අසමසම නායකයාණෙනි, ඔබට නිවන් සුව – ගාමිණී දිසානායක උපහාරය

Click here to get Sinhala Unicode.

මීට වසර 15කට පෙර 1994 ඔක්තෝබර් 24දා අලුයම හෝරාවන්ය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ඇතුළු කෘතහස්ත එජාප දේශපාලකයන් වූ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර, ඔසී අබේගුණසේකර, වෛද්‍ය ගාමිණී විජේසේකර, වීරසිංහ මල්ලිමාරච්චි, ක්‍රිස්ටි පෙරේරා තොටළඟදී කුරිරු කොටි බෝම්බයකින් ඝාතනයට ලක් විය. 60කට අධික පිරිසකට මරු කැඳවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ අනාගතය උදුරාගත්තේය.

ගාමිණී දිසානායක ශ්‍රී ලාංකේය දේශපාලනයේ ශ්‍රේෂ්ඨතමයෙකි. මාගේ තක්සේරුව අනුව ලක් පොළොවේ ජනිත වූ අද්විතීයම දේශපාලනඥයා ඔහුය. උගත්කමින්, පැසුණු බුද්ධියෙන්, ලෙන්ගතුකමින්, අවංකත්වයෙන් හා ජාත්‍යාලයෙන් සපිරි මෙම පරමාදරිශී දේශපාලනඥයා මහනුවර ත්‍රිත්ව විද්යාලයේත්, පේරාදෙණිය සරසවියේත්, බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේත් ආදි ශිෂ්‍යයෙකි.

ගාමිණීගේ පියා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. හේ 56-60 ශ්‍රීලනිප ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති තනතුරක් ඉසිලූ, කොත්මලේ  ආසනයේ ශ්‍රීලනිප මන්ත්‍රී ලෙස කටයුතු කළ ඇන්ඩෲ දිසානායකයි. එහෙත් ගාමිණී දිසානායක සිය දේශපාලන පක්ෂය ලෙස තෝරාගනුයේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ප්‍රතිපත්තිමය පදනමක සිටිමිනි. එජාපයේ නුවර එළිය – මස්කෙළිය ආසනයේ සංවිධායකයා ලෙස තරුණ අවධියේම තේරී පත්වූ ඒ මහතා 1970 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන එජාප මන්ත්‍රීවරුන් 18 දෙනාගෙන් ලාබාලතමයා මෙන්ම එකම නවක මන්ත්‍රීවරයා බවටද පත්විණි. එවිට එතුමාගේ වයස අවුරුදු 28කි. 1971දී ඡන්ද පෙත්සමක් නිසා ගාමිණීට අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වූ අතර එහිදීද හේ ජය ලැබීය. විශේෂයෙන්ම තරුණයන්, උගතුන්, කඳුරට වැසියන් තමා කෙරේ ආකර්ෂණය කර ගැනීමේ සුපිරි හැකියාවක් ඔහු සතුව තිබුණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිතයක් බවට පත්වෙමින් තුබූ ගාමිණී 1977 එජාප ජයග්‍රහණයේ පුරෝගාමියකු විය. ඉන්පසුව එලැඹි එජාප රජයේ වාරිමාර්ග, බලශක්ති හා මහාමාර්ග ඇමැතිධුරයත්, පසුව ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමැතිධුරයත් හෙබවීය. 77-89 එජාප රජයේ ප්‍රබල චරිතයක් වූ ඒ මහතා එම රජයේ ප්‍රධානතම සංවර්ධන යෝජනා ක්‍රමය වූ මහවැලි කඩිනම් ව්‍යාපෘතියට නායකත්වය දුන්නේය. වසර 30කින් නිමැවීමට යෝජිතව තුබූ මෙම ව්‍යාපෘතිය වසර 6ක් වැනි කෙටි කාලයකදී අති සාර්ථක ලෙස නිමා කරලීමට සමත්වීම ගාමිණී දිසානායක මහතාගේ සුවිශේෂීත්වය වඩ වඩාත්ම ඔප් නංවයි. අද අප පරිභෝජනය කරන කෘෂි නිෂ්පාදන වලින් අතිමහත් බහුතරය මහවැලි ව්‍යාපෘතිය හරහා සංවර්ධිත ප්‍රදේශවල වගා කෙරේ.  රටේ විදුලි නිෂ්පාදනයෙන් විශාල ප්‍රතිශතයක් ගාමිණී දිසානායකයන්ගේ නායකත්වයෙන් නිර්මිත මහවැලි විදුලි බලාගාරවලින් ජනනය කෙරේ. මෙම ව්‍යාපෘතිය හරහා රටේ ගොවි මහතුන් රැසකට ඉඩම් හිමි වූ අතර සරුසාර භූමි ප්‍රදේශයක් ජනපදකරණයට ලක් කෙරිණ. ලාංකේය දේශපාලනයේ සන්ධිස්ථානයක් වන ඉන්දු ලංකා ගිවිසුමේදීත් තිරය පිටිපස කාර්යයභාරයක් ඉෂ්ඨ කළ හෙතෙම සාමාන්‍ය ජනතාව මෙන්ම රාජ රාජ මහාමාත්‍යවරුන් ආශ්‍රයේද දක්ෂයකු විය. ඒ බව තවදුරටත් සපථ වන්නේ මහවැලි කඩිනම් ව්‍යාපාරය කෙටි කාලයකදී අවසන් කරගැනීමට ස්වීඩනය, ජර්මනිය, බ්‍රිතාන්‍යය ආදී රටවලින් සහය ලබාගැනීමට එතුමා තුල තිබූ රාජතාන්ත්‍රිකභාවයත් විදේශ නියෝජිතයින් එතුමාට දක්වන ගෞරවයත් නිසාය. එදා මෙදා තුර මහවැලි සංවර්ධනය භාරව ඇමැතිවරු රැසක් පත්වී සිටියත් ගාමිණී දිසානායකයන්ට නිම කිරීමට නොහැකි වූ මහවැලි මහා සෑය, උමා ඔය, මොරගහකන්ද, ඉහළ කොත්මලේ සහ මහියංගණ – මනම්පිටිය දුම්රිය මාර්ගය ආදී කිසිවක් අදටත් තනා නිම කර නොමැත. එයින්ම ගාමිණී දිසානායකයන්ගේ අද්විතීයභාවය රටටම විද්‍යාමාන වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතීත්වය ඉසිලූ ගාමිණී ලංකාවට ටෙස්ට් වරම් දිනා දීමෙහිලා අමිල මෙහෙයක් ඉටු කරලීය. අප ක්‍රිකට් කණ්ඩායම ලෝක පූජිත තත්වයකට ගෙන ඒමට හෙතෙම නොගත් වෙහෙසක් නැති තරම්ය.

1988 ජනාධිපතිවරණයේදී රණසිංහ ප්‍රේමදාස දිනවීම තකා ගාමිණී දිසානායක මහත් පරිශ්‍රමයක් ගත්තේය. සංවර්ධනාත්මක බලකාමයෙන් පෙලුණු ගාමිණී නව එජාප ආණ්ඩුවේ අගමැතිධුරය අපේක්ෂා කළේය. එය ඔහුට දිය  යුතුව තිබුණත් ප්‍රේමදාස ජනපතිතුමා, ගාමිණී තමාටත් තම බලයටත් අභියෝගයක් වනු ඇතැයි සිතා ඔහුව බලයෙන් ඈත් කිරීමට උත්සුක වූයේය. ඒ අනුව පළමුව වැවිලි කර්මාන්ත ඇමැතිධුරය ලත් ගාමිණීව පසුව කැබිනට් මණ්ඩලයෙන්ද ඉවත් කිරීමට තරම් ප්‍රේමදාස ජනාධිපතිතුමා අනුවණ මෙන්ම දේශද්‍රෝහී විය.  ජනාධිපතිතුමාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව නැගී සිටිමින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලිගේ සහ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍රගේ සහයෝගය යටතේ ඉදිරිපත් විය.

Gamini

Gamini

ඒ අනුව ගාමිණී දිසානායකයන් සමඟ ලලිත් ඇතුලත්මුදලි, ජී.ඇම්.ප්‍රේමචන්ද්‍ර, චන්ද්‍රා ගන්කන්ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, සමරවීර වීරවන්නි, එස්.ඒ.මුතුබණ්ඩා, ප්‍රේමරත්න ගුණසේකර, එදිරිවීර ප්‍රේමරත්න ඇතුළු පිරිසක් පක්ෂයෙන් නෙරපන ලදි. එහිදී තම ප්‍රතිපත්ති පාවා දෙමින් ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගනු වෙනුවට ගාමිණීලා වෙනම පක්ෂයක් පිහිටුවීය. එය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නොහොත් “රාජාලියා” පක්ෂය නම් විය. ප්‍රේමදාසගේ දුර්දාන්ත පාලනයට එරෙහිව සටන්වැදි ගාමිණීට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන ලෙස ඉල්ලීම් එල්ල වූයේ ප්‍රේමදාසගේත් ලලිත්ගේත් සැහැසි ඝාතනවලින් අනතුරුවය. ඒ වන විට ගාමිණී මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකයාය. 1994දී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එජාපයෙන් පාර්ලිමේන්තුවට පිවිසි හෙතෙම විපක්ෂ නායකත්වය සඳහා එජාපය තුල පැවැති ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ පරදා විපක්ෂ නායකත්වය හිමිකර ගත්තේය. 1994 නොවැම්බර 9ට යෙදුනු ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂකයා වූ ගාමිණී නාමයෝජනය දෙන විට එජාපය මැතිවරණය පරාජය වන සේයාවක් තිබුණි. නමුත් කෙටි කලකදී දහස් සංඛ්‍යාත ජනතාවකගේ සිත් දිනාගනිමින් ජයග්‍රහණය කරා පිය මැනි මේ අද්විතීය දේශපාලනඥයා කොටි බෝම්බයකින් බිලි ගත්තේ එක් අඳුරු නිමේෂයකදීය.

අප රටට රටක් වටින බුද්ධිමත්, ගුණ නැණ බලෙන් යුතු, ලෙන්ගතු, ආදරණීය නායකයකු මෙන්ම රටේ සුභ අනාගතයද එම වියරු ප්‍රහාරය සමඟ අහිමි විය. ගාමිණී වැනි රට ගැන මනා දර්ශනයකින් හෙබි කෘතහස්ත දේශපාලනඥයකුගේ අඩුව අද වෙන කවරදාකටත් වඩා දැනේ. එවැනි යුගපුරුෂයකු බිහිවන තුරු අප සැවොම බලා සිටිමු.

අද්විතීය, කෘතහස්ත නායකයාණෙනි… ඔබට නිවන් සුව…

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 වප්

H Niles Perera©, October 2009

One response to this post.

  1. keep da great wrk UNP!!! the country needs your affection……

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: