ලක් ධජයට නිසි ගරුසරු..

Click here to get Sinhala Unicode.

පසුගිය වකවානුව පුරා අප රටේ ත්‍රස්තවාදය පැරදවීමත් සමඟ රටේ උත්සව සිරියක් දක්නට ලැබුණි. මෙම විජයග්‍රහණය ඉහළින් සැමරීමට ජනතාව උත්සුක විය. විශේෂයෙන්ම රතිඤ්ඤා පත්තු කරමින් දන්සැල් පවත්වමින් ජනතාව තම සතුට බෙදා ගත්හ. මීට සමගාමීව සිව් දෙස ජාතික කොඩි ලෙල දුන්නේ රටටම අභිමානවත් සිරියක් කැන්දමිනි. ඉන් පිළියන්දල නගරය මුදුනේ ප්‍රෞඩත්වයෙන් ලෙල දුන් අඩි 30ක් දිග අඩි 15 පළල ධජය මුල් තැනක් ගත්තේය. නමුත් මගේ මේ අරමුණ පිළියන්දල ජාතික ධජය ගැන වැයීමවත් අප ජාතික ධජයේ ඇති විශිෂ්ටත්වය ගැන කතිකා කිරීමවත් නොවේ.

මගේ අරමුණ ජාතික ධජයට අප ජනතාව කර ඇති වින්නැහියක් ගැන කීමටය. විජයග්‍රහණයෙන් පසුව එසැවුණු කොඩි දැන් ජනතාව නොසලකා හැර ඇත. ඒවා අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරාපත්වීම දක්නට ලැබීම දුක ගෙනදෙන සුළුය. ඇතැම් ජාතික ධජ තම කොඩි ගසේ එතී ඇඹරී ගොස් තිබීමද මම දුටුවෙමි. මාගේ මිතුරකු පැවසූ අන්දමට යම් ස්ථානවල සිංහ ධජය මහමගත්, පදික වේදිකාවේත් පමණක් නොව කාණු පල්ලේද දක්නට ලැබී ඇත. මෙය අතිශයින්ම ඛේදනීය තත්වයක් නොවේද? අප ශ්‍රී ලංකා දීපයේ සාඩම්බර සංඛේතයක් වන ජාතික ධජයට මෙවැනි සැලකීමක් රිසිද?

පසුගියදා ත්‍රස්තවාදයේ නිමාවත් සමඟ ජනාධිපතිතුමා ජෝර්දානයේ සිට ලක් දෙරණට ගොඩ බැස ගුවන් තොටුපලේ තාර තට්ටුව නමස්කාර කිරීම මාධ්‍යයටත් රටේ ඇතැම් ජනතාවටත් විජ්ජාවක් විය. නමුත් මෙම නමස්කාරය කළේ අවංක සිතින්ද නැතහොත් තම දේශපාලන ගොඩ වැඩි කරගැනීමේ පටු අරමුණින්ද යන වග බුද්ධිමත් සැවොම පක්ෂ භේදයෙන් තොරව ප්‍රශ්න කරති. මෙම ක්‍රියාව උත්තරීත එකකැයි විවිධ පාර්ශව වලින් අදහස් මතු වෙද්දී මාධ්‍යය මෙය උලුප්පා පෙන්වද්දී කාටත් නෙත නොගැටුණු මීටත් වඩා ශ්‍රෙෂ්ඨ ක්‍රියාවක් මහින්ද විසින් සිදු කරනු මම දුටිමි. එදා මහින්ද පිළිගෙන ලකුණු දාගැනීමට රොත්ත බුරුත්ත පිටින්ම ගුවන් තොටට පැමිණ සිටි ඇමැති මණ්ඩලයේ සිටි සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන ලහිලහියේවුත් ජනාධිපතිවරයාට සිංහ ධජයක් පොරවන්නට වෙර වෑයම් දැරුවේ හින්දු පූජකයකු ආශිර්වාද වස්ත්‍රයක් පොරවන විලෙසිනි. නමුත් ජනාධිපතිතුමා හනෙකට ජාතික ධජය එතැනින් ඉවත් කළේ එය ජාතික කොඩියට නොගැලපෙන ක්‍රියාවක් දැන්ගෙන විය යුතුය. අවාසනාවට ලංකේය ජනතාව ලොව දකින්නට පුරුදු වී ඇත්තේ ජනමාධ්‍යයේ නෙතින් මිස තම දෙනෙතින් නොවේ. අදා මාධ්‍යය ඔස්සේ අසන්නට ලැබෙන ඕනෑම කතාවක් එක් සිතින් කිසිඳු හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව පිළිගන්නට ජනතාව සූදානම් වීම දුක්ඛදායකය. මෙවැනි හොඳ දේ ජනතාව නොදකින්නේ මන්ද?

මෙම ලියමනෙන් මා අපේ පාඨකයන්ට කීමට උත්සුක වුණේ ජාතික ධජයක් එසවීම පමණක් සරි නොවන වගයි. කොඩියක් එසවූ විට ඊට නිසි බුහුමන් දැක්විය යුතුය. එපමණක් නොව ඔසවා තබන කොඩියක් හොඳින් නඩත්තු කළ යුතුය. එනම් කොඩි ගසේ ඇඹරී වෙලී තිබීමට ඉඩ දීම, වේලී, මැලවී යෑමට ඉඩ දීම නොකළ යුතුය. තවද ලක් ධජයක් නැංවූ කළ එය සුදුසු විට ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමේ වගකීමද අප සතුය. නැතහොත් අපේ රටේ ශ්‍රෙෂ්ඨ ජාතික කොඩිය මහමග, කාණු පල්ලේ තිබීම අප කෙසේ වළකා ගනිමුද? එමනිසා අපගේ ජාතික ප්‍රෞඩත්වය විදහා පාන ජාතික ධජය එසවීම පමණක් නොසරිය. එසවූ ඒ අභිමානය ආරක්ෂා කිරීමට උර දී ආටෝපයට, පුරාජේරුවට, රැල්ලට “දේශප්‍රේමියකු” නොවී, සැබෑ දෙශප්‍රේමියකු වන ලෙස අප ඔබෙන් උදක්ම ඉල්ලමු.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 පොසොන්

H Niles Perera©, June 2009

6 responses to this post.

  1. Posted by rachiyo on ජූනි 7, 2009 at 09:30

    මා මිතුර,
    ඔබ ළිපියට තවද කරුණක් එක් කිරීම අවැසි යයි සිතමි.රුපියල් 500ය යකට සහ අතිවිශේෂ වූ බෝතලයකට තරුණයින් දෙදෙනෙකු යතුරු පැදියක නග්ගවා අපගේ අභිමානය වූ ජාතික ධජය ලෙළදෙවන්නට දීමද මහත් අපරාධයකි.මන්දයත් මොරටුව නගරාසන්නයේදී මාගේ ඇසින් දුටු සාක්ෂි අණුව සවස් යාමය වනවිට ජාතික ධජය ඉනවට බැඳ සිටිනු දුටු අතර එසේම තවෙකෙකු ජාතික ධජයෙන් තම මුහුණද පිසදමනු දුටිමි.
    එමනිසා ඔබ ළිපිය ඉතාමත් කාළෝචිත බව සඳහන් කරන අතර ඒ සම්භන්ධව ඔබට තුති පුද කරමි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • Posted by hnilesp on ජූනි 7, 2009 at 12:04

      සහතික ඇත්ත… මෙවැනි උදවිය “දේශප්‍රේමින්” යැයි පෙනී සිටිමින් අනෙකන්ට “දේශද්‍රෝහී” ලේබල් ඇල්වීම කදිම විහිළුවකි. රාජගිරිය ප්‍රදේශයෙන් ප්‍රභාකරන්ගේ මළගමට නොසරුප් අවමගුල් දැන්වීමක් බෙදමින් “කලෙක්ෂන්” දැමූ බීමත් තරුණයින් පිරිසක් මම දුටු අතර ඔවුන්ද ජාතික කොඩිය ඉන වටා බැඳගෙන ජාතික කොඩියට බලෙන් මෙන් පාරේ යන එන ඈයන්ගෙන් සල්ලි එකතු කරමින් තිබුණි.😦 රටේ ජාතික ධජයට මීට වඩා අභිමානවත් සැලකීමක් අප දිය යුතුමය…
      රචින්ත මෙම ලියමන ගැන වූ ඔබේ අවංක ඇගැයීම මට තව දිරි දෙයි… ඔබට මගේ තුති…!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

  2. මේකෙන් කියවෙන්නේ ප්‍රභාකරන්ගෙ අර ප්‍රසිද්ධ කියමනම නේද? සිංහල මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ සතියයි.

    හොඳ ලියමනක්. මෙතෙක් බ්ලොග් ලිපිවල සාකච්ඡාවට බඳුන් නොවූ දෙයක්.🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Posted by cssamarakoon on ජූනි 7, 2009 at 19:50

    Our people don’t know how to act in the correct situation.I feel these celebrations are too much now.If we want to built our country we must work hard with the long time development plan.

    ප්‍රති-පිළිතුරු සැපයීම

  4. totally agree with your post, there is a limit of everything.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: