සැබෑ දේශප්‍රේමය සහ සැබෑ දේශද්‍රෝහය…

Click here to get Sinhala Unicode

මේ සීතල උඳුවප් මාසයයි, එහෙත් දේශපාලන පොරපිටිය නම් ගිනියම් වෙමින් පවතින්නේ එළැඹෙන මැතිවරණ නියාවෙනි. මැතිවරණයේ ප්‍රධානතම විවාදය බවට දැන් දැන් පත්වෙමින් පවතින්නේ දේශප්‍රේමය සහ දේශද්‍රෝහය යන්නයි. තමන් දේශප්‍රේමීන් ලෙස ආරෝපණය කරගනිමින් අනෙකා දේශද්‍රෝහීන් යැයි හංවඩු ගැසීමේ කලාව දේශපාලනයට අද ඊයේ නාවද මෙම අසික්ඛිත ක්‍රියාවේ උච්ඡතම අවස්ථාවට අප පැමිණ ඇතැයි මට හැඟේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග, උගුල් යනාදියත් දැන් දැන් කරළියේ නිතර නිතර ඇසෙන වදන් බවට පත්ව තිබේ. මේ ලියමනේ අරමුණ නම් මෙසේ කෙරෙන්නා වූ ප්‍රකාශ පිළිබඳ යම් තරමක හෝ විශ්ලේෂණයක් කිරීමයි. පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා පවසා සිටි පරිදි ආණ්ඩුවට පක්ෂ සියල්ලෝම දේශප්‍රේමීන් බවටත් විපක්ෂ සියල්ලෝම දේශද්‍රෝහීන් බවටත් හංවඩු ගසමින් පවතී. ඒ අනුව එදා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් මහ මැතිවරණයට තරඟ කර ආණ්ඩුවේ ඇමැතිධුර දරණ ඇමැතිවරු දේශප්‍රේමීන් බවටත් ඔවුන්ට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයෝ දේශද්‍රෝහීන් බවටත් පත්ව තිබේ.

අද ආණ්ඩුවට විරුද්ධව මැස්සෙක් පියෑඹුවත් එය විජාතික බලවේගයක් මත සිදුවූ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. ආණ්ඩුවට අහිතකර හැම දෙයක්ම වෙන්නේ විජාතික බලවේග නිසාය. ආණ්ඩුවට විරුද්ධ සියල්ලන්ම දේශද්‍රෝහීන්ය යන හාස්‍යජනක මතයේ ආණ්ඩුවත්, ඊට හිතවත් ජනමාධ්‍යයත් කටයුතු කරයි.

  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැගෙනහිර කොළඹ ආසනයේ සංවිධායකයා මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මුල්පෙළේ හොරනෑවක් වන හඩ්සන් සමරසිංහ ප්‍රසිද්ධියේ ගුවන් විදුලියෙන් කිහිප වරක්ම ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයට තරඟ නොකළොත් තමා දණ ගසාගෙන ගුවන් විදුලි සංස්ථාවෙන් ඉවත්ව යන බවයි. එහෙත් අදටත් අපේ රටේ මහජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින හඩ්සන් උන්නැහේ දිනපතා ගුවන් විදුලිය ඔස්සේ සිය මූසල කටහඬ අවදි කර අසැබි ලෙස මිනිසුන්ට බැණ වදින්නේ රටේ සමාජ සම්මතයන්ට පහර ගසමිනි. රටට ඉමහත් මෙහෙයක් කළ ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන්ට හිරිකිතයකින් තොරව පහර ගසන්නේ තම සැබෑ ස්වරූපය පෙන්වමිනි. හඩ්සන්ගේ දෙමාපියන්ට, දරුමල්ලන්ට අපි දීර්ඝායූ පතමු. මෙවැන්නන් වගකිවයුතු නිලතල දරන්නේ දේශප්‍රේමීන් නිසාද??
  • වරෙක හඩ්සන් කියා සිටියේ යුද්ධයේ අවසාන අඩිය වනවිට ජෙනරාල් ෆොන්සේකා චීනයේ සිටි වගයි. එවිට අතිගරු ජනාධිපතිතුමා ජෝර්දානයේ සිටි බවද මතක් කර දීමට කැමැත්තෙමි. යුද්ධය අවසනදී පිටරට සිටීම දේශද්‍රෝහී ක්‍රියාවක් නම් ජනාධිපතිතුමා දේශද්‍රෝහියකු බවද අපේ හඩ්සන් මහත්තයා මේ නොකියා කියන්නේ??
  • 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක මන්ත්‍රී හිමියන් වැඩකටයුතු කළා ඔබට මතක ඇත. අද උන්වහන්සේට ඒ බව අමතක වී ඇති සේයාවකි, සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ප්‍රශ්න කරන උන්වහන්සේ විජාතික බලවේගයක් යැයි චෝදනා කරන්නේ මීට වර්ෂ 4කට පෙර තමා සහය දැක්වූ පාර්ශවයට නොවෙතැයි මම සිතමි. මක්නිසාදයත් එය එසේ නම් උන්වහන්සේද දේශද්‍රෝහියකු, බොරුකාරයකු වන නිසාය.
  • 2004 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා සලකුණින් තරඟ කර පාර්ලිමේන්තු අවුත් අද ආණ්ඩු පක්ෂයේ සුර සැප විඳිමින් ප්‍රතිපත්ති සහ ඡන්දදායකයා පාවාදී ඇමැතිධුර දරණ මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා, කෙහෙළිය, රාජිත, හේමකුමාර, බන්දුල, ලොකුගේ, මනෝ විජයරත්න ආදී මහත්වරු එදා තමා සිටි පක්ෂයටත් හිස මුදුනින් අගය කළ නායකයාටත් අවලාද නැගීම විජාතික බලවේග සහ දේශද්‍රෝහී ලේබල් ඇලවීම කෙතරම් සාධාරණද??? ඔවුන් එදා දේශද්‍රෝහීන් බවද ඔවුන් කියන්නේ??? මේවා ඔක්කොම තමන්ගේ දේශපාලන වාසියට කියන කතා බව අමුතුවෙන් කිව යුතු නැත. එදා සිරස ඔස්සේ විසිහතර පැයම මහත්මා දේශපාලනය සහ යහපාලනය ගැන මැත දෙඩවූ මිලින්ද මොරගොඩ උගත් මහතාගේ ප්‍රතිපත්ති සහ පක්ෂය පාවා දීමේ මහත්මාකමට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව පිළිතුරු දෙනු ඇතැයි සිතමි. යූඇන්පියේ ඉන්නතාක් සටන් විරාම ගිවිසුම අගය කළ ඔවුහූ යූඇන්පිය හැර ගිය විගසම සටන් විරාමය මහා පාවාදීමක් ලෙස සැලකුවේ මන්දැයි සිතන්න…. මේ දේශප්‍රේමයද, බලකාමයද???
  • සක්කරයගෙ පුතා වයිමටවත් අඩු කරන්නට බැරි යැයි කී බඩුවල මිල සමූපකාරවල සහ ජනමාධ්‍යයේ පමණක් හෝ ඡන්දයක් අත ළඟ අඩු වෙන්නේ කඩිමුඩියේම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට ජනතාව ගැන අනුකම්පා සිතුණු නිසාද, ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව ආණ්ඩුව කියන්නේත්, අවතැන් ජනතාවට සැරිසැරීමේ නිදහස දෙන්නේත් ඇයි?? දැරිය නොහැකි බදු බරක් ජනතාව මත පටවා ඇත්තේ ආණ්ඩුවේ දේශප්‍රේමය නිසාද??? රු.257කට වරායට ගොඩබාන කිරිපිටි කිලෝව වෙළඳපලේ රු.530කට ඇලෙවි වෙන්නේ ඇයි?? අඩු මිලට දිය හැකි පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදන මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට අලෙවි වන්නේ ඇයි???
  • අපි වවමු රට නගමු කීවත් අදටත් අපේ රටේ විකිණෙන්නේ රට අලය, ඉන්දියාවේ ලූණු සහ මිරිස්ය, පිටරටවල ඇපල්, නාරං සහ මිදිය. මේකද ඔය කියන දේශීය කෘෂි ආර්ථිකේ?? මේවා හුදු සටන්පාඨවලට පමණක් සීමාව ඇත.
  • එන්න එන්නම රාජ්‍ය ව්‍යවසාය පිරිහෙන්නේ, කවදාවත් පාඩු නොලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ රේල්ලුව, ශ්‍රීලංගම, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව, මිහින් ලංකා මෙන්ම ගරු ගාම්භීර ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් එන්න එන්නම පාඩු ලබන්නේ ඇයි?? එසේ පාඩු ලැබීම දේශප්‍රේමී ක්‍රියාවක්ද???
  • කිසිඳු පෙර සොයා බැලීමකින් තොරව මහජන මුදල් අධික ලෙස නාස්ති කරමින් පූර්ව සැලසුමකින් තොරව හම්බන්තොට එක් ගුවන් තොටුපලකට මුල්ගල් තබා අවුරුදු 4ක් යන්නටත් පෙර එම ව්‍යාපෘතිය අතැර තවත් කෝටි ගණනක් වියපැහැදම් කර තවත් මුල්ගලක් වෙනත් තැනක තැබීම යහපාලනයද???
  • කෘතහස්ත ලේඛයකු වන දොස්තර ගුණදාස අමරසේකර පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක තප්පුලෑවේ “දූෂණ ගැන අහන්න එපා ඕයි…!!” කියාය. ඔය උජාරුවෙන් කෙපර බාන දේශප්‍රේමය මේකද?? රටේ දේපල කාබාසිනියා කරද්දී කරබාගෙන පටු වාසි තකා ඒවාට උඩ ගෙඩි දීම දේශප්‍රේමයද??
  • පළාත් සභාවට බුලත් කොළයෙන් තරඟ කර සභිකයකු පත් කරගන්නට වත් බැරි බංකොළොත් දේශපාලන පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණට අද තම පක්ෂ මහලේකම්වත් පක්ෂයේ රඳවා ගත නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ. එහෙව් පක්ෂයේ නායක විමල් වීරවංශ උන්නැහේ අද දේශපාලනය සහ දේශප්‍රේමය ගැන රටට ටියුෂන් දෙන්නට පටන්ගෙන තිබේ. සීගිරිය දැක නැති, සිරිපාදය වැඳ නැති කෙනෙකුන් දේශප්‍රේමය සහ සංස්කෘතිය ගැන මැත දෙඩවීම බෙහෙවින්ම හාස්‍යජනකය. වෙනත් උදවියට කඩේ යනවායැයි කෙපරබාමින් තමන් කරන ක්‍රියාව දැඩි ලෙස අමතක කිරීමට විමල් උන්නැහේ සමත්කම් පා තිබේ. එදා ජානිපෙ බිහි කරමින් මිහින් ලංකා දූෂණය ගැන මහ ඉහළින් හඬ නැගූ, බලය බෙදීමට විරුද්ධ වූ විමල් අද කතා කරන්නේ ඒ ගැන හාංකවිසියක් නොදන්නා තාලෙටයි. මේකද දේශප්‍රේමය?? එදා ශ්‍රේෂ්ඨ රණවිරුවකුයැයි උදම් ඇනූ සරත් ෆොන්සේකාගේ බුද්ධි මට්ටමද ප්‍රශ්න කරන නින්දිත තත්ත්වයට ජානිපෙ අද පත්ව ඇත. අනාදිමත් කාලයක සිට ඇමැති මණ්ඩලය වැඩි යැයි, රටට බරක් යැයි කෙකර ගෑ විමල් ඇතුළු ජානිපෙම පසුගිය සතියේ තවත් ඇමැතිධුරයක් භාරගනිමින් අචල සුරංග ජාගොඩ ඇමැතිවරයකු කරමින් ඇමැති මණ්ඩලය තවදුරටත් ප්‍රසාරණය කරමින් රටේ මහජනතාවට බරක් වන සුදු අලියකු වීම කෙතරම් යුක්ති සහගතද??

    3දා ලංකාදීපයේ දාස හපුවලාන මහතාගේ කදිම කාටූනයක්...!!!

  • විමල් වීරවංශ ජවිපෙන් අහන්නේ ඔවුන් 1989දී මර්දනය කළ එජාපයට සහය දක්වන්නේ රෙදි ඇඳගෙනද කියාය. එජාපය සහ ජවිපෙ අතර කිසිඳු එකඟතාවක් නොමැත. යූඇන්පිය සහ ජවිපෙ තෙලුයි වතුරයි මෙන් දේශපාලනිකව අන්ත දෙකක ක්‍රියාත්මක වේ. සිදුව ඇත්තේ රටේ උන්නතිය වෙනුවෙන් පොදු අපේක්ෂකයකු වෙනුවෙන් පක්ෂ දෙකම සහය දැක්වීමයි. එසේ ප්‍රශ්න අසන විමල්ගෙන් අපි අහන්නේ 1971දී ජවිපෙ මර්දනය කළ ශ්‍රීලනිපයේ වරදාන දැරීම කෙතරම් සාධාරණද කියාය. එදා ජවිපෙ කැරල්ළෙන් බැට කෑ එක් පාර්ශවයක් වන ශ්‍රීලනිපය අද ඔබව තම සන්ධානය තුල රඳවාගෙන සිටීමට ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.
  • විමල් කියන විදියට මහින්ද චින්තනයේ එන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයගතහොත් ඔහුගේ දෙවැනි ධුරකාලයේ අවසාන භාගයේදීය. මේ අපේ ජනාධිපතිතුමා සැරසෙන්නේ චන්ද්‍රිකා ජනපතිනිය මෙන් සදහටම රජවන්නටද??? මේක දේශප්‍රේමයද, බලලෝභයද???
  • ආණ්ඩුවේ උදවිය එක්සත් ජාතික පෙරමුණට විජාතික, දේශද්‍රෝහී නඩය යන හංවඩුව ගසන්නට වෙර දරයි. නමුත් කරුණා අම්මාන්, ඩග්ලස් දේවානන්ද, පිල්ලෙයාන් වැනි ශ්‍රී ලංකාවට එරෙහිව ආයුධ අතට ගෙන ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලුණු උදවිය එක්සත් ජාතික පෙරමුණ තුල නැත. එදා ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලෙමින් ඊළමක් ඉල්ලූ උදවිය අද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීම බෙහෙවින්ම ප්‍රශංසනීයය. නමුත් දළදා මාළිගාවට බෝම්බ ගැසූ, අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළ එවන් උදවියට දේශප්‍රේමී ලේබලය අලවා අන් අයට දේශද්‍රෝහී හංවඩුව ගැසීම කෙතරම් සාධාරණද??
  • මියැන්මාරයේ හමුදා පාලක, භික්ෂූන් වහන්සේලා මහ මග මරා දමන, රටවැසියන්ට විපක්ෂයට වද දෙන ජෙනරාල් තාන් ෂ්වේ මහතා මෙරටට මහත් හරසරින් විරුවකු ලෙස පිළිගනිද්දී අපේ රටේ යුද ක්‍රියාන්විතය ජයගන්නට නායකත්වය දුන්, ඉන්දීය රජයේ නිලධාරීන් විසින් ලොව විශිෂ්ඨතම හමුදාපතිවරයා ලෙස ගෞරවයට පාත්‍ර ජෙනරාල් සරත් ෆොන්සේකාට දේශද්‍රෝහියකු යන හංවඩුව ගැසීම කෙතරම් සාධාරණද??
  • අද මානව හිමිකම් කමිටු කෙරේ වපර ඇසින් බලන, ඔවුන්ට දේශද්‍රෝහී, විජාතික ලේබලය අලවන මහින්දගේ ආණ්ඩුව 90 දශකයේ මුල භාගයේදී මහින්ද ලංකාවේ මානව හිමිකම් කඩවීම් ඇතුළු ලිපි ගොණු සමඟ ජිනීවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමට යෑම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකනවාද යන්නත් ප්‍රශ්නයකි.

එක්සත් ජාතික පෙරමුණේද සැලකිය යුතු අඩුපාඩු තිබේ. මෙහිදී ආණ්ඩුව සිදු කරන්නේ අනුන්ගේ ඇහේ ඉරට්ට දකිමින් තමන්ගේ ඇහේ පොල් පරාලය අමතක කිරීමය. ජනාධිපතිවරණයේ අවශ්‍යතාව රටේ අනාගතය තීන්දු කිරීම මිස කවුද දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා යන වග තේරීම නොවේ. ඒ නිසා ආණ්ඩුව තම ඉදිරි වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් රටේ අනාගතය ගැන කථිකා කරනවා වෙනුවට දේශද්‍රෝහී, විජාතික, ජාත්‍යන්තර බලවේග කුමණ්ත්‍රණ ලේබල් ඇලවීම නවතා දැමීම රටේ ශීඝ්‍රයෙන් වැපිරෙන වෛරය සන්සිඳුවීමටත් රට යහපත් ගමනකට ගෙන ඒමටත් හේතුකාරක වනු ඇත.

යමෙක් දේශද්‍රෝහියෙක්ද දේශප්‍රේමියෙක්ද කියා තීරණය වන්නේ ඔහුගේ චේතනාවෙනි. රට ගැන ආදරයෙන් ක්‍රියා කරන කෙනා දේශප්‍රේමියෙකි, වැරදි තීරණයක් වුවද රට ගැන ආදරයෙන් ගන්නේ නම් හේ දේශප්‍රේමියෙකි, නිවැරදි තීරණයක් වුවද රට ගැන නොව වෙනත් චේතනාවක් පෙරදැරිව ගන්නා කෙනා දේශද්‍රෝහියෙකි. නැතුව දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා තීරණය කිරීමේ පේටන්ට් අයිතිය කවරෙක්ටවත් හිමි නැත. ඒ සමගම තවත් යමක් කිව යුතුය එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා දෙපැත්තේම දේශප්‍රේමීන් මෙන්ම දේශද්‍රෝහීන්ද සිටිති, ඉන් දේශද්‍රෝහීන් ගණන ඉතා අල්පය. නැතිව රටේ අනාගත දරු පරපුරේ ආඩම්බර භාරකාර තාත්තා හෙවත් මහින්ද ජනපතිඳුන් පවසන අන්දමට ආණ්ඩුවට පක්ෂ සියල්ල රටට ආදරය කරන අයත් ආණ්ඩුවට විපක්ෂ සියල්ල රටට ද්‍රෝහී අයත් නොවේ. මෙහිදී ආණ්ඩුව සහ ශ්‍රී ලංකාව යන දෙක පටලා නොගත යුතුය, ආණ්ඩුව යනු අප උත්තම ශ්‍රී ලංකාව නොවන්නේය. රට දෙවනත් වෙන්න කෑ මොර දුන් පලියට දේශප්‍රේමියකු වන්නේද නැත, ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධි ඉන්දියාවට විමුක්තිය ගෙන දුන්නේ රට වටා කෑ මොර දෙමින් නොව අවිහිංසාවාදයේ පණිවුඩය රට පුරා වපුරමිනි.

කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග හෝ පවතී. එනිසා එකිනෙකාට දේශද්‍රෝහී ලේබල් අලවමින් ඊනියා දේශප්‍රේමියකු වනවා වෙනුවට එකිනෙකාට මඩ නොගසා ප්‍රතිපත්ති ගැනත් රටේ අනාගතය ගැනත් අවදානය යොමු කිරීම මැනවැයි මම යෝජනා කරමි.

එසේම සරත් ෆොන්සේකා යටතේ හමුදා පාලනයක් ඇති වේ යැයි යන අස්ථිර බිය ගැනද යමක් කිව යුතුය. ජෙනරල් ෆොන්සේකාට එදා නන්දිකඩාල් කලපුව වටලන විට සේනාංකයක් එවා අරලිය ගහ මැදුර වටයා හමුදා පාලනයකට යන්නට ඕනෑ තරම් ඉඩ හසර තිබුණි. එහෙත් ඔහු පතන්නේ මිලිටරි ආණ්ඩුවක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකි. හේ ජනාධිපතිවරණයට ඔබේ ඡන්දය ඉල්ලන්නේ ඒ නිසාය.

දෑස් හැර එකිනෙකාට චෝදනා නගන සාම්ප්‍රදායික මඩ දේශපාලනයෙන් එපිට බලන්න…. රටේ මතු අනාගතය ගැන සිතා ඔබේ ඡන්දය භාවිතා කරන්න…. රටට ඔබින අලුත් දේශපාලන සංස්කෘතියක් සාදන්නට ඔබේ සහයෝගය ලබා දෙන්න…

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 උඳුවප්

H Niles Perera©, December 2009

5 responses to this post.

  1. Dont be a foolish men. This is what happened from the beginning to our country. Sri Lankans (or Sinahalaeese) are fighting each other. Thats what all other nations need. English, Netherlands, Prootagesze , now Americans , french (all Europeans) needs that. If the country is unstable that’s good for them. So if you are into politics i have no concern. But make sure to show and criticize the damn foreign interventions. (What you said about here may be correct) but it will not make any good in the long term. Both parties are doing the same mistake. This has happened for almost 500 years. And will continue to happened. We need to work with foreign counties, but we need to make sure we are in control. otherwise they will suck our country’s nourishment. (Which they almost finishing up.)

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ඔය මොනව උනත් අනේ අපිට අපේ අත් දෙකෙන් කිරිබත් කන ජාතික ඇදුම අදින සිංහල කමට ඉන්න නයකය හොදයි කියල ඡන්දෙ දෙන්න ලැස්තිවෙලා ඉන්න අයට ඔව තෙරෙයි ද කියලයි ප‍්රශ්නෙ, ලොකුම කනගාටුව තමයි බත්පැකට් එකටයි අරක්කු බොතලයටයි දේශපාලනය ක‍්රන අයටත් වඩා අන්දයො වගේ හැසිරෙන්නෙ හෙට අනිද්ද විශ්ව විද්යාල වලින් එලියට එන්න ඉන්න අය, කව්රුහ‍රි ඔලුවෙන් හිට ගෙන කිව්වත් එවා පිලිගන්න බැරිත‍්රමටම මේගොල්ලන් ගේ බ්රෙන් වොෂ් වෙලයි තියෙන්නෙ,

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. අපි හැමෝම දන්නව යථාර්තය මොකක්ද කියල…
    Malith සහෝදරය කිව්ව වගේ කීයෙන් කීදෙනාද ඇත්ත දන්නෙ…???
    තවත් කී දෙනක් දැන දැනම ඒ තිත්ත ඇත්තම “නිවැරදියි”,”තව තවත් සිදුවිය යුතුයි” කියල තර්ක කරනවද…???
    මේ බව දැන දැනම නිකන් ඇස් කන් වහගෙන ඉන්න එක ඒ ඔක්කොටම වඩා මෝඩ වැඩක්….

    අපේ අරමුණ දේශපාලන පක්ෂයකට කඩේ යන එක නෙමෙයි….
    We are also trying to get Sri Lanka on the Right Track…
    It’s not a Short Term Objective

    තව තවත් අදහස් වලට ඉඩ………………….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි. මෙවන් වූ ඇත්ත වසංකරමින් තමන් ලඟවත් නැති බොරු දේශපේ‍්‍රමයක් මවා දක්වමින් කරගෙන යන මේ විකාරයට වැඩි ආයුෂ නැත. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රචාරක බැනර් මට්ටමට දමාගෙන, අනෙක් සියළු මාධ්‍යයන් දැවැන්ත ලෙස මර්ධනය කරමින් ඔවුන් කරන්නේ හොඳින් හෝ නරකින් රජකම ආරක්ෂා කරගැනීමේ කාර්‍යයයි. මෙවැනි බ්ලොග් අඩෙවි නොවන්නට අපගේ අදහස් දක්වන්නටවත් තැනක් නැත. එනිසා අප දන්නා මේ ඇත්ත ගමේ ජනතාවට ගෙනයන්නට නොහැකිවීම මේ මොහොතේ පිළියමක් නැති ප‍්‍රශ්ණයකි. එසේම එම බාධාව නිසා නිසි තේරීමක් ජනතාව විසින් කරනු ඇත්ද යන්නත් ප‍්‍රශ්ණාර්ථයක් මතු කරන තැනකට පත්ව තිබේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. සියලු දෙනාටම බොහොම ස්තුතියි…. ඇත්තටම මේ ලියමනට මම හිතුවටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබුණා…. ඔබේ අවංක කමෙන්ටුවලින් සදාහරිත අපි තව තවත් දිරිමත් වෙනවා…🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: