ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු….!!!??

Click here to get Sinhala Unicode

වර්තමානයේ රූපවාහිණී, ගුවන් විදුලි මාධ්‍යයෙන් ඔබට නිතර නිතරම අසන්නට දකින්නට ලැබෙන්නේ  නාමල් රාජපක්ෂ මහතාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් විශාල පිරිවැයක් යොදා ප්‍රචාරණය කෙරෙන ඉතා ආන්දෝලනාත්මක දැන්වීම් මාලාවයි. මේ දැන්වීම් මාලාව රූප හා ශබ්ද මාධ්‍යය හරහා ප්‍රචාරණයට වැය වන අධික මුදලේ මූල්‍යමය අගය අපි නම් නොදනිමු එහෙත් මෙච්චර මිලියන ගණනාවක් වියදම් කරන මේ දැන්වීම ගැන කතා නොකර සිටීම එය නිමැවූ ඇත්තන්ට කරන අසාධාරණයකි.

එහිදී එක් කාණ්ඩයක් “දශක ගණනාවක් පුරා…” කියාත් තව කොටසක් “තරුණියන්/තරුණයන් හැටියට අපිට බොහෝ බලාපොරොත්තු තියෙනවා….” කියාත් තවත් පිරිසක් “රටක නෙවෙයි සමිති සමාගමක උනත් නායක්ත්වයට…” කියාත් ඇතැමෙක් “ඔබ සෑම විටම ඔබේ අසල්වැසියන්ට උපකාර කළ පුරවැසියෙක්….” කියාත් තව කොටසක් “මම විවිධ චරිත ඔස්සේ ඔබේ ආලින්දයට ඇවිත්…” කියාත් ඛාණ්ඩ ගණනාවක් යටතේ කලාකරුවන්, ක්‍රීඩකයින් යොදා ගනිමින් දැන්වීම් පටිගත කරගෙන තිබේ. මේ දැන්වීම් මාලාවට සහභාගී වූ කලාකරුවන්ට, ක්‍රීඩකයින්ට රු ලක්ෂ 5 බැගින් ගෙවූ බවට හාහූවක්ද පවතී. එහෙත් තමා ජනාධිපතිතුමාට කඩේ යන බව බොහොම ආඩම්බරයෙන් කියාගන්නා ඔවුන් එවැනි ගෙවීමක් සිදු නොවූ බව කියති. එහෙයින් අපි ඒ ගැන කතා නොකරමු, අපි යමෙකුගේ ප්‍රකාශය පදනම් විරහිතව නොසලකා ඔවුන්ට මඩ ගසමින් නිර්දය ලෙස විවේචනය කිරීමට තරම් පහත් මානසිකත්වයකට වැටී නැත්තෙමු. සනත් ජයසූරියගේ දැන්වීම සම්බන්ධවද රටපුරා ලොකු හාහූවක් පැවතියද නිශ්චිතව සනාථ වී නැති එය ගැනද අප කතා නොකර සිටිමු, මක්නිසාදයත් කරුණු සහිතව ඇත්ත නැත්ත නොදැන මේ ගැන කතා කිරීම නිෂ්ඵල නිසා.

එහෙනම් මේ කතා කරන්නේ මොන ඉටිගෙඩියක් ගැනද? යමෙක් අපෙන් තරහෙන් අහන්නට පිළිවන. මේ දැන්වීම් මාලාව රූප මාධ්‍යය ඔස්සේ නැරඹූ ඔබට එහි සුවිශේෂී කරුණු කාරණා දක්නට ලැබෙන්නට ඇත. මේ දැන්වීමට සහභාගී වන කලාකරුවන්, ක්‍රීඩකයින් මේ කතා කරන්නේ “බොක්කෙන්” නොවන බව පැහැදිලිය. මේ කරන්නේ කොළය බලාගෙන කියවීමකැයි තේරුම් ගනීමට පුංචි අත දරුවකුට පවා පිළිවන. “සංවේදී“, “පළපුරුදු“, “දරු සෙනෙහස“, “පරිණත” ආදී එකම වාග් කෝෂය ඉහත මා කී අයුරෙන් එකම අංග චලනයන්ගෙන් එකම අයුරෙකින් දිග හැරෙන්නේ බුද්ධිමතුන්ගේ මුවඟට සිනහවක් කැඳවමිනි. වෙසෙසින්ම දැන්වීමේ අවසනදී සුරත මිට මොලවා පපුව ලඟට කොට “ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු” කියන කොටස මා සිත්ගත් ජවනිකාවකි. කෙතරම් සම්මානනීය වුවද, කෘතහස්ත වුවද, මේ නළු නිළියන් මෙම දැන්වීමට දැක්වූ රඟපෑම නම් අතිශය හාස්‍යජනකය. බොහෝ දෙනෙකු මෙහිදී කර ඇත්තේ අධිරංගනයක් (overacting) බව මා කතා කළ බොහෝ දෙනෙකු කීය. එහෙනම් මේක “බොක්කෙන්ම” කී කතාවක්ද යන සැකය අපට පැන නගී. මේ අතර මෙම දැන්වීම් වලට සහභාගී වන ඇතැමුන් එක එක “ස්ටාර්”ලා හරහා සන්ධාන, යූඇන්පී, ජේවීපී යන සියල්ලන්ගේම SMS මනාප මත බිහිවූ ඈයින්ය. මෙවැන්නන්ට නම් ජනාධිපතිතුමාට කඩේ යන්නට කිසිඳු සදාචාරත්මක අයිතියක් නැත. මෙයින් මහජනතාව තුල මින් මතුවට “ස්ටාස්”ලාට SMS මනාප දීමට එපා වනු නොඅනුමානය.

මීට වසර 5කට පෙර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාව හා සාහිත්‍යයට A සාමාර්ථයක් ගත්තායින් පසුව  මම සිංහල බස උගෙන නැත්තෙමි. එහෙයින් මා එහි විශාරදයකු, පණ්ඩිතයකු නොවෙමි. එහෙත් මම උගෙන ඇති ව්‍යාකරණයන්ට අනුව නම් “ඔබේ” උක්ත වන වැකියක් “මු” ප්‍රත්‍යයෙන් අවසාන වන්නේ නැත. “මු” ප්‍රත්‍යයෙන් අවසාන වන ක්‍රියාපද යෙදිය හැක්කේ “අපි, අපේ” යන තමාත් ඇතුළු සාමූහිකත්වය අන්තර්ගතවන්නාවූ වැකි වලදී බව දෙකේ පන්තියේ පොඩි එකෙකු වුවද හොඳාකාරව දනී. එසේ නම් ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු කියන්නේ කොහොමද? කිව යුත්තේ අපේ ඡන්දයෙන් මව්බිම දිනවමු කියා නෙවෙයිද? සංස්කෘතිය ගැන බොහොම උජාරුවෙන් කතා කරන නෝනලා මහත්වරු විසින්ම හෙළ බසේ සරල ව්‍යාකරණයන් පවා වැරැද්දවීම කණගාටුදායකය. එහෙත් මේ වරද කිසි විටෙක බුද්ධිමතකු අතින් සිදු නොවෙන සරල වරදකි, එහෙයින් මේ ගැන නැවත නැවතත් සිතූ මට ගම්‍ය වූයේ එක සරල සිතුවිල්ලකි. මේ උගත් බුද්ධිමත් කලාකරුවන්ට මේ ව්‍යාකරණ දෝෂය මග හැරුණා විය නොහැකිය. ඔවුන් සමහර විට කියනවා ඇත්තේ මම නම් ඡන්දෙ දෙන්නෙ මෙයාට ඒත් ඔයගොල්ලන්ගේ ඡන්දෙන්වත් මව්බිම දිනවන්න කියාය.  ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු…! එසේත් නැත්නම් මොවුන් ජනාධිපතිතුමාට කඩේ යන්නට එතුමාගේ රූකඩ වී භාෂා රීතිය කඩ කරමින් තිර පිටපත් කියවමින් තම සුපුරුදු රාජකාරිය වූ රංගන වෘත්තියේ නියැලෙන සේයාවකි. කොහෙන් කොහොම හරි අපි නම් කියන්නේ ඒ කලාකරුවන්, ක්‍රීඩකයන් කියන ගුණාංගවලින් යුත් අපේක්ෂකයා අප වසින්ම තෝරා ගත යුතු බවයි. ඒ අනුව අපි අපේ ඡන්දයෙන් මව්බිම දිනවමු….!!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා ©, 2009 උඳුවප්

8 responses to this post.

  1. “ඔබේ චන්දයෙන් ඔබ දිනවන්න” කිව්වොත් නරකද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by චමී.දේ.වා. on දෙසැම්බර් 30, 2009 at 22:34

    “මේ උගත් බුද්ධිමත් කලාකරුවන්ට”……?????????

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. මේක මහ විහිළුවක්…. මුදලට කක්කුස්සි හෝදන්න කියාදෙන, අයිස්ක්‍රීම් විකුණන වගේ උන් ඇඩ්වලට පෙනී ඉන්නෙ…මෙලෝ රහක් නැති සින්දු හදල සරාගී වීඩියෝ වලින් මොකක් හරි ලේබල් එකක් (Cream Soda, Hutch….) පෙන්නල ගොඩ යන කට්ටියත් මේ ගොඩේ ඉන්නව… හෙලුවෙන් catwalk දාපු, බත් කාපු අයත් මේ සෙට් එකේ ඉන්නවනෙ…. තව කඩේ යන ප්‍රමුදිලාට දිනක්ෂිලාට ඡන්දෙවත් තියෙනවද දන්නෙ නැහැ…!!!

    මේ ඇඩ් හොඳයි මෝඩයින්ට….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී දැන්වීම් ව්‍යාපෘතිය
    එක් වරක් පළකිරීම සඳහා වියදම -(අවම වශයෙන්) රු 140,000/-
    දිනකට එක් නාලිකාවක් සදහා දැන්වීම් වාර -(අවම වශයෙන්) වාර 72
    එක් නාලිකාවක් සඳහා දිනකට වියදම -(අවම වශයෙන්) රු. මිලියන 10.1

    මෙම දැන්වීම් පහත නාලිකා 7හි ම පළ කරනු ලැබේ.
    සිරස, එම්ටීවී, ටීඑන්එල්, ස්ර්ණවාහිනී, දෙරණ, අයි ටී එන්, රූපවාහිනී
    මෙම නාලිකා 7හි පළකිරීමට දිනකට වැයවන මුදල -රුපියල් මිලියන 70.7 කි.
    නාමයෝජනා භාරදුන් දිනයේ සිට ජනාධිපතිවරණ දිනය දක්වා දින 46ක් ඇති අතර එම කාලසීමාව සදහා තාරුණ්‍යයට හෙටක් දැන්වීම් සදහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 32,500 කී. (බිලියන 3.25*
    (මෙය රේඩියෝ, පෝස්ටර් හා කටවුට් හා අන්තර්ජාල දැන්වීම් වලට දරන ලද වියදමට අමතරව ය*
    මේ මුදල් ලැබුණේ කොහෙන්ද, වියදම් කරන්නේ තරුණයන්ට හෙටක් සඳහා ද නැතිනම් කාගේ හෙටක් සදහා ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. තරුන්යට හෙටක් එකට සල්ලි කොහොම හම්බ උනත්, සල්ලි තාත්තගෙ campaign එකට ADs කරන්න කියල නෙමේ නෙ එකතු කලෙ; තත්තා, බප්පලා වගෙ නාමලුත් සල්ලි අවබවිත කරල සුබ අනගත්යක් නිර්මනය කර ගන්න පටඊ…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Posted by Niles Perera on ජනවාරි 2, 2010 at 22:27

    ඔන්න කඩේ ගිය හන්දද කොහෙද සනත්ටයි, මුරලිටයි, සුසන්තිකාටයි සම්මානත් දීලා…. අර්ජුන, හෂාන් මේ පැත්තේ නිස නොදුන්නා කියමුකො…. එතකොට අරවින්ද, මහානාම, වාස් වගේ අයට නොදුන්නෙ ඒ ක්‍රීඩකයො රටට සේවයක් කරල නැති නිසාද නැත්නම් මහින්ද මහත්තයට කඩේ නොයන නිසාද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  7. මෙතන “ඔබේ ඡන්දයෙන් මව්බිම දිනවමු ” කියන පේලියෙ උක්තයක් නැහැ .නිවැරිදිව සිතා බැලුවොත් පෙනේවි .මෙය annonymous උක්තයක් තිබෙන එකක් .ඒ වගේ දේවල් භාෂාවල භාවිතා වෙනවා .

    ප්‍රති-පිළිතුරු සැපයීම

එරංග වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න