ඇත්තටම එජාපයට දිනන්න බැරිද?

Click here to get Sinhala Unicode.

1994 පටන් එජාපය මැතිවරණ දිනා ඇත්තේ අතේ ඇඟිලි ගාණටය. ඒ ගැන විවිධ මතවාද ඇතිවූවත් මෙම ලියමනේ අරමුණ ඒවා විශ්ලේශණය කිරීම නොවේ. රනිල් නායකයා වූදා සිට අමන එජාප විරෝධීන් එජාපයේ මැතිවරණ පරාජයන් ගනිමින් “”බොළඳ ආතල්” ගනිති. ඇතැමුන්ගේ එකම අභිලාශය එජාපයට බලය ලැබීම වැළැක්වීමයි, ජවිපෙ ශ්‍රීලනිපය හා සන්ධානගත වූයේ යූඇන්පිය පැරදවීමට විනා රටේ සුගතිය සඳහා නම් නොවේ. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී තිලංග සුමතිපාලට සහය පලකල දේශප්‍රේමියකු ලෙස පෙනී සිටින මගේ මිතුරකු Facebook වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ කවුරු මහ ඇමැති වුවත් එජාපය පරාද වීම සතුටට කරුණක් බවයි. මේ අද රටේ පවතින එජාප විරෝධයේ තරමයි. අද යූඇන්පීකාරයන්ව දේශද්‍රෝහීන් ලෙස අමු අමුවේ රජය සහ අවශේෂ පාර්ශව හංවඩු ගසමින් පවතී.

මීට සමගාමීව තව අවුරුදු අච්චරකට, මෙච්චරකට එජාපය බලයට නොඑන බවට මත පලවෙමින් පවතින අතර යූඇන්පී පාක්ෂිකයන් සමහරක්ද එම මතයේ සිටීම කණගාටුවට කරුණකි.  අද රටේ ඇතැමෙක් මහින්දට රජකු යැයි ආමන්ත්‍රණය කරන විට, ඇතැමෙක් ඔහුට සදහටම ජනපතිව සිටින්නැයි ප්‍රජාතන්ත්‍රවිරෝධීව ඉල්ලද්දී ජනතාව තුල එවන් අදහසක් ඇති වීම සාමාන්‍යය. ඒ හාහූවන් පසෙකලා යූඇන්පියේ මතු ජයග්‍රහණය කවදාද යන්න අප විමසමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1952දී බිහිවීමත් සමඟ රටේ ආණ්ඩු බලය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තුලනය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාග රජයන් හරහා සැම විටම බලයට පත්වූවේ කිනම් හෝ සමාජයීය ප්‍රශ්නයක් පෙරටු කර ගනිමිනි. 1956 රාජ්‍යය භාෂා ප්‍රශ්නයේ සිට 2004, 2005 “එජාපය රට පාවා දෙනවා” යන තර්කය දක්වා ශ්‍රීලනිපය බලය ලද්දේ සමාජ ගැටඵවක් උලුප්පා ගනිමිනි. එහෙත් එක්සත් ජාතික පක්ෂය සැමවිටම ආණ්ඩු බලය ගත්තේ ආර්ථිකය සහ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පදනම් කරගනිමිනි, 1965, 1977, 2001 මීට කදිම නිදසුන්ය. වත්මන මෙරට ජනයා මහත් ලෙස පීඩාවට පත්කළ සමාජ වසංගතය වූ LTTE ත්‍රස්තවාදය පරාජයට පත්කර ඇත. දැන් රට හමුවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයයි. මේතාක් මහින්දගේ ආණ්ඩුව ආර්ථිකය අතින් අත් කරගෙනැති ජයග්‍රහණ ප්‍රමාණය සීමිතය. යුද ජයග්‍රහණ නිසා තම පටි තද කරගෙන ඇති ජනතාව සෘජුවම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ලාංකේය ජන සමාජයේ දීර්ඝ කාලීන මතකය දුර්වලය, එනිසා යුද ජයග්‍රහණයේ උණුසුම කෙමෙන් පහව යෑමත් සමඟ ආර්ථික ප්‍රශ්නයට මහින්දට පිළිතුරු දීමට නොහැකි වුණොත් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකිය. විශේෂයෙන්ම ගෝලීය ආර්ථික අර්බුදය මධ්‍යයේ රට සරුසාර කිරීම සහ ජීවනබර හෑල්ලු කිරීම සැබැවින්ම අභියෝගයකි.

මීට කදිම උදාහරණ දෙකකි. පළමුවැන්න 1988-89 ජවිපෙ භීෂණයයි. මුඵ රටම තම අණසකින් භය කරමින් රට පුරා භීතිය වපුරමින් රට අගාධයට ගෙන යමින් තුබූ ජවිපෙ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරදවා ජනතාවගේ බිය තුරන් කළද එක්සත් ජාතික පක්ෂය 1994 වන විට විපක්ෂයේ වාඩි කරලීමට ජනතාව තීන්දු කළේය. එවක මතුවෙමින් තිබූ නානාවිධ සමාජ ප්‍රශ්නත් චන්ද්‍රිකාට ජනතාව තුල වූ ආකර්ෂණයත් ඊට හේතුපාදක විය. දෙවැන්න අපට අසන්නට ලැබෙනුයේ 1945 මහා බ්‍රිතාන්‍යයෙනි. ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාට්සි හමුදාවෝ මුඵ ලොවම යුද්ධයෙන් සලිත කර තිබූ මොහොතක එම ම්ලේච්ඡත්වයට විරුද්ධව වින්ස්ටන් චර්චිල් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සටන් වැදුණි. වසර ගණනක රුදුරු සටන් අවසන බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවෝ හිට්ලර්ගේ නාට්සි හමුදා පරදා ජය ලැබීය. යුද වකවානුව පුරා බ්‍රිතාන්‍ය මහජනතාව චර්චිල්ට සහය දුන්නේ තම බඩගින්න පවා නොසළකා හරිමිනි. යුද ජයග්‍රහණයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් මහජනතාව චර්චිල්ට වීරයකුගේ සැලකිල්ල ලබාදීමට පසුබට වුණේ නැත. එහෙත් 1945 අවසන සිදුවූයේ කුමක්ද? වසර ගණනක් රට වෙනුවෙන් පටි තද කරගෙන දහදුක් විඳි බ්‍රිතාන්‍ය වැසියෝ මහා සාපයකින් මුඵ ලොවම ගලවාගත් චර්චිල් පරදා ක්ලෙමන්ට් ඇට්ලි ප්‍රමුඛ කම්කරු පක්ෂයට අතිවිශාල ජයක් අත් කරදෙන ලදි. එය එතෙක් ඉතිහාසයේ කම්කරු පක්ෂය ලද විශාලතම ජයග්‍රහණය වීමද විශේෂත්වයකි. ආර්ථික අර්බුදයෙන් හෙම්බත්ව සිටි බ්‍රිතාන්‍ය වැසියන්ගේ මෙම ක්‍රියාවෙන් ඔප් නැංවෙන්නේ අතීතයට වඩා වර්තමානයත් අනාගයත් ජනතාවට වැදගත් යන්න නොවේද?

ශ්‍රීලනිපය එජාපය මෙන් ආර්ථික පරිපාලනයේ දක්ෂයින් නොවෙන බව යථාර්ථයකි. එනිසා මේ තීරණාත්මක මොහොතේ රටේ ආර්ථිකය යුද්ධය ජයටැඹ කරා මෙහෙයවිය හැකි එජාප ආණ්ඩුවක් රටට අත්‍යවශ්‍යය. ඉතින් මේ යන විදියට ආර්ථික පරිපාලනයෙන් මහින්ද රජය තම වල තමා විසින්ම කපා ගනිමින් සිටීයි. උතුරු නැගෙනහිර යළි ගොඩනැගීමට අමතරව සමස්ථ රටවැසියන්ගේම හිතසුව පිණිස කටයුතු කිරීම රජයේ වගකීමයි. යුද උණුසුම පහව යෑමත් සමඟ රජයට තම අත හෝදා ගැනීමට හේතුවක් නැත. බදු පිට බදු පටවමින් අතිවිශාල ඇමැති මණ්ඩලයකට සුර සැප ලබා දෙමින් ආණ්ඩු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වැන්න. එනිසා එජාපය තව දශක ගණනකට බලයට නොඑනවා යැයි කීම කට කහනවාට කියන කතාවක් පමණි.

නමුත් රාජ්‍යය බලය උකුලට වැටෙන තුරු නිදි කිරනවා වෙනුවට එජාපය ජනතා ආකර්ෂණය ගොඩ නගා ගත යුතුය, වාද භේද දුරලා එකමුතු බව ගොඩ නැගිය යුතුය. ආණ්ඩුවේ හොඳ නරක දෙකම විවේචණය නොකර හොඳ දේට සහය දිය යුතුය. ජන විඥානය හොඳින් හඳුනන සජිත්, වජිර, දයාසිරි, ගයන්ත, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ජොන්ස්ටන්, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, පාලිත රංගේ බණ්ඩාර, තලතා අතුකෝරළ වැන්නන් ඉදිරියට ගත යුතුමය. පක්ෂයේ පණිවුඩය සාර්ථකව මහජනයාට ගෙන යන අතරේ නායකත්වයද තම ප්‍රතිරූපය ගැන උනන්දු වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය.

ඉහත කරුණු තෘප්ත කරමින් එජාපය එක්සත්වූත් ජාතිකවූත් පක්ෂයක් ලෙස පෙනීසිටියහොත් එක්සත් ජාතික පක්ෂයේ මතු ජයග්‍රහණය වැඩි ඈතක නොවන බව නිත්‍ය ලෙසම කිව හැකිය.

හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 වෙසඟ

H Niles Perera©, May 2009

Advertisements

2 responses to this post.

  1. Posted by rachiyo on මැයි 26, 2009 at 18:19

    යුද්ධයෙන් හෙළුව වසාගෙන සිටියවුන්ට දැන් එම රෙදිකඩ අහිමිව තිබේ.තවත් යම් අසාර්ථක ඡන්ද ගුන්ඩු කිහිපයක් පමණක් ඉතිරිව ඇත.මෙය කියවන පාක්ෂිකයිනි යතාර්ථයට මුහුන දීමට සූදානමින් සිටින්න.

    හිතමිතුරු නිලැස්..ඔබගේ අනගි අදහස් වලට ප්‍රණාමය !!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Posted by hnilesp on මැයි 26, 2009 at 18:44

    බොහොම ස්තුතියි… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: