පහළොස්වසරකට පෙර තොටළඟ අඳුරු නිමේෂයක නික්මුණ සොඳුරු මිනිස්සු

Click here to get Sinhala Unicode.

එදා ගාමිණී දිසානායක ශ්‍රීමතාණන් ඇතුළු ප්‍රමුඛ පෙළේ එජාප නායකයන් රැසකගේ ජීවිත බිලිගත් තොටළඟ බෝම්බ ප්‍රහාරයෙන් එක් උගත් බුද්ධිමත් දේශපාලනඥයකු දිවි ගලවා ගත්තේය. ආර්ථික විද්‍යාඥයකු වන ඔහු කලක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස කටයුතු කළේය. 1994 සිට 2004 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල අසුනින් පාර්ලිමේන්තුව නියෝජනය කළ හෙතෙම පසුගිය එජාප රජයේ අධ්‍යාපන, සංස්කෘතික හා මානව සම්පත් සංවර්ධන ඇමැතිතුමාය, වත්මන කොලොන්නාව ආසනයේ එජාප ප්‍රධාන සංවිධායකධුරය හොබවන ඔහු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමාය. මේ 2009 ඔක්තෝබර් 23 වන සිකුරාදා ලංකාදීප පුවත්පතට එම බිහිසුණු රාත්‍රියේ ස්වකේය අත්දැකීම ගැන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා ලියූ ලිපියයි.

================================================================================================

1994 ඔක්තෝබර් 23 දින මධ්‍යම රාත්‍රිය ඉක්මවෙමින් තිබියදී උතුරු කොළඹ හා කොළොන්නාව ආසන වෙන්කරන නාගලගම් වීදියේ කෙළවරදී එනම් තොටළඟදී එවකට පැවතෙමින් තිබූ ජනාධිපති මැතිවරණය සඳහා එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටි ගාමිණී දිසානායක මහතා ඇතුලු එජාප ප්‍රබල නයකයන් පිරිසක් එල්ටීටීඊ නායකයා වූ ප්‍රභාකරන්ගේ අණ පරිදි කෘර ලෙසත්, තිරශ්චීන ලෙසත් ඝාතනය වී අදට වසර පහළොවක් සම්පූර්ණ වෙයි.

එසේ ඝාතනයට ලක්වූ ජාතික දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ ගාමිණී දිසානායක, වීරසිංහ මල්ලිමාරච්චි, ජී.එම්.ප්‍රේමචන්ද්‍ර, ගාමිණී විජේසේකර, ඔසී අභයගුණසේකර, ක්‍රිස්ටි පෙරේරා, ඔහුගේ දියණිය ශ්‍රියානි ගුණසේකර සහ නාගරික මන්ත්‍රීවරුන් වන ගුණපාල සිල්වා, ශ්‍රී ලාල් පෙරේරා, විමලරත්න ප්‍රනාන්දු ඇතුලු 60ට අධික වූ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිස ආදරයෙන් සමරන මෙම අවස්ථාවේදී තිබෙන එක් සැනසිල්ලක් වන්නේ මෙයට මාස 5කට පෙර එම මෘග ඝාතකයාද ඝාතනයට ලක් වී තිබීමයි. යම් කිසිවෙක් ඝාතනයට ලක්වීම සතුටට කාරණයක් නොවූවද ප්‍රභාකරන්ගේ අණින් ඝාතනයට ලක් වූ මෙන්ම අසරණයන් බවට පත් වූ දස දහස් ගණන් වූ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකයන්ගේ අවාසනාවන්ත ඉරණම ගැන කල්පනාකරන විට ප්‍රභාකරන් ඝාතනයට ලක්වීම මුලුමහත් රටටත් ජනතාවටත් මහත් ආශිර්වාදයක් ගෙනදුන් ප්‍රවෘත්තියක් විය. ප්‍රභාකරන්ගේ අණින් ඝාතනය වූ රණසිංහ ප්‍රේමදාස ලංකාවේ දුප්පතුන් ලක්ෂ ගණනකට හිසට සෙවණක් මෙන්ම සිතට සැනසුමක් ලබාදුන් ප්‍රබල ජනනායකයෙකි. ඔහුට දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය දරන්නට ඉඩ ලැබුනා නම් මෙරට නැතිබැරි අයගේ නිවාස ප්‍රශ්නයටත්, දිළිඳුකම පිටුදැකීමේ ප්‍රශ්නයටත් මේ වනවිට විසඳුමක් ලැබී අවසන් වන්නට ඉඩ තිබිණි.

ප්‍රභාකරන්ගේ අණින් ඝාතනයට ලක්වූ රජීව් ගාන්ධි මහා භාරතයට පමණක් නොව දකුණු ආසියාවටම නායකත්වයක් දෙන්න සිටි උගත්, බුද්ධිමත්, ප්‍රබල නායකයෙකි. තොටළඟ මහා ඝාතනයට පෙර ප්‍රභාකරන්ගේ අණින් ඝාතනය වූ ලලිත් ඇතුලත්මුදලි, රංජන් විජේරත්න වැනි නායකයන්ගේ අභාවය රටටත් එක්සත් ජාතික පක්ෂයටත් අදටත් පිරිමසන්නට නොහැකි වූ පාඩුවකි. එයට අමතරව දෝරේඅප්පා, අමිර්තලිංගම්, ධර්මලිංගම්, නීලන් තිරුචෙල්වම් වැනි ද්‍රවිඩ නායකයින්ගේ ඝාතනයන් ද අහිංසක ද්‍රවිඩ ජනතාව තව තවත් අසරණ කරනු ලැබීය.

මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ 1994 ඔක්තෝබර් 23 වන දින එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයෙන් අපට සදහටම අහිමිවුන ගාමිණී දිසානායක, වීරසිංහ මල්ලිමාරච්චි, ජී.එම්.ප්‍රේමචන්ද්‍ර, ගාමිණී විජේසේකර, ඔසී අභයගුණසේකර, ක්‍රිස්ටි පෙරේරා වැනි කෘතහස්ත දේශපාලනඥයන් ඇතුලු පිරිස සිහිපත් කරලීමයි. එම අවාසනාවන්ත වේදිකාවේ ඉදිරිපෙළ සිටි අයගෙන් දිවි ගැලවුනේ මා සහ තවත් තිදෙනෙක් පමණි. ඉන් එක් අයෙක් වන්නේ මීට ටික කලකට පෙර අප අතරින් වෙන් වූ ජී.ඇල්මන් පීරිස් මහතායි. අනෙක් කෙනාවන්නේ මේ වනවිට එජාපය හැරගොස් සිටින දොස්තර රාජිත සේනාරත්නයි. අනෙක් කෙනා භික්ෂූන් වහන්සේ නමකි. රාජිතත්, ඇල්මනුත් වේදිකාවේ දකුණු කෙළවරේ සිටි අතර මා සිටියේ අභාවයට පත් වීරසිංහ මල්ලිමාරච්චි සහ දොස්තර ගාමිණී විජේසේකර අතරයි. වෙනත් විදියකින් කියනවා නම් මාගේ වම් පැත්තේ අසුන්ගෙන සිටි වීරසිංහ මල්ලිමාරච්චිත්, දකුණු පස අසුන්ගෙන සිටි ගාමිණී විජේසේකරත්, මාගේ අසුනට පිටුපසින් අසුන්ගෙන සිටි නාගරික මන්ත්‍රී ශ්‍රී ලාල් පෙරේරාත් ඝාතනයට ලක්වෙද්දී මාගේ ජීවිතය ගැලවුණේ සැබැවින්ම ප්‍රාතිහාර්යයකිනි. සමහරවිට සිදුවූ දේ නිවැරදිව වාර්තාකරන්නට මාගේ දිවි ගැලවුණා වෙන්නට පුලුවන. එහෙමත් නැත්නම් ඇදහිය නොහැකි වාසනාවාකටයි.

මාගේ අසුනට වම්පස අසුනේ සිටි වීරසිංහ මල්ලිමාරච්චිත්, ඔහුගේ අසුනට වම්පස අසුනේ වාඩි වී සිටි ගාමිණී දිසානායකත්, ගාමිණීට වම්පස අසුනේ සිටි ක්‍රිස්ටි පෙරේරාටත් (එවකට උතුරු කොළඹ එජාප ප්‍රධාන සංවිධායක ඔහුයි), ක්‍රිස්ටිට වම්පසින් අසුන්ගෙන සිටි ඔසී අභයගුණසේකරත්, ඔසීට වම්පසින් සිටි මාවතගම ප්‍රේමචන්ද්‍රත්, ප්‍රේමචන්ද්‍රට වම්පසින් අසුන්ගෙන සිටි නාගරික මන්ත්‍රී ගුණපාල සිල්වාත් ප්‍රභාකරන්ගේ ගොදුරු බවට පත්විය. දෙවන පේළියේ ක්‍රිස්ටිගේ දියණිය ශ්‍රියානිත්, ශ්‍රී ලාල් පෙරේරාත් මා මෙන්ම ජීවිතය වාසනාවකට බේරාගත් සාහුල් හමීඩ් පළාත් සභා මන්ත්‍රීතුමාත් අසුන්ගෙන සිටියහ. මෙම මාරක බෝම්බය ක්‍රියාත්මක වනවිට වේදිකාවේ සිටි සියලු දෙනා තම තමන්ගේ අසුන්වලින් නැගිට “හෙළජාතික අභිමානේ” ගීයට ගායනයෙන් සහභාගීවෙමින් අත්පොලසන් දෙමින් සිටියහ. ප්‍රභාකරන්ගේ කෘර ඝාතකයා ක්‍රියාත්මක වූයේ ඒ නිමේෂයේදීය.

මෙයට පෙරත් කලින් සඳහන් කළ අන්දමට ප්‍රභාකරන්ගේ අණින් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් රැසක් මෙන්ම දුම්රියෙන්, බස්රියෙන්, පාගමනින් ගමන් කරමින් සිටි අහිංසක දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් ඝාතනයට ලක්ව සිටියහ. එහෙත් අතිශය ප්‍රබල දේශපාලන නායකයන් කණ්ඩායමක්ම එකවර ඝාතනය කරන්නට ප්‍රභාකරන්ට පුළුවන් වූයේ තොටළඟදීය. එම කෲර ඝාතනයන්ට ඔහුත්, ඔහුගේ පවුලේ සාමාජිකයනුත්, ඔහුගේ කිට්ටුම සගයනුත් මේ වනවිට වන්දි ගෙවා ඇතත් තොටළඟදී ඝාතනයට ලක්වූ නායකයන් මෙන්ම ඊට පෙරත් පසුවත් රටට අහිමිවූ අනෙකුත් නායකයන් , භික්ෂූන් වහන්සේලා, වෘත්තීයවේදීන්, ආරක්ෂක අංශ සාමාජිකයන්, ගොවියන්, ව්‍යාපාරිකයන්, රජයේ සේවකයින්, තරුණයන් හා දරුවන්ගේ අභාවයෙන් රටට සිදුවූ පාඩුව කිසිදිනෙක පිරිමැසිය නොහැකිවනු ඇත. පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට අහිමි වූ නායකයන්ගේ සංඛ්‍යාව දෙස බලනවිට එජාපයට සිදුවූ පාඩුව සියල්ලටම වඩා වැඩිය. එවන් පසුබිමක් තුළ එජාපයට කොටි ලේබලයක් ඇල්ලීමට ප්‍රයත්න දරන්නන් සිදුකරන්නේ ජාතික අප්‍රාධයක් මෙන්ම සැබෑ සමකාලීන ඉතිහාසය විකෘතිකිරීමක් නොවන්නේද?

ජාතියේ දේශපාලන ගමන්මග සැබවින්ම වෙනතකට හැරවූ සංධිස්ථානයක් වූ තොටළඟ වේදිකාවට මා ගොඩවූයේ ඒ තීරණාත්මක දිනයේ රාත්‍රී 9ට පමණයි. වේදිකාවට මා ගොඩවන විට වේදිකාවේ සිටි වීරසිංහ මල්ලිමාරච්චි ඔහුගේ දකුණු පසින් වූ අසුනේ අසුන්ගන්නා ලෙස මට ඇරයුම් කරනු ලැබීය. රාත්‍රී 9.15ට පමණ ගාමිණී දිසානායක මහතා ඔල්වරසන් හඬ මැද ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ වේදිකාවට ගොඩවී වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ හා ක්‍රිස්ටි පෙරේරා මහතාගේ අසුන් අතර වෙන්කර තිබූ මූලාසනයේ අසුන්ගත්හ. ගාමිණී විජේසේකර මහතා සභාව අමතමින් සිටි අතර එයට පසු පිළිවෙලින් ඔසී අභයගුණසේකර, ගාමිණී සමඟම වේදිකාවට පැමිණි මාවතගම ප්‍රේමචන්ද්‍ර හා ක්‍රිස්ටි පෙරේරා සභාව ඇමතීය.

J4100120ක්‍රිස්ටි පෙරේරා තම කථාවේදී අවධාරණයෙන් සඳහන් කළ දෙයක් වන්නේ උතුරු කොළඹ ආසනයේ කෙළවරක වූ තොටළඟ රැස්වීමක් සංවිධානය කරන්නට තමන්ට කිසිසේත් අවශ්‍ය නොවූ බවත්, රැස්වීම පැවැත්වීම සඳහා තමාගේ ප්‍රථම තේරීම වූයේ කොටහේන මංසන්ධිය බවත්, එම ස්ථානය සඳහා පොලීසිය අවසර නොදුන් බවයි. එයට පසු තමන්ගේ දෙවන තේරීම වූයේ සෙයින්ස්ථාන් සිනමාශාලාව අසල භූමිභාගය බවත්, එම ස්ථානය සඳහා ද පොලීසිය අවසර නොදුන් බවයි. එහෙයින් අවසානයේදී උතුරු කොළඹ ආසනයේ කෙළවරක-මුල්ලක මෙම රැස්වීම පවත්වන්නට තමන්ට සිදුවූ බවයි. මෙසේ අනාරක්ෂිත කෙළවරකට රැස්වීම තල්ලුකිරලීම අහම්බයෙන් සිදුවූ සිදුවීමක්ද, එසේ නැත්නම් හිතාමතා සැලසුම් සහගතව සිදුවූවක් ද යන්න අදටත් අපට ප්‍රෙහෙලිකාවකි. කෙසේ හෝ පැය තුනක් පමණ වේදිකාවේ ඉදිරිපෙල අසුනක සිටි කෙනෙක් වශයෙන් යුනිෆෝම් ඇඳගත් ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් රැස්වීම් භූමියේ නොසිටි බවත්, රැස්වීම් භූමියට ඇතුළත් වන කිසිඳු කෙනෙක් ආරක්ෂක විමසිල්ලකට ලක්නොකළ බවත් සඳහන් කරනු කැමැත්තෙමි. මාවතගම ප්‍රේමචන්ද්‍ර තම කථාවේදී සඳහන් කළ විශේෂ කාරණයක් වූයේ මෙම රැස්වීම ඇමතීම සඳහා පැමිණීමට තමාගේ කිසිඳු අපේක්ෂාවක් නොතිබූ බවත්, එයට ස්වල්ප වේලාවකට පෙර බිංගිරිය රැස්වීම අවසානයේදී ගාමිණී දිසානායක මහතා කළ ඉල්ලීම පිටුදැකිය නොහැකි හෙයින් ඔහුත් සමඟ හෙලිකොප්ටර් යානයෙන් මෙම රැස්වීමට සහභාගීවීම සඳහා පැමිණි බවයි. දේශපාලනයේ ඉතා කුලුපගව සිටි සදාකාලික මිතුරන් දෙදෙනෙක් අවසන් ගමනක් එක්ව යන්නට එසේ බිංගිරියේ සිට තොටළඟට දෛවය විසින් කැඳවාගෙන එනු ලැබීය.

එම රැස්වීම අමතන ලෙස ක්‍රිස්ටි පෙරේරාත්, ගාමිණී දිසානයකත් මට දිගින් දිගටම ඇරයුම් කලත් මාගේ ස්ථාවරය වූයේ ඒ වනවිටත් රෑබෝවී තිබූ රැස්වීම ප්‍රධාන කථිකයා වූ ගාමිණී දිසානායකත්, ඒ වනවිට කොළඹ පමණක් නොව ලංකාවේම එජාප දේශපාලන වේදිකාවේ අතිශය ජනප්‍රිය කථිකයන් වූ ප්‍රේමචන්ද්‍රගේ හා ඔසීගේ කතා ඉක්මනින් පවත්වා අවසන් කළයුතු බවයි. අවසානයේදී රාත්‍රී 11.45ට පමණ තම කථාව ආරම්භ කළ ගාමිණී දිසානායක මහතා මධ්‍යම රාත්‍රිය ඉක්ම යනතෙක්ම කතා කළහ. ජනාධිපතිවරණයේ විජයග්‍රහණය තමන් සතු බවට දැඩි ආත්මවිශ්වාසයක් ඇතුව ඔහු ජනතාව අමතනු ලැබීය.

ඔක්තෝබර් 23 වන දින වනවිට නොවැම්බර් මස 9 වන දිනදී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති මැතිවරණ සටන දිනෙන් දින උණුසුම් වෙමින් පැවති අතර මැතිවරණ ව්‍යාපාරයේ දෙවන – තෙවන සතිවන විට ගාමිණී දිසානායක මහතාට ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්නට පුලුවන් බවට විශ්වාසයක් පාක්ෂිකයන් තුළ ඇතිවිය. එයට හේතුව වූයේ 1994 අගෝස්තු 16 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ සමස්ත ඡන්ද 3,887,823ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය වූ 3,498,370ට වඩා වැඩි ඡන්ද 389,453 කින් ඉදිරියෙන් හා නුවර එළිය ස්වාධීන ද්‍රවිඩ කණ්ඩායම් ඒකාබද්ධව ගත් ඡන්ද 313,716ක් වීමයි. එයට පෙර පැවති ජනාධිපතිවරණ දෙකේදීම (1982 සහ 1988) ද්‍රවිඩ හා මුස්ලිම් ඡන්දවලින් අති බහුතරය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී එල්ටීටීඊ ත්‍රස්තාවාදීන් උතුරු පළාතේ ඡන්ද කඩාකප්පල් කළ අතර ඒ අනුව උතුරු පළාතේ ඡන්ද මධ්‍යස්ථාන 465ක ඡන්දය අවලංගු කිරීමට හෙවත් ශුන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවිය. පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබුනේ සියයට 2.32 පමණි. පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට ලැබුණු ඡන්ද ප්‍රමාණයත් ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂවලට ලැබුණ ඡන්ද ප්‍රමාණයත් ඒකාබද්ධව ගණන් බැලූවිට පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට වඩා පොදුජන එක්සත් පෙරමුණ ඉදිරියෙන් සිටියේ වැඩි ඡන්ද හැත්තැපන්දහසකින් පමණි. ගාමිණී දිසානායකගේ පෞරුෂත්වය, අත්දැකීම් සහිත පරිණතභාවය සහ කඩිනම් මහවැලි ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කිරලීම තුළින් ලබාගත් ධනාත්මක ප්‍රතිරූපය එම පොදුජන එක්සත් පෙරමුණේ සුලු වැඩි ඡන්ද ප්‍රමාණය අභිබවා ගොස් ගාමිණී දිසානායක ජයග්‍රහණය කරනු ඇති බවට දැඩි විශ්වාසයක් රට තුළ වර්ධනය වෙමින් තිබිණි.

ගාමිණී දිසානායක ජයග්‍රහණය කරනු ඇතිය යන ආරංචිය ගාමිණීව ඝාතනය කරලීම සඳහා අවශ්‍ය තීරණය කරා ප්‍රභාකරන් තල්ලු කරනු ලැබීය. ගාමිණී දිසානායක ඉන්දු-ලංකා ගිවිසුම ක්‍රියාත්මක කරලීමට දුන් සජීවී සහයෝගයත්, ඒ වනවිට ඉන්දීයානු දේශපාලන බලවතුන් සමඟ ඔහු ඇතිකරගෙන තිබූ මිත්‍රශීලී සහයෝගීතාවයත් මත තමන්ගේ ඊළාම් සිහිනය ගාමිණී දිසානායක ජයග්‍රහණය සමග සැබෑ නොවන බව නිගමනය කළ ප්‍රභාකරන් ගාමිණී දිසානායක ජනාධිපතිවරයාවීම වලකාලීම සඳහා ඇති හොඳම විකල්පය ගාමිණීව ඝාතනය කිරීම වන හෙයින් ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය. රටටත් එක්සත් ජාතික පක්ෂයටත් පිරිමැසිය නොහැකි පාඩුවක් අත්කරදෙමින් ගාමිණීත් තවත් ප්‍රබල එජාප නායකයන් පිරිසකුත්, රැස්වීමට පැමිණි අහිංසක එජාප පාක්ෂිකයන් 50කට වැඩි පිරිසකුත් ඒ අනුව සදහටම අපට අහිමි විය.

බෝම්බය පිපිරී ගිය ඒ තීරණාත්මක මොහොත දැනුත් මට මැවී පෙනේ. රැස්වීම අවසානයේ “හෙළජාතික අභිමානේ” ගීත ගැයෙද්දී පසෙකින් ඉදිකර තිබූ උස් වැටක තිබූ නිලාකූරු දැල්වෙද්දී ඝාතකයාගේ බෝම්බය පිපිරී එහි තිබූ යකඩ බෝල වේදිකාව දෙසට අකුණු ගසන්නාක් මෙන් හඹා එන්නට විය. එසේ හඹා එන යකඩ බෝල වේදිකාවේ ඉදිරි පෙළවල්වල සිටි අයගේ සිරුරු පසාකරගෙන යද්දී සිටගෙන සිටි පිරිස් කෙහෙල් කඳන් මෙන් ඇද වැටෙන්නට විය. ඇතැමුන් ඉදිරියට මුනින් අතටත් මා ඇතුලු ස්වල්ප දෙනෙක් පිටුපසට උඩුබැලි අතටත් වැටින. කුමක් සිදුවන්නේදැයි යන්න තවමත් සිහිය තිබූ අයට ක්ෂණිකව තේරුම්ගත නොහැකිවුවද “බෝම්බ”, “බෝම්බ” යනුවෙන් හඬ ඇසීමත් ඇතැමුන් කෙඳිරිගාන හඬත් තුළිනුත් සිදුවන්නේ කුමක්දැයි යන්න තේරුම්ගන්නට වැඩිවේලාවක් ගත නොවීය.

වේදිකාවේ මා වැටී සිටි ස්ථානයට ගොඩ වූ මාගේ ආරක්ෂක නිලධාරියෙකු වූ රෝහිත මාව පිටුපසට ඇදගෙන ගොස් වේදිකාවෙන් බසින්නට මට උදව් කළහ. ඒ සමගම වේදිකාව අසලම තිබූ මාගේ රථය පණගන්වා ඉදිරියට ගැනීමට උත්සාහ ගන්නාවිට ගාමිණී පැමිණි රථය ඔහුව දමාගෙන ඉදිරියට ගත්හ. එම රථයේ පැමිණි උපාලි ජයසිංහත් මාගේ රථයට ගොඩ වූ අතර ගාමිණීගේ රථය පසුපසින් මහ රෝහල කරා අපිද වේගයෙන් හඹා ගියෙමු.

සිදුවූ දෙය වඩාත් පැහැදිලි වූයේ රථය තුළදීය. මා සමග රථයේ ගමන් කළ උපාලි හා මාගේ ආරක්ෂක නිළධාරියා වේදිකාවෙන් පහළ සිටි හෙයින් ඔවුන් බෝම්බය පුපුරා යන අන්දම හොඳින් නිරීක්ෂණය කර තිබුණි. 1977 වනවිට මහරගම සිට කොළඹ නගරයටවත් ස්වයංක්‍රීය දුරකථන ඇමතුමක් ගන්නට නොහැකිව තිබූ රට 1994 වනවිට ජංගම දුරකථන සේවා පහසුකම් තිබුන නවීන රටක් වූ හෙයින් තොටළඟත් මහරෝහල අතරත් ගමන් කරන අතරතුර අවාසනාවන්ත ඛේදවාචකයේ පණිවිඩය අවශ්‍ය ස්ථානවලට ලබාදෙන්නට අපට පුලුවන් විය.

කිසිඳු වේදනාවක් නොදැනුන මට මාගේ ඇඳුම්වල ඇති ලේ දැකගනන්ටත් කකුල් දිගේ ගලායන ලේ දැනෙන්නටත් වූයෙන් මාරක බෝම්බයෙන් නික්ම ගිය යකඩ බෝල දෙකක් මාගේ වම් අතේ මැණික් කටුව තුළටත්, අනෙක උකුල් ඇටය තුළටත් ඇතුල් වී ඇති වේදනාව ටිකෙන් ටික දැනෙන්නට විය. කෙසේ වෙතත් මාගේ ඇඟ ඇතුළට ඇතුල් වූ යකඩබෝල දෙක පතිත වී තිබුණේ අතිශය මාරාන්තික ස්ථානවලට නොවූයෙන් ශෛල්‍ය වෛද්‍ය වසන්ත පෙරේරා ඇතුලු වෛද්‍ය කණ්ඩායම සිදු කරන ලද ශෛලකර්ම වලින් මාගේ දිවිගැලවුනත් තමන්ගේ ශරීරයේ මාරාන්තික ස්ථානවලට බෝම්බය තුළින් විහිදී පැමිණි යකඩ බෝල සිරුරු පසාකරගෙන යාම තුළින් බොහෝ දෙනෙක්ගේ ජීවිත අහිමි විය. ගාමිණි + මල්ලිමාරච්චි + ප්‍රේමචන්ද්‍ර + ඔසී + ගාමිණී විජේසේකර ඇතුලු පිරිස සමග ඔවුන්ගේ ජීවිතයේ අවසන් පැය තුන මා ගතකළත් ඔවුන්ගේ අවමඟුල්වලට සහභාගීවීමේ අවස්ථාව මට අහිමි විය. මා ළඟම අසුන්ගෙන් සිටි ගාමිණී හා මල්ලිමාරච්චි සමග එම පැය තුන තුළ බොහෝ දේ කථාකළහ. පෞද්ගලිකව ඒ කථාකළ දේ ගැන ගාමිණී තම කථාවේදීත් සඳහන් කළහ. මට තරමක් දුරින් වාඩි වී සිටි “වයඹ රිදී සීනුව” යනුවෙන් විරුදාවලි ලත් ප්‍රේමචන්ද්‍ර තම කථාව අවසානයේ මා ළඟට පැමිණ මාගේ කථාව තොටළඟට ඇල්ලුවාදැයි විමසීය. ඔහුගේත් අපගේත් මිත්‍රත්වය එජාප සමස්ත ලංකා තරුණ පෙරමුණ හරහා 1960 දශකයේ අවසාන භාගය දක්වා දිවයන්නක් විය.

මෙම ඛේදවාචකයේ තවත් අමතක නොවන අපූරු සිදුවීමක් වන්නේ ගාමිණී දිසානායක පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂිදුන් ඔහුගේ එවකට පෞද්ගලික් ලේකම්වරයා වූ වත්මන් මහනුවර නගරාධිපති එල්.බී.අලුවිහාරේ මහතා ඉදිරිපෙළ අසුන්ගෙන සිටි අය අතරින් අභාවයට පත්වූ අය අතර “කරුණාසේන කොඩිතුවක්කු”ත් ඇති බව ප්‍රකාශ කර පුවත්පත්වල පලවීමයි.

එවකට මා කඩුවෙල එජාප ප්‍රධාන සංවිධායකවරයා වූ අතර ගාමිණීගේ කඩුවෙල රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ 25 දිනයි. එවකට කොළොන්නාව ආසනයේ එජාප ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම කොළඹ දිස්ත්‍රික් එජාප සංවිධානයේ සභාපතිවරයා වූ වීරසිංහ මල්ලිමාරච්චි මහතා වේදිකාවට ගොඩවන විටම ඔහුගේ යාබද අසුනට මා කැඳවූයේ කඩුවෙල පැවැත්වීමට තිබූ රැස්වීම ගැන තොරතුරු දැනගන්නයි.1968 දී එජාප සමස්ත ලංකා තරුණ පෙරමුණත් කෘත්‍යාධීකාරී සභාවට මා පත්වනවිට මල්ලිමාරච්චි එහි උපසභාපතිවරයෙක් විය. එදින සිට කිට්ටු ඇසුරක් අප අතර තිබුන අතර ඔහු කොළොන්නාව ආසනයේ සංවිධායක ධුරයට 1970 දශකය ආරම්භයේදී පත්වීමෙන් පසු තම ආසනයේ රැස්වීම අමතන්නට කැඳවූ අය අතර සැමවිටම මාවෙත ප්‍රමුඛත්වයක් ලබා දුන්හ. 1994 දී මා කඩුවෙලින් තරඟ කළවිට කොළොන්නාවේ මාගේ හිතවතුන්ගේ මනාප ලබාගැනීම කටයුතු කරනවිට සහයෝගය දුන් ඔහු තම ආසනයේ බොහෝ රැස්වීම්වලටද  මා කැඳවනු ලැබීය. පක්ෂ මට්ටමින් ඡන්ද ගණන් කරන්නට ගොස් මනාප ගණන්කරන්නට පෙර නිවසට පැමිණ මාවෙත මනාප ප්‍රතිඵල දුරකථනයෙන් දැනුම් දුන්නේ ඔහුයි, එසේ දැනුම් දෙමින් ඔහු පැවසුවේ “මටත් වැඩිය ඔයාට මනාප ලැබිල” ඇති බවත් ඒ සම්බන්ධව ඔහුගේ සුභ්පැතුම් හිමිවන බවත්ය. දෛවය විසින් එදා ඔහු සංවිධානය කරන ලද කොළොන්නාව ආසනයේ සංවිධායකයා ලෙස මා මේ වන විට පත්ව ඇත.

අදින් වසර පහළොවකට පෙර තොටළඟදී යුගපුරුෂයන් රැසක් ප්‍රභාකරන් විසින් අපට අහිමිකරනු ලැබීය. අද වනවිට ඝාතකයාත් ඝාතනයට ලක්වී හමාරය. අඳුරු නිමේෂයකදී ත්‍රස්තවාදයට ගොදුරු වූ ගාමිණී දිසානායක ඇතුලු සොඳුරු මිනිසුන්ගේ සිහිනය වූයේ සෞභාග්‍යමත් එක්සත් ශ්‍රී ලංකාවකි. ඒ විරුවන්ගේ සිහිනය සැබෑකරවන්නට අධිෂ්ඨාන කරගනිමු.

ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු


ලංකාදීප,

2009 ඔක්තෝබර් මස 23 වැනිදා සිකුරාදා, පිටු අංක 17

Advertisements

9 responses to this post.

  1. හොඳ ලිපියක් මචං.උඹ මේ ලිපිය හොයලා දාපු එක ගැනත් උඹට ස්තූතිවන්ත වෙන්න ඕනේ.මම ජ්‍යෝතිශය විශ්වාස කරන්නේ නැති හින්දා මිසක්,මේ ලඟදී මම ලිපියක් දැක්කා පත්තරේක ඊට සම්බන්ධව.උඹත් දකින්න ඇති මගේ හිතේ !

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. නැහැ මචං… මම දැක්කෙ නැහැ… මොන පත්තරේද තිබ්බෙ?? මොකක් සම්බන්ධවද??

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. හැබැයි මචෝ මම කේන්දර සිස්ටම් ගැනනං විශ්වාස කරන්නේ නෑ !

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. How ugly this is, the politics , Prabakaran benifited from this, Sri Lanka lost its spirits, among who died, Mr.Gamini Dissanayake, the smartest, of a leader, of a friend, of mankind, just had to die for the idiotic politics of Sri Lanka,

    We lost what it could have been a beautiful country,

    But the present day…..
    Coalition —-
    President Mahinda Rajapaksha did what it was impossible. It was impossible in the aspects of humanity, dignity, compassion, and human rights. Past leaders could not surpass these aspects in bringing a solution to the terrorism. No one was bold enough to do the war distinguishing civilians and terrorists. It is to kill only terrorists not the civilians. Mr.Mahinda Rajapaksha killed the both, and he attained what he wanted. President Mahinda Rajapaksha desperately wanted to be the leader who solved the terrorism. That would bring him the credit that would grant him anything he wishes.

    The people of this country, we are unaware of how unfortunate, how poor, how foolish, and how odd in our thinking, in contrast to the other countries in our region. We are unaware of the great possibilities and opportunities those are there if we respect the decencies of the world.

    1-Think of the government that came after we ate Rs.3.50 bread.
    2-Now it is a season similar to that is of Rs.3.50 bread.
    3-Is there a single suspect to the massacre of Lasntha Wickramathung?
    4-Is there a single suspect to the brutal attack on the Sirasa TV?
    Other thing, …
    5-The people are going to vote on 26th January, after having the salary hikes,that they get the November,Decembers ‘s increase all together just before the election.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  5. Today, will Mr.Sarath Fonseka face the same fate?

    ප්‍රති-පිළිතුරු සැපයීම

  6. Dr. Kodithuwakku is the respectable politician in the field.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: