වියට්නාමයෙන් ආර්ථික පාඩමක්…

Click here to get Sinhala Unicode

ඔබ වියට්නාමය ගැන අසා ඇතුවාට සැක නැත. අග්නිදිග ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයකට උරුමකම් කියන වියට්නාමය ලෝ පුරා ප්‍රචලිතව ඇත්තේ 1960-70 දශකවල එරට පැවැති බිහිසුණු යුද්ධය නිසාය. අද බෙහෙවින්ම සාමකාමී රටක් බවට පත්වෙමින් පවතින වියට්නාමයේ ආර්ථිකය ගැන අපි පොඩ්ඩක් හැරී බලමු.

හෝ චී මින්

වියට්නාම ආර්ථිකය විමසා බැලීමට පෙර අප එරට පැවැති ගැටළු සහ පරිසරය ගැන මුලින් හැඳිනගැනීම යෝග්‍යයැයි සිතමි. 1941 වන විට ප්‍රංශ  සහ ජපන් පාලනය යටතේ පැවැති වියට්නාමය ලෝක යුද්ධයත් සමඟ ජපන් පාලනයට නතු වෙමින් තිබුණි මේ අතරතුර හෝ චී මින් (Ho Chi Minh) නම් වූ පුද්ගලයාගේ නායකත්වය යටතේ වියට් මින් නම් වූ කොමියුනිස්ට්වාදී සටන්කාමී සංවිධානයක් බිහිවිය. 1945 ජපානයේ බිඳ වැටීමත් සමඟ වියට්නාම ජනගහනයෙන් 10%කට මරු කැඳවූ යුද්ධයට තාවකාලික තිතක් තබමින් වියට් මින් සටන්කාමීන් හැනෝයි අගනුවර අත්පත්කරගෙන නිදහස ප්‍රකාශ කරන ලදි. මේ ගැන නොපැහැදුණු ප්‍රංශය අතිරේක භට පිරිස් වියට්නාමයට එව්වේ වියට් මින්  (Viet Minh) සටන්කාමීන් මර්දනය කිරීමටය. 1954 වනවිට රටේ උතුරු අර්ධය හෝ චී මින් මහතාගේ අන්සක යටතේත් දකුණු අර්ධය ප්‍රංශය සහ ප්‍රංශයට හිතවත් වියට්නාම හිටපු අධිරාජ්‍යයා වූ බාඕ ඩායි ඇතුළු වියට්නාම වැසියන් යටතේත් පැවැතිණි. එම වසරේ පැවැති ජිනීවා සම්මේලනය අනුව සටන් අත් හැරීමට දෙපාර්ශවය එකඟ විය. 1955 දකුණු වියට්නාමයේ පැවැති දූෂිත ජනමතවිචාරණයෙන් එරට ජනරජයක් බවට එරටේ නායකයා ලෙස බාඕ ඩායි වෙනුවට අගමැති නෝ ඩින් ජියෙම් (Ngo Dinh Diem) එරට ජනාධිපතිවරයා බවට පත්කරමිනි. 1954දී ජිනීවා නුවරදී කතිකා කරගෙන තිබුණේ 1956 ජුලි මසදී උතුරු සහ දකුණු යන වියට්නාමයන් දෙක එක්සත් කරනු වස් මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. එය එසේ වුවත් අග්‍රාමාත්‍ය නෝ ඩින් ජියෙම් මහතා යටතේ දකුණු වියට්නාමය මැතිවරණය වර්ජනය කළේ තම රට එම එකඟතාවයේ පාර්ශවකරුවන් නොවන බව පවසමිනි. එවක ඇමෙරිකානු ජනාධිපතිධුරය හෙබවූ ලෝක යුද්ධයේ මිත්‍ර පාක්ෂික හමුදා හිටලර්ට එරෙහිව ජයටැඹ කරා මෙහෙයවූ ජෙනරාල් ඩ්වයිට්  ඩී. අයිසන්හවර් මහතාගේ අදහස වූයේ එවර මැතිවරණයක් පැවැතුණි නම් 80%කට ආසන්න ප්‍රතිශතයක් හෝ චී මින් ප්‍රමුඛ කොමියුනිස්ට්වාදීන්ට හිමි වන බවයි. පවුල්වාදය කරපින්නාගත් නායකයකු වූ ජියෙම් දකුණු වියට්නාමයේ සිය බලය ශක්තිමත් කරනු වස් විපක්ෂ බලවේග අඩපණ කළේය. ඒකාධිපති පාලකයකු වූ ජියෙම් රට පුරා මැර බලය සහ භීතිය වැපිරවීය. රටේ අනාගතය උරගා බැලෙන ජනමතවිචාරණයකදී රටේ ඡන්දයෙන් 98.2%ක් ඔහුට හිමි වීමත් එරට අගනුවර වූ සයිගොන් නගරයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අභිබැවූ ඡන්ද ප්‍රමාණයක් ජියෙම්ට පක්ෂපාතව ප්‍රකාශ වී තිබුණි, එය ලියාපදිංචි ඡන්දයට සාපේක්ෂව 133%කි. දකුණු වියට්නාම ජනාධිපතිවරයා ලෙස එම ජනමතවිචාරණයේ “ජනමතයෙන්” තේරී පත් වූ ජියෙම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආඩපාලි කියවූ, කොමියුනිස්ට්වාදයට විරුද්ධ වූ, බෞද්ධයින්ට හිංසා පීඩා කළ, ධනවත් කතෝලිකයකු වීම එරට බහුතර දුප්පත් බෞද්ධ ජනතාවගේ කණස්සල්ලට හේතු විය.

නෝ ඩින් ජියෙම්

සාමකාමීව තම දේශප්‍රේමී, කොමියුනිස්ට් ව්‍යාපාරය මෙහෙයවන ලෙස උතුරු වියට්නාම නායක හෝ චී මින් දකුණු වියට්නාම් වැසියන්ට උපදෙස් දී තුබුණු නමුත් රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ කොමියුනිස්ටවාදී වියට් මින් ක්‍රියාකාරීන් මෙන්ම ඇතැම් සාමාන්‍ය ජනතාවද අවි ආයුධ අතට ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු වියට්නාමය පුරා භීතිය වැපිරෙමින් තිබිණි, රාජ්‍ය නිලධාරීන් තැන තැන ඝාතනය කෙරුණි. මින් බොහෝමයක් අහිංසක රාජ්‍ය සේවකයන් විය. මෙම ත්‍රස්ත කණ්ඩායම්වල අභිප්‍රාය වූයේ ග්‍රාමීය ප්‍රදේශවල ජියෙම් පාලනය මුළුමනින්ම අඩපණ කර අපේ රටේ එල්ටීටීඊය කළාක් මෙන් භූමිය සහ එහි පාලනය අත්පත් කරගැනීමයි. 1959දී මෙම දකුණු වියට්නාම කොමියුනිස්ට කැරළිකරුවන්ට සහය දීමට උතුරු වියට්නාම රජය තීන්දුවක් ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස අවි ආයුධ මෙන්ම සොල්දාදුවන්ද සුප්‍රකට හෝ චී මින් සැපයුම් මාර්ගය (Ho Chi Ming Trail) ඔස්සේ දකුණු වියට්නාමයට එවින. 1960 වන විට කොමියුනිස්ට්වාදී ගරිල්ලා කණ්ඩායම් “ජාතික විමුක්ති පෙරමුණ” නමින් සිය බල පරාක්‍රමය දකුණු වියට්නාමය පුරා විහිදුවීය. නමුත් බොහෝ දෙනා ඔවුන්ව හැඳිනගත්තේ වියට්කොං (Vietcong) ගරිල්ලන් යන කෙටි නාමයෙනි. දකුණු වියට්නාමයේම විශාල මහජන සහයක් ඇතිව වියට්කොං ගරිල්ලන් දකුණු වියට්නාම රජයට පහර පිට පහර දියත් කළහ. මේ අතර කොමියුනිස්ට්වාදය ලොව පුරා වැපිරවීමට තැත් කළ සෝවියට් රුසියාවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය පදනම් කරගත් ඇමෙරිකාවත් අතර වූ සීත යුද්ධයේ ප්‍රධාන සටන් පෙරමුණක් බවට වියට්නාමය ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අභිනව ඇමෙරිකානු ජනපති ජෝන් එෆ්. කෙනඩි සහ උප-ජනපති ලින්ඩන් බී. ජොන්සන් දකුණු වියට්නාමයට සහය පළ කළහ. උප-ජනපති ජොන්සන් දකුණු වියට්නාම අගනුවර වූ සයිගොන් නගරයට ගොස් ජියෙම් රජයට සහය පළ කළේ එරට හමුදා ශක්තිමත් කිරීමට ඇමෙරිකානු සහය පොරොන්දු වෙමිනි. කොතෙකුත් යුද ආධාර, උපකරණ, අවි ආයුධ ලැබුණද දකුණු වියට්නාම හමුදාව බෙහෙවින් දූෂිත, නිසි නායකත්වයක් නොමැති දුර්වල හමුදාවක් විය. අවි ආයුධ ටික තිබුණි පලියට, දේශපාලන නායකත්වය තුබූ පලියට යුද්ධයක් සාර්ථකව මෙහෙයවිය නොහැකි බවට එය කදිම සාධකයකි. මේ අතර 1963 වෙසඟ සැමරීම සඳහා සැරසුණු බෞද්ධයන්ට අතිඋත්තම බෞද්ධ ධජය භාවිතා කිරීම ජියෙම් පාලනය විසින් තහනම් කෙරිණ, ඊට විරෝධය පෑ අහිංසක බොදුණුවන් නවයක් මහමග සාහසික ලෙස ජියෙම් රජයේ අනින් ඝාතනය කිරීමත්, එහි අග්‍රඵලයක් ලෙස ජියෙම්ගේ සොහොයුරකු මෙන්ම කතෝලික අගරදගුරුතුමකි වූ නෝ ඩින් න්‍යූගේ අනින් දකුණු වියට්නාමය පුරා පන්සල් රැසක් විනාශ කිරීමත් කරණ කොටගෙන බහුතර බෞද්ධ ජනතාව ජියෙම් පාලනය කෙරේ මහත් සේ කිපුණි. ජියෙම්ගේ ප්‍රධාන ජනාධිපති උපදේශකයා වූ න්‍යූ දකුණු වියට්නාමයේ රාජ්‍ය දේපල කොල්ලකමින්, රටවැසියන් බිය වද්දමින් රට අගාධයට ගෙන යෑමට ජියෙම්ට ප්‍රධාන සහයක් දුනි. දකුණු වියට්නාම ඒකාධිපති වියරුව කෙරේ නොපැහැදුනු ඇමෙරිකාවේ ආශිර්වාදය යටතේ දකුණු වියට්නාම හමුදා එරට පාලන බලය ඇල්ලූ අතර තවත් පියවරක් තබමින්  වියට්නාම හමුදාවෝ නෝ ඩිං ජියෙම් සහ නෝ ඩිං න්‍යූ ඝාතනය කරන ලදි. ඉනික්බිති පත්වූ හමුදා පාලනය බෙහෙවින් අස්ථාවර වූයේ එහි නායකයන්ගේ තුබූ දුර්වලකම් නිසාය. මේ අතර ජනාධිපති කෙනඩි දකුණු වියට්නාම සාමාන්‍ය ජනතාව දිනාගෙන වියට්කොං ගරිල්ලන් පැරදවීමට උත්සුක වෙද්දී ඇමෙරිකා හමුදා ප්‍රධානීන් වියට්නාමයේ සහ අසල්වැසි ලාඕසයේ ගැමියන් පුහුණුකර හමුදා සේනාංක ඇති කළේ 1964 එළැඹෙන්නට පෙර දකුණු වියට්නාම යුද්ධය ජය ගැනීමටය. මේ අතර 1964දී කෙනඩිගේ ඇවෑමෙන් ඇමෙරිකානු ජනපති පදවියට පත් ජනපති ජොන්සන් වියට්නාමයේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වලට අනුමැතිය ලබාදුනි. 1959දී ගරිල්ලන් 5000කින් ඇරඹි වියට්කොංවරු 1964 වන විට 100,000 දක්වා වැඩි වර්ධනය වී තුබූ අතර දකුණු වියට්නාම හමුදාව 850,000 දක්වා වර්ධනය වී තිබුණි. මේ අතර ඇමෙරිකාව උතුරු වියට්නාමයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ වියට්කොං හමුදාවන්ට ලැබෙන උතුරු වියට්නාම සහය වළකාලීමටත්, දකුණු වියට්නාම චිත්ත ධෛර්යය ඉහළ නැංවීමටත්ය. එහෙත් එම උත්සාහය උතුරු වියට්නාමයට කොපමණ හානියක් වුවත් මල් ඵල නොදැරුවේ සිය අඛණ්ඩ සහය වියට්කොංවරුන්ට ලබා දීම නිසාවෙනි. මේ අතරතුර දකුණු වියට්නාම හමුදාවල නොහැකියාව හමුවේ ඇමෙරිකානු භටපිරිස් භූමි සටන්ද ආරම්භ කළ අතර ඊට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පිලිපීනය, දකුණු කොරියාව සහ තායිලන්තය යන රටවල්ද සහය පළ කරන ලදි. කෙසේ වෙතත් 1967දී ගුවින් වැන් තියූ මහතා දකුණු වියට්නාම ජනපතිධුරයට ජනතා ඡන්දයෙන් පත්වීමත් සමඟ එරට හමුදාවෝ යළිත් සංග්‍රාමිකව ශක්තිමත් වීමට පටන්ගත්හ. කෙසේ වෙතත් 1968 ජනවාරියේදී වියට්කොං ගරිල්ලන් විසින් දකුණු වියට්නාමය පුරා දියත් කෙරුණු ටෙට් නම් වූ විශ්මයජනක ප්‍රහාරයත් සමඟ දෙපාර්ශවයම පසුබෑමකට ලක්විය. එම ප්‍රහාරය මගින් ඇමෙරිකානු ජනතාව තම හමුදාව සහ රජය ගැන අප්‍රසාද වෙද්දී වියට්කොං භටයින් රැසක් ජීවිතයෙන් වන්දි ගෙවීය. පැරණි වියට්නාම අගනුවර වූ ඓතිහාසික හියු නගරයේ නටබුන් වලින් 80%ක් පමණ මෙම ටෙට් මෙහෙයුම නිසා විනාශ වූ බව තතු දත්තෝ පවසති. මේ අනුව 1968 මැයි මසදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු වියට්නාමය අතර සාම සාකච්ඡා දියත් කෙරිණි.

1969දී ඇමෙරිකානු නව ජනපති රිචඩ් නික්සන් මහතා දකුණු වියට්නාම හමුදා ශක්තිමත් කරමින් ඇමෙරිකානු භටයින් වියට්නාමයෙන් ඉවත් කරගැනීමට පිඹුරුපත් සැකැසූ අතර ඊට වියට්නාමීකරණය (Vietnamization) නමින් නමක්ද ලබා දෙන ලදි. උතුරු වියට්නාමයේ ප්‍රධානතම ජාත්‍යන්තර ආධාරකරුවකු වූ චීනය සමඟද මිත්‍ර පිළිවෙතක් අනුගමනය කිරීමට නික්සන් උත්සුක විය. කෙසේමුත් 1969 සැප්තැම්බරයේ හැත්තෑනව වියැති හෝ චී මින් අභාවප්‍රප්ත විය. මේ අතරතුර කලක පටන් මේ සංග්‍රාමයේ කිසිඳු පක්ෂයක් නොගත්තත් සැලකිය යුතු වැදගත්කමක් ඉසිලූ කාම්බූජියාව සහ ලාඕසයද මෙම යුද්ධයේ සෘජු බලපෑමට 70 දශකයේ මුල භාගයේදී මුහුණ පෑ අතර එය එම රටවල් දෙකටම ඓතිහාසික ලෙස තම දෛවය සම්බන්ධිත තීරණාත්මක අවස්ථා වේ. මේ අතරවාරයේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දකුණු වියට්නාමයෙන් සිය භට ඛණ්ඩ මුළුමනින්ම ඉවත් කරගන්නා ලද අතර ඇමෙරිකාවද ක්‍රමිකව සිය භට පිරිස් සියරටට කැඳවූහ. 1972දී ඇමෙරිකානු ජනාධිපති නික්සන්ගේ ජාතික ආරක්ෂක උප්දේශක හෙන්රි කිසින්ජර් හා උතුරු වියට්නාම විදේශ ඇමැති වූ ලේ ඩක් තෝ දෙපාර්ශව අතර සම්මුතියක් උදෙසා අඩිතාලම දැමීය. නික්සන් ජනපතිගේ පෙරැත්ත මත දකුණු වියට්නාමය 1973දී උතුරු වියට්නාමය සමඟ පැරීසියේදී සාම ගිවිසුමකට අත්සන් තැබුවේ දෙරට එක්සේසත් කර ජාතික මැතිවරණයක් පවත්වන පොරොන්දුව මතය. එම ගිවිසුමේ පුරෝගාමීන් වූ කිසින්ජර් හා තෝ 1973 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය. කෙසේ වෙතත් නිහතමානි පුද්ගලයකු වූ ලේ ඩක් තෝ තමාට ලැබුණු ත්‍යාගය පිළිකෙව් කළේ සාමය තව උදාවී නැතැයි පවසමිනි. කාලයාගේ ඇවෑමෙන් ලේ ඩක් තෝගේ ප්‍රකාශය සත්‍යය බව පසක් විය. වියට්කොංවරු තම ක්‍රියාන්විත අත් නොහළ අතර 1975-76 වියළි සමයේදී සයිගොන් නුවර වටලා දකුණු වියට්නාමය ඇල්ලීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මේ අතර දකුණු වියට්නාමයද රහසිගතව සිය හමුදා ශක්තිමත් කරන ලදි. නික්සන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ එම ධුරයේ වැඩ භාරගත් ජෙරල්ඩ් ආර්. ෆෝඩ් මහතාට වියට්නාම මෙහෙයුම් සඳහා කිසිඳු සහයක් ඇමෙරිකානු මන්ත්‍රී මණ්ඩලයෙන් නොලැබිණි.  සෙබලුන් අතින්, අවි ආයුධ අතින්, තමන්ට වඩා ඉදිරියෙන් සිටි දකුණු වියට්නාමයට එරෙහිව ඇමෙරිකානු බෝම්බවලින් බැට කෑ උතුරු වියට්නාමය සිය අවසාන ප්‍රහාරය දියත් කළ අතර එහිදී සිදු කළ උපක්‍රමික පසුබැසීම්වලදී දකුණු වියට්නාම හමුදාව අන්ත පරාජයක් ලැබීය. ජෙනරාල් වැන් ටියෙන් ඩංගේ මෙහෙයවීම යටතේ හියු නගරය අත්පත් කරගත් උතුරු වියට්නාම හමුදාව සිය විජයග්‍රාහී හෝ චී මින් මෙහෙයුම දියත් කළේ සයිගොන් නගරය අත්පත් කර ගැනීමටය. සුවාන් ලොක් නගරය උතුරු වියට්නාම හමුදා අත්පත් කරගැනීමත් සමඟ දකුණු වියට්නාම ජනපති තියූ තම ධුරයෙන් ඉල්ලා අස්ව තායිවානයට පලා ගියේ රාජ්‍ය බලය හමුදාපති ජෙනරාල් ඩුවොං වැන් මින් යටතට පත් කරමිනි. අවසන උතුරු වියට්නාම භටයින් ලක්ෂයක් සයිගොන් නුවර වැටලූ අතර එවිට නගරය ආරක්ෂා කිරීමට ඉතිරිව උන්නේ දකුණු වියට්නාම භටයින් 30,000ක් පමණි. 1975 අප්‍රේල් 30දා සමස්ථ දකුණු වියට්නාමය යටත් කරගැනීමට උතුරු වියට්නාමය සමත්විය.

තමන්ට වඩා ප්‍රබල අවි ආයුධ තිබුණු, සෙබලුන් රැසක් සිටි දකුණු කොරියාව මෙන්ම ලෝක බලවතා වූ ඇමෙරිකාවද දණ ගැස්සවීමට උතුරු වියට්නාම ජනතාව හා කොමියුනිස්ට රජය සමත්විය. ලෝක යුද්ධ දෙකකදී සතුරන් සුණුවිසුණු කළ ඇමෙරිකාවේ සෙබළුන් 50,000 මරු තුරුලට යවමින් තම ජයග්‍රහණය අත්පත් කරගැනීමට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් නන්නත්තාර වී සිටි උතුරු වියට්නාමය සමත්විය. ජීවිත මිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් බිලිගත්, මිලියන 3ක් අබ්බගාත තත්ත්වයට පත් කළ වියට්නාම සංග්‍රාමය දිනුවේ හැම අතින්ම අවාසි සහගත තැනෙක හුන් කොමියුනිස්ට් උතුරු වියට්නාමයයි.

මේ ලියමනේ මාතෘකාව “වියට්නාමයෙන් ආර්ථික පාඩමක්..” යන්නයි. එහෙනම් මොන එකකටද මෙච්චර වෙලා වියට්නාම යුද්ධෙ ගැන කතා කළේ යැයි ඔබ කල්පනා කරනවා වන්නට පිළිවන. ඉහත මා විදහා දැක්වීමට උත්සුක වූයේ හිට්ලර්ගේ නට්සි හමුදාවටවත් දණ ගැස්සවීමට නොහැකිවූ ඇමෙරිකාව නම් සුපිරි බලවතා දණ ගැස්සූ, දිනන්නට නොහැකියයි කියූ යුද්ධය ජයගනිමින් උතුරු වියට්නාමය පෑ අද්විතීය පෙළහරයි. එහෙව් හපන්කමක් පෑ වියට්නාමයට එම සුවිශාල විජයග්‍රහණයෙන් පසුව සිදු වූයේ කුමක්දැයි අපි දැන් සොයා බලමු.

එක්සේසත් වියට්නාමය 1975 සිට 1986 දක්වා දරදඬු කොමියුනිස්ට් පාලනතන්ත්‍රයක් යටතේ පාලිත සංවෘත ආර්ථිකයක් යටතේ ක්‍රියාත්මක විය. පාක්ෂිකයන්ට සලාක ක්‍රමයට රජයේ රැකියා ලබා දුන් අතර ඔවුනට පඩි භාණ්ඩාගාරය දැරිය යුතු විය. බොහෝ රාජ්‍ය සේවකයන් කළ වැඩක් නැත. දරිද්‍රතාවය 70%ක් පමණ වූ අතර බොහෝ වියට්නාම වැසියන් දුගී කමින්, හාමතෙන් පෙළුණි. විරැකියාව ඉහළ අගයක තුබුණි. සංවෘත ආර්ථිකය තුල ජනතාවට දැඩි භාණ්ඩ හිඟයකට මුහුණ පෑමට සිදුවූ අතර සංවර්ධනය පෙනෙන මානයේවත් නොතිබුණි. කවුරුත් නොසිතූ පරිදි ලෝක බලවතා දණ ගැස්වූ වාමාංශික වියට්නාමයට වුණේ මොකක්ද? මේ සමාජවාදී ආර්ථිකයේ නොහැකියාව මිස අන් කවරක්වත් නොවේ.

1986දී වියට්නාමය “ඩොයි මොයි” යන මැයෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුනි. එරට ඒකාධිපතිවාදී කොමියුනිස්ට් පාලනය එලෙසම තබා ගනිමින් ආර්ථිකය විවෘත වෙළෙඳපොල ක්‍රමයකට ඔවුන් අනුගත විය. ඒ අනුව පෞද්ගලික අංශය දැඩි ලෙස දිරි ගන්වනු ලැබූ අතර ව්‍යාපාර සඳහා වන බදු පහළ දමන ලදි. විදේශ ආයෝජන දිරිමත් කිරීමට වියට්නාමය උත්සුක වූ නමුත් මුලදී බටහිර රටවලින් ඒ සම්න්බන්ධව ශුභවාදී ප්‍රතිචාරයක් නොලැබිණි. නමුත් 1990 දශකය මුල වන විට විදේශ ආයෝජන වියට්නාමය ගලා ආ අතර එදා තමා අතින් අන්ත පරාජයකට ලක්වූ ඇමෙරිකාවේ ආර්ථික සහය පැතීමට වියට්නාමය නොපසුබට විය. අද වියට්නාමය අග්නිදිග ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයට උරුමකම් කියයි. අද එරට දුප්පත්කම 70% සිට 5% පමණ දක්වා පහළ බැස තිබේ. වියට්නාමයේ දැන් ආර්ථිකයේ ජීවනාලිය බවට පත්ව ඇත්තේ කුඩා සහ මධ්‍ය පරිමාණ ආර්ථිකයයි, එරට සංවර්ධන වේගය 7%ක පමණ අගයකත් උද්ධමනය ස්ථාවරවත් රඳවා ගැනීමට ඔවුන් සමර්ථ වී තිබේ. අග්නිදිග ආසියාවේ ආකර්ෂණීයම ආයෝජන මධ්‍යස්ථානයක් බවට අද වනවිට වියට්නාමය පරිවර්තනය වී තිබේ. අප වැරදි පිළිවෙත්, යුද්ධ, කළකෝලාහාල නිසා එකතැන පල් වෙද්දී වියට්නාමය තම සමාජවාදී ආර්ථික ව්‍යුහය ඉවත දමා වෙළෙඳපොල ආර්ථිකය ඔස්සේ සංවර්ධනය උදා කරගනිමින් සිටී.

හෝ චී මින් නගරය හෙවත් පැරණි සයිගොන් නුවර

එහෙව් වියට්නාමය ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල් සමඟ විවෘත වෙළෙඳපොල ආර්ථිකයක් ඔස්සේ දියුණු වෙද්දී අපේ රාජ්‍ය නායකත්වය ආර්ථික අගාධයට පිය මනින ඉරානය, කියුබාව, වෙනිසුවේලාව, මියැන්මාරය ඈ රටවල් සමඟ ඉදිරිය ගැන සිතයි. මේ රටවල උවමනාව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තම ගොඩ වැඩි කරගෙන කොකා පෙන්වීම මිසක් අන් කවරක්වත් නොවේ. සැබෑ විජාතික බලවේගයට, ජාත්‍යන්තර කුමන්ත්‍රණයට හසු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එජනිස රජය යැයි මම කියන්නේ කිසිවකු සුගතියක් නොලත් සමාජවාදී, මැද මාවතේ ආර්ථිකයක, සෙසු වෙළෙඳපොල රටවලට පහර ගසමින් අප රට ආර්ථික අගාධයට රැගෙන යමින් සිටින නිසාය. ඔබ දැන් මගෙන් අහාවි “එහෙනම් අපි ඇමෙරිකාවට කඩේ යන්න ඔනෙද?” කියල. නැහැ, මම කියන්නේ ශ්‍රී ලංකාව සෑම රටක් සමඟම මිතුරුදම් පැවැතිය යුතු බවයි. 1977-94 එක්සත් ජාතික පක්ෂ රජය ඇමෙරිකාවේ රේගන් එක්ක මෙන්ම කියුබාවේ කැස්ත්‍රෝ එක්කද වැඩ කළේය. අප එක් පැත්තකට පක්ෂපාත නොවී ලොව සියලු රටවල් සමඟ අත්වැල් බඳගෙන බුද්ධිමත්ව අපේ ජය ලබාගත යුතුය. එදා 2004 යූඇන්පී ආණ්ඩුව ගෙදර යන විට රාජ්‍ය සේවය ලක්ෂ 6කි. අද එය ලක්ෂ 12 දක්වා වැඩිකර තිබේ. එය එසේ වුවත් ඔවුන්ගෙන් රටට සෙතක් වේද යන්න ප්‍රශනයකි. වරායේ, රේල්ලුවේ, ශ්‍රීලංගමයේ, ලංවීමේ, තෙල් සංස්ථාවේ එක් පුද්ගලයකුගේ වැඩේ කිරීමට සේවකයින් දුසිමක් විතර සිටීම සාධාරණද?? මීට කදිමතම උදාහරණය කොළඹ වරායයි. එහි රජයේ පර්යන්තය වන ජයා බහලුම් පර්යන්තය සේවකයින් 6000ක් යොදා ගනිමින් වාර්ෂිකව TEU ඒකක මිලියන 2ක් හසුරුවන විට ඊට අනෙක් පස පිහිටි SAGT හෙවත් දකුණු ආසියාතික පිවිසුම් පර්යන්තය නම් වූ දෙස් විදෙස් ආයෝජන වලින් ක්‍රියාත්මක පර්යන්තය සේවකයින් 620කගෙන් වාර්ෂිකව TEU ඒකක මිලියන 1.7ක් හසුරුවයි. මේ තිත්ත ඇත්තයි. මේ උදවියට පඩි ගෙවන්නේ අපි ආණ්ඩුවට ගෙවන අපේම බදු මුදලිනි. පෞද්ගලික අංශයේ කිසිඳු වර්ධනයක් නැත. බදු බර අහස උසටය. රටේ නිෂ්පාදකයින් තම නිෂපාදන වල වටිනාකම මෙන් තුනෙන් එකක් බදු ලෙස ආණ්ඩුවට ගෙවයි. රු. 257ට වරායට ගොඩ බාන කිරි පිටි කිලෝව වෙළෙඳපොලේ අලෙවි වන්නේ රු. 530කටය, එනම් දෙගුණය ඉක්මවූ මිලකටය, ජපානය නම් වූ සුපිරි ආර්ථිකයේ ජීවනාලිය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවයි. එරට ආර්ථිකයෙන් 98%ක්ම එම ක්ෂෙත්‍රයෙන් දායකත්වය ලබයි. නමුත් අද අප රටේ ව්‍යවසායකයන්ට ඇති සහන ප්‍රමාණවත්ද? නිශ්පාදන නොවන වාණිජ ව්‍යාපාර සඳහා අධික බදු මුදල් පනවයි, ඔවුන්ගෙන් අය කෙරෙන විදුලි මිල බෙහෙවින් වැඩි අගයක් ගනී. අයෝජන දිරිගැන්වීමට අවශ්‍ය වටපිටාව අහුරා ඇති අතර නීති රීති සහ රෙගුලාසි නව ආයෝජකයින්ට හිතකර නොවේ. රටේ ආදායම් ක්‍රමිකව බෙදී නොයන අතර ඉන් ප්‍රතිලාභ ලබන්නේ සීමිත පිරිසකි, සීමිත පිරිසකට සහනාධාර, වරප්‍රසාද දීමට සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම බදු මුදල් යෙදවීම සෝචණීයය.

පසුගියදා රාජපක්ෂලා රැකුමට ප්‍රතිඥා දුන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක එස්.බී. දිසානායක මහතා මීට මාස තුනකට පමණ පෙර සමාජවාදී, මැද මාවත මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කරමින් රචිත කෘති වලද සෘජුව පෙන්වා දී ඇත්තේ ලෝකයේ කිසිඳු රටක් අදාල ආර්ථික ක්‍රම හරහා සංවර්ධනය වී නොමැති බවයි. එතුමා විසින් රචිත “විමසා බලමු ආර්ථික මතවාද” ග්‍රන්ථයේ කියන පරිදි ලෝකයේ දියුණුම රටවල් 55 කිසිඳු විටෙක වෙළෙඳපොල විවෘත ආර්ථික ක්‍රමයෙන් බැහැර වී නැති අතර මහින්ද චින්තනයේ සහ වත්මන් ආණ්ඩුවේ ආර්ථික නොහැකියාව කදිම ලෙස උපුටා දක්වයි. ආණ්ඩු පක්ෂයට ලඟදී ගිය එස්.බී. දිසානායක මේ මහින්ද චින්තනයේ නොහැකියාව ගැන දීර්ඝ ලෙස එම පොතේ සඳහන් කර ඇත, එය ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද කියවා ඇතැයි මම සිතමි. එහි එස්.බී. ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය කාබාසිනියා කළ ආකාරයත්, ඉදිරියෙදී අසාර්ථක වන බවත්ය, එක්සත් ජාතික පක්ෂය ආර්ථික කළමණාකරණයේ සාර්ථක වූ බවත්ය, එය යථාර්තවාදී මෙන්ම ශාස්ත්‍රීය විමර්ශනයකි. එහෙම කියපු සුමනවීර බණ්ඩා දිසානායක ශ්‍රීලනිපයට ගියේ පියවි සිහියෙන්දැයි යන්න ප්‍රශ්නයකි.

ඉතින් යථාර්තය එයයි. සන්ධානය කියන්නේ යුද්ධය නිමා කළ තම ආණ්ඩුවට ආර්ථිකය හදන එකත් කජ්ජක්ද කියාය. එහෙත් වියට්නාමයෙන් ලැබෙන පණිවුඩය නම් ආර්ථිකයක් හදන්නට නිසි දැක්මක්, දර්ශනයක් තිබිය යුතු බවයි. එම දැක්ම තියෙන්නේ යූඇන්පියට බව නොරහසකි. අප අතීතය දෙස හැරී බැලුවහොත් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන යටතේ සැම විටම රටේ ආර්ථිකය පසුබා ඇත. 1970-77, 2001 මෙන්ම වත්මන් අවපාතයද ඊට නිදසුන්ය. එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු යටතේ ආර්ථිකය දියුණු වී ඇත. ඓතිහාසිකව එජාප ආණ්ඩු පෙරළණු ලැබූයේ සමාජීයීය ප්‍රශ්න උලුප්පා ගනිමින් මිස ආර්ථිකය උපුටා දක්වමින් නොවේ. එසේ නම් ලෝක ආර්ථිකය හමුවේ අතිඋතුම් ශ්‍රී ලංකා දේශය සංවර්ධනය කරා මෙහෙයවිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ, සෑම සමාජ ස්ථරයකටම සෙත සලසන, සමාජීයීය වගකීමකින් හෙබි වෙළෙඳපොල ආර්ථික පිළිවෙත් වලට මිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදි මාවතේ ආර්ථික පිළිවෙත් වලට නොවන බව සක්සුඳක් සේ සුපැහැදිලිය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009

Advertisements

One response to this post.

  1. Posted by මෙම්බර් ඩොට් කොම් on ජනවාරි 2, 2010 at 14:25

    වියට්නාමයේ ආර්ථීකය ගැන කියන්නට ඇවිත් වියට්නාම යුද්ධය ගැන වැඩිපුර කතා කර, වියට්නාම ආර්ථිකය ගැන ඉතා අල්පයක් පවසා අවසානයේ ප්‍රශ්තුතයේ සඳහන් පරිදි ආර්ථිකය ගැන පාඩම සඳහා ලංකාවේ ආර්ථික ප්‍රථිපත්ති ගැන ඔබ ඉදිරිපත් කරන කරුණු සම්බන්ධව පසුව කථා කරමු. මම මේ සටහන තබන්නට අදහස් කළේ ඔබට ඇති ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීමට උදව් කිරීමේ අරමුණෙනි.

    “……… එස්.බී. ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා මෙරට ආර්ථිකය කාබාසිනියා කළ ආකාරයත්, ඉදිරියෙදී අසාර්ථක වන බවත්ය, එක්සත් ජාතික පක්ෂය ආර්ථික කළමණාකරණයේ සාර්ථක වූ බවත්ය, එය යථාර්තවාදී මෙන්ම ශාස්ත්‍රීය විමර්ශනයකි. එහෙම කියපු සුමනවීර බණ්ඩා දිසානායක ශ්‍රීලනිපයට ගියේ පියවි සිහියෙන්දැයි යන්න ප්‍රශ්නයකි.”

    ඔබට ඇති ප්‍රශ්ණය SB ශ්‍රීලනිපයට ගියේ පියවි සිහියෙන්දැයි යන්නයි. මගේ අදහසනම් පියවි සිහියෙන් බවයි. SB යනු රටේ නායකත්වය ඉත-සිතින් ප්‍රාර්ථනා කරනා පුද්ගලයෙකි. ඒ සඳහා ඔහුට ඇති හදිස්සිය ගාමිණී දිසානායකට තිබූ හදිස්සියටත් වැඩිය. 1994 වනවිට ශ්‍රීලනිපයේ තෙවන පෙලේ සිටි SB චන්ද්‍රිකා මැතිනිය අංක එකට ගෙන එන්නේ පක්ෂයේ අංක 2 වීමේ බලාපොරොත්තුව හිතේ රඳවාගෙනය. පක්ෂයේ ගම් මට්ටමේ ක්‍රියාකාරීන්ට මේ බව හොඳින් දැනී තිබුණු අතර බොහොමයක් දෙනා එය සිදුවනවා දැකීමේ ආසාවෙන් ද සිටියහ. එහෙත් මේ ආසාව දැනගෙන සිටි හා එයට අකමැති වූ චන්ද්‍රිකා මැතිණිය මංගල හා කදිරගාමර් වැනි අය ලවා SB ට පල නොකියා පලා බෙදුවාය.

    මාධ්‍ය විසින් ගෑ කළු තීන්ත නිසා ජනතා ආකර්ෂණය බිංදුවට බැස ගොස් සිටි රනිල් පක්ෂයෙන් එළවා එහි බලය අල්ලා ගැනීමේ අදහසින් SB එජාපයට එක්වන්නේ එහි නිල නොවන දෙවන තැන ද ඉල්ලා ගෙනය.
    හොඳ හොඳ තුරුම්පු කිහිපයක් ගසා බැලුව ද එජාපයේ නායකත්වය ලබා ගැනීමේ අදහස දවසෙන් දවස කල් ගත විය. SB ගේ ඊ ළඟ තුරුම්පුව වූයේ අනිවාර්යය පරාජයක් සඳහා රනිල්ට ‘උදව්’ කර පක්ෂයේ බලය අල්ලා ගැනීමය. පෙනුමට Mr. බීන් වගේ උනාට රනිල් ඇත්තටම JR ගේ බෑනා බව SB ට වැටහෙන්නනේ සෑහෙන කාලයක් තමන්ගේ වටිනා කාලය කා දැමීමෙන් පසුවය.

    SB (හොඳ සිහිබුද්ධියෙන්) ගැසූ ඊ ළඟ තුරුම්පුව මෙයයි. ඔහුගේ ඉලක්කය මෙවර අපේ ජනාධිපතිතුමා පරාජය කිරීමයි. බැරි වෙලාවත් මෙවර ජනාධීපතිතුමා පරාජය වුවහොත් එතුමාට පක්ෂයේ බලය රඳවා ගැනීම පහසු නොවේ. මහින්ද ජනාධිපතිතුමා වැනි නායකයින් වටා එක් රැස්වන්නේ බලය තිබෙනා විට ප්‍රයෝජනය ගන්නා කණ්ඩායම්ය. බලය නැතිවනවාත් සමගම ඔවුන් ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වේ. එවිට පක්ෂයේ බලයද වැට උඩය. SB මෙවර කරනම ගැසුවේ ඒ කේජු කෑල්ල බලාගෙනය. ඔහුගේ පැත්තෙන් ඉතා හොඳ පියවි සිහියෙනි.

    ගැටළුවනම් මෙවරද නරියාට මිදි තිත්තයි කීමට සිදු වීමයි. එහෙත් සදාහරිත ඔබලා පතනා දෙය සිදු වුවහොත් SB දිණුම්ය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: