ශ්‍රී ලංකාවේ දේශපාලන විසඳුම කෙබඳු වේද?

Click here to get Sinhala Unicode.

2009 මැයි 19දා උත්තරීතර පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා සිය රාජාසන කතාවේදී කීවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ලංකාවටම ආවේණික දේශපාලන විසඳුමක් ලබා දෙන බවයි. එය රටක් වශයෙන් අප සැමටම සතුටට කරුණකි. එවැනි විසඳුමක් හරහා මෙරට නැවත වරක් ත්‍රස්තවාදයටත් බෙදුම්වාදයටත් හිස එස්වීමට නොහැකි වාතාවරණයක් ගොඩ නගා ගත හැකිය. නමුත් වත්මන් රජයේ හවුල්කාර පාර්ශව සැලකිල්ලට ගැනීමේදී අපට පෙනී යන්නේ දේශපාලන විසඳුමක් ගෙන ඒම එතරම් පහසු කාර්යයක් නොවනු ඇති වගයි. ඇයි ඒ? ඊට හේතුව අන් කිසිවක්වත් නොවේ ආණ්ඩුවේම සංයුතියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය බෙදීමට කැමැත්ත පළ කළද ආණ්ඩුවේ පාර්ශවකරුවන්වන මහජන එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැන්නන් පළාත් සභා ක්‍රමයට පවා විරුද්ධ වීමයි.

රජයේ පළමු වගකීම වනුයේ උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාවට සහන සලසා ඔවුන්ව යළිත් තම ගම්බිම් වල පදිංචි කරවීමයි. දෙවැනුව එම දෙපළාත සංවර්ධනය කිරීමේ භරධූර වගකීමද රජයට දැරීමට සිදුවේ. එය එසේ නොවුන්හොත් දමිළ ජනතාව ලංකාණ්ඩුවට විරුද්ධ වෙමින් නැවත ආයුධ අතට ගැනීමට පවා යොමු වන්නට ඉඩකඩ ඇත. මෙම කර්තව්‍යයට සමගාමීව සියලු ජන කොටස් වලට පිලිගත හැකි දේශපාලන විසඳුම්ක් සැකසීමේ වගකීමද රජයට පැවරේ. එදා යූඇන්පිය ඉන්දු-ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන විට මහමගට බැස ඊට දැඩි විරෝධතාවය පළ කළ මහින්ද ඇතුළු ශ්‍රීලනිපය අද රටේ පවතින ජනවාර්ගික ගැටළුවට හොඳම විසඳුම පළාත් සභා ක්‍රමය ඇතුළු 13වන සංශෝධනය බවට පිලිගැනීම ප්‍රශංසනීයය. නමුත් එදා එය මෙරටට හඳුන්වා දෙන විටදී පටු දේශපාලන අරමුණු පෙරදැරිව ඊට විරුද්ධ වනවා වෙනුවට රට ගැන අවංකව සිතා ඊට එකඟ වුණි නම් තත්ත්වය් කොපමණ වෙනස් වන්නට තිබුණිද?

ත්‍රස්තවාදය අප මුලිනුපුටා දැමුවද ත්‍රස්තවාදයේ මූල බීජය වූ අසමානතා සහ විෂමතා අකා මකා දැමිය යුතුය යන්න බුද්ධිමත් සැවොම පිලිගනිති. බෞද්ධාගමේ කියැවෙන්නේද ඵලය නැසීමට හේතුව නැසිය යුතුය යන්න නොවේද? එසේ නම් කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ දේශපාලනිකමය බලය බෙදීමක් ලබා දීමය. අතීතය පුරා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ සම්බන්ධව පටු දේශපාලන දෘෂ්ඨිකෝණයකින් කටයුතු කර ඇත. නමුත් 1977න් පසුව එක්සත් ජාතික පක්ෂයත් මෑතක සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බලය බෙදීම ප්‍රතිපත්තිමය වශයෙන් පිලිගෙන තිබේ. එදා මෙරට ඔඩුදුවමින් පැවැති බෙදුම්වාදය දුරලීමට එක්සත් ජාතික පක්ෂ රජය විසින් 13වන සංශෝධනය හරහා පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “පළා බබා අපට එපා” කියා කොටුවේ බෝධිය අභියස වාඩි වී උද්ඝෝශණ කරන්නට වූ බව මම ඉහත කීවෙමි.. එපමණක් නොව පළමු පළාත් සභා මැතිවරණ මාලාවට තරඟ කිරීමට පවා ශ්‍රීලනිපය ඉදිරිපත් වූයේ නැත. එදා එලෙස තිරසාර විසඳුමකට මුල පිරූ රජයේ යෝජනා පිළිකෙව් කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයින් වසර 20කට පසුව අද මෙම ගැටළුවට හොඳම විසඳුම 13වන සංශෝධනයටත් ඔබ්බෙන් ගිය විසඳුමක් (13 ප්ලස්) යැයි පැවසීම සැබැවින්ම දෛවෝපගත සිද්ධියක් නොවේද?

නමුත් රටේ සුබ සිද්ධිය අරඹයා දේශපාලන එදිරිවාදිකම් අත්හැරිය යුතුය. අතීතයේ අප අතින් සිදු වූ ප්‍රමාද දෝෂයන් හරිගස්සවා ගැනීමට දැන් කාලය එලඹ ඇත. රටේ කිසිඳු ජනමතයක් නොමැති විමල් වීරවංශගේ ජානිපෙට ජවිපෙන් කඩාගෙන ආ මන්ත්‍රීවරුන් 11ක් සිටිති. විමල් කොච්චර කෙකර ගෑව්ද ඔහුගේ හිසට පළඳන ඔටුන්න කවරාකාරදැයි මහජනතාව පහුගිය පළාත් සභ මැතිවරණ වලදී පෙන්වීය. වයඹ සහ මධ්‍යම පළාත් වලට සන්ධාන්යේ බුලත් කොළය යටතේ විමල්ගේ ඔටුනුකරයින් 10ක් ඉදිරිපත් වුවත් ඉන් 9ක්ම පරාද විය. බස්නාහිරදී අපේක්ෂක්යින් 6ක් අතුරින් 4ක් පරාජයට පත්වුයේ ජානිපෙ සැබෑ නිරුවත හෙළි කරමිනි. ඒ සා සුවිශාල ජයක් ලද බුලත් කොළයෙන් දෙදෙනකු පමණක් තේරීපත් වීම ලැජ්ජා සහගතය. ඔවුන්ගෙන් එකකු ජනප්‍රිය නළුවකුත් අනෙකා දොස්තරවරයකු වීමෙනුත් පෙනී යන්නේ ඔවුන් දෙදෙනාගේ ජය සැබැවින්ම පක්ෂයේ ජයක් නොව පෞද්ගලික ජයග්‍රහණයක් යන වග නොවේද? ආණ්ඩුව තුලම ඉඳගෙන ආණ්ඩුවේ වැදගත් ඇමැතිවරයකු වන මහාචාර්යය තිස්ස විතාරණට දොස් පරොස් කීම කොපමණ කාලකන්නිකම්ක්ද? එතුමාගේ සභාපතීත්වෙයෙන් සර්වපාක්ෂික කමිටුවක් පිහිට වූයේ විමල් වීරවංශ අදහන ජනාධිපතිතුමාම නොවේද? එදා පාර්ලිමේන්තුවේ බලය බෙදීම ගැන ජනපති සඳහන් කරද්දී විමල් වීරවංශ නිදාගෙන සිටියාවත්ද? මක්නිසාදයත් මොහු මේ පහර ගසන්නේ තිස්ස විතාරණ මහාචාර්යයතුමාටත්, ජනාධිපතිතුමාටත් පමණක් නොව ලාංකේය බුද්ධිමත් ජන ප්‍රජාවටමය.මීට අමතරව තනි පක්ෂයක් ලෙස කිසිඳු පදනමක් නැති සිංහල අන්තවාදී ජාතික හෙළ උරුමයත්, දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණත්, එදා විජේවීර යටතේ බලය බෙදීමට එකඟව දැඩි ලෙස හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණත් මෙවැනි දේශපාලන විසඳුමකට අකුල් හෙලති.

එහෙත් මෙම විසඳුම නැතිවම බැරිය. රටේ සියලු ජන කොටස්වලට බියක් සැකක් නැතිව කරදරයක් හිරිහැරයක් නැතිව ජීවත් වීමේ අයිතිය තිබිය යුතුය. අද දෙමල කතාකරන මිනිහට තමන්ගේ වැඩක් පලක් කරගැනීමට සිංහල උවමනාය. දෙමල භාෂාව රාජ්‍ය භාෂාවක් වන යුගයක එය එසේ විය යුතුද? අද තණමල්විල හේන් ගොවියාත්, දෙහිඅත්තකණ්ඩියේ වී ගොවියාත්, වැලිමඩ අල ගොවියාත්, චාවකච්චේරියේ මිරිස් ගොවියාත්, බිබිලේ දොඩම් ගොවියාත්, කල්පිටියේ ධීවර කාර්මිකයාත් රජයේ වැඩ කටයුතු කරගැනීමට දහස් ගව් දුර ගෙවා මුදල්, කාලය හා ශ්‍රමය වියදම් කරගෙන කොළඹ ආ යුතුය. මෙය සාධාරණද? මෙය වෙනස් විය යුතුය. විශේෂයෙන්ම මෙම පළාත් සභා ක්‍රමය උතුරට නැගෙනහිරට පමණක් බල නොපාන ලෙස ජේ.ආර්. ජයවර්ධන ජනපතිඳුන් සැකසුවේ මෙහි ප්‍රතිලාභ සමස්ථ ශ්‍රී ලාංකේය ජන සමාජයටම අත් විඳීමට හැකි වන පරිද්දෙනි. අපට ඕනෑ කරන්නේ දෙපළාතකට දෙයාකාරයෙන් නොසලකන එවන් සාධාරණ විසඳුමකි. විශේෂයෙන්ම පළාත් සභා “සුදු අලින්” යැයි පුන පුනා හුවා දක්වන ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ මීට විරෝධය පළ කිරීම මට නම් මහත් උභතෝකෝටිකයකි. පළාත් සභා ඔවුන් කියන පරිදි සුදු අලින් නම් ඊට විරුද්ධ වන්නේ කවර කෙංගෙඩියකටඩ? ඉන් රට දෙකඩ වන්නේ කෙසේද? එක්සත් ජාතික පක්ෂය වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, මෙම ප්‍රධාන පක්ෂ දෙකම රට බෙදීමට ඉඩ නොතබන බව මොළයක් ඇත්තෝ හොඳින් දනිති. මහාචාර්යය තිස්ස විතාරණලාට, ඩිව් ගුණ්සේකරලාටද එවැනි උවමනාවක්, කැසිල්ලක් ඇතැයි කීමට ඇති සාක්ෂී මොනවාද?

විසඳුම 13වන සංශෝධනයම බලාත්මක කිරීමද, 13වන සංශෝධනයෙන් ඔබ්බට යන 13+ විසඳුමක්ද යන්න මහින්ද රාජපක්ෂ රජයත් සර්ව පාක්ෂික කමිටුවත් තීරණය කළ යුතුය. බොහෝ දෙනෙක් තුල 13වන සංශෝධනයේ එන පොලිස් බලතල ගැන කුකුසක් පවතී. නමුත් 17වන සංශෝධනයට අනුව  පොලිස් කොමිසම හරහා පළාත් සභා වල පොලීසි නියාමනය කෙරෙන බැවින් ඒ ගැනද අනියත බියක් නොතිබිය යුතුය.

මේ කෙසේ වෙතත් විසඳුම රටේ බහුතර ජනතාවකට පිලිගත හැකි සාධාරණ විසඳුමක් විය යුතුය. ඒ සඳහා මහින්දට කවුරු සහාය නොදුන්නද එක්සත් ජාතික පක්ෂය සහය දෙනු ඇත. එම සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුව දැන ගත් යුතුය. එජාපයටත් එහි නායකත්වයටත් විරුද්ධව මඩ ගැසීමත් එජාපයේ ක්‍රියාකලාපයන් හෑල්ලුවට ලක් කිරීමත් ආණ්ඩුව නැවැත්විය යුතුය. විශේෂයෙන්ම අද වන විට ජනමා‍ධ්‍යය අයුතු ලෙස යොදා ගනිමින් එජාපය සහ එහි නායකත්වය ගැන සම්පූර්ණයෙන්ම වැරදි මතවාදයක් ජනතාවට කාවද්දමින් එක්සත් ජාතික පක්ෂය සහ එහි සාමජිකයා කෙරෙහි ජනතාව තුල වෛරයක් නිර්මණය කිරීමේ පිළිකුල් සහගත උත්සාහයක ආණ්ඩුව නියැලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලනික ලෙස අඳබාල තරුණ සහ ළමා පරපුරක් බිහිවෙමින් පවතී, ඔවුන්ට දේශපාලන දර්ශනයක් නැත. මාධ්‍ය ඔස්සේ ඇහෙන දකින දෙයින් දේශපාලන අදහස් ගොඩ නගා ගන්නා මොවුන් තම මතයට විරුද්ධ මත දරන්නන් දේශද්‍රෝහීන් ලෙස හුවා දැක්වීමට රජය වෙහෙසේ. මෙම අවස්ථවාදී නින්දිත ක්‍රියාව වළකා අලුත් වෛරවාදයෙන් තොර මහත්මා දේශපාලනයකට ආණ්ඩුව පිය මැනිය යුතුය. මෙම ප්‍රශ්නය මෙතැනින්ම අවසන් කළ යුතුය. මෙම ගැටළුව විසඳීමට කල් නොමැරිය යුතුය. එසේ කල්මැරීම අප අපටම ශාප කරගැනීමකි, අපේ රටේත්, අපේත් අනාගතය වනසා ගැනීමකි. එබැවින් ප්‍රධාන පක්ෂ දෙක එකතු පහදු වී රටේ උන්නතිය සඳහා දේශපාලන විසඳුමක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුය යන්න මගේ අවංක හැඟීමයි.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

4 responses to this post.

  1. Posted by ක්‍රිශ්ණා on ජූනි 14, 2009 at 12:33

    එදා යූඇන්පිය ඉන්දු-ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දෙන විට මහමගට බැස ඊට දැඩි විරෝධතාවය පළ කළ මහින්ද ඇතුළු ශ්‍රීලනිපය අද රටේ පවතින ජනවාර්ගික ගැටළුවට හොඳම විසඳුම පළාත් සභා ක්‍රමය ඇතුළු 13වන සංශෝධනය බවට පිලිගැනීම ප්‍රශංසනීයය.

    ඕකම තමා තව අවුරුදු කීපයකින් ත්‍රස්තවාදය නැති කිරීමට තිබුණු හොඳම ක්‍රියාපිලිවෙත සාම සාකච්ඡා කියල මේ අය පිලිගන්නවා. ඒ වගේම සටන් විරාම ගිවිසුම මේ සදහා ගත්ත හොඳම පියවර කියලත් පිලිගන්නවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by Niles Perera on ජූනි 15, 2009 at 08:20

      අනිවාර්යයෙන්ම… අපේ කුහක ජනතාව සටන් විරාම ගිවිසුම හරහා කොටින්ට වැදුණු මරු පහර නොදකිති. කොටි දෙකඩ වූයේ ඒ හරහාය. හමුදාවේ පිරිස් බලය වැඩි කර නවීන අවි ආයුධ ගත්තේ ඒ ඔස්සේය. කොටින් පවා මෙය පිළිගනිති. එනිසා කවුරුන් කෙසේ කීවද ත්‍රස්තවාදය මැඩලීමට සටන් විරාම ගිවිසුමද හේතුපාදක විය.

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by saku on ජූනි 17, 2009 at 18:45

    දෙමල ජනතාවටද මේ රටේ රිසි සේ ජීවත් වීමට සම අයිතියක් තිබේ. එහෙත් මේ අදහස පිලිගන්නේ කීයෙන් කීදෙනාද? රටට ආදරය කරන දේශපාලකයන් කල යුත්තේ මේ අදහස මිනිසුන් කරා ගෙන යාම විනා පටු දේශපාලන අරමුනු වෙනුවෙන් පෙනී සිටීම නොවෙයි. රටක් ලෙස අප ඉදිරියට යාමට නම් බහුතර ජනතාවගේ හදවත් තුල ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු නොවේද??? එහෙත් විමල් වීරව0ශ ලාගේ චාටු බස් වලට රැවටෙන මිනිසුන් තවමත් සිටින මෙවන් යුගයක මෙබඳු ලිපි වලින් සිදුවන ජාතික මෙහෙවර අපමණය!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by Niles Perera on ජූනි 18, 2009 at 15:50

      සකූ, ඔබේ අදහසට මම සියයට සියයක් එකඟ වෙමි. නමුත් යුද්ධය ජය ගැනීමට රටේ ජනතාව තුල තුබූ උද්‍යෝගය මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට නොලැබෙන බව දැන් දැන් පෙනී යයි. එය ඉතා කණගාටුදායක තත්ත්වයකි.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: