දකුණේ තීන්දුව

Click here to get Sinhala Unicode.

දකුණු පළාත් සභා මැතිවරණය නිමවී සතියක් ගෙවී හමාරය. මැතිවරණයට පෙරත්, පසුත් අපට අසන්නට, දකින්නට ලැබුණු කරුණු කාරණා අතරින් මැතිවරණය තීරණාත්මක මෙන්ම විටෙක ආන්දෝලනාත්මක පසුබිමක් ඉසිලූ බව කීම නිවැරදිය. දකුණේ ප්‍රබල ඡන්ද ව්‍යාපාරය, මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා, අනර්කලීගේ සහ සජින් වාස්ගේ දේශපාලන ආගමනය, 85% 90% කතා නිසා මැතිවරණ කාලය පුරාවටම දේශපාලනයට සංවේදී කාගේත් ඇස් කන් දකුණ දෙසට යොමු වී තිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම මැතිවරණයේදී රටේ විශාලතම තනි දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පරාජය වූ බව සත්‍යය, ආණ්ඩු බලය හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය 2/3ක බහුතර බලයක් සමඟ ආසන 53ක් සපිරි පළාත් සභාවෙන් ආසන 38ක් දිනද්දී එජාපය දින්නේ ආසන 14කි. මෙතෙක් කල් සන්ධානයෙන් ඉවත් වූ පසු හතරගාතේ වැටී සිටි ජවිපෙ දකුණෙන් නව පන්නරයක් ලැබූ බව අකැමැත්තෙන් වුවද පිලිගත යුතුය. එක් දිස්ත්‍රික්කයකින් එක් ආසනයක් බැගින් හිමිකරගන්නා අතරදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 11%ක් ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක්ද වර්තා කරගත්තේ තම ඡන්ද පදනම තවමත් ශක්තිමත් බව පෙන්වමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ කාලසීමාව මුළුල්ලේම 80%, 85%, 90% අභිබවන පව පුරසාරම් දෙඩීය. ජනාධිපතිතුමා තම ආසනය වූ බෙලිඅත්තේදී කෑ මොර දෙමින් කීවේ බෙන්තර ගඟෙන් එහා උපන් තමන්ටත් ආණ්ඩුවටත් 90%ක ඡන්ද ප්‍රතිශතයක් දකුණේ ජනතාව ලබාදෙන බවය. ජනපතිතුමා හම්බන්තොට වීමත් හම්බන්තොට ක්‍රියාත්මක කෙරෙන්නා වූ යෝධ සංවර්ධන ක්‍රියාකාරකම් නිසාත් මොණරාගල ශෂීන්ද්‍ර ඉක්මවූ 80% හම්බන්තොටින් පහසුවෙන්ම ඉක්මවනු ඇතැයි පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මහජනතාව සිතීය. එහෙව් වටපිටාවක් තුල 2004දී ලත් ආසන 36, ආසන දෙකකින් වැඩිකරගෙන 67%ක් ඡන්ද ලබා ගැනීම සැබැවින්ම උඩ පනින්නට කාරණාවක්ද? ආණ්ඩුව හුවා දක්වන ආකාරයේ ජයග්‍රහණයක් දකුණෙන් ලබා ගැනීමට අපොහොසත් වී ඇත. වෙසෙසින්ම මහින්ද රාජපක්ෂ ජනපතීන්ගේ ගම් පියැස්ස වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවර සන්ධානය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 67%ක් පමණය. නමුත් 2004දී සන්ධානය එහිදී 70% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් දිනීය. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ ඉදිවෙද්දී මෙය සිදුවීමද සැලකිල්ලට ගත යුතුමය. යුද ක්‍රියාන්විතය සිදු වන කාල සීමාව පුරා රැල්ලට අතිමහත් ඡන්ද ප්‍රතිශත වලින් දිනාගෙන ආ පළාත් වලට හාත්පස වෙනස්ම තීරණයක් කවදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සමාජවදී බලවේග වලට හිතැති දකුණු පළාත ලබාදී තිබේ. තවද රජය විසින් දිගින් දිගටම තමන්ට එරෙහිව නැගෙන සියළු චෝදනා “කුමන්ත්‍රණ” ලෙස හංවඩු ගසා දේශපාලන පසුම්බිය තර කර ගැනීමට ගත් උත්සහයද සෑහෙන පමණ ව්‍යර්ථ වී ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

යූඇන්පිය 2004දී ආසන 19ක් දිනීය, නමුත් මෙවර ඔවුන්ට හිමිවී ඇත්තේ ආසන 14ක් පමණි, ඡන්ද ප්‍රතිශතය 25%කි. එහෙත් මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵලය එසේ වද්දී යූඇන්පීය මැතිවරණයේදී සැලකිය මනා ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත්තේය. ආණ්ඩුවට ආසන 43ක් “ෂුවර්” බව ඩලස් කියද්දී, 80%, 85%, 90% ගේමක් නැති බව ඇමැතිවරු කියද්දී, ආණ්ඩුවේ මහ එකාගේ සිට පොඩි එකා දක්වා දකුණේ පැල් බැඳගෙන ප්‍රචාරණය කරද්දී. ගහක් ගලක් ගානේ මුල්ගල් පැල කරද්දී, රාජ්‍ය මාධ්‍යයේ උදේ සිට සවස් වනතුරු දකුණේ සංවර්ධනය ගැන කයිවාරු ගසමින් එජාපයට මඩ ගසද්දී, එජනිසයේ අපේක්ෂකයන්ගෙන් බහුතරය මැති ඇමැතිවරුන්ගේ සහෝදරයින්, පුතුන්, හෙන්චයියන් වෙද්දී, එජාප ප්‍රචාරණ ව්‍යාපාරයට විවිධාකාර බාධා එල්ල කරද්දී, ජනපතිතුමා දකුණේ හතර දිග්භාගයේ සැරිසරමින් මැතිවරණ කටයුතු මෙහෙයවද්දී, අරලිය ගහ මැදුරට දකුණෙන් සෙනග ගෙනැවිත් මහජන මුදල් වියදම් කර රාජභෝජනවලින් සංග්‍රහ කරද්දී, මේ ලත් ප්‍රතිඵලය සැබැවින්ම ප්‍රශංසනීයය..

මනාප ප්‍රතිඵල කෙරේ අවධානය යොමු කරද්දී පෙනී යන්නේ එජනිසයේ ශක්තිමත් දෙවන පෙලක් බිහිවී නොමැති බවයි. පක්ෂයේ ඉහල පෙලේ ඇත්තන්ගේ ඥාතීන් වන රන්දිම ගමගේ, සරත් යාපා අබේවර්ධන, කංචන විජේසේකර වැන්නවුන් හා ජනපතිතුමාගේ කිට්ටු හිතෛශීන් වන සජින් වාස් ගුණවර්ධන වැන්නවුන් මෙන්ම ජාතික තලයේ ලොකු අනාගතයක් නැති අනර්කලීලා, නිශාන්ත මුතුහෙට්ටිගමලා සන්ධානයෙන් දිනීය. එජනිසයේ උගතකු යැයි කිව හැකි නැවුම් මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වූයේ මාතර දිස්ත්‍රික්කයේ චන්දිමා රාසපුත්‍ර මහතා පමණි. සෙස්සන් අතරේ එජනිසයේ ලොකු අනාගතයක් පෙන්වන උදවිය නම් දක්නට නැත. අනෙක් අතට “ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන්” දෙශපාලන කරළියට බට සජින් වාස්, අනර්කලී, අරුණ ගුණරත්න වැන්නන් ජාම් බේර ගද්දී, ඩී.ඩබ්. ප්‍රතාපසිංහ, සුසන්තා චන්ද්‍රමාලී වැන්නවුන්ට පරාජය හිමිවූයේ කලක පටන් තමන් නියෝජනය කළ ප්‍රාදේශීය දේශපාලකයින්ට “ජනාධිපති ආශිර්වාදයට” වඩා තමුන් සලකන බව විද්‍යාමාන කරමිනි. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ප්‍රතිඵල දෙස නෙත් යොමන කල්හී ඉතාමත්ම සුබදායී කරුණු කිහිපයක් නෙත ගැටේ. ඒ අන් කවරක්වත් නොව විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ අන්ත පරාජයයි. ජානිපෙන් බුලත් කොලය යටතේ දකුණු පළාත් සභාවට තරඟ කළ කිසිවකුත් ජයගෙන නැති අතර පළාත් සභාවේ ආසන 53ම සන්ධානයට හිමි වුවද, දකුණින් 85% “ෂුවර්”, විපක්ෂෙ ඉවරයි කියා රැස්වීමක් රැස්වීමක් පාසා කෑ මොර දුන් විමල්ගේ ගෝලයෝ 3 දෙනාට පළාත් සභාවට යා නොහැක්කේ ඔවුන් ඒ ඒ ලැයිස්තුවල අඩියේම සිටින බැවිනි. විමල්ගේ හැඩරුවට සමානකම් දක්වන ඔහුගේ සොයුරු සරත් වීරවංශ මාතරින් තරඟ කළ අතර ඔහු එම දිස්ත්‍රික්කයේ අන්තිමයන්ගෙන් දෙවැනියාය. මෙම පරාජයේ බරපතලකම මැනවින් පැහැදිලි වන්නේ බොහෝ දෙනා නොහඳුනන යල් පැන ගිය වාමාංශික පක්ෂයක් වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් බුලත් කොලය යටතේ ඉදිරිපත් කළ අපේක්ෂකයන් සිව් දෙනාම පළාත් සභාවට තේරී පත් වීමෙනි. එදා කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂවල බිඳ වැටීමට තොර තෝංචියක් නැතිව හිනාවූ විමල් වීරවංශට දෛවය සරදමක් කර ඇති ආකාරයකි. එහෙත් විමල් වීරවංශට නම් ලැජ්ජාවක් නැති ගාණය, පහුගිය දා දකුණේ දේශපාලන තීන්දුව ආන්ඩුවට “අනතුරු සංඥාවක්” ලෙස නිවැරදිව අර්ථ කථනය කළද දකුණේ ජනතාව තමන්ව කුණු බක්කියට විසි කිරීම ගැන කිසිත් නොකීය. එලඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවට රිංගා නොගත්තොත් විමල් වීරවංශ නම් කට වාචාලයාටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂියෝ නිවැරදි තීන්දුව දෙන බව හැඟී යයි. පහුගියදා යූඇන්පිය හැරදා සන්ධානයට එකතු වූ ජස්ටින් ගලප්පත්ති හිටපු විපක්ෂනායකතුමා නූලෙන් දකුණු පළාත් සභාවට රිංගා ගෙන ඇත්තේ මාතරින් ආසන 12ක් හිමි සන්ධාන ලැයිස්තුවේ 11 වැන්නා ලෙසය.

දැන් අපි එක්සත් ජාතික පක්ෂය දෙසට හැරෙමු. එජාපයෙන් මාතර පළමු තැන දිනාගත්තේ බුද්ධික පතිරණයි. ඔහු එහිදී වාර්තාගත 61% ඉක්මවූ මනාප ප්‍රතිඵලයක් ලැබීය. එය ඔහුගේ සුවිසල් ජයග්‍රහණයකි. එම ප්‍රතිඵලයෙන් ගම්‍ය වනුයේ මාතර බුද්ධිකට ලොකු ජනප්‍රසාදයක් ඇති බවය. දකුණු පළාත් සභාවේ නව විපක්ෂ නායකයා වන ඔහු එලැඹෙන මහ මැතිවරණයේදී පහසු ජයක් වාර්තා කරන බවට අනාවැකි පල කරන්නට ජ්‍යාතිෂ ශාස්ත්‍රඥයින් අවශ්‍ය නැත. මාතරින් එජාපය දිනූ ආසන 5න් දෙවැන්නා වූ ගයාන් සංජීව පළාත් සභාවට නවක මුහුණකි, පස්වැනි තැන දිනූ ව්‍යාපාරිකයකු වන වින්දන නිශාන්තද දේශපාලනයට නවක මුහුණකි. පිළිවෙලින් තෙවන සහ සිව්වන ස්ථාන කපිල වෙල්ලප්පිලි සහ සිරිසේන විජයවික්‍රම යන පරිනත දේශපාලකයින් දෙදෙනා අත් පත් කරගත්හ. ගාල්ලේ එජාප ලැයිස්තුවේ පළමු තැන දිනාගත්තේ තරුණ ප්‍රාදේශීය සභා විපක්ෂ නායකයකු වූ ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතාය. ඉතාමත්ම ජවසම්පන්න ක්‍රියාකාරී දේශපාලනඥයකු වූ ඔහු දකුණු පළාත් සභාවට නවක මුහුණකි. දෙවැන්නා ලෙස මනූෂ නානායක්කාර මහතා තේරීපත්ව ඇත. මේ දෙපලටම ඉදිරි මහ මැතිවරණයකදී පාර්ලිමේන්තු වරම් දිනාගැනීමේ විශාල ඉඩකඩක් ඇත. තුන්වැනි තැන ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා හිමිකරගෙන ඇත. සිව්වැන්නා, පස්වැන්නා සහ හයවැන්නා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන අශෝක ධනවංශ ද සිල්වා, විජේපාල හෙට්ටිආරච්චි සහ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් විසින් දිනා ගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කථිකාචාර්ය ජයන්ත ජයවීර මහතාත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය සම්පත් සුබසිංහ ආරච්චි මහතාත් අවාසනාවන්ත ලෙස පළාත් සභාවට තේරී පත්වීමට සමත්වී නොමැත. හම්බන්තොටින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකු වන ටී.ජී. සේනාරත්න, නිමල් ලාල්චන්ද්‍ර සහ සෝමපාල ඒකනායක යන මහත්වරු එජාපයෙන් තේරී පත්වී තිබේ.

මෙහිලා හුවා දැක්විය යුතු සුවිශේෂී කරුණක් ඇත. පහුගිය කාල වකවානුව පුරා රටේ පළාත් 8ක් පුරා පැවැති පළාත් සභා මැතිවරණ සියල්ල එක්සත් ජාතික පක්ෂය පරාජය වුවත් එම කළු වළාකුළේ රිදී රේඛාවක් ඇති බව බොහෝ දෙනා තේරුම් නොගනී. ඒ අන් කවරක්වත් නොව එම මැතිවරණ වලදී එජාපයෙන් ජවසම්පන්න බුද්ධිමත් නව දේශපාලන මුහුණු රැසක් බිහි වූ බවය. රුවන් විජේවර්ධන, බුද්ධික පතිරණ, දයා ගමගේ, අජිත් පී. පෙරේරා, ක්‍රිශාන්ත පුෂ්පකුමාර, ජානක තිස්සකුට්ටිආරච්චි, හරීන් ප්‍රනාන්දු, වෛද්‍ය තුසිතා විජේමන්න, සුජීව සේනසිංහ, අජිත් මාන්නප්පෙරුම, මංජු අරංගල, මනූශ නානායක්කාර, මොහාන් ලාල් ග්‍රේරු වැන්නන් 1989දී නට්ටං වී තුබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් මුහුණු වූ එස්.බී.ලා, මංගලලා, ජෙයරාජ්ලා, මෛත්‍රීපාලලා 1989 මහ මැතිවරණයේ 2/3ක අන්ත පරාජයකින් ගොඩ ගෙන 1994දී ජයග්‍රහණයකට මෙහෙය වූවා මෙන් එක්සත් ජාතික පක්ෂයටද නව පණක් ලබා දී ඉදිරියේදී ජයග්‍රහණය කරා මෙහෙයවනු ඇත.

ඒ අනුව බලන කල්හී දකුණේ ජනතා තීන්දුව ව්‍යාකූලය. මෙහි නිශ්චිත පරාජිතයෙක් හෝ ජයග්‍රාහකයෙක් සොයාගත නොහැකි ආකාරයේ ගැඹුරු තීන්දුවක් ඔවුන් ලබා දී ඇත. නමුත් විශ්ලේෂනාත්මකව බලන කල්හී 2009 දකුණු පළාත් සභා මැතිවරණයේ ලොකුම ජයග්‍රාහකයා බුලත් කොළය යටතේ තමන් ඉදිරිපත් කළ සියළු අපේක්ෂකයන් ජයග්‍රහණය කරා මෙහෙයවූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයයි, ලොකුම පරාජිතයා ඇපත් නැතිව පැරැදුනු විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණයි. දැන් එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ මෙම මැතිවරණයේ කළ කී අඩුපාඩු හදාගෙන ඉදිරි මැතිවරණවලට මුහුණදීමයි. එසේ කළහොත් ආණ්ඩුවේ මෙම පසුබෑමත් සමඟ එලැඹෙන වසරේ මැතිවරණ කරට කර යෑමේ අවකාශය තවදුරටත් තීව්‍ර වනු නොඅනුමානය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 වප්

H Niles Perera©, October 2009

One response to this post.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: