අහෝ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය…!!!

Click here to get Sinhala Unicode.

ලෝකයේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධිය දක්වා නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන්නේ ශ්‍රී ලංකාව සහ චිලී රාජ්‍යය පමණි. එසේ නිදහස් අධ්‍යාපනයක් සැපයෙන ශ්‍රී ලංකාව තුල විශ්වවිද්‍යාල 15කට ආසන්න ප්‍රමාණයක් පවතී. මේ අතුරින් ඌව වෙල්ලස්ස, සබරගමුව, රජරට, වයඹ, යාපනය, නැගෙනහිර, අග්නිදිග යන විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීම කෙරේ මහා විශාල තරඟයක් නොපවතී. සියල්ලන්ම පාහේ මූලික වශයෙන් උත්සුක වනුයේ මොරටුව, පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාල හතරටත් ඊට අමතරව කැළණි සහ රුහුණු සරසවිවලටත් ඇතුල් වීමටය. එවැනි විශ්වවිද්‍යාල තුලද විවිධාකාර ගැටළු මතුවීම හරහාත් රැකියා විරහිත උපාධිධාරීන් බිහිවීම හරහාත් ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය දෙස ලක්වැසියන් බලනුයේ වපර ඇසකිනි. විශ්වවිද්‍යාල හා සම්බන්ධිත යථා තත්ත්වය පසක් කරලීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස මා සතු යුතුකමකැයි මා සිතමි.

අද වනවිට කැළණි සරසවිය සිසු ගැටුමක් නිසා වසා දමා තිබේ, රුහුණු සරසවියේ නොබෝදා විශාල ගැටුමක් හට ගැනුණි. සරසවි පද්ධතිය පුරාම විවිධ ගැටුම් සහ වර්ජන පහුගිය කාලය පුරාම සුළභ සිද්ධියක් විය. මේ තුලින් ජනතාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මොළේ කළඳක් නැති මැටිමෝල්ලුන් යන මතයක් ඇතිවේ. මෙය 100%ක්ම නිරවද්‍ය නොවේ. බොහෝ විශ්වවිද්‍යාල ගැටුම් පිටුපස සාමාන්‍ය ජනතාව නොදකින ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන හස්තය ක්‍රියාත්මකය. ජවිපෙ දේශපාලන යාන්ත්‍රණයේ තිඹිරි ගෙදර විශ්වවිද්‍යාලයයි. ඔවුහූ සිය චීන මාක්ස්වාදී අදහස් පැලපදියම් කරනුයේ විශ්වවිද්‍යාල හරහාය. නවකවදය ඊට කදිම තෝතැන්නක් කරගන්නට ජවිපෙ වග බලා ගන්නේ විවිධ දේශපාලනික මොළ සේදීම් දියත් කරමිනි. අවාසනාවකට මොරටු විශ්වවිද්‍යාලය හැරුණු කල අන් සියළු සරසවි තුල ජවිපෙ බූවල්ලා ක්‍රියාත්මකය. කොළඹ වෛද්‍ය පීඨය, මොරටු ඉංජිනේරු පීඨය වැනි පීඨ කීපයක් හැරුණු කළ බොහෝ පීඨවල බල අධිකාරිය හොබවන්නේ ජවිපේ විසිනි.

අද දේශපාලනික වශයෙන් නන්නත්තාර වෙමින් සිටින ජවිපෙ නැගිටින්නට තතනනුයේ විශ්වවිද්‍යාල තුල අළු යට ගිනි අවුලවමිණි. පසුගිය කාලය පුරා මොරටු සරසවියේ ඉංජිනේරු ශිෂ්‍යයින් ප්‍රදේශවාදය හරහා භේදබින්න කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක විය. විවිධ කණගාටුදායක සිදුවීම හටගත්තද මෙම ප්‍රදේශවාදය පැරදවීමට මොරටුවේ ඉංජිනේරු පීඨ සිසුන් සමත් කම් පෑහ. පසුගිය කාලය පුරා කැළණියේ ස්වාධීන බල අධිකාරියක් පිහිට වූ විද්‍යා පීඨය සහ ජවිපෙට පක්ෂපාත කලා පීඨය අතර ගැටුමක් ගොඩනැගීමටද, වෛද්‍ය පීඨ වල විවිධ අර්බුද සෑදීමටත්, ජපුර සරසවියේ එදා එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමියකු වූ ජවිපෙම බෝම්බ ගසා ඝාතනය කිරීමට වරක් උත්සාහ දැරූ ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ගේ සංකල්පයක් මත බිහි වූ මහපොළ බෙදා දීම අලලා මහා ගාලගෝට්ටියක් නිමැවීය.

සරසවි සිසුන් මේවාට අසු වීමට තරම් මෝඩද? කොහෙත්ම නැත. මෙම ක්‍රියාවලට සහභාගී වන වැඩි දෙනා ඒවාට සම්මාදම් වනුයේ එක්කෝ තම ජ්‍යෙෂ්ඨයන් කෙරේ බියෙනි, නැත්නම් තම සඟයන් තුල කොන් වේය යන බියෙනි, එසේත් නැත්නම් විවිධ තර්ජන ගර්ජන හමුවේය. අසරණභාවයට පත්වන අහිංසක සිසුන් රැසකට තම හෘදසාක්ෂියට පටහැණිව ක්‍රියා කිරීමට සිදුවේ. ඔවුන් බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් අසරණ වන්නාහ. ඇතැමුන් මෙම තෙල සැදැහැ සිතින් ජීර්ණය කරගෙන ජවිපෙ චින්තනයට අනුගත වන්නාහ. ඇතැමෙක් මෙම අකටයුතුකම්වලට ප්‍රතිරෝධය පාමින් නැගී සිටින්නාහ. විශේෂයෙන් මොරටු සරසවිය තුල ඇතිකිරීමට දැරූ තත්ත්වය ශිෂ්‍යයින්ගේ බුද්ධිමත්කමින් කල්යැල් ගොස් හෝ සමනය කරගත හැකි විය. ඉස්සර සැමදා පාහේ වසා තබන ජයවර්ධනපුර සරසවිය අද එදා තුබූ සෝචනීය තත්ත්වයෙන් අත්මිදී තිබීම බෙහෙවින් සතුටුදායකය. මර ඇඳේ දඟලන ජවිපෙ විශ්වවිද්‍යාල හරහා පණ ගසා නැගිටීමට යත්න දරමින් සිටින බව සක් සුදක් සේ පැහැදිලිය. වෙසෙසින්ම ජවිපෙ මෙම සරසවි ප්‍රශ්න පිටුපස ඇති බව පසක් වන්නේ ඔවුන් චන්ද්‍රිකා සමඟ පරිවාසයේ සිටි විට හෝ සන්ධාන ආණ්ඩුවේ සිටි විට සරසවිය බෙහෙවින් සාමකාමී ආයතන වූ හෙයිනි.

සරසවි තුල ජවිපෙ මෙම කැලෑ පාලනය දුරලන්නේ කෙසේද? පළමුකොටම සරසවිවල ආචාර්ය මණ්ඩලයට පරිපාලනය හරහා සිසු අවශ්‍යතා ඉටු කිරීමටත් මෙවැනි ගැටළු ඇතිනොවීමට වගා බලා ගැනීමටත් කටයුතු යෙදිය හැකිය. විශේෂයෙන්ම සිසුන් හා සහජීවනයෙන් විශ්වවිද්‍යාලය තුල පාලනය ගෙන යෑම වැදගත්ය. සිසුන්ටද මෙම මෝඩ ක්‍රියාවලට සහභාගී නොවී සිය අධ්‍යයන කටයුතු වලට ප්‍රමුඛත්වය දෙමින් සරසවි සමය විනෝදයෙන් කල් ගෙවීමට පුළුවන් බව අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන්ම තමා කුමන දේශපාලනික ස්ථාවරය දැරූවද සරසවිය තුල දේශපාලනයෙන් බැහැර වීම නුවනට හුරුය.

මේ සියල්ලටම වඩා රජය සතු වගකීමක් ඇත. අද බිහිවන උපාධිධාරීන් අතුරින් සැලකිය මනා කොටසකට රැකිය වෙළඳපොලක් නොමැත. පෞද්ගලික අංශය කලා, වාණිජ අංශවල උපාධිධාරීන් ගැන විශේෂයෙන්ම දක්වන්නේ නොකමැත්තකි. මොරටුව, කොළඹ හැරුණු කළ සෑම සරසවියකම පහේම කුමන හෝ පීඨයක විරැකියා ප්‍රශ්නය පවතී. මෙසේ පෞද්ගලික අංශය උපාධිධාරීන්ට නොකැමැති වීමට ප්‍රධාන හේතු දෙකකි. එකක් සිසුන්ගේ ඇති හණමිටි සමාජවාදී අදහස්ය, අනෙක ඔවුන් සතුව රැකියා වෙළඳපල සඳහා අවශ්‍ය කුසලතාවන් නොපැවතීමයි. දුර්වල පාඨමාලා වල විෂයමාල නවීකරණය කරලීමේ වගකීමෙන් රජයට මිදිය නොහැකිය. විශේෂයෙන්ම මොරටු සරසවිය සහ කොළඹ හා පේරාදෙණියේ ඇතැම් පීඨවල ගෙන යන විධික්‍රම ආණ්ඩුවට අසාර්ථක පාඨමාලා සඳහා හඳුන්වා දිය හැකිය. පේරාදෙණියේ පරිපූරක වෛද්‍ය සේවා උපාධි පාඨමාලා, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ඈ අසාර්ථක උපාධි පාඨමාලා හරහා රටට සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නම් නොවන බව රජය ඉඳුරාම අවබෝධ කරගත යුතුය. අද වන විට ආණ්ඩුව කරනුයේ පෞද්ගලික අංශය සිය අවශ්‍යතා සඳහා බඳවාගෙන හමාර වූ පසු ඉතිරි වන්නා වූ අකාර්යක්ෂම, අනුන්ගෙන් යැපීමේ ආකල්ප වලින් සපිරුණු අදක්ෂයින් රජයට බඳවාගෙන ඔවුනට රාජ්‍යය භාණ්ඩාගාරයේ ජනතා මුදල්වලින් පිනට පඩි නඩි දී “අයිස් ගැහීමට” මග පෑදීමය. මෙයද කළ නොයුත්තකි. අද වන විට ලංකාව තම ශ්‍රම බලකායෙන් රජයේ සේවයේ විශාල ප්‍රතිශතයක් සිටින රටවලින් එකකි. මෙය රටට මහත් බරක් මිස වාසියක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

එසේ නම් රටට නැණවතුන් බිහිකරන සරසවි වල්බිහිවී එක එකාගේ ඕනා එපාකම් ඉෂ්ටකරගන්නා කෝළම් මඩුවක් වීමට ඉඩ නොදී ඒවා රටේ උන්නතිය උදෙසා බලගැන්විය යුතුය. ඒ සඳහා අප සෑම සියළු දෙනාටම විශාල වගකීමක් පැවරෙන බවද සුපැහැදිලිය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

Advertisements

5 responses to this post.

  1. සරසවිය තුල දේශපාලනය ඉවත් කිරීම වැනි බක පණ්ඩිත යෝජනා වලින් පවතින ගැටළුවට විසඳුම් සෙවිය නොහැක. මොරටුව වැනි අල පාත්ති තුලින් බිහි වන බබා උක්කුන්ලාගේ තත්වය සමහර විට කැළණිය සරසවියේ මොළ සේදී ගිය උන්ටත් වඩා අන්තය.

    දේශපාලනයක් තිබිය යුතුය. එය සරසවි ගිය පමණින් තහනම් නොවිය යුතුය. උසස් පෙළින් උසස්ම ලකුණු ලබා ගන්නා අතලොස්ස දේශපාලනික තොත්ත බබාලා වීමේ ප්‍රථිපල දැනටමත් විද්‍යාමාන වෙමින් පවතී. සරසවිය තුල දේශපාලනය කඩේ යාමකින් තොර වූ, ජවිපෙ වැනි පුස් විප්ලව බට්ටන්ගේ හස්තයට යට නොවූ දේශපාලනයක් විය යුතුය. පවතින ක්‍රමයේ සෑබෑ තත්වය අවබෝධ කර ගැනීමට තරම් මොළ පොජ්ජක් තිබේ යැයි අනුමාන කල හැකි පිරිසක් එම ක්‍රමයේම තවත් කොටසක් වූ දේශපාලන පක්ෂයතට කඩේ යාම අනුමත කල නොහැක්කකි. පක්ෂයක් වෙනුවට දෘෂ්ඨියක් අනුගමනය කිරීම අප පුරුදු විය යුතුය.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by Niles Perera on ජූනි 28, 2009 at 12:41

      ඔබ කියන පරිදි පක්ෂයක් වෙනුවට දෘෂ්ඨියක් අනුගමනය කිරීමේ මතයට මමත් එක්ඟ වෙමි. නමුත් සරසවිවල සිසුන්ට දේශපාලනික අදහස් තුබුණද ඒවා සරසවි අධ්‍යාපනයට හානිකර අන්දමින් අඩදඹර, සහ කඩේ යෑම් මූලික කරගත් වත්මන් රාමුවෙන් ඉඳුරාම ඉවත්විය යුතුයැයි මා සිතමි. සරසවිය තුල දේශපාලනයක් පවතී නම් පැවැතිය යුත්තේ මතවාදීමය මට්ටමකැයි මම කල්පනා කරමි.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ජවිපෙ ඔවුන්ගෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පාවිච්චි කරන්නනෙ උන්ට සම්මදම් එකතු කරන්නයි , රජයට විරුද්ධව පිකට් කරන්නයි.. වෙන කරන මගුලක් නෑ. අන්නරේ එක්ක ඉන්න යුනියන් හිතන්නෙ අන්තරේ නැත්තම් උන් ඉවරයි කියල

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by saku on ජූනි 28, 2009 at 16:19

    විශ්ව විද්යාල පද්ධතිය තුල මෙවන් සදාචාරාත්මක පිරිහීමක් දක්නට ලැබීම ඉතා ශෝචනීය කරුනකි.එක් අතකින් මෙය සමාජීය පිරිහීමක්ද වන්නේය.ඒ මන්ද යත් හරිහමන් දේශපාලන දර්ශනයක් නැති තෙලෙන් බැදි පපඩම් සමූහයක් රටට දායාද වීමයි. එවැනි පිරිසක් විශ්ව විද්යාල වලින් පිටවු පසු පවා මෙම අගතිගාමී රූකඩ හැසිරීම් රටාව දක්වන්නට වු කල අපේ රටේ අනාගතයට යන කල දසාව ඉතා කනගාටුදායකය.
    ලේඛකයා කියන්නාක් මෙන් විශ්ව විද්යාල පද්ධතිය තුලින් දේශපාලනය ඉවත් කිරීම කෙතරම් ප්රජාතන්ත්රවාදීදැයි යන ගැටලුව මටද මතුවේ. නමුත් විශ්ව විද්යාල ශිෂ්යාවක් ලෙස මට කිව හැක්කේ නිවරැදිව තම දේශපාලන අයිතිය හසුරවන පිරිසක් තවත් බොහෝ කලකට විශ්ව විද්යාලයකින් බිහි නොවනු ඇති බවයි.එනිසා සිදුවන්නේ සුළු පිරිසකගේ ප්රජාතන්ත්රවාදය රැකීමට ගොස් බහුතර පිරිසකගේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වීමයි. එහෙයින් විශ්ව විද්යාල පද්ධතියෙන් දේශපාලනය ඉවත් කිරීම කාලීන තීරණයක් සේ මට හැඟීයයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: