අයිසන්හවර් සහ අපේ කුහකකම…

Click here to get Sinhala Unicode.

පසුගිය සති කිහිපය පුරා රටේ දේශපාලන වටපිටාව උණුසුම් වනු අප සැමටම දැකගන්නට ලැබුණි. ඉදිරි දින කිහිපයේදීත් අපට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් නිසැකවම අපේක්ෂා කළ හැක. ජෙනරාල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වීමත් සමඟ රට පුරා ඔහුට පක්ෂවත්, ඔහුට විරුද්ධවත් විවිධ බලවේග නිර්මාණය වෙමින් පවතී. ආණ්ඩුවට පක්ෂ ඇතැමුන් සරත් ෆොන්සේකා දේශපාලනයට ඒම වැළැක්වීමට වෙර දරති, විපක්ෂයේ උදවිය සරත් ෆොන්සේකා සෙන්පතිඳුන්ගේ දේශපාලන ආගමනය අපේක්ෂා කරති. ඇතැමෙක් ඔහු දේශපාලනයට ඒම අත්‍යවශ්‍ය යැයි කියද්දී තවෙකෙක් ඔහුට දේශපාලනය අකැප බව තර්ක කරති.

ජෙනරාල් සරත් ෆොන්සේකා යනු අද්විතීය ශ්‍රී ලාංකිකයකු බව පක්ෂ පාට භේදයෙන් තොරව අප සැවොම පිළිගත යුතුය. එසේම හෙතෙම බුද්ධිමතකු බවද අමුතුවෙන් කිව යුතු නොවේ. වසර ගණනාවක් මුළුල්ලේ රටට වින කළ කොටි ත්‍රස්තවාදය නැති කිරීමේ හමුදා ක්‍රියාමාර්ගවලට නායකත්වය දුන්නේ එම බුද්ධිමත්කම නිසාමය. 59 හැවිරිදී ජෙනරාල් ෆොන්සේකා ළදරුවකු නොවේ. ඔහු උගුලකට හසු වන්නට යනවායැයි නන් දොඩවන ඇත්තන්  කරන්නේ තම දේශපාලන නායකත්වයට කඩේ යන අතරම ජෙනරාල් ෆොන්සේකාටත් අපහාස කිරීමය. එතුමාගේ අදහස් උදහස් මතවාද මෙන්ම දර්ශනය මත පදනම්ව තමන්ට කැමැති දේශපාලන ප්‍රවාහයක් තෝරා ගැනීමේ නිදහස ඔහුට ඇත. එය ඔහුගේ අයිතිවාසිකමකි. ඊට බාධා කිරීම, තර්ජනය කිරීම, භික්ෂුවකට නොහොබිනා ලෙස සංඝ ආඥා නිකුතු කරන බවට භික්ෂූන් නොව චීවරධාරී මහත්වරුන් මෙන් හැසිරෙමෙන් තර්ජනය කිරීම පිළිකුල් සහගතය. බුදුන් වහන්සේගෙ උතුම් ධර්මයේ පුද්ගල නිදහස මැනැවින් අගයයි, එහෙව් ශ්‍රේෂ්ඨ ධර්මයක හාමුදුරුවරුන් මෙවැනි ප්‍රකාශ කිරීම කම්පා එළවන සුළුය. වෙසෙසින්ම පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දිනවීම සඳහා කැපවී ක්‍රියා කළ උඩුවේ ධම්මාලෝක හිමියන් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටිමින් (කඩේ යනවා යන වචනය භාවිත නොකරමී) සරත් ෆොන්සේකාගේ දේශපාලන අදහස් උදහස් වලට වල කැපීම පුදුම එලවන සුළුය. මෙයින් පෙනී යන්නේ එක්සත් ජන්තා නිදහස් සන්ධානය සහ එහි පාර්ශවකරුවන් සියල්ලම පාහේ සරත් ෆොන්සේකා දේශපාලනයට ඒ යැයි බියෙන් ඇලලී ගොස් ඇති බවයි. සංඝ ආඥාවකින් බැරි නම් කුමන ක්‍රමයකින් හෝ ඔහු දේශපාලන කරළියට ඒම වැළැක්වීම රජයේත් එහි පාර්ශවකරුවන්ගේත් ඒකායන අරමුණයි. වෙසෙසින්ම දිනෙන් දින බංකොළොත් දේශපාලන පක්ෂයක් බවට පත්වෙමින් තිබෙන ජාතික නිදහස් පෙරමුණ වැන්නවුන් ඉදිරි මහ මැතිවරණයකදී තම අසුන් රැකගැනීම සඳහා එජනිස ජනපතිවරයෙක් අවශ්‍ය බව දනිමින් සරත් ෆොන්සේකා ආගමනය වැළැක්වීමට වෙර දරති. තවත් සමහරුන් පූජනීය කැලණි විහාරය අසල බුදුන් වන්දනාවට පැමිණි ජෙනරාල්වරයාට හූ කියමින් යකා නටන්නේ ඔහු රටට කළ මෙහෙය අමතක කරමින්දැයි සිතේ. තමන්ගේ පැත්තේ ඉද්දී මහ ඉහළින් සලකමින් සැබෑ දේශප්‍රේමියකු ලෙස පිලිගත්තද තමාට තරමක් හෝ විරුද්ධ වුවහොත් ඔහු දේශද්‍රෝහියකු ලෙස මවා පෑමට මේ රජය නින්දිත උත්සහයක නිරත වේ. රටට ආදරේ සියල්ලන්ම දේශප්‍රේමීන්ය. තමන්ගේ දේශපාලන පක්ෂය, මතවාදය, දර්ශනය කෙසේ වෙතත් රටට ආදරේ නම් ඔහු හෝ ඇය දේශප්‍රේමියෙකි. යමෙක් සමාජවාදයෙන් රටේ ආර්ථිකය ගොඩ නැගිය හැකියැයි අවංකව විශ්වාස කරනවා ඇත, තවෙකෙක් වෙළඳපොල ආර්ථික ක්‍රමයකින් රට ගොඩ ගත හැකියැයි අවංකව සිතනවා ඇත, කවුරු හරි උනත් කවුරු වැරදි උනත් දෙදෙනාම රටට ආදරය කරන දේශප්‍රේමීන් බව අමතක නොකළ යුතුය.

තවත් උදවිය ගෙනෙන තර්කයක් නම් යුද ක්‍රියාන්විතය පුරාවට ජෙනරාල් සරත් ෆොන්සේකාට දොස් නැගූ විපක්ෂය හා එකතු වීම වැරැදි සහගත බවයි. එසේ නම් එදා මහින්ද රාජපක්ෂ මහතාට සුනාමි හොරා යැයි කී අය, එක්සත් ජනතා නිදහස් සන්ධානයට රට ගොඩ නොගත හැකැයි කී අය, රනිල් විශිෂ්ඨ නායකයකු යැයි කියමින් එජාපයේ ගුණ වයපු අය, ෆෙඩරල් ක්‍රමයට හුරේ දැමූ අය, එල්ටීටීඊයේ සන්නද්ධ නායකයන්ව සිටි ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධ කළ අය අද එජනිස ආණ්ඩුවේ ඇමැතිකම් දැරීම, ජනාධිපතිතුමා තරම් ශ්‍රේෂ්ඨ නායකයකු නැතැයි කීම කෙතරම් යුක්ති සහගතද? එජාපයට සහ රනිල්ට එලව එලවා බැණීම කෙතරම් යුක්ති සහගතද? එදා රනිල්ටත් එජාපයටත් මඩ ගසමින් මහින්දව ජනාධිපති පුටුවේ වාඩි කරවූ උදවිය අද එජාපය දිනවීමට කටයුතු කිරීම කොපමණ යුක්ති සහගතද? මේවා සාමාන්‍ය සමාජ සම්මතයන් අනුව ගත් කළ පිළිකුල් සහගත වුවද මේ දේශපාලනයේ තවත් පැතිකඩකි. ඒ එක් එක් පුද්ගලයාගේ හැටිය. දේශපාලනයේදී සදාකාලික මිතුරනුත් හතුරනුත් නැතැයි යන්න ප්‍රසිද්ධ කියමනකි. වරෙක ජවිපෙ එක්ක ශ්‍රිලනිපය එකතු වීමට දැඩි ලෙස එරෙහි වූ මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවට ආයේ ජවිපෙ කරපිටිනි, වරෙක ජවිපෙට නොරිස්සූ මහින්දව ජනපති කළේ ඔවුන්ය. ඉතින් කන්න ඕනෑ වෙනකොට කබරගොයා තලගොයා කරගැනීම දුක්ඛදායකය. කොයි කවුරුන් මොනවා කීවද පක්ෂ භේදයෙන් තොරව ජෙනරාල් සරත් ෆොන්සේකාගේ වීර්යය සැවොම අගය කළෝය. ඒ අතර එක්සත් ජාතික පාක්ෂිකයෝද විය. යුද ජයග්‍රහණයේදී සතුටු වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව කරුවන් පමණක්ද? නැත, එක්සත් ජාතික පාක්ෂිකයන්ද යුද ජයේදී සතුටු විය, පුලුවන් හැටියට යුද ජයට අතහිත දුන්හ. ඒ යථාර්තය පිළිගත යුතුය. මෙම බ්ලොග් අඩවිය හරහාද ඔවුන්ගේ එම සුරුවිරුකම් අගය කළේ සැබෑ ශ්‍රී ලාංකේය හැඟීමෙනි.  මෙරට තුල සරත් ෆොන්සේකාට ආදරය කරන කෘතවේදී එක්සත් ජාතික පාක්ෂිකයන්, ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්, ස්වාධීන පිරිස් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද ඇත. ඒ අතර ඔහු රටේ නායකත්වයට පිවිසෙනු දැකීමට කැමැත්තෝද අනන්තවත් ඇත. එහෙයින් එක්කෙනෙක් දෙන්නෙක් කළ දේශපාලනික ප්‍රකාශ අලලා ජෙනරාල් ෆොන්සේකා දේශපාලනයට නොපැමිණිය යුතු යැයි කීම කුහක ප්‍රකාශයකි, එය මහින්ද රාජපක්ෂ ආධාරකරුවන් ජනාධිපතිතුමාගේ අනාගතය ගැන සිතා කරන ප්‍රකාශයක් විනා අන් කිසිවක්වත් නොවේ.

අයිසන්හවර්

මෙය ලෝකයේ මීට පෙර සිදු නොවූ සිදුවීමක්ද නොවේ. ලෝක ඉතිහාසයේ විශාලතම සංග්‍රාමය ලෙස සැලකෙන්නේ දෙවැනි ලෝක යුද්ධයයි. එහිදී ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදාවලට නායකත්වය දුන්නේ ජෙනරාල් ඩ්වයිට් ඩී. අයිසන්හවර් මහතායි. සාර්ථකව මිත්‍ර පාක්ෂික හමුදා මෙහෙයවා ප්‍රංශය සහ ජර්මනිය අත්පත් කර ගනිමින් හිට්ලර්ගේ කෲර ග්‍රහණයෙන් ලෝකය මුදවා ගැනීමට මුල් වූයේ මෙම ඇමෙරිකානු යුද සෙනෙවියාය. දෙවැනි ලෝක සංග්‍රාමය පුරාවටම ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩු කළේ ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපතිවරුන්ය. ඒ ෆ්‍රැන්ක්ලින් ඩී. රූසවෙල්ට් සහ හැරී ටෲමන් යන ජනාධිපතිවරු දෙදෙනාය. නමුත් ජෙනරාල් ඩ්වයිට් ඩී. අයිසන්හවර් මහතා දේශපාලන පොර පිටියට පිවිසෙන විට තෝරා ගත්තේ රිපබ්ලිකන් පක්ෂයයි. ඔහුගේ මතවාදයන් හා දර්ශනයන්ට එකඟ වූයේ රිපබ්ලිකන් පක්ෂය වූ නියාවෙන් එම පක්ෂය නියෝජනය කරමින් 1952 ඇමරිකානු ජනාධිපතිවරණයට හෙතෙම තරඟ කරමින් ඩිමොක්‍රැටික් පක්ෂය පරදවමින් ජය ලැබූ අතර අඛණ්ඩව දුර කාල දෙකක් හෙතෙම ඇමරිකාවේ ජනාධිපතිධුරය ඉසිලීය.

කොබ්බෑකඩුව සෙන්පතිඳුන්

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ අභීතව රට වෙනුවෙන් සටන් කරමින් කොටින්ට ප්‍රබල ප්‍රහාර එල්ල කළ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 1994 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වීමට අදහස් කළ බව තතු දන්නෝ පවසති. එලෙසම පොදුජන එක්සත් පෙරමුණු පාලන සමයේ යුදපිටියේ සුරුවිරුකම් පෑ අද්විතීය සෙන්පතියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා දේශපාලනයට තෝරා ගත්තේ එක්සත් ජාතික පක්ෂය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ. එක් එක් පුද්ගලයාගේ දර්ශනය, මතවාදය වෙනස්ය, යමෙක් ආණ්ඩුවේ සේවකයකු වූ පමණටම ආණ්ඩුවේ පාක්ෂිකයකු නොවිය යුතුය. ඉහත කී සංග්‍රාමික සෙනෙවියන් සියල්ලම දේශපාලනික අන්තයෙන් තමන් සේවය කළ ආණ්ඩුව කැරවූ දේශපාලන පක්ෂයන්ට එරෙහි වුවත් රට ජාතිය වෙනුවෙන් කරන්නට තිබූ යුතුකම නොපැකිල ඉටු කළහ. ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට ඒම හෝ නො ඒම ඔහුගේ තීරණයකි, එය දෙස බලා ඒ ගැන චෝදනා කරන්නට දොස් කියන්නට කවරෙකුටවත් අයිතියක් නැත.

ත්‍රස්තවාදය දුරලීමේ සටනට ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවන් මෙන්ම ජනාධිපතිතුමාද සක්‍රීයව දායක වූ බව නොරහසකි. නමුත් අපේ අදහස නම් අද රට මුහුණපාන ආර්ථික යුද්ධයෙන් ශ්‍රී ලංකාව ජයටැඹ කරා මෙහෙයවිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලට පමණක් බවයි. සරත් ෆොන්සේකා එජාපයෙන් දේශපාලනයට පිවිසීමට අදහස් කරයි නම් ඊට හේතුව ඉහත කරුණ බව මගේ මතයයි. එයට යමෙකු අකුල් හෙලීම වරදක් නොවන්නේද? දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයේ අගමැතිධුරය හෙබවූ ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ලෝකයම හිට්ලර්ගේ අණසකින් මුදා ගැනීමට දායක විය. එහෙත් 1945 බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී තම රටට යුද ජයග්‍රහණයක් ලබා දී රට බේරාගත් වින්ස්ටන් චර්චිල් බලයෙන් පහ කරමින් කම්කරු පක්ෂයේ ක්ලෙමන්ට් ඇට්ලී අග්‍රාමාත්‍යධුරයට පත් කළේ වින්ස්ටන් චර්චිල් ගැන වෛරයකින් හෝ දේශද්‍රෝහීන් ලෙස නොව රටේ ආර්ථිකයත් අනාගතයත් සැලකිල්ලට ගනිමිනි. අද එජනිස ආණ්ඩුව අධිකව බදු බර පටවමින් රට ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට ඇද ගෙන යමින් පවතී. උතුරේ ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය බලතල ලබා දී, නිවාස සදා ඔවුන්ව යළි පදිංචි කිරීම වේගවත් නොකරමින් කල් මරමින් තවත් ත්‍රස්තවාදී කණ්ඩායමකට අත වනන්නේ ද්‍රවිඩ ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පෝෂණය වන්නටය. ආණ්ඩුව මොනවා කීවද උතුරේ ද්‍රවිඩ ජනතාව තුල ආණ්ඩුව ගැන තරහක් සහ බයක් ඇති බව වරෙක මට මුණගැසුනු යාපනය විශ්වවිද්‍යාල සිසුන් කීප දෙනෙකු සමඟ කථාබහ කරද්දී වැටහිණි. මේ ප්‍රශ්නවලට ඔඩුදිවීමට ඉඩ නොදී නොපමාව විසඳුම් සෙවීම ශ්‍රී ලාංකික අප සැමගේම වගකීමය.

ඩි ගෝල්
ඩි ගෝල්

සමහරුන් තුල පවතින බියක් නම් සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් හමුදාමය පාලනයකට රට අවතීර්ණ වන බවයි. ජෙනරාල් ෆොන්සේකාට එවන් අවශ්‍යතාවක් තිබුණි නම් එදා හමුදාපති හැටියට ප්‍රභාකරන් මරු තුරුලට යවා කොටින් වැනසූ විට අරලිය ගහ මන්දිරය වටලා හමුදා බලය ස්ථාපිත කරන්නට හැකියාව තිබුණි. නමුත් එතුමා එසේ නොකළේ එවන් අදහසක් ඔහු තුල නොමැති නිසාවෙනි. ඔහු යම් හෙයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඒ ඉදිරිපත් වන්නේ සාමාන්‍ය සිවිල් වැසියකු ලෙස මිස හමුදා නිලධාරියකු ලෙස නොවේ. ඔහු ජනාධිපති කළ හැක්කේ ජනබලයට මිස හමුදා බලයට නොවේ. ලෝක ඉතිහාසයේ අනේකවත් යුද සෙන්පතියන් තම හමුදා ඇඳුමට සමු දී එකවරම ජනතා ඡන්දයෙන් රාජ්‍ය නායකත්වයට පත්වී තිබේ. ඇමෙරිකානු ඉතිහාසයෙන් අපට එවැනි ජනාධිපතිවරු 3ක් හමු වේ, ඒ සැචැරි ටේලර්, උලිසස් එස්. ග්‍රාන්ට් සහ ඩ්වයිට් ඩී. අයිසන්හවර් යන සෙන්පතීන්ය. තවද ප්‍රංශයේ ෂාල් ඩි ගෝල් සෙන්පතියන්, දකුණු කොරියාවේ පාක් චුන්-හී සෙන්පතියන් මෙම කුලකට කදිම උදාහරණ වේ. මේ එකඳු නායකයකු යටතේවත් රටේ ප්‍රජාතාන්ත්‍රිකභාවය හමුදාව විසින් කඩ නොකරනු ලැබීය. එම රටවල් හමුදා පාලනයකට කිසි විටෙක එම නායකත්වයන් යටතේ නොගිය අතර එවැනි හාහූවක්වත් නොපැවැත්තේය.

රජයටත් එහි පාර්ශවකරුවන්ටත් ජෙනරාල් සරත් ෆොන්සේකාට මඩ ගැසීමට දේශද්‍රෝහියකු ලෙස ලේබල් ගැසීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැත. එසේ කිරීම අතිශය වැරදිය. ඔහුගෙන් යුද්ධය නිමකරන්නට වැඩ ගෙන ඔහුට දේශද්‍රෝහියකු යැයි හංවඩු ගැසීම හාස්‍යෝත්පාදකය. එසේම විශ්‍රාම ගැනීමෙන් පසුව පූර්ණ හමුදා ආරක්ෂාව ලබා දීම ආණ්ඩුවේ වගකීමකි, යුතුකමකි. රටට මැණිකක් වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරාට සිදු වූ දෙය සරත් ෆොන්සේකාට සිදු වීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදීම රජයේ මෙන්ම පොදුජන අපගේත් වගකීමකි. වෙසෙසින්ම එකිනෙකාට දේශද්‍රෝහීන් යැයි චෝදනා එල්ල කරගනිමින් තමන් පමණක් දේශප්‍රේමීන් යැයි හුවා දක්වමින් අද රටේ කෙරෙන්නා වූ පිළිකුල් සහගත දේශපාලනයට තිත තබා ප්‍රතිපත්තිමය දේශපාලනයකට මුල පිරිය යුතුය. අද සිදුව ඇත්තේ “දේශප්‍රේමීත්වය” ඡන්ද දිනන මෙවලමක් බවට අවාසනාවන්ත ලෙස පත්වී තිබීමය.

තවමත් ජෙනරාල්වරයා පොදු අපේක්ෂකයා වේද, නැද්ද යන්න ස්ථිරව කිව නොහැකිය. ඔහු දේශපාලනයට ඒද ,නැද්ද කියාවත් අප ස්ථිරව නොදනිමු. පළමුව තියන්නේ ජනාධිපතිවරණයක්ද, මහ මැතිවරණයක්ද යන්නත් තවම අප නොදනිමු. හෙට (15) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ සමුළුවේදී ඒ ගැන තීන්දුවක් දෙන බව කලින් කීවද අලුතෙන් ලැබෙන ආරංචි අනුව ශ්‍රීලනිපය තීන්දුවක් ගැනීමට බෙහෙවින්ම බිය වී ඇත්තේ සරත් ෆොන්සේකා සාධකය නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ඉහත ප්‍රශ්නවලට පිළිතුරු කුමක් වුවත් මම සහසුද්දයෙන්ම දන්නා කරුණු කිහිපයකි. එකක් නම් මොන තීරණය ගත්තත් ජෙනරාල් සරත් ෆොන්සේක සැබෑ දේශප්‍රේමියකු, ජාතික වීරයකු බවයි. දෙවැන්න ඉදිරි මාස කිහිපයේදී දේශපාලනය තව තවත් උණුසුම් වන බවත්ය. මේ තත්වයන් හමුවේ අප අනාගතය දෙස බලා හිඳින්නේ රට සංවර්ධනය කරා මෙහෙයවීමට දියසෙන් කුමරකු වඩින තුරුය. ඒ දියසෙන් කුමරා ජෙනරාල් සරත් ෆොන්සේකා වේවායි බොහෝ දෙනාගෙ ප්‍රාර්ථනාවයි..!!!

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 ඉල්

H Niles Perera©, November 2009

Advertisements

5 responses to this post.

  1. Posted by mahasen bandara on නොවැම්බර් 15, 2009 at 02:02

    What you are telling is true. අයිසන්හවර් wait for 7 years after winning the war. I think Sarath Fonseka should wait for another 6 years to compete for presidency. He has his own choice. But he is dividing patriot vote base.

    JVP and UNP are doing lot of propaganda to promote his political carrier. They were the once who did not only support but also oppose SF during the war. These people are doing this to save their heads. They don’t have anyone to compete from their parties. If they had someone will they support SF. Sarath Fonseka can not run the a country by his own. He can do that only by using military power. Otherwise he has to work with the people who take him to power. According to news it is Ranil, Mangala, ManoGaneshan, etc. I don’t have any good opinion about these guys.

    Resettling should be done as soon as possible. But have to be cautious as well. Many western government and tamil diaspora want Rajapaksha government to go home because he didn’t listen to them during the war and don’t listen to them now. It is quite sensitive issue. What I don’t like about SF’s move is that it is toooo early. He should have waited little more. We have just finished a war. It is less than even one year.

    Will wait and see what SF will do in future.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • That’s your view, and I respect it… But I don’t believe SF will need any military power to control the country if he wins… A democratic win yields a people’s power and probably if the General Elections follow a UNF govt will come into power… And as many know there are more educated people in UNP than UPFA, and from the Provincial Council elections we can definitely expect some fresh and young MPs from UNP next year. In that case I don’t think he’ll need any Army involvement at all because the people and the skilled individuals would be with him.

      And as I said before the patriots are not only those who vote for Mahinda & UPFA… there are patriots voting for UNP & JVP as well.. So I disagree with your comment on the division of the patriotic voter base… but the independent voter base would be divided by his incursion.

      I guess the people can decide whether he was right to get into politics, if he decides to enter politics. So let’s wait and see.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. though UNP get in to power i am sure that SF(if he was president) never let people like Ravi Karunanayaka to have a first class ministry. And his non party political approach will make good discipline in the cabinet to fill with less corruption.(we all know that when minister had a deal he will gain a commission from that company). Hence UNF government with SF as president will be the greatest approach to our motherland in case of Development.

    If SF wait another 8 years for the presidency he know that there will not be a country to be developed because as a high internal officer he know how much of corruption had been done under Mahinda Regime.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: