූර්ණ ජනාධිපති සමාව යනු කිමෙක්ද?? ඉන් අදහස් වන්නේ ජනාධිපති පූර්ණ සමාව ලබන තැනැත්තා මීට පෙර කළ ඇති සියළු වැරදිවලින් නිදොස් කොට නිදහස් කිරීමකි. ඒ අනුව මීට පෙර ඔහුට එරෙහිව ඔප්පුවී තුබූ චෝදනා, සහ ඔහු ලබා තුබූ දඬුවම් ශූන්‍ය කෙරෙන අතර මතුවට ඔහුගේ ෆයිල් එකේ එකී කරුණු අන්තර්ගත නොවනු ඇත. පසුගියදා වයඹ ඡන්ද මංකොල්ලය දියත් කළ හැටි ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කළ එස්.බී. දිසානායක මහතා සමෘධිය වැනි ව්‍යාපෘති හඳුන්වා දෙමින් අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට වඩා වැඩි සේවයක් රටට කර ඇතුවා වන්නට පිළිවන. එහෙත් එස්.බී. මහත්තයා ජෙනරල් ෆොන්සේකාට වඩා එහා රටට සේවයක් කර තිබේද? එස්.බී.ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබිය යුතු නම්, යම් වරදක් කර ඇත්නම් එවන් සමාවක් ෆොන්සේකාට අකැප මන්දැයි යන තර්කයට සමාන තර්කයක් මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබීමද සිතන්නට යමක් ඉතිරි කරයි. මහනායක හාමුදුරුවරුන් දෙපල වදාලේ උන්වහන්සේලා මේ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බවත් වරදක් කර ඇත්නම් ඒ ගැන ප්‍රශ්න කරන්නට සම්මත ක්‍රමයක් ඇති බවත්ය. උන්වහන්සේලා ජෙනරල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපි මගින් දැන්වීමටද බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

ඊයේ (10) දහවල් කොළඹ අළුත්කඩේ උසාවිය ළඟ ජෙනරල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමට රැස් වූ පිරිසට දාමරිකයින් ගල්මුල් වලින් පහර දෙන රූපරාමු ඔබ ටෙලිවිෂනයෙන් දකින්නට ඇත. එහිදී පොලිසියේ හැසිරීම ඔබේ නෙතඟ ගැටෙන්නට ඇත. දාමරිකයින් ගල්, මුල්, පොලු, මුගුරු වලින් පහරදෙන්නේ පොලිසිය අසල සිටය. මෙසේ උද්ඝෝෂකයින්ට චණ්ඩින් පහර දෙද්දී අත් දෙක බැඳගෙන එදෙස පොලිස් නිලධාරීහූ බලා සිටින දර්ශනය සැබැවින්ම ශෝකජනකය. පොලීසිය නීතිය ඉටු කරමින් එම ප්‍රහාරකයින් අත් අඩංගුවට ගන්නවා වෙනුවට කළේ උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් සහ අධිපීඩිත ජලප්‍රහාර එල්ල කිරීමයි. අද (11) අධිකරණය හමුවේ මේ සිද්ධිය විභාගයට ගැනුණු විට මහේස්ත්‍රාත්වරිය විසින් පොලීසියට දොස්මුරයක් පවත්වා අධිකරණයට අපහාස නොකර අපක්ෂපාතීව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම මේ බව තහවුරු වේ.

අනෙක් අතට ප්‍රවෘත්ති වල වාර්තා වූ අන්දමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසා ඇත්තේ ජෙනරල් ෆොන්සේකාට එරෙහි චෝදනා සම්පිණ්ඩණයට අදාල මූලික පියවර ගැනෙන බවයි. මින් කියැවෙන්නේ නිශ්චිත චෝදනා පත්‍රයක් තවමත් නැති බව නේද? චෝදන මොනවාදැයි ඇසූ විට එක එක උත්තර ලැබෙන්නේ එබැවිනි. තවද 11වන බ්‍රහස්පතින්දා ලංකාදීපයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා පවසන්නේ ජෙනරල් ෆොන්සේකා සිරබාරයට ගන්නේ දේශපාලන හේතු මතම නොවන බවයි. එම ප්‍රකාශය බළලා මල්ලෙන් පැනීමක් ලෙස අර්ථ ගැන්විය හැකිය. ඒ අනුව මේ ක්‍රියාව දේශපාලන හේතූන් මත අත්අඩංගුවට ගැනීමකැයි සිතීම සාධාරණ නොවන්නේද??

මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ නන්දන බාලගේ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වන පියසිරි විජේනායක මහතා කැබිනට් ඇමැතිවරයකු ලෙස සැප සම්පත් භුක්ති විඳිද්දී, කරුණා, පිල්ලෙයාන් නිරුපද්‍රිතව ආණ්ඩුවේ සුවිශාල ආරක්ෂක සේනාවලට උරුමකම් කියමින් සුරසැප විඳිද්දී, එස්.බී. ආණ්ඩුවට කරණම් ගැසූ විගස ඔහුට ජනාධිපති පූර්ණ සමාවක් පිරිනැමෙද්දී ජෙනරල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම නිර්දේශපාලනීක තීන්දුවක් වන්නේද???

– හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 නවම් –

Advertisements

3 responses to this post.

  1. ජෙනරාල් සරත් ෆොන්සේක මහතා (පැහැදිලි හේතු නොදක්වා) අත්අඩංගුවට ගැනීම නොකළයුත්තක් බව මගේ හැඟීමයි. නමුත් ඔහුගේ අඳබාල ක්‍රියා ඉන් සාධාරණිය කිරීමක් නොකෙරෙන බව සැළකුව මනාය. ඔහු යුධ විරැවෙක්ව සිටි කාලයේ, ඔහු යටතේ සිටි හමුදාවෝ මහත් ජයග්‍රහණ ලබාගත් කාලයේ, ඔහුට අවමන් කළ, සමස්ථ ශ්‍රී ලිංකීය ත්‍රිවිධ හමුදාවටම අවමන් කළ, බූරැ රැළ සමග එක්වීමට ඔහු ගත් තීරණය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. දේශපාලන මස් වැද්දන්ගේ ලණු කෑමේ ප්‍රත්ව්පාක අද ඔහු තනිවම භුක්ති විඳී. නමුත් අවාසනාව නම්, ඔහුට තවමත් මෙය තේරැම් ගැනීමට ‍නොහැකි වීමයි. දැන්වත් ඔහු‍ මෙය තේරැම් ගත යුතුය. වීර හමුදා නායකයකු වූ ඔහු, මෙතරම් මෝඩයෙකු යැයි අපි කිසිවිටෙකවත් නොසිතුවෙමු.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ඔබේ මතයට ගරු කරමු… එසේ වුවත් මේ සම්බන්ධයෙන් ජෙනරල් ෆොන්සේකාගේ මතය වෙනස්ය… එනිසා ඔහුගේ අදහසටද ගරු කිරීම වටින්නේය… මක්නිසාදයත් විවිධ පුද්ගලයෝ එකම දේ විවිධ විවිධ ආකාරයට දකිති… යුද ජයෙන් පසුව ආණ්ඩුව ගෙන ගිය ක්‍රියාදාමයට ජෙනරල් ෆොන්සේකා විරුද්ධ වූ නිසා හේ දේශපාලනයට ආ බව මගේ මතයයි…

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: