මොනවද මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ???

Click here to get Sinhala Unicode

විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යනු අද රටේ වැඩියෙන්ම කතාවට ලක්වන සුවිශේෂී මාතෘකාවකි. බොහෝ දෙනෙක් ඒ ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරති. ඒත් ඇත්තටම මොකද්ද මේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්නේ?? අපි පොඩ්ඩක් හොයල බලමු.

ජාත්‍යන්තර කුමන්ත්‍රණ භීතිකාවෙන් පෙලෙන විමල්

අපි අන්න එතැනින් කතාව අරඹමු. මගේ දැනුම් ප්‍රමාණයට අනුව මේ රටේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන වචනය වැඩිපුරම භාවිතා කරන්නේ, අපේ මහියංගණ ආසනයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීතුමාගේ වදනින් කීවොත්, ජනාධිපතිතුමාගේ ප්‍රධානතම සට්ටංරාලලා වන විමල් වීරවංශ සහෝදරයා (දැන් ආණ්ඩුවට මුක්කු ගැහුවට පස්සෙ ජේවීපී එකේ ඉද්දි වගේ සහෝදරය කිව්වට කමක් නැද්ද මන්දා) සහ ජාතික හෙළ උරුමයේ ජනාධිපතිතුමාගේ මධුවිත සංග්‍රහ අනුමත කරන එහෙත් මතට විරෝධී අපේ ස්වාමීන්වහන්සේලා සහ උපාසක උන්නැහේලාය. ඒත් මේ විජාතික බලවේග සහ කුමන්ත්‍රණ හරිහමං විදියට අර්ථකථනයට කිරීමට අදවනතුරුත් මේ සට්ටංරාලලාට නොහැකි වී තිබේ. අද පවතින තත්ත්වය අනුව කුඩා බිළිඳකු ආණ්ඩුවට එරෙහිව ඇඬුවොත් එය විජාතික බලවේගයකි, කවුරුන් හෝ එන්නත් කුප්පියක අපද්‍රව්‍යයක් පෙන්නුවොත් ඒක ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි, සූකර උණ පැතිරෙන්නේත් විජාතික බලවේගයක් නිසා යැයි ඔවුන් කීවොත් ඒකේද පුදුමයක් නැත, පසුගිය කාලයේ වාර විභාග අසාර්ථක වූයේත් විජාතික බලවේගයක් මත යැයි ඔවුන් කියනවාට සැක නැත. වරක් දෙවරක් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිතීඥ දයාසිරි ජයසේකර මහතා කීවාක් මෙන් තමන්ගේ බිරින්දෑතුමියට යම්කිසි ස්වභාවික දෙයක් සිදු වුවද එය විජාතික බලවේගයකැයි කියන මට්ටමට මේ උන්නැහේලා පත්ව ඇත. ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයට විරුද්ධ සෑම සියලු දෙයක්ම පෙනෙන්නේ විජාතික බලවේගයක් සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විලෙසිනි.

මෙසේ විජාතික බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන උදම් අනන මහත්වරුන්ගේ, හාමුදුරුවරුන්ගේ තරම අමුතුවෙන් කිව යුතුද? මේ නඩයේ පුරෝගාමීන් රැසක් සුපිරි සුඛෝපභෝගී බංගලා පසුගිය කාලය පුරා  තදාසන්න ප්‍රදේශවල ඉදිකළේ කුමන විජාතික බලවේගයේ සහයෝගයකින්ද යන්න ප්‍රශ්නයකි. ඒ ගැන ඒ උදවිය කිසිඳු හැලහොල්මනක් නැතිව ඉන්නේ මොන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසාද?  රටට එතරම් ආදරය කරන්නේ නම් මහජන මුදලින් ගේදොර යාන වාහන ආරක්ෂකයින් පිරිවරා සිටින්නේ ඇයි? මේවාට උත්තර සැපයීම ඔවුන් සතු වගකීමකි.

චාවේස් ජනාධිපතිතුමා සමඟ

සැබෑ විජාතික බලවේගය, ජාත්‍යන්තර කුමන්ත්‍රණය, යනු වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එම ආණ්ඩුව දැන් යන අන්තවාදී ගමනට යොමු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යයක් කළ විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමය යන්න මගේ තර්කයයි. අද කවුරු කැමැති වූවත් නැතත් කලක් නොබැඳි රටක් ලෙස ලෝකයේ කාගේත් මිත්‍ර දේශයක් වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ එක් කොටසකට සීමා කර තිබේ. වත්මන් ආණ්ඩුව යන්නේ කා සමඟද? එක් පසෙකින් වෙනිසුවේලාව නම් වූ ඛණිජ තෙල් ඇතුළු සියලු සම්පත්වලින් ආඪ්‍ය දකුණු ඇමෙරිකානු ජනරජය වැරදි සමාජවාදී පිළිවෙත්වලින් පරිහානිය කරා මෙහෙයවන හූගෝ චාවේස්ය. මෑතකදී එරට පෞද්ගලික බැංකු සියල්ල රජයට පවරාගත් ඔහු රටේ පෞද්ගලික අංශයට සහ විදේශ ආයෝජනවලට එරෙහිව යුද ප්‍රකාශ කර සෑහෙන කල්ය, තවත් පසෙකින් මිලිටරි ජුන්ටාවකින් රට පාලනය කරන භීක්ෂූන් වහන්සේලා ඇතුළු අහිංසකයින් දහස් ගණනින් මහ මග මරා දැමූ, විපක්ෂ නායිකා අවුන්ග් සාං සූකී නිවාස අඩස්සියේ තබා ප්‍රජාතන්ත්‍රවාදය අහුරන මියැන්මාර ජනපති තාන් ෂ්වේය, අනෙක් අතින් ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඉරානය ආර්ථික අගාධය වෙත දක්කන, එරට ජනතාව අතරත් ජනප්‍රියත්වය හීන වෙමින් පවතින මහ්මූද් අහමඩිනජාඩ්ය. මේ ඇරෙන්නට අප සබඳකම් පවත්වනුයේ ලිබියාව, චීනය, ඉන්දියාව ආදී රටවල් සමඟය. සෙසු ලෝකයේ අප ස්වකැමැත්තෙන්ම කොන්වීමේ අවාසනාවන්ත ඉරණමට ආණ්ඩුව රට තල්ලු කර තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සංවර්ධිත සහ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින ලෝකය අමතක කර තිබේ. ඔහු ලෝකයේ සාමාන්‍ය සම්මතයන්ට පහර ගසමින් ඉතා ආවේගශීලී පාලනයක් දියත් කරන අහමඩිනජාඩ්ලා, චාවේස්ලා, තාන් ෂ්වේලා එක්ක එක පෙලට සිටගනිමින් අප රටට නොබැඳි රටක් ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලබාදුන් කිතුගොස කෙලෙසා තිබේ. මේ හරහා ලෝකයේ සෙසු රටවල් අප රටට සහනාධාර දීම, උදව් උපකාර කිරීම අඩුකර තිබෙන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් හැටියට අප කිසිඳු රටකට ගැති විය යුතු නැත. නමුත් සැබෑ රාජතාන්ත්‍රිකභාවය යනු මිතුරා මෙන්ම සතුරා සමඟත් ඇඟෑලුම්කම් පෑමය, ඒ හරහා තම රටට අවැසි දේ ලබා ගැනීමය. 1977-1994 එක්සත් ජාතික පක්ෂ රජය මීට කදිම උපහැරණයකි, ජේ.ආර්.ගේ සහ ප්‍රේමදාසගේ ආණ්ඩු ප්‍රබල ලෙස විවෘත වෙළෙඳපොල ආර්ථික ක්‍රමය පිළිගත් අතර ධනවාදී සංකල්ප වලට ප්‍රමුඛත්වයක් දෙන ලදි. නුමුත් ඇමෙරිකාවේ රේගන්, බ්‍රිතාන්‍යයේ තැචර්, ජර්මනියේ කෝල් සමඟ මිතුදම් පවත්වන අතරදීම යූඇන්පී ආණ්ඩුව කියුබාව, චීනය ආදී වාමාංශික සමාජවාදී, සිය ප්‍රතිපත්තිවලට මුළුමනින්ම වෙනස් ප්‍රතිපත්ති ඇති රටවල් සමඟද ගණුදෙනු කළෝය. ජේ.ආර්. රේගන් එක්ක මෙන්ම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කද ඉතා කුලුපග විය. 1980 හමු වූ විට, සමාජවාදයේ මහා විරුවකු වූ කැස්ත්‍රෝ ජේ.ආර්. දක්ෂ නායකයකු බවත් ඔහු හරි මග යන බවටත් චරිත සහතිකයක් දුනි, එය එසේ වත්දී මෙරට විශාලතම සංවර්ධන ව්‍යායාමය වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපරයට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්වීඩනය, ජපානය ආදී ධනවාදී රටවල් ආධාර දුන්නේ ලෝක බැංකුව ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදීය. එකී යූඇන්පී ආණ්ඩුවේ ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, දේවනායගම්ලා, ලලිත්ලා, ගාමිණීලා මෙන්ම හමීඩ්ලාගෙන්ද රාජතාන්ත්‍රිකභාවය ගැන උගන්නට බොහෝ දේ වත්මන් රජයට ඇත. එසේම පහුගිය පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේදී මෙම නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් පුංචි ලංකාව ලෝකයේ සෑම රටක් සමඟම මිතුදම් ගොඩනගා දියුණුව කරා ගෙන යෑමට හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් ගත් උත්සාහයද අමතක නොකළ යුතුය. එහෙත් අද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව යන්නේ මොන පාරේද??

අහමඩිනජාඩ් සහ මහින්ද

අද සමස්ථ ලෝකයම විවෘත වෙළෙඳපොල ආර්ථිකය සමඟ අනුගතවී සිටින මේ මොහොතේ අපේ රාජ්‍ය නායකයා ඇඟෑලුම්කම් පාන්නේ ඊට අනුගත නොවී කොකා පෙන්වමින් යකා නටන පාර්ශව එක්කය. මීට දශක දෙකකට පමණ පෙර කොමියුනිස්ට්වාදයෙන් මිදුනු නැගෙනහිර යුරෝපය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් ලෝකය හා ගණුදෙනු කරමින් විවෘත වෙළෙඳපල ආර්ථිකයකින් අද්විතීය වේගයකින් සංවර්ධනය වෙද්දී, අසල්වැසි ඉන්දියාව විශාල ප්‍රගමනයක් අත්පත් කරගනිද්දී අප එම මතවාදයට විරුද්ධ රටවල් හා පෙළගැසෙමු, ඒ හරහා කුපිත වී ඇති රටවල් රටට ආධාර දීමට පසුබට වී තිබේ. මේ තිත්ත ඇත්තයි. මේ කියන දේශප්‍රේමී ආණ්ඩුවෙන් අවසාන වශයෙන් වී ඇත්තේ අප සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකය හමුවේ කොන් වීමය. කවුරුන් කෙසේ කීවත් මෙරට පෞද්ගලික ආයෝජකයින්ට සුදුසු වාතාවරණයක් නැත, බදු ඉතා අධිකය, විදෙස් ආයෝජකයෝ මෙරට ආයෝජනයට පසුබට වෙති. මේ සියල්ලටම ඉහත කී කාරණාව සෘජුව බලපායි. අපිට සහනාධාර එපා… යමෙක්ට කිව හැක, ඒක වැරදිය, ලංකාව මෙතෙක් කල් නිදහසින් පසු කිසිම විටෙක රජයක් ලෙස ආදායම් උපයා නැත, ආදායම් වියදම් පියවා ඇත්තේ එක් වර්ෂයකදී පමණි. ඉතින් ආදායමට වඩා වියදම වැඩි වන විට වියදම් පියවන්නට ණයගන්නට හෝ ආධාර පැතීමට නිරායාසයෙන්ම සිදුවේ.

ඉතින් ලෝකයාම පිළිගත් විවෘත ආර්ථිකයට පයින් ගසන, ලෝක සාමයට තර්ජනයක් කරන නායකයින් සමඟ පෙළට හිටගෙන අනෙක් ලෝක නායකයින්ට මඩ ගැසීම හරහා ලෝක මට්ටමින් අප රට කොන් කිරීමට මේ රජය සමත්කම් දක්වා තිබේ. ඒ හරහා රටේ ජනතාව වක්‍රාකාරයෙන් අපහසුතාවයට පත්කර තිබේ. අනෙක් අතට ලෝකයේ ඇතැමුන් අප රටට එල්ල කරන්නා වූ චෝදනාවලට සාර්ථකව පිළිතුරු දීමට අපොහොසත්වීම හරහා රටේ කීර්තිනාමය කෙලෙසීමේ පාපකර්මයට හවුල් වී තිබේ. එසේ කරමින් රටේ සංවර්ධනය අහුරා, ජනතාව ලෝකයාගෙන් ඈත් කර ජනතාවට අහිතකර සමාජවාදී පාලිත ආර්ථිකයක් සහිත පාලනයක් ගොඩ නැගීමට වෙර දැරීම අහමඩිනජාඩ්, චාවේස්, තාන් ෂ්වේ වැන්නන්ගේ විජාතික බලවේග සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට හසුවීමකි. එහෙනම් දැන් සෑබෑ විජාතික රූකඩ කවුද යන ප්‍රශ්නයට ඔබට පිළිතුරක් ලැබෙනු ඇත.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009

6 responses to this post.

  1. Well, Your points are clearl correct. This is the political crisis in SL. But our people are silent. Only you and me discuss about this situation through a blog site. I think we must go out this context. But your post is very succesful.

    Hahsan

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ඔබ නිවැරදියි. නමුත් මේ මතය සමාජගත කරන්නට එක්සත් ජාතික පක්ෂයේ කිසිම වැඩපිළිවෙලක් දක්නට නැත. ආසන මට්ටමින් ගත්තද දිස්ති%ක් මට්ටමින් ගත්තද තත්වය යහපත් නැත. එහි විපාකය වී තිබෙන්නේ විමල් වැනි සට්ටංරාලලගේ මතය සමාජගත වීමයි. එක්සත් ජාතික පක්ෂයට දිස්ති%ක් මට්ටමින් හෝ පළාත් මට්ටමින් මාධ්‍ය ඒකක පිහිටුවිය හැකි නම් ඉතාමත් පහසුවෙන් මෙම මත සමාජ ගත කිරීමට හැකිය.

    එය එක්සත් ජාතික පක්ෂයේ අනාගත අභිවෘද්ධිය සදහා දායක වන බව මාගේ අදහසයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ඔව්…. අවාසනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රචාරණය සහ වෙළෙඳකරණය යන දෙයංශයෙන් ඉතාමත් දුර්වලය… නමුත් මේ සත්‍ය මතවාදය හැකි පමණින් අපේ ගම්දනව් වල සමාජගත කළ යුතුය… ඒ සඳහා අවැසි පියවර පක්ෂය ගන්නවාද යන්න මටද ප්‍රශ්නාර්ථයකි…. ඒ කෙසේ වෙතත් සදාහරිත අපේ උත්සාහය කුඩා බ්ලොග් අඩවියකින් හෝ මෙම අදහස් උදහස් ජනතාවට අතරට ගෙන යෑමයි…!!!
      ඔබේ අවංක කමෙන්ටුවට අපේ තුතිය…🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම

  3. නියම ලිපියක් මචං.වැඩි විස්තර පෞද්ගලිකව කියන්නං.පොඩි හේතුවක් මත.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. […] විදේශ රටවල් අප සමඟ අපේ සුගතිය උදෙසා සබඳකම් පවත්වනුයේ කලාතුරකිනි. බොහෝ විට සෑම රටක්ම අප හා හිතවත්කම් පානුයේ තමන්ගේ කුමන හෝ න්‍යාය පත්‍රයක් මුදුන් පමුණුවා ගැනීමට විය හැකිය. ඉරානය, ලිබියාව, වෙනිසුවේලාව, රුසියාව, මියැන්මාරය වැනි රටවල් එසේ අපට සලකන්නේද එවැනිම පදනමක් තුල පිහිටාය. අප කළ යුත්තේ රටවල් කිහිපයක හිතවතුන් වී ඒ ඒ රටවල අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමට රුකුලක් වනවා වෙනුවට සියළු රාජ්‍යයන් හා සමගි වී දෙපාර්ශවයන්ටම වාසි සහගත අයුරේ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමය. මේ බව සදාහරිත අපි මීට පෙර අවස්ථාවකදීද … […]

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: