අනේ අපේ පොලීසිය…

Click here to get Sinhala Unicode.

පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකා පොලීසිය සම්බ්න්ධයෙන් බෙහෙවින් දුක්බර පුවත් කිහිපයක් අපට අසන්නට ලැබුණි. නීතිය රැකීමට ඇති පොලීසිය නීතිය අතට ගැනීම බෙහෙවින් කණගාටුදායකය.

මීට සති දෙකකට පමණ එපිටදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නිපුන රාමනායක නැමැති සිසුවාට පහර දීමේ සිද්ධිය ගැන රටම දනී. කොළඹ අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුතු සහ භාර්යයාව විසින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය මත මෙම සිසුවාට බොහෝම අමානුෂික ලෙස වධහිංසා දී පහර දීම හිත් පිත් ඇති කාට නම් අනුමත කළ හැකිද?? එහෙත් මෙම අකටයුතුකම් මධ්‍යයේ නීතිය නිහඬ වී තිබේ. සිද්ධියට සම්බන්ධ යැයි කියන පොලිස් නිලධාරීන්ට ස්ථානමාරු දී තිබුණද අදටත් වාස් ගුණවර්ධනගේ පවුලේ අයවලුන් නිදැල්ලේය. මෙය නීතියද? මෙසේ පෞද්ගලික විරසකයක් පිරිමහා ගැනීමට පොලිස් බලය භවිතා කරන්නට ඉඩ දිය හැකිද? රජයටද වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන පරිදි කටයුතු කඩිනම් කිරීමේ වගකීමක් ඇත. ස්ථාන මාරු ලබා දීම ප්‍රමාණවත් දඬුවමක්ද? තරාතිරම නොබලා දඬුවම් දෙනවා යැයි මාධ්‍ය සාකච්ඡාවල පම්පෝරි ගහලා වැඩක් නැත. එය ප්‍රායෝගිකව එසේම සිදු විය යුතු නොවේද?

වාස් ගුණවර්ධන අද පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ. නමුත් තමාටත් තම පවුලටත් සිදුවූ අපවාදයෙන් ගැලවීමට මාන්නාරමෙන් බෝම්බ ලොරියක් ඇල්ලුවා යැයි මධ්‍යයට පවසමින් ඔහු රංගනයක නියැළුණු බවට විශ්වාස කිරීමට සාක්ෂි දිග හැරේ. ඒ මන්නාරම ප්‍රදේශය භාර කීර්තිමත් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී නිමල් ලෙව්කේ මැතිතුමා එවන් බෝම්බ ඇටවූ ලොරියක් මන්නාරමෙන් සොයා නොගත් බව සැල කිරීමත් සමඟය. එවැනි ලොරියක් මන්නාරමෙන් හමු නොවුණි නම් එතැනත් වාස් ගුණවර්ධන මහජනතාවගේ ඇස් වලට වැලි ගසමින් තවත් වරදකට මුල පුරා ඇත.

පෙරේදා අඟුලානේ සිදු වූ ඛේදවාචකය ගැනද රටම දනී ප්‍රදේශයේ නීතිය වෙනුවට අවනීතිය වැපිරවූ පොලිස් නිලධාරීන් විසින් තරුණයින් දෙදෙනෙකු මරණයට ලක් කරමින් මහා ගාලගෝට්ටියකට මුල පිරීය. මෙම අකටයුත්තට සම්බන්ධ නිලධාරීන් කිහිප පොලක් රිමාන්ඩ් භාරයට පමුණවීම නම් සතුටුදායකය. පාතාලය මර්ධනය කිරීමට රජය පොලීසියට ලබා දී ඇති අවස්ථාව පොලීසිය බොහෝ නින්දිත අයුරින් අපහරණය කරන බැව් නොරහසකි. එසේ නම් රජයට මෙම විනාශය වැළැක්වීමේ ප්‍රබල වගකීමක් ඇත.

නීතිය දඩමීමා කරගෙන තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට පොලීසියක් අවශ්‍යද? රටක සංවර්ධනයට, සාධාරණත්වයට අවශ්‍ය වන්නේ දූෂණයෙන් භීෂණයෙන් තොර පොලිස් දෙපාර්තමේන්තුවකි. එවන් පොලීසියක අවශ්‍යතාව වෙනදාටත් වඩා දැනෙන අද ජනතාව එවන් පොලීසියක් එන තුරු මග බලා සිටී. ජනතා අපේක්ෂාව ඉටු නොවුන හොත් හැමදාම නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය. පොලීසිය ශෝධනයේ වගකීම කෙරේ පොලිසීයේ අවංක නිලධාරීන්ගේත්, රජයේත්, මහජනතාව වන අපගේත් කාලීන අවධානය යොමු විය යුතුය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 නිකිණි

H Niles Perera©, August 2009

4 responses to this post.

  1. සහතික ඇත්ත! පොලිස් නිලධාරීන්ගේ වගකීම වන්නේ බලය අයුතු ලෙස භාවිතා කොට පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීම වත් දේශපාලකයින්ට පන්දම් ඇල්ලීමවත් නොව රටේ ව්‍යවස්තාවට අනුකූලව නීතිය සහ සාමය ආරක්ෂා කිරීමය. එහෙත් තම පුතුගේම සම වයස් දරුවෙකුට ඉතා අමානුශික අන්දමින් පහර දී පාඩම් උගන්වන්නට තැත් කරන මෙබඳු පොලිස් ලොක්කන් දුටු විට, පොලිස් සේවය සඳහා බඳවා ගන්නේ අට සමත්වත් නැති නූගත් මිනිසුන් දැයි මට සිතෙයි.මෙබදු පොලිස් නිලධාරීන් හේතුවෙන් දිනෙන් දින කලකිරෙන සාමාන්‍ය මහ ජනයා පොලිස් බලය අතට ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි. එවන් දිනෙක බොහෝ පොලිස් මහත්තුරුන්ට සිදුවන්නේ සිර කූඩුවකවත් සහය පැතීමටය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මේකට හොඳම උත්තරය ලැබුනේ ඊයේ රෑ (15) ගිය ඇන්ඩ් කොම්පැනියෙන්.එහෙයින් ඉතිරිව ඇති එක පුරස්නය “දරුණුම දඬුවම ස්ථාන මාරුවද ?” යන්නයි.
    මේ සමගම මෙතෙක් කල් මා පිළිකුලෙන් යුතුව හෙලාදැකි මහින්ද අබේසුන්දර ගේ විමසුම සම්බන්ධවද යමක් පැවසිය යුතුය.එනම්මෙතෙක් සුදු හුණු ආලේපනයේ පුරෝගාමී වූ එම වැඩසටහනේද මෙම සිද්ධිය සම්බන්ධව සඳහනක් කිරීමය.ඒ නවක වදය සම්බන්ද මාතෘකාව විමසන කල්හීය.මා නිහතමානීවම එතුල යම් ගුණයක් දකිමි.කෙසේ වුවත් වරද වරදමය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. සහ සුද්යෙන්ම ඇත්ත කතාව,ිපුනට වෙච්චි දෙය හෙට අපිට වෙන්න ඛැරි නැ බලාගෙන….

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. Posted by Niles Perera on අගෝස්තු 19, 2009 at 15:58

    අද වන විට රවිඳු ගුණවර්ධනව අත් අඩංගුවට ගෙන තිබීම බෙහෙවින් සතුටුදායකය. නමුත් ඔහුගේ මෑණියන් තවමත් නිදැල්ලේය. ඇයව නීතියේ රැහැනට හසු කරගැනීමට පොලීසියටත් රජයටත් වගකීමක් ඇත. මෙවැනි නරවිප්‍රකාර සිදුවන්නට ඉඩ දී උඩ බලාගෙන සිටිනා ආණ්ඩුව මීට සෘජුවම වගකිය යුත්තේ ඔවුන් විසින් පොලීසියේ ඇත්තන්ට පතාලය නැසීමට යැයි කියා අසීමාන්තික බලයක්ද දී ඇති නියාවෙනි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: