මැද පිටුව – නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ නම්…!!!

Click here to get Sinhala Unicode

පසුගිය සතිඅන්ත පුවත්පත් ඔබ කියෙව්වාද? කියෙව්වානම් එම ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රධාන කොටසේ මැද පිටුව දෙසට ඔබේ නෙත යොමුවන්නට ඇත. පසුගිය සෙනසුරාදා සිරස නාලිකාවේ සටන වැඩසටහනේදී බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාද ජනතාවට ඇවිටිලි කළේ තමන් විසින් පළකරන ලද මෙම ද්විත්ව-පිටු දැන්වීම කියවා බලන ලෙසයි. නමුත් එහි ඇත්තේ කිමෙක්ද??

බොහෝ දෙනා අපේක්ෂා කළේ ජනාධිපතිධූර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධ යැයි කියන අවි ගනුදෙනුව ගැන යමක් එහි සඳහන් වනු ඇති බවයි. නමුත් එහි සඳහන් වූයේ සරත් ෆොන්සේකාගේ බෑණනුවන් ඇමෙරිකාවේ ඔක්ලහෝමා ජනපදයේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට අදාල ලිපි ලේඛණයි. එහි සරත් ෆොන්සේකා ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කරමින් හයිකෝප් සමාගමට දුරදක්න ආදී භාණ්ඩ සඳහා කොන්තරාත්තු දුන් බව මුද්‍රණය වී තිබුණද ඊට අදාල කිසිඳු ලිපි ලේඛණයක් අන්තර්ගත නොවිණි. මෙම ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම ගැන අදහස්ද මෙහි සඳහන් කර නැත. වැට් බදු වංචාව රුපියල් කෝටි 33000 ඉක්මවන බව අපි දනිමු, හෙජින් වංචාවේ පාඩුව රුපියල් කෝටි 7700ක් ඉක්මවන බවත් දනිමු, ශ්‍රී ලංකන්, මිහින් එයාර්, වරාය අධිකාරිය වන් ආයතනවල පාඩුවද රටේ ජනතාව දනිති. එහෙත් මේ වුණායැයි කියන ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම ඔය කියන දැන්වීමේ සඳහන් නොවේ. එහෙනම් ගම්මන්පිල ඇමැතිතුමා බොහොම උජාරුවෙන් පාරම්බෑ මෙම දැන්වීමේ ඇති එකම ගත යුත්ත ජෙනරල්තුමාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා හයිකෝප් නම් සමාගමක කොටස්කරුවකු ලෙස ඇමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බව පමණි.

දේශපාලනඥයකුගේ ඥාතියකු ව්‍යාපාරයක් කිරීම වරදක්ද? එසේ වන්නේ නම් රටේ දේශපාලනය කරන්නට ඉතිරිවන්නේ අතලොස්සකි. රටේ විශාල හාල් හිඟයක් ඇතිවී තිබියදී ඇමැතිධුර හොබවන “නිපුන” හාල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් ඇමැතිතුමා මෙන්ම ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිට පක්ෂ භේදයෙන් තොරව රටේ බොහෝ දේශපාලනඥයන් එක්කෝ ව්‍යාපාරිකයෝය, නැතිනම් ව්‍යාපාරිකයකුට මොනයම් හෝ ඥාතීත්වයක් හොබවයි.

හරි! අපි හිතලුවකට, නිකම් විහිළුවට වගේ හිතමුකො ඔතනදි ජෙනරල්තුමා ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කළාය කියල, එතකොට ඒව වෙනකන් ඇස් කන් වහගෙන හිටපු ආණ්ඩුව මේකට වග කියන්න ඕනෙ නේද? අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂක ඇමැතිතුමා, එතුමගේ අමාත්‍යංශයට සම්බන්ධ ගනුදෙනුවකදි දූෂණයක් උනාය කියනවනම් ඒක වෙනකන් එතුමා උඩ බලං හිටියාද? සියළු අවි ගනුදෙනු ලංකා ලොජිස්ටික්ස් ආයතනය හරහා සිදුවිය යුතු යැයි කී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තය මේව දැක්කෙ නැද්ද? එහෙමත් නැත්තන් ඒ මහත්වරු දෙන්නගෙ ඇස්වලට වැලි ගහල හොරකම් කරන්න පුලුවන් තරම් මෝඩයො දෙන්නෙක්ද ඒ දෙන්නා?? ආරංචි පැතිර යන විදියට හමුදාවට අවි ආයුධ ගන්න ඕනෑම ලියැවිල්ලකට ආරක්ෂක ලේකම්තුමා අත්සන් කරන්න ඕනෙ. එහෙනම් මේකෙන් කියැවෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මේකට සම්බන්ධ බවයි. ඔතන බැරිවෙලාවත් අක්‍රමිකතාවක් වෙලා තියෙනවනම් අතිගරු ජනාධිපතිතුමත්, ආරක්ෂක ලේකම්තුමාත් වග කියන්න ඕනෑ නේද??

අනෙක් අතට අපි ජෙනරල් ෆොන්සේකා ටෙන්ඩර් පටිපාටි උල්ලංඝණය කර මහින්ද සහ ගෝඨාභය දෙසොහොයුරන් ගොනාට අන්දා හයිකෝප් එකට ගනුදෙනුව ලබා දුන්නා යැයි උපකල්පනය කරමු. එහෙම එතුමා කළා නම් ඒක වැරදි බව සැබෑය. නමුත් මේ ටිකත් කල්පනා කරන්න. අපේ රටේ සාමාන්‍ය මිනිසකු මෝටර් රථයක් ගත්විට, තමන්ට කරදරයක් වූ විට, අලුත් දේකට අත ගසන විට යන්නේ අන් කොහේවත් නොව අතිඋතුම් කතරගම පූජාභූමියටයි. ආගම් භේදයකින් තොරව ලක්දනන් වන්දනාමාන කරන කතරගම පුදබිම දේවාල පනතින් නිදහස් කර තම ඥාති පුත්‍රයාට ඌවේ මහ ඇමැති වීමට පාර කැපීම අර ඉහත අපි උපකල්පනය කළ ටෙන්ඩර් නීති උල්ලංඝණය කිරීමක් වාගේම වරදක් නොවේද?? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජීවිත කාලයම දිවි හිමියෙන් කඹුරපු මිනිස්සු එළියෙ ඉන්දැද්දී තම සොහොයුරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එවීමද එවැනිම ක්‍රියාවක් නොවේද??? මේ ක්‍රියාවලීන් දෙකම රටේ සම්මත සදාචාරය අභිබවා යන ඥාති සංග්‍රහයන් නොවන්නේ යැයි කවරකුට නම් කිව හැකිද?? අපි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීම ප්‍රශ්න නොකරමු, මන්ද ඔහු හිටපු හමුදා නිලධාරියකු නිසා, නමුත් ඉහත නැගූ ප්‍රශ්න දෙකට අමතරව බොහෝ ප්‍රශ්න, ප්‍රශ්නාර්ථ අපේ ජනතාවට ඇත. අද දේශපාලන පළපුරුද්ද ගැන බෙහෙවින් සංවේදී කඳවුරේ තැනැත්තෙකු ඌවේ මුල් පුටුව මෙන්ම කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයද හොබවන්නේත්, වසර කීපයක් ශ්‍රීලනිපයේ සහ එජාපයේ දේශපාලනඥයන් සමඟ ක්‍රියා කර අත්දැකීම් ඇතත් ඔය කියන තාලයේ මහා විශාල දේශපාලන අත්දැකීම් නැති මහත්මයකු ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ටත් එහා ගිය තත්ත්වයක් උසුලණුයේ මේ ඥාති සංග්‍රහය නිසා නොවේදැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර බලන්න.

අනෙක් අතට පළාත් සභා නාමයෝජනා කමිටුවල සිටි සන්ධාන නායක නායිකාවෝ නොමිනේෂන් දුන්නේ ඔවුන්ගේ ඥාතීන්ටය, පුතුන්ට, සහෝදරයන්ට සහ නෝනලා මහත්වරුන්ටය. මෙයද ඥාති සංග්‍රහයක් බව ඔබ අප සැවොම දනී. රටේ සෑම පළාත් සභාවකම කිසිඳු සංවේදීත්වය සහ පළපුරුද්ද ගැන මැත දොඩවන එක්සත් ජනතා සන්ධාන ප්‍රබලයන්ගේ කිට්ටු ඥාතීන් බර ගණනක් ඇතුලත් කර වරිග සභාවක් කිරීමට සන්ධානය ක්‍රියා කරන්නේ තම පක්ෂයෙන් පළාත් සභාවකට ඉල්ලන්න මිනිස්සු නැති නිසාද එසේත් නැතිනම් ඥාති සංග්‍රහය නිසාද?

එහෙනම් යමෙක් සම්මතයට පටහැණිව ඥාති සංග්‍රහයේ නියැලීමට චෝදනා ලැබිය යුතු නම් ඒ චෝදනාව පළමුව එල්ල විය යුත්තේ අනෙක් අයට චෝදනා නගන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මිස ජෙනරාල් ෆොන්සේකාට නොවන බව බහුතරයේ අදහසයි. බොරු චෝදනා පටලවමින් තමන් නිර්දෝෂී වන්නට මේ උදවිය යත්න දරණ බව වියතුන් දන්නේ එබැවිනි.

නඩුත් හාමුදුරුවන්ගේය, බඩුත් හාමුදුරුවන්ගේ න්‍යාය යොදවමින් තමන්ට හිතවත් මාධ්‍යය හරහා මේ මිථ්‍යාව ජනසිත්සතන් තුල වැපිරීමට වෙර දරණ තැතට නියමිත පිළිතුර මෙරට බුද්ධිමත් දනන් දෙනු ඇත….!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 දුරුතු

H Niles Perera©, January 2010

Advertisements

5 responses to this post.

  1. “දේශපාලනඥයකුගේ ඥාතියකු ව්‍යාපාරයක් කිරීම වරදක්ද?”
    ඔය කියන විදිහට රාජපක්ෂ පවුලේ අයටත් ඉඩම් මිලදී ගන්න ගෙවල් ගදන්න පුලුවන් නේද? ඇයි ඒවට විත‍රක් කෑගහන්නේ
    ඒක රාජපක්ෂ අදාල නැද්ද
    අදහස් පලකිරීමේදී (දේශපාලනය සම්බන්ධයෙන්) ස්වාධීන විය යුතුයි නේද
    මේක කඩේ යාමක් නොවේ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by Niles Perera on ජනවාරි 14, 2010 at 06:46

      ඕකට කියන්නෙ තමන්ගෙ ඇහේ පරාළෙ නොදැක අනුන්ගේ ඇහේ පොල් කෙන්ද දකින එක කියල…. අපි කියන්නෙ ෆොන්සේකා මහත්මයා ඔය කියන විදියට සම්මතය කඩලා ඥාති සංග්‍රහයක් කළා නම් ඊට වඩා වැරදි විදියට ඥාති සංග්‍රහ කරන මිනිස්සු බුරුතු පිටින් මේ රටේ ඉන්න බවයි…. ඇයි ඒවා නොපෙනෙන්නෙ??

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by ගී ලංකා on ජනවාරි 14, 2010 at 08:47

    @ සහන්
    රාජපක්ෂ පවුලේ අයටත් ඉඩම් මිලදී ගන්න ගෙවල් ගදන්න පුලුවන් තමයි. ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ඔවුන් ඒ ඉඩම් මිලදී ගැනීමයි, ගෙවල් හැදීමටක් යොදාගන්නේ ජනතාවගේ සල්ලි නම් ඔයා ඒකට එකඟ වෙනවද? දෙනියායෙ නිවසට යන පාරෙ කිලෝමීටර් ගණනාවක් මග නැගුමෙන් හැදුවා. ගෙදර හදන්න අවශ්‍ය කරන සියල්ලම මග නැගුම හරහා ලබ ගත්තා. සාක්ෂි ඇතිව මේ ගැන දැනගන්න නම් ලංකා පත්‍තරේ ලිපිය හොයාගෙන කියවන්න. තවත් දෙයක්, දැනට රාජපක්ෂවරුන් මිලදී ගෙන ඇති දේපළ වලට වැය කළ මුදල් සතයක් වත් රජයේ මුදලින් ගසා කාපුවා නැද්ද කියලා ඔයා කියන්න. එහෙම කළා නම් ඒක හරිද? ෆොන්සේකාගෙ බෑනා රජයේ මුදලින් ව්‍යාපාර ආරම්භ කළා කියල වත්, වතු හෝ සමාගම් මිලදී ගත්තා කියලාවත් කවුරු හරි කියල තියනවද?

    කඩේ යෑමේ වෙනස තියෙන්නෙ එතනයි. අපිට පේන්නේ ඔයා ඔයාටත් හොරෙන් මහින්දට කඩේ ගිහින් තියනව කියලා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by ME BEYOND on ජනවාරි 15, 2010 at 20:58

    after 17 umbata hondata hambaweiii sadaharitha 😀 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: