මහා උඳුවප් දන්සැල….

Click here to get Sinhala Unicode

ගාලු මුවදොර සිට ගාලු පාර ඔස්සේ මීටර කිහිපයක් ගාල්ල දෙසට ගිය කළ පාරේ වම්පස හමුවන්නේ සුවිසාල නිවසකි. දැඩි ලෙස ආරක්ෂාව සපයා ඇති මේ නිවස්නය “අරලියගහ මන්දිරය” නමින් ශ්‍රී ලාංකේය ඔබ අප කවුරුත් හඳුනයි. අතීතයේ පටන් අරලියගහ මැදුර අපේ රට අග්‍රාමාත්‍යවරුන්ට සෙවන සැපයීය. නමුත් පසුගිය සමය පුරා එය භාවිතයට ගැනුනේ රටේ ජනාධිපතිවරයා විසිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තම ජනාධිපතිධුරකාලයේ නිල නිවස්නය ලෙස වැඩිමනත් භාවිතා කළේ මෙම මැදුරයි. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් සිය නිල නිවස්නය ලෙස යොදා ගනුයේ මෙම අරලියගහ මන්දිරයමය. ඔබ අප කාටත් පෙනී යන ආකාරයට අරලියගහ මන්දිරය නිල නිවාසයකට එහා ගිය එකක් බවට පත්ව තිබේ. එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් දේශපාලන ගමන්මග තීරණය කෙරෙන්නා වූ තීන්දු තීරණ, සාකච්ඡා, රැස්වීම් පවත්වනු ලබන කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ඇත්තේ නිරායාසයෙනි.

සලාක ක්‍රමය යටතේ පහුගිය වකවානුව පුරා පැවැති පළාත් සභා මැතිවරණ සියල්ලේදීම අරලියගහ මන්දිරය ඇතුළු ජනාධිපතිමන්දිර දැඩි ලෙස ඡන්ද කටයුතු උදෙසා යොදා ගැනුණු බව දන්නෝ දනිති. විශේෂයෙන්ම පසුගිය පෙබරිවාරියෙදී පැවැති පළාත් සභා ඡන්දයේදී මහනුවර ජනාධිපතිමැදුර අයුතු ලෙස යොදවා ගත්තා යැයි කීවේ මෑතකදී රාජපක්ෂලා සුරකින්නට පොරොන්දු දුන් එස්.බී.මය.

ජනාධිපතිවරණය ජනවාරී 26දා ප්‍රකාශයට පත්වීමත් සමඟ අරලියගහ මැදුර බෙහෙවින් කාර්යයබහුල වී ඇත. එකවර 3000කට එක් රැස්විය හැකි සුවිශාල ශාලාව තුල දිනපතා දිවා රාත්‍රී බෝජන සංග්‍රහ පවත්වනු ලබයි. එහිදී විවිධ ශිල්ප ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන්ට ඉමිහිරි ආහාර වේලක් ලබා දී සිය දේශපාලනික තෙල බෙදනු ලබන අතර එවැනි සාද බොහොමයකදී වයින් සහ බියර් සංග්‍රහ කෙරෙන වග ප්‍රසිද්ධ රහසකි. මතට තිත ගැන පම්පෝරි ගසන ජනාධිපතිතුමාගේත්, ආණ්ඩුවේත්, හෙළ උරුමයේත් මත්පැන් සම්බන්ධ සැබෑ යථාර්ථය මෙයයි. මත්පැන් ව්‍යාපාරයේ සෘජු කොටස්කරුවන් ලෙස ආණ්ඩුවේ ලොකුලොක්කන් රැසක් සිටින බව ආණ්ඩුවේම ඇතැම්හූ කියන අතර ඇමැතිවරු රැසක් තමන් මධුවිත තොල ගාන බව ප්‍රසිද්ධියේ පිළිගනී, එහෙව් උදවිය මතට තිත ගැන උජාරුවට කතා කරමින් මත්පැන් පානයට උඩගෙඩි දී කරන්නේ මිනිසුන් රැවටීමකි, ඒක හරියට ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ වැන්න. මෙසේ ජනාධිපතිවරණයකට දින ගණනක් තියා පැවැත්වෙන සාදවල යටි අරමුණ තේරුම් ගැනීමට අප රොකට් විද්‍යාඥයන් විය යුතු නැත. මෙහිදී ආහාර සපයනුයේ අරලියගහ මැදුරේ මුළුතැන්ගෙයින්ද එසේත් නැතහොත් පිටතින්ද යන්නට වඩා වැදගත් වන ප්‍රශ්නය වනුයේ ඊට මුදල් ප්‍රතිපාදන ලැබෙනුයේ කොහින්ද යන්නයි. කෙසේ වෙතත් මෙහිදී එක් සාදයකට පැමිණෙන පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 1000ක් වියපැහැදම් කරතැයි සාධාරණ ලෙස උපකල්පනය කළහොත් එක් සාදයකට පමණක් රුපියල් මිලියන 3ක් පමණ වියදම් වේ. මේවා මහජන මුදල්ද නැද්ද යන්න කීමට තරම් අපට ප්‍රමාණවත් දත්ත ලැබී නොමැත. එහෙත් බොහෝ පාර්ශව ප්‍රකාශ කරනුයේ මේ මහජන මුදල් මිස අන් කවරක්වත් නොවන බවයි. මොහොතකට අප මේ මහජන් මුදල් නොවන බව අනුමාන කළහොත් රටේ පොදු දේපලක් වන අරලියගහමැදුර තම පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් දුරට සාධාරණද යන ප්‍රශනය පැන නගී. තවද එවැනි සාද 10ක් නොපවත්වා ඒ මගින් ඉතිරි කෙරෙන කෝටි 3ක පමණ මුදල රටේ දිළිඳු ජනතාවගේ සුබසාධනයට යෙදවිය හැක. පසුගියදා පැවැති රූපවාහිණී සංවාදයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නීතියට පරිදි මෙය අල්ලස් දීමක් බවයි. එහෙත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට ඇති මුක්තිය නිසා ඒ ගැන නීතිමිය පියවර ගැනීමට හැකියාවක් නොපවතී.

මෙවන් තත්වයක් හමුවේ මහින්දට දවසකට රුපියල් ලක්ෂ 191ක් වියදම් වනවා යැයි චෝදනා එල්ල වීම විමතියට කරුණක් නොවේ. මේ අසාධාරණය වළක්වන බවක් පසුගියදා මැතිවරණ කොමසාරිස්තුමා ප්‍රකාශ කළද අදටත් ගජරාමෙට අර්ලියගහ මන්දිරයේ භෝජන සංග්‍රහ පැවැත්වෙන බව ඇසිදිසි මාධ්‍ය ඔස්සේ අපට අසන්නට දකින්නට ලැබේ. මීට විරුද්ධව පියවර ගැනීම දයානන්ද දිශානායක මැතිතුමාගේ වගකීමකි, යුතුකමකි. මේ නාස්තියට විරුද්ධවීම මහජන අපගේද යුතුකමකි, වගකීමකි. එය එසේ නොවන්නේ නම් දුරුතු මස 26 අලුයම තෙක්ම අරලියගහ මැදුරේ නිමක් නැතිව ප්‍රියසම්භාෂණ පවත්වා ජනතාවට මහ ඉහළින් සංග්‍රහ කර ඡන්දය යැදීම ගලේ කෙටුවාක් මෙන් ස්ථීරය.

මෙසේ ඡන්ද සමය උදාවත්ම රටේ දේපලක් වූ අරලියගහ මන්දිරයේ සාද පැවැත්වීමෙන් ගම්‍ය වන්නේ දේශප්‍රේමයද, ඡන්දප්‍රේමයද යන්න ඔබම සිතන්න.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009

One response to this post.

  1. ඡන්ද සමය උදාවත්ම, රටේ දේපලක් වූ, අරලියගහ මන්දිරයේ, සාද පැවැත්වීමෙන් ගම්‍ය වන්නේ, දේශප්‍රේමයද, ඡන්දප්‍රේමයද….???

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: