පසුගිය සති කීපයේ කාගේත් සිතෙහි තුබූ කාරණාවකි බඩුමිල, රටේ බඩුමිල අධික බව ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැත්තන් පවා පිළිගන්නා වටපිටාවක් තුල ඒ ගැන කතා කිරීම වටින්නේය. පොල් මිල අහස උසට නැගලාය, ගෙඩියක් රුපියල් 50ක් පමණ වන අතර රටේ පොල් වගාවට ප්‍රචලිත පොල් ත්‍රිකෝණයේත්, දකුණු පළාතේත් පොල් සෙවීම එලොව පොල් පෙනෙන්නක් බවට පත්ව ඇත. කලක් රටේ ප්‍රධාන අපනයන ත්‍රිත්වයෙන් එකක් වූ පොල් ඉන්දියාවේ කේරළයෙන් ගෙන්වන තරමටම මේ පොල් ප්‍රශ්නය ඔඩුදුවා ඇත. ලොකු ළුණු මිල අහස උසට නැග ඇත්තා සේම බිත්තර, කුකුල් මස් යනාදිය පවා රටින් ගෙන්වන තත්ත්වයක් රටේ උද්ගතවී තිබේ. කොටින්ම කියතොත් වත්මන් රජයේ සංකේතයක් බඳු කුරක්කන් පවා මෙරටට ආනයනය කරනුයේ ඉන්දියාවෙනි, කෙතරම් ඛෙදවාචකයක්ද? රටේ බඩුමිල අඩු යැයි, ජීවනබර අවම යැයි කාට නම් කටක් ඇර කිව හැකිද?
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ආයේ කෘෂි ආර්ථිකයකින් රට හදන්නටය, “අපි වවමු – රට නගමු” කියා පුරසාරම් දෙඩූ, දේශීය ආර්ථිකය ගැන පාරම් බෑ සන්ධාන ආණ්ඩුවට එය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමට නොහැකි වී ඇති බැව් සක්සුඳක් සේ පැහැදිලිය. 2010 මුලදී රටේ පරිභෝජනයට හාල් පිටරටින් ගෙනා ආණ්ඩුව දැන් පොල්, කුකුල් මස්, බිත්තර පවා ඉන්දියාවෙන් ආනයනය කරනුයේ කිසිඳු හිරිකිතයකින් තොරවය. එක අතකින් සරිය, ඔවුන් දේශීය ආර්ථිකය සහ කෘෂි ආර්ථිකය නංවන්නට වෙර දරති, නමුත් ප්‍රශ්නය නම් ඒ ශ්‍රී ලංකාවේ නොව ඉන්දියාවේ වීමයි. 2004 පටන් බලයේ සිටින්නා වූ මේ ආණ්ඩුවට උවමනාවක් තිබුනේ නම් කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය කළමණාකරණය කරන්නට තිබුණි. කෘෂිකර්මාන්තයේ එන අස්වනු කළමණාකරණය, පසු අස්වනු කළමණාකරණය ක්‍රියාවට නංවා රටට අවැසි තරමින් අස්වනු ලැබෙන පරිදි ගොවීන් දිරිමත් කරන්නට ආණ්ඩුවට ඕනෑ තරම් අවස්ථාව තුබුණි. එහෙත් ඔවුන් එසේ කළේ නැති බව පැහැදිලිය, රටේ එළවළු නිෂ්පාදනයෙන් 30%ක් පමණ අපතේ යයි, කාලයකට ඇතැම් බෝග යහමින් වැවේ, ගොවීන්ට ඒවා හොඳ මිලකට විකුණාගන්නට බැරිව ලතවේ. තවත් කලෙකට බේතකටවත් ඇතැම් කෘෂි නිෂ්පාදන සොයා ගන්නට බැරිය. ආණ්ඩුව නංවනු ලබන නිදහසට කාරණාව නම් තමුන්ට කාලගුණය, ලෝක ආර්ථිකය යනාදිය සමඟ සටන් කළ නොහැකිය යන්නයි. එහෙත් “ප්ලග්” ගලවන්නට පොරොන්දු දුන් රජය විසින් කරනු ලබන එවන් ප්‍රකාශ පිළිගන්නට හැකිද?ජාත්‍යන්තරය, කාලගුණය, අතරමැදියා බිල්ලට දී සුදනන් වීමට තැනීම කෙතරම් සාධාරණද?
දැන් කළ යුත්තේ කුමක්ද? ආණ්ඩුව පිටරටින් පොල් ආනයන කරමින් කෘත්‍රිමව පොල් මිල වට්ටන්නට තැත් කරති, පොල් සංවර්ධනයට පත් කළ ඇමැතිතුමා ලොරි රථවලින් රටපුරා සිල්ලර වෙළඳාමේ නිරත වෙයි. එහෙත් සිදු විය යුතුව ඇත්තේ එයද? තාවකාලික පැලැස්තර වලින් සෙතක් අපේක්ෂා කළ හැකිද? පසුගිය වසර කීපය පුරාවට අපේ රටේ පොල් නිෂ්පාදිතය පහළ බැස ඇති වග රජයේ සංඛ්‍යාලේඛණ විසින්ම සනාථ කරයි. එසේ නම් ඊට හේතුභූත වූ කාරණා සොයා ගත යුතුව ඇත. රුපියල් 50ට පොල් විකිනෙද්දී පොල් වගාකරුවන් යම්කිසි ආදායමක් උපයද්දී, රුපියල් 30ට පොල් විකුණා ඔවුන්ද පොල් වගාවෙන් දුරස් කරන ජනප්‍රියවාදී හැඳිමිටේ දිග ප්‍රතිපත්තිවලින් සිදුවන හොඳක් නැත. කළ යුතුව ඇත්තේ පොල් වලට පාලන මිලක් දමා ගොවීන්ට පාඩු නොවන පරිදි පොල් මිල පාලනයත් හිඟය මගහැරවීමට රටින් පොල් ගෙන ඒමය, ඒවාට බද්දක් ගසා පාලන මිලට විකිණීමෙන් ලැබෙන ආදායම පහසුවෙන්ම පොල් කර්මාන්තය නගා සිටුවීමට යොදා ගත හැකි යැයි මට හැඟේ. වත්මන අහස උසට නැග ඇති මිල පහළ බැස්සවිම අවශ්‍යතාවක් බව සැබෑ වුවත් එය කළ යුත්තේ කෘත්‍රිම මිල වෙනසක් ඇති නොවන පරිද්දෙනි, දීර්ඝකාලීනව රටේ මේ තත්ත්වය ඇති නොවී අවශ්‍ය තරමට පොල් නිපදවෙන අයුරේ ප්‍රතිපත්ති ගෙන ඒම දැන්වත් කළ යුතුය, නැතිනම් ලබන වසරේදීද මෙම මැසිවිල්ල මෙලෙසම ඉලිප්පෙනු කාට නම් වැළැක්විය හැකිද? පොල් වලට පමණක් නොව ඕනෑම බෝගයකට තත්ත්වය එයයි. කිසිඳු ප්‍රතිපත්තියකින්, කළමණාකරණයකින්, දර්ශනයකින් තොරව රටක ආර්ථිකයකට නායකත්වය දිය නොහැකිය. රටේ ජනතාවගේ පපුවට දැනෙන්නට රෝම කූප කෙලින් වෙන්නට කතා කරන එක එකකි, නමුත් නිවැරදි ආර්ථික කළමණාකරණයක් හරහා ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකීම තවෙකකි. කෘෂි ආර්ථිකය, දේශීය ආර්ථිකය, “අපි වවමු – රට නගමු” යනාදිය හුදු අරුත් සුන් වදන් හා බෝඩ් ලෑලිවලට පමණක් සීමාව තිබීම කණගාටුවට කරුණකි.
වත්මන් රජය කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමට ප්‍රමුඛ වූ බව ඇත්තය, නමුත් එසේ වත්දී රජයේ ඇමැතිවරුන්ගෙන් අතිමහත් බහුතරය තම අමාත්‍යංශවල නිදිකිරුවේය, එසේ නොවූවානම් මෙවැන්නක් සිදුවන්නේද? අවාසනාවට දැන් පෙනෙන්නට තිබෙන තත්ත්වයේද වෙනසක් නැත. එහෙත් කැබිනෙට්ටුව 35කට සීමා කරන බවට ප්‍රතිඥා දුන් අතිගරු ජනාධිපතිතුමා වත්මන කැබිනෙට්ටුව 60කට නංවා ජ්‍යේෂ්ඨ ඇමැතිවරු 10ක්ද පත්කර තිබේ, ඔවුන්වත් මේ ප්‍රශ්න විසඳන්නේ නම් යහපතකි. වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම යුද ජයග්‍රහණයෙන් ඉක්බිතිව “දැන් ඉතින් රට හදමු” කියා පවැසූ බව අප නැවැත මතක් කර දිය යුතුව තිබෙන්නේ යුද ජයෙන් අනතුරුව රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ, ක්‍රය ශක්තියේ ධනාත්මක වෙනසක් වී ඇතිද යන ප්‍රශ්නාර්ථය රාව ප්‍රතිරාව දෙන නිසාය. එකක් පැහැදිලිය, යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් රටක් තියුණු වන්නේ නැත, දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් එසේ යටිතල පහසුකම් අතින් ඉහල මට්ටමක හුන්නද එකී රටවල මිනිසුන් අසීරු ජීවන තත්ත්වයකට උරුමකම් කියති. එසේ නම් අපේ රටේ තිරසාර සංවර්ධනයකට රටේ නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාත් සුරක්ෂිත වන අන්දමින් තීන්දු තීරණ ගත යුතුව ඇත. අවසාන වශයෙන් එකක් මතක් කර දෙමි, යුද ජයග්‍රහණය විකුණමින් සන්ධාන ආණ්ඩුවට මියෙන තෙක් රජ කරන්නට නොහැකිය, එනිසා දැන්වත් වැඩ කරන්නේ නම් රටටත්, ඇමැතිවරුන්ටත්, පොදුජනතාවටත් යහපතකි.
- හෙට්ටිගේ ඇන්. පෙරේරා, 2010 උඳුවප් -

ලක්දෙරණ එළිය කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයකු වූ ගාමිණී දිසානායක, ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු කෘතහස්ත දේශපාලනඥයන් කීප දෙනෙක් දැයෙන් සමුගෙන අදට වසර 16ක් සපිරේ. රටට මහවැලිය දායාද කරමින් අනූපමේය සේවයක් ඉෂ්ට කළ ගාමිණී දිසානායකයන් එදා මරාගෙන මැරෙන බෝම්බකාරියක බිලි නොගත්තා නම් අද අප වෙසෙන්නේ කෙතරම් වෙනස් රටක විය හැකිද?? එහෙත් සිදුවූ දෙය වළක්වන්නට නොහැක, නමුත් රටට ඉමහත් සේවාවක් ඉටු කළ ආදර්ශමත් දේශපාලනඥයකුට කෘතගුණ සැලකීම අගනේය. එය ගාමිණී දිසානායකයන් වන් උත්තුංග පුතුණුවන් ලක් දේශපාලනයට දායාද වන්නට ඌණපූරකයක් වේවායි සැදැහැ සිතින් පතමු.





මේ සතිය රණවිරු උපහාර සතිය නමින් රජය විසින් නම් කරනු ලැබ තිබේ. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානය කර වසරක් සපිරීම සැබැවින්ම පක්ෂ පාට, ජාති, ආගම් භේදයෙන් තොරව ශ්‍රී ලාංකික අප සැමටම මහත් සන්තෝෂයට කාරණාවකි. විශේෂයෙන්ම මේ ජයග්‍රහණය පිළිබඳ සතුටු වන අප එහි කෘතවේදීත්වය අපේ රණවිරුවන්ට හදබැතින් පිරිනැමිය යුතුය. එය සතියකට පමණක් සීමා විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ කෙසේ වෙතත් ජාතික වීර දිනය එළැඹෙන, සංග්‍රාමික විජයග්‍රහණයේ වර්ෂපූර්ණය සැමරෙන රණවිරු සතියේදී ඉහත කී විජයග්‍රහණයේ ප්‍රමුඛයා සිරගතව සිටීම සැබැවින්ම කණගාටුවට කරුණකි.
අනෙක් අතට රාජ්‍ය ආයතන බොහෝමයක් දුවනුයේ පාඩු පිටය. ඒවායේ මෙහෙයුම් අලාභයන් ඉතාමත්ම අධික වන අතර මේ අලාභයන් අවසානයේදී දරන්නට සිදුවන්නේ රටේ මහජනතාව වන අපටමය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු හෝ සමාජවාදියකු ලාභයට වඩා සේවය උතුම් යන තර්කය ඉදිරිපත් කරනු ඇත. එහි යම්කිසි ඇත්තක් තිබුණද එම රාජ්‍ය ආයතන මතුවටත් ජනතාවට සේවය කිරීමට නම් ඒවා මහා භාණ්ඩාගාරයටත් ජනතාවටත් බරක් නොවී ලාභ ඉපැයිය යුතුය. නැතිනම් අවසානයේදී මේ බර දැරීමට සිදුවන්නේ බදු ගෙවන්නන් වන අපටමය. 2009දී විට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 7.4ක් පාඩු ලභා ඇත. ලංකා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් 12.3ක අලාභයක් පසුගිය වසරේදී වාර්තා කරගත්තේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට නොදෙවෙනි රුපියල් බිලියන 12.2ක අලාභයක් 2009 වසරේදී වාර්තා කරගෙන තිබේ. එමිරේට්ස් සමාගමේ පාලනාධිකාරිය යටතේ පැවැති යුගයේ මධ්‍ය ආසියාවේ විශිෂ්ටතම ගුවන් සමාගමට හිමි ගෞරවය පිට පිට දිනාගත් එම ගුවන් සේවය අද මේ තරම් දුර්ධාන්ත තත්ත්වයකට පත්වූයේ කාගේ වරදින්ද යන වග සැබෑ ප්‍රශ්නයකි. තත්ත්වය එසේ තිබියදීත් එමිරේට්ස් සමාගම සතුව ඇති 43%ක කොටස් යළිත් මිලයට ගැනීම අපේ රට මතත් භාණ්ඩාගාරය මතත් අනවශ්‍ය බර පැටවීමක් නොවන්නේද? මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) ඔවුන්ට රජයෙන් පිරිනැමෙන සහනාධාර ඇතුළුව රුපියල් බිලියන 9.3ක අලාභයක් වාර්තා කරගෙන තිබෙන අතර රේල්ලුව රුපියල් බිලියන 4.8ක් පාඩු ලබා ඇත. මේ ප්‍රවාහන ආයතන දෙක ජනතාවට ඉතාමත් අස්වැසිල්ලක් වුවත් ඒවා තුල සිදුවන අක්‍රමිකතා සහ අයහපත් කළමණාකරණය මෙම සේවාවන්හී පරිහානියට හේතුවී තිබේ. සමස්ථයක් වශයෙන් ශ්‍රීලංගම සහ රේල්ලුව යන දෙකෙහිම සේවා තත්ත්වය පහළ බැස තිබෙන බව ඕනෑම මගියකු එක හඬින් පවසනු නොඅනුමානය. වෙනස් වන ලෝකය සමඟ වෙනස් වීමට අපොහොසත් වූ තැපැල් සේවය 2009දී රුපියල් බිලියන 2.4ක් පාඩු ලබා ඇති අතර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප්‍රධාන විධායක නිලධාරීව සිටි මිහින් ලංකා ගුවන් සමාගම මෙම වසරේ රුපියල් මිලියන 930ක් පාඩු ලබා තිබේ. මේ ආයතන සමූහය නිසා පමණක් ආණ්ඩුවට රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් පාඩු වී ඇති අතර මෙම තත්ත්වය ඉතා කණගාටුදායක වාතාවරණයකි.
