අමරණීය ලලිත්…. මහපොළේ, වරායේ, ආර්ථිකයේ පෙරටුගාමියා

Click here to get Sinhala Unicode

අප රටේ නිදහසින් පසුව රටට ඉමහත් සේවයක් කළ එහෙත් රටේ අවාසනාවට රටේ රාජ්‍ය නායකත්වය අහිමි වූ සොඳුරු දේශපාලනඥයන් කිහිපයකි. ඉන් එක් අයකු වන ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ගේ 73වන ජන්ම දිනය පසුගියදාට යෙදිණි. මේ ඔහු මෙරටට කළ අමිල සේවය ගැන සිහි කැඳවීමකි.

================================================================

1936 නොවැම්බර් මස 26දා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම මන්ත්‍රීධුරය ඉසිලූ ඩී.ඩී. ඇතුලත්මුදලි මහතාට සහ එම මැතිණියට දාව කුඩා බිළින්දකු උපන්නේය. නමින් ලලිත් විලියම් ඇතුලත්මුදලි වූ හෙතෙම දිනෙක රටම ලෝකයේ බබලනු ඇතැයි යන විශ්වාසය එදා සිටම දෙමාපියන් තුල පැලපදියම් විය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් මලල ක්‍රීඩාවෙන් වාර්තා පිට වාර්තා තබමින් කාගෙත් ආදර ගෞරවය දිනාගත් කුඩා ලලිත් 1955දී මව්රට හැරදා එංගලන්තය බලා පිටත්විය. ඒ සුප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීති විද්‍යාව හැදෑරීමටයි.

සුද්දන්ගේ රටේ සුපිරිතම විශ්වවිද්‍යාලයේ නම රන්දන්නට ශ්‍රී ලාංකිකයකු වූ ලලිත් සමත්කම් පෑයේය. 1956දී එම විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ ලේකම්ධුරයටත්, 1957දී එහි භාණ්ඩාගාරිකධුරයටත්, පුස්තකාලයාධිපතිධුරයටත් පත්වූ ලලිත් 1958දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිධුරයට පාත්‍ර ප්‍රථම ආසියාතිකයා මෙන්ම ශ්‍රී ලාංකිකයා ලෙසද ඉතිහාසගතවූයේ උපන් දේශයට අප්‍රමාණ ගෞරවයක් දායාද කරදෙමිනි. ඔක්ස්ෆර්ඩ් බෞද්ධ සංගමයේ ආරම්භක සභාපතිධුරය, ආසියානු සංගමයේ සභාපතිධුරය ආදී තනතුරුද උසුලමින් අනාගත දේශපාලන ගමනට ඔබින නායකත්වය මෙන්ම රාජතාන්ත්‍රිකභාවයද ලලිත් උගත්තේය. මන්ත්‍රීවරයකුගේ පුතකු ලෙස මෙලොව එලිය දුටුවද ඇතුලත්මුදලි පවුල අගහිඟකම්වලින් පෙළුණි. තම දේපල ඉඩකඩම යනාදිය වියදම් කරමින් ජනතා සේවයේ නියැලි ඩී.ඩී. ඇතුලත්මුදලි මහතාගේ අභවයෙන් අනතුරුව ඇතුලත්මුදලි පවුල විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑ අතර ලලිත්ට ඔක්ස්ෆර්ඩ්හී තම අධ්‍යාපන කටයුතු හැරදා ලංකාවට ඒමට සිදුවන තත්වයක් පැන නැංගේය. නමුත් එවක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ පනතක් ගෙනෙමින් ලලිත්ගේ අධ්‍යාපනයට අදාල පිරිවැය භාරගත්තේ ජේ.ආර්. ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ දැඩි විරෝධය හමුවේය. එජාපයට දිවි හිමියෙන් වැඩ කළ ඩී.ඩී. ඇතුලත්මුදලිගේ පුතුට රාජ්‍ය ශිෂ්‍යත්වයක් ලබා දීමට දැඩි ලෙස අදිටන් කැරගත් අගමැති බණ්ඩාරනායක ඇතුළු ආණ්ඩුව තර්ක කළේ මතු යම් දිනෙක ලලිත් රටේ අගමැති වන්නට පවා පිළිවන් බවයි. තම රට තමා වෙනුවෙන් වැය කළ ශිෂ්‍යත්වයෙන් උපරිම පල නෙලාගනිමින් ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නීති විද්‍යාව පිළිබඳ B.A. සහ M.A. උපාධිත්, සිවිල් නීති විද්‍යාව සම්බන්ධිත BCL ගෞරව උපාධියත් ලබා ඇමරිකාවේ සුපිරිතම සරසවියක් වන හාවඩ් විශ්වවිද්‍යාලයට පියමැන්නේය. එහිදී පශ්චාත් උපාධිය විශිෂ්ඨ සම්මාන ඇතිව හමාර කරමින් කථිකාචාර්යවරයකු ලෙස ගමන් අරඹමින් සිංගප්පූරු විශ්වවිද්‍යාලය, ජෙරුසෙලම් හීබෲ විශ්වවිද්‍යාලය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවිය සහ භාරතයේ අලහබාද් සරසවිය ප්‍රබාමත් කළේය. 1964දී ලංකාවට පැමිණෙමින් නීති දිවිය ඇරඹි හෙතෙම 1967-1974 දක්වා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය.

දේශපාලනයට පිවිස එහි හිනිපෙත්ත කරාම යෑමට සමත්කම් පෑ වියතුන්, ප්‍රාඥයින් අප රටේ විරලය. නමුත් ඒ අතලොස්ස අතුරෙන් අංක එකට මතකයට නැගෙන්නේ අන් කවරකුවත් නොව ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ය. 1946 පාම්කොට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ අවස්ථාවට දස හැවිරිදී වියේදී සහභාගී වූ ලලිත්ගේ පියා මියයනතුරුම අති ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු විය. තම පියාගේ මෙන්ම ලලිත්ගේද කිට්ටු හිතෛෂියකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ලලිත්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන්නටැයි කළ ඉල්ලීම ප්‍රතිපත්තිමය හේතූන් මත තරුණ ලලිත් බැහැර කළේය. මේ අතර 1970දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා ලලිත්ට දේශපාලනයට එන්නට ආරාධනා කරමින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ආසනය ලබා දීමට කැමැත්ත පල කළේය. මෙම ආරාධනාව ගැන පැහැදුණු ලලිත් බුලත්සිංහල පුරා අප්‍රකටව සංචාරය කරමින් දැනගත්තේ එක්සත් ජාතික පක්ෂයට 1970දී බුලත්සින්ංහල නොදිනිය හැකි බවයි. පරාජයකින් සිය දේශපාලන ගමන ඇරඹීමට අකමැති වූ ලලිත් තම දේශපාලන රංගාවතරණය වසර කිහිපයකට කල් තැබීය. 1973දී එක්සත් ජාතික පක්ෂයේ අගලවත්ත ආසනයේ සංවිධායකවරයා ලෙස ඩඩ්ලි සේනානායකයන් විසින් තේරී පත් කෙරුණු ලලිත් ඒ සමගම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා ප්‍රතිපත්ති සැලසුම් කමිටුවේ සාමාජිකයකු විය. පසුකාලීනව පැවැති මැතිවරණ සිතියම සංශෝදනය කරමින් නව මැතිවරණ කොට්ඨාස හඳුන්වා දෙද්දී අලුතින් ඇතිවූ රත්මලාන මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකයා බවට පත්වූ ලලිත් 1977 මහ මැතිවරණයේදී රත්මලාන අසුනේ සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  C.V.ගුණරත්න මහතා පරදවමින් පාර්ලිමේන්තු වරම් දිනාගන්නා ලදි.

නව එක්සත් ජාතික පක්ෂ රජයේ වෙළෙඳ  අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලලිත් රටේ එවක සිදුවූ වෙනස්කම් රැසකට මුල පිරීය. ජේ.ආර්. සහ රොනී ද මැල් සමඟ මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමේ පුරෝගාමියකු වූ ලලිත් විටෙක මාධ්‍යවේදියකු විවෘත ආර්ථිකය රටට හිතකර දැයි විමසූ විට ලලිත් කීයේ එය “විවෘත යන්නෙන් අදහස් වන්නේ නිදහස් යන්න නොවේ, විවෘත භාවයේදී දොරටුවක් ඇත්තේය. එය කවර ප්‍රමාණයකට විවර කරන්නේද යන්න විවෘත ආර්ථිකයකදී රජය තීරණය කරයි, නමුත් නිදහස් ආර්ථිකයක දොරටු නැත.” ඇතැමුන් ලාංකේය විවෘත ආර්ථිකයේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ ලලිත් වරෙක් කීවේ “විවෘත ආර්ථිකය යනු ලෝකය දෙස යථාර්ථවාදීව බැලීම” බවයි. අදටත් ඇතැමුන් විවෘත ආර්ථිකයට දොස් කියති, විවෘත ආර්ථිකයෙන් රටට අසුබවාදී බලපෑමක් ඇතිවී නැතැයි කියන්නට තරම් අප අනුවණ නොවෙමු. නමුත් ඉන් රටේ සිදුවී ඇති වර්ධනය අහක දැමිය හැකිද. ලෝකයේ තොරතුරු තාක්ෂණය අතින් අප ඉදිරියෙන්ම සිටින්නේ මේ විවෘත ආර්ථිකය නිසාය. රටේ රැකියා ලක්ෂ ගණනක් ජනිත කරවන පෞද්ගලික අංශය සහ ව්‍යවසාය ප්‍රබල ලෙසම රටේ සංවර්ධනයට දායක වන්නේ විවෘත ආර්ථිකය නිසාය, අප ලෝකය සමඟ ඇති බැදීම් ශක්තිමත්ව ඇත්තේද එම විවෘත ආර්ථිකය නිසාමය. එදා අන්තවාදී සංවෘත, සමාජවාදී ආර්ථික ක්‍රමවල එල්ඹගෙන සිටි චීනය, ඉන්දියාව, වියට්නාමය, ලිබියාව වැනි රටවල් රැසක් අද විවෘත ආර්ථික ක්‍රමය වැලඳගෙන සංවර්ධනය කරා වේගී ගමනක නියැලෙමින් සිටින්නේ එදා ලලිත් කී වදන් සහතික කරමිනි. රටට නිදහස් වෙළෙඳ කලාප හඳුන්වාදීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේද ලලිත් ඇතුලත්මුදලි මහතා විසිනි, අද ඒ හරහා රටේ බිහිවී ඇති සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණයත් රටට උපයන විදේශ විනිමය ගැනත් අප අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මීට අමතරව රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වාදිමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ ලලිත් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමටද මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. අද සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන බොහෝ දෙන දොස් නැගුවත් එදා පැවැති ජනතා මතය විකෘති ලෙස පිලිබිඹු කෙරෙන කේවල ඡන්ද ක්‍රමයට වඩා මෙම ක්‍රමය බෙහෙවින් හිතකරයැයි මගේ හැඟීමයි.

වෙළෙඳ ඇමැති ලෙස එතෙක් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු රජය ඇති කර තිබූ පෝලිම් යුගය නිමා කරමින් සතොස හරහා රට පුරා පාරිභෝගික ජනතාවට සරිලන අයුරේ වෙළඳ ක්‍රමයක් හඳුන්වා දෙමින් ජනතාවට මහත් අස්වැසිල්ලක් බවට ලලිත් ඇතුලත්මුදලි පත්විය. 1978දී ලලිත් යටතට වෙළෙඳ අමාත්‍යධුරයට අමතරව නාවුක කටයුතු අමාත්‍යධූරයත් එක් කිරීමට ජේ.ආර්. ජනාධිපතිතුමා තීරණය කළේය. නව විෂය ලැබුණු පසු තමා කුමක් කරන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ පැණයට ලලිත් පිළිතුරු බැන්දේ තමන් නොදත් මෙම විෂය මැනවින් අධ්‍යයනය කරන තුරු කිසිවක් කළ නොහැකි බවයි. ඉතා ගැඹුරුව න්‍යයාත්මකවත්, ප්‍රායෝගිකවත් නාවික ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමෙන් ඉක්බිති ලලිත් වරාය සංවර්ධනයට තම මූලිකත්වය ලබාදෙන ලදි. ලලිත් නාවික ඇමැති වනවිට කොළඹ වරාය භාණ්ඩ හැසිරුවීම අතින් ලෝකයේ වරායන් අතුරින් 138වන ස්ථානයේ පසුවිය. රට ගොඩනැගීමට වරාය ගොඩනැගිය යුතු බව තේරුම් ගත් ලලිත් වරායේ සියළුම සේවකයන්ගේ සහය සහ උද්යෝගීමත් දායකත්වය යටතේ කොළඹ වරායට කන්ටේනර් යාත්‍රා මෙහෙයවීමට හැකිවන අන්දමේ ප්‍රතිසංස්කරණයක් සිදු කළේ විවිධ සමච්චල් කතා මැදය. බොහෝ දෙනෙක් කීවේ කන්ටේනර් හැසිරවීම සඳහා වරාය ප්‍රතිසංස්කරණයට යෙදවෙන මුදල නාස්තියක් බවයි. නමුත් වෙනත් බොහෝ රටවල්වලට පෙර කන්ටේනර් හැසිරවීමට සමත්වීම අප කොළඹ වරායට ලෝක නාවික ක්ෂේත්‍රයේ මහත් ශක්තියක් බවට පත්වන බව ලලිත්ගේ නිගමනය විය. එම නිගමනය 100% නිවැරදි බව ඉතිහාසය විසින් පෙන්වා දී ඇත. අද කොළඹ වරාය ලබන ආදායමින් 80%ක් ලැබෙන්නේ ප්‍රතිනැව්ගතකරණය (transshipment) හරහාය. මෙම ප්‍රතිනැව්ගතකරණය මෙරටට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ටය. හේ ප්‍රතිනැව්ගතකරණය හඳුන්වනු ලැබුවේ “මල් වට්ටියකට අත ගසා පින් ලබාගන්නා ක්‍රමයක්” වශයෙනි. ප්‍රතිනැව්ගතකරණය යනු ගමනාන්ත දෙකක් අතර සන්ධිස්ථානයකදී එක් නැවකින් තවත් නැවකට භාණ්ඩ පටවා එමඟින් විශාල ආදායම් ඉපැයීමය, ලංකාව වන් කුඩා රටක අපනයනය සහ ආනයන ලෝක මට්ටමින් ගත් කළ ඉතා කුඩාය. එහෙයින් අප අපේ ආනයන, අපනයන පමණක් වරාය හරහා හැසිරවූවා නම් අපට වරායෙන් ලැබෙන ආදායම ඉතා පහළ අගයක් බව ලලිත් මනාව වටහා ගත්තේය. 1979දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටවූ හෙතෙම වරාය සේවකයන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලබාදෙමින් ඔවුන් වරායේ ප්‍රගමණයේ හවුල් කරුවන් කරගත්තේය. එදා මෙදා තුර අනන්ත අප්‍රමාණව වැඩවර්ජන කර ඇති වරාය සේවකයෝ ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යධුරය හෙබවූ කාලය පුරාවට එකඳු වර්ජනයකවත් නියැලුණේ නැත්තේ ලලිත් සහ සේවකයන් අතර වූ මනා අවබෝධය නිසාමය. මීට අමතරව නාවික ක්ෂේත්‍රයේ සුපැහැදිලි වෙනසකට නායකත්වය දුන් ලලිත් 1984දී නාවික කටයුතු ඇමැති තනතුරින් නික්මෙන විට කොළඹ වරාය ලෝකයේ කන්ටේනර් බහලුම් වරාය අතින් 22වන ස්ථානයේ පත්විය. වසර 6ක් ඇතුලත 138 සිට 22 දක්වා කොළඹ වරාය ගෙන ඒමට ප්‍රධාන සාධකය වූයේ ලලිත්ගේ අසමසම නායකත්වයයි. 1984දී ලොව කන්ටේනර් මෙහෙයවන වරායවල් 339ක් අතුරින් 22වන තැනට පත්වෙමින් රටට මහත් කීර්තියක් ගෙන දුන් කොළඹ වරාය අද ලෝකයේ 27වන ස්ථානයට පසුබා තිබේ. වෙසෙසින්ම 1994-2001 පොදු පෙරමුණු පාලන සමයේ කොළඹ වරාය මහත් පසුබෑමකට මුහුණ පෑයේ රජයේ නොහැකියාව නිසාමය. අද 27 වන ස්ථානයේවත් සිටින්නේ ආණ්ඩුවේ දස්කමකට වඩා පෞද්ගලික අංශය මෙහෙයවන SAGT හෙවත් දකුණු ආසියා පිවිසුම් පර්යන්තය (පෙර කල රැජිණ ජැටිය) නිසාය. මීට අමතරව අද මෙරට බෙහෙවින් ලාභ ලබන සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම කළම්බු ඩ්‍රයිඩොක්ස් යන මැයෙන් නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සඳහා ස්ථාපනය කරන ලද්දේද ලලිත් ඇතුලත්මුදලිගේ නායකත්වය යටතේය. එම ආයතනය ඔස්සේ රටට ලැබී ඇති සහ ගලා එන විදේශ විනිමය ප්‍රමාණය මෙතෙකැයි කියා නිම කළැ නොහැක. තවද දශක තුනක් තිස්සේ නිමාවක් නොදිටි වරායේ ශ්‍රී සම්බුද්ධ චෛත්‍ය රාජයාණන්වහන්සේගේ කටයුතු නිමාවට පත්කරන ලද්දේද ලලිත් ඇතුලත්මුදලි මැතිඳුන්ගේ කාල පරිච්ඡේදයේදීමය.

ලලිත් වරෙක කීවේ “මා ළඟ මහා සංකල්ප නැහැ. ඇත්තේ පුංචි අදහස්. ඒ අදහස් මිනිසුන්ගේ අදහස් එක්ක එකතු වුනාම ඒ දෙක පෑහී අලුත් දෙයක් නිර්මාණය වෙනවා” කියාය. ලලිත් රටට ඉතිරි කර ගිය දායාද රාශිය අතර කාගේත් ආදරයට ගෞරවයට වැඩියෙන්ම පාත්‍ර දායාදය මහපොල යැයි කීම නිවැරදිය. වෙළඳ ඇමැතිවරයා විසින් සිය විෂය පථයට කිසිඳු සම්බන්ධයක් නැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහය දෙනු වස් ඇතිකරන ලද මහපොළ ලලිත් තුල රටේ අනාගත පරපුරත් අධ්‍යාපනයත් කෙරේ තිබුණු බලාපොරොත්තු සහ විශ්වාසය මනාව විදහා දක්වයි. ඇතැම් විට එදා එංගලන්තයේ අධ්‍යාපනය ලබන සමයේ තමන් විඳි ආර්ථික ගැටළු එතුමාව මහපොළ ඇරඹීමට මග පෙන්වුවා විය හැක. කිසිඳු පොරොන්දුවකින්, ඉල්ලීමකින් තොරව ලලිත් ඇරඹූ මහපොළේ එකම අභිප්‍රාය වූයේ රටේ අසරණ සිසුන්ට තම අධ්‍යාපනය සාක්ෂාත්කරගැනීමට මූල්‍යමය සහයෝගයක් ලබාදීමයි. දුප්පත්කම දුරලීමේ හොඳම අවිය අධ්‍යාපනය බව දැඩි ලෙස විශ්වාස කළ ලලිත් මහපොළ නම් වූ විචිත්‍රවත් සල්පිල් සහ සැණකෙළි මාලාවක් පවත්වා එමඟින් එකතුවන ආදායමින් සිසු පරපුරට ශිෂ්‍යතව ලබාදෙන ලදි. මීට අමතරව මහපොළ භාරකාර අර්මුදල මගින් පාසල් සහ විශ්වවිද්‍යාලද නවීකරණයට ආධාර පිරිනැමුනේ සිසුන්ගේ පහසුකම් ඔප් නැංවීමත් වැදගත් බව වටහාගත් නිසාමය. හිනිදුමින් 1980 ජනවාරි 2දා ඇරඹි පළමු මහපොළ අද දක්වා අඛණ්ඩව නගර ගම් දනව් සිසාරා පවත්වමින් මහපොළ භාරකාර අරමුදල තරකරමින් සිසුන්ට සවියක් බවට පත්ව ඇත. ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සමස්ත ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවම මහපොළින් යැපෙති, ඉන් අතැමුන් තමන්ට මහපොළ ලබාදීමට ක්‍රියාකළ විරුවාගේ නමවත් නොහඳුනනවා ඇත. හැකි තරම් නිර්දේශපාලනීකරණය කර මහපොළ ගෙන යනු වස් මෙය පුණ්‍යායතනයක් ලෙස ලියාපදිංචි කළ ලලිත් එය පුද්ගලික භාරකාරත්ව අරමුදලක් ලෙස නීතිගත කළේ අනාගතයේ තම ව්‍යායාමය තවත් දේශපාලනඥයකු විසින් විනාශ කරනු නොදැකීමටය. එහෙත් අද වනවිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිය පුතුගේ නොනිල දේශපාලන ව්‍යාපාරය වන තාරුණ්‍යයට හෙටක් මීට ඈඳමින් මහපොළ දේශපාලනීකරණයේ උපරිමයට ගෙන යන්නට වෑයම් දරයි. මහපොළ සිසුන්ට මෙන්ම වෙළඳුන්ටද මහත් ලාභයක් වූයේ කෙටි කලක් තුල එකම භූමියකදී සිය නිෂ්පාදන රාශියක් සාධාරණ මිලකට විකුණා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වීම හේතුවෙනි. එදා රු.2ක් ගෙවා මහපොළ භූමියට ඇතුළු වූ කෙනෙක් හිස් අතින් හෝ නොසතුටින් ගෙදර යන්නේ නැති තරම්ය. ලලිත් වරෙක කීවේ “අද පටන් ශිෂ්‍යත්වලාභීන් කල්පනා කළ යුත්තේ රටින් තමන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනය ගැන නොව, තමන්ගේ රටට දෙන්න පුළුවන් සේවය ගැනයි” කියාය. යම් හෙයකින් මහපොළ ලබන සිසුවකු මෙම බ්ලොග් සටහන කියවනවා නම් එම කියමන සිහියේ තබාගන්නා ලෙස ලාංකිකයකු මෙන්ම සරසවි සිසුවකු ලෙසද හුදක්ම ඉල්ලා සිටිමි. “1987දී බෝම්බයෙන් මළා නම්, මගේ ජීවිතය ඉවරයි. එහෙත් මහපොළ හැමදාමත් අප උපන් මහපොළවේ උරුමයක් ව පවතීවි” යැයි  ලලිත් 1987 පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමෙන් පසුව කීවේ කුණු කය දිරුවද නාමය නොදිරන බව පසක් කර දෙමිනි. ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ගේ නෙත් පෑදූ මහපොළ ලලිත් සැමදා විශ්වාස කළ “සම හැකියාවනට සම අවස්ථා” යන දර්ශනය මූර්තිමත් කරයි.

1983දී උතුරේ ත්‍රස්තවාදය ඔඩුදිවීමත් සමඟ 1984දී ජේ.ආර්. ලලිත්ව ජාතික ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය පදවියට පත් කරන ලද්දේ ඒ සඳහා සුදුසුම කෙනා ලලිත් වූ නිසාය. එතෙක් උත්සව අවස්ථා හැඩ ගන්වීමට පමණක් පැවැති රජයේ හමුදා තරකරගෙන උතුරේ ත්‍රස්තවාදයට මුහුණදීමේ අතිශය අභියෝගාත්මක වගකීම ලලිත්ගේ කරපිටට වැටුනි. තමන් වැඩ භාරගද්දී 11,000ක් රජයේ හමුදාවලට  සෙබළු සිටියත් ඉන් යුද පුහුණුව තිබුණේ 6000කට පමණි. මෙම සංඛ්‍යාව ඉක්මනින් 64,000 දක්වා ඉහල නැංවූ ලලිත් නවීන අවි ආයුධවලින් ආරක්ෂක අංශ සවිමත් කළේය. වෙසෙසින්ම නැගෙනහිර ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා උතුරට අවධානය යොමු කිරීමට අදිටන් ගත් ලලිත් 1986දී නැගෙන්හිර රාජ්‍ය බලය තහවුරු කළේය. ප්‍රේමදාසගේත්, රොනී ද මැල්ගේත් විරෝධය මැද ජාතික ආරක්ෂක අරමුදල පිහිටුවා යුද ක්‍රියාන්විතයට මහජන දායකත්වය ලබාගනිමින් ලක්ෂ 800ක් එකතු කර ගත් ලලිත් හමුදාවේ බිම් මට්ටමේ සෙබළුන් සමඟ මනා සම්බන්ධතාවක් ඇති කරගනිමින් යුද්ධයට නායකත්වය දුන්නේ හමුදාවට අවැසි සියළු ආම්පන්න මෙන්ම චිත්ත ධෛර්යයද හැකි පමණින් ලබා දෙමිනි. එහි අවසාන අදියර ලෙස 1987 මැයි මසදී ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් වඩමාරච්චියට කොටු කළ ලාංකේය වීර හමුදාවෝ මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නායකත්වය සහ ලලිත්ගේ මග පෙන්වීම යටතේ කොටි නැති භංගස්ථාන කිරීමට දින කිහිපයක් තිබියදී ඉන්දියානු ගුවන් හමුදාව බලහත්කාරයෙන් ලංකා ගුවන් සීමාවට ඇතුළු වී යාපන අර්ධද්වීපයට පරිප්පු හෙලීය. පසුව හෙලිකොප්ටරයක් එවා ප්‍රභාකරන්ව නිරුපද්‍රිතව චෙන්නායි නුවරට ගෙන යන ලදි. එතෙක් කල් 100% යුද ක්‍රියාන්විතය ජයගැනීමේ විශ්වාසයෙන් සිටි රජයට ඉන්දියානු ආක්‍රමණයක භීතිය දැනෙන්නට විය, යුද පිටියේ ඉදිරියට යමින් සෙබළුන් දිරිමත් කළ ලලිත් ඇතුළු උදවිය මෙහෙයුම අවසාන කිරීමට හඬ නැගුවත් රට ඉන්දීය හමුදා විසින් ආක්‍රමණය කරතැයි බියෙන් ජේ.ආර්. පසු බැස්සේය. එකල ලෝක දේශපාලන ව්‍යුහය අනුව ඉන්දියාව හා කරට කර හැපෙන්නට හයියක් නොතිබුණු ලංකාණ්ඩුවට අකමැත්තෙන් වුවද වඩමාරච්චි මෙහෙයුම නැවැත්වීමට සිදු විය. එය එක් අතෙකින් එවක එක්සත් ජාතික පක්ෂ රජයේ රාජතාන්ත්‍රික දුර්වලතාවයන් නිසා සිදු වූවක් විය හැකිය. ලලිත් මේ ඉන්දීය ආක්‍රමණයට උරණ වූ අතර ඉන්දියාව සමඟ රජය වෙනුවෙන් සාකච්ඡා කළ ජේ.ආර්. රොනී සහ ගාමිණී කෙරේ අමනාප විය. ඉන්දියාවට ලාංකේය යුද්ධය වැඩි වර්ධනය වන්නට ඉඩ හැර ඉන් තම කලාපීය බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාව මුදුන් පමුණුවා ගැනීමට මෙම කඩාකප්පල්කාරී ක්‍රියාදාමය කළ බව ඔහුගේ විශ්වාසය විය. පසුකාලීනව ජේ.ආර්, ගාමිණී සහ රොනී ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියා කපන්නාක් මෙන් ඉන්දීය සාම සාධක හමුදා මෙරටට ගෙන්වා ඔවුන් කොටිත් එක්කට සටනට යෙදවීය. මෙම ක්‍රියාවලීන් වලින් දුකට මෙන්ම කලකිරීමට පත්වූ ලලිත්ගේ ආරක්ෂක ඇමැති පදවිය ඒ වනවිට නමට පමණක් සීමාවී තිබුණි. සිංහල, ඉංග්‍රීසි, දෙමල, ජර්මන් සහ ප්‍රංශ යන භාෂා 5ම නිපුනයකු වූ ලලිත් ලෝකය පුරා ලංකාවේ නම රන්දන්නට සමත්කම් පෑයේය. විටින් විට රටට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වෙද්දී ජාත්‍යන්තරයේ ලක්දෙරණේ කීර්ති නාමය සුරැකීමට ලලිත් නොපසුබටව ඉදිරිපත්විය. ලලිත් ඉන්දු-ලංකා ගිවිසුමට එජාප රජයෙන් විරුද්ධ වූ කීප දෙනා අතර ප්‍රමුඛස්ථානයක් ගත්තේ එය රටේ ප්‍රගතියට තර්ජනයකැයි සිතමිනි. යුදයෙන් එල්.ටී.ටී.ඊ.ය කොටු කළ ලලිත්ගේ නොසැලෙන විශ්වාසය වූයේ පැවැති ත්‍රස්තවාදයටත්, බෙදුම්වාදයටත් ඇති එකම විසඳුම දේශපාලනික විසඳුමක් යන අදහසයි.

1987 අගෝස්තු 18දා පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ජනපති ජේ.ආර්. ඇතුළු මැති ඇමැතිවරු ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ලලිත් ඇතුලත්මුදලි මහතා වාසනාවකට මෙන් දිවි ගලවා ගත්තේය.

ලලිත්, ශ්‍රීමනී සහ ශරලා

1988 උදා වීමත් සමඟ ජවිපෙ භීෂණය උග්‍ර විය. ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙම තත්ත්වය ගොඩින් විසඳා ගැනීමට ලලිත් යත්න දැරීය. ජවිපෙ නායක රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක සමඟ ගිවිසුමකට ඇතුළු වී ප්‍රශ්නය විසඳ ගැනීමට ලලිත් ගත් ක්‍රියාමාර්ග සියල්ල ව්‍යර්ථ විය. ඒ සමඟම 1988 ජනාධිපතිවරණ සටන ඇරැඹිණ, ලලිත් රට පුරා යමින් අගමැති රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති කිරීමට මහත් පරිශ්‍රමයක් ගත්තේය. ඒ පරිශ්‍රමය තුල අනාගත ප්‍රේමදාස රජයක අග්‍රාමාත්‍යධුරය ගැන අදහසක් ගැබ්ව තිබුණු බව නොරහසකි. ඉන්දු-ලංකා ගිවිසුම හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධව ලලිත්ට සමාන මතයක් දැරූ ප්‍රේමදාස ජනපතිවරණ සටන මුලදී සිරිමාවෝ මැතිණියට වඩා පසු පස අඩියක සිටියද ලලිත්, ගාමිණී වැනි අද්විතීය නායකයන්ගේ සහය සමඟ ජනාධිපතිධුරයට තේරී පත්විය.  ඒත් සමගම පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර ලලිත් පළමුවරට සමානුපාතික ඡන්ද ක්‍රමය හරහා 1989දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණි. එහිදී මනාප ඡන්ද 235,447ක් ලබමින් දිවයිනේ පළමු ස්ථානය ලබාගත්තේය. මැතිවරණය ආසන 125ක් සමඟ ජයගත් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා විය යුතුව තිබුණේ ලලිත් හෝ ගාමිණී යන දෙදෙනාගෙන් එක් අයෙකි. නමුත් ප්‍රේමදාස මේ දෙදෙනා තමන්ට මතුයම් දිනෙක තර්ජනයක් වේ යැයි තුබූ බිය නිසාත්, සිරිසේන කුරේ, ඒ.ඩී. රණසිංහ වැනි හෙංචයියන්ගේ කේලාම් නිසාත් බෙහෙවින් විශ්වසනීය ඩී.බී.විජේතුංග මහතා අගමැතිධුරයට තෝරා පත් කරගන්නා ලදි. එවක ලලිත් සහ ගාමිණී අතර අගමැතිධුරයට තුබූ පොරයත් තරඟකාරීත්වයත් ප්‍රේමදාසට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අස්වැසිල්ලක් විය. එම මහ මැතිවරණයේ එජාපයෙන් වැඩිම මනාප ප්‍රතිශතය ලත් ගාමිණී සහ වැඩිම මනාප ලත් ලලිත් අතුරින් පාර්ලිමේන්තු ඡන්දයකින් අගමැති තෝරා ගත යුතුව තිබුණද ප්‍රේමදාස තමන්ගේ හිතූ මනාපෙට ඩී.බී. අගමැති කළේ මේ යුග පුරුෂයන් දෙදෙනාගේම කලකිරීමට පත් කරමිනි. රටට වැඩ ගත යුතුව තුබූ මිනිසුන් පැත්තකට තබා බල ලෝභය නිසා රට ආපස්සට ගැනීමේ පාපකර්මයට පොදුජන ජනපති ප්‍රේමදාස මුල පිරුවේ එලෙසය. ඒ අනුව 1989 එජාප රජයේ කෘෂිකර්ම, ආහාර හා සමූපකාර ඇමැතිධුරයට ලලිත් පත්කෙරුණේ ඔහුව රටේ පාලන කේන්ද්‍රයෙන් තරමක් ඈත් කිරීමේ අදිටනින් බව පැහැදිලිය. කෙසේ වෙතත් ජනසවිය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබුණෙන් ලලිත්ට විශාල වගකීමක්ද පැවැරුණි. කෙසේ නමුත් කෙටි කලෙකින් ජනපති ප්‍රේමදාස කෙරේ ලලිත් තුල අමනාපයක් හටගත්තේ ඔහුගේ ඒකාධිපති ස්වරූපය නිසාත් ජේ.ආර්.ගෙන් දිස්වුණු බුද්ධිමත්කම ප්‍රේමදාසගෙන් දිස් නොවීමත් නිසාය.  කෙසේ නමුත් තම වගකීම නිවැරදිව ඉටු කරමින් ලලිත් කෘෂිකාර්මික විප්ලවයකට පිඹුරුපත් සැකසුවේ ස්වයංපෝෂණය සහ අපනයනය යන කරුණු දෙක පාදක කරගනිමිනි. “මහ බතට – යල කාසියට” යන මැයෙන් මහ කන්නට වී වගාවටත්, යල කන්නය ආර්ථික බෝග වගාවටත් යෙදවීමේ අදහස ඇතිව ලලිත් තම ප්‍රතිපත්ති සම්පාදනය කළේය. එසේ කෘෂිකර්මය නගා සිටුවන ලලිත්ට රටේ සිදුවූ භීෂණය ගැන මහත් කලකිරීමක් තිබුණි, කැබිනට් අමාත්‍යවරයකු වුවද ඒ ගැන ක්‍රියා කිරීමට නොහැකි වීම ලලිත්ට කණස්සල්ලට හේතුවක් විය. 1990 මාර්තුවේදී සිදු වූ කැබිනට් සංශෝධනයට අනුව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරයට පත්කෙරිණ. දරුවන් රටේ වටිනාම සම්පතක් ලෙස සැලකූ ලලිත් අධ්‍යාපන ඇමැති ලෙස “සම කුසලතාවනට – සම අවස්ථා” යන උදෘතය යටතේ තම වගකීම් ක්‍රියාවට නැගීය. විශේෂයෙන්ම ගුරු ප්‍රශ්න සහ උසස්වීම් ක්‍රම විධිමත් කරමින් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ලලිත් මූලිකව උනන්දු විය. පාසල් අධ්‍යාපන රටාව නවීකරණයටද මූලික වූ ලලිත් ගමේත් නගරයේත් පාසල් තුල තුබූ පරතරය දුරලීමට උත්සුක විය. තවද පාසල්වල සවස පන්ති ක්‍රමයක්ද ලලිත් හඳුන්වාදීමට මූලිකත්වය ගෙන ක්‍රියාකළේය. ප්‍රේමදාස කෙරේ තුබූ අකමැත්තත් තමන් මෙන්ම උගත් බුද්ධිමත් නායකයකු වූ ගාමිණී දිසානායකට සිදු වූ අසාධාරණයත්, ඒකාධිපතිපාලනයත් හේතුපාදක කරගනිමින් ලලිත්, ගාමිණී ඇතුළු එජාප මන්ත්‍රීන් 37ක් විසින් ප්‍රේමදාස ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ලැබීය. ඒ සමඟම ලලිත් සිය ඇමැති පදවියෙන් ඉල්ලා අස්විය.

විවිධ උපක්‍රම මගින් දෝෂාභියෝග උගුලෙන් ජයගත් ප්‍රේමදාස ලලිත් සහ ගාමිණී සමඟ වෛර බැඳගත් අතර ඔවුන් දෙපලත්, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා යන අට දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපනු ලැබීය. එහෙත් එජාපය හැර යෑමට මොවුන් අකැමැති වෙමින් විරෝධය පෑහ. කෙසේ නමුත් 1991 සැප්තැම්බරයේ නුගේගොඩදී මෙම එජාපයෙන් නෙරපූ මන්ත්‍රීන් අට දෙනා එක්ව පැවැත්වූ ජනරැළියට ලක්ෂ හතරහමාරකට අධික වාර්තාගත ජනකායක් එක්කාසු වීමෙන් ඔවුන්ට තිබූ අපරිමිත ජනතා බලය ඔප්පු විය.  ලලිත්ගේ ජීවිතයේ දුක්බරම දිනය ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපනු ලැබූ දිනය බව ඔහුගේ බිරිඳ ශ්‍රීමනී රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් රචිත “නොනිමි මෙහෙවර” චරිතාපදානයට පවසා ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වනවා වෙනුවට වෙනම විකල්ප දේශපාලන ප්‍රවාහයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගාමිණී සමඟ ගොඩ නැගි අතර එය අද පක්ෂ මාරු කරන ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයන්ට කදිම උදාහරණයකි. 1993දී ප්‍ර.එ.ජා.පෙ. නායකයා ලෙස තෝරා ගැනුණු ලලිත්ගේ තේමා පාඨය වූයේ වරෙක ගිරාඳුරුකෝට්ටේ සංචාරයකදී තරුණයකු විසින් ඇඳි බැනරයේ වූ “ඔබ ඇති තැන – නැත බිය සැක” යන වැකියයි. 1993 මැයි මාසයට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රේමදාස ප්‍රමුඛ අලිත් එක්ක සටනට ලලිත් සූදානම් වූයේ ගාමිණී සහ ජී.ඇම්. එකතුව සාදාගත් “රාජලියා” ලාංඡනය හරහාය. වරෙක එක්සත් ජාතික පක්ෂයට තම පූර්ණ සහය දැක්වූ උගතුන් බුද්ධිමතුන් රැසක් ඒ වනවිට ලලිත්, ගාමිණී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වටා එකතුව සිටියහ. රට ලෝකය ගැන මහත්වූ දැනුමකින් හෙබි ලලිත්ට රට සංවර්ධනයට හැම අතෙකින්ම දර්ශනයක් පැවැතිණි. රටේ ප්‍රවාහනය සහ මහාමාර්ග නිසි ලෙස ගොඩ නැගීම හරහා රටේ අර්ථික සහ සංවර්ධන ප්‍රශ්න රැසක් නිම කළ හැකැයි ඔහු විශ්වාස කළේය. ඒ අනුව පළාත් සභා මතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බොහෝ විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟ ඉදිරිපත් විය. එහිදී ලලිත් සඳහන් කර තිබුනේ “රජය අලියා සලකුණ ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවකු බවට පත් කරගෙන ඇතත් එම සංකේතයේ සම්ප්‍රදායයන් ඔවුන් වෙත නොමැත. ඔවුන් එම උතුම් ගුණය කෙළෙසා ඇත” යන්නයි.

ප්‍රඑජාපෙ නායක මෙන්ම බස්නාහිර පළාත් මහ ඇමැතිධුර අපේක්ෂක ලෙස 1993 අප්‍රේල් 23දා කිරුළපනදී ජනරැළියක් අමතමින් සිටියදී රාත්‍රී 9ට මත්තෙන් නාඳුනන පිස්තෝලකරුවකුගේ වෙඩි පහර දෙකක් ලලිත්ගේ සිරුරට ඇතුළු විය. “මට වෙඩි වැදුනා” යයි කෑ මොර දෙමින් බිමට වැටි ලලිත් කොළඹ ජාතික රෝහලට ගෙන යෑමෙන් පසුව රාත්‍රී 11.05ට පමණ තම බිරිඳ ශ්‍රීමනීගෙන්, දියණිය ශරලාගෙන් මෙන්ම ඔහු මහත්සේ ආදරය කළ ඔහුටද පෙරළා ආදරය කළ ලක් දෙරණෙන් සහ ලාංකේය ජනතාවගෙන් සදහටම සමුගත්තේය.

රටක් වටින නායකයකු එලෙස අපට සමු දෙන ලදි. ඔහුව ඝාතනය කළේ ප්‍රේමදාස යැයි ඇතැමුන් කියති නමුත් එම ඝාතනය කරන ලද්දේ කුරිරු කොටි ත්‍රස්තවාදීන් යැයි මට හැඟේ. ලලිත් එදා නොමළේ නම් අද ශ්‍රී ලංකාව සුරපුරයක් වන්නට තිබුණි, චන්ද්‍රිකා ජනාධිපති තබා බස්නාහිර මහ ඇමැතිවත් නොවන්නට තිබුණි. එහෙත් අපේ යම්කිසි කරුමකයට මගේ තක්සේරුව අනුව රටේ නිදහසින් පසු බිහිවූ රටේ කිසිඳු රාජ්‍ය නායකයකු ඉටු නොකළ ආකාරයේ මෙහෙයක් මෙරටට ඉටු කළ ලලිත්, ගාමිණී යන යුගපුරුෂයන් දෙදෙනාම රටට අවැසිම විටෙක කොටි ත්‍රස්තයන් විසින් ඝාතනය කරන ලද්දේ ඔවුන්ට කිසිදා රාජ්‍ය නායකත්වය නොලැබීමට වග බලා ගනිමිනි. අද රුදුරු කොටි ත්‍රස්තවාදය නිමවීමට අප සතුටු විය යුතු වුවත් අප සංවර්ධනයට හුඟාක් ඈතින් සිටීම ලලිත් ඇතුලත්මුදලි වැන්නන්ගේ අඩුව මොනවට පැහැදිලි කරයි.

ඔහුගේ සොහොනේ ඔහු මිය යෑමට කලකට පෙර කරන ලද ඉල්ලීමක් අනුව ලියැවී ඇත්තේ මෙසේය

මෙහි නිදන මිනිසා මිනිසුනට අසීමිත ලෙස ආදරය කළේය.
මිනිස්සු ඔහුට බෙහෙවින් ආදරය කළහ.

ජීවතුන් අතර නැතත් රටට අපරිමිත සේවයක් කළ ලලිත් විලියම් ඇතුලත්මුදලි මැතිඳුන්ට සදාහරිත අපි, සුබ 73වන උපන්දිනක් පතන්නේ, ඔබ වැනි විරුවකු ඉක්මනින් රටට පහළ වේවා යන පරම පිවිතුරු හැඟීමෙනි.

ඔබට නිවන් සුව….!!!

- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2009 ඉල් -

H Niles Perera©, November 2009

About these ads

7 responses to this post.

  1. මඩ ගොහොරුවක් බදු වත්මන් ශ්‍රි ලාංකීය දේශපාලනය ගොඩ නැගීම සදහ මෙවෑනි පුද්ගලයන් අත්්‍යවශ්‍ය නමුත් අපේ අවාසනාවට. අපේ පාර්ලිමෙන්තුව තුල ඉන්නෙ මොඩයන් ‍රැලකි,

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. Lalith is one of proud sons which Mother Lanka misses so badly!! A leader which is a true role model for each and every one of us!!

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. This mesage to lalith dougter or there lelatives to
    next to my house in malabe lalith has land after his death no one looking after so pls do some thing for this land its my request

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: